Friday, August 10, 2012

127. සැබෑ මිනිසුන්ගේ කතාව - From The Limbless Fighter Pilot to The Blade Runner


පොඩි දවස්වල, මම මේ කියන්නෙ වයස නමයක් දහයක් කාලෙ, මගෙ හිතේ ලොකු බයක් තිබුන මොකක් හරි අසනීපයක් එහෙම නැත්නම් අනතුරක් වෙලා මගෙ කකුල් දෙකම කපල දායි කියල....ඔහොම කිසිම සාධාරණ හේතුවක් නැතුවම එක එක අහේතුක භීතිකාවන් පොඩි දරුවන්ගෙ හිත්වල ඇතිවෙන එක බොහොම ස්වාභාවිකයි කියල මම කියවල තියනව...ඒව ඒ කාලෙම වගෙ නැතිවෙල යනව...වැඩිහිටියො උනාට පස්සෙත් එහෙම භීතිකාවන් හිතේ පැළපදියම් වෙල තියනව නම් ඒක අසනීපයක්....එහෙම එව්වට කියන්නෙ Phobias කියල. 

අපිටත් ඔන්නම් තව Phobia එකක් අළුතින් හැදුවැකි මෙහෙම... 

Phobiaphobia - Fear of having a phobia, භීතිකාවක් වැළඳේයයි ඇතිවන භීතිකාව... 

හෙහ්, හෙහ්, දැං ඔය ඉතාම නිර්භීත රට ජාතිය වෙනුවෙන් හතුරො එක්කල හටනට යන්ට Ever Ready on One Foot Mode එකේ ඉන්න හෙළ කුල කතුන් ඉන්නව නේද?.... ඒත් ඇස් වහක් කට වහක් නෑ..මකුළුවන්ට පරාණ බයයි...ඔව් අනේ...අර පොඩි අහිංසක සත්තුන්ට..මකුළුවන්ට.... 

ඔන්නම් නහයෙන් පෙන්නුවෑකි...හෙහ්, හෙහ්, මේ ළඟම ඉන්නව... 

ඒ භීතිකාවට කියන්නෙ Arachnedaphobia කියල 

හපොයි, මදැයි කියන්ට යන කතාවෙ Introduction එකම සෑහෙන දුර දිග ගියානෙ....මෙහෙම ගියොත් මේකත්කෑලි තුන හතරකට තමයි ලියන්න වෙන්නෙ...එහෙම කරල බෑ කොහොමවත්....මම දන්නව බහුතරයක් කස්ටිය Longusfabulaphobia කියන රෝගයෙන් පෙලෙනව කියල....ඒ කියන්නෙ දීර්ඝ වෘත්තාන්ත භීතිකාව...හෙහ්, හෙහ්, 

හරි, ආපහු කතාවට...ඉතිං ඔය මම කිය කිය හිටපු පොඩි කාලෙ...ඉස්කෝලෙ යද්දි...ඒ දවස්වල ඔය දැන් පොඩි එවුන් අරන් යනව වගෙ බැක්පැක්ස් තිබ්බෙ නෑ. එක්කො පොත් ටික මහත රබර් පටියක් දාල අතේ ගෙනියනව..එහෙම නැත්නම් තිබ්බ සූට්කේස් කියල ජාතියක්..දැන්නම් එව්ව කඩවල ඇත්තෙත් නැද්ද කොහෙද... 

ඉතිං සූට්කේස් එකත් උස්සං ඉස්කෝලෙ ඇරිල ආපහු එද්දි ටවුම මැද ඔර්ලෝසු කණුව යට ඉටි රෙද්දක් එළාගෙන ඉන්න හිඟන මනුස්සය ළඟ නැවතිල ටික වෙලාවක් බලාගෙන ඉන්න එක මගෙ පුරුද්දක් වෙලා තිබුණ.මේ මනුස්සයගෙ කකුල් දෙකම දණිස් හරියෙන් නෑ.අත් දෙකට රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන පැන පැන ඒ ළඟ තිබ්බ තේ කඩේට ගිහිල්ල කහට එකක් බීල ආපහු එන විදිහ එහෙම මම බලා හිටියෙ පුදුමයකුත්, අනුකම්පාවකුත් එක්කම මිශ්‍ර වුනු භයක් වගෙ හැඟීමකුත් කලවම් වුනු අමුතුම සිතුවිල්ලක් හිතේ දරාගෙන... 

මගෙ හිතේ කකුල් නැතිඋනොත් කියල බයක් ඇතිවෙන්ට මූලික හේතුව මම හිතන්නෙ ඔය හිඟන්නගෙ දර්ශනය...ඒත් ටික කලකින් ඒ මනුස්සය එතන පේන්ට හිටියෙ නෑ....ඒත් එතනින් ඒ භීතිකාව නැතිවෙලාම ගියේ නම් නෑ...හිතේ මුල්ලක තිබ්බ වහං වෙලා...ඔන්න ආයෙම පණ ගහල ආවෙ මම බලපු හින්දි ෆිල්ම් එකක් නිසා...නම නම් මතක් වෙන්නෙම නෑ...රඟපෑවෙ නම් රාජේශ් කියල යන්තම් මතකයි...රාජේශ් ඛන්නා දන්නව නේද?...මේ මාසෙකට විතර උඩදි මැරුණෙ... 

ඔය ෆිල්ම් එකේ රාජේශ් බොහොම සෙල්ලක්කාර තරුණයෙක්...ඒත් ගුවන් යානා අනතුරක් නිසා කකුල් දෙකම කපල රෝද පුටුවක තමයි ජීවිතේ ගෙවන්න් වෙන්නෙ...ඔන්න ආයෙම මගෙ අර බය වැඩි වුනා මේ ෆිල්ම් එක බලල... 

ෆිල්ම් ගැන කියනකොට මේ ටිකක් කියන්නම වෙනව....ඒ දවස්වල ෆිල්ම් එකක් බලන එක අපිට පුදුම සතුටක් ආශ්වාදයක් ගෙනෙන සිද්ධියක්... 

මාසෙකට පාරක් විතර තමයි ෆිල්ම් එකක් බැලෙන්නෙ...අපි කට්ටියම එකතු වෙලා යන පවුලේ සාමූහික සමාජ ක්‍රියාකාරකමක් විදිහටයි මේ මාසික චිත්‍රපට දර්ශනය සැලකුනේ....හරි, හරි,.......ඒ ගැන තව දවසකට තියමු.... 

ඔය කාලෙම වගෙ මගෙ භීතිකාව ආයෙම අලුත් වෙන්න හේතු වුනා අපේ පවුලටම බලපෑ සිද්ධියක්...අපෙ අම්මගෙ වැඩිමහල් සහෝදරයෙක් වැඩ කලා දුම් රිය රියැදුරෙක් විදිහට...රෑ වැඩ කරල ගෙදර එන්ට කෝච්චියෙන් බහිනකොට හෝ නගිනකොට මට හරියට මතක නම් නෑ..කකුල ලිස්සල ගිහිල්ල කෝච්චියටම යට වෙලා ඒ මාමගෙ කකුල් දෙකම කපන්ට උනා. එකක් දණිහට පහලින්..අනික කලවය මැදින්ම වගේ..... 

මුලින්ම බොරු කකුල් වලින් ඇවිදින්න පුරුදු වෙනකල් ඒ මාමව අල්ලගෙන එහාට මෙහාට අපෙ මිදුලෙ ජෑම් ගහයට ඇවිදිනව මට තාම මතකයි...ඒ අර මගෙ භීතිකාව අළුතින් දළු දාල වර්ධනය වුනු යුගයක්... 

කොහොමින් කොහොමින් හරි අර මගෙ තිබ්බ අස්ථාන භීතිකාව ක්‍රමයෙන් වැඩි වියට පැමිණෙද්දි නැති වෙලා ගියා...ආහ්, ඔය සම්බන්ධ තව එක කාරණයක් කියන්න ඕන...ඒ පොතක් ගැන..සැබෑ මිනිසෙකුගේ කතාවක්...දෙවන ලෝක යුද්ධයේදි ගුවන් යානයට වෙඩි වැදී ඒ අනතුර නිසාම පාද දෙකම කපා ඉවත් කරන ලද රුසියානු ගුවන් නියමුවෙක් තම නොපසුබට උත්සාහය නිසාම නැවත ප්‍රහාරක ගුවන් යානා පැදවීමට සමත් වන ආකාරය පිළිබඳව ලියවුනු ඉතාම හෘදයාංගම අනුවේදනීය කතාවක්... 


දෛවයේ අකාරුණික භාවය නිසාම නොසිතූ වීරූ ඉරණමකට මුහුණ දුන් මිනිසුන් ඒ ඉරණම භාරගෙන පසෙකට වී උකටලීව නොහිඳ දෛවයට එරෙහිව අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සටන් වැද ජීවිතය දිනා සෙස්සන්ටද අගනා ආදර්ශයක් දුන් අයුරු කියවෙන මේ වීර කථා වෘත්තාන්ත මාලාවේ නවතම දිගහැරුම ගැන කියන්නටය මා දයාබර සහෘදය, සහෘදිනිය මේ දීර්ඝ පූර්විකාව මා ඔබට ගෙන ආවේ..... 

දිරිය මිනිසුන්ගේ කතාව...අලෙක්සේයි මෙරේස්යේව් සිට ඔස්කා පිස්ටෝරියස් දක්වා....



සංජානනීය පාද අස්ථි අක්‍රමිකතාවයක් හේතුවෙන් වයස මාස 11 කදී ඔහුගේ පා යුවලම දණහිසට පහතින් සැත්කමකින් ඉවත් කිරීමට සිදු උනා. එහෙත් තම ආබාධය පරදවා නැඟී සිටි ඔස්කා ටෙනිස් රග්බි වැනි ක්‍රීඩා කිහිපයකම සාමාන්‍ය ක්‍රීඩකයන් සමඟ උරෙනුර ගැටී නිරත වී අවසන මලල ක්‍රීඩාවට එක් උනා. 

2008 බෙයිජිං ආබාධිත ඔලිම්පික් උළෙලෙහිදී මීටර 100, 200 සහ 400 යන ධාවන තරඟ වල ජයග්‍රාහකයා ලෙස රන් පදක්කම් දිනා ගත්තේ ඔහුයි. 

එහෙත් ඔහුගේ සිහිනය වූයේ ආබාධිත ඔලිම්පික් උළෙලක නොව ආබාධිත යන උපසර්ගය රහිත ඔලිම්පික් උළෙලකට සහභාගි වීමයි.සියළුම ආබාධිතයින් වෙනුවෙන් එවන් දස්කමක් කිරීමෙන් ආබාධිතතාව යනු කිසිවකු දෙවන පෙල පුරවැසියකු සේ සැළකීමට හෝ අනුකම්පාව දැක්වීමට හේතුවක් නොවන අතර ආබාධිතයින් යනුද සාමාන්‍ය මිනිසුන්ගේ හැකියාවන් අපේක්ෂා, ඉලක්ක ඇති මිනිසුන් කොටසක් වන අතර සාමාන්‍ය මිනිසුනට කල හැකි සියල්ල ආබාධිතයන්ටද අනිවාර්යයෙන්ම හැකි බව මුළු ලොවටම..ආබාධිතයින් සහ සාමාන්‍ය මිනිසුන් යන දෙකොටසට පෙන්වා දීමටය ඔහුට අවශ්‍ය වූයේ. 

ඔහුගේ ඊළඟ ඉලක්කය 30 වන ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල - ලන්ඩන් 

එහෙත් ඊට පෙර ඔහුට දැඩි බාධකයකට මුහුණ දීමට සිදු වුනා. ඔහු භාවිතා කරන කාබන් කෙඳිති වැරගැන්වූ බහුඅවයවයකය ( Carbon Fibre Reinforced Polymer) මඟින් නිමකල කෘත්‍රිම පාද යුගලයෙන් ඔහුට අනිසි වාසියක් අත්වන බව තීරණය කල අන්තර් ජාතික ආධුනික මළල ක්‍රීඩා සම්මේලනය සාමාන්‍ය ක්‍රීඩකයන් සමඟ තරඟ කිරීමෙන් ඔහු වළක්වන නියෝගයක් පැනවූවා. 

ඊට එරෙහිව ක්‍රීඩාවන්ට අදාල මතභේද පිළිබඳව අවසන් තීරකයා වන ක්‍රීඩා සඳහා බේරුම්කාර මණ්ඩලයට ( Court of Arbitration for Sports ) ඔහු අභියාචනයක් ඉදිරිපත් කලා. ඔස්කා වෙනුවෙන් සහ ඔහුට විරුද්ධව ඉදිරිපත්වූ සියළු සාක්ෂි සහ වාර්තා සළකා බැලූ ඔවුන්ගේ තීරණය වූයේ මලල ක්‍රීඩා සම්මේලනය ලබා දුන් මුල් තීරණය වැරදි බවයි. ඔස්කාට තම කෘත්‍රිම පාද නිසා අනිසි වාසියක් ලැබෙන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතරම, ඔහුගේ ආබාධිත තත්වය නිසාම තරඟ ආරම්භයේදී සහ තරඟය අතරතුර ත්වරණයේදී මෙන්ම වක්‍ර ධාවන පථයක ධාවනයෙහිදී ඔහුට අත්විඳීමට සිදුවන අවාසි පිළිබඳව ප්‍රමානවත් ලෙස සළකා බැලීමක් කර නොමැති බව ඔවුන්ගේ තීරණය උනා. 


අවසානයේදී තම ප්‍රාර්ථනය ලෙසම ඔලිම්පික් වරම් හිමිවූ ඔස්කා 2012 අගෝස්තු 4 වනදා ඔලිම්පික් උළෙලක තරඟ වැදුනු ප්‍රථම ආබාධිත ක්‍රීඩකයා ලෙස තවත් වාර්තාවක් පිහිටවූවා. මීටර් 400 තරඟයේ මුල් වටයෙන් ජයගත් නමුදු ඔහුට අවසන් පූර්ව වටයෙහිදී පරාජය වී ඉවත් වීමට සිදු වූවත් ආබාධිතයින් වෙනුවෙන් ඔහු ලැබූ ජයග්‍රහණය මෙන්ම ආබාධිතයින් කෙරෙහි ඇති ආකල්ප වෙනස් කිරීමෙහිලා ඔහු කල කාර්ය භාරය අති විශිෂ්ඨයි. 

ඔස්කා...ඇලෙක්සේයි සේම ඔබ ද සැබෑ මිනිසෙකි...... 


ඔස්කා ඔබට මගේ හෘදයාංගම සුබ පැතුම්!!! 

63 comments:

  1. /මේ වර්ගයේ භීතිකාවන් 150 කට වැඩිය තියනව කියලයි කියන්නෙ...:( :( /

    මෙතෙන්ට අදාල සබැඳිය මොන හේතුවක් නිසා ද මම දන්නෙ නෑ හරි ගියේ නෑ..:)

    'ඒක මම මෙතන දාන්නම්...:)

    ReplyDelete
  2. අප්පේ කාලෙකට පස්සෙ ඇවිල්ලා...

    අද කීයටද දන්නෙ නෑ තරඟෙ? බලන්න ඕනෙ.

    ReplyDelete
  3. මේක බලන්ට අමාරුයි. මොකක්දෝ ප්‍රශ්නයක්. ඒක හදලා දාන්ට පුලුවන්ද රවි?:)

    ReplyDelete
  4. @ Poddi,

    ඔව්, පොඩ්ඩි, මම මේක පෝස්ට් කලේ ගූගල් ක්‍රෝම් එකෙන්...ඒකෙං ගිහාම අවුලක් නැතුව කියවන්ට පුළුවනි...ඒත් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් ගිහාම කියවන්ට බෑ...ඡේදයක් එහෙම්මම එක පේළියකට තියෙන්නෙ...මමත් මේ ඒක දැක්කෙ අහම්බං ටිකකට ඉස්සරවෙලා.......මට තේරෙන්නෙ නෑ ඒක හදන්ට :(

    අපේ තාක්ෂණ විශේෂඥ රන්දිකා මැතිනියට දැනුම් දීලයි තියෙන්නෙ..එතුමිය හැකි ඉක්මනින් ඒ ගැන සුදුසු ක්‍රියාමාර්ගයක් ගනියි...සිදුවූ අපහසු තාවයට මගේ බලවත් කණගාටුව පොඩ්ඩි....:(

    ReplyDelete
  5. මගෙ මාමා කෙනෙක් ඉන්නවා හමුදාවෙ මේජර් කෙනෙක්. දවසක් එයා ඇඳ උඩ නැගලා කෑ ගහනවා " අම්මේ අම්මේ..... එන්න එන්න...." කියලා. (අම්ම කිවුවෙ නැන්දාගෙ අම්මාට) බලද්දි කාමරේට ලොකු මකුලුවෙක් ඇවිත්..
    මේ වගේ අය ගොඩක් ඉන්නවා. මගෙත් තියනවා ෆෝබියා 2ක්.

    සැබෑ මිනිසෙකුගෙ කතාව නියම පොතක්. ඒක කියෙව්වට පස්සෙ මම ඒ පොත යාලුවො කීපදෙනෙක්ටම තෑගි දීලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය භීතිකාවන් කියන එක සිඳු, වයස තරාතිරම වගෙ දේවල් එක්ක සම්බන්ධයක් නෑ...ඔයාහෙ මාම වගෙ තමන්ගෙ ජීවිතේ පරදුවට තියල රාජකාරිය කරන කෙනෙක් අර වගෙ මකුළුවෙකුට බය වෙන්ට පුළුවන්....ඒක ස්වාභාවිකයි,

      හෙහ්, හෙහ්, සැබෑ මිනිසකුගේ කතාවක්...ඕක මම මම පොත් කියවන්ට පටන් ගත්තු මුල්ම කාලෙ කියවපු පොතක්...අද මේ අවුරුදු ගානකට පස්සෙ, පොත් දහස් ගණනක් කියවලත් තාම මගේ ප්‍රියතම පොතක්....

      Delete
  6. Replies
    1. ස්තූතියි...හිරු හිමාවී....

      Delete
  7. මම ගියේ ගිණි නරියගෙන් රවියා. ඇත්තට මොකක්ද මේ වෙලා තියෙන්නෙ. පෝස්ට් එකේ කොලම් එක දකුණු පැත්තෙ තියෙන විජට් කොලම් එකෙනුත් එහාට ගිහින් මුලු පි‍ටුවෙන්ම එලියට පනිනවා. වෙනදට එහෙම වෙන්නෙ නෑනෙ.
    මේකත් ෆෝබියාවක්ද? :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අඩේ අග්නි සිවලාගෙන් ගියාමත් එහෙම වෙනවද?.....:( මම හිතුවෙ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් එකෙන් විතරයි අවුල කියලා ...සමාවෙයල්ල ...සමාවෙයල්ල...වැඩේ බං කිව්වම මොකද මම මේ අයි. ටී. ගැන මෙලෝ මඟුලක් දන්නෙ නෑ...උඹට ආයෙ කියන්ට ඕන නෑනෙ. අපේ කාලෙ මේ මොන කෙහෙම්මලක්වත් තිබ්බය...ඉඳපං කොල්ලො පොඩ්ඩක් ඉවසල....මයෙ බොස් , රන්දිකා ලොක්කිට වැඩේ බාරදීල තියෙන්නෙ..කරුමෙට උන්දැ අද නිවාඩු...ඒත් පුළුවන් ඉක්මනට වැඩේ ගොඩ දායි ....හෙහ්, හෙහ්, ඒ ගැන සැකයක් තියාගන්ට එපා.

      Delete
  8. දැන් හරිද බලන්න මිතුරනි...........

    ReplyDelete
    Replies
    1. දැන් හරි රන්දිල්...හෙහ්, හෙහ්, ස්තූතියි ස්තූතියි...අම්මප ඔයා නැතුව මම කොහොමද මේ කෙහෙල්මල කර ගෙන යන්නෙ?.....

      ඒ නිසා ආයෙම පාරක් හිතල බලන්ට මෙහෙම දේවල් කොරගන්ට යන්ට ඉස්සර ...හොඳේ...:)

      Delete
  9. අමාරුවෙන් කියවා ගත්තා. අනේ ගිනිනරියගෙන් ගිහින් මේක එඩිට් කරපියෝ. අපරාදෙ හොඳ ලිපියක්.
    බ්ලේඩ් රනර්ට මොකද වෙන්නෙ කියලා හෙට වෙනකොට දැනගත්තැකිනෙ. එතෙක් ඔහුට ජය පතනවා.
    අර සැබෑ මිනිසෙකුගේ කතාව මමත් කියවලා තියෙනවා සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම. ඇත්තෙන්මමම සෝවියට් සහ රුසියානු සාහිතය කෘති සියල්ලන්ටම ප්‍රිය නොකලත්. සැබෑ මිනිසෙකුගේ කතාවක් නම් ශ්‍රේෂ්ඨම කතාවක්!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කි, උඹ මේ දහ විහිලි වෙලා තියෙන පෝස්ට් එක කියෙව්වද බං?...අඩේ අප්‍රමාණ ස්තූතියි හෙන්රියො...හෙහ්, හෙහ්, ඔන්න දැන් අවුලක් නෑ..අපෙ රන්දිල් මැතිණි වැඩේ දීල තියනව ගානට...හෙහ්, හෙහ්, දන්නවනෙ උන්දැගෙ හැටි....බොරුකාරයට වැඩ බෑ...වැඩ කාරයට බොරු බෑ...හෙහ්, හෙහ්,

      සෝවියට් දේශය පැවතුනු කාලෙ විශේශයෙන් ප්‍රගති ප්‍රකාශකයන් සහ රාදුගා පබ්ලිෂර්ස් කියන ආයතන දෙකෙන් නිකුත් උනේ බහුතරයක් කොමියුනිස්ට් ක්‍රමය ඔසවා තබන ප්‍රකාශන බව ඇත්ත...ඒත් ඒවයෙ තිබ්බ හෙන්රි අමු අමුවෙ ප්‍රචාරනය නොකර මොනව හරි බුද්ධියට සහ රසඥතාවයට කතා කරන ගතියක්...මම කැමති අන්න ඒකට...

      Delete
  10. රන්දිල් දැන් හරි, ඔන්න ඔය රවියට අනින්නකො හොඳවයින් සයිබර් ටොක්කක්!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම තමයි බාං....ඔළුව හිල් වෙන්න ටොක්කක් අනින්ටයි තියෙන්නෙ...වැඩි අමාරුවකුත් නෑ වැඩේට හැබැයි...ඔළුවෙ කෙස් ගස් බොහොම සුවල්පයයි තියෙන්නෙ......හෙහ්, හෙහ්,

      ආය නම් අනෙ අම්මප උන්දැ නැතුව පෝස්ට් දාන්න නම් යන්නෙ නෑ මේ සම්මජාතියෙ.....නොදන්න දෙමළෙට ගිහිං මොටදැයි වරිගෙ නහගන්නෙ නැද්ද මං අහන්නෙ?

      Delete
  11. අලෙක්සේයි මෙරෙස්යේව් මගෙත් වීරයෙක්.. මමත් ආසාවෙන් කිහිප වරක්ම කියවපු පොතක්.. කකුලක් කපලා මානසිකව වැටිලා හිටිය මිනිහෙකුට ඔය පොත මම කියවන්ඩ දීලා, ඒ මනුස්සයගෙ වැටිලා තිබුන මානසික තත්ත්වය බලන් ඉද්දි අනිත් පැත්ත හැරෙව්වා.. ඒ ජාතියෙ පොතක් ඒක..

    ඔස්කා පිටෝරියසුත් සෑබෑම මිනිසෙක්.. සැබෑම වීරයෙක්..

    ඔහුට මම ජය පතනවා !!!

    පන පිටින් වැලලේයැයි ඇතිවන භීතිකාවට මොකක්ද කියන්නෙ.. :-)

    ReplyDelete
    Replies
    1. සැබෑ මිනිසෙකුගේ කතාවක්...ඇත්තටම ඒ ජාතියෙ පොතක් තමයි ඒක....හෙහ්, හෙහ්,

      පණ පිටින් වැලලේයයි සිතීමේ භීතිකාවට කියන්නෙ සෙන්නා, taphophobia කියලයි....:(

      Delete
  12. සෙන්නා, රවී අයියා,
    පණ පිටින් වැලලෙයි කියන භීතිකාව මටත් තියෙනවානේ. මිනි පෙට්ටියේ දාලා වැලලුවට පස්සෙ ඇතුලෙදි පන එයි කියලා මාර බයයි පොඩි කාලේ. දැන් නම් ඒකට විසදුමක් හොයලා තියෙන්නෙ.....:)

    ReplyDelete
    Replies
    1. බුද්ධි, ඔය විදියෙ මූවී එකක් අපි බැලුවා මේ අවුරුද්දෙ. උඹට නියමෙට ගැලපෙයි ඒක. ඒකෙ නම 'BURIED'. ආයෙ කියලා වැඩක් නෑ. එක නලුවයි. පෙට්ටියයි ෆෝන් එකයි විතරයි රඟපාන්නෙ. අනිත් ඒවා කටහඬවල් විතරයි. හරිම අඩු වියදමකින් කරන්න ඇති. ඒ වුනාට පුදුමෙ කියන්නෙ. ඒ මූවී එක මරු බං.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. @ බුද්ධි,

      ඔය පණපිටින් වැලලෙන භීතිකාවට ප්‍රතිකර්ම කීපයක් තියෙනව බුද්ධියො...හෙහ්, හෙහ්,

      1. උඹ අදම ලියාපං අන්තිම කැමැත්තක් මලාට පස්සෙ අනිවාර්යයෙං බෙල්ල කපන්ඩ කියල. ඒත් වෙං වෙච්ච ඔළුව කඳ කෑල්ලට සම්බන්ද වෙන්ට තිබ්බොත් කරුමෙටවත් ආය හාවෙන්ට පුළුවන් නිසා ඔළුව තියන්ට කියාපං මිනියෙ පපුව උඩ. ඒ පලවෙනි ක්‍රමේ.

      2. උඹ වළලනකොට පෙට්ටියට මොබයිල් ෆෝන් එහෙකුත් දාන්ට කියාපං....එහ්, නැත්නම් මෙහෙම කරාපං. ඒක වඩාත් ලේසියි. මිනියෙ ඔළුවට හෙඩ් ෆෝන්ස් සෙට් එකක් පළන්දන්න කියාපං. ඒකෙ වයර් එක පෙට්ටියෙ ඉඳල කන්ඩියුට් එකක් දිගේ මතුපිටට අරගෙන ෆෝන් එකට ගහන්ට කියාපං. වල උඩ පොඩි හට් එකක් ගහල ඒකෙ පොඩි පහේ ජෙනියකුත් තියපං බලාගන්ට පොරකුත් එක්ක.ජෙනියෙන් ෆෝන් එක චාජ් කලෑකි,

      3. ලඟ ගෙදරකින් වයර් ඇදල චාජර් එකට සප්ලයි එක දෙන්ට පුලුවන් නම් වැඩේ තවත් ලේසියි. එතකොට තියෙන්නෙ රිමෝට් ඇක්ටිවේටඩ් මයික් එකක් උඹෙ කට ළඟට හයි කරල තියන එක. කනත්තෙ වටේ තියන පොල් ගස් දෙක තුනක ස්පීකර් බැඳල තියාපං අර මයික් එකෙන් ඇක්විවේට් වෙන විදිහට.

      Delete
    3. කෝමද මහ රෑ මැද්දේ පොල් ගස් වල තියෙන ලවුස්පීකර් වලින් "මම නැගිට්ටා..... එලියට ගනිල්ලා...." කියලා සද්දෙ රැව් පිලි රැව් දෙනකොට. හාට් ඈටැක් කාරයින්ගෙ නහර වල තියෙන තෙල් දියවෙයි නේද? :):):)

      Delete
    4. බුද්ධි

      යකෝ මටත් කියපන්කො ඔය විසඳුම.. මම තාම බයයි ඕකට..

      Delete
  13. ඔස්කාට තම කෘත්‍රිම පාද නිසා අනිසි වාසියක් ලැබෙන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතරම,............//

    ඔහුට තරග කරන්න අවස්ථාව දුන්නෙ පරීක්ෂණයට සහභාගී වෙද්දි පැලදගෙන හිටපු උපකරණයම තරග වලට භාවිතා කල යුතුයි කියන තීරණයත් එක්කලු.

    ReplyDelete
    Replies
    1. / ඔහුට තරග කරන්න අවස්ථාව දුන්නෙ පරීක්ෂණයට සහභාගී වෙද්දි පැලදගෙන හිටපු උපකරණයම තරග වලට භාවිතා කල යුතුයි කියන තීරණයත් එක්කලු. /

      මේ කොන්දේසිය අනිවාර්යයයි බුද්ධි, අපි දැන් මොනව හරි භාණ්ඩයක් මිළදී ගන්න සාම්පල් ඉදිරිපත් කරන්න කියනවනෙ. එතකොට අනුමත වුනු සාම්පල් එකට සර්ව සම භාණ්ඩ මිසක වෙන දෙයක් සැපයුවට අපි භාර ගන්නෙ නෑනෙ...

      Delete
    2. සමහර සිද්ධි අපි අතීත කතා හැටියට විතරයි අහලා තිබුනේ.

      ඒත් යුද්ධයක් ඉවරවෙන හැටි දැක්කා වගේම, ක්‍රීඩකයෙක් හැටියට ජීවිතේ අවුරුදු කිහියක් ගෙවා දාපු අද්දැකීම් එක්ක බලද්දි, මේ සිදුවීමත් හරිම පුදුම සහගතයි.

      Delete
  14. බොරිස් ප්ලොවොයිගෙ මේ පොතේ සිංහල පාරිවර්තනය මමත් කාලෙකට කලින් කියෙව්ව. බොහොම සංවෙදී කතාවක්.

    බ්ලේඩ් රනර් ගැන කරපු මිනි ඩොකියුමෙන්ට්‍රි එකක් ඔන්ලයින් බැලුව. ලින්ක් එක ආයෙ හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්කො.

    මට තියෙන්නෙ මහ අමුතුම ෆෝබියාවක් බං අයියෙ, මට හිතෙන්නෙම මම මැරෙන එකක් නෑමය කියල. ඒහෙම උනොත් ඉඳල වැඩක් නෑ බං. ඒත් මැරෙන්නෙ නැති එකේ මං ඔන්න ඔහේ නොඉඳ මොකක් කරන්නෙයි. මෙඩිකල් ජර්නල්ස් වලත් නැද්ද කොහෙද මෙහෙම ගෝබියාවක් ගැන ලියල. අනේ දන්න එකෙක් ඉන්නවනං කියනවලකො.

    ReplyDelete
    Replies
    1. @ නවම්,

      හෙහ්, හෙහ්, අම්මප උඹටත් තියෙන අසනීප....මම ඔය ගැන පොඩි රිසර්ච් පාරක් දැම්ම. ඔය ලෙඩේට කියන්නෙ බොල Nullusletumphobia කියල...හිංගලෙං අපි කියමු මෙහෙම..... අජරාමර භීතිකාව....හෙහ්, හෙහ්, කොහොමද නම?....උගුරෙ රැල් බුරුල් එහෙම ඇරල කිව්වම තියනව මහ අමුතු ගතියක් නෙවද?

      එහෙම උනොත් මක් කොරන්නෙයි බං....ඔය නවම් මාවත දිගේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉඳහං කල්ප විනාසය තෙක්....හෙහ්, හෙහ්,

      හැබැයි කොල්ලො මට මේ කල්පනා උනේ වෙන දෙයක්....උඹ මැරෙන්නෙ නැතිවෙයි කියල උඹට තියන බයට වඩා දහස් ගුණයක බයක් මටත් ඇතිඋනා...ඔව්, ඔව්, ඒත් ඒ නිසාම තමයි...ඇත්තටම මේ යකා.... මේ නවමා...මූ නොමළොත් එහෙම මහ ජංජාලයක් නෙවද වෙන්නෙ කියල...අපිට බේරෙ වැවට පනිනව ඇර වෙන කොරන්ට දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ...හෙහ්, හෙහ්,

      ඒ ලෙඩේට ඒ කිව්වෙ නවම මැරෙන්නෙ නැතුවෙයි කියල ඇතිවෙන බයට කියන්නෙ Nawamnullusletumphobia කියලයි...හිංගලෙං නවමාජරාමර භීතිකාව

      Delete
  15. මාත් ලිව්ව පිස්ටෝරියස් ගැන. මේක දැක්කෙ දැන්. හැබෑ වීරයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්, ඇත්තටම වීරයෙක් තමයි...

      Delete
  16. සූට්කේස් තාම තියෙනව..! ගොඩක් අරගන්නෙ නේවාසිකාගාරවල නැවතිලා ඉගෙන ගන්න ලමයි..!! ඉස්කොලෙ මමත් අරන්ගියා මතකයි..!

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තටම?...තාම තියනවද?...මම නම් දැකපු කාලයක් මතක නෑ කඩේකවත්....වී කියන්නෙ ඔය මම කියන සූට්කේස්මද?....ලී වලින් හදල තිබ්බෙ මට මතක විදිහට...පොඩි සරනේරු දෙකක් තිබ්බ පියනට හයි කරල...හැඬල් එක මැද එක අගුලක් හරි දෙපැත්තෙ අගුල් දෙකක් හරි තියනව...අගුල අරින්න පොඩි යතුරකුත් තියනව...ඔව්වට වැඩිහිටියො බොහෝ විට ගණකම කාකි වගෙ රෙද්දකින් මහපු කවරෙකුත් දැම්ම නැත්නම් සතියකට එක ගානෙ අරන් දෙන්න වෙන නිසා...හොඳ හයියයි ඔය සූට්කේස් එක...කෙලින් බිම හිටවල ඒක උඩ ඉඳගෙන එහෙම ඉන්න පුළුවන් කිසි අවුලක් නැතුව :)

      Delete
    2. හොහ් හොහ් හොහ්, ඔය තියෙන්නෙ. මම ආස බං උඹ ලියන්නෙ එකක් ගැන. අපි කතාකරන්නෙ ඒක හැර අනිත් හැම දෙයක්ම ගැන. අන්න ඒකටයි මම ආසම. මම සැරින් සැරේට ඇවිත් බලනවා අලුතෙන් දාලා තියෙන කමෙන්ට් මොනවද කියලා.
      ඔය සූට්කේස් එකට දාන කාකි රෙදි කේස් එක ගැන මට ඕන් දැන් තමයි මතක් වුනේ. අනේ ලියාපංකො බ්ලොග් පෝස්ට් එකක් ඉස්කෝලෙ ගෙනිච්ච සූට් කේස් ගැන. ඇයි උඹට මතක නැත්ද ඕක ක්‍රිකට් ගහන්න විකට් එකට පාවිච්චි කරනවා. එතකොට වෑන් එක එනකල් ඕවා උඩ ඉඳගෙන ඉන්නවා. අර යතුර උඹට මතකද. ඒකෙන් ඕනෙම සූට්කේස් එකක් අරින්න පුලුවන්.

      ඊට පස්සෙ ආවා අඩිඩාස් ස්පෝට්ස් බෑග්?

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. හික්ස්! මටත් තිබුනා ඔහොම පොඩි සූට්කේස් එකක් 2-3 පන්තිවලදී වගේ.. ඒකෙත් අර කිවුවා වගේ ඝණකම් රෙද්දෙන් අම්මා මහපු කවරයක් දාලා තිබුනා.. ඒකෙ මට මතකම කෑල්ල තමා අර ෂර්ට් සාක්කු වගේ මේ කවරෙ එලියෙන් පොඩි සාක්කුවකුත් මහලා දුන්නා බස් සීසන් එක දාගෙන යන්න.. උඹට මතකෙයි ඒ කාලෙ අර තඩි සීසන් එක, අර කාඩ් එක වටේට කොටු තියෙන්නෙ..

      Delete
    4. @ හෙන්රි,

      / හොහ් හොහ් හොහ්, ඔය තියෙන්නෙ. මම ආස බං උඹ ලියන්නෙ එකක් ගැන. අපි කතාකරන්නෙ ඒක හැර අනිත් හැම දෙයක්ම ගැන. අන්න ඒකටයි මම ආසම./

      හෙහ්, හෙහ්, අන්න එහෙම නෙව ඉන්න ඕන...මට මේ සම්ම ජාතියෙ බැරි දෙයක් තමයි ඔය එක විදිහට රූල් ගහල මෙන්න මේකයි සීමාව කියල ජීවිතේට වැට කඩුළු දාගන්න එක....

      පොඩි කාලෙ ඉඳලම එහෙමයි බං...මාව ඒ කාලෙ කිසි දවසක හදිස්සියට මොකවත් ගේන්න කඩේ අරින්නෙ එහෙම නෑ...අවුරුද්දට කැවුම් බදින්න පොල්තෙල් ගේන්න යැව්වොත් එහෙම වෙසක් පහුවෙලා තමයි කැවුම් කන්න වෙන්නෙ. පාරෙ තෙල් බේත් කාරයෙක් හිටියද, මම ඌ ළඟිං හෙල්ලෙන්නෙ නෑ..ඩෝප් කාරයෙක් හංදියෙ කෑ ගහනවද මට ඊට වඩා දෙයක් නෑ ආයෙ.....බාර් එක ගාව වලියක්ද මම කටත් ඇරගෙන ඒ දිහා බලාගෙන ඉන්නෙ...

      ජීවිතේට ඉස්තිර අරමුනක් නැති එක බොහෝ වෙලාවට අවාසියක් තමයි...ඒත් මක් කොරන්නද?...ඒ මගේ හැටි.....මම ඉතිං මම තමයි....ආයෙ වෙන කවුරුවත් නෑ මම වගෙ...හෙහ්, හෙහ්,

      දැං උනත් අපෙ ගෙදර තියනව පරණ ඔය පොත් පත්, පත්තර කෑලි, නිකං ඉන්නකොට කුරුටු ගාපුව...ක්‍රිකට් මැච්වල පත්තරේ ගිය විස්තර...පුරවපු කාඩ්බෝඩ් පෙට්ටි දෙක තුනක්...ඔව්ව අස් කරල පිළිවෙලක් කොරන්න ඕනය කියල දහ පාරකට වැඩිය පෙට්ටියත් ලං කොරගෙන ඉඳගන්න ඇති දහර මණ්ඩිය ගොතාගෙන..හෙහ්, මොන විකාරද?...ඔය මොකක් හරි ඒකෙ තියන එකක් කියවන්ට ගත්තම ඔන්න ඒකට සම්බන්ද සිදුවීම ඔක්කොම එකින් එක මතක් වෙනව..ඉතිං අහවල් අස්කෙරිලිද?...හෙහ්, හෙහ්, අපෙ ලොක්කි පැය දෙහෙකට විතර පස්සෙ එනව ඔන්න අනවශ්‍ය දේවල් ගිහිල්ල පුච්චල දාන්ඩ ගිනි ගොඩක් එහෙමත් ගහල....හෙහ්, හෙහ්,

      '' මොකද අනේ ඔය කරන්නෙ?...කොයි දැන් අයින් කරපුවා?''

      '' මේ පරණ ෆයිල් එකේ තිබ්බ ඒ කාලෙ ලියපුව වගයක් කියෙව්ව අනේ...වෙලාව යනව තේරුනෙම නෑ..''

      '' හා, හා, හරි හරි ඒ අස් කිරිල්ලෙන් කමක් නෑ...ඕක වෙන දවසක කරමු..දැන් ගිහිල්ල කාල ඉමු.''

      '' හා, එහෙනම් යමු..... මේක පස්සෙ දවසක කරමු.''

      '' ඔයා ඕක ඉවර කරන්නෙ නෑ මේ කපේදි..ඉන්නකො මම ඕක ඉවරයක් කරන්නම් ඔයා ගිහාම..''

      '' එපා එපා...පිස්සුද?...මම කරන්නම් ඒක...තියන්නකො මම එනකල්...''

      අස් කිරිල්ල එතනින් අවසානයි...ඔන්න ඔහොමයි මයෙ ජීවිතේ...

      / ඊට පස්සෙ ආවා අඩිඩාස් ස්පෝට්ස් බෑග්? /

      ම්හු, නෑ බං මම එහෙම එව්ව පාවිච්චි කලේ නෑ. පහේ පංතිය වෙනකල් ඔය සූට්කේස් එක උස්සගෙන ගියා....ඒ දවස්වල අම්මට කංකෙඳිරිය පොත් ටික අතේ ගෙනියන්නං කියල...පොත් අතේ ගෙනියන එක වැදගත් කමේ සාධකයක් සහ එහෙම ගෙනියන්නෙ පිළිගතයුතු පුද්ගලයො කියල ඒ දවස්වල මගෙ තිබ්බ පිළිගැනීමක්.

      '' අනේ අම්මෙ....මම පොත් අතේ ගෙනියන්නංකො...අපේ පන්තියෙ ඔක්කොමල එහෙමයි කරන්නෙ...මම විතරයි... ''

      '' පිස්සුද?...නිකම් පොත් ටික නාස්ති කරගන්න...එපා එපා... ''

      ( ඒ දවස්වල පොත් නිකම් දුන්නෙ නෑනෙ බොල....හෙහ්, හෙහ් )

      මම ඉතිං කටත් විරවගෙන නහයෙං අඬ අඬ යනව වත්ත පහලට...මතක් වෙනකොටත් ආසයි බං....

      Delete
    5. @ Buratheno,

      / උඹට මතකෙයි ඒ කාලෙ අර තඩි සීසන් එක, අර කාඩ් එක වටේට කොටු තියෙන්නෙ../

      හප්පච්චියේ මොකෝ බොලේ මතක නැත්තෙ?...දැං සීසන් තියනවදවත් මංදා...ඔය සීසන් එක වටේට කොටු තිබ්බ හා...කියාපං බලන්ට කීයක්ද කියල?.....62 ක් දවසට දෙක ගානෙ...උදේට එකයි හවහට එකයි...ඒ දවස්වල ටියුෂන් යන නිසා අපි ෆුල් ගේමක් දෙනව සීසන් එක නොකපා බේරගන්ට...කොන්දලත් අරින්නෙ නෑ...කොහොම හරි බලන්නෙ කපන්ටම තමයි...මුල් කාලෙ සීසන් එක දෙනකොටම සෙනසුරාද ඉරිදාවලුයි පෝය වගෙ නිවාඩුයි කපලමයි දුන්නෙ ඩිපෝ එකෙං...ඒත් පස්සෙ පස්සෙ නොකපම දුන්න...මාසෙන් මාසෙට සීසන් එක එක එක පාට...

      Delete
  17. අඩේ බුරා, මම ඒත් බැලුව කෝ උඹ කියලා. ගමේ ඔලිම්පික් නිසා බිසි ඇති. හික්! ලොකූ අඩුපාඩුවක් තිබ්බා මෙතන. දැන් ඒකත් හරි!

    ඔව් බං ඒ සූට්කේස් කවරවල සාක්කුවකුත් තිබ්බා තමයි.

    ඔව් රවියා අර සූට් කේස් එකෙන් පරිනාමය වෙලා පොත් අතේ ගේන එකෙන් සංකේතවත් වුනේ ඉලන්දාරිකම. ඒකනෙ.

    අර සීසන් ටිකට් ගැන මම වෙනම බ්ලොග් පෝස්ට් එකකුත් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නෙ බං. ඒකට කමක් නෑ, ඔය සීසන් එකේ කො‍ටුව නොකපා ඉන්න වගේම මම ඒදවස් වල මාර ඔපරේෂන් කරනවා ඕකට ගේම දෙන්න. අර ඉස්පිරිතාලෙන් දෙන දම්පාට බේත් මතකද? ජෙන්ෂන් වයලට් කියන්නෙ. ඕවා, එතකොට කලු පාට ඉන්ඩියන් ඉන්ක් හෙම පාවිච්චි කරනවා සීසන් එක වෙනස් කරන්න. සීල් වල දිනේ හදන්නෙ අර දම්පාට තීන්තෙන්. එක මාසයක් හදාගත්තාම සීසන් එකේ සල්ලි ටික ඉතුරුයි. ඒ දවස් වල ඒක මාර වාසියක් කොල්ලෙකුට. යකෝමේවා ලියලා මාව කුදලාගෙන යයිද.දන්නෙත් නෑ.

    රවී මගෙත් ඔයවගෙ තියාගෙන ඉන්න සිහිවටන නම් හරියට තියෙනවා.

    අර අරමුනක් නැතුව ගමන් යන එක තියෙනවා නේද? අපි අරමුනක් ඇතුව යන්නෙ ෂොපිං යනකොට වාගේ තමයි. යන්න ඕනෙ පාර පවා ප්ලෑන් කරනවා. කාලය ඉතුරු කරගන්නයි එක පාරෙ දෙපාරක් නොයන්නයි. ඒ ඇර ඔය නිවාඩුවට යන රෝඩ් ට්‍රිප් වලට අරමුනක් කියක්ලා එකක් නෑ. පාරට ගිහින් මැප් එක බලලා තමයි එතන ඉඳන් ප්ලෑන් කරන්නෙ. අපි එහෙමෙහෙ යනකොට අපිත් එක්ක එන කීපදෙනෙක් ඉන්නවා. උන්ට අපිව තේරුම් ගන්න බෑ. උන් අහනවා

    "කවද්ද උඹලා ආපහු එන්නෙ?"
    "ඒක නම් කියන්න බෑ."
    "කොහෙද උඹලා යන්නෙ?"
    "ඒකත් හරියට කියන්න බෑ."

    ඉතින් මූණවල් වලින් පේනවා මුන් අපි පිස්සෝ කියලා හිතන බව. මොකද උන්ට ලමයින්ගෙ පන්ති, ගෙවල් වල බල්ලො යනාදී වශයෙන් වගකීම් ගොඩයි.

    අනික උන්ට තේරෙන්නෙ නෑ මම ෂෝට් කට් වල නොගිහින් දුර පාරෙ යන්නෙ ඇයි කියන එකත්. උන්ගෙ වාහනවල යනකොට මේ කැඩිච්ච පාරවල් වල යනවා ලඟයි කියලා අරයස අගේට කාපට් කරපු පාර තියෙද්දි. අන්තිමට බලනකොට, වෙලාවත් ගතවෙලා. වැඩිපුර ඩීසලුත් පිච්චිලා, ඇඟටත් හිතටත් දෙකටම අමාරුයි. උන්ට නොතේරෙන දෙයක් තමයි බොලව්, අපේ ගෙදර උන් ගමනාන්තයට වඩා ගමනින් ආශ්වාදයක් විඳින බව.

    ඔන්න මාත් සූට් කේස් එකෙන් පටං අරන්, සීසන් ටිකට් හරහා, රෝඩ් ට්‍රිප් වලට ගිය කමෙන්ට් එකක් දැම්ම/ අපි මොනවා ගැනද කතා කර කර හිටියෙ? ආ සැබෑ මිනිසුන් ගැන නේ!!

    අඩේ බුරා, මොකද බං උඹ බ්ලොග් එකක් නොලියන්නෙ? අපි ඇවිත් පදිංචි වෙලා ඉන්නම්කො. අඩේ රවි, මේවනෙ බං බ්ලොග් වල ලියන්න ඕනෙ. කමක් නෑ. උඹ මොනවා ලිව්වත් අපි කතා කරන්නෙ අපිට ඕන දේනෙ, හියෑක් හූ!!!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. // උන්ට නොතේරෙන දෙයක් තමයි බොලව්, අපේ ගෙදර උන් ගමනාන්තයට වඩා ගමනින් ආශ්වාදයක් විඳින බව. //

      උඹ මේ කියන කතාව පිටිපස්සෙ ලොකු තේරුමක් ති‍යෙනවා හෙන්රියො.. ඕකත් හරියට අපේ ජීවිත වගේ.. සමහරු ඉන්නවා මුළු ජීවිතේම ටාගට් එකක්.. ඉතිං ටාගට් පස්සෙ හතිවැටෙනකං දුවනවා මිසක් ටිකක් නැවතිලා පොඩ්ඩක් වටපිට බලලා රසයක් විඳින්න උන් දන්නෙ නෑ.. ඔය ජාතියෙ එවුන් ට්‍රිප් යන්නෙත් එහෙම ටාගට් තියාගෙන තමා, හරියට වෙලාවට පිටත්වෙලා හරියට වෙලාවට ගෙදර එනවා.. අනේ අහිංසක ජීවිත!! :D

      // අඩේ බුරා, මොකද බං උඹ බ්ලොග් එකක් නොලියන්නෙ? //

      බ්ලොග් එකක් ලියන එක එහෙම ආවට ගියාට කරන්ට බෑ ‍බොලවු.. මේ සිංහල බ්ලොග් අවකාශයෙ ඉන්නවා පූර්ණ බලතල හිමි අයිතිකාරයො කියලා කොටසක්.. උන්දැලාව මුණගැහිලා පර්මිශන් අරන් ඉන්න ඕන මොනාකරන්නත් කලින්.. ;)

      Delete
    2. ඉතින් බූරෝ පොඩ්ඩි පර්මිශන් දීලා ගොඩක් කල්නේ හී හී....

      Delete
    3. @ Buratheno,

      / ඉතිං ටාගට් පස්සෙ හතිවැටෙනකං දුවනවා මිසක් ටිකක් නැවතිලා පොඩ්ඩක් වටපිට බලලා රසයක් විඳින්න උන් දන්නෙ නෑ.. /

      අය මඟුලක් කතා කොරනව...නැවතිල වටපිට බලන්ට...එහෙම කොරන්ට කාටද වෙලාව තියෙන්නෙ බොල?.....අජ ලබ්ධිකාව මිහිමතට පතිත වන තෙක් මහත් අපේක්ෂා සහගතවැ උහු ලුහුබැඳි සිවල් තෙම මෙන් ඔවුහු සියල්ලෝ නොනවතින ධාවනයෙක් යෙදී සිටින්නෝය..අහෝ දුකෙකි, බේදයකි, ලේබකයා මලේය!!!

      මයෙ ජීවිතේ ඇත්තටම මම අහපු අපූරුතම කතාවක් මේක...උඹ නම් අහල ඇති එකත් එකටම...මේ අර ගහක් යට වැතිරිල බොහොම රිලැක්ස් එකේ හිටපු තරුණයගෙ කතාව...දන්නවනෙ නේද?...ඔතනට ආව වයසක බුවෙක්.

      '' මොකද පුතා ඔය කරන්නෙ?....ඇයි ඔහොම ජීවිතේ නාස්ති කරන්නෙ?...දැන් බලන්න ඔයා මහන්සි වෙලා මොනවහරි ව්‍යාපාරයක් කලානම් අවුරුදු දහයක් පහලවක් යනකොට......බ්ලා, බ්ලා, බ්ලා.......''

      කොහොම හරි අන්තිමට ලොක්ක කියන්නෙ මේ ටික...මහන්සි වෙලා සල්ලි හම්බ කරල දරු මල්ලො ලොකු මහත් කරල රටට ජාතියට සේවයක් කරන්නෙයි කියල.

      තරුණය කට කොණකින් හිනාවෙන මෙහෙම අහනව.

      '' හරි ඔබ තුමා ඔය කියන ඔක්කොම මම කලා කියමුකො..ඊට පස්සෙ ඔය ඔක්කොම ඉවර වෙලා මම මොකද කරන්නෙ? ''

      '' ඊට පස්සෙ තමුන්ට පුළුවන් බොහොම විවේකීව නිවාඩු පාඩුවෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න, ''

      '' ඉතිං දෙයියෝ සාක්කි ඒකට ඔය හැටි වද වෙන්ට ඕනය.. මම මේ දැනුත් කරන්නෙ ඒකමනෙ...''

      මේකෙ කතා පොඩ්ඩෙ තියෙන්නෙ මහ නරුම දර්ශනයක් කියල එක අතකට හිතෙයි...ඒත් අහපු දා ඉඳල මයෙ හිතට බොහොම සමීප කතාවක්...ඔන්න ඇත්තම කිව්වොත්...

      Delete
    4. ‍මෙන්න මං අහලා තියෙන වර්ශන් එක.. :D

      The American Dream

      An American businessman was standing at the pier of a small coastal Mexican village when a small boat with just one fisherman docked. Inside the small boat were several large yellowfin tuna. The American complimented the Mexican on the quality of his fish.

      "How long it took you to catch them?" The American asked.

      "Only a little while." The Mexican replied.

      "Why don't you stay out longer and catch more fish?" The American then asked.

      "I have enough to support my family's immediate needs." The Mexican said.

      "But," The American then asked, "What do you do with the rest of your time?"

      The Mexican fisherman said, "I sleep late, fish a little, play with my children, take a siesta with my wife, Maria, stroll into the village each evening where I sip wine and play guitar with my amigos, I have a full and busy life, senor."

      The American scoffed, "I am a Harvard MBA and could help you. You should spend more time fishing and with the proceeds you buy a bigger boat, and with the proceeds from the bigger boat you could buy several boats, eventually you would have a fleet of fishing boats."

      "Instead of selling your catch to a middleman you would sell directly to the consumers, eventually opening your own can factory. You would control the product, processing and distribution. You would need to leave this small coastal fishing village and move to Mexico City, then LA and eventually NYC where you will run your expanding enterprise."

      The Mexican fisherman asked, "But senor, how long will this all take?"

      To which the American replied, "15-20 years."

      "But what then, senor?"

      The American laughed and said, "That's the best part. When the time is right you would announce an IPO (Initial Public Offering) and sell your company stock to the public and become very rich, you would make millions."

      "Millions, senor? Then what?"

      The American said slowly, "Then you would retire. Move to a small coastal fishing village where you would sleep late, fish a little, play with your kids, take a siesta with your wife, stroll to the village in the evenings where you could sip wine and play your guitar with your amigos..."

      Delete
    5. @ Buratheno,

      ඇත්තටම බූරා, එහෙම හිතනකොට මේ අපි දුවන දිවිල්ලෙ...මම මේ කියන්නෙ පුද්ගලිකව උඹල අපි ගැන එහෙමෙ නෙවෙයි..පොදුවෙ මනුෂ්‍ය වර්ගයා ගැන හොඳද?....මෙ දිවිල්ලෙ තේරුම නැත්නම් අවසානය මොකක්ද කියල....Mind Prevails Over All Others කියලනෙව කියන්නෙ..ඒ කියන්නෙ හිත තමයි මූලික, හිතම තමයි ප්‍රධාන, ඉතින් හිතේ සතුට නැත්නම් Inner Peace කියන එක ...ඒ කියන්නෙ මේ අභ්‍යන්තර සංහිදියාවක් අපිට ලැබෙනවද මෙහෙම ගාල කඩාගෙන දුවල...නව දැනුම, නොදන්නා දේ දැන ගැන්ම ඉතාම වැදගත් තමයි. මිනිස්සු අද මේ ඉන්න තත්වයට පත් උනේ අන්න ඒ නොසිඳෙන දැනුම් පිපාසය නිසාම තමයි. ඒත් What Have We Achieved?...මොනවද අපි ලබාගෙන තියෙන්නෙ? What Are We Trying To Achieve? මොනවද අපි ලබාගන්ට අපේක්ෂා කරන්නෙ?

      Its high time we all sat down and think over what do we need? And more important what should be our goals in life?....My personal opinion is even now we may be too late..:( :(

      Delete
    6. අවුරුදු දෙදාස් පන්සීයකට කලින් උන්නාන්සෙ පැහැදිලිවම ඕක කිවුවනෙ බංස්.!! "සංතුට්ඨි පරමං ධනං"

      ඔතන ප්‍රශ්නෙ ටාගට් තිබීම නෙවෙයි (ටාගට් නැත්තං ඒ ජීවිතෙන් වැඩක් නෑ නෙවැ), තමන්ට අවශ්‍ය ටාගට් තෝරා-බේරා ගැනීම හා ඒ තෝරා-බේරාගත් ටාගට් තමන්ට කොච්චර අවශ්‍යදැයි වටහා ගැනීම.. නිකං "අරූ කරන නිසා මාත් කරන්න ඕන" වීම වගේ නැතුව..

      අනිත් දේ තමා විටෙන් විටේ නැවතිලා self review එකක් කිරීම, ටාගට් එකට තව කොච්චර දුරද, නැත්තං ඒක දැනටමත් පහුවෙලාද කියලා හොයලා බැලීම.. අන්තිම දේ තමා ටාගට් එක achieve කලාට පස්සෙ ටිකක් නැවතිලා නිවිහැනහිල්ලෙ ඒක enjoy කිරීම..

      Delete
  18. කෝ බං අයියෙ මං උඹ මේ පෝස්ට් එක දාපු ගමං ඇවිල්ල දාපු කමෙන්ට් එක නෑ නෙව....??
    මේ අපේ ඩූඩ් අයිය මගෙං උඹේ පෝස්ට් එක දැක්කෙ නැද්ද කියල ඇහුවාම මං බැලුව මං දන්නෙ නැතුව උඹ ආයෙත් එකක් දාලද කියල...
    යකෝ මං ඇවිල්ල කියවල දාල ගිය කමෙන්ට් එක නෑ!!!
    උඹ මොකක් හරි නෙයියාඩගමක් නටල තියෙනව මේ පෝස්ට් එකේදිං නං..
    දැං ඉතිං ඒක ඒ විදියටම ආපහු දාන්ඩ බෑ නෙ...
    ඒ වුණාට මෙන්න මේ විදියෙ දේවල් තමයි ඒකෙ තිබුනෙ
    මට තියෙන අර ඉන්ද්‍රචාප භීතිකාව ගැන දන්නව නෙව....
    ඒක ඇරෙන්ඩ මට තව ශීනෙං පේනව මගෙ ඇස් ඉස්සරහ මනුස්සයෙක් ලොකු වාහනෙකට අහුවෙනව...
    මං දන්නව ඒ මං එහෙම දේවල් බලන්ඩ බය හන්දයි මට එහෙම නිතර ඒක පේන්නෙ කියලත්!!


    ප/ලි
    කාලාන්තරේකට පස්සෙ ගෙදර ගියා මේ සති අන්තෙ...ගෙදර ගියානෙ...
    ඉස්සෙල්ලාම කළේ පොත් අල්මාරියෙ යතුර හොයං ඉබ්බව ඇරල සැබෑ මිනිසෙකුගේ කතාවක් අරගත්ත එක...
    දහ වෙනි පාරට විතර ආයෙත් ඒක කියවන්ඩ මතක් කළාට රවී අයියට බොහොම ස්තූතියි!!!!

    ReplyDelete
    Replies
    1. / කෝ බං අයියෙ මං උඹ මේ පෝස්ට් එක දාපු ගමං ඇවිල්ල දාපු කමෙන්ට් එක නෑ නෙව....?? /

      අඩේ උඹ සිකුරාදම කමෙන්ට් එකක් දැම්මය?....මම මේ ස්පෑම් වෙලාවත්දෝ හෝයි කියල ගෙහුං හිට බැලුව..ම්හු..නෑ නෙව පේන තෙක් මානෙක...අම්මප මක් උනාද ඒකට?...මම හිතන්නෙ එකත් එකටම එදා සිකුරාද මේ පෝස්ට් එකට මහ අලකලංචියක් උනා නෙව...ඊට පස්සෙ ඒක රෙපයාර් කොරනකොට බොගෙ කමෙන්ට් එක අන්තර්දාන වෙන්ට ඇති...ඔව්ව ගනන් ගන්න එපා බොල...දන්නවනෙ අර නැට්ට පිටිං.....ඔය දාන කමෙන්ට් සේව් කරල තියාගං බං මේ මං වගෙ...හෙහ්, හෙහ්,

      / මට තියෙන අර ඉන්ද්‍රචාප භීතිකාව ගැන දන්නව නෙව.... /

      මොකද බොල මම නොදන්නෙ?...ඔය නම යෝජනා කලෙත් මම නෙව...හෙහ්, හෙහ්,

      අඩේ..ඔන්න බලාපංකො අර එකසිය පණහක් විතර තියන ලිස්ට් එකෙත් නෑනෙ ඔය ඉඳුසැව් බිය ගැන....:( :(

      How do I overcome iridophobia(fear of rainbows)?

      I have no superstitions regarding rainbows.I have no doubt on how they are formed.Although I'm heterosexual, I don't have homophobia.But I do fear rainbows.The bigger they are the more frighten they are. I don't recall any traumatic experience involving rainbows. How do I overcome this phobia.?

      Answer -

      When you are afraid your somatic nervous system activates. That's what pumps your blood faster, and alla that other body sensations indicating fear. But your somatic system can only stay active for about 30-40 minutes.

      What you do is face your fear. One day when there is a big rainbow, go outside, take a lawn chair and look at it as long as it is there.If you face your fear for about 40-45 minutes ( not running away or looking away or going back into the house ) then your somatic system dies down and return to the normal.( Your parasympathatic state kicks in again. ) Then you find yourself facing your fear and not feeling afraid. That getd rid of the phobia for most people.

      ඒත් Iridophobia කියල ගහල බැලුවම මෙන්න මෙහෙම තොරතුරක් ආව...මේකෙ හැටියට මයෙ අම්මා...උඹෙ Somatic Nervous System එක...සිංහලෙන් නං දෛහික ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් කචල්...එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අඩ පණ වෙලයි තියෙන්නෙ ( ඔය දිවයින පත්තරේ සිංහල...හෙහ්, හෙහ්, " වැඩ වර්ජනය නිසා ඊයේ රෝහල් සේවා සම්පූර්ණයෙන්ම අඩපණයි " ) හැබැයි ඕකට ප්‍රතිකර්මයත් කියලම තියනව...ඒක ආයෙ අමුතුවෙන් කියන්ට දෙයක් නම් නෙවෙයි...ෆෝබියාවකට ප්‍රතිකර්මය ෆෝබියාවට මුහුණ දෙන එක...ඒ නිසා මීට පස්සෙ දේදුන්නක් පෑව්වම මිදුලෙ පුටුවක් තියාගෙන ඒ දිහා බලාන හිටහං විනාඩි 45 විතර. ඔෆිස් වෙලාවක නම් ඔෆිස් එකේ මිදුලෙ උනත් කිසිම වැරැද්දක් නෑ...

      / ඉස්සෙල්ලාම කළේ පොත් අල්මාරියෙ යතුර හොයං ඉබ්බව ඇරල සැබෑ මිනිසෙකුගේ කතාවක් අරගත්ත එක.../

      සැබෑ මිනිසෙකුගේ කතාවක් ගැන තව පොඩි කතාවක් තියනව...ඕකෙ ඔය අලෙක්සේයි කකුල් කැඩිල සති ගානක් බඩ ගාගෙන ආපු කතාව අහල කවුද කෙනෙක් කියනව නේද මෙහෙම..

      '' විශ්වාස කරන්නත් බෑ...හරියට ජැක් ලන්ඩන්ගෙ නවකතාවක් වගෙයි. ''

      ඕක කියවල මට පුදුම ආසාවක් තිබ්බෙ ජැක් ලන්ඩන්ගෙ පොත් කියවන්ට. ඒ දවස්වල හෙව්ව හෙව්ව තිබ්බෙ නෑ පරිවර්තනයක්. පස්සෙ කාලෙක මම ජැක් ලන්ඩන්ගෙ ඔරිජිනල් පොත් කීපයක්ම කියෙව්ව.

      '' Call of the wild '' කියන පොත ආරියවංශ රණවීර පරිවර්තනය කරල තියනව '' වනපෙත අඬ ගසයි'' කියල..උඹ කියෝල තියනවද?.....නැත්නම් කියවාපං හොයාගෙන...හෙහ්, හෙහ්,

      Delete
    2. හපොයි උඹ පොඩ්ඩක් හිතපං අයියෙ.. දැං ඔය බරගාණක් පෝබියා ලිස්ට්එකේ මට තියෙන එක නෑ...
      ඒකෙන්ම පේනව නෙ මං විශේෂිත පෝබියාවකින් සමන්විත ස්ත්‍රී රත්නයක් කියල... දැං වත් පිලි ගනිං ඒක...

      /ඔෆිස් වෙලාවක නම් ඔෆිස් එකේ මිදුලෙ උනත් කිසිම වැරැද්දක් නෑ.../
      හම්බවෙන පනං හතරත් නැති වෙන වැඩක් තමා
      අනේ මං ජැක් ලන්ඩන්ගෙ පොත් කියවල නෑ නෙව... මං හොයාගෙන කියවන්නං ඒ පරිවර්තනය මම දැකල තියෙනව!!!

      Delete
  19. සැබෑ මිනිසෙකුගේ කථාවක් ඔන්න ඉතිං මාත් කියවලා තියෙනවා, හැබැයි වෙන කෙනෙකුගේ පොතක්. ඒ පොත අවුරුදු 2 තුනක් අපේ ගෙදර තිබුනා. අවසානේ ඒ අයිතිකාරිය ඒක ඉල්ලාගෙන ගියානේ... :( :D


    පස්සේ කාලෙක මං ලඟ තියා ගන්න ඕනෑ නිසාම ‍පොත මිල දී ගත්තා. ඒක නං අර කලින් තිබ්බ පොත වගේ දහ දොළොස් පාරක් කියැව්වේ නැහැ. අඩුම තරමින් එක පාරක්වත්! පොත අගේට රාක්කෙට වෙලා ඉන්නවා.


    සූට් කේස්!!!

    පුංචි ම කාලේ මගේ ඇඳුම් කැඩුං ටික අඩුක් කරලා තියා ගන්න ටිකක් ලොකු සූට් කෙස් එකක් අම්මා මට දීලා තිබුනා. ඒක නං තාම අම්මලාගේ ගෙදර මඩුවක තියෙනවා වගේ මතකයි.

    මට එක වසරෙදි තාත්තා අරං දුන්නා සූට් කේස් එකක්. කොහිද අපේ පංතියේ කාටවත් එහෙම එකක් තිබුනේ නැහැ. දැන් තමයි තේරෙන්නේ, පුංචි කමට ළමයින්ගේ තියෙන සමහර ගතිගුණ. එයාලා සේරම වගේ මගේ සූට් කේස් එක බොහොම නොවටිනා දෙයක් වශයෙන් කථා කලා. ඒකට මෝඩ වුනු මම මුලින් ආසාවෙන් ගෙනිච්ච සූට් කේස් එක ගෙනියන්න අකමැත්ත පල කරලා බෑග් එකක් ඉල්ලා ගත්තා. අපරාදේ. ආයේ කවදා සූටි සූට් කේස් එකක් අරං ඉස්කෝලේ යන්නද‍?

    ReplyDelete
    Replies
    1. / අපරාදේ. ආයේ කවදා සූටි සූට් කේස් එකක් අරං ඉස්කෝලේ යන්නද‍? /

      අපොයි බොලේ...එහෙම විස්සෝප වෙන්ට එපා,වැඩිම උනොත් තව අවුරුදු දෙකයි..ආයෙම ගිහෑකි සූට්කේස් එහෙකුත් අරගෙන ඉස්කෝලෙ...හෙහ්, හෙහ්,

      '' අනේ අම්මි මේ මට එපා සූට්කේස්...පන්තියෙ වෙන කවුරුත් ගේන්නෙ නෑ එව්ව...මටත් අරං දෙන්නකො බෑග් එකක්.''

      '' නෑ, නෑ, සූට්කේස් තමයි හොඳ...ඉන්නකො මම ඔයාට ඉස්කෝලෙ ගේට්ටුව ගාවටම සූට්කේස් ගෙනිහින් දෙන්නම්කො...හොඳද?''

      '' අම්මටත් පිස්සුද මන්දා....එපා කියද්දි සූට්කේස් එකක් අරන් දුන්න මදිවට ඔයාම ඒක ඉස්කෝලෙ ගේට්ටුව ගාවටත් අරං ගිහිල්ල දෙනව...හිහ්, හිහ්,''

      මගේ අපේක්ෂාව ඉටු විය. අවසන මම නැවත සූට්කේසයක් ද රැගෙන පාසල් යන්නෙමි.

      Delete
  20. ෆෝබියා ගැන මුලින් ම මට අහන්න ලැබුනේ ඉංගිරිස් ඉගෙන ගන්න ගිහින්. අපිට එක ප්‍රැක්ටිකල් එකක් තිබුනා තමන්ට තියෙන ෆෝබියාවක් ගැන කථාවක් පවත්වන්ට. ෆෝබියා කියන එක ඒ ඉංගිරිස් ජාතික ගුරුතුමිය පහදා දුන්නේ අනියත බිය, පුහු බිය වගේ අර්ථයක් එන අයුරින්. ඉතිං මං දහ අතේ කල්පනා කරන්න ගත්තා මට තියෙන ෆෝබියාව මොකද්ද කියලා. අවසානේ සර්පයින්ට තියෙන බිය අලලා කථාවක් ගොඩ නගාගෙන ගුරුතුමිත් එක්ක අයි ‍කොන්ටැක්ට් පවත්වා ගනිමින්, අත පය විසි කරමින් හිනා වෙමින් කථා කරලා, ලකුණු 9/10ක් වගේ ගණනක් ගත්තා. ඔන්න මගේ ෆෝබියාව. (හරියට සතුටු දෙයක් ගැන කථා කරනවා වගේ තමයි අන්තිමට බැලුවහම මං කථා කරලා තිබුනේ. ඒ වුනාට ඇත්තටම ඒ කාලේ මං මාර බයයි සර්පයින්ට. ගැඩවිලුන්ටත් බයයි කිව්වහම.... දැන් නං එච්චරම නැහැ මං හිතන්නේ. මුහුණු පොතේ කාලෙන් කාලෙට යන පිංතූරු දැක්කහම මදෑ බය ඇරෙන්න)


    හැබැයි අපේ පංතියේ පිරිමි ළමයෙක් කිව්වේ එයා උස් තැන් වලට බයයි කියලා. ඉතිං ඒ වෙලාවේ ඒක මට පුදුමයක් වුනා. ඇයි බොලේ එහෙම බය වෙන්නේ කියලා. මට ඔය බින්දි අක්කාත් කොහිද කියලා තිබුනා වගේ, උස තැනකට නැග්ගොත් පැනලා බලන්න වගේ හිතිලා තිබුනාට බය වෙන්න හිතිලා තිබුනේ ම නැහැ මං හිතන්නේ. අන්තිමට ඔය ගැන දිගින් දිගටම හිතලා මාත් හදාගත්තා උස් තැන් වලට බය ෆෝබියාව. සත්තකින්ම ඒ ගැන හිතද්දිත් දැන් මගේ ඇඟ සලිත වෙලා යන තරමට උස් තැන් වලට නැගීම ගැන පුදුමාකාර බයක් මගේ හිතේ තියෙනවා. කොටින්ම මේ ගිය සිකුරාදා හවස මේ පෝස්ට් එකේ වැඩකටයුත්ත ඉවර වෙලා රෑ නිදියගෙන බොහොම බයානක හීනෙකුත් දැක්කා. කඩවත නගරයේ තනි කණුවෙන් හදපු (නෙළුං කණුව වගේ එකක් ඈ) උසසසස ස්ටේජ් එකක, එච් අයන් වලින් හදපු ‍ෆ්රේම් එකක, චෙකර්ඩ් ප්ලේට් වලින් ගහපු තට්ටුවක් උඩ තියෙන රෙස්ටූරන්ට් එකක මායි යාළුවාගේ බබායි වාඩි වෙලා ඉන්නවා බීම ගේනකං.... වටේට කිසිම ආවරණයක් නැහැ. හොඳ ම වැඩේ නගින්න කලින් පහළදි ඕඩර් කරලා එන්න ඕනෑලු. ඒක කරලත් නැහැ මං. මේ උලවව්වට මොකට නැග්ගාද කියලා බොහොම බයෙන් ඉන්නවා. ටිකකින් ඔන්න හොඳ වෙලාවට තව කට්ටිය ආවා. ඒ වෙලාවේ මං හිතනවා,ක්රේන් එකක් ගෙන්නාගෙන මිසක් මේකෙන් නං බහින්නේ නැහැ කියලා. පස්සේ ටික මතක නැහැ. ඔන්න බලන්න හදාගෙන තියෙන ෆෝබියාවේ තරම.

    අනුරාධපුරේ ගිය වෙලාවක ලොක්කි වගේ නගින්න ගියා අභයගිරියට. හප්පේ පඩි 10ක් වගේ නැගලා ආතබූත නැතුව වෙව්වල වෙව්ලා බැහැලා ආවා. ඒ වෙලාවට දැනෙන හැඟීම හිතා ගන්න බැහැ. කවදාවත් මේ බය නං ඇරෙන එකකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. / අනුරාධපුරේ ගිය වෙලාවක ලොක්කි වගේ නගින්න ගියා අභයගිරියට. හප්පේ පඩි 10ක් වගේ නැගලා ආතබූත නැතුව වෙව්වල වෙව්ලා බැහැලා ආවා. ඒ වෙලාවට දැනෙන හැඟීම හිතා ගන්න බැහැ. කවදාවත් මේ බය නං ඇරෙන එකකුත් නැහැ./

      ආ, ඔය තියෙන්නෙ...ඔය තියෙන්නෙ...පුදුමයක් නෙවෙයි ඔහොම කකුල් වෙව්ලපු එක...සෙල්ලං කෙලියක් කියලද හිතන්නෙ සර්වඥ ධාතු නිදන් කරපු චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් උඩට පාපිෂ්ඨ නුවණ මඳ කාන්තාවන් ගොඩ වෙනව කියන එක...අනෙ අම්මප හිතනකොටත් මයෙ මයිල් කොයිල් වෙනව....

      මම වැඩ කලා ඔය අභයගිරියෙ අවුරුද්දක් විතර...පිරිමි වෙලත් බොල අපි කිසි දවසක නැග්ගෙ නෑ චෛත්‍යය රාජයා උඩට..අන්න ඒක දැන ගනිං...දවසක් තුංකුදාර් වෙන්ට ගහල සලපතල මළුවෙ හතර ගාතෙ දාල බුදිය ගත්ත නං තමයි...හෙහ්, හෙහ්, එව්ව වෙනම......

      Delete
  21. හපෝයි මෙයාගෙ පෝස්ට් වලට කමෙන්ට් කරන එක ලේසි නෑ. පටන් ගන්නෙ එකකින්, ලියන්නෙ තව එකක්, ඉවර කරන්නෙ තව එකකින්. පෝස්ට් එක එක සැරයක් කිය්වලා, කමෙන්ට් ලියද්දි ආයෙ කොටසින් කොටස කියවලා එක එක කොටස ගැන වෙන වෙනම තමයි කමෙන්ට් ලියන්න වෙන්නේ!

    ඇයි අයියේ ඔහොම කැත වැඩ කරන්නේ? අර මකුළු භීතිකාව ගෑණු උදවියට විතරක් නෙවෙයි පිරිමි උදවියටත් තියෙනවා කියලා ඔය උදාහරණත් හම්බවෙලා තියෙන්නේ. හරිම අසාධාරණයි හොඳද. අනික ඔන්න මේ කියලා තියෙන එව්වයින් තේරෙනවා අයියා පැහැදිලි මඩ ගැහීමේ චේතනාවෙන්ම තමයි ඔය ටික ලියලා තියෙන්නේ කියලා. ඔන්න මම ලොජිකල් විදිහට ඔප්පු කරන්නයි යන්නෙ හොඳද. ඔය මකුළු කතාව ලියන්න කළින් අයියා උඩින් ලියලා තියෙනවනේ භීතිකාවක් වැළඳෙයි කියලා ඇති වන භීතිකාව ගැන අළුතෙන් නමක් දාලා. අයියා දාලා තියෙන භීතිකා ලිස්ට් එක හොඳට ඔක්කොම කියෙව්වනම් පේනවා ඒ ලිස්ට් එකේ ඒක දැනටම තියෙනවා කියලා. ඒ නිසා මේ වෙන බ්ලොග් එකකදී අපි දන්න ළමයෙක් මකුළුවන්ට බය කතාව කිව්ව බව මතක තියාගෙන ඉඳලා ඒකෙ නම හොයාගෙන ඇවිල්ලා මෙහෙම කිව්වහම ඒක හොඳද මං අහන්නේ? :P :P

    හැබැයි අයියේ ඒ ලිස්ට් එකනම් මාර වටිනවා හොඳේ. ඒක මං උඩ ඉඳං පහළට ඔක්කොම කියෙව්වා. එක්කෙනෙකුට එක ෆෝබියාවකට වඩා තියෙන්න පුළුවන් කියලා මං ඒකෙන් දැනගත්තා. :D

    /*රාජේශ් ඛන්නා දන්නව නේද?...මේ මාසෙකට විතර උඩදි මැරුණෙ...*/
    අනේ රාජේශ්ව දන්නෙ නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. බොලිවුඩ් වල තාමත් නෑ ඒ වගේ මූණක්, ඇස් දෙකක් තියෙන නළුවෙක්. :( ඒත් ඔය කියපු ෆිල්ම් එකනම් මම බලලා නෑ.

    සැබෑ මිනිසෙකුගේ කතාවක් මමත් ආසම පොතක්. මගේ අම්මා තමයි ඒ පොත ගැන විස්තර මට කිව්වේ. ඊට පස්සෙ පුස්තකාලෙදි ඒ පොත දැක්ක පළවෙනි දවසෙම ඒක අරගෙන එක හුස්මට කියෙව්වා. තවමත් ඒ කතාවට මම හරිම ආසයි. ඒක සත්‍ය කතාවක් බව දැනගෙන කියෙව්වාම ඒකෙන් අපේ ජීවිතේට එකතු වෙන ධෛර්යය තවත් වැඩියි.

    මේ කියන ඔස්කා පිස්ටෝරියස්ගේ කතාවත් ඒ වගේමයි. අත් පා කිසිවක් නැතුව, අත් පා තියාගෙන දුර්මුඛ වෙලා ඉන්න උදවියව දිරිමත් කරමින් කතා පවත්වන නිකලස් ජේම්ස් ගැනත් අහලා ඇති නේද? එයාත් බොහොම උතුම් මිනිසෙක්. ඊටත් වඩා ඔස්කාගේ මම දකින විශේෂත්වය ධාවකයෙකුට අවශ්‍යම වෙන දෙපා නැතිව, ඒත් ඒ දේ තමන්ට බැරි නැහැයි කියලා ඔප්පු කරපු කෙනෙක් නිසා.

    විහිළුවකින් පටන්ගත්තත් මේක හරිම වටින ලිපියක් බව නොකියාම බෑ රවි අයියේ. :) :) :)

    ReplyDelete
    Replies
    1. / ඔය මකුළු කතාව ලියන්න කළින් අයියා උඩින් ලියලා තියෙනවනේ භීතිකාවක් වැළඳෙයි කියලා ඇති වන භීතිකාව ගැන අළුතෙන් නමක් දාලා. අයියා දාලා තියෙන භීතිකා ලිස්ට් එක හොඳට ඔක්කොම කියෙව්වනම් පේනවා ඒ ලිස්ට් එකේ ඒක දැනටම තියෙනවා කියලා /

      අනෙ අම්මප බොලේ ඒක මම දැක්කෙම නෑනෙව, ලිස්ට් එක දැම්මට මම ඔව්ව එකිං එක කියෙව්වෙ නෑ...:( :( බලනකොට ඒ ලෙඩේට Phobephobia කියල කියනවනෙ..ඇත්තම තමයි.

      / ඒ නිසා මේ වෙන බ්ලොග් එකකදී අපි දන්න ළමයෙක් මකුළුවන්ට බය කතාව කිව්ව බව මතක තියාගෙන ඉඳලා ඒකෙ නම හොයාගෙන ඇවිල්ලා මෙහෙම කිව්වහම ඒක හොඳද මං අහන්නේ? :P :P /

      හරි, හරි බං ඒක ගනං ගන්ට එපා...මොනව උනත් අපූරු ගෑණු ළමය....ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්ව වගෙ ඔය මකුලු බීතිකාව තමයි ඉතිං පොඩි වැරැද්දකට...ම්ම්ම්...වැරැද්දක් කියල කියන්ටත්ම නම් බෑ..අපි කියමු මෙහෙම පොඩි අක්‍රමිකතාවයකට තියෙන්නෙ...ඒ ඇරුනහම හප්පා...One Upn One Thousand තමයි දාහකින් හොයාගන්ට බෑ එහූ ලලනාවියක්...මං මතක් කලාය කියාපංකො හොඳේ...:) :)

      / අනේ රාජේශ්ව දන්නෙ නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. බොලිවුඩ් වල තාමත් නෑ ඒ වගේ මූණක්, ඇස් දෙකක් තියෙන නළුවෙක්. /

      හෙහ්, හෙහ්, රාජේශ් කියන්නෙ අපේ කාලෙ එකෙක්නෙ නඟේ..එතකොට උඹ දැං ඔය ඉන්න කාන්ල සැට් එකට කැමැත්තක් නැත?

      ඒ ෆිල්ම් එක හොයාගන්ට මම ෆුල් ට්‍රයි එකක් දුන්න හරි ගියේ නෑ අනේ...

      ඔන්න එතකොට හම්බ උනා අපේ කාලෙ සුප්‍රසිද්ධ ෆිල්ම් එකක්...ආරාධනා..

      මගෙ සිහිනයේ රැජින ඔබයි

      / විහිළුවකින් පටන්ගත්තත් මේක හරිම වටින ලිපියක් බව නොකියාම බෑ රවි අයියේ. :) :) :) /

      ඉස්තූතියි...ඉස්තූතියි...සිත්තමී...දහස් වාරයක් ඉස්තූතියි :)

      Delete
    2. මේ රවියො, ඔන්න නොකිවුවය කියන්ට එපා.. උඹ මේ වගේ සිංදු දාලා මාව අවුස්සගන්ට එපා.. ආයෙ වංගියක් ඕක පටන්ගත්තොත් කොහෙන් කොතනින් කෙලවර වෙයිද දන්නෑ ඕං..

      Delete
  22. මට නම් මේකේ කමෙන්ට්ස් බැලුවට පස්සේ ලියන්ට ආපු දේවල් මුකුත් මතක නෑ ඕං.:)

    ReplyDelete
    Replies
    1. එහෙනං මෙච්චරයි බං කොරන්ට තියෙන්නෙ...මීට පස්සෙ වත් උඹේ කමෙන්ට් එක ඉස්සෙල්ල දාල ඉඳහං තියෙන කමෙන්ට් කියවන්ට ඉස්සරවෙලා...හෙහ්, හෙහ්,

      Delete
  23. අම්මප මේකට් අර යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ වැඩක්නෙව. මේක අහවර වෙන්න යන්නෙ සූට්කේස් එකකින්ද ඈ. අපි නං කොඳු කැඩෙනකල් බැක්පැක් තමා කරතියාන ගියේ හයියෝ එහෙමත් වදයක්. පිටේ තියං ගිය තරමටම ඔළුවටත් ගියානං අනේ දෙයියනේ ........

    කෝ බොල අර දඩයක්කාරයා. ඌ කොයිබක තොලොංචි උනාද ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටු! දඩයක්කාරයා ඔලිම්පික් ගොහිල්ලා..

      Delete
    2. බුරා, දැන් බ්ලොග් එකක් පටන් ගන්නවනම් ඔය නවමා කිව්ව නමත් හොඳා, "යන්නෙ කොහෙද - මල්ලෙ පොල්. එහෙම නැත්නම් "නන්නත්තාරේ."
      :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. @ nawam,

      / පිටේ තියං ගිය තරමටම ඔළුවටත් ගියානං අනේ දෙයියනේ ......../

      පිස්සුද බං, එහෙම නොගිය එක දාහෙං සම්පතයි කියල හිතෙන්නෙ නැද්ද?...ඔය පොත් කියන එව්වයෙ තියෙන එලොවටත් මෙලොවටත් නැති සප්‍රප්පලාප ඔලුවෙ පුරව ගත්තම මොලේ අරසස් හැදිලයි නවතින්නෙ...මේ මට වෙලා තියන දේ පේන්නෙ නැද්ද?....හෙහ්, හෙහ්,

      / කෝ බොල අර දඩයක්කාරයා. ඌ කොයිබක තොලොංචි උනාද ? /

      එනවා, එනවා, එනවා....දඩයක්කාරයා මඟ එනවා,

      මසකට අධික දීර්ඝ ඉසුඹුවකින් පසු ඔහුගේ ආගමනය අධික රාජකාරි කරණ කොටගෙන මඳක් පමා විය. ඉන් යම් පමණකට ලිහිලක් ලැබුණු කෙනෙහි අහෝ, ඛෙදයකි..ඔලිම්පික් නම් වූ සිව් වසරෙකට වරක් පැවැත්වෙන ක්‍රීඩා සැණකෙලියට සහභාගී වීමට සිදුවූයේය.යළිදු ඒ ද නිමා විය. එබැවින් ලහි ලහියේ හෙතෙම ඔබ වෙතට පමුණුවන්නෙමි. උකටලී නොවනු මැන...

      Delete
    4. @ Buratheno,

      / පොඩ්ඩක් හිටු! දඩයක්කාරයා ඔලිම්පික් ගොහිල්ලා../

      අම්මප ඇත්ත බං ඒ කතාව...උන්දැයි මායි දෙන්නම ගියා නොවැ ඔලිම්පික්...හෙහ්, හෙහ්, මම ඒත් අර කැලෑවල් අස්සෙ බයිසිකල් රේස් අනම් මනම් තියන කොට බැලුව උඹ ඉඳීවත්ද කියල සිංහ කොඩියකුත් වන වන...ම්හු බොල දැක්කෙ නං නෑ....

      Delete
    5. සිංහ කොඩි වනන්ට උඹ හිතුවයැ අපි සිංහ වංසෙ කියාලා..!? අපි ඇවිල්ලා British Born Boysලා හරිය.. අපි වනන්නෙ Union Jack හරිය, මොනාද, Union Jack.. ;)

      Delete
  24. Your current repoгt fеаtuгeѕ confirmed beneficial to me.

    It’s veгy hеlpful and you're simply obviously extremely knowledgeable in this region. You have got opened my personal face to varying views on this particular subject together with intriquing, notable and sound articles.

    Have a look at my website; http://hopespark.com/user/profile/annvbco069/

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...