Saturday, March 5, 2016

119. හදවතට සවන් දෙන්න - හදවතින් සවන් දෙන්න සහ තවත් කතා


දිනක් පුතෙක් සිය පියා කැඳවාගෙන රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට ගොඩ වැදුනේය. වයස්ගත, ඒ නිසා ම ඉතාමත් දුර්වල පුද්ගලයෙකු වූ පියා ආහාර ගන්නා අතරේ ඇඳුම පුරාම ආහාර කොටස් විසුරුවාගත්තේ ඒ කටයුත්තේ නිසියාකාරයෙන් යෙදීමේ හැකියාවක් නොවුණු බැවිනි. අවට සිටි අනෙකුත් පුද්ගලයින් මේ සිදුවීම ඉතාමත් අප්‍රසන්න දෙයක් ලෙසින් ගෙන එකිනෙකා දෙස බලන්නට වුවත්, පුතු සන්සුන්ව ආහාර ගනිමින් සිටියේය.
ආහාර ගෙන අවසානයේ, සිදු වූ දේ පිළිබඳ ව කිසිදු ලෙසකින් අවමානයෙන් නොසිතූ ඔහු, පියා කැඳවාගෙන නාන කාමර‍ය වෙත ගියේය.
එහිදී ඔහු පියාගේ ඇඳුමෙහි වූ ආහාර කැබලි පිස දැමීය. පැල්ලම් සෝදා ඉවත් කළේය. හිස පීරා උපැස් යුවල ද පිසදා නැවත නිසි අයුරින් පැළඳුවේය. නාන කාමරයෙන් ඉවතට පැමිණෙන විට සියල්ලන් ම මුවින් වදනකුදු නොහෙලා ඔවුන් දෙස බලා සිටින්නට වූයේ එවන් අපහසුකාරී අවස්ථාවකට ඒ තරම් සන්සුන් ලෙසින් මුහුණ දෙන්නට කෙනෙකුට හැකි වූයේ කෙසේදැයි අවබෝධකර ගත නොහැකි වූ ලෙසිනි.
අයකැමි වෙත අදාළ මුදල් ගෙවූ පුතු සිය පියා සමගින් පිටතට පිය නගන්නට වූයේය.
අවන්හල තුල ආහාර ගනිමින් මේ සිදුවීම දෙස බලා සිටි එක්තරා වයස්ගත පුද්ගලයෙකු ඒ මොහොතේදි හඬ නැගීය.
“ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මොනවා හරි තියලා යනවා කියලා?”
“නැහැ මහත්මයා, මං මොකුත් තියලා යන්නේ නැහැ”
වයස්ගත පුද්ගලයා නැවතත් හඬ නැගීය.
“නැහැ පුතා, ඔබ තියලා යනවා,

පාඩමක් සෑම පුතෙකුට ම.

බලාපොරොත්තුවක් සෑම පියෙකුට ම !.”







පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.



.............................................................................................

දෙවියන් සැම තැන ම! ඔබ තුල ම!

එක් පුංචි පුතෙකුට දෙවියන් මුණ ගැසීමේ බලවත් උවමනාවක් තිබිණි. දෙවියන් සිටින ඉසව්වට යන ගමන බොහෝ දුර ගමනක් බව දැන සිටි ඔහු දිනක් ගමනට උවමනා කෑම බීම සුදානම් කර, ඒ සියල්ල සූට්කේසයක අසුරා, ගමන ආරම්භ කළේය.
නිවාස තුනක් පසුකර, උද්‍යානය අසලින් පිය නගන ඔහුට බොහෝ වයස්ගත වූ කාන්තාවක් දක්නට ලැබිණි. ඇය උද්‍යානයෙහි බිම වාඩි වී අසල උන් පරෙවියන් රෑනක් දෙස නෙත් යොමාගෙන සිටියාය.
පරෙවියන් දෙස බලමින් පුංචි පුතු ද ඇය පසෙකින් වාඩි වී සිය සූට්කේසය විවෘත කළේය. ගෙන ආ බීම බෝතලයෙන් ස්වල්පයක් කෝප්පයකට දමා ගත් ඔහු එය පානය කරන්නට යත්ම, මහළු කාන්තාව කුසගින්නේ සිටින්නේ යැයි ඔහුට හැ‍ඟෙන්නට විය.
ඔහු තමන් ගෙනා ආහාරයෙන් කොටසක් ඇයට පෑවේය. ඇය ඔහු හා සිනාසෙමින් කෘතඥපූර්වක ව එය පිළිගත්තාය. ඉතාමත් සිත්ඇදගන්නාසුළු වූ ඇගේ සිනාව නැවත දකින්නට සිතක් පහළ වූ පුංචි පුතු ඇයට සිය පානයෙන් කොටසක් ද ප්‍රදානය කළේය. නැවතත් ඇය ඔහු හා සිනාසුනාය. ඔහු එයින් බොහෝසෙයින් සංතෝෂයට පත් වූයේය.
එදින මුළු හවස්වරුව ම කමින්, බොමින්, සිනාසෙමින් කාලය ගතවී ගියේය. නමුදු එකඳු වදනක්වත් ඔවුන්ගේ ඒ ප්‍රීති සමාගමයට බාධාවක් වෙමින් හුවමාරු නොවීය.
අඳුරු වැටීගෙන එනවිට පුංචි පුතුට සිය නිවස සිහිවිණි. එබැවින් පිටව යන්නට නැගී සිටියත්, ඔහුට පියවර දහයකට වඩා ඉදිරියට යන්නට අපහසු විය. ආපසු හැරී මහළු කාන්තාව වෙත පිම්මේ දිව ආ ඔහු ඇය වැළඳ ගත්තේය.
ඇය එතෙක් පෑ සිනා සියල්ලට ම වඩා විසල් වූ සිනාවකින් ඇගේ සංතෝෂය පා ඔහු වෙත සතුට ගෙන ආවාය. අනතුරුව ඔහු පිටත් ව ගියේය.
නිවසට පැමිණි සිය දරුවාගේ සතුටින් පිරුණු මුව කමළ දුටු පුංචි පුතුගේ මව් පුදුමයට පත්ව මෙසේ විමසුවාය.
“ඔයා අද ඔච්චර සතුටින් ඉන්නේ, මොනවද ඇත්තට ම වුණේ?”
“මම අද දෙවියන් එක්ක දවල් ආහාරය ගත්තානේ”යි පිළිතුරු දුන් ඔහු සිය මව යමක් පවසන්නට පෙර එයට මෙසේද එක් කළේය.
“ඔයා දන්නවද අම්මේ? මං මෙච්චර කාලෙකට දැක්ක ලස්සන ම ලස්සන හිනාව තියෙන්නේ ඇයටයි!”
මේ අතරතුරේ මහළු කාන්තාව සංතෝෂය නිසා ම දීප්තිමත් වූ මුහුණින් යුතු ව ඇගේ නිවසට ගොඩ වැදුනාය. මතක ඇති දිනෙක දැක නොතිබූ තරම් සාමකාමී ප්‍රීතියකින් යුතු වූ සිය මවගේ මුහුණ දුටු ඇගේ පුතු තිගැස්මට පත්විය.
“ඔයා අද කවදාවත් නැති තරමට ඔච්චර සතුටින් ඉන්නේ, මොනවද ඇත්තට ම වුණේ?”
“මම අද දෙවියන් සමග දවල් ආහාරය ගත්තානේ”යි පිළිතුරු දුන් ඇය සිය පුතු යමක් පවසන්නට පෙර එයට මෙසේද එක් කළාය.


“ඔයා දන්නවද? මං හිතුවාට වඩා එයා බොහොම පුංචි, හුරුබුහුටි කෙනෙක් නෙව හැබෑටම!”




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
................................................................................................



හදවතට සවන් දෙන්න!
හදවතින් සවන් දෙන්න!



මේ කතාව වියට්නාම යුද්ධයට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටි සොල්දාදුවෙකු පිළිබඳවයි. ඔහු නගරයේ සිට සිය දෙමව්පියන් ඇමතුවේය.
“අම්මේ, තාත්තේ,
මම ගෙදර එනවා.
හැබැයි මට ඔය දෙන්නාගෙන් ලොකු උදව්වක් ඕනෑ.
මගේ යාළුවෙක් ඉන්නවා. එයත් මාත් එක්ක අපේ ගෙදර එනවා. කමක් නැහැ නේද?” කරුණාවන්ත සොල්දාදුවා අසා සිටියේය.
“අනේ ඒකට මක් වෙනවද? අපි බොහොම සතුටින් පිළිගන්නවා” දෙමව්පියෝ පිළිතුරු දුන්හ.
“නමුත් පොඩි දෙයක් තියෙනවා ඔයාලා දැනගතයුතු,” පුතු තවදුරටත් කීවේය.
“එයා ටිකක් දරුණු විදිහට තුවාල ලබලා ඉන්නේ. බිම් බෝම්බයකට අහු වෙලා එයාගේ එක කකුලකුයි අතකුයි විනාශ වුණා. එයාට යන්න කිසිම තැනක් නැහැ. බලාකියාගන්න කෙනෙක් නැහැ. ඉතිං ඒකයි මං කල්පනා කළේ අපි එක්ක ජීවත් වෙන්න එයාව එක්ක ගෙන එන්න. කමක් නැහැ නේද?”
මද නිහඬතාවකට පසු පියා හඬ අවදි කළේය.
“මට ඇත්තටම කණගාටුයි පුතේ ඒ සිද්ධිය ගැන. අපි බලමු එයාට හොඳ, ගැලපෙන තැනක් හොයලා දෙන්න”
“බැහැ බැහැ. මට එයා අපි එක්ක ම නතරකර ගන්න ඕනෑ”
“පුතා,” පියා ගැඹුරු හඬින් ඇමතුවේය.
“තමුන් දන්නවද ඔය මොනවද කියන්නේ කියලා? ඔය වගේ අබ්බගාතයෙක් මේ ගෙයි තියාගත්තහම ඒක මොන තරම් කරදරයක් වෙයිද කියලා නිකමටවත් හිතුවේ නැද්ද?
අපට අපේම ලෝකයක් තියෙනවා ජීවත් වෙන්න. අපේ ජීවිතවල තිබෙන සාමකාමී පැවැත්මට හානී කරන්න ඔය වගේ කෙනෙක්ට ඉඩ දෙන්න පුළුවන්ද?
මට හිතෙන්නේ ඔය මනුස්සයාව හිතින් අහක් කරල දාලා වහාම තමුන් ගෙදර ආවොත් හොඳා. අපි නැතුවට එයා මොකක් හරි ක්‍රමයක් හොයා ගනියි ඉදිරි ජීවිතේ ගෙවාගන්න!”
ඒ මොහොතේදී ම දුරකථනය විසන්ධි විය. එයින් මතු දින කිහිපයක් යනතුරු පුතුගෙන් කිසිඳු ආරංචියක් නොලැබිණි. අනතුරුව එළඹුණු දිනයේ නගරයේ පොලීසියෙන් ඔවුනට දුරකථන ඇමතුමක් ලැබිණි. උස් වූ ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් ඔවුන්ගේ පුතු මියගිය බව එයින් කියැවුණු අතර පොලිසීයේ විශ්වාසය වූයේ එය දිවිනසා ගැනීමක් බවටයි.
බලවත් ශෝකයෙන් පීඩාවට පත් වූ දෙමව්පියෝ නගරය වෙත ඉගිල ගියෝය.
ඔවුන්ට මෘත ශරීරාගාරයේදී සිය පුතුගේ මළ සිරුර දක්නට ලැබුණු අතර ඔවුන්ව මහත් වූ පශ්චාත්තාපයක ගිල්වමින් ඔවුන්ගේ එක ම පුතු එක් අතක් සහ එක් පාදයක් සහිතව සදාකාලික නින්දට පත්ව සිටියේය.



පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

.............................................................................................



සුරතලාගේ අධිරාජ්‍යයා!

බොහෝ කලකට එපිට ඉතාමත් දරුණු, දුෂ්ට හා අධර්මිෂ්ට වූ අධිරාජ්‍යයෙක් සිටියේය. ඔහුගේ ‍මේ කෘර ස්වභාවය නිසා රට වැසියෝ භය බිරාන්ත ව දිවි ගෙවූහ. ඔවුන්ගේ ජීවිත ලෝකුරු නරකයේ පැසෙන්නාක් බඳුවිය.
මේ කෘර අධිරාජ්‍යයාට සුරතල් බල්ලෙකු සිටියේය. ලොව සිටින කිසිම කෙනෙකුට වඩා, ලොව තිබෙන කිසිම දෙයකට වඩා ඔහුගේ සිත්ගත් යමෙක් වේ නම් ඒ මේ කියන සුරතල් බල්ලාය. ඔහු බල්ලාට තමන්ගේ ම පුතෙකුට මෙන් සැප සම්පත් දී ඇති දැඩි කළේය.
ඒ කෙතෙක්ද යත් අධිරාජ්‍යයා තරමට ම හෝ සමහරවිට ඊටත් වඩා ඔහුගේ සුරතලා රටවැසියන් අතර ප්‍රසිද්ධ චරිතයක් වී තිබිණ.
දිනක් උන්හිටි හැටියේ බල්ලා මිය ගිය අතර එයින් ශෝකයෙන් වියරු වැටුණු අධිරාජ්‍යයා සිය සුරතලා වෙනුවෙන් අවමංගල්‍යය මහෝත්සවයක් සංවිධානය කරන්නට අණ දුන්නේය.
රට වැසියන් වැල නොකැඩී බලු අවමගුලට එන්නට විය. අධිරාජ්‍ය්‍යාගේ සිතෙහි දුක අතුරුදන් වි සතුට රජයන්නට විය. අවසන් දිනයේ සුසානභුමිය රටවැසියන්ගෙන් අතුරුසිදුරු නැතිව පිරී ඉතිරි ගියේය. ජනතාව තමන්ට දක්වන ආදර ගෞරවයේ මහිමය පිළිබඳ ව උද්දාමයට පත් වූ අධිරාජ්‍යයා තමන් ලොව සිටින ජනප්‍රිය ම පාලකයා බව සිතා සතුටින් මුසපත් විය.
මද කලකින් අධිරාජ්‍යයා ද මිය ගියේය. බලු අවමගුලට ආ එකඳු රටවැසියෙකු තබා රටවැසියෙකුගේ බල්ලෙකුවත් ඒ අවමගුලට පැමිණියේ නැත.



පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

..........................................................................................



නුඹේ සිහිනය ලොවට දකින්න ඉඩ හරින්න!
නුඹේ සිහිනය පැහැර ගන්න ඉඩ නොදෙන්න!



මට විශාල අශ්ව ගොවිපලක හිමිකරුවකු වන මිතුරෙකු සිටියි. එක් කලෙක, අවධානම් සහිත ව්‍යාපෘති වල නියැලෙන තරුණ තරුණියන්ට අවශ්‍ය ප්‍රතිපාදන එක්රැස් කිරීමේ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට ඔහු ඔහුගේ විසල් නිවස මා වෙත ලබා දී තිබුණි.
දිනක් මගේ මිතුරා ව්‍යාපෘති කණ්ඩායම අමතා, අසා සිටින්නට කැමත්තක් ඇතිවන කතාවක් පැවසුවේය.
“ජැක්ට මගේ නිවස මේ කටයුත්තට භාවිතා කරන්නට ඉඩ දෙන්නේ ඇයිදැයි ඔයාලාට පහදා දෙන්න මට උවමනායි” ඔහු කීවේය.


“මේ කතාව තමන්ගේ තාත්තා ජීවිකාවට අශ්වයෝ පුහුණු කරමින්, ස්තාලයක් ස්තාලයක් ගානේ, තුරඟ තරඟ පථයක් පථයක් ගානේ, ගොවිපලක් ගොවිපලක් ගානේ, අවුරුද්ද පුරා ඇවිද්ද නිසා ඉස්කෝල ගමන කඩාකප්පල් වුණු තරුණ පුතෙකුගෙන් පටන් ගන්නේ. එක් වරක් ඒ ළමයා ඉස්කෝලේ ඉහළ පංතියක ඉන්දැද්දි, පාසලින් ඉවත් වුණාට පස්සේ කරන්න බලාපොරොත්තු වන දේ ගැන රචනාවක් ලියන්න ලැබුණා.
“එදා රැයේ එයා සම්පූර්ණ පිටු හතක රචනාවක් ලිව්වා. ඒ කවදා හෝ විශාල අශ්ව ගොවිපලක හිමිකරුවකු වීමේ තමන්ගේ ඉලක්කය, සිහිනය ගැන. ඒ ලියැවිල්ල පුංචි කරුණක් ගැන පවා සටහන් වුණු සවිස්තරාත්ම රචනාවක්.
කොටින්ම ඒ ළමයා අක්කර 200ක වපසරියක පැතිරුණු විශාල අශ්ව ගොවිපලක සිතියමක් පවා ඇඳ තිබුණා. අවශ්‍ය කරන සියලුම ගොඩනැගිලි, ස්තාල වගේම අශ්ව පථ ආදි සියල්ලම තිබුණු ඒ සිතියම ඉතාම අනර්ඝ තත්ත්වයේ තිබුණු බව මට අද වුණත් කියන්න පුළුවන්. ඒ සිතියමට ඉතාමත් සවිස්තරාත්මක ව ඇඳපු වර්ග අඩි 4000ක නිවසක් ද ඇතුලත් වුණා.
“ඔහු මුළු හදවතින් ම සිය සිහිනයට බැඳී සිටියා. පසුදා තමන්ගේ සිහිනය සටහන් වුණු සත් පිටු ව්‍යාපෘතිය ඔහු තමන්ගේ ගුරුවරයාගේ අතපත් කළා. දවස් දෙකකට පස්සේ එය නැවත ඔහුට ලැබුණා.
නිකං නෙමෙයි ඉස්සරහ පිටුවේ ලොකු එෆ් අකුරක් එක්ක. ‘පංතියෙන් පසු මා හමුවන්න’ කියලත් ඒකේ ලියලා තිබුණා.
“ඒ සිහිනය හිතින් අරගෙන, කිව්ව විදිහට ම ළමයා ගුරුතුමා හමුවන්න ගියා. 
‘ඇයි මට එෆ් අකුරක් ලැබුණේ?’


ගුරුතුමා මේ විදිහට කිව්වා.
‘මේක තමුන් වගේ පොඩි කොල්ලෙක් හිතන්නවත් හිතන්න හොඳ නැති තරමේ වැඩක්නේ. තමුන්ට කොහෙද සල්ලි? තමුන් වගේ තැනින් තැන යන පවුලක කෙනෙකුට කොහෙන්ද සම්පත්? විශාල අශ්ව ගොවිපලක අයිතිකරුවෙක් වෙන්න ඕනෑ කරන මුදල් ප්‍රමාණය තමුන්ට හිතාගන්නවත් බැහැ ළමයෝ. මේ ඇඳලා තියෙන අක්කර දෙසීයේ ඉඩම ඔයා මිල දී ගන්න? හීනෙන්වත් පුළුවන්ද?
මේවා ආවාට ගියාට කරන්න බැහැ. ඉතාමත් හොඳ තත්ත්වයේ සත්තු මිලදී ගන්න ඕනෑ. උන් ව නඩත්තු කරන්න ඕනෑ. මේ වැඩේ තමුන්ට ජීවිතේටවත් කරන්න බැහැ.’ ගුරුතුමා කියවාගෙන ගියා. ‘හ්ම්... තමුන් වඩා යථාර්තවාදී ඉලක්කයක් ඇතුව රචනාව ආයේ ම ලියලා දුන්නොත්, එෆ් අකුරෙන් එහා ගිය අකුරක් ගැන සළකා බලන්න මට පුළුවන්’
“ළමයා ගෙදර ගියා. තදින්, ගැඹුරින් ඒ ගැන හිතුවා. කරන්න ඕනෑ මොකක්දැයි තාත්තාගෙන් ඇහැව්වා.
‘බලන්න පුතේ, ඔයාමයි ඔයාගේ හිත හදාගන්න ඕනේ. කොහොම වුණත් මේ තීරණය ඔයාගේ ජීවතයේ තීරණාත්මක කාරණයක් ‍වනවා’ තාත්තා කිව්වේ එහෙමයි. කොහොම හරි අවසානයේ සතියක් කල්පනා කරපු ළමයා තමන්ගේ පළමු රචනාව ම ගුරුතුමාට දුන්නේ එක අකුරක්වත් වෙනස් නොකරයි.
‘ඔබතුමා ඔබතුමාගේ එෆ් අකුර තියා ගන්න. මං මගේ සිහිනය තියා ගන්නම්’ ළමයා ගුරුතුමාට කිව්වේ එහෙමයි.”
ව්‍යාපෘති කණ්ඩායම දෙස හොඳින් බැලූ ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය.
“මම මේ කාරණය ඔයාලාට කියන්න හිතුවේ දැන් ඔයාලා මේ ඉඳගෙන ඉන්නේ මගේ ඒ අක්කර දෙසීයේ ඉඩම මැද පිහිටපු, වර්ග අඩි හාරදාහේ ඒ ගෙදර බව කියන්නයි. හොඳට බැලුවොත් පෙනෙයි අර උදුනට ඉහළින් රාමු කරලා එල්ලලා තියෙන මගේ ඒ රචනාව.”
ඔහු තවදුරටත් පැවසුවේය.
“හොඳ ම සිද්ධිය කියන්නේ ගිම්හාන සෘතු දෙකකට කලින් ඒ ගුරුතුමා ළමයින් 30 දෙනෙකු එක්ක සතියක කඳවුරක් සඳහා මගේ ගොවිපළට ආවා. ඒ ඇවිල්ලා යනකොට එතුමා මෙහෙම කිව්වා.
“බලන්න පුතේ, මට මේ දේ නොකියා ම බැහැ. ඔයාගේ ගුරුවරයා ව උන්නු කාලේ මම මහා නරක, භයානක හොරෙක්, සිහින හොරෙක්.
ඒ කාලේ මං ගොඩක් දරුවන්ගේ සිහින හොරා ගත්තා.
දෙවියන්ට ස්තුතිවේවා!
ඔයාගේ සිහිනය හොරා ගන්න මට ඉඩ නොතියන්න තරම් ඔයා නුවණක්කාර වුණා”






පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

......................................................................................

සෑහෙන කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් පල කරන්න බැරි වුණා. ඉතිං පහුගිය දවස් වල පරිවර්තනය කරපු කෙටි ලිපි කිහිපයක් මේ විදිහට පල කරන්න හිතුණා.

Thursday, March 3, 2016

394. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 29 - කටුගස්තොට මතක, ත්‍රී සිංහලය එකතුවන තැන සහ මිස් ඔතන කරදරයි වගේ නේද?


කටුගස්තොට පරණ පාළම

"ඒයි මේ බලන්ටකො අප්පච්චි කරල තියෙන වැඩේ." මා දිහාට හැරිල කිව්ව…

"හෙහ්..ඇයි? මක් කරලද ඒ ගමන?"

"අපෙ ගේට්ටුවෙ බෝඩ් එකක් එල්ලලයි කියන්නෙ......"

"නැහ් මාරයිනෙ….. ඉතිං?" මට ඒ කතාව ඇහුවම මැරෙන්ට හිනා..

"හිනා නෙවෙයි...හෙට උදේම අපි දෙන්නම යමු ගෙදර මේකෙ මොකක් හරි විසඳුමක් කරන්ට. අනේ මන්ද මේ අප්පච්චිත් කරන වැඩ එක වෙලාවකට…"

ඉතිං අර ගොළු කසාය බීපු දෙන්නෙක් වගෙ අපි දෙන්න නෝ කතා නෝ සිනා මෝඩ් එකේ උදේම දොට්ට බැහැල පිටත්වුනේ ඔන්න ඔය පෙත්සම් දැන්වීම් පුවරු අර්බුදය විසඳන්ට එවුන්දලගෙ මහ ගෙදර යන්ට.

පැණිදෙනියෙං නුවරට ගිහිල්ල ඔර්ලෝසු කණුව ගාවින් මාතලේ බස් එකකත් නැග්ග ඔන්න. ඒත් තාමත් අපි දෙන්න නෝ ටෝකිං. මම හොරැහිං ඈ දිහා බැලුව. අහක බලාගෙනම ඉන්නව. ආය නෑ උන්දැගෙ මූණෙ යම්තමට හිනාවක්වත් නෑ.මාතලේ බස් එකේ ඈ ඉඳගත්තෙ ජනේලෙ පැත්තට වෙන්ට. මම අනික් කොණේ. දැං ඔන්න බස් එක යන්ට පටං ගත්ත. කච්චේරිය පහුකරල ගිහිල්ල ට්‍රිනිටි එකත් පහුකලා. ඊට පස්සෙ කටුගස්තොට පාළමත් පහුකලා.

කටුගස්තොට පාළමෙං පස්සෙ රණවන මැදවල පාරත් පහුකරපුවම ඒ එක්කම තියෙන්නෙ ත්‍රී සිංහල සීමාරාමය. එතෙන්ට එහෙම කියන්නෙ පුරාණ කාලෙ ලංකාව බෙදල තිබ්බ රුහුණු පිහිටි මායා කියන කොටස් තුන (එව්වට කිව්වෙ රටවල් කියල.රුහුණු රට, පිහිටි රට සහ මායා රට) එකතුවෙන්නෙ ඔය කටුගස්තොට ඔතනයි කියන ජනප්‍රවාදය හින්දලු.

ත්‍රීසිංහලය

පොකු මහත්මියගේ ඉල්ලීම පරිදි රුහුණු, පිහිටි, මායා වෙන්කොට දැක්වෙන මෙම සිතියම ඇතුලත් කළෙමි.

කටුගස්තොට පාළම ගැන පොඩි කතාවක් මේ. අපි අර පොළොන්නරුවටත් එහා කැළේ මැද්දෑවෙ වැඩකරන කාලෙ අපෙ යාලුවෙක් හිටිය ගෙවල් ඔය ගලගෙදර දිහාවෙ.මනුස්සයට බස් එකකට නැග්ගොත් නින්ද යනව. හැමදාම නුවරිං නැඟල කටුගස්තොට පාළම පහුවෙනකොට මිනිහ කට කපල නිදි. ආය ඇහැරින්නෙ කදුරුවෙල බස් ස්ටෑන්ඩ් එකේ නතර කලාම. 

ඉතිං දවසක මේ යස්සයගෙ අත්තම්ම ඇහුවලු "පුතේ..උඹ ඔය වැඩ කරන දිහා ඔය පොළොන්නරුව කියන්නෙ බොහෝම දුරලු නේද? " කියල. මේකා ගත්කටටම කිව්වලු " මොන පිස්සුද අත්තම්මෙ?... කටුගස්තොට පාළම පහුවුනා ඊලඟට ඒ එක්කම පොළොන්නරුවෙ බස් ස්ටෑන්ඩ් එකනෙ " කියල.

මේත් ඔය කටුගස්තොට වෙච්චි සිද්ධියක්. මේක හැබැයි මගේ පළමෝත අත්දැකීමක් එහෙමනම් නෙවෙයි. මට කියපු කතාවක්..ඒවං මේ සුතං..මා විසින් මෙසේ අසන ලදී..අර මම අභයගිරි මතක ලියනකොට කිව්වෙ සේනක කියල මගෙ මිත්‍රයෙක් ගැන. අන්න ඒ සේනක තමයි මේ කතාව කිව්වෙ. සේනකගෙ අයිය ලංකාවෙ සුප්‍රසිද්ධ කලාකාරයෙක්. සම්මාන ලාභී පොත් කීපයක් එහෙම ලිව්ව. වේදිකා නාට්‍ය මම හිතන්නෙ දෙක තුනක් කලා. එතකොට ටෙලි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කලා. තිර පිටපත් ලිව්ව. ඉතිං ඒ අයියගෙ නාට්‍යයක් කටුගස්තොට ඇන්තනීස් හෝල් එකේ පෙන්නපු දවසක වෙච්චි සිද්ධියක් මේක.

හයයි තිහේ ෂෝ එක බලල ඔන්න සේනකයි ගමේ අහල පහල යාලුවො කට්ටියයි පයින්ම ගෙදර යනවලු. හොඳ ගානට කට්ටිය සන්තර්පනය වෙලයි ඉඳල තියෙන්නෙ. ඉතිං සිංදු කිය කිය පාර පුරා යද්දි ඔය කටුගස්තොට ටවුන් එක මැද මොකක් හරි ට්‍රැෆික් බ්ලොක් එකක් වෙලා වාහන පෝළිමක්ම නැවතිලා තිබිල. සේනකල එක්ක හිටපු එක යාලුවෙක් සිංදු කියද්දි බෙර ගැහිල්ලට උපං හපනෙක්. නම අපි කියමුකො භේරිවාදක කියල. සිංදුවක් කියනවනං භේරිවාදකයට සාස්පානකට හරි තඩි ගහන්ට ඕන. අපි අභයගිරියෙ ඉද්දි එක පාරක් ඔය සේනකයගෙ යාලුවො සෙට් එක එහෙ ඇවිල්ල දවස් තුන හතරක් හිටිය. උං යද්දි සේනකය ඉවුම් පිහුම් කරපු සාස්පාං ඔක්කොම ආය නෑ රොටි තැටි කරලයි ගියේ. ආයම සේනකයට සාස්පාං සෙට් එකක් අලුතෙම්ම ගේන්ට උනා ඔන්න කොටිම්ම.

ඉතිං අර ට්‍රැෆික් ජෑම් එක වෙලාවෙ කට්ටිය සිංදු කිය කිය යද්දි එතනම ට්‍රැෆික් හින්ද නවත්තල තිබිල තියනව හොඳ අලුත්ම කාර් එකක්. කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙ මෙවුං කිය කිය ඉඳල තියෙන්නෙ සිසිර සේනාරත්නගෙ "නීල ජලාසේ රඟනා හංස කුමාරී..ආසාවේ සිහින මවාවී" සිංදුව...ඔය සිංදුවට බෙර වාදනයක් දුන්නැහැකි නැතිවෙන්ට. ඉතිං අර බෙර වාදනලෝලී මිත්‍රය කරල තියෙන්නෙ තවත් නං ඉවසන්ටම බැරිතැන අර ලඟ නවත්තල තිබ්බ කාර් එකේ ඩිකියට බෙර ගහල උඩ පැන පැන. 

කාර් එකේ ඇතුලෙ හිටපු එවුංට නින්ද ගිහිල්ල ඉඳල තියෙන්නෙ. අප්පට උඩු මොකක්ද මේ හිටපු ගමං ඇහෙන තොයිලෙ කියල උං ඇහැරල බලනකොට මෙන්න එකෙක් උඩ පැන පැන ඩිකියට ගහනව. "අඩෝ කවුද ඩෝ කාරෙකට ගහන්නෙ?" කියල කට්ටිය බහින්ට හදනකොටම ට්‍රැෆික් බ්ලොක් එක නැතිවෙලා වාහන යන්ට පටං ගෙන. ඒ පාර පස්සෙං තියන වාහන ඔක්කොම හෝන් ගහන්ට අරගෙන. ඒ හින්ද එවුං කට්ටිය ආපහු වාහනේට නැඟල යන්ට ගිහිල්ල. යන්ට කලිං "අඩෝ අපි පස්සෙ බලාගමු හරිද ?" කියල සත්තමකුත් දාල ගිහිල්ල තියෙන්නෙ. "පල පල ඩෝ යන්ට..ආය මොනවද පස්සෙ බලාගන්නෙ?..අඩෝ ..හූ..." කියල ඒ යන එවුංට මුං හූවකුත් දාල. දන්නවනෙ දෙකක් දාගත්තම.හෙහ්.හෙහ්...ඔක්කොම සිංහයොනෙ...

එතනිං ඒ සීන් එක ඉවරයි. කට්ටිය ඉතිං සිංදුත් කිය කිය ගෙවල් වලට ඇවිල්ල පාර පුරා. ඊට පස්සෙ ඔන්න පහුවදා....එදා වෙච්චි සීන් එක සේනක මට කිව්වෙ මෙහෙමයි. 

"මචං අපෙ යාලුවෙක්ගෙ අයිය රට රස්සාවක් කරල ඇවිල්ල තිබ්බෙ ඊට දවස් දෙකකට කලිං. මිනිහ ගෙනාපු විස්කි බෝතල් දෙකක් අපිටත් දීල තිබුන. පහුවදා අපි හත් අට දෙනෙක් විතර උඹ දන්නවනෙ ගාමිණිය. ගාමිණියගෙ ගෙදර වැඩේට සෙට් වුනා. ඒ කාලෙ ගාමිණීගෙ ගෙදර වෙන කවුරුවත් හිටියෙ නෑ. ඔක්කොමල වන්දනාවකද කොහෙද ගිහිල්ල. ඒකයි එහෙට සෙට් වුනේ. ගාමිණියගෙ ගෙදර පාර අයිනෙමයි. "

"ඉතිං එක දෙක වගෙ වෙනකොට වැඩේ ෆුල් ආතල්. සිංදු කියනව, කෑ ගහනව එක යුද්දයයි.බඩු මදිවෙලා තව දෙකක්ද තුනක්ද ගෙනාවදත් කොහෙද...කොහොම හරි ඔන්න එක පාරට ගේ ඉස්සරහිං හෙණ ගෝසාවක් ඇහුන. එලියට බැහැල බලනකොට මල ජංජාලයයි, අර ඊයෙ රෑ කටුගස්තොටදි අඩෝ පස්සෙ බලාගමු කියල කෑගහගෙන ගිය සෙට් එක මෙන්න ඇවිල්ල. ඒ අර අරූ භේරිවාදකය බෙර ගහපු කේස් එකට රිටර්න් එකක් දෙන්ට. ඒ බෙර ගහපු කාර් එකේමයි ඇවිල්ල තියෙන්නෙත්. උං බලනකොට වත්තේගම දිහා බජාර් එකේ අයියල වගයක්. උංගෙ කාරෙකට බෙර ගහපු සීන් එකටත් වැඩිය උංට මල පැනල තියෙන්නෙ අපේ එවුං උං යනකොට හූ කියපු එකට. "

"අඩෝ කවුද ඊයෙ අපේ කාර් එකට බෙර ගැහුවෙ? කියල උංගෙ ලීඩර් වගේ හිටපු බුවා දෙකක් වෙන්ට කෑගහනව. අපි ඔක්කොම දැන ගත්ත මෙතන දැන් තව ටිකකිං හෙන ගින්නක් ඇවිලෙනව කියල. ආපු එවුංගෙ මූඩ් එකේ හැටියට ගහන එකත් ගහනව. එතකොට මේක අපේ ගම. එහෙම ගමට ඇවිල්ල ගහල යන්ට දෙන්නෙ කොහොමද? කොහොමත් මේ සීන් එක දුරදිග යන සීන් එකක් වෙයි වගෙ. එහෙම හිතල අපි ඔක්කොම වටවුනා එතෙන්ට. "

"එකෙක් වත් කතා නෑ. අරුංගෙ ලීඩර් කෑගහනව ගලනාලය අතේ අරගෙන. කවුද ඩෝ ඊයෙ අර කාර් එකට තඩි බාපු ගණං කාරය? වරෙං ඉස්සරහට...බලාපං ඩිකිය ඔක්කොම ඇඹිල ගිහිල්ල. අපි ආවෙ උඹලට බෙර ගහන හැටි උගන්නන්ට... "

"අපේ භේරිවාදක මිත්‍රයට තවත් ඉවසං ඉන්ට බැරිවුනා. ඌ කට්ටිය අස්සෙං රිංගල ඉස්සරහට ආව. ඇයි අයියා බොරු කියන්නෙ? ඩිකිය ඇඹෙන්ට තරං හයියෙං බෙර ගැහුවෙ නෑනෙ ..අඩෝ උඹ කොහොමද එහෙම නෑ කියන්නෙ? නෑ කියල කියන්නෙ මමනෙ අයියා බෙර ගැහුවෙ. මෙන්න මෙහෙමනෙ මම ගැහුවෙ.. කියල මේකා ඩිකියට බරවෙලා නීල ජලාසේ තාලෙ ආයෙම ගහල පෙන්නුව. මුගෙ අම්මට..දැක්කද මූ බය නැතුව ආයෙම අපි ඉස්සරහම ඩිකියට ගහපු හැටි කියල එතන හිටපු උංගෙ එකෙක් භේරිවාදකයගෙ බෙල්ලෙං අල්ල ගත්ත."

"ඒත් මේ යකා කරපු වැඩේට අපි ඔක්කෝටම මැරෙන්ට හිනා. උංගෙ ලීඩර්ටත් හිනා..හරි, හරි..ඔන්න ඕකගෙ බෙල්ල අතෑරල දාපං...කියල පොරත් හිනාවෙන්ට ගත්ත. ඒ සිද්ධියෙං අර තිබ්බ ටෙන්ෂන් එක එහෙම්මම බැහැල ගියා. බලනකොට ඩිකිය පොඩ්ඩක් ඇඹිල තමයි. අපි ඒක හදල දෙන්ට පොරොන්දු වුනා. නෑ නෑ ඕන නෑ..ඕක අපි හදා ගන්නං...කියල එවුං කට්ටිය යන්ට ගියා...ඔන්න අරකා කරන්නෙ ඔය වගෙ වැඩ තමයි...හෙහ්,හෙහ්,"

මඟ දෙපැත්ත බල බල යනකොට මතක් වෙන පරණ සීන් තමයි ඔය. ඉතිං ආයම වර්තමාන කතාවට ආවොත් අපෙ ප්‍රියම්බිකා තොමෝ ඔන්න තාම කතා නෑ. සිනා නෑ.. ජනෙලේ පැත්තට වෙලා එළිය බලාගෙන ඉන්නව. මම ටිකක් එයාගෙ ඇඟට තදවුනා. ඈ මාදිහා නළල රැලිකරල බලල ආයම අහක බලා ගත්ත. තව ටික වෙලාවක් ගිහිල්ල මම ආයම ටිකක් ඇඟට තද වුනා. ඒ පාර නං උන්දැ මා දිහා රවල බැලුව. ඒ කරල ගස්සල ජනේලෙං අහක බලා ගත්ත.මේ වෙනකොට අකුරණ ටවුන් එක පහුවෙලා. හතේකණුව හරියෙ තියනව දාර සයිස් වංගු තුන හතරක්. මම කලේ වංගුව එනකොටම බොරුවටත් එක්ක ඇගේ ඇඟටම තද වෙන එක. ඈ කලේ මම දිහා රවනව. ඊට පස්සෙ තව තවත් ජනේලෙ පැත්තට තල්ලු වෙනව.

ඔය පාරෙ නිතර ගිහිල්ලම වංගු තියෙන්නෙ කොතනද කියල මට ඇහැ පියාන කිව්වැකි. ඉතිං මම කලේ නිදිවගෙ බොරුවට ඇස් දෙක පියාගෙන ඊලඟ වංගුවෙදිත් ආයෙම උන්දැගෙ ඇඟට තල්ලු වෙන එක. එතකොටම මගෙ කණ ගාවිම්ම ඇහුණ මහ ගොරෝසු කටහඬක්..

"මොකද මිස්? ඔතන කරදරයි වගේ නේද? මෙතෙන්ට එනවද? අපි සීට් මාරු කරගමු. "

තුස්නිම්බූත වෙලා මම ඇස් ඇරල පිටිපස්ස හැරිල බැලුව. අප්පට සිරි ගජ...බුරුසු රැවුලකුත් වවා ගත්තු අටේ දහයෙ පොරක් පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන ඉස්සරහට නැවිල මා දිහා කන්ට වගෙ රවාගෙන ඉන්නව.

Tuesday, March 1, 2016

393. පුවක් එෂැණිං - 6 - කිරීගේ ලියුම සහ පාලගේ මාස්ටර් පැලෑං එක



උෂෂ් අජ්ජාපන ඇමටිටුමා මේ දිනවල අබූත චෝදනාවකට ලක්ව සිටී. ඔහු කාටදෝ ඔහුගේ ආදාරකාරයෙකුට විස්ස විජ්ජාලයක පත්තීමක් අරංදෙන්නට ලියුමක් දුන්නාය කියලා රට පුරා මහත් කලබැගෑනියකි. මේ පිලිබඳ පූර්න සත්තිය පැහැදිලි කිරීමට චෝදනාව ලක්වූ ගරු උෂෂ් අජ්ජාපන සහ මහාමාර්ග ඇමති තුමා වහාම ප්‍රවුර්ති සාකච්චාවක් කැඳෙව්වේය.

"මේක සහ ගහන බොරු චෝදනාවක්නෙ" එතුමා ඉතාම සංවේදී ලෙස පැවසුවේය.

"දැං මම දුන්නු ලියුම හොඳට කියවල බලන්ට. මොකක්ද මම කියල තියෙන්නෙ?.....සුදුසුකම් පරීක්සාකර බලා බඳවා ගන්ට කියලයි. ඉතිං මොකක්ද එහෙම කියන එකේ ඇති වැරැද්ද?.... 

"හරි...වෙච්චි දේ මම කියන්නං. ඔන්න හොඳට අහගන්ට.ඔය මනුස්සය මගෙ ආදාර කාරයෙක් තමයි.ඔය පෝස්ටර් හත අටක් වගෙ අලවන්ටත් ඇති. ඒත් මට ආරංචියක් ආව මිනිහා ඔය කැළණි විස්ස විජ්ජාලෙ කවුද ආචාර්ය කෙනෙක් අල්ලගෙන පස්ස දොරෙං පත්තීමක් ගන්ට යනවයි කියල.මම ඇවිල්ල උෂෂ් අජ්ජාපන ඇමටි. මට පුලුවන්ද එහෙම ජරා වැඩකට ඉඩ දෙන්ට මගෙ පෝස්ටර් ඇලෙව්වය කියල? ....බෑ....බෑ.....ඒක කොහොමවත් කරන්ට දෙන්ට බෑ. ඒ හින්දයි මම අරම ලියුමක් යැව්වෙ. කරුණා කරල පත්වීම දෙන්ට ඉස්සර සුදුසුකං පරීක්සා කරල බලන්ටෙයි කියල. එහෙම නැතුව අසාදාරන විදිහට පත්වීම දීල තිබ්බනං බලා ගන්ට තිබ්බ වැඩේ...ඒකුං දන්නෙ නෑ මගෙ හැටි"

"ඉතිං ඕකට තමයි තමුංලා ඔක්කොම අර වැස්ස කාලෙට බක බක ගාන ගෙම්බො රැලක් වගෙ කෑගහන්නෙ...මම සම්පූර්ණ සද්බාවයෙන් කරපු වැඩේ අන්තිමට මටම කැරකිලා ආපු හැටි බලමුකො.නරක වෙලාවට ඔව්ව ඔහොම තමයි." පුවක්පක් කලාවේඩීන් තුස්නිම්බූතව බලා සිටියදී එතුමා ඉතා හැඟීම් බරව ප්‍රකාස කලේය.

"අනික් කාරනේ..තමුන්නාන්සෙල හිතනවද මගෙ හිතවතෙක් ආදාර කාරයෙක් මම බැරිවෙලාවත් විස්ස විජ්ජාලයක රස්සාවකට දායි කියල?.... ඕකෙ ඉගෙන ගන්න එවුනුත් එකයි, උගන්නන එවුනුත් එකයි. කොයි වෙලේ බැලුවත් උද්ගෝසන වලට ගිහිල්ල මහපාරෙමනෙ ඉන්නෙ. ඒක හින්දමයි මම මේ විස්ව විද්දියාල ඇමති කමත් එක්කම මහාමාර්ග ඇමතිකමත් ඉල්ල ගත්තෙ. අගමැතිතුමා මට කිව්ව පත්වීම් දෙනකොට කිරිඇල්ල ..ඔය උෂෂ් අජ්ජාපන ඇමතිකමත් එක්ක ඒකෙ විසය පතයට ගැලපෙන තව මොකක් හරි ඇමතිකමක් ගන්ට කියල. ඒ පාර මම කිව්ව.... එහෙනං සෑර් මට මහාමාර්ග ඇමතිකම දෙන්ට. ඔය විස්ස විජ්ජාල වල කොල්ලො කෙල්ලො කොයිවෙලෙත් ඉන්න මහ පාරෙ හින්ද ටක්කෙටම ගැලපෙන්නෙ මහාමාර්ග ඇමතිකම තමයි, ඔන්න ඔහොමයි මට මහාමාර්ග ඇමතිකමත් හම්බ වුනේ.. තේරුණෙයි?"

මෙසේ ඉතා සවිස්තරව කරුණු පැහැදිලිව කිරීම පිළිබඳව ඇමටිටුමාට ඉස්තූති කල පුවක් පක් කලාවේදීහු ඉතාමත් දැනුම්වත්ව සතුටිං විසිර ගියෝය.


ටං...ටිං...ටුං..........


සිරිලංකා කිරිකට් කන්ඩායම විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියේදී බංගලිදේසයට පරාජය වීම පිළිබඳව හේතු දක්වන ප්‍රවෘත්ති සාකච්චාවක් පසුගියදා පැවැත්විනි. එහිදී කරුණු දැක්වූ සිරිලංකා කන්ඩායමේ කලමනාකරු පැවසුවේ ලසිත් මාලිංග මේ වනවිට ක්‍රිකට් ලෝකයේ මෙතෙක් නොවූ වීරු අමුතුම පන්දු යැවීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇති බවත් ආසියානු කුසලාන අවසාන තරඟයේදී එම පන්දු යැවීමේ ක්‍රමවේදය උත්සවාකාරයෙන් එලිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය තීරණයකට එලඹී ඇති බවත්ය. එබැවින් මූලික තරඟ පරාජය වූවාට කලබල වියයුතු නැති අතර අවසාන තරඟය විසිට්ට ලෙස ජය ගැනීමට තම කන්ඩායම දැඩි අදිටනින් යුතුව කටයුතු කරනු ඇති බවත්ය.

එළෙසම ආසියානු කුසලාන අවසාන තරඟයේදීද මාලිංග එම විශ්මිත පන්දුව නොයවා ඉන් අනතුරුව පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කිරීම උදෙසා එම නවතම පන්දු යැවීම යොදා ගැනීමටද ඉඩ ඇතිබවද කලමනාකාර තුමා පැවසීය. "ආසියානු කුසලානෙද ලෝක කුසලානෙද වඩා වටින්නෙ?" ඔහු ඉතා සංවේදී ලෙස විමසීය.

මෙලෙස තම උපක්‍රම සතුරාට දැනගැනීමට ඇති මඟ කෙසේ හෝ අවුරාලීම ජයග්‍රහණයට අත්‍යාවශ්‍ය සාධකයක් බව තමන්ට අවධාරණය කලේ ක්‍රිකට් කණ්ඩායමට විසේස උපදෙස් සැසියක් පැවැත්වූ  හිටපු හමුදා නායක පීල්ඩ් මාසල් සරත් ෆොන්සේකා මහතා බව තව දුරටත් පැහැදිලි කල කලමනාකාර තුමා එතුමා කොටින් පරදවා යුද ජයග්‍රහණය කලේ එලෙස අර මොකක්ද එක හංගා තවත් මොකක්ද එකකිං පහර දීමෙන් බව තමන් සමඟ පැවසූ බවද ප්‍රකාශ කලේය. එසේම තම අරමුණු කරා යාමට තම ශක්තිය පිළිබඳව නිවැරදි තක්සේරුවක් මෙන්ම ඉවසීමද අත්යාවශ්ය බවද තමන් 2010 ජනාදිපතිවරනයට ඉදිරිපත් වීම ඉවසීම සහ නිවැරදි තක්සේරුව පිළිබඳ හොඳ උදාහරණයක් බවද එතුමා පැවසූ බව කලමනාකාර තුමා තවදුරටත් පැහැදිලි කලේය.

එලෙස තම උපක්‍රම වල රහස්‍ය බාවය ආරක්සා කරලීමට උපරිම ලෙස කටයුතු කල යුතු බැවින් බොහෝ ජයග්‍රාහී උපක්‍රම අප කන්ඩායමට පවා එලිදරව් නොකල බවද ඔවුන් ඒ පිලිබඳව අඳෝ සංසාරයක් නොදන්නා බවද කලමනාකාර තුමා තව දුරටත් පැහැදිලි කලේය.


ටං...ටිං...ටුං..........


මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සබාපතිතුමා පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ඉදිරියෙදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙහිදී එංගලන්ත කණ්ඩායමේ උපදේසකයෙක් ලෙස ක්‍රියා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් හානියක් බවයි.

තමන් ඒ පක්ෂයෙන් මේ පක්ෂයට, යලිත් ආපහු අර පක්ෂයට, එලෙසම ඒ පිලෙන් මේ පිලට මාරු වුවද කිසිදාක ඒ පිලේ සැලසුම් මේ පිලටවත්, මේ පිලේ සැලසුම් ඒ පිලටවත්, ලබා නොදුන්නද දේසපාලුවන් මෙන් නොව ක්‍රිකට් ක්‍රීඩකයින් කෙරෙහි කිසිසේත් විස්වාසය තැබිය නොහැකි බව ඔහු පැවසීය.

"ඔන්න එයා දේසපාලනයට එනවනං ඒ පැත්තෙං මේ පැත්තට පනින එක අවුලක් නෑ . ඒත් දේසපාලකයෙක් වෙනකල් එයාට එහෙම කරන්ට ඉඩ දෙන්ට බෑ." සබාපතිතුමා අවදාරනය කලේය.


"මගේ තිබුනා මාස්ටර් ප්ලෑන් එකක්. ඒක හරියට අපේ කට්ටිය ක්‍රියාත්මක කලානං අනිවාර්යයෙන් අපි වර්ල්ඩ් කප් එක දිනනව. ඒකෙ තිබ්බ අපේ සම්පූර්ණ ස්ට්‍රැටජි එක. කොටිම්ම ලෝංග් ඕන් එකේ ඉන්න ෆීල්ඩර් අඳින්න ඕන ජොකාගෙ පාට හිටං මම ඒකෙ කියලයි තිබ්බෙ.අපේ ඕපනර්ස්ල පිට්ටනියට යද්දි කීපාරක් බැට් එක ඔලුව වටේ කරකවන්ට ඕනද? බෝලෙකට ෆේස් කරන්ට ඉස්සර කීපාරක් බැට් එක පොලවෙ ගහන්ට ඕනද? පලවෙනි බෝලෙම්ම පොලු ගලවල ගිහාම ආපහු එන්ට ඉස්සර ගැලවෙච්චි පොලු දිහා විනාඩි කීයක් බලා ඉන්ට ඕනද? ඔය වගෙ හැම පොඩි කාරනයක් පවා සවිස්තරව තිබ්බ ඒ මම හදපු ස්ට්‍රැටජික් ප්ලෑන් එකේ." 


"අස්ස රේස්ගැන ලංකාවෙ ඉන්න නොම්මර එකේ විසේසඥය හැටියට මම කාලයක් තිස්සෙ අස්ස රේස් ගැන ඉස්ටඩි කරල තමයි මේ ප්ලෑන් එක හැදුවෙ. සම්පූර්ණයෙන්ම එතන ගත්තොත් බොක්ස් පයිල්ම හතක්. අර අපේ හිටපු නායකය මට ආරංචි විදිහට ඔය පයිල් හතම කොපි කරල එංගලන්ත ටීම් එකේ අයට දීල. මේ පාර වර්ල්ඩ් කප් එක අපි පරදිනව හොම්බෙං යන්ට. ඒකෙ ආය දෙකක් නෑ." සබාපතිතුමා ඉතාම හැඬුම් බර ස්වරයෙන් පැවසීය.

මේ අතර ඊට පිළිතුරු වශයෙන් හිටපු ක්‍රිකට් නායකයා ප්‍රකාස කලේ තමන්ට විශාල මුදලක් ගෙවා එංගලන්ත කණ්ඩායමේ කලමණාකාරිත්වය බලාපොරොත්තුවනුයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ යම් යම් තොරතුරු වගයක් ලබාගැනීම බව සත්‍යයක් බව තමන් පිළිගන්නා බවකි. එහෙත් එංගලන්ත කලමනාකාරිත්වයට දැනගැනීමට අවශ්‍ය වන්නේ අප කන්ඩායමේ උපාය මාර්ග පිලිබඳව නොව දූෂණ චෝදනා කීපයකට ලක්වූ තවමත් එයින් නිදහස් නොවූ සූදු ව්‍යාපාරයක හිමිකරුවකු ක්‍රිකට් සභාපති පදවියට පත්වූයේ කෙසේද යන්න බව හිටපු නායකයා පැහැදිලි කලේය.


ටං...ටිං...ටුං..........

Sunday, February 28, 2016

392. කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ....



හැත්තෑව දශකය මැද කාලෙ විතර අපෙ අම්මගෙ පුරුද්දක් තිබුන මාසික වැටුප ගත්තම අනිවාර්යයෙන්ම මට ගෙනත් දෙනව සුදු ගෝනා, සුදු වැද්දා, මැකීගිය දඩමං, වන සරණ තිත්ත කෝපි අලි පාර, රන්දිව වගෙ පරිවර්තන පොතක්. අම්ම වැඩ කලේ කෑගල්ලෙ මහ ඉස්පිරිතාලෙ. ඒ කලුගල්ල මහත්තය කෑගල්ලෙ අලුත් ඉස්පිරිතාලෙ හදල විවෘත කරපු අලුත. 

කලුගල්ල මහත්තය ඒ කාලෙ සිරිමා මැතිණිගෙ සමගි පෙරමුණු ආණ්ඩුවෙ නාවික සහ සංචාරක ඇමතිවරයා.කලුගල්ල මහත්තයගෙ ගෙදර තිබ්බෙ කෑගල්ල රෙස්ට් හවුස් එක පහු කරල දකුණු පැත්තෙ නාගොල්ල පාර දිගේ හැතැක්ම බාගයක් වගෙ ගියහම පාරෙ වම් පැත්තෙ ටිකක් විතර උඩහට වෙන්න.

කලුගල්ල මහත්තයගෙ ගේ ගාවම තිබ්බ නගරසබාවෙන් හදපු පොදු ළිඳක්. වටේටම අඩි අටක් වගෙ උසට ගඩොලෙන් ආවරණ බැම්මක් බැඳල හරි මැදිං ගෑණු පිරිමි දෙගොල්ලන්ට වෙනම නාන්ට පුලුවන් වෙන්ට තව බිත්තියකුත් බැඳල තිබ්බ. ළිඳ අඩි 30 වගෙ දිගයි අඩි 15 වගෙ පළලයි. විසාල ගල් කුට්ටි අල්ලල බැඳල තිබ්බ ඒ ළිඳට අහල පහල හැමෝම කිව්වෙ ටැංකිය කියල. 

අපි හිටිය කච්චේරි නිල නිවාසෙට නල ජල පහසුකම් තිබ්බට ඉරිද සෙනසුරාද අත්තම්ම මායි නංගිල දෙන්නයි එක්ක ඔය ටැංකියට එනව නාගන්ට. ජීවිත කාලයක් ගඟේ ඇලේ දොලේ ගිලිල නාල පුරුදු උන්දැට නාන කාමරේ ඇතුලෙ වතුර මලෙන් යන්තමට වෑහෙන වතුර පොදට ඔලුව අල්ලල නාල හොඳටම මදි. 

"මොකද්ද මේ හිරිකඩේකට තෙමුණ වගෙ.." එහෙමයි උන්දැ කියන්නෙ. "අහවල් නෑමනක්ද ඒක.?..ඉහේ උස්නෙ යන්ට හොඳට ඉහ පෙඟෙන්ට නාන්ට එපාය." එහෙමත් කියනව විඩේකට.

ඉතිං ගෙදරදි හිරිකඩට අහුවෙල වගෙ යන්තමට නාගන්න එකටත් එක්ක මදි පාඩුවට අත්තම්ම ටැංකියට ගිහාම වරුවක් නානව. ඒ කරල නංගිල දෙන්නත් නාවනව.මට ඉතිං ඔතෙක් බලා හිටියැහැක. මම කරන්නෙ වෙනම පොඩි බාල්දියක් අරගෙන ගිහිල්ල පිරිමි කෑල්ලට ගිහිල්ල හනිකට නාගෙන ඉවරයක් කරනව. කලිං පොඩි එකා හින්ද අත්තම්මල නාන කාන්තා පාර්ශ්වයට වෙන්වෙච්චි කොටසෙ නෑවට ඒ වෙද්දි මට ඒ වැඩේට නිකං ලැජ්ජාවක් වගෙ ඇතිවෙලයි තිබ්බෙ. ඒ වයසට එහෙම වෙනවනෙ. පිරිමි ගැහැණු කියල දෙකොට්ටාසයක් ඉන්නවය ඒ දෙගොල්ල අතර ලොකු වෙනසක් තියනවය කියල ප්‍රබලව හිතට දැනෙන්ට ගන්න කාලෙ.

"සුට්ටි පුතා මෙහෙට එන්ට මම කුණු අතුල්ලල නාවන්ට" අත්තම්ම කෑගහනකොටත් මම පිරිමි පැත්තට පැනල වතුර බාල්දි දහයක් දොළහක් නාගෙනත් ඉවරයි. 

"බෑ..බෑ..මට පුලුවන් තනියම නාගන්ට..." මම තව වතුර බල්දියක් ඔලුවෙ හලාගන්න අතරෙම කෑගහනව."ආය කෙහෙම්මල් කුණු ඇතිල්ලිල්ලක්..." තොල් මතුරාගන්න ගමං එතන වටේ නාන කට්ටිය දිහා හොරැහිං මම බලනව උං මට හිනාවෙනවද කියල..එහෙම නම් නෑ දෙයියංගෙ පිහිටෙං…

වතුර බාල්දි තිහක් නාල සබං ගානව. බොහෝවිට රතුපාට ලයිෆ් බෝයි. නැත්නම් ඒ කාලෙ තිබ්බ සුවේන්ද්‍රා කියල සුවඳ සබං ජාතියක්. බී.සී.සී. සමාගමේ නිෂ්පාදනයක්. කුක්ස් ජෝයි කියල ෂෝක් පොල්තෙල් ජාතියකුත් හැදුව බී.සී.සී. කොම්පැණිය.ඊට පස්සෙං පහු මම ඉස්කෝලෙ යන්ට කොළඹ ආවම මාළිගාවත්තෙ රේල්වේ ක්වාටර්ස් වල හිටිය අපෙ මාම කෙනෙක්ගෙ ගෙදර යනව සමහර සති අන්ත වල. ඒ රේල්වේ ක්වාටර්ස් ඉස්සරහම තමයි බී.සී.සී. ෆැක්ටරි එක තිබුණෙ. හම්මා..සමහර දවසට හුළඟත් එක්ක එන පොල්තෙල් සුවඳ ඉවසන්ටම බෑ.

ඉතිං සබංගාල ආයම වතුර බාල්දි පණහක් මම නානව. ඒ තමයි අපෙ අත්තම්මගෙ ස්නානය කිරීමේ විධිමත් ක්‍රියාපටිපාටිය. සබං ගෑමට පෙර බාල්දි තිහයි. සබං ගාල බාල්දි පණහයි. කොහොම ඔය ගණං මිනුං හොයාගත්තද කියල මට කියන්ට දන්නෙ නෑ. ඒත් එහෙම තමයි අපිව පොඩි කාලෙ නෑව්වෙ සහ අපි නෑවෙ.

"අත්තම්මේ…. මම නාල ඉවරා..යි..." මම කාන්තා කොටසට පිටුපාල කෑගහනව. 

"එහෙනං ඔය හෙවණකට වෙලා ඉන්ට අපි නාල ඉවර වෙනකල්.."

"හා..මම අතන ජෑම් ගහ යටට වෙලා ඉන්නං.."

ටැංකියට ටිකක් එහායිං කලුගල්ල මහත්තයගෙ ගෙදෙට්ට යන පාර අයිනෙ මහ විසාල ජෑම් ගහක් තිබ්බ. ජෑම් ගස් දන්නව නේද? චෙරි කියලත් කියනව පෙලක් උදවිය.රවුම් සුට්ටං ගෙඩි. ඇට මහ ගොඩක් තියෙන්නෙ. කොට්ටෝරුවො මයිනො ගිරව් එහෙම හරි කැමතියි ඔය ජෑම් ගෙඩි කන්ට. ජෑම් ගස් වල අතු පැතිරෙන්නෙ කුඩයක් ඉහලුව වගෙ. ඒ හින්දම ජෑම් ගස් යට හොඳ හෙවණයි.

ඔය ජෑම්ගහ යට තිබ්බ තරමක කොන්ක්‍රීට් කුට්ටියක් වගෙ මොකක්ද එකක්. මට දැන් හිතෙන්නෙ ඒ ලඟම පාර හරහා තිබ්බ බෝක්කුවෙ ආරක්ෂාවට තිබ්බ කොන්ක්‍රීට් නිර්මිතයක් වෙන්න ඕන ඔය මොකක් හරි වාහනයට හැප්පිල කැඩිය යන්ට ඇති. කවුරු හරි ඕක ජෑම් ගහ යට තියන්ට ඇති ඉඳගන්ට එහෙම හොඳයිනෙ කියල. 

ෂ්වෙප්ස් ( Schweppes ) කියල ජින්ජර් ඒල් වගෙ බීමක් තිබ්බ ඒ කාලෙ.අපෙ ගෙවල් කිට්ටුව තිබ්බ ඔය ෂ්වෙප්ස් බීම ගබඩාවක්. ඒකට බීම අදින්නෙ ඔක්කොම ඔස්ටින් ලොරි වලින්. කිසිම සැකයකින් තොරව ඔය කොන්ක්‍රීට් කුට්ටිය කැඩෙන්ට ඇත්තෙ ඒ ලොරියක වැදිල වෙන්ට ඕන.

කොන්ක්‍රීට් කොටේ උඩ වැටිල තිබ්බ ඉදිච්චි ජෑම් ගෙඩි එහෙට මෙහෙට පිහදාල මම හරි බරි ගැහිල ඒක උඩ ඉඳගත්ත. ඒ කරල මගෙ තුවාය ඇතුලෙ ඔතාගෙන ආපු පොත එලියට ගත්ත.

" මට ළඳුනි වරම් නැත " 

ඒ ප්‍රේම කතාවක් කියල මම කියවන පලවෙනි පොත. මම මේ කතාව කියන්ට පටංගද්දිම කිව්වනෙ අම්ම මේ වෙනකල් පඩි දවසට මට ගෙනත් දුන්නෙ පරිවර්තන විතරයි. ඒත් මට වෙන ජාතියෙ පොත් කියවන්ටත් ආසාවක් ඇතිවුනා. ඒක අම්මට කිව්වම අම්ම කිව්ව "හරි එහෙනං මේ පාර අපි දෙන්නම යමු ඔයාට කැමති පොතක් ඔයා තෝරගන්ට" කියල. 

ඒ කිව්වත් වාගෙ අම්ම එක්කම මම ගියා ශ්‍රී ලංකා පොත්හලට. ගිහිල්ල මම තෝරගත්තෙ ඔය පොත. "මට ළඳුනි වරම් නැත" අම්ම ඒත් පිටු දෙක තුනක් කියවලයි මට පොත අරං දුන්නෙ. මට ඒ පොතේ කතාව ගැන නම් ඒ හැටිම මතකයක් නෑ. ඒත් ගමෙන් නගරයට ආපු තරුණයෙක් ගැන ලියවිච්ච කතාවක් කියල යන්තමට වගෙ මතකයි.

පොතේ කර්තෘ අජන්තා රණසිංහ මහතා. මේ පහුගිය සෙනසුරාදා එතුමා අභාවප්‍රාප්ත වුනා. 

1976 අවුරුද්දෙ තිරගතවුනා සිංහල සිනමාවෙ කඩ ඉමක් සටහන් කල චිත්‍රපටයක්. "දුහුළු මලක්"..විජය ධර්මශ්‍රීගේ ප්‍රථම අධ්‍යක්ෂණය. රොමෑන්ටික් චිත්‍රපට කලාව ලාංකික ප්‍රේක්ෂකයට හඳුන්වල දුන්නෙ දුහුළු මලක් කියලයි සාමාන්යයෙන් පිළිගැනීම. දුහුළු මලක් චිත්‍රපටයෙ තවත් කිසිදාක අමතක නොවන්නක් එහි මියුරු ගීත. සුජාතා සහ අබේවර්ධන ගයන "බොඳ මීදුම් කඳු රැල්ලේ.." ඊලඟට මිල්ටන්ගෙ " රෝමය ලෙසේ..අතීතයේ. ගිණි ඇවිලේ ගිණි ඇවිලේ යෞවන සිත් නගරේ. වෙණ වයා නැලවෙමූ නීරෝ වගෙ අපී..."

ඒත් එක්කම නන්දා මාලනීගෙ "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි පෙම් රැහැණින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..." අදට අවුරුදු හතළිහක් ගෙවිල ගිහිල්ල. ඒත් තාම උනත් පොඩ්ඩක් ගත්තම ස්වයංක්‍රීයව මිමිණෙන ගීත දෙකක්..ආ..තව පොඩ්ඩෙං ඕනම දේ කියන්ට මතක බැරිවෙනවනෙ. රන් කෙන්දෙන් බැඳ ගීතය ලිව්වෙ අජන්තා රණසිංහ.

රන් කෙන්දෙන් බැඳ අතැඟිළි එක් කල ආදරයයි...
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..

කිරිලිය සේ දුර පියාසලාලා අත්තටු රිදුනා පමණයි...
දෑළ විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි...
හිරු සඳු එකවර දෙපස නැඟේ...
කරුවල ඇයි විජිතයම මගේ...

කණාටු සුළගේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ...
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ...

පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - නන්දා මාලිනී.



කෙල්ලන්ගෙ අහංකාර කමට මම ඒ කාලෙ ඉඳලම කැමතියි. ඒත් මම එහෙම අහංකාර කෙල්ලො පස්සෙ එළව එළව යන්නෙ එහෙම නෑ..ඒකත් කියන්ට එපාය."අනේහ්..එවුංගෙ අහංකාර කං එවුංට..මෙන්න මෙහෙ යමං යන්ට..." ඒ අර මගෙත් තියනවනෙ එක විදිහක රැස්පොට් එකක්. ඒක දිවිහිමියෙං ආරක්සා කරගන්ට ඕන හින්ද ඒ.....ඒත් ඒ රැස්පොට් මොනව උනත් එහෙම අහංකාර කෙල්ලන්ට මම කැමතියි.

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා

පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...

නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...//

පද රචනය - අජන්තා රණසිංහ
ගායනය - දයාරත්න රණතුංග



ප්‍රේමයෙන් බැඳීම හේතුකොටගෙන සිත් පුරා පිරී ඉතිරීයන අපරිමිත මහෝඝය හා සමානුපාතිකව ඒ ප්‍රේමය බිඳ වැටුනු කල සිත් සතන් වසාගන්නා ශෝකාන්ධකාරය ද ප්‍රබලය. ජීවිතයේ එක් සමයක ම ද ඒ වේදනාව නොඅඩුව අත්විඳ ඇත්තෙමි.

"මහත්තය කන්නෙ නැද්ද? දැං රෑ දොළහටත් කිට්ටුයි වෙලාව."

එදින නේවාසිකාගාරයෙහි වූයේ අපගේ සිකුරා වූ (සිකුරා කියන්නෙ ඩැනියෙල් ඩෙෆෝගෙ රොබින්සන් කෲසෝ කතාවෙ පරිවර්තනයෙ කෲසෝ ගෙ සේවකයා. ඒ මනුස්සය කෲසෝට මුණ ගැහෙන්නෙ සිකුරාදා දවසක හින්ද කෲසෝ ඒ මනුස්සයට නම දානව Man Friday කියල. පස්සෙ ඔය මෑන් ෆ්‍රයිඩේ කියන ව්‍යවහාරය ඉංගිරිසියෙ යෙදෙනව සියලු වැඩ කටයුතු නොපිරිහෙලා කරන විශ්වාසවන්ත අවංක සේවකයෙක් හැඳින්වීමට.ඒකෙ ස්ත්‍රීවාචී පදය තමයි ගර්ල් ෆ්‍රයිඩේ) සැමී සහ මම පමණකි. අනෙකුත් සියල්ලෝ ගම් බිම් බලා පිටත්ව ගොසිනි. 

හවස ඉඳලම මම පොඩ්ඩ පොඩ්ඩ අරං හිටියෙ.... විකසිත පෙම් පොකුරු පියුම්..ඔබේ පයට පොඩිවී ගියාදෙන්...

"කන්නං බං කන්නං..ඉඳපං ලස්සන සිංදුවක් යනව ඒක අහල මම එන්නං.."

"කොහෙද මහත්තය? මොන සිංදුවක්ද? ඔහෙ ඇහෙන සිංදුවක් නෑ…"

"නෑ?.... මොකද බං නැත්තෙ? ඔය ඇහෙන්නෙ..විකසිත පෙම් පොකුරු පියුම්..ඔබේ පයට පොඩිවී ගියාදෙන්..පති කුලයට අද...."

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...

විකසිත පෙම්...

ගායනය - ඩබ්. ඩී. අමරදේව
පද රචනය - අජන්තා රණසිංහ 
සංගීතය - ප්‍රේමසිරි කේමදාස



ඒ දවස්වල රූපවාහිනියෙ ඉතාම ජනප්‍රිය වැඩසටහනක් මාසෙකට වරක් ප්‍රචාරය වූ යාත්‍රා ...මේ එක යාත්‍රාවක එඩ්වඩ් ගැයූ ගීතයක්...


මුව මුක්තා ලතා පිපි හංසාංගනා 
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ 
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ 
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා 
අනුරා නෙත් නගන් නොනිදා

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ

රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ

ඒ හිරු නොනගීවා 
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ 
අද ඉහිරේද දෙතොලින් මගේ

මුව මුක්තා ලතා පිපි හංසාංගනා 
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ 
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ 
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා 
අනුරා නෙත් නගන් නොනිදා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද රචනය - අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා



අජන්තා ඔබට සුව නින්දක්!!!

Friday, February 26, 2016

391. පුවක් එෂැණිං 5 - අලි පැටියෝ ඔයයි මමයි


Dalily Mirror.lk

පුන්සඳ සේම බැබලුනි උඩුවේ දම්මා,
කහවණු අරං පුල් ආතල් බණ කිව්වා,
අලිපැටියෙකුට බැඳි ප්‍රේමය නැත නිම්මා,
කෙලවුනි උඩුවේට අයියෝ පව් අප්පා,

අලියා ගෙනත්දැම්මේ මගෙ දායකයෝ,
මගෙ හද උණුව ඌ මම ඇති කරගත්තෝ,
කල හොඳ මගේ පස්සෙන් දැන් පන්නනවෝ,
හිරගෙට මාව දක්කන්නට වලිකනවෝ,

බය නෑ හිරේ යන්නට උඩුවේ දම්මේ,
හිරබත දෙවේලම කන්නේ කජුකනසේ,
සිහනද කලේ තුන්ලොවටම ඇසෙනාසේ,
අම්මටවූඩු කොහොමද එළ කොල්ලෙක්නේ, 

දවසක් දෙකක් පමණකි ගතවුනෙ යන්තං,
පොලිසිය එනෝ ගෙනයන්නට මා කුදලං,
නියෝගයක් දෙනුමැන අයියෝ තහනං,
උඩුවේ දුවපි සුපිරිං චීවරෙ කරේ තියං,

අංගම්මන සුමන..අංගම්මන සුමන,
අංගම්මන සුමන..අංගම්මන සුමන,
අංගම්මන සුමන..අංගම්මන සුමන,
අංගම්මන සුමන..XX XXXX XXX

උඩුවේ ලෝක දම්මා උඩුවේ දම්මා
උඩුවේ ලෝක දම්මා උඩුවේ දම්මා
උඩුවේ ලෝක දම්මා උඩුවේ දම්මා
උඩුවේ ලෝක දම්මා XX XXX XXX,

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...