Monday, August 20, 2012

102. නෙතින් නොදුටු, උපනෙතකින් දුටු

ඊයේ නිවාඩු දිනයේ, දුවත් එක්ක වෝටර් වර්ල්ඩ් පැත්තේ ගිහින්, හවස් වෙලා කැළණි විහාරය වන්දනා කරගෙන එන්න කියලා අපි කථා වුනා. ඉතිං ඒ ගමන් දෙක ඒ අයුරින් ම සිදුවුනා. දුවටත් සතුටුයි. අපටත් සතුටුයි.

අපේ හිතවත් ම සොයුරකු විසින් පිටරට ඉඳන්, පහසු ගෙවීමේ ක්‍රමයට ගෙනැත් දුන්නු Canon IXUS 115 HS කැමරා රාජයාත් අරගෙන තමයි ගමන ගියේ. වෝටර් වර්ල්‍ඩ් එකේ පිංතූර නං ඔයාලා ඉතිං ඔය හැම තිස්සේම දකින වර්ගයේ ඒවා තමයි. ඒත් ‍ඒ ගමන් දෙක යන්න කලින් උදේ වරුවෙත් දුර ගමනක් ගිහින් ආපු මගේ මහත්තයා, අපි දෙන්නාට වන්දනා කර ගැනීමට ඉඩ දීලා, කැළණි විහාරයේ, බෝ මළුවේ බිත්ති කණ්ඩියට හේත්තු වෙලා වාඩි වෙලා ඉඳගෙන අරගෙන තිබුණු පිංතූර ටික නම් ඔයාලාට පෙන්වන්න ඕනෑ කියලා මට හිතුනා. ඒ පිංතූර ගැන ඔයාලා මොනවගේ අදහසක් දැරුවත්, මායි දුවයි වැඳුම් පිඳුම් අවසන් කරලා ආ හැටියේ මහත්තයා ඒවා පෙන්නපු වෙලාවේ මට ඇති වුනු හැඟීම හා සිතුවිලි නම් වෙනස් වන්නේ නැහැ කියලා මට ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන්.‍


විහාර මන්දීරය

චෛත්‍යය හා විහාර මන්දීරය

බෝධීන් වහන්සේ

චෛත්‍යය හා විහාර මන්දීරය

චෛත්‍යය හා විහාර මන්දීරය

බෝධීන් වහන්සේ

මේ බෝධීන් වහන්සේ පිංතූර ගත්විට ලැබුණු පිංතූරයක්

බෝධීන් වහන්සේ

මේ පිංතූරය ගැන මොකද හිතෙන්නේ? (මෙතැන පහතින් පෙනෙනුයේ විහාර මන්දීරය ඇතුලත දල්වා ඇති විදුලි බුබුලකි. එහි බලපැමක් පිටතට නැති බව පහත රූපයෙන් පැහැදිලි වේ)

විහාර මන්දීරය

බෝධීන්වහන්සේගේ අතු ඉති අතර (මෙවැනි දේට විද්‍යාත්මක යැයි විවිධ අර්ථකථන දිය හැකිය..............)

අවසාන පිංතූරයේ කව තුන ලකුණු කිරීම හැර අඩුම වශයෙන් ආලෝක තත්ත්වයවත් වෙනස් නොකර, පිංතූර ලබාගත් ආකාරයටම මෙතැන පල කර තියෙන්නේ. වැඩි විස්තරයක් කීමට බලාපොරොත්තු වන්නේ නැහැ. පිංතූර ටික පෙන්වන්නට තමයි උවමනා වුනේ.

පසන් ගව්තම මුනිදු බුදු වී - සාසනේ ලොව                  පැවතියේ
එසන් පත් ඇති අයත් මරුවා කැටුව යනවා                   උරුදියේ
වසන් ඇති දා කරපු හිතමය කැටුව යන්නේ                 පැහැදියේ
 උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත්           කැළණියේ
(මෙහි වරක් යනු වසරක් යැයි පැවසේ)

35 comments:

  1. හඳුන්කූරු දුම ආශ්‍රිත සියුම් අංශුන් පූජනීය ස්ථාන වල නිතරම තියෙන නිසා ඔහොම වෙනවා. බලන්න මුහුදු වෙරලක් ගාවට ගිහිං රෑකට ෆ්ලෑෂර් දාලා පින්තූරයක් අරගෙන... ඒකෙත් ඔහොමම පෙනේවි...

    අක්කගේ හිත බිඳින්න කියනවා නෙවෙයි... ඇත්තටම ඔය ඩස්ට් එක පින්තූරයට බාධාවක්.

    දෙවිවරු, භූතයෝ ගැන විශ්වාස කරනවා. ඒකත් කියන්න ඕනේ. නැත්තං හිතයිනේ මං එහෙම දේවල් ගැන විශ්වාස කරන්නේ නෑ කියාල.

    ReplyDelete
    Replies
    1. ම්ම්....... වෙන්නත් පුළුවන් තමයි. ඒත් බුදු දහමේ ඉගැන්වෙන පරිදි, මෙවන් බිම් ආශ්‍රිතව වාසය කරන පියවි ඇසට නොපෙනන අය මේ වගේ ඡායාරූප ගත වෙන්න ඉඩක් ඇත්තේම නැද්ද මල්ලි? ඔව් සමහරවිට ඔබේ පැහැදිලි කිරීම හරි වෙන්නත් පුළුවන්. ඒත් මට හිතෙනවා එවැනි නොපෙනන අය මේ වගේ සටහන් වෙන්නත් ඉඩ තියෙනවා කියලා. අපේ ඇස විවෘතව තිබෙන වෙලාවෙනුත් බොහොම වේලාවක් අන්ධව පවතිනවා කියලා මේ ලඟදි මල් කැකුළු බ්ලොග් එකේ කියවන්න ලැබුනා. ඉතිං ඒ වගේ තත්ත්වයක් උඩ මේ දේවල් ගැන හිතන විදිහ ගැන හිතන්න වෙනවා කියලායි මට හිතෙන්නේ.

      Delete
    2. වරදවා හිතන්න එපා මෙහෙම කියනවාට...........!
      ඇත්ත දූවිලි අංශු,ඇසට නොපෙනෙන පින්න(රාත්‍රියට) මේ වගේ පින්තූර වලට ඉවහල් වෙනවා. මටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා. හැබැයි...මේ කියන්නෙ ඔය වගේ තැන් වල ඉන්න පිං ‍රැස්කරගන්න, පිං අනුමෝදන් වෙන්න, එන අය නැතෙයි කියල නම් හැ‍ඟෙන්නෙ නෑහැ.(ගන්ධබ්බ)

      Delete
    3. අපිට නොපෙනෙන දේවල් නැහැයි කියන්නේ නෑ. ඒවා ඇත්තටම පවතිනවනම් ඒ තියෙන්නේ අපේ ඇස සංවේදි නොවෙන දෘශ්‍ය කලාපයෙන් (වර්ණාවලියෙන්) එහාට හෝ මෙහාට වෙන්න...

      සරලම උදාහරනේ ටී.වී එකේ රිමෝට් එක. ඒකෙ IR බල්බ් එකෙන් එන එලිය අපිට නොපෙනුනාට ෆෝන් එකක කැමරාවකට අල්ලලා බලන්න... ලස්සනට පෙනේ​වි...

      මේං මං හොල්මන් ගැන ලියපු ලිපියක් http://prasanna86k.wordpress.com/2011/11/09/%e0%b6%87%e0%b7%84%e0%b7%90%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%b1-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%ba-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%9a%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c/

      Delete
    4. ආ ඔව් මං දැකලා තියෙනවා රිමෝට් එකේ සිදුවීම... ටීවි එක ගාව ස්ථානගත කරලා තිබුනු විඩියෝ කැමරාවක රිමෝට් එකේ ලයිට් එලිය සටහන් වුනා............

      Delete
    5. ස්තුතියි වී පොකුර අදහස් දැක්විම ගැන

      Delete
  2. 2012 අගෝස්තු 19 වෙනි දින ඉරිදා ලංකාදීප පුවත්පතේ රසවිත අතිරේකයේ 4 පිටුව කියවන්න

    ReplyDelete
    Replies
    1. තාම බලන්න බැරි වුනා. බලන්න ඕනෑ

      Delete
  3. කැමරාවට අහුවුනත් නැතත් එකේ කිසි අවුලක් නෑ!

    ReplyDelete
  4. ඉස්සර අපි වැඩට යන්නෙ ඔය කැළණි පංසල ඉස්සරහින්. එක කාලයක් තිබ්බා බියගම පාර පංසල ඉස්සරහින්ම වැටිලා තිබ්බ. පස්සෙ ඒක වහලා පංසල වටේ යන්න පාර පාවිච්චි කරන්න දුන්නා. දැන්නම් අර පාලමකුත් දාල තියෙනවලු නේ එගොඩට යන්න? ඉස්සර උත්සව කාලෙට ගඟ හරහා පහුරු එකතුකරලා හදපු පාලමක් දාලා තිබ්බා. එහා පැත්තට කියන්නෙ කැළණිමුල්ල කියලද? මට හරියට මතක නෑ.

    අර පින්තූරවල තියෙන සළකුණු නම් ලෙන්ස් එක මත ඇති පිණි වලින් සහ දූවිල්ලෙනුත් ඇති වෙනවා, රන්දිල්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. දැන් පාලමක් තියෙනවා. ඒ හරියට කියන්නේ එගොඩ කැළණිය ඊට ටිකක් එහායින් තියෙන්නේ කැළණිමුල්ල තමයි............

      ඔව් අයියේ එහෙමත් ඇති වෙනවා ඇති. ඒත් කැමරාව ලැබුනාට පස්සේ ඔය ඔහොම පිංතූර ලැබුනාමයි................

      Delete
  5. නෙතින් නොදුටු උපනෙතකින් දුටු අන්න ඒ ටික තමයි රන්දිල් වැදගත්ම කොටස..

    නෙතින් නොදුටු කියන්නෙ අදෘශ්‍යමාන යමක් කියල හිතමු...එතකොට අපේ ඇහැ ක්‍රියාත්මක වෙන මූලධර්මය මතම පදනම් වෙලා නිර්මාණය කරපු කැමරාවෙ ඒක සටහන් උනේ කොහොමද?

    අනිත් අතට මෙහෙම දේකුත් තියනව.....අපි ඔය ඔක්කොම ප්‍රශ්න කරන්නෙ ඒ කිව්වෙ එහෙම කොහොමද? මෙහෙම කොහොමද?....ඒක එහෙමනම් මෙහෙම වෙන්න බෑනෙ යනාදී වශයෙන් ..අපේ දැනුම මත පිහිටලානෙ...අපේ බුද්ධියට ගෝචර නොවෙන යම් බලවේගයක් තියෙන්න පුළුවන් කියන එක කොයිම වෙලාවකවත් අපි අමතක කරන්න නරකයි.

    මේ දවස්වල සත් සමුදුරේ දිනේශ් ලියනව ඩාවින්සි ගැන අපූරු ලිපි පෙලක්...... ඩාවින්සි අවුරුදු හාරසීයකට ඉස්සර හෙලිකොප්ටරයක් ගැන කිව්වම ඒ කාලෙ මිනිස්සු ඩාවින්සිට ඔළුවෙ අමාරුවක් කියල හිතපු එක පුදුමයක් නෙවෙයි...මට හිතෙන්නෙ ඉර තාරකාවක් ඒ වගේම විශ්වයෙ ජීවීන් වාසය කරන තවත් ග්‍රහලෝක විශාල සංඛ්‍යාවක් තියනවයි කියල ප්‍රකාශ කල වරදට ජියෝඩනෝ බෲනෝ ගිනි තියල මරල දැම්ම වගෙ ඩාවින්සිටත් නොකලෙ ඔහුට තිබුණු රාජානුග්‍රහය නිසාම වෙන්න ඕන...

    ඒ දවස්වල තිබුණු දැනුම් මට්ටම අනුව පියෑඹීම කිසි දිනක කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි.එතකොට යතාර්ථය කියන්නෙ එහෙම දේවල් කවදාවත් වෙන්න බෑ කියල කියන එකයි.ඉතිං ඒ කාලෙ හිටපු බුද්ධිමතුන් ඔක්කොම කිව්වෙ එහෙමයි..ඒත් අද අපිට පියෑඹීම කියන්නෙ ඉතාම සාමාන්‍ය දෙයක් වෙලා...ඒක තමයි ලෝක ධර්මය...

    දෙවියො ගැනත් අනාගතයෙ එහෙම වෙන්න බැරිද?....ඔයාලට අපිට මේ උදේ හවස හම්බ වෙන කට්ටිය වෙන්න බැරිද?.....හෙහ්, හෙහ්,

    එතකොට අපිට ඕන නම් මෙහෙමත් කිව්වැකි......

    '' අනේ ඔයාල හරි නරකයි දන්නවද?....ඇයි ඒ කාලෙ කැළණියෙ , සෝමාවතියෙ එහෙම ඔයාල ඇනෙක්ස් අරගෙන පැල පදියං හිටියට අපිට පේන්ඩවත් ආවෙ නෑ නේද නිකමටවත්...හප්පා..ඒ කාලෙ තිබ්බ ආඩම්බර.....හරි ලොකුවට නේද හිතාගෙන හිටියෙ දෙයියො කියල.....දැන්නෙ මේ අපි දන්නෙ මෙයාල කවුද කියල....මෙයාල මේ.......''

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජිත්August 21, 2012 at 2:37 PM

      "අපේ ඇහැ ක්‍රියාත්මක වෙන මූලධර්මය මතම පදනම් වෙලා නිර්මාණය කරපු කැමරාවෙ ඒක සටහන් උනේ කොහොමද?"

      මේ පැනයට පිළිතුරක් පමණයි, මොකද මමත් ඇසට හෝ උපකරණ වලට හසු නොවන ධර්මතාවන් ලොවේ පවතින බවත්, මරණින් ඔබ්බෙහි තවත් පැවැත්මක් ඇතැයි කියාත් විශ්වාස කරන්නෙක්.

      අපේ ඇහැ ක්‍රියාත්මකවන මූලධර්මය කැමරාව නිපදවීමේදී ගුරුකොට ගත් බව සැබෑ වුනත්, එහි සමහර හැකියාවන් පියවි ඇස ඉක්මවා යනවා. මෙය ආධුනික ඡායාරූප ශිල්පීන්ට පවා කියාදෙන දෙයකි. නිදසුනක් ලෙස, පියවි ඇසට පාරජම්බුල හා අධෝරක්ත ආලෝකය නොපෙනුනත් සේයාපටලය ඒ දෙවර්ගයටම සංවේදීතාවක් දක්වන බැවින් අපට අඳුරේ පවා අධෝරක්ත ඡායාරූප ගැනීමට පුළුවන්. සමහරවිට උස්බිම් වල හෝ විවෘත්ත වෙරල භූමිවලදී පාරජම්බුල ආලෝක පෙරහන් පවා පාවිච්චි කරන්නේ මේ කාරණය ගැටළුවක් වෙන නිසයි. (අධිවේගී චලනයන් ග්‍රහණය කිරීම, කාලික අනාවරණයන් වැනි තවත් අංශ වලදී කැමරාව මිනිස් ඇස පරදවනවා, හරියට මිනිස් මොලය බලාගෙන නිපයූ පරිගණකය වගේ)

      කාචය මත පවතින දුහුවිලි අංශු මතට පතිතවන ආලෝකය නිසා සේයාපටලය (හෝ CCD එක ) මත එම අංශුවල පිළිබිඹු හටගන්නවා. එහෙත් මේවා පවතින්නේ නාභිගතවන අවම දුර ( hyper focal distance ) වලට වඩා සමීපව බැවින් ඒවා සටහන් වන්නේ බොඳ වී ගිය ( out of focus highlights ) ආලෝක 'වලයන්' ලෙසයි. දූලි අංශුව මොන හැඩයක් ගත්තත්, කාච විවරය කවාකාර බැවින් මෙම වලයන් එකම හැඩයක් ගන්නවා. මේවා ඩිජිටල් වලට සීමාවී නැහැ, එහෙත් පටල කැමරාවකින් මෙතරම් අඳුරේ සෙයාරූ ලබාගතහැක්කේ වෘත්තීය ශිල්පීන් සතුව පවතින ASA 400-800 පමණ වූ අධිවේගී පටල භාවිතයෙන් පමණයි. එනිසයි ආධුනික චායාරූපවල ඒ දවස්වල මේවා අපි නොදැක්කේ.

      මෙය අපේ දෙවියන් හෝ ගන්ධබ්බයන් ගැන පවතින විශ්වාසයන් සමග මිශ්‍ර කරගැනීම අවැඩක් කියා මා සිතනවා. මොකද, ගුප්ත දේවල් වල වටිනාකම තියෙන්නේ ඒවා ගුප්තව පවතිනතාක් කල් පමණයි. දෙවියන් හෝ භූතයින් පන්සලක් සොහොන්පලක් ගානේ අන්ගේ හැපෙන ගානට available වුනොත් මේ ප්‍රපංචයන් ඉක්මනින්ම නීරස සාමාන්‍ය දේවල් බවට පත්වෙයි.

      ආලෝකයේ ඉහත සංසිද්ධිය ගැන සජීව විජේවීර හොඳ ලිපියක් පසුගිය ඉරිදා ලංකාදීපයට ලියා තිබුනා.

      Delete
    2. @ ඉන්ද්‍රජිත්,

      / අපේ ඇහැ ක්‍රියාත්මකවන මූලධර්මය කැමරාව නිපදවීමේදී ගුරුකොට ගත් බව සැබෑ වුනත්, එහි සමහර හැකියාවන් පියවි ඇස ඉක්මවා යනවා /

      ඔව් ඔබ හරි...මටත් ඔය කාරණේ කමෙන්ට් එක දැම්මට පස්සෙ කල්පනා උනා..හරි, කැමරාව බොහෝ අංශ වලින් මිනිස් ඇසට වඩා දියුණුයි.

      / මොකද මමත් ඇසට හෝ උපකරණ වලට හසු නොවන ධර්මතාවන් ලොවේ පවතින බවත්, මරණින් ඔබ්බෙහි තවත් පැවැත්මක් ඇතැයි කියාත් විශ්වාස කරන්නෙක්. /

      මගේ නම් තියෙන්නෙ විවෘත මනසක්, නොපෙනෙන බලවේග හෝ මරණින් මතු ජීවිතය ගැන කල්පනා කරද්දි....

      සැකයකින් තොරව ඔප්පු වෙන තෙක් විශ්වාස හෝ අවිශ්වාස නොකරමි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කවුදෑ හැබෑටම දන්නෙ?...:) :)

      Delete
    3. දෙන්නාටම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
    4. ඉන්ද්‍රජිත්August 22, 2012 at 10:11 AM

      සේරම දේවල් අත්දැකීමෙන්ම විශ්වාස කරන්න බලා හිටියොත් අපට ජීවිත කාලයක්ම ගෙවලත් සිදුවන්නේ අප ආපු ලෙසටම පිටවෙන්න නේද? විශේෂයෙන්ම මරණින් මතු සිදුවන දේ මැරීලාම බලන්න හිටියොත් ඒ දැනුම අපට වැඩක් නැති වෙනවනේ.. අරාබියට යන්න කලින් නේද අරාබි නීතිය දැනගත යුත්තේ? කිසිම වෛද්‍ය සිසුවෙකුට තමන් හදාරන සේරම ලෙඩ ගැන වෘත්තීය ජීවිතේදී අත්දකින්න බැරි වෙන්න පුළුවන්. (අර කරුණාවතී අම්මට වැළඳුන Necrotizing Faciaitis රෝගී තත්වය වැන්නක් බොහෝ වෛද්‍යවරුන්ට ජීවිත කාලෙටම ඇස ගැසෙන්න නොලැබෙන්න පුළුවන්) එතැනදී පුරෝගාමීන්ගේ අත්දැකීම් වල හිඳගෙන ඒ නිර්දේශ අනුව කටයුතු කරන්න වෙනවානේ .
      බුදු දහමේ basics අනුව නම් මරණය යනු ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිදී පවත්නා අනුපිළිවෙලක එක තැනක පිහිටි කඩඉමක් (පිටවන දොරටුවක්?) පමණකි. අප මූලික බුදුදහම සිතට උරාගෙන නැත්නම්, කොතරම් ලස්සන පන්සල් වලට ගියත් ඒ ගමන ලෙෂර් වර්ල්ඩ් යාම වගේම විඳීම් සඛ්‍යාත සුවයක් පිණිස පමණක් ම පවතී.
      දේසනාව දිගත් වැඩී, ටොපික් එකෙනුත් පිට ගිහින්. ඩිලීට් කිරීමේ පූර්ණ අයිතිය බ්ලොග් එකේ අයිතිකරුවන් සතුයි.. :-)

      Delete
    5. / සේරම දේවල් අත්දැකීමෙන්ම විශ්වාස කරන්න බලා හිටියොත් අපට ජීවිත කාලයක්ම ගෙවලත් සිදුවන්නේ අප ආපු ලෙසටම පිටවෙන්න නේද? /

      එකඟයි, ඉන්ද්‍රජිත්...ජීවිතේ හැමදෙයක්ම අත්දැකීමෙන්ම තේරුම් ගන්න හිටියොත් ඒක හරියන්නෙ නෑ...සම්පූර්ණයෙන්ම එකඟයි...

      / කිසිම වෛද්‍ය සිසුවෙකුට තමන් හදාරන සේරම ලෙඩ ගැන වෘත්තීය ජීවිතේදී අත්දකින්න බැරි වෙන්න පුළුවන්. (අර කරුණාවතී අම්මට වැළඳුන Necrotizing Faciaitis රෝගී තත්වය වැන්නක් බොහෝ වෛද්‍යවරුන්ට ජීවිත කාලෙටම ඇස ගැසෙන්න නොලැබෙන්න පුළුවන්) එතැනදී පුරෝගාමීන්ගේ අත්දැකීම් වල හිඳගෙන ඒ නිර්දේශ අනුව කටයුතු කරන්න වෙනවානේ . /

      මේ රෝගයක් ගැන හැදෑරීමේදි අපිට වෙනත් කෙනෙකුගෙ අත්දැකීම් වල පිහිට පැතීමට අනිවාර්යයෙන් සිද්ධ වෙනව..ඒක හරි, හැබැයි අපි ප්‍රයෝජනයට ගන්නෙ ඒ රෝගය ගැන පළමෝත (First hand - Thanks Taboo ) අත්දැකීම් ලබපු කෙනෙකුගෙ දැනුම.

      ඒත් මරණින් මතු ජීවිතයක් තියනවද කියල තීරණය කරන්න අපිට තවත් කෙනෙකුගෙ අත්දැකීම් යොදාගන්න එක සාර්ථකයි කියල හිතනවද?

      එතනදි ඇත්තටම මැරුණු කෙනෙකුගෙ ඊට පස්සෙ ජීවිතයක් ලබපු කෙනෙකුගෙ විශ්වාසිත අත්දැකීම් කියල දෙයක් තියනවද අපිට ඒ මත අපේ විශ්වාසයන් පදනම් කර ගන්නට?

      Delete
  6. මේවාට කියන්නේ ඔප්ස් කියලා මේ ගැන මම ලියපු ලිපියක් තියෙනවා මෙන්න http://haraspara.blogspot.com/2012/06/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුරේ. ලිපිය කියැවීමි

      Delete
  7. මම මේ වගේ දකින දහසත් පැනපු පින්තුර අතරින් කිහිපයක් මේ. බුද්දගයාවේ, සෝමවතියේ, විවිද වෙහෙර විහාර වල, තව පිරිත් කියන තැනක මම ගත්තු ෆොටෝ වල මේවා දැකල තියෙනව බෞද්දයෙක් හැටියට මගේ විශ්වාසයත් මේ ස්ථාන වලට එන නොයෙකුත් ආත්ම තමයි මේ විදියට කැමරා කාචයේ සටහන් වෙලා තියන්නේ. මගේ විශ්වාසය ඩිජිටල් ආවට පස්සේ තමයි මේවා සටහන් වුනේ කියල. තව බබෙකිව් දාන තැන වලත් මේ වගේ එනවා. ඔය කියන දුමක් නැති දඹකොළපටුනේ මහා දවල් ගත්ත ෆොටෝ වලත් ඔය විදියට සටහන් වෙලා තියෙනවා.

    ReplyDelete
  8. තවත් දෙයක් කියන්න බැරි වුණා අපි බැංකොක් වලදී හිටිය හෝටලයේ කොරිඩෝවක අපේ යාලුවෙක් ගත්ත ෆොටෝ එකක අලි තඩි මිනිස් චායාවක් වැදුනා. ෆොටෝ එකට මුහුණ දුන්න යාළුවා බය වෙච්ච් පාර ෆොටෝ ඒක ඩිලීට් කළා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් ඔබේ අත්දැකීම් බෙදාගත්තාට

      Delete
  9. දෙවන පින්තුරයට මම ගොඩක් කැමතියි යාලු :)

    ReplyDelete
    Replies
    1. හා හොඳමයි යාළු :)

      Delete
  10. දූවිලි, ජල අංශු වගේ දේවල් වලිනුත් ඒ වගේ සලකුණු ඡායාරූප වල සටහන් වෙන්න පුළුවන් කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒත් ඡායාරූපයක ඊට වඩා වෙනස් දේවල් වලිනුත් ඒ වගේ සටහන් ඇති වෙන්න පුළුවන් බව මමත් විශ්වාස කරනවා අක්කේ. ඒ බොහෝ විට අපි අවට සාමාන්‍යයෙන් ඉන්න ගණන් කරන්න බැරි තරමේ ඇසට නොපෙනෙන ප්‍රාණීන්ට වඩා යම් බලගතු බවක් තියෙන අය වෙන්න ඇති. අක්කට ගොඩක් ස්තූතියි මේ ඡායාරූප අපිත් එක්ක බෙදාගත්තට.

    (අළුත් ගෙදර හරි පිළිවෙලයි :D :D :D)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමි......... ඇත්තටම මේ පිංතූර වල දර්ශනය වන්නේ මොනවාද කියන්න අපි දන්නේ නැති වුනත්, ඇසට නොපෙනන පිරිසක් අප වටා ඉන්නා වග බුද්ධ දේශනාවේ බොහොම තැන් වලදී කියැවෙනවානේ නේද? මට නං හිතෙන්නේ එක එක අංශු අතරින් එයාලාත් ඒ විදිහට දෘෂ්‍යමාන වුනා වෙන්නත් බැරි නැහැ කියලායි

      අලුත් ගෙදර අයියෝ මේ වැරදීමක් වෙලා හැදුනු ගෙයක්, පරණ ගේ ගන්න හැදුවාට කොහොමවත් ගන්න බැහැ........... :(

      Delete
  11. වෝටර් වර්ල්ඩ් ගිහින් පස්සෙට් කැළනිත් ගිහින් ගෙදර එන්න මොන තරන් හය්යක් ඕන කියලද? කළුග්ගලට වාහනෙ ගිහින් , වතුරෙ නටල, ආයි කැළනියට යනව කියන්නෙ එදාම, මටනං ඩ්‍රයිව් කිරිල්ල ගැන සුභ පතන්න විතරයි තියෙන්නෙ.

    (මගේ විස්වාස මම ගාව, ඔයාගෙ එව්ව ඔයා ගාව. ඒව ප්‍රශ්ණ නොකරන තාක් අපි මිතුරන් වෙයි. මේ මම හිතන හැටි.)

    ReplyDelete
    Replies
    1. ළමයෝ ළමයෝ ළමයෝ.......... මේ පුංචි ලංකාවේ වර්ල්ඩ් ම කීයක්ද ඈ.......... එක්සෙල් වර්ල්ඩ්, වෝටර් වර්ල්ඩ්, ලෙෂර් වර්ල්ඩ්.......... තව කොච්චර තියෙනවද දන්නේ නැහැ....... ඉතිං ඔයා මේ කියන්නේ ලෙෂර් වර්ල්ඩ් ගැන.......... අපි ගියේ වෝටර් වර්ල්ඩ් ඒක තියෙන්නේ කැළණියේනේ..........

      (ඒක නං ඇත්ත තමයි........ ඔය වගේ දේවල් සාකච්ඡා කරනවා මිසක් ප්‍රශ්න කරන්න ගියොත් නං හිත් නොහොඳ වෙනවා බොහොම විට)

      Delete
    2. හය්යෝ...ෂෙහ්. මම දන්නෙ එක වර්ල්ඩ් එකයි නේන්නං බැළුවම. අපි නැති අතරෙ මේ රට කැරකිල උඩ ගිහින්නෙ මාර විදියට!

      Delete
  12. මේ ගැන වැඩියෙන් හිතන්න යන්න ඕනේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ...

    ReplyDelete
  13. කැළණි පන්සල ..අපේ දහම් පාසැල . ජිවිතේ අමතක නොවෙන ලොකු පරිච්චේදයක් . කැළණි පන්සලේ හැම වැලි කැටයක්ම මට මිණි මුතු වගේ . හෙන්රි කිවා වගේ ඔය අවට සහ පන්සල් බිමේ සියලු වෙනස් වීම් මටත් මතකයි. ඔයාගේ මාතෘකාවට අදාලව කතා කරන්න දැනුමක් නැතත් පන්සල් බිමේ ඇති නිස්කලංක සුවදායි බව හරියටම අත්වින්ද කෙනෙක් මම. O /L කාලේ තනියම ගිහින් බොහෝ තැන් චිත්‍රයට නැගුවා . පැය ගානක් බෝ මළුවේ ඉඳගෙන ඉන්න පුළුවන් . ස්තුතියි රන්දිල් ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තට .

    වෝටර් වර්ල්ඩ් හදපු දවස්වල කීප වතාවක් ගියා . ඔතන ඉස්සර තිබුනා ලස්සන තොටුපලක් . ඒ ලඟම තියෙන පන්සල තමයි අපේ ගමේ පන්සල . එකේ පන්තියේදී ගියේ ඒ දහම් පාසලට , කොල්ලෙක් මගේ පැන්සල උදුරා ගත්තට පස්සේ ඊ ළඟ සතියේ ඉඳන් කැළණි පන්සලේ දහම් පාසලට අපිව බාර දුන්නා . ඒ කොල්ල ඇත්තටම මට කලේ උදව්වක් .

    ඇසට නොපෙනෙන දේවල් නැහැමයි කියන්න බැහැ තමයි. ඉස්සර නම් විද්‍යාවෙන් ඔප්පු වෙන්නේ නැත්නම් මට යමක් පිළිගන්න හරිම අමාරුයි. කොවුර් ගොය්යා හෙම කරපු වැඩ තමා. දැන් නම් දඩස් ගාල ප්‍රතික්ෂේප නොකර ඉන්න තරම් මන් වයසට ගිහින් වගේ .

    ReplyDelete
    Replies
    1. ඒ ලඟ තියෙන පන්සල දැන් නවීකරණය කරලා අක්කේ.......... එහේ තමයි මේ දවස් තුනේ ධාතු ප්‍රදර්ශනය තිබුනේ........ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වුනා........

      කොවූර් මහත්තයා හොඳයි.... ඒත් අනේ මන්දා නේද? :)

      Delete
    2. ධාතු ප්‍රදර්ශනය කලේ මානෙල්වත්ත රජ මහා විහාරයද නැතිනම් ඊට කලින් අර පාර දෙපැත්තෙම තියන පන්සලද? ඊට කලින් කිව්වෙ කැළණිය පැත්තට වෙන්න. අර වෝට වර්ල්ඩ් එක ගාවා. බින්දි කියන්නෙ කොයි පන්සල ගැනද?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...