Wednesday, January 1, 2014

238. විස්සයි දහතුනෙන් විස්සයි දාහතරට නොහොත් අඩ සිය වසක ශේෂ පත්‍රය.



තුන් සිය හැට පස් දවසක් නැත්තං ඒ වගෙ තුන්සිය හැටපහේ එව්ව තුනක් ගිහාම එන තුන්සිය හැටහය දවසකට අපි අවුරුද්දක්ය කියල කියනව.අවුරුද්ද ගෙවිල යන අන්තිම දවස දෙසැම්බර් තිස් එක නැත්නම් අළුත් අවුරුද්දෙ මුල් දවස ජනවාරි පළවෙනිද කියන්නෙ ආය අවුරුද්දෙ ඉතිරි දවස් තුන්සිය හැට තුනට වැඩිය අමුත්තක් නෑ. 

අනික් අවසේස දවස් වගේම ඉර නඟිනව , ඉර බහිනව, හුළඟ හමනව ඔය කොව්වත් වෙනද වගේම සිද්ද වෙනව. ඒත් අපි අවුරුද්දක් ගෙවිල අලුත් අවුරුද්දක් ලබන කොට පොඩ්ඩක් නැවතිල හිතනව. ආපහු හැරිල බලනව. එතකොට අලුත් අවුරුද්දෙ මම මෙහෙම කරනව මෙහෙම කරනව කියල අදිස්ටාන කරගන්නව. එහෙම තමන්ටම වෙන පොරොන්දු ඒ විදිහටම රැකෙන්නෙ නෑ සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම. ඒත් ඒ මොනව උනත් පොරොන්දු අදිස්ටාන ඇතිකරගන්න එක උනත් මදැයි එක අතකට නැද්ද? 

මම සාමාන්‍යයෙන් එහෙම ආපහු හැරිල බලන්නෙවත් අමුතුවෙන් අදිස්ටාන කරගන්නෙවත් නම් නෑ. වෙන මොකවත් හින්ද නෙවෙයි කරුණු දෙකක් හින්ද. එක ගෙවිල ගිය අවුරුද්දෙ ආපහු හැරිල බලන්ට තරම් විශේෂ සිද්ධියක් නොවුනොත් ඉතින් එහෙම කරන්ට ඕන නෑ නෙව. දෙක අදිෂ්ඨාන.ඒක මෙහෙමයි. අලුත් අවුරුද්දෙ වැර වෑයමෙන් නවත්වන්ට තරම් නරක පුරුදු මට කවදාවත්ම තිබුණෙ නෑ. අනික මම මේ අවුරුද්දෙ මෙහෙම කරනව , මේ ඉළක්කයට ලඟා වෙනව , අන්න එහෙම කල්පනාවක් උනත් මගෙ හිතේ කවදාවත්ම තිබ්බෙ නෑ කියල තමයි කියන්න තියෙන්නෙ.

ඒත් විස්සයි දහතුන ටිකක් විතර විශේෂ වසරක්.

සුවිශේෂී කරුණු නැත්නං සිද්ධීන් හතරක්....අංක එක මැයි මාසෙ නම වෙනිද මගෙ රස්සාව නැතිඋනා. මගෙ ජීවිතේ ඒ අත්දැකීමට මුහුණ දුන්නු මුල්ම අවස්ථාව ඒ. කොච්චර ජීවිතේ අත්දැකීම් ලබල පදම් වෙලා හිටියත් අර ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්ව වගෙ හොඳට තෙම්පරාදු වෙලා හිටිය උනත් ඒ වගෙ අත්දැකීමක් පෞද්ගලිකව ලබන එක නැත්නම් කාටත් තේරෙන බාසාවෙන් කිව්වොත් තමන්ටම වෙන එක දරාගන්න බොහොම අසීරු දෙයක්.

මැයි නමය කියන්නෙ බ්‍රහස්පතින්ද දවසක්. අපිට වැඩ වරුවයි බ්‍රහස්පතින්දට. දොළහමාරට ඕෆ්. ජූනි හය වෙනිද මගෙ මාසයක වාර්ෂික නිවාඩුව යන්ට මම නිවාඩු අයදුම්පත්‍ර දාලයි තිබ්බෙ. ප්‍රතිචාරයක් නැතිනිසා මැයි නම වෙනිද දහයට විතර මම මගෙ බොස් ( බොස් ඇවිල්ල කාන්තාවියක්, හෙහ්, හෙහ් ) හම්බවෙල ඇහුව " Madam, what about my annual leave application? " කියල. එතුමී කිව්ව " Ravi. HR Manager will get in touch with you " කියල. 

එකොළහමාරට විතර HR මැනේජර් ( ඒත් කාන්තාවියක් හෙහ්, හෙහ් ) මට කතා කලා.ඒ කරල මෙහෙම කිව්ව. " I am really sorry Ravi, but this is a company policy decision, You and some others would have to be retrenched. you don't have to come back to work. regarding your final settlements we would get in touch with you "

ඉතිං මොකේද දං වළඳන්නෙ කියල ඇහුවලු ලොකු හාංදුරුවො...මම ඉතිං මෙහෙම කිව්ව.." Ok madam, No problem, if that's a company decision what can I say other than thank you " ඒ කරල අවුරුදු හතරාමාරක් වැඩ කරපු තැනින් දොට්ට බැහැල එන්ට ආව. එහෙම එනකොට ඇතිවෙච්ච හැඟීම් කියල වැඩක් නෑ. ප්‍රායෝගිකව එහෙම දේකට මුහුණදෙන්ට සිද්ද වෙච්ච කෙනෙකුට විතරයි එහෙම වෙලාවක ඇතිවෙන අසරණ හැඟීම ගැන හරියාකාරව තේරුම් ගන්ට පුළුවන් වෙන්නෙ.

අනික මෙච්චර කාලෙකට වැඩ කරපු තැන්වලින් මම අස් උනා මිසක මාව අස් කරල නෑ කිසිම තැනකින්. මේ මුල්ම අවස්තාව. අවුලක් නෑ. There should be a first time for every thing .මේ සීන් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්ටයි මම හිතාගෙන ඉන්නෙ. ඒ නිසා දැනට ඔය මදැයි.

ඉතිං මාස තුනකට කිට්ටු කාලයක් රස්සාවක් හොයල අන්තිමට ඔන්න හම්බ උනා එකක්. දෙවෙනි සුවිශේෂී කාරණය එන්නෙ ඔන්න මෙතනදි. ඒ කිව්වෙ රස්සාවක් හොයාගන්න පත්තරේ දාල ඊටත් පස්සෙ ඉන්ටර්වීව් ගිහිල්ල නැහිච්ච නැහිල්ලෙදි මට බොහෝවිට පරහට හිටියෙ වෘත්තීය සුදුසුකම් නැතිවීම. පළපුරුද්ද විතරක් මදිනෙ. පිලිගත් වෘත්තීය සුදුසුකම් කියන එව්වත් අත්‍යාවශ්‍යයයි රැකියාවකට ඉදිරිපත් වෙද්දි.

අන්න ඒ නිසා මම හිතාගත්ත ආයෙම රස්සාවක් හම්බ උන ගමන් කරන්නෙ වැඩිදුර අධ්‍යාපනය ලබල වෘත්තීය සුදුසුකම් ලබාගන්න එක කියල.ඉතිං දෙයියනේ කියල රස්සාවක් හම්බවෙනවත් එක්කම මම ඔන්න වැඩිදුර අධ්‍යාපන කටයුත්තත් පටන් ගත්ත ඒ එක්කම දෙයියනේ කියල.

බාර්යා තොමෝ ඔය වැඩේට කියන්නෙ වැඩිහිටි අධ්‍යාපනය කියල  " කොහෙද ඔයාට මම ඒ කාලෙ ඉඳලමනෙ කියන්නෙ ඔය මොනව හරි කරන්න කියල..අපෙ ඉතිං රැවුල නෑනෙ." මගෙ වැඩිහිටි අධ්‍යාපනය ගැන කිව්වම උන්දැ ඔන්න ඔහොමයි කිව්වෙ...හෙහ්, හෙහ්...

ඊගාවට නොවැම්බර් දාහතර මගෙ උපන් දිනය. අඩ සියවසක් සපිරුණු දිනය..හෙහ්, හෙහ් අඩ සිය වසක ශේෂපත්‍රය...අවුරුදු පණහක් මම මොනවද කලේ? ජීවිතෙන් මම ලබාගත්තෙ මොනවද? අනික් අතට මගෙ නෑදෑයන්ට යාලුවනට මොනවද මම ආපහු දුන්නෙ? ...කල්පනා කරල බලන්ට වටින ප්‍රශ්නයක්..ඒ ගැනත් වෙනම ලියන්නංකො හොඳද?

දැන් අන්තිමටම මට ලැබුණු අලුත්ම අත්දැකීමක්. දිනය දෙසැම්බර් එකොළොස්වෙනිද...අපේ අපාර්ට්මන්ට් එකේ දොර කඩල හොරෙක් හෝ හොරු ඇතුල්වෙලා තිබ්බ. මගෙ සල්ලි සෑහෙන මුදලක් අරගෙන ගිහිල්ල.ඊට කලින් දවසෙ අපිට වැටුප් අත්තිකාරම් දුන්නෙ. අත්තිකාරම් නෙවෙයි හරියටම කිව්වොත් නොවැම්බර් පඩිය ටිකක් පරක්කු වෙයි කියල එතකල් දුන්න කොටස් ගෙවීමක්.හැම දේම වෙන්නෙ හොඳටයි කියනවනෙ. සම්පූර්ණ පඩිය නොදුන්නට අපෙ ලොක්කගෙ මෑණියන්ට පිං අනුමෝදන් කරමින් අපි හැමෝම උන්නෙ.ඒත් මුලු පඩියම දුන්න නම් හෝල් සේල් එකේ පඩියම ඉවරයි.

මම මේ කතාව ලොක්කට කිව්වම මොකක්ද දන්නවද මිනිහ ගත් කටටම 
කිව්වෙ? හෙහ්, හෙහ්.." Aaah..Ravi ..Do you understand now? …that’s why I am not paying you the whole salary at once , its actually for your own benefit " මම ඉතිං මොනවයි කියල කියන්ටද? " Yes sir, of course, of course " කියල හිනහවෙලා නිකං හිටිය. 

හොරකමක් ගැන ඔය මගේ දෙවෙනි අත්දැකීම, අපෙ බිරින්දෑගෙ ඉස්කෝලෙ නිල නිවාසයෙ ඉන්දැද්දි ඒත් ඉස්සරහ දොරේ අගුල පන්නල ගේ ඇතුලට ඇවිල්ල එයයිගෙ මොබයිල් ෆෝන් එක අරං ගිහිල්ල තිබ්බ. මෙතන සීන් එක ඊට වෙනස්. මගෙ කාමරේ පොත් ඔක්කොම ඇදල එහෙ මෙහෙ වීසිකරල දාල. මගෙ ඇඳුනුත් එහෙමයි. එහෙ මෙහෙ ඇදල දාල සීසීකඩ. එහෙම සීන් එකක් දකිද්දි හිතට ඇතිවෙන්නෙ මහ පුදුම අසරණ හැඟීමක්.

අපි හැමෝටම තියනව ආත්ම ගෞරවයක්.අපි නොදනුවත්ව කවුරුහරි අපෙ කාමරේට ඇතුල් වෙලා යකා නටනව කියන්නෙ ඒ ආත්ම ගෞරවය, ඒ අභිමානය දරුණු පසුබෑමකට ලක්වෙනවයි කියන එක. ආයම ඒ ආත්ම ගෞරවය නැවත ලබාගන්නවයි කියන්නෙ ඒ තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි.

ඉතිං මාගේ හිතවතුනි / හිතවතියනි….. විස්සයි දහතුන ගෙවිල ගියෙ ඔන්න ඔහොමයි. 

විස්සයි දහහතර ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

66 comments:

  1. ගිය වසරේදී වෙච්ච අහිමි වීම් සහ අසතුටුදායක දේවල් මේ අවුරුද්දේදී ආයේ සිදු නොවේවි ... ගිය වසරේ තිබුනට වඩා සතුට සමාදානය ඔයාගේ පවුලේ වැඩිවෙන්න කියලා වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

    //අපි හැමෝටම තියනව ආත්ම ගෞරවයක්.අපි නොදනුවත්ව කවුරුහරි අපෙ කාමරේට ඇතුල් වෙලා යකා නටනව කියන්නෙ ඒ ආත්ම ගෞරවය, ඒ අභිමානය දරුණු පසුබෑමකට ලක්වෙනවයි කියන එක. ආයම ඒ ආත්ම ගෞරවය නැවත ලබාගන්නවයි කියන්නෙ ඒ තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි//// මේ කාරනාව මාත් හරිම අමාරුවෙන් විදගත්ත දෙයක් අයියේ ... ඔයා කියපු දේ සහතික ඇත්ත ..

    ReplyDelete
    Replies
    1. අපූර්ස්,

      ස්තූතියි මැඩම්..ඒ හැඟීම නම් කියලා වැඩක් නෑ අප්පා..ඕනෙම නෑ..ඕනෙම නෑ...

      ඔබතුමියටත් සුබ නව වසරක්!!!

      Delete
  2. //අපි හැමෝටම තියනව ආත්ම ගෞරවයක්.අපි නොදනුවත්ව කවුරුහරි අපෙ කාමරේට ඇතුල් වෙලා යකා නටනව කියන්නෙ ඒ ආත්ම ගෞරවය, ඒ අභිමානය දරුණු පසුබෑමකට ලක්වෙනවයි කියන එක. ආයම ඒ ආත්ම ගෞරවය නැවත ලබාගන්නවයි කියන්නෙ ඒ තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි. //

    2014 වසරේ මතක තබා ගත යුතු හොඳ කියමනක්. රවිටත්, සඳාටත්, සුබ නව වසරකට ආදරනීය පැතුමක් පොඩ්ඩිගෙන්. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      බොහොම ස්තූතියි පොඩ්ඩි,

      ඔබටත් සුබ දෙදහස් දහහතරක්!!!

      Delete
  3. මට මතක විදිහට ඔය කියන මැයි මාසෙදිත්, ඊට පස්සෙ මාස වලදීත් රවී අයියා බ්ලොග් ලියමින්, කියවමින් අපි එක්ක විහිලුවෙන් තහලුවෙන් කළා. ඉඟියකින්වත් පෙන්නුවෙ නෑ නේද ? ඒකයි මම දකින සුවිශේෂත්වය.

    ඔක්කොම වෙන්නෙ හොඳටයි කියනවානෙ...

    රවි අයියටත් පවුලේ සැමටත් සුබම සුබ 2014ක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / මට මතක විදිහට ඔය කියන මැයි මාසෙදිත්, ඊට පස්සෙ මාස වලදීත් රවී අයියා බ්ලොග් ලියමින්, කියවමින් අපි එක්ක විහිලුවෙන් තහලුවෙන් කළා. ඉඟියකින්වත් පෙන්නුවෙ නෑ නේද ? /

      හෙහ්, හෙහ්, ඔව් බං " වෙන්ට තියන කෙහෙම්මලක් වෙයි.මොනව කරන්ටද? එන විදිහක් බලාගන්නව මිසක " අන්න ඒ ෆිලොසෆි එක හැමවෙලාවෙම නොවුනට මේ වගෙ වෙලාවකදි බොහොම ප්‍රයෝජනවත්.... ඉංගිරිසියෙනුත් ඔය ඕන හැටිය තියෙන්නෙ.

      " Come or go chicago, "

      " What the bloody helmet? Elephants dying wth the tails in big jungles "

      " Living thousand dying thousand "

      ස්තූතියි සෙන්නා, ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
    2. What I have heard is "Living thousand dying two thousand"
      Unnoth dahai...maloth dedahai....

      Delete
  4. යකෝ සෑර්!, මේ බජාර් එකේ ඩප්පි, වලි, ගුස්ති මැද්ද්දෑවෙ ඉන්න අපිටවත් නෑනෙ සෑර් ඔය වගෙ ඇක්ෂන් පිරි අවුරුද්දක් තිබ්බෙ.
    අනේ මේ අවුරුද්ද ඇල්වතුරත් නිවල බොන සාමකාමි අවුරුද්දක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. සූස්ති,

      හෙහ්, හෙහ්, ඒකනෙ බං...සූස්තියක් ගහල ෂපාන් එකේ ඉඳල ඔක්කොම අමතක කොරල දැම්ම බං...අර කතාව දන්නවනෙ.

      " ආ...උඹ මෙතන ආතල් නේද? නැඟපං ඩෝ ජීප් එකට."

      " බුදු රාළහාමි, කියන තැනකට වඳින්නං, බොහොම අමාරුවෙං බඩු හොයාගත්තෙ. යන්තං එක විදිහක් වේගන ආව විතරයි. ආතල් එක නම් කඩන්න එපා. හෙමීට උස්සල අරගෙන ගීල ජීප් එකේ තියන්න...අරී?"

      තැන්කියු ගුණේ, මලක සුවඳ සිව් සිය ගව් පැතිරෙන සුබ නව වසරක් වේවා!!!

      Delete
  5. අම්මට සිරි කිව්වලු, මාර කේස් ගොඩක්නේ වෙලා තියෙන්නේ. අවුලක් නෑ මේ අවුරුද්ද සුභම සුභ එකක් වෙනවා ඔන්න

    ReplyDelete
    Replies
    1. පූමා,

      එව්ව ඉතිං ඉවරයි බං..යටගිය දවස....හෙහ්, හෙහ්,

      ස්තූතියි.... ඔබටත් සුබ නව වසරක්!!!

      Delete
  6. අදුරු මතකයන් මැකී සොදුරු මතකයන් පමණක් ඉතිරි වේවා..

    සුබම සුබ වේවා..

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, එසේම වේවා සෑම් එසේම වේවා!!!

      Delete
  7. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. සචිත්,

      ලස්සන පදපෙල, අපූරු ප්‍රාර්තනාවක්...ස්තූතියි ඔබට ..ඒ එක්කම සුබ නව වසරක්!!!

      Delete
  8. සුභ නව වසරක් වේවා අයියේ... අධ්‍යාපන කටයුතු එහෙම සාර්ථක වේවා එහෙනම්.

    උඹ මේ අවුරුද්දේ වැඩියෙන්ම ලියලා තියෙන්නේ මැයි මාසයේ. රස්සාව නැති වෙච්ච දවසෙත් පොස්ට් එකක් දාලා. සෙන්නා කියන්නා වගේ ඒ කාලේ එහෙම දෙයක් උඹ යන්තම්වත් ඇඟෙව්වෙ නැහැනෙ. හොරකම ගැන උඹ කියලා තියන එක හරියටම හරි...

    මටත් දින වකවානු නියම කරගත්ත ඉලක්ක කියලා නැහැ. හිතේ යම් යම් අරමුණු තියනවා.. ඒවා ඉතින් එන එන හැටියට...

    ReplyDelete
    Replies
    1. තිසර,

      / උඹ මේ අවුරුද්දේ වැඩියෙන්ම ලියලා තියෙන්නේ මැයි මාසයේ. රස්සාව නැති වෙච්ච දවසෙත් පොස්ට් එකක් දාලා. සෙන්නා කියන්නා වගේ ඒ කාලේ එහෙම දෙයක් උඹ යන්තම්වත් ඇඟෙව්වෙ නැහැනෙ /

      ඇත්ත මලේ..රස්සාවෙන් දොට්ට දැම්ම දවසෙ දාපු පෝස්ට් එකේ ( 185. විමලෙගෙ වාං පතුල් කතාව - ලොක්කිගෙ මොරෝම ගති, ඉම්රාන් ඛාන්ගේ බත් ඉවීම සහ වැසි මැවිසුරුගේ අනපේක්ෂිත ස්නානය ) කතාව මෙහෙමයි. ඔය වෙනකොට මම ඒකෙ 90% ක් ලියල ඉවර වෙල තිබ්බෙ. මැයි 9 බ්‍රහස්පතින්දා අපිට වැඩ වරුවනෙ. මම හිතාගෙන හිටියෙ ගෙදර ඇවිල්ල ඉතිරි සුට්ට ලියල පෝස්ට් කරන්නම්ය කියල. H.R. ලොක්කි අරම කිව්වට පස්සෙ මම කලේ මගෙ සීට් එකට ගියා. ඔක්කොම අමතක කරල එක දිගට කතාව ලියල එතනම පෝස්ට් එක පබ්ලිෂුත් කරලයි පස්ස බැලුවෙ.

      ඊට පස්සෙ තමයි මගෙ සගයින්ට විස්තරේ කිව්වෙ. Today Is My Last Day Here කියල..හෙහ්, හෙහ්, ඊට පස්සෙත් මල්ලි රස්සාව නැතුව හිටපු මාස තුනේ මම හුඟක් වෙලාවට බ්ලොග් එකේ මොන මොනවහරි ලියල තමයි හිත එකලාසයක් කරගත්තෙ. උඹල නොදන්නව උනාට උඹලගෙ කමෙන්ට්ස් මට ලොකු හයියක් උනා හිත හදාගන්ට...බොහොම ස්තූතියි බොල කරපු ඒ උදව්වට, මට ශක්තියක් වීම ගැන.

      සුබ නව වසරක් තිසර, ඔබ හා පවුලේ සියලු දෙනාටම!!!

      Delete
    2. උඹනම් අදහන්න වටින පොරක් රවී අයියේ.. රස්සාව නැතිවුනා කිව්වට පස්සෙත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිකරගන්න බෑ ලේසි පුතයෙකුට..

      Delete
    3. සෙන්නා,

      නෑ බං මම හිතුවෙ ඒ ගැන නොහිතා ඉන්න හොඳම විදිහ තමයි අර ලියල තිබ්බ පෝස්ට් එක ඉවරයක් කරල දාන එක කියල.ඒ කරල ලියාගෙන ලියාගෙන ගියා. ඒ පෝස්ට් එක ඔය හැටි දිග උනෙත් ඒකයි. සාමන්‍යයෙන් මම ලියන්නෙ පෝස්ට් එකක් වචන උපරිම1800 වගෙ. මේක 3053 තිබ්බ. :) :)

      Delete
  9. මරු කතා දෙක.. ඔසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      ස්තූතියි ඔබට.. ඔඑවේ!!

      Delete
  10. සවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
    කිරි කළ ඉතිර සුබ වේවා නව වසර

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා ...රේන් ගර්ල්...:)

      Delete
  11. මදැය් වෙලා තියෙන දේවල්..මාත් මේක දැක්ක ගමන් ගිහින් බැලුවෙ අය්යා මැය් මාසෙ දාපු පෝස්ට්.. මෙච්චර දෙයක් වෙලත් අපිත් එක්ක වෙන්ද වගෙම හිනාවෙවි ලියලනෙ..හැබය් මාත් ඔය මොඩල් එකෙ තමා ලෝකෙ පෙරලුනත් හිනවෙලාම තමා ඉන්නෙ.. ගෙදරින් නම් බැනුම් කිසිම දේක ගානක් නෑ කියලා.ඉතින් මන් එතකොට අහන්නෙ දැන් ඔගොල්ලො කලබලවෙලා දඟලලා වැඩේ උනාද කියල? අන්තිමට ගොඩක් වෙලාවට මමම තම ප්‍රශ්නෙ ගොඩ දාන්නෙත්..මටත් 2013 අමතක නොවෙන අවුරුද්දක්.. අවුරුදු ගානක් කෙල්ලව ස්කොලෙ දාගන්න OGA එක නැහිලා ඒත් ඒක ලකුනු දෙකෙන් මිස් වෙලා..ආය් තව සෑහෙන කට්ටක් කාල ගිය සතියෙ යන්තන් ගොඩ ගියා..දැන් නම් රටක් රාජ්ජයක් දිනුව වගෙ..කෙල්ලව යුනිෆෝම් එක ඇඳල දකිනකන් ඉවසිල්ලක් නෑ.. :)

    ඉතින් මේ ලබපු අවුරුද්ද අය්ය ඇතුලු පව්ලෙ සැමටත් රන්දිල් ඇතුලු පව්ලෙ සැමටත් බ්ලොග් කියොන හැමදෙනාටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      / අවුරුදු ගානක් කෙල්ලව ස්කොලෙ දාගන්න OGA එක නැහිලා ඒත් ඒක ලකුනු දෙකෙන් මිස් වෙලා.. /

      ඔන්න ඔන්න... OGA කියන්නෙ නෑ බොල දැං…That’s Politically Incorrect now. Old Girls Association කිව්වම නිකම් මේ වයසක උන්දල කියලනෙ හිතෙන්නෙ. Correct term should be Past Pupils Association …Understood?

      සුබ නව වසරක් මැඩම්, ඔබට සැමියාට සහ දියණියට!!!

      ( එච්චරයි ඉන්නෙ කියල උපකල්පනය කරලයි එහෙම කිව්වෙ..තව ඉන්නවනම් ඒ අයත් එකතු කරගන්න හොඳද?....අර එෆ් එම් සේවාවලට කතාකරල සිංදු අහන්න කට්ටිය එකතු කරගන්නව වගෙ..දැං කවුද මේ ගීතය අහන්න එකතු කරගන්නෙ?...ආ..අල්ලපු කාමරේ ඩබල් ඇඳේ නිදාගෙන ඉන්න සුමනාවතී නංගි එකතුකරගන්නවා. එතකොට වත්ත පහල හරකට තණකොල කපන ඇඩ්ඩිං බාප්පා එකතුකරගන්නවා.දෙණියෙ වෙලෙං එගොඩ කසිප්පු වඩිය පෙරන ඊබට් අයියත් එකතු කරගන්නවා...ආන්න ඒ වගේ..තේරුනාද? )

      Delete
  12. කොච්චර අහිමි වීම් සිදු වුනත්, සිනහවෙන් කල් ගෙවන්න පුළුවන් නම්, ඔහු තමයිලු මේ ලෝකේ ඉන්න පොහොසත්ම කෙනා..
    2013 ඔබේ ජීවිතයේ අවාසනාවන්තම වසර වේවා!
    2014 ඔබට සුභම සුභ වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

      ඔව්ව මොනවද මැඩම්?...නැව ගිළුනත් බෑං චූං...හෙහ්, හෙහ්,

      ස්තූතියි මානවිකාවිය..ඔබටද පවුලේ සැමටද සුබ නව වසරක්!!!

      Delete
  13. 2013 මගේ ජීවිතෙත් අප්‍රසන්නම අවුරුද්දක් රවී.ඒ ගැන බ්ලොග් පෝස්ටුවක් ඉදිරියෙදි ලියැවේවි.
    2014 රවිටත් පවුලේ අයටත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොන්න නැති උන නිසා වෙන්ටෑ....

      Delete
    2. අපොයි ඔන්න කොහෙ ගිහිං ඉඳලද මන්ද ඇවිත්,කිව්වොත් ඔහොම කතාවක් තමා.

      Delete
    3. හැලප,

      අපොයි එහෙමද මචං?....:( ..මොකදෑ කොරන්නෙ ඉතිං? නැද්ද ..එන එන විදිහට ගහ උළුවස්සා කිව්වලු.

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  14. අර ජොබ් එක නැතිවෙලා ගෙදර යන්න වෙන ෆීලින්ග් එක නම් මාරම ෆීලින්ග් එකක් තමයි, හරියට උස්සලා පොළොවෙ ගැහුවා වගේ.. ඔය ෆීලින්ග් එකමලු එන්නේ පැන්සොන් යන දවසට.. මම ඒ නිසා පැන්සොන්ලස් ජොබ් එකක් දැම්මම හොයා ගත්තා..

    හොරු නොපනින
    ජොබ රැකදෙන
    සුබ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      / අර ජොබ් එක නැතිවෙලා ගෙදර යන්න වෙන ෆීලින්ග් එක නම් මාරම ෆීලින්ග් එකක් තමයි, හරියට උස්සලා පොළොවෙ ගැහුවා වගේ.. /

      හෙහ්, හෙහ්, හරියටම හරි..උස්සල පොලවෙ ගහල තව පාගලත් දැම්ම වගෙ, පුදුම අසරණ හැඟීමක් ඇතිවෙන්නෙ ඒ වෙලාවට. ඔය දවස්වලම මම කියවමින් හිටියෙ Agatha Christie ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය. එයාගෙ ස්වාමිය එකපාරටම ගහෙං ගෙඩි එනව වගෙ කියනවමෙහෙම. " I dont love you anymore, I have found somone else, I want a Divorce..." ඒ වෙලාවෙ ඇයට ඇතිවුනු අසරන හැඟීම හරිම අපූරුවට විස්තර කරල තියනව ඒ පොතේ. අන්න ඊට බොහොම සමාන හැඟීමක් තමයි මම හිතන්නෙ මටත් ඇතිඋනේ.

      ස්තූතියි මාතලන් ප්‍රාර්ථනාවට..ඔබටද පවුලේ සැමටද සුබ නව වසරක් වේවා!!!

      Delete
  15. Wish you and your family a very happy new year 2014...!!!

    ReplyDelete
    Replies
    1. Thank you Sakala...Wish you & the family the same...:)

      Delete
  16. 2013 අවුරුද්ද කියන්නේ එපාම එපා වුන අවුරුද්දක්... රවී කියලා තියෙන ප්‍රශ්න වලට වඩා වැඩි ප්‍රශ්ණ ගොඩකට මුණ දෙන්න වුණා.. ඒ කිවුව හැම පැත්තෙන්ම... ඒත් මක්කා කියලා කොරන්ඩද නේද රවී...?? එන විදියක් බලාගෙන ඉන්නවා මිසක.. ප්‍රශ්න ආවම ඒ ඒ වෙලාවට උත්තර හොයන එක තමා ඉතිං ජිවිතේ හැමදාම කරන්න වෙන්නේ...
    මොන දේ වුනත් පුළුවන් හැම මොහොතකම සතුටින් ඉන්න තමා මම නම් උත්සාහ කරන්නෙ...

    රවීට සහ රවීගේ ආදරණිය ප්‍රියම්භිකාවට 2014 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. සඳා,

      හෆොයි දෙයියනේ බලාගෙන ගිහාම බොහොම දෙනෙක්ට 2013 බොහොම අසුබ වසරක් වෙලා වගේ නෙව. අරහෙ හැලපටත් එහෙමලු. 13 අසුබයි කියන හින්දද මන්දා....

      ඔබ කියා ඇතිදේට එකඟයි සඳා, ජිවිතේ කියන්නෙ තනිකරම සදාකාලික ප්‍රශ්ණ පත්තරේකට උත්තර ලියන එක තමයි. කොයිමක් කරල හරි ඉතිං උත්තර ලියන්ටත් එපාය..නැද්ද?

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  17. මේ ඇත්තටම අර කවිකාරියකගේ ප්‍රේමයේ 21 වෙනි කොටසට දාලා තියෙන කමෙන්ට් එකට රවීට කේන්ති ගිහින්ද ඒකට මුකුත් කියලා නැත්තේ..?? එහෙම වුනානම් සමාවෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. මොන කේන්තියක්ද අනේ?...හෙහ්, හෙහ්, මම ඒකට උත්තර ලියන්ට හිටියෙ..කොහොමින් කොහොමින් හරි අමතක මතක බැරිඋනා ඔන්න. අන්න මම උත්තරේ ලියල දැම්ම :)

      Delete
  18. 1970 දශකයේදී මමත් නැගිටින වැටෙන යුගයක් පසුකරා. ඒ යුගය අද දක්වාම මගේ ජීවිතයට ශක්තියක් වෙලා. ඔබ දැනටම පන්නරය ලබාගෙන තියනවා. ඒ පන්නරය ඔබව නැවත වට්ටවන්න බැරි තරම් ශක්තිමත් බව මේ විස්තරය කියවීමෙන් පැහැදිලි වෙනවා. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක..ඔබටද සුබ නව වසරක්!!!

      Delete
  19. ඈහ්....2013 ඇති කිරි අම්මේ ඔයින් ගියා.... මේවා තමයි මතකයේ ඉතිරිවන ජීවන අත්දැකීම්.කාට නොකීවත් හිතේ කොනක හැමදාම රැඳිල තියෙනවා.

    එහෙනම් රවි ඔබටත් සියලු දෙනාටත් 2014 සුබ නව වසරක් වේවා.....

    ReplyDelete
    Replies
    1. දයා,

      ඔව්ව ඔහොම තමයි දයා.Life is Like That…..එව්වට මූණ දෙන්ට අපිට හැකියාව තියෙන්ට ඕන. නැත්තං හැකියාව ඇතිකරගන්ට ඕන ...නැද්ද?

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  20. ජිවිතේ විවිධ හැලහැප්පීම් එනවනේ.. ප්‍රශ්ණ තමයි ජීවිතේ සාර්ථක කරන්නේ..

    රවී අයියටත් පවුලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. යෙස් දිනේෂ් යෙස් :)..Thank you so much...

      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක්!!!

      Delete
  21. ස්තූතියි නලින්,

    ඔබටද පවුලේ අයටද සුබ නව වසරක්!!!

    ReplyDelete
  22. මටත් 2013 අවුරුද්ද එච්චර සතුටුදායක එකක් නෙමෙයි. ඒත් අන්තිම මාසේ මේ අවුරුද්දෙ ඒ දේවල් හරියයි කියල පොඩි ඉඟියක් ලැබුණ. ඒක සතුටක්.

    රවී අයියටත් පවුලේ සැමටත් උදාවුන අවුරුද්ද වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      ස්තූතියි මල්ලි ….ගණං ගන්ට එපා බං..ඔක්කොම හරියයි...:)

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  23. සූර්යයවංශාභිජාත සූර්යයාභිධානයන් හා චන්ද්‍රවංශාභිජාත චන්ද්‍රාංගනාවන් වෙත අපගේ නව අවුරුදු සුභාශිංසන මෙයින් පුද කර සිටිමු...... අඩසියවසට අඩ දහස්වසක් ආයු බෝ ආවඩා !!!

    ReplyDelete
    Replies
    1. Randil,

      අහ්හ්හ්, මයි ලෑන්ඩ් ලේඩි තුමිය....ස්තුති බෝ වේවා....

      ඔබටද සමුණානන්හටද දුහිතෘ පුත්‍රකාරකාදීනටද සුබ නව වසරක් ඉතසිතින් පතන්නෙම් අප දෙදෙනම...:)

      Delete
  24. matath 2013 mul tika nam echcara hoda une na.....ewa amathaka karannama thama man blog kiyawanna patan gatte..........eth anek patten 2013 hoda dewaluth una.......hamadama hodawenneth na habai hamadama narakak wenneth nane.......

    Karadara adu Subama Suba Aluth Auruddak wewa.......

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / matath 2013 mul tika nam echcara hoda une na.....ewa amathaka karannama thama man blog kiyawanna patan gatte........../

      හප්පච්චියේ..කරදර අමතක කරන්ටද බ්ලොග් කියවන්ට පටන් ගත්තය ඔය ළමය?..හෙහ්, හෙහ්, කබලෙන් ලිපට වගෙ කියල හිතුනෙ එහෙම නැත?...:)

      ඔබටත් සුබ නවසරක් මැඩම්!!!

      Delete
  25. උඹේ ලියමන් කලාවට මම කොහොමත් කැමතියි! උඹටත් සුභම සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. චන්දන,

      ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහෝමත්ම.....:)

      ඔබටත් පවුලේ සැම දෙනාටත් සුබ නව වසරක්!!!

      Delete
  26. හප්පේ ඇබැද්දි කීපයක්ම වෙලා නෙව. ඒත් ඕවයින් සැලෙන්න හොඳ නෑ. ලැබුවා වූ 2014 ඔබ පවුලේ සියලු දෙනාටම යහපත් සුබ අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. Sayuri,

      / ඒත් ඕවයින් සැලෙන්න හොඳ නෑ /

      පිස්සුද නෝනා..අපි නම් සැලෙයි...හෙහ්, හෙහ්, මඩේ හිටවපු ඉන්න වගෙ තමයි කොටිම්ම ඔන්න.....

      සුබ නව වසරක් ඔබට සහ පවුලේ සැමට!!!

      Delete
  27. //"අපි හැමෝටම තියනව ආත්ම ගෞරවයක්.අපි නොදනුවත්ව කවුරුහරි අපෙ කාමරේට ඇතුල් වෙලා යකා නටනව කියන්නෙ ඒ ආත්ම ගෞරවය, ඒ අභිමානය දරුණු පසුබෑමකට ලක්වෙනවයි කියන එක. ආයම ඒ ආත්ම ගෞරවය නැවත ලබාගන්නවයි කියන්නෙ ඒ තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි. "// ඔබ මේ කොටස මොන අරුතකින් දැම්මද මම දන්නේ නෑ එත් මට පෙන හැටියට මේකට අරුත් ගොඩක් තියෙනවා.
    මං තාම කරන්නේ පලවෙනි රස්සාව, මම හිතන්න උත්සාහ ගත්තා රස්සාව නැතිවීම මොනවගේද කියලා

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      / ඔබ මේ කොටස මොන අරුතකින් දැම්මද මම දන්නේ නෑ එත් මට පෙන හැටියට මේකට අරුත් ගොඩක් තියෙනවා. /

      එහෙම විශේෂ වෙනස් අරුතකින් නම් නෙවෙයි ඉවාන්...සරලව කිව්වොත් මෙහෙමයි..අපි හැමෝටම තියනව පෞද්ගලිකත්වයක්.. Privacy එකක්, පෞද්ගලික අවකාශයක්... Private Space එකක්..සැමියා සහ බිරිඳ අතරත් එහෙමයි.මම ඇගේ පෞද්ගලිකත්වයට ගරු කරනව වගේම ඇය මගේ පෞද්ගලිකත්වයටත් ගරු කරනව.

      මම හිතන විදිහට කෙනෙකුගෙ නිදන කාමරය, නිදන ඇඳ, පොත් රාක්කය, ඇඳුම් අල්මාරිය කියන්නෙ පෞද්ගලික තැන්. තමන්ට සහ තමන්ගෙ බිරිඳට හෝ සැමියාට සීමා වුනු තැන්. එහෙම තැනකට පිටස්තර නන්නාඳුනනා පුද්ගලයෙක් ඇතුලු වෙලා හිතු මතේ යකා නටනව කියන්නෙ මගෙ ආත්ම ගෞරවයට බලවත් හානියක්...මන්දා මට හිතෙන්නෙ එහෙමයි...ඒකයි මම කියන්ට උත්සාහ කලේ.

      Delete
  28. මචෝ, මම නිවාඩුවට ගෙදර ගිය නිසා පළාතේ එන්න බැරි වුනා. මේ ආපහු ජාලගත වෙලා කියවපු පළවෙනි පෝස්ට් එක.

    උඹ නම් උපේක්ෂාසහගතබවේ ජීවමාන උදාහරණයක්. අපි වගේ පොඩි දේටත් උඩ පනින්නේ නැති පොරක් බව නම් මම කලිනුත් දැනගෙන හිටියා.

    2014 උඹට වඩා යහපත් වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      බොහොම ස්තූතියි මචං..හෙහ්, හෙහ්, උපේක්ෂා සහගත වෙන්න උත්සාහ කරනව මචං..ඒත් හරි අසීරු වැඩක් ඒක..අපි තවම කෙළෙසුන් නසල නැහැනෙ, පෘථග්ජනයොනෙ තාම.....

      උඹටත් දීපාස්ටත් පොඩි එවුන් දෙන්නටත් සුබ නව වසරක්!!!

      Delete
  29. උඹ මහා පුදුම පොරක් බං රවී. මේ පෝස්ට් එක ඇතුලේ මම පුදුමාකාර මනුස්සයෙක්ව දැක්කා..මට හරිම පුදුම සතුටක් දැණුනා මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන. 2013 මට මිශ්‍ර ගණුදෙණු ගෙනවා. මා ඉතාමත් ආදරය කරපු මිනිසෙක්වූ මගේ බිරිඳගේ පියා මිය ගියා. මට රස්සාව නැතිඋනා. ඒ වුනාට ජීවත්වෙන්න පොඩි ගතමනාවක් ගන්න පුළුවන් රස්සාවක් ආපහු ලැබුනා. වයිෆ්ට ප්‍රොමෝෂන් එකක් වගේ එකක් ලැබුනා. දුවට ස්කොල් එකක් වගේ මූල්‍යමය උපකාරයක් ආයතනයකින් ලැබුනා. 2014ත් තව මොනවා මොනවා හරි වෙයි. ඒත් අපි ඒ හැමදෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන් ඉමු. රවී...සියළු දෙනාටම ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. අරූ,

      ස්තූතියි මචං...ඔව්ව ඉතිං ඔහොම තමයි…Everything happens with a purpose and for the best කියලත් කියනවනෙ...හෙහ්, හෙහ්,

      සුබ නව වසරක් අරූ..ඔබට බිරින්දෑට , දියණියට එමෙන්ම පවුලේ අනෙකුත් සියළු දෙනාටම!!!

      Delete
  30. //අවුරුදු පණහක් මම මොනවද කලේ? ජීවිතෙන් මම ලබාගත්තෙ මොනවද? අනික් අතට මගෙ නෑදෑයන්ට යාලුවනට මොනවද මම ආපහු දුන්නෙ?//

    රවී,​බ්ලොග් යාළුවන්ට දුන්නේ මොනවද කියලා අපි කිව්වොත් හොඳයි කියලා හිතුනේ මේ වගේ දෙයක් දකිද්දි
    හාස්‍යරසයෙන් දවටන ලද ජීවිතයේ සොඳුරු අත්දැකීම් පත අට එකට කොට සින්දා නිදහස් සිතුවිලි වියුණුවේ පාඨකයන් ලබා දුන් රස ගඟුල සහා ජීවන සුවඳ අපි හදවත් තුලින් කිසිදා මැකී නොයනු ඇත.

    ReplyDelete
    Replies
    1. රූ,

      සාතිශය ස්තූතියි මැඩම් සාතිශය ස්තූතියි, You just made my day….:)

      ගෙවීගිය වසරේ සියළු දුක් සංවේදනා උදාහිරු පායා එනකල්හි වියැකී යන්නාවූ මිහිදුමක් මෙන් පහව ගොස් මසිත මහත් වූ ප්‍රහර්ෂයෙන් සපුරා ලීමට ඔබ කාරුණික වදන් හේතුවූබව බව කෘතඥතාපූර්වකව සැළකර සිටින්නට මට අවසර මා හිතවත් ගරු මැතිණියනි!

      Delete
  31. ඇත්තටම මේ තරම් දේවල් වෙලා තියෙද්දිත් පුරුදු විදිහටම හිනා වෙලා විකාර කතා කිය කිය අයියා අපිත් එක්ක හිටියේ කොහොමද කියලා හිතනකොටත් පුදුමයි. ඒත් ඉතිං මේ රවි අයියනේ. දන්නවද, අයියා වගේ අය හරි අඩුයි. :)

    මට පුදුම හිතෙන අනිත් කාරනේ, අළුත් රස්සාව, තව වැඩිදුර අධ්‍යාපන කටයුතුත් පටන්ගත්තලු. ඒ ඔක්කොමත් එක්ක ඉස්සර වගේම ලියන්න වෙලාවත් හොයාගන්නවා. ඒකට ගොඩක් ස්තූතියි අයියේ. දන්නවද, අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් මම මුලින්ම browser address bar එකේ ටයිප් කරන්නේ r අකුර. එතනින් http://ranrandil.blogspot.com . රූ කියලා තියෙන කාරණාව අකුරක් නෑර සම්පූර්ණ ඇත්ත.

    අයියා සඳා අක්කා ඇතුළු පවුලේ සැමටත්, රන්දි අක්කා වාසනා අයියා ඇතුළු පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      හප්පොච්චියේ..නඟන්ඩියේ...සමාව ..සමාව...සමාව..උත්තරයක් දෙන්ට මතක බැරිඋනා නෙව ...

      හෙහ්, හෙහ්, පහුගිය අවුරුද්දෙ වෙච්චි එව්ව කියල වැඩක් නෑ බං..ඒත් මක් කොරන්ටද? ඔව්ව ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ටනෙ..ඔහෙ වෙන දෙයක් වෙන්නෙ නැතෑ කියල අකම්පාල නොවී ඔය මම ඉතිං උන්න , මහමෙර සේ නොසැලෙන්නෙමි...හෙහ්, හෙහ්,...රස්සාවෙන් දොට්ට වැටෙන අත්දැකීමට මට ඔය මෙතෙක් කාලෙකට මූණ දෙන්ට උනාමයි. ඕනෙම නෑ බං ඒ අත්දැකීම නම්..හෙහ්, හෙහ්, උඹල තමයි මට ලොකු හයියක් උනේ බං හිත එකලාසයක් කරගන්ට...රස්සාවල්වලට ඉන්ටවීව් යන අතරෙ මම කලේ බ්ලොග් එක ලියන එක සහ උබලහෙ කමෙන්ට්ස් වලට උත්තර දෙන එක. ඒ මාස තුනක කාලය ගෙවිල ගියා දන්නෙම නැතුව...

      එහෙනම් නඟේ...සිත්තර මල්ලීටත් මයෙ සුට්ටි මල්ලි මාස්ටර් මුතුලක තුමාටත් බොලායෙ නෑදෑ සනුහරේ අනික් උදවියටත් සුබ නව වසරක්!!!

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...