මේ කියන කාලයේ ගෙදර ලොක්කි වෙන කවුරුවත් නොවේ මෙය සටහන් කරන මම ම බව නොකිව මනාය. මම '5 වසර වැනි ඉහළ පංතියක' උගෙනුම ලැබීමත්, නංගී මට වඩා අඩියකින් විතර මිටි විමත්, ඇය මට වඩා වසර 4කින් බාල වීමත්, අනිත් නැගණි ඇයට වඩා වසර 2කින් හෙවත් මට වඩා වසර 6කින් බාල වීමත් යන වැදගත් කාරණා කරණ කොට ගෙන ගෙදර ලොක්කි මම වීමි.
තවද ඔය කාලයේම මම ඉතාමත් වැදගත් යමක් සොයා ගතිමි.
එනම්,
මෙලොව වසන ඉතාමත් අවලස්සන,
අති භයානක,
නපුරු,
විශාල,
අක්කලා එකතු කරන ස්ටිකර් බිත්ති වල අලවන නංගිලාව උස්සලා පොළවේ ගහන,
ගඳ,
දැක්කහම බය හිතෙන,
මිනී මස් කන,
අක්කලාට පාර්ට් දාන නංගිලාව වනසන,
කළුම කළු,
අක්කලාට නොදී කන නංගිලාගේ දත් උගුල්ලන,
ඇස් රතු සතා,
සොයා ගැනිමයි.
ඒකාගේ නම, 'කැරින්පියන්' නම් අති භයානක වදන විය. මගේ මේ සොයා ගැනීම නිසා වෙලාවකට මම ම හීනෙන් බය වීමි. එහෙත් ඒ බව අද පවසන තුරු කිසිවෙකුටවත් නොපවසා සිටීමට වගබලා ගතිමි.
කෙසේ හෝ මේ සතා සිහිපත් කිරීම පමණක් නංගිලා ලවා යම් යම් දේවල් කර ගැනීමට අක්කාට මහඟු උපකාරයක් විය. විශේෂයෙන් ලොකු නංගීව ඉතාමත් යහපත් පාලනයක් යටතේ පවත්වා ගැනීම සඳහා අක්කාට මේ 'කැරින්පියන්' ඉමහත්සේ උපකාරී විය.
ඒ මදිවාට දෙන්නා අතර නිරන්තරේ ඇතිවන රණ්ඩු වලදී, මම ඇයව අමතන්නත් 'කැරින්පියන්' යන අති භයානක වදන භාවිතා කරන්නට මදකුදු පසුබට නොවිමි.
"හූ.......... හූ............ කැරින්පියන්............ කෝ ඉස්සරහ දත්දෙක? මිනිහෙක්ව හපන්න ගිහින් ගැලවුනාද?"
බොහෝ විට අඬාගෙන අම්මා ලඟට යන නංගී අඬ අඬා කියනදේ අම්මාට වැටහෙන්නේ නැති තරම්ය.
"ලොකු දුව....!!! මොකද ගුටි පූජාවක් ඕනේ වෙලාද? ඉන්න දෙනවා නංගිට එයාගේ පාඩුවේ" අම්මා ලොකු දුවට සැරවී පොඩි දුවව හුරතල් කරන්නීය.
කෙසේ හෝ කාලයත් සමඟම එක් අවාසනාවන්ත දිනයදී මේ වදන තාත්තා දැනගෙන, ඔය කියන සතා තාත්තාට අහුවුනොත්, 'මෙන්න මෙහෙම' උස්සා විසිකරන බව නංගිව උඩ දම දමා තාත්තා පවසා ඇත්තේ නංගීට 'බක බක ගා' සිනා විමට කාරණා ද ගෙන දෙමිනි. එදින ඇය මා වෙත පැමිණියේ රටක් රාජ්‍යයක් දිනුවකු සේය. හැබැයි තවමත් බය පොඩ්ඩක් හෝ ඇති බවද මට නොදැනුනා නොවේ.
"අනේ යනවා හලෝ යන්න................. ඔයාගේ සතා පුසෙක් වගේලු.................... හා පුළුවන් නං අරං යනවකෝ තාත්තා ගාවට............ තාත්තා ඒකාව නැට්ටෙන් උස්සලා විසික් කරනවා කිව්වා"
අහෝ !!! මේ තාත්තාටත් ඕනෑ නැති දෙයක් නැති හැටි! මගේ අසරණ භයානක සතා විනාශ කරන්නට තාත්තා කරපු දෙයක තරම!!
"ආ එහෙමද? හරි ඉන්නවකෝ.......... ශිෂ්‍යත්තේ ඉවර වෙලා ඊලඟ සතියේ ඒකා මුහුද මැදින් පීනලා ලංකාවට එනවලු.......... ඉන්නවකෝ අල්ලලා දෙන්නං තාත්තාවයි දූවයි දෙන්නම" මම මගේ සතාව බේරා ගන්නට උත්සහ දැරිමි. ඒකා බේරුනොත් මිසක මගේ සායම ඉතිරි නොවන බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.
නංගීත් අත් හැරියේ නැත. මට හිතෙන පරිද්දෙන් ඇය පෙර සූදානමින් පැමිණියා විය යුතුය.
"යනවා හලෝ යන්න............ ඔයා දන්න ඉටි ගෙඩිය............. ඔය සතාට වඩා ලොකු, ඇඟ පුරා මයිල් තියෙන, කළුම කළු, නංගිලාට ගහන අක්කලාට ගහන, දත් කුණු පාට, නංගිලාගේ කෑම ටික කන අක්කලාගේ කෑමට කුණු දාන, බඩ මහත, බකල් වෙච්චි ලොකු කකුල් තියෙන සතෙක් ඉන්නවා, ඔයා දන්නේ නැහැනේ"
සික් විතරක් !!! මෙයා මේ ඇත්තට කියනවද? නැත්තං මේ සතාත් මගේ සතා වගේමද? මහත්ම වූ උභතෝකෝටිකයෙකි.
"දන්නවද?............... දන්නේ නැහැනේ....... ඒකනේ කියන්නේ............. ඒකාගේ නම 'පිටෲබල්' "
දැන් කාලේ වගේ නම්, මට කියවෙන්නේ,
හුටා !
කෙලියා නේද තාප්පෙටම...............
දැන් මොකේද දන් වලඳන්නේ?
වැනි වදන් විය යුතුය.
"ඈ......... ඒ මොකාද ඒ.........?" යි ඇසුවද, මගේ පරාජය මගේ දෙපතුල පාමුල සේ දැණින.
ඒ සංවාදය එතැනින් හෝ එතැනින් ටිකක් දුරින් හෝ අවසාන වූවායි කියමු නේද?
එදා පටන් නංගී 'කැරින්පියන්' වූ හැමවිටම මම 'පිටෲබල්' විය. දෙන්නා රණ්ඩු වෙන්නේ මේ විජාතික, හඳෙන් මේ දැන් ගොඩ බැවා සේ වු නම්දෙක භාවිතා කරමිනි. ඔහොම කාලය ගතවිය.
මෙම භයානක සත්ත්ව ගැටුම සිදුවූයේ නංගී පළමු ශ්‍රේණියට ඇතුලත් කළ වසරේදීය. අද තරම් නැතත් ඒ කාලයේද කාලයට ගැළපෙන පරිදි තදබල උනන්දුවක් ශිෂ්‍යත්ව විභාගය කෙරෙහි පැවතුනි. මගේ අම්මා වෙත මා වෙනත් පාසලකට ඇතුලත් කිරීමේ බලාපොරොත්තුවක් නොවූ නිසාත්, ඒ නැතත් ඇය කවදාත් බල කරමින් අපට උගැන්වීමට උත්සුක නොවූ නිසාත් මම සතියේ දින 7හිම පංති යෑමේ අවශ්‍යතාවත් නැත්තියක වීමි. එහෙත් මගේ පංතිභාර ගුරුතුමිය විසින් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදිනත්, ප්‍රාථමික අංශය භාර ගුරුතුමිය විසින් සඳුදා සහ සිකුරාදා දෙදිනත් පවත්වන්නට යෙදුන අමතර පංතියට හවස් කාලයේ මා සහභාගී කරවන්නට අම්මා සිතුවාය. ඒ සිතුවිල්ල මුදුන්පත් වෙමින් මම එම පංති දෙකෙහිම උගෙනුම ලබමින් සිටියෙමි. පාසල් කාලයෙන් අනතුරුව හවස් වරුවේ මෙම පංති පැවතුන අතර අනෙකුත් ළමුන්ගේ මව්වරු දහවල් 1.30ට පැමිණ සිය දූවරුන්ට කවා පොවා සූදානම් කොට පංතියට එවා අසල තිබෙන අනෙක් පංතියකට වී සතුටු සාමිචියෙන් කාලය ගත කරයි.
මගේ අම්මා රැකියාවක නියතු නිසා ඇයට ඔය කාරියේ යෙදෙන්නට කාල වේලාවක් නොමැත. උදෑසන ඔතා දෙන බත් පත, 11.30ට පාසල ඇරී 1.30 වනතුරු ඉන්න නැගණියත් සමඟින් අනුභව කොට ඇයව පංතියෙන් එළියේ තබා පංතියට සහභාගී විම මගේ සිරිත විය. නංගී සමහරවිට අසල පංතියේ සිටින 'ඇන්ටිලා' සමඟ ඕනෑ දේ මෙන්ම එපා දේද සාකච්ඡා කරමින් කාලය ගත කරන බව අම්මා දැන සිටියද කළ හැකි යමක් නොවීය. බොහෝවිට ඇය බංකුවක වාඩීවී මේසයකට හිස තබාගෙන නිදන අවස්ථාද විය.
ඔය කාලයේ මගේ පංතියේ මගේ මිතුරියන් සියල්ලන්ම පාහේ ඇයව දැන හඳුනාගෙන සිටියෝය. ඔවුන් බොහෝ විට ඇයට විහිළු තහළු කරයි. ඇගේ 'ලාබාල' වයස නිසා, අපි වැනි 'ලොකු අක්කලා' කියන දේවල් ඇයට ගැනෙන්නේ රුහිතයටමය. මුල් කාලයේ බොහෝ විට හඬමින් අම්මාට ගතුකීම සිදු වුවත් පසුව, 'පැමිණෙන බාධක හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී, නොබියව ඒවාට මුහුණ දීමට පමණක් නොව පසු පසුව ඒවා පරාජය කරන්නටද වීර ධීර කාන්තාවක් සේ ඇය නැගී සිටියාය.' සමහර අවස්ථාවක ඇය මගේ මිතුරියකට පහර දෙන්නටද නොපසුබට වූවාය. පහර දෙන්නට බැරි වූයේ නං කොනිත්තා හෝ යෑමට ඇය නිර්භය වූවාය. මේවා මගේ කණට ආවද, මැදට පැන විසඳන්නට ගොස් පන්තියේ ළමුන්ගේ විරෝධතා හමුවේ පසුබසින්නට සිදුවේදෝ, යන බිය නිසා පැත්තකට වී බලා සිටීමේ ශේප් නියාය අනුගමනය කළ බව අද පවසන්නට ලැජ්ජා වුවද කුමක් කරන්නද? එය පවසමි.
ඔය අතර දිනෙක ශේප් නියායටද මා ගලවාගත නොහැකි තැනකට පත්වීමි. එදින පරිසරයේද තිබුනේ අමුතු ස්වභාවයකි. වැස්සක් නැතත් පැත්ත පලාතම අඳුරුය. අසාමාන්‍ය නිහඬතාවක ගිලිලාය. හවස පංතිය පටන් ගන්නට ඔන්න මෙන්න වාගේය. එදින 8 වරක් චක්කරේ පාඩම් දිය යුතු විය. මම එය පාඩම් කරමින් පසුවීමි. එක මිතුරියක් පැමිණ ඒ අභාග්‍යසම්පන්න පණිවුඩය මා සවන මත පතිත කළාය.
"රන්දිකා........... ඔයාගේ නංගී කුණුහරුපයක් කියලා..............."
අටවරක් මට දෙකනින් සහ නාස් පොල්ලෙන් පිට විය...... ඇස් දෙක සුපුරුදු තැන නැති බව දැනින. මේ ලෝකෙන් එහා ලෝකේට විසිවු මා, මේ ලෝකේට පතිත වූ විගසම මිතුරියගේ දෙඋරහිසින් අල්ලා සෙලවීමි.
"මොකක්..........?"
"ඔව් රන්දිකා........... මාර වැඩේ නංගී කුණුහරුපයක් කියලා....... පොඩි එකක් නෙමෙයිලු ........ ලොකු එකක්ලු.................."
"ඒ කිව්වේ උඹ කියලා නෙමෙයිද කියලා තියෙන්නේ?" මම අසරණව ඇසීමි. මොකද නංගී දන්නා පරිද්දෙන් එය විශාල ම කැත වචනයකි.
"මොන පිස්සුද අනේ? උඹ කියන්නේ කුණුහරුපයක්ද? අන්න සජිනි අඬනවා"
"ඇයි ඇයි එයා අඬන්නේ? එයාට ගහලත්ද?" ඇයි හත්දෙයියනේ! මේ වස නපුරිච්චි මට නංගී කරලා මෙහෙට එව්වේ?
"නැහැ නැහැ එයාට තමයි කුණු හරුපේ කියලා තියෙන්නේ......... මොකද්ද දන්නවද කියලා තියෙන්නේ?"යි ඇසූ ඈ, වටපිට බලා මගේ කණට කර ඒ වදන පැවසුවාය. හපොයි! ඉඳලා හමාරය. ඇගේ අම්මා අසල පංතියේ සතුටු සමාගමේ නිත්‍ය සාමාජිකාවකි. මාත් ඉවරය. මගේ අම්මාත් ඉවරය. මගේ දන්න කියන හැමෝම ඉවරය. අපට උගැන්වූ සිංහල මට සිහිවේ. 'නංගී අපේ පවුලේ මූණේ දැළි ගා ඇති සැටියකි'.
ශේප් නියාය මේසය යටට විසිකොට මම මගේ පවුලේ ගෞරවය වෙනුවෙන් නැගී සිටියෙමි.
'රන්දිකාගේ නංගී කුණුහරුපයක් කියලා' මෙය දැන් දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දෙන බව දැන දැනත් මම ඒ දනන් මැදට ගියෙමි.
සජිනිගේ අම්මා සිය දියණිය නළවයි. මා දුටු විගස මා වෙත පැමිණියාය.
"දුව.........මේවා හොඳ වැඩ නෙමෙයි. නංගීට ඇහෙන්න මේවා ගෙදර කියනවද? අපේ ළමයින්ව අපි හදන්නේ මල් වගේ........... මේවා මේ දරුවන්ගේ කණට වැටුනහම..... අනේ මන්දා" ඇය චෝදනාත්මකව, විස්සෝප වෙයි.
මට ඇඬෙන්න වාගේය.මට අඬන්නම සිතුනි.
'ඈ............ මෙයා සේරම කල්ලා............ වීරයා වගේ නියපොත්තකුත් කකා ඉන්න ලස්සන විතරක්......... මං මොකට අඬන්නද?' නංගීව දුටු විට ඇයට හොඳ ටොක්කක් දෙන්නට සිතුනද, සේරමටම කලින් ඇය කී 'භයානක, මල්වගේ හැදූ දරුවන් කිසිදා අසා නැති, කුණුහරුපය' කුමක්දැයි දැනගතයුතු බව සිහිවිය.
"මධු............... මෙහේ එනවා" නංගීවද ඇදගෙන කොරිඩෝරය වෙත ගියෙමි. මගේ හොඳම මිතුරිය මා පසු පසින් පැමිණියාය.
"තමුසේ මොකද්ද සජිනි අක්කාට කිව්ව කුණුහරුපේ?" ගෙදර ලොක්කි, වෙන කවුරුවත් නැති කොරිඩෝරයේද ලොක්කි වන්නීය.
"මම......... මම......... කුණුහඋපයක් කිව්වේ නැහැ අක්කේ" නංගී තතනයි.
"අනේ බබා.......... එහෙනං සජිනි අඬන්නේ නිකංද?" මම ඇගේ කණෙන් අදිමින් ඇසීමි.
ඇගේ දෙනෙතට කඳුළු පිරුණි. 'පව් නංගී'
"මම කිව්වේ ඔයා කියන එකනේ අක්කේ................. එයා මගේ ටයි එකෙන් ඇද්දා.......... මාත් ඇද්දා............ එයා මාව තල්ලු කලා......... මාව වැටුනා........ මං කිව්වා................. 'කැරින්පියන්' කියලා. ඉතිං හලෝ ඒක කුණුහඋපයක්ද? තමුසෙත් කියන්නේ" අසරණ නංගී හඬයි.
මට අඬන්නද හිනා වෙන්නද කියා සිතාගන්නට නොහැකිව මොහොතක් ගතවිය. අසල සිටි මගේ හොඳම මිතුරිය ඉනට අත් දෙක තියාගෙන, තුෂ්නිම්භූතව අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලයි.
"මොකද්ද අනේ ඒ කිව්වේ?" ඇය අසයි. මං විගස ඇයට ඇත්ත ඇති සැටියෙන් විස්තර කලෙමි.
"හුහ්........ අගේ ඇති, කුණුහරුප කිසිදාක අහලා නැති, මලක් වගේ හැදුනු සජිනි.............. නංගී කියපු වෙන වචනෙකුත් කවදාවත් අහලාවත් නැති කුණුහරුපයක් කියලා හිතා ගන්න එයාට ගිය ආත්මේ ඇහිච්ච වචනයක් සිහි වෙලා වෙන්ටෑ........... අනේ නංගී නාඩා ඉන්න, මං මොකක් හරි කරන්නම්" කියමින් මා මිතුරිය නැගණියව අස් වැසුවාය.
අනතුරුව සජිනිගේ අම්මා වෙත ගිය ඈ මොන මොනවාදෝ පවසා පිරිස විසුරුවා හැරියාය. පංති ඇරී යනවිට, අනිත් අයට පෙර සජිනිගේ අතින් ඇදගෙන අම්මා ගිය ආකාරය අනුව අපට සිතුනේ, මෙවන් වූ 'භයානක වදනක්' ඇසූ මාත්‍රයෙන් වරදවා වටහා ගැනීමේ සජිනිගේ හැකියාව පිළිබඳව අසල පංතියේ විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන්වන්නට ඇති බවය.
මේ සිදුවීමේ පසු කථාවකුත් තිබේ............
"මධූ මෙහේ එනවා........... කවුද මේ ස්ටිකර් ටික ඇද්දේ?" ඔන්න වලියකි.
"මං දන්නේ කොහොමද? තමුසේ තිබ්බ විදිහ තමයි ඔය"
"යනවා යන්න කැරින්පියන් ආවා මෙතැන මගේ ඒවා අදින්න......... ඉන්නවාකෝ............. ඇත්ත කැරින්පියන් තව මාස තුනකින් එනවානේ......... තමුසෙව උස්සලා අරං යනවා ෂුවර්" මම ඇයව බය කරමි.
"ආ ඇත්තද පිටෲබල්............. හිතාගෙන ඇති........ ඔය කැරින්පියන්ලා 10 දෙනෙක් විතර ලොකුයි අපේ පිටෲබල්, ඔයාගේ කැරින්පියන්ව ගිලලා, මදි හරියට ඔයාවත් ගිලින්න තමයි එයා හිතාගෙන ඉන්නේ" නංගීගේ කට වැඩි යැයි සිතුනේ මට වරක් දෙවරක් නොවෙයි.
"අනේ යනවා හලෝ යන්න........... ඔය මෝඩ පිටෲබල් මහා ලොකු එකා නං, ඇයි තමුසේ සජිනිට පිටෲබල් නොකියා කැරින්පියන් කිව්වේ? ආ කියනවකෝ? ඇයි කැරින්පියන් කිව්වේ? තමුසෙටත් ඕනේ මගේ කැරින්පියන්ම තමයි......... යනවා හලෝ යන්න. ඔය කූඩලූ පිටෲබලයවත් අරං දුවනවා දැන්.................." නංගී හඬාගෙන යයි.
"අම්මේ................ මේ අක්කා...... මට ඉන්න දෙන්නේ නැහැ......................."
"මොකද ලොකු දුව!!!! මොනවා හරි ඕනෑ වෙලාද?" ඈතින් අම්මාගේ හඬ ඇසෙයි.
**********************************************************************
සොඳුරු ළමාවියේ සොඳුරු සටහනක් මෙලෙස සටහන් කරන්නට යෙදුනු වගයි.............
ඔය උඩ පිංතූරවල තියෙන්නේ ඇත්ත පිංතූරු නෙමෙයි. ඇත්තම කැරින්පියන් බලන්න ඕනේ නං යන්න මෙතැනට....... :D මේකෙත් ඔයා මොකක් හරි එක පිංතූරෙකට ඇත්තටම බය වුනා නං අන්න එයා තමයි කැරින්පියන්...............
මම භාවිතා කරලා තිබෙන අකුරු කියවන්න අමාරු කමක් තියේ නං ඒ ගැනත් පොඩ්ඩක් කියලා යන්න. :)
මාවත් මොහොතකට ළමා කාලයට ගියා මේක කියෙව්වාම අපේ ගෙදරනම් ඔය යුද්ධෙ තාම තියෙනවා මට කෝල් කරන කශටියනම් ඒක ගැන හොඳට දන්නවා ඇති
ReplyDeleteහෙ හෙ අනේ ඉබ්බියෙ....
ReplyDeleteතස්මේනියන් යකා කැරින්පියන් වෙලා...
අනේ ආසයි නංගි... ඇත්තටම ලස්සනට ලියලා තියෙනවා... ආයෙ අපිටත් නෑ... අපේ දරුවන්ටත් නෑ... (උන්ට රණ්ඩුවෙන්නත් වෙලාවක් තියෙන්න එපැයි :(
මරු කතාව. අර වචනේ මමත් මතක තියාගන්න ඕනේ කාට හරි බනින්න :D
ReplyDeleteපෝස්ටෙක එන්ජෝය් කලා, හැබය් සමහර කොටස් කියෙව්වෙ අමාරුවෙන්, වයස නිසා ඇස් දුර්වල කමද? අනිත් යටත් එහෙමද? කියන්න දන්නෙ නැහැ.
ReplyDeleteතනෝජා අක්කා දෙවනි පින්තූරේ ඉන්න එකා නේද ටැස්මේනියන් යකා කියන්නේ
ReplyDeleteඅපේ මල්ලී මායිත් ඔන වෙලාවක ඇත්තම් බැනගන්න එකමයි වැඩේ. හැබැයි විනාඩියෙන් ආයිත් යාලුයි. දෙන්නට දෙන්නා නැතුව බෑ. :)
ReplyDeleteහිකිස් ටස්මෙනියන් යක්ෂයා... අපේ අයියයි මමයි නම් ටොම් ඇන්ඩ් ජෙරී තමා.... හි හි :)
ReplyDeleteමේවා මහ පුදුම කුණුහරුප නේ. දවස්ක් අපේ මල්ලිත් ඔහොම කුණුහරුපයක් කිව්වා. කිව්වේ නම් අර කාටූන් එකක ඉන්න සතෙක් ගැන.
ReplyDeleteමෙන්න විකියෙන්ම බලන්නකෝ.
ඔන්න අක්කේ මං ගන වැරදියට එහෙම හිතනවා නෙමෙයි.
monawa liyanawa manada. Office ekee minissu hithanne pissu kiyala. Thaniyama hinaaweddi. monaa unath aye lamaa kaleeta giya . apee nangiy maaayth ohommama thamay
ReplyDeleteනංගි ගැන කෙසේ වෙතත් අක්ක ගැනනං යසට හිතා ගත්ත!
ReplyDeleteමගේ පොඩි කාලෙ නම් ඔය වගේ කතා නෑ අක්කෙ. මොකද මට පොඩි කාලෙ රණ්ඩු වෙන්න කවුරුවත් හිටියෙ නෑ. එහෙම මතක තිබුන නම් හොඳයි කියල හිතෙනව මේක කියෙව්වම.
ReplyDeleteබලාගෙන යනකොට කොල්ලෝ අපි හොදයි ..නේ..D
ReplyDeleteඅරිසෙන් අහුබුදු මහත්තයා වත් ඔච්චර සිරා නම් හදලා නැතුව ඇති.
මට දෙන්න මගේ පුංචි කාලේ කියලා - මමත් කියනවා.
කිසිම වගකීමක් නැති සුන්දර ළමා කාලය...........ආසාවෙන් කියෙව්ව රන්දිල්
ReplyDeleteරන්ඩු වෙවී යාලුවෙවී දුව පැන වතු මිදුලේ,
පුංචි කමට අපි හිටියා මතක් වෙනව නඟේ,
පුංචි අතින් අල්ලාගෙන ඒදන්ඩෙන් නැඟී,
ලන්ද පුරා කල සක්මන් මතකයි අක්කන්ඩී,
මරු කතාව... පුංචිකාලේ මතක් වුනා...
ReplyDeleteෂා නියමයිනේ ...අපේ ගෙදර 4 දෙනා ට දෙවනි නැහැ . අපේ හිටියේ ''දත් දිග ගොය්යල '' වගේ අය. අපේ ජිවිත වල ලස්සන තැන් බෙදා ගනිද්දී කොයිතරම් සමාන තැන් තියෙනවද . අක්ක ඇරෙනකම් එයාගේ පන්තිය ළඟ රස්තියාදු වෙච්ච ''පුංචි මම '' මෙන්න දැන් මා ළඟ . දත් වැටුනම අක්කගේ යාළුවො හිනා වුනා . අලුතින් ලොකු දත් ආවමත් ''පොල් දතා '' කිව්වා. කෙල්ලන්ට හිනා වෙන්න කාරණයක් ඕනය. හැබැයි මන් අහින්සකි ...රණ්ඩු නම් නැහැ.
ReplyDeleteහැබැයි ගෙදර මකන කෑල්ලට මරාගන්නවා. අපි ගහ ගන්න ක්‍රමයක් තිබුනා . මුලින් ගහපු කෙනා අන්තිමට ගුටි කන්න ඕන. සාම සාධක හමුදා වලට ප්‍රශ්න ගෙනියන් නැතුව ගොඩින් බේර ගත්තේ එහෙමයි.
අද තමා මේ පැත්තේ කැරකුනේ....නියම ලිපිය...පිටෲබල් කොයි වගේද කියන්නකෝ?
ReplyDeleteනියමයි නියමයි. ගොඩක් රසවින්ඳා...
ReplyDeleteලස්සන ලමා කාලයක් ගැන මතකය අවදි කිරීමක්, ලස්සනට ලියලා තියනවා අක්කේ .....
ReplyDeleteමාර නංගියෙක්නෙ ඉඳලා තියෙන්නෙ, රණ්ඩු කෙක්කක් වගේ ............
මේ දිනවල බොහොම කාර්යය බහුල නිසා අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වෙලාවක් සොයාගත යුතු වෙනවා. හැකි විගස ඇවිත් පිළිතුරු දෙන්නම්........ සැමට ස්තුතියි
ReplyDeleteඅපොයි අක්කේ මමත් මතක් කරන්නද සුන්දර මතකයක්
ReplyDeleteමතකද එතෙකාට මම 4 පංතියේ ඔයා 9 ඔයා ගෙදර අරන් ආපු කතා පොතක් මම හැංගුවා
ඔයා හවස තේ හදාද්දි මම එතන බිම වාඩි වෙලා හිටියේ අම්මා මට එතනින් අයින් වෙන්න කියලා අනතුරු අගවලා තියේද්දිමයි
ඔයා පොත ඉල්ලුවම මම දුන්නැ ඔයා මගේ ඔලුවය තේ හලනවා කියලා භය කරන්න හැදුවත් අද වගේම එදාත් මම මෙලො එකේකුට භය නෑ පුලුවන්නම් හලනවාකො බලන්න මම පාරම් බැවා
ගත වුනේ තප්පර කිහිපයහි මගේ ඔලුව දිගේ තේ බිංදු ගලා ආවා මගේ ලතෝනිය මුළු තේ වත්තම කැළබුවා
අම්මා අාවේ ව්දුලි වේගයේන් බලා හිටියා මම උබට කිව්වා ඔතනින් නැගිටින්න කියලා හොද වැඩෙ පොඩිකමට තියෙන ඇට්ටරකම කියලා අමිමා ගියා. මගේ අදෝනාවට ලද චාරය මදි නිසාත් අක්කා එක්ක ඇති වුන තරහා නිසාත් එයා හදලා දුන්න තේ එකේන්ම මම එයාට දමලා ගැහුවා නොසිතු මෙහොතක ලද උණුසුම් පහර විද ගතනොහැකිව එයාගේ තේ එකත් එයාම ඇගේ හලාගෙන. අක්කා තේ බීලා නෙවේ නාලා.
කුස්සියේ විප්ලවෙ ආහාවර වුනේ අමිමා අරන් අපු පොල්ල දැක්කමයි අක්කටනම් දෙක තුනක් වැදුනා. දඩුවමට මුලු කුස්සියම හොදපං කියලා අමිමා අයේත් ගියා. කදුළු පිහිය පිහා අක්කා වතුර ගෙනව කොච්චර රන්ඩු වුනත් අන්තිමට අපි දෙන්නනේ කුස්සිය හෙදුවා මොන දේ කොහොම වුනත් අපි අපිමයි අක්කේ පුංච් පුංචි අපේම කුඩු හදාගෙන අපි කොහේ හිටියත් අපේ ලේ වල තියෙන උණුසුම දැනේනවා
අපොයි අක්කේ මමත් මතක් කරන්නද සුන්දර මතකයක්
ReplyDeleteමතකද එතෙකාට මම 4 පංතියේ ඔයා 9 ඔයා ගෙදර අරන් ආපු කතා පොතක් මම හැංගුවා
ඔයා හවස තේ හදාද්දි මම එතන බිම වාඩි වෙලා හිටියේ අම්මා මට එතනින් අයින් වෙන්න කියලා අනතුරු අගවලා තියේද්දිමයි
ඔයා පොත ඉල්ලුවම මම දුන්නැ ඔයා මගේ ඔලුවය තේ හලනවා කියලා භය කරන්න හැදුවත් අද වගේම එදාත් මම මෙලො එකේකුට භය නෑ පුලුවන්නම් හලනවාකො බලන්න මම පාරම් බැවා
ගත වුනේ තප්පර කිහිපයහි මගේ ඔලුව දිගේ තේ බිංදු ගලා ආවා මගේ ලතෝනිය මුළු තේ වත්තම කැළබුවා
අම්මා අවේ ව්දුලි වේගයේන් බලා හිටියා මම උබට කිව්වා ඔතනින් නැගිටින්න කියලා හොද වැඩෙ පොඩිකමට තියෙන ඇට්ටරකම කියලා අමිමා ගියා. මගේ අදෝනාවට ලද චාරය මදි නිසාත් ඔයා එක්ක ඇති වුන තරහා නිසාත් ඔයා හදලා දුන්න තේ එකේන්ම මම ඔයාට දමලා ගැහුවා නොසිතු මෙහොතක ලද උණුසුම් පහර විද ගතනොහැකිව ඔයාගේ තේ එකත් ඔයාම ඇගේ හලාගෙන. අක්කා තේ බීලා නෙවේ නාලා.
කුස්සියේ විප්ලවෙ ආහාවර වුනේ අමිමා අරන් අපු පොල්ල දැක්කමයි අක්කටනම් දෙක තුනක් වැදුනා. දඩුවමට මුලු කුස්සියම හොදපං කියලා අමිමා අයේත් ගියා. කදුළු පිහිය පිහා අක්කා වතුර ගෙනව කොච්චර රන්ඩු වුනත් අන්තිමට අපි දෙන්නනේ කුස්සිය හෙදුවා සේ මොන දේ කොහොම වුනත් අපි අපිමයි අක්කේ. අපි අපේම කියලා කුඩු හදාගෙන වෙන් වෙලා ගියත් අපේ ලේ වල තියෙන උණුසුම අපි කොහේ හිටියත් දැනේනවා
ශෝක් අක්කා...කියවද්දී හිනත් යනවා...මට ඔහොම රණ්ඩු වෙන්න පොඩි කලේ කවුරුවත් හිටියේ නෑ....මල්ලිත් මට වඩා ගොඩක් බාලයිනේ...පොඩි කාලේ රණ්ඩු නොවුනට දැන් නම් ඇති තරම් රණ්ඩු වෙනවා අපි දෙන්න...
ReplyDeleteපොඩි කාලේ කරණීයමෙත්ත සූත්‍රයේ එන "සල්ලහුක වුත්ති" කියන කොටස කියද්දී හොරෙන් හිනාවුණු හැටි මතක් වුනා :))
ReplyDelete