Wednesday, February 20, 2013

163. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....33


ගෙපැල පසුපස වන බූටෑවේ මධ්‍යයට ආසන්නයේ වර්ධනය වී පළාතක් ආවරණය කල රූස්ස නුග ගහ සෙවණේ ඇණ තබා හිඳගෙන සිටි දඩයක්කාරයාගේ දෑස පියවී තිබිණි. එහෙත් ඔහු නිද්‍රාවෙහි ගැලී සිටියේද නැතහොත් දිවා කාලයෙහි බොහෝ කොට ගත කිරීමට ඔහු ඉතාම ප්‍රිය කල මනෝ රාජික සිහින දකිමින් නිද්‍රාවත් අවදියත් අතර වූ මායිම් සීමාවන් එක් වරම පැහැදිළිව හඳුනා ගත නොහැකි අවස්ථාවක ගත කරනුයේද යන්න අවම වශයෙන් ඔහු හෝ දැන සිටියා ද යන්න කිසිවෙකු නොදන්නා කරුණෙකි. 

ඔහුගේ නැවුණු දෙදණ මත රැඳවුනු දෑත ඉදිරියට දිගුවී ඇඟිලි පහලට එල්ලි තිබිණි. ඝනව වැඩී හැඩපළු ගෙතී දෙවුර අඩකට අධික ප්‍රමාණයක් වසා පැතිරුනු තඹවන් පැහැගැණුනු කෙස් කළඹින් කෙස් රොදක් හෝ දෙකක් නුග ගස වසා මධ්‍යාහ්නයේ පවා දුරුව නොයා පැතිර පවත්නා මඳ අඳුර විනිවිද හමා පැමිණි සුළඟ කරන කොටගෙන ඉපිලී ගියද යළි ආපසු දෙවුර මතටම පතිත විය. 

ඔහුට ඉතා ආසන්න වූවකුට යම් නොපැහැදිලි අව්‍යාක්ත වදන් කිහිපයක් නොනවත්වා පහත් ස්වරයෙන් මඳ වශයෙන් විවරවූ සිහින් තොල් අතරින් පිටවනු ඇසිය හැකි වුවද මේ ප්‍රස්ථුත මොහොතේ ඒ මිමිණීම ඇසීමට ප්‍රමාණවත් පමණ ආසන්නයේ සිටියේ දිවා කල දැඩි හිරු රශ්මියෙන් මිදෙනු වස් ආවරණයක් සොයා නුග සෙවණට ක්‍රමයෙන් ලඟා වෙමින් සිටි තලගොයින් යුවලක් පමණකි. 

වසරකට ආසන්න කාලයකට පෙර මවිසින් දඩයක්කාරයාගේ කතාව අරඹන ලද්දේ ඉහත අයුරිනි. ඒ දඩයක්කාරයා තම ගෙපැල අසල වූ වනස්පතිය සෙවෙණෙහි ඇණ තබාගත්වනම හිඳිනා අයුරු ඔබට විස්තර කිරීමෙනි. 

එතැන්සිට දඩයක්කාරයාගේ අතීත කථාව මම වසරක් පුරා ඔබට පැවසුවෙමි. නැවත අවසානයේ වසරක් ඉක්ම ගිය පසු ප්‍රිය සහෘදය/සහෘදිනිය අප , ඔබ සහ මම නැවත වනස්පතිය සෙවණට සැපත්ව සිටින්නෙමු.ඉදින් දඩයක්කාරයාගේ කථාව නිමා කිරීමට මේ කාලයයි..නැත, සත්‍යය වශයෙන්ම මේ කථාව නිමා කලයුතු අවධිය ඉකුත්වී ඇති බව මම හොඳින්ම දන්නෙමි. නොයෙකුත් කරුණු කාරණා හේතු කොටගෙන එසේ අවසන් කිරීමට මම අපොහොසත් වීමි. වන්නාටය. මෙතෙක් දඩයක්කාරයා සහ මා සමඟ මෙදුර පැමිණියා වූ ඔබ සැම ඔහුගේ කථාවෙහි අවසානය තෙක් රැඳී හිඳිනු ඇතැයි උදක්ම අපේක්ෂා කර සිටිමි. 

හිටිපියම නතරව මොහොතක් දඩයක්කාරයා දෙස දෑස් විදහා බලාහුන් තලගොයිහු ඔහු කෙරෙන් භීතියට පත් විය යුතු කිසිදු අන්තරායක යටත් පිරිසෙයින් නාම මාත්‍ර සළකුණකුදු නොදුටුවෝ යලි හිස් පොළවට නමා ගත්තෝ සිය ද්විත්ව විභේදිත ජිහ්වයන් වරින් වර දිගු කෙරෙමින් හාත්පස පරිසරය කෙරෙහි දැඩි අවධානයෙන් යුක්තව ගොදුරු සොයමින් වනස්පතිය සෙවණට වැද අන්තර්ධාන වූවෝය.ඔවුනගේ අට පා යට මැඩෙන, වනස්පතියෙන් ගිළිහී දිවාකල දැඩි සූර්ය රශ්මියෙන් වියළී භංගුර තත්වයට පත්වූ පඬුවන් පත්‍ර කෙරෙන් නිකුත් වූ සර සරාණුකරණ නාදය මධ්‍යාහ්නයෙහි වන වදුල වසා පැතිරගත් දැඩි නිශ්ශබ්දතාවය මොහොතකට බිඳ දැම්මේය. 

කඩින් කඩ ඇසුණු ඒ නාදය ද ක්‍රමයෙන් මැකීගිය ඉක්බිති වනස්පතිය සෙවණෙහි පැතිර ගියේ දැඩි නිශ්ශබ්දතාවයකි.අහස මුදුනත දැවෙන සූර්යයාගේ චණ්ඩ වූ රශ්මියෙන් නිරතුරු තැවෙනා මේ මධ්‍යාහ්නයෙහි මේ නිහඬතාවය එතරම් අරුමයක් නොවූයේ අපා, දෙපා සිව්පා සියළුම සත්වයෝ ගත මෙන්මැ සිතද දාහයෙන් පීඩිත මේ හෝරාවන් කිහිපය ගෙවනුයේ කොහේ හෝ තුරු වදුලක සෙවණෙහි විම කරණකොටගෙනය. 

ඒ අවට පරිසරය වෙලාගත් දැඩි නිශ්ශබ්දතාවය මධ්‍යයේ වුවද දඩයක්කාරයාගේ සිත ගිණි වැදී තිබිණි.කිසිදුවිටෙක ජීවිතයේ කිසිදු ගැටළුවෙක් හමුවේ බිඳකුදු සසල නොවූ ඔහුගේ සිත මේ වනවිට පොළොව අභ්‍යන්තරයේ බුබුළු දමමින් පැසී මතුපිටට ගලාවිත් මහ හඬ නංවමින් විදාරණය වන්නට නොඉවසිල්ලෙන් පසුවනා ලොහොදිය දහරක් වැර වෑයමෙන් මැඩ පවත්වාගනිමින් පසුවනා යමහලක් සදිසි වූ බව පැවසුවහොත් ඒ කිසිදු අයුරකින් අසත්‍යයක් නම් නොවේමය. 

දඩයක්කාරයා ඇණතබාගත්වනම හිඳසිටින වනස්පතිය සහ ගෙපැල අතර වූයේ පියවර සැටකට පමණ නොඅඩු වූ දුරෙකි. ඒ දුර ප්‍රමාණයෙහි මධ්‍යයට පමණ ආසන්න වූ ස්ථානයක වූයේ පොළවේ සිට අඩි පසළොසක් පමණ ඉහලදී අතු බෙදී ගිය සේරු ගසකි.කිසිදිනෙක දැඩි වර්ෂාකාලයේ වුවද පත්‍ර බහුල නොවූ එහි වූ අඩක් පඬු පැහැ ගැන්වුණු පත්‍ර කීපය විටින් විට හමා එන උණුසුම් සුලඟේ සෙලවුණේ ඉතා අලස අයුරිනි. 

ඒ ගස යට උර දක්වා වැඩුණු, දුහුවිල්ලෙන් නැහැවීගිය අවුල් වූ කෙස් කළඹින් යුතුව යම් ක්‍රීඩාවක නිරත වෙමින් හුන්නේ දඩයක්කාරයාගෙ දරු දෙදෙනාය.වසර සතරකට ආසන්න වයසක පසු වූ නිවුන් දරුවන් දෙදෙනා පිරිසිදුව තබා ගැන්මට සුද්දී කොපමණ උත්සාහ කලද දඟකාර කෙළිලොල් වියේ පසුවන ඔවුහු නිතැනින්ම ගෙමිදුලේ හාත්පස වසාගත් දුහුවිල්ලටම ඇදෙන්නේ මවගේ ඇණුම් බැනුම් නොඇසූ කණ් ඇතිවය. 

ඔවුනගේ ක්‍රීඩාව අඩවන්වූ දෙනෙතෙහි ඇසි පිය අතර වූ පටු විවෘත තීරුවෙන් නරඹමින් හුන් දඩයක්කාරයාගේ ඇසිපිය එක්වරම පියවී ගියේ නෙත පුරා නැඟුනු කඳුලු හේතුවෙනි. දෙනෙත තදින් පියාගත්වනම, ඉණූ කඳුලට ඇස් කෙවෙනි ඔස්සේ ඉවත ගලා යාමට ඉඩ හල ඔහු ළය පුරවාගත් හුස්ම පහළට හෙලූයේ දීර්ඝ සුසුමකිනි. යලි තදින් එක් වරක් පියා ඒ සමඟම විවෘත කල ඔහු දෙනෙතට එකෙණෙහිම ලක් වූයේ සුද්දීය. 

ඇය උඩුකය නවා දරු දෙදෙනාහට යමක් පහත් එහෙත් තරවටු හඬින් පවසන බව කඩින් කඩ ඔහුගේ දෙසවනට වන් අපැහැදිලි වදන් කිහිපය දඩයක්කාරයාහට පසක් කලේය. දරුවන් ඔහු සිටින දෙසට අත් දිගු කරමින් කිසිවක් පැවසීමට තැත් කලමුත් ඒ කිසිසේත් නොසැලකූ ඇය ඔවුන් දෑත් තරව ගත්තේ යුහු යුහුව ගෙපැල වෙත පිය මැන්නීය. 

දඩයක්කාරයා නුග ගහ සෙවණෙහි එලෙසම ඇණ තබාගෙන හුන්නේය. 

ඔහු එහි හිඳින බව සුද්දී දන්නා බව මෙන්ම ඔහු නෙත් මඟ අහැරීමට ඇයට දැඩි අවශ්‍යතාවක් ඇති බව ද දරුවන් ඔහු දෙසට අත් දිගු කරමින් යමක් පවසද්දී වුවද ඇය ඔහුට පිටුපාගත් වනම පසුවීමෙන් දඩයක්කාරයා මනාව වටහාගත්තේය. 

දසතින් කෙමෙන් ගලාවිත් කැටි ගැසෙනා සැඳෑ අඳුර මධ්‍යයේ රත්පැහැ සිත්තමක් වූ අවරදිග අහස පසුබිම් කොට වැල නොකැඩී නැගෙනහිර වෙරළ දෙසට පියා සලන වවුලන් රෑන් දෙස හිස් බැල්මෙන් ඔහු බලා සිටියේය. 

ගෙපැලේ බළල්ලෑවෙන් කහවන් මළානික ආලෝකයක් දිස්වන්නට වූ ඉක්බිති දඩයක්කාරයා සෙමෙන් නැඟිට සිටියේය. 

ගෙපැල පසුපස කටුමැටි බිත්තියටම යාව පිහිටි යාලත්ත පියස්සේ ඔහු ඊටම වෙන්කොට තනාගත් ඉඩවරයෙහි සුරැකිව තිබූ ගිණි අවිය සුරතට ගත් දඩයක්කාරයා එහිම පසෙක වූ පතරොම් බහා ලූ ඝන රෙදි මල්ලට වමත රුවා පතරොම් දෙකක් ගෙන ඉණ බැඳි රෙදි කඩෙහි දවටා ගත්තේය. 

මාස කිහිපයකට ඉහත අවශ්‍යවූ ආහාර කළමනා මිලදී ගැන්ම උදෙසා ඝනව වැඩුණු බැම සඟලක් ඇත්තා වෙත ගිය විටකදී ක්ෂණිකව පහල වූ අනපේක්ෂිත සිතුවිල්ලකට ඉඩදෙමින් සුද්දී ඉසිඹුවක් ලද්දාවූ විටෙක ගෙපැලෙහි කටුමැට්ටෙන් නිර්මිත බිත්තිවල පිටත හෝ ආලේප කරන්නෙමැයි සිතමින් සුදුහුණු උරයක් ගෙන ආවාය. එදින සිට ඒ යාලත්ත යට ගෙනැවිත් දැමූ ස්ථානයේම තිබියේ මේ වන විට අඩක් ඝන වූ ස්වභාවයකට පත්වීය. ඉන් හුණු ස්වල්පයක් සුරතේ දබරැඟිල්ලට ගත් දඩයක්කාරයා ගිණි අවියෙහි කෙළවර වූ මානමෙහි ඒ තැවරීය.ඝන අඳුරෙහි කෙරෙන දඩයමක යෙදීමට ඔහු බලාපොරොත්තුවන බව ඉන් හැඟවිණි. 

හාත්පස වසාගත් දැඩි අඳුර පසුබිම් කොටගෙන කහවන් වූ මළානික ආලෝකයක් පමණක් අඩක් විවෘත වූ දොරකඩින් දිස්වූ පැල්පතට පිටුපා දඩයක්කාරයා ගෙමිදුලෙහි වූ කොහොඹ ගස පසුකොට කඩුල්ල ද පියමන් කලේ මහ වනයට ඇතුළු වූයේය. 

ඇසට ඇඟිල්ලකින් අනිතද නොපෙනෙනා පමණ වූ ඝන අන්ධකාරය වන පෙත වසා පැතිර තිබියද දෑස් තදින් පියාගෙන වුවද තමනට අවශ්‍ය ස්ථානයට නොවරදින පරිදි ගමන් කිරීමෙහි සමතෙකු වූ දඩයක්කාරයාහට ඒ කිසිදු අයුරකින් බාධාවක් නොවීය. 

ඔහුගේ ගමනාන්තය වූයේ එපමණ දුර බැහැරක ද නොවේ. කුඩා කල සිටම සිත් කරදරයක් තැවුලක් වූ කල්හි ඔහු සිත් නිවා සනහාලන ක්ෂේම භූමියක් වූ ගෙපැල අසලම ඇස ගැටෙනා මානයේ වූ ගල් තලාව මතකයට කැඳවා ගත් මැනව මා ප්‍රිය සොයුර, සොයුරිය. ඝන අන්ධකාරය මැදින් ස්ථිර වූ අධිෂ්ඨානශීලී පියවරින් ඔහු සැපත් වූයේ උක්ත ගල් තලාවටය. 

එකිනෙකා පසුපස හඹායන කණමැදිරි ආලෝකය මධ්‍යයේ ගල්තලාව මතට ගොඩනැඟුනු දඩයක්කාරයා එහි හිඳ ගත්තේය.එහෙත් සුපුරුදු උක්කුටිකයෙන් හිඳගැන්ම වෙනුවට ඔහු දෙදණ නවා බද්ධ පර්යංකයෙන් හිඳ ගත්තේ මෙතෙක් සුරතෙහි දැඩිව මිරිකාගෙන හුන් ගිණි අවිය ද ඔහු අසලම ගල්තලාව මත සීරුවෙන් තබමිනි. 

හාත්පස හෝම්පලක වූ නිශ්ශබ්දතාවයෙහි වෙලී තිබියදී දඩයක්කාරයා සිය සිත මුදා හලේය. මෑත අතීතයේ වාළිඹේගල පර්වත මස්තකයෙහි අහඹුලෙස හමුව ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් කල ඒ අපූර්ව පුරුෂයාණන් සෙවණෙහි ලත් මනා පරිචය හේතු කොටගෙන සිත මඳ සුලඟේ සැහැල්ලුවෙන් පාව යන්නාවූ විහඟ පියාපතක් සේ ඉහිල් කොට බැමි සිඳ මුදා හරීම ඔහුට ඉතා පහසු කාර්යයක් වූයේය. 

අන්‍ය සිත් කියවීමෙහි පරිචය ඔහු වෙත ලබාදීමට ඒ තුන්කල් දක්නා නුවණැති මහා ප්‍රඥාවන්තයා පැකිලුනේ මන්ද යනු ඔහුට මේ වන විට මොනවට වැටහී අවසානය. 

" දරුව...ජීවිතයේ අපට අවශ්‍ය බොහෝ දේ මෙන්ම අනවශ්‍ය බොහෝ දේ ද ඇත.හැකියාවන් පිළිබඳවද ඒ ධර්මතාවය එළෙසම සත්‍යය වේ.ප්‍රමුඛතාවය නොදිය යුතු එමෙන්ම අර්ථයකට වඩා අනර්ථයක් වන ආකාරයේ පරිචයන් ප්‍රගුණ කිරීම බොහෝ විට අනතුරු දායක විය හැකිය. අනුනගේ සිත් කියැවීමෙහි හැකියාව බොහෝ විට ද්විත්ව මුවහතින් යුතු තියුනු සැතක් දැරීම හා සම විය හැකිය.ඉන් සැත දරා සිටිනා ඔබගේ හස්තයම අනතුරට පත්වීමෙහි හැකියාව පිළිබඳවද බොහෝ සේ ප්‍රවේශම් විය යුතුය. " 

ඊට එකඟවීමට පෙර එතුමෝ දඩයක්කාරයා දෙස බලා මන්දස්මිතියෙන් යුතුව පැවසුවෝය.එහෙත් අවසන දෛවය අනුව සිදුවන්නට නියමිතව ඇත්තේ යම් දෙයක්ද ඒ එසේම සිදුවීම වැළැක්වීමට සමතෙක් මෙදියත නොමැති බව යළිදු පසක් කොටගත් සේ එතුමෝ දඩයක්කාරයා හට ඒ ඥාණය ලබාදුන්නෝය. 

එසේම තම දෛවය එමෙන්ම තම ඉරණම පිළිබඳව තීරණ ගැන්ම මෙන්ම ඒ හැඩගස්වා ගැන්මද හුදෙක් එකිනෙක පුද්ගලයා සතුකාර්යයක් බවද ඊට අයුතු බලපෑම් කිරීමෙහි කිසිදු අයිතියක් හෝ හැකියාවක් වෙනත් කිසිවෙකුට හෝ නොමැති බව වසර දෙදහස් පන්සියයකට ඉහත ස්ව අවබෝධයෙන් දේශනා කොට වදාල තම ගුරුවරයාණන් ද වූ ඒ අසමසම ශාස්තෘවරයාණන්ගේ ධර්මය අනුව ක්‍රියාකිර්‍රිමට ඉටාගත් යති වරයාණෝ දඩයක්කාරයාගේ ඉරණම විසඳා ගැන්ම මෙන්ම තමන් ගමන් කලයුතු මාර්ගය තෝරාගැන්මද ඔහුටම භාර කොට නිහඬ වූවෝය. 

දඩයක්කාරයා මේ වනවිට පසුවන චිත්ත විප්‍රවකාරී තත්වයට සාකල්‍යයෙන්ම හේතු වනුයේ ඔහු ප්‍රගුණ කල අනුන් සිත් කියැවීමේ හැකියාවය. වඩාත් නිවැරදිව පැවසුවහොත් සුද්දීගේ සිත කියැවීමට ඔහු දැරූ උත්සාහයයි.අනෙකෙකුගේ සිතක් කියැවීමට හෝ සිතකට පිවිසීමට උත්සාහ දරණ කල්හි ඉලක්කවූ සිත් ඇත්තාට ඒ පිළිබඳ යම් සංජානනයක් හට ගන්නා බව දඩයක්කාරයා නොදැන සිටියා වුවද ඒ සත්‍යයකි. ඒ සංජානනය ඔස්සේ සුද්දී ඔහුගේ උත්සාහයට අවිඥාණිකව හැකිපමණ ප්‍රතිරෝධයක් දැක්වූවාය. එහෙත් දඩයක්කාරයා අවසන ජය ගත්තේය. 

ගල්තලාව මත හිඳ සිටි දඩයක්කාරයා එක්වනම නැඟිට සිටියේය. 

මේ වනවිට අහසෙහි සුදු වන් වළාකුලු පසුබිම් කොට අඩ සඳක් පායා තිබුණ ද ඒ තුරු වදුලෙන් ආවරණය වූ වන පෙතෙහි දැඩි අඳුර දුරු කිරීමට කිසිසේත් සමත් වූයේ නොවේ. 

එවර දඩයක්කාරයාගේ ගමනාන්ත ඉලක්කය වූයේ හීං ඇළේ වක්කලමට එපිටින් පිහිටි මහ කුඹුක් සෙවණයි. කුඹුක් සෙවණට ආසන්න වත්ම ඒ තුරු වදුලේ පැවති දැඩි අන්ධකාරයෙන් නිකුත්ව ඔහු සවණට වන්නේ සුසුම් සහ කෙඳිරිලි හඬකි. 

කඩින් කඩ ඇසුනු ඒ කෙඳිරිලි හඬ ඔහුගේ සිත එක් වරම අතීතයට කැඳවාගෙන යාමට සමත් වූයේ නිතැණිනි.හිටි පියම ඉද්ද ගැසුවාක් මෙන් නතරවූ දඩයක්කාරයා සුරතෙහි රැඳි ගිණි අවිය දැඩිව මිරිකාගත්තේ ඇඟිලි වලින් මතුවූ සිහින් වේදනාවක් සිය ගත පුරා පැතිර යනු ද නොදත්තේය. 

වියළි පරඬලාවක් පවා යටි පහු නොවන සේ වන පෙතේ නිතොර සරා සුපුරුදු දඩයක්කාරයාහට ඔවුනට නොදැනෙන සේ සුවිසල් කුඹුක් ගහ එපිටින් වූ බඹ තුන හතරක වපසරියක පැතිරි ගල් තලාවට ගොඩ වීමෙහි කිසිදු අපහසුවක් නොවීය. 

ගල්තලාව මත ඔහු හිඳගත්තේ බද්ධ පර්යංකයෙනි. ඒ ද අවිඥාණිකවය. එහෙත් ඔහුගේ සුරතේ රැඳි තුවක්කුව එලෙසම මිරිකී තිබිණ.කුඹුක් ගහ යට ඝන අඳුර රජයමින් තිබුණද රාත්‍රියේ ඉතා මඳ ආලෝකයෙන් වුවද මනා දෘෂ්ටියකින් යුත් ඔහු දෑසට ආලිංගනයේ වෙලී හුන් යුවල හඳුනා ගැනීමේ කිසිදු අපහසුවෙක් නොවීය. 

" සුද්දී මට ඔයා නැතුව ඉන්ට බෑ." 

ඝනව වැඩුනු බැම සඟලක් ඇති වෙළඳ ව්‍යාපාරිකයාගේ තරුණ පුත්‍රයා පැවසූයේ ඇය වැළඳ ගනිමිනි. ඇය ඔහුගේ ආලිංගනය මුවින් නොබැණ ඉවසූයේ දිගු සුසුමක් හෙලමිනි. 

" ඔයා ඔය මනුස්සය දාල එන්න, දරුවො දෙන්නත් එක්කම..අපි අපේ ගමට යමු." 

ඔහු පහත් හඬින් පැවසූයේ නැවතද ඇය සිප ගැන්මට උත්සාහ දරමිනි. ඇය ඔහුගෙ ආලිංගනයෙන් මිදෙමින් දෑත ළය මත බැඳගත් වනම හිස පහත් කර ගත්තීය. 

" මම දන්නෙ නෑ අනේ….මට මොකවත් හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ...." 

දඩයක්කාරයාගේ සුරතේ දැඩිව මිරිකී තිබුනු ගිනි අවිය කෙමෙන් එසවුනේ ඔහුටද නොදැනීමය. 

අච්චු වල්ල දකුණු උරහිසට කිටි කිටියේ සිරවිය. තැවරූ හුණු බිඳ හේතු කොටගෙන ශ්වේත වර්ණයෙන් මනාව දිස්වන ගිනි අවිය අග පිහිටි මානම කුඹුක් ගස යට එකිනෙකාට ඉතා ආසන්නව හිඳිනා තරුණ යුවල අතර එහා මෙහා ගමන් කලේ කිසිදු හදිසියකින් තොරව ඉතාම සෙමිනි. දඩයක්කාරයාගේ ආශ්වාස ප්‍රශ්වාසය වේගය කෙමෙන් අඩුව ගියේ ඔහුගේ හෘද ස්ඵන්දනයද ක්‍රමානුකූලව ඒ සමානුපාතිකව පහත හෙලමිනි.සුරතේ දඹරැඟිල්ල ගිනි අවියේ කොකා වටා කෙමෙන් එතෙමින් තිබුණේ ඉතාම අල්ප තෙරපුමක් ඒ මත යොදවමිනි. 

දඩයමක් කිරීමට, ප්‍රාණ ඝාතයක් සිදු කිරීමට ප්‍රථම දඩයක්කාරයා පත්වන සුපුරුදු සම්මෝහනීය තත්වයට දඩයක්කාරයා පත්වෙමින් සිටියේය.අවසානයේදී ගිනි අවියේ කොකා තද කිරීමට එක් නිමේශයකට ප්‍රථම දඩයක්කරයා පත්වන ඔහු සහ දඩයම පමණක් ශේෂව අනෙක් සියලු සතුන් සහ ගහකොළ යනාදිය මිහිදුමක් මෙන් බොඳවී යන තත්වයට ඔහු ළඟා වෙමින් සිටියේය. ඒ අවසාන මොහොතේ මෙලොව ඉතිරිව සිටියේ දඩයක්කාරයා සහ සුද්දී පමණකි. ඔහුගේ සුරතේ දඹරැඟිල්ල කෙමෙන් කොකා තෙරපමින් තිබිණි. එකවරම සුද්දී හිස ඔසවා බැළුවාය.ඈ එක එල්ලේ ඔහුගේ දෑස් දෙස බලා සිටියාය. 

ඈ ඔහු නොදුටු බවට කිසිදු සැකයක් නොවුනද ඈ එක එල්ලේ බලා සිටියේ ඔහුගේ දෑස් දෙසය.ඇගේ දෑස් තුල ඔහු දිය පහරේ ගසාගෙන පැමිණි ඈ දිවි බේරාගත් දින සිට මෙතෙක් ඈ හා ගතකල දිවියේ සියලු අවස්ථා එක්වනම දුටුවේය.මෙතෙක් සිරකොටගෙන හුන් ප්‍රශ්වාසය එක වරම ඔහුගේ ළය හිස් කරමින් නිකුත් වූයේ ගිණි අවිය දරා සිටි දෑතේ ග්‍රහණයද ඒ හා සමඟම ලිහිල් කරවමිනි. 

ඔහුගේ ජීවිතයේ මෙතෙක් ප්‍රධාන භූමිකාවන් රඟ පෑවෝ ඒ සමඟම ඔහු දෑස් ඉදිරියේ දර්ශනය වූයේ සජීවී ලෙසිනි. කලකට පෙර මිය ගිය ඔහුගේ දයාබර මෑණියන් සහ පියාණන් ඔහු ඉදිරියේ සිනා මුසු මුහුණින් පෙනී සිට අතුරුදන් වූවෝය. කිසිවක්ම නොපැවසූ මුත් ඔවුන් තමාට ආශීර්වාද කල බව දඩයක්කාරයා නිසැකවම දත්තේය. 

අවසානයේදී මිහිදුම් අතරින් දිස්වූයේ අඳුරු කසාවත් හැඳි ඒ යතිවරයාණෝය. 

" දරුවා... ඔබේ ජීවිතය ගැන තීරණය ගත යුත්තේ ඔබමය. තමන් කරන කියන සියලුදේහි ඵලවිපාක ලැබෙනුයේ තමන්ට බව යම්සේ සත්‍යයක් වේද එසේම ඒ සියලුදේහි වගකීමද තමන්ටමය. " 

එසේ පැවසූ එතුමෝ එකෙණෙහි අතුරුදන් වූවෝය. 

ජීවිතයේ කිසිදිනෙක අත්නොවිඳි සැහැල්ලු එමෙන්ම සුවදායක හැඟීමක් සිත පුරා ලය පුරා මුළු මහත් සිරුරේ ලේ මස් ඇටනහර පුරා අත්විඳිමින් දඩයක්කාරයා නැඟී සිටියේය. 

ඝන අඳුර අතරින්ම ගල් තලාවෙන් බැස ගත් ඔහු හීංඇළ ඉක්මවා ගමන් කරන්නට වූයේ ජීවිතයේ සැහැල්ලුව, සතුට ශාන්තිය සහ විමුක්තිය ඇතැයි ඔහු නිසැකවම දන්නා එකම පුද්ගලයා හමුවීම උදෙසාය. 

එක්තරා දඩයක්කාරයකුගේ කතාව මෙතෙකින් නිමියේය. 

47 comments:

  1. අහිංසක සුද්දි වැරදිකාරයෙක් කරලා මේ කතාව මේ ලෙස ඉවරකරපු එක ගැන මගේ බලවත් විරෝධය ප්‍රකාශ කිරීමට කැමතියි. අර නිවුන් ලමයි දෙන්නා ලොකු, මහත් වෙලා, තව කෙල්ලෝ දෙන්නෙක් ගෙදරට ගෙනත්, හැමෝම සතුටින් ජීවත් වෙන, පවුලේ කතාවක් ලෙස මෙය ඉවර කරන්ට තිබුනා.

    මේ ටික දැනගන්ට, අවුරුද්දක්ම බලා හිටියා මදැයි...:)

    ReplyDelete
    Replies
    1. / අහිංසක සුද්දි වැරදිකාරයෙක් කරලා මේ කතාව මේ ලෙස ඉවරකරපු එක ගැන මගේ බලවත් විරෝධය ප්‍රකාශ කිරීමට කැමතියි. /

      එලෙස කිසිසේත්ම සුද්දී වැරදිකාරියක කොට නොමැති බැවින් ඔබගේ විරෝධය එක හෙලා ප්‍රතික්ෂේප කරමි.මගේ සිතෙහි මැවෙනා කිසිදු චරිතයක් වැරදි කාරයෝ නොවෙති.ඔවුහු ඔවුන්ගේ සිතැඟි අපේක්ෂා, සහ ආශාවන් අනුව යමින් ඒ මුදුන්පත් කර ගැන්මට උත්සාහ දරන්නෝ/දරන්නියෝ පමණක්ම වෙති. ඔවුන් මුහුණදෙන්නවූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන්, අපේක්ෂාවන් බිඳවැටීම් යනාදියෙන් වියුක්තව බාහිරව හිඳ ඔවුන් විනිශ්චය කරන්නෙකුට සහසක් වැරදි පෙනී යාහැක. ඒ කිසිසේත්ම ඔවුනගේ වරදක් නොවේ.

      Delete
  2. කොහෙද ගිහින් තනියම කාලෙ ගෙවද්දී සුද්දී බලාගෙන හිටියි ද?!!

    ජීවිතයේ කිසිදිනෙක අත්නොවිඳි සැහැල්ලු එමෙන්ම සුවදායක හැඟීමක් සිත පුරා ලය පුරා මුළු මහත් සිරුරේ ලේ මස් ඇටනහර පුරා අත්විඳිමින් දඩයක්කාරයා නැඟී සිටියේය. ///!!!!!!! මදැයි...

    ReplyDelete
    Replies
    1. / කොහෙද ගිහින් තනියම කාලෙ ගෙවද්දී සුද්දී බලාගෙන හිටියි ද?!! /

      සුද්දිට ජීවිතේ ගෙනියන්ට විකල්පයක් තියනවනෙ. දඩයක්කාරය ගැන ආයෙ බලාඉන්ට ඕන වෙන එකක් නෑ..:)

      / ජීවිතයේ කිසිදිනෙක අත්නොවිඳි සැහැල්ලු එමෙන්ම සුවදායක හැඟීමක් සිත පුරා ලය පුරා මුළු මහත් සිරුරේ ලේ මස් ඇටනහර පුරා අත්විඳිමින් දඩයක්කාරයා නැඟී සිටියේය. ///!!!!!!! මදැයි…/

      මදැයි යන්නෙහි උත්ප්‍රාසාත්මක භාවිතය අමතක කොට වචනාර්ථය ගන්නේ නම් ඒ මෙතැනට ඉතා හොඳින් ගැලපේ. මදැයි = ඔය මදිද? = හොඳටම ඇතිනේද? යන අර්ථය සලකා බැලුවහොත් ජීවිතයේ අප හැමගේ ඉලක්කය මේ නොවේනම් අන් කවරක්ද?

      " සැහැල්ලු එමෙන්ම සුවදායක හැඟීමක් සිත පුරා ලය පුරා මුළු මහත් සිරුරේ ලේ මස් ඇටනහර පුරා අත්විඳිමින් "'

      ජීවිතයෙන් අප බලාපොරොත්තුවනුයේ මීට වඩා අන් කුමක්ද?

      Delete
    2. :D මම දැනගෙන හිටියා රවීට මම ගත්තු අර්ථය "හොඳටම ඇති නේද?" යන්න වැටහේවි කියල. බැරිවෙලා වත් එහෙම වැටහිලා නැත්නම් ඒක ලියන්නයි ආයේ ආවේ!!!!

      සුඛාන්තයක් ලියන ඒක ලේසි නෑ.

      Delete
  3. මේ දිග කතාවේ ලස්සනම, සමබරම කොටස මේකයි අයියේ. අනිත් එක කොටසකවත් තිබ්බෙ නැති කුතුහලයක් මේ මුලු කොටස පුරාම අන්තිම වෙනකල්ම තිබ්බා. :) අර කතාව මැද්දෙදි දිවියෙක් එකපාරටම ආපු කොටසත් ඒ වගේ.

    කතාව ඉවර වෙච්ච විදිහ ගැනනම් මට මුකුත් කියන්න අමාරුයි. මීට වඩා සතුටුදායක අවසානයක් තිබ්බනම් හොඳයි කියලා හිතෙන්නෙත් නෑ, මොකද එහෙම උනානම් මෙතන කතාවක් නැතුව යනවා. තව මොනවාහරි හිතුණොත් පස්සෙ කියන්නම්කෝ.

    අවුරුද්දක් තිස්සේ දඩයක්කාරයාගේ කතාවෙ අවසානය දකින්න මග බලාගෙන ඉඳලා, අන්තිමේදී ඒක දැක්කට පස්සේ ආයෙ එයා වෙනුවෙන් මග බලං ඉන්න ලැබෙන්නෙ නැති නිසා පාළුයි වගේ. :(

    ReplyDelete
    Replies
    1. / මීට වඩා සතුටුදායක අවසානයක් තිබ්බනම්../

      ඇයි දෙයියෝ සාක්කි..මීට වඩා සතුටු දායක අවසානයක් තව කොයි ලෝකෙං හොයන්ටද?...දඩයක්කාරයයි සුද්දියි දෙන්නම තමන්ට අවශ්‍ය විදිහට ජීවිතේ ඉස්සරහට ගෙනියයි..ඉතිං බොල ඊට වඩා ආය මොනවද?

      / අවුරුද්දක් තිස්සේ දඩයක්කාරයාගේ කතාවෙ අවසානය දකින්න මග බලාගෙන ඉඳලා, අන්තිමේදී ඒක දැක්කට පස්සේ ආයෙ එයා වෙනුවෙන් මග බලං ඉන්න ලැබෙන්නෙ නැති නිසා පාළුයි වගේ. :( /

      ඇත්ත බං මටත් තියෙන්නෙ මහ අමුතුම හැඟීමක්..එක අතකට බෙල්ලෙ එල්ලං හිටපු කුරහං ගලක් බිම තිබ්බම දැනෙන සැහැල්ලුවයි කාලයක් උස්සං හිටපු බරක් අයිං කරාම දැනෙන පාලුවයි දෙකම එක විඩේ දැනෙනව බොල...හෙහ්, හෙහ්,

      කණගාටු වෙන්ට එපල්ල. මයෙ තියනව තව කතාවක්…" කුමරියකට පෙම් කළෙමි " ඒක ඇවිදිල්ල හිට අවුරුදු දෙකක් වත් යයි ඉවර වෙනකොට...හෙහ්, හෙහ්,

      Delete
  4. මට මග හැරුණු පැරණි කොටස් ටික.. බලන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. හරි චන්දන..ස්තූතියි :)

      Delete
  5. මට සතුටක් සහ දුකක් තියේ...

    සතුට මා පුල පුලා බලා සිටි දඩයාගේ කතාවේ අවසානය මෙසේ හෝ සනිටුහන් වූ බැවිනි.


    දුක මා කිසිසේත් නොපැතූ පරිදි සුද්දී නරක් වී ඇති නිසාය.අනික එක අතකට දඩයාගේ ක්‍රියාකලාපය ගැන අතීතයේ සිටම විමසා බලනවිට ඒකිට වැරැද්දක් කියන්ඩත් බැරිය.

    නොදනිමි කාගෙ දොසා!!

    ReplyDelete
    Replies
    1. / දුක මා කිසිසේත් නොපැතූ පරිදි සුද්දී නරක් වී ඇති නිසාය /

      ඔන්න කිව්ව එකක් ඒ පාර...කොහේද බං සුද්දි නරක් උනේ? පව්…. ඒ අහිංසකී.....:( :(

      Delete
  6. මුල ඉඳන්ම කතාව කියවූ පාඨකයෙක් විදිහට, මේ කතාව අද අවසන් වෙනවා කිව්වහම ඇති වෙන්නෙ දරාගන්න බැරි දුකක්. කොච්චර දුකද කියනවා නං, හවස් අතේ කුකුලෙකුට වගේ ගෞරව කරන්න තිබුනා නං හොඳයි කියා සිතේ. හැම හොඳ දෙයක්ම අවසන් විය යුතුවා මෙන් මේ කතාව ද අවසන් වී ඇත. ඒ නිසා එහි හොඳ දෑ පිළිබඳවත් සටහන් කිරීම අත්‍යාවශ්‍යය. මෙහිදී නම් යමක් විශේෂයෙන්ම සඳහන් කල යුතුව ඇත. ඒ නම් මුලු කතාවෙන්ම මගේ සිත ප්‍රීතියෙන් පිනා යන විශේෂ සඳහනක් ඇති බවය. ඒ නම්.....

    //එක්තරා දඩයක්කාරයකුගේ කතාව මෙතෙකින් නිමියේය//

    ReplyDelete
    Replies
    1. //එක්තරා දඩයක්කාරයකුගේ කතාව මෙතෙකින් නිමියේය//

      අම්මප මලේ කිව්වම මොකද...මටත් පුදුම සහනයක් දැනුනෙ ඔය වචන හතර ලියල පුල්ස්ටොප් එක තිබ්බම. ඊයෙ රාත්තිරියෙ මේක ලියල පබිලිස් කරල අහවරක් වෙනකොට වෙලාව එකොලහමාරයි. රෑ වෙලා වැඩියි. නැහ්නං ඔන් ද ස්පොට් ගහනව කාලක්. අනෙ අම්මප. මේ සිකුරාද දාන්න ඕන මහා සාදයක්...

      " දඩයක්කාර අන්දර සමාප්ත මහා ප්‍රිය සම්භාෂණය "'

      සාදර ආරාධනයයි.

      පුරා වසරක් මුළුල්ලේ මා හා රැඳී හුන් මා ප්‍රාණසම ප්‍රිය සහෘද දඩයක්කාර තෙමේ ජීවිතයේ සන්තුෂ්ඨිය සොයා අභිනිෂ්ක්‍රමණය කලහෙයින් ඒ ප්‍රමෝදය බෙදා හදාගනුවස් සූර්යාභිධාන වූ මවිසින් සංවිධානය කොට, අති ගෞරවාර්හ මද්‍යපාන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගව, අජ, සූකර, කුක්කුට, තාරා යනාදී වූ බොහෝ සත්වයින්ගේ කාරුණික සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදෙන්නාවූ මහා ප්‍රිය සම්භාෂණයට ඔබට කෙරෙන ගෞරවණීය ආරාධනයයි...

      කොහොමද ආරාධනාව? මල් හතයි නේද? ඒත් එක පොඩි කොස්සක් තියෙන්නෙ ඕක හම්බ වෙච්චි එවුන්ට සිකුරාදට කලින් ඕකෙ කියන්නෙ මොකද්ද කියල තේරුං ගන්ට පුලුවන් වෙයිද මන්ද......

      Delete
  7. රවියාණෙනි නිදහසේ කියවිය යුතු
    පෝස්ටුවක් මෙය..නැවත ඉඩ කඩ
    සකසාගෙන පැමිණෙන්නෙමි..

    ReplyDelete
    Replies
    1. හරි සහන්..ස්තූතියි :)

      Delete
  8. උන්න හැටියට මළා මදැයි !!! මං උන්නෙ මේකා පරසක්වල යයි කියලමයි. මුදලාලිගෙ පුතා සීන් එකට ඇන්ටර් නොවී දඩයක්කාරය ගන්න ගියානම් හොඳයි වගේ. සුද්දි සුද්ද කරන්න හිතාගෙන නෙමෙයි කිව්ව. දඩයක්කාරය ගැන හිතල.

    ඔය ඔක්කෝටම වැඩිය හොඳයි මේක අහවර වෙච්චි එක, නිකං මේක කියවනකොට මට ආවෙ දන්දින්නල රහක් බං. [ඉස්සර හක්මණ ආචිචිලයි අහ දන්දින්නලයි ක‍ටුඅලයි වැවුනෙම ඔන්න මේ කතාවෙ වගේ පරිසරයක් තියන පීල්ලගහවත්තෙ ඉඩමෙ]

    ReplyDelete
    Replies
    1. යකෝ මේක මාර කෙළියක් නෙව, මුං ඔක්කෝටම අම්බ ඇපී මේ කතාව ඉවර වෙච්චි එකට..හිටපියව් තොපට කෙලවන්ට.....

      දින කිහිපයක් යතිවරයාණන් හා සමඟ වාළිඹේ පර්වත මස්තකයෙහි භාවනානුයෝගීව හුන් දඩයක්කාරයා හට සිත් එකඟ කර ගැනීමෙහි උගහට බවක් දැනෙන්නට විය. දෑස් පියාගත්වනම සිත බැඳ තබා මෙල්ල කිරීමට තැත් කළද නිරතුරුව ජනිත වනුයේ සුද්දී හා එක්ව ගෙවූ ඒ කාලාන්තරයේ ඈ හා ගතකල සොඳුරු අවස්ථාවන්ය.

      ඔහුගේ මේ චිත්ත සංකූලතාවය යතිවරයාණන් හටද කිසිසේත්ම රහසක් නොවුනු බව කිය යුතු නොවේ. අවසන එක් උදෑසනක යතිවරයාණෝ දඩයක්කාරයා ඇමතූහ.

      " දරුව තොප සිත එකඟ කර ගැනීමෙ අපහසුවකින් පෙළෙන බව පෙනේ. තීරණය උදක් තොප සතුය. ඉදිරි ක්‍රියා මාර්ගය තීරණය කල යුත්තේ තොපම මිස අන් කවරෙක් වත් නොවේ. "

      ඉනික්බිති ස්දින දවස මුලුල්ලේ සියලු කාරනා පිළිබඳව හොඳින් සිතා බැලූ දඩයක්කාරයා අවසන යතිවරයානන් පාමුල වැඳ වැටී මෙලෙස පැවසූහ.

      " මට අවසරයි ස්වාමීනි. ආපසු යාමට මට ආශීර්වාද කල මැනව. "

      යතිවරයාණෝ පහත්ව දඩයක්කාරයාගේ හිස පිරිමැද ඔහුට අවසර දුන්හ.

      " ඔබට අවසරයි දරුව...ජීවිතය හොඳින් ගෙනයන්න.. "

      ඔන්න දඩයක්කාරය පල්ලම් බහිනව සිංදුවකුත් කියාගෙන...

      යන්නෙමී මම්...සොයමිනා..මා සී දේවී...ආආආආආආ.......
      සුද්දීඊඊඊඊඊඊඊඊ......ආආආආආඅ......
      මේගසේ කේසාවේ..ඒ ඒ ඒ ඒ ඒ
      ඇගේ වර්න සුවර්නාවේ ඒ ඒ ඒ ඒ ඒ

      වැඩේ පුල් ආතල්...කොල්ලයි කෙල්ලයි ආයෙම සැට්..හැබයි බොලේ පොඩි කොස්සක් තියෙන්නෙ සුද්දි මේ වෙනකොට අර කඩ කාරයගෙ පුතා එක්ක කූඩු වෙලා ගෙපැලෙම..අම්මට සිරි ගජ නැන්දට කජු මද කිව්වලු.....සයින් ද පීස් සකබෝනා...

      දැං මොකද වෙන්නෙ?......ඉල ඇදෙන පයිට්, ලොමු දැහැගන්වන විහිලු , ජුගුප්සාජනක පේම ජවනිකා,සමඟ බලාපොරොත්තුවන්න ළඟදීම .....

      පම් පර පං..පපර පපං....පම්..පම්...පම්...පපප..පපං...

      දඩයක්කාරයාගේ පුනරාගමනය....නය..නය ...නය ...නය ( නය නය නය කිව්වෙ තොගෙං ලෝං එකක් එහෙම ඉල්ලුව නෙවෙයි හොඳද?...ඒ තමයි ඇකෝ එක.....)

      Delete
    2. උඹ එහෙම කොරන්න බැරි නැති මනුස්සයා... අර ආදර නිල් දෑසේ එකට පසු කතාම බර ගාණක් තියනවා මම දැක්කා....

      හප්පේ අර පහල සැට් එක අරින බෝතලේට මාත් වග කියන්න යනවා..

      හැන්රියාට සතුට දරාගන්න බැරුව මොනා හරි වෙලාද දන්නෙ නෑ...

      Delete
  9. // එක්තරා දඩයක්කාරයකුගේ කතාව මෙතෙකින් නිමියේය. //

    අ‍ඳෝමයැ.. මෙය ලිවිය යුත්තේ මෙසේ නොවන්නේයැ..

    හුදී ජන පහන් සංවේග උපදවමින් වන වංශ කතාවේ අල්ප මාත්‍රයක් ලොවට හෙලිකරනු වස් මඣ්ජපූර්‍වදිග සුනාපරන්තදේශවාසී සූර්‍යාභිධානයන් විසින් රචිත 'එක්තරා දඩයක්කාරයකුගේ කතාව' මෙතෙකින් නිමියේ ය...


    පලි: මා සොයුරු නවමාභිධානයෙනි, තොප කොයිබද.!? මේ ප්‍රීතිජනක එමෙන්ම ශෝකජනක අවස්ථාවේ අප හා එක්වී සමරනු හැර පියා තොප කොයිබක වහං වුනිද.!?

    ReplyDelete
    Replies
    1. මං ගියා බොතලයක් ගේන්න. මේ කුකුලෙක් පුච්චන ගමං.

      හුටා යැ. මා කෙතැරම් ප්‍රීතියෙන් ප්‍රමුදිත වූයේද යත් වියත් බස්වහර එක්වනම ලොප් වීයැ.
      එසේයැ මා ප්‍රිය බුරාභිදානයාණෙනි, අප උදක්ම සැමරිය යුතු මොහොතැක් යැ මේ පැමිණ ඇත්තේ.

      එසේ නම් චියර්ස් යැ !!

      මේ උත්කර්ෂ අවස්ථාව පිළිබඳව අප දෙපොලම අභිබවමින් ප්‍රීතිවන්නෙකි අප අහේතුවටම පරලෝ සැපත් ප්‍රිය නිරීක්ශකයානෝ. හෙතෙමේ හස්ථමුද්‍රාවෙන් ප්‍රීතිය පිළිබිඹුකරනා රඟ දකින්නට අප නෙත් මඳ පින් ඇත්තෝයැ.

      Delete
    2. ඇයි යකුනේ උඹල දෙන්න මාව අමතක කරල සමරන්ඩ හදන්නෙ මේක??
      අඩුගානෙ මටෙයි කියල ජිංජ බීර බෝතලයක්වත් ගෙනාපියවු..
      මාත් එනව මේක සමරන්ඩ!!

      Delete
    3. වලාමේ !!!!! වස වැ‍රැද්දයි. ඕං බූරො මේකිටත් ඔයි වීදුරුවක් හෝදල දීහං.

      ප.ලි: රවියාභිදානය තාම රාජකාරි පොලේ ඇත්තෙ, ඉඩක් ලැබිච්ච වෙලාවක මේකෙ කොමෙන්ට්ස් බැලුවම උන්දැට වැලි කන්න හිතෙයි දෙයියනේ.. පව් !!!

      Delete
    4. @ Buratheno,

      / හුදී ජන පහන් සංවේග උපදවමින් වන වංශ කතාවේ අල්ප මාත්‍රයක් ලොවට හෙලිකරනු වස් මඣ්ජපූර්‍වදිග සුනාපරන්තදේශවාසී සූර්‍යාභිධානයන් විසින් රචිත 'එක්තරා දඩයක්කාරයකුගේ කතාව' මෙතෙකින් නිමියේ ය… /

      ඔහොම නෙවෙයි බාං.......මම ඔය කෑල්ල ඔරිජිනලි ලියාපු විදිහ ඇත්තටම කියන්නෙයි බූර් මලේ?

      කිසිදු ශාස්ත්‍රීය විනයක් හෝ හික්මීමක් උදක්මැ රහිත, පරිකල්පන ශක්තිය යනුයෙන් වදනක් ඇති බව පවා නොදන්නා වූ අඳ බාල නුවණ නැත්තවුන්ගේ මෙන්ම වියත් බස් වහරෙන් ලියැවුණු සිහල වියුණු කලාවෙහි සිළුමිණක් බඳු වූ විදග්ධ රචනාවෙක් පරිශීලනක කොටැ වටහාගත නොහුණු ද්විත්වයක් හා අර්ධ ශතකයක් පමණක්මැ වටනා මුග්ධ ළලනාවන්ගේ රොස් පොරොස් බස් මධ්‍යයේ ඒ කිසිවෙක්මැ පයට පෑගෙනා දුහුවිල්ලක් බඳුව නොසළකා හරිමින්, ඉකුත් වසර මුළුල්ලේ මා දයාබර මෑණියන් වහන්සේට අනවරතවැ කිවිසුම් යන්නට හේතු කාරණා වෙමින්, හුදෙක් සිහල වියුණු කලාව පත්වැ ඇත්තාවූ ඛේදනීය තත්වයෙන් ඒ ගොඩ ගැනීම පමණක්මැ අරමුණු කොටගෙනැ, සිරි ලක සෙංකඩගල පුරවරැ ආසන්න පසල් දනව්වක්වූ පැණිදෙණි නම් වූ ග්‍රාමයෙහි ස්ථිර පදිංචියැති, එමෙන්මැ වර්තමානයෙහි මධ්‍යපූර්වදිග කතාර දේශයෙහි වසන්නාවූ, සූර්යාභිධාන නාම ලක්ෂේපිත මහා බුද්ධිමත් පුරුෂරත්නයක් වූ මවිසින් බොහෝවිට ගුරුදින සහ කිවිදින අධික සෝම පානයෙන් මෙන්මැ පුෂ්ප ආධ්‍යයනයෙන්ද සංතෘප්ත වූ කල්හි හුදී ජන පහන් සංවේගය උදෙසා රචනා කොට වදාරන ලද එක්තරා දඩයක්කාරයකුගේ කථාව මෙතෙකින් නිමියේය....සිධි රස්තු....

      Delete
    5. /*බොහෝවිට ගුරුදින සහ කිවිදින*/

      මේන්න මේක ඩිංගක් සංශෝධනය වෙන්ඩෝනෙ මයෙ හිතේ 'බොහෝවිට බුධ දින සහ ශනි දින නොහොත් කෙම්මුර දිනයන්හිදී' කියලා. :P

      Delete
    6. අඩේ බුරා, උඹට මාව අමතක් වුනා නේ? ඇයි බම් දඩයක්කාරයගේ අංක එකේ රසිකයා මම නේද?

      (මල හත්තිලව්වයි. රවි මේකෙ සීසන් ටූ හෙම නෑ කියලා ෂුවර්ද උඹලට?)

      Delete
  10. අය්යට කියන්න මන් ගිය පාර කොටස කියෝපු ගමන් දැනගත්ත මේ අවසානය..සුද්දී වෙළෙන්දාගේ පුතා එක්ක යවල දඩයක්කරයව තපසට අරින්න් තමය් ටක්කෙටම මේ ගොය්ය හදන්නේ කියල. මන් ඉතින් ඔය ටික කියල කොමෙන්ටුවක් කොටලත් ආඊ හිතුනා ඒක දාන එක හරි නැහැ කියල...ඉතින් මන් අඊ එක පබ්ලිශ් කලේ නෑ ..
    මදය් දැන් අපි ඉවසන් හිටිය..හෙටම පටන්ගමු " කුමරියකට පෙම් කළෙමි "..............

    ReplyDelete
    Replies
    1. උඹට තේරුනා ගොනා හැරෙන්නෙ මොකටද කියල නේද?....හෙහ්, හෙහ්,

      බින්දි අම්මණ්ඩිනං එහෙම කියලම තිබ්බ...

      හරි, හරි, කුමාරිගෙ කතාවත් ලියන්නං ඉක්මනටම....:) :)

      Delete
  11. අර උඩින්ම දාල තියන කමෙන්ට් කරපු පොඩි කුමාරිහාමි කිච වෙලා වගෙයි පේන්නෙ.හොදට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. //කිච//

      What do you mean by this???

      Delete
    2. කිච = කින්ඩි, නෝන්ඩි, පාච්චල්කිරීම, ලැජ්ජාවට පත් කිරීම

      මෙයා තාම ඉස්කෝලෙ යන චූටි මල්ලියෙක්ලු... පොඩි කමට නොදැන කියන දේවල් කියලා හිතාගන්නකෝ...

      Delete
  12. BLOGGERS LA LIYANNA OONE MEWAGE KATHAWAL. choo jee, pada, jokku gena nowe.

    ReplyDelete
  13. හ්ම්ම්....... දඩීට සුද්දිගේ වැරැද්දක් පෙනුන නිසා ආපු තරහට, එකපාරටම ආපු කේන්තිය මැඩ පවත්තගන්න පුළුවන් වෙච්ච සන්තෝසෙට හිත සැහැල්ලු උනාද.. නැත්තම් මෙච්චර කල් කර උඩ තිබ්බ අනවශ්‍ය බරක් සැහැල්ලු උනා කියලා හිතලා සන්තෝස උනාද කියලා මං මේ කල්පනා කරන්නේ......

    ReplyDelete
    Replies
    1. එතන හිරු මෙහෙම හිතන්න...දඩයක්කාරය කියන්නෙ බොහොම නිවිච්ච මනුස්සයෙක්, ඇත්තටම නම් හැඟිම් විරහිත කියන්නත් පුළුවන්.සුද්දිගෙ වැඩේ නිසා මිනිහට එක පාරට උහුල ගන්න බැරි කේන්තියක් ආව.ඒ දඩයක්කාරයගෙ සැබෑ ස්වභාවය නෙවෙයි. අපි හැමෝටම එහෙම වෙන්න පුළුවන්. අනපේක්ෂිත යම් සිදුවීමක් නිසා අපේ ස්වභාවික ගති ස්වභාවය එහෙම පිටින්ම වෙනස් වෙන්න ඉඩ තියනව. නමුත් ඒක හිතට හරි බරක්.බෙල්ලෙ ගලක් එල්ලගෙන ඉන්නව වගෙ. එදා දවසම දඩයක්කාරය හිටියෙ අන්න ඒ මානසික තත්වයෙ.තුවක්කුව අරගෙන සුද්දිට ඉලක්ක කලෙත් ඒ සුපුරුදු දඩයක්කාරය නෙවෙයි. අර හිටපු Alter Ego එක. ඒත් අන්තිම මොහොතෙ සුද්දි කෙලින්ම එයා දිහා එක එල්ලේ බලා හිටපු මොහොතෙ දඩයක්කාරය ආපහු පරණ අපි දන්න දඩයක්කාරය උනා. එහෙම තමන්ගෙ True Self එකට ආයෙම පත් උනු එක මිනිහට උහුලන්න බැරි සතුටක් උනා.

      ඒ වගේම ඔයා කියපු අනික් කතාවත් ඇත්ත. සුද්දි එක්ක පවුල් කෑවත් මනුස්සය එහෙම කලේ නොකර බැරිකමට. ඒ බන්ධනයෙන් අවසානෙදි නිදහස් උනා කියන සතුටත් එක හේතුවක්.

      Delete
  14. අනේ මේ කතාව ඉවර උනාට මට නම් දුකේ බැරුවා. :( :( :(

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මප අහල පහලක උන්න නම් මම දනී.....:) :) :)

      Delete
    2. රවී අයියට පේන්ඩ හෙන්රි අයියට ලියමි: අනේ අම්මප මටත් එහෙම්මමයි බං දැනෙන්නෙ... බුර බුරා ( බූරාස් කොපිරයිට්) නැගෙන සෝකෙන් දැවි දැවී ඉන්නෙ...

      රවී අයියට නොපෙනෙන්ඩ හෙන්රි අයියට රහසෙං කියමි: මගුලක් කතා කරන්නෙ නැතුව ආං අර ගෙනාවයි කිව්ව බෝතලේට සැට් වෙයං.. මං නොදන්නවයැ උඹේ හැටි අයියෙ...

      Delete
  15. මට එකදිගට කියවන්න බැරිඋනා...
    ආයේ කියවලා ඇවිත් කමෙන්ටුවක් දාන්නං...

    ReplyDelete
    Replies
    1. හරි, තරි...ස්තූතියි :)

      Delete
  16. ගෑණු චපලය.. එදත් එසේමය, හෙටත් එසේමය... චපලත්වය ගොඩ නැඟෙනුයේ ඔවුහු හැඟීම් අරමුණු කොට ජීවත්වන බැවිණි..

    ReplyDelete
    Replies
    1. මෙතනෙ නම් ප්‍රශ්නෙ උනේ යසිත්, දඩයක්කාරය ඒකෙ සපුරා අනික් අන්තය වෙච්චි එකයි. මිනිහ හැඟීම් විරහිත කිව්වත් ඒ හැටි වැරැද්දක් නෑ..:)

      Delete
  17. ඉස්සෙල්ලම බැලුවෙ කතාව ඉවරද කියල ?

    ඒත් කතාව දුක හිතෙන විදියට ඉවර උනාට මම නං අකමැතියි...

    සැබෑ ලෝකෙ කතා දුකෙනුයි සතුටුනෙයි දෙකෙන්ම ඉවර වෙන එක නතර කරගන්න බැරි උනාට මේ වගෙ ප්‍රබන්ධ දුකෙන් ඉවර වෙන එක ඇයි නතර කරගන්න නොහිතුනෙ?

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාලෙ...බොටත් දුක හිතනවය?.... :(

      මම නං හිතන්නෙ මේ තමයි සතුටුදායකම අවසානය කියල. දඩයක්කාරයයි සුද්දියි පවුල් කනව කියන්නෙ ඒක ඇවිල්ල විකෘතියක් ( Aberration ).

      Delete
  18. අවසානයේදී කතාවේ ඉතුරු උන චරිතවලට,මීටත් වඩා හොද සාධාරණයක් කරන්න නැහැයි කියලයි මට හිතෙන්නේ.....! කථාවේ පටන් ගැන්ම, ගලා යාම, වගේම අවසානයත් නියමයි රවී අය්යේ! :)

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ...ඇති යාන්තං...කතාවෙ අවසානයට කැමතියි කිව්වෙ ඔන්න ඔයා විතරයි.....

      බොහොම ස්තූතියි නෙලුම්....:) :)

      Delete
  19. කලින් කිව්වා වගේ ආයෙත් මුල ඉඳන් කියවලා එන්නම්කෝ..ඒක නෙවි රවි මේ කතාවට ලේබල් එකක් දාන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ලේබල් එකක් දාලනෙ රූ තියෙන්නෙ...ඔය දකුණු පැත්තෙ ප්‍රවර්ග යටතේ තියෙන්නෙ දඩයක්කාරයාගේ කතාව කියල..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...