Wednesday, February 16, 2011

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 3

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ........1


කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ........2



" ඔයා ලස්සනට කවි කියනව නේද?, ඔයාමද කවි හදන්නෙත්? "

" ඔව් මම ම තමයි " මම ඇහෙන නෑහෙන හඬින් කිව්වා,

" මම ගැනත් කවියක් හදල කියනවද? " ආයෙත් අර විදිලිය කෙටුවා මම යාන්තමට දැක්කා,

මම කතාවක් බහක් නැතුව ගින්දර දලු පොල්ලෙල්ල වටකොරාන මතුවෙනව බලාන හිටියා,

" බැරිද එහෙනං ? " ඒ පාර නං සුවරෙ ටිකක් තදයි

මං කතාකලේ නැහැ, මොනවා කියන්ඩද කියන එකත් මට හිතා ගන්ඩ බැරිවෙලා තිබුනෙ ඒ වෙලාවෙ,

" බැරිනං නිකා ඉන්ඩ, මහ ආඩම්බර කාරයෙක්නෙ, ආයෙ මා එක්ක කතා කරන්ඩවත් එපා " අර අපූරු සුවඳත් අරගෙන චුට්ටි මැණිකෙ මං ලඟින් නැඟිටල ගියා යන්ඩ,

" යන්ඩ එපා, කවියක් ඕනෙ නම් මම කියඤ්ඤං" මට ඒ ටික කියන්ඩ හොඳටම ඕන කම තිබ්බට වචන පිට උනේ නැහැ, හිතේ තියෙනදේ කියා ගන්ඩ බැරුව මම එහෙමම ගොලු වෙලා හිටියා,

කමලාවතී අක්ක තේ කෝප්පෙ හදාල ළඟට ඇවිදිල්ල අතට දෙනකනුත් මම දන්නෙ නැහැ කිව්වම, " මොකෝ ජයසේන, බයවෙලා වාගෙ?" කමලාවතී අක්ක ඇහැව්වා,

මම කමලාවතී අක්කයෙ මූණ බලල හිනාවෙල හිට, බිම බලාගෙන තේ කෝප්පෙ බිව්ව,

ටික වෙලාවක් එහෙම්මම කුස්සියෙම ඉඳල මම වලව්වෙන් එලියට බැස්සා, මිදුලෙ සේපාලිකා ගහ යට බංකුවෙ ඉඳගෙන චූටි මැණිකෙ පොතක් බලනව මම දැක්කා,මා දිහා ඔලුව උස්සල බලල ආයෙත් ඒ එක්කම පොතට ඔලුව නවා ගත්තා,

මම ගේට්ටුව අරින්ඩ අගුලට අත තියන කොටම " තියෙන ආඩම්බරේ, අපි කවියක් කියන්ඩ කිව්වම තමයි බැරි, ආයෙ මෙහෙ නාවට කමක් නැහැ" චුට්ටි මැණිකෙ තමන්ටම හිමිහිට කියාගන්නව මට ඇහුනා, මම එහෙම්මම අගුලට අත තියාගෙන ටිකක් වෙලා හිටියා, ඊට පස්සෙ ගේට්ටුව ඇරල ආයෙත් ඒ පැත්ත නොබලාම බිම බලාගෙන හෙමිහිට ගෙදර ආව,

දැන් ඔන්න මේ වැඩේ වෙලා සතියකට කිට්ටු වෙනව, මම එදයින් පස්සෙ වලව්ව අහ ගියේම නැහැ, කමලාවතී අක්ක පහුනු දවසක පොලේදි හම්බ උනාම ඇහුවනෙ " මොකෝ ළමයො ඒ පලාතෙ දැන් නේන්නෙ? " කියාල,

මම ඉතිං මොනව කියන්නද, මම බිම බලාන හිනාඋනා, " ඔන්න චූටි මැණිකෙත් ඇහුව ඔය ළමය ගැන " කමලාවතී අක්ක එහෙම කියාගෙන එළවලු මල්ලත් උස්සගෙන ගියා, ඒ කියැව්වෙ ඇත්තටමද නැත්නම් කටට ආවට කියාපු එකක්ද හිතාගන්ඩ බැරුව මම කමලාවතී අක්ක පිටුපාල යන දිහා ඇහිපිය නොහෙලා බලාන හිටියා,

මම පිලේ ඉඳං හඳ බැහැල ඈත කඳු වල්ලලට මුවා වෙනකල්ම ඔව්ව මෙව්ව හිත හිත හිටියා, වවුලො ජම්බු ගහේ පොරකන සද්දෙට තමයි මම ආයෙ මේ ලෝකෙට ආවෙ, හෙට වලව්ව පැත්තෙ යන්න ඕනෙ, මට බැන්නත් කාරියක් නැහැ, බනින එකක් නැහැ, මම එහෙම එක හිත් හිතාන පිලෙං නැඟිට්ටා,

ඊයෙ රෑ එහෙම එක හිතිං හිතාන හිටියට උදේ නැඟිටිනකොට මයෙ හිත නිකම් දෙගිඩි දහරු වෙලා තිබුනෙ, යනවද නැද්ද කියල හිතාගන්ඩ බැරුව මම එහෙට මෙහෙට වෙවී හිටිය ඉර මුදුනක් වෙන්ඩ කිට්ටු වෙනකල්ම වගේ,

අන්තිමට මයෙ දෙපත් හිත මටම එපා වෙලා ඕන්න වෙන දෙයක් වෙද්දාවෙ කියල වලව්ව අහ ගියා,


ගේට්ටුව ගාවට කිට්ටුවෙන කොටම මයෙ දෑස් දිව්වෙ සේපාලිකා ගහ යට බංකුවට, වැඩක් උනේ නැහැ, එතන වස පාලුයි,

මම හෙමිහිට ගේට්ටුව ඇරගෙන කුස්සිය පැත්තටම ගියා, ඇස් වටේම දිව්වට වැඩක් උනේ නැහැ, හොයාපු දේ හම්බ උනේ නැහැ,

කමලාවතී අක්ක වෙනද වගේම ගිනි දලු එක්ක ඔට්ටු වෙවී හිටියා, මම පුරුදු බංකුවෙ ඈඳිගෙන පොලවෙ ඉර එළිය එහාට මෙහාට දඟලනව මහ අමුතු දෙයක් දැක්කහෙ විපරමෙන් බලා හිටියා,

"ආ, ජයසේන ළමයො කොයි වෙලාවෙද ආවෙ? මම දැක්කෙම නැහැ"කමලාවතී අක්ක කිව්වම මම හෙමිහිට හිනාවෙලා ඒ පැත්තට හැරුනා

"මොකෝ පහුගිය ටිකේ මේ පැත්ත පලාතෙ නාවෙ? චූටි මැණිකෙ යන්ඩ කලිං දෙ තුං වතාවක් ඇහුවා”

"යංඩ කලින්?" මම එහෙම ඇහුවෙ නැති උනාට එක පාරට කමලාවතී අක්ක දිහාවෙ බලපු බැල්මෙ ඒ ප්රිශ්නෙ ලියවිලා තිබුනු බව එයාටත් තේරුනා

"චුට්ටි මැණිකෙ ඊයෙ යන්ඩ ගියානෙ ආපහු"

මම ආයෙත් කමලාවතී අක්කයෙ මූණ දිහාවෙ බලං හිටියා,

"ආයෙ එන දවසක් කියන්ඩ බැහැ, දන්නෙ නැද්ද ඒ ළමයගෙ වැඩ,හිතුනු හිතුනු දේ නෙව කරන්නෙ"

මටම හිතාගන්න බැරි මහ මොකක්දෝ පාලු හිස් හැඟීමකින් හිත පිරිල උතුරල යද්දි මම කමලාවතී අක්ක දුන්නු තේ කෝප්පෙ තොල ගෑවා,

"ජයසේන ළමය ආ වෙලාවක,මෙන්න මේක දෙන්න කියල චූටි මැණිකෙ දීල ගියා " දුඹුරු පාට කරදහියක ඔතපු පාර්සලයක් මයෙ අතට දෙන ගමන් කමලාවතී අක්ක කිව්වා,

හීනෙන් ඇවිදින්නැහෙ මම ඒකත් අරගෙන කුස්සියෙන් පිට වෙලා, මිදුලෙ සේපාලිකා ගහ යට බංකුවෙ වාඩි උනා,

ඒක ඇරල නොබල මම ටික වෙලාවක් ඒ දිහා බලා හිටියා, හුළඟේ පාවෙලා ආව සේපාලිකා මලක් ඒක උඩට වැටිල ආයෙම බිමට වැටුනා,

අන්තිමට මම පාර්සලේ ලිහල බැලුව, ඒකෙ තිබ්බෙ කොළරා කාලේ ආලේ පොතේ මුල් ඉංග්රීඒසි පොත,

අර එදා මයෙ නාස් පුඩු වලින් රිංගලා පපුව පුරාම පිරිච්ච සුවඳ පොතෙනුත් හැමුවද නැත්නම් ඒ මගෙ හිතේ හෝදිසියට ආපු සුවඳක්ද අනේ මංදා එහෙම දෙයක් මයෙ නහයටද හිතටද කොහෙද දැනුනා,

මම හෙමිහිට පොතේ පිටු එකින් එක පෙරලුවා, දෙවෙනි පිටුවට පස්සෙ තියෙන හිස් පිටුවෙ මයෙ ඇස් එහෙම්මම නතර උනා,




ජයේ,

ෆ්ලොරෙන්ටීනෝ ට එපමණ ඔබ කැමැත්තේ ඇයිදැයි තේරුම් ගැනීම්ට මම උත්සාහ කලෙමි,
ඒ කෙසේ වුවද ෆර්මිනා ෆ්ලොරෙන්ටීනෝ ගේ ආදරයට පිටු පෑවේ ඇයිද යන්න නම් තේරුම් ගතිමි යයි සිතමි,

සියල්ල සිදුවනුයේ වියයුතු හොඳම අයුරු නොව සිදුවිය යුතු යයි නියමවී ඇති ආකාරයට බව මම තරයේ විශ්වාස කරමි,

- චූටි මැණිකේ

සේපාලිකා මල් සුලඟේ පාවී චූටි මැණිකේ ලියූ අකුරු මතට සෙමින් පතිත වනු මම හිස් බැල්මෙන් බලා සිටියෙමි.


සුළඟ කොඳුරන හඬ කියන්නේ හදේ තෙරපෙන දුකද නොදනිමි,
විසිරි සේපාලිකා මල් පෙති හිරු රැසින් මැලවෙනු බලා ඉමි,
මසිත නැඟි සෙනෙහස කියන්නට පමා වූයේ ඇයි ද ළතවෙමි,
මගේ ඉරණම මියෙනතෙක් ඔබෙ නමින් දුක්වෙන්නට ද නොදනිමි,

Monday, February 14, 2011

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 2

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1 මෙතැනින් බලන්න.

" අනේ මම දන්නෙ නැහැ, උඹට හොඳයි කියල හිතෙන දෙයක් කරහං" අම්මා නැඟිටල බත බෙදාපු මඩක්කුවත් ඇන්න ගෙට ගියා,මම එහෙම්මම පිලේ දිගෑදිලා හඳ එලිය පිලට එනකල්ම කල්පනාවෙ ගිලිල හිටියා,


ඔය කතාව සිද්ද උනේ සුමානෙකට විතර උඩදි,

මෙදා පාර චුට්ටි මැණිකෙ ගමට ආවෙ සෑහෙන කාලෙකිං, මෙයිට කලියෙන් උනත් මම නිතරෝම නොයෙක් වැඩ පල වලට වලව්වෙ ගැවසෙන නිසා චුට්ටි මැණිකෙ මා ගැනත් මම චුට්ටි මැණිකෙ ගැනත් දැනගෙන හිටියා,

ඒත් ඒ දැනඇඳුනුංකම සීමා උනා, එයාට කරගන්ඩ ඕන දෙයක් ගැන මට කියන එකට,


"ජයසේන, තැපැල් කන්තෝරුවෙ මට පාර්සලයක් ඇති, ඒක අරන් එනවද? "

ආ, මට කියන්ඩ බැරි උනානෙ මයෙ නම ජයසේන, යාලුවො ඔක්කොම කිව්වෙ ජයේ කියල,


"ජයසේන මට මේ පොත් ටික මෙතන රාක්කෙ අහුරන්ඩ උදව් වෙනවද?"

ඔන්න ඔය වාගෙ, මම ඉතිං ඒ කියන දේ කලා, එච්චරයි,

චුට්ටි මැණිකෙ වැඩිපුර කියවන්නෙ ඉංග්‍රීසි පොත්, ඒ සමහරක සිංහල පරිවර්තන මම කියවල තියෙනවනම් අපි ඒ පොත් වල තියෙන චරිත, සිද්ධීන් ගැන සාකච්ඡා කලා, විවේචනය කලා,

මේ පාර හැබැයි මම චුට්ටි මැණිකෙගෙ වෙනසක් දැක්ක, ඒ කිව්වෙ මට ඒක හරියටම කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මට කතාකලේ ජයසේන කියල නෙවෙයි ජයා කියල,මයෙ ඇස් දිහාව බලාන කතා කරන කොට එයාගෙ ඇස් දෙකෙත් මහ අමුත්තක් මම දුටුව, මට ඒක මෙහෙමයි කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මොකක්දෝ මට නොතේරෙන මහ අමුතු දෙයක්,

රෑ වැහි ගැබ්බර වෙලා තියෙන ආකාහෙ හීන්වට විදිලි කෙටිල්ලක් එහෙම දැකල ඇතිනෙ, චූටි මැණිකෙගෙ ඇස් නිකම් අන්න ඒ වගේය කියලමයි මට හිතුනෙ, අරම විදිලි කොටන කොට අපි බලා ඉන්ඩ බැරුව ගිනිකණ වැටෙන්ඩ කලියෙන් ඇස් පියාගන්නව වගෙ චූටි මැණිකෙගෙ ඇස් දෙක දිහාවෙ එක එල්ලෙ බලා ඉන්ඩ බයේ ඒ වගෙ වෙලාවට මම අහක බලා ගත්තා,

සති දෙහෙකට විතර කලින් මම ප්‍රාදේශීය සබා පුස්තකාලෙන් ගත්ත මාකේස් ගෙ "කොළරා කාලේ ආලේ" පොත, මේ දවස් වල මගේ හිතේ වැඩ කලේම ඒකෙ චරිත,ෆර්මිනා දාසා සහ ෆ්ලොරෙන්ටීනෝ අරීසා,ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් තමන්ට පිටුපාල වෙන කසාදයක් කර ගත්තු,තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් බලා හිටපු හැටි පොතේ කියවෙන සිද්ධිය මට අදහාගන්නත් බැරි තරමට චමත්කාරයක් ගෙනාවා,


පුදුම වැඩේ කියන්නෙ චූටි මැණිකෙත් මේ ලඟදි ඒකෙ ඉංග්‍රීසි පොත කියවල තිබුනා, ඉතිං අපි සෑහෙන වෙලාවක් ඔය ගැන වාද කල, එයාගෙ මතය උනේ ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් බලා හිටිය එක මහ මෝඩ වැඩක්ය, එහෙම දේවල් සැබෑලෝකෙ වෙන්නෙ නැතිය කියන එක,මම කිව්වෙ ඒ වගෙ සිදුවීමක් ඇත්තටම වෙන්ඩ පුලුවන්ද බැරිද කියන එක නෙවෙයි වැදගත් එහෙම කරනවනම් ඒ ආදරය වෙනුවෙන්ම කරන කැපකිරීමක්, ඒකෙන් සැබෑ ආදරයේ චමත්කාරය පෙන්නුම් කරනවය කියල,

මේ ගැන වාද කරන අතරෙ මම චූටි මැණිකෙගෙ ඇස්වල විදිලි කෙටිල්ල හොඳටම දැක්කා, ඒත් ඒ එක්කම ඇතිවුනු නුහුරු අමුතුම හැඟීමකුයි මොකක්දෝ බයක් වගෙ ගතියකුයි නිසා මම කොයිම වෙලාවක වත් ඒ විදිලි කෙටිල්ලට කෙලින් මුහුණ දෙන්න නොදී මග අරින්නමයි උත්සාහ කලේ,

මේ වාද වලදි මගේ කරුණු ඔප්පු කරන්න මම පොතේ ඡේද ගනන් කියෙව්වා චූටි මැණිකෙට ඇහෙන්ඩ, සමහර වෙලාවට මම සෑහෙන වෙලාවක් පොතෙන් කොටසක් චූටි මැණිකෙට ඇහෙන්ඩ කියවල "ඉතින් මෙන්න මේකෙන් ඔප්පු වෙනව නේද මම කියන කරුණු?" කියල ඔලුව උස්සල අහනකොට චූටි මැණිකෙ මගෙ මූණ දිහාම එක එල්ලේ බලා ඉඳල එක පාරට නින්දෙන් ඇහැරල වගෙ "මොකක්ද ජයේ කිව්වෙ ?" කියල අහල ඇස් නටවල හිනා වෙනවා,


" අහගෙන හිටියෙ නැද්ද? මම ආයෙත් කියන්ඩද?" මම ඇහුවම "එපා, එපා, ෆ්ලොරෙන්ටීනෝ ල අදට ඇති, යමු ටිකක් මිදුලට" චුට්ටි මැණිකෙ මාවත් ඇදගෙන යනවා මිදුලෙ සේපාලිකා ගහ යට තිබුනු බංකුවට,

"ජයේට ඕන විදිහකට ඔයා හිතාගන්න, හැබැයි ෆ්ලොරෙන්ටීනෝ කියන්නෙ මෝඩයෙක්, මගේ අදහස ඒකයි, ඔයත් කැමතිද ෆ්ලොරෙන්ටීනෝ කෙනෙක් වෙන්න?" මගෙ දෑසට එබීගෙනයි චුට්ටි මැණිකෙ අන්තිම ප්‍රශ්නෙ ඇහුවෙ,

මම මොකවත්ම නොකියා පොත වහල දාල, බිම වැටිල තිබ්බ සේපාලිකා මල් හෙමිහිට එහෙ මෙහෙ හුලඟට පැද්දෙනව බලාගෙන හිනාඋනා,

"පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ මෙයාගෙන් වචනයක් ගන්න, හරි ඒක දැන් ඇති, මට ආරංචියක් ආව ලස්සනට කවි ලියනව කියල, ඇත්තද? "ඒ පාර තව එකක්,

හොඳ වෙලාවට ඒ වෙලාවෙ චූටි මැණිකෙගෙ යාලුවෙක් ආව නිසා, අපේ කතාව එහෙම්මම නැවතුනා,


ඊට පහුවදා තමයි ඔන්න මේ වැඩේ සිද්ධ උනේ,

මම යනකොට වලව්වට චූටි මැණිකෙ එලි පෙහෙලියෙ පේන්ඩ හිටියෙ නැහැ, ඉතිං වෙනද පුරුදු විදිහට මම කුස්සියටම ගියා,

ඔය වෙලාවෙ මම හිටියෙ මුලුතැන්ගෙයි බංකුව උඩ, බිත්තියට හේත්තුවෙලා, වලව්වෙ ඉවුම් පිහුම් කරන කමලාවතී අක්ක ඩිංගකට කලියෙං ලිපට පොල්ලෙල්ලක් දාල "ජයසේන ළමයො, ඉඳහං මම ඉඟුරු අලයක් හාරං එඤ්ඤං තේකට දාන්ඩ" කියාගෙන මහ කොස් රුප්පාව යට දහයියා ගොඩ පැත්තට ගියා, මම හෙමීට කවියක් මුමුණ මුමුණ ලිපේ ගින්දර දිහා බලා හිටියා,

" සිහිල් සුලඟක් වෙලා ආවට මගේ සරතැස නිවා ලන්නට, ඔබගෙ පහසින් නිවුණු.................." අපූරු සුවඳක් මයෙ නහයෙන් ඇතුල් වෙලා පපුව පුරාම පැතුරුනා,

දෙයියෝ, චුට්ටි මැණිකෙ මං ගාවාට එනකල්ම දැක්කෙ නැහැ නෙව,

ඉස්සරෝම මම දැක්කෙ සුදුපාට සෙරෙප්පු දෙක, ඊට පස්සෙ රෝස පාට සායම් ගාපු දිග ඇඟිලි, එතනින් මගෙ ඇස් දෙක ඉහළට ගිහින් අන්තිමට නතර උනේ විදිලි කොටන ඇස් දෙක ලඟ,චුට්ටි මැණිකෙ ඇහිපිය වේගෙන් ගැහුවා, විදිලි එලිය දෙතුන් පාරක් ඇතිවෙලා නැති වෙලා ගියා, ගිණිකන වැටෙනවට බයේ මීමින්නො බිම බලා ගන්නව වගේ මම ආයෙම බිම බලා ගත්තා,

මෙන්න චුට්ටි මැණිකෙ ඉඳගනිපි මම හිටිය බංකුවෙම, මම හිමීට එහා කොණටම උනා,

" මොකෝ ජයේ, මම ඔයයිව ගිලින්නෙ නෑ "

චුට්ටි මැණිකෙ හිනා උනා,කුස්සියෙ අඳුර දුරුවෙලා ඉර හතක් පෑව්ව කියල මට හිතුනා,

-මතු සම්බන්ධයි-






Thursday, February 10, 2011

කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1

ඊයෙ රෑත් මම කන්ඩ ගත්තු බත් පත එහෙම්මම තියල අත හෝද ගත්තා, මට මෙහෙම වෙලා දැං දවස් ගානක් වෙනවා, කන්ඩ ගත්තත් පිරියක් නැහැ, වතුර පොදක් වත් ගිරියෙං පල්ලෙහාට යවා ගන්නෙ බොහොම අමාරුවෙං,

අද පාළොස්සක දා නෙව, හඳ වෙන පාළොස්සකට වගේම අම්බුලුවාව කන්ද උඩිං පායල තිබ්බ, පංසල පැත්තෙං ගංටාර සද්දෙත් ඇහෙනව, වෙනද නං අම්මයි මායි මේ වෙලාවට පංසලේ,

බන ඉවරවෙලා අපි දෙන්න එන ගමං මම හඳ දිහාවෙ බලාගෙන කවි ගොතනව, එව්ව හෙමිහිට කියන කොට මයෙ අම්ම කට කොණකිං හිනාවීගෙන මයෙ දිහා බලනව,

ඔහොම ගෙදරට එන ටිකට මම කවි පහ හයක් හදල, ආපු ගමං මයෙ කොපි පොත අරං එව්ව ලියා තියනව, ඊට පස්සෙ අම්ම බෙදල දුන්නු බත් එකත් ඇන්න පිළට වෙලා ආයෙම හඳ දිහා බලාන තමා බත් ටික කන්නෙ,

ටිකකිං උන්දැත් ඒ කියැව්වෙ අපෙ අම්ම,මඩක්කුවට බත බෙදාන මා ලඟම ඇවිත් ඉඳගන්නව, මං ඉතිං කන ගමං එදා දවසෙ වෙච්චි ඔක්කොම උන්දැට කියනව,ඔහොම තමා අපි දෙන්නෙගෙ ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවිල ගියෙ, කාටවත් කරදරයක් නැහැ, අපිට කායෙංවත් කරදරේකුත් නැහැ,
මම ඉතිං ඔය අපෙ පරම්පරා කුඹුරු කෑල්ල වැඩ කරගෙන, අම්මවත් බලාගෙන හිටියා, කවියක් කියන එක තමයි මගෙ එකම විනෝදෙ උනේ,

ඒ ඇරුනම පොඩි කාලෙ ඉඳම්ම අතට අහුවෙන ඕන පොතක් කියවන එකත් මගෙ දිනචරියාවෙ එක කොටසක්, දවසකට අඩු ගනනෙ පොතක පිටු දහයක් පාලොහක්කත් කියෙව්වෙ නැත්නම් මට නිකම් බඩට කෑවෙ නැහැ වගේ අඩුවක් දැනෙන්නෙ,

අම්ම බත් එක බෙදාගන පිලට එනකොට මම හඳ දිහා අනිමිසලෝචනේ,

"මොකදැ පුතේ, උඹ අදත් බත් කටක් වත් කෑවෙ නැහැ නෙවද?"

මම උන්දැ දිහා බලල හිනා උනා,

"හිනැහෙන්ඩ එපා බං, ඇත්ත කියහං මොකෝ බොට වෙලා ඇත්තෙ?
"බලාපං උඹෙ හැටි, හිටියයිං බාගයයි,කන්නෙ නැහැ බොන්නෙ නැහැ මොකක්ද කියාපං මේකෙ තේරුම හැබෑටම?"

"වළව්වෙ චුට්ටි මැණිකෙ මයෙත්තෙක්ක අමනාප වෙලානෙ අම්මෙ" මම අම්මයෙ දෙපතුල් ගාව වැටිල හඳ දිහාවෙ බලාගෙනම කිව්ව,

"මං නිකමට හිතුව ඕක, දැං කීපදොහොකිං වලව්ව පැත්තෙ නොගිය කොට, " අම්ම මයෙ ඔලුව අතගාන ගමං කිව්ව, "මොකදෑ හැබෑට උනේ, ඒ ඇත්ති හොඳ ගුණ යහපත් දැරිවි වෙච්චි, උඹ මොනව හරි නොහොබිනා වැඩක් කරන්ඩ ඇති එකත් එකටම "

"ඕං ඉතිං මයෙ අම්මත් කියන එක, මම එහෙම දෙයක් හීනෙකිං වත් කරයි කියල අම්ම හිතනවැයි "මම හුරතල් උනා

"උඹෙ වෙලාව මේ දවස් වල හොඳ නැතුව ඇති කියල මට නිකමට හිතුන පුතේ, මම ඒ පාර අද උදේ ගුරුන්නාන්සෙ ගාවට උඹේ වේලපත්කඩේ අරං ගියා, උඹට බොහොම අපලය, කාලෙ බොහොම නරකය කියාල තමයි කියැව්වෙ"

මම මොකවත් කියැව්වෙ නැහැ, මම ඔව්වයෙ ඒ හැටි විස්සාසයක් නැති බව අපෙ අම්මත් හොඳාකාරවම දන්නවා,

ඉතිං ඔක්කොටම ඉස්සර චුට්ටි මැණිකෙ ගැන කියාල ඉන්ඩ එපාය, මට ඒක අමතකම උනු හැටි හැබෑටම අම්මපල්ල,

චුට්ටි මැණිකෙ කියැව්වෙ අපේ වලව්වෙ බාල දෝණි, ඔන්න ඔය ඒ ඇත්තිට අපූරු නමක් නං තියෙනව, ඒත් හැමෝම පොඩි කාලෙ ඉඳම්ම කිව්වෙ චුට්ටි මැණිකෙය කියාල,
අනේ අම්මප, ඇස් වහක් කට වහක් නැහැ හරිම සීදේවි පාටයි, ඒ වගේම තමයි ගුන යහපත්කමත්,

"හැබෑට මොකෝ දැං ඔය උඹත් එක්ක චුට්ටි මැණිකෙ අමනාප වෙන්ඩ හේතුව? "අම්ම ඇහැව්ව

"අනේ මම දන්නෙ නැහැ, අපෙ අම්මෙ,"

අම්ම හීං සැරේ ඉස අත ගාද්දි මට නින්ද යාගෙන ආවා, පොඩි කාලෙ ඉඳම්ම මම ඔහොමයි, අම්ම ඔලුව අත ගාද්දි මට නින්ද යනව, අදෙයි කියාල වෙනසක් නැහැ

"නැගිටහං, මේකට මට උත්තරයක් දීල හිටිං, චුට්ටි මැණිකෙ විරසක වෙන්ඩ හේතුව කියහං හංගන්නෙ නැතුව"අම්ම සැර උනා

"අනේ, අම්මෙ මයෙ අතිං එහෙමට වරදක් උනේ නම් නැහැ නෙව"මම කෙඳිරි ගෑවා, ඒ උනාට මම සහසුද්දෙංම දන්නව ඇත්ත නොකිය අම්මයෙං ගැලවිල්ලක් නැතෙයි කියාල, මම නැත්නම් කවුදෑ දන්නෙ උන්දැගෙ හැටිට සොබාව,

"අනේ, නිකා ඉඳහං මම දන්නව නෙව උඹේ කෙරුවාව, ඉතිං කියහං හොඳ එකා වගෙ, තවත් හංගන්නෙ නැතුව"
දැන්නං බේරුමක්ම නැහැ, ඇත්තම කියන්ඩ වෙනව, එක අතකට මොනවට බයක් හැකක් වෙන්ඩයැ ආයෙ මම වැරැද්දක් කොරල ඇති එකක්ය,

"මට දවසක් වලව්වෙදි කවි කියන්නෙයි කිව්ව එයා ගැන "

අම්මත් එක පාරටම ඇස් ලොකු කොරාන මා දිහා බලාන හිටියා ටික වෙලාවක්, මොකොවත්ම ඇහුවෙ නැහැ, ඒත් මම දන්නව උන්දැ මයෙන් මම කියැව්වෙ මොනවදැයි කියන උත්තරේ බලාපොරොත්තු වෙනව කියල,

"මම බැහැ කියල ආව එන්ඩ, ඊට පස්සෙ තමයි චූටි මැණිකෙ මා එක්ක අමනාප උනේ," මම මිදුලෙ කණමැදිරියො නටන දිහා බලාගෙන කිව්වා,

" ඒ දැරිවි යස ගුණ යහපත් දැරිවි,අරම කියාපුත් එකේ උඹට කවියක් දෙකක් කියන්ඩ නෙව තිබ්බෙ මයෙ පුතේ " අම්ම ඇහෙන නෑහෙන අඬින් කියැව්වා,

ඊට පස්සෙ කිසිම කතා බහක් නැතුව සෑහෙන වෙලාවක් අම්මයි මායි දෙන්නම මිදුලට පාත් වෙච්ච හඳ එලිය දිහාවෙ බලං හිටියා,


-මතු සම්බන්ධයි-

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...