Tuesday, December 17, 2013

235. කවිකාරියකගේ ප්‍රේමය…..21


ඔන්න තව සතියක් වගෙ යන්ට ඇති...සුජාතා ආයම කෝල් කලාද නම් මන්ද...අනෝමා ඒ ගැන මා එක්ක මොකවත්ම කිව්වෙ නෑ. අනෝම එක්ක ඔය වල් පල් කතාකරකර හිටපු දෙතුන් පාරක්ම ඒ ගැන අහන්ටත් හදල මම ආයම වචන ගිල ගත්ත. 

" මොකෝ අර එදා කතාකරපු නමක් ගමක් නැති ගෑණු ළමෙය අයම කතා කලාද?" කියල අහන්ටය…

" ඉතිං උඹ එදා කිව්වෙ එහෙම ගෑණු ළමේක් දන්නෙත් නැත. නාඳුනන ගෑණු ලමයිංගෙං එන කෝල් වලය උඹ බයය අරකද මේකද කියල.... ඉතිං මොකෝ මේ හදිස්සියෙ එහෙම අහන්ට හිතුනෙ? "

ආය දෙකක් නෑ ඕකි ඔහොම අහන එක අහනව..ඔක්කොටමත් වැඩිය මට විඳින්ට බැරි ඔහොම අහන ගමං ඒ යෝදි කට කොණකිං හිහ්, හිහ් ගාල දාල නෝන්ඩි හිනහව...

කෙල්ලන්ට ඉව කියන්නෙ ආය නිකංය.." උඹ මොනවත් මගෙං අහන්ට එහෙම ගිහිල්ල නිකං මේ මේ ලැජ්ජයි ලැජ්ජයි වගෙ හිතිල ආයම ගිල ගන්නවයි කියල මට හිතෙනව.. ඒ මොකෝ ඇත්තට? "

දවසක රාත්තිරියෙ ඔෆිස් එකේ මූණට මූණට බලාගෙන කතාකරකර ඉන්න ගමං අනෝමා එක පාරටම අහපි.

එදා හෙඩ් ඔෆිස් එකෙන් ඔය හාෆ්ෂීට් ෆයිල් කවර එහෙම තොගයක් ගේනවය කියල මෙසේජ් එකක් ඇවිල්ල තිබ්බ. අපේ ඔෆිස් එක තමයි මඩකලපුවෙ ඉඳල කොළඹ පැත්තට යද්දි අන්තිමටම තියෙන්නෙ. ඉතිං සාමාන්‍ය සම්ප්‍රදාය ඇවිල්ල ඔය දුර බැහැර ඔෆිස් වලට බඩු බෙදල ආපහු කොළඹ යන ගමනෙ අන්තිමට අපෙ ඔෆිස් එකට ඇවිල්ල ගෙනාපුව බාලා කරලා යන එක.

ලිපිකරු තනතුරේ කියල අපෙ හිටියෙ අනෝම කෙලී විතරයි නෙව. ඒ නිසා ඒකිට ඉන්ට උනා ඔපිස් එකේ ලොරිය ඇවිල්ල බඩු බෑවට පස් සෙ ජී ආර් එන් එක අස්සං කරල දෙන්ට ජී ආර් එන් කිව්වෙ ගුඩ්ස් රිසීව්ඩ් නෝට් නොහොත් භාණ්ඩ භාරගැනීමේ සටහන් පත… 

එදා වෙලාවටම අපේ ඔෆිස් එකේ ඉන්න අනික් කෙල්ලො දෙන්නම නිවාඩු ගිහිල්ල. ඔය වගෙ වෙලාවට වනිතාවන්ට තනි රකින්ට අහුවෙන්නෙ මම තමයි.."' ආ..උඹම තමයි හොඳ ඒ වැඩේට...වනිතා කටයුතු ඇමතිනෙ උඹ " ඔන්න ඔහොම කියල අනික් එවුං ඔක්කොමල්ල මඟ අරිනව.මම ඉතිං උංගෙ අම්මලාට බැන බැන වැඩේ බාර ගන්නව.

" මේ විකාර කියවන්නෙ නැතුව ඉන්නවද ඔහොම?....අහන්ට ගිහිල්ල ගිල ගන්නව..හුහ්..මම උඹට බයේනෙව එහෙම ගිල ගන්නෙ.." මට එක පාරට තරහ ගීයා

" හිහ්..හිහ්..හිහ්……" අනෝමා ඔලුව පස්සට වීසිකරල හිනාඋනා…

" මේ අඩේ..ඔහොම හිනාවෙනවද බොල ගෑණු ළමස්සියො උනහම?.....අම්මාපල්ල දැං ලොක්කත් එනව මොකද්ද මේ විකාරෙ කියල බලන්ට..."

මම කිව්වෙ දත්මිටිකාගෙන ..ඇත්තටම ලොක්කයෙ නිල නිවාසෙ ඔෆිස් එකට ඒ හැටි දුරින් නෙවෙයි තියෙන්නෙ. මේ යෝදිගෙ කැකිරි පැලිල්ල නෙවැරදීම ලොක්කයෙ ගෙදෙට්ට නං ඇහෙන්ටම ඇති.

එක පාරට සුවිච් එකක් ඕප් කලාහේ අනෝමයෙ සිරික්කිය නැවතුනා. ඕකි ඔය මට එහෙම පාට් දැම්මට අපෙ ලොක්කට පණ බයයි. ලොක්ක ඔය හැමෝම බය කොරගෙන ඉන්නෙ අනම්මනම් පාට් දාල. අනෝම දනි පනි ගාල නැඟිටල ඔපිස් එකේ දොර ගාවට ගිහිල්ල එබිල බැලුව.

" නෑ බං කවුරුවත් පේන්ට නෑ..ලොක්කගෙ ගෙදර ලයිටුත් නෑ. "

" මේ මනුස්සය කොහෙ ගියාද ? හවසත් මම දැක්කනෙ ටී ටී ගහනව…"


ඔපිස් එක ඉස්සරහ අතුපතර විහිදවාගෙන සෙවණ දුන්නු මයිල ගහේ කොල අතු සිරි සිරි ගෑවිල්ලෙ හමාගෙන ආපු හීතල හුළඟ ඇතුලට කඩා වැදිල මගෙ හීගඩුත් පිප්පෙව්ව.

" හප්පා හීතල.. වහීද මන්ද …." මමත් නැඟිටල අත් දෙක පෙරවගත්ත.

" දොර වහන්ටද? …." අනෝමා බාගෙට ඔලුව හරවල මා දිහා බලල ඇහුව.

" පිස්සුද බං? ආය එකක් ඒ පාර..මෙන්න මෙහෙ වරෙං ඇවිල්ල ඉඳගනිං …"

" හරි හරි ඉතිං කෑනොගහ ඉඳහං….. මම විහිලුවට කිව්වෙ…."

" මට ඉස්සෙල්ල එක පාරටම හිනහ ගියෙ මොකද දන්නවද? "


බඩු ආහම අත්සන් කරල දෙන්ට ලෑස්ති කරල තිබ්බ ජී.ආර්.එන්. එක එහාට මෙහාට කරකවන ගමං අනෝම ඇහුවෙ ටික වෙලාවක් පැවතිච්චි නිහඬතාවයකට පස්සෙ. අනෝමගෙ අත්දෙක මැද කැරකෙන ජී. ආර්.එන්. එක දිහා බලා හිටිය මිසක මම මොකවත්ම කිව්වෙ නෑ.

" මට තේරුණ උඹට තරහ ගියයි කියල...මට හිනාගියෙ ඒ හින්ද…."

" තරහ යන්නෙ නැද්ද පිස්සු විකාර අහනකොට "


" හිහ්,හිහ්..ඇත්ත කියනකොටත් සමහරුන්ට තරහ යනව කියල මම අහල තියනව…" අනෝම ආයෙම හිනා උනා..

මම කිසි දෙයක් කිව්වෙ නෑ..මොනව කියන්ටද? මේ යෝදි කියන්නෙ සම්පූර්ණ ඇත්තකොට මොනවයි කියල කියන්ටද?

" මම කිව්වෙ ඇත්ත නේද?...." අනෝමා ආයෙම ඇහුවෙ බොහොම හෙමිහිට..

" ඔව්........" මම කිව්ව..ආය මොනවටද බොරුවක් කියන්නෙ?

" ඒක තමයි..මම මොකද නොදන්නෙ ඔයා ගැන...." අනෝමා මට ඔයා කියල අමතන්නෙ මොකක් හරි සීරියස් කතාවකට කියල මම දන්නව.

" එදා අර කතා කලේ සුජාතා නේද?......."

මම එක වංගියෙම ඔලුව උස්සල බැලුව. අනෝමගෙ දෙතොලග තිබ්බෙ සරදම් හිනාවක් එහෙම නෙවෙයි. කොහොමද දන්නෙ කියල අහන්න ඕන උනත් මම එහෙම අහන්නෙ නෑ. ..

" එදා කියපු වෙලාවටම සුජාතා කතාකලා.පස්සෙ මම කිව්ව ඔයා ඇවිල්ල යන්ට ගියාය කියල.එයා එක පාරටම ෆෝන් එක තිබ්බ. දවස් දෙක තුනකට පස්සෙ එයා ආයෙම කතා කලා. එදා තරමක් දුරට මට විස්තර කිව්ව.ඊටත් පස්සෙ මේ පහුගිය පෙරෙයිද කතා කරල තමයි මට සම්පූර්ණ විස්තරේම කිව්වෙ...විස්තරේ කියල මගෙන් ඇහුව ඔයාගෙයි මගෙයි අතර කිට්ටු හිතවත්කමක් තියනවද කියල "

" ඉතිං ?......"

" මම කිව්ව මෙහෙම...ඔව්..ඇත්තටම අපි බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරනවය ..අපි හොඳම යාලුවො කියල... කමක් නෑනෙ නේද එහෙම කිව්වට? "

" හෙහ්,හෙහ්, කමක් නැද්ද කියල අහන්නෙ එහෙම කියල දවස් ගාණකට පස්සෙනෙ.." මම හිනා උනා.." නෑ අනෝමා මම විහිලුවට එහෙම කිව්වෙ..කිසිම ප්‍රශ්නයක් නෑ ඔයා එහෙම කියපු එකට ඉතිං?...."

" ඒ පාර මගෙං ඇහුව ඔයාට කියන්ට බැරිද කියල එයාට කතාකරන්ටෙයි කියල……."

" මම කිව්ව මම උත්සාහ කරල බලන්නම්ය කියල…"


දැඩි නිහඬබවින් හාත්පස වෙලාගත්තු විනාඩි කීපයක් ගෙවිල ගියා. පිටිපස්සෙ කාමරේට යන තැන ආරුක්කුව උඩ එල්ලල තිබ්බ බිත්ති ඔරලෝසුවෙ ටිකිස්, ටිකිස් සද්දෙ විතරයි ඔපිස් එක ඇතුලෙ එක දිගටම ඇහුනෙ...

දොර පලුව එහෙම්ම ඇරල. ආයෙම ගලාගෙන ආපු හීතල හුලඟකුත් එක්ක වේලිච්ච මයිල කොල දෙක තුනකුත් ඔපිස් එක ඇතුලට ගහගෙන ආව.

" පව් අනේ ඔයා එයාව එක පාරක් හම්බ උනොත් හොඳ නැද්ද? "

ඔෆිස් එක ඉස්සරහින්ම යන පාර හරි කෙලින් ඉද්ද ගැහුව වගෙ විහිදෙනව දෙපැත්තටම කිලෝ මීටර් දෙක තුනක් විතර. ලොකු බොහොම බර ලෝඩ් එකක් පටවගෙන එන ලොරියක සද්දෙ ඇහෙන්ට පටන්ගත්ත විඩෙං විඩේ හුළං අත මේ පැත්තට අල්ලනකොට.

" හෙඩ් ඔෆිස් එකේ ලොරියද දන්නෙ නෑ…….. "

අනෝමා නැඟිටල මිදුලට බැස්ස. මාත් ඒ පස්සෙන්ම ගියා. ගේට්ටුව ඇරගෙන අපි දෙන්න පාරටම ගියා. ආයම හුළං අත මාරු උනහම ලොරියෙ සද්දෙ හොඳට ඇහෙන්න ගත්ත.

" නෑ ඒ අපේ එක නෙවෙයි. මේක මේ හෙණ ලෝඩ් එකක් එක්ක බොහොම අමාරුවෙන් අදින ලොරියක්. නෑ මේක වෙන්න බෑ...මෙහෙට එනකොට අපේ ලොරියෙ ඉතුරු වෙන්නෙ අනෝමා…. අපිට ගේන පොඩ්ඩ විතරයි. ඔහොම බෑඟිරි ගහගෙන අදින්න හේතුවක් නෑ. ඔය අර සමූපකාරෙට එන ලොරිය වෙන්නැති. "

අපෙ කෑම්ප් එක පහුකරල තව කිලෝමීටර් තුන හතරක් ගිහාම පැරණි මුස්ලිම් ගම්මානයක් තිබුණ. ඒකෙ සමුපකාරෙට සතියකට වගෙ සැරයක් කදුරුවෙලින් ගේනව බඩු ලොරියක් පුරවල.

තව ටික වෙලාවකින් ඔන්න ඈත ගණ අන්දකාරෙ ඉරාගෙන හෙඩ් ලෑම්ප්ස් දෙහෙක එලිය පේන්ට ගත්ත.

" යමු ඇතුලට.. සීතලයි …" මම කිව්ව..

" ඉන්ට පොඩ්ඩක් අපි මේක මොකක්ද කියල බලලම යමු. "

අනෝම මගෙ උරහිසට අත තියල කිව්ව. මම කිව්ව වගේම ඒ සමුපකාරෙ ලොරිය තමයි.

" මම කියනවට එක පාරක් සුජාතව හම්බ වෙන්ට ගිහිල්ල………"

අනෝම ආයෙම කිව්ව පුටුවෙ ඉඳගෙන වැලමිටි වලින් මේසෙට බරවෙලා ...කෙලින්ම මයෙ ඇස් දෙක දිහා බලාගෙන…

" එයාට කියන්ට තියන දෙයක් කෙලින්ම කියන්ට මූණටම..එච්චරයි..ඒ මොකක්ද කියන එක මම දන්නෙ නෑ. ඒක මට අදාලත් නෑ..මම කියන්නෙ මොක හරි කෙලින්ම මූණටම කියන්ට කියලයි. "

අනෝමගෙ ඇස් දෙකේ තිබුනෙ ආයාචනාත්මක බැල්මක්..පව්..මට දුකක් වගෙ හිතුන….

" හරි ඔයා කියන එකේ ඇත්තක් තියනව...මම යන්නං….."

" තෑන්ක්ස් අනේ..මම දන්නවනෙ ඔයා මම කියන දෙයක් නොකර ඉන්නෙ නෑ කියල.."

" හරි හරි උඹෙ බටර් ඇති..මේ දැන් මදැයි මේ ඔයා මෙයා කියල කතා කලා..උඹට උඹ නොකිය ඔයා මෙයා බාසාවෙන් කතා කරන එකත් මහ වදයක් බං.."

" ඉඳපං තව විනාඩි පහක් මේ ඔයා මෙයා මූඩ් එකේම ඉමු. …."


අනෝමා ලාච්චුවෙං යතුරක් අරගෙන නැඟිටල ගිහිල්ල ආරුක්කුව අයිනෙ බිත්තියට හේත්තු කරල තිබ්බ චුට්ටි මේස පොඩ්ඩක් උඩ තිබ්බ ටෙලිෆෝන් එකේ අගුල ඇරිය.

" ඔය මොකද බං කරන්න හදන්නෙ? "

මේ යස්සනී කොරන්න හදන්නෙ මොකද්ද කියල මට එතකොට මීටර් වෙලයි තිබ්බෙ..

" ඒයි මේ පිස්සු කෙලින්න නම් ලෑස්ති වෙන්න එපා.." 

මමත් නැඟිට්ටා. අනෝමා එතකොටත් ටෙලිෆෝන් එකේ නොම්මර ඔබල ඉවරයි. කහපාට රිසීවරේ කණට තද කරගෙනම ඒකි මා දිහාට හැරිල ඉඟි මැරුව. ටෙලිෆෝන් එක රිංවෙන සද්දෙ රාත්තිරියෙ නිස්සද්දතාවයත් එක්ක මට පැහැදිලිවම ඇහෙනව.

" තියාපිය ඕක…" මම සද්දෙ නෑහෙන්ට දත් මිටි කාගෙන කිව්ව.

" හිටපං කෑනුගහ…" අනෝමත් ඒ විදිහටම කිව්ව. එතකොටම රිං වෙන සද්දෙ නැවතුනා.

" හෙලෝ........"

අනෝමා කතා කලා..මම රවාගෙන හිටිය. ඒකි මට විරිත්තුවා..

" හෙලෝ... මේ…. මට සුජාට කතා කරන්ට පුළුවන්ද?...."

" ………………………………….."

" නෑ..නෑ..මම මේ සුජාගෙ යාලුවෙක්…"

" ………………………………….."

" ආ..ඔව්...පොළොන්නරුවෙ තමයි...හා..හරි…"

" සුජා නානවලු …" 
එහෙම කිව්වෙ මට.

" අනේ උඹ බම්බු ගහපං…" මම දත්මිටි කාගෙනම කිව්ව.

" හිකිස් …" අනෝමට දෙවුර අකුලල හිනාඋනා..

" හරි…. හරි..මට කතාකරන්න කියන්නකො දැන්මම..අනෝමා කිව්වම සුජා දන්නව…" අනෝමා රිසීවර් එක තිබ්බ.

" සුජා නානවලු. නාල ඉවරවෙලා කෝල් එකක් දෙයි.."

" මට ඇහුණ..උඹ හිතුවෙ මං බීරෙක් කියලද?..." මම කිව්වෙ නැඟිටල එලියට බහින ගමං.

" මේ රෑවෙලා නාන්නෙ ….අනේ මන්ද " ...අනෝම කියනව මට ඇහුන.

" එයාගෙ කොණ්ඩෙ කොටයි.ඒ හින්ද අවුලක් නෑ……" මම කිව්ව නෙවෙයි මට කියවුණා…

" ඈ...ඔහොම හිටපං ඔහොම හිටපං…" අර යෝදි කෑගහද්දි මම නෑහුණවගෙ එළියට බැස්ස.

ඔෆිස් එකෙන් එළියට බහිනකොටම තිබ්බෙ කපරාරු නොකරපු ගඩොල් කුළුණු තුනකින් දරාගෙන ඉන්න පියස්සකින් ආවරණය වෙච්චි පොඩි ඉස්තෝප්පුවක් වගෙ කොටසක්. මයිල ගහේ කොළ අස්සෙං ඈත කන්දකඩුව ආකහෙ හඳ එල්ලිල තිවුනෙ දෑකැත්තක් වගෙ. Sickle Moon කියල කියන්නෙ ඉංග්‍රීසියෙන් ....

ඉස්ලාම් ආගමේ සංකේතයත් ඒකමනෙ. දෑකැති සඳ සහ තනිතරුව...තනි තරුවයි හඳ පළුවයි....තනි තරුවකුත් හඳ පළුව එක්ක පල්ලෙහයිං තියද කියල බලන්ට ඕනය කියල මට එක පාරට හිතුන.ඉස්තෝප්පුවෙන් මිදුලට තිබ්බ පඩි දෙක බැහැල මයිල ගහ පහුකරල මම ගේට්ටුව දිහාවෙ ගියෙ යටි පහුවෙන බොරළු ඇනිල යටි පතුල් රිදුම් දෙද්දි.

මගෙ රබර් සෙරෙප්පු දෙක ඔෆිස් එකේ මේසෙ යට ගලවපු ගමං. මට තරහ ගිය පාර ඒකත් නැතුවයි එළියට බැහැල තියෙන්නෙ. හඳ පළුව තිබ්බට තනි තරුවක් නම් ඔහෙ තිබ්බ එකක් නෑ. හීතල හුළඟ පපුව පුරා පුරවගෙන එහෙම්මම අහස දිහා බලාන උන්න මම.

හීතලත් එක්ක පරිසරය වහගෙන තිබුනු දැඩි නිහඬතාවය මැටි කළගෙඩියක් උස්සල ඇති විරියෙං පොළවෙ ගැහුව වගෙ එක පාරටම බිඳිල ගියෙ කාර්යාලය ඇතුලෙ දුරකථනය නාද වෙන්ට පටන් ගත්තු සද්දෙට.

අනෝමා රිසීවරේ උස්සයි කියල මම එහෙම්මම හිටිය කන්දිහාගෙන. ඒත් දිගටම ටෙලිෆෝන් එක වදිනව.

" මේ උඹ ඇවිල්ල මේකට උත්තර දෙනවද නැද්ද? සුජාතා කතා කරන්නෙ…"

අනෝමගෙ කටහඬ ඇහුණ දුරකථනයෙ සද්දෙත් මැඩගෙන. ඔෆිස් එකට කිට්ටුවම තිබුනෙ සුළු සේවකයින්ගෙ නේවාසිකාගාරෙ. ඒකෙ පිටිපස්සෙ වතුර ටැංකිය ගාව රෑට කාපු පිඟාන හෝදමින් හිටිය සිරිසේන අයිය වෙන්න ඕන, සිරිසේන අයිය කියන්නෙ අපෙ ට්‍රැක්ටර් රියදුරු. මිනිහ තමයි අපෙ කෑම්ප් එකේ උසම මනුස්සය.සිරිසේන අයිය පිඟානත් අරගෙන පිළිකන්නට ඇවිල්ල මේ පැත්තට එබිකම් කලා. මේ යෝදිගෙ කෑගැහිල්ල එහාටත් ඇහුණද කොහෙද..අනෙ අම්මාපල්ල.

" හිටපං කෑනුගහ මම එනකල්……"

මම සද්දෙ බාල කරල කිව්ව එකට තද කරගත්තු දත් අතරින්..

" ඉතිං වරෙං…. මොකද ඔය එළියෙ කරන්නෙ? ගෙම්බො අල්ලනවද? හිහ්, හිහ්.."

අම්මාපල්ල මේ අම්මණ්ඩිව මට....බොරළු ඇනෙමින් ආපහු මම ගියා. බොරළු ඇනෙන පය රිදවන....එක විඩේම දුරකථනය නිහඬ උනා. ආයම කෑලි කපන්ට පුළුවන් නිශ්ශබ්දතාවයක් දසතම වෙලාගත්ත.

" හ්ම්ම්ම්ම්…."

දිග සුසුමක් හෙලුනෙ මට ඉබේටම. ඒ බලාපොරොත්තු කඩවීමක් නිසා හෙලුනු සුසුමක්ද නැත්නම් සැනසුම් සුසුමක්ද? නැත්නම් ඒ දෙකේම සම සම මිශ්‍රණයක්ද? ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්ට මට උවමනාවක් තිබුනෙවත් වෙලාවක් තිබුනෙවත් නෑ.

" ඔහොම හිටහං ටිකක්.... එයා කතා නොකලත් මම හරි කතා කරල මේක බේරුමක් කරනව. ඇයි යකඩො?..මේක මාර වැඩක්නෙ..කියන්ට තියන දෙයක් ගිහිල්ල ඒ මනුස්සයගෙ මූණටම හම්බවෙලා කියන එක නේද මනුස්සකම?...අනේ මන්දන්නෙ නෑ උඹලගෙ පිරිමි කම...."

අනෝමා එහෙම තමයි. කියන්ට තියන දේ කියනව ලබ්බ ගලේ ගැහුවවගෙ. මම ඕකිට කැමතිත් ඒකම තමයි.

" උඹ තරහද? …"

ආයෙම අනෝම හෙමිහිට ඇහුවෙ බිම බලාගෙන..

" නෑ බං මම තරහ නෑ. උඹ මොනව කිව්වත් මම තරහ වෙන්නෙ නෑ.," මම හිනාවෙලා අනෝමගෙ උරහිසට අත තියල මිරිකුවා.

" ඒත් උඹෙ කතාවට උත්තරයක් දෙන්න ඕනනෙ. පිරිමිකම ගෑණුකම කියල වෙනම දෙකක් තියනවද? මම හිතන්නෙ තියෙන්නෙ මනුස්සකම විතරයි කියල.එහෙම පිරිමිකම කියල එකක් තියනව කිව්වත් ඒක අර්ථ දක්වන්නෙ කොහොමද?.....හෙහ්, හෙහ්, "

" මේ මම ඒ වචනෙ ඉල්ලල අස් කරගන්නං..එහෙම කරන එක ලාබයි වගේ…...නැත්තං උඹ මෙතන පටං ගනියි ගෑණු කමයි පිරිමි කමයි අර්ත දක්වන්ට " අනෝමා කිව්වෙ සීරියස් පිට..

" හරි හරි බං ඒක අල්ලලදාමු..මට කියන්න ඕන උනේ...." 

මට වාක්‍යය ඉවර කරන්න උනේ නෑ..ආයම දුරකථනය හඬ නඟන්න ගත්ත.

අනෝමා එහෙමම ඉඳගෙන යටි තොල දික්කරල මට ඉඟියෙන් ටෙලිෆෝන් එක පෙන්නුවා. මමත් ඒ විදිහටම යටිතොල පෙරලල ඔලුව දෙපැත්තට වැනුව.මට හිනායන්නත් එනව. අනෝම මා දිහා රවාගෙන ඉඳල ගිහිල්ල රිසීවරය ගත්ත.

" හෙලෝ..

"…………….."

" ආ..ඔව්...අනෝමා තමයි..ඉතිං සුජාත කොහොමද?................"

"…………….." 

" ආ..ඔව්,ඔව්..ඔයා මට කිව්වනෙ......" 

"…………….."

" ඇත්තද? ඒක හොඳයි....."

"…………….."

" ඔව් අනේ….කොච්චර හොඳද? "


"…………….."

" මේ ඒකනෙවෙයි අඳුරන කෙනෙක් ඉන්නව ....ආ..ඉන්න මම එයාටම දෙන්නම්…"


අනෝමා රිසීවරය එක අතකින් වහගෙන මට ඔලුවෙන් කතාකලා. මම ආයෙම ඔලුව වැනුව තිරස්ව..

" මෙහෙ වරෙං බං….." සද්ද නෑහෙන්ට දත්මිටි කාගෙන කිව්වත් ඒකිගෙ ඇස් දෙකේ තිබ්බෙ හිනාවක්...මම ගිහිල්ල රිසීවරේ ගත්ත.

" හෙලෝ......."

මිනිත්තු බාගයක්වගෙ යනකල් කිසිම ප්‍රතිචාරයක් නැතිතැන මම ආයම කතා කලා..

" සුජාතා ඔයා ඉන්නවද? "

" ඔව්........"


ආයම නිහඬතාවයක්…

" මොකද මම එවපු එක ලියුමකටවත් උත්තර එව්වෙ නැත්තෙ?....."
සුජාතගෙ හඬේ තිබුනෙ තරහක්ද? කණගාටුවක්ද?...මට හරියට තේරුම්ගන්න පුළුවන් උනේ නෑ...මොනවයි කියල කියන්නද?..

" හෙහ්, හෙහ්….." මම හිනාඋනා....

" හිනා වෙන්න එපා...හරිද? "

" හා……"


" ලියුම් වලින් ඇහුවට උත්තර දෙන්නෙ නැහැනෙ. දැන් මම කෙලින්ම අහන්නම්කො..මාව හම්බවෙන්න එනවද?......"

" හා..මම එන්නම්......."


වෙන මොනව කියන්නද? 

...........................................................

මතු........හෙහ්, හෙහ්, එක්කොත් ඒක ඕන නෑ....අම්මට මේ දවස්වල ටිකක් සනීපත් මදි වගෙ. දැන් වයසයිනෙව. ඔය අස්සෙ හෙම්බිරිස්සාවත් හැදුනොත් තව එකක්.....අනික තව කාරණාවක් තියනව...කතාවක් කොටස් 21 කින් ඉවර කරන එක අසුබ පල දෙනවලු.විසේසයෙන්ම කියවන ඔබ තමුන්නාසේලාට.අංක විද්‍යාව අනුව මෙහෙමයි ඒක වෙන්නෙ.

21 = 2 + 1 ,

2+ 1 = 3,

3 x 3 = 9,

9 කියන්නෙ ඉතාම අසුබයි. යක්ෂයාගේ අංකය.....

36 comments:

  1. කොහොමත් ඕනෙම කතාවක් කොටස් තුන පැන්නොත් ලියන එකාට අසුභයි... උඹ දැන් ඉන්නේ අසුභ හතේ (21/3 = 7). අසුභ එකේ හොඳම එක....

    ඇත්තටම අයියේ ගෑණුකම, පිරිමිකම කියලා දෙකක් නැද්ද? මට නම් හිතෙන්නේ තියනවා කියලා... උඹ ඒක අර්ථ දක්වන්නේ කොහොමද?

    ඊළඟ කොටස කියවන්න ලේන්සුවක් අරන් ඉඳගන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඕක ගැන මල්ලි ලිව්වැහැකි කොටස් විස්සක විතර විවරණිකාවක්. ඒත් කෙටියෙන් කිව්වොත් මෙහෙමයි මගෙ අදහස. ගැහැණු සහ පිරිමි අතර තමන්ට නියමවූ කාර්ය භාරයන් අතර පැහැදිලි වෙනසක් තිබුණු අතීතයෙ නම් ඔය තර්කය වළංගුයි කතා දෙකක් නැතුව. ඒ කිව්වෙ ගැහැණුකම සහ පිරිමිකම කියල දෙකක් පැහැදිලිව පේන්ට තියනවයි කියන එක. ආහාර සැපයීම, ගැහැණියට සහ දරුවන්ට ආරක්ෂාව ලබාදීම මුලින්ම පිරිමියගෙ කාර්ය භාරය. දඩයමට , සතුරන් හා සටනට අවශ්‍ය කාය ශක්තිය, නිර්භීතකම සහ ධෛර්යය ඔන්න ඔය ගුණාංග වලට පර්යාය වදනක් හැටියටයි පිරිමිකම භාවිතා වෙන්නෙ. හරි එතකොට ගැහැණු කම?.......අර මම කලින් කිව්ව පිරිමිකමේ නිර්වචනයන්හි සම්පූර්ණ ප්‍රතිලෝමය. සියුමැලි, අහිංසක, බෙලහීන ....අන්න ගැහැණුකමෙහි අංගලක්ෂණ.ගැහැණියට සවභාවයෙන්ම පැවරුණු කාර්ය භාරයට ඒ ගතිගුණ බොහොම වැදගත්,

      දීර්ඝ ළමා කාලයක් ගෙවන ළදරුවාට මුදු මොලොක් ආදරයක් අත්‍යාවශ්‍යයයි.එතකොට පවුල කියන ඒකකයෙ පැවැත්මට දරුවන්ගෙ ආරක්ෂාවට පිරිමියා සහ ගැහැණිය අතර දැඩි බැඳීමකුත් ඒ වගේම වැදගත්. ආදරය , සෙනෙහස කියන සංකල්ප මුලින්ම බිහිවෙන්න ඇත්තෙත් ඔය ස්වභාවික පරමාර්ථය සාධනය කර ගැනීමේ එක් උපක්‍රමයක් හැටියට වෙන්න ඕන.පිරිමියගෙ පිරිමිකමින් වැඩක් නැහැ ඒ පිරිමිකමෙන් රැකවරණයක් බලාපොරොත්තුවන ගැහැණුකමින් යුතු ගැහැණියක් නැත්නම්.

      " මොනවද ඩෝ අඬන්නෙ? පිරිමියෙක් වගෙ හිටහංකො කෙලින් " ...අන්න එහෙමයි පිරිමිකමේ නිරුක්තිය. කිසිම දේකට අඬන්නෙ නෑ. හිත හයියයි. එඩිතරයි. එතකොට ගැහැණු කම..." මොනවද බං කොයි වෙලෙත් නහයෙන් අඬන්නෙ නිකම් ගෑණියක් වගෙ " ...එහෙම නැත්තං " ආපෝ ඒකා ගෑණියෙක් වගේනෙ ඕපදූප හොයන්නෙ..." අන්න ගැහැණුකමේ නිරුක්තිය.

      ඔය තත්වය කාලාන්තරයක් තිස්සෙ පැවතුනා කිසිඅවුලක් නැතුව. හරියටම කිව්වොත් අපෙ අම්මලගෙ කාලෙ වගෙ වෙනකල්. නමසිය හතළිහ පණහ වගෙ කියමු බොහොම පුලුල් සාමන්‍යකරණයක් කලොත්. ඊට පස්සෙ අර ගහැණුකමේ සීමා මායිම් බිඳෙන්න පටන් ගත්ත. පිරිමින්ගෙ කාර්ය භාරය ගැහැණුන්ටත් කරන්න පුළුවන් කියන එක පොදුවෙ පිළිගන්නට සිද්ධ උනා. ජීවනෝපාය සලසාගැන්ම, ආරක්ෂාව සලසාගැන්ම ගැහැණුන් තමන්ටම කරගන්ට පුලුවන්ය කියන විශ්වාසය ඇතිවෙච්චි දවසෙයි මම හිතන්නෙ ගැහැණුකම කියන සංකල්පෙ පදනම ඉරිතලන්ට ගත්තෙ.

      මට හිතෙනව අද මේ අපිට විසඳගන්ට බැරි උභතෝකෝටික අර්බුද රාශියකට හේතුව මිනිස්සුන්ගෙ භෞතික දියුණුව හා සමඟ සමාන්තරව චින්තනය දියුණු නොවීම එහෙම නැත්නම් විකාශනය නොවීම කියල.කැළෙන් එළියට ඇවිල්ල කොළ අතු ගලවල දාල අහස උසට නැඟි මන්දිරවල වාසය කරන්ට පටන් ගත්තට අපිට වනචාරී ගතිගුණ සිතුම් පැතුම් තවම වලින් සම්පූර්ණයෙන්ම මිදෙන්ට බැහැ.

      මුලින්ම පොලු මුගුරු වලින්, ඊලඟට දුනු ඊතල කඩු කිරිච්චි වලින් තම පැවැත්ම උදෙසා කල සටන් අද මිසයිල, නාපාම්, පොකුරු බෝම්බ සහ ඩ්‍රෝන් මඟින් කරන්නෙ තම මතවාදය පැතිරවීම හෝ අනෙකා ඊට අනුගත කරගැනීම උදෙසා...අර හිටපු වානචාරී ගෝත්‍රිකයම තමයි මල්ලි ඇතුලෙ ඉන්නෙ ඌම තමයි හෙහ්, හෙහ්,

      අන්න ඒකම තමයි ඔය පිරිමිකම ගැහැණුකම කියන සංකල්ප වලටත් වෙලා තියෙන්නෙ. ඒ සංකල්ප ඇත්තටම අද ප්‍රායෝගික නැතිඋනාට අපෙ හිතේ එව්වා ඇටුවම් බැහැල.ඇත්තටම ගැහැණුකම සහ පිරිමිකමේ අද වෙනකොට ප්‍රධානම වෙනස දරුවන් බිහිකිරීම ගැහැණියට පමණක් භාර කර්තව්‍යයක් වීම. බොහොම ඉක්මනටම මම හිතන්නෙ කෘත්‍රිමව ක්ලෝනීකරණයෙන් මිනිස්සු බිහිකරන්ට තරම් තාක්ෂණය දියුණු උනහම අන්න ඒ ප්‍රධාන වෙනසත් අන්තර්ධාන වෙයි. ඒත් එහෙම උනත් අපෙ හිත්වලින් ඔය ගෝත්‍රික අදහස් නැතිවෙන එකක් නැහැ කියලත් මට වෙලාවකට හිතෙනව.

      මිනිස් වර්ගයා මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියන එකටත් මයෙ තියනව පොඩි තියරියක්. මෙතනට අදාල වෙන්නෙ නැතිනිසා එක ඕන නෑ. ඒක තව ඩිවලප් කරන්න ඕන . ඒ කරලම කියන්නං...හෙහ්, හෙහ්,

      / ඊළඟ කොටස කියවන්න ලේන්සුවක් අරන් ඉඳගන්න වෙයි වගේ… /

      " මොනවද ඩෝ කතන්දර කියවල අඬන්නෙ ගෑණියෙක් වගේ..සික් ලැජ්ජ නැද්ද? "

      මල්ලි ඒ මම නෙවෙයි එහෙම ඇහුවෙ හරිය ? මගෙ ඇතුලෙ ඉන්න විටින් විට මම නොදැනුවත්වම මතුවෙන්ට තනන ඒත් මම මැඩපවත්වාගෙන ඉන්න ගෝත්‍රිකය නොහොත් Tribal Ravi….:)

      Delete
    2. බොහොම ස්තූතියි අයියේ දීර්ඝ විස්තරයට... ඇත්තටම දැන් බැලුවොත් දරුවන් බිහිකිරීම තමයි එකම වෙනස. මම මේ රටේ දැකලා තියන දෙයක් තමයි, ඊලඟ පරම්පරාවෙ ළමයින්ට ගැහැණු පිරිමි කියලා විශේෂ වෙනසක් ඇත්තෙම නැති තරම්. උන් එකට ඉන්නකොට හිතෙනවා අපි ඒ වයසේ ඉන්නකොට කොච්චර දුරස්වද හිටියේ කියලා....

      හැබැ‍යි මෙහෙම එකකුත් තියනවා... ගැහැණු පිරිමි කියලා ශාරීරිකව අපි වෙනස් නේ... ඒ වෙනසම ඇති නේද මානසිකවත් වෙනස් වෙන්න? දරුවෙක් බිහිකිරීමේ මානසික ක්‍රියාවලිය පිරිමියෙකුට කිසිමදාක හරියට තේරුම්ගන්න පුළුවන් වෙයිද? ඔහොම හිතාගෙන යනකොට මට හිතෙනවා ගෑණුකම, පිරිමිකම කියලා හඳුන්වන්න පුළුවන් සියුම් මනෝභාවයන්, ගැහැණු සහ පිරිමි කියලා අපි ශාරීරිකව වෙනස් වෙන තාක් කල් තියනවා කියලා...

      මම හිතන්නේ ගෝත්‍රික අදහස් කියන්නෙ අපි හැමෝම තුල නිතැතින්ම පිහිටන දෙයක්. තමන්ගේ දැනුමෙන් අවබෝධයෙන්, ඒවා පරයා යන අදහස් මතු කරගැනීම තමයි අපි කරන්න ඕනේ... දැන් අයියා කියන විදිහට, මනුස්සකම කියන්නේ අන්න ඒ වගේ, අපේ ගෝත්‍රවාදී අදහස් යටපත් කරමින් අපිම මතුකරගන්න ඕනේ අදහසක්. එතකොට ගැහැණු / පිරිමි කම කියන එක මනුස්සකම ඇතුලේ එකිනෙකා අන්‍යෝන්‍ය ලෙස අවබෝධ කරගැනීමේ සියුම් දැනුමක් බවට පත්වෙනවා, එකිනෙකා වෙන්කරන්න පාවිච්චි කරන දැනුමකට වඩා.

      දැන් මේකට මට දෙන්න පුළුවන් ජීවමාන උදාහරණයක්, අනික උඹට කිසිම විදිහකින් මේකට විරුද්ධ වෙන්නත් බෑ. ඒ තමයි උඹ. ගැහැණුකම ගැන උඹට ඇති දැනුම අවබෝධය නිසාම, ගැහැණුන්ගේ සිත් දිනාගන්න, ඔවුන්ව තේරුම්ගන්න උඹට හොඳ හැකියාවක් තියනවා කියලා කිව්වොත් උඹට එහෙම නැහැයි කියන්න පුළුවන්ද?

      //" මොනවද ඩෝ කතන්දර කියවල අඬන්නෙ ගෑණියෙක් වගේ..සික් ලැජ්ජ නැද්ද? "//

      මම නෙමෙයි අඬන්නේ හරිය? මගෙ ඇතුලේ හැංගිලා ඉන්න විටින් විට එළියට එන්න තතනන මගේ feminine side එක තමයි එහෙම කිව්වේ...

      Delete
  2. අද නං බොට මුකුත් කියන්නෙ නෑ.. හි හි

    ReplyDelete
    Replies
    1. හිරු,

      ඒ මොකෝ බොල? අනෝමා උඹට අල්ලල ගියාය? :)

      Delete
  3. //9 කියන්නෙ ඉතාම අසුබයි. // හි හි... කතාවෙ ඉතුරු ටිකත් බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. කු. ගෑ. ගී.පො. දිලිනි,

      මේ බොලාගෙ වාසගං එක්ක නං කියන්ට මට බෑ බං.... කෙටියෙං ඔහොමයි ඔන්න හරි? එහෙම නැත්තං K. G. G. P. Dilini….

      අනික මම මේ අහන්ටමයි උන්නෙ..මොකෝ මේ හිටපු ගමනං වාසගමක් හදාගෙන? තව දිලිනිලත් ඉන්නවය මේකෙ? අනික කුරුටු ගෑ ගී පොතේ දිලිනි කිව්වම මට එකපාරටම මතක් වෙන්නෙ හාමුදුරුවරුන්ගෙ නං..කළුකොඳයාවේ පඤ්ඤාසේකර, හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි, ගලබොඩඅත්තේ ඥාණසාර අන්න ඒ වගේ නේද බලාපං බොරුනං...ඔය විදිහටම රයිම් වෙනව කුරුටු ගෑ ගී පොතේ දිලිනි...හෙහ්, හෙහ්, නැද්ද හා?

      ආය මතක් උනා ..Ann of Green Gables …Dilini of Scribbled Song Book :) :)

      Delete
  4. මේක කියවං යද්දි තේරුනේ රවීට ඒ කාලේ ඉඳන්ම ගෑල්ලමයින්ගෙන් කතන්දර අහලා පළපුරුද්දක් තියනවාය කියලා..අපි අහන ප්‍රශ්න වලට මෙච්චර නිවී සැනහිල්ලේ උත්තර දෙන්නේ ඔය පළපුරුද්දෙන් තමයි... :)

    ඇත්තම කියන්ට රවී, ඔය කොයි අංකෙත් මිශ්‍රඵල තියනවා..විශේෂයෙන් 21 අසුභ වෙන්නේ මෙහෙම..21 -(2+1)=18 ,18/3=6, 6+3=9 !!
    (පලි: කොහොම වුනත් මේ කතාව ඇබ්බැහියෙන්වගේ කියෝන එක අපි තමුන්නාන්සෙලට අසුභයි තමා..!!)

    ReplyDelete
    Replies
    1. රූ,

      / අපි අහන ප්‍රශ්න වලට මෙච්චර නිවී සැනහිල්ලේ උත්තර දෙන්නේ ඔය පළපුරුද්දෙන් තමයි... :) /

      එහෙනං එහෙනං මොනව කියනවද? මම ඇවිල්ල බොහොම හොඳ ඇහුම්කන් දෙන්නෙක්....සාර්ථක ජීවිතයක රහස ඇවිල්ල හොඳින් ඇහුම්කන් දීම කියල අහල නැත?

      / ඇත්තම කියන්ට රවී, ඔය කොයි අංකෙත් මිශ්‍රඵල තියනවා..විශේෂයෙන් 21 අසුභ වෙන්නේ මෙහෙම..21 -(2+1)=18 ,18/3=6, 6+3=9 !! /

      ෂිහ්..නියමයිනෙ..ඔය දන්නෙ ඔහෙත් අංක විද්‍යාව පරතෙරටම.

      මොකෝ කියන්නෙ දාමුද ලහිපිටේ මෙහෙම ?

      ජාත්‍යන්තර කීර්තියෙන් පිදුම් ලැබූ රූ සිරිනී ගුරුමෑණියන්ගේ පිහිට ඔබ වෙතට!!!

      හිමාලයේ පාරිලෙය්‍ය නම් මහ වනයෙහි මුචලින්ද නම් නාගරාජයාණන් සහ හනුමාන් නම් වානර රාජයාණන් සෙවණෙහි ස්ත වසක් අංක විද්‍යාව හදාරා ප්‍රථම පන්තියේ සමාර්ථයක් ලැබූ රූ සිරිනී ගුරු මෑණියෝ දැන් හුදෙක් පින් තකා මාතලේ තම අසපුවෙහි සිට අසරණ ඔබට පිහිට වන්නීය. ඇෆ්ඝනිස්ථානයේ , ටිම්බක්ටුවේ, මැඩගස්කරයේ සහ ඇන්ටාක්ටිකාවේ දීර්ඝ චාරිකාවකට පිටත්ව යාමට පෙර ඉතා සුළු කාලයකට පමණි.

      ඔබ හැරගිය පෙම්වතා සිරස සුපර් ස්ටාර් වුවද සජීවීව වේදිකාවෙන් බස්සවා ඔබේ දෙපතුලට නට නටා ගෙන්වා දෙමි. මුදල් නොපතමි. පින් පමණක් පතමි. ඔබේ කාරණය සාර්ථක වූ පසු අසපුවට යම් ආධාරයක් කරන්න.

      රූ සිරිනී ගුරු මෑණියන්ගේ නම අනුකරණය කරනා වංචා කාරයින්ට නොරැවටෙන්න. මාතලේ හෝරා ස්ථම්භය අසලට පැමිණ පහත අංකයට ඇමතුමක් දෙන්න. තැපැල් - රූ සිරිනී ගුරු මෑණියෝ, මුචලින්ද නාගරාජ අසපුව, තැ. පෙ. 100, මාතලේ.

      Delete
  5. කොහොමත් අයියෙ බොට අපල කාලෙයක් තමා ඉස්සරහට එන්නෙ මට පේන විදියට.

    ReplyDelete
    Replies
    1. දමිත් ,

      අනේ බාං…. අපල නං රස්සනයක්වත් දාල දීහංකො ..හොඳ එකා වගෙ...බෑද?

      අඩේ මම මේ අහන්ටමයි උන්නෙ ඔය ඉන්ෂුවරන්ස් අන්ඩ රයිටර් කියල කියන්නෙ බං මිනිස්සුන්ගෙ අන්ඩවල් රක්සනේ කරන උදවිය කියල මයෙ යාලුවෙක් දවසක් කිව්ව..ඒක ඇත්තද හැබෑටම?

      Delete
  6. අර සුවාදීන රූපවාහිනියට වැල නාට්‍යයක් ලියන්න එකෙක්ව හොයනවලු.. දාමුද ඇප්ලිකේසන් එකක්. අඩුම සීයක් ලියන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / අර සුවාදීන රූපවාහිනියට වැල නාට්‍යයක් ලියන්න එකෙක්ව හොයනවලු /

      කුණුහරප ලියන්ට බැරිකමකුත් නෑ බං..ඒත් මොකටද කාගෙවත් බඩේ පාර ගහන්නෙ..මට බෑ බං..ඔය එව්වගෙ විසේසඥයො ඉන්නවනෙ ..එවුන්ටම කියපං...

      Delete
    2. නෑ නෑ වැල කිව්වෙ මේ කුණුහරුප වලට නෙමේ.. අර වැල වගේ දිගට දිගට යන නාට්ටි වලට..

      Delete
    3. එව්වට කියන්නෙ වැල නෙවෙයි බං වැල් නාට්ටිය :)

      Delete
  7. අහවල් එහෙකටද බන් අර ආපු තුන ආයෙම තුනකින් වැඩිකොරලා නවය කලේ..

    ReplyDelete
    Replies
    1. සිතුවම්,

      නමය කියන්නෙ යක්ෂයාගෙ අංකයනෙ බං, ඒ හින්ද නමය එන්ටයි තුන තුනෙං ආයෙම වැඩි කලේ..:)

      Delete
  8. /*අනෝමා රිසීවරය එක අතකින් වහගෙන මට ඔලුවෙන් කතාකලා. මම ආයෙම ඔලුව වැනුව තිරස්ව.. */

    /*මම ආයෙම ඔලුව වැනුව තිරස්ව..*/

    හයියෝ මට මේක දැකලා හිනා ගියා හොඳටම අයියගෙ පරණ පෝස්ට් එකක් මතක් වෙලා. :D :D :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඒ බං මටත් මතකයි ඔහොම ඔලුව වනන සීන් එකක් මම කලින් ලිව්ව..මතක නෑ කෝකෙද කියල..ඇයි බොල පතරංග ජාතක වගෙ එව්ව ලිව්වම කොහෙද මතක තියෙන්නෙ?...

      මෙහෙම නේද සීන් එක?..මම ලිව්ව ඔලුව සිරස්ව සහ තිරස්ව හෙල්ලුවයි කියල. උඹ ඇහුව " ඇයි අයියෙ එහෙම විශේෂයෙන්ම කිව්වෙ?... ඔලුව හොල්ලන තවත් විදිහක් තියද? "කියල..මම ඒ ගමන කිව්ව.." නැත්තෙ මොකෝ බොල?... ඇයි ඔලුව විකර්ණය ඔස්සේ හොල්ලන එක..බලාපං හොල්ලල " කියල...ඔන්න මට මතක් උනා...උඹ එහෙම ඔලුව හොල්ලල බලන්ට ගිහිල්ල සිත්තරාස් තෙම උඹව දොස්තරෙක් ගාවටත් ගෙනියන්ට හැදුවද කොහෙද නේද?...

      Delete
    2. ඔය කිව්වෙ ඉතිං! මේන්න මං මේ දාහක් වැඩ රාජකාරි මැද්දේ ගොහිං ලියුං පෙට්ටිය අවුස්සලා ඒ ලියමන හොයාගත්තා. අපිම ඉන්න ඕනේ ඉතිං මෙව්වා හදිසියකට හොයාගන්ඩ. (කොමෙන්ටු වලට සබ්ස්ක්‍රයිබ් කොරලා ලියුං පෙට්ටියට තැපෑලෙ ගෙන්නගන්න හැටි මට කාලෙකට ඉස්සර කියාලා දීපු උත්තමයටත් පින් දෙන්ට ඕනෙ මේ වෙලාවෙදි! ;-))

      130. රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,.....A haunting melody across the decades

      අපූරු කමෙන්ට් පිරිච්ච පෝස්ට් එකක් අයියේ ඒක. :) :) :)

      Delete
    3. සිත්තමී,

      බොහොම ස්තූතියි නංගි...දහසක් වැඩ රාජකාරි,විශේෂයෙන්ම ගරු කටයුතු ජූනියර් ෂිට්ටරාගෙ ( මේ දවස් වල එතුමා කරන දේවල් අනුව ෂිට්ටරා කියන නම අපූරුවට ගැලපෙනව නෙවද?...හෙහ්,හෙහ් ) වැඩ කටයුතු අස්සෙ පරණ ලියුං පෙට්ටි ඇදල පෝස්ට් එක හොයන්ට ගත්ත වෙහෙස වෙනුවෙන්.

      හෙහ්, පෝස්ට් එක සහ කමෙන්ට්ස් කියවල මම ආයෙම රසවින්ද හොඳ හැටියට.:)

      Delete
  9. උඹ ඔය නුහුගුණ කාරයින්ගේ කතා අහල කතාව කෙටිකරන්නත් එපා අඩුකොරන්නත් එපා,ඔන්න දැන් තමයි කතාව නියම ට්‍රැක් එකට වැටිලා තියෙන්නෙ.මේ යන විදියට කිසි කරදරයක් නැතුව කෑලි පණහක් ඇදගන්න පුළුවනි ඒක බුදු ෂුවර්.
    ඒ නිසා නිවී සැනසිල්ලෙ හිමිහිට කතාව කියාගෙන යන එකයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැලප්ස්,

      මේ පිස්සු කියවන්ට එපා බං..මේ ඇති... මේක 21...ඊලඟ එක 22..වැඩේ ඉවරයි...:)

      Delete
  10. ඔහොම රබර් වගේ අදින එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපිටනම් කමක් නෑ කියමු. ඒ උනාට හිතන්නකෝ හෙට අනිද්දා මැරෙන්න ඉන්න මනුස්සයෙක් මේක කියවනවානම් ඒ මනුස්සයට මේකේ අවසානයක් දැකගෙනම මැරෙන්න දුන්නොත් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. සයුරි,

      දෙයියන්ටම දැනීයං...අම්මාපල්ල ඇත්ත නෙවන්නං, උඹලවගේ කාරණා කාරණා තේරෙන පාටකයො පාටිකාවො බුරුත්තක් මට හිටියයිං හොඳා…

      දැං බලාපං ඔය බඩු බාන්ඩ වලට ආසාවෙ මැරිච්චි උදවිය බූතාත්ම වෙලා ඇවිදිල්ල හිට හොල්මං කොරනව කියල කියනව නෙව. ඒ වගෙ කයිකාරිට මක්කද උනේ කියල දැනගන්ට ආසාවෙං හිටපු බුවෙක් හරි බුවියක් කතාව ඉවරවෙන්ට ඉස්සර වලකජ්ජ ගැහුවනං එහෙම ..දෙයියෝ සාක්කි බූතාත්මයක් වෙලා මයෙ පස්සෙං එන්ටත් බැරිනෑ නෙවද? හප්පෝයි..

      මං හිතුව මෙහෙම කරන්ට..කොහොමද? බ්ලොග් එකේ ඇක්සස් රෙස්ට්‍රික්ටඩ් කරනව. ඇක්සස් ග්‍රාන්ටඩ් කරන්නෙ පිළිගත් දොස්තර කෙනෙක්ගෙන් ලයිෆ් එක්ස්පෙක්ටන්සි සර්ටිෆිකට් එකක් ඉදිරිපත් කරන අයවලුන්ට පමණි. හොඳා නෙවද අයිඩියානන්ද එක?

      Delete
    2. හොඳා හොඳා අයිඩියානන්ද එක. වැරද්දක් නෑ..හැබැයි ඔය ලයිෆ් එක්ස්පෙක්ටන්සි කියන ජාතියට ගන්ධබ්බයෝ කියන කොට්ටාසෙත් අයිති වෙනවා කියලා තමයි මගේ මෙව්වා එකට මීටර් වෙන්නේ.. :0

      Delete
  11. ////" දොර වහන්ටද? …." අනෝමා බාගෙට ඔලුව හරවල මා දිහා බලල ඇහුව. //////

    රවී......මම හිතුවා උඹ අස්සේ ඉන්න ට්‍රයිබල් රවී එලියට එයි කියලා....ඔය අනෝමා නැවතිලා හිටියේ වෙනම ක්වාටස් එහෙකද? තනියම උයාගෙනද කෑවේ? මොනවාද වැඩිපුර කන්න කැමති? සති අන්තෙවත් ගෙදර යන්න ලැබෙනවාද?

    උඹ ඇත්තටම සුජාතාට යටි හිතේ කැමැත්තක් තිබුනා නේද? විජිතයා සීන් එකේ නොහිටියානම් උඹ සුජාට අකැමති වෙන්න හේතුවක් තිබුනාද? නැත්නම් ඒ කවිවල තාලේ මදි කමක් තිබුනාද?

    ප්‍රශ්න අටක් තියෙනවා .උත්තර දීපන්. නවය නපුරු නිසා අටෙන් නැවැත්තුවා.

    ReplyDelete
    Replies
    1. Aru,

      1. ඔය අනෝමා නැවතිලා හිටියේ වෙනම ක්වාටස් එහෙකද?...යස්, ඒත් තව කෙල්ලො දෙන්නෙක් එක්ක ඔන් ෂෙයාරිං බේසිස්.

      2. තනියම උයාගෙනද කෑවේ?...උං තුන්දෙනා හවුලෙ ඉව්වෙ…

      3. මොනවාද වැඩිපුර කන්න කැමති? ඒකනම් නොදනිමි....

      4. සති අන්තෙවත් ගෙදර යන්න ලැබෙනවාද?...නැහැ...පඩි ගත්තම අනිවාර්යයෙං යනව..ඒ ඇර ඔය වීක් එන්ඩ් එකක් දෙපැත්තට පී.එච්. එකක් වැටුනොත් ගිහිල්ල එනව. ඒ ඇර හැම වීකෙන්ඩ් එකේම උං ගෙදර ගියේ නෑ…

      5. උඹ ඇත්තටම සුජාතාට යටි හිතේ කැමැත්තක් තිබුනා නේද? Yes of course..I thought it was so obvious…:)

      6.විජිතයා සීන් එකේ නොහිටියානම් උඹ සුජාට අකැමති වෙන්න හේතුවක් තිබුනාද?...නැත.

      7. නැත්නම් ඒ කවිවල තාලේ මදි කමක් තිබුනාද? කිසිසේත්ම නැත….

      මේ ගීතය අරූ අහල තියනවද?

      කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි,
      නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි.
      මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි.
      හඬන සිත තවන මල් පැණි නැතුව බැහැ වගෙයි


      / ප්‍රශ්න අටක් තියෙනවා .උත්තර දීපන්. /

      ප්‍රශ්න හතයි බං.....

      Delete
    2. මචං රවී.....ප්‍රශ්න හතයි නේන්නම්...අනෝමා ගැන උඹේ හිතේ කිසිම අදහසක් තිබිලාම නැහැනේ. සුජා නොහිටියානම් අනෝමා වගේ ෆිට් යාළුවෙකුට උඹ ආදරය කරන්නත් ඉඩ තියෙන්න ඇති කියලා මට හිතෙනවා. උඹ ලියන විදිහට ඒ වගේ කුතුහලයන් ඇවිස්සෙනවා..ඒ නිසා තමයි කවිකාරි ඉක්මනට ඉවර නොවෙනවාට මම කැමති.

      අසංක ප්‍රියමන්තගේ සින්දුවලින් මම කැමතිම එකක්..බොහොම සරල වචන ටිකක් වුනාට...මහා ඇත්තක්.

      Delete
    3. Aru,

      / සුජා නොහිටියානම් අනෝමා වගේ ෆිට් යාළුවෙකුට උඹ ආදරය කරන්නත් ඉඩ තියෙන්න ඇති කියලා මට හිතෙනවා /

      නෑ මචං..සුජාගෙ කේස් එක වෙනයි. ඒකෙදි අනෝම මට උදව්කලේ බොක්කෙන්මයි. එහෙමයි ඒකිගෙ හැටි. ඒත් අනෝම එක්ක තිබ්බෙ වෙනම සම්බන්ධයක්.

      / අනෝමා හරිම හොඳ කෙල්ල..මාත් එක්ක උඹ, බං බොලං මට්ටමෙං තමයි ආස්සරේ කලේ...ඒ සුහද මිතුරු ඇසුර ඊලඟ පියවර දක්වා වර්ධනය වෙන්ට හොඳටම ඉඩකඩ තිබ්බ. ඒ වගේම අපි දෙන්නගෙම කැමැත්තකුත් නොතිබ්බ නෙවෙයි. ඒත් අපි ආස්සරේ කරපු විදිහට එහෙම පියවරක් ගන්ට මගෙ හිතේ නිකං විචිකිච්චාවක් වගෙ දෙයක් තිබ්බ. අනෝමටත් ඒ තත්වය එහෙමමයි කියල එයාගෙ කතාබහෙන් මට තේරුනා යස අගේට. මොනව කරන්නද? එව්වයෙ හැටි සුබාව එහෙම තමයි../

      අනෝමගෙයි මගෙයි තිබ්බෙ මොන වගෙ සම්බන්ධයක්ද කියල මම මෙහෙම පැහැදිලි කලේ 20 වෙනි කොටසෙදි. ඉතාම හිතවත් යාලුවො උනහම අරූ ප්‍රේම සම්බන්ධයකට යන්ට නිකම් මහ මොකක්ද වගෙ දෙගිඩියාවක් විචිකිච්ඡාවක් හිතේ ඇතිවෙනව. ...අනික් අය ගැන මන්ද..මට එහෙමයි...අනෝමටයි මටයි උනේ අන්න ඒක.

      Delete
  12. ane manda ravi aiye me kavi kari mokatada ochchara pana pana dunnath itin anthimata Guruthumi thama itin dinuwe neda.......ane manda as2 pena kaleka meka iwara wei neda......nattan itin daruwanta kiyala thama kiyoganna wenne............:D

    ReplyDelete
    Replies
    1. Sacheera,

      /ane manda ravi aiye me kavi kari mokatada ochchara pana pana dunnath itin anthimata Guruthumi thama itin dinuwe neda....../

      එහෙම වෙනව බං..ආදරේ කියන්නෙ ඒක තමයි..ආත්ම ගෞරවය සමහර වෙලාවට පස්සට දාල ආදරේ ඉස්සරහට එනව...එව්වයෙ හැටි එහෙම තමයි...අනික ඒ මොනව කලත් දෛවයෙ ඉරණමේ ලියවිල තියෙන හැටියටයි වැඩ සිද්ද වෙන්නෙ... :).

      / ane manda as2 pena kaleka meka iwara wei neda......nattan itin daruwanta kiyala thama kiyoganna wenne............:D /

      උඹේ වයස කීයද කියල මම නොදන්න නිසා හරියට උත්තරයක් දෙන්ට අමාරුයි...:)

      Delete
  13. හොදට ලියලා තියනවා ඉස්සරහටත් කියවන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. වෙදසිත,

      ස්තූතියි...වෙද......:) :)

      Delete
  14. රවීට වනිතා කටයුතු ඇමති කියනකොට යාළුවන්ට බැන්නට.. ඒ වැඩේ කලේ ගොඩාක් කැමැත්තෙන් නේද රවී..??? :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      අඩේ..වෙරි සොරි හොඳද?..අමතකම උනා අනේ පිළිතුරු දෙන්ට...

      / රවීට වනිතා කටයුතු ඇමති කියනකොට යාළුවන්ට බැන්නට.. ඒ වැඩේ කලේ ගොඩාක් කැමැත්තෙන් නේද රවී..??? :) /

      ඇත්ත, ඇත්ත ඔන්න ඔයාට තේරුනා සීන් එක හෙහ්, හෙහ්..අර පුදපු ගමං කාපි යකා කිව්වහෙ එක පාට්ටම පැනල බාරගන්න එකත් එකත් හරි නැතිනිසා ටිකක් කෑගැහුව නම් තමයි. ඒ තනිකරම මොත්තෙ...හෙහ්, හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...