Friday, June 24, 2011

25. Dancing with you....................the waltz of life,



Wind blowing in your silky hair,
Starlight shining in your blue eyes,

Dancing holding you in my arms,

Wh
atelse but the waltz of life,

Soaring away into the shimmering sky,

Stepping on wisps of clouds so gingerly,

Hopping from star to star on tip toes,

Dancing on to the full moon itself,

Looking at your liquid pools of eyes,

Drowning in them to the deeps at will,

I don't ever want to be do anything else,

But only dancing with you all my life,

Dance, dance & dance away to your heart,

What a life
to lead away to eternity,
When sun comes out tomorrow morning,

I only want to hold you
tight in my arms,



Wednesday, June 22, 2011

77. අහෝ නාසා.............!!!! නුඹ අපේ ජොලිය කෑවා...........කියා හිතෙනා....... අයත් ඉඳියිද මන්දා...!!!

මේ දිනවල ලොව වටා ඉමහත් ආන්දෝලනයක් දෙන ප්‍රවෘත්තිය දැනටමත් ඔබ සැම දන්නා බව සිතමි. ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසේ 21 වෙනිදාට මෙය කියවන ඔබටත්, සියලු වැඩ පසෙක තබා මෙය ඔබ වෙනුවෙන් සකස් කරපු මටත් තව තව අයටත් වැඩේ දෙල් වෙන බව තමයි ඔය ප්‍රවෘත්තිය. ඇත්තටම දැන් දැන් සමහර අය කියන පරිද්දෙන් පිංවන්තයෝ විතරක් ඉතිරි වෙන එකේ අපි ගැන කුමන කථාද නේද? මේ ගැන අද උදෑසනම කියවන්නට ලැබුනු ලිපියක් හා ඒ හරහා එළඹෙන්නට යෙදුනු තවත් ලිපි හරහා බඩ පපුව හෝස් ගා දැවී යන අයුරේ කතන්දර තමයි කියවාගන්නට ලැබුනේ. අහෝ ඔය කියන ආකාරයට පුපුරලා ගියොත් මයේ දරුවා! මයේ මහත්තයා! අපේ අම්මලා, තාත්තලා, නංගිලා, මල්ලිලා! කියලා නොහිතුනාමත් නොවෙයි.

(හරි හරි පස්සෙන් පහු ඔයාලාවත් සිහි වුනා) ඒත් ඒ එක්කම මං කලින් ඉඳන් හිතාගෙන හිටපු තර්ක ටිකට පිං සිද්ධ වෙන්න, හෘදය ආබාධයක් හැදෙන්නේ නැතුව බේරුනු නිසා මේ ලිපිය ලියන්නට කරුණු ගලපාගන්නට හැකි වුනා.

මේ ලෝක විනාශ කතන්දරේ අහන්න ලැබුනු දවසේ ඉඳන් මට හිතුනු දේවල් තිබුනා. මගේ මහත්තයා නං කියන්නේ හෙට මැරෙනවා කියලා ටක්කෙටම දැනගත්තත් කරන්න දෙයක් නැහැ, අද ගේ හදනවා නං හදන්න ඕනේ කියලා, මොකද හෙට වෙනකම් සැනසිල්ලෙන් ජීවත් වෙන්න එපැයි. ඉතිං මේ කථා සියල්ල මැද මට මේ ලෝක විනාශ කතන්දරේ විශ්වාස කරන්න බැරි කාරණා දෙක තුනක් හිතේ තියෙනවා. මං ඒවා කරුණු වශයෙන් කියන්නම්.



1. මං දන්න, අපේ රටට සිද්ධ වෙච්චි මුල්ම ස්වාභාවික විනාශය වෙච්චි, කැළණි තිස්ස රජතුමාගේ කාලයේ මුහුද ගොඩ ගැලීමේ පටන් 2004 වසරේ සිදුවුනු සුනාමිය හා මේ පහුගිය දාක ජපානෙට සිද්ධ වෙච්චි අහස පොළොව නුහුලන විනාශේ දක්වා කිසිම විනාශයක් කලින් කිය කියා නොපැමිණීම. - අපි සුනාමි දැනගත්තේ 2004 වුනාට ලොව බොහොම රටවල් ඒ ගැන දැනන් හිටියා. විශේෂයෙන් ජපානය. ජපානේ පාරට ගියහම බස් වගේ තමයි ලු එහෙට සුනාමිත්. එහෙව් රටේ මේ ඊයේ පෙරේදා වෙච්චි සිද්ධිය දැන ගන්න ක්‍රම නොතිබුනු එක නං සැබෑම අවාසනාවක්.

2. මෙහෙම දෙයක් වෙනවා නං මේ වෙනකොට අපේ රටේ අවම වශයෙන් 225ක්වත් මනා සවි සක්තියෙන් යුතු බිං මාලිගා හැදිලා තියෙන්න ඕනේ, එහෙමත් නැත්තං ලොව පුරා සියලුම ප්‍රධාන පෙලේ ධනවතුන් හඳේ ඉඩම් ගන්න විදිහක් සොයා බලමින් ඉන්න ඕනේ. ඒ කිසි දෙයක් නැහැ. පහළම පැලැන්තියේ අපි විතරක් අපොයි ලෝකේ ඉවරයි කිය කියා විස්සෝප වුනාට, බිල් ගේට්ස්ට වගේ වගක් නැහැ, වොරන් බෆට් තවත් කොටස් මිලදී ගන්නවා, මාර්ක් සකර්බර්ග් මල්ලී ලොව විශාලම ධනවතෙක් වෙලා, විලියම් කුමාරයා හත් දා මගුලක් කෑවා........... ඒ විතරක්ද, අලි නාවන වලවල් වල බැහැගෙන අපි පාරේ යන අතරේ අපට උඩින් ගුවන් පාලම් හැදෙනවා...............

4. කාලෙන් කාලෙට රටේ ලෝකේ තියෙන, මේ මොහොතේ, අද දවසේ, ජීවත් වෙන්න බලපාන ප්‍රශ්න අමතක කරලා, අහෝ මෙහෙම වෙයිද? මෙහෙම වුනොත් කොහොම වෙයිද? එහෙම වුනොත් අරහෙම වෙයිද? කියලා හිත හිතා ඉන්න කාරණා අපට අදිසි ලෙස සැපයෙනවා. ඉතිං මට හිතෙන්නෙම කිසිම රටක ජනාධිපති තුමෙක් නිකමටවත් කථා නොකරන මේ මාත්තුකාවත් අපිට සකච්ඡා කර කරා ඉන්න අර විදිහට අදිසි විදිහට ලැබුනු එකක් කියලාමයි.

3. අනිත් කාරණය මේ වනතුරු අපේ රටේ කිසිම මාධ්‍යයක, ප්‍රවෘත්ති විකාශයක මේ පිළිබඳව වදනක් හෝ පැවසූ බවක් දැනගන්නට නැහැ. ඇයි ඒ? පාර අයිනේ මීයෝ රැලක්, කූඹි රැලක් පාගාගෙන ගියත් රෑ අටට කියන අය, ඇයි මේ වගේ, ලොව සත්ත්වයින්ගෙන් 1/3 හෝ 2/3 ක් විනාශ කර දමන, පිංවතුන් විතරක් ඉතිරි කරන විනාශය ගැන එක වදනක් හෝ නොදොඩන්නේ?

4. මේ කියන ආකාරයේ දෙයක් වෙනවා නම්, එය සිදුවන ආකාරය ගැන අද උදේ කියැවූ ලිපියේ ඇති පරිදි කිසිවකුට නිශ්චිතව කාරණා පවසන්නට පහසු වෙන්නේ නැහැ. ඇත්තටම මේ කියන ආකාරයට යමක් ඇවිත් පොළොවේ වැදුනොත් පොළොව ඇහිඳින්න වෙන්නේ ඇල්ෆා සෙන්චුවරි ෆොක්සිමා සෙන්චුවරි වලටත් ටිකක් එහායින්ද, නැත්තං අඟහරු ගාවින්ද කියන එක ටක්කෙටම කියන්න පුළුවන් වේවිද?

තව කාරණා විටින් විට හිතුනත් දැන් ඒවා සිහි වෙන්නෙත් නැහැ. කොහොම හරි මේ ලිපි කියැව්වට පස්සේ, දැන් කාලෙක ඉඳන් කරන්න හිටපු දෙයක් සිහි වුනා. ඒ තමයි මේ ගැන නාසා ආයතනය මොකද්ද කියන්නේ කියලා බලන්න.

ඉක්මනින් ම නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය පැත්තේ ගියේ ඒ අනුවයි.
එහි දී හමුවුනු, 2012: Beginning of the End or Why the World Won't End? නම් ලිපියේ පරිවර්තනය ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම.


2012: අවසානයේ ආරම්භය හෝ ඇයි ලෝකාවසාන නොවන්නේ?


ඔබට මතකද Y2K භීතිකාව? මහත්ම ආන්දෝලනයක් සමග ආ එය කිසිම හා හූවක් නැතුවම මැකී ගිය අයුරු මතකද? එයට හේතු වුනේ එහි ඇති බලපෑම හොඳින් අධ්‍යයනය කර, ප්‍රමාණත්මක හා සුදුසු සැලසුම් සකස් කර කටයුතු කළ නිසා බිය වීමට කාරණයක් ශේෂ නොවීමයි. එම සිද්ධිය සේම ආන්දෝලානාත්මකව කථා බහ කෙරෙන සිද්ධියක් මේ දින වල ඇති බව අපි කවුරුත් දන්නවා. 2012 දෙසැම්බර් 21 වෙනිදා පිළිබඳව මිනිසුන් විවිධ මත පළ කරනවා. ඇත්තටම අපි දන්නා පරිද්දෙන් එදිනට ලෝක විනාශයක් සිදුවිය නොහැකියි. එය තවත් එක් සිසිර සූර්ය නිවෘත්තියක් පමණයි. winter solstice.

Y2K
සංසිද්ධියේදී සේම මෙහිදීද මෙම සිදුවීමේ විද්‍යාත්මක පාර්ශ්වය හොඳින් ම අධ්‍යයනය කරන ලදී. මෙම අධ්‍යයනයේදී තහවුරු වුයේ ‍දැනට මිනිසුන් අතර පැතිර පවතින තොරතුරු සාවද්‍ය බවයි. පහත දැක්වෙනුයේ, අප විසින් නගන ලද ප්‍රශ්න කිහිපයක් හා NASA ආයතනයේ විද්‍යාඥ වරුන් විසින් ඒ සඳහා සපයන්නට යෙදුනු පිළිතුරුයි.

ප්‍රශ්නය : 2012 වර්ෂය සැලකීමේදී, කිසියම් අසාමාන්‍ය තර්ජනයක් අප පෘථිවිය වෙත තිබේද? අන්තර්ජාලය තුලදී බොහෝ වෙබ් අඩෙවි මගින් ප්‍රකාශ කර ඇත්තේ 2012 වර්ෂයේදී ලොව විනාශය සිද්ධ වන බවයි.

පිළිතුර: 2012 වසරේදී ලොවට කිසිම විශේෂ නපුරක් සිදු වන්නේ නැහැ. අවුරුදු බිලියන 4ක් තිස්සේ අපේ පාථිවිය සාමන්‍ය පරිදි පැවතුනා. ලොව පුරා සිටින පිළිගත් විද්‍යාඥවරු සියලුම දෙනා පාහේ, 2012 වසරේදී පෘථිවියට අසාමාන්‍ය අනතුරක් නැති බව හොඳාකාරවම දන්නවා.


ප්‍රශ්නය: වසර 2012 දී ලෝක අවසානය සිදුවන බවට අනාවැකි පළවන්නට හේතු වුනේ කුමක්ද?


පිළිතුර: මෙම කථාව මූලිකවම පැන නැගුනේ සුමේරියන් වරුන් විසින් සොයා ගන්නට යෙදුනු නිබිරු - Nibiru නම් ආකාශ වස්තුව - මෙය බොහෝ දුරට ග්‍රහ ලෝකයක් ලෙස සැලකෙනවා - පෘථිවිය දෙසට ගමන් කරන බව ප්‍රකාශ වීමෙන් පසුවයි. ඇත්තටම මුලින්ම මෙම විනාශය සිදුවෙනවා යැයි පැවසුනේ 2003 මැයි මාසයේදී. නමුත් අසාමාන්‍ය, සැළකිය යුතු කිසිවක් සිදු නොවූ බැවින් එම දිනය 2012 දෙසැම්බර් මාසය දක්වා ගමන් කලා.මෙහිදී තවත් සිත් ඇද ගන්නා සුළුවන සිදුවීමක් මෙයට ම ඈඳුනේ එයින් අනතුරුවයි. එනම් පුරාණ මායා දින දර්ශනයේ එක් කාල චක්‍රයක අවසාන දිනය ‍වන 2012 දෙසැම්බර් 21 වන දින මෙම කථාවට ඈඳීමයි. කෙසේ හෝ අවසාන ප්‍රථිපලය ලෙස ලෝක විනාශය සිදුවන දිනය වශයෙන් 2012 දෙසැම්බර් මස 21 වන නම් වී තිබෙනවා.

ප්‍රශ්නය: ඇත්තටම
මායා දින දර්ශනය 2012 දෙසැම්බර් මස 21 වන දින අවසාන වේද?

පිළිතුර: ඔබේ ගෙදර කුස්සියේ එල්ලා තිබෙන දින දර්ශනය, අදාළ වර්ශයේ දෙසැම්බර් 31න් පසු තව දුරටත් තබා ගන්නේ නැහැ නේද? මායා වරුන්ගේ දින දර්ශන ක්‍රමයට අනුව, ඔවුන් භාවිතා කල කාල චක්‍රයට අනුව, 2012 දෙසැම්බර් 21 වන දිනින් පසු එම දින දර්ශනයේ කාල සීමාව අවසන්වෙනවා. ඔවුන් භාවිතා කලේ දීර්ඝ කාලීන දින දර්ශන ක්‍රමයක්. ඉතිං මෙම කියන දිනෙන් පසු, එනම් අපි නැවත ජනවාරි 01 වැනි දින සිට අළුත් දින දර්ශනයක් භාවිතා කරන්නා සේ, ඔවුන්ගේ ක්‍රමයට නව, දීර්ඝ කාලීන දින දර්ශනයක් ඇරඹෙනවා.


ප්‍රශ්නය: ග්‍රහ ලෝක එකිනෙක එකම අක්ෂයක් මත පිහිටී‍ම පෘථිවියට යම් අයහපත් බලපෑමක් ඇති කරන්නට හේතු වේද?


පිළිතුර: ඉදිරි දශක කිහිපය තුලදීවත් ග්‍රහලෝක එකිනෙක එක එල්ලේ පිහිටීමක් සිදුවන්නේ නැහැ. 2012 වර්ෂයේදී පෘථිවිය තාරකා මණ්ඩලය හරහා ගමන් කරන්නේ නැහැ. යම් හෙයකින් යම් පිහිටීමක් පෘථිවියට බලපාන්නේ නම් එය නිත්‍ය වශයෙන්ම නොසැලකිය යුතු මට්ටමේ එකක් වෙනවා. අනෙක් අතට හැම දෙසැම්බර් මාසයේදීම පෘථිවියත් සූර්යයාත් ක්ෂීර පථය නමින් හඳුන්වන, අපගේ සෞර ග්‍රහ මණ්ඩලය අයත් වූ, මන්දාකිණියේ මධ්‍යස්ථය හා ආසන්න වශයෙන් එක එල්ලේ පිහිටන අතර එය වාර්ෂිකව සිදුවන සාමාන්‍ය සිද්ධියක් පමණයි.

“මෙය ඇත්ත වශයෙන්ම අපට ඉහළින් ඇති ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සහ 2012 වසරේදී ඒවායේ ගමන් පථය පිළිබඳව ඉතාමත් සිත් ඇදගන්නා සුළු වෘත්තාන්තයක් වනවා නොඅනුමානයි. මමත් ‍හොඳ පොතක් හෝ හොඳ චිත්‍රපටයක් දකින්න කැමති කෙනෙක්. නමුත් දැන් සයිබර් අවකාශය පුරා පැතිරෙන කරුණු හා රූපවාහිනිය මගින් හා චිත්‍රපට මගින් පෙන්වන දේවල් විද්‍යාත්මක පසුබිමක් රහිත දේවල් බව කිවයුතුයි. කෙටියෙන් පවසනවා නම් , NASA ආයතනය මගින් නිකුත් කරන ලදැයි පැවසෙන සාවද්‍ය ප්‍රවෘත්තිද මේ අතර වෙනවා...” -ඩොන් යෝමන්ස්, ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ, නාසා ආයතනය - Don Yeomans, NASA senior research scientist

ප්‍රශ්නය: යම් කිසි ග්‍රහ ලෝකයක් හෝ නිබිරු - Nibiru, ප්ලැනට් එක්ස් - Planet X හෝ ඒරීස්- Eris නමින් හඳුන්වන, ආකාශ වස්තුවක් පෘථිවිය වෙත ගමන් කිරීමෙන් මේ කියැවෙන ආකාරයේ විනාශයක් සිදුවිය හැකිද?

පිළිතුර: නිබිරු සහ අනෙකුත් කථා ගැන කියනවා නම් කීමට ඇත්තේ මේ සියල්ල අන්තර්ජාලය තුල පැතිරෙන සාවද්‍ය කථාන්දර බවයි. මෙම තොරතුරු වෙත කිසියම් හෝ විද්‍යාත්මක පදනමක් නැහැ. නිබිරු හෝ ප්ලැනට් එක්ස් යන ග්‍රහ වස්තු සැබෑ ලෙසම 2012 වර්ෂයේදී පෘථිවිය වෙත ලඟා වේ නම්, ලොව පුරා සිටින තාරකාවිද්‍යාඥයින් හට මේ පිළිබඳව පසුගිය දශකයේදී සොයා ගැනීමට හැකි වෙනවා. අනෙක් අතට මෙම අමුත්තා අප හමුවට ලබන වසරේ එනවා නම්, මේ වන විට පියෙවි ඇසට ඔහු දර්ශනය විය යුතුමයි. නිසැකවම එවැන්නක් සිදු වන්නේ නැහැ. ඒරීස් යනු සැබෑවටම පවතින ග්‍රහ වස්තුවක්. නමුත් එය අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත සිටන ප්ලූටෝ වැනි ආකාශ වස්තුවක් පමණයි. අප පෘථිවිය වෙත ලඟා වීමට එයට අවම වශයෙන් මයිල බිලියන හතරක්වත් පසුකල යුතු වෙනවා.

ප්‍රශ්නය: ධ්‍රැව පිහිටීම වෙනස්වීමේ න්‍යාය (The Polar Shift Theory) යනු කුමක්ද? පෘථිවි කබොල එහි මධ්‍යය වටා අංශක 180ක් භ්‍රමණය වී යම්කිසි සිද්ධියක් සිදුවන්නේද?

පිළිතුර: පෘථිවිය ප්‍රති විරුද්ධ අතට භ්‍රමණය වනවා යනු කිසි සේත්ම සිදු විය නොහැක්කක්. මහද්වීප තැටි ඉතාමත් සුළුවශයෙන් සෙලවුනත්, (උදාහරණයක් හැටියට ඇන්ටාර්ටිකාව මීට වසර මිලියන සිය ගණනකට පෙර සමකාසන්නව පැවතුනු බව පැවසේ), එය කිසිසේත්ම ධ්‍රැව පිහිටි ස්ථාන සැනින් වෙනස් කිරීමට හේතුවන්නේ නැහැ. කොහොම වුනත් ‍පෘථිවියේ භ්‍රමණයත්, සමස්තයක් වශයෙන් ගත් කල වසර ලක්ෂ 4කට පමණ වරක් සිදුවන පෘථිවි චුම්බක බල ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීමත් අතර සම්බන්ධතාවක් ගොඩනගන්න උත්සහ දරණ පිරිස, මේ කාරණා සිය වෙබ් අඩෙවි වෙත මිනිසුන් ඇද ගැනීමට ඇමක් වශයෙන් යොදා ගන්න බව දිස්වන කාරණයක්. අපි හොඳින්ම දන්නා පරිදි, චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන එවන් සිදුවීමක් කිසිසේත්ම පෘථිවිය මත ජීවයට හානියක් සිදු කරන්න තරම් බලවත් නොවන බව පැවසිය යුතුයි. කෙසේ වෙතත් ඉදිරි ශතවර්ෂය තුලදී මෙවැනි සිදුවීමක් සිදුවන්නට නැහැ.


ප්‍රශ්නය:
උල්කාපතයක ඝට්ටනය නිසා වසර 2012 දී පෘථිවියට හානීයක් සිදු වීමට ඉඩ තිබේද?

පිළිතුර: පෘථිවිය හැම විටම උල්කාපාත හෝ ධූම කේතු හා ගැටීමේ සම්භාවිතාවක් සහිතව පවතින්නක්. ඒ අතරින් විශාල ගණයේ ඝට්ටන ඉතාමත් විරලයි. අවසාන වශයෙන් සිදුවුනු විශාල ගණයේ ඝට්ටනය සිදු වී තිබෙන්නේ මීට වසර මිලියන 65කට පමණ පෙර වන අතර එම සිදුවීමෙන් ඩයනසෝරයන් මිහිමතින් සදහටම සමු ගත්ත බව අප හැම දන්න කරුණක්. අද දින නාසා ආයතනයේ තාරකා විද්‍යඥයින් විසින් ‘අභ්‍යවකාශ ආරක්ෂණ සමීක්ෂනය’ (The Spaceguard Survey) නමින් හඳුන්වන සමීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. මෙයින් කෙරෙන්නේ පෘථිවිය ආසන්නයේ පවතින, පෘථිවියට තර්ජනයක් විය හැකි ආකාරයේ ආකාශ වස්තු, ඒවා පෘථිවිය කරා ලඟා වීමට බොහොම කලකට පෙර හඳුනා ගැනීමයි. දැනට සොයා ගෙන ඇති කරුණු වලට අනුව, මීට වසර මිලියන 65කට පෙර ඩයනසෝරයන් මිහිමතින් තුරන් කරන්නට යෙදුනු ප්‍රමාණයේ ආකාශ වස්තුවක්, පෘථිවිය ආසන්නයේ නොමැති බව කිව හැකියි. මෙම සියලුම සමීක්ෂන සිදු කරන ලද්දේ නාසා ආයතනයේ, නව සොයා ගැනීම් දිනපතා යාවත් කාලීන කෙරෙන NEO Program Office website, වෙබ් අඩෙවිය හා සම්බන්ධව වන අතර ඔබටම එම අඩෙවියට පිවිස, අනාවැකි මගින් කියැවෙන ආකාරයේ අනතුරක් වසර 2012 දී සිදු නොවන බව තහවුරු කෙරෙන කරුණු සොයා ගත හැකි වනු ඇත.

ප්‍රශ්නය: නාසා ආයතනයේ විද්‍යාඥයින් හට මෙම ලෝක විනාශ දිනය පිළිබඳව ඇත්තේ කවරාකාර හැඟිමක්ද?

පිළිතුර: වසර 2012 දී සිදු වේයැයි පැවසෙන මෙම විනාශය පිළිබඳව තිබෙන විද්‍යාත්මක පදනම කුමක්ද? ඒ සඳහා තිබෙන සාක්ෂිය කුමක්ද? කිසිවක් නැහැ. මෙම ලෝක විනාශය පිළිබඳව කියැවෙන ප්‍රවෘත්ති ගොඩ නැගුනේ, පොත් මතින්ද, චිත්‍රපට මගින්ද, යම්කිසි ලියැවිල්ලක් මතින්ද, අන්තර් ජාලය තුලින්ද, යන්න වැදගත් වන්නේ නැහැ. මේ සඳහා කිසිම පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව නිසා මෙය හුදෙක් එක්තරා කථාන්දරයක් පමණක් වෙනවා.

ප්‍රශ්නය: විශාල ගණයේ සූර්යය කුණාටු මගින් වසර 2012 දී පෘථිවියට අනතුරක් සිදුවිය හැකිද?

පිළිතුර: සුර්යයාගේ ක්‍රියාකාරකම් යනු නිරතුරු සිදුවන දෙයක්. බොහොම විට සාමාන්‍යයෙන් වසර 11කට පමණ වරක් ඒවා සිය උච්චතම අවස්ථාවන් දක්වනවා. එම කාලයේදී සූර්යයා මත ඇතිවන ගිණි දළු නිසා චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු තාක්ෂණයට බාධා ඇති වුවත් වර්තමාන ඉංජිනේරුවරුන්ට බොහොමයක් සූර්යය ගිණි දළු වලින්, මෙම කටයුතු වලට වන හානිය වලක්වා ගැනීමට කටයුතු සකසා ගැනීමේ හැකියාව තිබෙන බව කිව යුතුයි. කොහොම වුවත් වසර 2012 දී සිදුවන විශේෂයෙන් සැළකිලිමත්විය යුතු යමක් නැහැ. මීලඟ සූර්යය ක්‍රියාකාරීත්වය උච්චතම අවස්ථාව ඇතිවන්නේ වසර 2012-2014 කාලය තුලයි. එනමුදු ඉතිහාසයේ සිදුවූ මෙවන් ආකාරයේ සංසිද්ධි වලට වඩා මෙම සිද්ධියේ විශේෂ වෙනසක් සිදුවන්නේ නැහැ.


වැඩිදුර තොරතුරු සඳහා පහත අඩෙවි වෙත පිවිසෙන්න.


NASA Astrobiology Institute:
"Nibiru and Doomsday 2012"
Bad Astronomy: "The Planet X Saga: The Scientific Arguments in a Nutshell"
Sky and Telescope Magazine: "2012: The Great Scare"


********************************************************

ඉතිං ඔහොමයි නාසා ආයතනය කියන්නේ. මේ දේවල් ඇත්ත වෙන්නත් පුළුවන්. කාරණා වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් වැඩේ ඔය කියන විදිහට ම වුනොත් මට බනින්න ඔයාලාවත්, ඔයාලාගෙන් බැණුම් අහන්න මං වත් ඉතිරි වෙන්නේ නැති වෙයි. හැබැයි ඔන්න වැඩේ නොවුනොත්, පහුවදාට ඉතිං මට දැනෙයි මං රජ වුනා වගේ නේද?

Friday, June 17, 2011

76. පුංචිකමට නංගී පැවසූ කුණුහඋපය සමඟින් ලොව භයානකම සතුන් දෙදෙනා

මේ කියන කාලයේ ගෙදර ලොක්කි වෙන කවුරුවත් නොවේ මෙය සටහන් කරන මම ම බව නොකිව මනාය. මම '5 වසර වැනි ඉහළ පංතියක' උගෙනුම ලැබීමත්, නංගී මට වඩා අඩියකින් විතර මිටි විමත්, ඇය මට වඩා වසර 4කින් බාල වීමත්, අනිත් නැගණි ඇයට වඩා වසර 2කින් හෙවත් මට වඩා වසර 6කින් බාල වීමත් යන වැදගත් කාරණා කරණ කොට ගෙන ගෙදර ලොක්කි මම වීමි.

තවද ඔය කාලයේම මම ඉතාමත් වැදගත් යමක් සොයා ගතිමි.

එනම්,

මෙලොව වසන ඉතාමත් අවලස්සන,
අති භයානක,
නපුරු,
විශාල,
අක්කලා එකතු කරන ස්ටිකර් බිත්ති වල අලවන නංගිලාව උස්සලා පොළවේ ගහන,
ගඳ,
දැක්කහම බය හිතෙන,
මිනී මස් කන,
අක්කලාට පාර්ට් දාන නංගිලාව වනසන,
කළුම කළු,
අක්කලාට නොදී කන නංගිලාගේ දත් උගුල්ලන,
ඇස් රතු සතා,



සොයා ගැනිමයි.


ඒකාගේ නම, 'කැරින්පියන්' නම් අති භයානක වදන විය. මගේ මේ සොයා ගැනීම නිසා වෙලාවකට මම ම හීනෙන් බය වීමි. එහෙත් ඒ බව අද පවසන තුරු කිසිවෙකුටවත් නොපවසා සිටීමට වගබලා ගතිමි.

කෙසේ හෝ මේ සතා සිහිපත් කිරීම පමණක් නංගිලා ලවා යම් යම් දේවල් කර ගැනීමට අක්කාට මහඟු උපකාරයක් විය. විශේෂයෙන් ලොකු නංගීව ඉතාමත් යහපත් පාලනයක් යටතේ පවත්වා ගැනීම සඳහා අක්කාට මේ 'කැරින්පියන්' ඉමහත්සේ උපකාරී විය.

ඒ මදිවාට දෙන්නා අතර නිරන්තරේ ඇතිවන රණ්ඩු වලදී, මම ඇයව අමතන්නත් 'කැරින්පියන්' යන අති භයානක වදන භාවිතා කරන්නට මදකුදු පසුබට නොවිමි.

"හූ.......... හූ............ කැරින්පියන්............ කෝ ඉස්සරහ දත්දෙක? මි‍නිහෙක්ව හපන්න ගිහින් ගැලවුනාද?"

බොහෝ විට අඬාගෙන අම්මා ලඟට යන නංගී අඬ අඬා කියනදේ අම්මාට වැටහෙන්නේ නැති තරම්ය.

"ලොකු දුව....!!! මොකද ගුටි පූජාවක් ඕනේ වෙලාද? ඉන්න දෙනවා නංගිට එයාගේ පාඩුවේ" අම්මා ලොකු දුවට සැරවී පොඩි දුවව හුරතල් කරන්නීය.

කෙසේ හෝ කාලයත් සමඟම එක් අවාසනාවන්ත දිනයදී මේ වදන තාත්තා දැනගෙන, ඔය කියන සතා තාත්තාට අහුවුනොත්, 'මෙන්න මෙහෙම' උස්සා විසිකරන බව නංගිව උඩ දම දමා තාත්තා පවසා ඇත්තේ නංගීට 'බක බක ගා' සිනා විමට කාරණා ද ගෙන දෙමිනි. එදින ඇය මා වෙත පැමිණියේ රටක් රාජ්‍යයක් දිනුවකු සේය. හැබැයි තවමත් බය පොඩ්ඩක් හෝ ඇති බවද මට නොදැනුනා නොවේ.

"අනේ යනවා හලෝ යන්න................. ඔයාගේ සතා පුසෙක් වගේලු.................... හා පුළුවන් නං අරං යනවකෝ තාත්තා ගාවට............ තාත්තා ඒකාව නැට්ටෙන් උස්සලා විසික් කරනවා කිව්වා"

අහෝ !!! මේ තාත්තාටත් ඕනෑ නැති දෙයක් නැති හැටි! මගේ අසරණ භයානක සතා විනාශ කරන්නට තාත්තා කරපු දෙයක තරම!!

"ආ එහෙමද? හරි ඉන්නව‍කෝ.......... ශිෂ්‍යත්තේ ඉවර වෙලා ඊලඟ සතියේ ඒකා මුහුද මැදින් පීනලා ලංකාවට එනවලු.......... ඉන්නවකෝ අල්ලලා දෙන්නං තාත්තාවයි දූවයි දෙන්නම" මම මගේ සතාව බේරා ගන්නට උත්සහ දැරිමි. ඒකා බේරුනොත් මිසක මගේ සායම ඉතිරි නොවන බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

නංගීත් අත් හැරියේ නැත. මට හිතෙන පරිද්දෙන් ඇය පෙර සූදානමින් පැමිණියා විය යුතුය.

"යන‍වා හලෝ යන්න............ ඔයා දන්න ඉටි ගෙඩිය............. ඔය සතාට වඩා ලොකු, ඇඟ පුරා මයිල් තියෙන, කළුම කළු, නංගිලාට ගහන අක්කලාට ගහන, දත් කුණු පාට, නංගිලාගේ කෑම ටික කන අක්කලාගේ කෑමට කුණු දාන, බඩ මහත, බකල් වෙච්චි ලොකු කකුල් තියෙන සතෙක් ඉන්නවා, ඔයා දන්නේ නැහැනේ"

සික් විතරක් !!! මෙයා මේ ඇත්තට කියනවද? නැත්තං මේ සතාත් මගේ සතා වගේමද? මහත්ම වූ උභතෝකෝටිකයෙකි.

"දන්නවද?............... දන්නේ නැහැනේ....... ඒකනේ කියන්නේ............. ඒකාගේ නම 'පිටෲබල්' "



දැන් කාලේ වගේ නම්, මට කියවෙන්නේ,

හුටා !
කෙලියා නේද තාප්පෙටම...............
දැන් මොකේද දන් වලඳන්නේ?
වැනි වදන් විය යුතුය.

"ඈ......... ඒ මොකා‍ද ඒ.........?" යි ඇසුවද, මගේ පරාජය මගේ දෙපතුල පාමුල සේ දැණින.

ඒ සංවාදය එතැනින් හෝ එතැනින් ටිකක් දුරින් හෝ අවසාන වූවායි කියමු නේද?

එදා පටන් නංගී 'කැරින්පියන්' වූ හැමවිටම මම 'පිටෲබල්' විය. දෙන්නා රණ්ඩු වෙන්නේ මේ විජාතික, හඳෙන් මේ දැන් ගොඩ බැවා සේ වු නම්දෙක භාවිතා කරමිනි. ඔහොම කාලය ගතවිය.

මෙම භයානක සත්ත්ව ගැටුම සිදුවූයේ නංගී පළමු ශ්‍රේණියට ඇතුලත් කළ වසරේදීය. අද තරම් නැතත් ඒ කාලයේද කාලයට ගැළපෙන පරිදි තදබල උනන්දුවක් ශිෂ්‍යත්ව විභාගය කෙරෙහි පැවතුනි. මගේ අම්මා වෙත මා වෙනත් පාසලකට ඇතුලත් කිරීමේ බලාපොරොත්තුවක් නොවූ නිසාත්, ඒ නැතත් ඇය කවදාත් බල කරමින් අපට උගැන්වීමට උත්සුක නොවූ නිසාත් මම සතියේ දින 7හිම පංති යෑමේ අවශ්‍යතාවත් නැත්තියක වීමි. එහෙත් මගේ පංතිභාර ගුරුතුමිය විසින් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදිනත්, ප්‍රාථමික අංශය භාර ගුරුතුමිය විසින් සඳුදා සහ සිකුරාදා දෙදිනත් පවත්වන්නට යෙදුන අමතර පංතියට හවස් කාලයේ මා සහභාගී කරවන්නට අම්මා සිතුවාය. ඒ සිතුවිල්ල මුදුන්පත් වෙමින් මම එම පංති දෙකෙහිම උගෙනුම ලබමින් සිටියෙමි. පාසල් කාලයෙන් අනතුරුව හවස් වරුවේ මෙම පංති පැවතුන අතර අනෙකුත් ළමුන්ගේ මව්වරු දහවල් 1.30ට පැමිණ සිය දූවරුන්ට කවා පොවා සූදානම් කොට පංතියට එවා අසල තිබෙන අනෙක් පංතියකට වී සතුටු සාමිචියෙන් කාලය ගත කරයි.

මගේ අම්මා රැකියාවක නියතු නිසා ඇයට ඔය කාරියේ යෙදෙන්නට කාල වේලාවක් නොමැත. උදෑසන ඔතා දෙන බත් පත, 11.30ට පාසල ඇරී 1.30 වනතුරු ඉන්න නැගණියත් සමඟින් අනුභව කොට ඇයව පංතියෙන් එළියේ තබා පංතියට සහභාගී විම මගේ සිරිත විය. නංගී සමහරවිට අසල පංතියේ සිටින 'ඇන්ටිලා' සමඟ ඕනෑ දේ මෙන්ම එපා දේද සාකච්ඡා කරමින් කාලය ගත කරන බව අම්මා දැන සිටියද කළ හැකි යමක් නොවීය. බොහෝවිට ඇය බංකුවක වාඩීවී මේසයකට හිස තබාගෙන නිදන අවස්ථාද විය.

ඔය කාලයේ මගේ පංතියේ මගේ මිතුරියන් සියල්ලන්ම පාහේ ඇයව දැන හඳුනාගෙන සිටියෝය. ඔවුන් බොහෝ විට ඇයට විහිළු තහළු කරයි. ඇගේ 'ලාබාල' වයස නිසා, අපි වැනි 'ලොකු අක්කලා' කියන දේවල් ඇයට ගැනෙන්නේ රුහිතයටමය. මුල් කාලයේ බොහෝ විට හඬමින් අම්මාට ගතුකීම සිදු වුවත් පසුව, 'පැමිණෙන බාධක හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී, නොබියව ඒවාට මුහුණ දීමට පමණක් නොව පසු පසුව ඒවා පරාජය කරන්නටද වීර ධීර කාන්තාවක් සේ ඇය නැගී සිටියාය.' සමහර අවස්ථාවක ඇය මගේ මිතුරියකට පහර දෙන්නටද නොපසුබට වූවාය. පහර දෙන්නට බැරි වූයේ නං කොනිත්තා හෝ යෑමට ඇය නිර්භය වූවාය. මේවා මගේ කණට ආවද, මැදට පැන විසඳන්නට ගොස් පන්තියේ ළමුන්ගේ විරෝධතා හමුවේ පසුබසින්නට සිදුවේදෝ, යන බිය නිසා පැත්තකට වී බලා සිටීමේ ශේප් නියාය අනුගමනය කළ බව අද පවසන්නට ලැජ්ජා වුවද කුමක් කරන්නද? එය පවසමි.

ඔය අතර දිනෙක ශේප් නියායටද මා ගලවාගත නොහැකි තැනකට පත්වීමි. එදින පරිසරයේද තිබුනේ අමුතු ස්වභාවයකි. වැස්සක් නැතත් පැත්ත පලාතම අඳුරුය. අසාමාන්‍ය නිහඬතාවක ගිලිලාය. හවස පංතිය පටන් ගන්නට ඔන්න මෙන්න වාගේය. එදින 8 වරක් චක්කරේ පාඩම් දිය යුතු විය. මම එය පාඩම් කරමින් පසුවීමි. එක මිතුරියක් පැමිණ ඒ අභාග්‍යසම්පන්න පණිවුඩය මා සවන මත පතිත කළාය.

"රන්දිකා........... ඔයාගේ නංගී කුණුහරුපයක් කියලා..............."

අටවරක් මට දෙකනින් සහ නාස් පොල්ලෙන් පිට විය...... ඇස් දෙක සුපුරුදු තැන නැති බව දැනින. මේ ලෝකෙන් එහා ලෝකේට විසිවු මා, ‍මේ ලෝකේට පතිත වූ විගසම මිතුරියගේ දෙඋරහිසින් අල්ලා සෙලවීමි.

"මොකක්..........?"

"ඔව් රන්දිකා........... මාර වැඩේ නංගී කුණුහරුපයක් කියලා....... පොඩි එකක් නෙමෙයිලු ........ ලොකු එකක්ලු.................."

"ඒ කිව්වේ උඹ කියලා නෙමෙයිද කියලා තියෙන්නේ?" මම අසරණව ඇසීමි. මොකද නංගී දන්නා පරිද්දෙන් එය විශාල ම කැත වචනයකි.

"මොන පිස්සුද අනේ? උඹ කියන්නේ කුණුහරුපයක්ද? අන්න සජිනි අඬනවා"

"ඇයි ඇයි එයා අඬන්නේ? එයාට ගහලත්ද?" ඇයි හත්දෙයියනේ! මේ වස නපුරිච්චි මට නංගී කරලා මෙහෙට එව්වේ?

"නැහැ නැහැ එයාට තමයි කුණු හරුපේ කියලා තියෙන්නේ......... මොකද්ද දන්නවද කියලා තියෙන්නේ?"යි ඇසූ ඈ, වටපිට බලා මගේ කණට කර ඒ වදන පැවසුවාය. හපොයි! ඉඳලා හමාරය. ඇගේ අම්මා අසල පංතියේ සතුටු සමාගමේ නිත්‍ය සාමාජිකාවකි. මාත් ඉවරය. මගේ අම්මාත් ඉවරය. මගේ දන්න කියන හැමෝම ඉවරය. අපට උගැන්වූ සිංහල මට සිහිවේ. 'නංගී අපේ පවුලේ මූණේ දැළි ගා ඇති සැටියකි'.

ශේප් නියාය මේසය යටට විසිකොට මම මගේ පවුලේ ගෞරවය වෙනුවෙන් නැගී සිටියෙමි.

'රන්දිකාගේ නංගී කුණුහරුපයක් කියලා' මෙය දැන් දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දෙන බව දැන දැනත් මම ඒ දනන් මැදට ගියෙමි.

සජිනිගේ අම්මා සිය දියණිය නළවයි. මා දුටු විගස මා වෙත පැමිණියාය‍.

"දුව.........මේවා හොඳ වැඩ නෙමෙයි. නංගීට ඇහෙන්න මේවා ගෙදර කියනවද? අපේ ළමයින්ව අපි හදන්නේ මල් වගේ........... මේවා මේ දරුවන්ගේ කණට වැටුනහම..... අනේ මන්දා" ඇය චෝදනාත්මකව, විස්සෝප වෙයි.

මට ඇඬෙන්න වාගේය.මට අඬන්නම සිතුනි.‍

'ඈ............ මෙයා සේරම කල්ලා............ වීරයා වගේ නියපොත්තකුත් කකා ඉන්න ලස්සන විතරක්......... මං මොකට අඬන්නද?' නංගීව දුටු විට ඇයට හොඳ ටොක්කක් දෙන්නට සිතුනද, සේරමටම කලින් ඇය කී 'භයානක, මල්වගේ හැදූ දරුවන් කිසිදා අසා නැති, කුණුහරුපය' කුමක්දැයි දැනගතයුතු බව සිහිවිය.

"මධු............... මෙහේ එනවා" නංගීවද ඇදගෙන කොරිඩෝරය වෙත ගියෙමි. මගේ හොඳම මිතුරිය මා පසු පසින් පැමිණියාය.

"තමුසේ මොකද්ද සජිනි අක්කාට කිව්ව කුණුහරුපේ?" ගෙදර ලොක්කි, වෙන කවුරුවත් නැති කොරිඩෝරයේද ලොක්කි වන්නීය.

"මම......... මම......... කුණුහඋපයක් කිව්වේ නැහැ අක්කේ" නංගී තතනයි.

"අනේ බබා.......... එහෙනං සජිනි අඬන්නේ නිකංද?" මම ඇගේ කණෙන් අදිමින් ඇසීමි.

ඇගේ දෙනෙතට කඳුළු පිරුණි. 'පව් නංගී'

"මම කිව්වේ ඔයා කියන එකනේ අක්කේ................. එයා මගේ ටයි එකෙන් ඇද්දා.......... මාත් ඇද්දා............ එයා මාව තල්ලු කලා......... මාව වැටුනා........ මං කිව්වා................. 'කැරින්පියන්' කියලා. ඉතිං හලෝ ඒක කුණුහඋපයක්ද? තමුසෙත් කියන්නේ" අසරණ නංගී හඬයි.

මට අඬන්නද හිනා වෙන්නද කියා සිතාගන්නට නොහැකිව මොහොතක් ගතවිය. අසල සිටි මගේ හොඳම මිතුරිය ඉනට අත් දෙක තියාගෙන, තුෂ්නිම්භූතව අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලයි.

"මොකද්ද අනේ ඒ කිව්වේ?" ඇය අසයි. මං විගස ඇයට ඇත්ත ඇති සැටියෙන් විස්තර කලෙමි.

"හුහ්........ අගේ ඇති, කුණුහරුප කිසිදාක අහලා නැති, මලක් වගේ හැදුනු සජිනි.............. නංගී කියපු වෙන වචනෙකුත් කවදාවත් අහලාවත් නැති කුණුහරුපයක් කියලා හිතා ගන්න එයාට ගිය ආත්මේ ඇහිච්ච වචනයක් සිහි වෙලා වෙන්ටෑ........... අනේ නංගී නාඩා ඉන්න, මං මොකක් හරි කරන්නම්" කියමින් මා මිතුරිය නැගණියව අස් වැසුවාය.

අනතුරුව සජිනිගේ අම්මා වෙත ගිය ඈ මොන මොනවාදෝ පවසා පිරිස විසුරුවා හැරියාය. පංති ඇරී යනවිට, අනිත් අයට පෙර සජිනිගේ අතින් ඇදගෙන අම්මා ගිය ආකාරය අනුව අපට සිතුනේ, මෙවන් වූ 'භයානක වදනක්' ඇසූ මාත්‍රයෙන් වරදවා වටහා ගැනීමේ සජිනිගේ හැකියාව පිළිබඳව අසල පංතියේ විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන්වන්නට ඇති බවය.

මේ සිදුවීමේ පසු කථාවකුත් තිබේ............

"මධූ මෙහේ එනවා........... කවුද මේ ස්ටිකර් ටික ඇද්දේ?" ඔන්න වලියකි.

"මං දන්නේ කොහොමද? තමුසේ තිබ්බ විදිහ තමයි ඔය"

"යනවා යන්න කැරින්පියන් ආවා මෙතැන මගේ ඒවා අදින්න......... ඉන්නවාකෝ............. ඇත්ත කැරින්පියන් තව මාස තුනකින් එනවානේ......... තමුසෙව උස්සලා අරං යනවා ෂුවර්" මම ඇයව බය කරමි.

"ආ ඇත්තද පිටෲබල්............. හිතාගෙන ඇති........ ඔය කැරින්පියන්ලා 10 ‍දෙනෙක් විතර ලොකුයි අපේ පිටෲබල්, ඔයාගේ කැරින්පියන්ව ගිලලා, මදි හරියට ඔයාවත් ගිලින්න තමයි එයා හිතාගෙන ඉන්නේ" නංගීගේ කට වැඩි යැයි සිතුනේ මට වරක් දෙවරක් නොවෙයි.

"අනේ යනවා හලෝ යන්න........... ඔය මෝඩ පිටෲබල් මහා ලොකු එකා නං, ඇයි තමුසේ සජිනිට පිටෲබල් නොකියා කැරින්පියන් කිව්වේ? ආ කියනවකෝ? ඇයි කැරින්පියන් කිව්වේ? තමුසෙටත් ඕනේ මගේ කැරින්පියන්ම තමයි......... යනවා හලෝ යන්න. ඔය කූඩලූ පිටෲබලයවත් අරං දුවනවා දැන්.................." නංගී හඬාගෙන යයි.

"අම්මේ................ මේ අක්කා...... මට ඉන්න දෙන්නේ නැහැ......................."

"මොකද ලොකු දුව!!!! මොනවා හරි ඕනෑ වෙලාද?" ඈතින් අම්මාගේ හඬ ඇසෙයි.

**********************************************************************


සොඳුරු ළමාවියේ සොඳුරු සටහනක් මෙලෙස සටහන් කරන්නට යෙදුනු වගයි.............

ඔය උඩ පිංතූරවල තියෙන්නේ ඇත්ත පිංතූරු නෙමෙයි. ඇත්තම කැරින්පියන් බලන්න ඕනේ නං යන්න මෙතැනට....... :D මේකෙත් ඔයා මොකක් හරි එක පිංතූරෙකට ඇත්තටම බය ‍වුනා නං අන්න එයා තමයි කැරින්පියන්...............


මම භාවිතා කරලා තිබෙන අකුරු කියවන්න අමාරු කමක් තියේ නං ඒ ගැනත් පොඩ්ඩක් කියලා යන්න. :)



Monday, June 13, 2011

24. සදා නොමියෙන මගේ සෙනෙහස........My Love That Would Never Die......


ජීවිතය මිටින් ගෙන විදාහල කල දෑත,
සිහිනයක් පමණි දුටු අඩ නින්දෙ උන් දාක,
ගීතයක් ඇසෙනවිට ඔබ මිමිණු ඒ රෑක,
මීවිතක පහස පමණකි පිහිට හැමදාම.

නෙතුවර කැල්ම සිහිවෙයි මොහොතක් පාසා,

ඉඳුවර බැල්ම විදුලිය මෙනි වැහි ආදා,
සිතුවර මවෙත බැඳි වලලන්නේ කෝමා,
පිදුපෙම ඔබට හිත ඇවිලෙන ගිනි සේමා,

නැඟෙනා හිරුමඬල බැස යනවා හේමා,

පිපෙනා කුසුම් හවහට පරවෙනු හේමා,
සැලෙනා ලපළු සුළඟට කී කවි හේමා,
පිරෙනා සෙනෙහෙ හද පුපුරනවා හේමා.

සෙනෙහස රැගෙන ඔබ නික්මුනි නො එන ලෙස,
පෙරයම තෙක්ම වැතිරී ඉමි ඔබ තුරුල,
කෙදිනක මගේ සොඳුරිය යළි හමු වේද,
සෙනෙහස මගේ නොමියෙයි ඔබ මිය ගියද,



Friday, June 10, 2011

75. මගේ පත්වීම සහ නවතම ප්‍රවෘත්තියෙන් අරික්කාලක්

අද මට විශේෂ දවසක්. ‍වර්තමානයේ මම සේවය කරන කන්තෝරුවෙන් මට දුන්නු පත්වීම් ලිපියේ හැටියට මගේ සේවා කාලය ආරම්භ වන්නේ 2006 ජූනි මස 10 වෙනිදා. ඒ කියන්නේ අදට අවුරුදු 5ක් වෙනවා. 2006 ජූනි මස 10 වනදා සෙනසුරාදා දවසක් වුනු නිසා මං සේවයට මුල් වරට වාර්තා කලේ ‍ජූනි 12 වෙනිදා වගේ තමයි මතක. කොහොම හරි අවුරුදු 5ක් සේවය කල කන්තෝරුව ගැන වදන් පෙළක් සටහන් නොකොළොත් එය මගේ බ්ලෝග් ලිපි අතර අඩු පාඩුවක් වේවි.

ඉදිකිරීම් ආයතනයක් වන මගේ කන්තෝරුව සැබවින්ම අපි හැමදෙනාටම අපේම ගෙදර වගෙයි. එකට බැඳුනු සහෝදරත්වයෙන් අපි සැම
දෙනාම සේවය කරන බව පැවසුවොත් නිවැරදියි. 2006 ජූනි මාසේ රාජකාරියට ආ මට, 2007 ජූනි 01 වෙනිදා අපේ නිවස ගොඩ නැගීම ආරම්භ වූ දා පටන් අද දක්වාම මගේ කන්තෝරුවෙන් ලැබෙන්නේ අනූපමේය උපකාරයක්. බොහොම විට නිවසට අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය කන්තෝරුව මිලදී ගන්නා මිලටම මිලදී ගෙන නිවසටම ගෙනත් දුන් අවස්ථා බොහෝය. නිවසේ කොන්ක්‍රීට් සැලැබ් කොටස දැමීමේදී ඒ සඳහා අවශ්‍ය ලෑලි, පැති ලෑලි, යකඩ මුක්කු, යකඩ පලංචි ආදි සියලුම දේ ලබා දුන්නේ මගේ කන්තෝරුවෙන් වීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වූවා පමණක් නොව හොඳ තත්ත්වයේ ලෑලි හා මුක්කු භාවිතා කිරීම නිසා නිමාව ද ඉතාමත් අගනා තත්ත්වයට ගෙන ඒමට හැකි විය. ඒ පමණක් නොව නිවස ගොඩ නැගීමට අවශ්‍ය වූ මුදලින් කොටසක් මාසික වැටුපෙන් කොටස් වශයෙන් කැපෙන පරිද්දෙන් ණය මුදලක් ලෙස ලබා ගැනීමට හැකි වීම අපට ඉමහත් සහනයක් වූ බව නොකිවමනාය. එම ණය මුදලට එකදු සතයක්වත් පොළී අයකරගැනීමක් සිදු වුනේද නැති බව පවසන්නට සතුටුයි.

2008 දෙසැම්බර් මස සිදු වුනු අපගේ විවාහය පිළිබඳව, කන්තෝරුවේ අප සැමට පියතුමකි සේ සිටින, අපගේ ජේෂ්ඨතම අධ්‍යක්ෂතුමා කථා කලේ, "පවුලේ විවාහයක්නේ. හොඳට කෙරෙන්න එපැයි" යනුවෙන්. එතුමා පැවසුවා සේම අපගේ විවාහයට ද ඔවුන්ගෙන් ලැබුනේ අනුපමේය උපකාරයක්. විවාහයට අවශ්‍ය මුද
ලින් යම් ප්‍රමාණයක් පෙර ගන්නා ලද ණය මුදල කැපී අවසානයේ කෑපී යන ලෙස ලබා දුන් අතර රියදුරු මහතකු සමගින් සුඛෝපබෝගී වර්ගයේ වාහනයක් විවාහ දින සිට දෙවන දිනය දක්වා දින 5ක් අපගේ ගමන් පහසුව සඳහා ලබා දීමට ඔවුන් කටයුතු කරන ලදි. රට පුරා තිබෙන සංචාරක තරු පහේ හෝටල කිහිපයක්ම ඉදිකරන ලද අප කන්තෝරුවේ නිලධාරීන් හට එම හෝටල වල හිමිකරුවන් සමගින් කිට්ටු සම්
බන්ධතා ඇති අතර කන්තෝරුවේ සේවය කරන පිරිසෙන් කෙනෙකු විවාහ වූ විට මධුසමය සඳහා එවන් හෝටලයකින් නවාතැන් පහසුකම් අව මිලකට ලබා දීමට ඔවුන් කටයුතු කරයි. ඒ අවස්ථාව අපටද උදා විය.

ඉඳින් මේ ආකාරයෙන් සහෝදරත්වයෙන් එකට බැඳී සේවය කරන මෙම කන්තෝරුවට මා පැමිණ අද දිනට අවුරුදු 5ක් පිරීම නිමිතිකොට ගෙන කේක් කෑල්ලක්, කෙසෙල් ගෙඩියක් වැනි පුංචි දේවලින් සංග්‍රහයක් කිරීම ප්‍රමාණවත් නොවන බව දනිමි. ඒත් අපේ කන්තෝරුවේ සේවක පිරිසත් බී බෑ පිරිසක් වන බැවින් එතැනින් එහාට සංග්‍රහ කිරීමට සිහිනෙන් වත් නොසිතමි.

කේක් නම් ගෙනවිත් අවසානය.
ටිකකින් කෙසෙල්ද ගෙන්වා හවස 3 තේ පැන් සමඟ පිළිගන්වමි.

-------------------------------------------------------------------------------------------

මේ අතරට තවත් වැදගත් කාරණයක් සඳහා කැඳවීමක් ඊයේ දිනයේ ලැබුනි. ඒ සඳහා අද උදෑසන සහභාගී වී කන්තෝරුවට ආ විගස මේ ලිපිය මේ අයුරින් ගළපන්නට යෙදුනෙමි. ඉඳින් මේ කාරණය සඵල වුයේ නං මා සමඟ එක්ව ඔබ සැමද ‍එකසේ සතුටු වනු ඇතියි සිතමි. කාරණය කුමක්දැයි නොබෝ දිනකින්ම පවසමි.

එතෙක්,
"එම කාරණය ඉෂ්ට කර ගැනීමට රන්දිකා රණවීර නම් වූ නුඹට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා !!! මිතුරිය............"

යනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමි.

Wednesday, June 8, 2011

74. මයි එක්ස්ෆ්ලෝරේෂන්ස්: ෆයින්ඩින් රාජගිරිය Via ඔබේසේකරපුර

අද කියන්න යන්නේ අදම වෙච්චි සිද්ධියක් ගැනයි. මේක වුනේ මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්න අඳුනන, ඒ අයට වඩා මං හොඳින් දන්න අඳුනන කෙනෙක්ටයි. මෙන්න මේකයි සිද්ධිය

මේ කියන කෙනා සුපුරුදු පාරෙන් අද උදේ රාජකාරිය සඳහා යන්න පිටත් වුනා. ඔන්න ගොතටුවෙන් රාජගිරිය පැත්තට හරව
ලා ටිකක් දුර එද්දි වාහන එකක්වත් නොහෙල්ලී පෝළිමට තියෙනවා. ඒ පැත්තෙන් ඉඳ හිට එකක් දෙකක් එනවා.




ඉස්සරහ හිටපු අයියා කෙනෙක් ඒ ආපු අංකල් කෙනෙක්ගෙන් ඇහැව්වා
මෙන්න මෙහෙම.

“මොකද අංකල් සීන් එක?”

“ආ පුතා මේ බස් එකක්.............” අන්ති
ම හරිය පැහැදිලි නැහැ. කොහොම වුනත් එක්කො පෙරළිලා, නැත්තං කැඩිලා, නැත්තං හැප්පිලා, ඔය මොකක් වුනත් අද යනවා බොරු වගේ තමයි අංකල් කථා කලේ.

අයියා හැරෙව්වා. ඒත් ඉතිං මේ අපේ යාළුවා හරවන්නයෑ. හැරෙව්වත් කොහේ කියලා යන්නද? දන්න එකම පාර තමයි මේක. හරි
කමක් නැහැ කියලා අපේ යාළුවා එහෙමම හිටියා.

ඔන්න ඉස්සරහ තිබුණු ත්‍රී වීලරයත් හැරෙව්වා. ඒ පාර අපේ යාළුවා බැලුවා මේක හරියන්නේ නැහැ, මාත් හරවලා යනවා මේ අංකල් යන
පාරෙන්ම කියලා. ඉතිං මොකද කරන්නේ එයාත් හැරෙව්වා.

එයාගේ තියරියට අනුව නං අංකල් යන්න ඕනේ ගොතටුව නගරයේ වටරවුමෙන් දකුණට. හරවාපං අංකල් දකුණට කිය කියා පතමින් අපේ යාළුවත් යනවා. මෙන්න අංකල් හැරෙව්වා වමට! දැන් මොකේද දන් වලඳන්නේ?

හරි කමක් නැහැ, අංකල් කොයි ලෝකෙන් හරි යන්න ඕනේ රාජගිරියටනේ. හරි අංකල් යං මං එන්නං වගේ යාළුවා පාඩම් කරගත්තා ත්‍රී විලර් එකේ නම්බර් එක WP HV 2636 . මොකද මග හැරුනොත් එහෙම. දැන් යනවා ත්‍රී විලර් එක පිටි පස්සෙන්. යනවා යනවා යනවා. තාම යනවා. යාළුවාටත් එක එක එව්වා හිතෙනවා.

බොලේ, අද උදේ අංකල් වැඩ විස්තරේ හිතට අරං බැලුවහම මුලින් රාජගිරියට ගිහින් අර වැඩේ කරගෙන, ඊට පස්සේ කොලොන්නාවට ගිහින් මේ වැඩේ කරගන්නවා කියලා හිතං හිටපු සෙඩූල් එක වෙනස් කරලා මුලින් කොලොන්නාවට යනවා කියලා හිතලා මේ යනවද දන්නෙත් නැහැ කියලා ඔය හිතුනු එක එක එ
ව්වා අස්සේ යාළුවාට හිතුනා. එසේ නොවේවා කියලා පතලා බලන්න වුනේ නැහැ, මගේ අම්මේ! සුදු මහත නංගි කෙනෙක් ජිම් එකට යන්නද කොහෙද දැම්මේ නැද්ද අත ත්‍රී විලර් එකට. දැන් ආපහු මොකේද දන් වළඳන්නේ? පස්සෙන් ගිහින් ත්‍රී විලර් එක ගාව නවත්තලා ඉන්නද? හරි කමක් නැහැ මෙහෙන් ගියොත් අන්තිමට කොලොන්නාවෙන් බේස් ලයින් එකටවත් යාගන්න පුළුවන් වෙයිනේ කියලා හිතලා යාළුවා යනවා.


අඩේ, මට හොඳ වැඩේ මාර්ගෝපදේශකයා හැටියට ත්‍රී විලර් එකක් පත් කරගත්තාට. මට හොඳ ම වැඩේ කියලා තමන්ටම බැණ බැණ තනියෙම හිනා වෙවි යාළුවා යනවා පාර දිගට. ඔහොම යද්දි වැවක වේල්ලක්ද මොකද්ද එකකුත් පෙනුනා දකුණු පැත්තෙන්. 152 බස් දෙකකුත් ගියා, සයිඩ් කණ්නාඩියෙන් බැලුවා, කෝ මේ කොල පාට WP HV 2636? හරවලා ගිහින්ද කොහෙද, හරි කමක් නැහැ, මේ පාරවල් හදලා තියෙන්නේ අපට සොයාගන්න තමයි.

ඔන්න ඊ ලඟට දන් වළඳන්නේ මොකේද කියලා ඔප්ෂන් දෙකක් පෙනුන තැනකට ආවා. තුන් මං හන්දියක්. පළපුරුද්දෙන් හිතුනා ‍හරවන්න ඕනේ වමට තමයි කියලා. 152 බස් එකක් දකුණට ගියා. යාළුවා වමට ගියා.

‘විජය පාර’ ඔන්න හරවපු පාරේ නම. එතකොට එනවා මේසන් බාසුන්නැහේ කෙනෙක් වගේ පෙනුම ඇති කෙනෙක්.

“මේ පාරෙන් ගියොත් කොහේටද යන්න පුළු
වන්” ඒ අපේ යාළුවා.

“මේ පාර කෙලින්ම වැටෙන්නේ ‍ඔබේසේකරපුරට. කොහේටද යන්න ඕනේ”

“රාජගිරියට”

“හරි හරි ඔහොමම කෙලින්ම යන්න”

ඉතිං ස්තූති කරලා අපේ යාළුවා යන්න හැරුනා වමට. ඔන්න එනවා මාර්ගෝපදේශක කොළපාට WP HV 2636 ඉබ්බා වගේ හිමි හිමීට. ඇවිත් යාළුවාව ඉස්සර කරලා ඒ පාර දිගේ යනවා. හරි අංකල් යමු. දැන් ෂුවර් අංකල් යන්නේ රාජගිරියටනේ කියලා අපේ යාළුවා යනවා.

ඔහොම යන‍කොට යනකොට මී හරක්, ගි
ණියම යන්න බැහැලා ඉන්න ජාතියේ වලක් පාර මැද තිබිලා අංකල් එතැන නැවතුනා හිමීට වලෙන් ගොඩ වෙන්න කියලා හිතාගෙනද කොහෙද. අපේ යාළුවා ඉතිං එතැන රැ‍ඳෙන්නයෑ. ඉස්සර කරලා ආවා. ඔහොම එනකොට එනකොට ආයෙමත් තුන්මං හන්දියක්. නවත්තලා ත්‍රී විලර් අයියා කෙනෙක්ගෙන් ඇහැව්වා ඔබේසේකරපුරට කොහෙන්ද යන්නේ කියලා. මෙහෙම වමට ගිහින් දිගටම ගිහින් දකුණට හැරෙන්න කිව්වා. බොහොම ස්තුතිය පුද කරලා හැරිලා බැලුවහම ඔන්න යනවා කොළපාට WP HV 2636 ඉබ්බා හිමී හිමීට අපේ යාළුවාව ඉස්සර ක‍රගෙන. හරිම හොඳ මාර්ගෝපදේශකයා!!!.

ඉතිං ඔහොම කොහොම කොහොම හරි යාළුවාට ටිකකින් රෝයල් පාර්ක් ගොඩනැගිල්ල, ගෝල්ඩන් කී රෝහල් පරිශ්‍රය වගේ සුපුරුදු දසුන් ඇස ගැටුනා. විනාඩි 5කින් විතර යාළුවා රාජගිරියට සැපත්වෙලා, සුපුරුදු පාර දිගේ කන්තෝරුවට ඇවිල්ලා, මේ කථාව ගැට ගැහුවා.

ඉතිං කියන්න දෙයක් නැහැනේ, ඒ යාළුවා
නම්, පරංගියා කෝට්ටේ ගියාට වඩා ලස්සනට කෝට්ටේ ට සැපත් වුනු මේ මම් ම වෙමි.

මේ සිදුවීම මේ විදිහට කියන්න හේතුවුනු කාරණා තිබෙනවා. දැන් ඒවා කියන්නම්.

1. කිසිම විටෙක ඉදිරියේ බාධාවක් දුටුවහොත් දුරදිග නොබලා විකල්ප සොයා යෑමට උත්සුක නොවිය යුතුයි.

2. ඉදිරියේ දුටු බාධාව හමුවේ විකල්පයකට යනවා නම්, එහිදී වැය වන කාලය, ධනය හා ශ්‍රමයට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵලයේ වැදගත් කම සලකා බැලිය යුතුයි. (ඔන්න ඔහේ කියලා පෝළිමේ ඉඳලා ආවා නම්, ඉන්ධන
ඉතුරුයි, පාර වැරදෙයිදෝ කියලා ගැස්මක් නැහැ, සේරමටම වඩා කාලයත් ඉතිරි වෙන්න තිබුනා. හැබැයි හැරිලා වෙන පාරක ආපු නිසා අළුත් පාරක් අඳුන ගත්තා)

3. යම්කිසි විටෙක පූර්වාදර්ශයට හෝ මාර්ගෝපදේශකත්වයට කෙනෙකු යොදා ගන්නේ නම් තමන්ගේ අවශ්‍යතාව හා ඔහුගේ හෝ ඇය
ගේ දැක්ම කොතෙක් දුරට ගැලපෙන්නේ දැයි මනාව සිතා බැලිය යුතුයි. (ඇයි යකඩෝ මොන මෝඩයද ත්‍රීවිලර් එකක් ගමනාරම්භ කරන විට යාමට සිතා සිටි තැනටම යයි කියලා හිතන්නේ. ඒ මිනිස්සු හයර් එකක් දුටු සැනින් ‍හැමදේම අමතක කරලා ඒ දිහාට යන මිනිස්සු වෙච්චි කොට)

4. තමන් යම් කෙනෙකුගේ උපකාරය ලැ
බ ඉදිරි කටයුතු කරන්නේ නම් මදක් ඉවසිල්ලේ සිට ඔහුට හෝ ඇයට අනුව කටයුතු කරනවා මිසක කලබල වී තව තව විකල්ප සොයා යෑම සමහර විට කාලය, ශ්‍රමය හා ධනය අපතේ යැවීමක් විය හැකිය. (මට අද එහෙම වුනේ නැහැ. ඒත් මට මගදි දෙපළකදීම පාර අහන්න සිද්ධ වුනා. අර කොළපාට WP HV 2636 ඉබ්බා පිටිපස්සෙන් හිමීට ගියා නම් එහෙම අහන්න වෙන්නේ නැති වෙන්න ඉඩ තිබුනා)

5. ප්‍රධානම දේ නොදන්නා පළාතක නම් මෙවැනි දේ කිසි සේත් ම නොකළ යුතුයි. (කොළඹ නග‍රයේ මං මාවත් පිළිබඳ යම්කිසි දැනීමක් ඇති නිසාත්, කොළොන්නාව ප්‍රදේශයේ උසස් අධ්‍යාපනය ලද නිසා එම ප්‍රදේශය පිළිබඳ යම් දැනීමක් ඇති නිසාත්, එම ප්‍රදේශ ජනාකීර්ණ වන නිසාත් මෙවැනි දෙයක් කලා මිසක, දුර පළාතක වූවා නං අම්මෙයි මුත්තෙයි කිව්වත් මෙවැන්නක් නොකරමි)

6. දැන් මෙය කියවන, මෙම මාර්ගය නොදැන සිටි කෙනෙකුට යම් දවසක මෙය උපකාරී වනු ඇතැයි සිතමි. මට සිතෙන හැටියට අර
‘විජය පාර’ ට හැරෙව්වේ නැත්නම්, ඒ කියන්නේ එතැනින් දකුණට ගියා නං කොළොන්නාව නගරයට යාමට හැකි වනු ඇත.


කොහේ දැම්මද කියලා හොයාගන්න නැතුං තිබ්බ ඇමරිකාව කොලම්බස් හොයා ගත්තාහේ, මෙච්චර කල් නැතිවෙලා තිබුණු පාරක්, රන්දිකා රණවීර නොහොත් රන්දිල් විසින් සොයා ගන්නට යෙදුනේ ඔන්න ඔහොමයි මිතුරනි... !!!

එම සොයා ගැනීම තුල, ඉහත සඳහන් කරන්නට යෙදුනු කාරණා වලට අමතරව වැදගත් කාරණා මොනවා හරි සිහි වෙනවා නං ඒවා සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා !!!

Monday, June 6, 2011

අපරිමිත වූ මගේ සෙනෙහස සදා ඔබටය මගේ සොඳුරිය..........



(සසර ගමනේ සෙවනැල්ල සේ මා අසල සිටිනා දයාබර බිරින්දෑට සෙනෙහසිනි. )

ලොවේ සහසක් මුවින් නැඟ එන,
රොස් පොරොස් බස් අසා ඔබ සිත,
ලසෝතැවුලින් වැලපෙනා කල,
හිසතබා හඬනට උරහිසක් වෙන්නම්,


දුක් කඳුළු වැහි අනෝරාවේ,
විපිලිසර වී මුලා වූ සඳ,
ඔබ හිසට සුව සෙවණ ගෙන දෙන,
වනස්පතියක් වෙලා මම ඉන්නම්,


විඩාබර දිවි ගමන නොනිමෙන,

පිපාසිත වූ කලට ඔබ හට,
සදා සිහිලස නිවා සරතැස,
සෙනෙහසේ දිය ගඟුල මම වෙන්නම්,


ඉමක් නොපෙනෙන මෙදිවි කතරේ,
නිමා නොවනා සසර ගමනේ,
අත් නොහැර සෙවනැල්ල සේ මම,
අනන්තය තෙක් ඔබ සමඟ එන්නම්,



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...