Tuesday, April 29, 2014

255. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 18 - චුට්ටි අයියාගේ කතාව

Google images

එක දවසක් ඔන්න රෑට බත් කන්ට අපි ඔක්කොම ඉඳගත්ත පුරුදු විදිහට. ඒත් මා ලඟ ඉඳගන්ට චුට්ටි අයිය ආවෙ නෑ. මගෙ බත් එක දෙන්ට අම්ම මා ලඟට ඇවිල්ල නැවුනම මම අම්මගෙන් ඇහුව ….. 

" කෝ අම්මෙ චුට්ටි අයිය? "

" චුට්ටි පුතාට ටිකක් සනීප මදි වගෙ. උණක් වගෙත් තියනව. ඇඟත් රිදෙනවලු.මම පස් පංගුව තම්බල දුන්න. අන්න මැද කාමරේ පෙරවගෙන නිදි.."

" ඉන්ටකො මම බලල එන්නං "


මම බත් එක එහෙම්මම පැදුරෙ තියල නැඟිට්ට.

අපෙ ගෙදර කාමර හතරක් තිබ්බ. ඉස්සරහ සාලෙ දෙපැත්තෙ කාමර දෙකෙන් පොඩි කාමරේ නිදාගත්තෙ අප්පච්චි. වම් පැත්තෙ දොරක් නැති කාමරේ අයියල තුන් දෙනා. කුස්සිය ගාවම තිබ්බ කාමරේ මං ගාවම වැඩුමල් අක්කල දෙන්නයි මායි. ඊට එහා මැද කාමරේ අම්මයි ලොකු අක්කයි.ඉස්සරහ කාමර දෙකටම රෑ තිස්සෙ කොච්චරවත් හුලං එනව. සිවිලිං එතකොට ගහල තිබ්බෙ නෑ. සිවිලිං ගැහුවෙ එක පාරක් අප්පච්චි කින්නියා වලද කොහෙද වැඩ කරද්දි අප්පච්චි එක්ක මොකක්ද අමනාපෙකට ඒ පැත්තෙ දිසාපති අප්පච්චිගෙ වැඩ තහනං කරල. මාස හයකට විතර පස්සෙ තිබ්බ පරීක්ෂණයෙන් අප්පච්චි නිදහස් වුනා. ඒ එක පාර හම්බ වෙච්ච පඩි ඇරියස් එකෙන් තමයි සිවිලිම් ගැහුවෙ..... මොනව උනත් දිසාපතියට පිං සිද්ද වෙනව සීලිම ගහගන්ට උදව් උනාට ...... අප්පච්චි එහෙම කිව්ව හිනා වෙවී.

මගෙ උරෙස්ස රිදෙන්ට ඇල්ලුව. මතකනෙ ඈ මේ කතාව කියන්නෙ මයෙ උරෙස්ස උඩ ඔලුව තියාගෙන. වමතෙ මැණික් කටුව දිහායින් හෙමිහිට පටන් ගත්තු හිරිවැටිල්ලක් වැලමිට පහු කරල බෙල්ල දක්වාම පැතිරීගෙන ආව.

මම හෙමිහිට ඇගේ සිරුරට යට වෙලා තිබ්බ වම් අත දිග අරින්ට බැලුව.

" ඇයි අත හිරිවැටිලද? "

ඈ එහෙම අහල කෙළින් වෙලා ඇඳේ ඉඳගත්ත. ආයම ලේ ගමනාගමනය යතා තත්වයට පත්වෙනකොට දැනෙන ඉදිකටු ඇනිල්ල මගෙ අත දිගේ දැනෙන්ට ගත්ත.

" ඔව් ටිකක් වගෙ "

මම මැණික් කටුවෙ ඉඳල ඉහලට අත පිරිමදිමින් කිව්ව.

" මේ ඔයාට මේ කතාව කියන්න අමාරුයි වගේනම් අපි මේක අතෑරල දාමු.."
මම ඇගේ දුකින්පිරි මුහුණ දිහා බලල හෙමිහිට කිව්ව.

" නෑ. මම ඔයාට පොරොන්දු උනානෙ මේ කතාව කියනවයි කියල. ඒ ඇරත් මගෙ හිතේ හිරවෙලා තියන මේ කතාව ඔයාට කියන එක මගෙ හිතටත් නිදහසක්.අද කතාව ඔක්කොම කියල ඉවර කලාම වැඩේ එතනිං ඉවරයි. ආයම කිසිම දවසක මගෙන් මේ ගැන අහන්නත් එපා.මම කියන්නෙත් නෑ…"

ඇය යන්තමට තොල් මෑත් කරල හිනාඋනා.

වම් අත පිරිමදින අතරෙම මමත් නැඟිටල ඈ හේත්තුවෙලා හිටිය බිත්තියටම වාරු උනා.

එක පාරටම අල්ලපු හුළං කෝඩෙත් එක්ක සට සට ගාල වහළට පොද වැස්සක් ඇදගෙන වැටෙනව වගෙ සද්දයක් ඇහුන.

" වහිනව වගේ නේද ඒයි? "

ඈ එතනම ඉස්සිල ජනේලෙන් පිටත බැලුව.

" නෑ...මොන වැස්සක්ද? පැලෙන්ට පායයි තව මාසයක්වත්...මතක නැද්ද මේ ටිකේම උදේ මීදුම.."

සතියක් දවස් පහ හයක් වගෙ වෙලේ ඉඳල උදේ පාන්දර ගස්වැල් වහගෙන බිමට බහින මීදුම ආය ඉහිරිල යන්නෙ හතත් පහුවෙලා ඉර අව්ව තදට වැටෙන්ට ගත්තට පස්සෙ. එහෙම මීදුම බාන්නෙ පෑවිල්ල අල්ල හිටින්ට කියල ඒ කාලෙ අපෙ අත්තම්ම මා දැක්ක කියල තියනව.

" ඔය වහලට වැටෙන්ට ඇත්තෙ පලු ගහේ කොළවල එකතු වෙච්චි පිණි ...හුළඟක් හමන්ට ඇති. "

මම එහෙම කියල කොට්ටෙකුත් බිත්තියට හේත්තු කරල හොඳහැටි දිග ඇදුන.

" අම්මයි ලොකු අක්කයි නිදාගත්තු මැද කාමරේ තිබ්බෙ පරණ පබිලියං යකඩ ඇඳක. ඇඳේම ස්ප්‍රීං හයි කරපු ඒ වගෙ යකඩ ඇඳක් ඔයා දැකල තියද? "

ඇය කතාව නවත්තල මගෙ වමත දෑතින්ම අරගෙන උකුල උඩ තියාගත්ත.

" ඔව්………" මම උත්තර දුන්නෙ ඔලුව හරවල ඇගෙ මුහුණ දිහාවෙ එක පාරක් බලල.

" අපෙ අම්මලගෙ මහ ගෙදර තිබ්බ ඔය ජාතියෙ ඇඳන් දෙකක්.ස්ප්‍රිං ඔක්කොම උඩිනුයි යටිනුයි එකකට එකක් සුදුපාට ගොතපු හයිය ලණු ජාතියකින් බැඳල තිබ්බෙ. ඒ ලණු උඩ තමයි මෙට්ටෙ තියෙන්නෙ. මාර සනීපයි ඒකෙ නිදාගන්නකොට. අපි පොඩි කාලෙ වැඩේම ඇඳ උඩට නැඟල උඩ පණින එක. "

" අන්න හරි, අන්න හරි, අන්න ඒ ඇඳක් තමයි මැද කාමරේ තිබ්බෙ. මම ඒ වෙලාවෙ දොර රෙද්ද මෑත් කරල කාමරේට එබිල බැලුව. මුල්ලෙ තිබ්බා ගෝන අං තට්ටු දෙකක් කකුල් වෙනුවට පාවිච්චි කරල හදපු පොඩි ලියන මේසයක්. ඕක උඩ පත්තු වෙවී තිබ්බ චිමිනි ලාම්පුවෙ දැල්ල හොඳටම අඩුකරල තිබ්බෙ.ඒත් ඒ මලානික එළියටත් ගිණි කන වැටිල චුට්ටි කුරුමිණියො දෙතුන් දෙනක් චිමිණියෙ හැප්පි හැප්පි එහෙම මෙහෙ දඟල දඟල හිටිය. "

" යකඩ ඇඳේ එහා කෙළවර ජනේලෙ අයිනෙ අපේ කළු බ්ලැන්කට් එක ඔලුවෙ ඉඳල පොරවගෙන චුට්ටි අයිය නිදාගෙන හිටිය."

" අපෙ තිබ්බ තද කළුම කළුපාට බූල් බ්ලැන්කට් එකක්.ඕක ඇඟේ ගෑවෙනකොටත් කහනව කහනව වගෙ. කම්බිවගෙ හයියයි ගොතල තියන නූල. ඒත් මොන එකක්ද මන්ද අපි ඔක්කොමල ඕකට පුදුම විදිහට ආසයි. රෑ එළිවෙනකල් පැල් බැඳගෙන වහින්ට ගන්න මහ කන්නෙ කුඹුරු මඩවන කාලෙ ඔය බ්ලැන්කට් එක යටට ගුලිඋනාම තියෙන සනීපෙ ආයෙ කියල වැඩක් නෑ."


" අපෙ ගෙදරත් තිබ්බ ඔය පරන බූල් බ්ලැන්කට් එකක්. අත්තම්ම ඒකට කිව්වෙ බුලංකේට්ටුව කියල.."
මම එහෙම කියල හිනාඋනා.

ආයම එළියෙ හීතල හුළඟක් හමාගෙන ගියාද කොහෙද....ජනෙල් තුනම වහල උනත් උඩ වාකවුළු වලින් ආපු පොඩි හුලං රැල්ලක් මදුරු දැලේ පැත්තක් එහාට මෙහාට හෙලෙව්වා. මදුරුවෙක්ගෙ රූං රූං සංගීතයක් ඇහෙන්ට ගත්ත නිසා ඇය කතාව ඔලුව හරවල ඒ දිහාවෙ හෝදිසි කලා. මම කලින් කිව්වනෙ මදුරුවො එක්ක එයයිට තිබ්බෙ පුදුම ජන්මාන්තර වෛරයක්.

" එළියෙ ඌ ඉන්නෙ "…... මම කිව්ව.

මදුරුව මගෙ කණ ලඟම වගෙ නෙට් එකේ වහල ටිකක් වෙලා ඉඳල ආයම ඉගිලිල ගියා යන්ට.

ඇයි මැරුවෙ නැත්තෙ?..ඇය එහෙම ඇහුවෙ නෑ....

" මේ... මදුරුවාගෙන් වැඩක් නෑ. කතාව කියන්ටකො. අද නිදිය ගන්නෙ නැද්ද? දැං දොළහත් පහුවෙලා මයෙ හිතේ. "

" ඔය බ්ලැන්කට් එකට අපි කිව්වෙ කළුව කියල. දවල් ඉඳලම වහින දවස්වලට කලින්ම කාල ඇඳට නඟින්ට අපි පොරකන්නෙ ඔය කලුව ඉස්සෙල්ලම අරගෙන පොරව ගන්න. අපි පොඩි එවුං හතර දෙනෙක්ට වගෙ ඇති ඒ බ්ලැන්කට් එක. ඒත් කෙළවරකට අහු උනහම රෑට එහෙ මෙහෙ දඟලල ඇඟෙන් බාගයක් එළියට එන නිසා කළුවගෙ මැද අල්ලගන්ට තමයි අපි ඔක්කොම පොර කන්නෙ. "

" චිමිනි ලාම්පුවෙ දැල්ල මම ටිකක් වැඩි කලා. හෙමිහිට ගිහිල්ල ඇඳේ ඉඳගත්ත. චුට්ටි අයිය හෙමිහිට හුස්ම ගන්න සද්දෙ මට ඇත්තටම ඇහුණද නැත්තං ඒ මට දැනිච්චි හැටිද මන්ද....එයාගෙ ඔලුව අතගාන්ට කියල මම දකුණු අත උස්සනකොටම චුට්ටි අයිය හීනෙං වගෙ මගෙ පැත්තට හැරුන. ඒ හැරිච්චි පාරට කළුව පැත්තකට ගිහිල්ල අයියගෙ ඔලුව හරිය නිරාවරණය උනා පපුවෙ මැදක් වගෙ යනකල්. "

" මොකද චුට්ටි අයිය උනේ?....හවසත් හොඳට හිටිය නේද? අපි දෙන්න එයාගෙ යාලුවො කට්ටියක් එක්ක හවස පහ වගෙ වෙනකල් හිඟුරුමල් දෙණ ලිඳ එහා පැත්තෙ හුඹහෙං මැටි අරගෙන වෙහෙරවල් හද හද හිටියෙ. හෙට අපි කතා උනේ බෝ පැළයක් හොයාගෙන ඇවිල්ල හිටවලා පල්ලෙහා ඉස්කෝලෙ නැන්දලගෙ ගෙට පහලින් ඇළට බැහැල වැලි කූඩ තුන හතරකුත් ගෙනල්ල දාල වෙහෙර කර්මාන්තය සම්පූර්ණ කරන්ට. "

" ඔව් චුට්ටි මේ රෑ වෙලා මූණ කට හේදුවටත් පස්සෙ තමයි උණ ගත්තෙ…"

" අනේ එහෙනම් හෙට අපිට අර පන්සල හදල ඉවර කරන්ට වෙන එකක් නෑ..මට එක පාරටම කියවුනා. "

" නෑ..නෑ..මේ උණ බැහැල යයි. අම්ම කසාය තම්බල දුන්න. උදේ අපි පන්සල හදල ඉවර කරමු. අයිය මගෙ අත අල්ලගෙන කිව්ව. "

" හරි එහෙම කරමු. මම හිනාඋනා…"

" රෑට මොනවද තිබ්බෙ? "

" බිත්තර……."

" මයෙ බිත්තරේ ඔයා ඉල්ලගන්ට අම්මට කියල…"
" චුට්ටි අයියට බඩගිණි නැද්ද? "

" නෑ මට කන්ට කිසිම පිරියක් නෑ. කටත් එක්ක තිත්ත රහයි..චුට්ටි අයිය මූණ ඇඹුල් කරගෙන කිව්ව. "

" මම චුට්ටි අයියගෙ බිත්තරේ කෑවෙත් නෑ.අපි දෙන්න ඉස්කෝලෙ නැන්දලගෙ ඇළෙන් වැලි අරගෙන ආවෙත් නෑ. විහාර කර්මාන්තය ඉවර උනෙත් නෑ. චුට්ටි අයිය ආයෙ...."


ඇයට ඉකි ගැහුණ..මම ඇගෙ උරහිස වටා වම් අත යවල ඇයව තුරුළු කරගත්තෙ දිග සුසුමක් පිටකරමින්.

" කීයද වෙලාව? "

ටික වෙලාවකට පස්සෙ මගෙ උරහිසට මූණ තදකරගෙනම ඇය ඇහුව.

" ඉන්න බලන්න…" මම ඇඳ ඉහත්තාවෙ තිබ්බ ටෝච් එක පත්තුකරල වේවැල් පොත් රාක්කෙ උඩින් බිත්තියෙ ගහල තිබ්බ ඔර්ලෝසුවට එල්ල කලා. " දොළහට විස්සයි."

" මේ...එක්කො මේ කතාව ඇති...ඒයි…"

" ඇති කියන්නෙ අදට ඇතිද? නැත්නම් ආය කවදාවත්ම කියන්ට ඕනෙම නැත්ද? "

" ඔයාට හිතට අමාරුනම් ආය කවදාවත් කියන්ට ඕන නෑ "


" නෑ..මම කිව්වනෙ මේ කතාව ඔයාට කියන්ටම ඕනය කියල. ඒ වගේම එහෙම කියන එක මයෙ හිතටත් ලොකු සහනයක්. අද මම මේ කතාව කියල ඉවර කරනව. "

" හරි එහෙනම් එහෙම කරමු. හෙට නිවාඩුනෙ ..උදෙම්ම නැඟිටින්ට ඕනත් නෑනෙ. "


පහුවදා මොකක් හරි නිවාඩු දවසක් කියල මට මතකයි.

" සීතලයි...මම කෝපි දෙකක් හදාගෙන එන්නම්.."

මම ඇගෙ නළල හෙමිහිට ඉඹල ඇඳෙන් නැඟිට්ට.හීටරේ ගහල වතුර උණු කරල කෝපි හදාගෙන එනකලුත් ඈ එහෙම්මම එක විදිහටම බිත්තියට හේත්තුවෙලා හිස් බැල්මෙන් බලාගෙන හිටිය.

" පහුවදා උදේ අයියට ටිකක් වගෙ හොඳවෙලා හිටිය. උණත් බැහැල... උදේට අම්ම ඉඳිආප්ප හදල තිබ්බ පොල් මැල්ලුම් එක්ක. චුට්ටි අයිය කැමතිම කෑමක්. ආය නම් ජීවිතේට ඉඳිආප්පයක් කන්ඩ හම්බ උනෙ නැතත් කමක් නෑ. කාල ඉවරවෙලා එහෙම කියලයි එයා පුටුවෙන් නැඟිට්ටෙ. ඒ වෙලාවෙ අපිට නොතේරුණාට ඒ කතාව අනාවැකියක් වගෙ උනා....."

" අම්මෙ මම යනව චුට්ටි නංගි එක්ක පල්ලෙහ ඇළට..වැලි ගේන්ඩ...කුස්සියෙ කොළොම්බුව උඩ ඉඳගෙන තේ එකක් බිබී හිටපු අම්ම ළඟට ගිහිල්ල චුට්ටි අයිය කිව්ව."


" චුට්ටි පුතා!!! කොහෙ යන්ටද? ඊයෙ රෑ සහලවාල උණ. අද යන්තමට උණ බැස්ස විතරයි යන්ට ලෑස්ති ඇළවල්වල දඟලන්ට.තියනව එහෙම නෙවෙයි ගෙදරින් එළියට එක අඩියක්. මේ චුට්ටි දුව එක්ක නෙව මොකවත්ම කරන්ට බැරි. "

" අම්ම කුස්සියෙ ඉඳං කෑ ගහනව ඇහිල මගෙ පංකොළ තොප්පිය එහෙම දාගෙන ගෙදරින් එළියට බහින්ට සූදානමින් හිටපු මම තොප්පිය ගලවල හෙමීට ආපහු කාමරේට රිංගුවා."


" ඒ පංකොළ තොප්පිය ඊට මාසෙකට වගෙ උඩදි මාතලේ මුත්තු මාරී අම්මන් කෝවිලේ වේල් පෙරහැර බලන්ට ගිය වෙලාවෙ එගොඩහ ලොකු අම්ම මට අරං දුන්නෙ. තොප්පිය කහ පාටයි. රතු පාට රිබන් එකක් තිබ්බ තොප්පිය වටේට. "

" ටික වෙලාවකට පස් සෙ ගෙදර කිසිම සද්දයක් නෑ. මම හෙමිහිට එළියට බැහැල පිළිකන්නෙ කම්බි පොටෙන් රිංගල හිඟුරුමල් දෙණ පැත්තට ගියා."

( සමාවෙන්න කතාව මැද්දට පැන්නට..ඒත් මෙතන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්ට ඕන. ඔය හිඟුරුමල් දෙණ කියන්නෙ එයාලගෙ ගෙවල් පිටිපස්සෙ බඹ තිහක් වගෙ දුරින් තියන තරමක විසාල ළිඳක්. අඩි 30 x අඩි 10 වගෙ ඇති දිග සහ පළල.වටේට ගලෙන් බැඳල පැත්තක කාන්තා පක්සයට රෙදි මාරු කරගන්ට ගඩොලින් කාමරයක් වගෙත් හදල ඒ එක්කම රෙදි අපුල්ලන්ට ටිකක් එහාට වෙන්ට කොන්ක්‍රීට් ස්ලැබ් එකක් එහෙමත් තිබ්බ.හිඟුරුමල්දෙණ කියන්නෙ පොදු ළිඳක්. ඒ කුඹුර අයිති එයාලට. ඒත් ප්‍රාදේශීය සභාවෙන් වියදම් කරල පොදු ළිඳක් විදිහට ප්‍රතිසංස්කරණය කරන්න ඇහුවම අප්පච්චි බොහොම කැමැත්තෙන් අවසර දීල තියනව.අපි ඔව්ව යනකොට ගෙනියනවය ආය...ඉන්නකං නෙව මේ ඔක්කොම සෙල්ලං..හා එහෙනං නැද්ද පුතා? දවසක් ඉස්තෝප්පුවෙ ඇඳි පුටුවෙ දිගාවෙලා බඩත් අතගගා උන්දැ එහෙම මා දැක්ක කිව්වෙ මම ඔය ගැන විස්තර ඇහුවම )

" හිඟුරුමල් දෙණ ඒ දවස්වල දැන් වගෙ හොඳට ගල් අල්ලල හදල නෑ. වටේට යන්තමට වැටක් ගහල විතරයි. ඔය පැත්තට තනියම යන එක අපිට තහනම් කරලයි තිබ්බෙ. ඒත් අපි හොරෙන් යනව. ඒ දවස්වල ඔය ළිඳ හෙවණ කරගෙන තිබ්බ මහ විසාල ගම්මාළු ගහක්. "

" ගම්මාලු ඔයා දන්නවද? " ඈ එහෙම ඇහුවෙ මගෙන්

" ඔව්...අපෙ ලොකු අම්මලගෙ ගෙදර වත්තෙ තිබ්බ මහ විසාල ගම්මාලු ගහක්. එව්වයෙ කිරි ලා රතු පාටයි. ඒ කිරි බොහොම වටින බෙහෙත් අවුසදයක්ය කියල ලොකු අම්ම ඒ දවස්වල මා එක්ක කියල තියනව…"

" අන්න හරි එව්ව තමයි ගම්මාලු කියන්නෙ. ඒ ගහ පස්සෙ ඇහැවෙලා ගියා.ඔය ගම්මාලු ගහ යට තමයි අපි අර වෙහෙරවල් හැදුවෙ.නමය වගෙ උනාට වෙලාව, ඒ වෙනකොටත් පූටක අව්ව. අපි හදපු වෙහෙරෙ මැටි යන්තමට ඉරිතලන්ට පටන් අරගෙන තිබ්බ. ඒ අහලම තිබ්බ කෙහෙල් කොරටුවෙං වේලිච්ච පරඬැල් අරගෙන මම වෙහෙර වහල දැම්ම. හෙට වෙනකොට චුට්ටි අයියට සනීප වෙයිනෙ. හෙට ඇවිල්ල මේ වැඩේ ඉවරයක් කරන්න ඕන. "

" ඔය ගම්මාලු ගහ යට පොඩි ගල්තලාවක් වගෙ තිබ්බ. ගෙදර ගියාට කරන්ට දේකුත් නැති එකේ මම ඔය ගල් තලාව උඩ වාඩිවෙලා ඔහේ කල්පනා කර කර හිටිය. අහසෙ වළකුළු පාවෙලා යනකොට එක එක හැඩේ ගන්න හැටි. එක වෙලාවක හාවෙක් වෙලා නරියෙක්ගෙන් බේරෙන්ට මහ හදිස්සියෙන් පළායන වළාකුලක් තව මොහොතකින් උකුස්සෙක් වෙලා පරෙයියෙක් පස්සෙං පන්නනව. අහස දිහාවෙ බලාගෙන ඔහොම නානාප්‍රකාර විපරීත හිතමින් මට හිටියෑකි වරුවක් උනත්."

" මට ඇත්තටම නින්ද ගියාදත් මන්ද..කොහොම හරි මම ගැස්සිල වටපිට බැලුවෙ බිසෝගෙ කෑගැහිල්ලට. බිසෝ අපෙ අම්මට උදව්වට හිටියෙ ඉවුම් පිහුම් වලට. "

" චුට්ටි දෙයියා..විගැහිං එන්ටෝ…"

" බිසෝ කම්බි වැට ගාවට ඇවිල්ල මේ පැත්ත බලාගෙන කෑ ගහනව. උන්දැ දන්නව මම මෙතන ගම්මාලු ගහ යට ඉන්ට බොහොම මනාප විත්තිය.වෙනදත් නාවන්ට,  නැත්තං දවල්ට බත් කන්ට කියල බිසෝ ඔහොම මහ හයියෙං මට අඬ ගැහුවට අද මට උන්දැගෙ කට අඬේ වෙනසක් තේරුණා. ගල් තලාවෙන් නැඟිට්ට ගමං මම එක පිම්මට ගෙදර දිව්ව. "

" චූටි මහත්තයට අමාරුයි. කලන්තයක් ඇල්ලුව. 
මාතලේ ඉස්පිරිතාලෙ ගෙනියන්ටයි යන්නෙ. "

" බිසෝ ඇස් දෙකත් ලොකු කරගෙන හති දදා කිව්ව. "

" අපෙ මිදුලෙ අඹගහ යට නවත්තල තිබ්බ තලකොටුවෙ ගෙදර කලු මයිනර් එක.  හදිස්සියට 
ගමේ කවුරුහරි ඉස්පිරිතාලෙ එහෙම අරන් යන්ට තිබ්බෙ එච්චරයි. ලොකු අයියයි අම්මයි පිටි පස්සෙ සීට් එකේ හිටිය ඉඳගෙන. අම්මගෙ ඇස් දෙක පුරවල කඳුලු. ඒ දෙන්නට මැදි වෙලා හිටියෙ චූටි අයිය. ඉස්කෝල් අඳින සුදු කමිසෙ ඇඳල හිටියෙ. උදේ තිබ්බ ප්‍රාණවත් ගතිය මොකවත් නෑ. මූණ කටත් එක්ක හේබා ගිහිල්ල. අම්මගෙ උරහිසට හේත්තුවෙලා හිටිය ඇසුත් බාගෙට පියාගෙන. "

" කාර් එකේ ඇරිච්චි දොර අල්ලගෙන මම එහෙම්මම චුට්ටි අයිය දිහා බලා හිටිය ගල් ගැහිල වගෙ.ටිකකින් මම ඇවිල්ල ඉන්නව කියල දැනිලද කොහෙද එයා ඇස් ඇරිය. ඔලුව උස්සල මා දිහා බලල අමාරුවෙන් තොල් මෑත් කරල හිනා උනා."

" චුට්ටි නංගි මම එන්නම්...එයා හෙමිහිට කිව්ව."

" චුට්ටි අයිය ගිහිල්ල සනීප වෙලා එන්න. අපෙ වෙහෙර වේලිල පුපුරන්ට දෙන්නෙ නැතුව මම බලාගන්නං ඔයා එනකල්. දැනුත් මම වේලිච්ච කෙහෙල් කොල වලින් වහලයි ආවෙ. ඔයා ආවට පස්සෙ අපි වැලි ගෙනල්ල දාල පන්සලේ වැඩේ ඉවරයක් කරමු. මම එහෙම්මම මයිනර් එකේ දොර අල්ලගෙන දිගටම කියවගෙන ගියා හුස්මත් නාල්ලා. "

" හරි චුට්ටි අපි එහෙම කරමු. චුට්ටි අයිය ආයෙම මා දිහා බලල හිනාඋනා."

" මාතලේට යනකොට අපෙ ගෙදර ඉස්සර පාරෙන් ගිහිල්ල දකුණට හරවල දෙණියෙ කඩ මණ්ඩිය ගාවට යනකල් තාර පාර යස අගේට පේනව හිඟුරු මල්දෙණ ගාව ගම්මාලු ගහ යටට ගියාම. මයිනර් එක ගේට්ටුවෙන් පාරට දාපු ගමන්ම මම එක පිම්මට වැටෙන් පැනල දුවගෙන ගියා ගම්මාලු ගහ යටට. මයිනර් එක හතරෙ බෝක්කුව ළඟදි පාර හරහ පැන්න කලු  හරකෙකුට ඉඩ දීල නවත්තගෙන හිටිය විනාඩියක් විතර. ඊට පස්සෙ කන්ද නැඟල දෙණියෙ කඩ මණ්ඩිය පහු කරල නොපෙනී ගියා. "

" මම එහෙමම තව ටික වෙලාවක් ඉඳල ආපහු ගෙදර එන්ට හැරුන. හුලඟටද කොහෙද මම අර වෙහෙර වහපු පරඬැල් කොල  පෙරලිලා ගිහිල්ල. මේක හරි යන්නෙ නෑ. මෙහෙම ගියොත් චුට්ටි අයිය හෙට ආපහු එනකොට මේ වෙහෙරෙන් ගන්ඩ දෙයක් නැතිවෙයි. එහෙම හිතල මම තව පරඬැල් ගෙනල්ල වෙහෙර හොඳට වහල, දෙපැත්තෙං හුලඟෙ නොයන්ට බර වෙන්ට  ඒ අහලිං පහලිං හොයා ගත්ත බිඳිච්චි 
පරණ  මුට්ටි කබලකුයි කැඩිච්චි බාල්දියකුයි තිබ්බ. "

69 comments:

  1. මෙච්චරකල් හිනස්සල හිනස්සල අද නං අපිව ඇඬෙව්වා රවි තුමෝ!

    ReplyDelete
    Replies
    1. බළල්,

      ජීවිතේ එහෙම තමයි බං..වෙලාවකට හිනාවෙනවා... වෙලාවකට අඬනවා,අඬ අඬ හිනාවෙනවා, හිනාවෙවී අඬනවා ...ඔය ඔක්කොම එකතුවෙලා කලවම් වෙච්චි මිශ්‍රණය තමයි..මැඩම්....ජී...වි...ත...ය.

      Delete
  2. මේකනම් සෑහෙන දුකයි...අමාරුවෙන් බැලුවේ. අපේ තාත්තගේ නංගි කෙනෙකුත් පොඩි කාලේ නැති වෙලා තියනවා මී මැස් මොරේ හැදිලා.:(

    ReplyDelete
    Replies
    1. සයුරි,

      සමාවෙන්න..හිතට දුකක් ඇතිඋනානම්… :(

      Delete
  3. අඩේ මොනා කියන්නද කියල කල්පනා කලේ...

    අපට ඔය සමාන අත්දැකීම් නැතත් මේ වගේ පෝස්ටුවක් කියෙව්වම දුක හිතෙනව....
    එතකොට චුට්ටි අය්ය ආපහු සෙල්ලං කරන්න ආවෙ නෑ නේද................................????? :(

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      එහෙම තමයි මල්ලි...පර දුක්ඛ දුක්ඛ කියල බුදුහාමුදුරුවන්ගෙ ඉරියව්වකුත් තියනව. අනුන්ගේ දුකෙහිදී දුක් වීම. ගල් විහාරෙ තියෙන හිටි පිළිමය ඒ වර්ගයෙ එකක්.

      Delete
  4. අපේ අම්මගෙත් ලොකුම අය්යා ලියුකෙමියාවෙන් නැතිවෙලා වයස 18න් .මට කියවද්දී මැවිලා පෙනුනේ අපේ අම්මාවයී මාමාවයි.ඇත්තටම මන් එයාව දැකල නැති උනත් මන් photos වලින් දැකල තියෙනවා.එයාව මතක් උනාම අපේ අත්තම්මා තාමත් අඩනවා ඒක වෙලා අවුරුදු 35ක් විතර උනත්.

    දුක හිතෙනවා උනත් ලස්සනට ලියල තියෙනවා හැමදේම මැවිලා පෙනුන.

    ReplyDelete
    Replies
    1. Sacheera,

      ඒ වගෙ වයසකදි නැතිඋනහම දරාගන්ට අමාරුයි., විශේෂයෙන්ම දෙමව්පියන්ට..:( හොරු අරගෙන ගියාවගෙ කියල කියන්නෙ ඒ එහෙම එව්වට ....

      ස්තූතියි සචිනි....

      Delete
  5. අද නම් කතාව එකම ෆිලින් එකකින් කියෙව්වා.කියා ගන්න බැරි පාළුවක් කතාව ඇතුලේ තිබුනා රවීයියේ.....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්....

      Delete
  6. මොනවත් කියන්න බෑ බං. ඇස් දෙකේ කඳුළු.....

    ReplyDelete
    Replies
    1. දුකයි තමයි බං...මොනව කරන්නද ඉතිං?

      Delete
  7. Replies
    1. No need of comments, Machang...I know how you feel :)

      Delete
  8. අදනම් අන්තිම කණගා‍ටුදායකයි කතාව. මට හිතුන දේවල් සහ මතක් වුන දේවල් මෙතන කියන්න ඕනේ නෑ. මූඩ් එක තවත් අප්සෙට් වෙනවා. මම කොහොමත් එච්චර හොන්ඩ්න්හ මූඩ් එකා නෙවෙයි හිටියෙත්.

    ඒක හන්දා අතුරු කතා.


    අර කියන විදියේ යකඩ ඇඳක් අපේ ගෙදරත් තිබ්බා (එහෙ තාම තියෙනවා). ඒකේ ස්ප්‍රිං කැඩිලා ඒ තට්‍ටුව අයින් කරලා ඒ වෙනුවට සාමාන්‍ය ඇඳක වගේ මෙට්ටයක් දාලා තමයි නිදාගන්නේ. ඕකෙ උඩ වියලකුත් තියෙනවානේ. ඕකෙ ඔලුව පැත්තෙයි කකුල් පැත්තෙයි තියෙන යකඩ වැට වගේ එකේ ජොයින්ට් වල නිකං සිංහ ඔලු නැතිනම් නමිනං ගෙඩි වගේ හැඩේ තියෙන යකඩ සැරසිල්ලක් තිබ්බා. ඉය කූරු අස්සෙන් මම ඉස්සර ඔලුව දාලා රිංගනවා. ඊට පස්සෙ පැත්ත හැරිලා මුලු ඇඟම රිංගවනවා. පස්සේ ඔලුව ලොකු උණාට පස්සේ ඕකෙන් රිංගන්න බැරුව ගියා. එහෙම වෙලා දවසක් ඔලුව හිර වුනානේ බං.

    අපේ ගෙදර තිබ්බා බුරුත සහ ගම්මාලු ලීක්කවලම් කරලා හදපු පු‍ටු හයක්. ගම්මාලු ලීය තද දුඹුරු පාටයි නේද? තව ගම්මාලු ලීයෙන් හදපු කෝප්පෙකද කොහෙද වතුර බොනවා මොකක්ද ලෙඩකට. මට ඒක මතක නෑ.

    ඔන්න උඹ නේරු ගැන කියනකොට මම සරනේරු ගැන කියන්න ගත්තා.

    ReplyDelete
    Replies
    1. ගම්මළු නෙමෙයි බං කොතල හිඹටු..

      Delete
    2. හෙන්රි,

      / පස්සේ ඔලුව ලොකු උණාට පස්සේ ඕකෙන් රිංගන්න බැරුව ගියා. එහෙම වෙලා දවසක් ඔලුව හිර වුනානේ බං. /

      එහෙම හිර උනහම ගලෝගන්න ඔප්ෂන්ස් දෙකක් තියනව බං...ඇඳ යට ගහනව හෙණ ගිණි මැලයක්.ඒකෙ රස්නෙට යකඩ ඇඳ ප්‍රසාරණය වෙනව. එතකොට අර යකඩ කූරු දෙක අතර ස්පේස් එක වැඩිවෙලා උඹේ ඔලුව ඔටෝ ගැලවෙනව.

      එහෙම නැත්තං අනික් ක්‍රමේ උඹේ පස්චාත් බාගයට අයිස් පලං ගහනව. මම අර දවසක් කිව්වෙ අපෙ ආතම්මලගෙ ගමේ ( ආතම්ම = අප්පච්චිගෙ අම්ම ) තිරික්කල රේස් වලදි හරකට කරන්නෙ..අන්න එහෙම..දිගටම ඔහොම අයිස් පලං ගහන කොට උඹේ ඇඟ හීතල වෙලා සංකෝචනය වෙනව. එතකොට ඔලුවෙ පරිමාව අඩුවෙලා ගලවගන්ට පුලුවන් වෙනව.

      උඹ එහෙම ඔලුව හිරවෙලා ගලවගන්ට බැරුව හිටියයි කියල කිව්වම මට මතක් උනේ අර කොටි දෙනගෙයි නරියගෙයි කතාව...දන්නවනෙ අර නරිය නුග ගහක දෙබලක් අස්සෙං පැන්න..කොටි දෙනත් ඒ පස්සෙං පනින්ට ගිහිල්ල කඳ මැදින්ම හිර උනේ..දන්නෙ නෑය කිව්ව? ඇයි බං අර අන්තිමට කොටි දෙන කියන්නෙ මට දුක *** ******* ඉස්සර මෙව්ව.....කතාව ඔක්කොම කියන්ට තිබ්බ ඒත් මේ අද ලියපු පෝස්ට් එකේ හැටියට ඒ වගෙ කතාවක් ලියන එක මයෙ හිතට හරි නෑ...:(

      / අපේ ගෙදර තිබ්බා බුරුත සහ ගම්මාලු ලීක්කවලම් කරලා හදපු පු‍ටු හයක්.

      එහෙම තියනව ඔය හොඳ වටින ලී කළවමේ හදාපු පුටු, මේස, කනප්පු එහෙම..නුවර ක්වීන්ස් එකේ හිටපු ගමං ඔය පරණ ගෘහ භාණ්ඩ ප්‍රදර්ශන තියනව. මමයි අපෙ උන්දැයි ඔව්ව දැක්කම යනව. අස්ප ගණං..මේ ළඟදි තිබ්බ අට පට්ටම් කනප්පුවක් ලී වර්ග අටකින් හදල. මාර ලස්සනයි...හප්පා..ගානත් ඒ වගේ තමයි පණස් දාහක් කිව්ව. කළුවර, බුරුත, නැදුන්, කුඹුක්, ගම්මාළු, පානක්කා, තේක්ක, තව හුරී මාර ද කොහෙද....

      / ගම්මාලු ලීය තද දුඹුරු පාටයි නේද? /

      යස්...ගම්මාලු දුඹුරු පාටයි තමයි.

      / තව ගම්මාලු ලීයෙන් හදපු කෝප්පෙකද කොහෙද වතුර බොනවා මොකක්ද ලෙඩකට. මට ඒක මතක නෑ. /

      යකෝ ගම්මාලු කෝප්පෙකිං හැමදාම වතුර බොන්ඩ ගත්තොත් බඩ ගිහිල්ලම මැරිල යාවි. ගම්මාලු වල තියනව බඩ විරේක ගුණයක්...

      මාතලන් කිව්ව වගෙ ඔය උඹ කියන්නෙ කොතල හිඹුටු කෝප්පෙකිං වතුර බොන එක ගැන. දියවැඩියාවට හොඳයි කියනව එහෙම බොන එක...

      Delete
    3. තෑන්ක්ස් මචංලා. හොඳ වෙලාවට මම තාම එහෙම වතුර බිව්වේ නෑ. :D

      Delete
    4. අර ඔප්ෂන්ස් ගැන අමතක වුනානේ මචං. අම්මා හෙම මතක් කරයි කියහං උඹ ඔය ගෙදරට කතා කරන වෙලාවක.

      Delete
    5. Henry,

      " අම්මෙ එහෙනම් මම තියන්නම්...අවුලක් නෑ..මම සනීපෙන් ඉන්නව. ගෙදර ඔක්කොමල මතක් කලාය කියන්න...ආ..පොඩ්ඩෙන් නං මතක බැරි වෙනව. මගෙ යාලුවෙක් අම්මව මතක් කරන්ටය කිව්ව…

      " ඒක තමයි මේ ඊයෙ පෙරෙයිද හෙම්බිරිස්සාවක්වත් නැතුව මට කිඹුහුං ගියේ..ඉතිං කවුද පුතේ ඔය යාලුව? මමත් දන්න කෙනෙක්ද?.."

      " නෑ අම්ම දන්න කෙනෙක් නෙවෙයි."

      " ඒක මිසක්...මම ඒත් හිතුව අර දවසක් හොඳටම බීල මාව උස්සගෙන නැටුවෙ...කවුද අර? ඔන්න බලන්ටකො මට මතක නැති හැටියක්. "

      " අම්මට තාම එව්ව මතකද?.... හෙහ්,හෙහ්, ඒ අර විජේනෙ. "

      " එහෙම අමතක වෙයිද ඒ වගේ එකක්...හරි, හරි විජේසිංහ තමයි ඒ පුතාගෙ නම...එයාම නේද අර ඔයාගෙ හෝම් කමිං එක දවසෙ අර කුණුහරප සිංදුවක් කිව්වෙ?...අර මොකක්ද මේ..දෙන්ඩ පටන්ගති..දෙන්ඩ පටන්ගති..ද මොකක්ද කියල…"

      " අනේ මන්ද මේ අම්ම එක්ක නම් බෑ...දැං අවුරුදු කීයක්ද? තවම එව්ව මතක තියෙන හැටි...ඒ සිංදුවක් කිව්වෙ විජේ නෙවෙයි..ඒ අර උපුල්නෙ….හරි හරි මේ දැං එව්ව ඇති ..මගෙ බිල යනව මෙහෙ.. "

      " හරි..පුතා එහෙනම් අර කවුද මාව මතක් කරන්ට කියල කියපු පුතාගෙ නම?...හෙන්රි..ආ. හරි හෙන්රි පුතාට කියන්ට මම ස්තූති කලාය කියල..අන්න හොඳ වැදගත් දරුවො..වැඩිහිටියන්ට ගෞරව කරන්ට දන්න උදවිය..පුතත් එහෙනම් ඒ හෙන්රි ළමයගෙ අම්මව නිතරම මතක් කරන්ට..නැත්තං හරි නෑ නෙව.."

      " අපොයි මම නිතරම මතක කරන අම්මෙ..නිතරම මතක් කරනව...උදේ හවස කෑමට පෙර ..උදේ හවස කෑමට පෙර..අපි එහෙමයි…"

      " හරි එහෙනම් පුතාට බුදු සරණයි.....අර හෙන්රි ළමයටත් බුදු සරණයි…"

      " හරි අම්මෙ එහෙනම් තියන්නං..බුදු සරණයි!!! "

      Delete
  9. මම කියවන්නෙත් නැහැ බොස්......මගේ නංගි නැති උනෙත් ඩෙංගු වලින් මේ ගිය අවුරුද්දේ.....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ජෙනරාල්!!!

      ඔබේ හිතට වේදනාවක් උනානම්...ඒ වගේම අමතක කරන්න හදන දෙයක් මතක් උනානම්…:(

      Delete
  10. කතාව ගෑන කොමෙන්ට් නොකර ප්‍රශ්නයක් අහන්නද?

    /ඒ ගහ පස්සෙ ඇහැවෙලා ගියා/

    ඇහැ වෙනවා කියන්නෙ කණාටු වෙනවා කියන එකද? තව තේරුම් තියනවද?
    ගස් වල අතු කපනවටත් අහිනවා කියනව නේ?

    ReplyDelete
    Replies
    1. Pra,

      ඇහැ වෙනවා කියන්නෙ ප්‍රා ගහක් අකාලෙ වඳවෙනව නැත්නම් මැරිල යනව කියන එක.

      අහිනව නැත්නම් පාහිනව කියන්නෙ ගස්වල අතු කපනවට තමයි.

      Delete
  11. ප්‍රා අහල තියෙන එක අහන්න තමයි මාත් කඩාගෙන බිඳගෙන පහලට ආවෙ...

    මේ බාසාවට මං හෙන ආසයි අප්පා... ( ඒ අස්සෙ ඉතිං කල්පනා වෙන්නෙ “ දැං මේක “ඈ” කියෙව්වොත් හනේ අම්මපා මං මේ කතාව කිව්වෙ මෙහෙමද... මේ මනුස්සයා ඇදබාන බේගල් කියල නිකටේ අත තියාගනියි...” කියල... හි හි)

    ReplyDelete
    Replies
    1. Hiru,

      / මේ මනුස්සයා ඇදබාන බේගල් කියල නිකටේ අත තියාගනියි...” කියල... හි හි) /

      අම්මාපල්ල උඹටනං දිවැස්ද කොහෙද.....හෙහ්,හෙහ්, මේ සති දෙහෙකට කලියෙං මම ඔය එවුන්දැ ගැන ලියාපු සටහන් දෙක තුනක් පෙන්නපුවාම කියවල අහක වෙලා ඔය විදිහටම කිව්ව නෙව...

      Delete
  12. හ්ම්ම්ම්... අද කතාව හරිම සංවේදියි රවී තුමා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මානවිකා......:)

      Delete
  13. අදනම් කියන්න දෙයක් නැ ලොක්ක.ස්ටෘක් වෙලා

    ReplyDelete
    Replies
    1. එහෙමද බං?.....:) :)

      Delete
  14. රවී......තදබල කණගාටුවක්..කම්පනයක් ඇතිකරපු කතාවක්. ඒ උඹේ ලියවීමේ රටාවත් ,ඒ අතීත ආවර්ජනයත් දෙකම හරි හරියට පෑහෙන නිසා වෙන්න ඇති. මේ සියළු දෙයක්ම මගේ ඉදිරියේ මැවී පෙනුනා. අවසානයේ ඒ සියල්ලක්ම මහා කන්දක් තදබල නායයාමකට අහුවෙලා වගේ කඩාගෙන දෝරේ ගලාගෙන ගියා. මේ කතාව ඇය කෙසේ කියවාවිදැයි මට එකවරම හිතුනා. ජීවිතය ගැන තව තවත් හිතන්නත් තවත් සැහැල්ලුවිය යුතු බවත් පසක් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. Aru,

      / මේ කතාව ඇය කෙසේ කියවාවිදැයි මට එකවරම හිතුනා. /

      මම නොකිව්වොත් සාමාන්‍යයෙන් එයා බ්ලොග් එක බලන්නෙ නෑ. අවුරුද්දට ආපු වෙලාවෙ මම කිව්ව චුට්ටි අයිය ගැන මම ලියනව කියල. මොකවත් කිව්වෙ නෑ.

      / ජීවිතය ගැන තව තවත් හිතන්නත් තවත් සැහැල්ලුවිය යුතු බවත් පසක් කරගත්තා. /

      ජීවිතේ අනිත්‍යයයි කියල හැමදාම ඉහෙන ගත්තතත් ඒක එහෙමමමයි සම්පූර්ණ ඇත්තමයි කියල සහසුද්දෙන්ම දැනගෙන හිටියත් අපි ඒ ගැන නොහිතා ජීවිතේ ගෙවන්නෙ. එක අතකට එහෙම තමයි වෙන්නත් ඕන. අපි මැරෙනවයි කියල දන්නව උනාට ඕක කොයි වෙලාවෙත් ඔලුවෙ තියාගෙන ජීවත් උනහැක? ඒත් හදවතට ඉතාම සමීප අපි බොක්කෙන්ම ආදරය කරන කෙනෙක් එක පාරටම හොරු අරගෙන ගියා වගෙ නැතිඋනහම ඒක දරාගන්ට අමාරුයි. ඒත් එහෙම කියලත් බෑනෙ බං ජීවිතය ඉදිරියට යා යුතුයි..... Life Must Go On

      Delete
  15. මේ පෝස්ට් එක ඇතුලේ වෙන මොකුත් නොලිය ඉන්නමයි හිතෙන්නේ. ඒත් අර මැටියෙන් විහාර හදන එක නිසා මේ ටික ලියන්න හිතුනා. අපිත් පන්සල් හැදුවා පොඩි කාලේ ගමේ ඉන්නකොට. වෙහෙර හදලා ඒවා වේලෙන්න අර උඹ ලිව්වා වගේම කෙසෙල් පරඬැල් වලින් තමයි වහලා එන්නේ. රෑට වැස්සොත් උදේට අර ඔක්කොම හේදිලා ගිහිල්ලා. අඬන්නේ නැතුව ආපහු හදනවා. අපේ ජීවිත වගේ.

    ඊට පස්සේ අපි සොහොන් කොත් හැදුවා මැටියෙන්. කුරුල්ලෙක් එහෙම මැරිලා වැටිලා හිටියොත් , ඌව වලදාලා ඒ උඩ මැටියෙන් කොතක් හදනවා. මල් කඩලා ගහනවා. හරි පාළුවක් දැණෙනවා රවී මෙහෙම ලියනකොට.

    ReplyDelete
    Replies
    1. අරූ,

      පොල් කට්ටෙ මැටිගාල උඩට කොතක් හදල වෙහෙරවල් හැදුව අපි කාලයක්. මැටි වේලෙන්ට හිඟුරු මල් ගහනව ඒ කරල. මැට්ට වේලෙනකොට මල් අපූරුවට අල්ලල හිටිනව.

      Delete
    2. අනේ මචං අරූ එහෙම කරාන්ට එපා මචං. උඹත් සරණේරු ගැන කතා කරහං මං වගේ. මේක නිදහස් සිතුවිලිනේ. අර රන්දිල් මහගෙටත් නිදහස තියෙන්නේ ඇවිත් මොනවා හරි කියලා යන්න. ඈ? ලියන්න දෙයක් නෑ කිව්වා? මචං ඕනෙ තරම් ඕපනිංස් තියෙනවා: උඹ දකින්නේ නෑ ඒවා. මේ බලපං. දැන් මේ වාක්‍ය උපුට ගත්තොත්...

      >>මාතලේට යනකොට අපෙ ගෙදර ඉස්සර පාරෙන් ගිහිල්ල දකුණට හරවල දෙණියෙ කඩ මණ්ඩිය ගාවට යනකල් තාර පාර යස අගේට පේනව හිඟුරු මල්දෙණ ගාව ගම්මාලු ගහ යටට ගියාම. මයිනර් එක ගේට්ටුවෙන් පාරට දාපු ගමන්ම මම එක පිම්මට වැටෙන් පැනල දුවගෙන ගියා ගම්මාලු ගහ යටට. මයිනර් එක හතරෙ බෝක්කුව ළඟදි පාර හරහ පැන්න කලු හරකෙකුට ඉඩ දීල නවත්තගෙන හිටිය විනාඩියක් විතර. ඊට පස්සෙ කන්ද නැඟල දෙණියෙ කඩ මණ්ඩිය පහු කරල නොපෙනී ගියා. " <<

      මෙන්න මෙහෙම පටං ගනිං. බලහං ඕපනිංම කීයක්ද කියලා.

      1. මාතලේ කිව්වම මට මතක් වෙන්නේ...
      2. දකුණට හරවලා කිව්වම මට මතක් වෙන්නේ...
      3.දෙණිය කිව්වම මට මතක් වෙන්නේ...
      4.කඩ මණ්ඩිය කිව්වම මට මතක් වෙන්නේ...
      5.තාරපාර කිව්වම මට මතක් වෙන්නේ...
      6. හිඟුරු කිව්වම මට මතක් වෙන්නේ...
      7. මල්දෙන කිව්වම මට මතක් වෙන්නේ...
      8. ගම්මාලු කිව්වම මට මතක් වෙන්නේ...
      9. ගහ යටටගියා කිව්වම මට මතක් වෙන්නේ...
      10. මයිනර් එක කිව්වම මට මතක් වෙන්නේ...
      11. ගේට්‍ටුව කිව්වම මට මතක් වෙන්නේ...
      12. වැටෙන් පැනලා කිව්වම මට මතක් වෙන්නේ...
      13. බෝක්කුවෙන් කිව්වම මට මතක් වෙන්නේ...
      14. කලු හරකෙක් කිව්වම මට මතක් වෙන්නේ...
      15 දෙණිය කිව්වම මට මතක් වෙන්නේ...
      16. කඩ මණ්ඩිය කිව්වම මට මතක් වෙන්නේ...

      ඉතිං ඕපනිංද නැත්තේ. අපිම ඉන්න ඕනේ මේවා උඹලට පෙන්නලා දෙන්න.

      Delete
    3. 17. 'මෙන්න මෙහෙම පටං ගනිං' කිව්වම මට මතක් වෙන්නේ... ........
      ........................අරූ ගෙ අර අක්ක!

      Delete
    4. Pra,

      Wham - Bang ...Thank You Maa'm.....:)

      Delete
    5. ඔහොම කිවම මට මතක් වෙන තව එකෙක් තමයි හැලාපයියා..

      Delete
    6. අනේද කියන්නේ ඕපනිංස්ම 16ය්. ප්‍රාගේ එකත් එක්ක 17යි. ඔය 17 ක්ලෝස් කරන්න ගියාම 550 ජාතකේ වගේ වෙයි.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. //බලහං ඕපනිංම කීයක්ද කියලා//
      කිව්වම අරූ ට මතක් වෙන්නෙ මොන ඔපනින් එකද?

      Delete
    9. රවී , හෙන්රි , අරූ , හැලප ( තව හත් අට දෙනෙක් ඉන්නවා ) එකපාරටම දැක්ක උන් ලියුවේ ,

      මචං උඹල ජීවිතය වින්ද උන් , අපිට පරමාදර්ෂයට ගන්න පුළුවන් උන් , සංවේදී ක හරහා සමාජයට . පරිසරයට සහ තමන්ට වැඩක් කරගත්ත උන් ( එලොවටයි , මෙලොවටයි දෙකටම )

      ජීවත් වීමයි , ජීවිතය විදීම කියන්නේ දෙකක්

      එහෙම ගත්තහම

      අයියේ කියල ඔලුව පාත් කරල ආදරෙන් කතා කරන්ඩ පුළුවන් උන් කිහිප දෙනෙක් මට බ්ලොග් කෙරුවාවෙන් හම්බ වෙලා තියනවා , සමහරක් ‍මල්ලිලා ඉන්නව දැත් එකතු කරල ආචාර කරන්න වටින

      හිහ් හිහ් ( දැන් එයි මරා ගන්ඩ )

      හරි හරි හරි බං නංගිලත් ඉන්නවා , අක්කලත් ඉන්න

      එව්වා පැත්ත තියහංකෝ

      අග්ගලත් ඉන්නව , අට්ටාලත් ඉන්නවා

      ඒව්වා කොහොම උනත් රවී ලියාපු දුක්ම දුක් සීන් එක තමා මේක

      Delete
    10. අටමා,

      / අපිට පරමාදර්ෂයට ගන්න පුළුවන් උන්…/

      අනේ බාං උඹෙ වයසවත් නොසළකා මම කියන තැනකට කියන විදිහකට වඳිඤ්ඤං මලේ..මාව අල්ලගන්ට එපා ඔය වගෙ එව්වට..මම මේ දෙයියනේ කියල කාටවත් කරදරයක් නැතුව දාඩිය මාංසියෙං පණං හතරක් හොයාගෙන ඉන්න එකා වෙච්චි. මම නෑ ඔන්න ඔව්වට...

      ඔය ඉන්නෙ අරූ, හෙන්රි, හැලප…. අන්න එවුං අල්ලගං ඔය වැඩේට...ඔය ඉන්නෙ දිලිසි දිලිසි රජතුන් කට්ටුව වගෙ...හෙහ්,හෙහ්,

      Delete
    11. බුදු අම්මෝ අටමෝ......මමත් හරි නසරානි වැඩ කරලා තියෙන්නේ බං. අර හෙන්රියි, හැලපෙයි අල්ල ගනීන්. ඔය ඉන්නේ රජ දෙකට්ටුව වගේ දිලිසි දිලිසි.

      Delete
    12. අරූ,

      ඒකනෙව බං බලාපංකො..මේ නිකමට වගෙ ඔය ඒ කාලෙ කියපු කොරපුවයි, වෙච්චි දේවලුයි ටිකක් ලිව්ව නිකම්ම ඉන්න එකේ නෙව කියල. මේ අටම එහෙම ලෑස්ති අපිව ආදර්සෙට ගන්ට..ආදර්සෙ නම් කමකුත් නෑ කියමුකො..පරමාදර්සෙට ..පරමාදර්සෙට..හුහ්…...කොහොමද සෙල්ලම? නරක නෑ නෙවද වැඩේ?

      අර නන්දක්ක කියන්න වගේ…

      සදානන්ද කරවූ ඔබේ මදුර රාවෙන්..පිපී ආමි අරවින්දයක්සේ තඩාගේ..
      උදාවූ සුපෙං දං නොසුන්වී රැඳේවා, මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා..

      ඊ ලඟට රැප් කෑල්ල……..

      මගේ රමණීය ( ඔතන මචං නයන්න පටලෝගත්තොත් කෙලියා..නිකං නයන්න ඒ කියන්නෙ ස්නේක් නයන්න දැම්මොත් එක තේරුමක්..ලෝන් නයන්න..ඒ කිව්වෙ ණයන්න දැම්මොත් හාත්පසින්ම වෙනස් තේරුමක්..හරි ඒ කෝක හරි එව්වයින් අපිට වැඩක් නෑ...) මගේ රමණීය පරමාර්ථය ඔබය. 
      මගේ වන් ඇන්ඩ් ඔන්ලි පරමාදර්ශය ඔබය. 
      මගේ ඒකායන ඇබ්සොලියුට් ප‍්‍රාර්ථනයද ඔබය"

      අසෝක මාලා මමයි සාමිනී අසෝක මල් වනයේ..
      රනේ රුවට රූ සපුව දිලෙනමුත් මා චණ්ඩාලියවී..මා චණ්ඩාලියවී ....
      අයෑම් අ පූ...වර් ජිප්....සී ගර්ල් ඉන් ද අසෝක ජා..න්..ග..ල්.....
      අයෑම් අ පූ...වර් ජිප්....සී ගර්ල් ඉන් ද අසෝක ජා..න්..ග..ල්.....

      Delete
  16. අද නං හිතට හරි නෑ රවී,කියාගන්න බැරි මොකද්දෝ හිතට දැනෙනව.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඇත්ත බං මහ මොකක්ද වගේ පාලු හැඟීමක්!!!

      Delete
  17. අදනම් කියවන් එද්දී හිතට ආවේ මහ වේදනවාක්.. ඇත්තමයි අන්තිම ට්ක කලබලෙන් වගේ කියවලා ඉවර කලෙත්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ලියද්දි මටත් එහෙම දැනුන බං ....:(

      Delete
  18. මේක කියවද්දී මතක් උනේ ඊයේ බබාව ගන්න ගිය වෙලාවේ එතන හිටපු අම්මෙක් එයාගේ දුවය් පුතය් ගැන කිව්වා.. ඒ අය්ය නංගීට පුදුම ආදරයක් ලු තියෙන්නේ.. පොඩ්ඩක්වත් සැර කරන්න දෙන්නේ නෑලු. නංගිගේ ඔක්කොම වැඩ කරනවලු..අහන්නත් ආසය් ..ඉතින් ඒ වගේ ඉඳල අය්යා කෙනෙක් නැති උනාම අක්කට කොහොම තියෙන්න ඇතිද ? අපිනම් එකා යකා වෙච්චී සහෝදරයෝ ගැන කියනකොට හුල්ලන්න තමා වෙන්නේ.

    ඔය වෙහෙර හදන වැඩේ නම් මාත් පොඩි කාලේ හරියට කලා . අපේ වත්ත පල්ලෙහා පොඩි කිරි මැටි නිධියක් තිබ්බා..ඉතින් අපේ වැඩේ ඕක හාරගෙන එක එක ඒවා හැදුවා ..
    තව ස්කොලේ ටිකක් ලොකු කාලේ මන් ඔය වත්තේ කිරිමැටි කතාව යාලුවෝ එක්ක කියල හොඳ හොඳ ඒවා අහගත්තා..:)

    ReplyDelete
    Replies
    1. Mekuwi,

      / අපිනම් එකා යකා වෙච්චී සහෝදරයෝ ගැන කියනකොට හුල්ලන්න තමා වෙන්නේ. /

      උඹ එකා යකා කියමු...පව් බොල පොඩි එකීටත් කවද හරි හූල්ලන්ට ද වැඩ සිද්ද කරන්ට යන්නෙ? මතකනෙ මම අර උඹ අඳුන ගත්තු මුල් දවස්වලම කිව්වෙ?..අර..අර ..කුල්ල...කුල්ල පාවිච්චි කරල මොකක් හරි කරන්ට බලාපං....හෙහ්,හෙහ්,

      / තව ස්කොලේ ටිකක් ලොකු කාලේ මන් ඔය වත්තේ කිරිමැටි කතාව යාලුවෝ එක්ක කියල හොඳ හොඳ ඒවා අහගත්තා..:) /

      මටත් බං ඔහොම අනන්ත වෙලා තියනව. මට වෙච්චි දේවල්, කරපුව එහෙම කට තියාගෙන ඉන්ට බැරුව පන්තියෙ එවුන්ට කියල..හප්පෝ....හොදි ඕන නෑ.....හෙහ්,හෙහ්,

      Delete
    2. එකා යකා වීම හරිම අමාරුයි රවී , ඊටත් වඩා අමාරුයි ඉන්න එකම එකා තිරිසං වීම

      Delete
  19. කඳුළු ආවේ නැතත් පපුව හිර වෙන තරමේ දුකක් දැනුණා. ඒක කඳුළු හළලා තුනී වෙන දුකක් නෙමෙයි, මහා පාළුවක් වගේ හැඟීමක් එක්ක දැනෙන දුකක්. කියවන අපිට මෙහෙමනම් ඒ අත්දැකීම හැබෑවටම විඳපු අයට කොහොම ඇත්ද. :(

    අර ඇඳේ ස්ප්‍රිං හයි කරලා තිබ්බ විදිහ ගැන කියෙව්වහම මට මතක් උනේ, අපේ ගෙදර පුටු සෙට් එකත් ස්ප්‍රිං තියන එකක්. මටත් වඩා වයසයි මම හිතන්නේ. ඔය සෙට් එකේ පුටු තුනේම ස්ප්‍රිං බැහැලා තිබ්බේ අපි පොඩි කාළේ ඒවා උඩ නැගලා උඩ පැනලා. පස්සේ, අපිට තේරෙන වයසට ආවට පස්සේ, තාත්තා ඒ පුටු ඔක්කොම ගලවලා, ස්ප්‍රිං අළුතෙන් දාලා - අළුතෙන් දාන්න ස්ප්‍රිං හොයන්න තාත්තා පිටකොටුවෙ ඇවිද්දා දවස් ගාණක්, අර කිව්වා වගේ සුදු ලණු වගේකින් ආපහු බැඳලා, අත් ඇඳි පොලිෂ් කරලා, අළුතෙන් කවර මහලා ලස්සනට හැදුවා අළුත්ම අළුත් සෙට් එකක් වගේ. තාමත් ඒ ටික ඒ වගේම තියනවා. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමීස්,

      / අර කිව්වා වගේ සුදු ලණු වගේකින් ආපහු බැඳලා, /

      ඔය සුදු ළණු වලට වෙනම නමක් කියනවා..මට ඒක මතක් වෙන්නෙම නැති හැටියක් අම්මප..හරිම හයියයි ඒ ළණුව...නූල් අඹරවල ගොතල තිබ්බෙ. අපෙ ගෙදරත් ඔය ජාතියෙ පුටු සෙට් එකක් තිබ්බ අවුරුදු 30 ක් විතර. දෙපාරක් විතර හැබැයි අලුතෙන් ස්ප්‍රිං සහ ලණු දැම්ම. අයින් කරන පරණ ලණු තමයි අපි ලිඳෙන් වතුර අදින්ට ගන්න බාල්දියට ගැට ගහල තිබ්බෙ. ආය කාලයක් අපෙ මාමා එළුවො ඇතිකලා. දඩ එළුවෙක් හිටිය දුඹුරු පාට දාර අං කුට්ටමකුත් එක්ක හෙණ මැරෑටියා. කොහුළණු තුං පොට දාල බැන්දත් ඌ කඩා ගන්නව. අන්තිමට අර ස්ප්‍රීං බඳින ජාතියෙ ලණු දෙපොටක් අඹරවල තමයි ඕක බැන්දෙ. ඒකනම් කඩාගන්ට ඌට බැරි උනා.

      Delete
    2. කිත්තං කියලා කිව්වා නේද සුදු නූල් වර්ගයකට.

      Delete
    3. අරූ,

      කිත්තං කියල කිව්වෙ මචං නයිලෝන් නූල් වලට.නූලෙ කිත්තං ඉඳල අඟල් දෙක තුන වගෙ වෙනකල් නයිලෝන් නූල් තිබ්බ. නූල කිව්වෙ අඟලෙං අටෙං එක.

      අපෙ ගෙදර සබන් කැපුවෙ නූලෙ කිත්තං ලණුවකින්. සබං කිව්වෙ රෙදි හෝදන සබං ..එව්ව ආවෙ අඩි එකහමාරක් වගෙ දිග බාර් වලින්. බී.සී.සී. සවරින් බාර් තමයි මුලින්ම තිබ්බෙ. පස්සෙ ආව මල් මල් බාර් සබන්, සල් බාර් එහෙම. ඒ බාර් එක දිග වැඩි නිසා ජනේලෙ යකඩ පොල්ලක ගැට ගහපු කිත්තං ලණුවක අනික් කෙලවර බැඳපු ලී කෑල්ලෙන් අල්ලල හොඳට තදින් ඇදල ඒකෙන් තමයි අතට පිරිමහින ගානට බාර් සබන් එක කෑලි කපන්නෙ.

      තව තිබ්බ තෙල්ගාර නූල්...තෙල්ගාර කියන්නෙ ට්වයින්...සරුංගල් යවන්නෙ එව්වයින්. සනෙල් කිව්වෙ ගෝණි නූල් වලට.අර සුදුපාට ලණුවට කියන නම තාම මතක නෑ බොලේ...අම්මගෙන් ඇහුව..අම්මට මතකත් නෑ :(

      Delete
    4. අපේ ගෙදර සබන් කැපුවෙ ඔය වගේ ගැට ගහල තිබ්බ නිල් පාට නයිලෝන් ලණු කෑල්ලකින්... මේක කියවනකොටයි මතක් උනේ, කිත්තං කියන වචනෙ අහල තිබ්බට ඒක කියන්නෙ මොනවටද කියල දැනගෙන නොහිටපු බව... ඒ කාලෙ ලයිෆ්බෝයි එහෙම හෙන පත කැට නේද... ඒවත් දෙකට කපල වගේ ගත්තෙ මට මතක හැටියට... සමහරු ඔය සබන් වැඩිපුර දිය වෙන එක අඩු කරන්න, සිගරට් පැකට් එකේ තියෙන ඊයම් කොළේ අරන් එක පැත්තක ඇලෙව්වා...
      ස්ප්‍රිං ඇඳන් ගැන මතක තිබුණට ඔය ලණු ගැන මතකයක් නෑ මට... ඒවා කොහොමත් පරෙස්සම් කරගන්න ලේසි නෑ පොඩි උන් එක්ක... මට මතකයි මගේ යාළුවෙකුගෙ ගෙදර තිබ්බ ස්ප්‍රිං පුටුවක කුෂන් එක මොන හේතුවක් නිසා හරි ගෙදර බල්ලා කාලා ස්ප්‍රිං එක උඩ මතුවෙලා තිබ්බ හැටි... එහෙමයි කියලා ඒකට නිකම් තියෙන්න දුන්නෙ නෑ කට්ටිය... ඒක හොඳ පුටුවක් විදියට අටවලා කට්ටියව වාඩි කෙරෙව්ව හිට...

      Delete
    5. Miyuru,

      / සමහරු ඔය සබන් වැඩිපුර දිය වෙන එක අඩු කරන්න, සිගරට් පැකට් එකේ තියෙන ඊයම් කොළේ අරන් එක පැත්තක ඇලෙව්වා.. /

      අන්න බං තෑන්ක් යූ...සිගරට් ඊයම් කොලේ අලෝන සීන් එක මට අමතක වෙලයි තිබ්බෙ. ඔන්න ඒ පාර තව එකක් මතක් උනා. සබන් කෑල්ලෙ යටි පැත්ත වතුර එක්ක ගෑවිල දියවෙනවට අලිය බීම පියනක් හයි කරල තිබ්බ. එතකොට ඒක උඩයි සබන් කෑල්ල තියෙන්නෙ. ඒ කාලෙ බොහොම දුෂ්කර කාලයක්නෙ. එහෙම අරපිරිමැස්මෙන් තමයි අපි ජීවත් උනේ. කකුස්සි පෝච්චිය මැද්දෙ අළු වලින්...හැබැයි ආය නෑ නියමෙට සුදු වෙනව.

      ලයිෆ් බෝයි සහ ආය තිබ්බ සන් ලයිට් , ස්නෝ වයිට්....

      අනික අපි ඇඟේ ගෑවෙත් ලයිෆ් බෝයිද කොහෙද?..සුවේන්ද්‍රායි කොහොඹයි තිබ්බ වගෙ මතකයක් යන්තමට තියනව.

      / මට මතකයි මගේ යාළුවෙකුගෙ ගෙදර තිබ්බ ස්ප්‍රිං පුටුවක කුෂන් එක මොන හේතුවක් නිසා හරි ගෙදර බල්ලා කාලා ස්ප්‍රිං එක උඩ මතුවෙලා තිබ්බ හැටි... එහෙමයි කියලා ඒකට නිකම් තියෙන්න දුන්නෙ නෑ කට්ටිය... ඒක හොඳ පුටුවක් විදියට අටවලා කට්ටියව වාඩි කෙරෙව්ව හිට…/

      සමහර ගෙවල්වල බල්ලො බුදියන්නෙ පුටු උඩ , සැටිය උඩ..බලු මයිල් හිටං ඇලිල තියනව. මට නම් වස අප්පිරියයි. බල්ලො අපෙ ගෙදරත් හැදුව. ඒත් උං හිටියෙ එළියෙ. ගේ ඇතුලෙ හොරතල් නෑ…

      අපෙ උන්දැ සෙට් වෙලා චාරිත්තරේට එහෙ ගෙවල්දොරවල් බලන්ට යද්දි මම කලින්ම ඇහුවෙ..

      " මේ ඔයාලගෙ ගෙදර බල්ලො හදනවද?..." කියල

      " ඔව්..දෙන්නෙක් ඉන්නව ..ඇයි එහෙම ඇහුවෙ? "එයා ඇහුව ..

      " උං සැටිය උඩ බුදියන්නෙ, ඇඟේ නඟින්නෙ එහෙම නෑ නේද? "

      " නෑ..නෑ..පිස්සුද? උං දෙන්න ඉන්නෙ එළියෙ…….අපෙ තියනව ඒ දවස්වල අප්පච්චි කඩයක් කරපු කාමර තුනක වගෙ පරණ කෑල්ලක් වෙනම මිදුලෙ... උං ඉන්නෙ ඒකෙ.."

      " ආ..එහෙනං කමක් නෑ…"

      Delete
    6. ඔය "සබන් කපන" සීන් එක මට හොඳට මතකයි. මම රැවුල කපනකොට ඒ කාලේ යාළුවෝ කියන්නේ මෙන්න මූ සබන් කපනවා කියලා.

      Delete
  20. ________________________________________________________- :(

    ReplyDelete
  21. අපේ නෑ වෙන මල්ලි කෙනෙකුත් පොඩි කාලෙදිම නැති උණා ඔය වගේ සර්පයෙක් දෂ්ඨ කරලා. අද කතාවනම් ඒ විතරක්යැ කමෙන්ට්ස් ටිකත් නිකන් මල ගෙදරක කියෝන වෙස්සන්තර ජාතකේ වගේ. මගේ කනගාටුවත් එතුමියට පිළිගන්වන්න.

    මොක උණත් රවියගේ මන් දැකපු කෙටිම නම සහිත පෝස්ට් එක තමයි මේක.

    ReplyDelete
    Replies
    1. AKM,

      නම නම් කෙටියි තමයි...පෝස්ට් එකේ විදිහට දිග නමක් හරියන එකක් නෑ කියල හිතුන බං...

      Delete
  22. අද විහිළු කරන්න හිතෙන්නේ නැහැ අප්පා

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ඒකනෙ බං අද විහිළු හරියන්නෙ නෑ..:(

      Delete
  23. මචන් රවී, මේ විදිහට හීනියටම ලියාගෙන යමු මචං. මේක කියවනකොට නිකං ගමේ කෙනෙක් එක්ක කතා කර කර ඉන්නව වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇළේ......:)

      Delete
  24. කතාව කියෙව්වම දුක හිතුනෙ නැති කවුරුවත්ම නැතුව ඇති... පුංචි කාලෙ, උන් හිටි ගමන් අපූරුවට හිටි කෙනෙක් නැති වුනාම ඒකෙ වේදනාව සමීපව හිටපු අයට හැමදාම අළුත් මං හිතන්නෙ...
    මේ කතාව මං කලිනුත් කොහේදි හරි කිව්වා වගේ මතකයි... අපේ අම්මලගෙ පවුලෙත් අම්මගෙ සහෝදරයො තුන් දෙනෙක් නැති වෙලා තියෙනවා මාසයක් ඇතුලත ගමට ආව බඩේ අමාරු වසංගතයකින්... එයාලව පොඩි කාලෙ බලාගෙන තියෙන්නෙ අපේ අත්තම්මගෙ අම්මා... අර තුන් දෙනා නැති උනාට පස්සෙ ඒකට දුකෙන් අඬ අඬා හිටපු ඒ අත්තාත් නැතිවෙලා අර මරණ තුන වෙලා මාසයක් යන්න කලින්... කොහොමට තියෙන්න ඇද්ද... :(

    ReplyDelete
    Replies
    1. Miyuru,

      හපොයි..ඒක නම් මාරම දුක හිතෙන කතාවක්.. තුන් දෙනෙක්ම කිව්වම අප්පෝ..මට නම් හිතනකොටත් දුකයි.....:(

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...