Thursday, January 23, 2014

241. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 9 - පශ්චාත් සතික රැස්වීම් මධුසාද සහ අසභ්‍ය නොවන අසභ්‍ය වදනින් මඩපාතට බැණ වැදීම.


මේ දියබෙදුම ඇනිකට් එක. ගිරිතලේ සහ මින්නේරි වැව් වලට වතුර බෙදිල යන්නෙ මෙතනින්...


ගිය සුමානෙ ලිව්ව කොටසෙත් ගුරුවරී ගැන මොකවත්ම නෑ කියල රූ තොමෝ ආඩපාලියක් කියල තිබ්බනෙ..එතකොට මම කිව්ව හරි ඔන්න ඊලඟ පාරනම් ලියනවාමයි මයි මයි කියල...

මතකයි නේ?.කිරිදෙන ගොයියා සහ සියාතු මාම ගැන පට්ටන්දරේ මම පටන් ගත්තෙ අපෙ සතික ( සාතික නෙවෙයි හරි වචනෙ සතික…. එහෙම කිව්වෙත් රූම තමයි. ) රැස්වීම ගැන කියන්ට ගිහිල්ල. අපෙ සතික රැස්වීම තිබ්බෙ සෙනසුරාද උදේ. මම වැඩ කරපු තරමක් වැඩකලේ එක්කො දවස් 6 සතියක් එහෙම නැත්තං දවස් 5 1/2 සතියක්. ප්‍රයිවට් එව්වයෙ වැඩ කරනකොට එහෙම තමයි. කිව්වට විස්වාස කරන්ට ඔයාල මේ පහුගිය අගෝස්තුවෙ තමයි මට ජීවිතේ පළවෙනි පාරට දවස් පහේ සතියක් වැඩ කරන්ට සෙට් උනේ. ඒකත් ඕල්ටර්නේටිව් වීක් එන්ඩ්ස්...සතියක් ඇර සතියක්... මැද සතිය දවස් හයේ සතියක්.

හරි ඉතිං ඔය ප්‍රස්තුත කාලෙ සෙනසුරාද සතික රැස්වීම ඉවරවෙන්නෙ කොයිවෙලාවෙද කියල අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ. සාමන්‍යයෙන් දහයට වගෙ තඩි කේක් කෑල්ලකුත් එක්ක ටී එකක් දෙනව. එකොළහ, එකොළහයි කාල වගෙ වෙනකොට රැස්වීම ඉවරයි. ඒත් ඔය සමහර එවුං ඉන්නවනෙ They Really Like To hear Their Own Voices..හෙහ්, හෙහ්, නාකි බල්ලො පුත්තලං යනව වගෙ නැවති නැවති වට පිට බල බල දෙනව ටෝක් එක..අපිට නේද?...මයිල් කෙලිං වෙනව..

අපි ඉතිං ඔහොම නොඉවසිල්ලෙං බලාගෙන ඉන්නෙ වෙන මොහොකටවත් නෙවෙයි ටවුමෙම තියන අපෙ එකෙක්ගෙම ක්වාටර්ස් එකකට සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්ට. ක්වාටර්ස් අයිති කාරය විවාහකයෙක්. ඒත් බාරියා තොමෝ සහ දරු මල්ලො හිටියෙ උගෙ ගමේ.. සතික රැස්වීම ඉවර වෙනකල් ඌත් ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒනම් අපි වගෙ දුෂ්චරිතයක නියැලෙන්ඩ එහෙම නෙවෙයි ගෙදර දුවන්ට. ක්වාටර්ස් එකේ එක යතුරක් ඌ අපිට දීල යනව.අපි ඉතිං ටී.වී. එකත් හෙමීට දාගෙන නැත්තං කැසට් එකේ සිංදුවක් දාගෙන සතුටු සාමීචියෙ යෙදෙමින් හෙමිහිට සන්තර්පණය වෙනව. නකතං වෙනකලුත් බෑ ඉතිං. බස් එකේ ගෙවල් වලට යන්ටත් එපාය. ඒ නිසා හෙමිහිට එකක් දෙකක් ඉවර කරල ඒ ඉස්සරහම තිබ්බ මධුර හෝටලෙං බත් පාර්සල් ගෙන්නගෙන කාල ගෙවල් වලට යනව. සතිකව අනිවාර්යයෙන් මේ ආතල් එක පවත්තගෙන ආව අපි. හදිස්සියෙවත් රැස්වීම නොතිබ්බ උනත් එකෙක් වත් ගෙවල් වලට ගියේ නෑ ඔය සුපුරුදු කර්තව්‍යයේ නියැලිල මිසක.

ඔතන බොන එකම නෙවෙයි පරමාර්තය. ඒක ඇවිල්ල සෝෂල් ඔකේෂන් එකක්. හැමෝටම තියනව මොකක් හෝ පහුගිය සතියෙ වෙච්චි දෙයක් කියන්ට. හෙමීට දෙක තුන ඇණ ගන්න අතරෙ ඔය කතන්දර කියල අපි හිනා වෙනව වහලෙ උළු උඩයන තරමට.

" ඒයි මේක අහපංකො ගිය අඟහරුවාද චන්දරය කරපු දෙයක්...." ඒ සුමනෙ...

" මොකද්ද බං? අපි දන්නෙ නෑනෙ. ඉතිං කියාපංකො.." ඔන්න අනික් එවුන් ඔක්කොම සාවදාන වෙනව.

" මම නෙවෙයි වීරෙ තමයි කතාව කියන්ට හොඳ...වීරෙ..මේ උඹ කියාපංකො එහෙනං…"

" මේ නිකං බොරු කියන්ට එපා හරිද? මම යනව ඔන්න යන්ට.." චන්දරය නැඟිටිනව…

" හරි, හරි බං ඌට කතාව කියන්ට දීපංකො..ඊට පස්සෙ ඌ බොරුනං කිව්වෙ උඹත් කියාපං එහෙම නෙවෙයි උනේ..මෙන්න මෙහෙමයි උනේ කියල." අනික් එවුං චන්දරය අස්වසල වාඩිකරවනව.

" හරි බං වීරෙ උඹ කියාපං කතාව.."

මම එකක් වක්කරගෙනම කතාව පටන් ගන්නව.

" පහුගිය අඟහරුවාද මචං හැමතැනම රැස්වීම්, උඹල දන්නවනෙ මේ දවස්වල යෝද ඇලේ වතුර ඇත්තෙම නෑනෙ. ඉතිං හැමතැනම වතුරට මරාගන්නව. "

උඩහ කඳුකරේට පායල මහවැලි ගඟ හිඳුනම අපිට තමයි කෙලවෙන්නෙ. පොල්ගොල්ලෙන් හරවන වතුර බෝවතැන්නෙ උමඟ හරහා ඇවිල්ල ඇලහැර ඇනිකට් එකෙන් යෝද ඇලට වැටෙනව. යෝද ඇල මහසෙන් රජ්ජුරුවො කෙරෙව්වයි කියලයි කියන්නෙ. යෝද ඇලෙන් තමයි ගිරිතලේ සහ මින්නේරිය කියන මහ වැව් දෙකටම වතුර දෙන්නෙ. මින්නේරියට පස්සෙ කවුඩුලු වැව හරහා ඒ වතුර කන්තලේ ත්‍රිකුණාමල කිට්ටුවටම යනව. ඔය යෝද ඇලෙන් තමයි අපිට වතුර ලැබෙන්නෙ. ගම්පල කොත්මලේ දිහාට ඉඩෝරෙ අල්ලල මහවැලි ගඟ හිඳුනම මින්නේරිය ගිරිතලේට වතුර දෙන්ට ඕන නිසා අපිට දෙන වතුර ප්‍රමාණය අඩු කරනව. අප්පෝ..ඒ කාලෙටනම් රස්සාව ඕනම නෑ. වතුර බෙදන්ට ගියාම සංසාරෙත් එක්ක එපා වෙනව.

අඟහරුවාද වතුර මුර ක්‍රමයක් ගැන කතා කරන්ට මමයි සුමනෙයි දෙන්නම ගියා රැස්වීම් දෙහෙකට. ඊට කලින් දවසෙ මඩපාත ආව මිනිහගෙ කුඹුර බාගෙට මැරිලයි කියල නාහෙං අඬාගෙන.

මඩපාත කියන්නෙ මහ එක විදිහක මිනිහෙක්. හරිම පෝරිසාදය. අපි එක්ක කොහොම වෙතත් මිනිහගෙම ඇලේ අනික් කුඹුරු කාරයො එක්කවත් කිසිම නෑ ඇයිහොඳයියක්. ඉතිං එහෙම මිනිහෙකුට පුලුවනිය සුහදව වතුර ටික බෙදාගන්ට. මඩයගෙ කුඹුර මැරුනෙ නැත්තං තමයි පුදුමෙ..ඒත් වැඩේ ඔයි යකාට දේසපාලන හයිය තියනව. වල් අලිය පැරදිලා පුටුව පත් වෙච්ච අලුතනෙ. කෙලින්ම ඇමතිගාවටම ගිහිල්ල තමයි නවතින්නෙ. ඒ නිසා අපි කරන්නෙ මිනිහ ඇවිල්ල ඇඬුවම ගිහිල්ල බලල පොඩ්ඩක් මොනව හරි කරන එක. රස්සාව බේරගන්ටත් එපාය..මේ ඔක්කොම කෙළි කරන්නෙ ඔය හම්බවෙන දෙකයි පණහ හින්ද නෙව. කොයිම වෙලාවකවත් ඒක අමතක කරන්ට නරකයි.

චන්දරයට බාර දුන්න වැඩේ ගිහිල්ල මඩයගෙ කුඹුර බලල මොනවහරි කරන්ට කියල. උදේ දහයට වෙලාවත් දාගත්ත. ඉතිං සුමනෙයි මායි අර කියාපු රැස්වීම් දෙකට ගිහිල්ල එනකොට ඔන්න දවල් දෙකත් පහුවෙලා. පාං කියාගන්ට බැරුව ආවෙ. ඇවිල්ල ක්වටර්ස් එක ගාව බහිනකොටම අපෙ උයන්ට හිටපු ගෝලය, පියා මල්ලි, දුවගෙන ආව ඉස්සරහට..

" මහත්තය මහත්තය අන්න මඩපාත මෙහාට ඇවිල්ල මහත්තයල ඔක්කෝටම බැණල ගියා යන්ට ඇමතිතුමා හම්බවෙන්ට යනවයි කියල "

සුමනෙයි මායි මූණෙං මූණ බලාගත්ත. ඒ මොකක්ද ඒ පාර කඩා වැටිච්චි මරාලෙ?

" ෂුවර් එකටම චන්දරය උදේ යන්න නැතුව ඇති ඕකගෙ කුඹුර බලන්ට. ඒකයි කේස් එක. මොකද සුමනෙ කරන්නෙ? "

" පියා, මඩපාත ගිහිල්ල දැං කොච්චර වෙලාද? "

" පැය බාගයක් වගෙ ඇති මහත්තය.."

" ඕක මෙලාටත් ගිහිල්ලද දන්නෙ නෑ ඇමතිය හම්බ වෙන්න. මූලග්ගිනි කාරයනෙ."


" නෑ මහත්තය තාම යන්ට නෑ. පොළොන්නරුව පැත්තට ආය තියෙන්නෙ තුනයි කාල. සම්පත් බස් එක. "

" මේ විරෙ මම කියන්නද? යමං පොඩ්ඩක් ගිහිල්ල බලල මේක මොකක් හරි කරල ෂේප් කරල දාමු. මේ යක්සය කඩාගෙන ගිහිල්ල ඇමතියට කිව්වොත් මොකෙන් මොක වෙයිද දන්නෙ නෑ. "


අපේ ක්වාටර්ස් එකේ ඉඳල යාර දෙසීයක් වගෙ තරම දුරින් තමයි තියෙන්නෙ බස් නවත්තන හන්දිය. බඩගින්නත් අමතක කරල අපි තකහණියක් ගියා හන්දියට. හන්දිය පේන්ටත් ඉස්සරවෙලා ඔන්න ඇහෙන්ට ගත්ත බණින සද්දෙ.

" මඩය නේද? " සුමනෙ බයික් එක පදින ගමන්ම ඔලුව යන්තං හරෝල ඇහුව.

" ආය වෙන කවුද? ඔය ඇහෙන්නෙ අම්ම මෝ නැතුව බණිනව. "

මඩය බණින්නෙ අපිට. ඕකුං දන්නෙ නෑ මගෙ හැටි. ඔවුං ඔක්කෝටම හොඳ පාඩමක් උගන්නලයි මම මෙදා පාර පස්ස බලන්නෙ...ඔන්න ඔහොමයි බණින්නෙ. ඔය අතරට අසබ්බිය වචන දෙක තුනකුත් අත අරිනව.

ඔය හන්දියෙ ඉන්නව සෙනඟ දහයක් දොළහක් කොයි වෙලාවෙත්. මේ මනුස්සයගෙ කැම්බැල්ලෙ හින්ද තවත් කට්ටිය පිරෙනව මොකද මේ සීන් එක කියල බලන්ට. හතර විලි ලැජ්ජාවෙ පස් වෙනි එක..සික්...අපි බයික් එක ටිකක් මෙහායිං නැවැත්තුව. මම බැහැල මඩයට කතාකලා.

" මඩපාත..මේ ..එන්ඩකො මෙහාට. "

මොනව උනත් මඩය මා එක්ක ෂේප්. මම ඔය ටවුමෙදි හම්බ උනහම උණු උණු කිඹුල්ලු, විස්කිරිඤ්ඤ, ඥාණකතා එහෙම අරන්දීල ඉඟුරු ප්ලේන් ටී ගහනව මිනිහ එක්ක. මඩය අපි ගාවට ආව.

" මොකද මඩපාත මේ කෑ
හන්නෙ? " සුමනෙ ඇහුව..

" නෑ මහත්තය. අර චන්ද්‍රසිරි මහත්තය බලන්ට කරපු දහපදුරා වැඩේ…"

" ඈ මොකක්ද බං ඒ? උඹෙ කුඹුර බලන්ට ආවෙ නැද්ද එයා? "

" කුඹුර බලන්ට ආවෙත් නං නෑ. ඒක පැත්තක තිබ්බාවෙකො. පස්සෙ හරි බලාගන්ට බැරිය කුඹුර. දහයට එනව කිව්ව. මම එකොළහ වෙනකල් හිටිය. ඒත් නෑ. ඒ පාර මම ගෙදර ගියා. මේ පැයකට විතර ඉස්සරවෙලා මට චන්ද්‍රසිරි මහත්තයව හම්බ උනා සමූපකාරෙ ගාවදි. හොඳටම බීල හිටියෙ. මම ඇහුවම මොකද මහත්තය උදේ එනවයි කියල මගෙ කුඹුර බලන්ට ආවෙ නැත්තෙ කියල අර දෙනෝ දාහක් ඉස්සරහ මට අමු තිත්ත කතාවෙන් බැන්නනෙ ඔය මනුස්සය. "

" නෑ????..මේ අපේ චන්දරේ? "


" නෑ නෙවෙයි ඔව්..අපේ චන්දරේ තමයි ආය..වෙන කවුද?...මහත්තය හිතනවනම් මම බොරු කියනවයි කියල මෙන්න එතන ඒ වෙලාවෙ හිටපු අය...මේ ඔක්කොම ඉස්සරහ තමයි මට කුණුහරපෙන් බැන්නෙ. මේ අය සාක්කි කියයි මම වෙනුවෙන්. "

මඩපාත සාක්කුවෙන් ගත්තු තනිරූල් පොතකිං ඉරාගත්තු කොළයක් මට දික් කලා. ඒ නම් ලැයිස්තුවක් 1. ජී. ඇම්. සේනාරත්න...නො. 23, යාය 29 2. ඇම්. කළුබණ්ඩා නො 5, යාය 31 ඔන්න ඔය වගෙ නම් දොළහක් තිබ්බ ඒකෙ.

" හරි, හරි මඩේ..ඔයාට අසාධාරණයක් වෙන්න ඇති. වැරැද්දක් උනාය කියල අපිත් පිළිගන්නව. එන්නකො අපි මේක කතා කරල විසඳගමු."

" හුහ්, කතා කරන්ට? බීල ඉන්න මිනිස්සු එක්ක මොන කතාද මහත්තය. ඒ මනුස්සය හොඳටම බීල ඉන්නෙ. අනික මේ රාජකාරි වෙලාවෙ එයා කොහොමද එහෙම බොන්නෙ?..මම මේක ඉහළටම ගෙනියනව. ඇමතිතුමා හම්බ වෙන්න යන්නයි මම මේ පාරට බැස්සෙ. බලමු එයාට මම කුණුහරප උගන්නනංකො මතක හිටින්ටම. "


මඩය ආයම කෑ ගහන්ට ගත්ත….

" හරි, හරි බං කලබොල නොවී ඉඳහංකො පොඩ්ඩක්. අපි මෙහෙම කරමු. එහෙම දෙයක් වෙලා තියනං චන්ද්‍රසිරි මහත්තය මඩපාතගෙං සමාව ගත්තම ඇතිනේද? මොකද කියන්නෙ? "

" බෑ..බෑ..මහත්තය ඒක හරියන්නෙ නෑ. මේකට මොකක් හරි අච්චුවක් කරන්නම ඕන...අච්චුවක් කරන්නම ඕන.."

" එහෙම නෙවෙයි මඩේ..ඔන්න ඕක අතෑරලා දාහං . මිනිස්සු කවුරු අතිනුත් වැරදි වෙනවනෙ බං...හරි වරෙං ප්ලේන්ටියක් ගහමු. අපි වැඩේ හොඳ විදිහට උඹටත් අසාදාරණයක් නොවෙන්ට විසඳන්නංකො..හරිනෙ එහෙනං…"


" අනේ මන්ද..මහත්තය කියන දේකට උඩිං යන්ටත් බෑ..හරි, හරි, එහෙනං එහෙම කරමු. ඒ මහත්තය සමාව ගන්නවනං මම වැඩේ අල්ලල දාන්නං.."

" ආන්න ඒකනෙ බං..මේ ඔක්කොම අපි ඉන්නකං විතරයිනෙ. අද අපි හිටිය..හෙට මොනව වෙයිද කවුද දන්නෙ? වරෙං වරෙං ප්ලේන්ටියක් ගහමු. "


දවල්ට කාලත් නෑ. සුමනෙටයි මටයි මාර බඩගිනි. ඉස්පිරිතාලෙ ඉස්සරහ බේකරියෙ කිඹුලො බාන වෙලාව. හප්පා උණු කිඹුලො කියන්නෙ දිව්‍ය බෝජනයක්. අනික මේ කකුල් දෙකත් වෙව්ලන තරමට බඩගිනි වෙලාවෙ.

කිඹුලො දෙන්න ගානෙ කාල ඉඟුරු පෙලේන්ටිය ගානෙත් බීල අපි සිරිවර්ධන අයියගෙ කඩෙං එළියට බැස්ස. මඩපාත බයිසිකලේ නැඟල ගෙදර ගියා. සුමනෙයි මායි නැග්ග උගෙ සී.ජී. 125 එකට. බඩගින්නත් මඟ ඇරුන කිඹුලො දෙන්න බැස්සුවයිං..

" මචං මම කියන්ටද? අපි යමු චන්දරය හම්බවෙලා මොකද්ද උනේ කියල අහගන්ට." මම සුමනෙගෙ උරෙස්සට අතක් තියල කිව්ව.

" ඕකේ..එහෙම කරමු. "

චන්දරය ඒ ටිකේ තනියම හිටියෙ. වයිෆ් බබානිස් හම්බවෙන්ට ගමේ ගිහිල්ල. උගෙ ක්වාටර්ස් එකේ දොරට ගැහුව ගැහුව මොන? මීක් කියන සද්දක්වත් නෑ.

" දෙයියෝ සාක්කි. මේකා ගේ ඇතුලෙ මැරිල වත්ද? "

සාලෙ ජනේලෙ වීදුරුවට මූණ කිට්ටු කරල ඇතුල බලන්ට මම උත්සාහ කලා. කොහෙද? එව්වට චන්දරය පත්තර අලවල. මොකවත්ම පේන්නෙ නෑ.

" ආයම ගහපං දොරට බලන්ට…" සුමනෙ ගේ වටයක් ගිහිල්ල ඇවිල්ල කිව්ව....

ඇති වීරියෙං මම ආයෙම දොරට තඩි බෑව.

" කවුද යකෝ?..." ඔන්න යාන්තමට ගේ ඇතුලෙං සද්දයක් ආව.

" චන්දරේ අඩේ මේ දොර ඇරහං බං..මොකද්ද බං මේ ගිනි දවාලෙ උඹ බුදිද? "

ඔන්න චන්දරය සරමත් ඇඳ ඇඳ ඇවිදිං දොර ඇරිය..කෙලින් ඉන්ට බෑ ඌට...හෙහ්, හෙහ්,

" හප්පච්චියේ බං උඹ හොඳටම බීල නේද මේ මහ දවාලෙ? පිස්සුද බං හැබෑටම?.."

" අර අපෙ අයිය කාරය ඇවිල්ලනෙ රට ඉඳල.."

" කවුද?......"

" අර කනත්තට එහා පාරෙ ගෙදර..මම කිව්වෙ අපෙ වයිෆ්ලගෙ දුරින් නෑයො වෙන අයිය කෙනෙක් මෙහෙ ඉන්නවය කියල. මනුස්සය ඉන්නෙ ලිබියාවෙ. ඊයෙ ගෙදර ඇවිල්ල. උදේ මම අර මඩපාතගෙ කුඹුර බලන්ට යනකොට මෙන්න මේ යකා ඉන්නව ගේ ඉස්සරහ. "


" හෙහ්, හෙහ්, උඹ ඉතිං මඩයගෙ වැඩේ අල්ලල දාල අයිය එක්ක සෙට් උනා. එහෙම නේද? "

" නෑ බං..මම ගියා මඩයගෙ කුඹුරට. දහයටනෙ එනව කිව්වෙ. දහයාමාර වෙනකල් එතන හිටිය. ඒ යක්සය ආවෙ නෑ. ඊට පස්සෙ තමයි ඇවිල්ල පොඩි ආතල් එකක් ගත්තෙ. ඉඳපංකො පොඩ්ඩක්.."


චන්දරය සරම දෑතිම්ම අලල්ගෙන කාමරේ ඇතුලට ගියා. ඒකා එලියට ආවෙ බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලේකුත් අරගෙන.ඔය කාලෙ අපි ඉතිං විස්කි සුට්ටක් අපෙ බඩට යන්නෙ ඔහොම රට ගිය ඇත්තෙක්ගෙ පිහිටෙන් තමයි.

" අම්මට උඩු..මේක කඩලත් නෑනෙ. " මම බෝතලේ හරව හරව බැලුව. කළු බල්ලයි සුදු බල්ලයි…

" පොර ගෙනල්ල බෝතල් හත අටක්ම. අපි දෙන්නයි තව මනුස්සයගෙ යාලුවෙකුයි ගැහුව බෝතලයක්ම. ඒයි මට නම් බෑ. උඹල දෙන්න ඕක ගහපල්ල. "

" මොකද සුමනෙ කරන්නෙ? "


" මොනව කරන්ටද දැං තුනහමාරයි නේද? බඩගින්නත් ඒ හැටිම නං නෑ. එහෙනං මොනවහරි කන ගමන් මේක බොමු. හරි මම මොනව හරි අරං එන්නම්…" සුමනෙ නැඟිට්ට.

" ඕන නෑ වෙන මොකවත්. අයිය ගෙනාපු සොසේජස් වගයක් අපි බයිට් එකට හැදුවෙ. ඉතුරු ටික මිනිහ මට ඔතල දුන්න. ඉඳහං අරං එන්න. "

ආය මොනවද? Black & White...සුදු බල්ලා සහ කළු බල්ලා..Cheers!!!. දිව්‍ය ඖෂධයක්ම වේවා!!! ….සුමනෙයි මායි වීදුරු උඩට උස්සල සව්දිය පිරුවා...චන්දරය වේගයෙන් ඇසි පිය ගසමින් හිනාවීගන ඒ දිහා බලා හිටිය.

වෙන වල්පල් කතා කලා මිසක මඩපාතගෙ සීන් එක ගැන සුමනෙවත් මංවත් චන්දරේගෙන් ඇහුවෙ නෑ. ඒක අපි කතාකරගත්තු දෙයක් එහෙම නෙවෙයි. නිහඬ එකඟතාවයක් වගේ.

" ආ.. ඒක නෙවෙයි මට මරු වැඩක් උනානෙ මේ දවල්…." 

ටික වෙලාවකට පස්සෙ චන්දරේ කිව්වෙ අත මිට මොලෝල මේසේට පාරකුත් ගහල.

අත මිට මොළෝල මේසෙට ගහනව කිව්වම තව මරු කතාවක් මතක් උනා ඔන්න..ඒක මම පස්සෙ වෙලාවක කියන්නං.

" මොකක්ද මරු වැඩේ?..." මොකවත්ම නොදන්න ගානට මම ඇහුව.

" අයියට සිගරට් ඕනය කියල මිනිහත් එක්ක අපි දෙන්න මගෙ බයික් එකේ ආව අර සමූපකාරෙ ගාව කඩේට. එතනදි මඩපාතය හම්බ උනානෙ. "

" ඉතිං? …"

" ඒ යකා මාව දැක්ක ගමං මට බොහොම නරක විදිහට බැන්නනෙ බං..මම රාජකාරිය හරියට කලේ නෑය කියල...අර අයියත් ඉන්න තැන.මට වස ලැජ්ජාව. මම ඒත් ඉවසල එන්ට ආව.."


" හෙහ්, හෙහ්, හෙහ්, හේ.." සුමනෙයි මායි දෙන්නම ඔන්න හිනාවෙන්ට ගත්ත

" මොකද උඹල හිනාවෙන්නෙ? "

" හෙහ්, ඉවසල එන්ට ආව නේද උඹ?..ඒක තමයි අර මඩපාතය ඇමති හම්බ වෙන්ට යන්නෙ උඹ ඌට කුණු හරපෙං ප්‍රසිද්ධියෙ අපහාස කලාය කියල පෙත්සමක් බාරදෙන්ට...."

" මොකක්? මුගෙ අම්මට...මේකා තියන්ට වටිනවද?...මම එහෙම නරක විදිහට කිසිදෙයක් කිව්වෙ නෑ බං..එහෙමත් කරනවද මම? "


මූ නෑමයි කියන්නෙ………

" එහෙම නෙමෙයි චන්දරේ ඇත්තම කියාපං..උඹට තද වෙන එකත් සාධාරණයිනෙ..මඩය කුණුහරප කිව්වම උඹත් පොඩි එකක් හරි කියන්ට ඇති. ඇත්ත කියාපංකො.." මම ඇහුව.

අපිටත් දැං පදං වීගෙන එන්නෙ…..

" හෙහ්, හෙහ්, මෙහෙමයි ඇත්තම කිව්වොත්.." චන්දරය අන්තිමට කිව්ව..

" මම කිව්වෙ මෙච්චරයි. මේ මඩපාත උඹ මාත් එක්කල පාට් දාන්ට එන්ට එපා තේරුණාද? උඹ කවුද මට රාජකාරි උගන්නන්ට? උඹෙ අම්මට *** ***** තමයි ඔය ලෑස්ති වෙන්නෙ..**** බල්ලා.....ඔන්න ඔච්චරයි මම කිව්වෙ දෙයියම්පා, බුදුම්පා.."

" හෙහ්, හෙහ්, අන්න ඒකනෙ..ඉතිං බලාපං වීරෙ..අර මඩපාතය නිකං අනීවාරතේනෙ මූට දෙස් තියන්නෙ...මූ ඔච්චරනෙ කියල තියෙන්නෙ. ඕකෙ නරක් දෙයක් මොකවත් ...කොහ්..කොහ්... "

සුමනෙ සොසේජ් කෑල්ලක් පිටගුරේ ගිහිල්ල ඇස් උඩ තියාන කහින්ඩ ගත්ත. ඇස් වල කඳුලු පුරවගෙන හිනාවෙන ගමන්ම මම සුමනෙගෙ පිටට තඩි බෑව.

ඊළඟ සෙනසුරාදා සතික සාකච්ඡාව ඉවර වෙලා අපෙ මධු සාදයෙදි ඔය කතාව මම කියල අපි ආයෙම කඳුළු පනිනකල් හිනාඋනා. ඒ සතික මධු සාදයෙ එක කතාවක්.

ගුණේත් අපේ ඔය එක යාළුවෙක්. ගුණයගෙ හිටිය යාලුවෙක් මනුස්සයට සමහර අකුරු කියවෙන්නෙ නෑ හරියට. අපිට ඇහෙන්නෙ මිනිහ කියන එක නෙවෙයි වෙනම එකක්. උදාහරණයක් විදිහට මිනිහ තයන්න වෙනුවට කියවන්නෙ කයන්න.

ඔන්න ටික දවසක් මිනිහ හිටියෙ නෑ පේන්ට. දවසක් ඒත් ඔය සතික මධු සාදය වෙලාවෙ මම ඇහුව ගුණේගෙං..

" මචං අර උඹේ යාලුව... තයන්නයි කයන්නයි මාරුවෙන්නෙ.මිනිහ දැක්කෙ නෑනෙ හුඟ දවසකින්. "

" හෙහ්, හෙහ්, ඌට මරු වැඩේනෙ වෙලා තියෙන්නෙ....මිනිහ ඔන්න ගියාලු….."


හරි ඒ කතන්දරෙත් පස්සට හොඳද? නැත්තං අදත් ගුරුවරී ගැන කිසිම දෙයක් කියන්ට බැරිවෙනව. රූ ගෙන් බැණුං අහල ඉවරයක් නැති වෙනව.

ඉතිං ඔන්න මම බැන්දයි කියමුකො.බැඳල දෙන්නත් එක්කලා ඇවිල්ල ක්වාටර්ස් එකක පදිංචි උනාය කියලත් කියමුකො.

ඔන්න ඊලඟ සෙනසුරාද කට්ටිය සතික රැස්වීම ඉවර වෙල තකහනියෙ පිටත් උනා සුපුරුදු කර්තව්‍යයට.

" එහෙනං මචං උඹ එන්නෙ නෑනෙ. අපි යනව. අපි උඹව මතක් කරන්නං වැඩේ නැඟල යද්දි. "

" හරි බං එහෙනං පලයල්ල…. මම ලබන සුමානෙ දිහාටවත් සෙට් වෙන්ට බලන්නං."
.එහෙම කියල මම බෝම දුකෙං බලා හිටිය උං යන දිහාවෙ. ඒ පළවෙනි සති අන්තය.

ඊළඟට දෙවෙනි සති අන්තයත් එහෙම්මම ගෙවිල ගියා.

" මචං එහෙනං අපි යනව. " කට්ටිය රැස්වීම ඉවර වෙලා එහෙම අත වනාගෙන ගියා.

" හරි බං ලබන සුමානෙවත් බලමු. …" මම ආයෙම කිව්ව.

ඔන්න ඊලඟ සිකුරාද උදේම්ම එතුමිය ලෑස්ති වෙනව ඉස්කෝලෙ යන්ට.

" මේ ඒයි සති දෙකකින්ම ඔයාලගෙ ගෙදර ගියේ නෑනේද? "' මම ඇහුව බත් පෙට්ටියට ගෝව මැල්ලුම බෙදන ගමං..

" ඔව් අනේ. මේ වීක් එන්ඩ් එකේ ගිහිල්ල එන්ට යමුද? " ඔසරියෙ නෙරිය කන්ණාඩියෙන් බලල හදමින් ඇය ඇහුව.

" හරි වැඩේනෙ. මට හදිසි එස්ටිමේට් එකක් කරන්න තියනව. මම කල්පනා කලේ ඉරිදවත් ඉවරයක් කරන්නෙයි කියල. "

ඇගේ මූණ ඇඹුල් උනා.

" මේ මම නාවට කමක් නෑ. මම කියන්නද? ඔයා අද ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර ගිහිල්ල එන්න. එස්ටිමේට් වැඩේ මොනවහරි ෂේප්මන්ට් එකක් දාගන්ට පුලුවන් උනොත් මම හෙට රැස්වීම ඉවරවෙලා එන්නම්. එහෙම බැරි උනොත් ඔයා ඉරිද හවස බස් එකේ එන්න. "

මම අහක බලාගෙනම කිව්ව.

" හා බලමුකො එහෙනං එහෙමවත්" බත් පෙට්ටිය ඔතාගන්න ගමන් ඇය කිව්ව.

" අද එයා ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර යනව. මචං හෙට සෙට් වෙමු. " දහයට කැන්ටිමේ තේ බොන්ට ගිහිල්ල වඩයක් හපන ගමන් මම සුමනෙ එක්ක කිව්ව.

හවස පහට වගෙ මම ගෙදර යනකොට මෙන්න මේ උන්දැ ගෙදර ඇවිල්ල. ගේ ඉස්සරහ ඉන්දවල තිබ්බ එක්සෝරා පැලවලට වතුර දානව.

" ඇයි අනේ ඔයා ගෙදර ගියෙ නැද්ද? " එයා දැක්ක ගමං හිටිතැනම ගල් ගැහිල මම ඇහුව.

" මට තනියම ගෙදර යන්න බෑ කියල හිතුන ඒයි. අනික ඔයත් තනියමනෙ. ඒ නිසා මම ආව. …" ඇය මා දිහා බලල හිනා උනා.

59 comments:

  1. මටත් ඔය වගේ ඒවා නම් ඇතිවෙන්න වෙලා තියෙනවා.
    දෙකක් දා ගන්න මොන මොන දහං ගැට ගැහුවත් ඉවෙන් වගේ දැනගන්නවද කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඩෝකින්ගේ ඩොඩෝ,

      හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ බොලේ..අර අත්ථ කිලමතානු ඥාණය කියන්නෙ... එන්න ඒකද කොහෙද ස්වයංක්‍රියාකාරීව පහළවෙනව මම හිතන්නෙ ඔය බබලත්තුන්ට අර තිත් ඉර උඩ අස්සන ගහපු විගස. ( Signing on the dotted line )

      මේ ඉං අනිද්ද දිහාට සන්තර්පණය වෙන්ට හිතාගෙන ඉන්න එව්වත් ඔවුන්දැලට දැනෙනව. ඒක නෙව කාල ඉන්ට බැරි :)

      Delete
  2. මුන්දැගෙ හැටි උන්දැ දන්නැති වෙයිද.. ඔය වගේ කේස් ගෑණුන්ට ඉවෙන් තේරෙන්නෙ .. දන්නවද.... හි හි


    හොඳම හොඳම හොඳම වැඩේ..... ඔහොම වෙලා මදි බේබද්දොන්ට... හි හි

    ReplyDelete
    Replies
    1. හිරු,

      / ඔහොම වෙලා මදි බේබද්දොන්ට. /

      ඔන්න ඔන්න ඉතිං උඹත් ඒ පාර? Et Tu හිරු? :(

      කවුද බං බේබද්දො?...අපි බොන්නෙ Only for R & R Purposes. Relax & Recreation.

      ඕකෙ වැඩේ ඔය කොච්චර පද නිරුක්ති, අර්ථ දැක්වීම්, ඇනලයිසිස් , ඩෙෆිනිෂන්ස් දුන්නත් අපෙ උන්දැත් කියන්නෙ ඕකම තමයි. " මේ ඔය බරසාර වචන වලින් මට වැඩක් නෑ. ඔයා මොනවා කිව්වත් The bottom line is you are trying to justify alocohol consumption. In my books someone who does that is called a බේබද්දා. Period."

      Delete
  3. අන්න එහෙමයි හොඳ බාරියාවෝ ....

    ReplyDelete
    Replies
    1. ප.ලි.

      දෙන්නම මාස්ටර්ස් උපාදි කාරයෝ වෙච්චි එකට උදාහරණයක් තමයි මේ මන් හිතන්නේ ..හික්

      Delete
    2. බින්දි,

      ඔය කියනවනෙ සාර්ථක විවාහ ජීවිතයකට බිරිඳ සහ සැමියා එකිනෙකාගෙ සිතුම් පැතුම්, ප්‍රර්ථනා, අපේක්ෂා ඉවෙන් වගෙ හඳුනාගන්න ඕනය කියල. මට නම් බොලේ සීයට සීයක් ඒකට එකඟ වෙන්ට බැරිය.

      අපෙ හිත පොතක් වගෙ කියවන්ට පුලුවන් නම් බාර්යාවට උනත් මම මේ කියන්නෙ ..අපෙ අප්පෝ ඒ මොන ජංජාලයක්ද? 80% වගෙ නම් ඔන්න ඉඩ දෙන්ඩ පුළුවනි. ඉතුරු 20% නම් මටම තියෙන්ට ඕනමයි. ආයෙ ඒකෙ දෙකක් එහෙම නෑ.

      Delete
  4. ගිය පාර චන්ද්‍රිකාට කියල පෝල්බටේ පාත් කරගන්න ආව සියාතු ලොක්කාගේ මුණ = මෙදා ගමේ නොගිය හාමිනේ දුටු රවිගේ මුණ

    ReplyDelete
    Replies
    1. හැක්. හැක්.... නියම කොමෙන්ට් එක.

      Delete
    2. බින්දි,

      හෙහ්, හෙහ්, ඔහෙටත් හිතෙන එව්ව අම්මප. ඇත්ත ඇත්ත...මගෙ මූණත් එ වෙලාවෙ අර මොනවද කාපු රිළවගෙ වගෙ තමයි...හෙහ්, හෙහ්,

      Delete
  5. කැලී කෑලි ඉතුරු කරනවට මං විරුද්ධයි. අඩේ අද උදේම මුඩ් එක හිනා මුඩ් එකක් උනා මේක කියවලා.. කිඹුල දෙන්නයි ප්ලේන්ටියටයි ඇහැකි එහෙනං චන්දරේ මඩයගේ අම්මට කරන්න ගිය වැඩේ නවත්තන්න. අම්මප කියවන එක නවත්තන්න හිතෙන්නෙම නෑ. මරුවට ලියනවා නේ.. බ්ලැක් ඇන්ඩ් වයිට් මං දැකලම නෑ බොලං..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තිසර.. අනේ අම්මේ දැක්කත් ආසාවයි..

      Delete
    2. දැක්කට කමක් නෑ පාවිච්චි කරන්නෙ හෙම නෑ. පේනවනෙ ලීටර් දශම 75 ක් ගහපුවම අංශක 40 ට ඇල වෙනව කියල ගහලම තියෙනව.

      Delete
  6. මොකද්දෝ ටෙලි නාට්‍යයක තිබ්බ මෙහෙම සීන් එකක්. රඟපෑවේ ජැක්සන්, පොර හිරෙන් නිදහස් වෙලා එනවා. ජැක්සන් ගේ බිරිඳට හිටියේ වීණා ද මන්ද. පොරට බිරිඳ දැක්ක ගමන් ඉතිං අර කාන්තාරේ ඉඳලා ආපු එකා වතුර පාරක් දැක්කා වගේ... දෙන්න ඉතින් ගේ අතුලේ පොඩි ආලිංගනයකට සැට් වෙනකොටම ඉස්කෝලෙ ගිය පුතා ගෙදර එනවා "තාත්තේ" කියාගෙන. අවේලාවෙ ගෙදර ආ නිසා ජැක්සන් අහනවා උඹ මේ වෙලාවෙ ඇයි ගෙදර ආවේ කියලා. කොල්ලා කියනවා තාත්තා නිදහස් වෙලා ගෙදර ආපු නිසා ලොකු ඉස්කෝලෙ මහත්තයා ඌට ගෙදර යන්න කිව්වයි කියලා. ජැක්සන් හිනාවක් දාලා කියනවා "පුතේ උඹ අනිත් දවසෙ ඉස්කෝලෙ ගියාම කියපං ඉස්කෝලෙ මහත්තයාට බොහෝම පිං කිව්වයි කියලා"

    ඒ වගේ උඹටත් දැන් තියෙන්නේ හෙන ආලවන්ත මූණක් දාලා මෙහෙම කියන්න....
    "කොච්චර හොඳද ඔයා නොගිය එක. මම මේ හිත හිත හිටියේ ඔයා ගියාම මම කොහොමද පාළුවේ තනියම ඉන්නේ කියලා"...

    ReplyDelete
    Replies
    1. තිසර,

      / ජැක්සන් හිනාවක් දාලා කියනවා "පුතේ උඹ අනිත් දවසෙ ඉස්කෝලෙ ගියාම කියපං ඉස්කෝලෙ මහත්තයාට බොහෝම පිං කිව්වයි කියලා" /

      හෙහ්, හෙහ්, සට්ටඹියට එහෙම නෙවෙයි කියන්ට තිබ්බෙ.." අම්මාපල්ල මම හිරෙං නිදහස් වෙලා ආවෙ ආයෙම ඒ පළාතෙ යන්නෙ නෑය කියල හිතාගෙන. කොහෙද මේ ඉස්කෝලෙ ලොකු මහත්තය එක්ක බෑනෙව. දැං මට කියන්නෙ ආයම ඒ යකාට පිහියෙං ඇනල හෙටම ආපහු හිරේ යන්ට කියලද? "

      / " ඒ වගේ උඹටත් දැන් තියෙන්නේ හෙන ආලවන්ත මූණක් දාලා මෙහෙම කියන්න...."කොච්චර හොඳද ඔයා නොගිය එක. මම මේ හිත හිත හිටියේ ඔයා ගියාම මම කොහොමද පාළුවේ තනියම ඉන්නේ කියලා"…" /

      මම කිව්වෙ මලේ මෙහෙමයි...

      " මොකද අනේ මේ බය වෙලා වගෙ?" එයා ඇහුව ඔන්න.

      " බය වෙලා?....නෑ..නෑ..එහෙමද ඔයාට පේන්නෙ?... මම මේ පුදුම වෙලා ගල් ගැහිල බලා හිටියෙ. ඔය මෙතන ඉන්නව දැක්කම මට අදහාගන්ට බැරුව ගියා.".

      හෙහ්, හෙහ්, ආන්න මල්ලි... බොරුවක් නෙවෙයිනෙ. සම්පූර්ණ ඇත්ත ...සම්පූර්ණ ඇත්ත. උන්දැ ඒක කොහොම තේරුම් ගත්තද කියන එක මට අදාල නොවේ..තේරුණාය ?

      Delete
  7. චන්දරය ඊට පස්සෙ මඩයගෙන් සමාව ගත්තද?
    අන්තිමට වෙලා තියෙන්නෙනං හරිම ඛේදජනක සිදුවීමක් තමයි. ඉතිං ඒ සෙනසුරාදත් වැඩේ හබක් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / චන්දරය ඊට පස්සෙ මඩයගෙන් සමාව ගත්තද? /

      හෙහ්, හෙහ්, ඒ සමා කේස් එක ඊට එහා. ඕකා මඩයගෙං සමාව ගන්ට බෑම කිව්වනෙ. ඔන්න වදෙං පොරෙං මරන්ට ගෙනියන හරකෙක් වගෙ චන්දරයව අපි ඇදගෙන ගියා කියමුකො මඩයයගෙ ගෙදර. දන්නවද මේකා ගිහිල්ල සමාව ගත්තු හැටි " මේ මඩපාත එදා සමූපකාරෙ ගාවදි මම කිව්ව ...උඹෙ අම්මට *** ***** තමයි ඔය ලෑස්ති වෙන්නෙ..**** බල්ලා...කියල. උඹෙ අම්මට *** ***** ඕන නෑ ****නැති බල්ලා.."

      /අන්තිමට වෙලා තියෙන්නෙනං හරිම ඛේදජනක සිදුවීමක් තමයි. ඉතිං ඒ සෙනසුරාදත් වැඩේ හබක් වෙන්න ඇති නේද? /

      එහෙනං ආය ඒ සෙනසුරාදත් මයෙ මූණ අර චන්ද්‍රිකාට කියල පෝල් බටේ පාත් කරගන්ට ගියපු සියාතු ලොක්කගෙ වගෙ තමයි. :(

      Delete
  8. අන්න මගේ ඉල්ලීම පරිදි ගුරුවරී කොටස් දෙකක්ම තියනව! උඹට බොහෝම ඉස්තුතියි.
    ඔය වගේ අවුල් මටත් වෙලා තියනව. අපි හිත යටින් සෑහෙන්න කැමැත්තෙන් බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක්, ඒක එහෙම නොවේය කියන වැරදි වැටහීම නිසා, නෝනල ගන්න තීරණ. හපොයි! එපා වෙනව.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      ගුරුවරිය සමඟ ජීවිතය කෝ කියල මල්ලි උඹ තමයි නිතරම මතක් කලේ...හෙහ්, හෙහ්, ස්තූතියි...:)

      Delete
  9. විවිද ප්‍රදේශ වල (තිස්සමහාරාම ඈතුලුව ) ඔබේ අත්දෑකීම් සහ නිරීක්ශන (memoirs) තවදුරටත් ලියවෙතෑයි බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. PraJay,

      ලියන්න ඕන ප්‍රා..ලියන්න ඕන..මිනිස්සු එක්ක බැහැල වැඩ කරනකොට ඔවුන්ගෙ ජීවන අත්දැකීම් ගැන අහන්ට ලැබෙන කතා අනන්තයි විශ්මයජනකයි. තිස්සමහාරාමෙ කතාවත් ඒ වගේ එකක්.

      Delete
  10. haiyo aiye oka onema ganu kenekta terenawane...Mokatada me adaren eyata wada weekend1 mawa gedara yawanne kiyala...........owata kiyanne Common sense kiyala....Ewa tiyenne ganunta witharai...Ewa deiyo dunne Pirimi Bonna dan onema gatayakata ahuwenne natuwa eyala bebaddek wena1n nidas koranta.................terunada.............

    ReplyDelete
    Replies
    1. Sacheera,

      එසේය, ගරු මැතිණියනි, ඉතා මැනවින් වටහා ගතිමි..ඔබට බොහෝ පිං :)

      Delete
  11. රවී.....අපේ චන්දරේට වඩා හපන් උඹේ චන්දරේ. අපේ චන්දරේ කිව්වේ අපේ අම්මාගේ මල්ලීය. ආදරේට කිව්වේ චන්දර බුවා කියලා. පරණ ආමි සාජන් කෙනෙක්ය. අම්මා බලන්න එන්නේ කෝඩේ ගැහුවාමය. ආච්චිගේ පෙන්ශන් දවසටත් එන එක සිරිතක්ය. අපේ ආච්චීනම් ඒ වැඩේට කැමති නැති වුනත් අම්මා මල්ලීට ආදරේය. මාමාත් පෙන්ශන් ගිහින් සිටි නිසා බීමට මුදල් හදල් ඇති නැති ගානය.

    දවසක් මාමා ආපු නිසා අම්මා සල්ලි කීයක්ද අත මිට මොලවා, චන්දරේත් ඉන්න නිසා මාළු ගේන්නට හන්දියට පිටත් කරා. චන්දර බුවා දවල්ට තියා රෑට කන්නවත් මාළු ගෙනාවේ නැත. ආවේ හතර ගාතෙන්ය. ආච්චි ගැහුවේ මාමාට නොව අපේ අම්මාටය. ඒ මාමාට සල්ලි දීපු වරදටය. අපේ ගෙදර විනෝද සමය බඳු විය. ලොකු අම්මාත් ආපු දවසට සොමිය ඩබල්ය. මාළු තියා මාමා දාගෙන ගිය මගේ ලෙදර් සෙරෙප්පු දෙකත් නැත. උඹට මතකද ඔය ලෙදර් සෙරෙප්පු පිස්සුව.

    පහුවදා කිව්වේ මාළු ලෑල්ල ඇර නොතිබු බවත්, පරණ ආමි ෆ්‍රෙන්ඩ්තෝ කෙනෙක් එක්ක සෙට්වී බිව්ව බවත්ය. මාමා නම් අපේ තාත්තාටම හරියෙන බුවෙක් විය. ඔය දෙදෙනාම හිත හොඳ මිනිස්සු විය. මේ මම රැකියාවක් කරන කාලේ වෙච්ච වැඩක්ය.

    අපේ තාත්තාට චූස් චන්දරේ කියා යාළුවෙක් විය. ඒ හාදයත් ඔය වගේම වැඩක් කරා අපේ අම්මාට. ආච්චිනම් එදා කිව්වේ ඔය කොයි චන්දරේත් එකයි කියාය.

    ReplyDelete
    Replies
    1. චූස් චන්දරේලා නැති ලෝකය පෝයදාට පන්සලේ බණ මඩුව වගේය. ඕනෑවටත් වඩා සුදුය. එහෙම කිව්වේ අපේ තාත්තාය.

      උඹේ ලිවීම ගැන හැම තිස්සේම කියන්න ගියොත් උඹට වාතයක් වෙන නිසා ඒ ගැන නොකිය ඉමි. උඹ සුන්දර බුවෙක් බව නම් ඉතා පැහැදිලිය. චන්දරේලා සුමනේලා ඊට සාක්ෂි විය යුතුය. මඩපාතයා උඹට ආදරේ ඒ නිසාය.

      Delete
    2. අරූ,

      උඹේ චන්දරේ මාමා වගෙ මිනිස්සුන්ට මම හරිම ආදරේය. ඒ උංගාව පිටට එකක් ඇතුලෙ එකක් නැතිනිසාය. සාමාන්‍යකරණයක්වත් මත්පැන් පානය ඔසවා තැබීමක් වත් ලෙස බාර නොගන්නා ලෙස ඉල්ලමින් මෙසේ කියමි. මගේ ජීවිත කාලය තුල මට හමුවූ මිනිසුන් අතරින් මත්පැන් පානය කරන්නන් අතර කුඩුකේඩු අසත්පුරුෂයින් සිටියේ දෑතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි.මත්පැන් පානයෙන් සහමුලින්ම වැළකුනවුන් එසේ වන්නන් යයි මම කිසිදු ලෙසකින් අදහස් කරන්නේ නැති බව යලිත් පැවසිය යුතුය.

      අපේ අම්මාගේ අවිවාහක වැඩිමහල් සහෝදරයෙක් අපත් සමඟ දීර්ඝ කාලයක් වාසය කොට මිය ගියේය. ඔහුගේ මරණයට හේතුවූයේ අධික මත්පැන් පානයයි. එහෙත් ඔහු කිසිම දිනක කාගේවත් ඇදකුද නොසෙවූ තමන්ගේ පාඩුවේ ජීවත් වූවකු විය. ජීවිතයේ අවසන් කාලය ඔහු බොහෝ දුක් වින්දේය. මත්පැන් පානය මගේ මව විසින් එකහෙලාම තහනම් කොට තිබූ බැවින් අතේ මුදල් හදල නොගැවසුනු ඔහු සිටියේ දැඩි කණස්සල්ලෙනි. එදවස මසකට වරක් ගෙදර පැමිණෙන මම ඔහුට සිරිතක් වශයෙන් ඔහුට පරණ අරක්කු බෝතලයක් හෝ දෙකක් ගෙන දෙන්නෙමි. ඒ වනවිට සිරුර බොහෝසේ දුර්වල වී තිබුණු ඔහුට ඒ බෝතල් දෙක මාසයකට පමණ සෑහේ.පසුව මඳක් සුව අතට හැරුණු මුත් ඔහු ඉනික්බිති හදිසියේම මිය ගියේය.

      ස්තූතියි අරූ..මේ ඉන්න ටික දවසෙ කාටවත් කරදර නොකර පුළුවන් උදව්වක් කරල මැරිල යන්ට තියේනම් ඊට වඩා මොකක්ද බං ආයෙ?

      නිවාඩුවට ගිහාම මචං යාලුවන්ට මම කතා කරනවනෙ..

      " අඩ්ඩේ වීරෙ..මචං ගිය සුමානෙත් සිසිරයයි, සෙනෙවියි අපි සෙට් වුනාම මචං උඹ ගැනයි කතා උනේ...අම්මප.."

      මම ඊට වඩා දෙයක් ජීවිතෙන් බලපොරොත්තු නොවන්නෙමි. තව දේවල් කියත හැකි මුත් පම්පෝරියක් වගෙ වෙන්ට ඉඩ තියෙන නිසා මෙතෙකින් නවතිමි. :)

      Delete
  12. බොට හොඳම වැඩේ!! සාදු ! සාදු!

    ReplyDelete
    Replies
    1. Maneka,

      සුවපත් වේවා!!! පින්වත් යුවතියනි………..

      පිදිය යුත්තන් පිදීම යනු කිසිසේත් සුළුකොට තැකිය හැකි පුණ්‍ය කර්මයක් නම් නොවේමය. එසේ හෙයින් මා වන් මහා පුරුෂයකු දෙපා අබියස දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටී තොප අත්කරගත්තාවූ මහා කුශල සම්භාරය හේතුකොටගෙන මතු ආත්ම භාවයේදී හෝ කඩදාසි බෝනික්කන්, සුබ පැතුම් පත් සහ කේක් ආකෘති නිර්මාණයවන් පුහුදුන් මිනිසුන් මුලාවේ හෙලන්නාවූත් එලොවට හෝ මෙලොවට යන දෙලොවටම කිසිදු අර්ථයක් සිදු නොකරන්නාවූත් අර්ථ ශූන්‍ය කර්මාන්තයන්ගෙන් වැළකී ජීවනෝපාය පිණිස වෙනත් යම් මනුෂ්‍ය වර්ගයා හට ප්‍රයෝජනවත් කාර්යයක නියැළීමට අවශ්‍ය ඥාණය සහ හැකියාව ඔබ හට ලැබේවායි මම සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි!!! යහපතක්ම වේවා!!!

      Delete
  13. අපරාදේ කියන්නේ මට නම් ඔය අවුල් කිසිවක් නෑ.. නෝනගෙනුයි, නැන්දම්මගෙනුයි.. දැන් පොඩි එකාගෙනුත් කිසිම ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නේ තියෙන්නේ පොලොස් කොට්ටෝරුවන්ගෙන්.. ඒත් ඉතින් පානිය දන්න නිසා අද වෙනකන් අවුලක් වෙලා නෑ එකම එක දවසක් ඇර. ඒ කතාව මම වෙලාවක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      / අපරාදේ කියන්නේ මට නම් ඔය අවුල් කිසිවක් නෑ.. නෝනගෙනුයි, නැන්දම්මගෙනුයි.. දැන් පොඩි එකාගෙනුත් කිසිම ප්‍රශ්නයක් නෑ.. /

      එහෙම වෙනව මචං..කොච්චර කිව්වත් අර බීරි අලින්ට වේණා ගහන්නැහෙ උනාම මචං වයිෆ්ල නැන්දම්මල වැඩේ අත ඇරල දානව. කිව්ව නාහන ගුරු ඉහල ගියොත් ඉහල පහල ගියොත් පහල...හෙහ්, හෙහ්,

      Delete
  14. රවිගේ කතා 3D චිත්‍රපටි වගේ. සුමනේගේ බයිට් එක පිට උගුරේ ගිය හැටි එක අතකින් හිනා කඳුළු පිහ පිහ නැත්නම් වීදුරුව අල්ලාගෙන අනිත් අතින් උගේ පිටට තඩි බෑව හැටි ත්රිමානවා මැවෙනවා. තව අර උණු උණු කිඹුලා බනිස්. අනේ කෙළ ගිලෙනවා.

    ReplyDelete
    Replies
    1. Thilaka Sitha,

      බොහොම ස්තූතියි තිලක,

      ඔබේ ලිවිල්ලත් මල් මසුරං...හෙහ්, හෙහ්..අදමයි මම කියෙව්වෙ :)

      Delete
  15. හිටහං මචං උඹට වෙච්ච වැඩේට හිනාවෙලා ඉවර වෙලා එන්නං. මේකට නම් නිවාඩුවක් දාලා හිනාවෙන්ඩ ඕනේ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      මටත් දැන් නම් මතක් වෙනකොටත් හිනා බං..ඒත් ඒ වෙලාවෙ ආය නෑ අංගුලිමාලය අර පන්නල පන්නල ගිහිල්ල එකෙක් අල්ලගෙන බැලින්නං ඌගෙ අත් දෙකම නැති කතාව අහල තියනවද? අන්න ඒ වගෙ අපේක්ෂා භංගත්වයක් තමයි මට ඇතිඋනේ...:)

      Delete
  16. යන්තම් අන්තිමට ගුරුවරී ගැන ලියල...
    හොරෙන් බොන්න හදනවට නම් යස වැඩේ!

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      / යන්තම් අන්තිමට ගුරුවරී ගැන ලියල…/

      ලියන්ටම උනානෙ බොල..නැත්තං මේකෙ කණක් ඇහිල ඉන්ටය..කෝ ගුරුවරී? කෝ ගුරුවරී?? කෝ ගුරුවරී??? :)

      / හොරෙන් බොන්න හදනවට නම් යස වැඩේ! /

      හොරෙං බොන්න හදන්නෙ බං එළිපිට බොන්න දෙන්නෙ නැති හින්ද නෙව...:)

      Delete
  17. අපි පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙඹලක් කියන්නේ නිකන්ද රවී අයියේ.. මොනා කරන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ආය මොනවද මල්ලි..තොප්පි හදන්ට පටං ගනිං ඔන්න..මිනිස්සු ඉපදෙයි ඔළු නැතුව...හෙහ්,හෙහ්,

      Delete
  18. හැක් හැක් බොලාගෙම බිරින්දැ නෙවැ.ඉතින් පුදුම නැ

    ReplyDelete
    Replies
    1. දමිත්,

      එහෙනං, එහෙනං මලේ..මේ මොනවා කියනවය ඔහෙ හැබැහැටම?

      Delete
  19. හිහි... තිසරට පිං සිද්ද වෙන්න සුදු බල්ල්ය් කලු බල්ලයි දැක්කෝ... හී.......
    අර නෝන මහත්තය ගෙදර ඉන්නව දැකල ඇතිවුණ හැගීම් බලාගන්න ඒ වෙලාවෙ උඹෙ ඔය මූණත් තහඩුව ඇදල පෙන්නන්ට පුලුවං නං පෙන්නහංකො අය්යණ්ඩි.. හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      අඩේ බං මට චිත්‍ර අඳින්ට නම් බෑ බොලේ...පොඩි කාලෙ උනත් ඉස්කෝලෙ පංතියෙදි අවුරුදු ගානක්ම මම ඇන්දෙ චිත්‍ර තුනයි. එව්ව මම දන්නව වැඩ දාල අඳින්ඩ...හෙහ්, හෙහ්, අර ඇම්ඩන් මැක්කගෙ කතාවට එනව වගෙ මොන මාතෘකාව දුන්නත් මම ඔය තුනට කොහොමහරි පටල ගන්නව.

      1. පොලේ ගිය දවසක්

      2. සරුංගල් ඇරීම

      3. ලොරියක් සහ බස් එකක් ගැටී සිදුවූ හදිසි අනතුරක්.

      මගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව ගැන දවසක ලියන්නංකො වෙනම පෝස්ට් එකක්ම..

      පලි - ආන්න ඒක අපේ හෙන්රීස් තුමා. අති දක්ස විචක්සන බාරදූර චිත්‍රසිල්පියා. උන්දැට කිව්ව නං අඳියි පන පිහිටුවල මම තුස්නිම්බූත වෙලා බලා ඉන්නව අපෙ උන්දැ මල්ගස් වලට වතුර දාන දිහා...:)

      Delete
  20. මම හැමදාමත් කියනව වගේ මේමවා 70 දශකයේ සේන සමරසිංහ, කේ.ඒ.ඩබ්ලිව්ගෙ. චිත්‍රපටිවල කෑලි වගේ නියම තිර රචනා කියන්නෙ මේවට තමයි.

    "" ඇයි අනේ ඔයා ගෙදර ගියෙ නැද්ද? " එයා දැක්ක ගමං හිටිතැනම ගල් ගැහිල මම ඇහුව.

    " මට තනියම ගෙදර යන්න බෑ කියල හිතුන ඒයි. අනික ඔයත් තනියමනෙ. ඒ නිසා මම ආව. …" ඇය මා දිහා බලල හිනා උනා. "

    මේවගේ රූප රාමුවකින් කියන්න පුළුවන් හැම අරුතක්ම මැවෙනවා.

    වජේගෙයි මාලනීගෙයි සෘංගාරාත්මක පෙම් ජවනිකාවක් වගේ ...............

    ReplyDelete
    Replies
    1. දයා,

      / වජේගෙයි මාලනීගෙයි සෘංගාරාත්මක පෙම් ජවනිකාවක් වගේ .............. /

      අනෙ අම්මපල්ල මේ දයාත් කරන දේවල්..ඊයෙ මට දෙහි කැපුව නොසෑහෙන්ට අපෙ උන්දැ..

      " මොනවද මනුස්සයෝ මේ ලියනවයි කියන්නෙ?...වයසෙ හැටියටද වැඩ? මොනවද අර ශෘංගාරාත්මක පෙම් ජවනිකා ලියනවයි කියන්නෙ මාවත් පටලවල.."

      " මොන?.... අහවල් ශෘංගාරාත්මක පෙම් ජවනිකාද? කවුද එහෙම කිව්වෙ දැං?..."

      " කියපු කෙනාගෙන් වැඩක් නෑනෙ..ඇත්තද කතාව? "

      " මොන බොරුද අනේ? "

      " බොරු තමයි. කියපු කෙනා ඇවිල්ල එහෙම බොරු කියන මනුස්සයෙක් නෙවෙයි. ඔහේ නොවැරදීම මොකක් හරි එහෙම දෙයක් ලියන්ටම ඇති. ඔන්න මම අද කිව්වයි කියල හිතාගන්ට. මම මේ කීයක් හරි හොයාගන්න රස්සාවත් නැතිවෙනව ලඟදීම ඔහෙගෙ ඔය බොලොග් කෙරුවාව හින්ද…"

      Thank You Daya..Thank you so much … :)

      Delete
  21. හිතාදර රවී මහතැන්වෙත,
    ඔබ විසින් 2014 ජනවාරි 23 දින ලියන ලද බ්ලොග් වියුණුව හා බැඳේ.

    ඔබගේ කාරුණික අවධානය පිණිස පහත කරුණු ගෙනහැර දක්වමි.

    1. විශේෂයේ “ගුරුවරියක්“ සමඟ මගේ ජීවිතය ශීර්ෂයෙන් යුතු ලිපි පෙල මෙතුවක් කල් මවිසින් අවබෝධ කරනු ලැබූයේ වැරදි ආකාරයකට බැවින් මින් මනත එම ලිපි පෙල ගුරුවරියක් සමඟ “මගේ ජීවිතය“ ලෙස තේරුම් ගැනීමට උත්සාහ කරන බව මෙයින් දන්වමි. එනයින් මින්පසු ඔබගේ වියුණුවලදී සමහර අන්තර්ගතය පිළිබඳ අදහස් දැක්වීමේදී ඉඳුරා සැලකිලිමත්වන බවද කාරුණිකව දන්වනු කැමැත්තෙමි.
    ගහන්න ගහන්න වඳින මිනිසාත් වඳින්න වඳින්න ගහන මිනිසාත් මෝඩයන් බව සැලකෙන බව ඉගෙන ගෙන ඇති බැවින් මින්පසු පෙර කියන ලද මුග්ධ කෙමෙන්ටු වලින් සපුරා වැලකෙමි.

    2. යෝධ ඇල ගැන ඔබ විසින් පෙර කරන ලද විස්තරයට අමතරව විශේෂ මතක් කිරීමක් කලහොත් සුදුසු යැයි මම සිතමි. යෝධ ඇල ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ධාතුසේන රජතුමා විසින් සැතැක්මට අඟලක බැස්ම සහිතව කරවන ලද කලාවැව හා තිසා වැව සම්බන්ධ කෙරෙන ඇල වන අතර ඔබ විසින් දක්වන ලද යෝධ ඇල ඇලහැර යෝධ ඇල ලෙස හඳුන්වනු ලබන මින්නේරිය ගිරිතලේ වැවි වෙත යා කරන ඇල වේ. ඔබ කියූ පරිදි මෙම ඇල සාදා ඇත්තේ මහසෙන් රජුය.

    3. වියුණුව කියවාගෙන යද්දී කීමට අවැසි යැයි සිතාගෙන සිටි සියළු දෑ වියුණු කියවා අවසාන වෙද්දී ඉස්මොල්ලේ ගිය බැවින් මතු සබැඳිව මෙම ලිපිය නිම කරමි.

    මෙයට
    හිතාදර
    රූ


    පලි මෙම ලිපිය මීළඟ සතික රැස්වීමේ කියවනු පිණිස.

    ReplyDelete
    Replies
    1. Ruu,

      මා හිතාදර රූ මහත්මියනි,

      මවිසින් 2014.01.23 වන දින රචිත වියුණු සටහනට ඔබගේ 2014.01.25 වන දිනැති ප්‍රතිචාරයට වැඩිමනත් වශයෙනි.

      ඔබ විසින් එහිලා සඳහන් කොට ඇති කරුණු පිළිබඳව මගේ අදහස් පහතින් දක්වමි.

      1. උපුටනය " ගහන්න ගහන්න වඳින මිනිසාත් වඳින්න වඳින්න ගහන මිනිසාත් මෝඩයන් බව සැලකෙන බව ඉගෙන ගෙන ඇති බැවින් මින්පසු පෙර කියන ලද මුග්ධ කෙමෙන්ටු වලින් සපුරා වැලකෙමි " උපුටනය අවසන්

      ඉහත ඔබ විසින් සඳහන් කිරීමට යෙදුනු ආප්තෝපදේශය එලෙස උපුටා දැක්වීමට යෙදුනේ කුමන හෙයින්ද යන්න අපැහැදිලිය. ඔබ විසින් ඉල්ලා හුන් පරිදි මම මෙවර ගුරුවරිය පිළිබඳව ලියූවෙමි. එසේ හෙයින් උක්ත උපුටා දැක්වීම අනුචිත බව මගේ අවංක හැඟීමයි.

      2. යෝධ ඇල පිළිබඳව ඔබ සඳහන් කොට ඇති සියල්ල නිවැරදිය. මවිසින් සඳහන් කරන ලද්දේ ධාතුසේන රජු විසින් කරවන ලද ලද්දේ සුප්‍රසිද්ධ යෝධඇල පිළිබඳව නොව ඇලහැර අමුණෙන් ඇරඹී දියබෙදුම අමුණෙන් අවසන්වන ඇලහැර යෝධ ඇල පිළිබඳව බව සඳහන් කිරීමට මට අතපසුවිය. ඒ මගේ ප්‍රමාද දෝෂයකි. සමාවන්න. එසේම ඒ මගේ අතපසුවීමට ඔබ විසින් කල ඌණ පූරණයට මගේ ගෞරවනීය ස්තූතිය පිළිගනු මැන.

      3. ඔබගේ මතු සබැඳිය අපේක්ෂාවෙන් සිටින්නෙමි ගරු මැතිණියනි.

      මෙයට,

      හිතාදර,

      රවී

      පලි - මෙම ලිපිය අනුයාත සතික රැස්වීමෙහිදී කියවා සභාගතකිරීමට න්‍යාය පත්‍රයට ඇතුලත් කළෙමි.

      Delete
    2. හිතාදර අරක මේක ලියන්න ගිහින් රූ මැතිණියගේ උදහසට ලක් වෙන්නෙපා. "විශ්වාසී" කියලා ලිව්වනම් හොඳා. පොඩි කාලේ රාජකාරි ලියුං ලියන්න ඉගැන්නුවා මතකනේ

      Delete
    3. සයුරි,

      අපොයි, රූ නෝම් මහත්තය මට හිතාදර කියල ඇමතුවට පස්සෙ තමයි මමත් එහෙම කිව්වෙ...අන්න එහෙමයි අපි ...තේරුණය ඔය මැඩම්ට?...හෙහ්,හෙහ්,

      Delete
  22. අනේ මොකක්ද අප්පා.. මේ තරු (***) දාලා ලිවුවාම සමහර වචන හදාගන්න වෙලා යනවනේ.. ඒ නිසා අඩුම ගානේ මුල අකුරයි, අග අකුරයි වත් ලියන්නකෝ...
    රවී.. මේ.. අර තයන්නයි කයන්නයි මාරුවෙන කෙනාගේ කතාවක් ලියන්න හොඳේ... ( මම දැනටම එහෙම කියවෙන වචන මතක් වෙලා හිනා යනවා..)
    පව් අප්පා.. මෙයාලා බොන්න කොච්චර පෙරුම් පුරනවද...:(

    ReplyDelete
    Replies
    1. සඳා,

      / අනේ මොකක්ද අප්පා.. මේ තරු (***) දාලා ලිවුවාම සමහර වචන හදාගන්න වෙලා යනවනේ.. ඒ නිසා අඩුම ගානේ මුල අකුරයි, අග අකුරයි වත් ලියන්නකෝ… /

      මේ පිස්සු කරන්ඩ ලෑස්තිවෙන්ඩ නම් එපා සඳා හොඳේ? ...මාව අමාරුවෙ දාන්ට නේද ඔය හදන්නෙ?.....:) :)

      / උඹෙ අම්මට *** ***** තමයි ඔය ලෑස්ති වෙන්නෙ..**** බල්ලා..... /

      ඔතන පලවෙනි තරු තුනෙන් කියවෙන වචනෙ අකුරු තුනයි. මුල අකුරයි අග අකුරයි දැම්මම නිකම්ම මම වචනෙ කිව වගෙ වෙනවනෙ.හෙහ්, හෙහ්...එතනම දෙවෙනි වචනෙත් එසේමයි..අකුරු තුනයි…

      / ( මම දැනටම එහෙම කියවෙන වචන මතක් වෙලා හිනා යනවා..) /

      මොනවද දැං ඔයාට එහෙම මතක් වෙච්ච වචන? කියන්ටකො බලන්ට..හරි වචනෙ නම් මම කියන්නං හරි කියල… :)

      / පව් අප්පා.. මෙයාලා බොන්න කොච්චර පෙරුම් පුරනවද...:( /

      දෙයියම්පා බොලේ......කෝටි ගානක් මංකොල්ල කන්ට බැංකුවක් කඩන්ට සැලසුම් කරනව වගෙ තමයි ඔන්න මේ අරක්කු ජුංඩක් බොන්ට ප්ලෑන් කරන්නෙ.

      Delete
  23. අර මඩපාත ගෙ කේස් එක වුනේ චන්දරේ ට නෙවෙයි රවි කියල එක්කෙනෙකුට නේද.. :D :D

    ReplyDelete
    Replies
    1. චන්දන,

      ලෝං ටයිම් නෝ සී මලේ...එන්නා මුෂ්කිල්?

      / අර මඩපාත ගෙ කේස් එක වුනේ චන්දරේ ට නෙවෙයි රවි කියල එක්කෙනෙකුට නේද.. :D :D /

      පිස්සුද බං මම නෙවෙයි...මම ඔය දෙකක් දාගත්තම ආය නෑ ඉපදෙනව මැරෙනව පේන්නෙ නෑ...නාලාගිරියයගෙ පිට උඩ කණ්ඩුලය නැග්ග වගෙ තමයි. එදා සමූපකාරෙ ගාව මට එහෙම මඩය රාජකාරි කරන හැටි කියල දෙන්ට ආව නම් මම ඕකගෙ කුළලම තමයි අඹරවන්නෙ ඔන් ද ස්පොට්..එතනම...තේරුණාද උඹට? :)

      Delete
    2. මං ටික කාලයක් බ්ලොග් වලන් දුරස් වෙලා හිටියෙ රවි අයියෙ..

      හෙහ් හෙහ්.. තේරුනා තේරුනා.. :D :D

      Delete
  24. පංකාදු පහයි උඹේ කථාව අයියේ. අපි ඒ මධු සාදවලදී ලබන වින්දනය කෙතරම් අහිංසකද? පෙරැම් පුරාගෙන බලං ඉන්නේ බේබදු කමට නෙමේ කියලා බීමෙහි අඟය දන්න අය ඇරෙන්න බයිට් ටිකට කෙල කෙල අනුන්ගේ ඕපදූප හොයන, කාට හරි ටිකක් වැඩි උනාම තැන තැන කියවලා හිනාවෙන එවුන් දන්නේ නෑ. මගේ මතකයත් අතීතයට ගියා. ලියන්න ගොඩක් දේවල් හිතට එනවා ඒත් වෙලාව තමයි ප්‍රශ්නේ. වෙනදා වගේම උඹේ ලියුම් රහයි. ජයෙන් ජය! මම මගේ බ්ලෝග් එකේ ඊ මේල් ගැජට්ටුව ඇමිනුවා. අයියට හැකි විටෙක උඹේ ලිපිනය එහි කොටපං!

    ReplyDelete
    Replies
    1. චන්දන,

      ඇත්ත බං...ඕක ඉතිං කොච්චර කිව්වත් කියල තේරුම් කරල දෙන්ට බෑ නෙව..බාර්යා පක්සෙටත් එහෙමම තමයි. මම නම් ඉතිං එයාට දේශනා තියන්ට ගියේ නෑ. ඔහෙ සද්ද නැතුව හිටිය. මට මත්පැන් කියන්නෙ අත්‍යාවශ්‍යම දෙයක් නොවන නිසා ඒක ප්‍රශ්නයක් උනේ නෑ. පසු කාලීනව උන්දැම තේරුම් ගත්ත :)

      ඊ මේල් එකට මම දැක්ක දවසෙම සබ්ස්ක්‍රයිබ් කලා. මමනෙව බොට ඔහොම එකක් එල්ලාපං කියල කිව්වෙත්..හෙහ්,හෙහ්,

      Delete
  25. ඉතින් ඊට පස්සේ සතික මධුපානොත්සව කීයකට යන්න පුළුවන් උනාද?

    ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේ වෙලාවත් පැනල තියෙද්දී මිස්ගෙන් එක එක ප්‍රශ්න අහන එවුන් වගේම තමයි ඔය රැස්වීමේ ඉන්න තමන්ගේ හඬ අහන්න කැමති එවුන් :)

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඉන්නකෝ ඉන්නකෝ ඉවසල.....ඒ විස්තරේ නැක්ස්ට් ඇපිසෝඩ් එකේ කියඤ්ඤංකො හොඳේ?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...