Friday, August 17, 2012

129. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....16


දඩයක්කාරයාගේ ජීවිතයෙහි සෑම සුවිශේෂී සිද්ධියක්ම සිදුවනුයේ සඳ පායා ඇති රාත්‍රියන්හි දීමය.මෙදිනද ඒ අහේතුක වූ ධර්මතාවය යලිදු පසක් කරමින් පුරා සඳ කොහොඹ අතුපතරින් එබෙමින් ගෙමිදුල කිරි දියරෙන් නැහැවීය.

පියාණන් ගෙපැල මධ්‍යයේ ඇතිරූ මුව සමෙහි වැතිරී නිදනු වස් ගෙපිලෙන් නැඟී සිටියේ සඳ අවපසෙහි අඩක් පමණ ගමන් කල ඉක්බිතිය.නැඟී සිට දඩයක්කාරයාගේ දසරුව සිය සුරතින් ග්‍රහණය කල හෙතෙම තම ගැඹුරු හඬින් මෙසේ පැවසූයේ දීගු සුසුමක් හෙලූ අනතුරුවය.

'' ජීවිතේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන පුදුම වෙන්න වත් පසු තැවිලි වෙන්නවත් එපා පුතා....සිද්දවෙන, ඒ වගේම සිද්ද වෙන්ට නියමිත හැමදෙයක්ම, එහෙම වෙන්නෙ එහෙම වෙන්ට නියමිත නිසාය කියල හිතන්න......පුතාගෙ ජීවිතේ ඉස්සරහට විස්වාස කරන්ට බැරි විදිහෙ සිදුවීම් වේවි....ඒ වෙලාවට උපේක්ෂා සහගත වෙන්න...එච්චරයි මට කියන්න තියෙන්නෙ.....ආයෙත් දවසක අපි හමුවේවි....අනාගතේ දවසක.......''

එදින හිරු උදාවට පෙර මහ දඩයක්කාරයා මිය ගියේය. සිතෙහි අධික විපිලිසර භාවය නිසාම නින්දට පත්විය නොහුණු දඩයක්කාරයා මුළු රාත්‍රි කාලයම ගත කලේ ඉදිරිපස පිලෙහි කටුමැටි බිත්තියට පිට දී ගෙමිදුල දෙස බලා සිටිමිනි.

කොහොඹ අතුපතර පීරා වැටුණු උදෑසන ලහිරු රැස් ගෙමිදුල රටා මවන්නට වී තවත් කාලයක් ගතවූ පසුවය දඩයක්කාරයා අවදි වූයේ.සත්‍ය වශයෙන්ම අවදි වූවාය යන යෙදුමට වඩා අත්‍යන්තයෙන්ම ඔබිනුයේ ඔහු ගැලී සිටි නින්දත් අවදියත් අතර අවිනිශ්චිත අවකාශයෙන් එක් වනම බැහැරවූවා යන්නයි.

බිමට යොමුවූ හිසින් සහ ළය මත බැඳගත් දෑතින් යුතුව සෙමින් ගෙපැලට පිවිසි දඩයක්කාරයා ලී පතුරු වලින් කලකට පෙර නිමැවූ හිරු රැස් මෙන්ම දැඩි වර්ෂාවටද ඒ කාල පරාසය තුල නොකඩවා නිරාවරණය වීමෙන් අබල දුබල තාවයට පත් ගෙපැලෙහි නූස් පසුපස බිත්තිය අසල අතිරූ මුව සමක් මත වැතිර නිසොල්මනේ අවසන් නින්දට පිවිස හුන් පියාණන් දෙස මොහොතක් බලා සිටියේය. අවසන දෙදණ නවා පහත්ව පියාගේ කෙමෙන් සිසිල් වන එහෙත් මෙතෙකුදු ජීවන රශ්මිය පූර්ණ වශයෙන් නොවියැකුණු නලලත සෙමෙන් සිප ගත්තේය.

විසි වසරකට මඳක් අධිකවූ තම දිවියෙහිදී ( තම වයස හෝ යටත් පිරිසෙයින් වයස යන සංකල්පය හෝ පිළිබඳව දඩයක්කාරයා තුල වූයේ ඉතාමත් අපහැදිලි සහ ව්‍යාකූල වූ හැඟීම් මාත්‍රයක් පමණි.එබැවින් මෙහිදී මවිසින් වයස යන සංකල්පය යොදනුයේ හුදෙක් පාඨක ඔබගේ වටහා ගැන්ම උදෙසාමය, ප්‍රිය සහෘදය, සහෘදිනිය )තමනට ජීවය ප්‍රධානය කල පියාණන් ප්‍රථම වරට සිපගත්තේ ඔහු මියගියදා ඔහුගේ මෘත දේහය වීම කවර නම් උත්ප්‍රාසයක් වන්නේද?

ගෙපැල තුල වූ එකම ගෘහ භාණ්ඩය වූ ඉපැරැණි කැටයමින් සමලංකෘත පෙට්ටගම විවෘත කල ඔහු ඉන් ශ්වේත වර්ණ වූ පුළුල් රෙදි කඩක් පිටතට ගත්තේය.මීට දොළොස් වසරකට ආසන්න වූ කාලයකට ඉහත මවගේ මළගම දා මහ දඩයක්කාරයා කටයුතු කල ආකාරය නැවත සිහියට නඟා ගන්නට ඔහු තවත් වරක් උත්සාහයක් ගත්තේ රෙදිකඩ තරව ගත් දෑතින් සහ පියාගත් දෙනෙතින් යුතුව මොහොතක් ගත කරමිනි.

එදින, කාලයේ ඝන මිහිදුම් සලුවෙන් වැසීගිය ඒ අතීතයේ දිනෙක සිදු වූ සිද්ධීන් මාලාව ඔහුගේ මනසට එක් වරම පිවිසියේ උදෑසන කැටි ගැසෙන තිමිර සළු ඉරාපියා මිහිමතට පතිත වන හිරු කිරණක් කරන කොටගෙන හාත් පස ආලෝකවත් වන අයුරිනි.

සිත තුලට පිවිස සිත පහන් කල ඒ මතකය ද සමඟ යුහුසුළුව ක්‍රියාත්මක වූ දඩයක්කාරයා ශ්වේත වර්ණ වූ රෙදි කඩ දිග හැර පියාණන්ගේ දේහය දැඩි පරීස්සමකින් මෙන්ම සෙනෙහසකින් යුක්තවද එහි වෙළුවේය.ඉන්පසු දෙදණින් නැවී සිට දෑතින් ඔසවාගත් දේහය ද ළයට තුරුළු කොටගෙන නැඟී සිටියේය.

දේහයද ඔසවාගෙන මිදුල මධ්‍යයෙහිවූ කොහොඹ වනස්පතිය පසුකරනවාත් සමඟම සිතට ඇතුළුවූ එක් මතකයක් හේතුකොටගෙන හෙතෙම ඉද්ද ගැසුවාක් මෙන් එකෙණෙහිම නතර වූයේය.

දඩයක්කාරයාගේ සිතට පැන නැඟී ඔහුගේ ගමන නතර කිරීමට උදක්ම හේතුවූයේ මෑණියන්ගේ දේහය මිහිදන් කිරිම උදෙසා පියාණන් හා සමඟ එවක පැටි වියේ පසුවූ ඔහු යවුලකින් කණිමින් දැඩි පොළව සෑරූ දර්ශනයයි. ඒ සමඟ ආපසු හැරුණු හෙතෙම සීරුවෙන් දේහය පිල්කඩ මත තැබුවේ ගෙපැල පසුපස බිත්තියට හේත්තු කොට තිබූ යවුල ද රැගෙන නැවත පැමිණ යලි ඔසවාගත් දේහය ද ළයට තුරුළු කොටගෙන මිදුල වසා පැතිරි කොහොඹ වෘක්ෂය ද පසුකොට මඟට පිළිපන්නේය.

එදින අහස් කුස වැසි වලාවන්ගෙන් බරව පැවතියේ ඔහුගේ සිත පුරා පිරී ඉතිර ගිය සෝ දුකට අගුළුපත් තබන්නාක් මෙනි. වරින්වර හාත්පස කඳු මුදුන් වැළඳ හුන් මිහිදුම් සළුතිර හමා ආ සුළඟ කරන් කොට මඳක් ඉහිල් වූ කල්හි ඒ අතරින් පෙරීවිත් දෙරණ ආලෝකවත් කල හිරු එළියෙහි වූයේද සුපුරුදු සැඩ රශ්මිය නොව මළානික පීත වර්ණයෙකි.

මේ කිසිවක සංජානනයකින් තොරව දඩයක්කාරයා ස්ථිර වූ පියවරින් වන මෘගයින් නොගිණිය හැකිවූ සංඛ්‍යාවෙක සිව් පයින් කාලාන්තරයක් තිස්සේ ගෙවී සුමට වූ වන පෙත මධ්‍යයෙන් දිවෙන පෙත් මඟ දිගේ ගමන් ගනිමින් සිටියේය.

වන සත්වයින් හා සමඟ සිතිවිලි හුවමාරුවෙහි ඔහු මේ වනවිට බොහෝ සෙයින් පරිණත වූ නමුදු එදින ඒ කිසිවකට ඔහු සිත ඉඩක් නොවුණි. අවට තුරු ලිය අතු පතර මෙන්ම දෙපස වන බූටෑව තුල ද සිට ඔහු දෙස බලාසිට ඔහුගේ සොව නිසාම ඒ වෙනුවෙන්ම ඔහු සමඟ සහානුභූතිකව ශෝකවන වන මෘගයින් මෙන්ම සියොතුන් ද නැතක් වූ නමුදු ඔවුන්ගේ සිතුවිලි ඔහු සිතට ඡායාමාත්‍ර ලෙස විශය වූ නමුදු ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරවම දඩයක්කාරයා පෙත් මඟ දිගේ ඇවිද යමින් සිටියේය.

උදෑසනම අවදිව තුරු අතු පතර සොළවමින් එකිනෙකා පසුපස හඹායමින් හුන් වානර සේනාව ඝෝෂාව ඒ වනම නැවැත්වූවෝ අතුපතරින් එබෙමින් දඩයක්කාරයා හොඳින් දැකගත හැකි මානයට පැමිණ සොවින් පිරී ගිය මහත් ඇස් විදහාගනිමින් ඔහුගේ ශෝකයට හවුල් වූයේ කුඩාවුන් තුරුළු කර ගනිමිනි.

හිරුරැස් දැඩි වන්නට පෙර සෙවණක් සොයායනු පෙර අවසන් තණ පත් කිහිපය බුදිමින් හුන් මුවැත්තියක් හිස ඔසවා දඩයක්කාරයා ඈ අසලින් පියමං කරනතෙක් ඇසිපිය නොහෙලා බලාසිට ශෝකයෙන් බරවූ සිතින් යුතුව හිස පහත් කරගත්තීය

රාත්‍රියේ පශ්චිම යාමයෙහිදී දෙවරක්ම තරුණ මුව පොව්වන් දෙදෙනෙකුට ඇල්ලූ කුරුමාණම අබල දුබල තාව නිසාම වැරදීගිය හෙයින් සාගින්නෙන් පීඩිත තවත් දවසක් ගෙවීමට ඉරණම් වූ වයස්ගත දිවියෙක් දිවාකල නිවහන වූ ගල් රුකුල වෙත යාමට පෙර දොළ පහරට බැස කුස පුරා ජලය පානය කරමින් සිටියේ දඩයක්කාරයා දෙස බලාඋන්නේ සිය සාගින්න මෙන්ම ගතෙහි අබල දුබලකම් ද මොහොතකට අමතක කර ලමිනි.

මේ කිසිවක් නොදුටු, යම්තමට ඇස ගැටුණද ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකල දඩයක්කාරයා පියාගේ දේහය ද රැගෙන පෙත් මඟ දිගේ සෙමෙන් එහෙත් ස්ථිරසාර පියවරින් ගමන් ගත්තේය.

ඉනික්බිති අවසන ඔහු ඉලක්ක ගමනාන්තය වෙත සැපත් වූයේය. මේ ගමනාන්තය කිමෙක්ද යන්න මා ප්‍රිය සහෘදය, සහෘදිනිය.... ඔබට යලිදු විස්තර කිරීමෙහිලා කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේම නැත.දඩයක්කාරයා මීට වසර දොළොසකට පමණ කාල පරාසයකට ප්‍රථම වර්තමානයෙහි ඔහුගේ දෑතෙහි ප්‍රාණය නිරුද්ධව වැතිර හිඳිනා සිය පියාණන් පසුපස මෑණියන්ගේ අවසන් මිහිදන් කටයුතු උදෙසා පැමිණියේ ද මෙතැනටමය.ඉදින් අනතුරුව දිනපතාම පාහේ චන්ද්‍රයා කිහිප වරක් පූර්ණත්වයට පත්ව ක්ෂය වී යනතෙක් පියාණන් කැටුව ඔහු මෙහි පැමිණියේ පාරම්පරිකව පැවත එන්නාවූ වූ ඔවුන්ගේ අද්භූත මෙන්ම විශ්මයජනක ද වූත් ශාස්ත්‍රඥාණය ලබා ගනු වස්ය.

ඒ මේ ඔවුන්ගේ පාරම්පරික ශුද්ධ වූ පුදබිම වූ හෙයිනි. ශාස්ත්‍රෝද්ග්‍රහණය නිමාවූ ඉක්බිති පසුගිය දීර්ඝ කාල සීමාව මුළුල්ලේම දඩයක්කාරයා මෙහි පැමිණියේ දෑතෙහි ඇඟිලි වලින් ගිණිය හැකි වූ තරම් වාර සංඛ්‍යාවෙකි.ඒ ද දඩ මං ඔස්සේ සැරිසරද්දී හෝ කිසිදු අරමුණකින් තොරව නිදැල්ලේ ඉබාගාතේ වනයේ සැරිසරද්දී හෝ හුදු අහඹුවකිනි.එහෙත් මේ ශුද්ධ භූමිය එදා වසර දොළසකට පූර්වයෙහි පැවති අන්දමින්ම අනවරතව පැවතීම දඩයක්කාරයා කිසිදු අයුරකින් විශ්මයට පත් නොකලේය.

කිසිදිනෙක ලොකු කුඩා කිසිදු වනසතකු, යටත් පිරිසෙයින් ඕනෑම අසීරු ස්ථානයකට වැද ඒ තම කෙළි මඬල බවට නිමේශයකින් පත් කරගන්නා, වනය පුරා තුරු හිස් අග නිබඳ සරනා කාල වර්ණ වානරයින් රැළ පවා එහි ඇතුලුවූ බවට කිසිදු සාක්ෂියක් නොවූ අතරම වියලි කල හේබා ගොස්, වාලිඹේ ගිරිහිස අඹරවමින් එක එල්ලේ මසක පමණ කලක් පොළවට ඇද වටනා මහ වැසි සමයේ දළු කොළ අතු රිකිලි ලමින් වැඩෙනා මහ වනය පවා ඒ භූමි භාගය වටා ආරක්ෂක රැකවළුන් මෙන් නැඟී සිටි වෘත්තාකාර ගල් කුළුණු පරයා ඇතුළු වීමට බිය වූ බවක් පළකලේ අනාදිමත් කාලයක සිට මෙබිම ආරක්ෂා කරනා ඒ අද්භූත බලවේගය තවමත් ක්‍රියාත්මක බව කිසිදු සැකයකින් තොරව සාක්ෂාත් කරවමිනි.

මෑණියන් මිහිදන් කල ස්ථානය අසලම යවුලෙන් ඔහු කණින්නට වූයේ පීඨිකාව මධ්‍යයේ වූ ශෛලමය පුවරුව මත දේහය සීරුවෙන් තැන්පත් කල අනතුරුවය.

සුපුරුදු ලෙස මේ වනවිට වනබිම දියකඩිති වලින් ගහන, තබනා පියවරක් පාසා වලලුකර දක්වා පා කිඳාබස්වන, මුදු තණ පළසක් බවට පත් කරවන නිකිණි වැස්ස ද නියමිත කාල වකවානුව ගෙවී ගොස් දෙසතියක් පමන වූවද හුදෙක් ඈත නැගෙනහිර අහස කළුකරවමින් වරින්වර සවස්කල දිදුලන අසනි ධාරාවකට පමණක් සීමා වූහෙයින් පොළව කැණීම අයෝමය තහඩුවක් සිදුරු කිරීමට තැත් දැරීමකට සමාන විය.

එහෙත් යොවුන් වියේ නොදැමුණු කාය ශක්තියෙන් මොනවට ප්‍රයෝජන ගනිමින් දඩයක්කාරයා හිරු මධ්‍යාහ්නයට ලංවිමට බොහෝ වේලාවකට ප්‍රථම කැණීම නිම කළේය.

දොළොස්වසරකට පෙර මතකය යලිත් අවදි කරගනිමින් දඩයක්කාරයා දේහය සීරුවෙන් වලෙහි තැන්පත් කොට බිඳෙන් බිඳ පස් දමා අවසන අසලින් ගලායන දොළ පහරෙහි බැස දහදිය, දුහුවිලි යනාදිය සමඟ ගතේ වෙහෙසද සිතෙහි වෙහෙස යම් පමණකටද සෝදා හලේ දොළ පහරෙහි පා කොට යැවීය.

අවසන සුපුරුදු පාරම්පරික චාරිත්‍ර විධි ක්‍රමය අනුව භෞතික ශරීරය මිහිමත රඳවා තබා , තම මනෝ කායයෙන් පියාණන්ගේ ආත්මය ද සමඟ ඒ ආලෝකයෙන් සදා දිදුලන අවකාශය වෙත සැපත් වූයේය. එසේමය, ඒ පුද බිම ඉහල අහසේ පිහිටිය හැකිවා මෙන්ම එසේ ඉතා පහසුවෙන්ම ආලෝක වර්ෂ අසංඛ්‍යයක් ඔබ්බෙහි පිහිටිය හැකි වුවාට අමතරව දඩයක්කාරයා මතු නොව ඔහුට අත්‍යන්තයෙන් සහස්‍ර ගුණයකින් බුද්ධි මහිමයෙන් යුක්ත වූ මහා ප්‍රඥාවන්තයෙකුට වුවද කිසිසේත්ම වටහා ගත නොහැකි බවට දිවි පරදුවට තැබීමට පවා කිසිවිටෙකත් මම නොපැකිලෙන්නාවූ ඒ උත්තර භූමිය වෙතට ඔහු සැපත් වූයේය.

එහිදී අවසන් වරට පියාණන් ,ඒ අපූර්ව භූමිය හෝ අවකාශයේහිදී ඔහු සමුදුන්නේ පියාණන්ට ද යන්න විවාදාපන්න කරුණක් බැවින් අපි මෙහිදී ඒ පිළිබඳව විමසීම පසෙක තබා දඩයක්කාරයා වෙතට හැරෙමු.

අවර හිරු මඬල වාලිඹේ පර්වතය පසුබිම් කොට ගනිමින් රක්තවර්ණ සිත්තමින් පෑලදිග අහස සරසද්දී දඩයක්කාරයා සෙමින් සෙමින් පියවර තබමින් තම ගෙපැල වෙතට ළඟා වෙමින් සිටියේය.වර්ෂාව සම්ප්‍රාප්තිය නොබෝ දිනකින් බව පවසමින් කොහොඹ අතු පතර සිප ආ සිහිල් සුලං රැළ්ලක් ගත සිපගනිමින් දාහය නිවා දමද්දී ඔහු පිල්කඩ මත ඇද වැටුනේ ළය පුරා පිරි හුස්ම සියල්ල එක ප්‍රශ්වාසයකට කැටි කොට පිටකර හරිමිනි.

පුරා සඳ මඬල කොහොඹ අතුපතරින් මුදුන්ව ඉක්බිති ගෙමිදුළ මැවූ රටා කෙමෙන් අතුරුදන්ව ලහිරු මඬල කඳු වටයෙන් එබෙමින් සිය ගත උණුසුම් කරනා තෙක්ම දඩයක්කාරයා කිසිදු හැඟීමකින් තොරව අඩවන් වූ දෑසින් යුතුව එලෙසම වැතිර හුන්නේය.

මතු සම්බන්ධයි........

20 comments:

  1. හපොයි මූ ආයෙත් පටංගත්ත නෙව මේක!!!
    කෝ මේකෙ නැද්ද ඩිස්ලයික් බටන් එකක් හැබෑට ඈ??

    ReplyDelete
    Replies
    1. ආහ්, අද උඹ තමයි එක....

      මේ... මම හිතාගෙන ඉන්නෙ පළවෙනි කමෙන්ට් එක දාන එකාට හෝ එකීට තෑග්ගක් දෙන්ට......හෙහ්, හෙහ්,

      ඒක ඒ ඒ කතාව අනුව වෙනස් වෙනව...ඔන්න මේ පාර උඹට දෙන්නෙ මොකක්ද දන්නවය?

      දඩයක්කාරයගෙ අර තලගොයි දෙන්න මතකෙයි...අන්න උං...එහෙම නැත්නං උඹ කැමතිනං කියාපං අර උන්දැගෙ ගෙපැලෙ තියන පවුරානික පෙට්ටගං රාජයා...අන්න ඒක..කෝකෙයි වඩා හොඳ?

      / හපොයි මූ ආයෙත් පටංගත්ත නෙව මේක!!! /

      අඩේ, අඩේ, උදහස් නොවී වදාල මැනව... මේ පාර කලිම්ම හිතාගෙන උන්නු විදිහට බොහොම සරලව ඒ වගේම ඉක්මනටම ඉවරයක් කරනව...ඔන්න බලාපන් බොරුද කියල...

      ඒයි...මම දන්නව උඹ මයෙ අහිංසක දඩයක්කාරය එක්ක මේ හැටි මල මොකද කියල....අර අංගං පොර කේස් එක නිසා නෙවද? හෙහ්, හෙහ්....

      / කෝ මේකෙ නැද්ද ඩිස්ලයික් බටන් එකක් හැබෑට ඈ?? /

      එව්ව මෙහෙ නෑ බොල....ඒ මඟුල් තියෙන්නෙ බොලායෙ අර කෙහෙම්මල් වදංතදේ විතරයි....:) :)

      Delete
  2. //දඩයක්කාරයාගේ ජීවිතයෙහි සෑම සුවිශේෂී සිද්ධියක්ම සිදුවනුයේ සඳ පායා ඇති රාත්‍රියන්හි දීමය.//
    මෙයට හේතුව ඕනෑම අයෙකු දන්නවා ඇතැයි සිතමි.

    හපොයි දෙය්යනේ මහ දඩයක්කාරයත් මිය ඇදුණද? දැන්වත් ඉතින් ඇක්ෂන් පාරක් දාලා දඩයක්කාරිය හම්බ උනු හැටි කීවානම්. ඒ හරියෙදී භාෂාව තවත් මටසිලුටු කර, ප්‍රේමයෙන් කුල්මතව යන අයුරින් ලියන ලෙස අණ කරමි.:)

    ReplyDelete
    Replies
    1. / මෙයට හේතුව ඕනෑම අයෙකු දන්නවා ඇතැයි සිතමි. /

      නැහ්නං...නැහ්නං.....පුරා හඳ පායපු දාට වෙන දේ තමුං දන්නව ඇතිනෙ බොහොම අපූරුවට...හෙහ්, හෙහ්,

       / ඒ හරියෙදී භාෂාව තවත් මටසිලුටු කර, ප්‍රේමයෙන් කුල්මතව යන අයුරින් ලියන ලෙස අණ කරමි.:) /

      එහෙම හරියන්නෑ බං..පෙරේම ජවනිකාවල් වලට මල් හතට ගැලපෙන්නෙ විදග්ධ බාසාව...ඔන්න බලාපං මේ උදාහරනෙ...

      '' ඒකිගෙ පපුව ගැහෙන සද්දෙත් ඌට ඇහුන බොහොම අපූරුවට...ඊට ටික වෙලාවකට පස්සෙ හෙමිහිට ඌ ඔලුගෙඩිය තිබ්බ අරුන්දැගෙ උකුල උඩ...''

      මේ ඔය උඹ කියන ලිහිල් බාසාවෙන් ලිව්ව පේම ජවනිකාවක්..ඔන්න බලාපං ඒකම විදග්ධ බාසාවෙන් ලිව්වම මොන තරම් අපූරුද කියල...හෙහ්, හෙහ්,

      '' උක්ත ලලනාවියගේ වම් කෝෂිකාවේ සිට ද්විතුණ්ඩ කපාටය හරහා වම් කර්ණිකාවට රුධිරය සංසරණය වීමෙහිදී නැඟී උරස් කුහරය තුලින් නික්මුණු හෘද ස්ඵන්ධන රාවය පවා ඔහුගේ මධ්‍ය කර්ණයේ මුද්ගරිකාව, නිඝාතිය සහ ධරණකය නින්නාද කරවමින් අනතුරුව කර්ණ පටහ පටලය මත වැද සත්වන කපාල ස්නායුව හරහා මස්තිෂ්කයේ දකුණු අර්ධ ගෝලය කරා එළඹියේය. නිමේෂයකට පසු හෙතෙම තම ශීර්ෂය ඇගේ කුකුන්දරාස්ථිය, ජඝන ඵලකාස්ථිය සහ භගාස්ථියෙන් සැදුම්ලත් ශ්‍රෝණි මේඛලාව මත ඉතා සීරුවෙන් තැබීය.''

      ආන්න...දැක්කද එහෙම තමයි පේම ජවනිකා විස්තර කොරන්ට ඕන...චිත්තයා කුල්මත් වෙලා විතරක් නෙවෙයි ඔකඳ වෙලා, ඔරේ මංදං වෙලා,නාගසලං වෙලා යනව නේද හැබෑටම?.....හෙහ්, හෙහ්,

      Delete
    2. නාගසලං වෙනවදත්ද අහන්නෙ, මට නිකං අසංග සර්ගෙ A/L Zoology ක්ලාස් එකේ Histology පාඩම මැවි මැවී පෙනුනා.. උත්කෘෂ්ටයි.!! ප්‍රේමාන්විතයි.!! රොමෑන්තිකයි.!! :D

      පලි: කොච්චර රොමැන්ටික්ද කියනවානං මට ඒ කාලෙ Zoology ක්ලාස් එ‍කේ මං බැල්ම දාගෙන හිටිය ගෑල්ළමයවත් මතක්වුනා.. :D

      Delete
    3. .@ Buratheno,

      අම්මප මලයා.......අසංග සේර්ට පිං සිද්ද වෙන්ට තමයි තාම ඔය නං මතක තියෙන්නෙ...ඒ. එල්. කාලෙ මයෙ ප්‍රියතම විෂය Zoology... ....හෆොයි රේල්වේ ඇවනිව් යුගය.....මා නෙතු පියවෙන තෙක් මතකයෙන් මැකී නොයන ඒ සොඳුරු සමය...අහෝ මහත්සේ පුළුල් වූ ශ්‍රොණි මේඛලාවෙකින් සමන්විත වූ එක් සොඳුරු යුවතියක හා බැඳි මගේ අකලංක වූ ප්‍රේමය.....අහෝ, අහෝ, අහෝ!!!! , සිහිවන විට පවා මා තාරා මණ්ඩලය අක්ෂි ස්නේහක ශ්‍රාවයෙන් වැසී යයි....

      Delete
    4. හක් හක් හක්... මොකක් කිව්ව
      /මහත්සේ පුළුල් වූ ශ්‍රොණි මේඛලාවෙකින් සමන්විත වූ එක් සොඳුරු යුවතියක හා බැඳි මගේ අකලංක වූ ප්‍රේමය/
      මේක මං හිතන්නෙ මෙන්න මෙහෙම වෙන්ඩ ඕනෙ.. උඹට වචන මාරු වෙලා

      එක් සොඳුරු යුවතියකගේ මහත්සේ පුළුල් වූ ශ්‍රොණි මේඛලාවෙක් හා බැඳි මගේ අකලංක වූ ප්‍රේමය

      Delete
    5. @ ජනූ,

      ඒ බොල හරියට බලා හිටිය වගෙ උඹ කිව්ව අපූරුව...හෙහ්, හෙහ්, ඇත්තටම මම මුලිම්ම පේමයෙන් බැඳුනෙ ඇගේ සොරෝනි මේකලාව එක්ක තමයි...හප්පා ගස්සනව ගැස්සිල්ලක් ආය රේල්වේ ඇවනිව් එකේ එහා කොනේ ඉඳල මෙහා කොනට...ඒ දවස්වල දැන් තරම් ඔය පාර පලල නෑ ඇත්තම කිව්වොත්...

      ඔන්න කෙල්ල පස්සෙං දවස් තුන හතරක් ගියාය කියමු.මම ඊට පස්සෙ මගෙ තීරණය ප්‍රකාස කලා මයෙ සැට් එකේ එවුන් එක්ක.

      '' හරි බං මම ඒකිට බොක්කෙම්ම ලව්, මට උදව් කරහල්ල හොඳද? ''

      '' අඩේ ඒ කෙල්ල කණ්නාඩි දානවනෙ...උඹට කණ්නඩි දාන කෙල්ලො අරහං නේද?'' ...එකෙක් ඇහුව

      '' ඈහ්....ඒකි කණ්නාඩිත් දානවද?......'' මට ඉබේටම කියවුණා...හෙහ්, හෙහ්,

      ඔන්න, කොහොමද පේමයේ තරම...

      ( පැහැදිළි කිරීමයි - උපැස් පැළඳි යුවතියක හා බැඳුණු ප්‍රේමයක ශෝචනීය අවසානය කරණ කොටගෙන යඨෝක්ත සමයෙහි උපැස් පැළඳි සියළු යුවතියන් සමඟ මම පසුවූයේ බලවත් කෝපයකිනි...හෙහ්, හෙහ් )

      කිරි කවඩි සිනා නොදැක බැඳුනු ආදරේ..
      ඇගේ අහංකාර බැල්මට බැඳි ආදරේ......

      මූණ කටත් නොදැක බැඳුනු ආදරේ...
      ඇගෙ ශ්‍රෝණි මේඛලාවට බැඳි ආදරේ...


      '' මට ඇත්තම කියනවද?....ඔයා මට ආදෙරේ උනේ ඇයි?...''

      '' හරි මම ඇත්තම කියන්නම්..ඔයා තරහ වෙන්නෙ නැත්තං..''

      '' නෑ, නෑ මම තරහ වෙන්නෙ නෑ...ඉතිං කියන්නකො, ''

      '' මම මුලින්ම ඇත්තටම ආදරේ කලේ......''

      ඇය දෑස විදහා මා දෙස බලා සිටින්නී මගේ පිළිතුර අපේක්ෂාවෙනි.

      '' මම මුලින්ම ඇත්තටම ආදරේ කලේ... ඔයාගෙ ශ්‍රෝණි මේඛලාවට...''

      '' මොකක්?...''

      මගේ තවත් එක් ප්‍රේම පුරාණයක නිමාව එසේ සනිටුහන් විය.

      ඔන්න කෙල්ලොන්ට ඇත්තම කිව්වම වෙන වැඩේ.....:( :(

      Delete
  3. Replies
    1. හෙහ්, හෙහ්....ඒකනෙ කියන්නෙ සිත්තමී.....අර ජනුවට හැදිල වදංතදේ......:) :)..ආව මෙතන ඩිස්ලයික් දාන්ට.....උන්දැට මම කිව්ව හොඳ දෙකක් රෙද්ද...ආ..නෑ උන්දැ රෙදි අඳින්නෙ නෑ නෙව..කලසම හැලෙන්ට....

      Delete
  4. මාත් හිතුව මේ ප්‍රසව හා නාරි වේදයේ වචනයක් කියලා. පස්සෙනෙ තේරුනේ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. නෑ බං එහෙමත් කියනව තමයි...ඔය අංගුලිමාල පිරිත කියන්නෙ..එතකොට සින්ටො එහෙම දෙන්නෙ ...ඒ වදංතදේ හැදුනම තමා....හෙහ්, හෙහ්,

      Delete
  5. Replies
    1. බොහොම ස්තූතියි හිරු.....:)

      Delete
  6. ඇත්තෙන්ම කිව්වොත් මම දඩයක්කාරයා කියවලා නෑ. මම රවියාව දැනගත්තෙ අනිත් සයිට් වල තියෙන මාගල් නමුත් රසවත් කමෙන්ට් වලින්.
    නමුත් මේ භාෂාව නම් ප්‍රවීනයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. @ ඩූඩ්,

      ඒක එහෙමනං උඹ දඩයක්කාරයා නොකියවාම ඉන්න එක තමා වඩා හොද.. පේනවනේ අර ජනුවා, එතකොට මේ මං තුමා එහෙම ඕකව ආයෙමත් ගේන්නම එපා කියන්නෙ.. එහෙම කියන්නෙ හේතුවක් ඇතුව, නිකං මොළේ ඔල්මොරොන්දං කොරගන්ට ඕනමනං කියවහං.. :)

      පලි: දඩයක්කාරයට මං දැන් කැමැති නැති තව හේතුවක් ති‍යෙනවා.. ඉස්සර රවියයි, මායි, නවමයි ව්‍යක්ත භාෂාවෙන් විදග්ධ සංවාදයේ යෙදෙනකොට ඒකට අකුල් හෙලන්ට, 'හස්ත මුද්‍රාවෙන් කමෙන්ට් කරන්ට' ඔබා හිටියා.. දැන් උන්දෑ නෑ නෙවැ.. ඉතිං මට හිතෙන්නෙ නෑ ආයෙමත් ඒ පරණ වාද-විවාද වලට යන්ට උන්දෑ නැතුං.. කෑල්ලක් අඩුයි වගේ දැනෙන්නෙ.. :(

      Delete
    2. .@ Henry,

      හෙහ්, හෙහ්, ස්තූතියි හෙන් රි,

      මයෙ තියනව අසාධ්‍ය අසනීපයක්....ඒකට කියන්නෙ රචක තිරිංග අක්‍රිය සහලක්ෂ්‍යය කියල....සිංහලෙං කිව්වොත් ලියන්ට පටංගත්තම බෙරේක් නැතිවෙන එක....හෙහ්, හෙහ්, ඒකයි ඔය කමෙන්ට්ස් සමහර විට අදාල ලිපියට වඩා දිග වැඩි වෙන්නෙ...දැන් ඒ තරං නෑ බං....මුල් දවස්වල අර පොඩ්ඩි කියල පිස්සු හටනක් ලියන බොලොග් එකට ඒ කිව්වෙ මේ වලව්වට මම ලිව්වෙ හැතැම්ම ගනන් දිග කමෙන්ට්ස්...හෙහ්, හෙහ්,

      මේ දඩයක්කාරයගෙ කතාව බං මම මුලින්ම පටන් ගන්නකොට හිතේ තිබ්බ කතා සැකිල්ල මඟදි වෙනස් කලායින් තමයි මම අර කොහෙද රීපු මොකාද එකා වගෙ උනේ....ඒකයි ඔය බූර එතනිං ගිහාය අර ජනූ එහෙම මට පස් පඩංගුවෙ බයින්නෙ...හෙහ්, හෙහ්, මක්කා කොරන්නෙයි බං.....වැරැද්ද මගේ කොට කියන දෙයක් අහගෙන ඉන්ට එපාය ....මම හිතාගෙන ඉන්නෙ මේක බොහොම ඉක්මනට අහවරයක් කොරල දාන්ට..මොකද අර බූරා කියාපු විදිහට අතර මඟ නැවැත්තුවොත් ඕක අර තුවාලෙ හොඳ උනාට කොස්ස ඉතුරු උනා වගෙ හැමදාම මගෙ හිතට වද දේවි....:( :(

      Delete
  7. කාලයක් බ්ලොග් එපා වෙලා ඒවා කියෝන එකෙන් අයින්ම වෙලා ආපහු ෆිල්ම්ස්ම බල බල හිටියනේ . . දැන් ආයේ එන්ටෝන ට්‍රැක් එකට . .

    ඒ කියන්නේ මුල ඉඳන්ම මේ ටික කියවන්ට ඕන ඈ . .

    රවි අයියේ . . . අබුඩාබි ඉඳන් කටාර් වලට ටිකට් එකක් අරන් එක ලේසිද මන්දා බන් ආයේ මුල ඉඳන් කියෝනවට වඩා . . . හික්ස්

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට එහෙම තමයි බං ජීවිතේ...කාලයක් නැතුවම බැරි දේවල් කාලෙකට පෙන්නන්ට බැරුව යනව...ආයෙම කාලෙකදි ඕන වෙනව.....එහෙම තමයි එව්වයෙ හැටි...හෙහ්, හෙහ්

      ඉතිං මේ දවස් දෙක තුන ඊද් නිවාඩුව නේද මලේ?....ඒකද උඹ බ්ලොග් කියවන්ට සැට් උනේ?....:) :)

      හෙහ්..බොහෝ විට උඹට මෙහෙට ටිකට් එකක් අරං ඇවිල්ල මයෙං කතාව අහගෙන යන එක ලේසි වෙයි දඩයක්කාරය මුළ ඉඳල කියවනවට වඩා...:) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...