හැත්තෑව දශකය මැද කාලෙ විතර අපෙ අම්මගෙ පුරුද්දක් තිබුන මාසික වැටුප ගත්තම අනිවාර්යයෙන්ම මට ගෙනත් දෙනව සුදු ගෝනා, සුදු වැද්දා, මැකීගිය දඩමං, වන සරණ තිත්ත කෝපි අලි පාර, රන්දිව වගෙ පරිවර්තන පොතක්. අම්ම වැඩ කලේ කෑගල්ලෙ මහ ඉස්පිරිතාලෙ. ඒ කලුගල්ල මහත්තය කෑගල්ලෙ අලුත් ඉස්පිරිතාලෙ හදල විවෘත කරපු අලුත.
කලුගල්ල මහත්තය ඒ කාලෙ සිරිමා මැතිණිගෙ සමගි පෙරමුණු ආණ්ඩුවෙ නාවික සහ සංචාරක ඇමතිවරයා.කලුගල්ල මහත්තයගෙ ගෙදර තිබ්බෙ කෑගල්ල රෙස්ට් හවුස් එක පහු කරල දකුණු පැත්තෙ නාගොල්ල පාර දිගේ හැතැක්ම බාගයක් වගෙ ගියහම පාරෙ වම් පැත්තෙ ටිකක් විතර උඩහට වෙන්න.
කලුගල්ල මහත්තයගෙ ගේ ගාවම තිබ්බ නගරසබාවෙන් හදපු පොදු ළිඳක්. වටේටම අඩි අටක් වගෙ උසට ගඩොලෙන් ආවරණ බැම්මක් බැඳල හරි මැදිං ගෑණු පිරිමි දෙගොල්ලන්ට වෙනම නාන්ට පුලුවන් වෙන්ට තව බිත්තියකුත් බැඳල තිබ්බ. ළිඳ අඩි 30 වගෙ දිගයි අඩි 15 වගෙ පළලයි. විසාල ගල් කුට්ටි අල්ලල බැඳල තිබ්බ ඒ ළිඳට අහල පහල හැමෝම කිව්වෙ ටැංකිය කියල.
අපි හිටිය කච්චේරි නිල නිවාසෙට නල ජල පහසුකම් තිබ්බට ඉරිද සෙනසුරාද අත්තම්ම මායි නංගිල දෙන්නයි එක්ක ඔය ටැංකියට එනව නාගන්ට. ජීවිත කාලයක් ගඟේ ඇලේ දොලේ ගිලිල නාල පුරුදු උන්දැට නාන කාමරේ ඇතුලෙ වතුර මලෙන් යන්තමට වෑහෙන වතුර පොදට ඔලුව අල්ලල නාල හොඳටම මදි.
"මොකද්ද මේ හිරිකඩේකට තෙමුණ වගෙ.." එහෙමයි උන්දැ කියන්නෙ. "අහවල් නෑමනක්ද ඒක.?..ඉහේ උස්නෙ යන්ට හොඳට ඉහ පෙඟෙන්ට නාන්ට එපාය." එහෙමත් කියනව විඩේකට.
ඉතිං ගෙදරදි හිරිකඩට අහුවෙල වගෙ යන්තමට නාගන්න එකටත් එක්ක මදි පාඩුවට අත්තම්ම ටැංකියට ගිහාම වරුවක් නානව. ඒ කරල නංගිල දෙන්නත් නාවනව.මට ඉතිං ඔතෙක් බලා හිටියැහැක. මම කරන්නෙ වෙනම පොඩි බාල්දියක් අරගෙන ගිහිල්ල පිරිමි කෑල්ලට ගිහිල්ල හනිකට නාගෙන ඉවරයක් කරනව. කලිං පොඩි එකා හින්ද අත්තම්මල නාන කාන්තා පාර්ශ්වයට වෙන්වෙච්චි කොටසෙ නෑවට ඒ වෙද්දි මට ඒ වැඩේට නිකං ලැජ්ජාවක් වගෙ ඇතිවෙලයි තිබ්බෙ. ඒ වයසට එහෙම වෙනවනෙ. පිරිමි ගැහැණු කියල දෙකොට්ටාසයක් ඉන්නවය ඒ දෙගොල්ල අතර ලොකු වෙනසක් තියනවය කියල ප්‍රබලව හිතට දැනෙන්ට ගන්න කාලෙ.
"සුට්ටි පුතා මෙහෙට එන්ට මම කුණු අතුල්ලල නාවන්ට" අත්තම්ම කෑගහනකොටත් මම පිරිමි පැත්තට පැනල වතුර බාල්දි දහයක් දොළහක් නාගෙනත් ඉවරයි.
"බෑ..බෑ..මට පුලුවන් තනියම නාගන්ට..." මම තව වතුර බල්දියක් ඔලුවෙ හලාගන්න අතරෙම කෑගහනව."ආය කෙහෙම්මල් කුණු ඇතිල්ලිල්ලක්..." තොල් මතුරාගන්න ගමං එතන වටේ නාන කට්ටිය දිහා හොරැහිං මම බලනව උං මට හිනාවෙනවද කියල..එහෙම නම් නෑ දෙයියංගෙ පිහිටෙං…
වතුර බාල්දි තිහක් නාල සබං ගානව. බොහෝවිට රතුපාට ලයිෆ් බෝයි. නැත්නම් ඒ කාලෙ තිබ්බ සුවේන්ද්‍රා කියල සුවඳ සබං ජාතියක්. බී.සී.සී. සමාගමේ නිෂ්පාදනයක්. කුක්ස් ජෝයි කියල ෂෝක් පොල්තෙල් ජාතියකුත් හැදුව බී.සී.සී. කොම්පැණිය.ඊට පස්සෙං පහු මම ඉස්කෝලෙ යන්ට කොළඹ ආවම මාළිගාවත්තෙ රේල්වේ ක්වාටර්ස් වල හිටිය අපෙ මාම කෙනෙක්ගෙ ගෙදර යනව සමහර සති අන්ත වල. ඒ රේල්වේ ක්වාටර්ස් ඉස්සරහම තමයි බී.සී.සී. ෆැක්ටරි එක තිබුණෙ. හම්මා..සමහර දවසට හුළඟත් එක්ක එන පොල්තෙල් සුවඳ ඉවසන්ටම බෑ.
ඉතිං සබංගාල ආයම වතුර බාල්දි පණහක් මම නානව. ඒ තමයි අපෙ අත්තම්මගෙ ස්නානය කිරීමේ විධිමත් ක්‍රියාපටිපාටිය. සබං ගෑමට පෙර බාල්දි තිහයි. සබං ගාල බාල්දි පණහයි. කොහොම ඔය ගණං මිනුං හොයාගත්තද කියල මට කියන්ට දන්නෙ නෑ. ඒත් එහෙම තමයි අපිව පොඩි කාලෙ නෑව්වෙ සහ අපි නෑවෙ.
"අත්තම්මේ…. මම නාල ඉවරා..යි..." මම කාන්තා කොටසට පිටුපාල කෑගහනව.
"එහෙනං ඔය හෙවණකට වෙලා ඉන්ට අපි නාල ඉවර වෙනකල්.."
"හා..මම අතන ජෑම් ගහ යටට වෙලා ඉන්නං.."
ටැංකියට ටිකක් එහායිං කලුගල්ල මහත්තයගෙ ගෙදෙට්ට යන පාර අයිනෙ මහ විසාල ජෑම් ගහක් තිබ්බ. ජෑම් ගස් දන්නව නේද? චෙරි කියලත් කියනව පෙලක් උදවිය.රවුම් සුට්ටං ගෙඩි. ඇට මහ ගොඩක් තියෙන්නෙ. කොට්ටෝරුවො මයිනො ගිරව් එහෙම හරි කැමතියි ඔය ජෑම් ගෙඩි කන්ට. ජෑම් ගස් වල අතු පැතිරෙන්නෙ කුඩයක් ඉහලුව වගෙ. ඒ හින්දම ජෑම් ගස් යට හොඳ හෙවණයි.
ඔය ජෑම්ගහ යට තිබ්බ තරමක කොන්ක්‍රීට් කුට්ටියක් වගෙ මොකක්ද එකක්. මට දැන් හිතෙන්නෙ ඒ ලඟම පාර හරහා තිබ්බ බෝක්කුවෙ ආරක්ෂාවට තිබ්බ කොන්ක්‍රීට් නිර්මිතයක් වෙන්න ඕන ඔය මොකක් හරි වාහනයට හැප්පිල කැඩිය යන්ට ඇති. කවුරු හරි ඕක ජෑම් ගහ යට තියන්ට ඇති ඉඳගන්ට එහෙම හොඳයිනෙ කියල.
ෂ්වෙප්ස් ( Schweppes ) කියල ජින්ජර් ඒල් වගෙ බීමක් තිබ්බ ඒ කාලෙ.අපෙ ගෙවල් කිට්ටුව තිබ්බ ඔය ෂ්වෙප්ස් බීම ගබඩාවක්. ඒකට බීම අදින්නෙ ඔක්කොම ඔස්ටින් ලොරි වලින්. කිසිම සැකයකින් තොරව ඔය කොන්ක්‍රීට් කුට්ටිය කැඩෙන්ට ඇත්තෙ ඒ ලොරියක වැදිල වෙන්ට ඕන.
කොන්ක්‍රීට් කොටේ උඩ වැටිල තිබ්බ ඉදිච්චි ජෑම් ගෙඩි එහෙට මෙහෙට පිහදාල මම හරි බරි ගැහිල ඒක උඩ ඉඳගත්ත. ඒ කරල මගෙ තුවාය ඇතුලෙ ඔතාගෙන ආපු පොත එලියට ගත්ත.
" මට ළඳුනි වරම් නැත "
ඒ ප්‍රේම කතාවක් කියල මම කියවන පලවෙනි පොත. මම මේ කතාව කියන්ට පටංගද්දිම කිව්වනෙ අම්ම මේ වෙනකල් පඩි දවසට මට ගෙනත් දුන්නෙ පරිවර්තන විතරයි. ඒත් මට වෙන ජාතියෙ පොත් කියවන්ටත් ආසාවක් ඇතිවුනා. ඒක අම්මට කිව්වම අම්ම කිව්ව "හරි එහෙනං මේ පාර අපි දෙන්නම යමු ඔයාට කැමති පොතක් ඔයා තෝරගන්ට" කියල.
ඒ කිව්වත් වාගෙ අම්ම එක්කම මම ගියා ශ්‍රී ලංකා පොත්හලට. ගිහිල්ල මම තෝරගත්තෙ ඔය පොත. "මට ළඳුනි වරම් නැත" අම්ම ඒත් පිටු දෙක තුනක් කියවලයි මට පොත අරං දුන්නෙ. මට ඒ පොතේ කතාව ගැන නම් ඒ හැටිම මතකයක් නෑ. ඒත් ගමෙන් නගරයට ආපු තරුණයෙක් ගැන ලියවිච්ච කතාවක් කියල යන්තමට වගෙ මතකයි.
පොතේ කර්තෘ අජන්තා රණසිංහ මහතා. මේ පහුගිය සෙනසුරාදා එතුමා අභාවප්‍රාප්ත වුනා.
1976 අවුරුද්දෙ තිරගතවුනා සිංහල සිනමාවෙ කඩ ඉමක් සටහන් කල චිත්‍රපටයක්. "දුහුළු මලක්"..විජය ධර්මශ්‍රීගේ ප්‍රථම අධ්‍යක්ෂණය. රොමෑන්ටික් චිත්‍රපට කලාව ලාංකික ප්‍රේක්ෂකයට හඳුන්වල දුන්නෙ දුහුළු මලක් කියලයි සාමාන්යයෙන් පිළිගැනීම. දුහුළු මලක් චිත්‍රපටයෙ තවත් කිසිදාක අමතක නොවන්නක් එහි මියුරු ගීත. සුජාතා සහ අබේවර්ධන ගයන "බොඳ මීදුම් කඳු රැල්ලේ.." ඊලඟට මිල්ටන්ගෙ " රෝමය ලෙසේ..අතීතයේ. ගිණි ඇවිලේ ගිණි ඇවිලේ යෞවන සිත් නගරේ. වෙණ වයා නැලවෙමූ නීරෝ වගෙ අපී..."
ඒත් එක්කම නන්දා මාලනීගෙ "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි පෙම් රැහැණින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..." අදට අවුරුදු හතළිහක් ගෙවිල ගිහිල්ල. ඒත් තාම උනත් පොඩ්ඩක් ගත්තම ස්වයංක්‍රීයව මිමිණෙන ගීත දෙකක්..ආ..තව පොඩ්ඩෙං ඕනම දේ කියන්ට මතක බැරිවෙනවනෙ. රන් කෙන්දෙන් බැඳ ගීතය ලිව්වෙ අජන්තා රණසිංහ.
රන් කෙන්දෙන් බැඳ අතැඟිළි එක් කල ආදරයයි...
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..
කිරිලිය සේ දුර පියාසලාලා අත්තටු රිදුනා පමණයි...
දෑළ විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි...
හිරු සඳු එකවර දෙපස නැඟේ...
කරුවල ඇයි විජිතයම මගේ...
කණාටු සුළගේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ...
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ...
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - නන්දා මාලිනී.
කෙල්ලන්ගෙ අහංකාර කමට මම ඒ කාලෙ ඉඳලම කැමතියි. ඒත් මම එහෙම අහංකාර කෙල්ලො පස්සෙ එළව එළව යන්නෙ එහෙම නෑ..ඒකත් කියන්ට එපාය."අනේහ්..එවුංගෙ අහංකාර කං එවුංට..මෙන්න මෙහෙ යමං යන්ට..." ඒ අර මගෙත් තියනවනෙ එක විදිහක රැස්පොට් එකක්. ඒක දිවිහිමියෙං ආරක්සා කරගන්ට ඕන හින්ද ඒ.....ඒත් ඒ රැස්පොට් මොනව උනත් එහෙම අහංකාර කෙල්ලන්ට මම කැමතියි.
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...
නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...//
පද රචනය - අජන්තා රණසිංහ
ගායනය - දයාරත්න රණතුංග
ප්‍රේමයෙන් බැඳීම හේතුකොටගෙන සිත් පුරා පිරී ඉතිරීයන අපරිමිත මහෝඝය හා සමානුපාතිකව ඒ ප්‍රේමය බිඳ වැටුනු කල සිත් සතන් වසාගන්නා ශෝකාන්ධකාරය ද ප්‍රබලය. ජීවිතයේ එක් සමයක මම ද ඒ වේදනාව නොඅඩුව අත්විඳ ඇත්තෙමි.
"මහත්තය කන්නෙ නැද්ද? දැං රෑ දොළහටත් කිට්ටුයි වෙලාව."
එදින නේවාසිකාගාරයෙහි වූයේ අපගේ සිකුරා වූ (සිකුරා කියන්නෙ ඩැනියෙල් ඩෙෆෝගෙ රොබින්සන් කෲසෝ කතාවෙ පරිවර්තනයෙ කෲසෝ ගෙ සේවකයා. ඒ මනුස්සය කෲසෝට මුණ ගැහෙන්නෙ සිකුරාදා දවසක හින්ද කෲසෝ ඒ මනුස්සයට නම දානව Man Friday කියල. පස්සෙ ඔය මෑන් ෆ්‍රයිඩේ කියන ව්‍යවහාරය ඉංගිරිසියෙ යෙදෙනව සියලු වැඩ කටයුතු නොපිරිහෙලා කරන විශ්වාසවන්ත අවංක සේවකයෙක් හැඳින්වීමට.ඒකෙ ස්ත්‍රීවාචී පදය තමයි ගර්ල් ෆ්‍රයිඩේ) සැමී සහ මම පමණකි. අනෙකුත් සියල්ලෝ ගම් බිම් බලා පිටත්ව ගොසිනි.
හවස ඉඳලම මම පොඩ්ඩ පොඩ්ඩ අරං හිටියෙ.... විකසිත පෙම් පොකුරු පියුම්..ඔබේ පයට පොඩිවී ගියාදෙන්...
"කන්නං බං කන්නං..ඉඳපං ලස්සන සිංදුවක් යනව ඒක අහල මම එන්නං.."
"කොහෙද මහත්තය? මොන සිංදුවක්ද? ඔහෙ ඇහෙන සිංදුවක් නෑ…"
"නෑ?.... මොකද බං නැත්තෙ? ඔය ඇහෙන්නෙ..විකසිත පෙම් පොකුරු පියුම්..ඔබේ පයට පොඩිවී ගියාදෙන්..පති කුලයට අද...."
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
ගායනය - ඩබ්. ඩී. අමරදේව
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ඒ දවස්වල රූපවාහිනියෙ ඉතාම ජනප්‍රිය වැඩසටහනක් මාසෙකට වරක් ප්‍රචාරය වූ යාත්‍රා ...මේ එක යාත්‍රාවක එඩ්වඩ් ගැයූ ගීතයක්...
මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ
මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද රචනය - අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ආනන්ද පෙරේරා
අජන්තා ඔබට සුව නින්දක්!!!
ඊයේ මේ ආරංචිය දුටුවහම බොහොම කණගාටුවක් ඇතිවුණා. විකසිත පෙම් මම ඔහුගේ කැමතිම ගීතයක්...
ReplyDeleteතිසර,
Deleteසදාතනික ගීත කියල ජාතියක් තියනවනෙ..අන්න එව්වයිං එකක්...:)
මේ සින්දු කොයි තරම් ලස්සනද. හරිම සංවේදී, ලස්සන ලියවිල්ලක්. බොහොම ස්තුතියි රවී. අජන්තාට සුබ රාත්‍රියක්!
ReplyDeleteස්තුතියි ඇනෝ...:)
DeleteHarima sundara lipiyak!Mata nodanuwathwama mawath lama kalayata ragena giya!
ReplyDeleteස්තූතියි සරත්....;)
Deleteදැන් රසිකගේ බ්ලොග් එකේ විශ්ව වර්ණපාලගේ මරණය ගැනත් ඇහුවා. රවීගේ පරණ අසල් වැසියෙක් නේද? (අර සුවේන්ද්‍රා බෝල සබන් කැටේක සුවඳත් මතක් වුණා.)
ReplyDeleteEcono,
Deleteවිශ්වා වර්ණපාල මහත්මයත් කෑගල්ලෙ කියල මම අහල තියනව. ඒත් හරියටම කොහෙද කියල දන්නෙ නෑ.
කාලෙකට ඉස්සර මම කොහෙ හරි කියෙව්ව ඔය වර්ණපාල මෙතඩ් එකට ඒ නම වැටුනෙ මේ මහත්මයා නිසයි කියල. අන්ඩරයක් වෙන්නත් පුලුවන් බොහෝවිට.. :)
කෘතහස්ත ගීත රචකයානනී, ලේඛකයානනී ඔබට සුබ ගමන් ! අප වෙනුවෙන් ඔබ කළ ඒ උතුම් මෙහෙයට අප ඔබට සදා ණයගැති වෙමු ! සසර අවසන අමාමහ නිවනම වේවා !!!"
ReplyDeleteසෙන්නා,
Deleteමම ද එලෙසම පතමි!
ඔය උසාවි පාර ඉස්සරහ තියෙන ශ්‍රී ලංකා පොත් හලෙන් තමයි මාත් ඒකාලෙ ශිෂ්‍යත්වෙ රු.70 හම්බ උනාම ගිහින් අඩුම කුඩුම ටික ගත්තෙ.
ReplyDeleteඅජන්තා සුබ ගමන්.
(ශ්‍රී ලියවෙන්නෙ මෙහෙමනෙ, කොහොමද හරියට ලියන්නෙ?)
ඔය ලියවෙලා තියෙන්නෙ හරියට. :D
DeleteAno,
Delete/ ඔය උසාවි පාර ඉස්සරහ තියෙන ශ්‍රී ලංකා පොත් හලෙන් තමයි මාත් ඒකාලෙ ශිෂ්‍යත්වෙ රු.70 හම්බ උනාම ගිහින් අඩුම කුඩුම ටික ගත්තෙ./
හෙහ්, එහෙමද? ඒ කිට්ටුවම අර ඇළ අයිනෙ තියෙන පොත් සාප්පුව මොකක්ද? සීවලී නේද? එතකොට අමර රේඩියෝ,සරත් ගරාජ්, රණතුංග මෝටර්ස්, බෙතනි කූල් ස්පොට් සල්ගාදු, ඒ ඔක්කොම ඔය අහල පහල නේද? ඔය කිව්ව තැන් ඔක්කොම ඒ කාලෙ මගේ මතකයන්ට කේන්ද්‍රස්ථාන...හෙහ්,හෙහ්,
/ ශ්‍රී ලියවෙන්නෙ මෙහෙමනෙ, කොහොමද හරියට ලියන්නෙ? /
ඔය අප්සෙට් එක දැං මාසෙක වගෙ ඉඳල ක්‍රෝම් එකේ තියනව. ෆයර් ෆොක්ස් එකේ ඔහොම අවුලක් නෑ.
නැතුව නැතුව, ඇයි ටාස්න්, චායා හෝල් දෙක කොච්චරනම් වන්ද්නා කොරපු තැන්ද.
Deleteඅමර රේඩියෝ??එහෙ යනවද ඒ කාලෙ, OMG මේ රවි කියන්නෙ සමහරවිට මම දන්න බුවෙක්ද මන්ද අෆ්ෆ
රවියගෙ රෙදි ගැලවෙයි වගේ. හැක්...
Deleteශ්‍රී හරියට ලියන්න ඕන නං ඔය දාල තියන අළුත් ක්‍රෝම් වර්ෂන් එක අන්ඉන්ස්ටෝල් කරල ( 47.0.2526.111_chrome_installer ) කියන වර්ෂන් එක දාන්න
Delete47.0.2526.111
DeleteAno,
Deleteඅමර රේඩියෝ එකේ මුණවීර දන්නවද?
හි හි...
Delete//සීවලී නේද? එතකොට අමර රේඩියෝ,සරත් ගරාජ්, රණතුංග මෝටර්ස්, බෙතනි කූල් ස්පොට් සල්ගාදු, ඒ ඔක්කොම ඔය අහල පහල නේද?//
Deleteසේරම තාම තියනව. නමුත් අලුතින්
පාරවල් හැදිල ටවුම ඉස්සරට වඩා වෙනස්. කලුගල්ල මහත්තයගෙ ගේ ගාව ටැංකියා නං බයි පාස් එකට කැඩුනද කොහෙද.
අජිත් මුනවීර නේද.
Deleteනැව් නැගල දැන් ඇවිත් ඉන්නෙ.
අජන්තා රණසිංහ මතිදුනි ඔබට නිවන් සුව ලැබේවා...!
ReplyDeleteසිංදු ඇනෝ ගේ පෝස්ට් එක බැලුවේ දැන් පොඩ්ඩකට කලින්...
ඒකෙත් කිව්වා වගේම අජන්තා ලියපු සිංදු පුදුම ආසාවෙන් අපි අදටත් රස විඳිනවා...
මමත් ගොඩක් ආසයි "රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල", "විකසිත පෙම් පොකුරු පියුම්" සිංදු...
අපේ යුගය අපෙන් ගිලිහිලා අලුත් පරපුර අතට යන බව ටිකින් ටික දැනෙන්න ගන්නවා මේ වගේ වටිනා මිනිස්සු අපි අතරින් එකා දෙන්නා වෙන්වෙලා යනවා ඇහෙද්දී...
ඒත් ඉතින් ඒක තමයි ලෝක ධර්මතාව...
මම මෙතුමාගේ පොත් කියවලා නැහැ වගේ තමයි මතක, ඒකට හේතුව මමත් රවී ගේ අම්මා වගේ පරිවර්තන වලට වැඩි මනාපයක් දක්වන නිසා වෙන්ට ඕනේ, හැබැයි ඉතින් හිරයක් ගත්තට පස්සේ උන්දැට ඕනේ පොත් එහෙමත් ගන්න සිද්ධ වෙච්ච නිසා හොඳ නවකතා කීපයක් එහෙම බලන්න ලැබුනා...
ස්වයංජාත, සෙන්කොට්ටන්, දුම්බර නිළමේ වගේ ඒවා, තව නොසෑහෙන්න තියෙනවා මයේ හිතේ, නමුත් නම් මතක නැහැ...
///කෙල්ලන්ගෙ අහංකාර කමට මම ඒ කාලෙ ඉඳලම කැමතියි. ඒත් මම එහෙම අහංකාර කෙල්ලො පස්සෙ එළව එළව යන්නෙ එහෙම නෑ..ඒකත් කියන්ට එපාය.///
මමත් අහංකාර ලස්සන කෙල්ලන්ට කැමතියි, හැබැයි රවී අයියේ උඹ වගේ නෙමෙයි ඒ දවස් වල අතපය කඩාගෙන හරි පස්සෙන් යනවා...
මගේ ලව් සීන් ගැන ලිව්වොත් එහෙම වෙනම බ්ලොග් එකක් ලිව්වහැකි...
වෙනම බ්ලොග් එකක් තියා උඹ තියෙන බ්ලොගේටවත් මොකුත් ලියන එකක්යැ.
Deleteකමෙන්ට් කරන්න ගියාම කොහෙද හැලපේ බ්ලොග් ලියන්න වෙලාවක්... ;)
Deleteලොක්කා,
Delete/ අපේ යුගය අපෙන් ගිලිහිලා අලුත් පරපුර අතට යන බව ටිකින් ටික දැනෙන්න ගන්නවා මේ වගේ වටිනා මිනිස්සු අපි අතරින් එකා දෙන්නා වෙන්වෙලා යනවා ඇහෙද්දී...ඒත් ඉතින් ඒක තමයි ලෝක ධර්මතාව…/
අන්න හරි බං..ඔය ගැන සැලෙන එකේ උඩ පනින එකේ කිසිම තේරුමක් නෑ. මම ඔය පොඩි එවුංට කලා රස වින්දන කියල පරණ සිංදු අගය කරල වැඩ මුලු තියෙන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපෙ උන්දෙලගෙ ඉස්කෝලෙ ඔහොම එකක් තියන්ට ගියා මේ කවුද ගීත රචකයෙක් එහෙම ගෙන්නල. මම ඒ සංවිධායක මණ්ඩලේ එක්ක සෑහෙන වාද කලා එහෙම කරන එක ළමයින්ට අනවශ්‍ය වගේම අනිසි බලපෑමක්ය කියල. ඒ වුනාට ඒ වැඩමුලුව තිබ්බා. උඹ මල්ලි මතක් කරපු එක හොඳයි. සෑහෙන කාලෙක ඉඳල ඔය ගැන මොකවත් ලියන්ට කියල ඉන්නව..හෙට අනිද්දම ලියන්ට ඕන. " රසවින්දනය බලෙන් ඇතිකල හැකිද? " ඒකයි මාතෘකාව..:)
මළා.. එතකොට අර DD බෝතලේට තව කාලයක් දුක් විඳින්න වෙනවද?
Deleteප්‍රසන්න,
Deleteඅර මෝඩවංසට කොයි වෙලාවෙත් විදේසීය කුරුමන්තරන වගෙ උඹට කොයි වෙලාවෙත් ඔය DD බෝතලේම තමයි සිහිය...:)
ඒ උනාට රවි අයියෙ ඔය වැඩසටහන් වලින් ඇත්තටම වැඩක් වෙනවා... ලියන්නකො පෝස්ට්ටෙක.. මොකද්ද අදහස බලන්ට..
DeleteHi Ravi
ReplyDeleteThumbs up for another good piece of writing. You are a very lucky person to have such wonderful parents .The simple and safe childhood you experienced reflects in most of your writings . Most of us werenot lucky as you.
Cheers
Thusitha
Yes Thusitha,
DeleteI was so lucky to have got such understanding and caring parents. We were not very rich but they did their best. Whatever I am today is entirely due to their down to earth attitude and loving kindness.
අජන්තා රණසිංහ කියන්නේ රස සාගරයක්.. මම හරි ආස පොර කතා කරන ඉට්ටයිල් එක.. නිකං දෙකක් දාගෙන වගේ නේ කතා කරන්නේ..
ReplyDeleteඅජන්තා වගේම උඹේ ළිපියත් බොහෝම රසවත්...
මේ අයුරින් අපි සංසාරේ ආදරෙයෙන් හමු වෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා අතරමගදි වෙන් වන්න ඇති...
- අජන්තා රණසිංහ -
ස්තූතියි මාත්ස්,
Deleteඅර හැලපෙ කියාපු ප්‍රෝග්‍රම් එක හොයාගෙන බලන්ටම ඕන...:)
It is not true that suffering ennoblessed the character; happiness does that sometimes, but suffering, for the most part,makes men petty and vindictive. SOMERSET MAUGHAM
ReplyDeleteThusitha
Out of suffering have emerged the strongest souls; the most massive characters are seared with scars.
Delete- Khalil Gibran
ඔහු දක්‍ෂ නිර්මාණකරුවෙක්
ReplyDeleteTrans,
Deleteඇත්තෙන්ම.....
උඹ එතනට ආපු හැටි මම කල්පනාකලේ. ටවල් එක අස්සේ ඔතාගෙනනෙ ඇවිත් තියෙන්නේ.
ReplyDeleteඒ සින්දු බොහොමත්ම ලස්සන ඒවා තමයි. හින්දි තනු කොපි නොකර හදපු, අපේ කියලා කියන්න පුලුවන්, ඉන්දියානුවෙක් ඉස්සරහත් සැකයක් නැතිව කැත නැතිව කියන්න පුලුවන් ගීත රචනා කරපු එකම කොච්චර ලොකු දෙයක්ද!
මම ඉස්සර කල්පනා කරපු දෙයක් තමයි ඇයි අජන්තා කියලා දැම්මේ පිරිමි ළමයෙකුට කියලා.
අජන්ත කියල දැම්මත් ඉංග්‍රීසියෙන් ලියනපු එකක් කියනකොට අජන්තා කරන්න පුලුවන්නෙ.
Deleteහෙන්රි,
Delete/ මම ඉස්සර කල්පනා කරපු දෙයක් තමයි ඇයි අජන්තා කියලා දැම්මේ පිරිමි ළමයෙකුට කියලා. /
උඹට මතකද හතේ සිංහල පොතේ තිබ්බ ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ සසර පොතෙන් කොටසක්. සසර පොතේ කථානායකයා අවුරුදු අටක විතර පිරිමි ළමයෙක්. අම්ම තාත්ත දෙන්නම නැතිවෙලා අයිය ගාව ඉන්නෙ. අයියගෙ වයිෆ් බොහොම හිරිහැර කරනව මේ ලමයට.ලමයගෙ අසරණකම තමයි සිංහල පොතේ තිබ්බ කොටසෙන් උලුප්පල දක්වන්නෙ. මේ ලමයගෙ නම අසෝකා....
පාඩම අවසානෙ මෙහෙම ප්‍රශ්නයක් අහල තිබ්බ. " අසෝකා යනු පිරිමි ළමයෙකුට යෙදෙන නමක් නොවේ. මේ කථාවේ පිරිමි ලමයාට අසෝකා යනුවෙන් නම යෙදීම කථාවේ ප්‍රස්තුතයට කෙසේ බලපාන්නේදැයි සාකච්ඡා කරන්න.."
මට අජන්තා කියල නම දැම්මෙ මොකද දන්නෙ නෑ කියල උඹ කිව්වම එක පාරට මතකයට ආවෙ ඒ ක.
මටත් ඕක ලොකු ප්‍රස්නයක්. පත්තරේක මුලින්ම හිතුනේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙන්න ඇති කියලා.
Deleteඒ උනාට මට මෙහෙම හිතෙනවා. ඔහොම ගෑනු නම් තියන පිරිමි ළමයි ඉන්නවා නේද? ඒ අය වැඩිහිටියෝ උනාම මොනම අංශෙකින් හරි පොරක් වෙනවා. අර "කලණි පෙරේරා" ඉන්නේ. අන්න තව උදාහරණයක්.
නියම ලිපියක් රවී අයියා. ඔය සින්දු මාත් ආසම සින්දු ටිකක් තමයි.
ReplyDeleteඅම්මප මේ මනුස්සය යන යන තැන පොත් ඔතාගෙන යනවද?
බොලා පොඩිකාලෙ අර ගෑනු පැත්තෙ නෑවෙ ඇඳුං නැතව වෙන්ටැ. හැක්..
අජන්තා රණසිංහයාණනි ඔබට සුබ ගමන්....
ප්‍රසන්න,
Delete/ අම්මප මේ මනුස්සය යන යන තැන පොත් ඔතාගෙන යනවද? /
නෑ බං කලිං දවසෙ පොත ගෙනල්ල මට බලන්ට හදිස්සිය හින්ද නාන්ට එනකොට තුවායෙ ඔතාගෙන ආව...මම දන්නවනෙ අත්තම්මල නාල ඉවරවෙනකොට සෑහෙන වෙලායනව කියල. ඔය අස්සෙ මට පොතේ පිටු විස්සක් තිහක් කියවතෑකි එහෙම හිතලයි මම ඔය පොත තුවාය අස්සෙ ඔතාගෙන ආවෙ...:)
/ බොලා පොඩිකාලෙ අර ගෑනු පැත්තෙ නෑවෙ ඇඳුං නැතව වෙන්ටැ. හැක්.. /
හෙහ්..නෑ බං මගෙ පරණ ටී ෂර්ට් එහෙකිං අමුඩෙ ගහගෙන..හෙහ්..ඒකතාව ආය දවසක කියන්නංකො....:)
මේ මෑතක දී අජන්තා ගී තේරූ සිහිනයකි රෑ වැඩ සටහන යු ටියුබ් හි බැලුවා.(දැන් අපට රුපවාහිනි සහ සිරස ඩිෂ් එකේ පේන්නෙ නෑ)ඒ අජන්තා ලඟකදී ප්‍රසිද්ධියේ පෙනී සිටි අවසාන වතාව විය යුතුයි. අජන්තා ඔබට සුබ රාත්‍රියක්!!
ReplyDeleteහැලප,
Deleteබොහොම ස්තූතියි සිහිනයකි රෑ ගැන කිව්වට...:)
කියවං යනකොට නම් හිතුණෙම වෙන කතාවක් ලියනවා වත්ද කියලා . ඒත් රවී මහත්තයගෙ ඒ වටේ යාම් නම් බොහොම සුන්දරයි .
ReplyDeleteඅජන්තා රණසිංහයන්ගේ ගීත ඔය විස්තර කරපු ජීවිත අත්දැකීම් එක්ක මුහු වුණාම තවත් සුන්දර වෙලා කියලා හිතෙනවා .
මෙතූ,
Deleteහෙහ්,හෙහ්, මෙහෙම වටේ යන එකේ නම් ඒ හැටි අවුලක් නෑ නේද?
අපේ හදවතේ මේ වගේ මිනිස්සුන්ට වෙන්වෙලා තියන තැන පූජනීයයි. අපේ ප්‍රේම සංග්‍රාම වලදී මේ වගේ ගීත තමයි, කාහල නාද, ප්‍රේමාලාප, විරහ වේදනා රාව, ආදී මෙකී නොකී සියල්ල සඳහා අතැඹුලක් සේ තිබුනේ. (අදත් හිතේ කොනක තියෙන්නේ)
ReplyDeleteආත්මයෙන් ආත්මයට හමුවේවායි ප්‍රාර්ථනය කරනවා.
ශ්වෙප්ස් ලොරියේ පැත්තකින් අර කැන්වස්/ඉටිරෙදි කෑල්ලකින් තියන දොරේ රෙද්ද උස්සා බලන්න අපි පුරුදුවෙලා හිටියා VKB එකට මෙහා රාජකරුණා හෝටලේ ලඟදි.
ඔය ලිඳේ අපි සැට් එකක් නාලා ඇඟ කසන්න පටන්ගත්තා.
කොහොමද ඒ කාලේ තිබුන Night & Day සබන්වල පුසුඹ.
විචා,
Delete/ VKB එකට මෙහා රාජකරුණා හෝටලේ ලඟදි. /
අපි දන්න කාලෙ ඒකෙ නම වී.කේ.එස්. වී.කේ. ස්ටීවන් ..ඒ ඇවිල්ල පුතාගෙ නම....ලොරිවල එහෙම වී.කේ.එස්. කියල ගහල තිබුනට ඒ වෙනකොටත් හැමෝම කිව්වෙ වී.කේ.බී. කියල. ඔය සාප්පුවෙ ඉස්සරහ තිබ්බ විසාල වීදුරුවක් පිටිපස්සෙ තඩි ෆෝ ඒසස් පැකට් එහෙකුයි බ්‍රිස්ටල් පැකට් එහෙකුයි. පැකට් එක බාගෙට ඇරල සිගරට් හතර පහක් බාගෙට එලියට ඇදල. පුංචිම කාලෙ ඔතනිං එද්දි මම කටත් ඇරගෙන ඔතන ඕක දිහා බලාගෙන ඉන්නෙ. අම්ම කෑගැහුවම තමයි අම්ම ගාවට දුවගෙන යන්නෙ...හෙහ්,හෙහ්,
/ ඔය ලිඳේ අපි සැට් එකක් නාලා ඇඟ කසන්න පටන්ගත්තා. /
අඩේ ඒ මොකද? එකත් එකටම උඹල නාන්ට එන කෙල්ලන්ට ඒක මේක කියල ගමේ මිනිස්සු කිතුල් ඇට තලල දාන්ට ඇති ළිඳට බොලාට පාඩමක් උගන්නන්ට...කහ කහ දුවපියව් ගෙදර කියල...හෙහ්,හෙහ්,
/ කොහොමද ඒ කාලේ තිබුන Night & Day සබන්වල පුසුඹ. /
මතකයි මතකයි...සබං කැටේ කවරෙ බාගයක් කලු බාගයක් ලානිල් පාට නේද? ලානිල් කෑල්ලෙ නයිට් කියලයි කලු කෑල්ලෙ ඩේ කියලයි නේද ලියල තිබ්බෙ?
අවුරුද්දට වැන්දම ඔය සබන්ම දෙන ලොකුඅම්ම කෙනෙක් උන්නා.. සුවඳත් එක්ක මතකෙ බැඳිලා... ශහ්ඃ
Deleteමේ මිනිස්සු මැරිලා ගියාම සින්දු ලියන්න ඉතිරි වෙන කට්ටිය මතක් වෙනව.. බය හිතෙනව..))
ReplyDeleteවර්ෂා,
Deleteමොකටද බං බය වෙන්නෙ? ඉස්සරහට සිංදු ලියන එක වෙරි ඊසි..උදේ නැඟිට්ටම කට හෝදල දාන්ට ඉස්සර සිංදු දෙකක් තුනක් ලිව්වැකි කිසි අවුලක් නැතුව.
පැනපං මගෙ උකුලට, නැඟපං මයෙ කරට, ගහපං මගෙ කණට, අඹරපං මගෙ කුළල...ඔන්න ඔව්ව අස්සට මයෙ සූකිරියා, මයෙ නරාවලා, මයෙ ලගඩිපපා, මයෙ කොරොස්කටා කියල ආතල් පහේ ආමන්ත්‍රණ කෑලි ටිකක් දැම්මනං ආය නෑ පේස්භුක් දාල පැය බාගයක් ඇතුලත ලයික් දාහ පන්නන සිංදුවක් හදා ගත්තෑකි.
වරේ වා........හොටං පයිසි පං එක දැනිලා...........කියලා කොත්තු විකුනන්නත් පුළුවන්, ඒ ජාතියේ 'පඩමාලා' වලින්.
Deleteරවී.......අජන්තා හරි සුන්දර මිනිහෙක්. මගේ කැමතිම ගීත ලිස්ට් එකේ බොහොමයක් ලියලා තියෙන්නේ මොහු. හැලපේ ලියලා තියෙනවා ජාතික රූපවාහිනියේ 2016/01/03 විකාශයවූ සිහිනයකි රෑ බලපල්ලා. අජන්තාගේ ඇතුලේ ඉන්න සරළ මිනිහා එලියට ආපු පැය දෙකක් ඒ වැඩසටහනෙන් මතුවුනා. Aru
ReplyDeleteඋඹ අරූගේ අඩවිය ලියපු අරූ අයියද? එහෙම නං බුදු අයියේ ආයෙත් "අවුල් වෙන්නට පෙර" ඉතුරු ටික ලියපං මයෙ අම්මා. එහෙම රස ආකරයක් !! උඹට තෙරුවන් සරණයි.
Deleteකියල වැඩක් නැ අහන්නැනේ
Deleteඅරූ,
Deleteමම මේ දැන් බලනව බං ඒ වැඩ සටහන..සිහිනයකි රෑ...උඹටයි හැලපටයි ස්තූතියි ඔත්තුව කිව්වට...
සිහිනයකි රෑ
ඔය .....මුව මුක්තා ලතා පිපි හංසාංගනා..තියනවා නේද ..මම ආසම නැති ගායකයෙක් තමා එඩ්වඩ් ඒ උනාට ඔය සින්දුවට ආසයි , ...කොච්චර ට්‍රයි කලත් වචන මතක හිටින්නැනේ
ReplyDeleteAtam,
Delete/ මම ආසම නැති ගායකයෙක් තමා එඩ්වඩ් /
තෝ මට හම්බවෙච්චි දවසක මතක් කරපං තොගෙ තට්ටෙ පලන්ට ..හෝතඹුවා.....
ගොඩක් උන් හිතාන හිටියට මං තට්ටයෙක් නෙමෙයි , ඉස්සර තට්ටේ ගෑවට දැං දැං කොටට කොන්ඩේ කපන්නැ සොරයිසීස් තුවාල පේන හන්දා
Deleteඅන්න අර විචා තමයි එහෙම කිව්වෙ බං...:)
Deleteඅමරණීය කලාකරුවාට සුබ ගමන්
ReplyDeleteකසුන්,
Deleteඅපි එහෙම ප්‍රාර්තනා කරමු.
අපි ඔහුට නිවන් සුව පතමු
ReplyDeleteඉවාන්,
Deleteනිවනට පළමු යලි අප අතරම ඉපදේවා කියලයි මම නම් පතන්නෙ....:)
සුවෙන්ද්‍රා බෝල සබන් කියුවම කතාවක් මතක් උනා.. ඉස්සර අපි නෑවේ ගඟෙන් නැත්නම් ගෙවල් කිට්ටුවෙන්ම ගලපු ඇල පාරෙන්.. මුළු ගමටම පොදු වතුර පයිප්ප දෙක තුනක් තිබ්බා එක වෙලාවකට විතරක් වතුර එන. ගමේ අදාල පවුල් කීපය බිමට වතුර ගෙට ගත්තයින් පස්සේ සමහරු ඔය ටැප් වතුර නාන්න යනවා.. විශේෂයෙන් තරුණ ගෑණු අය..
ReplyDeleteඅපේ ගෙදර නිතර හිටපු දුරින් නෑදෑ වෙන අක්ක කෙනෙක් හිටියා (දැන් නම් ආච්චියෙක්) එයත් යනවා සතියකට සැරයක් දෙකක් ඔය පයිප්පෙන් නාන්න.. යනකොට සමහර වෙලාවට මාවත් එක්ක යනවා.. මම හොඳටෝම පුංචි එකා.. රෙදි හෝදන්නයි ඇඟේ ගාන්නයි දෙකටම බොහෝ විට ගෙනියන්නේ සන්ලයිට් හරි ස්නෝවයිට් හරි තමයි ඉතින්. දවසක් අපි එහෙම ගිහින් නාලා ඉවර වෙනකොට මේ අක්කගේ යාලුවෙක් ඔන්න සුවේන්ද්‍රා බෝල සබන් කැටයක් අරන් ආවා.. මාව ගස් හෙවනක තියපු අක්කා බෝල සබන් ගාන්න ඕනිවට ආයේ නෑවා.. අනේ.. සබන් ගාලා ඉවර වෙනකොටම පයිප්පෙ වතුර ඉවර උනා..
සුභ ගමන් අජන්තා රණසිංහ මහතාණෙනි!
කළ්‍යාණ,
Deleteෂෙක් බං උඹල අර ගඳ ගහන ඔයෙන්ද නෑවෙ? අර ප්‍රේමදාස මහත්තය පාලමක් එහෙම දාල දුන්නෙ ඒ ඔයට උඩිං? ඒ ඔය ගැන නේද කියන්නෙ? අර බොලාගෙ අම්ම කවියක් එහෙම කිව්වෙ?
ගඳ නෑ යකෝ.. සත්තලන් වතුර ටික.. ඒ ඔයේම වතුර දුනුවන්ගිය හරියෙන් හරවලා එව්වට ඇලේ වතුරනම් ටිකක් සිනි ගඳයි මොකද වෙලාවකට වතුර වහලා දාන නිසා හා ගෙවල් ලඟින්ම ගලාගෙන යන නිසාද කොහෙද.. අර අක්කට අන්තිමට නාන්න උනේ ඇලේ වතුර තමයි..
Deleteරළු ගල් බොරළු මැද අප ආ අඩි පාරේ..
යාවී දෙගොඩ මහා පාලම තැනුනානේ.. කවිය තාම මතකයි නෙහ්? :)
පහුගිය පෝය දවසේ රෑ වෙලා ගඟේ පිට්ටනියේ ඉඳන් අඩියක් ගැහුවා.. ගල් කන්දට (රොක්හිල්) උඩින් හඳ පායලා පිට්ටනියටයි ගඟේ බොරළු තලාවටයි වැටුනම ආයි නෑ ඉතිං අජන්තා රණසිංහ මහත්තයාගේ සිංදු පණ ගහලා එනවා කියන්නේ.. කියලා වැඩක් නෑ..
/ගල් කන්දට (රොක්හිල්) උඩින් හඳ පායලා පිට්ටනියටයි ගඟේ බොරළු තලාවටයි වැටුනම ආයි නෑ ඉතිං අජන්තා රණසිංහ මහත්තයාගේ සිංදු පණ ගහලා එනවා කියන්නේ.. කියලා වැඩක් නෑ../
Delete++++
ඉගෙන ගන්න කාලෙ.ඩ්‍රොඉවිං එකක් කර කර ඉන්නකොට එකෙක් ආවා.ඇස් රතු වෙලා.මූ බූට් එකක් කාල.බොන්නයි ලෑස්තිය.අතේ සල්ලිත් නෑ.ගල් බෝතලයක් අරන් බෝඩිමට ගියා.ටිකකින් කොල්ලොම අටක් සෙට් වෙලා.බඩු මදි නෙව.ගෙනාව රා.සිගරට් ගන්න සල්ලි නෑ.. බොන්නෙ බීඩි.බූට් කාපු එකා කුළු හරකා වගේ.ගහන්න මරන්න කතාව.රෑ වෙලා හඳත් පායලා.ගස්ලබ්බයි තව දෙන්නෙකුයි හෙමින් සැරේ සිංදු කියන්න පටන් ගත්තා..(අරූ කූල් කරන්න.) ටිකකින් ඔය 'එදා මෙදා තුර' කිව්වා.බූට් ඩයල් එක අපි ලඟට ආවා.. 'විකසිත පෙම්' සින්දුව කිව්වා... ආයෙ ආයෙ කිව්වා... මිනී මරන්න හිටපු එකා පොල් කඳක් උඩට වෙලා හොඳට අඬලා නිදාගත්තා.. ඔන්න සින්දු වල බලේ..
ReplyDelete(අජන්තාවන්ට සැනසීම ලැබේවා)
ජයවේවා..!!
ගස්,
Deleteනියම කතාව...බූට් කතා නම මගෙත් තියනව එමට...මගෙ නෙවෙයි මගෙ යාලුවන්ගෙ...:)
අජන්තා රනසිංහ ඔබට නිවන් සුව...
ReplyDeleteහරි අගේ ඇති කතාවකින් පටන් ගත්ත විදියනම් මරු...
ස්තූතියි මචං...:)
Deleteසොඳුරු මිනිසකුගේ නික්ම යාමක්... මේ පොස්ට් එක ඔහුට උපහාරයක්ම වේවි.. ඔහුට නිවන් සුව පතනවා...
ReplyDeleteස්තූතියි තුශානි....:)
Deleteඔහු වැනි ගීත රචකයන්ගෙ අඩුව හෙට දින පුරවලන්නෙ කවුරැන්ද? හොටු පෙරගෙන අඩන්න මෙලො රහක් නැති සිංදු කතන්දර ලියන එක රෑකට පායන වල්ගා තරුද??සරල කලාකරුවෙකුගෙ නික්මයාම........ මහතනනි ඔබට නිවන් සුව....( රවි අය්යා අදත් ලියල තියෙන්නෙ එල කිරි ඩිංගට )
ReplyDeleteඔහු වැනි ගීත රචකයන්ගෙ අඩුව හෙට දින පුරවලන්නෙ කවුරැන්ද? හොටු පෙරගෙන අඩන්න මෙලො රහක් නැති සිංදු කතන්දර ලියන එක රෑකට පායන වල්ගා තරුද??සරල කලාකරුවෙකුගෙ නික්මයාම........ මහතනනි ඔබට නිවන් සුව....( රවි අය්යා අදත් ලියල තියෙන්නෙ එල කිරි ඩිංගට )
ReplyDeleteස්තූතියි Latta....:)
Deleteඑවන් සදාතනික ගී රැසක්... එතරම්ම හිත සුවපත් කරවන, හඬවන, නළවන ගී... කියන්න වදන් නැත...
ReplyDeleteතරූ,
Deleteටෝටලි ඇග්‍රීඩ්....:)
පරිවර්ථන කියවන කාලෙ හැන්ඩි ඇන්ඩි පොත කියෙව්වද?
ReplyDeletehttps://www.goodreads.com/book/show/3225293-handy-andy
මට සින්හල පොතේ නම මතක නෑ
ප්‍රා,
Deleteකියන්ඩ තියා මම එහෙම පොතක් ගැන ඔය ඇහුවමයි....:(
පරිවර්තනයක් තියනවනම් සමහරවිට පොඩි කාලෙ කියවල ඇති..
අජන්තා රණසිංහයන්ට නිවන් සැප ලැබේවා !!! ස්තූතියි රවී මේ පෝස්ට් එකට. අර අලි සුරතල් ශාධුල ගැන වල්පල් වලට වැඩිය මේවා කොච්චර රසවත්ද :)
ReplyDeleteමොන හේතුවකටද මන්දා මට එඩ්වඩ් ජයකොඩිව පෙන්නන්න බෑ. ඔය මනුස්සය දැක්කම මට මතක් වෙන්නේ CTB ඩ්‍රයිවර් කෙනෙක්ව (අපහාසයකට නොවේ !)
උදය,
Deleteයකෝ එඩාව පෙන්නන්න බෑ? මොකටද මම කියන්නෙ? උඹ හම්බ වෙච්චි දවසක මතක් කරපන් හොම්බට දෙකක් අනින්න. අර උඩහ අටමටත් එහෙමලු. එඩාව පේන්ට බැරිලු. අම්මාපල්ල මයෙ මාලු නටනව...:)
"මට තියෙන්නෙ බස් ඩ්‍රයිවර් කොණ්ඩයක්නෙ" කියලා කෙලින්ම කිව්ව කෙනෙක් තමයි ජයලත් මනෝරත්න. මතකනේ ඒ කතාව?
Deleteමනෝගෙ යාලුවා: බාස් උන්නැහෙ මෙයාව අඳුනනවනෙ? (මනෝව පෙන්වමින්)
බාස් උන්නැහෙ: (ඕනෙවට එපාවට) ඔව්. මෙයා නිට්ටඹුව ඩිපෝවෙනෙ වැඩ නේද?"
රවී මෙහෙමයි වැඩේ. එඩ්වඩ් ලොක්කගේ සින්දු වලට මම කැමති නැති උනාට අපේ ගෙදර බොස්ගේ ෆේවරිට්. So my dislike is no longer a valid concern :)
Delete@Dude - බස් ඩ්‍රයිවර්ලාට ආවේනික කොණ්ඩයක් තියෙන බව අදයි දන්නේ. මොනවා උනත් කතාව ඇත්ත :)
එඩ්ඩව අපේ තාත්තටත් පේන්ඩ බෑ.
ReplyDeleteගෙඩි ගෙඩි කොණ්ඩෙයක් තියාගෙන, දත් හින්ද පොටෝ එක රාමු කරන්ඩ බැරි පත්තන්දෝරුවක් බැඳගෙන...
රවිය හින්ද තමා මං එඩ්ඩගෙ සිංදු අහන්ඩ ගත්තෙ. ඇස් පියාගෙන අහන්ඩ ඇහැකි සිංදු හැටක් විතර එක සීරුවට.
අජන්තා රණසිංහ ගැන ශ්‍රී සඟරාවක ගිය ලිපියක් තිබ්බ, කොල්ල කාලෙ. වෙලාවක හොයල ස්කෑන් කරල දාන්ඩ හිතයි.
මෑන් ෆ්‍රයිඩේ කියල 1975 ෆිල්ම් එකක් ආව. ඒකෙ ෆ්‍රයිඩේ, සභ්‍යත්වය ප්‍රශ්න කරන සීන් ටිකක් තියෙනව.
උදාහරණෙයක් - ඔන්න කෲසෝ ඔලිම්පික් තරඟ ටිකක් තියනව වැල්ලෙ. දුවන තරෙඟෙකුත් තියෙනව. ෆ්‍රයිඩේ ට කෲසෝ කියාදෙනව තරඟ නීති. "හොඳට ම දුවන කෙනා දිනනවයි" කියලයි කියන්නෙ. ඉතිං කෲසෝ හයියෙං දුවල දිනනව. ෆ්‍රයිඩේ ලස්සනට හෙමිං හෙමිං දුවල ඇවිත් තර්ක කරනව හොඳටම දිව්වෙ මං කියල.
රවීයියා කියලා තියෙනවා වගේ රස වින්දනය කියනදේ රාමු කරලා එක මෙහෙමයි කියලා නීති දාන්න බැහැ.මිනිස්සුන්ගේ රස වින්දනය එකිනෙකාට වෙනස්.
ReplyDeleteමම හිතන්නේ අජන්තා රණසිංහයන්ගේ ගී පදරචනා විවිධ රසයන්ගෙන් තියෙනවා කියලා.ලස්සන ළමා ගීතයක් වෙච්චි "කුරුම්බැට්ටි මැෂිමේ"සින්දුව.ඒ වගේම "මේ මැයි ගහ යට,දුරස් වන්නට මේ ලෙසින්,මට ආසයි හිනැහෙන්න"වගේ සරල ගීතත්."පුංචි දවස්වල නින්දට යද්දී,උකුලට නාවත් එදා වගේ" මව් පිය ගුණ ගීතත්,එතකොට ඔය එඩ්වඩ් ජයකොඩි ගයනා "මුව මුක්තා ලතා"වගේ ගීත විතරක් නෙමේ අමරදේවයන්ගේ "හීන් සැරේ ඔබ අවා,පෙම්වතුනේ,බොල් වී අහුරු" වගේ ගීතත් කොයි තරම් විවිධ රස උපදවන ගීතද ?
අජන්තා රණසිංහයානෙනි ඔබට සුබ ගමන්....!
කට්ටිය එඩ්වඩ් ට කැමති නැහැ වගේ. මමනම් කැමතී සින්දු දෙකක් නිසා.
ReplyDeleteනිල් නුවන් පෙඟෙන සහ වසන්තයේ අග...මනුස්සයෙක් හැටියටත් එයා හොඳයි මම හිතන්නේ.
අජන්තා රණසිංහ කලාකරුවාට නිවනට මග පෑදෙවා !!