Monday, March 14, 2011

දුකම මිහිරක් වූ කල.............. - When sorrow becomes a sort of way of life,



පිපුණු මලෙක පෙති මත ඉසි පිණි කඳුලු,
රැඳුනු වත කමල දෙ අදර රත ලපලු,
ලිහුනු මුහුල සඟවයි නෙක හද මියුරු,
නැඟුනු සඳ ඇයයි සහසක් නෙතු පොබයූ,



පවර නුවරක පසිඳු වූයේ නුඹ රුසිරූ,
කවර අරුමෙද මසිත් මත් කල අයුරූ,
දවන සිත් නුඹය නෙතු යුග කල මුකුලු,
හමන නළ නුඹ පමණි මා සිත් සැනැහූ,



අකල් නුබ ගැබට පෑයූ ඒ සඳය,
සිහිල් දිය බිඳක් වූයෙත් ඒ නුඹය,
ලිහිල් මේ කුලක තැවරුනු රන් පැහැය,
විසල් දිවි මඟද එලිකල තරු කැකුල,



දිලෙන තරුවකි පැතිරි අහසක නිම්නැති,
දුරක හිඳ නෙතු අයාගත් වන සිටිනෙමි,
පිපුනු කුසුමකි දසත විහිදෙන සුවඳැති,
විඳිනු මිස කිසිදාක මට හිමි වනු නැති,





23 comments:

  1. ලස්සන කවි පෙලක්. පින්තූරේ දැක්කාම පුදුම තනිකමක් සහ දුකක් හිතට දැනෙන්නේ. මේ සඳ හා තරුවෙන් කියවෙන්නේ මොකක්ද කියලා විසඳ ගන්න තාම උත්සාහ කරනවා. කොහොම උනත් ලස්සනම තරුවට කියපු අන්තිම කවිය...

    ReplyDelete
  2. බිරිඳයි දුවවයි දෙන්න ගැනම මේකෙන් කියවෙනව වගේ...

    ReplyDelete
  3. හරිම ලස්සනයි...

    ReplyDelete
  4. සඳෙහි සිසිල ගත වෙලෙනා යාමයක..
    දැනේ ඇගේ හද සිසිල මා සිහිනයක...
    අහසේ දිලෙන රන් වන් තරු දෙකක..
    දිස්නෙ නොමැත මට වෙන කිසි ඇස් දෙකක..

    ReplyDelete
  5. Podi Kumarihami,

    / මේ සඳ හා තරුවෙන් කියවෙන්නේ මොකක්ද කියලා විසඳ ගන්න තාම උත්සාහ කරනවා./

    හරි, හරි, හදිස්සියක් නැහැනෙ, විසඳගත්තු වෙලාවක අපටත් කියන්නකො හොඳේ, හෙහ්, හෙහ්,

    ReplyDelete
  6. hare,

    ම්ම්ම්..... එහෙම දේකුත් පේනව වගේ නම් තමා.........

    ReplyDelete
  7. නිම්ශා,

    ස්තූතියි නංගි, බොහොමත්ම ස්තූතියි,

    ReplyDelete
  8. priyantha,

    සිහිලස වෙලී සුවපත්වන යාමයක,
    හදට ඇතුලුවිය ඈ රුව නොදැනීම,
    සැමදා උරුම කඳුලකි මට නෙතු ගාව,
    තනිකම හැර නොයයි සෙවනැල්ලක් සේම,

    ReplyDelete
  9. රත්ගමයා,

    ඔබටත් එසේම වේවා,

    ReplyDelete
  10. නොදැනම ඇතුළු වූ රුව වෙත සිත බැඳින...
    නොහැකිය මකන්නට ඒරුව සිත නිවන...
    එනමුදු දකින්නට ඇගෙ රුව මන බඳින..
    පින් කර නැතිද දෙනුවන් ඉකි බිඳින...

    ReplyDelete
  11. priyantha,

    හදතුලට නොදැනීම ඇතුලු වූ රුවක් විය,
    කෙලෙස නෙතුගැටේ දැයි නොදන්නෙමි කිසිදාක,
    දිවිය මතු හමුනොවුනහොත් පතන ඒ දසුන,
    සුසුම සහ කඳුල ඉරණමයි මා හට උරුම,

    ReplyDelete
  12. හදතුල රැඳුනු රුව කිසිදා යයි නොමැකි...
    මතකය සිහිනයකි එනමුදු ඇත සුරැකි...
    තෙපලූ වදන් අමතක කරනට නොහැකි...
    ආලය සැඟවුවද එය පපුවට බරකි....

    ReplyDelete
  13. දුකම කොයිතරම් සතුටක් දෝ.. විරහව රසයක් කියල තියෙන්නෙ නිකන් යැ. ඉස්සර මං ඔය විරාවට හරිම ආසා කලා. කොච්චරද කියනවනං කෙල්ලෙක් එක්ක යාළුවෙලා කවද හරි මාව දාල ගියාම ඒ දුක විඳගන්න හැටිත් ප්ලෑන් කරල තිබුනෙ [අනේ මං හරි මෝඩයි නේද? ]

    ReplyDelete
  14. විල්තෙර සුපිපි නිලුපුල් මුකුලිත වීය,
    සෙනෙහස සිඳුනෙ කතරට වට වැසි සේය,
    තිමිරය වෙලෙනුයේ හිරු නැඟෙනා තුරුය,
    සිහිනය මිය ගියේ හිමිදිරියට පෙරය,

    ReplyDelete
  15. nawammawatha,

    අඩේ, පිස්සුම තමයි, මම හිතුවෙ මම විතරයි ඔහොම පිස්සු කෙලින්නෙ කියල,

    අම්මප, මමත් ඔහොමම කලා නෙව එකදාස් නමසිය බර ගණන්වල, ගොලු හදවත එහෙම කියලවනෙ ඒ කාලෙ හිටියෙ,මම උඹටත් ටිකක් එහා ගියා,

    ඒ කිව්වෙ මම හිටිය කෙල්ල තරහ වෙන කල්, ම්හු..... එහෙම පාටක් නැහැ, ඒ පාර මම කෙලින්ම ඇහුව ඔයාට බැරිද මාත් එක්ක තරහ වෙන්න කියල, මොන?, බෑම කිව්වනෙ, ෂෙහ්, බලහංකො ඉතිං....., මේ යස්සනී මගෙ ආතල් එක කෑවනෙ,

    ඉතිං මොකදෑ කොරන්නෙ, මගෙ සැලසුම් ඔක්කොම වතුරෙ,කෙල්ලො කියන ජාතිය ඔහොම්මමනෙ, මෙලොව දෙයක් අපිට කැමති විදිහට කරන්නෙ දෙන්නෙ නැහැනෙව,

    Welcome to the club, nawam, welcome,

    ReplyDelete
  16. මම කාලෙකින් ආවේ ලස්සන කවි පෙලක් බලල යන්න . ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  17. ආආඅ,........සඳරු මලේ,

    ඉතිං, ඉතිං.......... බැනර් කපල, පෝස්ටර් ඉරල එහෙම ඉවරෙයි?

    හෙට අයිය දින්නොත් බඩේ බත් තමයි .....නැද්ද?

    බොහොම ස්තූතියි මලේ, අගය කිරීමට,

    ReplyDelete
  18. බිදෙන විසිරෙන විටෙක දුක දෙන
    තරු සිහින දහසක්
    දකින නෙත ඇත කඳුළු බිඳ බිඳ
    එකතු වී සයුරක්

    හිතක සැනසුම පතා වෙන්වෙන
    අයදුමයි බලවත්
    නොදිලි එකමෙක පුංචි තරුවක
    මියදුම ද එය වෙත්

    ReplyDelete
  19. සොඳුරු සිත,

    නැඟෙන රළ මත බිඳෙන පෙණබිඳු,
    පැවසුයේ කවියක්,
    පිපෙන කොඳමල් කැකුලු මත රැඳි,
    පිණිකඳුලු සහසක්,

    නළල කෙටු ඉරණමය බලගතු,
    නොමැත කිසි රහසක්,
    උරුම මට තනිකමයි සැමදා,
    නොවේ එහි වෙනසක්,

    ReplyDelete
  20. සුපිපි කුසුමේ සුවඳ විඳ සොඳ
    නෙලාගන්නට සිතෙන්නට පෙර
    සිනාසී මෙත් සිතින් සමුගෙන
    බලන් හිස පිපි මුදුන් මල්කඩ

    දිලෙන තරුවේ මුදු එළිය ලැබ
    හිරු රැසින් ගත දැවෙන්නට පෙර
    යොමා දෙනුවන් පසක් කළ මැන
    දෙපා මුල දිලිසෙනා තරු යුග

    ReplyDelete
  21. සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,

    නළ මුදු සුවඳ විඳ සැනැසෙමි,
    මල් පිපි නෙලනු තැත් නොකරමි,
    තරු මල් දිලෙනු නෙත ගැටුනද,
    හද ඉකි බිඳින හඬ පමණකි,

    ReplyDelete
  22. තදින් තට්‍ටු කරල ඇහුවොත්, ඔය වගේ දුකක් ගොඩ දෙනෙකුගෙ හදවතේ තියෙන එක තියෙනවාමයි.......



    http://aluthkolla.blogspot.com

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...