Tuesday, February 12, 2013

161. තාරාවෙක් සමඟ මතක මංපෙත ඔස්සේ.....


පහුගිය සිකුරාද සතියටම එන එකම නිවාඩු දවසෙ අපි තාරාවෙක් හැදුව. හැදුවය කිව්වෙ අල,ලූණු මාළු එහෙම තම්බල ඉඟුරු, සාදික්ක. කරාබු නැටි, කොත්තමල්ලි කොල එහෙම දාල පොඩ්ඩක් තෙම්පරාදු කරල තාරාව ඇතුලට පුරවල ඉදිකට්ටක් අරගෙන මැහුව. ආ...ඊට කලින් දොඩම් පෙති කපල ඇතුරුව...පස් සෙ මීපැණි, සෝයා සෝස්,දොඩම් යුෂ යාන්තමට රත් කරල බුරුසුවකින් තැවරුව. අන්තිමට අවන් එකේ පැය දෙකක් දෙපැත්ත හරවල බේක් කරල ගත්ත. හප්පා..අත්හදාබැලීමක් හැටියට කලත් වැඩේ බොහොම සාර්ථකයි. 

ඉතින් මේ සාර්ථක මහා තාරා මෙහෙයුමෙන් නොහොත් Operation Duck Roast එකෙන් පස්සෙ දිවා ආහාරයට ඉස්සෙල්ල අපි පොඩි දෙකක් ළඟ ළඟ නවා ගත්ත. ( එහෙම කිව්වම දන්නවනෙ නේද?....කොටින්ම පොඩ්ඩක් වෙන්න පානය කලා..වෙන දේකට නෙවෙයි එහෙම නොකලනම් ඒ අර තාරාවට කරන අගෞරවයක්...අන්න ඒකයි ) 

" තාරාවගෙ වැඩේ නියමෙට ආව නේද?.... " 

ඒ මගෙ යාලුව....පොඩි එකක් දාගන්න ගමන්. 

" නියමයි....ඔයාට කියන්ඩ මීට කලින් මම එකම පාරයි තාරාව කාල තියෙන්නෙ. ඒත් මේ කුකුල උයනව වගෙ කරි හදල....කුකුලට වඩා ටිකක් හයියයි කියල තමයි මට මතක...ඉන්නකො...ෂෝක් කතාව ඒක..ඔන්න මෙහෙමයි උනේ…" 

ඉතින් හීන්වට දෙක තුනක් නවා ගන්න ගමන් මම කතාව කිව්වා. ඒ කියාපු කතාව තමයි ළමයි මේ.... 

මීට කලින් මම ජීවිතේට තාරාවා කාල තියෙන්නෙ එකම එක පාරයි.දන්නවනෙ ඒ කොහෙදිද කියල කියන්න ඕන නෑනෙ..එක්කොත් ඔන්න ඔහෙ කියලම දාමු...අර බණ කතා පටන්ගන්න විදිහ අහල තියනව නේද?...එකල බරණැස බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන සමයේහි අප මහ බෝසතාණෝ..........අන්න ඒ වගෙ .....එසඳ මම්තුමාණෝ උත්තර මධ්‍යම සහ පෙරදිග යන දෙපළාත් සීමාවෙහි එක් අර්ධ රාජ්‍ය ව්‍යාපෘතියක සේවය කරන සමයේහි......... 

මම මේ කියන සිද්ධිය වෙච්චි කාලෙ හිටපු අපේ බොස් සත්තුන්ට පුදුම විදිහට ආදරෙයි.කාලෙන් කාලෙට කැලේ අතරමං වෙලා හිටපු, එහෙම නැත්නම් උගුල් වලට අහුවෙලා අම්ම නැතිවෙච්චි මුව පැටව් ගෝන පැටව් හත් අට දෙනෙක්ම අපෙ ලොක්ක ඇති කලා. සමහරු හිටපු ගමන් අන්තර්ධාන වෙනව.දෙතුන් දෙනෙක් ලෙඩ හැදිල මැරුන. මම හිතන්නෙ බොහෝවිට උංට පෙව්ව පිරි කිරි අල්ලන්නෙ නැතුව ඇති.එක පාරක් ලොක්ක ගෙදර ගිහිල්ල එනකොට අරං ආව තාරාවො හත් අට දෙනෙක්.... 

ආ...අර එළුවො ජාතියක් ඉන්නෙ බොහොම උසස් වර්ගයෙ...ජමුනපාරි කියල...ඔයිං එළුවො ජෝඩුවකුත් හිටිය කාලයක්...ඒ එළුව බලන්ට එපාය...හෙන රැස්පොට්... ලොක්කගෙ එළුවය කියල ඌ දන්නව මයෙ හිතේ. ඒකගෙ රැවුල තිබ්බ අඟල් හයක් විතර. දෙතුන් පාරක් අපේ ක්වාටස් එක පිටිපස්සෙ ගෝලය ( අපිට උයන්ඩ ක්වාටස් එකකට එක්කෙනා ගානෙ ආණ්ඩුවන් දීල හිටපු එකාව පොදුවෙ හැඳින්නුවෙ ගෝලය කියලයි.මම කලින් කතාවකත් මේක කිව්ව මතකයි...අපෙ එවුන් යාළුවෙලා ඉන්න කෙල්ලියන්ට කිව්වෙත් ගෝලය කියල. මොන හේතුවක් නිසාද කියල නම් අලේ මල්ලල්ලෑ...)  හිටවල තිබ්බ බෝංචි කොටුව ඔක්කොම විනාස කරල දැම්ම. ලොක්කගෙ සතා නිසා අපි මීක් කියන්නෙ නැතුං හිටිය.

අපි ඔය හවසට එලියෙ පුටු තියාගෙන පොඩි ආතල් එකක් ගන්න වෙලාවට ඕක එනව ලොක්කගෙ ගේ දිහාවෙ ඉඳල බොහොම බරට අඩි තිය තිය. ඇවිල්ල රැවුල කාරිය හොල්ල හොල්ල අපි දිහා බලා ඉන්නව ඩෝන්ට් කෙයාර් තාලෙට. 

ඔන්න මයෙ තව යාලුවෙක් හිටිය එදිරිය කියල. ඕකා මනමාලියක් බලන්ට යන්ටද කොහෙද සුමානයක් නිවාඩු ඉල්ලල ලොක්ක ගත් කටටම බෑ කියල...මූ එදා හිටියෙ ලොක්ක එක්ක බුදු මලෙන්...ඔන්න එදත් අර අජ උතුමාණෝ ඇවිල්ල අපි දිහාවෙ බලාන හිටිය ඔළු ගෙඩියත් හොල්ල හොල්ල...ඔය කාලෙ පුදුම වැඩේ කියන්නෙ අපෙ බොසාත් යටි රැවුල වවල හිටිය ඇරපු අතක් නෑ..අර එළුවාණෝ වගේමයි. 

එලූස් දිහාවෙ රවාගෙන බලා හිටිය එදිරිය එකක් උගුරටම හලාගත්ත. කෙල පාරක් එහෙම ගහල ගේ පැත්තට හැරිල කෑගැහුව. 

" මේ ජයවර්ධන අරං වරෙංකො කොල්ලො ඔය පොල් කොල ටිකක් වත් පත්තු කරල..මේ ******** ගෙ පුතාගෙ රැවුලට මට ගිණි තියන්ට, මුගෙ ලොකු අයියට උණ ගැනෙන්ට....බලාපල්ලකො බලාගෙන ඉන්න හැටි විතරක්...අපි උගෙ යටත් වැසියො කියලයි මූ හිතාගෙන ඉන්නෙ මම හිතන්නෙ...." 

ඒ දවස්වල අපේ උයන්ට හිටපු ගෝලය තමයි ඔය ජයවර්ධන... 

හරි..ඒ එලු කතාව එතනිං ඉවරයි..ආයෙම තාරාස් ගැන...ලොක්ක ඔය තාරාවන්ට හැදුව වෙනම පොඩිවට පොකුණක්...ඒ කිට්ටුවම අඩි තුනක් වගෙ උඩින් වටේට කුකුල් දැල් ගහල ලෑලි වලින් හැදුව උන්ට ලගින්ට කූඩුවකුත්. ඕකට යන්ට දාල තිබ්බ ලෑල්ලක්...හප්පා හවස් වෙනකොට අර තාරාවො එකා පස්සෙ එකා පස්සත් හොල්ල හොල්ල කුවැක් කුවැක් ගගා ලෑල්ල දිගේ කූඩුවට යනව බලන්ට ලස්සනයි. අපි කට්ටිය පෙලක් වෙලාවට ඕක බලන්ටම යනව පොකුණ ගාවට කළුවර වැටෙන වෙලාවට කිට්ටු කරල... 

" ඒයි ලොක්කගෙ තාරා කූඩුවට ඊයෙ නරියෙක්ද කොහෙද පැනල…" 

එක දවසක් උදේ අපි ඇහැරුනේ විමලෙගෙ ගෝරනාඩුවට. විමලෙය තමයි අපි ඔක්කෝටම කලින් නැඟිටින්නෙ...ඕකට නින්ද යනව බොහොම හොරයි.උංගෙ ගම අලි විමානෙ...ඕක ගෙදර ඉන්දැද්දි රෑ තිස්සෙ ඇහැරගෙන අලි වෙඩි දානවලු උං පන්නන්ට. ඒ නිසාම ඕකට කොහෙ ගියත් නින්ද යනව හොරයි කියලයි අනික් එවුං කියන්නෙ...හැබෑ බොරුනම් අනේ මන්ද ඔය කතාවල.... 


ඔය වල් අලි…. ( සමාවෙන්න..Current accepted term is වන අලි ) ..වන අලි ටෙලිපෝන් මාර්ගයෙන් පන්නන මයෙ යාලුවෙකුත් ඉන්නව. ඒ සීන් එක නම් හැබැයි මේ බොහොම මෑතක...හරි ඒ කතාවත් පස්සෙ කියන කතා පයිල් එකට දාමුකො දැනට... 

හරි..ඔන්න විමලයගෙ ගෝරනාඩුවට අපි ඔක්කොම ඇහැරල සරං ඇඳ ඇඳ ආව එළියට.... 

" හප්පට සිරි....යමල්ල යමල්ල බලන්ට...." 

ඔක්කොම ගියා තාර කූඩුව ළඟට ඔන්න ඉන්න තරමක් කෑම්ප් එකේ සෙනඟ එතන වට වෙලා...ලොක්කත් ඉන්නව මූණත්තහඩුව නිකං ගල් පතයක් උඩට දෙරි ගහච්ච වැලයක් වගේ හදාගෙන.... 

තාරාවො තුන් දෙනෙක් අඩුයි.....අනික් එවුන් අහල පහල පඳුරු අස්සෙ ගල් ගොඩවල් අස්සෙ ඉඳල හොයාගෙන...තාර කූඩුවෙ පැත්තක කුකුල් දැල ඇදල අයිං කරල දාල... 

" දැං සෑහෙන කාලයක් තිස්සෙ නරින්ගෙ සද්දයක් නම් ඇහුණෙ නෑ නේද?..." 

ඔන්න එකෙක් කිව්ව......කූඩුව වටේ පරීක්සා කරන ගමන්.... 

" අනික නරි ආවනං අඩි තියෙන්න එපාය..මොකෝ උං පියාඹලා එන්නෙ නෑනෙ..... " 

ඒ දවස්වල පැලෙන්ට පායනව.. 

" මේ කට්ට පොළවෙ කොහෙද අඩි හිටින්නෙ....." 

උත්තර දුන්න තව එකෙක්...විද්වත් සබාවෙ විමර්සනේ නැඟල ගියා.වැඩට යන එක ටිකක් පරක්කු කරල මොනව හරි රටේ නැති වල් පල් ටිකක් කියෝ කියෝ ඉන්ට තියනම් අපේ එවුන්ටත් ඊට වඩා දෙයක් ඇත...හෙහ්, හෙහ්,අනික ලොක්කගෙ තාරාවො තුන් දෙනෙක් නැතිඋනාය කියන්නෙ සෙල්ලං කෙළියක්ද එක අතකට..වෙන තැනක නං දවසක් නිවාඩු දෙනව අය දෙකක් නැතුව...ඔය පොඩ්ඩක් මොනවහරි පාවිච්චි කරල දුක්ඛ දෝමනස්සයන් හිරු දුටු පැණි බිඳු මෙන් පහකරගන්ට... අපෙ කොහෙද එහෙම......

" නරි කියල ෂුවර්මද?..." 

මම ඇහුව් වටේ පිටේ ඉන්න එවුංගෙ මූණු බලන ගමං...මම විතරක් මොකටද කට වහගෙන ඉන්නෙ?...විද්වත් අදහසක් මොකවත් ප්‍රකාස කලාම මොකද ආය...නැද්ද හොඳයි? 


" කතන්දරේකවත් මම නම් අහල නෑ නරි තාරාවො අරං යනව කියල…" 

" අනේ මේ...උඹ මේ ලෝකෙ තියෙන ඔක්කොම කතන්දර කියවල තියනවද?...අනික් අතට නරි කරන ඔක්කොම දේවල් කතන්දර වල ලියවෙනවද?..." 

සමරෙ මට එගේන්ස්ට් එකට ආව. 

" හරි ඒක අල්ලල දාමුකො...මොකෝ මේ අහල පහලකවත් තට්ටක් නැත්තෙ?....මුගටියො එහෙම කුකුලො අල්ලගෙන ගිහාම ඒ ගිය පාර පුරා තටු..." 

මම ආයෙම කිව්වා. ඒ කතාව ඇත්ත. මම පොඩි කාලෙ අපේ ගෙදර කුකුලො ඇතිකලා. ඒ දවස්වල මට මතකයි මුගටි කුකුලො අල්ලං ගිහාම අපි ඒ පාර දිගේ තටු එකතු කර කර යනව. 

" ඔය කිව්වෙ ..ඔන්න කිව්ව..යකෝ..ඒ මුගටි කුකුලො ඇල්ලුවමනෙ..මෙතන මේ ඉන්නෙ නරියෙක්. අනික ඌ අල්ලල තියෙන්නෙ තාරාවෙක්. එතකොටත් තටු ගැලවෙන්නම ඕනය කියල කියන්නෙ කොහොමද උඹ..හා කියාපං බලන්ට…"' 

සමරෙගෙ ඒ තර්කයට ප්‍රති තර්කයක් මට හිතාගන්න බැරිඋනා. ඒ නිසා ඌටම දිනුම දීල මම නිකා හිටිය. 

එදා වැඩට ගිහිල්ල ඇවිදිල්ල පොඩ්ඩක් ඔය ටී.ටී. පාරක් එහෙම ගහල නාල කියල කාරිය මම මිදුලෙ වීර ගහයට පිට පළුවකින් හදල තිබ්බ බංකුවෙ ඉඳගෙන පොතක් කියෝ කියෝ උන්න. අපෙ කෑම්ප් එක කිට්ටුවම තිබ්බ සාමාන්‍ය තරමෙ වැවක්. අර මම කාලෙකට ඉස්සර කියාපු උපන්දින මතක සැමරුම් කතාවෙ කියවෙන්නෙ ආන්න ඒ වැව තමයි.හවස මේ වෙලාවට ඒ ලඟ තිබ්බ මුස්ලිම් ගමේ කෙල්ලො එනව වැවට නාන්ට. ඉතිං ඔය වෙලාව අල්ලල පොතකුත් අරගෙන අර බංකුව උඩ තැම්පත් වෙන එක මගෙ සම්ප්‍රදායානුකූල සිරිතක් වෙලයි තිබ්බෙ...හෙහ්, හෙහ්, 

මම ඔහොම බංකුව උඩට වෙලා තනි ඇහෙං පොත කියවමින් ඉඳිද්දි ඔන්න විජේ ආව එළියට. ඌ හවස් වරුව කම්මැලියි කියල බුදියගෙන හිටියෙ. 

" ඒයි වීරෙ..මොකද බං ඔතන කරන්නෙ? " 

ඌත් මා ලඟ ඇවිල්ල ඉඳගත්ත. හීතල හුළඟක් හමාගෙන ආව වැව දිහාවෙ ඉඳල. ඇඟේ හීගඩුත් පිපුන කොටිම්ම. 

" ඒයි මාර හීතලයි. පලයංකො නිමලයගෙං ඉල්ලං වරෙංකො බෝතලයක්...." 

විජේ අත් දෙකත් පොරෝගෙන කිව්ව. 

" සල්ලි නෑ මචං…" 

ඒ මාසෙ අන්තිම හරිය. නැට්ටටම හිඳිල අපි ඔක්කොම හිටියෙ. 

" මම දැන් නිමලයගෙං බෝතල් තුනක්ද කොහෙද ණයට අරං තියනව.ඒත් ඉල්ලුවොත් ඕක බෑ කියන්නෙ නෑ. ඒත් මට මහ මොකක්ද වගෙ..උඹ ගිහිල්ල ඉල්ලං වරෙං..පඩි ලබන අඟහරුවාදනෙ..සල්ලි හම්බ උන ගමන් ගෙවල දාමු. " 

හා එහෙනං කියල මාත් නැඟිට්ට. වෙනදට මේ වෙලාවට නාල යන කෙල්ලො රංචුවත් අද පේන්ට නැති එකේ මම ගියා නිමලය හම්බ වෙන්ට. නිමලය අපෙ චෙක් රෝලෙ හිටියෙ. ( චෙක් රෝල ගැන නොදන්න ඈයින්ගේ දැනුම් පිණිස - චෙක් රෝල යනු අනියම් සේවකයින්ගෙ වැටුප් ගෙවීම උදෙසා පවත්වාගෙන යනු ලබන පැමිණීමේ ලේඛනයයි.) ඔය නිමලයව අපි යොදවල හිටියෙ හුදෙක් සුමිහිරි පානේ ආසවනය කිරීම උදෙසාම.වියදම් මිනිහ ගානෙ. අපිට බඩු දුන්න බොහොම සහන මිලකට...වියදම් විතරක් කවර් වෙන්ට...අර මම කලින් කිව්වෙ වැවක් ගැන. ඕකෙ එහා කෙලවර තමයි ඔය වැඩේ කෙරුවෙ. 

" ඒයි නිමලෙ..බෝතලයක් දියං බං...පඩි ගත්තම සල්ලි දෙන්නං... " 

නිමලය නාගෙන එනව දැකල මම මඟදිම කිව්ව. 

" හරි මහත්තය...ඒක කොහොම කරගන්ට බැරිද?..ඉන්ඩකො මම ගේන්නං…" 

නිමලය ගෙට ගියා. මම ඉස්තෝප්පුවෙ තිබ්බ පුටු කබලෙ වාඩි වෙල බලා හිටිය. 

" මහත්තය..පොඩි බඩුවක් තියනව...." 

නිමලෙ සිමෙන්ති උරේකින් හදාපු බෑග් එහෙම දාපු බෝතලෙත් එක්ක පත්තර පිටුවකින් වහපු ලොකු ප්ලාස්ටික් කෝප්පෙකුත් මට ගෙනත් දුන්න. 

" මොනවද බං?....." 

මම පත්තරේ ටිකක් උස්සල බැලුව. 

" කුකුල් මස්ද? …" 

" අරං යන්ඩකො මහත්තය..කාලම බලන්ටකො…" 

විමලෙ හිනාවෙවී කිව්ව. 

ඔයිට කලින් දවසක මම නිමලෙට කියල තිබ්බ මොණර මස් එහෙම හම්බ උනොත් මට ටිකක් දීපං..කාල බලන්ට ආසයි කියල..ඔය වැව හතීකොණ උං බයින්ඩිං වයර් වලින් උගුල් අටෝනව. වළි කුකුල්ලු, එතකොට මීමින්නො හාවො වගෙ පොඩි සත්තු එහෙම හරියට අහු වෙනව. 

" මොණරද බං?...." 

නිමලෙට මම කලින් කියල තිබ්බ කතාව මතක් වෙල මම ඇහුව. ඒකා ආයෙම හිනා උනා. 

" කාල බලලම කියන්ටකො ……" 

මම ඉතිං බෝතලෙයි මස් කෝප්පෙයි දෙකම අරං ආව. මස් එක නියමෙට තිබ්බ.දුරු මිරිස් එහෙම ආය නෑ හොඳ ගානට. ඒකෙං බාගයක් එක්ක බෝතලේ ගැහැව්ව විජයය, මමයි , සමරෙයි.විමලෙ එහෙමට බොන්නෙ නෑ.ඔය හිතක් හිතුනොත් තමයි. 

" මොනවද බං මේ?......" 

බොන ගමනුත් විජේ ඇහුව මස් කෑල්ලකුත් හප හප. 

" දන්නෙ නෑ මචං නිමලය කිව්වෙ නෑනෙ...මොණරා මම හිතන්නෙ. මම කලින් දවසක ඕකට කියල තිබ්බ මොණරෙක් අහු උනොත් මටත් ටිකක් දීපං කියල…" 

මම උගුරට එකක් හලාගෙන මූණ ඇඹුල් කරගෙන කිව්ව. 

ඔයිට සතියකට දෙහෙකට විතර පස්සෙ දවසක්...එදා ක්වාටස් එකේ හිටියෙ මම විතරයි. අනික් ඔක්කොම ගෙවල් වලට ගෙහුං හිට...නිමලෙය හවස ආව බෝතලේකුත් අරගෙන. 

" අපෙත් අද ඉන්නෙ මං විතරයි මහත්තය.අනික අද මගෙ උපං දිනේ. අද මා ගානෙ පාටිය....." 

එදා වැඩි මොකවත් තිබ්බෙ නෑ සරුසාරෙට හපන්ඩ. බිත්තරයක්ද දෙකක්ද කොහෙද ඔම්ලට් දාල ගත්ත. 

" එදා අර උඹ දුන්නු බයිට් එක තමා බයිට් එක..පුදුම රහක් නෙව...මොනවද බං හැබෑටම ඒ? " 

බෝතලේ බාගයක් විතර හිස් වෙනකොට මම ඇහුව..නිමලෙ අහක බලාගෙන හිනාඋනා. 

" මහත්තයට හිතාගන්න බැරි උනාද ඒ මොනවද කියල. " 

ආයෙම මගෙ දිහා බලල ඇහුව. 

" ඒකනෙ බං...කුකුල නං නෙවෙයි..අපි ඒත් කතා උනේ මොණර මස් වෙන්නැති කියලයි.." 

" නෑ මහත්තය...කාටවත්ම කියන්න එපා හොඳද?...ඒ තාරා මස්!!! " 

" හෑ????????? " 

මගෙ කටත් ඇරුන මම හිතන්නෙ හක්කෙ චාර්වක දත් හිටං පේන තරමට. 

" උඹව තියන්න වටින්නෙ නෑ නෙව. යකෝ ලොක්ක ඇහේ ඉඳං පට්ට ගහයි තාරාවො මැරුවෙ උඹය කියල දැන ගත්තොත් එහෙම. " 

" ඔන්න ඉතිං මහත්තය මට කියන්න දෙන්නෙ නෑනෙ.මම මරාපු තාරාවෙක් නෑ…..පාන්දරම තාරාවො කෑගහන සද්දෙට මම ගියා ටෝච් එකත් අරගෙන. එතකොටත් නරිය තාරාවො දෙන්නෙකුත් අරගෙන ගිහිල්ල. එකෙක් අර පිටිපස්සෙ මයිල ගහ යට වැටිල හිටිය. එතකොටත් මැරිල. බොස් අනිවාර්යයෙන් ඕකා වලලන්ටෙයි කියන බව දන්න නිසා මම හෙමිහිට ඒකව ගෙනල්ල කුස්සියෙ රාක්කෙ යට හැංගුව.හවස් අතේ කට්ටිය එහෙ මෙහෙ ගිහාම දොරත් වහගෙන සුද්ද කරල ඉව්ව. ඔන්න දැං මහත්තය විතරයි මේක දන්නෙ..කියන්න එහෙම එපා කාටවත්. " 

මගෙ නෑනෙ ඔය කාගෙවත් රහස් අතන මෙතනෙ කියන පුරුද්දක්. මම එහෙං එනකලුත් කටේ කෙල පොදක් බිම හැලුවෙ නෑ ඒ ගැන.ඒත් නිමලෙය කියපු දේ ඇත්තමද කියල නම් විඩෙං විඩේ මයෙ හිතට හැකයක් ආව.නරියෙක්ගෙ පිට දාල මූම කූඩුව කඩන්ඩ තරං නං හිතුවක්කාර වෙයි කියල නං හිතන්ට අමාරුයි.ආය මට හිතුන උදේ නරිය කූඩුවට පැනල කියල දැක්කම නරිය පිටම දාල මේකම තාරාව මැරුව වත්ද කියල. ඒත් ඔය වෙලාවෙ කලබල අස්සෙ ඔහොම දෙයක් එක පාරටම කල්පනා වෙන්ට තියන ඉඩකඩත් බොහොම අඩුයි. ඒ නිසා අන්තිමට මම තීරණය කලේ නිමලෙය කියන්ට ඇත්තෙ ඇත්තම වෙන්ට ඕනෙ කියලයි. 

ලොක්කගෙ ගෝණා ගැනත් තියනව ජොලි කතාවක්...ආයෙම වෙලාවක කියඤ්ඤංකො හොඳේ ළමයි........

33 comments:

  1. තාරා මස් වල තෙල් වැඩියි කුකුලන්ට වඩා. මෙහෙ නම් ඉතින් කුකුල් කර්මාන්තය වගේම මහා පරිමාන කර්මාන්තයක්.

    වන අලි දන්නවා ද මන්දා මෙච්චර කාලයක් උන්ට වල් අලි කියා නිග්‍රහ කරපු බව!!!!

    //මගෙ නෑනෙ ඔය කාගෙවත් රහස් අතන මෙතනෙ කියන පුරුද්දක්. // :D

    ReplyDelete
    Replies
    1. / තාරා මස් වල තෙල් වැඩියි කුකුලන්ට වඩා. /

      ඔව්, අරුණි..තෙල් කියන්නෙ මාර තෙලක් තියෙන්නෙ..තාරාස් අවන් එකේ බේක් කරද්දි සට සට ගාල ඔන්න පටන් ගත්තෙ නැතැයි තෙල් වැක්කෙරෙන්ට...වැඩේ ඉවර වෙලා සෑහෙන්ට තෙල් හෝදල අයිං කලා අවන් එකේ යට තියෙන ඩිශ් එහෙන්. පහුවදා ඔය විස්තරේ කිව්වම මගෙ තව යාලුවෙක් කිව්ව..ෂහ් ..අපරාදෙ ඒ තෙල් විසිකලේ.බැදුං වලට එහෙම ඕක මරු කියල.

      ඔය තෙල් තට්ටුව වැඩි මම හිතන්නෙ ජලාශ්‍රිත පක්ෂියෙක් නිසා වෙන්න ඕන.

      / වන අලි දන්නවා ද මන්දා මෙච්චර කාලයක් උන්ට වල් අලි කියා නිග්‍රහ කරපු බව!!!! /

      මම හිතන්නෙ උං දන්නව සීන් එක. චිරාත් කාලයකට පසුව හෝ අවසානයේදී උංට යුක්තිය ඉටු වූ බව...

      මොකද දන්නවද මම ස්ථිරවම එහෙම කියන්නෙ?...එවුංගෙ Designation එකේ Prefix එක Upgrade කලාට පස්සෙ From වල් To වන, එවුං කලිං කරපු සාපරාධී ක්‍රියා ඒ කිව්වෙ වගා පාළු කිරීම් , මිනිස් ඝාතන එහෙම සීයට අසූ අටයි දශම අටයි අටකින් පහල බැහැල...ඔන්න දැං ඉතිං මගෙන් මූලාශ්‍ර එහෙම ඉල්ලන්ට ලෑස්ති වෙන්ට එපා හොඳද?....මූලාශ්‍රය තමයි Because I say so.... :) :)

      //මගෙ නෑනෙ ඔය කාගෙවත් රහස් අතන මෙතනෙ කියන පුරුද්දක්. // :D

      හෙහ්, හෙහ්, මොකෝ හිනාවෙන්නෙ?....මෙතන බල පවත්වන්නෙ බ්‍රිතාන්‍යයෙ නිල රහස් පණත ( Official Secrets Act ) වගේ එකක්.සුද්දගෙ එක අනුව රහස්‍ය ලියවිලි අවුරුදු 50 ක් ඉක්ම ගියාම මහජනයට විවෘත වෙනව වගෙ, මගේ රහස් රැකීමේ ස්වයං වාරණය බල පැවැත්වෙන්නෙ අවුරුදු 20 යි. ඊට පස් සෙ ඒ සියළුම දේ පොදු ජන පහන් සංවේගය උදෙසා විවෘතයි.....

      Delete
  2. හැබැයි නිමලයා හොඳ එකා.. තනියෙන් බදාගෙන කෑවේ නෑ නේ... හි හි

    ReplyDelete
    Replies
    1. යෙස්, හිරු..ඒකා ඇත්තටම හිත හොඳ එකා..අනික ඕක කියපු කතාව ඇත්තමයි කියල මම තීරණය කරන්ට තවත් හේතුවක් ඔය තාරා මස් අපිත් එක්ක බෙදා ගත්තු එක. ඒ ඌට හංගන්ට දෙයක් නැති නිසයි. නැතුව අර මම කියාපු අනික් Scenarios දෙකෙන් එකක් නම් වෙලා තිබ්බෙ නිමලය ඕක කාටවත්ම දැනගන්ට තියන එක නෑ...:)

      Delete
  3. කාල නෑනේ තාර මස්.... පොඩි තාරාවෙක්ට ගෞරව කරන්න දෙකක් විතර නමන්න වෙනවනම් මම කල්පනා කලේ හරකෙක්ට ගෞරව කරන්න සෑහෙන්න නමා ගන්න ඕනේ නේද කියලා.

    ලොක්කගෙ සත්තුවත්තටම මේ ගොල්ලො ටිකෙන් ටික ගෞරව කරලා වගේ මට පේන්නෙ...

    ReplyDelete
    Replies
    1. / පොඩි තාරාවෙක්ට ගෞරව කරන්න දෙකක් විතර නමන්න වෙනවනම් මම කල්පනා කලේ හරකෙක්ට ගෞරව කරන්න සෑහෙන්න නමා ගන්න ඕනේ නේද කියලා. /

      ඒ වැඩේ එහෙම හරි යන්නෙ නෑ කොල්ලො...හෙහ්, හෙහ්,

      එහෙම සතාගෙ පරිමාණයට ගෞරව කරන්ට ගියොත් වෙන්නෙ බොල ජීවිතේට හරක් මස් ටිකක් එක්ක බත් ඩිංගිත්තක් කන්ට බැරි වෙන එක....හරකට සුදුසු පරිදි ගෞරව කලා කියන්නෙ ආය නාගසලං....හරක් මස් එක්ක තියා කොහොමවත් බත් ඇටයක් කාගන්ට සිහියක් පතක් තියෙන එකක් නෑ. ඒ නිසා හරකට හැමදාම ගෞරව කර කර තමයි ඉන්ට වෙන්නෙ. ජීවිතේට කාගන්ට නම් වෙන්නෙ නෑ..:)

      Delete
  4. ඔවු ඔවු.. දැන් වල් අලි නෑ, උං දැන් 'වල්' නෑ ලු, සදාචාර සම්පන්නයි ලු.. :)

    චයිනා ටවුන් ගියොත් අනිවා කන කෑමක් තමා Roasted Duck, ආසම කෑමක්..

    උඹටත් බං අයියෙ, මාර මාර කතා තියෙන්නෙ බොල.. සෙට් වෙලා දෙකක් නවාගන්ටම ඕන.. මොකද කියන්නෙ, ආයෙමත් තාරාවෙක් හදමුද.?? :)

    ReplyDelete
    Replies
    1. / ඔවු ඔවු.. දැන් වල් අලි නෑ, උං දැන් 'වල්' නෑ ලු, සදාචාර සම්පන්නයි ලු.. :) /

      ඒ මලේ උංට දැන් කියන්නෙ වන අලි කියලනෙ. බොලේ වණ කිව්වම තුවාල කියන තේරුමත් එනවනෙ. අපේ මේ ප්‍රතිපත්ති සම්පාදක වියතුන්ට ඕක මීටරේට වැටුනදාට අනෙ අම්මප මම දන්නව වන අලි කියන නමත් වෙනස් කරනව.

      " එහෙම කොහොමෙයි වණ අලි කියන්නෙ? එවුන්ගෙ තුවාල නැහැනෙ …."

      හැබැයි අනික් අතට වෙඩි පාරවල් වලින් උගුල් වලට අහුවෙලා එහෙම උන්ගෙ සරීරෙ පුරා තියන තරමක් තියෙන්නෙ තුවාල තමයි..නමක් හරියට හොයාගන්ට බැරිඋනොත් ඉතිං මෙහෙම තමයි කියන්ට වෙන්නෙ.....

      වන ( තුවාල නෙවෙයි හොඳේ?..කැලේ..) අලි....

      / උඹටත් බං අයියෙ, මාර මාර කතා තියෙන්නෙ බොල.. /

      හෙහ්, හෙහ්...කියල වැඩක් නෑ මලේ....ඒ අතිං මම බොහොම වාසනාවන්තයි බං...අත්දැකීම්, කතන්දර කියන එව්ව නං ගෝනි කනක්කුවෙ..ගෝනි කනක්කුවෙ...

      සෙට් වෙලා දෙකක් නවාගන්ටම ඕන.. මොකද කියන්නෙ, ආයෙමත් තාරාවෙක් හදමුද.?? :)

      පිස්සුද බං..අහවල් තාරාවො...උඹැහෙ වගෙ ඇසූ පිරූ තැන් බහුල, විචක්ෂණ, බහුශ්‍රෑත පඬි රුවන් රාජයෙක් එක්කල සැට් වෙනව නං මං හදනව බයිට් එකට හංසයෙක්....අනෙ අම්මප...ඇතුලට බ්‍රැන්ඩි වල පදං කරපු අල ලූණු එහෙම පුරෝල පශ්චාත් භාගය හොඳින් මසාලා පියා උඳුනෙහි හෝරා දෙකක් එහා මෙහා පෙරළා පියා රන්වන් පැහැවන තුරු පුළුස්සන ලද..කොහොමද කියන කොටත් කටට කෙල උනනව නේද?

      Delete
    2. හංසයෙකුටත් වඩා හොඳයි, 'වන' සූකර රාජයෙක් රන්වන් පැහැ කරලා ගන්ට තිබ්බනං‍‍.. :)

      Delete
    3. වන සූකර...හප්පා මතක් කරන්ට එපා බං..මෙහෙ ඔව්ව අරහංනෙ...දැං බලාපං බුදුන් වහන්සේ උනත් අන්තිමට වැළඳුවෙ මොනවද?

      Delete
  5. අඩේ මාර අත්දැකීම් නොවැ උඹටත් තියෙන්නේ....,

    පංකාදු පහයි නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..පෙදරේරුස්..මොනව කියනවද?....ආයිබෝං කියල පිළිගත්ත ඔන්න :)

      Delete
  6. තාරාවෝ රහ නෑ. අපි නැතුව තාරාවෝ කන්ට සෙට් උනොත් බලාගමු.:D

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ...ඔය කිව්වෙ...ඔන්න කිව්ව....කිව්වොත් ඔය වගෙ පරස්පර විරෝධී කතාවක් තමයි...තාරාවො රහ නැතිලු.ඒත් උන්දැ නැතුව තාරාවො කන්ට එපාලු...කාටද මෙව්ව කියන්නෙ හැබෑටම :( :(

      Delete
  7. ඒකනෙ බං. උඹේ මේ කතා ගොන්න අපිට අහගන්න දෙන්නෙ නැත්තේ අර වනචර දඩයක්කාරයනේ.

    ReplyDelete
    Replies
    1. +++
      මටත් ඔය දඩයක්කාරයව පේන්න බැරි මේ නිසයි...

      Delete
    2. අඩේ අර අහිංසකයට ඔහොම බණින්ට එපල්ල බොලව්..පව් නෙවද?....:(

      Delete
  8. රවියෝ යටපත් වෙලා තිබුන කෙලේස
    ධර්ම දෙකක් ඉස්මතු උන මේක කියෙව්වට
    පස්සේ ...:(
    රසට ලියල තියෙනවා , අනේ මන්ද
    අර දෙකට මොකද කරන්නේ කියල.........

    ReplyDelete
    Replies
    1. ක්ලේශ ධම්මෝ උත්ථානං,
      චිත්ත වික්ෂෝභයං අහංච,
      සන්සිද්ධේන අප්පමාදං,
      චිත්තං සහනං ප්‍රමෝද්‍යං.

      කෙලෙසුන් උත්සන්න වන කල්හි සිතට සහනයක් නැත්තේමය. එසේ හෙයින් වහ වහා කෙලෙසුන් සිතැඟි පරිදි සන්සිඳවාගැන්මෙන් සිතට සැනසීම මෙන්ම ප්‍රමෝදය ද ළඟා වනු ඒකාන්තය.

      - ක්ලේශ වග්ගය. සිව්වන ප්‍රකරණය. සත්වන ගාථාව

      Delete
    2. එසේය රවියාණෙනි එසේය..










      මේ ඒක නෙවේ බයිට් එකට මොනාද ගන්නේ :D

      Delete
  9. නස් රුදින්ගෙ ගෙදරට ආවලු හිතවතෙක්. නිකම්ම නෙවෙයි තාරාවෙකුත් අරගෙන. ඒ කාලෙ තාරා මස් කියන්නෙ හෙන වැදගත් කෑමක්ලු. නස් රුදීනුත් තාරාව මරලා තාරා සුප් එකක් හදලා නෑයට දුන්නලු.

    දවසකට දෙකකට පස්සෙ තවත් බුවෙක් ආවලු හිස් අතින්. ඇවිත් තමන්ව අඳුන්වලා දුන්නලු තමා අර තාරාවා ගෙනාපු බුවාගෙ නෑදෑයෙක් කියලා. නස් රුදිනුත් මේකාට තාරා සුප් දීලා සංග්‍රහ කරලා යැව්වලු.

    පස්සෙ යකෝ මෙන්න එනවලු තව එවුන්, "මම අර තාරාවා ගෙනාපු බුවාගෙ නෑදෑයෙකුගෙත් නෑදෑයෙකුගෙත් නෑදෑයෙක් කියලා හරි නෑදෑයෙකුගෙ මල්ලිගෙ යාලුවෙක් කියල වගේ සම්බන්ධකමක් කියාගෙන හරි.

    නස් රුදීන්ට මලම පැනලා ඔය අන්තිමට ආපු එකාට දුන්නලු නිකම්ම නිකං උණුවතුර. බුවා ඒක බීලා අහනවලු. "මොනවද මේ සුප් එක? තාරා සුප් නෙවෙයිද? කියලා.

    නස් රුදින් කිව්වලු, "මේක අර ඔහේගෙ නෑදෑයගෙත්, නෑදෑයගෙත්, නෑදෑයගෙත්, නෑදෑයගෙත්, නෑදෑයා ගෙනා තාරාවාගෙන් හදපු සුප් එකෙනුත්, සුප් එකෙනුත්, සුප් එකෙනුත්, සුප් එකෙනුත්, සුප් එකෙනුත්, හදපු සුප් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. නස්රුද්දීන්ගෙ කතාවල විශේෂ ලක්ෂණයක් ඒ සමහර එව්වයින් නස්රුදීන්ගෙ මෝඩකම් වලටම හිනාවෙන එක...

      ඔන්න නස්රුදීන් හොඳ අගේ ඇති බූරුවෙක් මිළදී අරගෙන ඌත් දක්කගෙන එනවලු ගෙදර. නස්රුදීන් ඉස්සෙල්ල යනව බූරුව පස්සෙං එනව. ඕක දැකපු ටවුමෙ රස්තියාදුකාරයො දෙන්නෙක් කල්පනා කලා කොහොමද මේ බූරුවව හොරකං කරන්නෙ කියල.වැඩේ අහු නොවෙන්ට කරන්ටත් ඕන. උං දෙන්න හොඳ නුවණක්කාරයො. එකෙක් කරපු වැඩේ හෙමීට නස්රුදීන් පස්සෙං ගිහිල්ල බූරුවගෙ ලණුව ලිහල ඒක තමංගෙ බෙල්ල වටේ දාගත්ත. අනික් එකා බූරුවව දක්කගෙන ආපහු ගියා ඌව විකුණන්ට.

      නස්රුද්දීන් ගෙදරටම ගිහිල්ලයි ආපහු හැරිල බැලුවෙ...මිනිහ කෑගැහුව පුදුමෙන්…

      " මේ මොකද මේ?..කවුද තමුසෙ?.....කෝ මගෙ බූරුවා? "

      අර මනුස්සය නස්රුද්දීන්ට වැඳල කාරිය බොහොම අහිංසක විදිහට මෙහෙම කිව.

      " අනේ ඔබ තුමාට දිව්‍යලෝක සම්පත්තිය ලැබෙන්ට ඕන..මාව මේ සාපෙන් ගලව ගත්තට. මම තමයි ඒ බූරුව. ඒත් මම ඇත්තටම මනුස්සයෙක්....මම මගෙ අම්මට බොහොම අකීකරු උනා. ඒ නිසා දෙවියො මට සාප කලා. උඹ බූරුවෙක් වේවා...උඹ කවදාක හරි ආයෙම මනුස්සයෙක් වෙන්නෙ ඉතාම ගුණ යහපත් මනුස්සයෙක් උඹව මිලදීල ගත්තු දවසට. ඉතිං මම මෙච්චර දවසක් හිටියෙ බූරුවෙක් වෙල. ඔබ තුමා තමයි ඒ ගුණ යහපත් මනුස්සය..පිං අයිතිවෙයි මාව නිදහස් කලාට..."

      ඔහොම කියල මිනිහ අඬා වැලපුනා.

      නස්රුද්දීන්ටත් ඉහිලුම් නැතුව අර මනුස්සය බදාගෙන ඇඬුව. දවල්ට කන්නත් එහෙම දීල ආයෙම අම්මට අකීකරු වෙන්නෙ නෑ කියල පොරොන්දු කරවගෙන මිනිහට සමුදුන්න.

      ඔන්න පහුවදාත් නස්රුද්දීන් නගරෙට ගියානෙ. මෙන්න ඉන්නව වෙලඳ පොලේ අර බූරුව…

      " ආහ්, පවුකාරය.. එකම දවසක්වත් ඉන්න බැරිඋනා නේද අම්මට අකීකරු නොවී. ආයෙම ඔය ඉන්නෙ බූරුවෙක් වෙල. මෙදා පොටේනම් මම උඹව මිලදී ගන්නෙ නෑ. ඔහොමම හිටපන් පාඩමක් ඉගෙන ගන්නත් එක්කම බූරුවෙක් වෙලාම. "

      බූරුව ලඟට කිට්ටුවෙලා නස්රුද්දීන් කිව්ව ඔලුවත් හොල්ල හොල්ල.

      Delete
  10. මගේ සැකය එල්ල වෙන්නෙ සමරේ දෙසටයි.. මිනිහා ඇල්ලුවා තාරවො තුන්දෙනෙක්.. ගීන් දුන්නා නිමලයට.. කාටවත් කියනවා එහෙම නෙමෙයි කියලා.. නිමලයට නොකියම ඉන්න බැරි හින්දා අහින්සක නරියගෙ පිටින් දාලා කිව්වා.. මොකෝ ගිහින් නරියගෙන් හගිස්වන්නයෑ.. නරි කතාවත් සමරෙගෙම නිර්මාණයක් වෙන්නත් පුළුවන්.. ඒක තමයි මිනිහා නරියා ගෙනිච්ච බව පරසක්වල ගහලා ඔප්පු කරන්න හැදුවේ..

    ඔය මට හිතෙන හැටි..

    ReplyDelete
    Replies
    1. අඩේ...කිව්වත් වගෙ එහෙම වෙන්නත් පුලුවන් නේද?....:) :)

      Delete
  11. මට නම් අල්ලල ගිෙය් අර ඒළුවව...... අර ෙත්‍රාපීන් කියන හාදයව මතක් උනා

    ReplyDelete
    Replies
    1. එළුව තමයි අල්ලල ගියේ නේද?...ත්‍රොපීන්...ඒ කවුද බොලේ ඒ?

      Delete
    2. පෙරලූ නැවුම් පස පොතෙත් ඉන්නව එළුවෙක් අන්න උන්දෑ

      Delete
    3. මතක නෑ අප්පා..පෙරලූ නැවුම් පස ආයෙම පෙරලල බලන්ටම වෙනවා...හෙහ්, හෙ

      Delete
  12. ඔය චයිනීස් රෙස්ටොරන්ට්වල තියන මොක් ඩක් ඇරුනාම මම නම් තාරා මස් කාලා නෑ..කොහොම වුනත් අද ඉඳන් මම රවීගේ පෝස්ටු කියවලා වෙන්නට කතන්දර ලිස්ට් එකක් හදන්න තීරණය කලා..

    මේකෙම කතන්දර දෙකක් තියනවා..!!

    ReplyDelete
    Replies
    1. චයිනිස් එව්වයෙ මොක් ඩක් කියලත් තියනවද?..ඒ කියන්නෙ බොරු තාරාවො....එහෙමද රූ?

      කතා තියන එව්ව ඔක්කොම කියනව වෙලාව තියන විදිහට.....බඩු ෂුවර්...හෙහ්, හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...