මහාචාර්යවරයාගේ සහායකයාගේ කුටියෙහි දොර විවරකොටගෙන අනන්‍යා පිටතට පැමිණුනාය. සූක්ෂම ආර්ථික විද්‍යා විභාගයේ ඇගේ ප්‍රතිඵල සටහන සුරතෙහි තදින් ග්‍රහණය කොටගත්වනම දොරටුව අසල පොදි කමින් හුන් අනෙක් සිසුන් සහ සිසුවියන් පසුකරමින් ඇය මා හිඳ සිටි දෙසට යුහුව පිය මනින්නට වූවාය. මේ වනවිට අප ආයතනයේ සියලුම සිසුන් පාහේ ඇය හා මා අතර වූ හිතවත්කම, නොඑසේනම් සමහරු සරදම් සිනහවක් ද සහිතව පැවසූ පරිදි සහෝදරත්වය පිළිබඳ දැන සිටියහ. ඇය හැඳ සිටියේ රෝස පැහැ ටී ෂර්ටයක් සහ ඩෙනිම් කොට කළිසමකි. පෝළිමේ හුන් බහුතරයක් සිසුහු තමන් මෙහි රැඳී සිටින්නේ කුමන කාර්යයකටදැයි එකෙනෙහිම අමතක කොට ඈ දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට වූහ.
" ඒයි මේ...මට බී ප්ලස් එකක්...බී ප්ලස් කියන්නෙ නරකම නැහැ කියල අහන අහන හැමෝම මා එක්ක කිව්ව." ඇය දුර සිටම හඬනඟා පැවසූයේ ඇගේ ප්‍රතිඵල සටහන ඔසවා මදෙසට ළෙලවමිනි.
" ඔයාගෙ කොට කළිසම නම් බොහොම කොට වැඩියි. " ඇගේ උදම් ඇනීම නෑසුණාක් මෙන් මම පැවසූයේ ඉවත බලා ගනිමිනි. එක්කෝ මා පැවසූව ඇයට නෑසුණි. එසේත් නැතහොත් ඇසුණද ඈ එය කිසිදු ගණනකට නොගත්තාය.
" කෝ බලමු ඔයාට මොකක්ද හම්බ වෙලා තියෙන ග්‍රේඩ් එක? " ඇය ඇසූයේ මා අතවූ ප්‍රතිඵල සටහන එක් වරම උදුරා ගනිමිනි." දෙයියෝ සාක්කි. ඔයාට ඒ මයිනස් එකක් නේද? ඔයා කොහොමද මට වඩා ලකුණු ගත්තෙ? මට මේක විස්වාස කරන්නත් බෑ ක්‍රිෂ්, අනේ ඇත්තමයි, ඔයා කලේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. මට ආර්ථික විද්‍යාවට ගෝල්ඩ් මෙඩ්ල් එකකුත් තියනව. ඉතිං කොහොමද මෙහෙම වෙන්නෙ? "
" මං කියන්නද? වෙලාවක ඔයාගෙ ගෝල්ඩ් මෙඩ්ල් එක ගෙනල්ල ප්‍රොෆෙසර් චැටර්ජිට පෙන්නන්ට.." මම බැරෑරුම් ලෙස පවසා තොල් තදින් පියාගතිමි.
" ඒයි..මේ මොකද අනේ...මේ? " ඇය වහා ඇසුවාය. මම කිසිවක් නොපවසා හිඳසිටි අසුනින් නැඟී සිටියෙමි.
" හරි හරි මොකක් වුනත් ඔයාට මම තෑග්ගක් දෙන්ට ඕන.ඔයා බොහොම අපූරුවට මට සංඛ්‍යානය කියල දුන්න හින්දයි මම විභාගෙ පාස් වුනේ. මොකද කියන්නෙ? දවල් කෑම මගෙ ගාණෙ..ඔයාට බඩගිනිද? "
මම හිස වනා ඒ එසේ බව හැඟවීමි. නේවාසිකාගාරයන්හි දිවිගෙවන්නෝ අනවරත සාගින්නෙන් පෙළෙන්නෝය.
" රායිට් එගෙනං යමු රම්බායි රෙස්ටුරන්ට් එකට…." ඇය සිනාසෙමින් පැවසුවාය.
" මේ ඔහොමද ඔයා රම්බායි එකට යන්නෙ? "
" මොකක්ද ඔහොමද කියල අහන්නෙ? මොකක් ගැනද ඔයා මේ කියන්නෙ? "
" මම කියන්නෙ ඔය ෂෝට් එක ගැන.ඔයා රම්බායි යන්න හිතාගෙන ඉන්නෙ ඕක ඇඳල නම් මම එන්නෙ නෑ ඔයත් එක්ක."
" මේ කරුණාකරල මට කියනවද? ඕක ඔය ඔයගොල්ලන්ගෙ පන්ජාබ් චාරිත්‍රයක්ද ගෑණු අඳින්ට ඕනෙ මොනවද කියල තහංචි දාන එක? "
" ඒක පන්ජාබ් චාරිත්‍රයක් නම් නෙවෙයි. ඒත් මම කියන්නෙ යතාර්ථවාදීව හිතල. ඔයා ඔහොම ඇඳගෙන රම්බායි එකට ගියොත් මිනිස්සු කන්ට වගෙ බලා ඉඳියි ඔයා දිහාවෙ. "
" මේක ඇතුලෙ කියලත් ඉතිං එහෙමට වෙනසක් නෑනෙ. අර පේන්නෙ නැද්ද පුදුම සතෙක් දැක්ක වගෙ බලා ඉන්න හැටි? ඔව්ව ගණං ගන්ට ගියොත් මේ ලෝකෙ ජීවත් වෙන්ට බෑ. එව්වයිං අපිට වැඩක් නෑ..යමු යමු.." ඇය මට පිටුපා ආයතනයෙහි ප්‍රධාන දොරටුව දෙසට සෙමෙන් ඇවිද යන්නට වූවාය.
" මට බඩගිනි නෑ...මට ඕන නෑ..මම එන්නෙ නෑ.. " මම ආපසු හැරී ශිෂ්‍ය නේවාසිකාගාරය දෙසට පිය නඟන්නට වීමි.
" මේ...ඔයා ඔය ඇත්තටමද කියන්නෙ? විහිලුවක් එහෙම නෙවෙයිනෙ?.." ඇගේ කටහඬේ වූ විමතිය මට එක්වනම හඳුනාගත හැකිවිය.
" නෑ..විහිලුවක් නෙවෙයි..මම එන්නෙ නෑ.."
" ඔයාගෙ කැමැත්තක් " ඇය යලි පැවසුවාය.උරහිස් හැකිලූ මම ආපසු නොහැරීම ඉදිරියට පිය මැන්නෙමි
" මේ,ඒක නෙවෙයි...අද රෑට පාඩම් කරන්න එනවද? " ඇය යලිත් ඇසුවාය.
කියන්න බෑ නැතහොත් සලකා බලමුකො එසේත් නැතහොත් හිතුනොත් එන්නම් යයි ඇඟවෙන පරිදි මම ආපසු නොහැරීම උරහිස් හැකුළුවෙමි.
" මම අඳින්න ඕන මොන වගෙ ඇඳුමක්ද? " ඇය ඇසුවාය. ඇය සිනහසෙනවාදැයි දැනගැන්මට ආපසු හැරී බැලීමට ඇතිවූ හැඟීම මම මැඩගතිමි.
" ඔයා මගේ Girl Friend නෙවෙයිනෙ.ඕන දෙයක් අඳින්න. මට කොහොමත් එකයි."
රාත්‍රියෙහි පාඩම් කරනු උදෙසා ඇගේ කුටියෙහිදී හමුවූ කල්හි දිවා කාලයෙහි අප අතරවූ මත ගැටුම පිළිබඳව අප දෙදෙනම වචනයක් හෝ නොදෙඩුවෙමු.ඇය කළු පැහැ ට්‍රැක් සූට් කළිසමක් සහ ඇගේ ශරීර ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් විශාල මැණික් කටුව දක්වා වැසෙන සේ අත් දිග, හැඳහුන් කළිසම වන්ම කළු පැහැ ටී ෂර්ටයක් හැඳ සිටියාය.
ඇෆ්ඝනිස්ථානයේ තද ශීත සෘතුවක වුවද, කිසිදු උපද්‍රවයකින් තොරව එළිමහනේ සක්මන් කිරීමට පවා ඇය හැඳහුන් ඇඳුම් ප්‍රමාණවත් බව මට සිතිණි.දිවා කාලයෙහි ඇය හැඳසිටි කොට කළිසමෙන් නිරාවරණය වී තිබූ දිගු දෙපා කළු පැහැ කළිසමෙන් පූර්ණ වශයෙන් වැසී තිබීම මසිතට ගෙන ආවේ පශ්චාත්තාපයකි. එහෙත් ඒ චමත්කාර ජනක දර්ශනය අහිමිවීමට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ ද මා බැවින් මටම දොස් පවරාගන්නවා හැර මට කල හැකි අන් යමක් නොවීය.
හෙටදින අප විසින් අධ්‍යයනය කලයුතු අළෙවිකරණ මූලෝපායයන් පිළිබඳව සාරාංශයක් අඩංගු සටහන් පොතක් මම විවෘත කළෙමි.
" නිර්දෝෂ් - නිකටීන් රහිත දුම්වැටි ප්‍රචාරණය " එහි සඳහන් මාතෘකාව මම හඬනඟා කියවූයෙමි.
" ෆක්... මොන විකාරයක්ද ඒ?...නිකටීන් නැති සිගරට්? මට නම් ඕනෙ නියම සිගරට් එකක්. ඔය එක එක විකාර නෙවෙයි..ෆක් ඉට්.." ඇය ආවේගශීලිව පැවසුවාය. මම ඇය දෙස නොපහන් බැල්මක් හෙලීමි.
" දැන් මොකක්ද ප්‍රශ්නෙ? මම ෆක් කිව්ව එකද? එහෙම නැත්නම් සිගරට් බොනවයි කිව්ව එකද? "
" මේ මට කරුණාකරල කියනවද ඔයා මොකක්ද මෙහෙම හැසිරෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල "
" මම විශේෂයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒත් ඔයාට එක දෙයක් කියන්න ඕන. ගැහැණුත් පිරිමි වගේම බුද්ධිමත්ය කියල කරුණාකරල පිළිගන්ට. එතකොට බුද්ධියක් තියෙන, තමන්ට ස්වාධීනව හිතන්ට පුලුවන් කිසිම මනුස්සයෙක් කැමති වෙන්නෙ නෑ තමන් අඳින්න ඕන මොනවද? ඒ වගේම තමන් හැසිරෙන්න ඕන කොහොමද? කතා කරන්න ඕන මොන වගෙ වචනද? කියල තව කවුරුවත් උපදෙස් දෙනවට. විශේෂයෙන්ම නීත්‍යානුකූලව වැඩිහිටියොයි කියල රජයෙන් පිළිගන්න අය එහෙම කොහොමත්ම කැමති වෙන්නෙ නෑ. අන්න ඒ ගැන කරුණාකරල ටිකක් හිතන්න. " ඇය එක දිගට කියවාගෙන ගියාය.
" පණ්ඩිත කතා කියන්න එපා අනන්‍යා... I don't like over-smart people " කෙමෙන් රතුවන මුහුණින් යුතුව මම දත් අතරින් පැවසූයෙමි.
" ඔයාටත් මට ඒ වගේම දෙයක් කියන්න තමයි තියෙන්නෙ. මට උපදෙස් දෙන්න එන්න එපා. And something more... don't patronize me."
" ඔයාට ඕන අනික් අයගෙ අවධානය ලබාගන්න නම් ඇඟ පේන්න ඇඳුම් අඳින්නෙ නැතුව ඒක කරන්න වෙන ක්‍රම තියනව " ආවේගය පාලනය කරගැන්මට උත්සාහ දරමින් මම පැවසූයෙමි.
" මම කොට කළිසම් අඳින්නෙ කාගෙවත් අවධානය ලබාගන්න කියල හිතල නෙවෙයි. මම ෂෝට්ස් අඳින්නෙ මම ෂෝට්ස් අඳින්න කැමති හින්ද... අනික මට ඒවා අඳින එක පහසු නිසා. " ඇය කොපමණ ශබ්ද නඟා කෑගැසුවේදයත් යාබද කුටියෙහි වසන යුවතිය තව මොහොතකින් දොරට තට්ටු කරනු ඇතැයි බියවූ මම දොර දෙස මොහොතක් බලා සිටියෙමි.
" හරි හරි අපි මේ කතාව මෙතනින් නවත්වමු. හිත සන්සුන් වෙන්නත් එක්ක නිශ්ශබ්දව පාඩම් කරමු. මොකද කියන්නෙ? " මම සිනාසෙන්නට අසාර්ථක උත්සාහයක් දරමින් පැවසූයෙමි. ඇය වදනක් හෝ තෙපලීමෙන් තොරව මේසය මත තිබූ පොත් අතරින් එකක් තෝරා උකුල මත තබා ගනිමින් කියවන්නට වූවාය.
පොත් පිටු පෙරලනවිට නැඟෙන සිහින් සරසර හඬින් පමණක් ඇගේ කුටියේ නිශ්ශබ්දතාවය වරින්වර බිඳීගිය අඩ හෝරාවකට ආසන්න කාලයක් මෙසේ ගෙවී ගියේය.
" ක්‍රිෂ්, කාගෙවත් අවධානයක් ලබාගන්ට මට ඕන කලේ නෑ..මේ ඇත්තමයි. " ඇය හදිසියේම හිස ඔසවා බලා සිහින් හඬින් පැවසුවාය.
" එහෙම වුනත් කමක් නෑ... මොකද මට ඒකෙන් වැඩක් නෑ. " මම නොසැළකිල්ලෙන් පැවසූයේ අවම වශයෙන් හිස එසවීමෙන් හෝ තොරවය.
" හහ්.. මට පේන්නෙ ඔයාට තියෙන්නෙ ඊරිසියාව "
" මොකක් ?...පිස්සුද ඔහේට? " පොත වේගයෙන් වසා දමමින් මම නැඟී සිටියෙමි.
" හරි හරි ඔච්චර කලබල වෙන්න ඕන නෑනෙ ඉතිං ඕකට. මම නිකමට එහෙම කිව්වෙ. අපි පාඩම් කරමු. " ඇය යලිත් කියවමින් හුන් පොත වෙත නෙත් යොමුකොට ගත්තාය. ඇගේ දෙතොලග සිහින් සිනහවක් විකසිත වන්නට විය.
ඇඳ මත තිබූ රෝස පැහැ කොට්ටය අතටගත් මම එය ඇය වෙත දමා ගැසුවෙමි. මහ හඬින් සිනාසුණු ඇය කොට්ටය අතට ගෙන මගේ හිස මතට වේගවත් පහරක් එල්ල කලාය. ඒ පහර වැළැක්වීමට දෑත එසවූ මගේ දෑතෙහි ඇගේ දෑත ගැටිණි. දෙවරක් හෝ තෙවරක් සමුගන්නා අවස්ථාවන්හිදී අතට අතදීම හැරුනු කල ඇගේ සහ මගේ සිරුරු ගැටුනු පළමු අවස්ථාව මේ බව එසැණින් මසිතට නැඟිනි.
එදින සිට ගතවුනු පුරා මාසයක් මුලුල්ලේ ඇය සහ මම එක්ව අධ්‍යයන කටයුතුවල යෙදුනෙමු.අප අතර ඇසුර හුදු සහෝදරාත්මක හිතවත්කමක සීමාවෙන් ඔබ්බට නොයායුතු බවට අප අතරවූ එකඟතාවය රැකීම මේ ගතවූ මාසයක කාලය තුල මට කිසිසේත් පහසු කාර්යයක් නොවීය. පොතක් වෙත නැඹුරු කොටගත් හිස හුදු අහඹුවකින් හෝ එසවුනිනම් එකෙණෙහිම මා ඉදිරිපිට දිස්වන්නේ ඇගේ වතයි.ඇගේ රුවැති වත නෙත ගැටෙනා වාරයක් වාරයක් පාසා ඇය වැළඳ සිප ගැන්මට මසිත ඔද්දල් කල ආශාව මම මැඩ යටපත් කලේ බලවත් අසීරුවෙනි.
ඒ ජාගර සිතෙහි මතුවන ආශාවන් මම යටපත් කොට ගත්තේ මහාචාර්ය චැටර්ජී මා අසල හිඳ තම උපැස් යුවල ඉහළින් මදෙස දෑස් නොපියා බලා සිටිනු ඇතැයි උපකල්පනය කිරීමෙනි. මහාචාර්ය චැටර්ජීටද මසිත දමනය කරනු නොහැකි වූ සඳ ඒ සඳහා මට සරණ වූයේ අනන්‍යාගේ මෑණියන්ය. තුන් සිතම පෙලන සියළු ආශාවන් එක් සැණෙකින් අකර්මන්‍ය කොට දැමීමට ඇගේ මෑණියන්ගේ ඡායාරූපයක් දෙස එක් වරක් බැලීම මොනවට ප්‍රමාණවත් විය.
ඈ හා සමඟ අධ්‍යයන කටයුතු වල නොයෙදෙන විට ද මසිත මෙහෙයවා ගැනීම ඉතා අසීරුවිය.කවුරුන් හෝ සිසුවෙකු ඈ හා සුහද කතාබහක යෙදෙනු දුටු වහා මගේ උදරය පෙදෙසෙහි ඇරඹී ගෙල දක්වා කෙමෙන් පැතිරෙන යම් උණුසුමක් වන් හැඟීමකින් මම පෙළෙන්නෙමි.ඇය සමහරවිට ඈ හා දොඩමලුවූ යම් සිසුවකු පිළිබඳ මා හා සමඟ ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නීය.අහ්මදාබාද් නගරයෙහි දසත ඇවිද කෙසේ හෝ පිස්තෝලයක් මිලදීගෙන ඇගේ සිත්ගත් පාපතරයා මරාදැමීමට මසිත ඇතිවන පෙළඹීම මම මැඩගනුයේ ඉතා අසීරුවෙනි.
" හරි මම හිතන්නෙ ඒ ප්‍රචාරක ව්‍යාපෘතිය ඒ විදිහටම තව ටික කලක් පවත්වාගෙන ගියොත් හොඳයි කියල..මොකද ඔයා කියන්නෙ?" මා ඈ දෙසම බලාහිඳිනු දුටු ඈ විමසන්නීය. ඒ අප දෙදෙන අධ්‍යයනය කරමින් සිටිනා හෙට දින භාරදිය යුතු පැවරුම පිළිබඳවය.
මම ඇත්ත වශයෙන්ම ඈ දෙස බලාසිටිමින් කල්පනා කලේ ඇගේ තොල් සිපගැන්මට ඉතාම සුදුසු ආකාරය කුමක්ද පිළිබඳවය. " හහ්? මොකද්ද කිව්වෙ?..ආ..ඔව්..ඔව්..එහෙම හොඳයි.." හදිසියේ නින්දෙන් අවදිවූවකු පරිද්දෙන් මම විපිළිසර වූයෙමි.
" අදනම් ඔයා මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ...මේ මට ඇත්තම කියන්න, මේ මොහොතේ ඔයා මොනව ගැනද හිතන්නෙ? " ඇය ඉදිරියට නැවී මගේ මුහුණ ඉදිරියේ සුරතින් අසුර ගසමින් විමසුවාය.
" ආ මේ නෑ..නෑ..මම මේ කල්පනා කලේ මාකටින් විෂයයට ඔයාට ඇඟෙන්ම එන හැකියාවක් තියනව නේද කියල."
අනපේක්ෂිතව මා පත්වූ අසීරු අවස්ථාවෙන් මිදෙනු උදෙසා එසේ පැවසූවද ඒ අසත්‍යයක්ම නොවීය.අනන්‍යා වනාහී අලෙවිකරණය පිළිබඳ සහජ රුචියක් සහ දක්ෂතාවයක් ඇති යුවතියකි.
" තෑන්ක්ස් ක්‍රිෂ්, " ඇගේ හැකියාව සහ රුචිකත්වය පිළිබඳව හොඳින් දන්නා හෙයින් ඈ සැකයකින් තොරව මා පැවසූව පිළිගත්තීය. " යස්..මම මාර්කටින් වලට කැමතියි..රස්සාව විදිහට උනත් මම හිතන්නෙ මට මාර්කටින් අවුලක් වෙන එකක් නෑ. හරි..එහෙනම් මම මේ විදිහට වාර්තාව ලියල හෙට දෙනව."
මැදියම් රැය ආසන්න වෙද්දී පැවරුම ලියා අවසන් කොට මම පිටත්ව යාමට නැඟී සිටියෙමි.
" රම්බායි ගිහිල්ල මොනව හරි පොඩ්ඩක් කාල, තේ එකක් බොමුද? මොකද කියන්නෙ? " අනන්‍යා ද නැඟීසිට මේසය පුරා විසිරුණු සටහන් පිළිවෙලකට ගොනු කරන්නට වූවාය.
" බෑ මෙයා….. මෙ වෙලාවෙ තේ බිව්වොත් මට නින්ද යන්නෙ නෑ "
" ම්ම්..එහෙමනම් මැගී නූඩ්ල්ස් එකක්? උඩ තට්ටුවෙ පෑන්ට්‍රි එකට ගිහාම ටක්ගාල මට හදන් එතෑකි. "
" බෑ මම යන්න ඕන." ඇය මා සමඟ කුටියේ දොර අසළට පැමිණියාය.
" මම මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ...මේ ටිකේම ඔයාගෙ මූඩ් එක එච්චර හරි නෑ වගේ කියල මට හිතෙනව. කොයි වෙලෙත් ෆුල් සීරියස් ඉන්නෙ. මොනව ගැනද ඔච්චර හිතන්නෙ? පැවරුම් වලට ළකුණු මදිවෙයි කියල බයයි වගේද? "
" මට ආයෙ ඔයා එක්ක එකට පාඩම් කරන්න බෑ." මගේ හැඟීම් තව දුරටත් සිතේ සඟවාසිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බැවින් මම එක්වරම කියා දැම්මෙමි.
" මොකක්?..." විශ්මයෙන් ඇගේ දෑස් විසල් විය
" දැන් අපි පාඩම් කරන්ට එක ක්‍රමයක්, එක රිදම් එකක් වගෙ අල්ලගෙනනෙ තියෙන්නෙ. ඒ හින්ද මම හිතන්නෙ නෑ අපි ආයෙම එකට පාඩම් නොකෙරුවට ඒ හැටි ප්‍රශ්නයක් වෙයි කියල…"
" ඒක එහෙම වෙන්ට පුලුවන්. ඒත් මම කැමතියි ඔයා එක්ක එකට පාඩම් කරන්ට. ඒත් ඔයා ඒකට අකමැති මොකද කියල මට හරියට තේරෙන්නෙ නම් නෑ. ඇත්ත කියන්න ක්‍රිෂ්, මගෙන් මොනව හරි වරදක් වුනාද මම නොදැනුවත්ව හරි? "
" නෑ ඔයාගෙ නෙවෙයි ඇත්තම කිව්වොත් වැරැද්ද මගේ "
" කියන දෙයක් තේරෙන්න කියනව මනුස්සයෝ, " ඇය එක වරම කෝපයෙන් මුරගෑවාය. ඇගේ කෑගැසීමෙන් පිබිදුනු යාබද කුටියෙහි නිවැසි යුවතිය අවදිව එහි විදුලි පහන දැල්වූවාය.
" මේ අපි දෙන්න යාලුවෙලා නෑනෙ. ඒ හින්ද යාලුවෙලා ඉන්න දෙන්නෙක් තරහ වෙන්ට යනව වගෙ හැසිරෙන්ට,කෑගහන්ට කිසිම ඕන කමක් නෑ..තේරුණාද? හෙට බොහෝවිට ප්‍රොෆෙසර් ප්‍රශ්ණ කීපෙකුත් දෙයි උත්තර ලියන්ට. ඒ හින්ද හිත සන්සුන් කරගෙන දොර හොඳට වහගෙන නිදාගන්ට." එසේ පවසා මම නික්ම ආවෙමි.
පසුදින උදෑසන දේශනය ඇරඹීමට පෙර මම ඇය සමඟ දෙඩීමෙන් හිතාමතාම වැළකුණෙමි.උදය වරුව තුල ඇය දෙවරක් මා වෙත පැමිණියාය. පළමුවර පෙරදින ඇගේ කුටියෙහි අතපසුවී පැමිණි මගේ පෑන ආපසු දෙනු පිණිසය.දෙවන වර උදෑසන දහයේ කණිසමට ලැබෙනා විවේකයෙහිදී ඈ සමඟ තේ පානය පිණිස ආරාධනය කිරීමටය. යමෙකු කෙරෙහි පැහැදීමක් හෝ පහන් හැඟීමක් ඔබ තුල හටගත් කල්හි ඒ තැනැත්තා හෝ තැනැත්තිය දැකීම හෝ ඔබ අසල ගැවසීම පවා ඉමහත් චිත්ත ප්‍රහර්ෂයට හේතුවන යම් ප්‍රියජනක වූ උණුසුම් හැඟීමක් ඔබ සිත තුල නිරායාසයෙන් ජනිත කරන්නේය.අනන්‍යා හේතුකොටගෙන මාතුල කෙමෙන් ඇතිවන්නටවූ ඒ හැඟීම පාලනය කර ගැන්මට මම වෙර දැරීමි.
" ආ..නෑ..මම හිතාගෙන ඉන්නෙ ඊළඟ පාඩමට ඕන සටහන් ටිකක් කියවගන්න. ඔයා යන්න ගිහිල්ල තේ බොන්න " මම හිස ඔසවා ඈ දෙස බලා පැවසූයෙමි. යලි පෙරැත්ත කිරීමකින් තොරවම ඇය නික්ම ගියාය. දණහිස දක්වා දිගු සුලෝහිත පැහැති සායක් සහ ඊටම ගැලපෙන ලා දුඹුරුවන් කමිසයක් හැඳසිටි ඈ යටත් පිරිසෙයින් දොරටුව අසළදී හෝ යලි හැරී බලනු ඇති බවට මසිත පැවති අපේක්ෂාව ද සුන් කරමින් ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයෙහි ඇගේ යෙහෙළියන්ද සමඟ පිටව යනු මම බලා සිටියෙමි.
අනුයාත පස් දින තුල මම ඇය මඟහැරියෙමි.දේශණ ඇරඹීමට ඉතා ආසන්නව ශ්‍රවණාගාරයට ඇතුලුව, දේශණය නිමවී වහාම පිටව යාමට මම වගබලාගතිමි. එබැවින් ඇය හා කතාබහ කිරීමට මට සිදු නොවීය.
" ඔයා දැන් එයා එක්ක කතාකරන්නෙ නෑ නේද? " මා අසලම අසුන්ගෙන හුන් මොහිට් පස්වන දිනයේදී විමසූයේ ඇස් කරකවමිනි. ( දේශනාගාරයේ මගේ එක් පසෙක මොහිට්ලා පස් දෙනෙකු හා අනෙක්පස කන්‍යාශ්‍රී අසුන්ගෙන සිටින බව මම මේ කතාව ආරම්භයේදීම පැවසූ බව ඔබට මතක ඇති බව මට සහතිකය ). සෙසු මොහිට්ලා සිව් කට්ටුව සියලු කටයුතු අතහැර දමා මේ දෙසට කන් යොමා ගත් අතර අකුරක් හෝ අත නොහැර අනලස්ව සටහන් ලියනා කන්‍යාශ්‍රී පවා ඇගේ අනවරත සටහන් ලිවීම මොහොතකට අත්හිටුවා හිස මාදෙසට අංශක දහයක් හා පහළවක් අතර කෝණයකින් ඇල කර ගත්තාය.
" දැන් මොකක්ද ඔහෙලට ඒ ගැන දැනගන්න තියෙන ඔයහැටි උවමනාව ? " මගේ කිසිසේත්ම සුහදශීලී යැයි කිව නොහැකි ප්‍රතිචාරය ඔවුන් සැණෙකින් පසුබස්වා, එතෙක් යෙදී හුන් කටයුතු වෙත ලහි ලහියේ යලි යොමු කරවීය.
එදින එනම් ඇය හා වදනක් හෝ නොදොඩා ගෙවීගිය පස්වන දින රාත්‍රි නමයට පමණ අනන්‍යා මගේ කුටියෙහි දොරට තට්ටු කළාය.


