Tuesday, February 23, 2016

390. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 28 - නිකොලායි නොසොව්,ජීන් ඩික්සන්, මෙතෙක් කතාව සහ අද එතැන් සිට.




හප්පේ ඔන්න අන්තිමට කොහොම කොහොම හරි ලවක් දෙවක් නැතුව පඳුරු රාසියක් කාරිය තලල එහෙම ආපහු කතාවට ඇන්ටර් උනා කියමුකො. එන්ටර් ද ඩ්‍රැගන්...එන්ට එපාද ඩ්‍රැගන්?..එන්ටර් ද ඩ්‍රැගන් ෆිල්ම් එකේ හිටියෙ බූරුස් ලී....බූරුස් මියපරලොව ගියේ 73 අවුරුද්දෙ. ඉස්සොරෝම මම එන්ටර් ද ඩ්‍රැගන් බැලුවෙ....අප්පටසිරි..ආයම කැලේ පැන්න නේද? මේක හරියන කෙලියක් නෙවෙයි. ඕක තමයි කියන්නෙ යමක් පුරුදු උනහම ලේසියෙං අත අරින්න අමාරුයි කියල.ජාතිවාදය අවුස්සන්ට පුරුදු වෙච්චි එකාට ඒක නොකරම බෑ.තලියෙහි කිඹුලන් දක්නා සේ සමහර පිස්සොන්ට හන්දියක් හන්දියක් ගානෙ ජාතියන්තර කුමන්ත්‍රන...හෙහ්,හෙහ්,

හරි අදනම් තනිකරම කතාවම තමයි. ඔන්න අමනාප වෙන්ට එහෙම එපල්ල. කීඩෑව නං කීඩෑව...වංජාව ඔන්ද නෑනෙ..කියලත් කියල තියනවනෙ. හරි දැං මේ පඳුරු තැලිල්ලෙ හොඳකමටම කට්ටියට කියාගෙන ආපු කතාව අමතක මතක බැරිවෙලත් ඇති බාගවිට. බාගවිට සහ බාගදා කියන්නෙ අයිය මලෝ දෙන්නෙක්. ඒ දෙන්න හිටියෙ මම පොඩි කාලෙ බොහොම ආසාවෙන් කියවපු රුසියන් ළමා කතාවක. " දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම්" 

රුසියානු ජාතික ලේඛක නිකොලායි නොසෝව් ලියපු Dunno and his friends කතාවෙ පරිවර්තනයක් ඒක. සමාවෙන්න ඒ මේ බොහොම සූට්ටං පඳුරු තැලිල්ලක්. පඳුරක් කියලම කියන්ටත් බෑ. ඒත් එක අතකට පඳුරකුත් තමයි බලාගෙන ගියහම. 

විද්දෙ පඳුරට වැදුනෙ හාවට කියල අර කතාවකුත් තියෙන්නෙ. අහල තියනවනෙ නේද? එතකොට තව තියනව..

"හාව මොකද මී වදේ වටේ කැරකෙන්නේ?"

"හාවො කොහෙද බං මී වද කන්නෙ?''

"ඉතිං ඒක තමයි බං කැරකෙන්නෙ…''

හරි...හරි...සොරි...සොරි...කතාව ..කතාව..කතාව.....කතාව ගැන පොඩි මතක් කිරීමක් කරලම වැඩේ පටං ගත්තොත් හොඳයි මට හිතෙන විදිහට. මම හිතන්නෙ කට්ටිය මේ වෙනකොට කරකෝල අතෑරිය වගෙ ඇති. පුල් කොන්පියුසියස් වෙලා. රයිට් අර සතිපතා පත්තර වල යන නවකතාවල මුලින්ම තියෙන්නෙ "මෙතෙක් කතාව'' කියල කෑල්ලක්. ඊට පස්සෙ තියනව ''අද එතැන් සිට'' කියල.. ඒ වගේ ඔන්න මෙතෙක් කතාව.

මෙතෙක් කතාව කියලයන්නෙ කලිං කියපු ටිකේ සාරාංශෙනෙ. ඒ මෙතෙක් කතාව බොහෝවිට මෙන්න මේ විදිහයි. අර ජේස්ට මාද්දියවේදී මල්කුමාර මහත්තයගෙ පත්තරවල යන කතාවල තමයි මේ වගෙ මෙතෙක් කතා ගියේ. ඇයි එතුමා ගැහුවනෙ මල් පත්තර ගොන්නක්ම ඒ කාලෙ. කුමරි, යුවති, පඳුරි, පත්තිනි, තව තිබ්බ දේදුනු මාවත, අටවක සඳ, පතෝල මැස්ස, වැටකොලු කොස්ස, සැවැන්දරා මුල ..ඔන්න ඔය වගෙ එව්ව...කිව්වට මොකද අපිත් ඒ කාලෙ ඔව්ව කියෙව්වෙ වහ වැටිල...හෙහ්,හෙහ්,

මෙතෙක් කතාව -

ඉරුගල්නුවර නගරයේ වෙළඳ ව්‍යාපාර බොහොමයක් අයත් වන්නේ රස්පුටින් විහඟතැන්න මහතාටය. ඔහුගේ එකම දුව වන්නේ දහසය හැවිරිදි අවකලනී සංකූලදත්තාය. ඇගේ පංතියේ දක්සම සිසුවා වන්නේ ඇගේ පියාගේ සේවකයකු වන සරනේරිස්ගේ වැඩිමහල් පුත්‍රයා වන අධෝරක්ත පාරජම්බූලය. අධෝරක්ත හා ඇය අතර සෙනෙහසක් මෝදුවන අතර හිටිහැටියේ ඔහු නිවසින් අතුරුදන් වෙයි..

අද එතැන් සිට....

දැන් මම කියාගෙන ආපු කතාව ඒ කාලෙ මම අර විදිහෙ පත්තරේකට ලිව්වය කියල උපකල්පනය කලොත් ඒකෙ මෙතෙක් කතාව මම ලියන්නෙ මෙන්න මෙහෙමයි...

මෙතෙක් කතාව - 

රවී ඉතා කඩවසම් බුද්ධිමත් මෙන්ම ආචාරශීලිය. ගුරුවරියක හා විවාහ වී සිටින ඔහු වාසය කරන්නෙ ඇය උගන්වන පාසලේම පිහිටි ගුරු නිල නිවසේය. දිනක් ඇගේ වටිනා සාරි කිහිපයක් අව්වේ වනා තිබියදී රවීගේ අතපසුවීමකින් හදිසියේ වර්ෂාවකට අසුව දියබත්වේ. මින් කෝපයට පත්වන බිරිඳ ඔහු හා කිසිදු කතාබහකින් තොරවම එදින නින්දට යන්නීය. එහෙත් පසුදින ඇගේ පියාණන් හා සම්බන්ධ කටයුත්තක් උදෙසා ඇගේ මහගෙදරට යාම අත්‍යාවශ්‍ය බැවින් ඔවුහු කිසිදු කතාබහකින් තොරවම එහි යාමට පිටත් වෙති. 

අද එතැන් සිට....

"හුහ්.. පැල්වෙහෙර පුතා තමයි..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි ඕකා..මිනිස්සුන්ට අතට කීයක් හරි එන්ට ගත්තම ලැජ්ජාව බය සැක එහෙම්මම අමතකම වෙලා යනවනෙ පුතා" අප්පච්චි එහෙම කියල ආයම දික්සඟලා පුටුවෙ ඉඳගත්ත.

දවස් කීපෙකට පස්සෙ අප්පච්චි ගිහිල්ල පැල්වෙහෙර හම්බවෙලා කෙලින්ම මෙහෙම කියල "පැල්වෙහෙර මේ වැඩේ නැවත්තුවොත් හොඳයි. තමුන් ඕන වෙලඳාමක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ගෙදර අපිට නිදහසේ කණක් ඇහිල ඉන්ට හැටියක් තියෙන්ට ඕනෙ " 

පැලා හැබැයි අපරාදෙ කියන්ට බෑ දෙමලුන්ට පොඩි සත්තමක් දාලද කොහෙද ඊට පස්සෙ සතියක් වගෙ යනකල් සද්දෙ අඩුවෙලා තිබුනලු. ඒත් ආයම කැම්බැල්ලෙ පුරුදු විදිහට පටංගෙන. අප්පච්චි කරල තියෙන්නෙ හවහිම්ම ඉස්සරහ ජනෙල් දොරවල් වහල දාල සාලෙට වෙලා ඉන්ට පුරුදු උනාලු. 

"මගේ මේ ගේ හදද්දි බාගයක් වැඩ කලේ ඔය පැල්වෙහෙරයගෙ අප්පා. නිකං නම් නෙවෙයි තමයි. මම ඌට වැඩිපුරත් එක්ක සල්ලි දුන්න. ඒත් මොනව උනත් ඌ හොඳ එකා. ඒකගෙ මනුස්සකමේ ගුණේ තියන්ට එපාය. නැත්තං මම දනී කරන දේ." අම්ම එක්ක ඔහොම දෙතුන් පාරක්ම කිව්වලු අප්පච්චි. මහ පැල්වෙහෙර ඒ කාලෙ නං දරාපු බාසෙක්.

නමසිය හතළිස් ගණංවල මුල් කාලෙ ඩී.එස්. සේනානායක මහත්තය ඇලහැර ව්‍යාපාරය ආරම්බ කරපු කාලෙ එහෙ ගෙවල් හදන්ට ගිහිල්ල තියනව ඔය පැල්වෙහෙරගෙ තාත්තා. ඒ ගිය ගමන අවුරුදු හත අටක්ම එහෙ ඉඳල එහෙන්ම පෙලවහකුත් කරගෙනම තමයි ආපහු ගමට ඇහිල්ල තියෙන්නෙ. ඒ හැබැයි ඔය පැල්වෙහෙරගෙ අම්ම නෙවෙයිලු. ඒ මුල් කසාදෙ පවුල උණ වසංගතේකිං මැරිල පලච්චට පස්සෙං පහු තමයිලු ඔය පැල්වෙහෙරගෙ අම්ම කැන්දං ආවයි කියන්නෙ මෙන්න මේ රත්තොට දිහාවෙං. රත්තොටට මාතලේ ටවුමෙං හැරිල යන්ට ඕන හැතැම්ම දොලහක් පාළහක් වගෙ.

ඉතිං වර්තමානයට ආයම ආවොත් පැලා බිස්නස් එක හෙමිහිට කරගෙන යනව. අප්පච්චි යන්තමට කලුව පාත්වෙනකොටම ඉස්සරහ දොරජනෙල් වහගෙන සාලෙට වෙලා ඉන්නව. ඔහොම අවස්ථාවලට වලට කියන්නෙ Uneasy Truce කියල. ඒ කියන්නෙ දෙපැත්තම බැරිමතැන සටන් විරාමයකට එලඹුනාය කියන එක.නිරවි යුද්ධය නැත්නම් සීතල යුද්ධය (Cold War) කියන්නෙත් ඒ වගේම තේරුමක් තියෙන වචනයක්. 1945 අවුරුද්දෙ දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වුනාට පස්සෙ 1991 දි සෝවියට් සංගමය බිඳවැටෙනකල් මහ බලවතුන් ඒ කිව්වෙ අමරිකාව සහ රුසියාව අතර තිබ්බෙ කෝල්ඩ් වෝ සිටුවේෂන් එකක්.

සෝවියට් දේශය බිඳ වැටීම කියනකොට නොකියම බැරි කතාවක් මතකයට ආව ඔන්න. සමාවෙලා ඒකත් අහන්නකො. ශ්‍රී කියල දවස සමාගමෙන් පළකරපු සඟරාවක් තිබුන ඒ කාලෙ. බොහෝ කාලයක් ඔය සඟරාවෙ සංස්කාරක ධුරය දරුවෙ ශ්‍රියා රත්නකාර මහත්මිය.1972 අවුරුද්දෙ හෝ 1973 අවුරුද්දෙ ඔය ශ්‍රී සඟරාවෙ පලවුනා ජීන් ඩික්සන් කියල අධිමානසික බලයෙන් අනාවැකි කියන අමරිකානු  කාන්තාව ගැන ලිපියක්. ඒ ලිපියෙ තිබුනා ඇය අනාවැකියක් පලකරල තියනවය කියල විසිවන සියවස අවසන් වීමට පෙර සෝවියට් සංගමය කැබලි වලට කැඩී යන බව. 

ඇගේ අනාවැකි බොහොමයක් වැරදිලා තියනව. ඒක ඇත්ත. ඒත් මේ අනාවැකියනම් කොහොම කිව්වද කියල මට හිතාගන්න අමාරුයි. මොකද ඒ වෙනකොට සෝවියට් සංගමය බිඳවැටීමක් ගැන හීනෙකින්වත් හිතාගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. හැත්තෑව දශකයෙ මුල් භාගයෙ සෝවියට් දේශය එතරම් බලගතු තත්වයක තිබ්බෙ. ඇත්ත තත්වය කොහොම වෙතත් අපි හැමෝම හිතාගෙන හිට්යෙ එහෙමයි. 

හරි කොහොම හරි එහෙම අපිට වටහා ගත නොහැකි යම් යම් දෙවලුත් තියනව කියල විතරක් මම කියන්නම්.මගෙ ජීවිතය ගැනත් ඒ වගෙ හැබෑ වෙච්ච අනාවැකි කීපයක්ම කියල තියනව. යතාර්ථවාදියෙක් හැටියට මම අද්භූත බලයන් ගැන කිසිම විදිහකින් විශ්වාස කරන්නෙ නෑ. ඒත් අපිට තේරුම් ගත නොහැකි දේවල් තියෙන්න පුලුවන්. විවෘත මනසකින් (Open mind) ඕනම දෙයක් දිහා බලන එක කෝකටත් හොඳයිනෙ නැද්ද? Politicians approach every problem with an open mouth කියලත් කියනවනෙ.

හරි නිරවි යුද්ධය ශ්‍රී සඟරාව සහ ජීන් ඩික්සන් ගැන ඒ ඇති වැඩියත් එක්ක. පැල්වෙහෙර සහ අප්පච්චි අතර සීතල යුද්ධය ඔහොම සති දෙකක් විතර පැවතුනයි කියමුකො. එක දවසක ඔන්න හදිස්සියෙම පොලීසියෙං පැනල පැලාගෙ තැබෑරුමට.පැලා ඔය වැඩේ කරගෙන ගියෙ පොලීසියෙ සහයෝගය ඇතුව. ඒත් එක පාරට ඒ තත්වය වෙනස් වෙලා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුනු රාලහාමිල දෙන්නෙක් කඩේට බඩුගන්ට වගෙ ඇවිල්ල ඉඳල පැලා අරක්කු විකුණන කොට අතටම අල්ලගෙන.

පැල්වෙහෙර සාමාන්‍යයෙන් නාඳුනන මිනිස්සු කඩේ ඉන්නකොට ඔය බිස්නස් එක කරන්නෙ නෑ. මිනිහ බොහොම පරිස්සමෙං වැඩේ කරගෙන ගියේ. ඒත් එදා කරුමෙට වගෙ මිනිහට පොඩි අතපහුවීමක් උනා. පැලාව අරගෙන ගිහිල්ල උසාවි දාල දඩ ගැහුව.

ඔහොම හොර, වංචා අල්ලන්ට සිවිල්පිට එන පොලිස් කට්ටියට මේ කාලෙ කියන්නෙ උපාය දූතයො කියල.ඉතිං පැලා දඩේ ගෙවල ආවයි කියමුකො. ඇවිල්ල ටික දවසක් රහමෙර ජාවාරම නවත්තල හිටිය. එතන අපූරු වැඩේ කියන්නෙ දැන් මේ පොලීසිය පැනපු වැඩේට පැල්වෙහෙර සැකකරල තියෙන්නෙ අප්පච්චිව.

මොකද අප්පච්චි ආණ්ඩුවෙ තානාන්තරයක් කරල පැන්සන් පලච්ච මනුස්සයෙක් නිසා එතකොට රජයේ නිලදාරී ගොල්ල පොලිසිය එහෙමත් අඳුනන නිසා එකත් එකටම මේ ඔත්තුව දීල තියෙන්නෙ එහෙම නැත්තං පෙත්සමක් ගහල තියෙන්නෙ අප්පච්චිය කියලමයි මිනිහ හිතාගෙන ඉඳල තියෙන්නෙ.අනික පොලීසිය එක්ක තියෙන මිනිහගෙ සුහදතාවයත් නොසලකා හැරල පොලිසිය මේ වැඩේ කලේ ඉහලම තැනකින් කරපු බලපෑමක් හින්දය කියල පැලා කීප දෙනෙක් එක්ක කැට තියල දිවුරල කියල තිබ්බ.

මේ පෙස්සං කතාව ඇහුවම අප්පච්චිට උතුර දකුණ මාරු වුනා ඔන්න. මොකද ඒ මනුස්සය ඔය පෙස්සං ගහන එව්ව වගෙ දෙකයි පණහෙ වැඩ කරන කෙනෙක් නෙවෙයි.කාට උනත් කියන්ට තියනදේ මූණටමයි කියන්නෙ. ආය ඒකෙ දෙකක් නෑ. ඉතිං අප්පච්චි කරල තියන වැඩේ රට අඹ ලෑලි කෑල්ලකුත් හොයාගෙන කඩේට ගිහිල්ල කලු තීන්ත බෙලෙක්කෙකුයි පින්සලකුයිත් ගෙනල්ල ලිව්වලු දැන්වීම් පුවරුවක් හොඳ බෝල අකුරුවලිං.

මෙන්න මෙහෙමයි දැන්වීම……..

පෙත්සම් ලිවීම - 

ඔබගේ ඕනෑම කාරණයකට අවශ්ය පෙත්සම් ලියාදෙනු ලැබේ. ඉතා සාධාරණ අයකිරීම්. ඉස්සරහ කඩේ පැල්වෙහෙරගෙන් වැඩි විස්තර විමසන්න.

…….ඔන්න ඔහොම ලියල උන්දැ ඒ දැන්වීම් පුවරුව එල්ලුවලු ගේට්ටුවෙ.

අපේ ගේට්ටුව පහුකරගෙන උඩහ ගම්මැද්දට යන හැමෝම ඔය දැන්වීම් පුවරුව කියවල තුස්නිම්බූත වෙලා ඊලඟට අනිවාර්යයෙං පැල්වෙහෙරගෙ කඩේට ගොඩවෙලා පැලාගෙන් විස්තර අහනවලු "මොකක්ද අර බෝඩ් එකේ තේරුම?" කියල. පැලාට තද වෙච්චි පාර අන්තිමට ගමටම ඇහෙංට බෙරිහං දුන්නලු "මම දන්නෙ කොහොමද ඕයි? ලියල එල්ලපු අයගෙන්ම අහගන්නව" කියල. ඒත් කවුරුවත් අප්පච්චිගෙ හැටි දන්න හින්ද විස්තර අහන්ට ඇවිදිං නෑ.

හවස්වෙනකොට මේ කතාව ගම පුරාම පැතිරිල ගිහිල්ල පැල්වෙහෙරට වසන්ට බැරි තත්වයක් උදාවෙලා. පස්සෙ මිනිහ අප්පච්චි නිදාගන්න වෙලාව අල්ලල හෙමිහිට අම්මට කතාකරල කියල "අනේ අත්තම්මෙ මොකක්ද අර අත්ත කරල තියෙන වැඩේ? ඒක දකින දකින මනුස්සය මගෙන්නෙ අහන්නෙ. කියන්ටකො ආතට ඕන ගලවල දාන්ටය කියල" අම්මත් හා හොඳයි කියල අප්පච්චි නැඟිට්ටම කියල "දැං මදැයි ඕක ගේට්ටුවෙ එල්ලං හිටිය. ගලවල දැම්මොත් හොඳයි නේද?" කියල. ඒ පාර අප්පච්චි අම්මටත් සැල් එක දාල. "මට ඕන වෙලාවට මම ඒක ගලවන්නං . තමුං කලබල නැතුව ඉන්නවකො" කියල.

ඔය කාලෙ වෙනකොට ගෙදර හිටියෙ අම්මයි අප්පච්චියි විතරයි. අම්මගෙනුත් වැඩේ කෙරෙන්නෙ නැති බව දැනිල පහුවදා පැල්වෙහෙර අපෙ උන්දැට ටෙලිපෝන් කරල. "අනේ පුංචි අම්මෙ මේ බලන්නකො අත්තා කරල තියෙන වැඩේ.." විස්තරේ අකුරක් නෑර කියල ඒ පාර..... පැල්වෙහෙර දන්නව පවුලෙ බඩ පිස්සි වුනාට අපෙ උන්දැ යමක් කිව්වොත් අප්පච්චි අහනව කියල. "හරි හරි පුතා හෙට උදේට මම එන්නංකො බාප්පත් එක්ක" අපෙ උන්දැ එහෙම කියල පැල්වෙහෙරට. 

"ඒයි මේ බලන්ටකො අප්පච්චි කරල තියෙන වැඩේ."  මා දිහාට හැරිල කිව්ව…

"හෙහ්..ඇයි? මක් කරලද ඒ ගමන?"

"අපෙ ගේට්ටුවෙ බෝඩ් එකක් එල්ලලයි කියන්නෙ......"

"නැහ් මාරයිනෙ….. ඉතිං?" මට ඒ කතාව ඇහුවම මැරෙන්ට හිනා..

"හිනා නෙවෙයි මේකට මොකක් හරි කරන්ට ඕන නැත්තං හතර විලි ලැජ්ජහේ බෑ.."

"කරන්ට ඕන දේ ෂක් ෂුධක්ෂේ පැහැදිලියි නේ ළමයා කරන්න තියෙන්නෙ ගෙදර ගිහිල්ල පියතුමාට කරුණු පැහැදිලි කරල දීල එතුමා කූල් ඩවුන් කරල ඔය දැන්වීම් පුවරුව අයිං කරල දාන එකනෙ. වෙන අහවල් දෙයක්ද?"

"යස් ඒක හරි..ඒත් වැඩේ මම මේ සාරි හේදිල්ලක් පටන් ගත්තනෙ උදෙම්ම. ඒ හින්ද මෙහෙම කරමු. ඒ වැඩේ අද ඉවරයක් කරල දාල හෙට උදෙම්ම යමු ගෙදර මේකෙ මොකක් හරි විසඳුමක් කරන්ට. අනේ මන්ද මේ අප්පච්චිත් කරන වැඩ එක වෙලාවකට…"

ඉතිං අර ගොළු කසාය බීපු දෙන්නෙක් වගෙ අපි දෙන්න නෝ කතා නෝ සිනා මෝඩ් එකේ උදේම දොට්ට බැහැල පිටත්වුනේ ඔන්න ඔය පෙත්සම් දැන්වීම් පුවරු අර්බුදය විසඳන්ට එවුන්දලගෙ මහ ගෙදර යන්ට.

Thursday, February 18, 2016

389. පුවක් එෂැණිං - 4 - කළු කෝට් බෑය, අලි කරුණාව සහ දේවාලයේ සීසීටීවී




හිටපු ජනාදිපතිතුමා ඊයේ තම කලු කෝට් බෑයෙන් සැරසී උසාවි පැමිනියේය. 1977 අවුරුද්දේ පෙරකොරෝදයකු ලෙස දිවුරුං දුන්නාට පසු කෝට් බෑය එලියට ගත්තේ ඊයේ බැවින් කෝට් බෑය පුස් ගඳ හැමුවාට ගණන් නොගන්නා ලෙස ඔහු දෑත ඔසවා ආචාර කොට රැස්ව උන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 


"කොහොමත් මට දිගටම මේ කලු කෝට් බෑය පාවිච්චි කරන්ට වෙයි වගෙ කියල මට හිතෙනව. ඒ හින්ද අද ගෙදර ගිය ගමං මේක අව්වෙ දාල වේලන්ට ඕන." එතුමා ඉතා හැඟුම් බරව පැවසීය. "මම මේ කලුකෝට් එක දාගෙන ඉන්නෙ ජෙයරාජ්ට පිංසිද්ද වෙන්ට." එතුමා යලිත් හැඟීම් බරව පැවසීය.


ටං...ටිං...ටුං..........


මේ අතර වනජීවී දෙපාර්තමේන්තුව විසේස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පංසල් ගේට්ටු ගාව අලි පැටවුං දමා යාම සම්පූර්නයෙන්ම තහනං බවකි. 


දඩුවේ උම්මාලෝක සුවාමීන් වහන්සේ විසේස ප්‍රකාසයක් කරමින් ටමං වහංසේගේ පංසලට දිනපතා සොපිං බෑග්වල දමාගත් සුට්ටං අලි පැටවුන් හිතවත් දායක මහතුං විසිං රැගෙන විත් දමා යන බවද තමං වහංසේ බොහෝ අලි පැටවුං ගනනක් පංසල අතුගාන ඉදලෙං ගසා පන්නා දැමූ නමුත් එක් හුරතල් අලි පැටවෙකුට ආසා හිතී කවා පොවා ආදරෙං ඇතිකල බවත් දැං ඒ වෙනුවෙං තමං වහංසේ අත් අඩංගුවට ගන්නට යන බවත් පැවසුවෝය.

මුදල් අයකොට බන දෙසීමෙන් තමං වහංසේ උපයාගත් විසාල මුදල් සම්බාරය අලි පැටවාට කිරි දීමට වැයවූ බැවිං පහුගිය මාස තුනක් තිස්සේ වැඩ වාසය කරනුයේ සිවුරක් ගැනීමට පවා මුදල් නොමැතිව අඳනය පිටිං බවත් එනිසා පුංචි රුපියල් දහයක මුදලක් පරිත්තියාග කොට අලි දඩය ගෙවීමට ආදාර කොට සඟටොප් සුවය පාර්තනා කරගන්නා ලෙසද එටුමෝ කාරුණිකව බුද්දාලම්බන ප්‍රීතියෙං ඔද වැඩුනු බවුද්ද මහෝපාසිකාවංගෙං ඉල්ලා සිටියෝය.තමං පමනක් නොව මුගලං රහතුං වහංසේද එලෙසම කැලනිතිස්ස රහතං වහංසේද මෙසේ අලි පැටවුං හදාගත්බවද උං වහංසේ පැවසූවෝය.

ගොම්මංපිල මහතාට චන්ද කෙරුවාව කිරීමට රුපියල් සීය බැගිං ආදාර දුන්නානං තමංට අලි දඩය ගෙවීමට රුපියල් දහයක් දීම බවුද්දයින්ට අපහසුවක් නොවන බවද එතුමෝ මතක් කලෝය. එසේම බුදු හාමුදුරුවන්ද නාලාගිරි ඇතා, මුචලින්ද නාග රාජයා ඇතුලු බොහෝ සතුං සුරතලයට ඇතිකල බව බුද්ද චරිතයෙහි සඳහං වන බවද තමං වහංසේ කලේ ඒ සිරිත දිගටම පවත්වාගෙන යාම බවද එතුමෝ තව දුරටත් පැහැදිලි කලෝය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන සත්ව ප්‍රේමියෝ සංවිදානය පවසන්නේ උම්මාලෝක හිමියන් බලවත් සත්ව ප්‍රේමියෙක් බැවිං තමංට අනවස්සිය සියලු බල්ලං සහ බලලුං එතුමාගේ පංසල් ගේට්ටුව අසලට ගෙන ගොස් දමන්නට කිසිදු අවහිරයක් නැති බවකි.


ටං...ටිං...ටුං..........


සීනිගම දේවාලයේ පිංකැටය හොරු බිඳ ඇති බව මේ අතර එහි ප්‍රදාන කපු මහතා පැවසීය. තමං මේ පිළිබඳව දෙවියන්ට පැමිණිළි කල විට "තොපි කොහොමත් ඕකෙ තියන සල්ලි පිල්ලි ගහන එකේ හොරු බින්දට මට පාංද?" යනුවෙන් දෙවියං උදහස්ව වදාල බව කපු මහතා තව දුරටත් පැවසීය. 


එසේම "මට මේ දවස්වල ඔය හොරු අල්ලංට වෙලාවක් නෑ. හෙට අනිද්ද ටුවෙන්ටි ටුවෙන්ටි වර්ල්ඩ් කප් එක එනව ඒක බලන්ට තියනව. අනික අර ඒකාබද්ද විපස්සෙ පොල් ගහපු වැඩේ ගැන හොයල බලන්ට තියනව. ඒ හින්ද හොඳ සීසීටීවී කැමරා හත අටක් ගෙනල්ල පිං කැටේට පෝකස් කරල හයි කොරාපිය" යනුවෙන් දෙවියං උපදෙස් දුන් බවත් කපු මහතා ප්‍රකාස කලේය. 


එපමනක් නොව දිවිය ලෝකය පුරාද මේ දිනවල සීසීටීවී කැමරා සවිකරගෙන යන බවද දෙවියං පැවසූ බවද කපුවා සඳහන් කලේය.එසේම දේවාලයේ පිංකැට කැඩූ හොරුං අල්ලා දඬුවං දීමට දෙයියංට බැරිවුනාට තම බඩු බාන්ඩ සොරාගත් සොරුංට පලිගසා මිරිස් අඹරන බැතිමතුං විචිකිච්චාවක් කිසිසේත්ම ඇතිකරගත යුතු නැති බවද දේවාල බූමියෙං පිට සිදුවන හොරකං ඇල්ලීම සහ හොරුංට දඬුවං දීම දෙය්යං විසිං දිගටම කරගෙන යන බවද කපු මහතා තවදුරටත් කියා සිටියේය.


ටං...ටිං...ටුං..........

Monday, February 15, 2016

388. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 27 - රාළහාමි, ගුණදාස, ඔගස්ටින් සමඟ මෑන් මහත්තයාගේ කථා.


ගිරිතලේ හෝටලය

"අන්න හරි ඔය විසිතුනේ ගෙදර හිටියෙ බම්බාව ( බම්බාව තියෙන්නෙ ගලේවෙල කිට්ටුව ) පැත්තෙං ආපු කට්ටියක්.ඒ පවුලෙ එක ඉලන්දාරියයි හිටියෙ. ඒ වෙනකොට මිනිහට අවුරුදු දහ අටක් වගෙ ඇති. මගේ වයසම තමයි."

"ඉතිං?" 

"මිනිහ ඔය නුවර දිහාවෙ සුද්දෙක් ගාව වැඩකරල කාර් එලවන්ට ලයිසන් එහෙමත් තිබ්බ. ඩී.එස්. මහත්තය ආපු දවසක ඒ කොල්ලගෙ තාත්ත කොල්ල ගැන විස්තර කියල තිබ්බ. පස්සෙ කොහොම හරි ඩී.එස්. මහත්තයගෙ පොල් වත්තක් තිබ්බලු ඒ කාලෙ වෙන්නප්පුව පැත්තෙ. ඔය වත්ත බලාගන්ට මේ කොල්ලව ඩී.එස්. මහත්තය එක්කගෙන ගියා. ඩී.එස්. මහත්තයගෙ තිබ්බ කළුපාට හම්බර් කාර් එකක්. ඔය කොලුව දෙපාරක්ද කොහෙද ඔය කාරෙක එළවගෙන ඇමතිතුමා එක්ක මෙහෙත් ආව. ඒ කාලෙ එතුමා අගමැති වෙලා නෑ. කෘෂිකර්ම ඇමති."

අතීත යටගියාව පිළිබඳ තොරතුරු සෙවීමට මගේ ඇත්තේ නොතිත් ආශාවකි. එළෙසම එසේ ඇසූ හෝ කියවූ අතීත තොරතුරු ඔස්සේ ඒ යුගයට පිවිසීමට මට ගතවනුයේ අසුරු සැණකි.

අනුරාධපුර අභයගිරි ව්‍යාපෘතියෙහි සේවය කල සමයෙහි මගේ මේ නුහුගුණාත්මක භාවය මටම හිරිහැරයක්වන තරමට වර්ධනය විය. එහෙත් භාග්‍යයකට හෝ අභාග්යයකට අනුරාධපුරය හැරගිය ඉක්බිති යලි එවන් දරුණු තත්වයක් උද්ගත නොවීය.

ඩී.එස්.සේනානායක මහතා තම කළුපැහැ හම්බර් රියේ ඉදිරිපස අසුනේ දිගාවී හිස බැඳි සුම්බරය ගලවා අතටගෙන හිස නමා ආචාර කොට ගෞරව පුරස්පරව මාර්ගයෙන් ඉවත්වන ගැමියන්ට අතවනා ආචාර කරමින් ගම්මණ්ඩිය හරහා ගමන් කරනු මසිතෙහි ඇඳී යාමට ගතවූයේ නිමේශයකි.

තමනට ඉඩම් ලබාදී දිවිපෙවෙත සරු කරනුවස් දිවා රෑ වෙහෙසෙන මෙවන් උතුමකුගේ රියදුරු ලෙස සේවය කිරීමට පමණ භාග්‍යවත්වූ තම අසල්වාසී කොළු ගැටයා කෙරෙහි මේ ගැමියන් තුල වූයේ ඊර්ෂ්‍යාවක්ද නැතහොත් ගෞරවයක්ද? දශක දෙකකට ආසන්න කාලයක් ගැමියන් හා බොහෝ සුහදව ඇසුරුකරමින් රැකියාව කල මගේ අත්දැකීම් අනුව බොහෝවිට ඒ ඉහතකී මනෝභාවයන් දෙකෙහිම අඩු වැඩි සම්මිශ්‍රණයක් විය යුතුය.

"රාළහාමි..ඔය කොලු ගැටයගෙ නම මොකක්ද?"

"හෙහ්..හෙහ්..ඒකගෙ නම ඇවිල්ල සුවාරිස්"

"ඉතිං පස්සෙ මොකද මනුස්සයට වුනේ?"

"ඒ කාලෙම වගෙ ඒ ඉලන්දාරිය උංගෙ ගම් පලාතෙන්ම කසාදයකුත් කරගත්ත. ඒත් මෙහෙ ඇවිල්ල දවස් දෙකතුනක් ඉඳල දෙන්නම ගියා ආපහු වෙන්නප්පු"

"පස්සෙ? "

"පස්සෙ ඇමතිතුමා පස්සෙ අගමැතිවුනානෙ. හෙහ්..අපිත් ගියා එතුමා දිවුරුම් දෙන උත්සවේ බලන්ට.."

"නෑ? "

"ඇයි මහත්තයට විස්වාස නැද්ද?"

"නෑ...නෑ..අනේ එහෙම එකක් නෙවෙයි..මම අර පුරුද්දට වගෙ කිව්වෙ…. නැතුව අවිස්වාස කරල එහෙම නෙවෙයි."

"ඒ කාලෙ තිබ්බෙ ප්‍රයිවට් බස් කොම්පැනි. මාතලේ ඉඳල නාවුල හරහා දියබෙදුමට යනකල් බස් දාල තිබ්බෙ මෑන් මහත්තය."

ඒ මම මෑන් මහත්තය ගැන ඉස්සොරෝම ඇහුවමයි.

"මෑන් මහත්තය කියන්නෙ සුද්දෙක් මහත්තය. උන්නැහැ මම හිතන්නෙ කොළඹ ඔය මොකක් හරි ලොකු කොම්පැණියක හොඳ රස්සාවක් කරපු කෙනෙක්. මට මතක විදිහට වෝකර්ස්ද කොහෙද... එහෙම නැත්තං ෆ්‍රොයිඩන්බර්ග්.."

"හෙහ්, රාළහාමිගෙ මතකය නියමයිනෙ."

"හෙහ්..පොඩි කාලෙ ඉඳලම මට ඕනම දෙයක් බොහොම ලේසියෙන් මතක හිටිනව මහත්තය."

ඔය වෙනකොට මට අපෙ උන්දැ මුලිච්චි වෙලා එහෙම නෑ. පස්සෙ කසාද බැඳපු කිට්ටුවම වගෙ දෙන්නත් එක්ක උන්දලගෙ ගෙදර යද්දි මම දැක්ක පාර අයිනෙම ලොකු කන්දක් මුදුනෙ තිබ්බ මහ විසාල ගල් බංගලාවක්.

"කාගෙද මේ මහ විසාල ගේ?" මම ඇහුව.

"ආ..ඕකෙ දැං ඉන්නෙ නං බර්ගර් ජෝඩුවක්. ඒත් ඕක හදවල තියෙන්නෙ මෑන් මහත්තය කියල සුද්දෙක්."

"නැහ්? මෑන් මහත්තය? "

"ඇයි? ඔයා දන්නවද මෑන් මහත්තය?"

"මොකද අනේ මම නොදන්නෙ? ඔය බස් කොම්පැණිවලින් බස් දුවපු කාලෙ මාතලේ දියබෙදුම දුවල තියෙන්නෙ ඔය මෑන් මහත්තයගෙ බස්නෙ" මම ගාණකට නොගෙන කියල දැම්ම.

"ඈ?.... මෙයත් නොදන්න අටමඟලක් නෑනෙ"

ඔන්න ආයෙම රාළහාමි...............

"ඉතිං ඔය මෑන් මහත්තය නොමිලේ බස් දුන්න එදා දිවුරුම් දීමේ උත්සවය බලන්ට කොළඹ යන අයට. අන්න ඒකක තමයි මමත් ගියේ. මේ ගමෙත් සෑහෙන දෙනෙක් ගියා."

"ඉතිං රාළහාමි අර සුවාරිස් ගැන මොකක්ද කතාවක් කියාගෙන ආව නේද?"

සෑහෙන්න කලුවරත් වැටිල හින්ද මට ඕන කලේ පුලුවං විජහට ගෙදර යන්ට. ඩී.එස්.මහත්තයගෙ විස්තර ඇහුව වගෙ නෙවෙයි මඟදි අල්ලිස් මහත්තයෙක් එහෙම මුලිච්චි උනොත්.  "අනේ සොරි බොස් මේ ඩී.එස්.මහත්තය ගැන අර රාළහාමිහෙන් විස්තර අහන්ට ගිහිල්ල සුට්ටක් වගෙ රෑවුනා. අදට සමාවක් දෙන්ට හොඳයි" මොකෝ එහෙම කියන්ට කියලය ආය? දෙයි හෝස් පයිප්පෙං කොන්ද හරහට දෙබේයි ගාල

අලි කිව්වම තව පොඩි කතාවක් මතක් වුනා ඔන්න.

මේකත් මේ මම අත්තනකඩවල වැඩ කරන කාලෙ වෙච්චි වැඩක්.ඒ කාලෙ අපෙ හිටිය ජල පාලකල කියල කට්ටියක්. එවුංට තිබ්බ රාජකාරිය මුර ක්‍රමය අනුව ඒ ඒ කෙත් ඇලට නියමිත වෙලාවට වතුර බෙදාහරින එක. වතුර බෙදාහරිනව කිව්වෙ නියමිත වෙලාවට ඇලේ දොරටුව ඇරල ඇලට වතුර නිකුත් කරන එක.

වතුර හිඟ කාලෙට තමයි ඔය මුර ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ. ඒ ඒ කෙත් ඇළට අහවල් වෙලාවෙ ඉඳල අහවල් වෙලාවට ජලය නිකුත් කරනවයි කියල අපි සතියෙ මුල රැස්වීමක් තියල තීරණය කරනව. ඒකට ගොවි සංවිධානයෙ සභාපති, ලේකම්, එතකොට කෙත් ඇළ නායක වගෙ කට්ටිය ඔක්කොම සහභාගි වෙනව.වතුර හිඟය බොහොම දරුණු උනහම අපිට රෑ තිස්සෙ සමහර වෙලාවට ඔය වතුර බෙදිල්ල හරියට ක්‍රියාත්මක වෙනවද කියල බලන්ට යන්ට වෙනව. රෑ නිදි මරන එක ටිකක්‍ අමාරුවුනත් ඒකත් එක අතකින් බැලුවම මාර ආතල්.

අපි සාමාන්‍යයෙන් ඔය රෑ මුර වතුර බෙදිල්ල අධීක්ෂණය කරන්ට යද්දි මත්පැන් පානය කරන්නෙ නෑ. මත්පැන් පානය කලාම එකක් නිදිමතයි අනික ඇලර්ට් එකේ ඉන්ට අමාරුයි. ඕකට නියම අනුපානය ඇවිල්ල මලක්. "මලක සුවඳ සිව් සිය ගව් දැනේයා" කියන්නෙ ඉතිං නිකමටයැ.. හා නැද්ද මං අහන්නෙ? ඩම් දෙක තුන පෙණහළු පුරා ඇද්දම ආයෙ මොනවද ආතල් බේරෙන්නෙ කං දෙකෙං... කං දෙකෙං...ඔය කියන කියන එව්වට හිනාවෙන එක තමයි තියෙන්නෙ.

අනික ඇයි යකෝ එක අතකට බැලුවම මේ හම්බවෙන වතුර ඩිංග අල්ලපු කුඹුර වැඩ කරන එක්කො තමංගෙම මස්සිනා නැත්තං ඥාති සහෝදරය එක්ක සමගියෙං බෙදාගන්ට මේ වලහැඩියංට බැරිනං අපි මොකටද මේ නිදි මරාගෙන් උං හින්ද නැහෙන්නෙ? 


"මහත්තය දාහතේ ඇළේ ඉබ්බ කඩල උං අපිට එන වතුර මුරේ හොරෙං අරගෙන"… සුමනයයි මායි හිනාවෙනව..."හෙහ්..හෙහ්...හෙහ්"..සුමනය කියන්නෙ මගෙ අතිජාත මිත්‍රය…"දැං ඔය කට්ටිය මොන ඇළේද?" සුමනෙ අහනව "අපි පහළවේ ඇළේ"…සුමනයයි මායි ආයෙම හිනාවෙනව. " හෙහ්,හෙහ්,හෙහ්," 


පහුවදා අපේ බොස් ඒ කිව්වෙ වාරිමාර්ග ඉංජිනේරු තුමා ගිහිල්ල තියනව ඔය පැත්තෙ රවුමක්. ඒ පාර මිනිස්සු ජීප් එක වට කරගෙන වතුර ප්‍රශ්න කියන්ට ගත්තලු. 

"ඇයි මම ඊයෙ රෑ අපේ අර මහත්තුරු දෙන්න එව්වනෙ ඔය ප්‍රශ්න ගැන කටයුතු කරන්ට. ඒ ගොල්ල ආවෙ නැද්ද?"


"ආව ..ආව..මොකද ආවෙ නැත්තෙ? ඔය ආවෙ.."

"එතකොට?"

"ඒ දෙන්න ඇවිල්ල හිනාවෙවී ඉඳල ඔය ආපහු ගියේ.."

"ඈ..ඒකත් එහෙමද?"

නෑ ඇත්තම කිව්වොත් එක අතකට නරුම ක්‍රියාමාර්ගයක් විදිහට පෙනුනත් ඔහොම නැතුවත් බෑ. ඔය වෙලාවෙ ගොවියො ඉන්නෙ ඉපදෙනව මැරෙනව පේන්නෙ නැති සයිස් එකේ. එකාතකට ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ. බැංකු ණය අරගෙන තෙල් බේත් පොහොර ගහල යම්තමට පැළ ගොයම මතුවෙන එහෙමත් නැත්තං කිරි වදින ගොයම මැරෙනව කාටද බලා ඉන්ට පුලුවං? ඒ වෙලාවට මිනිස්සු යක්කු වෙනව. 

අනික අතට අපි කියල මොනව කරන්ටද? බලෙම්ම නීතිය ක්‍රියාත්මක කරන්ට ගිහිල්ල උදළු පාරක් ඔලුවට පතබෑවුනොත් ආය කාට කියන්ටද? මොකද ඔය වෙනකොට ගොවි මහත්තුරු බහුතරයක් ඉන්නෙ හොඳ සිහියෙං නෙවෙයි. මලක් දෙකක් ගහපු අය ගැන නං බයක් නෑ. උන්දැල ඔය ආතල් එකේ පෝල් බටයක් උඩ වාඩිවෙලා ඉඳීවි. (පෝල් බට කියන්නෙ කුඹුරු වලට වතුර බෙදන බට වලට) සුදුවා (සුදුවා කියන්නෙ කසිප්පු) ගහපු එවුං ඉන්නෙ නිකං නාලාගිරියො වගෙ. උංගෙං තමයි ටිකක් ප්‍රවේසං වෙන්ට ඕන.

ඉතිං ජලපාලකල ගැනනෙ කියන්ට ගත්තෙ. අපෙ හිටපු එක ජල පාලකයෙක් ටිකක් එක විදිහක්. අර නාහෙට නාහන මොඩල් කියන්නෙ අන්න ඒ ජාතියෙ. අපරාදෙ කියන්ට බෑ මා එක්ක නම් හරිම හොඳයි. මගෙ මඟුල් ගෙදර එහෙමත් ආව. දියබෙදුම (ඇලහැර අමුණෙං පටං ගන්න ඇලහැර-මින්නේරිය යෝධ ඇලෙන් ගිරිතලේ සහ මින්නේරිය වැව් දෙකටම වතුර දෙනව. දියබෙදුමෙදි තමයි යෝධ ඇල දෙපැත්තට බෙදිල වැව් දෙකට යන්නෙ. ඒ දෙකට කියන්නෙ මින්නේරිය පෝෂක ඇළ සහ ගිරිතලේ පෝෂක ඇළ කියල...Minneriya Feeder Canal & Giritale Feeder Canal) දියබෙදුම හන්දිය ආසන්නයේම තියෙන ඒ ඒ ඇළවල් දෙකට වතුර බෙදන නිර්මිතයට කියන්නෙ Diyabeduma Bi-furcation Structure කියල.

ඉතිං මම අර කියපු ජල පාලක (අපි මිනිහට කියමුකො ඔගස්ටින් කියල) ඔගස්ටින්ගෙ යාලුවො සෑහෙන්න හිටිය ඔය දියබෙදුම හන්දියෙ ත්‍රී වීල් ඩ්‍රයිවර්ල. ඔවුං එක්ක ඔය මනුස්සය නිතරම වගෙ සැට් වෙනව. බොහෝවිට එවුං කරනව කියන්නෙ බෝතල් හතර පහක් දාගෙන හත් අට දෙනෙක් සෙට් වෙලා ත්‍රී වීල් තුනක විතර යනව ගිරිතලේ වැව් පිටියට ගිහිල්ල ආතල් එකත් අරගෙන රෑපානෙ සිංදුවකුත් කියාගෙන ආපහු එනව. දියබෙදුම හංදියෙ ඉඳල ගිරිතලේට තියෙන්නෙ දුර කිලෝ මීටර් 15 විතර. ත්‍රී වීලර් එකේ උපරිම පැය බාගෙ ගමන.




ඔන්න ඉතිං අලිකතාව ඔගස්ටියගෙ වචන වලින්ම මෙහෙමයි...ඕකා ඔය කතාව මා දැක්කිං කිව්වෙත් ඔය ඉහකුළුවැව දිහාවෙ නුගගහක් යට ඉඳගෙන දේශීය නිෂ්පාදන පොඩ්ඩක් ගන්න අතරෙ. (වියාචනයයි - වෙනත් කිසිදු පරමාර්ථයක් උදෙසා නොව හුදෙක් දේශීය ගෘහස්ථ කර්මාන්ත සඳහා දිරිගැන්වීමක් වශයෙන්ම පමණකි)

"මේ පහුගිය හෙනහුරාද මහත්තය මේක වුනේ. එදා කොහොමහරි සෙට් වුනේ අපි හතර දෙනයි. ත්‍රී විල් එක දෙයියගෙ..මහත්තය දන්නව නේද දෙයිය."

"මම දන්නව බං...ඉතිං?"

"බෝතල් අපි අරගෙන ගියා තුනක්ද කොහෙද..කොහොම හරි දෙකක් බිව්වෙත් නෑ. හොඳ ගණං..දෙයියටත් ටිකක වැඩියි වගෙ...ඒත් කොහොම හරි ඔන්න අපි ආපහු එන්ට පිටත් වුනාය කියමුකො. අනික එවුං නං ඔය බැරි මරගාතෙ සිංදු කෑලි දෙක තුනක් කියන්ට තැටමුව. බොරු කියන්නෙ මොකටද මහත්තය මට නං ආය නෑ කට කපල නින්ද ගියා. එක පාරට මට ඇහැරුනෙ..ඕං අලිය කියල මා ගාව හිටපු සුද්ද කෑගහනකොට. ඒ එක්කම ත්‍රී වීල් එක කොන්ඩෑරුම් දෙකක් ගහල පාර පල්ලෙහට පෙරලුනා." 

සුට්ටං පැහැදිලි කිරීමක් ඕමනයි මේ අවස්තාවෙ. ඒ කියන්නෙ ඔය දියබෙදුම - ගිරිතලේ පාර දෙපැත්ත තද වැස්සට යට වෙනව. මොකද ඔය හරිය කියන්නෙ ගිරිතලේ වැව ඉහත්තාව. ඒ හින්ද ඔය අදාල පාර ඒ කිව්වෙ දියබෙදුම - ගිරිතලේ පාර හදල තියෙන්නෙ සාමාන්‍ය පොළව මට්ටමට අඩි හත අටක් වගෙ පස් පුරවල ඒ මත්තෙ. එතකොට දරුණු වර්ෂා කාලෙක දෙපැත්ත වතුරෙං යට උනත් පාරෙ ගමනාගමනයට බාධාවක් නෑ.ඉතිං අර ඔගස්ටියගෙ වීල්ලෙක කොණ්ඩෑරුං දෙකක් ගහල පෙරලුනෙ ඕං ඔය පාරෙ බෑවුමෙං පල්ලෙහාට. 

හරි ආයෙම ඔගස්ටියගෙ වොයිස් එක……

"මහත්තය දන්නවනෙ ඔය හරිය ගන සැරේට තණකොල. ඒ හින්ද මොකවත් අතුරු ආන්තරාවක් එහෙම උනේ නෑ. වීල් එකෙ පොඩ්ඩක් එහෙ මෙහෙ ඇදවෙලා එතකොට කට්ටියගෙ නළල් එහෙ මෙහෙ වැදිල තඩිස්සි වෙලා අතපය යංතං වගෙ තුවාල වෙලා එච්චරයි. කට්ටිය බැරි මරගාතෙ නැඟිටල බැලුව අලිය පන්නං එනවදෝ කියල. ඔහෙ ඇති අලියෙක් නෑ.ඒ පාර සුද්දගෙං ඇහුව කොහෙද බොල උඹ අලියෙක් දැක්කෙ? කියල. මේ වල් ඌරා කියාපි අනේ බං මට නින්ද ගිහිල්ල හිටියෙ. මම හීනෙන්ද කොහෙද අලියෙක් දැක්කෙ කියල. අම්මාපල්ල මහත්තයා කිව්වට විස්වාස කරන්ට මේ දවස්වල මගෙ අත මිට බොහොම හිඟයි. නැත්තං ඒ වෙලාවෙමයි මං ඕකගෙ කුළල මිරිකන්නෙ"

"එහ්? ඉතිං බං සුද්දගෙ කුළල මිරිකිල්ලෙයි උඹෙ අත මිට හිඟවිල්ලෙයි මොකක්ද තියෙන සම්බන්දෙ?"

" මහත්තය දන්නෙ නෑනෙ..සුද්ද කියන්න මගෙ නැන්දගෙ පුතා.."

"ඉතිං?"

"ඉතිං ඕකගෙ අතේ සතපහක් නෑ කොයිම වෙලාවකවත්. හරි හමං රස්සාවකුත් නෑ. අපේ ගෙදර ඉස්සරහ කාමරේ තමයි ඉන්නෙ."

"ඉතිං බං? තවම මට තේරුනේ නෑනෙ…"

"මම කිව්වෙ මහත්තය ඔය මුස්පේන්තුවගෙ කුළල මිරිකුවානං එහෙම උගෙ මළගම කරන්ට වෙන්නෙත් මගේ වියදමෙං..අන්න ඒ ගැන හිතලයි මම එදා නිකා හිටියෙ...අම්මපල්ල මට වෙලාවට මහත්තය මතක් නොවුනු හැටි.."

"ඒ මොකෝ? මගෙත් කුළල මිරිකන්ටද? "

"හෙහ්,හෙහ්, ඔන්න කිව්ව එකක්..කුළල මිරිකන්ට නෙවෙයි එහෙමනම් මම මහත්තයගෙං අතමාරුවක් වත් කරගෙන මලගමේ කටයුතු කරන්ට බැරිය කියල හිතල ඕකෙගෙ කුළල මිරිකන එක මිරිකනවාමයි."

මළගෙවල් ගැන ඔය වගෙම තව කතාවක් තියනව..හුහ්..පොළියට සල්ලි අරගෙන හරි වැදගත් විදිහට මළගෙයක් කරන්න බැරිනං මළගෙවල් නොකර ඉන්න ඕන..ඒ කතාවත් පස්සට හොඳද?

"හරි හරි බං දැං ඒ මගෙං ණය ගැනිල්ලෙං කාරියක් නෑ..අර කතාව කියල ඉවරයක් කරපංකො.."

"ඉතිං අපි කට්ටිය ඔන්න බැරි බැරි ගාතෙ කණ්ඩිය දිගේ උඩහට වීල් එක තල්ලු කරල පාරට ගත්ත. අරගෙන ඔන්න ආයම නැගල දියබෙදුමෙ එන්ට පිටත් උනාය කියමුකො. කොහොම හරි ඔය සීන් එක උනේ මහත්තය දන්නවනෙ අර රත්නායක ඉස්කෝලෙ. අන්න ඊට පොඩ්ඩක් එහා. එතන ඉඳල ඕනනං දියබෙදුම හන්දියට විනාඩි අටක් නැත්තං දහයක් යයි. ඉතිං ඔන්න අපි එනවා එනවා..ඉවරයක් නෑ...අතේ පයේ අමාරුව අස්සෙ උනත් කට්ටියටම ආය නින්ද ගියා. මට කොහොමත් සැරින් සරේ ඇහැරුනා..දෙයියා පරිස්සමෙං පුතා..එහෙම ඩ්‍රයිවර්ට කියල මම ඇහැරල ඉන්ට ට්‍රයි කලා..මොන?"

"ඔය වෙලාවට ඔහොම තමයි. අනික හීතල හුළඟනෙ"

"මෙච්චර දුර වෙන්නෙ කොහොමද බං දියබෙදුම? එක පාරක් දෙයිය කියනව මට යන්තමට වගෙ මතකයි. ආයම ඔන්න නින්ද ගියා. මම උඩ ගිහිල්ල ඇහැරුනෙ එක පාරට දෙයිය කෑගැහුවම...මේ මොනවද බං මෙච්චර මේ ලයිට් එළි ගොඩක්? දියබෙදුමෙ කොහෙද මෙහෙම ලයිට් එළි? මොන ලයිට්ද බං? මම එලියට ඔලුව දාල බැලුව. ඇත්ත නේන්නං ඈත පේනව ලයිට් එළි මහ ගොඩක්..මේ මොනවද මේ?..හුටා එතකොටයි මට වැඩේ මීටර් උනේ...යකෝ මේ ගිරිතලේ හෝටලේ නේද? මළ කෙලියයි අපි ආපහු ඇවිල්ල නේද?"

"හෙහ්..හෙහ්..ඒ කියන්නෙ බීපු මරගාතෙ උඹල පෙරලිච්ච වීල් එක ආපහු පාරට තල්ලු කරල තියෙන්නෙ ආපහු ආපු පැත්තටම හරවල. ඒ කරල නැග්ග. ඒ පැත්තටම කෙලගෙන ආව....හෙහ්,හෙහ්, "

"අයියෝ..ඒකනෙ මහත්තය කියන්නෙ..කියල වැඩක් නෑ..හතර විලි ලැජ්ජාවයි...හෙහ්,හෙහ්,"

"ඉතිං? ඒ පාර ආපහු දියබෙදුමට ආවා?"

"මොන? ....දෙයිය කියපි ආපහු ආයම යන්ට පැට්‍රල් නෑය කියල. එකෙක් ගාවවත් අතේ සල්ලිත් නෑ.ඔය රෑ ගෙවල් වලට ගිහෑකිය කීයක්වත් ඉල්ල ගන්ට වත්. ඒ පාර ගිරිතලේ වැව් පිටියෙ ගහක් යට වීල් එක නතර කරල කට්ටියම පුලු පුලුවං විදිහට වීල් එකේම නිදාගත්ත. ඒ කරල උදේ දෙයියගෙ මස්සිනා ඉන්නව ගිරිතලේ ආයුර්වේදෙ ගාව . උගෙං සල්ලි ඉල්ලගෙන පෙට්‍රල් ගහගෙන ආපහු ආවෙ.."

"මදැයි වෙච්චි දෙයක් නැද්ද?"

තව සෝක් වල් අලි එලවන කතාවක් තියනව...ඔය තැපැල් මාර්ගික උපාධි පාඨමාලා තියෙන්නෙ. අන්න ඒ වගෙ. එහෙම කිව්වට තැපැල් මාර්ගයෙන් වල් අලි එළවනව එහෙම නෙවෙයි හොඳද? මෙතන වෙන්නෙ දුරකථන ආධාරයෙන් වල් අලි එළවීමක්..ඒ කතාවත් පස්සට හොඳද? 

ඒ කාලෙ නං මම ඔය පස්සෙ කියන්නං කියන කතා ගණං තියාගෙන ඉඳල මට මතක් කරන්ට Prompter කෙනෙක් මම පත් කරල හිටිය. ඒ තමයි අපේ ගරු කටයුතු රූ නෝනා මහත්මිය. රූ සිරිනි කියල වියුණුවක් එහෙමත් ලිව්වනෙ ඒ ඇත්ති. ඒත් ඕල් ඔෆ් සඩ්න් නෝ හෑන්ඩ් කම් ඕ ගෝ උනා එතුමිය. ඒ කිව්වෙ ආ ගිය අතක් නැති වුනා. වෙරි සෑඩ් නෝ?

හරි ආයම යමු රාළහාමිගෙ කතාවට.....

"ඉතිං ඔය මෑන් මහත්තය නොමිලේ බස් දුන්න එදා දිවුරුම් දීමේ උත්සවය බලන්ට කොළඹ යන අයට. අන්න ඒකක තමයි මමත් ගියේ. මේ ගමෙත් සෑහෙන දෙනෙක් ගියා."

"ඉතිං රාළහාමි අර සුවාරිස් ගැන මොකක්ද කතාවක් කියාගෙන ආව නේද?"

සෑහෙන්න කලුවරත් වැටිල හින්ද මට ඕන කලේ පුලුවං විජහට ගෙදර යන්ට. ඩී.එස්.මහත්තයගෙ විස්තර ඇහුව වගෙ නෙවෙයි මඟදි අල්ලිස් මහත්තයෙක් එහෙම මුලිච්චි උනොත්. "අනේ සොරි බොස් මේ ඩී.එස්.මහත්තය ගැන අර රාළහාමිහෙන් විස්තර අහන්ට ගිහිල්ල සුට්ටක් වගෙ රෑවුනා. අදට සමාවක් දෙන්ට හොඳයි" මොකෝ එහෙම කියන්ටය ආය? දෙයි හෝස් පයිප්පෙං කොන්ද හරහට දෙබේයි ගාල

"හරි හරි ඉතිං සුවාරිස් දිගටම වෙන්නප්පුවෙ හිටිය පොල් වත්ත බලාගෙන. මම හිතන්නෙ අගමැති උනාට පස්සෙනං ඩ්‍රයිවර් වැඩේ කරන්ට උනේ නැතුව ඇති. නමසිය පනස් එකේද කොහෙද අගමැතිතුමා මැරුනනෙ"

"පණස්දෙකේ ..අස්සය පිටිං වැටිලනෙ.."

"අන්න හරි..ඉතිං ඊට අවුරුද්දකට වගෙ පස්සෙ සුවාරිස් ආපහු ගමේ ආව...අවුරුදු දහයක විතර පොඩි එකෙකුත් එක්කගෙන."

"එතකොට පවුල? "

"පවුල ආවෙ නෑ මහත්තය..අහපු එවුංට සුවාරිස් කිව්වෙ ඒකි එහෙදි මලා කියල. ඇත්තද බොරුද නම් මන්ද. ඕක එක විදිහක මනුස්සය හින්ද කවුරුත් වැඩිපුර හාරාවුස්සන්ට ගියේ නෑ."

"ඉතිං?"

"ඉතිං ආය මොනවද? ඔච්චරයි කතාව" රාළහාමි මහ හඬින් සිනාසුණේය. "මහත්තයට පුලුවන් මම හිතන්නෙ ඒ පොඩි එකා කවුද කියල හිතාගන්ට."

ඒ වනවිට රාළහාමි පවසන කුඩා දරුවා කවුද යන්න මට රහසක් නොවීය. 

"හෙහ්..මම දන්නව...මම ඔය ගැන කීප දවසක් රාළහාමිගෙන් අහන්ටත් හදල ආය ඕන නෑ කියල හිතුන...හෙහ්,හෙහ්,"

කඩ මණ්ඩියේ එක් කෙළවරක කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ගුණදාසගේ ඝණව වැඩුනු විශාල උඩු රැවුළ සහ කාළවර්ණ දේහය මුල් වරට දකින්නෙකු තුල චකිතයක් ජනිත කලද තමන්ගේ පාඩුවේ දිවිපෙවෙත ගෙවූ හෙතෙම ඉතා යහපත් මිනිසකු විය.

විවාහවී අත්තනකඩවල නිලනිවසෙහි පදිංචියට ගිය ආසන්නයෙහි එක් සති අන්තයක මම බිරිඳද සමඟ හාල් සිල්ලර බඩු ස්වල්පයක් මිළදී ගැන්මට කඩ මණ්ඩියට ගියෙමි. සුපුරුදු පරිදි අප ගනුදෙනු කරනා සිල්ලර වෙළඳ සැල පසුකොට මම කඩමණ්ඩිය කෙළවර වූ ගුණදාසගේ වෙළඳ සැල වෙත ඇය කැඳවාගෙන ගියෙමි. 

"ඇයි අනේ මේ තව දුර යන්නෙ? අර කලින් බඩු ගත්තු කඩේටම යමුකො.." ඇය මදෙස හැරී පැවසුවාය.

"යංකො ඔයාට වැඩක් පෙන්නන්න. හැබැයි එතන අනම් මනං කියන්නෙ එහෙම නෑ ඔන්න" මම ඇයද සමඟ ගුණදාසගේ වෙළඳ සැලට ඇතුලු වූයෙමි. 

"ආ..මහත්තය දැක්ක කල්...අපිට ආරංචි වුනා කසාදයක් එහෙම බැන්දයි කියල.."

"මොන බොරුද මුදලාලි…කවුද ඔය බොරු කතා කියන්නෙ?"

" ඈ? එතකොට මේ? "

"මේ මගෙ නංගි...."

"හෙහ්..හෙහ්..මහත්තයත් කියන කතා..ඉන්ටකො හොඳ බඩ ඉරිඟු වගයක් හම්බ වුනා. පිටිපස්සෙ ඇති මම අරගෙන එන්නං" ගුණදාස ඝණ අඳුරින් පිරුණු වෙළඳ සැල අභ්‍යන්තරයට ඇතුලු විය. 

"ඒයි..මේ...ඒ මුදලාලි කවුරු වගේද හරියටම? මට හොඳට දැකල පුරුදු මූණක්….." බිරිඳ හිස හරවා විමසූයේ නළලද රැළි ගන්වා ගනිමිනි.

"ඕකනෙ මම කිව්වෙ කෑ ගහන්ට එපා කියල. දැං බඩ ඉරිඟු අරං ආවම ආයම මූණ දිහා බලල මතක් කරන්ටකො බලන්ට. හැබැයි කන්ට වගෙ බලා ඉන්ට එහෙම එපා ඔන්න.."

"අපූරු බඩ ඉරිඟු මහත්තය. මේ උදේ කඩපුව…." ගුණදාස යලි පැමිණියේ දෝත පුරා බඩ ඉරිඟු කරල් හත අටක්ද රැගෙන රැගෙනය. 

ගුණදාසට නොහැඟෙන පරිදි ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ මොහොතක් බලාසිටි බිරිඳගේ දෑස විශ්මයෙන් විශාල විය. "ඒයි මේ මට මතක් වුනා."

"හරි හරි දැං මෙතන කෑගහන්ට  එපා. අපි ඔය ගැන පස්සෙ කතා කරමු." මම ඇගේ අත මිරිකමින් පැවසුවෙමි.

Tuesday, February 9, 2016

387. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 26 - වියාචනය සමඟ පෙර නොකී කතා අසා……



"හුහ්..පැල්වෙහෙර පුතා තමයි..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි ඕකා..මිනිස්සුන්ට අතට කීයක් හරි එන්ට ගත්තම ලැජ්ජාව බය සැක එහෙම්මම අමතකම වෙලා යනවනෙ පුතා" අප්පච්චි එහෙම කියල ආයම දික්සඟලා පුටුවෙ ඉඳගත්ත.

දවස් කීපෙකට පස්සෙ අප්පච්චි ගිහිල්ල පැල්වෙහෙර හම්බවෙලා කෙලින්ම මෙහෙම කියල "පැල්වෙහෙර මේ වැඩේ නැවත්තුවොත් හොඳයි. තමුන් ඕන වෙලඳාමක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ගෙදර අපිට නිදහසේ කණක් ඇහිල ඉන්ට හැටියක් තියෙන්ට ඕනෙ" 

පැලා හැබැයි අපරාදෙ කියන්ට බෑ දෙමලුන්ට පොඩි සත්තමක් දාලද කොහෙද ඊට පස්සෙ සතියක් වගෙ යනකල් සද්දෙ අඩුවෙලා තිබුනලු. ඒත් ආයම කැම්බැල්ලෙ පුරුදු විදිහට පටංගෙන. අප්පච්චි කරල තියෙන්නෙ හවහිම්ම ඉස්සරහ ජනෙල් දොරවල් වහල දාල සාලෙට වෙලා ඉන්ට පුරුදු උනාලු. 

"මගේ මේ ගේ හදද්දි බාගයක් වැඩ කලේ ඔය පැල්වෙහෙරයගෙ අප්පා. නිකං නම් නෙවෙයි තමයි. මම ඌට වැඩිපුරත් එක්ක සල්ලි දුන්න. ඒත් මොනව උනත් ඌ හොඳ එකා. ඒකගෙ මනුස්සකමේ ගුණේ තියන්ට එපාය. නැත්තං මම දනී කරන දේ" අම්ම එක්ක ඔහොම දෙතුන් පාරක්ම කිව්වලු අප්පච්චි. මහ පැල්වෙහෙර ඒ කාලෙ නං දරාපු බාසෙක්.

නමසිය හතළිස් ගණංවල මුල් කාලෙ ඩී.එස්. සේනානායක මහත්තය ඇලහැර ව්‍යාපාරය ආරම්බ කරපු කාලෙ එහෙ ගෙවල් හදන්ට ගිහිල්ල තියනව ඔය පැල්වෙහෙරගෙ තාත්තා. ඒ ගිය ගමන අවුරුදු හත අටක්ම එහෙ ඉඳල එහෙන්ම පෙලවහකුත් කරගෙනම තමයි ආපහු ගමට ඇහිල්ල තියෙන්නෙ. ඒ හැබැයි ඔය පැල්වෙහෙරගෙ අම්ම නෙවෙයිලු. ඒ මුල් කසාදෙ පවුල උණ වසංගතේකිං මැරිල පලච්චට පස්සෙං පහු තමයිලු ඔය පැල්වෙහෙරගෙ අම්ම කැන්දං ආවයි කියන්නෙ මෙන්න මේ රත්තොට දිහාවෙං. රත්තොටට මාතලේ ටවුමෙං හැරිල යන්ට ඕන හැතැම්ම දොලහක් පාළහක් වගෙ.

ඔය ගොවි ජනපදවල මුල් කාලෙ විස්තර අහන්ට මම හරිම ආසයි. මම ඔය බකමූණ, අත්තනකඩවල, දියබෙදුම දිහා වැඩකලානෙ අවුරුදු අටක් තරම. කිව්වම මොකද එහෙ ඉන්දැද්දි තමයි ඔය අපෙ ගුරුවරීව මුලිච්චි උනෙත්. ඒ ගැන මං කලින් බොහොම විස්තර කියල තියනව. ඉතිං ඔය බඳින්ට කලිං එහෙම මම එහෙ නැවතිල හිටියෙ නිල නිවාසෙක තව මගෙ බඩ බැඳගත්ත වගෙ යාලුවෙක් එක්ක.

යාලුව ඔය දවස් දෙකකට සැරයක් වගෙ ගෙදර ගිහිං එනව. මිනිහ දරුපවුල් කාරය. ඊට අමතරව ඒ කාලෙ වෙනකොට ගේත් හදනව. ඉතිං පුලුවං හැම වෙලාවෙන්ම ගෙදර දුවල එන්ට යනව. එයා ඇවිල්ල අළුවිහාරෙ. ඉතිං ආය මොනවද කෝටස් එක ඉස්සරහිං බස් එකට නැග්ගම එයාලගෙ ගේ ගාවිං බැස්සෑකි උපරිම පැය එකහමාරකිං. 

මම ඒ කාලෙ තනි කඩය. ඒ හින්ද සෙනසුරාද වරුවෙං තමයි ගෙදර යන්නෙ.ඒ කාලෙ අපි වැඩ කලේ දින 5 1/2 සතියක්. දැනට දශක තුනකටත් වැඩි මගෙ රාජකාරි ජීවිත කාලෙම සම්පූර්ණ දවස් දෙකක සති අන්තයක් සහිත රස්සාවක් කවදාවත්ම කරල නෑ කියල කිව්වොත් විස්වාස කරනවද?ඒත් ඒක තමයි ඇත්තම ඇත්ත. බොහෝවිට දින 6 සතියක් . නැත්තං ඉතිං දින 5 1/2 තමයි. මේ අවුරුදු තුනකට වගෙ ඉස්සර රස්සාවක් කලා ඒකෙ නම් සිකුරාදා සහ සෙනසුරාදා නිවාඩු. ඒත් සති දෙකකට සැරයක්. ඒකත් කරන්ට වුනේ අවුරුද්දක් වගෙ තමයි. ආපහු දින 6 සතියට යන්ටවුනානෙ. මොනව කරන්නද? එහෙම තමයි ජීවිතේ හැටි නැද්ද?

ඉතිං මේ සති අන්ත කතාවෙ මූලාරම්භය කොහෙද? ආ..හරි අර මම ගොවි ජනපදයක සේවය කරපු කාලෙ ගැන කතාවෙන් නේද? ආ..මේ තව දුර යන්ට ඉස්සර තව බොහොම වැදගත් කාරණයක් කියල හිටින්ට ඕමනයි. 

(ඕමනයි..එහෙම කියන්නෙ කවුද කියල මතකයි නේද?) 

මොකක්ද කාරණෙ කිව්වොත්...කාරණේ මෙහෙමයි. දැන් මම බලවත් අදිස්ටානෙකින් නෙව හිටියෙ මගෙ ඉලක්කය කරා යනවාමය වෙන වෙන අතුරු කතා කියන්ට ටැහ් ගැහෙන්නෙ නැතය කියල. ඉලක්කෙ කියල කිව්වෙ අර අපේ උන්දැගෙ උපං දෙනිය නිමිත්තෙං (එවුන්දැගෙ පුංචි අක්කගෙ දෝණියන්දැ හිච්චි එකී කාලෙ උපන් දිනේට කිව්වෙ උපං දෙනිය කියල . තව ඔහොම අටෝරාසියක් වචන තියනව පොඩි එවුං බහ තෝරන කාලෙ කියපුව. කල්යූටි, පයිඩූර්, කුක්කු බිබී, කොක්ක බා මා, එපිල් කොට්ටරේ..බාසුන්යා..අන්න ඒ වගෙ..ඒ ගැන ආය දවසක වෙනම පෝස්ට් එකක් ලියන්නං) මම කියන්ට පටං ගත්තු කතන්දරේ කියල ඉවරයක් කරන එක. අර Blinkers දාපු අස්සය වගෙ.

බ්ලින්කර්ස් කියන්නෙ රේස් දුවන අස්සයින්ට පිටිපස්සයි දෙපැත්තයි නොපෙනී ඉස්සරහ විතරක් පේන විදිහට දාන ඇස් ආවරණ වලට. එහෙම ඉලක්කෙ විතරක් පේනකොට අස්සය ආය නෑ කඟවේනා වගෙ කඩාගෙන යනවලු දිනුං කණුවට.

ඉතිං මම එහෙම ඉස්තිර අදිස්ටානෙන් හිටියට ඔන්න පාටක ජනතාව එහෙං මෙහෙං ඤං පචං ඤරු ඤුරු ගාන්ට ගත්ත පොඩ්ඩක් විතර පඳුරු තැලිල්ලකුත් තිබ්බනං තමයි ආතල් ද බ්‍රේව් කියල. විසේසයෙන්ම අර හෙන්රි නොහොත් "වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, ළවැලි තලාවක විසුල කුසුම් මත, අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලාසඳ නැඟෙනා හෝරාවේ..ලලලා ...ලාලලා..ලාලලලා..ලා..ලා..."

ඊට අමතරව පහත නම් කියවෙන දයාබර පාටක බවතුන්ද ඉල්ලිම කර තිබුනා ඔය යන විදිහටම යමුය හදිස්සියක් නැතය කියල... ඉයන්, උදය, කසුන්, දිනේෂ්, සහ තිසර

එනිසාවෙන් මම කල්පනා කලා මෙන්න මෙහෙම ඩිස්ක්ලේමර් එකක් දාන්ට.

වියාචනයයි. (වියාචනය කියන්නෙ ඩිස්ක්ලේමර් කියන එකට හොඳද?) 

නිදහස් සිතුවිලි යන සන්නාමය යටතේ (අතිගරු රන්දිල් තරුණ නෝනා මහත්මිය විසින් විසින් අරඹන ලද) වෙබ් අඩවියක් පවත්වාගෙන යන මවිසින් වර්තමානයෙහි රචනා කොට හුදීජන පහන් සංවේගය උදෙසා ප්‍රසිද්ධ කරනු ලබන (මෙම වරහන් ඇතුලත නොහොත් විතින් බ්‍රැකට්ස් තුල කොටස වියාචනයට අයත් නොවන බව කරුණාවෙන් සළකන්න. ඒ වනාහී හුදු පැහැදිලි කිරීමක් පමණි. හුදී ජන පහන් සංවේගය උදෙසා කියල තමන් ලියපු පොතක අවසානයෙ සඳහන් කල මහා ලේඛකයා කවුද කියල දන්නව නේද?..මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා.එතුමාගෙ ගම්පෙරළිය පොත අවසානයෙ මෙහෙම තියනව. සිංහල වංශ කථාවෙහි අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ගම්පෙරළිය මෙතෙකින් නිමියේය) ගුරුවරියක සමඟ මගේ ජීවිතය ජීවිත සැමරුම් කතා මාලාවෙහි ඉකුත් වසරේ උඳුවප් මස තුදුස්වන දිනට යෙදුනු ඇගේ ජන්ම දිනය සමරනුවස් ඇරඹූ කථාව වහා නිම කරනු රිසියේ වී නමුදු පෙර නොකී කතා රචක හෙන්රි ප්‍රමුඛ ඉයන්, උදය, කසුන්, දිනේෂ්, සහ තිසර යන දයාබර පාඨකයින්ගේ බලවත් ඉල්ලීම හේතුකොටගෙන තව දුරටත් විස්තාරණය කිරීමෙහිලා තීරණය කළෙමි.ඒ හේතුකොටගෙන මවෙත ලැබෙනා සියළු රොස්පරොස්බස්, අවලාද, ගැරහුම් සහ ආක්‍රෝශ පරිභවයන් කිසිසේත්ම භාරනොගන්නා අතර ඒ සියල්ල ඉහත සඳහන් කල පකට පුඟුලන් වෙත යොමු කල යුතුබැව්ද මේ වියාචනයෙන් දන්වා සිටුම්හ. 

ඒ වගටත් මෙසේම මම්ම වම්හ.

ඉතිං මේ විදිහට මට පේන්නෙ අපේ උන්දැ කිව්ව විදිහට එවුන්දැගෙ ඊලඟ බේඩ්ඩෙ එක එනකලුත් මේ කතාව ඇදෙයි වගෙ. ඒත් ඒ හැටි අවුලක් වෙන එකක් නෑ. එහෙම උනොත් මෙහෙම කරමු. කොහොමද?

ඔන්න ඔහොම දිගටම ඇදගෙන ගිහිල්ල මේ අවුරුද්දෙ බේඩ්ඩේ එකට කලිං සුමානෙ තමයි කතන්දරේ ඉවරයක් කරන්නෙ. ඊගාවට ඊලඟ සුමානෙ ආයම එනවනෙ තව බේඩ්ඩේ එකක්. ඒකට තව කතන්දරයක් පටං ගන්නව. ඒකත් ඇදගෙන යනව ඊලඟ බේඩ්ඩේ එකට සුමානයක් වෙනකල්. ඔහොම දිගටම වැඩේ කරගෙන ගිහෑකි..හෙහ්,හෙහ්…

අර ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ එස්.ඊ.සී. එක නොහොත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ගම්උදාවෙ වැඩ කලෙත් එහෙමයි. ඒ කියන්නෙ එස්.ඊ.සී. එකේ වෙනම යුනිට් එකක් තිබ්බ ගම් උදාවෙ වැඩ කරන්ට. ඔය සිරීපාද ගහන්ට, සීගිරියවල් හදන්ට, අටවිසි බුද්ද රූප නෙලන්ට එතකොට දේව රූප අඹන්ට ඔය වගෙ නොයෙක් වැඩ.එක ගම් උදාවක් ඉවරවෙලා ඒ යුනිට් එකට සුමාන දෙකක් නිවාඩු දෙනව. ඊගාවට ආයම ඊලඟ ගම් උදාවෙ වැඩවලට ලෑස්ති වෙන්ට ඕන.මම ඔය විස්තරේ හරියටම දන්නෙ මගෙ යාලුවෙක්ගෙ මාම වැඩකලා ඔය ගම් උදාව යුනිට් එකේ. අන්න ඒ හින්ද.අච්චර රටට සේවයක් කරන්ට පුලුවන් ආයතනයකින් වැඩ ගත්තෙ අන්න එහෙමයි.

ඉතිං මම ඔය ගොවි ජනපදයක වැඩ කලා කිව්වනෙ. ඉතිං මගෙ යාලුව නිතරම වගෙ ගෙදර යනවයි කියලත් කිව්වනෙ. ඉතිං තනියම ඉන්න දවසට මම කරන්නෙ හවස් වෙනකොටම මගේ කෑලි තුනේ ටෝච් පොල්ලත් අරගෙන සරමත් වලාපොට ගහගෙන ඔහෙ යනව ඇවිදින්ට. අත්තනකඩවල ඒ කාලෙ පොඩි කඩ මණ්ඩියක් තිබ්බ. ඔය කඩමණ්ඩියට කලින් තිබ්බ ඉස්පිරිතාලයක්. ඉස්පිරිතාලයක් කිව්වට ඒක ඇවිල්ල පර්යන්ත ඒකකයක්. එව්වට ඉංග්‍රීසියෙං කියන්නෙ Peripheral Unit කියල. 

මම අර වාංපතුල් කතා සීරීස් එකේදි කිව්වෙ මගෙ හිතවත් දොස්තර කෙනෙක් ගැන. එතුමා වැඩ කලේ ඔය රෝහලේ. දොස්තර කිව්වට ඒ. එම්.පී. කෙනෙක්. නැත්නං සහකාර වෛද්‍ය වෘත්තික. සහකාර වෛද්ය නිලධාරී කියල තනතුරු නාමය වෙනස් වුනේ ඊට පස්සෙ. ඒකටත් මට මතක විදිහට සෑහෙන බාදා එල්ල වුනා ජී.එම්.ඕ.ඒ එකෙං. ඒ මිනිස්සු නං ඉතිං විරුද්ද වෙන්නෙ නැත්තෙ මොකටද නේද එක අතකිං බැලුවම ..නැද්ද මං අහන්නෙ?

වහ බීල කෙල්ලෙක් ඉස්පිරිතාලෙ අරං ආපු සීන් එකක් එහෙම මම කිව්ව මතකයි නේද? ඒක වුනෙත් ඔය අපේ හිතවත් දොස්තර මහත්තය එක්ක එතුමාගෙ නිල නිවාසෙ පොඩි ආතල් එකක් ගනිද්දි. 

ඉතිං මම අර කිව්වෙ ටෝච් එකත් අරගෙන ඇවිදින්ට යනවයි කියල. ඔහොම වැඩිපුරම යන්නෙ රාළහාමිලගෙ ගෙදරට. මම මේ කියන රාළහාමි තමයි ගම්පති ක්‍රමය අහෝසි කරල ග්‍රාමසේවක ක්‍රමය ක්‍රියාත්මක කරන්ට ඉස්සෙල්ල මුලු පළාතම පාලනය කරන්ට ආණ්ඩුවෙං පත්කරපු මුලා දෑනිය. ඔය මම කියන්නෙ සුද්දගෙ කාලෙ. ඒ තනතුරට කිව්වෙ Village Headman කියල.

නමසිය හතලිස් ගණං වල ඔය ගොවි ජනපද ඩී.එස්. මහත්තය පටං ගත්ත කාලෙම ඔය මම කියල රාළහාමි මාතලේ පල්ලෙපොළ ඉඳල කරත්තයකුත් දක්කගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත් ජනපදයෙ ආණ්ඩුවෙන් අලුතෙන් හදන ගෙවල් වලට ඕන ගොඩනැඟිලි ද්‍රව්‍ය ප්‍රවාහන කොන්ත්‍රාත් එකක් කරන්ට. ඒ කාලෙ මඩිං අක්කර පහක් දුන්න. ගොඩිං අක්කර තුනක්. මඩවල එස්. රත්නායක මහත්තය " අක්කර පහ " කියල නවකතාවකුත් ලිව්ව මතකද? ඒ මිනිපේ ගොවි ජනපද ව්‍යාපාරය ගැන. ගොවි ජනපදවල ඒ කාලෙ ගොඩිං අක්කර තුනක් දීල ඒකෙ ආණ්ඩුව ගානෙ ගේකුත් හදල දුන්න.

ඔය හදන ගෙවල් වලට ඕන කරන ගඩොල්, සිමෙන්ති එහෙම අරගෙන යන්ට ඒ කාලෙ කරත්ත කුළියට අරගෙන තියනව ආණ්ඩුවෙන්. මම ඔය කියල රාලහාමිත් ඒ වැඩේට ආපු කෙනෙක්. ගෙවල් වල වහලට එතනිං ගිහාම දොර ජනේල උලුවහු වලට ඕන ලී ඉරල තියෙන්නෙ ඒ පැත්තෙම තැනින් තැන හදාපු ආණ්ඩුවෙ ලී මෝල් වලිං. ඔය පරණ ගොවි ජනපදවල අනිවාර්යයෙං සෝමියල් හන්දිය කියල එකක් තියනවාමයි. ඒතමයි අර ඒ කාලෙ ලී මෝල තිබ්බ තැන. Saw Mill = සෝමියල්

ඉතිං මලහිරු යෝද ඇල උඩහිං බැහැගෙන යද්දි, හතර අතිං අඳුර හලාගෙන එද්දි, කළාමැදිරියො පස්චාත් බාගයෙ ආලෝකය නිවි නිවි දිලෙද්දි එකා පස්සෙ එකා පියඹද්දි, මා වවුලො රංචු පිටිං දියබෙදුම පැත්තට තටු සලද්දි ගම්පති නිවසෙ ආලින්දයෙ වාඩිවෙලා මා එක්ක රාලහාමි කියපු ඒ රසබර පරණ මතක සැමරුම් වැඩි විස්තර සහිතව ආය දවසක කියන්නං. 

"රාළහාමි ….. ඉතිං ඔය ඩී.එස්. මහත්තය මේ පැත්තෙ නිතර ආව ගියාද?" 

"අපොයි ඔව් මහත්තය. උන්නැහැ කොහොමත් මාස තුන හතරකට සැරයක් මෙහෙ එනවමයි.ඒ ආපුවම දවස් දෙකක් තුනක් නැවතිල විස්තර අඩුපාඩු හොයල බලල තමයි ආපහු කොළඹ යන්නෙ." 

"තව අපූරු කතාවක් තියනව මහත්තයට කියන්ට...හෙහ්,හෙහ්,"

"ඒ මොකද්ද රාළහාමි?" 

"මහත්තයට පරක්කු වෙන්නෙ එහෙම නෑ නේද?" 

"මොන පරක්කුවක්ද රාළහාමි?.... අද මම විතරයි තනියම.... යාලුවත් ගෙදර ගිහිල්ල එන්ට ගියා. ගිහිල්ල කාල නිදාගන්ටනෙ තියෙන්නෙ. ඉතිං මොන පරක්කුවක්ද?" 

"අතන විසිතුනේ ගෙදර දන්නව නේද?" 

"ඔව්….අර සමූපාකාරෙ ගාවිං දකුණට හැරිල වැලිපාර දිගේ ගිහිල්ල." 

"අන්න හරි ඔය විසිතුනේ ගෙදර හිටියෙ බම්බාව ( බම්බාව තියෙන්නෙ ගලේවෙල කිට්ටුව ) පැත්තෙං ආපු කට්ටියක්.ඒ පවුලෙ එක ඉලන්දාරියයි හිටියෙ. ඒ වෙනකොට මිනිහට අවුරුදු දහ අටක් වගෙ ඇති. මගේ වයසම තමයි." 

"ඉතිං?" 

"මිනිහ ඔය නුවර දිහාවෙ සුද්දෙක් ගාව වැඩකරල කාර් එලවන්ට ලයිසන් එහෙම තිබ්බ. ඩී.එස්. මහත්තය ආපු දවසක ඒ කොල්ලගෙ තාත්ත කොල්ල ගැන විස්තර කියල තිබ්බ. පස්සෙ කොහොම හරි ඩී.එස්. මහත්තයගෙ පොල් වත්තක් තිබ්බලු ඒ කාලෙ වෙන්නප්පුව පැත්තෙ. ඔය වත්ත බලාගන්ට මේ කොල්ලව ඩී.එස්. මහත්තය එක්කගෙන ගියා" 

Tuesday, February 2, 2016

386. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 25 - පැල්වෙහෙරගේ මත්පැන් ව්‍යාපාරය සහ දෑවැද්දට ලැබීමට නියමිත දික්සඟලා පුටුව.


එසේ හෙයින් ඇය මෙසේ බැලිස්තික මනෝභාවයට (Ballistic Mode) අවතීර්ණ වූ කල්හි තත්වය (ඔන්න ඕක තමයි පුංචි අම්මෙ පුළුකුණාවෙ තත්වෙ ......ඒ කතන්දරේ දන්නව නේද?) හැකිතාක් දුරට නියාමනය කොටගනු පිණිස මවිසින් අනුගමනය කරනා චිරාත් කාලයක් භාවිතා කොට සුබපල ගෙනදුන් (Time Tested) ප්‍රතිකර්මය අනුගමනය කලෙමි.එනම් මෞන ව්‍රතය රකිමින් සයනයෙන් නැඟී නිදන කාමරයෙන් පිටවූයෙමි.

විවාහ ජීවිතයේ මතුවන බහුතරයක් මත භේද සහ ගැටුම් ආදියට ප්‍රත්‍යක්ෂ විසඳුම මුනිවත රැකීම බව මම අත්දැකීමෙන් දත්තෙමි. මට ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ.

දැන් මේ කතන්දරේ ඉවරයක් කරල දාමු නේ? ඒ කියන්නෙ මම මේ සීන් එක ලියන්ට සෙට් වුනේ අපෙ උන්දෙගෙ බේඩ්ඩේ එකටනෙ. ඒ කිව්වෙ දෙසැම්බර් 13 වෙනිද. කොටිම්ම මාස එකාමාරක්ම ගියා. තාම කතාව ඉවරයක් නෑ.අපෙ උන්දෙ මේ ඊයෙද කොහෙද කතා කරපු වෙලාවක මට වගපලත් කියාපි. "ඔහේ අර මගෙ උපංදිනේට පටංගත්තු කතාව තවම ඇදගෙන යනව නේද? කවද්ද දැං ඕක ඉවරයක් කරන්ට හිතාගෙන ඉන්නෙ? මට පේන්නෙ මේක මගෙ ඊලඟ උපංදිනේ වෙනකල්ම අදින සයිස් එකක් තියෙන්නෙ" ඔන්න ඔහොම.

බලාගෙන ගියාම බොරුවකුත් නෙවෙයි. ඒ හින්ද මම තීරණය කලා එක දිගටම මේ කතාව ලියල ඉවරයක් කරන්ට. ඔය නඩු ගැන පත්තරේ හිටපු ගමං තියෙන්නෙ. නඩුව අවසාන වනතෙක් මේ මස 16 වනදින සිට එක දිගට නඩුව ඇසීමට විනිසුරු තුමා තීරණය කලේය. අන්න ඒ වගෙ.එහෙම තීන්දු දෙන්නෙ නඩුකාරයටත් මේ රබර් වගෙ ඇදෙන නඩු ඇහිල්ල එපාම උනහම. ඉඩං නඩු තමයි ඔය ඇදෙන එකට බොහොම ප්‍රසිද්ද. අර කතාවටත් කියන්නෙ එයා මහ ඉඩං නඩුවක් කියල.

ඉඩං නඩු ගැන කියනකොට මට මතක් වෙන්නෙ......එක්කොත් ඕන නෑ..ඒක පස්සෙ දවසක කියන්නං...නැත්තං මගෙ අදිස්ටානෙ බිඳ වැටෙනව. මොකක්ද අදිස්ටානෙ? අදිස්ටානේ වනාහී හැකි ඉක්මනට ගුරුවරීගෙ උපන්දිනේ වෙනුවෙන් පටන්ගත්ත කතන්දරේ ඉවරයක් කරල දාන එක.

ඉතිං එදා රාත්‍රියෙ නෝ කතා නෝ සිනා.අර සුප්‍රසිද්ද කතාවෙ විදිහට වෙන්නෙ බාර්යා තොමෝ උයල පිහල මේසෙටත් බෙදල "අන්න උයල මේසෙට ඇරලයි තියෙන්නෙ කන කෙනක් කන එකයි ඇත්තෙ" කියල කියන එකනෙ. අපේ ගෙදර ඔය වැඩේ වෙන්නෙ ටෝටලි ඔපසිට් ආකාරයට. ඒ කිව්වෙ සම්පූර්ණ පරස්පරය. ඒ කිව්වෙ ඔහොම තත්වයක් උනාම මම තමයි උයන්න ඕන. ඉතිං මම බොහෝවිට කරන්නෙ ගිහිල්ල කඩෙං ඔය මොනවහරි අරගෙන එනව. නූල්ඩස්, කොත්තු, බිත්තර ආප්ප ඔය අනම් මනම් තියනවනෙ. ගෙනල්ල සාලෙ ඉඳම්ම කියනව එහේට ඇහෙන්ට "මේ මෙන්න කෑම ගෙනාවා. කන කෙනෙක් කන එකයි ඇත්තෙ" කියල.

ඊගාවට අර සුප්‍රසිද්ද කතන්දරේ තව කොටසක් තියනවනෙ. රෑට නිදාගන්ට ගිහිල්ල බාර්යා තොමෝ කියනවලුනෙ මෙහෙම "ඔන්න XXXX XXX කරලයි තියෙන්නෙ. ඕනනං XXXXX එකයි ඇත්තෙ" කියල...හෙහ්,හෙහ්...දැං ඔබ තමුන්නාන්සෙලා හිතන්නෙ අපේ ගෙදර ඔය සීන් එක කොයි විදිහට වෙනව ඇතිය කියලද? කිසිවක් නොපවසමි...ඩයාබර පාටක ඔබගේ පරිකල්පන සක්තියට සපුරා ඉඩ දෙන්නෙමි...අන්ඩර්ස්කර්ට්..නෝ?

හරි එතන සීන් එක හිතාගන්න එක ඕගොල්ලන්ටම බාරදීල මම එන්ටර් වෙන්නං ආයම කතන්දරේට.පහුවදා අපි දෙන්න එයාලගෙ මහගෙදර යන්ට කතාවෙලයි හිටියෙ. අපි දෙන්න ඔය කොහොමත් මාසෙකට වගෙ සැරයක් ඒ පැත්තෙ ගිහිල්ල එනව රැයක් කාරිය ගතකරල.

පහුවදා උදේ ඔන්න ඇහැරල ගොලු මන්තරේ මතුරපු ගමරාලයි ගමහාමිනෙයි වගෙ අපි දෙන්න ලෑස්තිවෙලා දොට්ට බැස්ස එයයිලගෙ ගෙදර යන්ට.ඔය ගොලු මන්තරේ මතුරපු කතාව මට හරියට මේ වෙලාවෙ මීටර් වෙන්නෙ නෑ.මතකයට ආපු වෙලාවක කියන්නංකො..හොඳේ...( ඒකත් හොඳ වෙලාවට නේද?)

එදා එයාලගෙ ගෙදර යන ගමන යන්ටම ඕන එකක්. ඒකට හේතුව එයාලෙගෙ අප්පච්චි කරපු වැඩක්. ඔය මගෙ මාමණ්ඩි ඉන්නව නේද? (ඉන්නව නේද කියල කිව්වොත් හරියටම හරිනම් නෑ. මොකද එතුමා දැනට අවුරුදු දෙකකට වගෙ ඉහතදි අභාවප්‍රාප්ත වුනා) හරිම කෙලින් මනුස්සය. වචන දෙකක් නෑ කිව්වොත් කිව්ව. කියන්ට තියන එක ආය නෑ මූණටම කියනව දෙයියන්නාන්සෙට උනත්. ඔය ලබ්බ ගලේ ගැහුව වගෙ කියල දාන එක හින්ද සමහර වෙලාවට අසල්වැසියො, නෑදෑයො පොඩි පොඩි සිත් රිදවීම් එහෙම ඇතිකරගෙන අමනාප වෙලත් තියනව.

"අනේ මන්දා මේ අප්පච්චි මොනව කියනවද මන්ද...ඇත්ත උනත් කියන්ට ඕන ක්‍රමයක් තියනවනෙ. මේක එහෙමද? මූණට ගැහුව වගෙ ඔහොමත් කියනවද?" අපෙ උන්දැයි අක්කලයි කුණු කුණු ගානව. ඒ ඔය එකපාරක් වෙසක් එකට ආධාර එකතුකරන්ට ආපු කොල්ලො කට්ටියකට "උඹලට අරක්කු බොන්ට මම සත පහක් දෙන්නෙ නෑ" කියල මූණටම කියපු වෙලාවෙ.

අප්පච්චි කලිං අවුරුද්දෙ ඔය දන්සැලට සෑහෙන ගාණක් දුන්න. දන්සැල ඉවරවෙලා සංවිධායක මණ්ඩලය පොඩි මදුපානෝත්සවයක් පැවැත්තුවය, එතනිං ගියහම ඒක පැවැත්තුවෙ දන්සැලට එකතුවෙච්චි සල්ලි වලිංය කියල දන්සැල දීල ඊලඟ සතියෙ ගම පුරා කටකතාවක් ප්‍රචාරය වුනා. අප්පච්චි අර කොල්ලන්ට සත්තම දැම්මෙ අන්න ඒ හින්ද.

අප්පච්චිගෙ හැටි සොබාව දන්න හින්දම කොල්ලො ඒ කතාව ගණං ගත්තෙ නෑ "අනේ නෑ මාමෙ..අපි ඔය වැඩේ ඉවරවෙලා පොඩ්ඩක් ගත්ත තමයි. ඒත් සම්මාදම් එකතුවුන සල්ලි සත පහක්වත් ඒකට ගත්තෙ නෑ. අපේ අතින් සල්ලි දැම්මෙ" ඒ කොල්ලො එහෙම කියල මිදුලට බැස්ස.

මම ඒ වෙලාවෙ මිදුලෙ හිටියෙ. කොල්ලො කට්ටියට ගේට්ටුවෙං එලියට යන්ට ඇරල අපෙ උන්දැ මට කතා කලා. " මේ..අප්පච්චිට නොපෙනෙන්ට යංකො පාරට"

අපි දෙන්න ගේට්ටුවෙං එලියට බැහැල බලනකොට කොල්ලො කට්ටිය ඈත යනව. "මේ මල්ලිලා පොඩ්ඩක් ඉන්නවද?" අපේ උන්දැ අප්පුඩියක් එහෙම ගහල කතාකලා.

කොල්ලො කාණ්ඩෙ නැවතිල ආපහු හැරුන. අපෙ උන්දැයි මායි එතනට ගියා. "අනේ මල්ලිලා ඔය අප්පච්චි කියන එව්ව ගණං ගන්න එපා. දන්නවනෙ උන්දැගෙ හැටි."

"අනේ නෑ අක්කෙ අපි මාමගෙ හැටි දන්නවනෙ. අනික මාමගෙ එකක් තියෙන්නෙ කියන්ට තියන දේ මූණටම කියනව.උඩිං එකයි යටිං එකයි නෑ. මූණිච්චාවට සල්ලි කීයක් හරි දීල පස්සෙ නැති තැන පස් පඩංගුවෙ බණින්නෙ නෑ. අපි ගරු කරනව ඒකට " කොල්ලො කිව්ව.

"ඒක තමයි මම කියන්ටද?.... මල්ලිල මේක ගන්නකො මගේ නම දාල ලියන්න.."
.උන්දැ අතේ ගුලිකරං හිටපු කීයක්ද දුන්න.

" ම්ම්ම්..කමක් නැද්ද අක්කා?..."


"නෑ නෑ කමක් නෑ…. ගන්න ගන්න"

"එවුංට ඔයා කීයක් දුන්නද?"
ආපහු එනගමං මම ඇහුව..

"රුපියල් දෙසීයක්...නැත්තං මදිනෙ.."

"හප්පා..නරකම නෑ..ඔන්න බලන්ටකො ඔවුං මේ පාරත් ඔය සල්ලි වලං බොයි කුදාර් වෙන්ටම.."


"කෑ ගහන්ට එපා අනේ…" උන්දැ වටපිට හෝදිසි කරල ආයම මගෙ පැත්තට හැරුන. "එතන ඉන්න කොල්ලො සෙට් එකම මම අඳුනනව. ඔවුං හැමෝම වගෙ අපේ නෑදෑයොත් වෙනව. අනික ඔක්කොමල වගෙ රස්සාත් කරනව. ඔය සම්මාදං කරන සල්ලි වලිං බොන්ට උංට එහෙමට ඇති අහේනියක් නෑ."

"මම කියන්ටද? අපි මෙහෙම කරමු. අපේ සල්ලිවලිං ඔවුං බොනවද කියල පරීක්සා කරන්ට දන්සැල ඉවරවෙන වෙලාව අල්ලල මම ඒ පැත්තෙ යන්නං."


"නෑ..නෑ..නෑ..ඒ පරීක්සා කිරිල්ලෙං කමක් නෑ. ඔන්න ඔහේ මෙහෙට වෙලා ඉන්ට..යන්ට ආය පරීක්සා කරන්ට..මොකටද මම කියන්නෙ එහෙම?" ඈ අවසාන තීන්දුව ප්‍රකාසයට පත්කලා.ඉතිං ආය කාටද මේ අවනඩු කියන්නෙ හැබෑටම?

මම ඔය අපෙ උන්දැ එක්ක ආස්සරේ පටංගෙන මාස දෙකක් වගෙ යද්දි එයාලගෙ අප්පච්චි අසනීප වෙලා මාතලේ ඉස්පිරිතාලෙ නැවැත්තුවා. ඒ වෙනකොට අපෙ සම්බන්දෙ ගැන යම්තමට වගෙ ගෙදරට කියලයි තිබ්බෙ. නොට් ඔෆීෂියලි. ඉතිං සීන් එකට නිල වශයෙන්ම එන්ටර් ද ඩ්‍රැගන් වෙන්ට මේක හොඳම අවස්තාවක් කියල හිතල අතිං කටිං ඇපල්, මුද්දරප්පලං, අන්නාසි, ආනමාලු, නේත්‍රප්පලං, පුහුල් දෝසි, බූංදි, ඥාණකතා, සව්බොර, මස්කට් සහ කිරි පැණි එහෙම එල්ලගෙන මාත් උන්දැ එක්ක අප්පච්චිගෙ ලෙඩ බලන්ට විසිට් එකක් දැම්ම.

"අප්පච්චි මේ තමයි රවී ...අර මං කිව්වෙ"
කියල එතුමී තොමෝ මාව අඳුන්වල එහෙම දුන්න.

අප්පච්චිත් අනේ අපරාදෙ කියන්ට බෑ බොහොම සුහදව ආගිය තොරතුරු කතාබහ කලා මා එක්ක පැය බාගයක් තරම. පස්සෙ ආපහු එන්ට සූදානම් වෙලා "එහෙනං අප්පච්චි මම ගිහිල්ල එන්නං" කියල උන්දැට නැමිල වැන්දම මෙන්න මුන්දැ කියාපි "ඔව්ව ඔහොම තමයි පුතා කරුමයක් පළදෙන්ට තියේනං ඉතිං වළක්වන්ට බෑනෙ ගෙවලම ඉවර කරන්ට එපාය ...නැද්ද මං අහන්නෙ?" කියල. මම නිකං හොල්මන්ද පොල්කොළ වුනා මේ මොකක්ද බොලේ මෙවුන්දැ මේ කිව්වෙ කියල.

පස්සෙ අපෙ උන්දැව බස් එකට දාන්ට මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එකට යද්දි මම මෙහෙම ඇහුව. "මේ..මොකක්ද අර අප්පච්චි කරුම ගෙවන කතාවක් කිව්වෙ? උන්දැගෙ අසනීපෙ ගැනද එහෙම නැත්තං....."

"දෙකටම වෙන්ටැ…."
එතුමී මාදිහා බලන්නෙවත් නැතුව කියාපි.

ඉතිං ඔන්න ඔහොමයි අපෙ මාමණ්ඩිගෙ ගතිගුණ සහ ඇවතුම් පැවතුම්. එතකොට අපි දෙන්න මේ මෞන ව්‍රතය දැඩිව රකිමින් වුවද තකහණියක් එයාලගෙ මහගෙදර යන්නෙ විශේෂ කාරණේකට.ඒක කියන්ට පොඩි පසුබිම් කතාවක් කියන්ටම වෙනව. වැඩේ කියන්නෙ ඒ පසුබිං කතාව නොකිව්වොත් ප්‍රදාන කතාව හරියට වැටෙන්නෙ නෑ ඔලුවට.

අපෙ උන්දැලගෙ ගේ ඉස්සරහම පාරෙං අනික් පැත්තෙ තියනව කඩ කාමර තුනක්.ඕකෙ එලවලු, තුනපහ, හාල්, පිටි,,සීනි එහෙම සිල්ලර වෙළඳාමක් කරනව අප්පච්චිලගෙ ටිකක් විතර දුරිං නෑවෙන මනුස්සයෙක්. මිනිහ අපිට වැඩිය එහෙම සෑහෙන්ට වයසයි. ඒත් නෑ කමට ඒ මනුස්සයට අපෙ උන්දැයි, උන්දැලගෙ අක්කලයි වෙන්නෙ පුංචි අම්මල.අප්පච්චිට කියන්නෙ අත්තා. ඉතිං මනුස්සය මේ සිල්ලර වෙළඳාමෙං ඒ හැටි ලාබයක් නැති තැන අත ගැහැව්ව තව අධික ලාභ සහිත අතිරේක ව්‍යාපාරයකට. ඒ කිව්වෙ මාතලේ ගිය වෙලාවල් වල හොරාට මත්පැන් බෝතල් විස්සක් තිහක් වගෙ ගෙනල්ල වැඩිගාණට විකුණන එක.

දන්නවනෙ මත්පැන් වෙළඳාම කියන්නෙ ඉතාම අධික ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක්. හරියටම කිව්වොත් මිනිස්සුන්ගෙ ආර්තික තත්වය හොඳ වුනත් නරක්වුනත් පන්සලේ හාමුදුරුවන්ට වාසියි වගේ තමයි. මිනිස්සු දුප්පත් උනහම හිතන්නෙ "අනේ අපි මේ ආත්මෙ මෙහෙම දුප්පත් වුනේ පහුගිය ආත්මෙ පිං දහම් කරල නැතිනිසා වෙන්ට ඕන. ඒ හින්ද මේ ආත්මෙ පුලුවන් තරං හොඳට පිං කොරන්ට ඕන" කියලනෙ. ඒ කරල තමං නොකා නොබී හරි කමක් නෑ පුලුවන් උපරිම විදිහට දානෙ උයල ගෙනිහිල්ල පංසලට දෙනව. අනික් අතට මිනිස්සු පෝසත් උනාමත් එහෙමයි. "අනේ අපට මේ ආත්ම බාවයෙ මේ විදිහට වස්තු සම්බාරෙ හම්බ වෙන්නෙ ගිය ආත්මෙ පිං කරපු හින්දනෙ. ඒ හින්ද මතු ආත්ම බාවයෙහි තවත් වැඩි වැඩියෙං ලැබේවා" කියල ප්‍රාර්තනා කරල ඒත් උපරිම විදිහට දානෙ දෙනව.

මත්පැන් පානයත් එහෙමනෙ. වැලේ වැල් නැතුව ඉන්න එකා දුක තුනී කරගන්ට කියල බොනව. යමක් කමක් හම්බ කරගත්තු එකා සතුටට බොනව. ඉතිං මිනිස්සු දුප්පත් වුනත් පෝසත් වුනත් පංසලටයි බාර් එකටයි කිසිම අවුලක් නෑ. පැල්වෙහෙරගෙ බාර් එකත් බලා ඉද්දි නැඟල පලච්චි. මිනිහ කාලයක් ඔය පැල්වෙහෙරෙ (පැල්වෙහෙර තියෙන්නෙ දඹුල්ලෙ ඉඳල හබරණ පාරෙ කිලෝ මීටර් පහක් වගෙ ගියාම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ ගොවිපොලක් එහෙම ඔන්න තියනව පැල්වෙහෙරෙ) ගිහිල්ල මොන මොනවද කරපු හින්ද ගමේ හැමෝම වගෙ මිනිහට කිව්වෙ පැල්වෙහෙර කියල.

පැල්වෙහෙර මත්පැන් වෙළඳාම පටංගත්තට පස්සෙ හවසට ඔතන මිනිස්සු පිරිල එක කැම්බැල්ලයයි.අප්පච්චිගෙ තිබ්බ පරණ කළුවර දික්සඟලා පුටුවක්. අර අකුලන්ට පුලුවන් බාපත කියල ලී දෙකක් එහෙම තියෙන්නෙ. ඒ බාපත දිග ඇරියම ඒ උඩ කකුල් දෙක තියාගෙන බොහොම සනීපෙට නිදාගන්ට එහෙමත් පුලුවං ඔය දික්සඟලා පුටුවෙ.

(අඩේ ඔන්න දැන් නෙව මතක් වුනේ. අප්පච්චි මට ඔය පුටුව දෑවැද්දට දෙනවයි කිය කිය හිටියෙ. මේ පාර නිවාඩුවට ගිහාම ගිහිල්ල ඕක පටෝගෙන එන්ට ඕන ලොරි බාගෙකවත්.)

ඉතිං හවස තේ එහෙම බීල ඇඳිරි වැටිල රෑට බත් කන්ට කතා කරන කල් උන්දැ ඉන්නෙ ඔය දික්සඟලාව උඩ වැතිරිල.ඔහොම ඉන්නකොට හරියටම අත දික්කලා වගෙ ඉස්සරහට පේන්නෙ පැල්වෙහෙරගෙ කඩේ ඉස්සරහ බිතක්කනේ.ඔතන ඊස් මීස් නැතුව සෙනඟ පොදි කනව පැලාගෙං බඩු ගන්ට. බඩු කිව්වෙ හාල් තුනපහ එහෙම නෙවෙයි හෙහ්..හෙහ්.

අප්පච්චි දෙතුං දවසක් මූණ විරවගෙන හිටියට පැලාට මොකවත් කියන්ට ගියේ නෑ. ඒත් වැඩේ එන්ට එන්ටම නරක් වුනේ අපේ ගෙවල් පිටිපස්සෙ වලාකුලුවල ගෑවෙන්ට තරම අහස උසට නැඟිටලා මහ යෝදයෙක් වගෙ ඉන්න හිරුවල කන්දෙ එහා බෑවුමේ තිබ්බ තේ වත්තෙ දලු කඩන දෙමළ මිනිස්සු වත්තෙ පඩි දුන්න දාට පැලාගෙ බාර් එක වැඳ පුදාගන්ට එන්ට පටං ගත්තට පස්සෙං පහු.

ඔය දෙමළ මිනිස්සු ආහම බඩු ගත්ත ගමං යන්නෙත් නෑ. කඩෙං විටකුත් අරගෙන බිත්තියට හේත්තු වෙලා පිලේ ඉඳගෙන ඔහේ කතාකරකර ඉඳල තමයි යන්නෙ.

"මුංගෙ මේ හැටි කැම්බැල්ලෙ මේකුං මෙතන ඉඳලම අරකගෙ ගොසරෑව කෙලල අරිනවද මන්දා නේද පුතා?" දවසක් අපි දෙන්න සති අන්තෙක ගෙදර ගිය වෙලාවක අප්පච්චි මා එක්ක කිව්වෙ දික්සඟලා පුටුවෙන් නැඟිටල පැලාගෙ කඩේ පැත්තට තිබ්බ උස ජනේලෙ වහන ගමං.

මම හිටියෙ ඒ එක්කම තිබ්බ වේවැල් පුටුවෙ ඉඳගෙන. "නෑ අප්පච්චි මම හිතන්නෙ නෑ ….පැල්වෙහෙර පුතා එහෙමත් කරයිද කිසිම බයක් සැකක් නැතුව."

"හුහ්..පැල්වෙ
හෙර පුතා තමයි..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි ඕකා..මිනිස්සුන්ට අතට කීයක් හරි එන්ට ගත්තම ලැජ්ජාව බය සැක එහෙම්මම අමතකම වෙලා යනවනෙ පුතා" අප්පච්චි එහෙම කියල ආයම දික්සඟලා පුටුවෙ ඉඳගත්ත.

දවස් කීපෙකට පස්සෙ අප්පච්චි ගිහිල්ල පැල්වෙහෙර හම්බවෙලා කෙලින්ම මෙහෙම කියල "පැල්වෙහෙර... මේ වැඩේ නැවත්තුවොත් හොඳයි. තමුන් ඕන වෙලඳාමක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ගෙදර අපිට නිදහසේ කණක් ඇහිල ඉන්ට හැටියක් තියෙන්ට ඕනෙ "

*************************************

හරි අදට කතාව ඉවරයි හොඳද? වැඩේ වෙලා තියෙන්නෙ මේකයි දැනටම වචන ගාණ 1700 ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. මම කිව්වනෙ අර එක දිගට නඩුව අහල ඉවරයක් කරනව වගෙ එක දිගටම මේ කතාව ලියනව කියල. හරි ඒ හින්ද මේ සතියෙම ඊලඟ කොටස ලියන්නම්කො.... හොඳද?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...