Thursday, January 16, 2014

240. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 8.....ආනන්තර්ය පාප කර්ම,කිරිදෙන කට්ටිය, පෝල් බටේ පාත් කිරීම සහ ජනාධිපති ජංගම සේවය.....



ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවෙ අන්තිමට මම ලිව්වෙ එතුමිගෙ උපන් දෙණිය දවසෙ පබිලිස් කොරාපු කතාව.ඒකෙ ඔය දිඹුලාගල හාංදුරුවො, දොස්තරල, කෙල්ලො වහ බීපුව රටේ නැති ඔක්කොම විලම්බීත ලිව්වට ඇත්තම කියනවනම් එවුන්දි ගැන බොහොම ඇබින්දයි ලියවුනේ.. ඕකට මට බොහොම වගපල අහන්ටත් වෙච්චි. බැරිම තැන මං කෑගැහැව්ව " මේ ඔහේ එක්ක නම් බෑ මේ රාජ්ජෙ කොරන්ට..ඔයයි ගැන ලිව්වම මාව කන්ට හදනව මොනවද අර ලියල තියෙන්නෙ? මට පාරෙ බැහැල යන්ට තියන එකත් නැති කරන්ටද හදන්නෙ ? කියල. නොලිය උන්නම ඒ පාර ලිව්වෙ නැහැයි කියල කණුකුණුව. මොකක්ද අප්ප මේකේ තේරුම හැබෑට? " ඕන්න ඔහොම....හෙහ්, හෙහ්, 

ඔහොම ටිකක් ඉඳහිටලවත් පොඩි සද්දයක් දාන්ට ඕන..නැත්තං හරියන්නෙ නෑ. එහෙම දැම්මයි කියල වැඩක් වෙන්නෙත් නෑ තමයි ඉතිං..ඒ උනාට එහෙම කියල හරියන්නෙ නෑනෙ..වැඩක් උනා නැතා සද්දයක් දාන්ට ඕන...

ඒකෙ ගුරුවරී ගැන මොකවත් නැතිය කියාල අපේ රූ නෝනා මහත්මිය ( ග.ක.) කමෙන්ට් එහෙකින් කියල තිබ්බ. ඒ මෙහෙම...ඒකට මම උත්තරේකුත් දුන්න...

රූ....December 13, 2013 at 11:02 PM

රවීගේ බිරින්දෑට සුභම සුභ උපන්දිනයක්..
(හාල් තුනපහ නැතුව උයන්ට බෑ කියලා ගෙදර යමු කීවා ඇරෙන්න උන්දෑ ගැන වෙන මොකවත් ලියලා නෑ නේන්නං!!)

Ravi December 14, 2013 at 2:21 AM

රූස්,

ඇත්තම කියන්නද? එතුමිය සම්බන්ධ සිද්ධීන් දෙකක් ගැන ලියන්ට හිතාගෙනයි ඉඳගත්තෙ. ඒත් මේ දොස්තරගෙ කතාව හින්ද වැඩේ කචල් උනා. මෙතනම පිටු හයක් වගෙ උනා. ඒ නිසා ගුරුවරියක සමඟ මගේ ජීවිතය ඉදිරි කොටස් වලට එව්ව ලියන්නං කියල හිතල මෙතනින් නවත්තල පබිලිස් කොලා. ඔන්න වෙච්චි වැඩේ.

පස්සෙ මෙකුවිත් ඒකම කියල තිබ්බ..ඉතිං ඔන්න ඒ වෙච්ච පොරොන්දුව ඉස්ට කරන්නයි මේ ලෑස්තිය.

අපෙ උන්දැගෙ පරම්පරාවම තනිකරම අමද්‍යප.මාමණ්ඩි මෙයාල පොඩි කාලෙ ඔය සතියකට සැරයක් වගෙ රා ඩිංගක් බුන්න මිසක පස්සෙදි ඒකත් අතෑරල දාල..මෙයයිගෙ ඉන්නව අයියල දෙන්නෙක්...මම ඉස්සොරෝම මාතලේ රත්නගිරියෙං කේක් තඩියකුත් ඇරගෙන එයයි බලන්ට යන කාලෙ ඒ අයියල දෙන්නත් මත්පැන් තියා බියර් ටිකක්වත් බොන්නෙ නෑ. ඒ කස්ටිය හිතාන ඉඳල තියෙන්නෙ සුරාමේරය කියන්නෙ පංචානන්තර්ය පාප කර්ම වලට දාන්ට බුදු හාමුදුරුවන්ට බයි මිස්ටේක් අමතක උන එකක්ය කියල. බුදුන්ගේ ලේ සෙලවීම, මව මැරීම, පියා මැරීම ගාවට හතර වෙනුව එන්ට ඕන මත්පැන් පානය කියල ඔන්න කොටිම්ම කිව්වොත්. හෙහ්, අපි එක්ක කොහෙද ඒ සෙල්ලං?...සූක්සම ලෙස කල්පනා කරල ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් එහෙම හදල මම දුන්න වැඩේ කිරිගහට කෙළ මෝලෙං ඇන්නැහෙ. ඒ ව්‍යාපෘතියෙ විස්තර වෙනම කියන්නංකො හොඳද?...වෙන මොකවත් ඕන නෑ. ඊළඟ අවුරුද්දෙ එයයිගෙ පොඩි අයිය බැන්ද... ඔන්න මගෙ ව්‍යාපෘතිය කොච්චර සාර්තකද කිව්වොත් මංගල මහ සබාව මැද්දෙ කපුවා දේයි ගාල ඇදගෙන වැටිච්චි ඉඳගෙන හිටපු පුටුවත් පෙරළගෙන. ඒකට නම් මම බැණුං ඇහුව කං පිරෙන්ට...

" අම්මාපල්ල මේ මනුස්සය නං....වෙනද මේ ගෙදර ඉස්සරහිං බීපු මිනිහෙක් වත් යන්නෙ නෑ..අනේ ඉතිං මම මොකටද කියන්නෙ?....." ඔන්න ඔහොම ..හෙහ්, හෙහ්,

ඉතිං එහෙම උනේ තිත් ඉර උඩ අස්සංකලාට පස්සෙනෙ. ඊට කලිං ඔය මත්පැන් බීමේ ආදීනව පුරස්නෙ මතු උනා අපි පේමෙං බැඳිල ඉන්න කාලෙ. " ඔයා බොනවද මෙයා ?." ...ඔහොම ඇහුවම වෙන මොනව කියන්නද? මම ඇත්තම කිව්ව.." පිස්සුද මෙයා මම කටේ තියන්නෙ නෑ ඔය ජරාව.." එහෙම කියන්ට බෑ කොහොමවත්ම..මොකද මම ඔය සන්තර්පනය වෙලා පිස්සු කෙලපුව අපිත් එක්ක එකට වැඩ කරපු එවුං ඔක්කොමල වගෙ දන්නව. අනික එයාලගෙ ගම කිට්ටුවත් හිටිය මාව දන්න දෙන්නෙක්ම.

අනික එහෙම නොවුනත් අහවල් දේකටද බොරු කියන්නෙ? ඒ හින්ද එතුමී එහෙම ඇහුවම මම මෙහෙම කිව්ව " මම බොනව...ඒත් බොන එක මට පුරුද්දක් වෙලා නෑ..ඒ වගේම අත්‍යාවශ්‍යයත් නෑ. ඒ නිසා අවුලක් නෑ..නොබී ඉන්ට උනත් මට පුළුවන් " එහෙමයි මම කිව්වෙ...බැන්දට පස්සෙ කටේ තියන්නෙ නෑ කියල ඔළුවෙ අත ගහල දිවුරන්ට ගියේ නෑ මම. අපරාදෙ කියන්ට බෑ උන්දැත් එහෙම පොරොන්දු වෙන්ටය , දිවුරන්ටය, ලේ වලින් අස්සං කරල දෙන්ටය කියල ගොන් පාට් දාන්ට ආවෙත් නෑ. ඔහොම වෙලාවට බල කලොත් ඕන පොරොන්දුවක් දෙනව වගේම එහෙම පොරොන්දුවල කිසිම වටිනාකමක් නැතය. බොන්ට හිතුනොත් ඒ මිනිහ කොහොමත් බොනවය කියල කාරණා මම වගේම එයත් සක්සුදක් සේ දැනගෙන හිටිය.

ඒ නිසා ඒ ගැන කතාව එතනිං ඉවරයි..ආ..ඒකෙ ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. මම බලාගන්නංකො බැන්දට පස්සෙ උන්දැ එහෙම හිතන්න ඇති..ආ...බොන නොබොන එක මම බලගන්නංකො බැන්දට පස්සෙ... මමත් එහෙම හිතුව...හෙහ්, හෙහ්,

ඕක ඉතිං ඇත්තටම මෙහෙමයි...ආ..බැන්දයි කියල මම මගෙ කල්ක්‍රියාව දශම අළුක්කාලක්වත් වෙනස් කරන්නෙ නෑ. මගෙ ජොලිය එහෙමමයි කියල පරණ පුරුදු විදිහට යාලුවො එක්ක එව්රි වීක් එන්ඩ් එකේ පාටි දාන්න ගියොත් වැඩිකල් නොයා දීගෙ අතඇරෙන්ට පුලුවන්. ඒකෙ අනික් පැත්තත් එහෙමයි. හුහ්, එව්ව කොහෙද මාත් එක්ක?...බැන්දම මම කඳුලක් කටේ තියන්ට දෙන්නෙ නෑ කියල හිට්ලර්ගෙ නැන්දම්මගෙ භූමිකාව ඇට් කොරන්ට පිටපොට ගැහැව්වොත් ඒත් ඉතිං ඒ සන්තෑසියම තමයි. ඔතන ටිරිකිස් එක මෙහෙමයි. තමන්ට ඕන දේ කරගන්ට ඔන හීන් නූලෙං..බලෙං නිල නියෝග නිකුත් කරල බෑ. අපි කවුරුත් ස්වභාවයෙන්ම නියෝග වලට යටත් වෙන්ට කැමැත්තක් නෑ. ඒ වැඩේ කරන්ට ඕන තමන්ගෙම කැමැත්තෙන් එහෙම කරනවයි කියල අදාල පුද්ගලයට හිතෙන විදිහට. හෙහ්, හෙහ්, අපෙ උන්දැයි මමයි දෙන්නම ඔය සාස්තරේ මාස්ටර්ස් උපාදියක් ගන්ට තරමට හදාරල තියෙන්නෙ. දෙන්නම එක වෙලාවට ඔය එකම තියරිය ක්‍රියාත්මක කරන්ට ගිහිල්ල සමහර වෙලාවට හිනා වෙලාම ඉළ ඇදෙන සයිස් එකේ සීන්සුත් වෙනව..කිව්වම මොකද?

ඉතිං කොහොමහරි ඔන්න බැඳල කරල ක්වාටර්ස් එකටත් ආවය කියමුකො. ඒ දවස්වල අපිට සෙනසුරාද වරුවක් වැඩ. හෙනහුරාද තමයි සාතික ( Monthly කියන වචනෙ මාසික නම් Weekly කියන වචනෙ සාතික වෙන්න එපාය,... නැද්ද? ) ප්‍රගති සමාලෝචන රැස්වීම තියන්නෙ...පහුගිය සතියෙ කරපු වැඩ මොනවද? අමතක වෙච්ච වැඩ මොනවද?...වැඩ කරන්ඩ ගිහිල්ල ගුටි කාපු එව්ව මොනවද? වැඩ පැත්තක දාල සකෘදාගාමි වෙන්ට සන්තර්පණය වෙච්ච එව්ව මොනවද?..එව්ව සාකච්චා කරන්නෙ ඔතනදි........ ඔන්න ඔය වගෙ රැස්සීමක තමයි අර අමා ව්‍යාපෘතිය ගැන එහෙම අපට පැහැදිලි කලේ....

ඒ රැස්වීමෙදි කවුරු කවුරුත් පහුගිය සුමානෙ ඉටුකරපු රාජකාරි ගැන ඉදිරිපත් කොරන්න ඕන ප්‍රගති සමාලෝචනයක්...ඔන්න අපේ ප්‍රගති නිලදාරිය උදෙම්ම දුවගෙන එනව ප්‍රගති වාර්තා කොලේකුත් අරගෙන...ඕක හරි හොඳ එකා...බයිට් එකට කන්නෙ රටකජුම විතරයි.

" මචං අර යාය විසිතුනේ 45 කුඹුරෙ ..ම්ම්ම්..ඉඳපං බලන්ට ..ආ මේ තියෙන්නෙ...ජී. එම්. කිරිදෙන හරි ඒ මනුස්සයගෙ කුඹුරට වතුර නෑ කියල පැමිණිල්ලක් ඇවිත් තිබ්බ..මොකද දන්නෙ නෑ නේද ඒකෙ තත්වය…"

" කවුද නම කිව්වෙ? "

" ජී.එම්. කිරිදෙන…"

" මොකක්ද ජී.එම්. කියන්නෙ? "
මම අහනව. ..

ප්‍රගති මා දිහා රවාගෙන ඉන්නව අත් දෙකත් ඉණට තියාගෙන. " උගෙ නමෙන් වැඩක් නෑනෙ බං...නම මොක උනාම මොකද? මට ඕන ඒ කුඹුරට දැන් වතුර ප්‍රශ්නයක් තියනවද නැද්ද කියල දැනගන්ට…"

" ආ...නෑ..නෑ...හතළිස් පහේ කුඹුරට දැං වතුර ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.."

" ආ..වෙරි ගුඩ්..වෙරි ගුඩ්..ඉඳපං මම මේ කොලේ ඒක ලියාගන්නකල්.."

ප්‍රගති මගෙ මේසෙ උඩ තියාගෙන ලියනව ඔන්න.

" පසු විපරම සහ වර්තමාන තත්වය..අදාල කුඹුරු කට්ටියට තව දුරටත් ජල ගැටළුවක් නොපවතී. හරි..ඒ ටික ලිව්ව..දැං කියාපං උඹ කොහොමද ඒ වතුර ප්‍රශ්නෙ විසඳුවෙ කියල?...මනා ජල පරිපාලනයකින් යුතුව මුර ක්‍රමයකට ජලය බෙදා හැරීම මඟින් ගැටළුව විසඳන ලදී. එහෙම ලිව්වට කමක් නැද්ද? "

" ම්ම්ම්..ලිව්වට නම් කමක් නෑ...ඒත් ජල ප්‍රශ්නය විසඳුනෙ නං ඒ හින්ද නෙවෙයි. "
මම බිම බලාගෙන කිව්ව.

ඔන්න වටේ මේස වල ඉන්න එවුනුත් මගෙ දිහා බලාගෙන..

" එහෙනං? " ප්‍රගති ඔලුව උස්සල මගෙ මූණ බැලුව.

" හතළිස් පහේ කුඹුර මැරුණනෙ බං... ඒ නිසා කොහොමත් දැං වතුර ප්‍රශ්නයක් නෑ…"

" උඹේ අම්මට..යකෝ මේක විහිළුවක් නෙවෙයි...කොළඹටත් යනව මේ රිපෝට්ස්…"
ප්‍රගති වහලෙ උළු හෙල්ලෙන්ට කෑ ගැහුව.

ඔය කිරිදෙන ගොයිය ගැන තව සෝක් කතාවක් තියනව. අපෙ බොස් හැටියට ඔන්න පත් වෙලා ආව එක පාරක් නුවර ඉහල පෙලේ වලව්කාරයෙක්... ඒ දවස්වල රටේම ප්‍රසිද්ධ පෙළපත් නමක් මිනිහට තිබ්බෙ. හැබැයි හරිම නිවිච්ච තැන්පත් පුද්ගලය. ඔය මම කලින් කියපු කිරිදෙන ගොයියගෙ තිබ්බ සෑහෙන කාලෙක සිට පැවත එන ඉඩං ආරවුලක් අල්ලපු ඉඩංකාරය එක්ක ( අල්ලපු ඉඩං කාරය කියල විශේෂයෙන් කියන්ටත් ඕනද ආය?...අල්ලපු ඉඩංකාරය එක්ක නැතුව ඉඩං තුනකට එහා මනුස්සය එක්කත් මායිං ආරාවුල් තියෙන්න පුළුවංය....හෙහ්, හෙහ්, එහෙම හිතෙනව නේද? ඒත් කිව්වට විස්වාස කරන්ට ඒ පැත්තෙ එහෙම ආරාවුලුත් තිබ්බ )

ඉතිං අර උඩරට නිළමෙතුමා අපෙ ලොක්ක හැටියට පත්වෙලා ආහම කිරිදෙන ගොයියට ඕන උනා තමන්ගෙ උඩරට සම්බන්දෙ පාවිච්චි කරල අලුත් ලොක්කගෙං ඉඩම් ආරවුලේදි පොඩි වාසියක් ගන්ට. එහෙම හිතල බදාද දවසක ආව ලොක්ක හම්බවෙන්ට. බදාද කියන්නෙ මහජන දිනය.එදාට නිලදාරීන් ඔක්කොම ඉන්ට ඕන ඔපිස් එකේ මහජනයට පුලුවන් ඇවිල්ල තමන්ගෙ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්ට. ඉතිං ඔන්න කිරිදෙන ගොයිය ඇවිල්ල ලොක්ක ඉස්සරහ ඉඳගෙන පටන් ගත්ත හෑල්ල..අරකද මේකද ..මනුස්සය ඩි.එස්. සේනානායක උත්තමය කාලෙය ඉඩං හම්බ වෙලා ආවෙ..ඩී.එස්. එක්ක යෝද ඇලේ නාලත් තියනවය රටේ නැති විකාර...ලොක්ක ටිකක් වෙල අහගෙන ඉඳල මේක හරියන කෙලියක් නෙවෙයි කියල හිතල හෙමීට පයිල් එකක් ඇදගෙන ඒකෙ මොකක්ද වැඩක් කරන්න ගත්ත. කිරිදෙන තුමාට එව්වයෙ ගාණක් නෑ. රුහුණු කුමාරිගෙ බ්‍රේක් නැතිඋනා වගෙ තමයි..ඔහේ කියවනව..

අන්තිමට මනුස්සයටම තේරුණා ලොක්ක වැඩි අවධානයක් නෑ කියල. හෙමීට මේසෙ උඩට වැළමිට තියල ලොක්ක දිහාට නැමුණ..

" සර්.." ඔන්න ලොක්ක ඔලුව උස්සල බැලුව..

" ඔව් ?..."

" සර් අපිත් මේ මෙහෙ හිටියට නුවර පැත්තෙ හොඳ වැදගත් අය තමයි..අපි ඇවිල්ල මේ කිරිදෙන කට්ටිය…"

ලොක්ක ටිකක් වෙලා කිරිදෙන ගොයියගෙ මූණ දිහා බලා ඉඳල ආයෙම පයිල් එකට නැමුන. " ආ..බොහොම හොඳයි..බොහොම හොඳයි.....මමත් මේ හොය හොය හිටියෙ..හෙට උදේ ඉඳල මටත් කිරි බෝතලයක් එවන්න මතක ඇතුව...මම සල්ලි දෙන්නම්…"

ඔය කිරිදෙන ගොයිය වගෙ ඉන්නව වයසක ලොක්කො හරිම අමාරුකාරයො.හැමදාම මොනවා හරි පුරස්නයක්. එක්කො පෝල් බටේ ( පෝල් බටේ කියන්නෙ කෙත් ඇලෙන් කුඹුරු කට්ටියට වතුරදෙන කපොල්ල , FTO කියල නිල නාමකරණය, Farm Turn Out...ඒත් අපි කිව්වෙත් පෝල් බටේ කියල ) තියල තියන මට්ටම උස වැඩිය ඒක පාත් කරන්නෙයි කියයි, නැත්තං ඇලේ වතුර එන ඔක්කොම අනික් පෝල් වලට අදිනවයි කියල මිනිහගෙ පෝල් එක ලොකු කරල දෙන්න කියයි. එහෙමත්ම නැත්තං අනේ මහත්තයො, කුඹුරෙ වතුර අහනව වැඩියි, මුරේට අමතරව තව වතුර පාරක් දෙන්නෙයි කියයි.

වතුර මුරේ කියන්නෙ ඇලේ වතුර එන වෙලාවට කුඹුරු ඔක්කෝටම සමෝසමේ වතුර හරව ගන්ට හදල දෙන චාට් එක. ඔව්ව බොහොම පිළිවෙලට හදල පැය මිනිත්තු ගණං දාල දුන්නට ඒ විදිහට වැඩ කෙරෙන්නෙ නෑ සීයට අනූවක්. ඉතිං වතුරට මරාගන්නව.රෑ දෙගොඩ හරියෙ ඔන්න එනව ටෝච් පොළු එළිය කරගෙන බයිසිකල් වල නැඟගෙන උංට වතුර නෑ කියාගෙන. මම ඉතිං එවුංට තේ ටිකක් එහෙම හදල දීල උංගෙන්ම සිගරට් එහෙකුත් ගහල ඔය මොනවහරි කියල ෂේප් කරල අරිනව. ඔය මහ රෑ දෙගොඩ හරියෙ ගිහෑකිය වතුර බෙදන්ට. වෙන වැඩ නැතුවට. මුලින් නම් අපෙ උන්දැ ඔය මාර සේනාව එනකොට බය වෙලා තොල කට හිටං වේලගෙන බලා ඉන්නව. පස්සෙ පස්සෙ එයයිටත් ඕක ගානක් නැතුව ගියා. කම්මලේ බල්ලට හෙණ ගානක් නැතුවහෙ.

ඊටත් පස්සෙ ඔන්න එවුන්දැට ඕක ජොලියක් උනා. උංගෙ නං හිටං දන්නව, මම දන්නෙත් නෑ.

" අර සුමනසිරි මට හම්බ උනානෙ පන්සල ඉස්සරහදි. බයිසිකලේ යනගමං යන්නං නෝනා කියල හිනාවෙලා ගියා. " ඔන්න සමහර දවසට උන්දැ ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ගෙට ගොඩ වෙන්නෙ ඔහොම කියාගෙන.

" මොන?....කවුද සුමනසිරි කියන්නෙ?" මම අහනව.

" ඇයි අනේ අර දෙතුන් පාරක් ආවෙ වතුර නෑ කියල. කොණ්ඩෙ ටිකක් පොකුටු සුදු උස හාදය."

ආය ඔන්න දවසක පැල් බැඳගෙන වහිනව දවල් ඉඳලම..හීතලේ පොරවගෙන ඉන්නව අපි දෙන්න ඇඳට වෙල.

" මේ රෑත් එයිද දන්නෙ නෑ ඔයාගෙ වතුර කාරයො….." පොරෝණෙට තවත් ගුලිවෙන ගමන් උන්දැ කියනව.

" පිස්සුද හැබෑට? මේ උදේ ඉඳල වහිනව. කුඹුරු යටවෙලා ඇති මේ වෙනකොට. "

" එහෙනං ඔන්න බලන්ටකො කුඹුරු යටවෙලයි කියන්ට එයි ඔයාව හොයාගෙන.."

" අම්මප කියන්ටත් බෑ තමයි. එහෙමත් බැරි පුතයල නෙවෙයි ඕකුං..මේ…. අද මේ වැස්සෙ..උංට කෝපි ටිකක් වත් දෙමු ආවොත්. "

" අනේ මටනං බෑ කෝපි හදන්ට මේ පට්ට සීතලේ නැඟිටල. ඔයාවනෙ හොයාගෙන එන්නෙ. ඔයාම හදල දෙන එකයි ඇත්තෙ. " උන්දැ බිත්තිය පැත්තට හැරිල ඔළුවෙ ඉඳං පොරෝ ගන්නව.

ඔය වගෙ හිටපු එක වස කරදරකාරයෙක් තමයි සියාතු මාම. අවුරුදු හැත්තෑවක් විතර ඇති. ඒත් හොඳට හයි හත්තිය තියනව. හැමදාම මොකක් හරි අඬෝවැඩියාවක් කියාගෙන ඔෆිස් එකට එනව. වැඩියක්ම උන්දැගෙ පෝල් බටේ පාත් කරගන්ට තමයි. එහෙම හිතූමනාපෙ පෝල් බට පාත් කරන්ට බෑ. ඇලේ වතුර කාටත් සමව බෙදල දෙන්න ඒ බට සම්මත මට්ටමක තියෙන්න ඕන. වැඩේ කියන්නෙ ඔය වයසක මිනිස්සු ඉන්නව නේ? කොච්චර කිව්වත් ඔය සරළ කාරණේ තේරුං ගන්නෙ නෑ.

සියාතුවත් අර කිරිදෙන ගොයිය වගෙ ඩී.ඇස්. එක්ක යෝද ඇලේ නාපු කෙනෙක් තමයි..සියාතුව කියන්නෙම මිනිහගෙ පෝල් එක පාත් කරල දෙන්ටලු. ඇලේ පල්ලෙහ ගොවියො එකහෙලා විරුද්දයි ඒ වැඩේට..

" මේ අත්තෙ…. උඹ ඩී.එස්. එක්ක නෑව නෙවෙයි එකට පුක හේදුවයි කියමු... ඉතිං අපිට පාංද? එහෙම කියල උඹට වතුර ඔක්කොම දීල අපේ කුඹුරු මැරෙන්ට අරින්ට කියලද උඹ කියන්නෙ? " කොල්ලො එහෙමයි සියාතුවට බණින්නෙ. මාත් ඉතිං පැත්තක ඉඳල උංට පොඩි සපෝට් එකක් දීල කුල්මත් කරනව හෙහ්,හෙහ්.

සියාතුවත් අරින්නෙ නෑ..සතියකට දෙපාරක් විතර ඔය විස්තරේ ඔක්කොම ලියල පෙස්සමක් උස්සං එනව ඔෆිස් එකට.අන්තිමට මිනිහ අපි එක්කත් බොහොම වෛර උනා මේ පෝල් බට වැඩේ හින්ද. අපිට පුලුවන්කම තියෙද්දි මඟ අරිනවයි කියල. අපි කිව්වෙ මායි මගෙ බොස් අයි. ඊ. ...ඒ කිව්වෙ වාරිමාර්ග ඉංජිනේරු තුමයි එක්කලා. අපි බැරිම තැන උන්දැ ගේට්ටුවෙන් ඇතුල්වෙනකොට දුවනව හතරාතේ කඳුළු ගෑස් ගැහුව වගෙ.

ඒ දවස්වල ඔය ජනාධිපති ජංගම සේවය කියල එකක් තිබුනනෙ. ප්‍රේමදාස මහත්තය මට මතක විදිහට ඕක පටන් ගත්තෙ.ඕකෙන් ඇත්තටම වැඩකුත් නම් උනා. ඇත්ත කියන්ට එපාය. ඒත් ඒකට කරපු වියදමේ හැටියට නම්, තරමට නම් වැඩක් උනේ නෑ.

ච.බ.කු. වලව්වෙ හාමුත් ඔය ජංගම සේවෙ දිගටම ඉදිරියට අරංගියා. පොළොන්නරුවෙ රෝයල් එකේ තිබ්බ ඔය ජංගම සේවයක් මට මතක විදිහට 96 නැත්තං 97 අවුරුද්දෙ වගෙ. දවස් තුනක් ද කොහෙද තිබ්බ ආතල් එක. රජයේ දෙපාර්තමේන්තු, අර්ධ රාජ්‍ය ආයතන ඔය ඔක්කොම ගිහිල්ල එතන ඉන්ට ඕන එකත් පස්ව. මහජනයා ඇවිදිල්ල තමන්ගෙ පැමිණිළි ඉදිරිපත් කරනව. එව්වට විසඳුම් දෙන්ට ඕන. දවස අන්තිමට ආපු පැමිණිළි ගානයි විසඳපු ගානයි සීයට ගණං එහෙම දාල දෙන්ට ඕන වාර්තාවක් ජංගොම සේවෙ සම්බන්ධීකරණ නිලදාරියට. එව්ව එසැණින් රූපවාහිනියට එහෙම යවල රෑ අටේ ප්‍රවෘත්ති වලට කියනව ගැටළු 18, 312. 34 ආවය, එව්වයිං 12, 103. 67 කට ඔන් ද ස්පොට් විසඳුං දුන්නය. තව 8,156.43 කට සතියක් ඇතුලත විසඳුම් දෙන්නෙයි කියල ගරු ජනදිපතිනිය නියෝග කලාය කියල. ඔය ප්‍රවෘත්ති කියන කිරිකෑස් අංගනාවියො ඔය ගණං හිලව් කට අඹර, අඹර හුරතල් කොර කොර කියන හැටි.... අම්මප බලාඉන්ටම වැඩේ ඒක.

අර මගෙ යාලුව සුමනෙ මතකයි නේද? සුමනෙයි අපෙ අයි.ඊ. මහත්තයයි මායි තමයි ඔය ජංගොමේට ගියෙ. අහ්..තව එකක් කියන්ට ඕමනයි. ඔය ජංගොම සේවෙ ගැන දිවයිනේ දාල තිබ්බ පෝටොස් එහෙක අපි තුන්දෙනාම ඉන්නව...හෙහ්, හෙහ්, උපන් හඳවියකට ඔය මගෙ පෝටොස් එකක් කියල පත්තරේක වැටුනමයි..ඉස්සරහට ඉතිං කොහොම වෙයිද කියල කියන්ට බෑ..නැද්ද ළමයි?

ඔන්න අපි උදෙම්ම ගියානෙ රෝයල් එකට. ප්‍රෙසිඩෙන්ෂල් සිකුරුටි ඩිවිසං එකේ බබලත්තු තමයි ඉන්නෙ ඉණ ඉහ අතගාල බලන්ට. සැක හිතුනොත් ආය සමාවක් නෑ කිරිපල්ල දෙපරැංද අස්සෙ හිටං අතගාල බලනව. සුදු අත් මේස් දාල ඉන්නෙ ඒ නංගිල.

" මොකද බං ඔය මූණෙ හැටි. පාතාල නායකයෙක් වගෙ …" සුමනෙ එහෙම ඇහුවෙ චැක් පොයිංට් එක කිට්ටුවීගන එනකොට මම හදාගත්තු මූණ දැකල.

" ආහ්...පාතාල පොරක් වගෙද පේන්නෙ? හෙහ්..එහෙනං මගෙ වැඩේ සාර්තකයි.."

ම්හු..එහෙම දහසක් බලපොරොත්තු හිතේ පොදි ගහගෙන ගියාට එක දවසකවත් මගෙ අපේක්සා ඉස්ට උනේ නෑ. මගෙ මරුමුස් මූණ දැකල නංගිල කට කොණකිං හිනා උනා විතරයි.අයිඩෙන්ටිටි කාඩ් එක බලල යන්ට කිව්ව..අනිච්චේ දුක්කේ..අනික ඒ දවස් තුනේ මම සිවිල් පිට ගියෙත්...

හරි, හරි එව්ව ඇති..ඉතිං අපි තුංදෙනා ඔන්න ඉඳගෙන ඉන්නව කට්ටිය ඇතුලට එවනකල්. ඔන්න එකා දෙන්න එන්ට ගත්ත. විනාඩි අට දහයක් වාගෙ ගියාය කියමු. ම්හු නෑ මොකෙක්වත්..

" අඩේ..අපේ ගොවියන්ට ප්‍රශ්න නැතුවා වත්ද ? "

අයි.ඊ.මහත්තය සාක්කුවෙං ගත්ත බුලත් මඩිස්සලේ දිග අරින්ඩ ගත්ත... මඩිස්සලේ කිව්වට පත්තර පිට්ටක ඔතල තිබ්බ බුලත් පුවක්, හුණු දුංකල මැලයක් ඒ. ලොක්ක වයස පණහත් පැනල. පැංසොං පලච්චන්ට ඔන්න මෙන්න. ඒත් ආය නෑ...නියම බාන්ඩෙ..ඉළ නෑ කියන කතා වලට..

" ඒ වගේ අයි.ඊ. මහත්තය. ආය මොන ප්‍රශ්නද අපි එව්ව ඔක්කොම විසඳලනෙ තියෙන්නෙ." පුරස්න අනුක්‍රමිකව ලියාගන්ට දුන්නු පුල්ස්කැප් කොලේ ඉරි ගහන ගමං මම කිව්ව. අනු අංකය ඊළඟට ඉදිරිපත් කල ගැටළුව. ඊළඟට ඉදිරිපත් කල පුද්ගලයාගේ...මට එච්චරයි ලියන්ට හම්බ උනේ..

" ඒයි අන්න බලාපංකො කවුද ඉස්සරවෙලාම එන්නෙ කියල.." සුමනෙ මගෙ ඉළේට ඇන්න.

හප්පච්චියේ ...මේ පෝරිසාදය මෙතන්ටත් ඇවිල්ල...විනාසයි...සියාතු මාම..වෙන කවුරුවත් නෙවෙයි සුදෝ සුදු නැෂා එකක් ගහල බාටාවකුත් පයේ පැළඳගෙන එන්නෙ අපෙ සියාතු මාම.

ලොක්කගෙ ඇහැ පේනව ටිකක් හොරයි..ළඟටම එනකල් අපිව අඳුර ගත්තෙ නෑ..අඳුර ගත්ත ගමං මනුස්සය පස්සට විසි උනා වගෙ උනා. ඒ කරල අර ඔඩ්ඩි යකා දැක්කම දත කට පූට්ටු වෙනව වගෙ ගල් ගැහිල අපෙ දිහා බලා හිටිය. සුමනෙයි මායි තොල් විකාගෙන හිනාව පුපුරන එක නවත්ත ගනට හදනව බිම බලාගෙන..

අයි.ඊ. මහත්තය හොඳ විටක් කාරිය ඒදල හක්කෙ තියාගෙන දෙතුන් පාරක් හපල එහෙම සියාතුව දිහාවෙ ඔලුව උස්සල බැලුව.

" ආ..මේ අපේ සියාතු නෙව..කොහොමද ඉතිං සැප සනීප කාරිය.? "

ඔන්න සියාතු යාන්තමට වචන දෙක තුනක් ගැටගහගත්ත…" මේ..මේ..මේ..මහත්තයලමද මෙතනත්…"

අයි.ඊ. මහත්තය හක්ක එහාට මෙහාට කර කර දෙතුන් පාරක් විටේ හැපුව. ඒකරල වටපිට එහෙම බලල සද්දෙ අඩු කරල මෙහෙම කිව්ව..

" නැත්තං...උඹ හිතුවද චන්ද්‍රිකා මෙතන ඇවිදින් ඉඳගෙන සැදී පැහැදී ඉඳීය කියල උඹේ බටේ පාත් කරල දෙන්ට? "

සුමනෙගෙයි මගෙයි බොහොම අමාරුවෙං තද කරං හිටපු හිනාව පිපුරුනේ හරියටම එකම වෙලාවෙ.

66 comments:

  1. හයියො හිනවෙල මැරෙනව අම්මප මෙවට.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මේ මලේ..ලයිෆ් ඉන්ෂුවරන්ස් අරං ඉන්න එකෙක් හිනාවෙල මලොත් උඹල ෆුල් ඉන්ෂුවරන්ස් ගෙවනවද හැබෑට?

      Delete
  2. අනුන්ගේ වතුර ප්‍රශ්ණ නිසා.. උඹේ වතුර හුවමාරුවවත් හරියට කොටගන්න හම්බ වෙලා නෑ නේ බලාන ගියාම.

    අනුන්ගේ පෝල් බට උස් පහත් කොලා මිසක්ක. උඹේ පෝල් බටේ ගැන ඒ කාළකන්නි හැත්ත බින්දුවක් වත් හිතලා නෑ නේ.. නැත්තන් ඉතින් මේ පොරකන සමයේ පසුවන දෙන්නෙක් ඉන්න තැනට කඩා පාත්වේය. මහ රෑ.. කාළකන්නි හැත්ත.. ඕකුන් ඔක්කෝම බලු පූට්ටූවට ගල් ගැහුවට එහා පාප කර්මයක් කරගත්ත උන් ආයිබෝවන්ට. සහ ගහනවා බොට කල වැඩේට.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      අනේ බං ඔය වතුර හුවමාරුව කවද කොරගන්ට බැරිය ආය?...අනික මොකෝ ඕක කොහෙවත් යනවයි කියලය? ඔය තියන තැනම තියේවි යස අගේට...

      Delete
  3. //දෙන්නම එක වෙලාවට ඔය එකම තියරිය ක්‍රියාත්මක කරන්ට ගිහිල්ල සමහර වෙලාවට හිනා ගිහිල්ල ඉළ ඇදෙන සීන්සුත් වෙනව..කිව්වම මොකද?//
    රවී තුමා මේ ලියන අටෝරාසියක් මාතෘකා වලට අමතරව තවත් ලිපි පෙළක් දැම්මොත් නරකද "සාර්ථක විවාහ දිවියකට මග" කියල... මේ අපේ බ්ලොග් ලියන කෙලි කොලු පිරිසට යමක් ඉගෙන ගන්ට...

    ReplyDelete
    Replies
    1. එක් මානවික්ස්,

      / රවී තුමා මේ ලියන අටෝරාසියක් මාතෘකා වලට අමතරව තවත් ලිපි පෙළක් දැම්මොත් නරකද "සාර්ථක විවාහ දිවියකට මග" කියල... මේ අපේ බ්ලොග් ලියන කෙලි කොලු පිරිසට යමක් ඉගෙන ගන්ට… /

      හපොයි බැරිකමක් නම් නෑ බොලේ..ඒත් එහෙම ජෙනරල් උපදෙස් දෙන්ට පුලුවන් සෙල්ලමක් නෙවෙයි ඔය විවාහ ජීවිතේ කියන්නෙ. ඒ ඒ අවස්තාවට සුදුසු පරිදි ක්‍රියාකරන්ට තමන්ට සහජ ඉවක් වගෙ එකක් තියෙන්ට ඕන. එහෙම නැත්තං වැඩේ ටිකක් අමාරුයි.

      “In every marriage more than a week old, there are grounds for divorce. The trick is to find and continue to find grounds for marriage.” - Robert Anderson

      I found and am still finding grounds for marriage …every day…for the last 18 years...

      Delete
  4. // තමන්ට ඕන දේ කරගන්ට ඔන හීන් නූලෙං..බලෙං නිල නියෝග නිකුත් කරල බෑ. //

    ආයිත් අහල... හි හි...

    මෙයා පාතාල පොරක් කියල හිතං ගියාට ඒ නංගිලට පේන්න ඇත්තෙ හෙන අහිංසකයෙක් වගේ වෙන්න ඇති.. අපරාදේ අහිසංකයෙක් වගේ මූණ හදන් ගියානං ආසාව ඉස්ට කරගන්න තිබ්බ... හි හි

    ඇති යන්තං මේ කතාව මතක් උනේ... නැත්තං මේකටත් වාං පතුල් වෙලට වෙච්ච සංගදියම තමයි වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හිරු,

      / මෙයා පාතාල පොරක් කියල හිතං ගියාට ඒ නංගිලට පේන්න ඇත්තෙ හෙන අහිංසකයෙක් වගේ වෙන්න ඇති /

      ඕකනෙ වෙලා තියෙන්නෙ බං...අපිට ඕන වෙලාවට වත් බෑ නෙව මරුමුස් පෙනුමක් ගන්ට..සමහර වෙලාවට ගෙදර ඔය එක එක සීන් වලදි මම තරහ ගියා වගෙ බෙරිහන් දෙනකොට අර අම්මණ්ඩි බඩ අල්ලගෙන හිනා වෙනව. ඒක දැකල මටත් ඔන්න හිනා යනව..එතනින් ඉවරයි මගෙ කෝපාවිස්ට සීන්ස් එක ..හෙහ්, හෙහ්,

      Delete
  5. ඔය වගේ පැත්තක මැලේරියා බෙහෙත් ගහපු කතාවක් මතකයේ තියනවා. ලියාගන්ඩ බැරි එක ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      මොනව කියනවද විචා.....මගෙ හිතෙත් තියනව නොයෙක් හේතු හින්ද කියාගන්ට බැරි කතන්දර ගෝණි කනක්කුවෙ..ගෝණි කනක්කුවෙ...

      Delete
  6. ඒ බන් අයියේ හිනා ඇවිත් ඉල ඇදිලා මැරෙන්නේ බන් මේ කතා වලට... මේක කියවලා කියවලා ඔන්න අද තමා Comment එකක් දැම්මේ. ඔහොම යන්.... ඔහොම යන්....

    ReplyDelete
    Replies
    1. Ocee,

      හිනා වෙලා ඉළ ඇදිල මැරෙන්නෙ නෑ බං උඹේ පෙනහලු වල ධාරිතාව වැඩිවෙනව මිසක....ඒක වෙරි ගුඩ් උඹේ සෞඛ්‍යයට

      Delete
  7. ඒක පට්ට ආතල් ජීවිතයක්නේ , ඉරිසියාවේ බැ

    ReplyDelete
    Replies
    1. අටම්,

      වෙලාවකට එව්ව මතක් වෙනකොට මටත් ඊරිසියයි බං..මේ ඇත්තම ඇත්තයි..

      Delete
  8. ela ravi!!!!
    i'm still laughfing.

    ReplyDelete
    Replies
    1. Ano,

      Keep on laughing mate...Laughter is the Best Medicine

      Delete
  9. මරු කතාව රවී අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ස්තූතියි මල්ලි..:)

      Delete
  10. උප‍රිමයි බොස් වචන සැට් එක !!

    පංකාදු පහයි ..ඔහොම යං !!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි,

      ස්තූතියි...:)

      Delete
  11. හූ හූ..... ( මං හූ කියන්නෙ මොකටද කියල උඹ දන්නවනෙ?? නේද?? )

    ReplyDelete
    Replies
    1. ජනූ,

      අම්මාපල්ල බං උඹේ කෙළෙස් මලින් පිරි ජාගර චිත්තය!!…….මෙච්චර මේ අපූරු සිදුවීම් අටෝ රාසියක් ලියල තියනව උඹට මීටර් උනේම ඒක නේද? සිකේ අම්මප...

      Delete
  12. /" මම බොනව...ඒත් බොන එක මට පුරුද්දක් වෙලා නෑ..ඒ වගේම අත්‍යාවශ්‍යයත් නෑ. ඒ නිසා අවුලක් නෑ..නොබී ඉන්ට උනත් මට පුළුවන් " /
    ape mahaththayath mehema kiwwama man kiwwe hoda welawata sudu oyata athyawashya nati hinda nobima inna puluwanne neda.......Puruddak nam itin nati karana1 amaruine.........Nobi inna puluwan 1 digatama nobi imu kiyala..................

    Sirawatama math oya amadyapa wiyaparaye idiriyenma innawa.............man aththatama harima bayai bipu minissu dakkama..........mata nam minissu bona thanaka inna kotath husma hira wenawa wage danena ledak tiyenawa...................:D habai man aduranne nati aya kochchara biwwath aulak na................

    aiyo Ravi aiye welawakata irisiyath hitenawa oyage joyful jiwite gana kiyawaddi..............:)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / habai man aduranne nati aya kochchara biwwath aulak na................ /

      හාපෝ...උඹ නාඳුනන එකමයි කාරිය ...:)

      / aiyo Ravi aiye welawakata irisiyath hitenawa oyage joyful jiwite gana kiyawaddi..............:) /

      හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ බං..ඒ අතිං නම් මට පුදුම ලැබීමක් තිබ්බෙ...:)

      Delete
  13. රවියෝ මේ ලිවිල්ලට ගහන්න කාටවත්ම බෑ. මට දුකේ බෑ මීට කලින් ඒවා දැකලත් නොකියවපු එක ගැන.. මාර ආස්වාද ජනක ජීවිතයක්.

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      ස්තූතියි දේශකයා....:)

      Delete
  14. භාෂාව හොදටම පාවිච්චි කරල තියෙනව... නියම සීන් එක මොකක් උණත්... පව් අඩේ සියාතු ගොය්ය... මට උන්දැගෙ මූණ බලන්න එන්න තිබුනනං

    ReplyDelete
    Replies
    1. Mahesh,

      හෙහ්, හෙහ්, අම්මප කියල වැඩක් නෑ..අර මොනවද කාපු රිලා මොටෙක් වගෙ උනා උන්දැගෙ මූණ...කොටින්ම අලුතෙන්ම නැෂනල් කිටකුත් මහගෙන මනුස්සය ජංගම සේවෙට එන්ට. වෙනද නිරුවත් දෙපයින්.එදා අලුත්ම බාටා කුට්ටමකුත් දාගෙන. මම ඔය සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නව දැක්කමයි...

      Delete
  15. /ඔය මහ රෑ දෙගොඩ හරියෙ ගිහෑකිය වතුර බෙදන්ට. වෙන වැඩ නැතුවට. /

    හැබෑට මොනාද ඔය ඔච්චර ඔයාට තිවුන වැඩ ඈ?

    /රෑ අටේ ප්‍රවෘත්ති වලට කියනව ගැටළු 18, 312. 34 ආවය, එව්වයිං 12, 103. 67 කට ඔන් ද ස්පොට් විසඳුං දුන්නය. තව 8,156.43 කට සතියක් ඇතුලත විසඳුම් දෙන්නෙයි කියල/

    ඈ?! ගැටළු ආවේ දශම සංඛ්‍යා ඔලින් ද අයියේ? ඒ කොහොමෙයි? එතෝට දශම ගැටළු කියන්නේ අර ෆුල්ස්කැප් කොලේ අනු අංකය නම ගම ගැටලුව තියෙන තැන්වල අකුරු හලලා බාගෙට ලියවිච්චි එව්වද? උදාහරනෙකට මෙහෙම හිතමු: දැන් ඔයි සියාතුවගේ ගැටලුව: "බටේ පාත් කිරීම" නේ - ඒ වෙනුවට ලියනවා "බටේ පා." එතෝට සම්පුර්ණ ගැටලුවේ අකුරු 7 යි, දශම ගැටලුවේ අකුරු 3යි. එතෝට ඒක 3/7 = 0.43. එහෙමද?

    ReplyDelete
    Replies
    1. ආම්ස්ට්‍රෝං,

      / හැබෑට මොනාද ඔය ඔච්චර ඔයාට තිවුන වැඩ ඈ? /

      වෙන මොනවද බං...ඔළුවෙ ඉඳල පොරෝගෙන බුදියෙන්ට දෑතත් දෙපරැන්ද අස්සෙ ගහගෙන..නැතුව ආය වෙන අහවල් දෙයක් කරන්ටද ඔය පට්ට හීතලේ...

      / ඈ?! ගැටළු ආවේ දශම සංඛ්‍යා ඔලින් ද අයියේ? ඒ කොහොමෙයි? /

      ඔය දශම ගණං හිලව් බං අපි දුන්න එව්ව නෙවෙයි,චන්දිරිකා නෝන මහත්තැංගෙ ගණං ඔව්ව.

      ඔවුන්දැ ඔය සෝබෝං වල ඉගෙන ගත්තු ගණිත සාත්තරේ නෙව. 94 අවුරුද්දෙ ඉස්සොරෝම ජනාදිපති කොමට ඉදිරිපත් උනේ පත්වෙලා දවස් 365 ඇතුලත ජනාදිපති පදවිය අහෝසි කොරනවයි කියල දහ අතේ දිවුරල. ඒත් 2005 උන්දැ තොලොංජි වෙනකල්ම ඒ දවස් 365 ගෙවුනෙ නෑ. ප්‍රංශ ක්‍රමේට ගණං හදනකොට එහෙමයි වෙන්නෙ.

      ඊට පස්සෙ 1999 ඉඳල අවුරුදු 6 ක් ගණං කලාම 2005 නෙවෙයි 2006 කියල සෝබෝන් තර්කෙකුත් ගෙනාව ඔය අම්මණ්ඩි. ඉතිං බං ඔහොම ගණං හදනකොට මහජන පැමිණිලි දශම ගණං එන එක අහන්ටත් දෙයක්ය?

      Delete
  16. දැං මස්සිනාල දෙන්නත් එක්ක සෙට් වෙන විදියට හදාගෙනද තියෙන්නෙ.

    රෑ ජාමෙ එක එකාගෙ බට පාත් කරන්න ගියොත් ගෙදර මනුස්සයගෙන් බේරිලා ඉන්න හම්බෙන එකක් නෑ.

    කට්ටිය දැක්කට පස්සෙ සියාතුවගෙ මූන නං ලස්සනට තියෙන්න අැති.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / දැං මස්සිනාල දෙන්නත් එක්ක සෙට් වෙන විදියට හදාගෙනද තියෙන්නෙ. /

      ලොකු මස්සිනා විතරයි බං යහමඟට ගන්ට පුළුවන් උනේ. පොඩි එකා හදන්ට පුළුවන් එකෙක් නෙවෙයි...

      / රෑ ජාමෙ එක එකාගෙ බට පාත් කරන්න ගියොත් ගෙදර මනුස්සයගෙන් බේරිලා ඉන්න හම්බෙන එකක් නෑ. /

      ගෙදර මනුස්සයෙගෙන් බේරිල ඉන්ට තමයි බං රෑ ජාමෙ මම ඔය එක එක රාජකාරි දාගන්නෙ...

      / කට්ටිය දැක්කට පස්සෙ සියාතුවගෙ මූන නං ලස්සනට තියෙන්න අැති. /

      හෙහ්, හෙහ්, අර මොනවද කාපු රිළව වගෙ තමයි...

      Delete
  17. මෙහෙමත් හිනා වෙන්න පුලුවන්ද අප්පා..බොරුත් කියල අද නම්. ගැහැණු සිකියුරිටිලා පිරිමි චෙක් කරනවය .දැන් කියයි ඉතින් එහෙමමයි කියල . මොකෝ අපි ඉතින් ගිහින් අහන්නය .

    හරිම ලස්සන අත්දැකීම් ගොඩක් නේද . ඒ කාලේ මල වදේ කියල හිතෙන්න ඇති. ඒ වුනාට පස්සේ රහ කර කර මතක් කරන්න පුළුවන් ඔය වගේ කාලවල් තමයි. ඔය කියන වයසක කට්ටිය දැන් නැතුවත් ඇති බාගවිට ..

    ReplyDelete
    Replies
    1. Bindi,

      / බොරුත් කියල අද නම්. ගැහැණු සිකියුරිටිලා පිරිමි චෙක් කරනවය .දැන් කියයි ඉතින් එහෙමමයි කියල . මොකෝ අපි ඉතින් ගිහින් අහන්නය . /

      හෙහ්, හෙහ්, ඇත්තටම උනේ මෙහෙමයි..උදේම ප්‍රධාන ගේට්ටුව ගාව හෙණ තද බදේ..ගෑණු පිරිමි වෙනම පෝලිංනෙ තියෙන්නෙ.චෙක් කරන්නෙත් ඒ අදාල ජෙන්ඩර් එකේ කට්ටියනෙ. පිරිමි පෝලිම වැඩියි. ගෑණු පෝලිමේ කවුරුත් නෑ.

      මම ඉතිං දවසක් ඇහුව අර K.P.A.G. නංගිලාගෙන් " මේ මෙතන පෝලිමේ හිටියොත් අපට පරක්කු වෙනව. අපිත් ඔය පෝලිමට එන්ටෙයි? " කියාල. මගෙ කරුමෙට මරියකඩෙං P.S.D. එකට ගත්තු කෙල්ලෙක්ද කොහෙද ඒ වෙලාවෙ හිටියෙ.." ආ එන්ටකො..අල්ලල අඹරවනව මාසයක් තෙල් ගාන්ට " ඒකි කියාපි. මට නේද හතර විලිලැජ්ජාවයි. " ඔයා අඹරවනවනං මාසයක් නෙවෙයි දෙකක් තෙල් ගාන්ට උනත් මොකද අනේ.".එහෙම කියල ජාම් බේරගත්ත.

      / හරිම ලස්සන අත්දැකීම් ගොඩක් නේද . ඒ කාලේ මල වදේ කියල හිතෙන්න ඇති. ඒ වුනාට පස්සේ රහ කර කර මතක් කරන්න පුළුවන් ඔය වගේ කාලවල් තමයි. /

      අප්පච්චියේ කියල වැඩක් නෑ බං...එව්ව ආය ආය මතක් කර කර රස විඳින්න පුළුවන්...ගෙදර ගියාම අපි දෙන්න කරන්නෙ ඔව්ව් අ මතක් කරකර ආයම හිනාවෙන එක තමයි.

      " මතකද ඒයි අර එක දවසක් ලූලෙකුත් කරේ දාගෙන කෙලින් ඉන්ට බැරුව බීල එකෙක් අපෙ ගෙදර දොරට තඩි බෑව මහ රෑ යක්කු ගස් යන වෙලාවට ඇවිල්ල? කවුද උගෙ නම?." .මම අහනව..

      " විල්බට්ද කොහෙද වගෙ මතක...හිහ්, හිහ්...මොකද මට අමතක? ලබන ආත්මෙත් මතක තියෙයි ඒ වගෙ එව්ව නං "

      / ඔය කියන වයසක කට්ටිය දැන් නැතුවත් ඇති බාගවිට .. /

      අපොයි ඔව් මැරිල ඇති බොහෝවිට ..සියාතු ලොක්ක ගොයිය ඉන්නවනං දැං මයෙ හිතේ අනූපහක් වගෙ ඇති වයස.

      Delete
  18. කිසිත් නොකියමි. දැනට මේ කමෙන්ට්ස් වලට Ravi දෙන උත්තර කියවා ෆුල් ආතල් එකක් ගෙන ඉන් පසුව මම කමෙන්ට් එකක් දාන්නේ ..ආතල් එක උපරිම ගැනීම සඳහාය!!

    ReplyDelete
    Replies
    1. පරණ මහත්තුරු සෙට් එකක් ඉඳලා තියෙනවා නේද ඔය වගේ රසකතා කියන. මට මතක් වුනේ උඹත් එක්ක හිටපු බුලත් විට කන අපේ විජේපාල මහත්තයා. මට අමතක වෙන්නේ නැති චරිතයක්. හුකා.......

      මචෝ මම බැඳපු දිහාවේ වයිෆ්ගේ අයියා මාව දැකපු දවසේ ටික වෙලාවකට පස්සේ මගෙන් ඇහුවේ....උඹ ගහන්නේ පොල්ද ගල්ද කියලා....මම මුකුත් නොකිය බෑග් එකේ තිබුන විස්කි බෝතලේ මේසය උඩින් තිබ්බා. ඌ කුස්සියට ගිහින් වීදුරු දෙකක් ගෙනාවා.ඒ නිසා වැඩි කරදරයක් වුනේ නැහැ.
      මම පළමු වතාවට රට ගිහින් ආපු පළවෙනි නිවාඩුව තමයි ඒ.

      Delete
    2. අරූ,

      / මට මතක් වුනේ උඹත් එක්ක හිටපු බුලත් විට කන අපේ විජේපාල මහත්තයා. /

      අන්න මචං මිනිස්සු...කියල වැඩක් නෑ....ඒ කාලෙ මචං ජීවිතේ අද වගෙ ඔලුවට බරක් උනේ නෑනෙ. ජීවිතේ විඳින්න අපිට වෙලාව තිබ්බ. මඳක් ඉසිඹු ගෙන දිවි විඳීමට.....හෙහ්, හෙහ්…

      අනික් අතට අපි එහෙම සසඳන එකත් වැරදියි. ඒ කාලෙ එහෙමයි. මේ කාලෙ මෙහෙමයි. ලෝකෙ , ජීවිතේ, සමාජ පිළිගැනීම් ඔව්ව ඔක්කොම නිරත්තරයෙන් වෙනස් වෙනවනෙ. ජීවිතය වනාහී ගතික ප්‍රපංචයකි. Life is a Dynamic Phenomenon.

      උඹෙ මස්සිනා නම් නියමයි. ඕක වෙලා තියෙන්නෙ බං ආකල්ප තමයි. සමහර අයට ඔය සුට්ටක් බොනව කියන්නෙත් මේ මහා ලොකු කේස් එකක්. අපෙ හිටිය පොරක් උගෙ වයිෆ් ගහනව ඕල්ඩ් බාගයක් තරම කිසි ගින්නක් නැතුව. උං දෙන්න කතෝලික..ජා-ඇල පැත්තෙ..ඉඳපංකො ඒ කතාව ආය වෙලාවක කියන්නං...හෙහ්,

      Delete
  19. හොහ් හොහ් හොහ් හෝ හෝ හෝ..............

    රවී ලොක්ක වයස පණහත් පැනල. පැංසොං පලච්චන්ට ඔන්න මෙන්න. ඒත් ආය නෑ...නියම බාන්ඩෙ..ඉළ නෑ කියන කතා වලට..

    ReplyDelete
    Replies
    1. සෙන්බට්,

      අන්න ඒකනෙ බං අපි එහෙමයි...තේරුණාය?

      Delete
  20. හයියෝ සන්සාරෙ . . . බොල මේ කතා සීරිස් එක නම් මසුරන්. . .

    ReplyDelete
    Replies
    1. ගමන් මඟේ මඟියා,

      සංසාරේ බවේ දුකා..සම්බෝලයි බතුයි කකා.....ස්තූතියි G.M.G. :)

      Delete
  21. //අපි කවුරුත් ස්වභාවයෙන්ම නියෝග වලට යටත් වෙන්ට කැමැත්තක් නෑ. ඒ වැඩේ කරන්ට ඕන තමන්ගෙම කැමැත්තෙන් එහෙම කරනවයි කියල අදාල පුද්ගලයට හිතෙන විදිහට.//
    අයියේ උඹ විෂය ගැන මාස්ටර් එකකුත් ගහලා තීන නිසා මේකට උදාහරණ දෙක තුනක් දියන්කෝ.

    ( උඹේ කට කොනට එන වරෙත්තු හිනාව මැවිලා පේනවා බොල :-) )

    ReplyDelete
    Replies
    1. නිකං,

      / අයියේ උඹ විෂය ගැන මාස්ටර් එකකුත් ගහලා තීන නිසා මේකට උදාහරණ දෙක තුනක් දියන්කෝ. /

      උදාහරණ දෙන්න ගියොත් බං ඒක කෙලින්ම කතාවක්ම වෙනව. ඒ හින්ද වෙනම කතාවක් ලියන්නං නිකං මලයගෙ ඉල්ලීම ඉටුකිරීම පිණිසයි සඳහන් කරලම..

      / ( උඹේ කට කොනට එන වරෙත්තු හිනාව මැවිලා පේනවා බොල :-) ) /

      වරෙත්තු? හෙහ්, හෙහ්, උඹත් ගාල්ල පැත්තෙය? මගෙ හිටිය හොඳ යාලුවෙක්..ඒකා වචන දහයක් කතා කලොත් අටක්ම වරෙත්තු කියල කියන්නෙ...ඌ ගාල්ලෙ..ඒකයි මම උඹත් ගාල්ලෙද කියල ඇහුවෙ?

      Delete
  22. ඔන්න රවී මමත් සියාතුවා වගේ ඇවිත් ඇවිත් බල බල ගියා. බැරිම තැන ඔන්න බාටා දෙකකුත් දාගෙනම ආවා. සියතුත් අපේ හංවැල්ලේ සීයා වගේ. ඇති වැඩකුත් නැහැ. හැබැයි නැෂනල් ගහලා බාටා දෙකකුත් දාගෙන ඔහේ යනවා. ඇවිත් ගෙදර මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැහැ රජ ටෝක් දෙනවා සිරිමාවෝයි එයයි අතින් අල්ලන් හිටියා වගේ. බලනකොට අගමැතිනිය ඇවිල්ලත් නැහැ. ඔහොමයි වුනේ.(කමෙන්ට් එකේ කෑල්ලක් උඩ )

    ReplyDelete
    Replies
    1. අරූ,

      / ඔන්න රවී මමත් සියාතුවා වගේ ඇවිත් ඇවිත් බල බල ගියා. /

      වීක් එන්ඩ් එක ෆුල් බුසී උනා බං...ඒකයි මේ කේස් එක...

      / සියතුත් අපේ හංවැල්ලේ සීයා වගේ. ඇති වැඩකුත් නැහැ. හැබැයි නැෂනල් ගහලා බාටා දෙකකුත් දාගෙන ඔහේ යනවා. ඇවිත් ගෙදර මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැහැ රජ ටෝක් දෙනවා සිරිමාවෝයි එයයි අතින් අල්ලන් හිටියා වගේ. බලනකොට අගමැතිනිය ඇවිල්ලත් නැහැ. ඔහොමයි වුනේ /

      ඔහොම මිනිස්සු ඉන්නව බං..වයසයි. ඒත් ගෙදර ඉන්නෙ නෑ මොහොතක්..ඔය කඩවල් ගානෙ ඇවිද ඇවිද පරණ කතන්දර කිය කිය දවසම ගෙවල රෑ වෙනකොට බුදියගන්ටයි ගෙදෙට්ට යන්නෙ.

      මම හරි ආසයි ඔය කතා අහගෙන ඉන්ට..කඩේ ආහම ඔහොම පොරවල් සෙට් උනාම පැය ගණං විස්කිරිඤ්ඤා කනව...ඉඟුරු ප්ලේන් ටී බොනව..පරණ කතා අහගෙන ඉන්නව. වෙලාවකට වයිෆ් අල්ලපු ගෙදර පොඩි එකා එවනව කඩේට මාව හොයන්ට

      " අංකල් ඇන්ටි කිව්ව මොකද පරක්කු කියල බලල එන්ට කියල…"ඌ ඇවිල්ල කියනව.

      " ආ..පුතා එහෙනම් මේ පොල්තෙල් බාගෙ ඇන්ටිට ගිහිල්ල දෙන්නකො මම ඉක්මනට එන්නං කියන්ට හොඳද? "

      පොල් තෙල් එක පොඩි එකා අතේ යවල මම ආයෙම හරිබරි ගැහෙනව.

      " ඉතිං ඇල්බට් මාමෙ...එතකොට මාතලේ ඉඳල කරත්ත වලමයි බකමූණට එනකල්ම ආවෙ නේද? බස් එහෙම තිබ්බෙ නැද්ද? "

      " මෙහෙමනෙ මහත්තය..ඔය එකම බස් කොම්පැනියයි තිබ්බෙ..සුද්දෙක්ගෙ..මෑන් මහත්තය නම. අපි කොල්ලොනෙ ඒ කාලෙ. ජොලියට ඔය කරත්ත බැඳගෙන ආවෙ…"

      Delete
  23. සමාවෙයං රවී අයියේ අදයි බං ඉස්පාසුවක් හංබවුනේ උඹලගේ පෝස්ටු කියවන්ඩ. මේ අවුරැද්දේ ගොඩක් වැඩ වැඩියි. ආයිත් ඇස්වහක් කටවහක් නෑ උඹේ ලිවිල්ල මසුරං. හරිම රහයි!! හොඳ පොතක් කරමුකෝ බං. උඹට ජය!!
    මම අර ඊමේල් ගැජට්ටුවත් සඳුන් සෙවනට දැම්මා. උඹට වෙලාවක් ලැබුනාම ඇඩ් වෙයං.

    ReplyDelete
    Replies
    1. චන්දන,

      බොහොම ස්තූතියි මල්ලි..හෙහ්, හෙහ්, පොතක් නේද? බලමුකො..බලමුකො..." නිකම්ම මනුස්සයෙකුගේ කතාව " අන්න එහෙම දැම්මනම් නියමයි පොතේ නම..මොකද මම ඇවිල්ල කිසිම විශේෂත්වයක් නැති සාමාන්‍ය මනුස්සයෙක්..

      ඊමේල් වැඩේට මම සබ්ස්ක්‍රයිබ් උනා :)

      Delete
  24. කිරිදෙන! මරු නම බං. උඹට මතකද මංදා පියසේන කහඳගමගේද කොහෙද ගුරු සේවයේ රස කතා වලට ලියලා තිබ්බා පාඨශාලා පරීක්ෂකට කෙරි පෙව්ව කතාව.

    සමහර නම් මොන මගුලකට දැම්මද කියලා හිතාගන්න බෑ නේ? මතකද ඊටිං සිඤ්ඤෝ කියලා නමක් තිබුනා? පොර කා. කා. ස. ලු. ඒ කාලේ කිව්වේ පියන් කියලනේ. දවසක් ෆෝන් එක වැදුනම පොර උත්තර දීලා.

    "Hello" ඊටිං සිඤ්ඤෝ කියනවා.
    "Hello, who's speaking there?" එහාපැත්තෙන ඇහෙන්නෙ ගාම්භීර කටහඬක්.
    "I'm Eating here, sir,"
    "හා හා, කාලා කතා කරනවා. කාලා කතා කරනවා"

    උඹ ලිව්ව සමහර කරුණු නම් සැක සහිතයි. ඒකෙන් අදහස් වෙන්නේ මම පහත සඳහන් කරන උදාහරණ දෙක ඇරුනාම අනිත් කරුණු සැක රහිත බව නෙවෙයි.

    එකක්, අර PSD එකේ නංගිලා පිරිමින්වත් අතගාලා පරීක්ෂා කරනවා කියන එක.
    අනික අර ආය ඔන්න දවසක පැල් බැඳගෙන වහිනව දවල් ඉඳලම..හීතලේ පොරවගෙන ඉන්නව අපි දෙන්න ඇඳට වෙල. උන්දැ බිත්තිය පැත්තට හැරිල ඔළුවෙ ඉඳං පොරෝ ගන්නව.

    මේවයේ විශ්වාසනීයභාවය ගැන මට පොඩි සැකයක් තියෙනවා බං.

    ReplyDelete
    Replies
    1. //// උන්දැ බිත්තිය පැත්තට හැරිල ඔළුවෙ ඉඳං පොරෝ ගන්නව.////
      මුගේ බොරු ඩූඩ්......."අපි නොදන්න වහින දවස්"

      Delete
    2. Henry & Aru,

       / පාඨශාලා පරීක්ෂකට කෙරි පෙව්ව කතාව. /

      What? Is this a spelling mistake or did he actually wrote something like that…eh, dude??

      / සමහර නම් මොන මගුලකට දැම්මද කියලා හිතාගන්න බෑ නේ?  /

      ඔය අමුතු නං ගැන මචං වෙනම පෝස්ට් එකක් ලියන්ටයි මම හිතාගෙන ඉන්නෙ...ඔය පරණ නං ගොඩක් ඇවිල්ල තියෙන්නෙ ඉංග්‍රීසි වචන වලින් ඊටිං කියන්නෙ මම හිතෙන්නෙ Eaton කියන එකෙන් වෙන්න ඕන. සේතං Satan කියන වචනෙං..." ඈ බොල බොංඩියෙ තෝ හිතුවය මාත් තෝ වාගෙ දැක්ක දැක්ක වාහෙ එක්ක නිදි වදින එකියක්ය කියල? " ආන්න එතන බොංඩි කියන වචනෙ මූලාරම්භය ඇවිල්ල Blondie.

      අපෙ උන්දැ උගන්නන ඉස්කෝලෙ සමහර පොඩි එවුංගෙ නං ඇහුවම ඔලුව නරක් වෙනව. සංසර්ග පෙරේරා, සුරතාන්ත ජයවර්ධන,...ඔන්න කොහොමද ආතල් එක?

      / එකක්, අර PSD එකේ නංගිලා පිරිමින්වත් අතගාලා පරීක්ෂා කරනවා කියන එක. /

      ඇත්තම කතාව මම අන්න බින්දීස්ගෙ කමෙන්ට් එකට උත්තර හැටියට ලිව්ව.

      / අනික අර ආය ඔන්න දවසක පැල් බැඳගෙන වහිනව දවල් ඉඳලම..හීතලේ පොරවගෙන ඉන්නව අපි දෙන්න ඇඳට වෙල. උන්දැ බිත්තිය පැත්තට හැරිල ඔළුවෙ ඉඳං පොරෝ ගන්නව.  /

      බොලාට ඉතිං ඕකනෙ වෙලා තියෙන්නෙ ...යන්තං අහස කළුකරගෙන ආවද මෙතන ලෑස්තිවෙන්නෙ ඕකට...යස්සයිනේ...ඕක කවදා කොරගන්ට බැරිද බොලව්?..ඒ වගේද පැල් බැඳගෙන වහිද්දි නෙස්කැෆේ දෙකකුත් හදාගෙන ඉහිං කනිං බූල් බුලංකේට්ටු පොරවාන අතීත සොඳුරු මතකයන් සිහිකරමින් හිනාවෙන එක...

      " මේ අර එදා ඔයා අර කොස් ගහේ නැග්ගෙ ඇත්තටම එල්ලිල මැරෙන්ට හිතාගෙනද? "ඔන්න මම අහනව කෝපි උගුරක් බීල.

      " පිස්සුද මන්ද හැබෑටම? මගෙ මොලේ නරක් වෙලාය කියල හිතුවද එල්ලිල මැරෙන්ට? මමයි අපෙ අක්කයි කතාවෙලයි මම කොස් ගහට නැග්ගෙ කොසයක් කඩන්ට කියල. අප්පච්චි නැඟිටින්ට කලින් වැඩේ කරන්ට කියල හිතුවට කරුමෙට උන්දැ කලින්ම ඇහැරල ආවනෙ. මම ගහ උඩ ඉන්නව දැක්කනං ඉඳල ඉවරයි. බැණුං ඇහිල්ලෙං බේරෙන්ට මම එහෙම පොඩි ඇක්ටිං පාරක් දැම්මෙ. ඔක්කොම රැවටුනා ඒකට. අනේ මයෙ අම්මා ගහෙං බහින්ට කියල යාප්පුවෙං මාව ගහෙං බස්සව ගත්තෙ කට්ටියම එකතු වෙලා..හිහ්, හිහ්," උන්දැ කියාපි.

      ඩූඩ් නං ඒ කතාව දන්නව. අරූ දන්නෙ නැතිනිසා මෙන්න මෙහෙමයි ඒ කතාව...

      ඔන්න මෙහෙමලු උනේ හොඳද?...වැඩි විස්තර සහිතව පස්සෙ කියනකල් සාරාංසෙ මෙහෙමලු...

      අපේ පේම කතාව ආරම්බ උනාය කියමුකො...ඔන්න ආව බාදක කංකටොලු, වැට කඩොලු ඔය ඔක්කොම..මොකද හේතුව මම පාත්තයෙක්ය කියාල...දන්නවනෙ පාත්තයොය කියන අය...පාතරට මිනිස්සු...

      '' කැපුවත් උඹව දෙන්නෙ නෑ පාත්තයෙකුට....''ඔන්න එහෙං අවසං තීරණය..

      '' මොකද අනේ අපි කරන්නෙ?....'' එයයි ඇහුව මගෙං....'' මොනව කරන්ටද?....ඔයාගෙ කෑල්ලක් අරං මොකටද?....මම මස්කඩ කාරයෙක් නෙවෙයිනෙ...අපි වෙන අතක් බලාගමු...'' මම කිව්ව අහක බලාගෙන.

      ඇගේ දෑසිං ගිංදර පිට උනා..'' හුහ්, එහෙම කොහෙද මා එක්ක...ඉන්ටකො මම කරන්නං හොඳ වැඩක්.'' .ඈ දත් මිටි කෑව බර බර ගාල,

      එයාලගෙ ගේ පිටිපස්සෙ තියනව මහ විසාල කොස් ගහක්...බෙන කොස්ගහ කියල කියන්නෙ..කොස් එහෙම මාර රහයි...

      එයයිගෙ තිබ්බ ඒ දවස්වල පරන හම්පඩ ඩෙනිමක්...දනිස් ගාවට කපාපු...ඕකත් ඇඳගෙන ඔන්න කොහු ලණු කැරැල්ලකුත් කරේ දාගෙන ඉණිමඟ ගහට හේත්තු කරල ඉරිද දවසක උදේම නැග්ගලු එයයි අර බෙණ කොස් ගහට...

      '' එයාව බඳින්ට දුන්නෙ නැත්තං මං එල්ලිල මැරෙනව...'' කොස් අත්තක ලණුව ගැට ගහල මල පුඩුවක් එහෙම හදල එයා කෑගැහුව මහ හයියෙං..

      ඔන්න ගෙදර ඔක්කොමල දුවගෙන ආව...
      .

      Delete
    3. '' කොයි වෙලාවෙද චුට්ටි නංගි ඔයා ගහට නැග්ගෙ?.....අනේ මේං බලන්ට ඔයා හොඳම නෑ, මගෙ එක්සෝරා පැලේ උඩ නේද ඔයා මේ ඉණිමඟ තියල තියෙන්නෙ...අනේ ඕක මම රුපියල් තුන් සීයක් දීල ගෙනාවෙ...'' ඒ එයාගෙ පුංචි අක්කගෙ අඳෝනාව.....

      '' හරි දැං මොකක්ද ඔය කියන මගෝඩියගෙ නම?...මොකා එක්කද ඔය උඹ බඳින්ඩ ඕනය කියන්නෙ?...'' ඒ එයාලගෙ අප්පච්චි..

      '' මොකක්ද එයාගෙ නම?....ම්ම මට මතක නෑනෙ...Okay, one minyte please.....'' එයා ගහ උඩ ඉඳගෙනම මට කෝල් එකක් ගත්ත..

      '' හෙලෝ...හෙලෝ...මේ ඔයාගෙ නම මොකක්ද?..''

      '' ඈ...මොකද මේ හිටපු ගමම්ම...මගෙ නම රවීනෙ....කොහෙද ඔයා ඉන්නෙ? ''

      '' මම මේ බෙණ කොස් ගහ උඩ ඉන්නෙ...ඔයාව බඳින්ට දුන්නෙ නැත්තං මම අද එල්ලිල මැරෙනව කියලයි හිතාගෙන ඉන්නෙ.. ''

      '' දෙයියෝ සාක්කි ...එතකොට අර රුපියල් දාහ? '' මට ඉබේටම කියවුනා..

      සඳුද බස් එකේදි හම්බ උනාම මට රුපියල් දාහක් ණයට දෙන්ට එයා මට පොරොන්දු වෙලයි හිටියෙ...මට ඒ වෙලාවෙ මතක් උනේ ඒක..

      '' හුහ්...'' එයා උත්තරයක් නොදීම කෝල් එක කට් කලා..

      '' හෙලෝ...හෙලෝ..''මම ආයෙම කතා කලා...ෆෝන් එක ඕෆ් කරල...ෂිහ්,

      ඉතිං බලමුකො මේ කෙල්ලංගෙ හැටි...දැං මම මොකක්ද කිව්වෙ ඔච්චර තද වෙන්ට....අනේ මන්ද අප්ප...මට නම් තේරෙන්නෙ නෑ...

      '' අනේ චුට්ටි නංගියේ...හොඳ ලමය වගෙ ඔය දකුනු පැත්තෙ තියෙන කොසේ බලාපංකො මාළුවට හොඳයිද කියල...කාලෙකිං කෑවෙ නෑ බෙන කොස් ගහේ කොස්..'' ඒ එයාලගෙ මද්දුම අක්ක....කොස් කන්ට පෙරේති...

      ඊට පස්සෙ වෙච්චි දේත් එක්ක සම්පූර්න සිද්දිය ආයෙ වෙලාවක කියන්නං හොඳද?

      ඔය මගෙ පේම පුරානෙ එක ඇපිසෝඩ් එකක්.....හෙහ්, හෙහ්,

      Delete
    4. ++++++++++++++++++ඒ කතාව ලියපන් ප්ලීස්.

      Delete
    5. ////අපෙ උන්දැ උගන්නන ඉස්කෝලෙ සමහර පොඩි එවුංගෙ නං ඇහුවම ඔලුව නරක් වෙනව. සංසර්ග පෙරේරා, සුරතාන්ත ජයවර්ධන,...ඔන්න කොහොමද ආතල් එක?//////

      සංසර්ග පෙරේරා......මටත් ඔය නම කියනවා සමහරුන්..හැබැයි සුද්ධ සිංහලෙන්.

      Delete
  25. ඔය සතිපතා පැවැත්වෙන රැස්වීමට කියන්නේ සතික කියලා මධුර කිව්වා..සාතික නෙවි...

    අපේ පන්තියෙත් කිරිදෙන කියලා පිරිමි ළමේක් හිටියට අපි නම් එයැයිගෙ නම්වලට විහිළු කලේ නෑ ඔන්න..හැබැයි ඔය සියාතු ආතා කිරිදෙන ආතා වගේ අයත් එක්ක වැඩ කරන්න සෑහෙස අත්දැකීම් ඕනෑ තමයි..

    අනේ මන්දා රවී මේක කියන්නද නොකියන්නද කියලා කල්පනා කලේ..මේ සැරෙත් සඳවතී ගැන එච්චර ලියලා නෑනේ..!!!

    ReplyDelete
    Replies
    1. Ruu,

      / අනේ මන්දා රවී මේක කියන්නද නොකියන්නද කියලා කල්පනා කලේ..මේ සැරෙත් සඳවතී ගැන එච්චර ලියලා නෑනේ..!!! /

      හරි, හරි බං ඉඳහං..කතාව තව ඉවර නෑ..මේ ඇවිල්ල තාම රබාන රත් කරනව...ඊලඟට තනිකර උන්දෙ ගැනම තමයි :)

      Delete
  26. මට නං එච්චර අවුලක් නෑ ගුරුවරිය ගැන වැඩිය විස්තර නැති උණාට. මොකද උඹ ලියන්නේ ගුරුවරියක සමග 'මගේ' ජීවිතය කියලනේ. චැක් පොයින්ට් වලදී මට තියෙන්නේ උඹේ අත්දැකීමට සම්පූර්ණ අනිත් පැත්ත. කොච්චර අහිංසකයා උණත් මූණ දැක්ක ගමන් පැත්තකට අරං ඔක්කොම මිරිකනවා... හැබැ‍යි ආසාවටවත් පොලිස් කාන්තාවක් හරි කාන්තා සෙබලියක් හරි නම් මාව චැක් කොරලා නෑ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      / කොච්චර අහිංසකයා උණත් මූණ දැක්ක ගමන් පැත්තකට අරං ඔක්කොම මිරිකනවා…/

      එහෙම සමහර මූණු තියනව මල්ලි දැක්ක ගමං දෙකක් අනින්ටමයි හිතෙන්නෙ..සිදුහත් තාපසය බුදුවෙන්ට හිතාගෙන අර බෝදි මූලයෙ වැඩ ඉන්දැද්දි උඹ එතනිං ගියානං එහෙම " බුදු වෙන එක කවද කරගන්ට බැරිද? ඊට කලින් මූට දෙකක් අනින්ට ඕන " කියල හිතල එතුමා උනත් අර කුසතණ අට මිට උඩ ඉඳගෙන ඉන්න එක ( චුන්ද කර්මාර පුත්‍රය පරිත්‍යාග කලේ අර, මතකයි නේද? ) නැඟිටල ඇවිල්ල උඹට දෙකක් අනිනව..ආය ඒකෙ දෙකක් නෑ. ඔය ලක්සනයත් මල්ලි හැමෝටම පිහිටන්නෙ නෑ..සාරාසංක්ය කල්ප ලක්සයක පෙරුම් පුරන්ට ඕමනයි.

      Delete
  27. වෙන මොකවත් නොකියමි.. හික් හික් පමණක් කීමි!

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      උඹ හික්මීයෙක්ද බොල? :)

      Delete
  28. thank u... thank u... thank u..sooooo.. much Raviiiiiii... :)
    වැඩ කරලා ඔළුව කරවෙලා හිටියේ....

    ReplyDelete
  29. කිරිදෙන කට්ටිය කිව්ව ගමම්ම ඕන් මටනං හරක් පට්ටියක් තමයි මතක් උනේ.

    ඇත්තටම දෙපරෙන්ද කියන්නේ මොකද්ද? ඕක කොච්චර අහල තිබුනත් හරි තේරුමක් දන්නේ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉන්නවය බලු නට්ටෙක්?...ගහපං ඌට පයිං පාරක්..එතකොට ඌ නැට්ට යම්තැනක ගසාගෙන දිවයන්නේද ආන්න එතන තමයි දෙපරැන්ද කියන්නෙ...ඒ කියන්නෙ බොල දෙපරැන්ද කියන්නෙ ගාත් දෙක අතර...

      Delete
  30. සුන්දර සිතිවිලි ගොන්නකි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට බොහෝමත්ම :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...