Tuesday, April 22, 2014

254. සියක් වසක හුදකලාව සහ ඉන්ද්‍රජාලික යතාර්ථවාදය ... Of Solitude, Magic Realism and Goodbye Marquez.


Google Images


1999 මැද භාගයෙ විතර දවසක රාවය පත්තරේ මම දැක්ක විදර්ශන පාඨක ජාලය කියල එකක් පටන්ගන්නවයි කියල පිටුවක් පුරා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුන. විදර්ශන පොත් ප්‍රකාශන සමාගමෙන් කරන්ට සූදානම් වෙන මේ වැඩේ ලංකාවෙ මෙතෙක් නොතිබුණු අලුත්ම ව්‍යාපෘතියක්. 

අකුරක් කියව ගන්ට පුලුවන් වෙච්චි දා ඉඳලම පුස්තක උමතුවෙන් රෝගාතුරවෙලා හිටිය මම වහාම ක්‍රියාත්මක වන පරිදි පත්තරේ තිබ්බ ලිපිනයට අයදුම්පතක් යැව්ව. පන්සල පාර, කළුබෝවිල ..ඒ තමයි ලිපිනය...විදර්ශන පාඨක ජාලයෙ මම සාමාජිකයෙක් උනේ අන්න ඒ ආකාරයට. විදර්ශන එකෙන් ඔය සම්භාව්‍ය විදේශීය නවකථා පරිවර්තනය කරල ප්‍රකාශයට පත් කිරීමේ වැඩ පිළිවෙලක් පටන් ගත්ත ඒ කිට්ටුවම වගෙ....

සීතල ලේ, මගේ පවුලයි අනෙක් සත්තුයි, ඒ එහෙම විදර්ශන ප්‍රකාශයට පත් කරපු පොත් දෙකක්.....

2001 හෝ 2002 අවුරුද්දෙ වෙන්න ඕන...ඔව් ඒ දවස්වල තමයි..මම එතකොට වැඩකලේ කුකුළේගඟ ව්‍යාපෘතියෙ. සති දෙකකට සැරයයි ගෙදර එන්නෙ. ඒ අතරමැද සති අන්තය එහෙ අපිට සමාගමෙන් සපයල තිබ්බ නේවාසිකාගාරවල තමයි කාලය ගත උනේ. ඔය එහෙම ඉරිදාවක මම ගියා කළුබෝවිල, විදර්ශන ආයතනයට. පොත් හත අටක්ම අරගෙන හවස් අතේ මතුගමට ඇවිල්ල එතනින් කෙළින් කන්ද බස් එහෙක ඇවිල්ල ආපහු කෑම්ප් එකට ආව.

ඒ අතර තිබ්බ මට මතකයි ගබ්රියෙල් ගාෂියා මාකේස් ගේ One Hundred Years Of Solitude පොතේ පරිවර්තනය….සියක් වසක හුදකලාව...පරිවර්තනය කරල තිබ්බෙ මම හිතන්නෙ පසන් කොඩිකාර වෙන්න ඕන. ඒ පොත කියවල තේරුම් ගන්න ඇත්තටම පහසු උනේ නම් නෑ.

ඉන්ද්‍රජාලික යතාර්ථවාදය නැත්නම් Magic Realism ගැන කලින් අහල තිබුනට ඒ මාදිලියෙන් ලියවුනු කතාවක් මම කියෙව්වෙ මුල් වරට.

 පොඩි එකා සන්දියෙ අපෙ ගෙදර කොරිඩෝවෙ රවුම් කුළුණකට පිට දීල හේත්තුවෙලා ඉන්න අත්තම්මගෙ උකුලෙ ඔලුව තියාගෙන මගෙ මුදු ගැහුනු කෙස්ස අස්සෙ ඇඟිලි යවල පිරිමදින ඇගෙ අතැඟිලිවල සෙනෙහස විඳිමින් මම අහපු කතන්දර බොහොමයක තිබ්බෙ ඔය ඉන්ද්‍රජාලික යතාර්ථවාදයෙ එක මුහුණුවරක්ය කියල මට පස්සෙ කාලෙකදි හිතුනෙ වරක් දෙවරක් එහෙම නෙවෙයි.

කතාකරන සිංහයො, අඬන දොඩන වඳුරො, කොක් හඬලා හිනාවෙන නරි ඇගේ කතාවල හිටියෙ බුරුතු පිටින්.මිනිස්සු ගෑණු එක මොහොතින් සත්තු නැත්තං ගස් ගල් බවට පත්කරන්ට පුලුවන් බලයක් ඇති මන්තර කාරයො, එක මොහොතින් මිනිස් වෙස්ගන්න නාග මානවිකාවො, කඩවසම් කුමාරවරු බවට සැනෙකින් රූපාන්තරණය වෙන දෙවිවරු ඇගේ කතන්දරවල බොහොම සුලබයි. අත්තම්මගෙ ඒ කතන්දර හැමදාම හවහට කන්දෙකේ පිරෙන නිසාම පස්සෙ කාලෙක ඉන්ද්‍රජාලික යතාර්ථවාදය කියන සංකල්පය මට අමුතු, නුහුරු, නුපුරුදු දෙයක් උනේ නෑ.

සියක් වසක හුදකලාව එක්ක විදර්ශන එකෙන් දුන්න1982 වර්ෂයේ නොබෙල් සාහිත්‍යය ත්‍යාගය පිළිගනිමින් මාකේස් කල කතාව පොත් පිංචක් විදිහට මුද්‍රණය කරල.. ලතින් අමරිකානු හුදකලාව.........The Solitude Of Latin America..... හුදකලාව කියන්නෙ මමත් බොහොම ප්‍රියකරන ප්‍රපංචයක් නිසා දෙතුන්වරක්  මේ වෙනකොට මම සියක් වසක හුදකලාව කියවල ඇති.

ලිවීමේ ශෛලීන් වෙනස්.මුල මැද අග සහිත සරල කතා ශෛලිය කියන්නෙ අපි කාටත් පොඩි කාලෙ ඉඳලම හුරුපුරුදු ශෛලිය. ඒ වර්ගයෙ කතන්දරවල වෙහෙසවෙලා තේරුම් ගන්න දෙයක් නෑ. මොලේ අර්සස් හදවගන්නෙ නැතුව කතාව කියවල ඉවරවෙනකොට වැඩේ ඉවරයි. එක්කො කතාව හිතට ඇල්ලුව... නැත්නම් නෑ. 


හැබැයි ඔය ඉන්ද්‍රජාලික යතාර්ථවාදයෙන් ලියවුනු කතා එහෙම බෑ. කියවල ඉවර වෙලා දෙකක් හීන්වට නවාගෙන නළලත් රැළි කරගෙන කල්පනා කරන්න වෙනව ඒ ගැන වැඩි දුරටත්. එහෙම වෙන එක හොඳද ? නැද්ද?..එහෙම එව්වට සමහරු කැමතියි සමහරු අකමැතියි. ඒක ඉතිං ඒ ඒ අයගෙ කැමැත්ත. තමන්ගෙ කැමැත්තට ඉඩ තියෙන්ට එපාය ප්‍රජාතන්ත්‍ර වාදී රටක් උනාම. තවම නමට හරි අපේ සිරි ලංකාව ඇවිල්ලා ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නෙව. ඒක එහෙම නෙවෙයි කියල ඔප්පු කරන්ට රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම තැන ඉඳල පහලම තැන දක්වා අරක්ගෙන ඉන්න නිලමක්කාරයො උදේ හවස උත්සාහ කරනව. ඒත් නමට හරි තාමත් රට ප්‍රජාතන්ත්‍රවාදියිනෙ.. හරි එව්ව ඇරිච්චාවෙ.. නෝ පොලිටික්ස්...

මම නම් කිව්වම මොකද ඔය දෙකටම කැමතියි. කතාව බලන ගමං බූල් තුවායක් තෙත් වෙනකල් කඳුලු ගලන නැත්තං මුගෙ ආච්චිට කියල අතේ තියෙන අසෝක වීදුරුවෙං ටී.වී. එකට දමල ගහන්ට හිතෙන කතන්දර වලට වගේම කියවල ඉවරවෙලා රෑ එලිවෙනකල් නින්දකුත් නැතුව මලක් කාරිය ඇදල කුඩා බඩවැල් මහ බඩවැල් එකට දඟර වැටෙනකල් කල්පනා කොරන්ට වෙන කතාවලටත් මම එක වගේම කැමතියි. ඒකට කියන්නෙ රසවින්දන විවිධාංගකරණය කියල.

70-77 ආණ්ඩු කාලෙ තිබ්බ නැඩ්සා කියන සංකේත නාමයෙන් ( Acronym ) හඳුන්වපු ජාතික කෘෂිකාර්මික විවිධාංගකරණ සහ ජනපද අධිකාරිය කියල ආයතනයක්...

Love In The Time of Cholera කියන්නෙ මාකේස්ගෙ ඉතාම ජනප්‍රිය වුනු නවකතාව.. ප්‍රධාන චරිත..ෆ්ලොරෙන්ටීනෝ අරීසා සහ ෆර්මිනා දාසා..යොවුන් වියෙහිදී හමුවී සෙනෙහසින් බැඳෙන ඔවුන්ගේ සබඳතාවයට දැඩිලෙස විරුද්ධවන ෆර්මිනාගේ පියාණන් නිසා ඔවුන්ට වෙන් වන්නට සිදුවෙනවා. පසුව වෙනකෙකු හා විවාහවන ෆර්මිනා වියපත්වී ඇගේ සැමියා මියගිය පසු ෆ්ලෝරෙන්ටීනෝ යළි ඇය සොයාගෙන පැමිණෙනවා.

ෆ්ලොරෙන්ටීනෝ ෆර්මිනා අමතා මෙසේ පවසනවා.

" Fermina... I have waited for this opportunity for 51 years, nine months and four days. That is... how long I have loved you from the first moment I cast eyes on you ... until now. "

ඒ අඩසිය වසරක කාලය තුල ෆ්ලොරෙන්ටීනෝ ගැහැණුන් බොහෝ ගණනක් සමඟ සබඳතා පවත්වනවා. ඔහුගේ ආරක්ෂාවට පත් කෙරුනු පෙර යොවුන් වියේ ගැහැණු ළමයකු සමඟ පවා ඔහු සබඳතාවක් ඇතිකරගන්නව. අවසානයේ ඒ ළමයා දිවිනසාගන්නව.

සෙනෙහස බිඳී ගිය පසු ඔහු හෝ ඈ වෙනුවෙන් කැපවෙමින් මුලුමහත් ජීවිතකාලයම වෙනත් අයකු හා සබඳතාවයකට යොමු නොවී කල්ගතකිරීම සත්‍ය ප්‍රේමයේ නිර්වචනය කියල තමයි සාමාන්‍යයෙන් රටේ ලෝකෙ පිළිගැනීම වෙලා තිබ්බෙ. ඒත් ෆ්ලොරෙන්ටීනෝ ඒ අපි හිතෙන් මවාගෙන උන්නු අවංක සහ දයාබර ප්‍රේමවන්තයගෙ සම්පූර්ණ පරස්පරය. 

හැබැයි එක දෙයක් තියනව. ඔහු කොපමණ ගැහැණුන් හා සබඳකම් ඇතිකරගත්තත් ඔහු කියන විදිහට නැත්නම් මාර්කේස් කියන විදිහට කිසිම මොහොතක ෆර්මිනා කෙරෙහි බැඳුනු සෙනෙහස අබමල් රේණුවකින් වත් අඩුවෙන්නෙනම් නෑ. එහෙම වෙන්න පුළුවන්ද? ඒ ගැන ඔබට කැමති තීරණයක් ගත හැකියි. ෆ්ලොරෙන්ටීනෝගෙම වචන වලින් කියනවානම් මෙහෙමයි.

“With her Florentino Ariza learned what he had already experienced many times without realizing it: that one can be in love with several people at the same time, feel the same sorrow with each, and not betray any of them. Alone in the midst of the crowd on the pier, he said to himself in a flash of anger: 'My heart has more rooms than a whorehouse.”

එහෙම පුලුවන්ද? මම මේ අහන්නෙ එකම එක්කෙනෙකුට විතරක් ප්‍රේමකරන අතරෙ ඒ ප්‍රේමයට හානියක් නොවෙන්ට..ම්ම්ම් අපි කියමු තව හත් අට දෙනෙක්ය කියල..තව හත් අට දෙනෙක් එක්කත් සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්ට පුළුවෙනිද? ලිංගික හෝ ලිංගික නොවන..... ෆ්ලොරෙන්ටීනෝ නම් කියන්නෙ එහෙම පුළුවන්ය කියලයි.

කම්පාර්ට්මෙන්ටලයිසේෂන් කියන්නෙ ඒකට. යම් කාර්යයක් එකකට එකක් සම්බන්ධ නැති කොටස් වලට වෙන් කිරීම. හදවතත් එහෙම කම්පාර්ට්මෙන්ටලයිස් කරන්න පුළුවන්ද? හෙහ්,හෙහ්, පොඩි ට්රයි එකක් දාල බලන්ට වටින වැඩක් නැද්ද?

ඔය කොළරා කතාව කොච්චර මගෙ හද බැඳගත්තද කිව්වොත් මම ඒ කතාව සම්බන්ධ කරගෙන කතාවකුත් ලිව්ව දැනට අවුරුදු තුනකට වගෙ ඉස්සර. ඒ ඇවිල්ල ජයසේන සහ චුට්ටි මැණිකෙගෙ කතාව....

ඉස්සෙල්ලම මේ කොළරා කතාව කියවන ගමන් මම අපෙ එතුමීට කතා කලා.

" මේ මෙහෙ එන්ටකො ටිකකට...."

මම ඔය කියවන පොතක පත්තරේක අපූරු චිත්තාකර්සනීය යමක් තිබ්බම එතුමිය දැනුවත් කරනව පුරුද්දක් විදිහට.උස්බෙක් ජාතික ලේඛක ගපූර් ගුල්යාම්ගෙ මගේ හපන්කම් ( දැදිගම වී. රුද්‍රිගූගෙ පරිවර්තනය ) මම පොඩි කාලෙ හරිම ආසාවෙන් කියවපු පොතක්.පස්සෙ ඔය පොත කවුද අරගෙන ගිහිල්ල මාව මතක් වෙන්නද කොහෙද කියල හිතල ආපහු ගෙනත් දුන්නෙ නෑ.

මම ඔය පොත් ප්‍රදර්ශන, පාර අයිනෙ පදික වේදිකා පොත් වෙළෙන්දො ඔය හැමතැනම හොයල අන්තිමට කොටුවෙ ගුණසේන එකේ මුල්ලක තිබිල ඔන්න පොත හම්බ උනේ නැද්ද? ගෙදර අරන් ගිහිල්ල එතුමී උයනකල් කුස්සියෙ මගෙ පුටු පුංචෙ ඉඳගෙන ( ඒක අර කම්බි දෙකක් රවුමට නමල ලෑලි කෑලි දෙකක් ගහල හදපු ඉස්කෝල පුටුවක් ) ඔන්න මම ඔය " මගේ හපන්කම් " පොත එයයිටත් ඇහෙන්ට කියවනව. දෙයියම්ප හොඳ විස්වාසෙට ගන්ට ඕගොල්ලො අන්තිමට වෙන්නෙ ඉවිල්ල සහ පොත කියවිල්ල යන කර්තව්‍යයන් දෙකම පැත්තක තියල අපි දෙන්න කඳුලු වැටෙනකල් හිනාවෙන එක.

කොළරා කාලේ ආලේ කියවද්දිත් මම එතුමියට කතාකලා.

" මේ මෙහෙ එන්ටකො ටිකකට. "

" මම මේ පොඩි වැඩක්.. මොකෝ හදිස්සිය? "

මම ගියා අපේ කුස්සිය එක්කම අල්ලල තිබ්බ පොඩි කාමරේට. එතුමී මොකක්ද මහනව මැසිමෙ. මම ඉඳගත්ත ඒ ළඟම තිබ්බ පොඩි ඇඳේ.

" මේ පොතේ තියනවනෙ ඒයි මාර ආතල් සීන් එකක්. මේකෙ කියනව කීදෙනෙක් එක්ක සම්බන්දකම් පැවැත්තුවත් ඒ අතරම එක්කෙනෙකුට විතරක් ආදරය කරන්ට පුලුවන්ය කියල. ඒ එක්කම අර කියාපු උත්තරීතර ආදරයට කිසිම බාදාවක් වෙන්නෙ නැත කියලත් කියනව. "

" කවුද ඉතිං ඔය විදිහට කියල තියෙන්නෙ දැං ඔය ? "


එතුමී මැසිම පාගන එක නවත්තල ඔලුව උස්සල මගේ දිහා බැලුව.

" මේ ඇවිල්ල මාකේස් කියල ලේකකයෙක්. මිනිහ කොලොම්බියන් ජාතිකයෙක්. "

" ඒ මිනිහට පිස්සු …"


එතුමී අසුරු සැනෙන් 
තම තීන්දුව ප්‍රකාසයට පත් කලා. ඊට පස්සෙ ආයෙම මැසිම පාගන්ට ගත්ත. මම ඈ දිහා කටත් ඇරගෙන බලා හිටිය. 

මේ පහුගිය සිකුරාද.....

" මේ ඔයාට මතකද අර මම දවසක් මාකේස් කියල රයිටර් කෙනෙක් ගැන කිව්ව. අර එක්කෙනෙකුට ආදරය කරන ගමන් තව කීප දෙනෙක් එක්ක ......"

අන්තර් ජාලයට පිවිසී සිටි මම පසුපස හැරී ඇඳෙහි දිගාවී ඡායාරූප ඇල්බමයක් බලමින් සිටි ඇය දෙසට හැරෙමින් විමසුවා.

" හුඟක් කාලෙකට ඉස්සර නේද? අපි ඉස්කෝලෙ ක්වාටර්ස් එකේ ඉන්දැද්දි..ඔව් මට මතකයි ඉතිං? "

" මාකේස් ඒ රයිටර්ගෙ නම. එයා ඊයෙ මැරිල…" 

Google Images

" I love you not for whom you are, but who i am when i'm by your side. "

" No person deserves your tears, and who deserves them won't make you cry. "

" Just because someone doesn't love you as you wish, it doesn't mean you're not loved with all his/her being. "

" The worst way to miss someone is, to be seated by him/her and know you'll never have him/her. "

" You may only be a person in this world, but for someone you're the world."

" Don't cry because it came to an end, smile because it happened. "

" What matters in life is not what happens to you, but what you remember and how you remember it. "

113 comments:

  1. මාත් ඔය විදර්ශනේ කරක් ගැහුවනෙ ඒ කාලේ.

    ඔය හත් අට දෙනෙක් එක්ක ආස්සරේ කරන ගමන් එක්කෙනෙක් පතාගෙන ඉඳීම අනේ මන්දා . ඔය ලබා ගන්න බැරි වීම නිසා ඇති වුන තණ්හාව වෙන්නත් පුළුවන්.
    මොනවා වුනත් හාමිනේ දැන ගත්තනේ ගොනා හැරෙන දිහාව. මහවැලිය කියන්නෙත් බහු කාර්ය යෝජනා ක්‍රමයක් වෙච්චි .

    ReplyDelete
    Replies
    1. //මොනවා වුනත් හාමිනේ දැන ගත්තනේ ගොනා හැරෙන දිහාව. මහවැලිය කියන්නෙත් බහු කාර්ය යෝජනා ක්‍රමයක් වෙච්චි// ආයේ අහලා ..හැබෑට රවී අය්යට මේ පොත ගැන විශේෂ ඇල්මක් තියෙන්නේ ඔය හින්දා වෙන්න ඇති :D

      Delete
    2. බින්දි,

      ඒකනෙ බං කියන්නෙ..මගෙ හදවත ඇවිල්ල කාමර කුලියට දෙන බෝඩිමක් වගෙ බං...ඕකෙ කාලෙං කාලෙට එක එක්කෙනා ඇවිදිල්ල පදිංචි වෙනව. අම්මෙ මුත්තෙ කිව්වත් යන්නෙ නම් නෑ. මාත් ඉතිං අනේ මට මොකෝ? ඔන්න ඔහෙ හිටපුවාවෙ කියල නිකං ඉන්නව...පව්නෙ බං...:) :)

      Delete
    3. මෙකුවි,

      එතනිං පස්සෙ වෙච්චි හරිය වෙනම ලියන්ට ඕන…:)

      " අර මොකද අර කොළරාවද මොකක්ද කියල පොතක් ගැන කිව්වෙ හවස? "

      රෑ නිදන්ට ගියාම උන්දැ අහපි.

      " මොන? "

      " මොන කියන්නෙ?... ඔය ටිකට අමතක උනාද? අර හත් අට දෙනෙකුටම එක පාර ආදරේ කරන්ට පුලුවන්ය කියල තිබ්බය කිව්ව පොත ගැන මම මේ කියන්නෙ…"

      " ආ ඒක ඒ පොතක්නෙ…"

      " හ්ම්ම්ම්ම්...ඔය පොත්වල තියන එව්ව කොරන්ට එහෙම ලෑස්තිවෙනව නෙවෙයි ඔන්න මම නොකිව්වයි කියන්ට එපා."

      ඈ බිත්තිය පැත්තට හැරිල ඔලුවෙ ඉඳල පොරව ගත්ත.

      Delete
  2. මාකේස් ගැන ලියවුනු මා කියවු සිංහල සටහන් අතරෙන් මම උඹේ මේ සටහනට කැමතියි.

    '////හදවතත් එහෙම කම්පාර්ට්මෙන්ටලයිස් කරන්න පුළුවන්ද? //////
    මෙහෙම කරන්න පුළුවන් ඇති. බොහෝ අය කරත්, සාර්ථකව කරගෙන යන්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි.

    ////" I love you not for whom you are, but who i am when i'm by your side. "/////
    මේක නේද බොහෝ දුරට ඇත්ත.....අවංකවම කිව්වොත්.

    ReplyDelete
    Replies
    1. අරූ,

      මචං මේ ගීතය අහල තියනවද? නියම බඩු දෙකක් කියන්නෙ...අමරදේව සහ වික්ටර්...බෝල්ඩ් කරල තියෙන්නෙ අමරෙ කියන ටික…

      ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
      සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
      මා ඔබ දු‍ටුවා ………….
      ඇයට නොවේ ඔබට පමණි ඔබ ආදරේ


      වසන්ත දෙකොපුල නිදි වැරු තොල් මල
      දසැඟිලි තුඩු අග පිබිදුණු රනහස
      ඇයට ආදරේ ආදරේ මම
      ඇයට ආදරේ ආදරේ

      ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත
      ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
      පෙරළා ඔබ හට පෙම් කරණා බව
      ඇය මුමුණන සඳ
      ඔබ සිත සුවපත් වේ
      ඔබ සිත සුවපත් වේ


      ඇයට පමණි මම ආදරේ
      ඔබට පමණි ඔබ ආදරේ
      ඇයට පමණි මම ආදරේ
      ඔබට පමණි ඔබ ආදරේ
      ඇයට පමණි මම ආදරේ
      ඔබට පමණි ඔබ ආදරේ

      පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග,

      ගායනය - අමරදේව සහ වික්ටර්

      Delete
    2. මචං.....බණ්ඩාර කේ විජේතුංගයන් ලියපු ගීත අතරින් මම කැමති ගීතයක්. මේ ගීතය බොහෝ අය හරියට රසවින්දාද කියලා මට වෙලාවකට හිතෙනවා.

      මම හිතෙනදේ තමයි අමරදේවයන්ට ගයන්න බංඩාර ලියලා තියෙන්නේ. ඇත්තටම බොහෝවිට ආදරය කියන්නේ ආත්මාර්ථකාමි වින්දනයක්. දෙගොල්ලොම කරන්නේ අඩුවැඩි වශයෙන් ඔය ටික තමයි. මේක තේරෙන්නේ වයසට යනකොටද මන්දා. උඹට මේ සින්දුව කොහොමද බන් එක පාරට හිස් ගෙඩියට ආවේ. මලක් ගහලාවත් හිටියාද (විහිළුවට ඇහුවේ )

      Delete
    3. අරූ,

      ආදරය තනිකරම ආත්මාර්ථකාමියි. දැං ඔය කෙල්ලෙක් බැහ් ගෑවම පිහියෙන් දමල අනින්නෙ මොකද කියාපං..එතන වෙන්නෙ කෙල්ල තමන්ට අකමැතිවීම නැත්නම් ප්‍රතික්ෂේප වීම දරාගන්ට බැරිවීම. තමන්ගෙ පෞරුෂත්වයට, මාන්නයට මදි පුංචිකමක් නැත්තං හෑල්ලුවක් උනාය කියන සිතුවිල්ල දරාගන්ට බැරිවීම.

      මිනිස්සුන්ගෙ මචං ඔය ගැහැණු පිරිමි දෙදෙනෙක් එකතුවීම සහ ඒ හා අනුබද්ධ ක්‍රියාවලිය නිකම් මේ වර්ගයා බෝ කිරීමට එහා දෙයක්. සත්තුන්ගෙ ඒ වැඩේ කෙරෙන්නෙ ප්‍රජනනය උදෙසාම විතරයි. ඒකයි ගැහැණු සත්වයෙක් අතින් ප්‍රතික්ෂේප වීමකදි මරා දැමීම් වගෙ දරුණු පියවරක් ගන්නට සත්තු පෙළඹෙන්නෙ නැත්තෙ බොහෝම කලාතුරකින් හැර.

      මගෙ එක් ගුරුවරයෙක් වන ඩෙස්මන්ඩ් මොරිස් ගොයිය තමයි මෙහෙම කියන්නෙ...හෙහ්,හෙහ්.

      Delete
    4. මුන්දෑ දැන් ඔය වහෙන් ඔරෝ මාර්කෙස් කතා කියන්නේ බොලවු පහුගිය ටික දොහේ ඔලුව අත පය කුඩු පට්ටන් නොකරගෙන බේරිලා හිටියේ බොහොම මාරුවෙන් . ඔය පහුවුන ටික දොහේ එතුමියට බ්ලොග් එක පෙනවලා හෙන වින්නම්බෑසියක් වෙන්ට ගිහි අනූ නවයයි තුන්කාලට බේරුනා කියන්නේ .ඒතුමිය මුන්දැ එක්ක මේ බ්ලොග් එකේ පයුරු පාසානම් පවත්වන අංගනාවියන්ගේ නම් ලිස්ට්ටෙකක් අරගෙන යස්සාරූඪ වෙලා ඔන්න ඒවුන්දැලාට යුද ප්‍රකාසකොරන්න ලෑස්තිවෙලා .ඉතින් දන්නවනේ අපේ ගොයියා බොහොම අමාරුවෙන් යාප්පුවෙලා තමා වැඩේ ශේප් කරගෙන තියෙන්න .ඉතින් ඒ හිතේ අමාරුවට නෙව ඔය මාර්කේස් ගොයියා මුලට දාලා වහෙන් ඔරෝ කියන්නේ එක එක අංගනාවියන්ට කවි ලිව්වට , රස වෑහෙන කතා කීවට , උන්ගේ පාඨක ඉල්ලිම් ඉටු කොලාට එතුමියට විතරක්මයි ආදරේ කියලා :)

      Delete
    5. අරූ,

      / මලක් ගහලාවත් හිටියාද (විහිළුවට ඇහුවේ ) /

      මෙහෙ නෑ බං එව්ව..නෑ කියන්නෙ ඔය උනන්දු වෙලා හෙව්වොත් නම් හොයාගන්ට බැරිවෙන එකක් නෑ. ඒත් වැඩිය දැඟලුවෙ නෑ ඒ ගැන.

      " මලක සුවඳ සිව් සිය ගව් දැනේයා!!!!! "

      Delete
    6. රවී......ඒවා හොයන්න යන්න එපා. හමුවුනාම රස විඳිමු ....ආදරයත් ඒ වගේ...තියෙන බව දන්නවා...හොයන් යන්න උනන්දු වෙන්න ඒපා..ඔය පලාතේ කොහොමත් අනතුරුදායකයි.

      Delete
    7. නිර්නාමික,

      ඔන්න මම පොඩි චැට් පාරක් දාගෙන හිටිය. අපෙ උන්දැ නාල එහෙම ආව ඔලුවත් පිහිද පිහිද කාමරේට. ඇවිල්ල මගෙ කර උඩිං එබුන.

      " මොකද අනේ කරන්නෙ? "

      " මේ යාලුවෙක් එක්ක පොඩි කතාවක්…"

      ." කවුද ඔය යාලුව? "

      " මේ..මේ..යාලුවෙක්.."

      " හුහ්..ඔය යාලුවන්ට වෙන වැඩක් එහෙම නැද්ද චැට් කරනව ඇරෙන්ට.ඈ??? "

      Delete
  3. /////රසවින්දන විවිධාංගකරණය/////

    මමත් කැමතියි.
    සුනිල් පෙරේරා....අමරදේව
    යසපාලිත......අශෝක හඳගම
    කරුණාසේන ජයලත්....සයිමන් නවගත්තේගම

    ReplyDelete
    Replies
    1. අරූ,

      අන්න එහෙමනෙ බං ඉන්ට ඕන..ලෝකෙ තියෙන ඕනම දෙයක් රසවිඳින්ට පුරුදු වෙන්ට ඕන. මම අරයගෙ පොත් කියවන්නෙ නෑ..අරකිගෙ සිංදු අහන්නෙ නෑ...අර ජාතිය බොන්නෙ නෑ...එහෙම බෑ... ඕන දේකට එවර් රෙඩි වෙල ඉන්ට ඕන..අනික කෑම..මගෙ සමහර යාලුවො ඉන්නව හොද්දක් නැත්තං බත් ගිලෙන්නෙ නෑ.ආය සමහරුන්ට මස් මාලු ඕනමයි. මම පොඩි කාලෙම ගෙදරින් පිටවුනු නිසාද කොහෙද ලුණු ටිකක් ඉහගෙන හරි බත මැරුවහැකි. දෙයියංගෙ පිහිටෙං..:)

      Delete
  4. මටත් හරි ප්‍රස්නයක් ඕක.. හැබෑටම බැරිද එකපාර කීප දෙනෙකුට අවංකව ආදරේ කරන්න හරියට අම්ම කෙනෙක් ළමයි හැමෝටම එක වගේ ආදරේ කරනව වගේ? මට හිතෙන්නේ පුලුවං ඇති.

    ReplyDelete
    Replies
    1. බළල්ස්,

      මට බළල් රාළහාමිගෙ ඊ-මේල් එක එවපං උඹේ කමෙන්ට් එක යවන්ට. එතුමාට අනාගතයෙදි බොහොම ප්‍රයෝජනවත් වෙන්ට ඇහැකි.

      " මොකද ඔයා මේ ඤුරු ඤුරු ගාන්නෙ එහෙම පුලුවන්ය කියල ඔයාම කියල තියනව..මේ තියෙන්නෙ සාක්කි…"

      Delete
    2. අවුලක් නෑ උන්දෑ දන්නවා මගේ හැටි.. මං දන්නවා උන්දැගෙ හැටි.. :) අපි දෙන්නගේ හිත් බොහොම ඉස්තීරයි නෙව ඔය එහෙන් මෙහෙන් එක එක්කෙනාගේ ලස්සන බැලුවට.. මංම යවන්නංකෝ මේක බළල් රාළහාමිට..

      මම කියෙව්වා මාකේස්ගේ කරුමක්කාර කතාවක්.. ඒක ඇත්තටම මහම මහ කරුමක්කාර කතාවක්.. මට හිතෙන්නේ මාකේස් ජීවිතේ අමිහිරි ඇත්ත හරි නිර්දය ආකාරයට ලියන ලේඛකයෙක් කියලා.. කොලරා කාලේ ආලේ වුණත් එහෙමයි..එයාගේ කතා කියවල ඉවර උනාම මගේ හිතේ ඉතුරු වෙන්නේ හරි නොසන්සුන් කමක්..ඒකට මම හරි අකමැතියි..

      අරුන්දතී රෝයිගේ සුළු දෙය ඇසුරු කළ දෙවියා (The god of small things) කියවලා තියනවද? ඒකත් ජීවිතේ අමිහිරි යථාර්ථය හරිම අනුකම්පා විරහිත ලෙස පෙන්වා දීපු පොතක්.. මම දැනට කියවලා තියන හොඳම පොත කියලා කියන්න පුළුවන්..

      Delete
    3. බලල් හාමිනේ,
      කරුමක්කාර කතාවත් මම කියවපු සුපිරිම පොතක්,මතක් වෙනකොට ආයෙම කියවන්න ආස හිතෙනව.

      Delete
    4. බළල් හාමිනේ,

      කරුමක්කාර කතාවක් නම් බලන්ට බැරිඋනා. ගාමිණී වියන්ගොඩ අපට ඉන්න හොඳ පරිවර්තකයින් අතළොස්සෙන් එක්කෙනෙක්.

      මම බොහෝවිට පරිවර්තන කියවන්නෙ නෑ. පරිවර්තනය කියවල ඊට පස්සෙ මුල් පොත කියවනකොට වෙනස තේරෙනව අගේට. සුළුදෙය ඇසුරු කල දෙවියා පරිවර්තනයත් එච්චරම සාර්ථක නෑ කියලයි මට හිතෙන්නෙ. අරුන්දතීගෙ මුල් පොත මම කියෙව්ව පස්සෙ.පරිවර්තනයෙ නමම ගැලපෙන්නෙ නෑ කියලත් මට හිතෙනව.

      Delete
  5. ///////රසවින්දන විවිධාංගකරණය///// මන් හිතන්නේ මේක අපි ගොඩක් අයට පොදු දෙයක් ..මාත් ගෝරා, අරණකට පෙම් බැඳ, වගේ පොත් රස විඳින කමන් සුජීව ප්‍රසන්නරච්චිගේ සමහර කථාත් රස විඳිනවා ..සින්දුත් එහෙම තමය් M S ගේ සිට අමරදේව දක්වාම ආස සින්දු තියෙනවා ..
    සියක් වසක හුදකලාව පොතේ නම අහල තිබ්බට කියෝලා නෑ .. කියවන්න ආස හිතුණා . ඒක මොන වගේ කතාවක්ද අය්යේ ?

    //හදවතත් එහෙම කම්පාර්ට්මෙන්ටලයිස් කරන්න පුළුවන්ද? // පත්තරවල අහන ඒවත් එක්ක බැලුවම වැඩිදෙනෙක් ඉන්නේ එහෙම කරලා මගේ හිතේ..

    අන්තිමට දාලා තියෙන quotes ටික නම් හරිම ලස්සනය් ..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      සියක් වසරක හුදකලාව හරියටම මේ වගේ කියල කියන්ඩ විදිහකුත් නෑ බං..සිංහල පරිවර්තනයත් එච්චරම සාර්ථක නෑ. එක අතකට ඒ වගෙ කතාවක් පරිවර්තනය කරන එකත් ලේසි නෑ. හෝසේ බුඑන්ඩියා සහ ඔහුගේ දරු මුණුපුරන් පරම්පරා හතක කතාවක් ඒක. ඒ අතර මායාජාලික සංකේත, භූතාත්ම ඔව්වත් තියනව.

      Delete
  6. ඔය විදර්ශන පාඨක ජාලය ගැන අහලා තිබ්බට, පොත් පිස්සෙක් උනත් මට, ඕකට සම්බන්ධ වෙන්න එච්චරම උවමනාවක් තිබ්බෙ නෑ... ඒ කාලේ නාසා එකට ලියුම් ලිව්වෙ නංගිට ඒ පිස්සුව තිබ්බ නිසා... චන්දන මෙන්ඩිස්ගෙ ශර්ලොක් හෝම්ස් පාඨක ජාලයට ලියුම් ලිව්වෙත් ඒකිට ඒ පිස්සුව තිබ්බ නිසා... කොටිම්ම කිව්වොත් කොච්චර පොත් බදාගෙන හිටියත්, ඒ පොතෙන් එහාට, ලියපු ලේඛකයා ගැනවත්, ඒ යකා කසාද බැඳලද, ළමයි ඉන්නවද, අඩුම ගානේ මේ යකා ඉන්නවද මැරිලද කියලවත් හොයන්න මට උවමනාවක් තිබ්බෙ නෑ... අදටත් ඒ ලෙඩේ ඒ විදියටම තියෙනව... පොතක් කිව්වොත් බොහොම කලාතුරකින් තමයි මට පොතේ නම, ලේඛකයා මොකාද කියල මතක තියෙන්නෙ... ෆිල්ම් කොච්චර බැලුවත් එකක් දෙකක් ඇරෙන්න මට ඕවයෙ නම් මතක නෑ... හැබැයි පොත් වලයි, ෆිල්ම් වලයි කතන්දර නං ගලේ කෙටූ අකුරු වගේ තමයි... පොඩ්ඩක් එහෙං මෙහෙං ටැපලිලි ඇරෙන්න බොහෝ දුරට කතාව මතකයි...

    කොහොම හරි විදර්ශන එකට මාව ඇදන් ගියෙ මගේ බෙස්ට් ෆ්‍රෙඩා... ඒ ලෙවල් කරන කාලේ... ඒක මේ ලංකාවට ටිකක් අමුතු කන්සෙප්ට් එකක්.. මගේ බෙස්ට් ෆ්‍රෙඩා කොල්ලෙක්.. අපි දෙන්නට තියෙන පොදු ආතල් සිය ගානක් අතරෙ පොත් කියන්නෙ ප්‍රධානම එකක්.... මේකා මාව පයින්ම නුගේගොඩ ඉඳන් කළුබෝවිල ඇදන් ගිහින් ඔන්න ඔය පාඨක ජාලෙ සාමාජිකයෙක් කළා... එදා ඉඳන් ඉතිං බුක් ෆෙයාර් ගියත් මං වැඩිම පොත් ප්‍රමාණයක් ගන්නෙ විදර්ශන එකෙන් තමයි... සමහර පොත් මට අල්ලනව... අරෑට අල්ලන්නෙ නෑ.. ඒත් වැඩිපුර වෙන්නෙ උට අල්ලන පොත් මට අල්ලන්නෙ නැති එක තමයි... හි හි....

    කොළරා කාලේ අලේ මුලින්ම කියෙව්වෙ ඉස්කෝලෙ ලයිබ්‍රියෙ පදිංචි වෙලා හිටපු ඒ ලෙවල් කරන කාලෙ තමයි... අල්ලලම ගියෙ ෆ්ලෝරන්ටිනෝ ගේ කල්කිරියාව තමයි... අප්පිරියා හිතුන.. ආයිත් මොනාද.. ඔය ඒ ලෙවල් කරන කාලේ කියන්නෙ “ පාරිශුද්ධ ආදරේ” ගැන මහ ඉහලින් හිතාගෙන, මවාගෙන, අහස උසට හීන මාලිගා හදාගෙන ඉන්න කාලයක් නෙ... මම පොත මුල ඉඳන් අගට දෙතුන් පාරක් කියවල, ඕකෙ ආතල්ම කෑලි ටික තියෙන පිටු ටික මාක් කරලා අපෙ පන්තියෙ අනිත් උන්ට දුන්න... හි හි...

    කාලෙකට පස්සෙ ඔය පොත ආයිත් කියෝන කොට උනත් මට හිතෙන්නෙ එතනත් තියෙන්නෙ මහ අසාධාරණ, ජරා, මී හරක් සමාජයක් කියල... ෆර්මිනා දාසා ගෑණියෙක් හින්ද එයාට කරන්න උන දේවල් එක්කම, පිරිමියෙක් උන ෆ්ලෝරන්ටිනෝ අරීසා ගත කරන ආතක් පාතක් නැති ජීවිතේ සන්සන්දනය කරලා බැලුවම කතාවෙ අන්තිමට මට හිතෙන්නෙම ඕක ආදර කතාවකට වඩා සමාජයට හිනාවෙන්න ලියපු කතාවක් කියල... ඇත්තටම ඒකෙ ආදර කතාවක් තියෙනව කියල මට දැනෙන්නෙම නෑ...

    කොහොම උනත් කොළරා කාලේ ආලේ කියන්නෙ පොතේ නමත් එක්ක ලේඛකයගේ නමත් මට මතක තියෙන පොත් කීපයෙන් එකක් තමයි... ඒක නිසා මාකේස් මලාය කියල ඔය කොහෙ හරි දැක්කම පොඩි හැඟීමක් දැනුන, හරියට පොඩි කාලේ ඉඳන් දැන ඇඳුනුම්කම් තියෙන, ඒත් කාලයක් අමතක වෙලා හිටපු කෙනෙක් මැරිල කියල දැනගත්තම ඇති වෙන හැඟීම වගේ....

    ReplyDelete
    Replies
    1. හිරු,

      / මට හිතෙන්නෙම ඕක ආදර කතාවකට වඩා සමාජයට හිනාවෙන්න ලියපු කතාවක් කියල... ඇත්තටම ඒකෙ ආදර කතාවක් තියෙනව කියල මට දැනෙන්නෙම නෑ…/

      මට හිතෙන්නෙ උඹ හරි කියලයි. මාකේස්ම පස්සෙ කියල තියනව මෙහෙම

      But Márquez is setting you up. As the author himself has warned: " You have to be careful not to fall into my trap."

      Delete
  7. Magical Realism කියන සංකල්පය උපරිම අයුරින් භාවිතයට ගත්ත මෑතකාලීන ලේඛකයා මාකේස් ඒ ගැන වාදයක් නැහැ. ඔහුගේ නොබෙල් ත්‍යාගලාභී සියවසක් හුදකලාව පොතට මං කැමතියි.

    උඹ කිව්ව වගේ මේක පරිවර්තනය කරේ පසන් හා තවත් අයෙක් එකතුවයි මට මතක හැටියට. පසන් බුල්ගාකොව් ගේ නියම පොත් ටිකක් පරිවර්තනය කරා. මාස්ටර් ඇන්ඩ් මාගරිටා සහ බෂෙවික් සිංගර්කේ මොකක් හරි පොතක් කරද්දි මිනිහා හිටියේ රත්මලානේ. මාත් එතකොට කටුබැද්දේ.. 1998 - 2000 කාලේදි ඔය එක්ස් කණ්ඩායමත් බැහැල හිටි කාලේ..
    මාකේස් සුභ ගමන් ඔබට..

    ReplyDelete
    Replies
    1. ඉසාක් බෂේවික්ගෙ පොත 'ගොවි රජ්ජුරුවෝ' නේද?

      Delete
    2. බූරා,

      ගොවි රජ්ජුරුවෝ පරිවර්තනය කලේ හැබැයි ගාමිණී වියන්ගොඩ.

      Delete
    3. දේශකයා..

      ඔව් පසන් කොඩිකාරයි තව කෙනෙකුයි එකතුව තමයි පරිවර්තනය කලේ කියල මට යන්තමට මතක තිබ්බ. පල්ලෙහා හරේගෙ කමෙන්ට් එකෙන් තමයි ඒ අනික් නම මතක් උනේ..අබේ දිසානායක….... හරේ කියන විදිහට අබේ දිසානායක මියගියාට පස් සෙ ඉතිරි හරිය පරිවර්තනය කරල තියෙන්නෙ පසන් කොඩිකාර.

      Delete
  8. ඉස්සෙල්ලම කියන්නේ උඹ අහපු ප්‍රශ්ණෙට උත්තරේ නම් පුළුවන් කියන එක. එවා මෙතන කිව්වොත් මගේ චරිතේ කුඩු කරලා දායි මඩ ගහන උන්. ඒක පැත්තකින් තියපුවාවේ. ඔය කොළරා කාලේ බැඳි ආලේ රාවයේ තීලා හරි එක්කෝ පොත හරි කියෙව්වා කියලා මතකයි. ඒත් මේ නම් ගම මතක තියාගන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන ප්‍රශ්ණේ. උඹට කියන්න අපේ ආච්චි මම ළඟ පාතක ඉන්නවා නම් අනික් උන්ටත් කතා අහන්න හම්බ වෙන්නේ නෑ. එයැයි ඉතින් කියන්නේ ජාතක කතා නේ. අර උඹ කිව්වා වගේ ඒ කාළේ සත්තු කතා කලාය. වෙස්සන්තර අප්පුහාමි දරුවෝ දන් දුන්නාය කියන කතන්දර නේ. වෙස්සන්තර ජරා පොරක් නේ කියලා ගුටි නොකා බේරුනේ පෙර පින් තියෙන නිසාද කොහෙද.

    කොහොම හරි බින්දි කිව්වා වගේ මාකේස් ගැන ලිය උන හොඳම ළිපිය මේක. බලාගෙන මේකේ තියෙන එවා උස්සලා සම හරක් උන්ගේ වගේ ලියනවා. ඒත් ඉතින් කාටද ආඩම්බර නේ. උඹ දන්නවා, අපි දන්නවා කව්ද ඒවා මුලින් සයිබර් එකේ ලිව්වේ කියලා.

    පට්ටම රහයි, වල්ලා පට්ට.

    ReplyDelete
    Replies
    1. මේ මොන මෝඩයෙක්ද වලං කඩේට පැන්න ගොනා වගේ. උඹයි කෙන්ජියි සෙට් වෙලා ගන්න වෙන ආතල් එකක් ගනිං. මිනිස්සු වැදගත් දෙයක් කතා කරන කොට ගොං චුන් දාලා ආතල් කන්න එපා. නලියත් උඹේ සෙට් එකේ කලින් හිටියට දැන් ඌ ටික ටික ශේප් වෙන්නේ උඹලගේ ගොන් වැඩ නිසා. අයියෝ ගූතලන්.

      Delete
    2. ඇයි උඹට අර්ෂස්ද මෙතනත් ඇවිත් කොමෙන්ට් දාන්නේ. ආන් කක්කුස්සි වලක් වෙනම ඇරලා තියෙනවා එතන ගිහින් රීපන්. මෙතන රෙන්නේ නැතිව. සමාවෙයන් රවී උඹ වෙනුවෙන් පෙනී හිටියටයි මේ හැම එකාටම අමාරුව. උඹට අවුල් නම් මේක මකපන්. මේක නෙමෙයි මගේ කොමෙන්ට් එකත් මකපන්. කිසි අවුලක් නෑ.

      Delete
    3. මාතා.....රවීට ගැටළුවක් නැත්නම් උඹ ලියපන් උඹට ඕනදේ. ඒවා ඕන නැතිනම් රවී කමෙන්ට් වහයිනේ. සීරියස් ගන්න එපා.

      ඇනෝ....උඹත් ලියපන්. ඒත් එක එකාට නීති උපදෙස් දෙන්න එපා. මම හිතන්නේ ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි දියුණු මිනිස් සමාජය තුල. අපි කතා කරන ආදරය සහ මාකේස්...ගැන කතාකරන්න හැමෝටම පුළුවන්.

      Delete
    4. මුන්ම කියන මේ වැදගත් දේවල් අමු අමුවේ උස්සලා උන්ගේ වගේ ලියන කොට කොහොමද බං කට වහගෙන ඉන්නේ. දැන් කොන්ද පණ නැති නිසා ඇනෝ එනවා.

      Delete
    5. මාතලන්,

      පිස්සුද මලයා..මොකටද කමෙන්ට් එක අයින් කරල දාන්නෙ? හෙහ්,හෙහ්, ඔව්ව ගණං ගන්න එපා බං...

      Delete
  9. මචං අර ගපුර් ගුල්යාම්ගේ මගේ හපන්කම් මුලින්ම අසු ගණන්වල කියවල ඉල රිදෙනතුරු හිනාවුණා පස්සෙ ඒ පොත මිසිං,පස්සෙ 99 ජනවාරි පළවෙනිදා ඉන්දියාවෙදි මහාබෝධියට ආව කවුරුහරි මට ඒ පොත දුන්නා තාම මා ළඟ තියෙනව.ඊට පස්සෙ කාලෙක ගපුර් ගුල්යාම්ගෙ තව පොතක් දැකල ඒක ගත්ත ලස්සන ඇති කියල හිතාගෙන නම දඟකාර පෙට්ටගම බැලින්නම් ඒකත් මගේ හපන්කම්ම තමා වෙන නමකින් ගහපු.
    කොලරා කාලෙ ආලේ ගැන කියන්න අමුතුවෙන් යමක් නෑනෙ බං,හැබැයි සියක් වසක හුදකලාව නං මට කියවන්න හරි අමාරු වුනා කරකෝල අතඇරිය වගේ වෙනව.
    ඒක නෙවෙයි මේ දවස්වල උඹ ලංකාවෙද,ප්‍රියම්බිකාවත් එක්ක පොත් ගැන කතාකරන සීන් එකක් තියෙන නිසයි ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      / මචං අර ගපුර් ගුල්යාම්ගේ මගේ හපන්කම් මුලින්ම අසු ගණන්වල කියවල ඉල රිදෙනතුරු හිනාවුණා /

      හෙහ්, හෙහ්, පිස්සුම කතාව ඒක නේද? කොහොමද අර කොලුවගෙ ( මට උගෙ නම මතක නෑ) ගජ බින්න? බායිගෙ පිහියෙ මිට කැඩුනයි කියල පටන් ගන්නෙ..අන්තිමට බායියගෙ බාල පුතා මලා කියලයි ඉවර කරන්නෙ..ආය තිබ්බ මාමගෙ උකුස්සන්ට කිරි කවල එවුං සෙට්ට පෝච්චි වෙනව.මතක් වෙනකොටත් මට හිනා යනව.

      / ඒක නෙවෙයි මේ දවස්වල උඹ ලංකාවෙද,ප්‍රියම්බිකාවත් එක්ක පොත් ගැන කතාකරන සීන් එකක් තියෙන නිසයි ඇහුවේ. /

      මට යන්ට උනේ නෑ බං..අවුරුදු පහුවෙලා උන්දැමෙහෙ ආව… :) :)

      Delete
    2. මෙන්න තව එකෙක් ඉන්නවා.. මට නම් හොඳටම මතක "ඒ සර්කස් එකේ ගෑනියෙක් හෙළුවෙන් නටනවලු" කියන කෑල්ල .. මම හිතන්නේ පොඩි කාලේ ඔය හෙළුවෙන් ඉන්න කෑල්ලක් මුලින්ම කියෙව්වේ ඔය පොතෙන්.. හෙහ් හෙහ්

      ගපුර් ගුල්යාම් ගේ සිංහලට පර්වර්තනය කරලා තියෙන වෙන පොත් මොනවාද

      Delete
    3. පැතුම්,

      ගෆූර් ගුල්යාම්ගෙ තව පොත් සිංහලෙන් තියනවද කියලනම් දන්නෙ නෑ බං...

      උඹ පොඩි කාලෙ කියෙව්වද " දැත්තගෙයි යාළුවන්ගෙයි හපන්කම් " කියල පොතක්..පොතක් කිව්වට මට මතක විදිහට පොත් තුනක් වගෙ තිබ්බ. ප්‍රගති ප්‍රකාශකයෝ..පරිවර්තනය ඒත් රුද්‍රිගු මහත්තය වෙන්න ඕන. කර්තෘ ඇවිල්ල නිකලෝයි නෝසොව් Nikolai Nosov...රුසියන් වචන උච්චාරණය වෙන විදිහට නෝසෆ් මම හිතන්නෙ හරියටම නම්...දැත්තා,දත්තා, බාගවිට,බාගදා එහෙම හිටිය ඒ කතාවල...ඒත් මගෙ ළමා කාලයෙ අමරණීය මතක සටහනක්...

      Delete
    4. එක නම් කියවල නෑ රවී අයියේ .. මගේ ළඟ තිබුන තොල්යා සහ ඔහුගේ යහළුවෝ කියල පොතක් නම්.. අර රන්දිකා සැරෙන් සැරේ ලියල දාන කතා වල තියෙන විදියේ කතා තිබ්බ පොතක්... ඔය පොත් ටික හොයල තියා ගන්න ඕනේ.. කවද හරි පැන්ෂන් ගත්ත කාලෙක කියවන්න.. :)

      Delete
  10. මාකේස් මගේ ප්‍රියතම ලේඛකයෙක් නොවුනත් එක සැරයක් කියෝපු එයැයිගේ පොතක් ආපහු කියවන්න හිත නොදුන්නත් ඔහුගේ ලියැවිල්ලේ නැවුම් බවක් තියනවා කියන එක මමත් අකමැත්තෙන් හරි පිළිගන්නවා. ඒක නිසා වෙන්න ඇති ඔහුගේ පොතක් දැක්ක හැමවෙලේම ඒක ගන්න හිතාගන්නේ..

    මම කියවන පොතක් ඉවර වෙන්න ඕන අතර මැද ගැට ඔක්කොම සාර්ථකව ලිහලා දාලා කියලා මම හිතාගෙන ඉන්න නිසා මේ වගේ පොතක් එකදිගට කියවන්න ඉවසීම හදාගන්න අමාරුයි..ඒත් රවී වගේ මකේස්ගේ පොත්වල රසමුසු පැණි බේරෙන තැන් නම් මගෙන් බේරිලා යන්නෑ..

    ReplyDelete
    Replies
    1. රූ,

      කතාව ඇත්ත, මාකේස්ගෙ ශෛලියට බොහෝ දෙනෙක් කැමති නෑ තමයි...:)

      Delete
  11. << එහෙම පුලුවන්ද? >>

    << " ඒ මිනිහට පිස්සු …" >>

    ඔච්චර පැහැදිලිවට උත්තරේ දීලා තියෙද්දි ආයෙ මොන කෙහෙම්මලකටද අපෙන් අහන්නේ ?

    මම හිතන් හිටියේ මේ මනුස්සයා මැරිලා ගොඩාක් කල් කියලා.

    ඔය වගේ සිංහල බ්ලොග් කරුවෙක් ඉන්නවා පුළුවන්නම් නම් කර වටිනා ත‍යාගයක් දිනා ගන්න....

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      කවුද බං බ්ලොග්කරුවා? මට දැනට හම්බ වෙල තියෙන්නෙ බ්ලොග් කරුවන් තුන්දෙනයි. ඒ නිසා සොරි ...මම නොදනිමි.

      පලි- පලි නෙවෙයි ඇත්තටම ප.වි.වෙන්න ඕන..පසුව විමසමි...ඔය කියන බ්ලොග් කරුවා ඇවිල්ල ඡායාරූප ශිල්පයටත් සම්බන්දයිද?

      Delete
    2. එහෙනං, මිනිහා මේ ළඟදි දවසක ෆොටෝ වලින්ම සජීවී වාර්තාකරණයකුත් කළා.. :D

      Delete
  12. මේ දවස්වල කියවන්න කම්මැලි නිසා සහ ඩේටා ලිමිට් පැනල තියෙන නිසා කියවන්නෙ නැති තරං. නමුත් විදර්ශන ගැන කියවුන නිසා ඉබේම මේ පැත්තට පා වුණා.

    ඔය කියන ඩිස්ට්‍රිබියුට් කරල ලව් කරන වැඩේ මම හිතන්නෙ පිරිමින්ට කරන්න පුළුවන්. නමුත් කාන්තාවන්ට කොයිතරම් දුරට කරන්න පුළුවන් වෙයිද මන්දා. ඒක මට හිතෙන විධියට එක එක්කෙනාගෙ අත්දැකීම් අනුව වෙන එකක්. ඔය ෆ්ලොරෙන්ටිනෝ ෆර්මිනා ජෝඩුවගෙ කතාවත් ඔහොම වෙන්නෙ ඒ දෙන්න මුලදිම එකතු නොවුන නිසානෙ. මුලදිම එකතු වුණානං එතන කතාවක් ලියන්න තරං දෙයක් ඉතුරු වෙන එකක් නෑ. මම ඒ පොත කියවල නෑ. නමුත් චිත්‍රපටිය බැලුවා... මරු!

    ඔය සියක්වසක හුදකලාව මාත් සෑහෙන්න රසවිඳපු පොතක්. අපේ මායියත් එහෙමයි. හැබැයි පරිවර්තනේ කරපු අබේ දිසානායක මහත්තය නැතිවුණාට පස්සෙ පසන් කොඩිකාර මහත්තය පරිවර්තනය කරපු හරිය ටිකක් මඤ්ඤං...

    ReplyDelete
    Replies
    1. //කාන්තාවන්ට කොයිතරම් දුරට කරන්න පුළුවන් වෙයිද මන්දා.//

      හෙහ්, එයාල තමා ඕක වැඩිපුරම කරන්නෙ, ඔය නොකිය නොකිය උන්නට.

      Delete
    2. මචංස්ලා....ඔය වැඩේ අපිට වඩා උන්ට පුළුවන් මගේ හිතේ...අපි කොහෙද දෙකක් දාගත්තාම ඔහේ කියලා දානවනේ. දැන් ඉතින් ස්ත්‍රී පරාන කිව්වාම ඔක්කොම අයිති නැහැ හොඳේ. මාකේස් අපි තරම් බොන්න නැතුව ඇති. මෙහෙම ලියන්නේ ඒ මරණය ගොන් චූන් එකක් කරගන්න නෙමේ. ඒ චරිතය අපේ හිත් තුල තියෙන බව කියන්න.

      Delete
    3. හරේ,

      අබේ දිසානායක ගැන සඳහන් කලාට ස්තූතියි :)

      Delete
    4. සාමාන්‍යයෙන් ගෑණු පිරිමි දෙගොල්ලොම බේදයක් නැතිව ඔය වැඩේට දස්සයි. නමුත් මාකේස් උන්නැහැ මෙතනදි කියන්නෙ එහෙම එකක් ගැන නෙවෙයි. කොච්චර ආශ්‍රය කිරීම් කලත් ඒව ඇතුලෙ මේ කියන ආදරේ නැති වෙන්න පුළුවන්.

      Delete
  13. කොළරා කාලේ ආලේ - ගාබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්

    ගාමිණී වියන්ගොඩ පරිවර්ථනය කරපු ඒ විසාල පොත මම අනූ හතේ අවුරුද්දෙ දවසක දයාවංස පොත් කඩෙන් ගත්තෙ ලේඛකයගෙ අපූරු නමයි පොතේ නමයි නිසා මිසක් ඊට කලින් උන්දැ ගැන මෙලෝ දෙයක් අහල තිබ්බ නිසා නෙමෙයි.

    ඒ පොත කියෙව්වයින් පස්සෙ මාර්කේස් ගැන ගොඩක් විස්තර ඇහෙන්න ගත්ත. හරියට අර තමන් අලුත කාර් එකක් ගත්තම ඒ ජාතියෙ කාර් පාර පුරාම දකිනව වගේ.

    මම හිතන්නෙ ලංකාවෙ "බුක්වර්ම්ස්" නොවන්නන් අතරෙ මාර්කේස් ජනප්‍රිය උනේ මලාට පස්සෙ කියල :D

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      තාම උනත් බහුතරයක් දන්නෙ නෑ මාකේස් ගැන.

      ඉෂාක් බෂෙවිස් සිංගර් කියන්නෙ 1978 නොබෙල් සාහිත්‍යය ත්‍යාගය දිනාගත් ලේඛකයා.ඒ කිට්ටුවම වගෙ නගර ශාලාවෙ තිබ්බ ඔහු ගැන සම්මන්ත්‍රණයක්." සිංගර් හඳුනා ගනිමු " කියල.

      ඒ ගැන දැනුවත් කරන්ට පාර හරහ එල්ලපු බැනර් එකක් දැකල තියනව ඔතනින් ගිය සිංගර් ආයතනයෙ අධ්‍යක්ෂ කෙනෙක්. මිනිහ ඔෆිස් එකට ගිහිල්ල යකා නැටුවලු සිංගර් වෙලඳ නාමයෙ හිමිකම තියෙන්නෙ අපිටයි. වෙන කාටවත් ඒ නම පාවිච්චි කරල සම්මන්ත්‍රණ තියන්න බැහැය කියල.එයාලගෙ ලීගල් ඩිපාර්ට්මන්ට් එකට කිව්වලු වහාම උසාවි ගිහිල්ල තහනම් නියෝගයක් ගන්නෙයි කියල. කොහොම හරි යන්තමට සාහිත්‍යය ගැන දන්න කෙනෙක් ඉඳල හත් පලේ ගාගන්නෙ නැතුව ජාම් බේරගෙන තියෙන්නෙ.

      Delete
  14. මාර්කේස් ලේඛකයෙක්ද චින්තකයෙක්ද කියන එක මටනම් ගැටළුවක්. තිත්ත ඇත්ත කතාකරපු මිනිහෙක් කියන එකයි මට තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරක...මම එහෙමයි හිතන්නේ. ඔහු හුදු ලේඛකයෙක් පමණක් නොවේ. මට Paulo Coelho පේන්නෙත් එහෙමයි. මේ මගේ අදහස.

      Delete
    2. විචාරක,

      මමත් එකඟයි ඒ අදහසට...:)

      Delete
    3. arugeadaviya, අපි මේ උදේ හවස වන්දනා කරන්නේ පවුලෝ කොයියෝ පෙන්නනන හදන ඇත්තට. අපි ඒ ඇත්ත බොහෝ කාලයක් තිස්සේ දැන දැනත් හරියට දකින්නේ නැතුව වන්දනා කරනවා..

      Delete
  15. කොලරා කාලේ ආලේ මමත් කියෙවුව, ඒ පොත කැම්පස් එකේ ලයිබ්රියෙන් අරගෙන කවුරුහරි හොස්ටල් එකට ගෙනත් තිබුණ.
    මට ඔය පොත මතකයේ රැඳෙන්නෙ ගොඩක් වලි වලට මුල් වෙච්ච පොතක් හැටියට..
    ඔය පොත හොස්ටල් එකට ගෙනාවත් හරි, පොත කියවන්න ඕන කියල එක එකා තරඟෙට වලි..
    හොස්ටල් එකේ කට්ටියම කියවල ඉවර කලාට පස්සෙ, මම පොත ගෙදර අරගෙන ගියේ නිවී හැනිල්ලේ කියවන්න හිතාගෙන... කොහෙ කියවන්නද, පොත කියව කියව ඉඳල විනාඩියකට බාත්රූම් එකට ගිහින් එන්න ගියා කියමු, ඒ චුට්ට ට පොත නැහැ, බැලින්නම් අක්ක කියවනව..
    ඔන්න ඔහොම, පොත ගෙදර ගෙනල්ලත් අන්තිමට කියවන්න සිද්ද උනේ අක්ක එක්ක තරඟෙට වලි දාගෙන :)
    ඒ කාලේ එතරම් ගැඹුරක් දැනුනේ නැහැ, ඒත් කතාව ගොඩක් රසවින්දා, ආයෙම කියවන්න ආසයි. කතාවේ අන්තිම හරියේ මෙහෙම දෙබසක් තිබුණ නේද
    "මට ලැජ්ජයි, මගේ ළඟ නාකි ගෑනියෙක් වගේ ගඳයි"

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      යස් මැඩම් එහෙම දෙබසක් තිබ්බ තමයි...:)

      හැලප මේ ඊයෙ පෙරේද කිව්ව ෆර්මිනා මෙහෙමත් කියනව කියල. " මම ඔයාව බඳින්නම්. හැබැයි මට වම්බටු කන්නෙයි කියල බලකරන්නෙ නෑ කියල පොරොන්දු වෙනවනම් විතරයි. "

      Delete
    2. මට ඒක නම් මතක නැහැ රවී තුමා.. කොහෙ මතක තියෙන්නද, ඒ කාලේ ඕවා තේරෙන්නේ නැහැ :D

      Delete
  16. මොන ඉන්ද්‍රජාලික යතාර්ථවාද ආවත් මගෙ හිත තාම යන්නෙ යථාර්ථවාදයට. වැඩිය නවකථා නොකියවීමේ අවුල ද මන්දා හේතුව!

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      අන්න ඒකනෙ බොලේ...සරල කතාවලට තමයි හැමෝම කැමති...:)

      Delete
  17. විදර්ශන පාඨක ජාලේ මුල්ම කාලේ සාමාජිකත්වයක් ගන්න මටත් පුළුවන් වුණා.. අපේ අක්කත් ඔය සීන් එක පත්තරේ දැකල තමයි අපි සෙට් වුනේ... එදා ඉඳන් අද දක්වා විදර්ශනේ පොත් ගන්නවා

    ගේබ්‍රියල් ගාර්සියා මාර්කේස් ගැන දන්නා අය පොත් කියවපු අය ගොඩක් දැකල තියෙනවා.. හැබැයි ගපුර් ගුල්යාම් ගේ මගේ හපන්කම් පොත කියවපු කෙනෙක් ව මේ බ්ලොග් ලෝකේ මුලින්ම හම්බ වුනේ අද.. මම හිතා ගෙන හිටියේ මම විතරයි ඒ පොතට කැමති කියල... හෙහ් හෙහ්

    මම හිතන්නේ 25 පාරක් වත් මම ඒ පොත කියවල ඇති... දැන් නම් පොත කොහෙද දන්නේ නෑ...

    මම කොලරා කාලේ ආලේ පොත බලල නෑ.. හැබැයි ෆිල්ම් එක බැලුවා.. ෆ්ලෝරන්ටිනෝ වගේ වෙන්න අපේ හිත කැමති වුනාට මේ 2500ක් පරණ සංකෘතිය අපිව හිර කරලනේ... අපි හරි පව් ඒ අතින්..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      මගේ හපන්කම් පොතේ මම කැමතිම තව කොටසක් තමයි මතකද අර බූරුවෙක්ද අස්සයෙක්ද කොහෙද මරල යාලුවො දෙන්න මසුත් මල්ලක පුරවගෙන පැනල යනව. කතා නායකය මල්ල අස්සට රිංගල යාලුවගෙ කර පිටින් යන්නෙ. ඒ මස් වල බර ගැන කියල තිබ්බෙ පුඩ් තුනක මස් කියල. පුඩ් කියන්නෙ බර මනින ඒකකයක් වෙන්න ඇති තෂ්කෙන්ට් පළාතෙ.යාලුව ගහක් යට මල්ල තියල නිදාගෙන ඉන්නකොට කතා නායකය මල්ලෙන් එලියට එනව..හෙහ්,හෙහ්

      Delete
    2. දැන් ආයේ පොත හොයාගෙන කියවන්න හිතෙනවා මේවා දකිනකොට.. :)

      Delete
    3. @රවි,

      ඇයි බංස්, ඔය රුසියන් කතා පොත්වලදි බර කියන්නෙම පූඩ් වලින් නෙ.. මෙට්‍රික් ක්‍රමේ එන්ට කලියෙන් වෙන්ටැති (අපේ රාත්තල් වගේ).. පූඩ් එකක් කියන්නෙ ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 16ක්..

      Delete
    4. බූරා,

      දුර කියන්නෙ නම් ලීග වලින් කියල මතකයි. ලීග් එකක් කියන්නෙ කිලෝ මීටර් 5.5 ක්. පද්මහර්ෂ කුරණගේගෙ එහෙම පරිවර්තන මට තාම මතකයි.

      වසර විස්සකට පමණ පෙර එක් දරුණු ශීත සෘතුවක මට රාජකාරි කටයුත්තක් සඳහා හ....... නගරයට යාමට සිදුවිය. දැඩි හිමපතනයෙන් ලිස්සන සුලුවූ අබලන් මාවතේ කොරගසමින් ගිය මහළු අසුන් දෙදෙනා ඒ ලීග හයක ගමන සඳහා වරු දෙකක්ම ගතකළෝය.පොප්ලර් ගස් දෙපෙලකින් සෙවණවූ අතුරු මාවතකින් අප හ....නගරයෙහිවූ එකම තානායම වෙත ලඟාවන විට හිමකැටි මිශ්‍ර පොද වැස්සක් ඇද හැලෙමින් තිබිණ.

      මී පැණි පැහැ පැරණි ඕක් ලීයෙන් කල දැවැන්ත දෙපළු දොරෙහි එල්ලා තිබූ අශ්ව ලාඩම ඔසවා අමුත්තකු පැමිණ සිටින බවට සංඥා කිරීමට සූදානම් වත්ම එක්වරම එහි එක් පළුවක් විවරවිය. විවරවූ දොරපලුවෙන් දිස්වූ ආලින්දයෙහි තුන්පා කනප්පුවක් මත උස්වූ පටු චිමිනියකින් සහ තඹවන් බඳකින් සමන්විත ලාම්පුවක් දැල්වුනේ කහ පැහැ මලානික එළියක් විහිදුවමිනි. ඒ එළිය පසුබිම් කොටගෙන එළිපත මත සෘජුවූ කයින් යුතුව මදෙස තම නිල්වන්වූ දෑස් විදහා බලා සිටියේ පුලුල්වූ උරහිසින් යුතු යොවුන් වියේ රූමත් යුවතියකි. සම දසන් විදහා මද සිනහවක් පළකල ඕ ගෙතුලට පිවිසෙනු පිණිස මට ඉඩ සලසනු වස් පසෙකට වූවාය.

      Delete
    5. මේ ටික මොන පොතේ ද? පොප්ලර් ගස් දැක්කම දුයිෂෙන් ව මතක් වුනාට මෙහෙම කෑල්ලක් එකේ තිබුනේ නෑ...

      මටත් ඔහොම් දරුණු හිම පතනෙක සීතලේ ඇවිදන් ගිහින් අබලන් තානායමක මුල්ලකට වෙලා දුම් දමන කොපි කෝප්පයක් බොන්න පට්ට ආසාවක් තියෙන්නේ.. අපේ වෙලාවට ලංකාවට හිම වැටෙන්නේ නෑ..

      Delete
    6. පැතුම්,

      වචන නම් හරියටම හරි නැතුව ඇති. මම ඔය මතකෙන් ලිව්වෙ..පොත ඇවිල්ල රුසියන් කෙටි කතා...කතාව තානායම්කරුවාගේ දියණිය රචකයා මට මතක විදිහට ඉවාන් තුර්ගේනිව්

      නියම කතාටිකක් තිබ්බ ඒ පොතේ..රත්මිණි වළල්ල, මූමූ, බාල් නැටුමෙන් පසු, ලිපිකරුවාගේ මරණය, බල්ලා සමඟ යන කාන්තාව,

      Delete
    7. 'මුමූ '

      අන්න මම ආස කරන කතාවක්.. කිව්වට විස්වාස කරන්න.. මම ඒ කතාව කියෝලා ඇඩුව වරුවක් විතර.. අන්තිමට මම කොලේක මෙහෙම ලියල දොර ගාව ගහල තිබ්බ
      'ඒක කතාවක් විතරයි මැට්ටියේ '

      Delete
    8. @රවි,

      යකෝව්! 'තානායම්පතියාගේ දියණිය' පුෂ්කින්ගෙ කතාවක්.. ගර්ර්ර්..

      දුර කිවුවෙ ලීග වලින්ද? වර්ස්ට් වලින් නෙවෙයිද?

      Delete
    9. බූරා,

      හරි බං ඔන්න මතක් උනා..වර්ස්ට් වලිනුත් දුර මැන්න තමයි. වර්ස්ට් එකක් ආසන්න වශයෙන් කිලෝමීටරයකට සමානයිලු. ඒත් මම මුලින්ම කියවපු කතාවල තිබ්බෙ ලීග කියල.

      ගලෝෂි (සාමාන්‍ය සපත්තු උඩින් අඳින හිම සපත්තු වර්ගයක් ), සැමොවාරය ( තේ උණුකරන උදුනක් ) ,පර්කාව ( උණුසුම් හිම කබායක් ) , කොල්බසා ( සොසේජ් වර්ගයක් )..එහෙම මතකද?

      Delete
    10. ඇයි බං ලාප්ති? බුදිඔනි තොප්පිය? ත්‍රොයිකාව?

      ලිසවෙතා ඉවානව්නා සරපාන් නමැති ගොවි ඇඳුමින් සැරසිලා ලාප්ති දෙකකුත් දාගෙන අකුලීනා කියන ගැමි තරුණිය විදියට වෙස් වලාගෙන තරුණ මෙරේස්යේව් හම්බවෙන්ට යන හැටි මතකද? (වෙස් වලාගත් තරුණිය - ඇ. පුෂ්කින්)

      Delete
    11. බුරාට ආචාරය...

      Delete
    12. බූරා,

      ලාප්ති කියන්නෙ බූට්ස් වගෙ සපත්තු ජාතියක් නේද? ලාප්ති සම්බන්ධ මෙහෙම කතාවක් මට මතකයි ..මේක ඇවිල්ල බරීස් පලෙවොයිගෙ සැබෑ මිනිසකුගේ කතාවක්...මතකනෙ?... අලෙක්සේයි මෙරේස්යේව්

      රුසියානු බෝම්බ හෙලන යානා වලට නියමිත නමක් තිබුනට පොදුවෙ ඒවා හඳුන්වල තියෙන්නෙ ලප්ටේෂ්නික් කියල. හේතුව එව්වයෙ බෝම්බ ගබඩා කරන්ට හදල තිබ්බ කොටස පොළවෙ ඉඳල බලන අයට පෙනිල තියෙන්නෙ ලාප්ති කියන සපත්තුවක් වගේ.

      ජර්මානු මෙසර්ෂ්මිට් ප්‍රහාරක යානයක් බිම දැම්මම කඳවුරේ හැමෝටම රාත්‍රී ආහාරයට පස් සෙ විශේෂ පුඩිං බඳුනක් දෙනවලු. ඒ නිසා ජර්මන් ප්‍රහාරක යානා හඳුන්වල තියෙන්නෙ පුඩිං කියල..

      " ඔන්න පුඩිං එනවෝ.."

      ගුවන් අනතුරු හඟවන නලා හඬ අතරින් ඈත අහසේ මතුවන කළු තිත් බඳු ජර්මන් ප්‍රහාරක යානා දෙස බලමින් තම යානාවන් වෙත දිවයන ගුවන් නියමුවෝ හඬ නඟා සිනාසුණෝය.

      අර ඉස්පිරිතාලෙදි අලෙක්සේයිගෙ එහා ඇඳේ ඉඳල ශබ්දකෝෂයක උදව්වෙන් ජර්මන් වචන ඉගෙන ගන්න කොමිසාර් ද කවුද මතකද?

      " කොමිසාර් සහෝදරය..මටනම් හිතෙන්නෙ ඔහේ නිකම් අපරාදෙ කාලෙ නාස්ති කරනව කියලයි. ඔය ජර්මන් ඉගෙන ගැනිල්ලෙන් මොකක්ද තියෙන ප්‍රයෝජනේ හැබෑටම?අපි දැන් බර්ලීනය අල්ලගන්ට බොහොම කිට්ටුයි නෙව….."

      විටෙක ඔහුගේ ඇඳේ ඉඳගන්නා මැදිවියැති සොල්දාදුවෙක් විමසයි.

      " අනේ උන්නැහේ...ඔහේ මේ මොනවද කියන්නෙ? ඒ හින්දම තමයි අපි ජර්මන් ඉගෙන ගන්න ඕන. බර්ලින් අල්ලගත්තම ජර්මන් කෙල්ලො එක්ක අපි කතා කරන්න ඕන මොන බාසාවෙන් කියලද ඔහේ හිතන්නෙ හැබෑටම? "

      තවම ඔව්ව මතක තියෙන්නෙ බං ඒ විශිෂ්ඨ පරිවර්තනය හින්ද..වෙන මොකවත් එහෙම නෙවෙයි...

      Delete
    13. / බුරාට ආචාරය /

      අඩේ මගේ සුබ පැතුම්!!!!! මම ඔය වගක් දැනගෙන හිටියෙ නෑ..කොහෙද මේ බුරා ඇවිල්ල කොච්චර නිහනමානීද කියනවනම් නිකමටවත් අපිට කිව්වෙ නෑනෙව..

      Delete
    14. අර බෝම්බ දාන ගුවන්යානා යාකොව්ලෙව් (Yak-2 & Yak-4), ප්‍රහාරක යානා ලාවොච්කින් (La-5).. මේ නම් එන්නෙ Chief Design Engineerගෙ නමින්, ඇලෙක්සැන්ඩර් යාකොව්ලෙව් හා සිමියොන් ලාවොච්කින්..

      Delete
  18. //කියවල ඉවර වෙලා දෙකක් හීන්වට නවාගෙන නළලත් රැළි කරගෙන කල්පනා කරන්න වෙනව ඒ ගැන වැඩි දුරටත්//

    සම්පුර්ණ ඇත්ත රවීයියා,මට හිතෙන විදියට එහෙම පොතක් තමයි "පවුලෝ කොයියෝගේ" "යක්ෂයා සහා ප්‍රයිම් මෙනවිය"කියන පොත.ඔය පොත මම ගත්තු ගමන් මගෙන් කෙල්ලෙක් ඉල්ලා ගත්තා කියවල දෙන්නම් කියලා.මමත් ඉතින් පොත දුන්නා මේකිට කියවලා දෙන්න කියලා.මෙන්න මට ඊගාව සතියේ මට මෙයා පොත ගෙනත් දුන්නා.මම ඇහුවා කොහොමද පොත කියලා.එකී මට කිවේ මෙහෙම පොත් නම් ආයෙත් එපා කියලායි.මම ඇහුවා මොකෝ කියලා.එයා කියපි ඒ පොත කියවපුවම මොළේ කුරුවල් වුණා කියලා.මමත් ඉතින් ඒකිට නක්කලයක් දාලා කිවා ඔයාලා කවදා මේ වගේ පොත් කියවලා තියේද කියලා?එහෙම කිවත් මටත් ඒ පොත කියවපුවම හිතුනේ ඒ කෙල්ල කිව්ව කතාව ඇත්ත කියලායි.එහෙම පොත් කියවන එක නම් මට ඇත්තටම බරක් ඔළුවට.

    ඔය "කොලරා කාලේ ආලේ"පොත ගැන හැලපයියාගේ පොස්ට් එකක දැකලා ගිය සතියේ යාළුවකුට කියලා මරදානෙන් ගෙන්වා ගත්තා.එත් තාමත් කියවන්න ලැබුනේ නම් නැහැ...:(

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      එහෙම්මම අතෑරල දාන්ටත් එපා මල්ලි, පුල් ඩම් දාල පුරුස දහිරිය හිතට අරගෙන ජොකා එහෙම උඩට උස්සල කියවගෙන පලයං...අරිංඩ එපා...හොඳේ?....හෙහ්,හෙහ්

      Delete
    2. මනෝජ්,
      ඔය රවී කියල තියෙන විදියටම පොත කියෝපං හරිද,ජොකා මදි වගේ හිතෙනව නං තව ජොකෙක් ඇඳගනිං අර අසෝකන් කැබරේ බලන්න යන්න ඇන්දාහේ.කියෝල ගුණ පණ අපටත් කියහංකො

      Delete
    3. ඒ හැලපයියේ උඹේ අසෝකන්ගේ ගානට අපිව දාන්න එපා හරිය...:D
      කීවාට විශ්වාස කරපල්ලා ගිය අවුරුද්දේ කියවන්න ගත්තු පොත තාමත් කියවනවානේ.ඒ තරම් අප්‍රබන්සයක් වගේ මට නම් ඒ පොත.බොලල කියලා තියෙනවා වගේ ජොකා දාලා කියවලා බලන්න ඕනේ.එතකොටවත් තේරුම් ගන්න ඇහැක් වේවිද කියලා.

      Delete
  19. මම මේ මොකුත් නොකියා හිටියේ මම ඔය ලේඛකයා ගැන මෙලෝ දෙයක් දන්නෙත් නැති නිසා. මම මෙහෙමම ඉන්නම් ඈ.

    ReplyDelete
    Replies
    1. Henry,

      / මම මේ මොකුත් නොකියා හිටියේ මම ඔය ලේඛකයා ගැන මෙලෝ දෙයක් දන්නෙත් නැති නිසා /

      එහෙම කොහොමද බොල?....අර උඹම දවසක් කිව්ව වගේ නේරු ගැන ලිව්වම ඒ ගැන මේ ලෝකෙ දෙයක් දන්නෙ නැත්තං කරන්ට තියෙන්නෙ සරනේරු ගැන කතා කරන එක...ඒ නිසා මල්ලි කොළරාව ගැන දන්නෙ නැත්තං උඹ අර මුල් ගුරුතුමාත් එක්ක ගිහිල්ල කොළ පාට රා බීපු සීන් එකක් අර දවසක් කිව්වෙ. ඒ ගැන කතා කරමු අපි...හෙහ්,හෙහ්,

      පලි - අනික කොහොමත් උඹට බේරෙන්ට වෙන්නෙ නෑ. අන්න සෙන්න කියල තියනව උඹ හරියටම මාකේස් වගේමයි කියල. මාකේසය මැරිච්ච හින්දම හොඳයි. නැත්තං ඕකා ඉතුරු වෙච්චි කොළරා පොත් ටික ගොඩ ගහල ඒක උඩ බුදියගෙන ගිණි තියාගෙන මැරෙන එකත් මැරෙනව.

      Delete
    2. හුටා,සෙන්නයියා කියන්නේ මේ මෙයා ගැනද....?

      Delete
    3. ඒ කියල තියෙන්නේ ඩුඩ් ගැනමද? මාකේස් සුදුයි නේ :)
      (විහිළුවක් කලේ ඩුඩ්, තරහ ගන්නේ නෑ නේද) :)

      Delete
    4. මේ රවියගේ සාමාන්ය දැනීම බින්දුවයි බන්ලා... හෙන්රියට කොහෙද යකෝ ඔහොම බුරුසු රැවුලක්.. අනේ මන්දා රවියා මම හිතුවට වැඩිය නාකියෙක් වගේ... :D

      Delete
    5. සෙන්නා,

      හෙහ් මම එහෙම කිව්වෙ හෙන්රියව ටිකක් කුල්මත් කරල ගන්ට හිතාගෙන. මම ඡායාරූප ශිල්පයටත් සම්බන්ධද කියල ඇහුවෙ නම් වෙන ඔය ඉඳල හිටල පෝස්ට් එකක් ලියන හොඳ වැඩකාරයෙක් ගැන හිතාගෙන. ඒත් මම කියන මනුස්සයගෙ බුරුසුවක් නෑ මට මතක විදිහට. කොණ්ඩෙනම් හරි...

      Delete
    6. ඉතින් පොර කවුද කියලා අර වටිනා තාග්ගය දිනා ගන්න එපායෑ... :D

      Delete
    7. උඹේ ආරාධනාවට බය හැක නැතුව ගියා. මනුස්සයෙක් මැරිලා ඉන්දැද්දි කියන එක හරි නැති නිසා ඉස්සෙල්ලම මට මේකට ලියන්න හිතුනු නමුත් නොලිව්ව කමෙන්ට් එක මෙන්න:

      උඹ කතාවේ අන්තිම දෙබස (එකබසද මන්දා) දාලා නෑ. මේක නේද ඒ කෑල්ල?

      " මාකේස් ඒ රයිටර්ගෙ නම. එයා ඊයෙ මැරිල…"

      "හොඳ වැඩේ"

      @මනෝජ්, මානවිකාස්, සෙන්නා: ඒ කුල්මත් කිරිල්ල හරිගියේ නෑ. මම දන්න බුරුසු ‍රැවුලා අර කොළ කැඳ බොන, ගැජට් වලට ආදරය කරන, ස්නෝර්ක්ලින්ං කරන, හොම්බ දිග කැමරාවක් තියෙන, කාපු බීපුවගේ ෆෝටෝස් බ්ලොගේ දමන, කොළඹ හතේ වැඩ කරන, BMICH නිල වාර්තාකරු හා ඡායාරූප ශිල්පී, ගිණි තැබීමකට සැක කල, A4 GPS සම්බන්ධ කාඩ් එකක් වැදුනු, තැපැල් නයින්ටියක ලැගිජ් එකකින් කර අඹාගත්....BEEP BEEP BEEP Click 404 error. Contact the administrator.

      Delete
    8. අඩේ, මගේ උපකල්පනය ඉල්ලා අස්කර ගනිමි. මම හිතුවෙ එහෙම කෙනෙක් ගැන නෙවෙයි :(

      Delete
    9. ඔව්.. මෙන්න පිළිගන්න ජහග්‍රහයකයා.... හෙන්රි බ්ලොග්වෝකර්..... ඒ මහතා හිමි ත්‍යාග මුදල යථා කාලයේදී තථා අයුරින් ලැබෙනු ඇත....

      Delete
    10. හෙන්රි: ඔය දෙබස මමත් අන්තිමට බලාපොරොත්තු උනා....

      හි හි හි..... සිරාවටම

      Delete
  20. පරිවර්තන.... මාව පිස්සු වට්ටපු පොත් ගොන්නක් තිබ්බේ ඒ අතරේ. අදටත් මම පොතක් ගන්න ගියොත් බලන්නෙම පරිවර්තන..

    ඒ හැම පරිවර්තනයක් අතරින්ම මාව freeze කරපු පොතක් තමයි 'කොළරා කාලේ ආලේ' කියන්නේ.. පොත ගැනවත් , පොත ගැන මගේ අදහසවත් කියන්න තරම් මම ස්ට්‍රොන්ග් කෙනෙක් නෙවෙයි තාම...

    මේ ලිපිය මම ගොඩක් අගය කරනවා, මොකද ඒ වගේ ලේඛකයෙක් ගැන යමක් ලියන එක වටින දෙයක් හින්දා විතරක් නෙවෙයි... මම වගේ අදහස ගලපගන්න බැරුව ඉන්න උන්ට අඩුම තරමේ කොමෙන්ටුවක් දාල හරි හිත සනසගන්න පුළුවන් හින්දා.. හි හි හි....

    ReplyDelete
    Replies
    1. කැන්ඩි ප්‍රින්සස්,

      දැන් තියන පරිවර්තන ගැන නම් මගෙ එහෙමට කියල පැහැදීමක් නෑ බං. අනික් අතට නූතන පරිවර්තන ගැන මම පක්ෂග්‍රාහී ආස්ථානයක ඉන්න නිසා ඒ කතාව ඒ හැටි සීරියස් ගන්න දේකුත් නෑ.

      ඒ වගේම මම පොඩි කාලෙ කියවපු විශිෂ්ඨ පරිවර්තන නිසාම තමයි එව්වයෙ මුල් පොත් හොයාගෙන කියවන්ට ආසාවක් ඇතිඋනේ. අද වෙන්නෙ ඒකෙ සම්පූර්ණ අනික් පැත්ත. පොත් කියවන්ට එපා කරවනව මේ පරිවර්තකයො.

      Delete
    2. එකෙන්ම! දැන් ඉන්නෙ බාසා එකහමාරෙ පරිවර්තකයො බං.. මමත් දැන් සිංහලෙන් ලියැවුනු පොත් ගන්න එක අන්තෙටම අඩුකරලා තියෙන්නෙත් ඔය නිසයි..

      Delete
    3. අපොයි ඒ ගැන නම් කියල වැඩක් නෑ රවියෝ... මම පරිවර්තන වලට පිස්සු වැටුනා කිව්වේ ඉස්සර කියෝපු පරිවර්තන හින්දා මිසක් දැන් කියෝන එව්වා හින්දා කියල වරදවා හිතන්න එපා.. මම තවමත් අර 'ඇට මැස්සා' ට පණ වගේ ආදරේ කරන කෙනෙක්..

      චින්තා ලක්ශ්මිලා ගේ ළඟින්වත් තියා, පිටිපස්සේ දොර ගාවවත් හිටගන්න පරිවර්තිකාවක් මට 'තවම' හිතට අල්ලලා නැහැ. ගාමිණී වියන්ගොඩ නම් පොඩ්ඩක් විතර ඕකේ. එයාගේ පොත් අතරින් මම කැමති 'මිනිසුන් අතර නග්නව' කියන එකට. මුල් පොත හොයාගෙන කියවන්න පොළඹවනවා... නමුත් තවම වෙලාවක් ඉස්පාසුවක් ලැබුනේ නැහැ නොවැ .....

      පොඩි කාලේ ඉඳන්ම, මම රුසියන් කතා වලට වහ වැටුණා !!! ඒක තාමත් එහෙමමයි... පරිවර්තකයෝ අපේ රස අංකුර තලනවා මට පෙන්නේ... පරිවර්තනයටත් අර 'මල්' පත්තර වලට වෙන සන්තැසිය වෙලා වගෙයි. වචන නැහැ, රසාලිප්ත බවක් නැහැ, නිකන්ම රැප් සින්දු ලියනවා වගේ...

      Delete
    4. උපේක්ෂා,

      / එයාගේ පොත් අතරින් මම කැමති 'මිනිසුන් අතර නග්නව' කියන එකට. /

      අඩේ බං ගාමිණී වියංගොඩ එහෙම පරිවර්තනයක් කරල තියනවද? නාසි වද කඳවුරු ගැන බෲනෝ ආපිට්ස් ලියපු " Naked Among Wolves " පොත නම් සිරිල් සී. පෙරේරා පරිවර්තනය කරල තියනව " වෘකයින් අතර නග්නව " කියල.උඹ වෘකයොයි මිනිස්සුයි පටලගෙන වත්ද?..... හෙහ්,හෙහ්,

      Delete

    5. සමාවෙන්ට ඕනේ... පොතේ නම 'දෙවියන් අතර නග්නව ' කියල වෙනස් වෙන්න ඕනේ... මෙන්න ඔරිමජිනල් පොත.
      http://books.google.lk/books/about/Nude_Before_God.html?id=eqwgAQAAIAAJ&redir_esc=y
      පරිවර්තනේ නම් හොයා ගන්න බැහැ සයිබර් අවකාශේ..

      තවත් පොතක් තිබ්බ 'ගරු කොන්සල් තුමා' කියල .. පහල ඇති ලින්ක් එක

      http://books.lk/product.php?productid=47481&page=1

      ටිකක් විතර කම්මැලි පොතක්. ඒත් කියෝලා සතියකින් විතර තමයි මට අදහස් ගලාගෙන එන්න පටන් ගත්තේ... හි හි හි...
      ඉස්සර මම බස් එකේ යන ගමන්, පැයගණන් පොතේ මිනිස්සුන්ගේ චරිත විවරණය කරනවා.... ඕක මට තියෙන රෝගයක්... මේ දවස් වල නම් පොතක් නෙවෙයි... 3D කාටුන් එකක් තමයි ඔලුවේ දුවන්නේ... හි හි හි...

      Delete
  21. මාකේස් කියලා තියෙන්නේ ඇත්ත අනේ... එය කියන විදියට ආදරේ කරන්න පුළුවන් අය කොච්චර නම් ඉන්නවද හැබෑට... :) :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      අම්මප?..ඔහෙ දන්නවය එහෙම කට්ටිය ගැන ??? :)

      Delete
  22. මං කොරලා කලේ ආලේ පොත කියවලනම් නෑ .එත් කියවන්න අසා හිතුණා .ඒවගේම එකපාර දෙතුන්දෙනුකුට ආදරේ කරන හැටි ඉගන ගන්නත් ආසා හිතුන.;)

    එත් මන් නම් හිතන්නේ එකෙනෙක්ට හරියට ආදරේ කරනවානම් වෙන කෙනෙක් ගැන හැගීමක් ඇතිවෙන්නේ නෑ කියල.ඒ මට හිතෙන විදිය.

    අයියෝ අයියේ කොච්චර comment කෙටුවත් publish කරාට පෙන්නේ නැතුව ගියානේ....ඉතින් මන් comment දාන 1 අත්හැර ල හිටියේ.

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / ඒවගේම එකපාර දෙතුන්දෙනුකුට ආදරේ කරන හැටි ඉගන ගන්නත් ආසා හිතුන.;) ?

      ආන්න බං ඉල්ලන ගාණක් දීල හරි කමක් නෑ ඉගෙන ගත්තොත් පාඩුවක් නෑ.

      / අයියෝ අයියේ කොච්චර comment කෙටුවත් publish කරාට පෙන්නේ නැතුව ගියානේ....ඉතින් මන් comment දාන 1 අත්හැර ල හිටියේ. /

      අඩේ ඒ මොකොයි? මම ඒත් කල්පනා කලා උඹට මොකද හිටපු ගමං උනේ කියල...දැන් අවුල හරි වගේ නේද?

      Delete
  23. රවියගේ මේ වගේ පෝස්ට් එකක් ටික දවසක් ගිහිල්ල කියෙව්වම ඒකේ කමෙන්කටු එක්ක ඇමිණුනාම හරිම ආතල් එකක්.. බොට ජය වේවා... උඹ වගේ මාගල් කාරයෙක් මං දැකලම නෑ...

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      ස්තූතියි මචං...:)

      Delete
  24. ආදරය හා ලිංගික ආශාව දෙකක් බව මතු කරන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ශෂී,

      හරි. ඒක තමයි මම හිතන්නෙ මාකේස් කියන්න හදන්නෙ..ඒත් මිනිස් චර්යාවන් අනුව මිනිස් වර්ගයා ඇතිවුණු දිනයෙ ඉඳල ආදරය සහ ලිංගික ආශාව එකට බැඳිලයි තියෙන්නෙ.වර්ගයා ඉදිරියට පවත්වාගෙන යෑමට දරුවන් බිහිකිර්‍රිමේ මූලික පරමාර්ථය ඇතුව ලිංගික ආශාව සහ ඒ දරුවන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගැනීමට අත්‍යාවශ්‍ය පවුල් ඒකකයක් පවත්වා ගැනීම උදෙසා අඹු - සැමි සෙනෙහස ඇතිඋනාය කියලයි කියන්නෙ. එතකොට මේ එකට බැඳුනු සංකල්ප දෙක එකිනෙකින් වියුක්ත වෙන්න පුළුවන්ද කියන එකම ප්‍රශ්නයක්. ඒත් මිනිසා කියන්නෙ ස්වභාව ධර්මයට ඕන විදිහට ජීවත්වන සත්වයෙක් නෙවෙයි. ඒ නිසා මාකේස් හරි වෙන්නත් පුලුවන් බොහෝ විට.

      Delete
  25. සැන්චරියක් දැම්මම කොච්චර ආඩම්බරද???

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ්, ඒක නෙව... නමත් සියක් වසක හුදකලාව වෙච්චි :)

      Delete
  26. යන්තං කොණ හොයා ගත්තා... මට ඔය හදවත කාමර වලට කඩලා කුලියට දෙන එක ගැන කතා කල හැකි ඉතින් එළි වෙනකං... එත් දැන් කම්මැළියි... ඔතන තියෙන්නේ කී දෙනෙකුටද ඇත්තටම ආදරේ කරන්න පුළුවන් කියනවට වඩා සරල හේතුවක් මට නම් හිතෙන්නේ... මිනිසාට ස්වභාවයෙන්ම තියන 'අසීමිත ආශාව'. පයින් යන එකාට බයිසිකලයක් ගන්න හිතෙනවා, බයිසිකලේ යන එකා මෝටර් බයිසිකලයක්, ඌ කාර් එකක්... ඔය වගේ හැම වෙලාවෙම තමන්ට නොලැබුණු දේ තමයි 'නියම' දේ කියලා හිතන ගතිය.

    අපේ ලූෂන් බුලත්සිංහල ලිව්ව නෝට් එකක් ඔය ජාලේ තියෙන්නේ "සැබෑ ආදරවන්තයෝ කිසිදිනක එක් නොවෙති.." කියලා.. එක් වුණාම ඒක සැබෑ ආදරය වෙන්නේ නෑ... ඊට පස්සෙ වෙන එකක් සැබෑ ආදරය කියලා හිතාගෙන ඉන්නවා... මම කලින් දවසකත් කිව්වා වගේ ලෝකෙ හොඳම කියලා සැලකෙන ආදර කතා වල පෙම්වතුන් එක්වෙන්නෙ නෑ... මිනිසුන්ගේහිතේ හැම වෙලේම හීන මවන්නේ "විය හැකි දේ" ගැන... ඒක සිදු වුණාම ඒකට එක මානයයි තියෙන්නේ.. සිදු නොවුණහම අපිට ඒක අනන්ත අප්‍රමාණ පැති වලට ගෙනියන්න පුළුවන්... ඒ වගේ දෙයක් තමයි සැබෑ ආදරය... තමන්ගේ හීනේ හිටිය කුමාරයා, කුමාරි හම්බවුණා කියලා හිතන අයගේ වුණත් හීනය තවම ඉවර වෙලා නැතුව ඇති කියලා මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තිසර,

      මේ මම අවුරුදු හතරකට වගෙ ඉස්සර " වචන සීයක කතාව " බ්ලොග් එකට ලියපු කතාවක්...

      ප්‍රේමයක් නිමා වූ සඳ............

      මගෙ හොඳම යාලුව ගෝතමී, යාලු වෙලා හිටියෙ රොෂාන් එක්ක, ඒක රාමා සීතා වගෙ ප්‍රේම කතාවක්,

      ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්‍රෙලියාවට ගියා, පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,

      ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,

      පස්සෙ ඔන්න ආරංචියක් ආවා,

      මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,

      "අජන්තා" එයා මාව බදාගෙන ඇඬුවා,

      "මොකද ලමයෝ,උනේ" මම ඇගේ දෑසට එබිලා ඇහුවා

      "ඔයා දන්නවනෙ රොෂානුයි මමයි කොච්චර ආදරෙන්ද හිටියෙ කියල? අපි දෙන්නම කැම්පස් ගිහිල්ල අවුට් වෙනකනුත් පුදුම සන්තෝසෙකින් හිටියා "

      " ඉතිං? " මම ඇහුවා,

      " ඊට පස්සෙ අපි දෙන්න බැන්දා, "

      මොනවද කියන්නෙ කියල හිතාගන්ඩ බැරිව, මම ඇඟේ කඳුලු පිරි දෑස දිහා බලං හිටියා,

      Delete
    2. ඔය තියෙන්නේ..... මට කියාගන්න ඕනෙ වෙච්ච එක බොහොම සරලව පැහැදිලිව නිර්මාණාත්මකව...

      එක නෙමේ අයියේ මැජිකල් රියලිස්ම් කිව්වහම මගේ ඔලුවට ඉස්සෙල්ලම එන්නේ... ඉසබෙල් අයියන්දේ...

      Delete
  27. මැජිකල් රියලිස්ම් කියන එක අපේම අපේම ආරෙකින් ලියැවුනු පොත් මම දැකලා තියෙනවා

    සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ රිදී තිරංගනාව මට මේ වෙලාවේ මතක් වෙනවා.

    මාෂි නම් වූ ප්‍රධාන චරිතය විස්ස විද්‍යාලයේ කථිකාචාර්යයවරයෙක් එක්ක එහා මෙහා යනවා. නමුත් ඔහු තමා රැවටූ බව දැන වෙන් වෙනවා. එයින් කලකට පසු වයස්ගත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බැන්දාහම බැන්ද දවසේ රෑ අධ්‍යක්ෂක පුදුමයෙන් මුසපත් වෙනවා! ඒ විතරක්යෑ මාත් විස්මයෙන් කලන්තේ හැදෙන්න ඔන්න මෙන්න වුනා.

    ලාංකීය මැජිකල් රියලිස්ම් කියන්නේ අන්න එව්වාට
    :D :D :D

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      අධ්‍යක්ෂ වරයා පුදුමයෙන් මුසපත්වෙන්නට හේතු කීපයක් තියෙන්න පුලුවන්. කොයි හේතුවද ඔතන අදාල වෙන්නෙ කියන කාරණය අනුව තමයි එතන මැජිකල් රියලිසම් ද නැත්තං සාමාන්‍ය නෝමල් රියලිස්ම් ද කියල තීරණය වෙන්නෙ.

      Delete
    2. එයාගේ බිරින්දෑ කන්‍යාවක් කියලා දැන ගත්තහම තමයි ඒ අසරණයාට එහෙම වෙන්නේ.......... දැන් ඒක මොන රියලිස්ම්ද? :D

      Delete
    3. ආ..එහෙමද? …...එතකොට ඒක වෙන්නෙ Virginal Realism. එහෙම නැත්නම් Hymen Realism කියලත් කියන්ට පුලුවනි.

      Delete
  28. Magical Virginal Realism............. heh heh heh

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...