Monday, June 16, 2014

264. ආවර්ජනා.....In Retrospect

Star of Heaven by Edward Robert Hughes


සදාතන යයි එසඳ සිතු සෙනෙහසක සුවඳකි යළිදු දැනුනේ, 
වලාපෙල තුල එතුනු සඳවත කලා සොළසකි පුරනු පෙනුනේ,
මලානික තරු ලකුණු මංපෙත පුරා සෙවණැළි අඳිනු ඉතිනේ,
විලාසෙන නුඹ එකල හිනැහුනු රෑ මනාලී මලකි පිපුනේ. 


අනන්තය වෙත පියනඟන්නෙමි නෙතඟ පිරි කඳුලකට සමුදී,
වසන්තය එන්නටත් පෙර ආ ගිම්හානයකි මහද කැළඹී,
සයින් පෙලෙනා මසිත පතනා ඉසුඹුවකි මංපෙතග දිස්වී,
ඉදින් වෙහෙසවු දෙපායුග මා නොදැනුවත්වම එදෙස යොමුවී.

සරාසඳ හද එකලුකරමින් දිලුනු දා ඇස නොගැටි තරුවක්,
පුරාවිල දිය පිපුනු සියපත ලඟ සැඟව හුන් කුමුදු කැකුලක්,
වරාසිත නෙතුයුගට හඬනා දයාබරවූ සිනහ ගඟුලක්,
නිරාදුක විඳිනා කලට හදවතට ගල්වන සෙනෙහෙ සිහිලක්.

එසඳ හදවත පුරා විඳි සෙනෙහසේ සුවඳත් වැළඳ ගන්නෙමි,
මහද කඩතොළු මකා සුවපත් කල සෙනෙහසේ සුව විඳින්නෙමි,
සුළඟ එනු ලෙද අගුළු හැර හදකවුළු ලෙන්දොර විවර කරනෙමි,
ගිරග සඳ නැතුවද දිලෙන තරු එළිය දෝතට ගෙන සිඹින්නෙමි. 

Thank You  - කඳු.....

25 comments:

  1. ළඟ එන විභාගයට පාඩම් කරමි
    තරුවකුදු නැති අහස ඉදිරිපිට සිටිමි
    Grievance Handling Procedures අඳිමි
    මෙතරම් සොඳුරු දෑ කවුරුන් පිළිපදිනවාදැයි නොදනිමි
    ළඟ එසේ නොවන බව දනිමි
    කවුළුව හරිමි
    ඔබේ කවි දුටිමි
    මන බැඳුණු බව ලියමි.

    ReplyDelete
    Replies
    1. කඳු,

      Grievance Handling Procedures කොහොම වෙතත් Grief Handling Methods හරියට ප්‍රගුණ කලානම් ජීවිතයට බොහොමත්ම වැදගත් වෙනව. :)

      Thanks again Madam !

      Delete
  2. අපූරු කවියක් නෙව...
    ලස්සනයි...
    අර කදු කියනව වගේ මන බදින කවියක්....
    ඇත්තටම අපූරු පද සංකල්පනාවක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      බොහොම ස්තූතියි මල්ලි...:)

      Delete
  3. කව්ද මෙයා කඳු කියන්නේ.. අපේ කවිකාරිද....?

    ReplyDelete
    Replies
    1. Kandu is a young lawyer and a poet restricts most of her poetry writing skills to net :)

      Delete
    2. මාතලන්,

      ඔය ලින්ක් එක තියෙන්නෙ බං..බලපං ගිහිල්ල....:)

      Delete
    3. එතකොට එයා කව්ද? උඹේ දුවද...?

      කෙලින්ම කියන්නේ....

      මේ නම් වං හුං හොයනවා තමයි යකෝ...

      Delete
  4. එසඳ හදවත පුරා විඳි සෙනෙහසේ සුවඳම වැළඳ ගන්නෙමි
    සිහින් සිහිළැල් සුළං රැල්ලක එතී පාවි සැඟව එන්නෙමි
    මකා කඩතොළු මහද මැදුරට වඩින තුරු මම මග බලන්නෙමි
    දිලෙන තරු එළි මුලා කෙරෙමින් සරා සඳ වී ගිරග ඉන්නෙමි

    ReplyDelete
    Replies
    1. ඇළපාත මුදලිට බැරිනං ආය කවි කියන්ට පුලුවන් වෙන අහවල් එකාටද?...නැද්ද ඇළේ?....හෙහ්,හෙහ්,

      Delete
  5. ඉඳල ඉඳල එකක් ලියල තියෙද්දී කියවන්ට යමක් ඇතියි කියල හිතුණා.

    ReplyDelete
    Replies
    1. හැලප,

      රටේ නැති ගම්මැදි හෑලිම හැමදාම ලියන එකේ ඉඳහිටලවත් මේ වගෙ එකකුත් ලියන්ට එපාය බං....නැද්ද?

      Delete
  6. "........... තාත්තාට දුක හිතුණා - පාළුව දැනුනා................."

    ReplyDelete
    Replies
    1. තිස්ස,

      තාත්තා පව් නේද? :(

      Delete
  7. //ගිරග සඳ//
    කියන්නේ මොකක්ද රවීයියා.
    ලස්සනයි පද වැල් ටික නම්....:)

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ගිර කියන්නෙ කන්ද, සමනලගිර, හිමගිර...අන්න එහෙම. එතකොට ගිරග කියන්නෙ කන්ද මුදුන..ගිරග සඳ කියන්නෙ කඳු මුදුනේ පායා ඇති සඳ....

      Thanks Manoj....;)

      Delete
  8. වටිනවා වෙනසක් හැටියට මෙහෙම ලියන එක. කෝ මට බැහැනේ මේ වගේ විස්කම් කරන්න. මසුරුකමක් ඇතිවුනා. රත්නශ්‍රී තමයි ළඟදි කිව්වේ ...සමහර නවකයන් ලියනදේ දැක්කාම රීරිසියාවක් නෙමේ මසුරුකමක් ඇතිවෙනවා කියලා. ඊරිසියාව කියන වචනේ පාවිච්චි කරේ සාකච්ඡාව මෙහෙයපු සන්නස්ගල. බලන්න වටිනා සාකච්ඡාවක්.

    ReplyDelete
    Replies
    1. ඒකට හොඳ බර වචනයක් පාවිච්චි කලා. මතක තියාගන්න උත්සාහ කලේ නැහැ....තේරුම මසුරුකම කියලා පැහැදිලි කරලා දීපු නිසා.

      Delete
    2. අරූ,

      ස්තූතියි මචං..........රත්න ශ්‍රී කිව්වෙ " තෘෂ්ණාව " කියලද?

      Delete
    3. මාත්සර්‍යය (මම ලිව්වා වැරදියි නේද?)

      http://www.youtube.com/watch?v=WkG1jkVrpmU

      Delete
  9. රස විඳිමි
    මන බඳින
    කවිකාරකම්
    නුදුරේම හිඳ දුරින්
    කතර අස

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක් ද නේබර්...හෙහ්,හෙහ්...

      Delete
  10. හුඟක් කාලෙකින් මේ ආරේ කවියක් කියෙවුවේ.. ලස්සනයි...

    ReplyDelete
  11. ලස්සන කවියක් .. මට නිකමට හිතුනා කවි පද දෙකට කඩල ලිව්වා නම් හොඳ සිංදුවක් වගේ වෙයි කියල... මගේ කවි රසවිඳීම ටිකක් කචල්.. හෙහ් හෙහ්

    ReplyDelete
  12. උඹ දන්නවද මේ කවිය කියවලා මට හිතිච්ච දේවල්....

    හඳ නැති උණාම තරු එළිය හොඳයි කියලා අපි තරුවයි අපිවමයි රවට්ට ගන්නවද? හඳ එළිය නොලැබී රිදුණු සිත සුවපත් කරගැනීමේ තාවකාලික 'පේන් කිලර්' එකක්ද තරු එළිය? තරු එලියේ ඉන්න අතරේ කොහෙන් හෝ හඳ එබෙයි කියලා බලනවද? ඇත්තටම තරු එළිය ගැන තෘප්තිමත් ද? ඒ ඔක්කොමත් හරි.... ඔය තරු එළියත් එක්ක ඉන්න අතරේ ආයෙත් හඳ පෑව්වොත් මොකද වෙන්නේ?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...