Tuesday, September 22, 2015

350. The Story Of My Marriage - 5 - Men are from Mars and Women are from Venus…



මහාචාර්යවරයාගේ සහායකයාගේ කුටියෙහි දොර විවරකොටගෙන අනන්‍යා පිටතට පැමිණුනාය. සූක්ෂම ආර්ථික විද්‍යා විභාගයේ ඇගේ ප්‍රතිඵල සටහන සුරතෙහි තදින් ග්‍රහණය කොටගත්වනම දොරටුව අසල පොදි කමින් හුන් අනෙක් සිසුන් සහ සිසුවියන් පසුකරමින් ඇය මා හිඳ සිටි දෙසට යුහුව පිය මනින්නට වූවාය. මේ වනවිට අප ආයතනයේ සියලුම සිසුන් පාහේ ඇය හා මා අතර වූ හිතවත්කම, නොඑසේනම් සමහරු සරදම් සිනහවක් ද සහිතව පැවසූ පරිදි සහෝදරත්වය පිළිබඳ දැන සිටියහ. ඇය හැඳ සිටියේ රෝස පැහැ ටී ෂර්ටයක් සහ ඩෙනිම් කොට කළිසමකි. පෝළිමේ හුන් බහුතරයක් සිසුහු තමන් මෙහි රැඳී සිටින්නේ කුමන කාර්යයකටදැයි එකෙනෙහිම අමතක කොට ඈ දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට වූහ.

" ඒයි මේ...මට බී ප්ලස් එකක්...බී ප්ලස් කියන්නෙ නරකම නැහැ කියල අහන අහන හැමෝම මා එක්ක කිව්ව." ඇය දුර සිටම හඬනඟා පැවසූයේ ඇගේ ප්‍රතිඵල සටහන ඔසවා මදෙසට ළෙලවමිනි.

" ඔයාගෙ කොට කළිසම නම් බොහොම කොට වැඩියි. " ඇගේ උදම් ඇනීම නෑසුණාක් මෙන් මම පැවසූයේ ඉවත බලා ගනිමිනි. එක්කෝ මා පැවසූව ඇයට නෑසුණි. එසේත් නැතහොත් ඇසුණද ඈ එය කිසිදු ගණනකට නොගත්තාය. 

" කෝ බලමු ඔයාට මොකක්ද හම්බ වෙලා තියෙන ග්‍රේඩ් එක? " ඇය ඇසූයේ මා අතවූ ප්‍රතිඵල සටහන එක් වරම උදුරා ගනිමිනි." දෙයියෝ සාක්කි. ඔයාට ඒ මයිනස් එකක් නේද? ඔයා කොහොමද මට වඩා කුණු ගත්තෙ? මට මේක විස්වාස කරන්නත් බෑ ක්‍රිෂ්, අනේ ඇත්තමයි, ඔයා කලේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. මට ආර්ථික විද්‍යාවට ගෝල්ඩ් මෙඩ්ල් එකකුත් තියනව. ඉතිං කොහොමද මෙහෙම වෙන්නෙ? "

" මං කියන්නද? වෙලාවක ඔයාගෙ ගෝල්ඩ් මෙඩ්ල් එක ගෙනල්ල ප්‍රොෆෙසර් චැටර්ජිට පෙන්නන්ට.." මම බැරෑරුම් ලෙස පවසා තොල් තදින් පියාගතිමි. 

" ඒයි..මේ මොකද අනේ...මේ? " ඇය වහා ඇසුවාය. මම කිසිවක් නොපවසා හිඳසිටි අසුනින් නැඟී සිටියෙමි. 

" හරි හරි මොකක් වුනත් ඔයාට මම තෑග්ගක් දෙන්ට ඕන.ඔයා බොහොම අපූරුවට මට සංඛ්‍යානය කියල දුන්න හින්දයි මම විභාගෙ පාස් වුනේ. මොකද කියන්නෙ? දවල් කෑම මගෙ ගාණෙ..ඔයාට බඩගිනිද? " 

මම හිස වනා ඒ එසේ බව හැඟවීමි. නේවාසිකාගාරයන්හි දිවිගෙවන්නෝ අනවරත සාගින්නෙන් පෙළෙන්නෝය. 

" රායිට් එගෙනං යමු රම්බායි රෙස්ටුරන්ට් එකට…." ඇය සිනාසෙමින් පැවසුවාය. 

" මේ ඔහොමද ඔයා රම්බායි එකට යන්නෙ? " 

" මොකක්ද ඔහොමද කියල අහන්නෙ? මොකක් ගැනද ඔයා මේ කියන්නෙ? " 

" මම කියන්නෙ ඔය ෂෝට් එක ගැන.ඔයා රම්බායි යන්න හිතාගෙන ඉන්නෙ ඕක ඇඳල නම් මම එන්නෙ නෑ ඔයත් එක්ක." 

" මේ කරුණාකරල මට කියනවද? ඕක ඔය ඔයගොල්ලන්ගෙ පන්ජාබ් චාරිත්‍රයක්ද ගෑණු අඳින්ට ඕනෙ මොනවද කියල තහංචි දාන එක? " 

" ඒක පන්ජාබ් චාරිත්‍රයක් නම් නෙවෙයි. ඒත් මම කියන්නෙ යතාර්ථවාදීව හිතල. ඔයා ඔහොම ඇඳගෙන රම්බායි එකට ගියොත් මිනිස්සු කන්ට වගෙ බලා ඉඳියි ඔයා දිහාවෙ. " 

" මේක ඇතුලෙ කියලත් ඉතිං එහෙමට වෙනසක් නෑනෙ. අර පේන්නෙ නැද්ද පුදුම සතෙක් දැක්ක වගෙ බලා ඉන්න හැටි? ඔව්ව ගණං ගන්ට ගියොත් මේ ලෝකෙ ජීවත් වෙන්ට බෑ. එව්වයිං අපිට වැඩක් නෑ..යමු යමු.." ඇය මට පිටුපා ආයතනයෙහි ප්‍රධාන දොරටුව දෙසට සෙමෙන් ඇවිද යන්නට වූවාය.

" මට බඩගිනි නෑ...මට ඕන නෑ..මම එන්නෙ නෑ.. " මම ආපසු හැරී ශිෂ්‍ය නේවාසිකාගාරය දෙසට පිය නඟන්නට වීමි. 

" මේ...ඔයා ඔය ඇත්තටමද කියන්නෙ? විහිලුවක් එහෙම නෙවෙයිනෙ?.." ඇගේ කටහඬේ වූ විමතිය මට එක්වනම හඳුනාගත හැකිවිය.

" නෑ..විහිලුවක් නෙවෙයි..මම එන්නෙ නෑ.."

" ඔයාගෙ කැමැත්තක් " ඇය යලි පැවසුවාය.උරහිස් හැකිලූ මම ආපසු නොහැරීම ඉදිරියට පිය මැන්නෙමි

" මේ,ඒක නෙවෙයි...අද රෑට පාඩම් කරන්න එනවද? " ඇය යලිත් ඇසුවාය. 

කියන්න බෑ නැතහොත් සලකා බලමුකො එසේත් නැතහොත් හිතුනොත් එන්නම් යයි ඇඟවෙන පරිදි මම ආපසු නොහැරීම උරහිස් හැකුළුවෙමි. 

" මම අඳින්න ඕන මොන වගෙ ඇඳුමක්ද? " ඇය ඇසුවාය. ඇය සිනහසෙනවාදැයි දැනගැන්මට ආපසු හැරී බැලීමට ඇතිවූ හැඟීම මම මැඩගතිමි.

" ඔයා මගේ Girl Friend නෙවෙයිනෙ.ඕන දෙයක් අඳින්න. මට කොහොමත් එකයි." 

රාත්‍රියෙහි පාඩම් කරනු උදෙසා ඇගේ කුටියෙහිදී හමුවූ කල්හි දිවා කාලයෙහි අප අතරවූ මත ගැටුම පිළිබඳව අප දෙදෙනම වචනයක් හෝ නොදෙඩුවෙමු.ඇය කළු පැහැ ට්‍රැක් සූට් කළිසමක් සහ ඇගේ ශරීර ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් විශාල මැණික් කටුව දක්වා වැසෙන සේ අත් දිග, හැඳහුන් කළිසම වන්ම කළු පැහැ ටී ෂර්ටයක් හැඳ සිටියාය. 

ඇෆ්ඝනිස්ථානයේ තද ශීත සෘතුවක වුවද, කිසිදු උපද්‍රවයකින් තොරව  එළිමහනේ සක්මන් කිරීමට පවා ඇය හැඳහුන් ඇඳුම් ප්‍රමාණවත් බව මට සිතිණි.දිවා කාලයෙහි ඇය හැඳසිටි කොට කළිසමෙන් නිරාවරණය වී තිබූ දිගු දෙපා කළු පැහැ කළිසමෙන් පූර්ණ වශයෙන් වැසී තිබීම මසිතට ගෙන ආවේ පශ්චාත්තාපයකි. එහෙත් ඒ චමත්කාර ජනක දර්ශනය අහිමිවීමට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ ද මා බැවින් මටම දොස් පවරාගන්නවා හැර මට කල හැකි අන් යමක් නොවීය.

හෙටදින අප විසින් අධ්‍යයනය කලයුතු අළෙවිකරණ මූලෝපායයන් පිළිබඳව සාරාංශයක් අඩංගු සටහන් පොතක් මම විවෘත කළෙමි. 

" නිර්දෝෂ් - නිකටීන් රහිත දුම්වැටි ප්‍රචාරණය " එහි සඳහන් මාතෘකාව මම හඬනඟා කියවූයෙමි.

" ෆක්... මොන විකාරයක්ද ඒ?...නිකටීන් නැති සිගරට්? මට නම් ඕනෙ නියම සිගරට් එකක්. ඔය එක එක විකාර නෙවෙයි..ෆක් ඉට්.." ඇය ආවේගශීලිව පැවසුවාය. මම ඇය දෙස නොපහන් බැල්මක් හෙලීමි. 

" දැන් මොකක්ද ප්‍රශ්නෙ? මම ෆක් කිව්ව එකද? එහෙම නැත්නම් සිගරට් බොනවයි කිව්ව එකද? " 

" මේ මට කරුණාකරල කියනවද ඔයා මොකක්ද මෙහෙම හැසිරෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල "

" මම විශේෂයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒත් ඔයාට එක දෙයක් කියන්න ඕන. ගැහැණුත් පිරිමි වගේම බුද්ධිමත්ය කියල කරුණාකරල පිළිගන්ට. එතකොට බුද්ධියක් තියෙන, තමන්ට ස්වාධීනව හිතන්ට පුලුවන් කිසිම මනුස්සයෙක් කැමති වෙන්නෙ නෑ තමන් අඳින්න ඕන මොනවද? ඒ වගේම තමන් හැසිරෙන්න ඕන කොහොමද? කතා කරන්න ඕන මොන වගෙ වචනද? කියල තව කවුරුවත් උපදෙස් දෙනවට. විශේෂයෙන්ම නීත්‍යානුකූලව වැඩිහිටියොයි කියල රජයෙන් පිළිගන්න අය එහෙම කොහොමත්ම කැමති වෙන්නෙ නෑ. අන්න ඒ ගැන කරුණාකරල ටිකක් හිතන්න. " ඇය එක දිගට කියවාගෙන ගියාය.

" පණ්ඩිත කතා කියන්න එපා අනන්‍යා... I don't like over-smart people " කෙමෙන් රතුවන මුහුණින් යුතුව මම දත් අතරින් පැවසූයෙමි.

" ඔයාටත් මට ඒ වගේම දෙයක් කියන්න තමයි තියෙන්නෙ. මට උපදෙස් දෙන්න එන්න එපා. And something more... don't patronize me." 

" ඔයාට ඕන අනික් අයගෙ අවධානය ලබාගන්න නම් ඇඟ පේන්න ඇඳුම් අඳින්නෙ නැතුව ඒක කරන්න වෙන ක්‍රම තියනව " ආවේගය පාලනය කරගැන්මට උත්සාහ දරමින් මම පැවසූයෙමි. 

" මම කොට කළිසම් අඳින්නෙ කාගෙවත් අවධානය ලබාගන්න කියල හිතල නෙවෙයි. මම ෂෝට්ස් අඳින්නෙ මම ෂෝට්ස් අඳින්න කැමති හින්ද... අනික මට ඒවා අඳින එක පහසු නිසා. " ඇය කොපමණ ශබ්ද නඟා කෑගැසුවේදයත් යාබද කුටියෙහි වසන යුවතිය තව මොහොතකින් දොරට තට්ටු කරනු ඇතැයි බියවූ මම දොර දෙස මොහොතක් බලා සිටියෙමි.

" හරි හරි අපි මේ කතාව මෙතනින් නවත්වමු. හිත සන්සුන් වෙන්නත් එක්ක නිශ්ශබ්දව පාඩම් කරමු. මොකද කියන්නෙ? " මම සිනාසෙන්නට අසාර්ථක උත්සාහයක් දරමින් පැවසූයෙමි. ඇය වදනක් හෝ තෙපලීමෙන් තොරව මේසය මත තිබූ පොත් අතරින් එකක් තෝරා උකුල මත තබා ගනිමින් කියවන්නට වූවාය.

පොත් පිටු පෙරලනවිට නැඟෙන සිහින් සරසර හඬින් පමණක් ඇගේ කුටියේ නිශ්ශබ්දතාවය වරින්වර බිඳීගිය අඩ හෝරාවකට ආසන්න කාලයක් මෙසේ ගෙවී ගියේය.

" ක්‍රිෂ්, කාගෙවත් අවධානයක් ලබාගන්ට මට ඕන කලේ නෑ..මේ ඇත්තමයි. " ඇය හදිසියේම හිස ඔසවා බලා සිහින් හඬින් පැවසුවාය. 

" එහෙම වුනත් කමක් නෑ... මොකද මට ඒකෙන් වැඩක් නෑ. " මම නොසැළකිල්ලෙන් පැවසූයේ අවම වශයෙන් හිස  එසවීමෙන් හෝ තොරවය.

" හහ්.. මට පේන්නෙ ඔයාට තියෙන්නෙ ඊරිසියාව " 

" මොකක් ?...පිස්සුද ඔහේට? " පොත වේගයෙන් වසා දමමින් මම නැඟී සිටියෙමි. 

" හරි හරි ඔච්චර කලබල වෙන්න ඕන නෑනෙ ඉතිං ඕකට. මම නිකමට එහෙම කිව්වෙ. අපි පාඩම් කරමු. " ඇය යලිත් කියවමින් හුන් පොත වෙත නෙත් යොමුකොට ගත්තාය. ඇගේ දෙතොලග සිහින් සිනහවක් විකසිත වන්නට විය.

ඇඳ මත තිබූ රෝස පැහැ කොට්ටය අතටගත් මම එය ඇය වෙත දමා ගැසුවෙමි. මහ හඬින් සිනාසුණු ඇය කොට්ටය අතට ගෙන මගේ හිස මතට වේගවත් පහරක් එල්ල කලාය. ඒ පහර වැළැක්වීමට දෑත එසවූ මගේ දෑතෙහි ඇගේ දෑත ගැටිණි. දෙවරක් හෝ තෙවරක් සමුගන්නා අවස්ථාවන්හිදී අතට අතදීම හැරුනු කල ඇගේ සහ මගේ සිරුරු ගැටුනු පළමු අවස්ථාව මේ බව එසැණින් මසිතට නැඟිනි.

එදින සිට ගතවුනු පුරා මාසයක් මුලුල්ලේ ඇය සහ මම එක්ව අධ්‍යයන කටයුතුවල යෙදුනෙමු.අප අතර ඇසුර හුදු සහෝදරාත්මක හිතවත්කමක සීමාවෙන් ඔබ්බට නොයායුතු බවට අප අතරවූ එකඟතාවය රැකීම මේ ගතවූ මාසයක කාලය තුල මට කිසිසේත් පහසු කාර්යයක් නොවීය. පොතක් වෙත නැඹුරු කොටගත් හිස හුදු අහඹුවකින් හෝ එසවුනිනම් එකෙණෙහිම මා ඉදිරිපිට දිස්වන්නේ ඇගේ වතයි.ඇගේ රුවැති වත නෙත ගැටෙනා වාරයක් වාරයක් පාසා ඇය වැළඳ සිප ගැන්මට මසිත ඔද්දල් කල ආශාව මම මැඩ යටපත් කලේ බලවත් අසීරුවෙනි.

ඒ ජාගර සිතෙහි මතුවන ආශාවන් මම යටපත් කොට ගත්තේ මහාචාර්ය චැටර්ජී මා අසල හිඳ තම උපැස් යුවල ඉහළින් මදෙස දෑස් නොපියා බලා සිටිනු ඇතැයි උපකල්පනය කිරීමෙනි. මහාචාර්ය චැටර්ජීටද මසිත දමනය කරනු නොහැකි වූ සඳ ඒ සඳහා මට සරණ වූයේ අනන්‍යාගේ මෑණියන්ය. තුන් සිතම පෙලන සියළු ආශාවන් එක් සැණෙකින් අකර්මන්‍ය කොට දැමීමට ඇගේ මෑණියන්ගේ ඡායාරූපයක් දෙස එක් වරක් බැලීම මොනවට ප්‍රමාණවත් විය.

ඈ හා සමඟ අධ්‍යයන කටයුතු වල නොයෙදෙන විට ද මසිත මෙහෙයවා ගැනීම ඉතා අසීරුවිය.කවුරුන් හෝ සිසුවෙකු ඈ හා සුහද කතාබහක යෙදෙනු දුටු වහා මගේ උදරය පෙදෙසෙහි ඇරඹී ගෙල දක්වා කෙමෙන් පැතිරෙන යම් උණුසුමක් වන් හැඟීමකින් මම පෙළෙන්නෙමි.ඇය සමහරවිට ඈ හා දොඩමලුවූ යම් සිසුවකු පිළිබඳ මා හා සමඟ ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නීය.අහ්මදාබාද් නගරයෙහි දසත ඇවිද කෙසේ හෝ පිස්තෝලයක් මිලදීගෙන ඇගේ සිත්ගත් පාපතරයා මරාදැමීමට මසිත ඇතිවන පෙළඹීම මම මැඩගනුයේ ඉතා අසීරුවෙනි.

" හරි මම හිතන්නෙ ඒ ප්‍රචාරක ව්‍යාපෘතිය ඒ විදිහටම තව ටික කලක් පවත්වාගෙන ගියොත් හොඳයි කියල..මොකද ඔයා කියන්නෙ?" මා ඈ දෙසම බලාහිඳිනු දුටු ඈ විමසන්නීය. ඒ අප දෙදෙන අධ්‍යයනය කරමින් සිටිනා හෙට දින භාරදිය යුතු පැවරුම පිළිබඳවය.

මම ඇත්ත වශයෙන්ම ඈ දෙස බලාසිටිමින් කල්පනා කලේ ඇගේ තොල් සිපගැන්මට ඉතාම සුදුසු ආකාරය කුමක්ද පිළිබඳවය. " හහ්? මොකද්ද කිව්වෙ?..ආ..ඔව්..ඔව්..එහෙම හොඳයි.." හදිසියේ නින්දෙන් අවදිවූවකු පරිද්දෙන් මම විපිළිසර වූයෙමි.

" අදනම් ඔයා මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ...මේ මට ඇත්තම කියන්න, මේ මොහොතේ ඔයා මොනව ගැනද හිතන්නෙ? " ඇය ඉදිරියට නැවී මගේ මුහුණ ඉදිරියේ සුරතින් අසුර ගසමින් විමසුවාය.

" ආ මේ නෑ..නෑ..මම මේ කල්පනා කලේ මාකටින් විෂයයට ඔයාට ඇඟෙන්ම එන හැකියාවක් තියනව නේද කියල." 

අනපේක්ෂිතව මා පත්වූ අසීරු අවස්ථාවෙන් මිදෙනු උදෙසා එසේ පැවසූවද ඒ අසත්‍යයක්ම නොවීය.අනන්‍යා වනාහී අලෙවිකරණය පිළිබඳ සහජ රුචියක් සහ දක්ෂතාවයක් ඇති යුවතියකි.

" තෑන්ක්ස් ක්‍රිෂ්, " ඇගේ හැකියාව සහ රුචිකත්වය පිළිබඳව හොඳින් දන්නා හෙයින් ඈ සැකයකින් තොරව මා පැවසූව පිළිගත්තීය. " යස්..මම මාර්කටින් වලට කැමතියි..රස්සාව විදිහට උනත් මම හිතන්නෙ මට මාර්කටින් අවුලක් වෙන එකක් නෑ. හරි..එහෙනම් මම මේ විදිහට වාර්තාව ලියල හෙට දෙනව." 

මැදියම් රැය ආසන්න වෙද්දී පැවරුම ලියා අවසන් කොට මම පිටත්ව යාමට නැඟී සිටියෙමි. 

" රම්බායි ගිහිල්ල මොනව හරි පොඩ්ඩක් කාල, තේ එකක් බොමුද? මොකද කියන්නෙ? " අනන්‍යා ද නැඟීසිට මේසය පුරා විසිරුණු සටහන් පිළිවෙලකට ගොනු කරන්නට වූවාය.

" බෑ මෙයා….. මෙ වෙලාවෙ තේ බිව්වොත් මට නින්ද යන්නෙ නෑ " 

" ම්ම්..එහෙමනම් මැගී නූඩ්ල්ස් එකක්? උඩ තට්ටුවෙ පෑන්ට්‍රි එකට ගිහාම ටක්ගාල මට හදන් එතෑකි. " 

" බෑ මම යන්න ඕන." ඇය මා සමඟ කුටියේ දොර අසළට පැමිණියාය.

" මම මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ...මේ ටිකේම ඔයාගෙ මූඩ් එක එච්චර හරි නෑ වගේ කියල මට හිතෙනව. කොයි වෙලෙත් ෆුල් සීරියස් ඉන්නෙ. මොනව ගැනද ඔච්චර හිතන්නෙ? පැවරුම් වලට ළකුණු මදිවෙයි කියල බයයි වගේද? " 

" මට ආයෙ ඔයා එක්ක එකට පාඩම් කරන්න බෑ." මගේ හැඟීම් තව දුරටත් සිතේ සඟවාසිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බැවින් මම එක්වරම කියා දැම්මෙමි.

" මොකක්?..." විශ්මයෙන් ඇගේ දෑස් විසල් විය

" දැන් අපි පාඩම් කරන්ට එක ක්‍රමයක්, එක රිදම් එකක් වගෙ අල්ලගෙනනෙ තියෙන්නෙ. ඒ හින්ද මම හිතන්නෙ නෑ අපි ආයෙම එකට පාඩම් නොකෙරුවට ඒ හැටි ප්‍රශ්නයක් වෙයි කියල…" 

" ඒක එහෙම වෙන්ට පුලුවන්. ඒත් මම කැමතියි ඔයා එක්ක එකට පාඩම් කරන්ට. ඒත් ඔයා ඒකට අකමැති මොකද කියල මට හරියට තේරෙන්නෙ නම් නෑ. ඇත්ත කියන්න ක්‍රිෂ්, මගෙන් මොනව හරි වරදක් වුනාද මම නොදැනුවත්ව හරි? " 

" නෑ ඔයාගෙ නෙවෙයි ඇත්තම කිව්වොත් වැරැද්ද මගේ " 

" කියන දෙයක් තේරෙන්න කියනව මනුස්සයෝ, " ඇය එක වරම කෝපයෙන් මුරගෑවාය. ඇගේ කෑගැසීමෙන් පිබිදුනු යාබද කුටියෙහි නිවැසි යුවතිය අවදිව එහි විදුලි පහන දැල්වූවාය.

" මේ අපි දෙන්න යාලුවෙලා නෑනෙ. ඒ හින්ද යාලුවෙලා ඉන්න දෙන්නෙක් තරහ වෙන්ට යනව වගෙ හැසිරෙන්ට,කෑගහන්ට කිසිම ඕන කමක් නෑ..තේරුණාද? හෙට බොහෝවිට ප්‍රොෆෙසර් ප්‍රශ්ණ කීපෙකුත් දෙයි උත්තර ලියන්ට. ඒ හින්ද හිත සන්සුන් කරගෙන දොර හොඳට වහගෙන නිදාගන්ට." එසේ පවසා මම නික්ම ආවෙමි.

පසුදින උදෑසන දේශනය ඇරඹීමට පෙර මම ඇය සමඟ දෙඩීමෙන් හිතාමතාම වැළකුණෙමි.උදය වරුව තුල ඇය දෙවරක් මා වෙත පැමිණියාය. පළමුවර පෙරදින ඇගේ කුටියෙහි අතපසුවී පැමිණි මගේ පෑන ආපසු දෙනු පිණිසය.දෙවන වර උදෑසන දහයේ කණිසමට ලැබෙනා විවේකයෙහිදී ඈ සමඟ තේ පානය පිණිස ආරාධනය කිරීමටය. යමෙකු කෙරෙහි පැහැදීමක් හෝ පහන් හැඟීමක් ඔබ තුල හටගත් කල්හි ඒ තැනැත්තා හෝ තැනැත්තිය දැකීම හෝ ඔබ අසල ගැවසීම පවා ඉමහත් චිත්ත ප්‍රහර්ෂයට හේතුවන යම් ප්‍රියජනක වූ උණුසුම් හැඟීමක් ඔබ සිත තුල නිරායාසයෙන් ජනිත කරන්නේය.අනන්‍යා හේතුකොටගෙන මාතුල කෙමෙන් ඇතිවන්නටවූ ඒ හැඟීම පාලනය කර ගැන්මට මම වෙර දැරීමි.

" ආ..නෑ..මම හිතාගෙන ඉන්නෙ ඊළඟ පාඩමට ඕන සටහන් ටිකක් කියවගන්න. ඔයා යන්න ගිහිල්ල තේ බොන්න " මම හිස ඔසවා ඈ දෙස බලා පැවසූයෙමි. යලි පෙරැත්ත කිරීමකින් තොරවම ඇය නික්ම ගියාය. දණහිස දක්වා දිගු සුලෝහිත පැහැති සායක් සහ ඊටම ගැලපෙන ලා දුඹුරුවන් කමිසයක් හැඳසිටි ඈ යටත් පිරිසෙයින් දොරටුව අසළදී හෝ යලි හැරී බලනු ඇති බවට මසිත පැවති අපේක්ෂාව ද සුන් කරමින් ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයෙහි ඇගේ යෙහෙළියන්ද සමඟ පිටව යනු මම බලා සිටියෙමි. 

අනුයාත පස් දින තුල මම ඇය මඟහැරියෙමි.දේශණ ඇරඹීමට ඉතා ආසන්නව ශ්‍රවණාගාරයට ඇතුලුව, දේශණය නිමවී වහාම පිටව යාමට මම වගබලාගතිමි. එබැවින් ඇය හා කතාබහ කිරීමට මට සිදු නොවීය.

" ඔයා දැන් එයා එක්ක කතාකරන්නෙ නෑ නේද? " මා අසලම අසුන්ගෙන හුන් මොහිට් පස්වන දිනයේදී විමසූයේ ඇස් කරකවමිනි. ( දේශනාගාරයේ මගේ එක් පසෙක මොහිට්ලා පස් දෙනෙකු හා අනෙක්පස කන්‍යාශ්‍රී අසුන්ගෙන සිටින බව මම මේ කතාව ආරම්භයේදීම පැවසූ බව ඔබට මතක ඇති බව මට සහතිකය ). සෙසු මොහිට්ලා සිව් කට්ටුව සියලු කටයුතු අතහැර දමා මේ දෙසට කන් යොමා ගත් අතර අකුරක් හෝ අත නොහැර අනලස්ව ටහන් ලියනා කන්‍යාශ්‍රී පවා ඇගේ අනවරත සටහන් ලිවීම මොහොතකට අත්හිටුවා හිස මාදෙසට අංශක දහයක් හා පහළවක් අතර කෝණයකින් ඇල කර ගත්තාය.

" දැන් මොකක්ද ඔහෙලට ඒ ගැන දැනගන්න තියෙන ඔයහැටි උවමනාව ? " මගේ කිසිසේත්ම සුහදශීලී යැයි කිව නොහැකි ප්‍රතිචාරය ඔවුන් සැණෙකින් පසුබස්වා, එතෙක් යෙදී හුන් කටයුතු වෙත ලහි ලහියේ යලි යොමු කරවීය.

එදින එනම් ඇය හා වදනක් හෝ නොදොඩා ගෙවීගිය පස්වන දින රාත්‍රි නමයට පමණ අනන්‍යා මගේ කුටියෙහි දොරට තට්ටු කළාය.

Saturday, September 19, 2015

349. සොඳුරු ආවර්ජනා සමඟ සුබ ප්‍රාර්ථනා...

අර ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දක ටෙක් කෝස් එකක් කරල ඒ එක්කම මම ගියා නෙව මහ වන මැද රස්සාවකට.එතන දැහැමෙන් සෙමෙන් ( දහැමෙන් සෙමෙන් කිව්වෙ ධාර්මිකව සහ ඒ එක්කම මගෙ සෙම් අමාරුවක් තිබ්බ එක ඔය කැළේ මැද ඉන්දැද්දි ටිකක් විතර වැඩි වුනා..අන්න ඒ හින්ද ) දසක එකහමාරක් රක්සාව කරගෙන ඉන්න කොට මෙන්න අපිට ආව චාන්ස් එකක් වන්දියක් කාරිය අරගෙන සේවයෙන් ඉවත් වෙලා යන්න. 

එකල්හි ඒ වලෙහි ( වල = වනය නොහොත් කැළේ ) ගත කරපු ජීවිතේ බොහෝසේ ආතල්ජනක වුවද මට ඉතින් හිතුන දැන් මේකෙ හිටිය හොඳටම ඇතිය කියල.එහෙම හිතල අර දුන්නු ගාණත් අරගෙන එතනින් ආව. ඇවිල්ල ඊට පස්සෙ තමයි අර කුකුළේ, එතකොට පස්සර , එතකොට අර චීන කොම්පැණියෙ එහෙම හිටියෙ.



කාලයාගේ ඇවෑමෙන් ඔහොම එහෙ මෙහෙ දුවල පැනල අන්තිමටම මම වැඩ කලේ නුගේගොඩ කිට්ටුව කාර්යාලය පිහිටලා තිබ්බ ඉදිකිරීම් සමාගමක. මේ සමාගමේ මම අවුරුදු හතරකට ආසන්න කාලයක් සේවය කළා.දැනට මගේ දශක තුනකට අධික වෘත්තිය ජීවිතයෙදි මම ඉතාම සතුටෙන් වැඩ කලේ ඔය කියපු සමාගමේ වැඩ කරද්දි.අපේ බොස්ල වගේම සම මට්ටමේ නිලධාරිනුත් බොහොම සුහදව වැඩ කලේ එක පවුලෙ සහෝදර සහෝදරියො වගෙ. හෙහ්..එහෙම කියන එකත් හරි නැහැ එක අතකට. මොකද බොහෝ වෙලාවට සහෝදර සහෝදරියො අතර තමයි ගහ මරා ගැනිලි එතනින් ගියහම කුඩුකේඩුකම් සිද්ද වෙන්නෙ වැඩිපුරම.

අපේ දවල් ආහාර විවේක වෙලාව කියන්නෙ තනිකරම රස ගුලාවක්. ආතල් කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ. අපේ බොස්ලත් බොහෝවිට ඔතනට සහභාගි වෙනව. දිවා ආහාර පැය කිව්වට ඇත්තම කිව්වොත් ටයිම් ලිමිට් එකක් නෑ. බොහෝවිට 12.30 ට වගෙ පටන් ගත්තම 1.30 නැත්නම් 2.00 දක්වා ඇදෙනව ඔය ලන්ච් අවර් ආතල් එක. ඔතන ඉතින් කෑම ගන්න අතරවාරෙ සාකච්ඡා නොකෙරෙන දෙයක් නෑ. මේ ඉර හඳ යට ඇති සියලු මාතෘකා සහ ඊටත් එපිට ඇති සමහර මාතෘකා අපි සාකච්ඡා කරනව ඔතනදි. අඹු-සැමි අර්බුද, දරුවන්ගේ ප්‍රශ්න, කාලීන සමාජ ආර්ථික ගැටළු, දේශපාලනය, ආගම, ක්‍රීඩා...හෙහ්..අපි කතා කලේ නැත්තෙ මොනවද? 

ආ..අර සියපත පතක බැඳි බත..ඒ සිද්ධිය වුනෙත් ඔය කෑම මේසෙම තමයි...හෙහ්,හෙහ්,

ඔය විද්වත් සභාවෙ මුල්තැනක් ගන්නෙ අපේ රණේ. සුලෝහිත විද්‍යාලෙ මට වසර කීපයක් පස්සෙ ඉගෙනුම ලැබුව රණේ කියන්නෙ තනිකරම චරිතයක්. මම අර කලින් දවසක කියපු දෙයියෝ සාක්කි බතුත් කනවද? කතන්දරේ ඔය අපේ දිවා ආහාර සාකච්ඡා සභාවෙදි කිව්වෙ රණේ තමයි.

රයිට් මේ රණේත් පැත්තකට සම්බන්ධ තවත් ඒ වගෙ කතන්දරයක් අපේ ඔය දිවා ආහාර විවේකයෙදි සිද්ද වෙච්චි. හැබැයි මේ කතාවෙ ප්‍රොටෑගනිස්ට් නොහොත් ප්‍රධාන භූමිකාව රඟපාන්නෙ සමරේ. සමරේ අපෙ ඒ දවස්වල හිටිය එකවුන්ට්ස් ක්ලාක් කෙනෙක්. හරිම හිත නොඳ මනුස්සය. ඒත් ටිකක් විතර ඔය කොමන් සෙන්ස් කියන එක අඩුයි. ඒ වගේම විතර කලබල කාරය. 

මම මේ කියන සිද්ධිය වුනේ 2008 අවුරුද්දෙ වගෙ මතක. දවල්ට කන අතර අපි සුපුරුදු පරිදි රටේ ලෝකෙ විත්ති විචාරය කරගෙන ගියා. ඒත් එදා ප්‍රධාන මාතෘකාව වුනේ එදාම උදේ සිද්ධවුනු දේශපාලකයෙක්ගෙ මරණයක්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. නම අපි කියමු එඩී කියල.

" මාර වැඩේ නේද ? එඩිය වල කජ්ජ ගහල නේ? " 

අපේ කෑම කන පෑන්ට්‍රි එකට ඇතුල්වුනේම මම එහෙම මාතෘකාව ඩිලිවර් කරගෙනමයි. ඒ වෙනකොටත් ගෙදරින් කෑම අරගෙන එන දෙතුන් දෙනා කෑම පාර්සල් දිග ඇරගෙන. ගම් පළාත් දුර බැහැර වෙච්චි අපි ම්ම්ම්ම්.... ඉන්න බලමු ගණං හදල..... මගෙ කාමරේ මං විතරයි අල්ලපු කාමරේ එක්කෙනයි. ඉස්සරහ කාමරේ දෙන්නයි. හරි ඔක්කොම හතරයි. අපි හතර දෙනෙක් අපේ ආයතනයෙ හිමිකාර මහත්මයෙකුගෙ නිවස පිටිපස්සෙ හදපු චමරියක නැවතිලා හිටිය. ඒ ඇවිල්ල පිට කෝට්ටෙ.

ඒ චමරියෙ රෑට අනිවාර්යයෙන්ම ඉව්ව. දවල්ට සමහරවෙලාවට උයන්ට හොඳ ගෝලයෙක් හිටිය කාලවල උයනව. නැත්නම් ඊටිං ද බුටික් තමයි. ඒ කිව්වෙ කඩෙං කනව. නුගේගොඩ නාවල පාරෙ ඒ කාලෙ තිබ්බ වැලි පාක් එක කියල එකක්. වැලි ලොරි ඇවිල්ල ඔතන තමයි පාක් කරගෙන ඉන්නෙ. ඔය වැලි පාක් එක ගාවම තිබ්බ හොඳ හෝටලයක්. හොඳ කියන්නෙ ආයෙ මස් හොද්දට එබිල ඔලුව පීරගන්ට පුලුවන් . එච්චරකට තෙල්. මම මේ මගෙ දෑහිං දැක්ක දෙයක්. පාරෙ යන කොල්ලො එහෙම ඇවිල්ල මස් හොද්ද දාල තිබ්බ බේසමට එබිල ඔලුව පීරගෙන යනව. 

ඉතිං උදේට දවල්ට ඔය හෝටලෙන් බුදල තමයි මට හාට් ඇට්රෑක්ෂන් එකකුත් ආවෙ. ඒ තව මාස කීපයක් අනාගතේ. දිනේ කිව්වොත් 2008 -08-08 හරියටම බෙයිජිං ඔලිම්පික් සමාරම්භක උළෙල දවස. ඔලිම්පික් සමාරම්භය මම බැලුවෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ ඉඳල.රයිට් ඒ හාට් ඇටෑක් එක ආපු වෙලාවෙ මගෙ මරණාසන්න අත්දැකීම් ගැන වෙනම දවසක ලියන්නංකො.

හරි ඉතිං ඔය ප්‍රස්තුත දවසෙ මට හරියට මතක නෑ දවල්ට මම කඩෙංද කෑවෙ නැත්නම් චමරියෙං කෑම එකක් ඔතාගෙන ආවද කියල. හරි කොහොම හරි මමත් මේසෙට ඉඳගෙන බත් එක දිගඇරගත්ත. අපේ මේසෙ වටේ දවල් කෑම ටයිම් එකට කොයි වෙලාවෙත් හවුස් ෆුල්. මොකද කාල ඉවරවෙන මනුස්සය උනත් විද්වත් මණ්ඩපේ සාකච්ඡාවට සහභාගී වෙන්ට රැඳිල ඉන්නව. ඒ කාලෙ වෙනකොට එකම මානවිකාවියයි අපේ ආයතනයෙ වැඩ කලේ. එතුමිය ඉතිං කලින්ම කාල කරල අහවරයි. ඒත් නැඟිටල යන්නෙ නෑ. අර මං කලිං කිව්ව වගෙ මෙතන විද්වත් මණ්ඩපයට සහභාගි වෙන්ට රැඳිල ඉන්නව.

" ඒකනෙ බං බලපංකො මාර වැඩේ නේද? ඊගාවට කවුද දන්නෙ නෑ ලිස්ට් එකේ ඉන්නෙ? " එහෙම කිව්වෙ රණේ...." ඒයි උඹට දෙන්නද කරවිල? " 

" උයලද බැදලද? " 

" උයල බං…. ඇයි උඹ කරවිල උයල කන්නෙ නැද්ද? " 

" නෑ නෑ කනව කනව.." 

" ඉතිං එහෙනං බම්බුවටද ඇහුවෙ උයලද බැදලද කියල? " 

" හෙහ්...ඒ නිකමට බං…" 

" කෝ මෙහාට කරපං බත් එක…" රණේ මගෙ බත් එකට කරවිල කෑලි තුන හතරක් දැම්ම. 

ලිස්ට් එකේ ඊලඟට ඉන්නෙ කවුද කියල ෂුවර් එකටම දන්නෙ චන්දිකය. මුලු ලංකාවෙම දිස්ත්‍රික් ලිස්ට් වල ඊලඟට ඉන්නෙ කවුද කියල චන්දිකය හරියටම දන්නව. මැතිවරණ කොමසාරිස් වුනත් හරියටම ෂුවර් නැත්තං ඕකගෙං තමයි කතාකරල අහගන්නෙ.

ආ...පොගොට් නෙව..පාඩන්..පාඩන්...චන්දික කියන්නෙ අපිත් එක්ක වැඩ කරපු සහෝදර නිලධාරියෙක්. 

" කාල ඉවරවෙලා චන්දිකයට කෝල් එකක් දීල අහන්ට ඕනෙ." රණේ එහෙම කියල බත් පිඟානත් අරගෙන නැඟිට්ට. 

" ඒයි කාලත් ඉවරද? " මම ඇහුව. 

" ඔව් බං…මම දැන් ගොඩක් වෙලා කන්ට පටන් ගෙන . " 

මට එහායිං ලංකාදීප පත්තරේ බල බල හිටියෙ සමරෙ. ඔය දවස්වල තිබ්බ ඩයලොග් සමාගමට පොඩි ගාණක් මට මතක විදිහට මාසෙටම රු. 30 වගෙ ගෙව්වම කැඩෙන බිඳෙන ප්‍රවෘත්ති ඒ කිව්වෙ මේ බ්‍රේකිං නිව්ස් SMS එකක් මාර්ගයෙන් මොබයිල් එකට එන ක්‍රමවේදයක්. හුඟ දෙනෙක් ඕක ගැන සැලකිල්ලක් නොදැක්වුවට මම ඕකට දායක වෙලයි හිටියෙ. ත්‍රස්තවාදය පරාජයකිරීම එහෙම තව අවුරුද්දක් අනාගතයෙ තිබ්බ ඒ කාලෙ බෝම්බ භීතිකාව තදටම තිබ්බ නිසා නිතර ගමනාගමනයෙ යෙදෙන මට ඒ වගෙ නිව්ස් ඇලර්ට් සේවාවක් බොහොම ප්‍රයෝජනවත් වුනා.

බීප්..බීප්...බීප්..මගෙ මොබයිල් එකට SMS එකක් ආව. 

දකුණතින් බත් අනන ගමන්..හෙහ්..බත් අනනව කිව්වට මම කවදාවත් බත් අනල කන්නෙ නෑ..ඔන්න මෙහෙමයි මගෙ මෙතඩොලොජි එක. බත් ටිකක් පීඟානෙම එක තැනකට කලා. තියෙන මාලු වෑංජං ඔය ඔක්කොගෙම්ම ටික ටික අරගෙන අර වෙන් කරපු බත්පිඬ උඩිං තිබ්බ. ඔක්කොම අරගෙන කටේ දාගත්ත. ඊට පස්සෙ හැබැයි ඔය ඔබ තමුන්නාන්සේලා අනුගමනය කරන ක්‍රියා පටිපාටියම තමයි. හපල ගිල්ලා. අර මම කියාපු මානවිකාවිය ඉන්නව නේද? ඒ අම්මණ්ඩි ඔය මම බත් අනන ක්‍රමේට කියන්නෙ රෙදි නමනව කියල....හෙහ්,හෙහ්,

හරි හරි...ආයම කතාවට...බීප්...බීප්...බීප්...ඉතින් රෙදි නමන ගමන්ම මම වමතින් ෆෝන් එක අරගෙන බැලුව. මෙසේජ් එකේ තිබ්බෙ මියගිය එඩී මන්ත්‍රීතුමාගේ මෘතදේහය අහවල් දවසෙ පාර්ලිමේන්තුවට ගේනව කියල ගෞරව දැක්වීම පිණිස. 

මගෙ වම් පැත්තෙ හිටිය සමරෙ පත්තරෙං ඔලුව උස්සල මගෙ ෆෝන් එකට එබුන. " මොකෝ බං කේස් එක? " 

" අම්මට උඩු මාර කෙළියනෙ…" මම ඇස් දෙකත් ලොකු කරගෙන මේසෙ වටේ ඉඳගෙන හිටපු එවුංගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බැලුව. 

" මොකද බං? බයවෙලා වගෙ බලාගෙන ඉන්නෙ? කියපංකො." සමරෙ මගෙ උරෙස්සට ඇන්න. 

" අඩේ එඩියගෙ මරණෙ මිනී මැරුමක්ය කියන්නෙ." 

" නෑහ්?..." සමරෙගෙ කටත් එක්ක ඇරුන අප්පල්ලෙ වගෙ. ටිකක් කිට්ටු වෙලා එබිල බැලුවනං කුඩා බඩවැල හිටං පේන සයිස් එකට.

" නැත්තෙ නෑ බං මේ කියන්නෙ..කෝ ඉඳපං බලන්ට..ම්ම්ම්ම්..පාර්ලිමන්ට්...පාර්ලිමන්ට්? ආ...පාර්ලිමන්ට් එකේ උඩ තට්ටුවෙන් පල්ලෙහාට වැටිල තමයි මනුස්සය මැරිල තියෙන්නෙ.." මම සමරෙ මඟ ඇරල රණේ දිහා බලල ඇහැක් ගැහුව. හෙහ්...ඌත් යන්තමට හිනාවීගෙන මගෙ දිහා බලා හිටිය. ඕක කොහොමත් දන්නව මම මේ අන්ඩරයක් දෙන්නෙ කියල. 

" මුගෙ බොරුද කොහෙද? කලිං කිව්වෙ බං හොස්පිට්ල් එහෙක මලා කියලනෙ " සමරෙට තාම සැකයි. 

" හරි බං එක පාරට ඔහොම සීන් එකක් කිව්වම මිනිස්සු කලබල වෙනවනෙ. ඒකයි කලිං අරම කියන්ට ඇත්තෙ " රණෙත් වැඩේට එන්ටර් වුනා.

" ආ..උඹට සැකයිනෙ..මෙන්න බලාපං…" මම මෙසේජ් එක ඩිස්ප්ලේ වෙලා තියන මොබයිල් ෆෝන් එක ඌට යන්තමට වගෙ පෙන්නුව. " මේ බලපං එඩී... එතකොට මේ තියෙන්නෙ පාලිමන්ට් කියල. " 

ඒ පාර සමරෙට විස්වාසයි වැඩේ.." අම්මට උඩු මාර කේස් එකනෙ. මොකද දන්නෙ නෑ නේද වුනෙ? " 

" ආ..මේ තව තියනව.පොලිස් සස්පෙක්ට් ෆවුල් ප්ලේ ඇන්ඩ් සම් සස්පෙක්ට්ස් ආ බීං ඉන්වෙස්ටිගේටඩ්. අප්පට සිරි කොහොමද සෙල්ලම? මිනීමැරුමක් කියලලු සැක කරන්නෙ." 

" දෙයියෝ සාක්කි කවුද බං ඉතිං ඔහොම දෙයක් කරන්ට ඇත්තෙ? " ඒ රණේ. 

" අපරාධයක් උනහම ඉස්සෙල්ලම සැක කරන්නෙ ඒ අපරාධෙං වාසි වෙන අය. කවුද ලිස්ට් එකේ ඊලඟට ඉන්නෙ? " ඒ අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥ අති ගරු මම තුමා.....

" ආහ්හ්..අපි අහමු චන්දිකයගෙං.." රණේ චන්දිකයට කෝල් එකක් ගත්ත. " චන්දික කවුද එඩී ගාවට ලිස්ට් එකේ ඉන්නෙ? ආ..එහෙමද? හරි හරි ...ඒයි ඊලඟට ඉන්නෙ අර ගුණවර්ධන ලු බං.." 

" අම්මට සිරි එහෙනං බඩුම තමයි. ඕකා හෙණ මැරය." සමරෙ ඔලුවත් හොල්ලල කිව්ව.

එදා ඉතිං තව විනාඩි පහළවක් තරම අපි විද්වත් සාකච්ඡා සභාවක් පවත්වගෙන ගියා ලාංකීය දේශපාලනය වැටිල තියන අන්තිම පහත් තත්වය ගැන. පාර්ලිමේන්තුවට ඇවිල්ල නිකං වගෙ දෙන කෑම එක කන්ට මන්ත්‍රී කෙනෙක් මරල දාන්ට තරම් ..ෂිහ්..අන්තිම නරකයි...සාකච්ඡා සභාව විසිරිල ගියෙ අන්න ඒ විදිහට බොහොම කළකිරුණු සිතින්. 

මම ඒ කාලෙ සති මැද දවස් දෙකක් ගෙදර යනව. සඳුද පාන්දර නුවරින් 5.00 ට පිටත්වෙන මාතර කෝච්චියෙ කොළඹ ආහම සඳුද චමරියෙ නවතිනව. අඟහරුවාද හවස සෙංකඩගල මැණිකෙට මරදානෙන් නඟිනව. රෑ අට වෙනකොට ගෙදර. ආපහු පහුවදා පාන්දර කෝච්චියෙ බෑක් ටු වර්ක්. ඒ කියන්නෙ බදාදා. එදා රෑ ආයම චමරියෙ. බෘහස්පතින්දා හවස ආයම ගෙදර යනව. සිකුරාද උදේ ආපහු වැඩට එනව. එදා රෑ ආයම පිටකෝට්ටෙ චමරියෙ ඉන්නව.

සෙනසුරාද වරුවයි වැඩ. ඒත් මම හවස 3.00 වගෙ වෙනකල් වැඩ කරල සෙංකඩගල මැණිකෙ එකේ ගෙදර යනව. ඉරිදා ගෙදර. සඳුදා ආපහු සේම් ප්‍රොසීඩියර්. ඔය වැඩේ ඇඟට හෙන මහන්සියක් වුනාට ඒකෙන් ලොකුම ප්‍රයෝජනේකුත් වුනා. කාලාන්තරයක් තිස්සෙ අරගෙන කියවගන්ට වෙලා නැතුව මේස උඩයි, කාඩ්බෝඩ් පෙට්ටි ඇතුලෙයි රාක්ක උඩයි ගොඩ ගහල තිබ්බ පොත් කන්දරාවෙන් සීයට අනූවක් විතර ඔය ඒ සතියකට තුන්වරක් පේරාදෙණිය - නුගේගොඩ අතර ගමනාගමනය කරපු අවුරුදු දෙක ඇතුලත කියවල ඉවර කර ගත්ත...හෙහ්,හෙහ්,

ඉතිං අපේ වැඩ ඇරෙන්නෙ හවස 5.00 ට වුනාට ගෙදර යන දවස් දෙක මම 3.30 ට වගෙ ඔෆිස් එකෙන් යනව. ඒකට හිලව් වෙන්ටත් එක්ක කොළඹ ඉන්න දවස්වල රෑ 7.30 වගෙ වෙනකල් වැඩ කරනව.අනික චමරියට ගියයි කියල කොරන්ට දේකුත් නෑනෙ. වල්පල් ටිකක් කියවල බුදියගන්නව මිසක.

අපේ ඔෆිස් එකේ ඉඳල මීටර් සීයක වගෙ මානයෙ තිබ්බ රෙස්ටුරන්ට් එකක්. සවරීන් ජර්මන් රෙස්ටුරන්ට් ඒකෙ නම. අපේ ආයතනයෙ හිමිකරුවන් බොහෝවිට හවස වැඩ ඉවරවෙලා ඔතන පොඩි අඩියක් කාරිය ගහල රිලැක්ස් වෙන සිරිතක් තිබ්බ. ඔහොම යනවට අපි කියන්නෙ ජර්මනියට යනව කියල. ඉතිං එහෙම යනකොට අනිවාර්යයෙන් ඔෆිස් එකේ ඉන්න අයටත් කතා කරනව. සමහරවිට රෑ එතෙක් ගෙදර නොගිහින් ඉන්න සහෝදර නිලධාරීන් ඉන්නවනම් ටෙලිෆෝන් කරල " ඒයි මිගාර ගෙදර යන්ට පරක්කු නැත්තං එන්න ජර්මන් එකට"  කියල කැඳව ගන්න සිරිතකුත් තිබ්බ අපේ බොස්ලගෙ. හෙහ්..අන්න එහෙමයි අපේ බොස්ල. තේරුනා නේද? ජාති ජාතිත් වාසනාවන් එහෙම සේවා යෝජකයො.

ඉතිං ප්‍රස්තුත දවසෙත් සුපුරුදු පරිදි ලොක්කා ඒ කිව්වෙ සොයිසා මහත්තය මගෙ කාමරේට ඔලුව දැම්ම රෑ හතට වගෙ..සොයිස මහත්තය කියන්නෙ ලංකාව පුරාම ඉදිකිරීම් ව්‍යාපෘතිවල දීර්ඝ කාලයක් සේවය කරල අත්දැකීම් ඇත්තෙක්. වයස අවුරුදු හැත්තෑවක් වගෙ ඇති. 

" රවී මොකෝ තවම වැඩද?...අදට ඔය මදැයි....යමු නේද ජර්මන් එක පැත්තෙ." 

" යමු බොස් " කියන පරක්කුවට මාත් කම්පියුටරේ ඕෆ් කරල නැඟිට්ට.

මගෙ කාමරේ තිබ්බෙ උඩ තට්ටුවෙ. පල්ලෙහාට බහිනකොට මෙන්න කවදාවත් නැතුව සමරෙත් ඉන්නව.

" ආ සමරෙ මොකෝ මේ රෑවෙලා ? " සොයිස මහත්තය ඇහුව.

" අර හලාවත ප්‍රොජෙක්ට් එකේ ඉන්වොයිස් ටික ෆයිල් කලා බොස්. ඒක හෙට උදේට ඕන කියල කිව්ව එකවුන්ටන්ට්." 

ඔය කාලෙ අපි හලාවතට පොඩ්ඩක් එහා උඩප්පුවෙ කෝවිලක් හැදුව.

" ආ ….වැඩේ ඉවරද? " 

" ඉවරයි ඉවරයි.." 

" හරි එහෙනං යමු ජර්මන් එක පැත්තෙ..රණේ යමු නේද? " සොයිස මහත්තය රණේගෙ කාමරේටත් ඔලුව දැම්ම.

අපි ඉතිං ඔන්න පොඩි කයියකුත් ගහගෙනම හෙමීට පයින්ම ගියා ජර්මන් එකට. අපිටම රිසර්ව් කරල වගෙ තියනව ඕකෙ මුල්ලක හත් අට දෙනෙකුට ඉඳගන්ට පුලුවන් මේසයක්.හැමදාම ගිහිල්ලම ආය වේටර්ලත් නිකං අපේ සහෝදරයො වගේ.මේසෙ වටේ අපි ඉඳගත්ත. සොයිස මහත්තය, ඊලඟට සමරෙ, ඊට මෙහා රණේ අන්තිමට මම. තව කවුදත් දෙන්නෙක්ද කොහෙද හිටිය. මට හරියට මීටරේට එන්නෙ නෑ මේ වෙලාවෙ. අපි ඉඳගත්තු තැනම උඩ බිත්තියෙ ගහල තිබ්බ ටී.වී. එකක්..

අපේ ඔය සොයිස මහත්තය ප්‍රවෘත්ති ගැන බොහොම උනන්දුයි." ආ ප්‍රවෘත්ති ඇති නේද මේ වෙලාවට?...ජයන්ත... පුතා දාන්නකො නිව්ස්...මේ වෙලාවට සිරස නේද? " ජයන්ත කිව්වෙ ජර්මන් එකේ වේටර් කෙනෙක්.

ජයන්තත් රිමෝට් එකෙන් සෙට් එක ඔන් කරල සිරස දැම්ම. දැම්ම ගමං මෙන්න එඩී මැරිච්ච් එක යනව. පාර්ලිමේන්තු මන්ත්‍රී එඩී මහතා අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාව…

" මුං බොරු කියන එකේ සීමාවක් නෑනෙ" සමරෙ එහෙම කියල අපේ ඕඩර් එක එන්ට ඉස්සර ගෙනත් තියපු පාන් ටෝස්ට් කෑල්ලක් කටේ දාගත්ත. 

ටී.වී. එක දිහාවෙ බොහොම උනන්දුවෙන් බලා හිටපු අපේ සොයිස මහත්තය සමරෙ දිහාට හැරුන. " ඈ...මොකක්ද සමරෙ ඒ කිව්වෙ? මොකක්ද බොරුව? " 

" බොරුව කියන්නෙ බොස් එඩී මැරිච්ච විදිහ. " 

" ඈ? ඒ කිව්වෙ? එතකොට මනුස්සය මැරුනෙ අර කියන විදිහට ප්‍රයිවට් හොස්පිට්ල් එකක නෙවෙයිද? " 

" මොන පිස්සුද බොස්? ඒ අමූලික බොරුවක්නෙ.." සමරෙ මගෙ මූණ දිහා බැලුව. මම හෙමිහිට ඔලුව හරවල රණේ දිහා බැලුව. රණේ තොල හපාගෙන බිම බලාගෙන ඉන්නව.

ඔය වෙනකොට මේ කතාව ඇහෙන මානෙ ඉන්න වේටර්ල දෙන්නෙකුත් අපි ගාවට කිට්ටු වුනා. හොඳ වෙලාවට අපි හිටපු අහල පහල වෙන කවුරුවත්ම හිටියෙ නෑ.

" ඈ සමරෙ එතකොට ඔය මනුස්සය මලේ කොහොමද? " සොයිස මහත්තය හරි කැමතියි පාන් ටෝස්ට් වලට. එයා හින්දමයි එව්ව ඕඩර් කරන්නෙ. ඒත් එදා මනුස්සයට පාන් ටෝස්ට් ගැන වගේ වගක් නෑ. 

" එඩී මැරිල තියෙන්නෙ බොස් පාර්ලිමේන්තුවෙ උඩ තට්ටුවෙං පල්ලෙහාට වැටිල.." 

" මොකක්? කවුද දැං ඔහොම කතාවක් කිව්වෙ? මම මේ ඔහොම එකක් ඇහුවමයි…" සොයිස මහත්තය කෙලිම්ම ටුෂ්නිම්බූට් වුනා. ඉංගිරිසියෙන් කිව්වොත් මෙහෙමයි. Mr. Zoysa straight tushnimbooted.

" කවුරුවත් කියල නෙවෙයි..දවල් ආව නිව්ස් ඇලර්ට් එකක්.අනික වැටිලයි කිව්වට වැටිලමත් නෙවෙයි. තල්ලු කරල කියලයි පොලීසිය සැක කරන්නෙ. " 

" මොනවා?... සමරෙ මේ...කටකතා පතුරවන එක සෙල්ලමක් නෙවෙයි හොඳද? කෝ දැන් කාටද ඔය නිව්ස් ඇලර්ට් එක ආවෙ ? ඔයාටමද? "

" ආ..මේ නෑ මට නම් නෙවෙයි ..කාටද ආවේ...ඒ ඒ ඒ? " සමරෙ නළලත් රැලි කරගෙන කල්පනා කරනව. 

" සොයිස මහත්තය මම ටොයිලට් එකට ගිහිල්ල එන්නං " මම සද්ද නොනැඟෙන විදිහට පුටුව පස්සට කරල නැඟිට්ට. 


************************************

රයිට්....ඇත්තටම මම මේ කතන්දරේ ලිව්වෙ ප්‍රවේශයක් හැටියට. ඒ කිව්වෙ මම අද මේ සටහන ලියන්නෙ ඇත්තටම වෙනත් කාරණයක් හේතු කරගෙන. මම ඔය කතාවෙදි කිව්ව නේද අපේ ආයතනයෙ සේවය කරපු එකෝම එක මානවිකාව ගැන. අර මම බත් අනන විදිහට රෙදි නමනව වගෙ කියල උපහාසයට ලක් කලේ. හරි ඒ මානවිකාව වනාහී නිදහස් සිතුවිලි වියුණුවෙහි නිර්මාතෘවරිය වන රන්දිල් මහත්මියයි. සත්‍යය වශයෙන්ම වියුණුවක් ලිවීමට මා පෙලඹවූයේ ඇයයි. එබැවින් මෙතෙක් පස් වසරකට ආසන්න කාලයක් වියුණුවක් ලිවීමෙන් මා ලැබූ අපමණ තෘප්තියටද එසේම මවිසින් ලියවුනු දෑ කියවීමෙන් දයාබර පාඨක ඔබ යම් වින්දනයක් ලැබූයේ නම් එයටද ගෞරවය හිමිවිය යුත්තේ අනිවාර්යයෙන්ම ඇයටයි. 

අද එනම් සැප්තැම්බර් 19 වන දින ඇගේ උපන් දිනයයි. 

ඔබට සුබ උපන් දිනයක් දයාබර රන්දිල්!!!





Thursday, September 17, 2015

348. The Story Of My Marriage - 4 - The Surest Way To A Girl's Heart Is Through Solving Difficult Equations And Formulae For Her.

2 States චිත්‍රපටයේ අනන්‍යා ලෙස රඟන - Alia Bhatt

ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය වෙත මම ළඟාවන විට වේලාව රාත්‍රී අටට ආසන්න විය. එම සතිය තුල ඉදිරිපත් කලයුතු නිබන්ධන උදෙසා අප වෙත ලබාදුන් ආධාරක ලිපි ලේඛන සහ අදාල පාඨ ග්‍රන්ථ, අනන්‍යා උපදෙස් දුන් පරිදි මා කරමත නොවූවද මගේ දෑත සහ ළයට සිරවී තිබිණි. ප්‍රාන්ත දුරකථන නාමාවලීන් හයකට හෝ හතකට සමාන විශාලත්වයෙන් හා ඒ හා සමානව බරින් යුතුවූ ඒ මුද්‍රිත පාඨ ග්‍රන්ථ සමූහය ඔසවාගෙන ශිෂ්‍ය නේවාසිකාගාරයෙහි සිට ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය දක්වා පියගැට සියයක් පමණ නැඟීම කිසිසේත් පහසු කාර්යයක් නම් නොවීය.

මම ඇගේ කුටියෙහි දොරට සෙමින් තට්ටු කළෙමි." තත්පරයක් ඉන්න. මම ඇඳුම් මාරු කරනවා." කුටිය තුලින් අනන්‍යාගේ හඬ ඝනකමැති දොර ලෑල්ල හේතුකොටගෙන යන්තමින් ඇසිණි.

තත්පර තුන්සියයකට පසු දොර විවර විය. ඇය රතු සහ සුදු පැහැයෙන් යුතු ක්‍රීඩිකාවන් අඳිනා Track Suit නමින් හැඳින්වෙන ඇඳුම් කට්ටලයක් හැඳ සිටියාය. " සමාවෙන්න පරක්කු වුනාට..." ඇය පැවසූයේ දිගු කෙස් වැටිය හිස ඉහළට කොට බඳිමිනි." එන්න එන්න අපි ඉක්මනට වැඩේ පටන් ගමු. සෑහෙන්න තියනව අද ඉවර කරන්න." 

ඇගේ කුටියෙහි වූ එකම අසුන මා වෙත ළංකොට ඕ සයනය මත හිඳගත්තාය.රතු-දුඹුරු පැහැ ඇඳ ඇතිරිල්ල කුටියෙහි කපරාරු නොකළ ගඩොළු බිත්තිවල පැහැයට මනා ලෙස ගැලපුණි.සයනය අද්දරම පාහේ බිත්තියෙහි සවිකොට තිබූ ඝන කාඩ්බෝඩ් කඩදාසියකින් නිමවූ පුවරුවක ඡායාරූප විස්සකට ආසන්න සංඛ්‍යාවක් එක්තරා රටාවකට අනුව අලවා තිබිණි. 

" අර මගෙ පවුලෙ අය…." ඈ ඒ දෙසට සුරත දිගුකලේ දෙදණ නවා ඇඳ මත පසුපසට වී පහසුවෙන් හිඳගනිමිනි." අර මැද ෆොටෝ එකේ ඉන්නෙ මගෙ තාත්තා. එයා හරිම ප්‍රියමනාපයි...නේද? " 

ඇගේ බොහෝ සෙයින් ප්‍රියමනාප පියාණන් හොඳින් දැකබලා ගැන්ම උදෙසා මම හිඳ සිටි අසුනින් නැඟිට පුවරුව වෙත වඩාත් ආසන්න වීමි.නූස් නොමිටි, එකද කෙස් ගසක් හෝ එහා මෙයා නොයන පරිදි ඉතා ප්‍රවේශමෙන් හිස පීරූ මැදිවියේ මිනිසෙක් තොල් තදින් පියාගෙන, යම්තමට සිනාසීමට අසාර්ථක උත්සාහයක් දරමින්, කැමරාව දෙසම එක එල්ලේ බලා හිඳියි. බොහෝ ඡායාරූපයන්හි ඔහු හැඳ සිටින්නේ අත්කොට කමිසයක් සහ දෝතියකි.

සවස් යාමයෙහි මිතුරන් හා ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පන්දුව අසල වූ නිවසේ මිදුලට පතිතවූ කල්හි ඔබ පන්දුව යලි රැගෙන ඒමට නිවසෙහි වසා ඇති ගේට්ටුව විවෘත කොට ඇතුලුවූ කල ගෙහිමියා පන්දුව ද රැගෙන ඔබ වෙත ඉක්මන් පියවරෙන් පැමිණෙන දර්ශනයක් සිතෙහි මවාගන්න. අනන්‍යාගේ පියාගේ මුහුණෙහි සෑමවිටම වූයේ එවන් ගෙහිමියකුගේ මුහුණෙහි දක්නට ලැබෙන කෝපාවිෂ්ඨ පෙනුමයි. " හෙහ්, යකාගෙ ප්‍රියමනාප කමක් ඒක..." මම තොල මතුරාගතිමි." මේ මෙයාගෙ ප්‍රියමනාප මූඩ් එකනම් තරහ ගියහම බලන්ට ලස්සන ඇති." 

" ඔයා මොකවත් කිව්වද?" අනන්‍යා ඇසුවාය.

" ආ..නෑ..නෑ..මේ ඉන්නෙ ඔයාගෙ මල්ලිද? "

" ඔව්…. ඔය බීච් එකේ අරගෙන තියෙන එකේ නේද? ඒකෙ මා ගාවම ඉන්නෙ මල්ලි තමයි. " එහි වූ බොහෝ ඡායාරූප ඔවුන් උත්සව දිනයන්හි, මංගල්‍ය උත්සව අවස්ථාවන්හි හෝ උපන් දිනයන්හි ගත් ඒවාය.

මුහුදු වෙරළෙහි ගත් ඡායාරූපයෙහි අනන්‍යා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් සීරුවෙන් සිටගෙන සිටියේ සෘජුවූ කයින් යුතුවය. එදෙස මොහොතක් බලා සිටින විට ඉන්දීය ජාතික ගීය පසුබිමින් වාදනය වනු ඇසුණු බවට ඔබ සහතික කොට පවසනු ඇත. 

" ඔය චෙන්නායිවල මරීනා බීච් එක. ක්‍රිෂ් දන්නවද ඒක තමයි මුලු ලෝකෙම නාගරික වෙරළ වලින් දෙවෙනි දිගම එක " අනන්‍යා මා පසුපස ඇඳෙහි හිඳිමින් පැහැදිළි කලාය. ඇගේ සොහොයුරා වයස දහහතරක් පමණවූ උපැස් පැළඳි, හොඳින් තෙල් ගා හිස පීරූ, ඉගෙනුම හැර ලොවෙහි වෙනත් කිසිවක් කෙරෙහි උනන්දුවක් නොදක්වන්නකු බව තම ඉරියව් වලින් කියාපානා කොළු ගැටයෙකි.

" අර අම්ම නේද?...." මම විමසූයෙමි. 

අනන්‍යා හිස සොලවා ඒ එසේයයි හැඟවූවාය. ඇගේ මව හා සසඳන කල අනන්‍යාගේ පියා සහ සොහොයුරා ඉතා ප්‍රියමනාප යයි නිසැකවම පැවසිය හැක. ඡායාරූපවල පවා ඇගේ මුහුණෙහි වූ නොරිස්සෙන පෙනුම ඔබ නොදැනුවත්වම හෝ යම් බරපතල වරදක් කොට ඇති බවට බලවත් සැකයක් සිතතුල නිරායාසයෙන් ජනිත කරවන්නේය. එලෙසම ප්‍රාථමික පාසලෙහි මට ඉගැන්වූ ඉතාම සැරපරුෂ ගුරුවරිය මසිතට නැඟුනේ  ද නිරායාසයෙනි.ඇගේ දියණියගේ කුටියට ඇගේ අවසරයකින් තොරව ඇතුළුවීම පිළිබඳ ඉහවහාගිය බලවත් වරදකාරී හැඟීමක් ද ඒ හා සමඟම මසිත පෙලන්නට විය. ඇය තව මොහොතකින් ඡායාරූපයෙන් බැස විත් මා ගලග්‍රහයෙන් ගෙන ඇගේ දියණියගේ කුටියෙන් පිටමං කරනු අතැයි යන හැඟීම ඉතා බලවත්ව මසිතෙහි නැඟෙන්නට වූයේ මා සිරුරෙහි රෝමෝද්ගමනය කරවමිනි.

" අම්මා..අම්මා..අම්මා...හ්ම්ම්ම්ම්ම්ම්…" අනන්‍යා එසේ පවසමින් පපුව හිස්වීයන තරමේ දිගු සුසුමක් හෙලුවාය. 

" ඇයි එහෙම කිව්වෙ? " මම විමසූයේ අනන්‍යා දෙසට හැරෙමිනි. ඡායාරූප අතරින් අවසානයට වූයේ ඔවුන් මංගල්‍යෝත්සවයන්හිදී ගත් ඒවාය. අඳුරු පැහැගත් ඡවි වර්ණයෙන් යුතු අනන්‍යාගේ ඥාතීහු මුව විවරකොට සිනාසෙද්දී ඔවුන්ගේ සුදුවන් දත් දිලිසුනේ කෑලි තුනේ විදුලි පන්දමක් දැල්වූ පරිද්දෙනි. සියලු වයස්ගත කාන්තාවෝ කොන්ද පහත්නොවී ඔවුනට පැළඳිය හැකි උපරිම ස්වර්ණාභරණ ප්‍රමාණය පැළඳ සිටියහ. එලෙසම ඔවුන් හැඳ හුන් සාරි දිලිසුනේ අහමදාබාද් - දිල්ලි අධිවේගී මාර්ගය දෙපස මාර්ගාරක්ෂිත වැටෙහි සවිකොට ඇති පරාවර්තක පුවරු රාත්‍රී කාලයෙහිදී වාහන ප්‍රධාන ලාම්පු එලිය පතිතව දිළිසෙන්නාක් මෙනි.

" ඇයි අර විදිහට අම්මා.. අම්මා... අම්මා... කියල කිව්වෙ? " මම යළිදු අනන්‍යා අමතා විමසූයෙමි. 

" නැහැ මොකවත් නෑ...ඒත් මම කැමතියි අම්ම එක්ක මීට වැඩිය කිට්ටුවෙන් ආශ්‍රය කරන්ට තිබ්බ නම්..ම්ම්ම්ම්..මම මේ කියන්නෙ යාලුවො වගෙ…." එසේ පැවසූ අනන්‍යා යලි සුසුමක් හෙලුවාය.

" ආ..මේ ඒක නෙවෙයි... ඔයාගෙ පවුලෙ අයගෙ ෆොටෝ ඔයා ලඟ තියනවද? " 

නැතැයි හඟවනු වස් මම හිස දෙපසට සෙලවූයෙමි. මගේ පවුලේ සාමාජිකයින්ගේ සමූහ ඡායාරූපයක් ගැනීමට වඩා පියාඹන පීරිසියක ඡායාරූපයක් ගැනීම පහසු විය හැක. එහෙත් මම ඒ බව අනන්‍යාට නොපැවසුයෙමි. අපගේ නිවසෙහි කිසිදිනක කැමරාවක් තිබෙනු පවා මම දැක නොමැති බව ද මට ඒ හා සමඟම සිහියට නැඟුනි.

" ඉතින් ඔයගොල්ලන්ගෙ පවුලෙ වෙන කවුද ඉන්නෙ? " ඇය මා ඔසවාගෙන ආ පොත් තොගය අතරින් අදාල සටහන් ගොන්න තෝරමින් විමසුවාය.

" අම්මයි තාත්තයි මමයි...එච්චර තමයි.." 

" ඉතින් මට තව විස්තර කියන්නකො. එයාල මොකද කරන්නෙ? ඔයා වඩා කිට්ටු කාටද? අම්මටද නැත්තම් තාත්තටද? " 

" මේ හලෝ..මම මේ පොත් කැටියකුත් උස්සගෙන මෙතනට ආවෙ පාඩම් කරන්න.." ඇගේ මේසය මත ඇති මම ඔසවාගෙන ආ පොත් තොගය පෙන්වමින් මම පැවසුවෙමි.

" හරි... හරි.. හරි... මම දන්නව. පාඩම් කරන්ට පටන් ගන්න කලින් පොඩ්ඩක් ඔයා ගැන විස්තර දැනගන්ටයි මම ඇහුවෙ. ප්‍රශ්නයක් නෑ. ඔයා විස්තර කියන්ට අකමැතිනම් මට දැනගන්ට ඕනෙ නෑ. " අනන්‍යා හිස ඔසවා ඇගේ විසල් නෙතු විදහා පැවසුවාය. ඇගේ ඇසිපිය වේගයෙන් සැලිනි.රත් පැහැගත් වතින් ඇගේ රූසපුව වඩාත් කැපී පෙනුනි. නෙත් කොණකින් ඇගේ මව්පියන්ගේ ඡායාරූප දෙස බලමින් මම කල්පනා කලේ එවන් කිසිදු අයුරකින් සිත් ඇදගන්නාසුළු යැයි කිව නොහැකි යුවලකට දාව ඇය වන් රුවැත්තියක් මෙලොවට බිහිවූයේ කෙළෙසකද යන්නයි.

" හරි මම විස්තර කියන්නංකො. හැබැයි ඊට පස්සෙ ෆුල් ටයිම් අධ්‍යාපනය හොඳද? ඕපදූප බෑ අඩුම ගණනෙ පැයකටවත්.. " මම දබරැඟිල්ල ඔසවා අනතුරු හැඟවූයෙමි.

" හරි... හරි... මේ මම දැනටමත් පොත දිගඇරල තියෙන්නෙ. " ඇය පසුපසට ඇදී බිත්තියට වාරුවී හොඳින් හරි බරි ගැසුණාය. 

" ඔන්න අම්ම ගැන කියනකොටයි මතක් වුනේ. අද අනිවාර්යයෙන් මම අම්මට කෝල් එකක් දෙන්න ඕන.තව ටිකකින් අර අතන හතරමං හන්දියෙ කමියුනිකේෂන් එකට යන්ට වෙනව." 

" හරි යමු...දැං කියන්නකො ඔයාගෙ විස්තර.."ඇය ඉල්ලා සිටියාය.

" මගෙ අම්ම රස්සාවක් කරන්නෙ නෑ. මම අම්මට තමයි කිට්ටු. ඒත්.. ඒත් එක අතකින් බලනකොට ඒ හැටිමත් නෑ කියලත් කිව්වැහැකි. " මව හා මා අතර ඇති බැඳීම පිළිබඳව මම කිසි දිනෙක ගැඹුරින් කල්පනා කොට නොතිබුණු බැවින් මම එසේ පැවසූයේ අඩමානයටය.

" එතකොට ඔයාගෙ තාත්ත? මම නම් අපේ තාත්තට බොහොම කිට්ටුයි." 

" මේ...අපි පාඩම් කරමුද?..." මම වහාම මේසය මතවූ පොත දිගහැරියෙමි. 

" ඒ කියන්නෙ ඔයා ඔයාගෙ තාත්තට ඒ තරම් කිට්ටු නෑ?..." 

" මම දැන් එක පාරක් කිව්වනෙ. ඔයාට විභාගෙ ෆේල් වෙන්නද ඕන? " 

" ෂ්ෂ්ෂ්…….." ඇය තම දෙතොල මත සුරතේ දබරැඟිල්ල තබා ඉන්පසු ඇඳ මත වූ පොත අතට ගත්තාය. අනතුරුව ගෙවුණු දෙපැයක කාලය අපි නිශ්ශබ්දව ඉගෙනීමේ යෙදුනෙමු.

නිශ්ශබ්දව ඉගෙනීමේ යෙදුණායයි පැවසීම පූර්ණ වශයෙන් නිවැරදි ද නොවේ. මේ කාලය තුල ඉගෙනීමට අමතරව අනන්‍යා නොයෙකුත් විප්‍රකාරයන්හිද අනලස්ව නිරතවූවාය. වරෙක ඇය කොට්ටයෙහි උරය ඉවත්කොට අලුතෙන් උරයක් දැම්මාය.වරෙක හිස ඔසවා මදෙස ක්ෂණික බැල්මක් හෙලා ඇඳ ඉහත්තාවේ වූ මේස ලාම්පුවෙහි කඳ නවා සකස් කළාය.තවත් විටෙක මේසය මතවූ පෑන් රඳවනයේ වූ පෑන් සියල්ල ඉවතට ගෙන වෙනත් රටාවකට යලි තැන්පත් කලාය.

ඇගේ මේ සියළු විගඩම් නුදුටුවාසේ මම දැඩි අවධානය බිඳී යා නොදී අධ්‍යයන කටයුත්තෙහි යෙදුණෙමි. IIT ආයතනයෙහි ඉගෙනුම ලැබූ මුල් වසර දෙකෙහි මම බොහෝසේ කාලය අපතේ හැරියෙමි. IIMA හිදී ද ඒ වරද එළෙසම සිදුවීමට ඉඩ නොහැරීම මගේ දැඩි අධිෂ්ඨානය විය.

" ෂහ්, ඔයා නියමයිනෙ.කිසි කතාවක් නැතුව ගල් බමුණෙක් වගෙ එක දිගට පාඩම් කරන්ට පුලුවන්නෙ ඔයාට. මරු ඈ…" පැය දෙකකට පසු ඇය දෑත ඔසවා ඇඟ මැලි කඩා පැවසුවාය. 

" මොකෙක් වගේ? " මම දෙබැම රැළිකොටගෙන ඈ දෙස නොපහන් බැල්මක් හෙලූයේ සිනහව වළකා ගනිමිනි.

" හරි හරි…" ඇය සිනාසුනාය." දහයත් පහුවෙලා. දැන් කෝල්ස් ගණං අඩුයි. " 

" ආ..මතක් කරපු එක හොඳයි. මම යන්න ඕන එහෙනම්. " 

" ඉන්න මාත් එනව ඔයා එක්ක. මටත් ගෙදරට කතා කලොත් හොඳයි. " ඇය ඇඳෙන් බිමට පැන පාවහන් යුවල පැළඳ ගත්තාය.

" ෂරි, ෂරි, ෂරි, අම්මා ෂරි, …" සෑම අනුයාත ෂරියක්ම ඊට පෙර ෂරියට වඩා ශබ්දයෙන්, තීව්‍රතාවයෙන් මෙන්ම කණස්සල්ලෙන්ද වැඩි වෙමින් කුඩා දුරකථන කුටිය තුල පැතිර ගියේය. ඇය තම නිවසට ඇමතුමක් ලබාගෙන මව හා කතාබහක නිරතව සිටියි.

රාත්‍රී දහයෙන් පසු ඇමතු ගාස්තු සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ යන බැවින් බොහෝ සිසුහු තම නිවෙස් වලට ඇමතුම් ලබාගනු උදෙසා ආයතනයෙහි සිට මිනිත්තු පහක පාගමනින් ලඟාවියහැකි මේ දුරකථන කුටිය ඉදිරිපිට පෙළගැසී සිටියෝය. ඔවුන් බහුතරයක අත සූක්ෂම ආර්ථික විද්‍යා සටහන් පොත් විය.අනන්‍යා තම ඇමතුම අවසන් කොට පිටතට පැමිණි පසු මම දුරකථන කුටියට ඇතුළු වීමි.

" මේ දෙන්න යාලු වෙලාද? " පෝළිමෙහි සිටියකු තවත් අයෙකුගෙන් විමසනු මට ඇසිණි

" මම හිතන්නෙ නෑ. අර කෙල්ල මෙයාට සලකන්නෙ සහෝදරයෙකුට වගෙ. ඔය කෙල්ලො ඔය වැඩේ හරියට කරනව. කලනය, සංඛ්‍යානය ,වීජ ගණිතය වගෙ එව්වට IIT ගිය කොල්ලෙක් අල්ලගෙන අයිය අයිය කියල වැඩේ ගොඩ දාගන්ට කෙල්ලො යස අගේට දන්නව. " ඔවුන්ගේ සිනා හඬ නෑසුණාක් මෙන් මම දුරකථන කුටියෙහි දොර වසා ගතිමි.

අනන්‍යාට මේ කථාබහ බොහෝවිට නොඇසෙන්නට ඇත. ඒ ඇය ඒ වනවිට තම ඇමතුම් ගාස්තුව ගෙවනු උදෙසා අයකැමි වෙත ගොස් සිටි බැවිණි.

" හෙලෝ? " දුරකථනය සිව්වරක් නාදවූ ඉක්බිති මපියාගේ හඬ ඇසිණි. මම නිහඬ වූයෙමි. දුරකථන ගාස්තුව සටහන් වන ගණක යන්ත්‍රය ක්ලික් හඬකින් ගාස්තුව ගණනය කිරීම ඇරඹීය. 

" හෙලෝ? හෙලෝ?" මපියා යලිත් නොඉවසිල්ලෙන් කථා කලේය.මම ඇමතුම ක්‍රියා විරහිත කළෙමි.ගණක යන්ත්‍රයෙන් බිල්පත නිකුත් විය. 

" කථාකරන්න බැරිවුනා නේද? ඒත් ඔයාට බිල ගෙවන්න වෙයි." දුරකථන මධ්‍යස්ථානයේ අයකැමිවරයා පැවසීය.

" හරි ඒකෙ ප්‍රශ්නයක් නෑ " මම හිස සොළවා එකඟත්වය පළකොට යලි ගෙදර අංකය කරකැවීමි.

මෙවර දුරකථනයට පිළිතුරු දුන්නේ මගේ මවය." අම්මා " මම කෝපයෙන් කෑගැසීමි." මම කියල තියනව නේද රෑ දහය පහුවුනාට පස්සෙ ටෙලිෆෝන් එක කිට්ටුව ඉන්න කියල? " 

" හරි හරි ළමයා. මම කුස්සියෙ හිටියෙ, අනික තාත්තට ඔයාට කතාකරන්න ඕනය කියල කිව්ව. ඒකයි එයා ෆෝන් එක ගත්තෙ. මොකද කියන්නෙ? තාත්තට කතා කරනවද? " 

" අම්ම දන්නවනෙ…. මට බෑ එයා එක්ක කතා කරන්න." 

" හරි ඒක අමතක කරල දාමු එහෙනං..කොහොමද ඔහෙ? අහ්මදාබාද් හොඳයිද? " 

ප්‍රශ්ණයක් නම් නෑ. ඒත් කලින්ටත් වඩා පාඩම් කරන්නනම් වෙයි වගෙ. " 

" කෑම කොහොමද? " 

" අපොයි අන්තිමයි. මම හොස්ටල් එකේනෙ ඉන්නෙ. ආය අහන්ටත් දෙයක්ය." 

" මම ඔයාට එවන්නං හොඳ අච්චාරු ටිකක් හදල. " 

" එපා එපා..මෙහෙ හොඳ රෙස්ටුරන්ට් කීපයක්ම තියනව." 

" එව්වගෙ කුකුල්මස් තියනවද?" ඇගේ හඬ කණස්සල්ලෙන් පිරී තිබුනි.ජලය වාතය විදුලි බලය වන් ජීවිතයට අත්‍යාවශ්‍ය තවත් අංගයක් ලෙස ඕ කුකුල්මස් සැළකුවාය.

" දෙක තුනක තියනව." 

" මට තවම තේරෙන්නෙ නෑ ඇයි ඔයා දිල්ලියෙ MBA කරන්නෙ නැතුව ඔහෙ ගියෙ කියල. " 

" අම්මෙ මම මෙහෙ ආවෙ මගෙ අනාගතයට හොඳම දේ IIMA එකේ ඉගෙන ගන්න එක හින්ද. මෙහෙ කුකුල්මස් තියෙනවද නැද්ද කියල මම කල්පනා කලේ නෑ." ගණක යන්ත්‍රය මේ වනවිට මගේ ගාස්තුව ලෙස රුපියල් දහ අටක් පෙන්නුම් කළේය. " මම එහෙනම් තියන්නම්. " 

" ඉන්න ඉන්න ටිකක්. ඉතිං? ඔහෙ ඔයාට යාලුවො කවුරුවත් එහෙම නැද්ද තවම?" 

" ම්ම්ම්..ඉන්නව..ඒත්..ඒත්...යාලුවෙක්මත් නෙවෙයි...." මම කුටියෙහි දොර වීදුරුවෙන් දිස්වන අනන්‍යාගේ මුහුණ දෙස බැලුවෙමි. ඇය මා දෙස බලා සුන්දර ලෙස සිනහවූවාය.

" කවුද යාලුවො?...මොනවද ඒ ගොල්ලන්ගෙ නම්? " අම්මා නොඉවසිල්ලෙන් විමසුවාය. 

" මේ..අන්..අන්..අනන්ට්. " 

" එයා පන්ජාබ්ද පුතා? " 

" අම්මෙ මේ...මෙහෙ ඉන්න ඔක්කොම…." 

ඇය මට බාධා කලාය. " හරි හරි ඉතිං කෑගහන්න එපා..මම හිතුවෙ ඔයාට පන්ජාබ් යාලුවෙක්ම හිටියනම් හොඳයි කියල. ඔයා කැමති කෑමවලටම ආස කරන……" 

" හරි හරි එහෙනං මම තියන්නං..හෙට මට විභාගෙකුත් තියනව…." 

" ඇත්තටම? මතක ඇතුව විභාගෙට වාඩි වෙන්ට ඉස්සරවෙලා යාඥා කරන්න..හොඳද? " 

" හරි හරි ඒක බැරිය..ඒත් ඊට ඉස්සෙල්ල මට පාඩං කරන්ට ඕන…." ඇමතුම අවසාන කල මම රුපියල් විසිපහක් වූ ගාස්තුව ගෙවීමි. 

" ක්‍රිෂ්, ඔයා මොකද පළවෙනි පාර ෆෝන් එකට උත්තර නොදී කට් කලේ? ඔයාගෙ තාත්ත ෆෝන් එක ගත්තෙ..නේද? " අප ආපසු ඇගේ නේවාසිකාගාරය කරා පිය නඟද්දී අනන්‍යා විමසුවාය. 

මම එකෙනෙහිම නැවතී ඇය දෙස හැරුනෙමි. " ඔයා කොහොමද දන්නෙ? " 

" මට නිකමට හිතුන.අපෙ අම්ම එක්ක තරහ උනහම මාත් ඔහොම කරනව.ඒත් මම නම් ෆෝන් එක තියන්නෙ නෑ. ..අම්ම තියන්නෙත් නෑ. අපි දෙන්නම රිසීවර් එක කණට තියාගෙන වචනයක්වත් කතා නොකර ඉන්නව...හිහ්..හිහ් " 

" ඒ කරල….? බිල ගෙවනව? " 

" ඔව්..අම්ම එක්ක මම තරහෙන් කියල මම අඟවන්නෙ එහෙමයි. සෑහෙන්න වියදම් යන ක්‍රමයක් නම් තමයි ඇත්තම කිව්වොත්. ඒ හින්ද මම නිතරම එහෙම කරන්නෙ නෑ. හොඳටම තරහ ගියහම විතරයි. " ඇය හඬ නඟා සිනාසුනාය.

" මම අපෙ තාත්ත එක්ක කවදාවත් කතා කරන්නෙ නෑ." ටික දුරක් නිහඬව පැමිණි ඉක්බිති මම පැවසූයෙමි. 

" ඇයි ඒ?..." ඇය ඇසුවාය. 

" ඒක දිග කතාවක්. මේ වෙලාවෙ කියන්නනම් බෑ…..ම්ම්ම්..අද නෙවෙයි මම කවදාවත් ඒක කියන එකක් නෑ බොහෝවිට. " 

" ඕකේ..ඔයාගෙ කැමැත්තක් " 

නිහඬතාවයේ වෙලී අප ඇවිද ගිය තවත් නිමේෂයකට පසු ඇය යලිත් කථා කලාය." ඉතිං? ඔයා පවුලෙ එකම දරුවා...ඔයාගෙ අම්මයි තාත්තයි ඔයා ගැන බොහොම බලාපොරොත්තු තියාගෙන ඇති නේද? මොනවද ඔයා කරන්න හිතාගෙන ඉන්නෙ? ෆයිනෑන්ස්? මාකටිං නැත්තං අයිටී? "

" ඒ එකක්වත් නෙවෙයි ඇත්තටම. ඒත් මම හිතාගෙන ඉන්නෙ ඉස්සෙල්ල මොකක් හරි හොඳට අතට ගානක් හම්බ වෙන රස්සාවක් කරල කීයක් හරි හම්බ කරගෙන ඉන්න. මොකද මම හිතාගෙන ඉන්න වැඩේ කරන්න අතේ කීයක් හරි තියෙන්නම ඕන. " 

" ඒ කිව්වෙ? එතකොට ඔයා මොනව කරන්නද ඇත්තටම කැමති? " ඇය විමසූයේ මා දෙනෙත් දෙස එක එල්ලේ ඇගේ දෙනෙත් යොමුකොටගෙනය.

ඇයට මුසාවක් පැවසීමට මට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නොවිණි. " මට ලේඛකයෙක් වෙන්නයි ඕන."

ඇය මහ හඬින් අවඥා සහගතලෙස සිනාසෙනු ඇතැයි මම අපේක්ෂා කලෙමි. එහෙත් නැවතී වරක් මදෙස හැරී බැලූ ඇය මඳ සිනහවකින් යුතුව හිස දෙවරක් සොලවා යලි පෙත් මඟ ඔස්සේ සෙමෙන් පියවර තබන්නට වූවාය. 

" මොන වගේ ලේඛකයෙක්ද? " ඇය ඇසුවාය. 

" ම්ම්ම්..මෙහෙමයි. එදිනෙදා ජීවිතය ගැන සැහැල්ලුවෙන් ලියන කෙනෙක්, ඒත් ඒ යටින් යම් ගැඹුරකුත් තියෙන්නෙ ඕන. ඒ ලියන එව්ව කියවන අයගෙ ජීවිතේ යම් වෙනසක් වෙන්නත් ඕන. ඔය කියන්නෙ පෑන කඩුවට වඩා බලවත් කියල. ඒක අපි එදා ඉඳල දන්න ප්‍රස්ථාව පිරුළක්නෙ. " ඇය හිස හරවා මදෙස මොහොතක් බලා සිටියාය. " නිකං පිස්සු විකාර වගේ කියල හිතෙනවද? " 

" අනේ නෑ..මම එහෙම හිතන්නෙ නෑ.." ඇය වහා පැවසුවාය.

" හරි ඒ මගේ අනාගත අපේක්ෂානෙ. දැං ඔයා ගැන . ඉතිං ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නෙ? " මම ඇසූයෙමි. 

ඇය සිනාසුනාය...." ම්ම්ම්ම්...ඇත්තම කිව්වොත් මම දන්නෙ නෑ.මගෙ අම්ම දැනටමත් හිතන්නෙ මම මේ වෙනකොටත් ඕනවට වැඩිය හිතුවක්කාරයි ඒ වගේම ජීවිතේ මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙනවයි කියල. අන්න ඒ හින්ද මම අනාගතය ගැන වැඩිය හිතන්නෙ නෑ. මේ මොහොත වෙන කොට මට ඕන හෙට තියෙන විභාගෙ හොඳට කරල පාස් වෙන්ටයි මගෙ අම්මව සතුටු කරන්නයි විතරයි. හැබැයි එකක් තියනව. ඒ දෙකම එච්චර ලේසි දේවල් නම් නෙවෙයි. " 

ඇගේ කුටිය වෙත ළඟාවූ අපි තවත් පැය දෙකකට ආසන්න කාලයක් සංඛ්‍යානය ගැටළු විසඳීමෙහි යෙදුනෙමු.

" ඔයා මෙහෙම ආපු එකට බොහොම ස්තූතියි . ඔයා නැත්නම් මට මේ එකක්වත් තේරුම් ගන්ට බැරිවෙයි ෂුවර් එකටම." අසීරු ගැටළුවක් විසඳන අන්දම මම ඇයට පැහැදිලි කල ඉක්බිති ඇය කෘතඥතා පූර්වක සිනහවකින් පැවසුවාය.

" ඔයා මාව අන්දනව එහෙම නෙවෙයි නේද? " 

" මොකක්? " 

" නෑ මම මේ කිව්වෙ ඔයා මා එක්ක හිතවත් කියල, මට කැමතියි කියල පෙන්නන්නෙ මට කියල අමාරු දේවල් අහගන්ට විතරක් එහෙම නෙවෙයි නේද? " 

" පිස්සුද ඔයාට?..." ඇය ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියේ තම කන් අදහා ගත නොහැකි පරිදිය. " මොනවද මේ කියවන විකාර? "

" ඒ මොනව උනත් මම ඔයාගෙ වීජ ගණිත ගුරුවරය නෙවෙයි. කලනය කියල දෙන ලොකු අයියත් නෙවෙයි හොඳද? "

" මොන අයිය කිව්ව? මොනවද ක්‍රිෂ් මේ කියවන්නෙ? ඔයා ඔය කියන එක මට නම් තේරෙන්නෙ නෑ. ඒ මොක වුනත් මට ඔයා ඔය කිව්ව ජාතියෙ එක්කෙනෙක්වත් නම් නෙවෙයි. ඒක සහතිකයි. අපි හොඳ යාලුවො..එහෙම නේද? " ඇය මවෙත සිය සුරත දිගු කළාය.

මම ඇගේ නෙත් දෙස පරීක්ෂාවෙන් බැලීමි. ඇගේ ඇස් අවංකත්වයෙන් පිරී තිබිනි. එසේය ඒ ඇස් මට කිසිදු අයුරකින් රැවටිල්ලක් වංචාවක් නොකරන බව මම සැකයකින් තොරව ස්ථිර කොට ගතිමි.

" සුබ රාත්‍රියක්…." එසේ පවසා මම ඇගේ සුරත ගතිමි.

" ඒයි මේ..ක්‍රිෂ්……….." ඇගේ කුටියෙන් පිටවීමට දොර විවර කරද්දී ඇය යලිත් මා ඇමතුවාය.

මම ආපසු හැරුනෙමි. " ඇයි? " 

" අර ඔයා කලින් කිව්වෙ...සැහැල්ලු ඒත් මිනිස්සුන්ගෙ ජීවිතේ වෙනසක් කරන ලේඛකයෙක් වෙන්න හිතේ තියෙනව කියල…." 

" ඉතිං?..."

" මම මේ කියන්න ආවෙ ඒක ඇත්තටම මාරයි….නියමයි...අර It's Absolutely Cool කියල කියන්නෙ... අන්න එහෙම. මම මේ ඇත්තටමයි කියන්නෙ. මට හිතෙනව එහෙම කෙනෙක් නිකම් මේ.. නිකම් මේ... පරමාදර්ශී චරිතයක් වෙයි කියල. මම දන්නෙ නෑ ඒ වචනෙ හරියටම හරිද කියල..ඒත් මම හිතන්නෙ ඔයාට තේරෙනව ඇති මම කියන්නෙ මොකක්ද කියල." මම කිසිවක් නොපවසා සිනාසුනෙමි.

" සුබ රාත්‍රියක්…." එසේ පවසා ඇය කුටියෙහි දොර වසා දැමුවාය.

සූක්ෂම ආර්ථික විද්‍යා සටහන් ද අතැතිව නේවාසිකාගාරයෙහි කොරිඩෝ ඔස්සේ සක්මන් කරමින් උන් නිදි නොමැති යුවතියෝ කිහිප දෙනෙක් මා දෙස සැක මුසුව නෙත් යොමු කළෝය.

" මම ආවෙ පාඩම් කරන්ට විතරයි " එසේ පවසා මම හැකි විගස ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයෙන් පිටවුණෙමි.ඔවුන් වෙත නිදහසට කරුණු ඉදිරිපත්කිරීමට මට සිත්වූයේ කුමන හෙයින්දැයි මගේ කුටියට පැමිණ සයනයෙහි වැතිර නින්දට වැටෙන තුරුද මට වටහාගත නොහැකිවිය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...