Wednesday, August 29, 2012

103. තෑගි.................... Precious gifts are not to be sold



ගිය සතියේ දවසක්,

"අනේ බලන්නකෝ ලැප්ටොප් එකේ තියෙන්නේ වින්ඩොස් 7 හෝම් ප්‍රිමියම් කියලා පැකේජ් එකක්ලු. ඒකට කිසිම ඔටෝ කැඩක් (Auto Cad) සපෝර්ට් කරන්නේ නැහැල්ලු. මහත්තයාගේ ඔෆිස් එකේ අයි ටී තමයි කියලා තියෙන්නේ"

"හැහ්......... අඩේ එහෙමද? මං දාලා ගෙනාපු වින්ඩොස් වලටද දාන්න බැහැයි කියන්නේ? දාන්නම බැහැයි කියනවද?"

ඔතැනදී විදුලිය විසන්ධි වීමේන් සම්බාධක පැන නැගුනි. ඉතිරිය එස් එම් එස් මාර්ගයෙනි.

"Yes he is saying like that. Power Cut" (ඉතිරිය පසුවට)


***********************************************************************************

අම්මාගේ එක් මිතුරියකගේ පවුල හා අපේ පවුල අතර දුරාතීතයේ පටන් ලඟ ආශ්‍රයක් පැවතුනි. අප දෙපිරිස කාලයක් වාසය කලේද එකම නිවාස යෝජනා ක්‍රමයේ නිවාස දෙකකය. ඒ මීට අවුරුදු 25කට පමණ ඉහතදීය. අනතුරුව අප රාගම ප්‍රදේශයට පදිංචියට ආවද, මිතුදම නොබිඳී පැවතුනේ අම්මාත් ඒ ආන්ටිත් එකම පලාත් පාලන ආයතනයේ, ප්‍රධාන කාර්යාලයේ දෙපාර්තමේන්තු දෙකක සේවය කිරීම නිසාත්, බොහෝ විට එකම දුම්රියේ ගමන් කල නිසාත්ය. අප ඉඳ හිට නිවාඩු ඇති පරිදි ඔවුන්ගේ නිවසට යන අතර ඊටත් වඩා ඉඳහිට ඔවුන් අප නිවසට පැමිණෙන සිරිතක් ද පැවතින.

කාලය ගතවිණ. 1988 වර්ෂයේදී මාගේ උපන්දිනය දාම ඔවුනට දියැණියක් ඉපැදිණි. ඇය ඇගේ සොයුරාට වඩා වසර 8-9කට ආසන්න ප්‍රමාණයකින් බාල වීම නිසා පවුලේම සුරතලිය වූවාය. එම නැගණියගේත් මාගේත් එකම දිනයේ උපන්දින යෙදීම නිසා ආන්ටිට කිසි දිනෙක මාගේ උපන්දිනය අමතක වූයේ නැති තරම්ය. මට මතක පරිදි 1989 වර්ෂයේදී ඇය මට ඉතාමත් අලංකාර කහපාට, ගවුමක් තැගී කලාය. එහි ඉදිරිපස අලංකාර ලෙස වැඩ දමා තිබුණි. පපුව හරියේ රෝස පාට, නිල් පාට හා කහ පාට මල් තුනක් ඇප්ලික් කර තිබුණා මතකය. ඒ දිනවල ඇගේ සැමියා රෙදිපිළි හා සම්බන්ධ ව්‍යාපාරයක් කල බැවින්, මනා නිමාවකින් යුතු ඒ ගවුම මට ලැබින. එලෙසම එය මට දිග මදිවනතුරු යන යන තැන ඇඳගෙන ගිය අයුරුද මතකයේ තිබේ.

ඒ වගේ ගවුමක් අන්තර්ජාලයේ සොයා ගන්නට අපොහොසත් වීමි

අවුරුදු කිහිපයක් ගතවීමෙන් අනතුරුව කාලයක් යනතුරු සම්බන්ධතාව ඉතාමත් දුර්වල මට්ටමකින් පැවතුනේ අම්මාට එම පලාත් පාලන ආයතනයේම වෙනත් ස්ථාන වලට මාරු වීම් ලැබීම නිසා විය යුතුය. නැවතත් කෙසේ හෝ මිතුදම අලුත් වන විට 2000 වර්ෂයට ආසන්නව තිබිණ. එකල රටපුරා තිබුණු ආයතන සියල්ලේම එකතුවෙන්, 'යුනියන් මීටින්' යනුවෙන් හැඳින්වුනු එකතුවක් වාර්ෂිකව පවත්වන්නට යෙදුනු අතර මේ සඳහා රටේ විවිධ ප්‍රදේශ තෝරා ගැනුනු අතර එය අපට විනෝද සවාරියක් මිස යුනියන් මීටිමක් නොවුනු තරම්ය. (නවම් මාවත ලියන අපේ නවම් දිනක් පවසා තිබුනේත් මේ විනෝද සවාරිය පිළිබඳවය. අප සැවොම එකම තැනට රැස් වූ එකල නවම් හා අප මුණ ගැහෙන්නත් ඇති. කවුද දන්නේ ඒ කාලේ මේ වගේ බ්ලොග් ලියද්දි ආයේ මුණ ගැහෙන යාළුවෙක් තමයි මේ කියලා. නැද්ද මං අහන්නේ? )

මෙකී සවාරිය බොහොම විට යෙදුනේ මගේ උපන්දිනය යෙදෙන මාසය හෝ ඉදිරි මාසයේ වන අතර එය මගේ උපන්දිනය යෙදුනු මාසයේ යෙදුනු වසරකදී නැගණියට සුළු ත්‍යාගයක් ගෙන යාමට අමතක නොකලේ ආන්ටි ද අනිවාර්යයෙන් මට යමක් රැගෙන එන නිසාය. ඒ එසේමය. නැගනියට ගෙන ගිය දෑ මට මතක නැත. ඒත් ආන්ටි ගෙනා දේ මතකය. එය අලංකාර, නීල වර්ණ ස්කාෆයකි.

මට හරියට ම අවුරුද්ද සිහියේ නැතද, (පාසල් සමයේ අවසන් කාලයේ විය යුතුය) ඇගෙන් ලද ත්‍යාගය වූයේ කුඩා අත් බෑගයකි. අපේ අම්මා ඒ කාලයේ කීයටවත් එවැන්නක් අරං දෙන්නට නොසිතනු නොඅනුමානය. ඇගේ සිතුවිල්ලට අනුව එවැන්නක් ලැබීමට තරම් මා මෝරා සිටියේ නැත. නමුදු එය ලැබුනු පසු අම්මාද සතුටු වූවාය. මාද යන යන තැන එය රැගෙන ගියෙමි. ආන්ටි එහි ඇතුළු සාක්කුවක රුපියලක් ද බහා තිබුණා මතකය. දුඹුරු වර්ණ වූ එම බෑගය, සිනිඳු වූ කෘත්‍රීම ලෙදර් වර්ගයේ රෙද්දකින් නිමවා තිබිණි.

ඒ වගේ අත් බෑගයක් ද අන්තර්ජාලයේ සොයා ගන්නට අපොහොසත් වීමි

පාසල් කාලය නිමවින. වෘත්තිය අධ්‍යාපන කාලය උදා විය. අනතුරුව රැකියාවක නියුතු වන කාලය උදාවිය. ලොකු අත් බෑගයක් ගෙන රැකියාවට යන කාලය උදාවිය. මගේ කුඩා අත් බෑගය අල්මාරියට විය. ඉඳ හිට එය අතට ගෙන, ඇර එහි ඇති රුපියල දෙසද බලා නැවත තිබුණු තැනින් තැබූ අවස්ථා ද නැතුවාම නොවේ. ඒත් පාසල් සමයෙන් පසු, ගෙයින් පිට යෑම එයට අහිමි වූ බව කිව යුතුය. සමහර වැහි කාල වලට ඉතාමත් තුනී ලේයරයක් ලෙසින් ඒ මත සුදුපාට පුස් ඇති වී තිබෙනු දුටු විට වහා රෙද්දක් ගෙන පිස දමන්නට අමතක නොකලෙමි.

වසරක් දෙකක් ගත වන්නට ඇත. මාමා කෙනෙකු ඔහුගේ බිරිඳ සමග දින කිහිපයක් නවතින්නට අපේ නිවසට පැමිණියේය. ඔවුන් සමග අවුරුදු 12-14ක් වයස ප්‍රමාණයේ ඔවුන්ගේ දමිළ මෙහෙකාර දැරියද පැමිණියාය. (මයේ අම්මෝ මං නැහැ ඔය බාලවයස්කාර මෙහෙකාර සේවා කතන්දර වලට. ) මම අල්මාරිය අස්කරමින් සිටියෙමි. එම දැරියද අහල පහළ වූවාය. ඇය අර අත් බෑගය දුටු සැනින් එය අතට ගෙන,

"නෝනා මේක කාගේ?"යි ඇසුවාය.

"මගේ"

"ඔපිස් ගෙනියනවා?"

"අනේ නැහැ. ඉස්සර පුංචි කාලේ ගෙනියපු එකක්"

"මාත් ආසයි මේ වගේ එකකට. අපේ ගමේ නැහැනේ"

මම මදක් නැවතුනිමි. ඇගේ අහිංසක අසරණ මුහුණ දෙස බලා සිටියෙමි. වැඩි දුර හිතන්නට දෙයක් නැත. මා භාවිතා නොකරන එයින් ඇය සතුටු වනවා ඇති.

"හ්ම්............. ඔයාට ඕනෑද?"

ඇගේ දෙනෙත් විශ්මයෙන් විසල් වන්නට ඇත. නැතහොත් ඒ ඇය කල් යල් බලා හිටි අවස්ථාව නිසා එසේ නොවන්නටද ඇත. මට මතක නැත.

"මට දෙනවා.?"

"හ්ම්............. ගන්න"

එයින් අනතුරුව වසර එකහමාරක් ගතවිණි. අම්මා දිනක් වැඩ ඇරී නිවසට පැමිණියේ දුකින් බර වූ මුහුණින් යුතුවය. ඇයට කේන්ති යන යමක්ද අප තිදෙනාගෙන් කෙනෙකු අතින් ඒ අතරේ සිදුවිණ.

"අරක මේක කරලා මාවත් නැති කරගනිල්ලා." යි පවසා ඇය හඬන්නට වූවාය. අපි බිය වීමු.

"මොකද අම්මේ මොකද වෙලා තියෙන්නේ?"

"............... ආන්ටි නැති වෙලා" මට මද වේලාවකට හුස්ම නතර වූවා සේ දැනිණ. අනතුරුව තොරතුරු දැන ගතිමු.

උදෑසන ඇති වූ හෘදයාබාධයකින්, රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටද ඇය මෙලොව හැර ගොස් අහවර ව තිබුණි.

අනතුරුව අවුරුදු ගණනක් යනතුරු ඇය මට තිළිණ කල තෑගි සිහිකරමින් තැවුලට පත් වීමි. රෙදිවලින් තැනුනු ගවුමත් ස්කාෆයත් දිනෙක දිරා ගියද අත් බෑගය එසේ නොවේ. එය මා විසින් හිතා මතා ම නැති කරගතිමි. සැමියා විසින් අරං දුන් සමහර වටිනා සාරි ආදිය, එක් වරක් ඇඳි පමණින් එතරම් මිල මුදල් අත නැති මිතුරියන්ට දී ඇති අවස්ථා නැතුවා නොවේ. මේ පවසන්නේ එවන් අවස්ථාවක් නොවේ. මන්ද යත් මා සතු දේ වලින් 95%ක් පමණ ම ඔහු අරං දුන් දේ නිසාවෙන්, ඒ දේවල් හැර දෙන්නට වෙන දෙයක් මා සතුව නැති නිසාවෙනි. නෑයින් හා මිතුරු මිතුරියන් තිළිණ කල දේ හා මා මිල දී ගත් සබ්බ සකල මනාව ම ගොනු වන්නේ ඉතිරි 5%ටය.

ඉඳින් එම සිදුවීමෙන් අනතුරුව තැගී ලද දේවල් කිසිවිට අන්සතු නොකරන්නට ඉටා ගතිමි. මක් නිසාද යත්, තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යනුවෙන් කථාවක් තිබුණද, අදටත් ඒ සිදුවීම සියුම් ව හෝ මගේ හිත පෙළන නිසාය. බොහෝ විට ලෝභ කමක් ගෙන එන නිසාය. එහි තිබූ අවර්ණ වෙමින් පැවතුනු රුපියල මා හට කිසි දාක අමතක නොවනු ඇත.

********************************************************************************
එස් එම් එස් සංවාදයේ ඉතිරිය............

"ඉතිං මාර වැඩක්නේ. එතකොට ඕක ගත්ත අයට ඔටෝ කැඩ් දාගන්න ම බැරිද? මොක හරි එහෙනම් විකුණලාවත් වෙන එකක් ගන්න බැරි වෙයිද?"

"Calm down daruwa calm down. He is saying that he can put another windows version. But I'm the person who is stopping it cos it will be a pirated one. If you can, Pls check what kind of solution will help me. However dear ....................., Remember this! Precious gifts are not to be sold :-)"

ඔටෝ කැඩ් දමා ගන්නට නොහැකි වුවද, එය කිසිදා මා අතින් නොවිකිණෙන බව මා හට සක් සුදක්සේ විශ්වාසය.

පසු ලිවීම.

පිං සිදුවන්නේ අනේ මිතුරු ළමුන්නේ
ලැපිස් ටොපිස් ගැටළුව විසඳාලන්නේ


වින්ඩොස් 7 හෝම් ප්‍රිමියම් නම් වර්ෂන් එකට 2000-2010 දක්වා ඕනෑම වර්ෂන් එකක ඔටෝ කැඩ් දමා ගන්නට හෝ වෙනයම් ක්‍රමයකින් ඔටෝ කැඩ් දමා ගන්නට හෝ උදව් කල මැනවි‍.

34 comments:

  1. හිතට ආපු ගොඩක් දේ අකුරු කරන්නට හිතුනත්, මිතුරන් ඉදිරියේ ඇහැට නැගුනු කඳුලු වහන් කරන් අතීතයට ගොස් නැවත පැමිණුනි............

    ReplyDelete
    Replies
    1. හිතට එන දේවල් අකුරු කරන තරමට හිතට හොඳයි. මෙතැන නැතත් එතැන වත් අකුරු කරන්න අයියේ.......... අදහස් දැක්විම ගැන ස්තුතියි....... සමහරවිට මේ කිව්ව කථාව ඔයා දැනං ඉන්නත් නැතුව ඇති

      Delete
  2. නොදන්න මලඉලව් ගැන උපදෙස් දිය නොහැක. උදව් කිරීමට නොහැකිවීම ගැන බලවත් කණගාටුව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා......... උදව් කලා වගේ තමයි ඉතිං

      Delete
  3. තෑගි සම්බන්ධයෙන් මගේ අදහස නම් ටිකක් විතර නරුමවාදීයි කියල හිතෙන්නත් පුළුවන්...ඒත් මම දන්නව ඒක ඉතාම ප්‍රායෝගිකයි.

    1. අපි දෙන තෑගි මෙව්වා ගැන මම ඊට පස්සෙ හොයන්නෙ නෑ...දුන්නට පස්සෙ එච්චරයි...ඊට පස්සෙ තෑග්ගට කරන්නෙ මොකද කියන එක තනිකරම ත්‍යාගලාභියගෙ කැමැත්ත.....අපි හිතමු මොකක් හරි රාමු කරපු පින්තූරයක් කාට හරි තෑග්ගකට දුන්නය කියල...ආයෙම එයාලගෙ ගෙදර ගිය දවසක කෝ අර අපි දුන්නු පිංතූරෙ ?...මොකද කරල තීයෙන්නෙ ඒකට?...සාලෙට ඇතුල්වෙනකොටම පේන්ට එල්ලල තියනවද? කියල ඔය සමහර උදවිය ටේබල් ෆෑන් එක ඔන් කලා වගෙ බෙල්ල හරව හරව බලනවනෙ...අනේ මගේ නෑ එහෙම සිරිතක්..අපරාදේ කියන්ට බෑ අපෙ උන්දැත් එහෙමම තමයි.

    2. අපිට ලැබෙන තෑගි- මේ ගැනත් මගේ ආසාවක් නෑ...තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගය කියල ඔය හම්බ වෙච්ච එව්ව අනන්ත මම ආපහු එක එක්කෙනාට දීල ඇති...තමන් ඒ හැටි කැමැත්තක් නැති එහෙම නැත්නම් තමන්ට ප්‍රයෝජනයක් නැති දෙයක් නිකම් අනිවාරතේ පැත්තක දාල තියනවට වැඩිය ඒකට ආස කරන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුට දෙන එක වටිනව කියලයි මම හිතන්නෙ...ඔන්න ඔය රන්දිල් කියන කතාවෙ අර දෙමළ ළමයට හෑන්ඩ් බෑග් එක දුන්න වගේ....

    හැබැයි රන්දිල් ලියාපු මේ කතාව Precious gifts are not to be sold කියලම නෙවෙයි Precious gifts are not to be given away කියල සංශෝධනය කර ගත්තම නම් මටත් අදාල වෙනව...හ්ම්ම්...ඒ ගැන ආයෙම අලුතෙන් හිතන්නම වෙනව...ඒ කියන්නෙ මම දෙන තෑගි වලට ඔහෙ ඕන දෙයක් කලාවෙ කියල හිතුවට අනික් අය මට දෙන තෑගි වලට මම මගේ කැමැත්තක් කරන එක එක අතකට හරි මදි වගේ කියලත් හිතෙනව...ඒ කිව්වෙ මම වගෙ හැමෝම හිතන්නෙ නෑනෙ..අපි එහෙම හැමෝම අපි වගෙ හිතනව කියල බලාපොරොත්තු වෙන එකත් වැරදියිනෙ......

    දැන් ඔන්න මෙහෙම හිතමු. කවුරු හරි මයෙ ඉතාම හෘදයාංගම සහෘදයෙක් හෝ සහෘදිනියක් දුන්නය කියමු..ම්ම්...හරි අංක එකේ ගත්තු උදාහරණෙම හොඳයි. රාමු කරපු පිංතූරයක් කියමු..ඔන්න එයා අපෙ ගෙදර එන දවසක සාලෙ බිත්තියෙ බොහොම අපූරුවට දිලිසි දිලිසි තිබ්බොත් අර දුන්නු තෑග්ග මොන තරම් සතුටක් වෙයිද ඒක එයාට?....ඒ සතුට නැති කරන එක හරිද?

    කොහොම හරි රන්දිල්ගෙ මේ සටහන නිසා මට ආයෙම හිතන්න වෙනව...හෙහ්, හෙහ්, ඉහත අංක 1 සම්බන්ධව නම් නෙවෙයි...ඒ ගැන මගෙ අදහස එහෙම්මමයි...ඒත් අංක 2....ඔව්..ඒ ගැන ආයෙම හිතන්න වෙනව....:) :)

    ReplyDelete
    Replies
    1. ඔය එක සහ දෙකට මාත් කියන්නද එහෙනං........ :)

      1. අනිවාර්යයෙන් එකඟයි. මේ ලියැවිල්ලෙත් මං කියලා තියෙන්නේ එදා ඒ නැගනියට ගෙනිච්ච තෑග්ග මොකද්ද කියලා මට මතක නැහැ. බොහොම වෙලාවට දුන්නු දේවල් මට මතක හිටින්නේ නැහැ. ඉතිං මට ඒවා ගැන සොයන්න අවස්ථාවක් නැහැ. සමහර වෙලාවට හැබැයි අමතක වෙන්නෙත් නැහැ. ඒ ඔය මොනවා හරි විශේෂයෙන් හිතලා මතලා දුන්නු තෑගි තමයි. කෙටියෙන් කියනවා නං කඩෙන් අරං දෙන තෑගි දුන්නට පස්සේ මට බොහොම ඉක්මනට අමතක වෙනවා. ඒත් මං ම අතින් නිමවලා දෙන දේවල් නං අමතක වෙන්නේ නැහැ. ඒ වගේ ම එහෙම ඒවා වැඩි දෙනෙකුට දීලාත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් ඒ ගෙදරක ගියොත් මං අතින් සොයලා බැලෙයි ඒක තාම තියෙනවද කියලා. මොකද සමහර වෙලාවට රෑ නිදි වරාගෙන කරපු වැඩ තමයි ඒවා. ඉතිං ඒක ලබපු උන්දැ ඒ වගේ එකක් ලබන්න තරම් සුදුසු නැති වෙලා තිබුනොත් ආයේ ඒ වගේ තෑගි නොදීම හා කඩෙන් මොකක් හරි අටමගලයක් අටවලා දීම ගැන ගැන එක පාරක්වත් හිතන්න ඕනෑ නැහැ කියලා හිත හදාගන්න පුළුවන්නේ. නැද්ද මං අහන්නේ? :D

      2. හික් හික්......... අන්න පෑදිලා මොළේ......... හැබැයි වෙනත් අයගේ හිත හදන්නම නෙමෙයි... ලැබෙන දේ අගයක් දැනෙනවා නං ඒ දේ අනිවාර්යයෙන්ම ඔබ ලඟ බොහෝ කල් තියෙයි. සමහරවිට ඒ බෑග් එක මං දුන්නු එක හොඳ වැඩක්. හැබැයි මට විශ්වාසයි ඒ ළමයා ගාව දැන් ඒක නැතුව ඇති. මං ගාව තිබුණා නං තාමත් තියෙයි. මං එහෙම දුන්නේ ඒක මට නොවටිනා නිසා නොවෙයි. ඒ ළමයාගේ මුහුණ දැක්ක ගමන් දෙන්න හිතුණු නිසායි. මං තාමත් කල්පනා කරනවා. නිකමට හරි ආන්ටි නැති වුනාට පස්සේ කෙනෙක් මගෙන් එහෙම ඉල්ලුවා නං මං දෙයිද කියලා. ඔව්.......... මං දෙයි... ඒ ඒ ආන්ටි ට පිං ලැබේවා කියලා හිතලා. ඊට පෙර ඒක දීම මට දැනෙන්නේ මං කරපු වැරදි වැඩක් හැටියටයි. ඒකයි මේ ලෙඩේ........

      Delete
    2. මටත් ගැටළුවක් වුනා මෙතැන කියැවෙන කථා දෙකටම Precious gifts are not to be sold නොගැලපීම ගැන. නමුත් අර එස් එම් එස් සංවාදේ මගේ අවසන් එස් එම් එස් එක අවසන් වුනු වාක්‍යය ඒක නිසා, ඒක එහෙම ම යොදන්න තීරණය කෙරුනා.

      Delete
    3. ඔතන වෙන්නෙ මේකනෙ බං...නිසි බලධාරී විසින් මාගේ රුචිය පිළිබඳව කිසිදු තැකිමක් නොකොටම .........හෙහ්, හෙහ්...

      ඔන්න ඔය යාළුව දුන්නු පිංතූරෙත් උස්සගෙන මම ගියාය කියමු ගෙදර......මෙන්න සීන් එක....සිද්ද වෙන්නෙ මෙහෙමයි හොඳද?

      '' ඒයි, මේ.... මෙන්න,..... දැක්කද මේක?... ''

      '' කෝ මොකක්ද? ''............... ( ළඟට එයී )

      '' මොකක්ද අනේ ඔය? '' ........( එය වමතට ගෙන ඒ දෙස දෑස් කුඩා කොට මොහොතක් බලාසිට ආපසු මගේ අතට දෙයි )

      '' මොකක්ද මේ?....මට නම් මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ...මොකක්ද හැබෑටම මේ? ''

      '' ඔය මට හම්බවෙච්ච තෑග්ගක්....ඕක කොහෙද අපි එල්ලන්නෙ?..ම්ම්, සාලෙ අර සෝෆා එකට කෙලින්ම ඉස්සරහින් හොඳයි නේද? ''

      ( ඇගේ මුව අඩක් විවර වෙයි, දෑසෙහි ඇත්තේ නොපහන් බැල්මකි )

      '' මේක?....සාලෙ එල්ලන්ඩ?...පිස්සුද හැබෑටම?.....මේක එල්ලුවොත් සාලෙම ඉවරයි....හොඳයි කවුරුහරි ඇහුව ...මේ මොකක්ද මේ කියල මොකක්ද අපි දෙන උත්තරේ?

      ( එවර විවර වන්නේ මගේ මුවය.හඬෙහි නිරායාසයෙන් පිළිඹිබු වන නොරිස්සුම පාලනය කිරීමට මම තැත් කරමි )

      '' මේ හලෝ...කාටවත් මොකටද අපේ ගෙදර සාලෙ එල්ලල තියන එව්වයෙ ජාතකේ?...එහෙම අහන එකෙක් හරි එකියක් හරි ඉන්නවනම් මගෙන් අහන්ට කියන්ට මම දෙන්නම් උත්තරේ...''

      '' ඔයා නම් කියයි...ඕක එල්ලල ඔයා යයි යන්ට...මම එපාය මෙතන ඔව්වට උත්තර දෙන්ට....''

      ( තර්ක ශාස්ත්‍රය විශයයක් වශයෙන් ප්‍රගුණ කොට නොමැති බවට ඇය පවසන්න අසත්‍යයක් බවට මට හැඟුනු මුල් අවස්ථාව මේ නොවේ. )

      '' හරි හරි...මෙතන කෙස් පලන තර්ක ඕන නෑ...අහන කෙනෙකුට කියන්ට ඕකෙ ඇවිල්ල පශ්චාත් නූතන වාදී කලා කෘතියක් කියල.''

      '' මොකක්?....පශ්චාත් භාගය කියල එකක් නම් අහල තියනව...පශ්චාත් භාගයේ කලා කෘතියක් ගැන නම් ඔය ඇහුවමයි. ''

      ( හඬ නඟා සිනා සෙන්නීය. කෝපාවිශ්ට වියයුතුද ඈ හා එකව සිනාසිය යුතුදැයි මොහොතක් කල්පනා කරන මම අවසන දෙවන විකල්පය තෝරා ගනිමී )

      '' මේ එහෙම නෙවෙයි..මේක සාලෙම එල්ලමු.....හා ද?...මේක ඊයෙ මුළු රෑම නිදිමරාගෙන ඉවරකලා කියලයි කිව්වෙ....''

      ( මම ආයාචනා කරමි. )

      '' හ්ම්ම්..ඒක නම් අමුතුවෙං කියන්ට දෙයක් නෑ...නිදිමතේ කොරපු දෙයක් බව බැලුව ගමන්ම පේනව. ''

      ( ඇය නැඟී සිටියාය.)

      '' මේ... ඕක කොහෙ හරි එල්ල ගන්ටම ඕනනම් ඔයාගෙ පුස්තකාල කාමරේ තියෙන්නෙ..ඒකෙත් ඔය පොත් රාක්කයක් පිටිපස්සෙ වගෙ එල්ලුවට වරදක් නෑ...හිහ්, හිහ්, ''

      ( ඇය මවෙතින් ඉවත යන අතර පැවසුවේ උරහිසට උඩින් මදෙස බලමිනි )

      මගේ පුස්තකාල කාමරයේ පලමුවන පොත් රාක්කය පසුපස බිත්තියේ එවන් රාමු කල නිර්මාණ දෙකක් දැනට එල්ලා ඇත.

      Delete
  4. මං නම් මහලොකු දෙයක් දන්නේ නෑ... ඕං මගේ එකේ නම් යසට වැඩ. ඒකෙත් තියෙන්නේ හෝම් ප්‍රිමියම්ම තමා... කැඩ් 2010 තියෙන්නේ. 2004 ට්‍රයි කරන්න ඒක නම් බැරි වෙන්න විදියක් නෑ...

    ReplyDelete
    Replies
    1. සා සා ඕං බලන්නකෝ වැඩේ........... අද ෆෝන් එක ගෙදර දාලා ඇවිත්. ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නම්කෝ මල්ලි...........

      Delete
  5. ඔයා නිකං අල්මාරියක තියාගත්තු දේකින් අහිංසක ලමයෙකුට සතුටක් දුන්නා නේද කියලා සතුටු වෙන්ට. කාලෙකින් ඔය ආන්ටි ගැන තියන දුක තුනීවෙලා යාවි. ඉතිරි වෙන්නේ මතකයක් පමණයි. ඒත් ඔයා කලදේ සදහටම ඉතිරිවෙයි. තවත් කෙනෙකුට සතුටක් දෙන්ට පුලුවන් එහෙමත් කෙනෙකුට විතරයි රන්දිල්.

    අර අහලා තියන අනික් දේ ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි ඒ අදහසට. ඔයාලා වගේ මිතුරු මිතුරියන්ගේ අදහස් හැමදාමත් අගේ කොට සලකනවා. ඒ දේවල් එදිනෙදා ජීවිතයේදී ගොඩක් වෙලාවට සිහි කරන්න වෙනවා.

      හා හා ඒකට කමක් නැහැ. මොකක් හරි කරන්න බලමුකෝ

      Delete
    2. පොඩ්ඩියි බින්දියි කියන දේ හරි කියලා මටත් හිතෙනවා. දෙද්දිම අත්හරින්න. අත්හරින්න බැරිනම් නොදි ඉන්න එක හොදයි. නැත්තං තෘෂ්ණාව මුල් වෙලා දානයෙන් ම අකුසලය රැස්වෙන්න පුලුවන් නේද?

      Delete
    3. කරුණාකර මහත්මයා උඩට යන්න. ගොස් අර රවී නැමැති පුඟුලාට දෙන ලද පිළිතුර කියවන්න........... :D

      Delete
  6. ඔයා
    කරලා තියෙන්නේ හොඳම දේ . ආන්ටි කලේ ළමයෙක් සතුටු කරන එක . ඔයා කලෙත් ළමයෙක් සතුටු කරන එක . මගෙත් ඔය භාවාතිශය ලටපට හුඟක් තියෙන්නේ හිතේ . පාරිභෝගික භාණ්ඩ නම් සුසුදු කල සුදුසු කෙනෙක් පාවිච්චි කල යුතුය කියන මතයේ තමයි මන් ඉන්නේ . මේ අතින් අරන් අනික් අතින් දෙන අල්ල හිල් වුන ජාතියේ කෙනෙක් කියල අම්මගෙන් අදටත් බැනුම් අහන මට නම් ඔයා ඒ බෑග් එක දීපු එක ගැන ගොඩක් සතුටුයි. පොත් ඇරෙන්න අනෙක් ඕනෑම දෙයක් දීලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ . මොනවා හරි නැති වෙලා සොයද්දී '' කාට හරි දෙන්න ඇති '' කියල තමයි අපේ ගෙදර එක්කෙනා කියන්නේ . දුක් වෙන්න එපා රන්දිල් ආන්ටි ගැන මතකය තමයි පර්ස් එකට වඩා වටින්නේ .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ........... පොඩ්ඩිට කී දේම ඔයාටත් කියන්න හිතෙනවා. මුදල් වුනත් වෙන දෙයක් වුනත් කාට හරි අවශ්‍ය විටකදී දෙන්න හිතුනොත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒත් අනේ මන්දා... ඔය වගේ ඉමෝෂනල් කේසසුත් ඒ අස්සේ තියෙනවා. ස්තුතියි අක්කේ අදහස් දැක්වීමට

      Delete
  7. ආන්න හරි බින්දි.. පොත් ඇරෙන්න වෙන ඕනම දෙයක්.. මාත් එක පයින් එකඟයි ඒ කතාවට.. :D


    ps: // දුක් වෙන්න එපා රන්දිල් ආන්ටි //

    කවුද බොලේ රන්දිල් ආන්ටි...!!!??? ;)

    ReplyDelete
    Replies
    1. අනේ බොරු කියන්න ඕනෑ නැහැ. මං පොතුත් දීලා තියෙනවා.......... පොඩි ළමයින් ආවහම දුවට ගෙනැත් තියෙන කථා පොතක් හරි දීලා යවනවා. ආයේ පස්සේ ගන්න බැරියැ කියලා. මෙතැන තියෙන්නේ ඊට වඩා වෙනස් ගැටළුවක්.... (උඩ කොමෙන්ටුවකින්) මං තාමත් කල්පනා කරනවා. නිකමට හරි ආන්ටි නැති වුනාට පස්සේ කෙනෙක් මගෙන් එහෙම ඉල්ලුවා නං මං දෙයිද කියලා. ඔව්.......... මං දෙයි... ඒ ඒ ආන්ටි ට පිං ලැබේවා කියලා හිතලා. ඊට පෙර ඒක දීම මට දැනෙන්නේ මං කරපු වැරදි වැඩක් හැටියටයි. ඒකයි මේ ලෙඩේ........

      කොමාවක් හැලිලා වගේ බුරාතීනෝ... ඒක දාගෙන කියවන්න :)

      Delete
  8. මේ කාලේ පාටියක් දෙන්න හේතුකාරනා මුකුත් තියේනම්, දානයක් කියලා හිතලා අපිට දීහන් ෆාටියක්.....!:P

    ReplyDelete
    Replies
    1. ඇයි මතක අමතකද? ළඟදිම හේතුවක් ඒළු බිනරමලීට...

      Delete
    2. පාර්ටි දෙන්න කාරණා නං ඉතිං කොච්චරක් කියලද බුඩ්ඩි...........

      බිනරමලීට මේ පාර ලස්සන දෙයක් කරලා දෙන්නයි කල්පනා කලේ...... ඒ ගැන අදම පෝස්ට් එකක් දාන්න වෙනවා මේ පැයකට විතර උඩදී ඇති වුනු අදහසක් නිසා

      Delete
  9. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කිවුවාත් බලන් යන කොට එහෙම නෑ වගේ...

    ලැපාට ජනේල 7 අල්ටිමේට් එඩිෂන් එක දාලා බලන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොරතුරට මල් සරෝ............

      Delete
    2. මගෙත් ලැපේ තියෙන්නෙ හෝම් ප්‍රීමියම්. ඉස්කෝලෙදි පාවිච්චි කරන්නෙ වයි ෆයි කනෙක්ෂන් එකක්. ඉස්කෝලෙ නෙට්වර්ක් එකේ තියෙන ප්‍රින්ටර් එකකට මගෙ ලැපෙන් ප්‍රින්ට් කමාන්ඩ් එකක් දෙන්න බැරි හෝම් ප්‍රීමියම් නිසාලු. අල්ටිමේට් තියෙනවානම් පුලුවන්ලු. නමුත් ඒ ඇර අනිත් ඕනෙ එකක් කරන්න පුලුවන්

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  10. මගෙත් නියෙන්නේ windows home premium ඒකේ auto cad 2012 අවුලක් නැතිව වැඩ කරනවා ඔයා දාලා බලන්නේ නැතිව නම් කීවේ try කරලා බලන්න its working without problem no need to change windows

    ReplyDelete
    Replies
    1. මං නං දාන්න බැලුවේ නැහැ. ඒත් මහත්තයාගේ ඔෆිස් එකේදි ට්‍රයි කරලා තියෙනවා. මොකක් හරි 64 බිට් කථාවක් තමයි එන්නේ............ බලමුකෝ තව දුරටත්. ස්තුතියි මිතුර

      Delete
  11. මම සරොං අඳින්නෙ නෑ සාමාන්‍යයෙන්. ෂෝට් තමයි අඳින්නෙ. (මේ කෑල්ල ලිව්වෙ අර පුඟුලා උම හෙලුවෙන්ද ඉන්නෙ කියලා අහන්න කලින්) මට එක පාරක් සරමක් තෑගි හම්බ වුනා අවුරුද්දකට. අර දීපගෙ තියෙනවනෙ ලැබෙන තෑගි කාට හරි දීලා දාන පුරුද්දක්. ඒ වුනාට මේක තියාගත්තා කවුරු හරි අමුත්තෙක් ආවොත් අඳින්න දෙන්න කියලා. කොහොම හරි මාත් ඉඳ හිට ඕක කඩා නොවැටෙන්න ඇඳගෙන ඉන්න පුරුදු වුනා.

    මෙන්න දවසක් ගෙදර ඇවිල්ල බලනකොට හාල්පොත වගෙ තිබිච්ච එකම සරම දීපා හිඟන්නෙකුට දීලා. ඊට පස්සෙ මට සරමක් තිබිලා නෑ.

    මේ වගෙ කතා තව බර ගානක් තියෙනවා, නමුත් එතකොට මේකත් අර පුඟුලා(මරු නම) ලියනවා වගෙ පෝස්ට් එකක් වෙනවා.

    නමුත් මටත් පොඩි කාලෙ තිබ්බා හාවො දෙන්නෙක් ඉන්න හාවා කෝට් එක. හෝප් නැවේ පින්තූරයක් අම්ම විසින් ඇප්ලික් කරලා තිබ්බ ෂර්ට් එකක්. තව ඇංකර් එකක් මහපු ටී ෂර්ට් එකක්. හ්ම්ම්ම්. මේවයේ තියෙන්නෙ අර sentimental value එකක්!

    ස්තුතියි මතකයන් අවදි කලාව රන්දිල්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. / (මේ කෑල්ල ලිව්වෙ අර පුඟුලා උම හෙලුවෙන්ද ඉන්නෙ කියලා අහන්න කලින්) /

      හෙහ්, එහෙම කලිම්ම කියල උඹ හිතුවෙ මගෙං බේරෙන්ටද?...එව්ව හඳේ හෙන්රියො...හෙහ්, හෙහ්

      / මෙන්න දවසක් ගෙදර ඇවිල්ල බලනකොට හාල්පොත වගෙ තිබිච්ච එකම සරම දීපා හිඟන්නෙකුට දීලා. ඊට පස්සෙ මට සරමක් තිබිලා නෑ /

      සිකේ අම්මප හෙන්රියො...හිංගලයෙක් උනාම බොල සරමක් අඳින්නෙ නැහ්නං ඒක හතර විළිලැජ්ජාවක්නෙ බංස්....

      රයිට් දැං උඹට සරමක් ඇත්තෙම නෑනෙ....හරි අපි උපකල්පනය කරමු මෙහෙම සීන් එකක්...කොහොමද?

      උඹ එනව කොහෙ හරි ගිහිල්ල ආපහු ගෙදර....ගෙදර කාමර ඔක්කොගෙම කවුරු හරි ඉන්නවය කියල හිතමු..ඔය පොඩි එවුං හරි...ගෙදරට ආපු නෑදැයො හරි...කවුරු හරි...දැං කියාපං බලන්ට උඹ කොහොමද කලිසම ගලෝල සෝටට මාරු වෙන්නෙ?....... විකල්ප හතරක් තියනව.

      1. දීපගෙ දිය රෙද්ද මිනිත්තු බාගෙකට ණයට ගන්නව

      2. තාප්පෙට හෝ වැටට උඩින් අල්ලපු ගෙදර මනුස්සයට කතා කරනව." විල්සන් අයියෙ..මේ තරහ නැතුව මිනිත්තුවකට අයියගෙ සරමක් මට දෙනවද?...මේ..හෝදල තියන එකක් හොඳද? "

      3. කාමරේ ඉන්න පොඩි එව්වංට මෙහෙම කියනව " පුතාල විනාඩියකට ඇස් වහගෙන බිත්තිය පැත්තට හැරිල ඉන්නවද?...මම හරේ කියනකල් ඇස් අරින්ට ඔට්ටු නෑ හොඳද? "

      4. සාලෙ දොර රෙද්ද එහෙම්මම තියෙද්දි ඒක ඔතාගෙන කොහොම හරි කලසම ගලෝල සෝටට මාරු වෙනව. ඒක ටිකක් ....ඉරෙන වැඩක් නම් තමයි...ඒත් මොනව කොරන්නද?...දිගටම කලසම ඇඳගෙන හිටියැහැක....හැරී හුඩිනි ගැන අහල තියනව නේද?...අන්න එහෙම ක්‍රියා මාර්ගයක් ගනිං...

      දැන් කියාපං බලන්ට කොයි විකල්පෙද උඹ අනුගමනය කොරන්නෙ?...හෙහ්, හෙහ්...

      Delete
  12. ඔය කොරලා තියෙන්නෙ.
    ඇයි බොල පුඟුලෝ:
    1. ටවල් කියලා ජාතියක් තියෙන්නෙ
    2. බාත් රූම් කියලා ජතියක් තියෙන්නෙ
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඇයි වෝඩ්‍රෝබ් දොර. ඇයි බං පෙරවපු ෂීට් එක. අනන්ත ඔප්ෂන්ස් තියෙනවනෙ.

      ආහ් අපේ ඇනිවර්සරි පෝස්ට් එක බොලා දැක්කෙ නැනෙ? ඒක්කෙ තියෙනවා බොලාට පට්ටගහන්න පුලුවන් මල් කඩන ෆෝටෝ එකක්. ඔය පල්ලෙහා තියෙන සිංහල ලින්ක් එක ඔබලා බැලුවා නම්.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. / 1. ටවල් කියලා ජාතියක් තියෙන්නෙ, 2. බාත් රූම් කියලා ජතියක් තියෙන්නෙ /

      ඔන්න, ඔන්න, ඕක නෙව කියන්නෙ....අපේ රටේ හැටියක්මනෙ ඕක...ඕනම දේකින් ඒකෙන් ගත යුතු නියම ප්‍රයෝජනේ නෙවෙයි ගන්නෙ....

      මෙන්න ඔය කාරනේටම අදාල නියම කතාවක්..

      මේ ලංකාවට කොම්පියුටර් ආපු මුල්ම යුගේ...අසූ හතරෙ වගෙ...ගම් උදාව මතකනෙ..අනුරාදපුරේ තිබ්බ ගම් උදාවෙ ප්‍රදර්සනේ කලා කොම්පියුටර්...කලින් ප්‍රචාරය දුන්න කොම්පියුටර් ගැන ඕසෙට...ඕනම තොරතුරක්, දත්තයන් ගබඩා කල හැකියි.....මින් පසු ලිපි ගොනු අවශ්‍ය නොවේ...තොරතුරු ඔබේ ඇඟිලි තුඩු අසල. ( Information at your fingertips )

      අපිත් අනේ ගියා පිට පොට ගහගෙන, දත මැදගෙන...මේ විස්වකරුම නිර්මානේ බලල සාදුකාරයක් එහෙම දීල එන්ට කියල හිතාගෙන..

      කොම්පියුටර් ප්‍රදර්සන කුටිය ඉස්සරහ පෝලිම ගව්වක් විතර...කොහොමින් කොහොමින් හරි ගියාය කියමු ඇතුලට...ඔන්න ඉතින් කොම්පියුටරේ වැඩ කිඩ කියල මොනවද දන්නවද පෙන්නුවෙ...අපෙ උපං වෙලාව අහල ඒකෙං පලාපල විස්තරයක ප්‍රින්ට් අවුට් එකක් අරන් දුන්න...ඔන්න අච්චර පොරෝජං ගන්ට පුළුවන් නිර්මානයෙන් එදා අපිට පෙන්නුවෙ මේ රුපියල් දහයක් දුන්නම ඕනම දෛවඥයෙක්ගෙන් කොර ගන්ට පුළුවන් වැඩක්.....

      රයිට් දැං එමු අදාල මාත්තුරුකාවට....ටවල්,වෝඩ්‍රෝබ් දොරවල්, පොරෝනා ඇඳුම් මාරු කිරීමෙහිදී විලි වසාගැනීමට යොදා ගැනීම සහ එම කර්තව්‍යය බාත් රූම් එකේදී කිරීම.....

      ටවල් එක ගැන මෙන්න මෙතන බලාපං...ටවල් එකෙන් ගන්න පොරෝජන බොහොම පැහැදිලිව තියනව නෙව...

      / A towel is a piece of absorbent fabric or paper used for drying or wiping. /

      ඒකෙ හැබැයි කලසමෙන් සෝටට මාරු වෙනකොට ටවල් එකක් ඔතාගන්නව කියල නම් නැහැ...විකිපීඩියා එක ඕන කෙනෙකුට සංසෝදනේ කරන්ට පුලුවන් නෙව...මෙහෙම දාපං හෙන්රි උඹ

      In Addition A towel can be used when changing from a touser to a pair of shorts, specially in Sri lanka

      උඹේ අනික් විකල්ප ගැන උනත් එච්චරම තමයි කියන්ට තියෙන්නෙ...හෙහ්, හෙහ්

      Delete
  13. දැන් ඔය විකිපීඩියා එකේ තියෙනවද සරමෙන් තියෙන ප්‍රයෝජන අතර කලිසමෙන් ෂෝටට මාරුවෙනකොට භාවිතා කල හැකිය කියලා කියලා ? :D

    කෝ උඹ අර මල් කඩන සීන් එක ගැන මොකුත් කියලා නෑනෙ. ඒක ඔප්ෂන් එකක් නෙවෙයි බං.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඉඳපං බං ටිකක්...සතියකට පස්සෙ එන එකම නිවාඩු දවස...කීයක් වැඩද?....රෙදි ටික හෝද ගන්ට, අතු පතු ගාන්ට, විසේසයෙං කටට රහට මොකවත් හදාගන්ට...යාලුවො මිත්තරයො එක්ක පොඩ්ඩක් ආස්සරේ කරන්ට..ඒ ඔක්කෝටම වැඩිය හීනියට ආතල් එකක් අරගෙන සිංදුවක් දෙකක් කියල...පොඩි ඩාන්ස් එකක් කාරිය දාල...හෙහ්, හෙහ්, ඔය ඔක්කොම කොරන්ට තියෙන්නෙ සිකුරද විතරයි...

      හරි, හරි ඒ ඔක්කොම අස්සෙ අත්‍යාවශ්‍ය වැඩත් කෙරෙන්ටම ඕන නෙව..උඹේ පෝස්ට් එක කියවල ඒකට ටීකාවක් ලියන එකත් අන්න ඒ වගේ වෙරි ඉම්පෝටන්ට් වැඩක් තමයි...හරි, හරි, ලියනව බං...මේ ලියනව...

      Delete
    2. ඔන්න බං ටීකාවක් ලිව්ව උඹේ සංවත්සර සමරු සටහනට...ඇහැට උනාපු කඳුලකුත් පිහදාල එහෙම...

      මයෙ දාහත් වන සංවත්සරේට ලියාපු සටහනකුත් ඒ එක්කම මතක් උනා ...උඹ නම් ඒකට කමෙන්ට් එහෙකුත් ලියල තිබුණ.

      මේ ගොයියො උඹේ බ්ලොග් එකේ සබ්ස්ක්‍රයිබ් කරන්ට හදාපංකො තරහ නැතුව...ඔය බ්ලොග්ස් ඔක්කොම කියවන්ට මට වෙලාව නෑ බං....මම කරන්නෙ මම කැමති බ්ලොග්ස් වලට සබ්ස්ක්‍රයිබ් කරන එක...එතකොට එව්වයෙ එක පෝස්ට් එකක් වත් මිස් වෙන්නෙ නෑ...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...