Friday, April 17, 2015

312. කුකුළේගඟ මතක - 3 - චාල්ස් - ඩයනා විවාහ මංගල්‍යෝත්සවය, රඹුටන් සහ දූරියන් සමඟ හිනිදුමගේ කතාව.


Google images
කුකුළේ ගඟ මතක ලියද්දි ප්‍රස්තුත කථාව නොහොත් කියන්ට ආපු කතාව ඉවරයක් කරන්ට ඕන හින්ද ඒ අතරමඟ ඇදිල ආපු අතුරු කතා දෙකක් මම පස්සෙ කියන්නම්ය කියල මඟ ඇරල ආව.

ඔන්න වැඩේ හැටිය කියන්නෙ ඒ පාර මෙවුං මට වගපල කියන්ට ගත්තෙ නැද්ද ඒ අතුරු කතා කිව්වෙ නැතය කියල. ඒ මදිවට අර මලිති නෝන මහත්තැං ගත්කටටම ඇහුව නෙව මොකෝ මේ අසනීපයක්වද්ද කියල. ඉතිං කාටෙයි මේ අවනඩු කියන්නෙ? හෙහ්,හෙහ්,


ඉතිං ඔන්න ඔය හින්ද සකලජන වෙත පතලාවූ මහා කරුණාගුණය කරණකොටගෙන මම තීරණය කලා ආපහු සරෝජිනී සහ අසෝකා යන ළමයින්ගෙ වගතුග ගැන විස්තරේ ලියන්ට පටං ගන්ට ඉස්සරවෙලා ජේ.ආර්. සහ ඩයනාගේ මඟුල කතාවයි අර අලි ගැන කතාවයි කියලම ඉන්නවයි කියල. ආ..පොඩ්ඩෙන්නම් අමතක මතක බැරිවෙනව. අපේ කළ්‍යාණ ගොයිය ඇහුවනෙ කුකුළෙ සේෆ්ටි ප්‍රොසීඩියර්ස්  ගැන මොකවත් ලියන්ටෙයි කියල. රයිට් මේ එක්කම ඒ ගැනත් පොඩ්ඩක් විතර ලියන්ට ඕන.

ඔන්න එහෙනං අපි ආපහු යනව වැන්ද මට විස්තරේ කියන තැනට..ස්ථානය - කුකුළේගඟ අපේ ඔෆිස් එක....කාලය වසර 14 කට පෙර.

" අනේ බොස් අර ජේ.ආර්.ගෙ කතාව කියල ඉන්ටකො...නැත්තං ඕක මට අහගන්ට අමතක වෙනව.අනික මගෙ පොඩි එකා ඉන්නෙ දෙක වසරෙ. සතියකට දෙපාරක් උන්ට තියනව කතන්දර පැයද මොකක්ද කියල කෙහෙල් මලක්. ඒකට පන්තියෙ ළමයි හැමෝම අළුත් කතන්දරයක් කියන්ට ඕන. ඒකා ඇවිල්ල අහන්නෙ මගෙන්..කාටද බොස් ඔයහැටි කතන්දර මතක? මගෙ ඔලුව නරක් වෙනව.." 

" අඩේ මේ.... උඹට පිස්සුද? මේ කතන්දර එහෙම පංතිවලට ගිහිල්ල කියන්ට පුලුවන් කතන්දර නෙවෙයි. උඹෙ පොඩි එකාවත් ඉස්කෝලෙං දොට්ට දාල උඹවත් පොලිසියෙ කූඩු වෙන වැඩක් ඒක. අර ඇම්ඩ වඳුරො කූඩු හදපු කතාව කියල වෙච්චි එකේ අනික් එක වෙයි උඹේ පොඩි එකාට...." 

" ආ..ඒ ඇම්ඩගෙ කතාව නම් මම දන්නව..."

හප්පා යන්තං ඇති මේ හෝතඹුව ඒ කතාව හරි දන්න එක. නැත්තං ඒකත් මමම කියන්ට එපාය...හෙහ්,හෙහ්, ...මටම එහෙම කියාගෙන මම වැන්ද දිහාට හැරුන.

" කේතලේ ගහපං බං තව නෙස්කැෆේ එකක් බොමු. උගුර කටත් වේලිල වගෙ. "

වැන්ද කෝපි හදනකල් මම කතාව පටන් ගත්ත. 

" ඩයනගෙයි චාල්ස් කුමාරයගෙයි මඟුල මතකයි නේද උඹට? "

" මතකයි..හැත්තැගණංවල නේද තිබ්බෙ? "

" නෑ නමසිය අසූඑකේ...හරි ඒ මඟුලට ජේ.ආර්. ගොයියයි ප්‍රේමදාස ලොක්කයි දෙන්නම ගියානෙ. ඔය මංගල්ලෙට ආරාධනා කලේ රටේ රාජ්‍ය නායකයට විතරයි. එගෙම උනාම නිල වශයෙන් යන්න ලැබෙන්නෙ ජේ.ආර්. ට විතරයි.ප්‍රේමදාස ගොයිය එතකොට අගමැති. මනුස්සයටත් යන්ට ඕන වුනා චාලිස්ගෙ මංගල්ලෙට. කතාව රට පුරා පැතිරුනෙ ඇත්තටම ප්‍රේමෙට නෙවෙයි මේ මඟුල් දොලදුක ඇතිවුනේ හේමාවෝ ප්‍රේමදාස මැතිණියට කියලයි. "

" හෙහ්..වෙන්න ඇති..එක පාරක් මමත් ගියානෙ ඔන්න ඔය බුත්තලද කොහෙද තිබ්බ ගංඋදාව බලන්ට. අන්තිම දවසෙ හේමා නෝනගෙ ටීම් එකයි රෝසි සේනානායකගෙ ටීම් එකයි නෙට්බෝල් ගැහැව්වනෙ. අම්මාපල්ල ඒක තමයි බලන්ට වටින වැඩේ.බලයෙන් ඉදිමුණහම ගෑණු / මිනිස්සු කරන අමන වැඩ...." වැන්දා එහෙම කිව්ව.

" ඔව් මට මතකයි ඔය හේමා එක්ක නෙට්බෝල් ගහනකොට අනික් පිලේ ක්‍රීඩිකාවන්ට තිබ්බ කොන්දේසි මාලාවක් දාල. ආර්යාවගෙ ඇඟේ හැප්පෙන්ට බෑ, ආර්යාව බෝලෙ අරං යනකොට බෝලෙ ගන්ට බෑ, ගරු ආර්යාවනි කියලයි කතා කරන්ට ඕන..ගරු ආර්යාවනි ෂූට්, ෂූට්...ගරු ආර්යාවනි, පාස් පාස්..ගරු ආර්යාවනි හියර් ඊස් ද බෝල්..අන්න ඒ වගෙ. තව තිබ්බ ස්ටෑන්ඩිං ඕඩර්ස් කීපයක්. දාඩිය දාන්ට ඔට්ටු නෑ..දාඩිය දැම්මත් ගඳ ගහන්ට ඔට්ටු නෑ. ගඳ ගැහැව්වත් ආර්යාවට ගඳ දැනෙන්ට අරින්ට ඔට්ටු නෑ...අන්න ඒ වගෙ. "

වැන්ද දුන්න නෙස්කැෆේ එකේ උගුරක් බොන ගමං මම කිව්ව.

ඉතිං අනිවාර්යයෙන්ම වෙන්ට ඇත්තෙ ප්‍රේමදාසගෙ එක කෙස් ගහක් එහා මෙහා නොවෙන්ට පීරල තියෙන කොණ්ඩෙ කෙලින් වෙනකල් හේමාවෝ රෑ දවල් නැතුව බෙලිකටු මල්ල හොල්ලන්ට ඇති. අයිසෙ තමුසෙ මේ රටේ අගමැති නේද? ඉතිං මේ මංගල්ලෙට ආරාධනාවක් ගෙන්න ගන්ට තමුසෙට බෑය කියන්නෙ හතර විලි ලැජ්ජාවයි නේද? අනේ ඉතිං මොකටද තමුසෙගෙ ඔය කෙහෙල්මල් පට්ටන්තරේ? දානව ඕක බල්ලට...දන්නවනෙ බබලත්තුන්ට මොකක් හරි ලබාගන්ට ඕන උනහම ආය නෑ ඉතිං..ලෝකෙ පෙරලල හරි ඒ ආසාව ඉස්ට කරගන්නවනෙ. 

ඉතිං ප්‍රේමෙ කරේ මොන ජිල්මාල් එකක් හරි දාල ආරාධනාවක් ගෙන්න ගත්ත එක. බ්‍රිටිෂ් ඇම්බැසඩර්ට නොවඳිනා වැඳුම් වඳින්ට ඇති එකත් එකටම. එහෙම නැතුව ආය වසන්ටය? චාලිස් ඩයනා කපල් එක මුණුබුරංගෙ මූණු දකිනකලුත් හේමාවෝ උදේ හවස කෑමට පෙර කියවයි ඕක..ආය මොනවද? ඉතිං කොහොම හරි ප්‍රේම් ඇන්ඩ් හේමා කපල් එකත් ගියා රෝයල් වෙඩිං එකට.මට මතකයි ඩේලි නිව්ස් එකේ මුල පිටුවෙ දාල තිබ්බ ෆෝටොස් එකක් භෝජන සංග්‍රහයෙදි මේසෙ ඈත කෙළවරක දෙන්න ඉන්නව. ඉතිං ඔය ඩයනගෙ මඟුල, අපේ ජේ.ආර්.සහ ප්‍රේමදාස සම්බන්ධ කරල කතන්දර තියනව බර ගාණක්. යාන්ස් කියන්නෙ අන්න එව්ව. සිංහලෙන් යාං හෑලි.

1. රත්තරන් හැන්දේ කතාව

2. මම උඹට පවුං පණහක් දෙන්නං..ඔය විදිහට රුන්නෙ කොහොමද කියල මට කියපං - I will give you fifty pounds , just tell me how did you shat like that…

3. We have a population of 345 million people.

4. රඹුටං සහ දූරියං

ඉතිං මෙතනට අදාල වෙන්නෙ රඹුටං සහ දූරියං කතාව..කතාව මෙහෙමයි. එංගලන්තෙට පිටත් වෙන්ට කලින් ප්‍රේම් ගියා ජේ.ආර්. හම්බවෙන්ට. 

" සර් මොනවද වෙඩිං ප්‍රසන්ට් එකක් විදිහට අරගෙන යන්නෙ? "

" ප්‍රේමදාස..මේකනෙ ඔය මිනිස්සුන්ට ආය සල්ලි බාගෙ වටිනා බඩු මුට්ටුවල අඩුවක්ය? එව්ව නැති මිනිස්සුය? ඒ නිසා මම කල්පනා කලේ එහෙ නැති නෝමල් මොනවහරි ගිහිල්ල දෙන්ට. "

" ඒ කිව්වෙ සර්? මොන වගේ දෙයක්ද? "

" මම හිතාගෙන ඉන්නෙ හොඳවයිං රඹුටං ටිකක් ගිහිල්ල දෙන්ට.."

" ආ ඒක හොඳයි.."

ප්‍රේම් එහෙම කියල ගෙදර ඇවිල්ල මේ විස්තරේ හේමාවෝට කිව්ව. 

" මම මේ කල්පනා කලේ හේමා.... ලොක්ක රඹුටං අරන් යනකොට අපි මොනවද ගෙනියන්නෙ කියල. අපි එයාලට දෙවෙනි වෙන්ට ඕන නෑනෙ."

" මම කියන්නද? අපි අරං යමු හොඳවයිං දූරියං ගෙඩි තුන හතරක්. " 

" ඒකත් හොඳ අදහස ....." කියල ඔන්න ප්‍රේමෙත් එකඟ වුනා කියමුකො.

ඔන්න දැන් දෙගොල්ලම මඟුලට ගිහිල්ල රාජ භෝජන එහෙම භුක්ති විඳල ඊට පස්සෙ ආව ගෙනාපු තෑගි බෝග බාරදෙන වෙලාව. රැජින ඒ කිව්වෙ එළිසබෙත් අක්ක තමයි තෑගි බාරගන්නෙ. ඔන්න ජේ.ආර්.ගෙ වාරෙ ආව. ලොක්ක කාමරේ ඇතුලට ගිහිල්ල අර ගෙනාපු රඹුටන් පාර්සලේ දුන්න රැජිනි අතට. එතුමිත් පාර්සලේ ලිහුව. අම්මට සිරි, රැජිනට තද වුනා. මෙච්චර වටින රන් රිදී මුතු මැණික් තෑගි ලැබෙන අව් අස්සෙ මොනවද මේ නාකි ලොක්ක ගෙනල්ල තියෙන්නෙ?..මයිල් මයිල් වගෙ තියන ගෙඩි ජාතියක්.

" What the bloody hell is this ? " රැජින ඇහුව ටිකක් සැරෙන්. 

" These are a kind of fruit from my country your majesty, very tasty and good for your bowels too " ජේ.ආර්. ලොක්ක ටිකක් පස්සට වෙලා කිව්ව. 

රැජිනට මල පැන්නා අසූතුන් කෝටියට..එතුමී අඩි හැප්පුව පොළවෙ... 

" Ok right.... it is very obvious that you have insulted me and my country by bringing this worthless shit as a gift. " රැජින කෑගැහුව,

ඊටපස්සෙ මූණ ජම්බෙ වගෙ කරගෙන මුර භටයින්ට මෙහෙම අණ දුන්න. " Lay this cunning rascal on the floor and shove all these bloody fruits up his arse. That would teach him an unforgettable lesson. Anyway he says that they are good for bowels so shove them up all the way to his bowels. "

මුර භටයොත් ආය ඉතින් කිසි කතාවක් නෑ. ජේ.ආර්. එතනම මුණිං අතට  හරහ දාල රැජිණ කියපු විදිහටම වැඩේ කරන්ට ගත්ත. ජේ.ආර්. ලොක්ක ටික වෙලාවක් දත්මිටි කාගෙන ඉඳල එක පාරටම මහ හයියෙං හිනාවෙන්ට ගත්ත. රැජිණිට මහ පුදුමයක් මේක. 

" With all this stuff being shoved up your arse you are still laughing..I don't understand. Why? "

ජේ.ආර්. ලොක්ක හිනාවෙනව නවත්තගන්ට බැරුව. " Premadasa is next. He is outside the door waiting and..and..and he Is bringing some Duriyans.."

ඔන්න ඕකයි ළමයි ජේ.ආර් ඩයනගෙ මඟුලට ගිහිල්ල වෙච්චි සීන් එකක් ගැන මම පහුගිය පෝස්ට් එකේදි කිව්වෙ.

දැන් එහෙනං දෙවෙනි කතාව..............

" හෙහ්, අලි කියනකොට මට මතක් වුනේ. මම කාලයක් ඔය වැලිකන්දට එහා වැඩ කලානෙ කැලේ මැද. ඒ කාලෙ නං අලිත් එක්කම තමයි ජීවිතේ ගෙවුනෙ.අපේ වොචර් කෙනෙක්ට වෙච්ච මරු වැඩක් තියනව වල් අලි කේස් එකක්…." මම මැදින් පැනල කිව්ව

" අනේ බොස් ඒ කතාවවත් කියන්ට.." වැන්දා බැගෑපත් වුනා. 

" පිස්සුද බං?....මඟුලක් කතා කරනව. ඒක මෙහෙම කියන්ට පුලුවන් එකක් නෙවෙයි. පසුබිම සකස්කරන්ටම මයෙ හිතේ යයි විනාඩි දහයක් විස්සක්. ඒ හින්ද නොවැරදීම පස්සෙ දවසක කියන්නං..මට මතක් කරපංකො.."

රයිට් අලි කතාව මෙහෙමයි........

මිනිස්සු පදිංචි කරල අලුතින් ජනාවාස ඇතිකරන්ට අපි කැලේ මැද්දෑවෙ පාරවල්, ඇලවල්, පාලම්, බෝක්කු එහෙම හැදුව. ඊට පස්සෙ පදිංචි කරන මිනිස්සුන්ට කුඹුරු කරන්ට ඉඩං දෙන්ට එපාය. එක කුඹුරු කට්ටියක් හෙක්ටෙයාර් එකක්. අක්කරවලින් නම් 2.47. මම කලින් දවසක කිව්ව මේ කුඹුරු කට්ටි උදෙසා කැළේ සුද්ද කිරීම ගැන. අර කේබියගෙ ගර්ත් එක මැනිල්ල ගැන කිව්වෙ. ආන්න එදා...හෙහ්,හෙහ්,

ඉතිං ඔය චීන්නු කැලේ සුද්ද කරල සල්ලිත් අරගෙන ගියානෙ.ඊට පස්සෙ අපි ගෝලයො ( ගෝලයො කියල පොදුවෙ හැඳින්නුවෙ චෙක් රෝලෙ වැඩ කරන අනියම් කම්කරුවො. චෙක් රෝල කියන්නෙ අනියම් කම්කරු පැමිණීම් සටහන් ලේඛනයට ) දම්මල එවුං ගොඩ ගහපු මහ ගස් කොටං ගොඩවල් ගිණි තිබ්බ. ඔහොම ගිණි තිබ්බම දවස් දෙක තුනක් තිස්සෙ ඇවිලෙනව. ඊටත් පස්සෙ අර මහ විසාල අළු ගොඩවල් තුනී කරල දානව. එකක් එහෙම නැත්තං අර අළුගොඩ තියන තැන කුඹුරු කට්ටිය හම්බවෙච්ච මිනිහ අනාථයි. අනික ඔය අළු හොඳ පොහොරක්.

මේ කතාවට අදාල නොවුනත් තව කාරණයක් කියන්ට ඕමනයි. බක් මහ උළෙල ගැන කියනකොට අපි අළුත් අවුරුදු සහ අලුත් අවුරුදු කියල දෙවිදිහටම ලියනවනෙ. ඒත් අළුත් අවුරුදු කියල ලිව්වම සම්පූර්ණයෙන්ම වැරදියි කියල කියල තිබ්බ ඩී.එෆ්. කාරියකරවන මහත්තය. නිවැරදි වචනෙ අලුත් අවුරුදු වෙන්න ඕන කියලයි එතුමා කියන්නෙ. ආණ්ඩුවෙ සිළුමිණ පත්තරේ ඒ කාලෙ ඉඳලම කියවන්ට කියල වැදගත් දේකට තිබ්බෙ පුන්කලස අතිරේකය විතරයි. දැන් ඒකෙ නම ඇවිල්ල සත්මඬල.

ඉතිං අර අළු තුනීකරන්ට අපේ ඩෝසර් දෙක තුනක් දාල තිබ්බ. ඔය මම කියන දවස් වෙනකොට ඒ ඩෝසර් තිබ්බෙ අපේ කෑම්ප් එකේ ඉඳල කිලෝමීටර් එක පහක් හයක් වගෙ කැළෑව මැද්දෙ.දවල් දවස තිස්සෙ වැඩකරල හවස අපේ ජීප් එකක් ගිහිල්ල ඔපරේටර්ස්ලව එක්ක එනව. ඒ යනකොට වොචර් කෙනෙක් එක්ක යනව රෑ එළිවෙනකල් මුරකරන්ට. මනුස්සය ඉතිං කෑලි පහේ ටෝච් එකකුයි, පොරවන්ට ගනකම කම්බිලියකුයි, කෑම එකයි, වතුර කෑන් එකක් එහෙම අරගෙන යනව. 

අපි හිටපු තනිකඩ නිලනිවාසෙ එක්කම වාගෙ පිටිපස්සෙන් තිබ්බ සුළුසේවක නේවාසිකාගාරයක්. ඕකෙ හිටිය හිනිදුම කියල වොචර් කෙනෙක්. මට හරියටම මතකයක් නෑ මිනිහගෙ නම ද ගමද හිනිදුම කියල. කොහොමහරි හැමෝම කතාකලේ හිනිදුම කියල

හිනිදුමය ලෝක ආනාදියා.ඒ වගේම පණ්ඩිතයා. නොදන්න කෙහෙල්මලකුත් නෑ ඇත්තම කිව්වොත්. ඒ වගේම නොම්මරේ එකේ කතා කාරයා.

ඔන්න හිනිදුමය වැටුන අර කැලේ මැද්දෙ ඩෝසර් මුර කිරිල්ලෙ රාජකාරියට. ඔය කාලෙ වෙනකොට ආණ්ඩුවයි කොටියි අතරෙ පොඩි එකඟතාවක් වගෙ ඇවිල්ල තිබ්බ. ඒ හින්දම දෙගොල්ල මරාගත්තෙ නෑ. Unofficial Truce එකක් ක්‍රියාත්මක උනාය කිව්වනම් බොහෝදුරට හරි.

එහෙම උනාට අපි හැමෝම ටිකක් විතර බයෙන් වගෙ තමයි ජීවත් වුනේ. ඒ මොක උනත් අපි කාටවත් කොටි හානියක් එහෙම කලේ නෑ. හැබැයි පස්සෙ කාලෙක අපෙ නිලධාරීන් දෙන්නෙක් වගෙ කොටි ඝාතනය කලා. ඒකත් වැරදීමකින් කියලයි ආරංචි වුනේ. ඒ වෙනකොට මම එහෙන් ඇවිල්ල...... අර මතකද? ගොවි ජනපදයෙ........අන්න එහෙ සේවයට.

ඔය කොටි අපිට කිසිම කරදරයක් නොකලෙ මොකද කියල දන්නවද?...අපෙ යාලුවෙක් හිටිය මිනිහට දෙමල පුලුවන් යස අගේට. ඒ පැත්තට හිටපු ප්‍රාදේශීය කොටි නායකය...මට දැන් නම මතක නෑ..මේ...බාලෝ ද කොහෙද?..හරි...හරි..බාලෝ තමයි...ඉතින් මගෙ අර කියපු යාලුව බාලෝ එක්ක හිතවත් වුනා. බාලෝම තමයි මිනිහට කියල තියෙන්නෙ උඹල කිසිදේකට බයනැතුව වැඩ කරගෙන පලයල්ල. අපෙං උඹලට කිසිම කරදරයක් නෑ.කියල. පස්සෙ ඒ ඇයි එහෙම කියන්නෙ කියල ඇහුවම බාලෝ මොකක්ද දන්නවද කියල තියෙන්නෙ?

කවදකහරි මේ හරිය ඔක්කොම අපේ රාජ්ජෙ. උඹල මේ වැව්, ඇළවල්, පාලං හැදුවට මෙව්ව උඹලට යන දවසක ගලවගෙන යන්ට බෑනෙ.එතකොට ඒ ඔක්කොම අයිතිවෙන්නෙ අපිට. ඉතිං නොමිලේ අපිට මෙච්චර දේවල් දීල යන්ට ඇවිල්ල ඉන්න උඹලට කරදර කරන්නෙ අපි අහවල් දේකටද?

ඉතිං ඔය අපේ ඩෝසර් වැඩකරපු හරිය කොටි ඉන්න සීමාවට ඉතාම ආසන්නයි. ඔය හින්ද හිනිදුමය කලේ රෑ නමය වගෙ වෙනකල් ඉඳල ගෙනිච්ච බත් එකත් කාල ආපහු පාදපරිචාරිකාවෙ එනව කෑම්ප් එකට.ටිකක් අඩිය ඉක්මන් කරල එනකොට ඔය කිලෝමීටර් 6 පැයකින් වගෙ එතහැකි. ආයම උදේ ඩෝසර් ඔපරේටර්ස්ල එක්කගෙන යනවනෙ ජීප් එක හතහමාරට අටට වගෙ. නයිට්වොච්මන්වත් ආපහු එක්ක එන්නෙ ඒ ජීප් එකේමයි. හින්නා කරන්නෙ උදේ හයට වගෙ එළිය වැටීගෙන එනකොට ආපහු යනව අර කිලෝමීටර් හය ගෙවාගෙන. ගිහිල්ල ඉන්නව කම්බිලියත් පොරවාගෙන..රෑ තිස්සෙ ඇහැක් වගෙ ඩෝසරේ මුරකරපු එකා වගෙ...හෙහ්,හෙහ්,

" ආ...හිනිදුම ඊයෙ රෑ නින්ද ගියාද? " ජීප් එකේ යන අපේ ලොක්කා සමරසිංහ බොස් අහනව. 

" මොන නින්දක්ද මහත්තය..එලිවෙනකල් මදුරුවො තැලුව ඒ මදිවට හීතල…" හින්නා ඔලුවත් පාත්කරල කියනව. 

" හරි හරි බං මාසෙ අන්තිමට උඹලට සෑහෙන ඕ.ටී. එකක් හම්බවෙනවනෙ පඩිය වගේම. " බොස් කියනව හිනාවෙලා. 

" ඒක නම් එහෙම තමයි" හින්නා මා දිහාවෙ බලල කට කොණකින් හිනාවෙනව.  ඕකගෙ ඔය ඔපරේෂන් බෑක් ටු ද කෑම්ප් සීන් කෝන් එක මම දන්නව කියල ඕකත් දන්නව.

පලි - සාතිශය සංවේගයෙන් වුවද මතු සම්බන්ධයි යනුවෙන් සඳහන් කිරීමට සිදුව ඇත. හිනිදුමගේ කතාව සහ කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ( Safety Precautions කියන එකේ පරිවර්තනය මම මෙහෙම ලිව්වෙ. කළ්‍යාණ මල්ලි, හරි නේද? ) පිළිබඳව ඉදිරි සටහනෙහි ලියමි.


50 comments:

  1. ඇති යන්තම්, ලියල !

    ReplyDelete
    Replies
    1. මම මේ දවස් ටිකේම බල බල හිටිය, මේ කතා දාවිද කියල.. ඔය රාත්‍රී මුර සේවා කරන අයගෙ වැඩ නම් ඔහොම තමයි. අපි හිටපු සයිට් එකේ හිටිය මුර සේවකයෝ, රෑ වෙනකොට කොහෙහරි මේසයක් උඩට වෙලා නිදි, අපි දකිනකොට වත් ගානක් නැහැ එයාලට.

      අපේ කලපුවේ පාලම් වැඩබිමේ නොයෙක් හොරකම් සිදු උනා මේ නිසාම. සමහරු දවල් කාලයේ කලපුව අයිනේම වැඩ කරන වෙලාවට, ඉතුරු වෙන කම්බි කොට කෑලි එවෙලේම දානවලු කලපුවට. රෑට බෝට්ටුවෙන් ඇවිත් අරන් ගිහින් විකුනනව යකඩ වලට.

      තව දවසක් පයිලින් බාජ් එකේ ක්රේන් එකෙන් ඩීසල් හොරකම් කරන් ගිහින්.. ආපහු තිබුණු විදියට සවි කරල ගිහිනුත් නැහැ, උදේම ක්රේන් ඔපරේටර් යනකනුත් ඩීසල් කාන්දු වෙනවාලු.

      රවී තුමා වැඩ කළා කියපු ටනලින් ප්‍රොජෙක්ට් එකේ කොන්ත්‍රාත්කරු කවුද කියල කියන්න පුලුවන්ද? :)

      Delete
    2. එක් මානවිකාවක්,

      / අපි හිටපු සයිට් එකේ හිටිය මුර සේවකයෝ, රෑ වෙනකොට කොහෙහරි මේසයක් උඩට වෙලා නිදි, අපි දකිනකොට වත් ගානක් නැහැ එයාලට. /

      හාපෝ..ඔය මිනිස්සු ගැන නම් කියල වැඩක් නෑ. විශේෂයෙන්ම ඔයාල වගෙ අලුතෙන් යන අයව ගණං ගන්නෙම නෑ.

      / තව දවසක් පයිලින් බාජ් එකේ ක්රේන් එකෙන් ඩීසල් හොරකම් කරන් ගිහින්.. ආපහු තිබුණු විදියට සවි කරල ගිහිනුත් නැහැ, උදේම ක්රේන් ඔපරේටර් යනකනුත් ඩීසල් කාන්දු වෙනවාලු. /

      හපොයි, ඩීසල් හොරකං කිරිල්ල නම් කොහෙත් අනිවාර්යයයි. අපි ඒ කාලෙ කතාවට කිව්වෙ " අපෝ ජේ.ආර්.ගෙ ජගුවර් එකෙනුත් ඩීසල් අදිනව ඇති ෂුවර් ඇන්ඩ් ෂොට් " කියල. ඒ මුල්කාලෙ ජේ.ආර්.ගෙ නිල වාහනේ තිබ්බෙ මෙරූන් පාට ජගුවර් එකක්.

      / රවී තුමා වැඩ කළා කියපු ටනලින් ප්‍රොජෙක්ට් එකේ කොන්ත්‍රාත්කරු කවුද කියල කියන්න පුලුවන්ද? :) /

      ටනලිං මේන් කන්ට්‍රෑක්ටර් - Skanska International Civil Engineering A.B. (Sweden)

      හෙඩ් වර්ක්ස් ( අමුණ ), Sand Trap සහ ඩෑම් එක - Mitsui & Co., Ltd., Hazama Corporation, Kumagai Gumi Co., Ltd., Kajima Corporation ( Japan )

      Delete
  2. අසෝකයි සරෝජිනියි මේ සම්මජ්ජාතියේ නං කියවන්න වෙන්නෙ නෑ කියල නිච්චියටම අද දැනගත්තා.
    81 අවුරුද්දෙ වැල්ලවත්තෙ පින්තුර වගයක් ඊ නිවුස් එකේ දාල තිබ්බ රවී දැක්කද?
    අපේ අය අලුත් අවුරුද්ද වෙනුවට අළුත් අවුරුද්ද කියල ලියල තියෙන හැටි දැක්කනං කරියකරවනයන් අහන්නෙ අවුරුද්දට අළු මොකටද කියලයි.ඔය ගැන ලියන්න කීප සැරයක්ම හිතලත් නිකා හිටියා අපරාදෙ මොකටද බැනුම් අහගන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      / අසෝකයි සරෝජිනියි මේ සම්මජ්ජාතියේ නං කියවන්න වෙන්නෙ නෑ කියල නිච්චියටම අද දැනගත්තා. /

      හෙහ්, නෑ බං...විගහට ලියනව...විගහට ලියනව...:)

      / 81 අවුරුද්දෙ වැල්ලවත්තෙ පින්තුර වගයක් ඊ නිවුස් එකේ දාල තිබ්බ රවී දැක්කද? /

      හැලප කිව්වට පස්සෙ ගිහිල්ල බැලුව...:)

      / අපේ අය අලුත් අවුරුද්ද වෙනුවට අළුත් අවුරුද්ද කියල ලියල තියෙන හැටි දැක්කනං කරියකරවනයන් අහන්නෙ අවුරුද්දට අළු මොකටද කියලයි.ඔය ගැන ලියන්න කීප සැරයක්ම හිතලත් නිකා හිටියා අපරාදෙ මොකටද බැනුම් අහගන්නෙ. /

      ඩී.එෆ්. කාරියකරවන මහත්මයගෙ ලියවිලි මම බොහොම ආසාවෙන් කියවනව. දසක සතක මතක සහ මතක පොතෙන් තවත් ටිකක් කියෙව්ව පිටවුනු අලුතම. එතුමා තව පොතක් ලිව්ව නේදඊට පස්සෙ? මතක පොතේ ඉතිරි හරිය ද මොකක්ද කියල? ඒක නම් තාම කියවන්නට බැරිවුනා මචං...:)

      Delete
  3. ඒ පාර තකහනියක් ඇරපු නැති වරහනුත් වහනවා! ජය වේවා! අර ඩයනාගේ මඟුල් ගෙදරට අදාළ අනිත් කතා ටිකත් දාලා තියෙන්නේ අපි "අනේ ඒවාත් කියන්න!" කියයි කියලා වෙන්නැති නේ?

    //ඒ මදිවට අර මලිති නෝන මහත්තැං ගත්කටටම ඇහුව නෙව මොකෝ මේ අසනීපයක්වද්ද කියල. ඉතිං කාටෙයි මේ අවනඩු කියන්නෙ?//

    (තදින් සිනා) :D

    ReplyDelete
    Replies
    1. මලිති,

      / අර ඩයනාගේ මඟුල් ගෙදරට අදාළ අනිත් කතා ටිකත් දාලා තියෙන්නේ අපි "අනේ ඒවාත් කියන්න!" කියයි කියලා වෙන්නැති නේ? /

      එව්ව බොහොම ප්‍රසිද්ධ කතා නෙව...කවුරුහරි දන්නෙ නැත්තං කියන්ට බැරිකමකුත් නං නෑ තමයි ඉතිං...හෙහ්,හෙහ්,

      Delete
  4. හුටා.. යහපාලනෙන් පොරොන්දු ඉටු කරා වගේ බාගෙට.. අලුත් අවුරුද්දේ වැඩේ අළුත් වෙලා දන්නෙම නැතුව.. හැක්.. අද ඉගෙන ගත්ත වචනය- (හිනිදුමය ලෝක) //ආනාදියා// ඔය Safety කියන මගුල් වචනෙට හරි හමන් සිංහල වචනයක් තාම නෑ මං හිතන්නේ.. මාත් කාලයක් සුරක්ශිතතා කියල ලියුව.. දැන් හොල්සිම් එකේදි පුරුදු වෙලා ප්‍රවේශම් කියල ලියනව.. මට දිරවන්නෙම නැති වචනෙ තමයි ආරක්ශාව කියනෙක.. Precautions කියනෙකට පූර්ව උපක්‍රම කියන එකනම් පට්ටෙට ගැලපෙනවා.. ආයිත් අහන්න ඕන්නෑනේ ඉතින් රවී අයියා ලියුවනම්.. භාගෙට හරි පොරොන්දු ඉශ්ඨ කරාට තැන්කූ හොඳේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      මම හිතන්නෙ සේෆ්ටි සංකල්පය කුකුළෙ කරන කාලෙ වෙනකොට නිල වශයෙන් සම්මත වෙලා වගෙ තිබුනෙ නෑ. එහෙදි අපි කලේ අමුතුම සේෆ්ටි ප්‍රොසීඩියර්ස් / ප්‍රිකෝෂන්ස් වගයක්. ඉඳහං ඊලඟ කොටසෙ ලියඤ්ඤං ඒ ගැන...:)

      Delete
  5. මෙතන ඇම්ඩගෙ කතාව කියන්න කියන එක හරි නැති නිසා ඔන්න ඒක ඉල්ලන්නෙ නෑ.. (කිව්වොතින් වටී )
    සයිට් වල හොරකම් නම් කොච්චරද? අපේ සයිට් එකේ තෙල් බානවාට අමතරව බ්‍රෑන්ඩ් නිව් ටෙන් වීල් වල ස්පෙයාර් වීල් ටිකයි,බැට්‍රි ටිකයි ත් ගලවන් ගිහින්... අන්න පොර වල්.සික්කගෙ ජොබ් එක නැති උනා.උට පාඩු නෑ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. Gus,

      / මෙතන ඇම්ඩගෙ කතාව කියන්න කියන එක හරි නැති නිසා ඔන්න ඒක ඉල්ලන්නෙ නෑ.. (කිව්වොතින් වටී ) /

      අන්තිම හරිය කියඤ්ඤංකො එහෙනං....

      " වඳුරා කිව්වා..වඳුරා කිව්වා...වඳුරා කිව්වා...."

      " ඔව්..පුතා කියන්න බලන්න මොකක්ද වඳුරා කිව්වෙ? අනික් ළමයි හොඳට අහගන්ටලා මේ ඇම්ඩන් පුතා කියන කතාව. බොහොම ආදර්ශමත් කතාවක්. ඔව්..ඇත්තම කිව්වොත් බොහොම ආදර්ශමත් කතාවක්..ඔව් ඇම්ඩන් පුතා කියන්න..මොකද වඳුරා කිව්වෙ? "

      " වඳුරා කිව්වා...වඳුරා කිව්වා...හිටපංකො වැස්ස පායනකල් තොපෙ ******** *********"

      Delete
  6. //ඇම්ඩ වඳුරො කූඩු හදපු කතාව// නොදනී.
    අර ජේ ආර් සම්බන්ධ අනික් කතා ටිකත් කියන්නය කියල දැං කවුරු හරි කියයි.
    එතකොට අර //හිනිදුමගේ කතාව සහ කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම// වලට වෙන්නෙත් සරෝජනී ට වෙච්ච සංතෑසියම වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /...//ඇම්ඩ වඳුරො කූඩු හදපු කතාව// නොදනී. …/

      අන්න ඇම්ඩගෙ වඳුරො කූඩු හදපු කතාව මම උඩ ලියද්දෙදි කිව්ව.

      / අර ජේ ආර් සම්බන්ධ අනික් කතා ටිකත් කියන්නය කියල දැං කවුරු හරි කියයි. එතකොට අර //හිනිදුමගේ කතාව සහ කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම// වලට වෙන්නෙත් සරෝජනී ට වෙච්ච සංතෑසියම වෙන්ටැ. /

      නෑ බොලේ..එහෙම වෙන්නෙ නෑ..ඔය කතා කවුරුත් වගෙ දන්නවනෙ..

      Delete
  7. යකෝ................... අැයි බාගෙට ලියලා නැවැත්තුවේ.. මේවා කොච්චර දිගට ලිවුවත් අවුලක් නැහැ.... ඉක්මනට ඉතුරු ටිකත් ලියැවේවා.... අර ප්‍රේමෙගේ කතා කීපයක් ම දන්නවා පොපියුලේෂන් කතාව හැර.. ඒකත් ලියයි නේද??

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,

      පොපියුලේෂන් කතාව ප්‍රේමෙගෙ නෙවෙයි ජේ.ආර්. ගෙ. රයිට්..ඒක එහෙනං ඊළඟ පාර කියන්නංකො...:)

      Delete
  8. මාලනී,ලකී විවාහෙට ජාර් පප්පා අස්සන දාපු එකට ගිය කාටුන් එක මතකෙයි...

    ReplyDelete
    Replies
    1. ItalyDilan,

      මතකයි, මතකයි..අර සත්තු තුන්දෙනෙක් ගැන කියල තිබ්බ එක නේද?....හෙහ්,හෙහ්,

      Delete
  9. ඔය හේමා ආර්යාවගේ කාලේ කතා නම් මාත් අහලා තිබුනා. ඒත් පහුගිය කාලේ නම් බැටරි ගිහින් වගේ කාර් එකෙන් බහින්නේවත් නැතිව ඩ්‍රයිවර් විතරක් රෙස්ටොරන්ට් එකට ඇවිත් කෑම එකක් ගෙනියනකොට දුකත් හිතුනා. ඔවුන්දැ නේද අර දලදා මාලිගාවේ පත්තිරිප්පුවටත් නැග්ගේ?

    ඈ රවී මහත්තයෝ බෝ වැඩ කරපු නැති එක බිම් අඟලක්, ප්‍රජෙක්ට් එකක් තියෙනවද බං? ඔය කුකුලේගඟ ළඟ ලස්සන කිකිළියෝ එහෙම හිටියේ නෑ වෙන්නැති නේ? කොහෙද මේ අශෝකාලා සරෝජීනි ලා එක්ක මේ කතා කියවනන් ගිහින් අපිත් දැන් නරක ළමයි වෙලා නෙව...

    මේ ටිකක් බලපං ඔනන් දැන් අපි යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා ලංකාවේ එක තැන් වලට.... ඔන්න මම කියනවා මම දන්න එකෙක් මේ ප්‍රජෙක්ට් එකේ වැඩ කරලා තියෙනවා. උගේ කාලේ මේ කතාව අර කතාව කියලා. ඔය බලන්න යන තැනින් තැනට ඕක කිව්වම උන් මට අන්තිමට පොල්ලකින් ගහලා එලවයිද දන්නේ නෑ....
    අනේ උඹත් අපිව දාන අමාරුව...

    ReplyDelete
    Replies
    1. Rangi,

      / ඔවුන්දැ නේද අර දලදා මාලිගාවේ පත්තිරිප්පුවටත් නැග්ගේ?  /

      එහෙනං, එහෙනං...නැග්ග නේන්නං...ඉස්සෙල්ල ප්‍රේම් ජාතිය අමතනකොට පත්තිරිප්පුවෙ පිටිපස්සෙං හිටියෙ හේමාවෝයි, දුවයි පුතයි විතරයි. පස්සෙ දූ බැන්දම බෑණංඩියත් නැඟපි පත්තිරිප්පුවට. කොහොමහරි ලොක්ක දෙවෙනිපාරත් දිනල අවුරුදු දොළහක්ම ජනාධිපති වෙලා හිටියනම් පත්තිරිප්පුවක් අලුතෙන් හදන්ට වෙනව ෂුවර් ඇන්ඩ් ෂොට්. බෑණල, ලේලිල, මුණුපුරාල, මිණිපිරීල ඔක්කොමල නග්ගගන්ට නැතුව ඕකෙ ආය ඉඩ ඇත?

      මගෙ යාලුවෙක්ගෙ මාම කෙනෙක් තමයි ඒ දවස්වල එස්.ඊ.සී එකේ ( රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ) හෙඩ් ඔෆ් ද ඩිසයින් ඩිපාර්ට්මන්ට් වෙලා හිටියෙ. මාම කිව්වය කියල මගෙ යාලුව මා දැක්ක කිව්ව අලුතිං පත්තිරිප්පුවක් ඩිසයින් කරන්ත ඒ ගොල්ලො පටන්ගෙනත්ලු තිබුනෙ.

      / ඈ රවී මහත්තයෝ බෝ වැඩ කරපු නැති එක බිම් අඟලක්, ප්‍රජෙක්ට් එකක් තියෙනවද බං? /

      අවුරුදු තිහක්වගෙ කාලයක් ලංකාව වගෙ සුට්ටං රටක එකම ක්ෂේත්‍රයෙ වැඩ කරනකොට රටපුරාම යන්ට වෙනව. ඒක ස්වාභාවිකයි. විශේෂයෙන්ම එකම තැනක තැග්ගැහිල ඉන්ට අකමැති කෙනෙකුට.

      / ඔය කුකුලේගඟ ළඟ ලස්සන කිකිළියෝ එහෙම හිටියේ නෑ වෙන්නැති නේ? කොහෙද මේ අශෝකාලා සරෝජීනි ලා එක්ක මේ කතා කියවනන් ගිහින් අපිත් දැන් නරක ළමයි වෙලා නෙව... /

      නෑ බං..එහෙ කෙල්ලො හිටියෙ ප්‍රොජෙක්ට් ඔෆිස් එකේ විතරයි.එවුනුත් ආය කිසි වැඩකට ඇති එවුං නෙවෙයි. ඔය මතුගම දිහා හාල්කෑලි...:)

      / මේ ටිකක් බලපං ඔනන් දැන් අපි යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා ලංකාවේ එක තැන් වලට.... ඔන්න මම කියනවා මම දන්න එකෙක් මේ ප්‍රජෙක්ට් එකේ වැඩ කරලා තියෙනවා. උගේ කාලේ මේ කතාව අර කතාව කියලා. ඔය බලන්න යන තැනින් තැනට ඕක කිව්වම උන් මට අන්තිමට පොල්ලකින් ගහලා එලවයිද දන්නේ නෑ.... අනේ උඹත් අපිව දාන අමාරුව... /

      අමාරුව? මොකක්ද බොල අමාරුව? උඹට සුවල්ප ගරු නම්බුවක් කියලද හිතේ මම වාගෙ බොහෝ ඇසූපිරූ තැන් ඇති ඥාණවෘද්ධ, බහුසෘත බුද්දිමතෙක් උඹ අඳුනනවයි කියන එක...හෙහ්,හෙහ්,

      Delete
  10. ඔය "සුබ අලුත් අවුරුද්දක්"කියලා ලියනකොට තව ඔය "සුබ" කියන එක "සුභ" කියලාත් ලියනවා නේද?හරි සුබ ඇවිත් මේ "සුබ"නොවේද?

    අර යාන්ස් වල රත්තරන් හැන්දේ කතාවනම් අහලා තියෙනවා,අනෙක් ස්ටොරිස් ටිකත් කියලා දහන්කෝ රවීයියේ.

    ReplyDelete
    Replies
    1. Manoj,

      මම දන්නා පරිදි මල්ලි එතන ගැටළුවක් නෑ. සුබ අලුත් අවුරුද්දක් වේවා! සහ සුභ අලුත් අවුරුද්දක් වේවා! දෙකම නිවැරදියි කියලයි මගේ අදහස...

      හැබැයි තද්භව තද්සම ප්‍රශ්නයක් එනව සුබ ප්‍රාර්ථනා කිව්වම. ඒක වැරදියි.

      එක්කො සුභ ප්‍රාර්ථනා ..එහෙම නැත්තං සුබ පැතුම්...

      තද්භව = වෙනත් භාෂාවකින් ඒ ආකාරයෙන්ම නොයොදා වෙනස් කොට යෙදෙන වචන

      සංස්කෘත සිට සිංහලයට තද්භව වූ පද

      ආභරන - අබරන
      අර්ථ - අරුත්

      දෙමලෙන් සිංහලට තද්භව වූ පද

      අම්පලම් - අම්බලම්
      උරුමෛ - උරුම
      කරවාඩු - කරවල
      පොලිවු - පොලී

      පාලියෙන් සිංහලට තද්භව වූ පද

      ධම්ම - දම්
      මග්ග - මග
      කහාවන - කහවනු
      විජ්ජුලි - විදුලි

      ඉංගිරිසියෙන් සිංහලට තද්භව වූ පද

      ඒකර් - අක්කර
      ඩිස්ට්රික්ට් - දිස්ත්රික්කය
      පැනල් - පනේල
      පෙන්සිල් - පැන්සල්
      ඉංජිනියරින් - ඉංජිනේරු
      ඩසන් - දුසිම්

      තද්සම = වෙනත් භාෂාවකින් ඒ ආකාරයෙන්ම ගත් වචන

      සංස්කෘත බසින් සිංහලට තත්සම පද-

      කුමාර - කුමාර
      ආධාර - ආධාර
      විද්‍යා - විද්‍යා
      මාර්ග - මාර්ග

      දෙමලෙන් තත්සම පද-

      අත්තිවාරම් - අත්තිවාරම්
      පදක්කම් - පදක්කම්

      උපුටා ගැනීම - වෙබ් ආලෝචනා

      / අර යාන්ස් වල රත්තරන් හැන්දේ කතාවනම් අහලා තියෙනවා,අනෙක් ස්ටොරිස් ටිකත් කියලා දහන්කෝ රවීයියේ./

      හරි, හරි, ඒ ටිකත් එහෙනං කියන්නංකො....:)

      Delete
    2. අඩේ අපට සිංහල උගන්වපු "ජයරත්න සර්"මතක් වුනා.
      බොහෝම ස්තූතියි රවීයියා,මේ පැහැදිලි කිරීමට.
      මාව උඹේ ගෝලයා කර ගනින් අර 'මයියොක්කා'ලියන්න බැරි ඔමා වගේද මං.:D

      Delete
  11. // වගපල කියන්ට //

    "වගපල" කියන එකේ නිවැරදිම තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. චෝදනා මුඛයෙන් කතාකිරීම කියල කියන්ට පුළුවනි.

      Delete
    2. Pra,

      වගපල කියනව කියන්නෙ ප්‍රා දොස් කියනවට,

      Helapa,

      ඔබ හරි....

      Delete
  12. එතකොට ඇයි කොටින්ට උඹලගේ බුල්ඩෝසර් අරන් යන්න ඕනෙ වුනේ නැත්තේ? උන්ට ඒවා හරියට වටිනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔපරේෂන් එකක් තියෙනකොට කොටි ඇවිත් බුල්ඩෝසර් ඕනෑ කියල ඉල්ලං යනවලු.ගෙනියන බුල්ඩෝසර් ප්‍රමාණය කීයක්ද කියල තීරණය වෙන්නෙ ඔපරේෂන් එකේ තරම අනුවයි.වැඩේ ඉවරවෙලා ආපහු ගෙනැත් දෙනවලු.ඔය වගේ සුළු කාරණයක් තේරුම් ගන්න උඹට බැරි හැටි අම්මපා.

      Delete
    2. උඹ හරි හැලපේ. මට අමතක වුනා. බුල්ඩෝසරයක් නඩත්තු කරන එක කොයිතරම් වදයක් වෙන්නැතිද අප්පා! ලයිසන්ස්, ඉන්ෂුවරන්ස් (තර්ඩ් පාටිත් බැරුව ඇතිනේ)... :D

      Delete
    3. හෙහ්, හැලප නොදැන වුනත් කියල තියෙනදේ සත්‍යයට හුඟක් කිට්ටුයි...හෙහ්,හෙහ්, කොටි තුන් හතර පාරක්ම අපේ ඔය කැළේ මැද්දෑවෙ නවත්තල තිබ්බ ඩෝසර් අරගෙන ගිහිල්ල තිබ්බ. ඒත් සුමාන දෙකකට වගෙ පස්සෙ ආයම ඒ කිට්ටුවට ගෙනත් දාල ගිහිල්ලත් තිබ්බා. අපි හිතුවෙ උංගෙ ඔය බංකර් ගහන එව්වට එහෙම අරගෙන ගිහිල්ල වැඩ ඉවරවුනාම ගෙනල්ල දාන්ට ඇති. මම අර කලිනුත් කිව්ව වගෙ අපි වැඩ නවත්තල යන්ටම ගියොත් උංටයි පාඩුව කියලහිතල එහෙම කලයි කියල තමයි හිතන්ට තියෙන්නෙ.

      Delete
  13. මේකෙ මේ ස්කන්ස්කා එක ගැනයි ඩීසල් ඇදිල්ලක් ගැනයි කියෙව්වහම මටත් පරන කතා ටිකක් මතක් වුනා.ස්කන්ස්කා සමාගම ඉස්සෙල්ලම ලංකාවෙ කරපු ප්‍රොජෙක්ට් එක තමයි කොත්මලේ.මම වැරදි නම් කියන්න.කොත්මලේ හැදුවෙ ස්විඩන් ආධාර වලින් නිසා වෙන්න ඕන ඒක ස්වීඩන් සමාගමකට ගියෙ.ඔය චීන්නු වගෙ වඩුව්යි,බල්ලයි හැම එකාම චීනෙන් ගෙනත්නෙ චීනා වැඩ කරන්නෙ. මේ සමාගම් වල ඉහලම මැනේජ්මන්ට් එක එනවා ,විශේශ දැනුම තියන අයව ගේනව.ඒ ඇරුනහම පහල මැනේජ්මන්ට් එකයි අනිත් ජොබ් වලටයි ලෝකල් අයව තමයි ගන්නෙ. 1981 මම නුවර වැඩ කරනකොට එකට වැඩ කරපු යාලුවෙක් හිටියා ගම්පල ගෙවල්.එයාගෙ අක්කයි ,මස්සිනයි දෙන්නම වැඩ කලේ CECB එකේ. CECB එක තමයි රජය වෙනුවෙන් ප්‍රොජෙක්ට් එක අධීක්ශනය කලේ. ඒ අයට ඉන්න ක්වාටස් දීල තිබුන වැඩබිමේ ස්වීඩන් කොලිටි එකට හදපු ගෙවල්.අපි ඉතින් නිවාඩු දවස්වල යනව ටනල් එක හදනව බලන්න එහෙම. ඒ ගෙවල් වල තමයි මම ඉස්සෙල්ලම් ඔය දැන් තියන කුස්සි ,පැන්ට්‍රි කබඩ් එහෙම දැක්කෙ.උනු ව්තුර පවා තිබුන.ගෙදර බඩු පවා ස්වීඩිශ්.රවිලටත් ඒවා ලැබුනද?
    දන් ඔය ඩීසල් ඇදිල්ලට එමුකො. කොත්මලේ,වික්ටෝරියා දෙකම සමාන්තරව හැදුව කාලෙ ගේන සිමෙන්ති සහ අනිත් බඩු ගෙනියන්න ලොකු බව්සර්,ට්‍රක් වරාය සහ ඔය තැන් දෙක අතර දිවා රෑ වැඩ කලා. කොටින්ම ඔය කඩුගන්නාවෙ ගල විදපු තැනට උඩින් පාර හැදුවෙත් ඔය බර වාහන වලට යන්න. ස්කන්ස්කා එකට සිමෙන්ති ගෙනියපු බව්සර් ස්කානියා වර්ගයෙ.වැඩබිමේ තිමුන බර වාහන වැඩි හරියක් වොල්වෝ.ඉතින් ඔය වාහන වල ඩ්‍රයිවර්ලා ඩීසල් විකුනනවා කොහොම හරි ඉතුරු කරගෙන.ඔය කාලෙ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13 ක් වගෙ මට මතක.ඉතින් ඩීසල් ඊටත් අඩුයි.මේක ඉතින් ප්‍රසිද්ධ රහසක්.ඒ කාලෙ නුවර පාරෙ ලාබෙට ඩීසල් ගන්න පුලුවන් තැන් තිබුන. කොහොම හරි දවසක් කෑගල්ල පොලීසියෙන් මේ බව්සරයකින් ඩීසල් අදිනකොට අල්ලගෙන පොලීසියට ගෙනිහින්.මේක සිමෙන්ති අරගෙන කොත්මලේ යනව.පොලීසියෙ ලොක්කා ඉතින් වැඩි හොඳට ඉහල මට්ටමේ ස්වීඩිශ් මැනේජර් කෙනෙකුට කතා කරල කියල, මෙහෙමයි අපි ලොකු හොරකමක් අල්ල ගත්තා දැන් ඩ්‍රයිවර් සහ ගෝලය දෙන්නව උසාවි දානව ඒකට කොම්පැනියෙන් කාවහරි එවන්න කියල.සුද්දා හොඳවයි දෙකක් කියල ඉවරවෙලා කිව්වලු දැන් උඹල කරපු වැඩේ නිසා අපිට ඊලඟ කොන්ක්‍රීට් එක අනන්න සිමෙන්ති නැතුව යනව,මම එහෙම වුනොත් ආන්ඩුවට කියල උඹලව ගෙදර යවනව. ඒක නිසා ව්හාම ඔය බව්සර් එක එවපන් ,ඕකට අපි දෙන ඩීසල් වලින් ගමන ගිහින් ඇවිත් ඉතුරුවාට උන් මොනවකලත් අපිට කමක් නැති එකේ උඹලට තියන කැසිල්ල මොකද්ද කියල.

    ReplyDelete
    Replies
    1. Kumara,

      / ස්කන්ස්කා සමාගම ඉස්සෙල්ලම ලංකාවෙ කරපු ප්‍රොජෙක්ට් එක තමයි කොත්මලේ.මම වැරදි නම් කියන්න. /

      නෑ...කුමාර....ඔබ හරි...

      / කොත්මලේ හැදුවෙ ස්විඩන් ආධාර වලින් නිසා වෙන්න ඕන ඒක ස්වීඩන් සමාගමකට ගියෙ. /

      ඔව්..මහවැලියෙ මුල් ජලාශ හැදුවෙ ණය අරගෙන නෙවෙයි ආධාර වලින්. ඒ නිසා ආධාර දුන්නු රටේ සමාගමකටයි වැඩේ දුන්නෙත්.

      කොත්මලේ - ස්වීඩන් ආධාර - ස්කන්ස්කා ( ස්වීඩන් සමාගමක් )
      වික්ටෝරියා - බ්‍රිතාන්‍ය ආධාර - බැල්ෆර් බීටි නටෝල් ( බ්‍රිතාන්‍ය සමාගමක් )
      රන්දෙණිගල - ජර්මන් ආධාර - ආර්.සී.සී - ( ජර්මන් හවුල් ව්‍යාපාරයක් )

      / ඔය චීන්නු වගෙ වඩුව්යි,බල්ලයි හැම එකාම චීනෙන් ගෙනත්නෙ චීනා වැඩ කරන්නෙ. මේ සමාගම් වල ඉහලම මැනේජ්මන්ට් එක එනවා ,විශේශ දැනුම තියන අයව ගේනව.ඒ ඇරුනහම පහල මැනේජ්මන්ට් එකයි අනිත් ජොබ් වලටයි ලෝකල් අයව තමයි ගන්නෙ. /

      එතන වුනේ මේකයි. චීන සමාගම් උපරිම ලාබ ලබාගන්නා පරමාර්ථයෙන් තමයි වැඩ කලේ. ඒ නිසා ඔවුන් කලේ චීනෙන්ම අඩුමිලට ශ්‍රමිකයො ගෙනාව.

      / ගෙදර බඩු පවා ස්වීඩිශ්.රවිලටත් ඒවා ලැබුනද? /

      නැහැ කුමාර, කුකුලේ ප්‍රොජෙක්ට් එකේ ස්කන්ස්කා මේන් කන්ට්‍රෑක්ටර් නෙවෙයි. සිවිල් කන්ට්‍රෑක්ටර් විතරයි.අනික ඒක කලේ ජපන් ආධාර වලින්. ජපන්නු තමයි මුදල් පරිපාලනය ඔක්කොම කලේ. ඒ නිසා ස්කන්ස්කා ස්ටාෆ් එකට කොත්මලේ වගෙ ඉහළ මට්ටමේ පහසුකම් ලැබුනෙ නෑ.කොත්මලේ එහෙම නෙවෙයි. ස්වීඩිෂ් ආධාර, ඒ වගේම ස්කන්ස්කා මේන් කන්ට්‍රෑක්ටර්...ඒ නිසා කිසි අවුලක් නෑ සියලුම සේවකයින්ට සම්පූර්ණ පහසුකම් දෙන්ට හැකියාව තිබ්බ. කොත්මලේ කරන කාලෙ මම ඉස්කෝලෙ යනව. මම ඔය විස්තර දන්නෙ මගෙ පුංචි මාමා කොත්මලේ වැඩකරපු නිසා.

      / සුද්දා හොඳවයි දෙකක් කියල ඉවරවෙලා කිව්වලු දැන් උඹල කරපු වැඩේ නිසා අපිට ඊලඟ කොන්ක්‍රීට් එක අනන්න සිමෙන්ති නැතුව යනව,මම එහෙම වුනොත් ආන්ඩුවට කියල උඹලව ගෙදර යවනව. ඒක නිසා ව්හාම ඔය බව්සර් එක එවපන් ,ඕකට අපි දෙන ඩීසල් වලින් ගමන ගිහින් ඇවිත් ඉතුරුවාට උන් මොනවකලත් අපිට කමක් නැති එකේ උඹලට තියන කැසිල්ල මොකද්ද කියල. /

      මේ කතාව ඇත්තක් වෙන්න පුලුවන්. මොකද ඔය ඩීසල් ලිතර් හාර පන්සීයක පාඩුව වගෙ නෙවෙයි බැචිං ප්ලාන්ට් එක එක දවසක් නිකං තිබ්බොත් වෙන පාඩුව සිමෙන්ති නැතුව. ඒ කාලෙ ව්‍යාපෘති නියමිත දිනේට කලින් ඉවර කලාම බෝනස් එකක් ගෙව්ව ආණ්ඩුවෙන්.මේ කතාව ඇත්තක්ද කියල මට හරියටම කියන්ට නම් බෑ. ඒ කිව්වෙ කොත්මලේ නියමිත දිනට කලින් ඉවර කරපු නිසා ස්කන්ස්කා සමාගමට ලැබුණු බෝනස් මුදලෙන් කොටසක් යොදවලයි තැන්නෙකුඹුර - රන්දෙණිගල රජමාවත ස්කන්ස්කා සමාගම කලේ කියල ඒ දවස්වල කතාවක් තිබ්බ. එහෙම කල හින්ද එයාලට ලුණුගම්වෙහෙර හරි මොකක් හරි දකුණෙ ප්‍රොජෙක්ට් එහෙකුයි, කන්තලේ වැව් බැම්ම කඩාගෙන ගියාම ඒක හදන්ටයි, කළුතර පාලමයි දුන්න කියලත් මම අහල තියනව.

      බොහොම ස්තූතියි කුමාර ..ඔබගේ දීර්ඝ ප්‍රතිචාරයට....:)

      Delete
  14. මම ලංකාවෙ ඇල්ෆ එකේ ඉන්න කාලෙ දවසක් අපේ ෆැක්ටරි එකට අලුතෙන් ආව NIBM කොල්ලො සෙට් එකක්. මුන්ට මාව දැක්කගමන් හිනා යනව අමුතු විදිහට. ටික දවසක් මම වැඩේ නෝට් කරල සෙට් එකේ හිටපු ටිකක් මරිසි වගේ ඩයල් එකෙක් ගෙන්නුව.මොකද උන්තමා අහින්සක. නැතුව අහින්සක මූණු තියෙන්නෙ අම්බ කපටින්ට. ඕක මගෙ මූණ අනුසාරයෙම්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නෙ.

    "ජගත් මාව කලින් දන්නවද?"

    "නෑ මහත්තය"

    "එහෙනං මාව දැක්කම අමුතු විදිහට හිනාවෙන්නෙ?"

    මූ පාන්තිරේ වගේ ඇඹරෙනව

    ඔන්න මම දෙපාරක් විතර හොඳින් කිව්වම..

    "මේකයි මහත්තය, අර රොෂාන් අපිට ටෙක් එකේදි ඇම්ඩගෙ කතා මහ ගොඩක් කිව්ව"

    "මොනාද..?"

    "උපතෙ ඉඳල විපතටම කිව්ව.."

    "ඉතින්..?"

    "ඌ ඒව ඉගෙනගත්තෙ උන්ගෙ තාත්ත්ගෙ මල ගෙදර නයිට ගහපු කෙනෙක් හැමදාම රෑට කියනව අහගෙන ඉඳලලු"

    "ඉතින්..?"

    "ඉතින්..?"

    "උන්ගෙ අය්ය මහත්තයගෙ යාලුවෙක්...ලු"

    "රොෂාන් කොහෙද?"

    "ඌ ගොනාකෝවිලේ ඉස්කෝලෙ ගාව.."

    අම්මට උඩු, මේ කියන්නෙ අපේ වලේ හිටපු, ඉස්සර සල්ලි තිබ්බ, තාත්ත අකාලෙ මැරිච්චි ලසා ගැනනෙ කියලත්, ලසාගෙ මලගෙදර කතා කිව්වෙ මමනෙ කියලත් මීටරේට එනවත් එක්කම, අර ඌ මට දාපු ජාතියෙ හිනාවක් මටත් නිකම්ම ආව....

    ReplyDelete
    Replies
    1. හි හි ඉතින් ඊට පස්සේ මොකෝ වුණේ...

      Delete
    2. Indika,

      අන්න ඒක තමයි බං කඩ්ඩෙං කියන්නෙ " Your reputation precedes you " කියල. " ඔබේ කීර්තිනාමය ඔබට පෙර ලොව සිසාරා යනු ඇත…"…:)

      Delete
  15. රවි, ඔය රඹුටන් කතාව වගේ ජනකතාවක් තීනව.

    ඔන්න එක රටකට අලුතෙන් ආව වාදක මණ්ඩලයක් රජු ඉදිරියෙ වැඩ පෙන්නල රජාව හෙනට සතුටු කරාලු. ආතල් එකේ ඉහලටම ගිය රජා කිව්වලු

    "රාජකීය භාන්ඩාගාරෙන් පුලුවන් තරම් රන්කාසෙ උඹල එක එක්කෙනාගෙ භාන්ඩයක් පිරෙන්න අරන් පලයල්ල" කියල.

    ඉතින් බෙර කාරයො හොඳට හමුකරගනිද්දි, බටනලා කාරයට විතරලු යාන්තමට පොඩි මාරු කාසි ටිඅකක් ලැබුනෙ.

    අනික් උන් මූට හෙන කින්ඩියත් දැම්මලු වෙච්චි පාඩුවට.

    මේ සෙට් එක ඊලඟ රටට ගිහින් ශිල්ප දැක්කුවම එහෙ රජාට ඇල්ලුවෙම නෑලු සීන් එක.

    තොපි මොන කන්කරච්චලයක්ඩ බොල මේ කරන්නෙ. කාළකන්නි...ගහගනියව් තොපෙ ඔය බාන්ඩ පුකේ..

    කියල රජා ගියාලු.

    කතාවට කිව්වත් රජ අණ රජ අණනෙ. රාජ පුරුෂයො අරගෙන ගිහින් මරනවනෙ අණ කඩ කරපු උන්ව. අනේ උනුත් රෙදි ගලෝගෙන තටමනවල ගහගන්න.

    ඒ අස්සෙ බටනළා කාරය විතරක් අණ ඒ විදිහටම ඉටු කොරල පෙන්නල, දැක්ක නේද බොලා මට හිනා උනාට මගෙ පුංචි භාන්ඩෙ වටිනාකම කියල හිනා වෙල ගැලවිල ආවලු.

    මට ඔයි කතාව මේ ලඟදි මතක් උනා, අර කට කහන දුමිය ඩුබායි හන්දියෙ පැනෝරාම එකේ බීර වීදුරුවකට සෙට් උනාම. මොකද එදා තමයි දැනගත්තෙ ඌත් සැන් ජෝන්ස් කොලීජියෙ බටනලා ගහපු එකෙක් කියල ( දැන් ඌ ගිටාර් ගහන්නෙ ඩුබායි "අකනිටා" ගෲප් එකේ..හෙහ් හෙහ් )

    ReplyDelete
    Replies
    1. Indika,

      අකනිටා අර ඩුබායි වල මියුසිකල් ගෲප් එක නේද? දුමියද ඒකෙ ලීඩර්? අකනිටා කියල මම අහල තියෙන්නෙනම් බ්‍රහ්ම ලෝකයක්. ඒකෙ ඉන්න බ්‍රහ්මයින්ට ඔලුවක් නෑ කියලත් කියනව...හෙහ්,හෙහ්,

      Delete
  16. ආර්‍යාව /ආර්යාව නෙට් බෝල් ගහපු සීන් එක අපේ අම්මත් ඒ දවස් වල කිවුවා මතකයි.. ඔයා ෂෝයි අනේ කතා දෙයියෙක්.. අපේ තාත්තා ත් බ්ලොග් ලියන්න කම්පියුටර් ආම්බාන් කරන්න දන්නවනම් ලියයි මේ වගේ කතා හැමදාම,, එයා ළඟත් ඔය වගේ කතා ගොඩක් තියෙනවා .

    කොටි පව් නේද .. හීනෙ බිඳුනනේ අපේ රජතුමා කොටියා පරද්දලා රට එක්සේසත් කරානේ හිටං

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / ආර්‍යාව /ආර්යාව නෙට් බෝල් ගහපු සීන් එක අපේ අම්මත් ඒ දවස් වල කිවුවා මතකයි.. ඔයා ෂෝයි අනේ කතා දෙයියෙක්.. /

      අම්මට වූඩු...උඹට ගිය කල...මන්නොක්කා කියල ලිව්ව එකී දැං ආර්‍යාව කියලත් ලියනව නෙව ඇස් පියාගෙන...වෙරි ගුඩ්...වෙරි ගුඩ්..වෙරිම වෙරි ගුඩ්...එහෙම නේන්නං දියුණු වෙනවයි කියන්නෙ...හෙහ්,හෙහ්,

      / අපේ තාත්තා ත් බ්ලොග් ලියන්න කම්පියුටර් ආම්බාන් කරන්න දන්නවනම් ලියයි මේ වගේ කතා හැමදාම,, එයා ළඟත් ඔය වගේ කතා ගොඩක් තියෙනවා . /

      ඉතිං තාත්තගෙං කතා ටික අහගෙන උඹ ලියහංකො…" තාත්තාගේ මගේ කතා " කියල

      / කොටි පව් නේද .. හීනෙ බිඳුනනේ අපේ රජතුමා කොටියා පරද්දලා රට එක්සේසත් කරානේ හිටං /

      මම මේ කල්පනා කලේ අපේ ජනාධිපති තුමයි උඹයි ගැලපෙනව ජාඩියට මූඩිය වාගෙ..ඉඳගෙන සහ හිටං

      Delete
  17. තමුන්නැහැ ඔය ලියා තියෙන ඉස්ටෝරිය දැක්කම මටත් පසුවදනක් නොලියම බෑ කියල හිතුන. ඔය කුකුලේගඟ ව්‍යාපෘතියට පාදක වෙච්චි කුකුලේගඟ කියන ගංගාව ගලන්නෙ ‘කුකුලේගම‘ කියන මං උපං, හැදී වැඩුනු ගම හරහා. ඉතිං එහෙවු මං මෙතෙන මොකක් හරි ලියන්ටම එපායැ.
    ඕකට කුකුලේඟඟ ව්‍යාපෘතිය කියල කිවුවට මොකද මං හෙළුවෙන් ඉන්න සන්දියෙ(වයස අවුරුදු 5-7) එකදාස් නවසිය අනූ ගනංවල අය ඔය ගැන කිව්වෙ “ඕං ආයෙත් ඇල්ල බඳින්න යනවලු“ කියල. ඒ දවස්වල ගමේ පණ්ඩිත රාලල කියපු හැටියට නිවිතිගලිං මෙහා ආයෙ කලවාන, මානාන වත් ඉතුරු නොවෙන්නම වතුර පිරෙනව. ඔය කාලෙම අපේ අම්මගෙ පවුලෙ අයගෙ පොටෝ කෑල්ලක් එක්ක ලංකාදීප පත්තරේ ප්‍රවෘත්තියකුත් දාලා තිබුනා. ඒ කෙ තිබ්බෙ මේං මෙහෙමයි. උඩිම්ම සිරස්තලේ “අපිට විදුලිය එපා අපේ පාඩුවේ ඉන්න දෙන්න“ ඊට පස්සෙ අපේ ආච්චි අම්මයි, පුංචි අම්මයි, මාමයි, ආතයි, පියදාස ආතගෙ බෑන වෙච්චි රාජ මාමායි කට්ටියම සීරුවෙන් මිදුලෙ කොස් ගහ යට ඉඳං ගත්ත පොටෝ එක. ඒ පොටෝ එකේ හැමෝගෙම ඔලු ගෙඩි වලට ඉහලිං ගැට පොලොස් බුරුතු පිටිං එල්ලෙනව. ඒ පත්තරේ පහු කාලෙක 2002 ගංවතුරට අහුවෙලා දිරල ගියා.
    පස්සෙං පහු මං සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලෙ ඔය වියාපෘතිය පටං ගත්ත. එතකොට අපේ ගමේ මිනිස්සු ඒකට තවත් නමක් දැම්ම. Kukuleganga Hydro Power Project කියන එක ගමේ ඉන්න සමහර පහ වසරින් එහා සමත් අයට ‘ප්‍රජට්ස්‘ එක වෙද්දි හතලිහ පනහ අතර වැඩිහිටියන්ට ‘පෙජෙට්ටෙක‘ වෙද්දි ලොම්බ විතරක් ඉතුරු ආච්චිලා සීයල ඕකට ‘පොජෙච්චෙක‘ කියල කිව්ව. ඔය තමුන්නාන්සෙ වැඩ කොරාපු Skanska කියන සමාගම අපේ ගමට එද්දි ‘ඉස්කංක‘ බවට පත්වුනා. ඔය ‘ඉස්කංක‘ කොම්පැනියෙ සුද්දෙක්ගෙ හාමිනේ කෙනෙක් අපේ මස්සිනා අත දරුව කාලෙ අපෙ නැංදම්මට දුන්නු පැනල් රෙද්දක් නැංදම්ම තාම තියං ඉන්නව ‘කෙල්ලට ලමෙක් හම්බුනාම දෙන්න‘ කියල. කොයිහැටි වෙතත් ඔය කොම්පැණියෙට අමතරව තව KKH කියල ජපන් කට්ටියකුත් ඕකෙ උන්න. ඒ අයගෙ ඔපීසියක් තිබුන කලවාන ටවුමෙ. ඒකෙං විසි කොරපු කොළ වගේක Kajima Kumagay& Hasama join venture කියල උඩිංම ලියල තිබ්බ. අප්පේ බලන්ට එපායැ එදා මං ඕක උජාරුවෙන් ගමේ උන්ට කියපු හැටි. මේං මෙහෙම. “උඹල දන්නවෑ ඔය කේකේච් කියන්නෙ මොකක්ද කියල?“ අපේ ගැංසිය “ඤෑෑෑෑ“ “මේං බලාපල්ල ඔය ජපං සමාගං තුනක් හවුලෙ ඔය වැඩේ කොරන්නෙ. උංගෙ මුල් අකුරු ඔලිං තමයි ඕක හැදිල තියෙන්නෙ“
    ඔය කොයිව උනත් අන්තිමේ ඕක පටං ගත්ත. ගමට පිටිං ආපු ‘ඩෝසර් කාරයො‘, ‘ඩැයිබරල‘, ‘පෝමන්ල‘, ගමේ ගෙවල්වල බෝඩිං වුනා. සමහරු ඒ අයට බත් මුල් විකුනුව. සමහරු කඩ පොඩි අටවගත්ත. ගමේ අතන මෙතන වල බැහැපු සෙට් වලට රස්සා හම්බවුනා. උදේ පාන්දර හත වෙනකොට බස් දෙකක් යනව කට්ටිය එක්කහු කරන්න. එකක බෝඩ් එක MOTOR POOL අනික DAM SITE. “මුන්ට Water fall කියල ලියාගන්න බැරුව motor pool කියල ලියල“ ගමේ උන්ට මං පණ්ඩිත කමකුත් කියාපෑව. කොහොමිං හරි කිපදෙනෙක් ඒකෙං හම්බු කරල ගෙවල් දොරවල් හදා ගත්තා. සමහර එවුන් බීල ඉවර කෙරුව. තවත් එවුන් කාල, ඇඳල නාස්ති කෙරුව. තවත් එවුන් අවුරුද්දට බූරු ගහල ඉවර කෙරුව. පිටිං ආපු අය විතරක් හම්බ කරගෙන ගියා. ඔය පිරිස අතරිං ජපන්නුංගෙ ජීප් එක එළෝපු ‘අලි මාම‘. ඩීසල් බවුසරේ ‘ඩීසල් උපසේන‘. වඩුවැඩ කරපු රෑටත් ඇහැරල හිටපු පිස්සු ඩයල් එක. මට මතක ඇති චරිත ටිකක්. කුකුලේගඟ ගැන තව ලියං යංකො. මටත් මතක එව්ව මං පෙළ ගස්සඤ්ඥං.

    ReplyDelete
    Replies
    1. Surangamir,

      හප්පච්චියේ…. බොහොම තන්තෝසයි, බොහොම තන්තෝසයි, බොහොමත්ම තන්තෝසයි…..

      කුකුළේගඟ මුල් උරුමක්කාරයින්ගෙන් එක්කෙනෙක් දැනහඳුනාගන්ට ලැබීමත් ලොකු සතුටක්. අපි ඉතිං පිටිං ගිහිල්ල වැඩේ කොරල ආපු ඈයොනෙ. ඔය ගොල්ලො එව්වයෙ මුල් පදිංචිකාරයො නෙව. මම කුකුළෙ වැඩ කලාට කවදාකවත් ඔය අමුණ හදන තැනට ගිහිල්ල නෑ. දෙතුන් දවසක් සති අන්තෙක ගිහිල්ල එමුය කියල කතා වුනාට එහෙං එනකනුත් ඒ බලාපොරොත්තුව ඉස්ට කරගන්ට බැරිඋනයි කීවම. ඒත් ටනල් එක දිගේ ඇතුලෙන් නම් අමුණ කිට්ටුවටම ගිහිල්ල තියනව දෙපාරක් ද කොහෙද.

      අනික තමුන්නැහැගෙ ලියවිල්ල පංකාදු පහයි..ඇත්තටම බොහොමත්ම අපූරුයි...හරි..තව මතක තියෙන මොක මොක හරි ලියන්ටකො එහෙනං බලන්ට...

      හෙහ්, ආයෙමත් ස්තූතියි අපූරු මතක සටහනකට....:)

      Delete
    2. රවීගේ ලිපිය වගේම මේ කමෙන්ට් එකත් බොහොම රසවත්. සඳරු ගේ ලිපි මතක් වුණා

      Delete
    3. Suranga,
      Liwilla lassanay. Samahara wita api dannawath athi
      Mama 92 di molkawe indan payin awith Makeli alla watena thena bahala heluwenma nala gihin thiyenawa...
      Ethakota mama 7 wasare...
      Hakuru ekka pân kâla elle wathura bêlâ giye..
      Dan elle wathura biwwoth sori wey...

      Ravi ayye,
      Umbata kiyanna pereda rathriya mama samaruwe Kukule CEB eke nawâthan pole...
      Poddak withara kudu sansâra unâ... Heh...

      Delete
  18. අලේ අල මිලියන 345 කතාව කියල්ලකො. අනෙක්වා අහලා තියෙනවා. රවී අයියගෙ ලිපි කියවන්නෙ කීපයක් එකතුවුනාම අනෙක් වැඩ නවත්තලා. ඇයි ඉතිං ආටානාටිය වගේනෙ.
    (හුටා... මටත් අලුත් අවුරුද්ද වැරදුනා. ගීංම බලල්ලකො).

    ReplyDelete
    Replies
    1. මධුමාධවී,

      අඩේ ඒක අහල නැද්ද? මේ සුට්ටි කතාවක්නෙ...හරි හරි එහෙනං ඉතිං කියන්නං...

      Delete
  19. මම නම් හිතා ගත්ත රවි අයියට ආයේ වරහන් ගැන මතක් නොකරන්න .. මොකද මේක පිළිවෙලකට ගියොත් අපිටමයි පාඩු .. මේ එහෙන් මෙහෙන් එලියට පනින ඒවා අර ගෑනුන්ගේ හුටස්පරස් වලට වඩා ලක්ෂ වාරයක් වටිනවා .. ඔන්න ඔහේ උඹට හිතෙන එකක් ලියපන් ..

    බලු කූඩල්ලන්ගේ වලිගෙ මෙට්ටේ තියලවත් කෙලින් කරන්න බෑ කියන්නේ මේවගේ වෙලාවට .. හෙහ් හෙහ්

    අර මග අරුණු කතා ටිකත් ලබන පොස්ට් එකේ දාන්න .. දන්නවා කියල හිතන් හිටියට ගොඩක් ඒවා මතක නෑ ...

    ReplyDelete
    Replies
    1. Pathum,

      / බලු කූඩල්ලන්ගේ වලිගෙ මෙට්ටේ තියලවත් කෙලින් කරන්න බෑ කියන්නේ මේවගේ වෙලාවට .. හෙහ් හෙහ් /

      ඔන්න ඉතිං.... කොහොමද බං ඒ උපහැරණෙ එතෙන්ට ගැලපෙන්නෙ? " වෙල්ලාවෙ තිබ්බ බල්ල පිදුරු ගහෙත් හදිස්සියට කොරොස් කටෙත් අතට ගත්ත දේ කට හින්ද නහින්නෙ මාලුන්ට කවද්ද සීතලට ගෙයි වහලට ගිනි ගන්න රැවුලෙන් සුරුට්ටු පත්තු කරනව වගේ " අන්න ඒ උපහැරණෙයි ඔතනට ගැලපෙන්නෙ.

      / අර මග අරුණු කතා ටිකත් ලබන පොස්ට් එකේ දාන්න .. දන්නවා කියල හිතන් හිටියට ගොඩක් ඒවා මතක නෑ .../

      හරි..හරි..එව්වත් එහෙනං ලියන්නං...:)

      Delete
  20. කුකුලෙ ප්රොජෙක්ට් එක පාර දෑන් හරිම පාලුයි. රෑකටනම් තනියම වාහනේක යන්න බය හිතෙනව. කිලෝමීටර් ගානක් යනකල් මිනිස් පුලුටක් නෑ. කෑලේ විතරයි. මම මාස කීපෙකට කලින් ඔය හරියෙන් යනකොට තඩි පිඹුරෙක් පාර මෑද්දෙ !

    ReplyDelete
    Replies
    1. Alaya,

      අපොයි. ඒ කාලෙත් ඔය හරියෙ හරියට හිටිය පොළොංගුයි පිඹුරොයි...

      Delete
  21. වඳුරෝ කූඩු හදපු කතාව වැන්දා දැනගෙන හිටියට අපි දන්නේ නැහැ නේ. දූරියං කතාව නම් අහල තිබුනා. :D ඔය ප්‍රේමදාසට හරියට ඔහොම කතා හදලා තියනවා නේද? පව් අහිංසක මනුස්සයා :)

    ReplyDelete
    Replies
    1. සයුරි,

      අඩෙහ්..ඒක දන්නෙ නැද්ද? හරි හරි කියමු එහෙනං නිවාඩුව...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...