Wednesday, July 1, 2015

329. ජනදාස අයියා, අසමජ්ජාති යකුන් සහ පරසක්වල ගැසිය යුතු ගෙවලයින්

Google images
මට වයස හතක් අටක් වගෙ කාලෙදි කතාවක් මේක. අප්පච්චි වැඩකලේ කච්චේරියෙ හින්ද අපි හිටියෙ කච්චේරි නිල නිවාසවල. නිල නිවාස එක යායට තිබ්බ දහයක් දොළහක් වගෙ. ඊට උඩහ තිබ්බෙ ගම්මානෙ.ගම්මානෙටත් උඩහිං පරණ රබර් වත්තක්. මම ඔය කියන කාලෙ ඔය රබර්වත්ත අතෑරල දාල තිබ්බෙ. සාත්තුවක් නැතුව රබර් ගසුත් ඈලිමෑලියට ඔහෙ හුළඟෙ වැනුන. රබර් වත්ත මැද තිබ්බ පොඩි කඳුගැටයක්.

ඔය කඳුගැටේ මුදුන සමතලා කොරල ගෙපලක් කපල, ඒ ගෙපල පුරාවට තිබ්බ මහ විසාලෙට පැතිරිච්ච බවුන්ඩේසමක්. කළුගල් වලින් බැඳල තිබ්බ ඒ බවුන්ඩේසම පුරාවට හිඟුරු, හීන් බූටිය, කටුතැල්, වගෙ පඳුරු ගනසාරෙට හැදිල තිබ්බට මහ ගස් මොකවත්ම හැදුනෙ නෑ. හැදුනෙ නෑ කියන්නෙ ඇත්තටම නම් හැදෙන්ට දුන්නෙ නෑ. 

එහෙම හැදෙන්ට නොදී මහගස් වගෙ ලොකුවෙන පැල යන්තමට කොලේ දෙක මෝදුවේගෙන එද්දි කපල මුල් හිටං උදුරල දැම්මෙ රබර් වත්තෙ මැදක් වගෙ වෙන්ට වරිච්චි ගෙයක් හදාගෙන ඒකෙ පදිංචි වෙලා හිටපු ජනදාස අයිය. අපි හිච්චි එවුං හැමෝම අයිය කිව්වට මනුස්සයට ඒ වෙනකොටත් වයස මයෙ හිතේ අඩුම ලංසුවෙං හතළිහක් වගෙ වෙලා ඇති.

ඒ මනුස්සය ලොකු පොඩි හැමෝටම කිව්වෙ මහතුං කියල. ආය මටත් එකයි. අපෙ අප්පච්චිටත් එකයි. මහ ඒජන්තුන්නාන්සෙ ආවද ඒත් මහතුං කියල කියයි ආය බඩේ බත් වගෙ තමයි. ගෑණු පක්සෙට අමතන්නෙ නෝන මහතුං කියල. ජනදාස අයිය ඔය රබර් වත්ත බොහොම ආදරෙං රැකබලාගත්ත.වත්ත අයිතිකාර මහත්තය ඒ වෙනකොට හිටියෙ රට.ඒ මහත්තයගෙ මහප්පච්චි තමයි අර ඔතනම ඔය රබර් වත්තට එහා පැත්තෙ වළව්වෙ හිටියෙ. අර මොලේ කොලොප්පං මුදලිතුමා..මතකයිද? අර මම එක පාරක් ලිව්වෙ එතුමා ගැන....

ඉතිං ජනදාස අයිය ඔය රබර් වත්ත බොහොම සුද්ද පවිත්‍රෙට තියාගත්ත. අපි පොඩි එවුංගෙ ප්‍රධාන සෙල්ලම් පිට්ටනිය ඕක තමයි. දුවන්ට, පනින්ට, හැංගිමුත්තං ඔය ඕන එහෙකට ඉඩ පහසුකම් ඕසෙට. ජනදාස අයියගෙ පවුලේ උදවිය හාමිනෙයි දුවයි පුතයි. පුතා ඒ වෙනකොට සමුපකාරෙ මොකක්ද රස්සාවක් කලා. දුවට ඇති දහ අටක්, දහ නමයක් වගෙ. ඒ කිට්ටුව තිබ්බ වීවිං එකක වැඩ පුරුදුවෙන්ට යනවයි කියල ජනදාස අයියමයි මා දැක්ක කිව්වෙ.

එක ඉස්කෝල නිවාඩු කාලෙක මම අපෙ ලොකු අම්මලගෙ ගෙදර ගිහිල්ල හිටිය නිවාඩු මාසෙ ඉවර වෙනකල්ම. ලොකු අම්මලගෙ ගෙදර යන්ට මම ඒ කාලෙ බොහොම මනාපයි.අලිපේර සහ කිතුල් හකුරු, ඇඹුල්පේර, දෙළුම්....ආය මොනවද? ඉස්කෝලෙ පටං ගන්ට දවස් තුන හතරක් තියාල ගෙදර ඇවිල්ල ඉස්පාසුවක් ගන්ට වුනේ නෑ අල්ලපු හෙදර ප්‍රසන්න මල්ලි දුවගෙන ආව මම ඇවිල්ල ඉන්නව දැකල.

" ඒයි...හෙට රෑ ජනදාස අයියලගෙ ගෙදර තොයිලයක්.."

" නෑහ්? ඒ මොකද?...." තොයිලයක් කියන්නෙ රෑ එළිවෙනකල් බෙර ගගහ නටන එකක්ය කියල ඇරෙන්න තොයිල් ගැන වෙන අඳෝසංසාරයක් මම ඒ වෙනකොට දැනගෙන හිටියෙ නෑ ඔන්න කොටිම්ම කිව්වොත්.

" මොකක්ද දන්නෙ නෑ...යකෙක් ඇවිල්ලද මොකද්ද එකක්…" 

" හරි අපි යං හවස් වෙලා එහෙ. " 

ප්‍රසන්නයි මායි හවස්වෙන්ට ඇරල කන්ද නැඟගෙන ගියා ජනදාස අයියලගෙ ගෙදර. අපි යද්දි ගේ ඉස්සරහ කොස්දෙල් ගහ යට ( කොස්දෙල් කාල තියනවද? දෙල්කොස් කියලත් සමහර පළාත්වල කියනව ) තියාගෙන මනුස්සය ගොක්කොල වගයක් වැලක අමුණනව. 

" ආ මහතුං ….කවද්ද ආවෙ? " මව දැක්කෙ හැටියෙ මිනිහගෙ මූණෙං එකයි හිනාව. 

" මම මේ අද ආවෙ ජනදාස අයියෙ. ඒක නෙවෙයි මොකද මේ තොයිල් කතාව? " මම ඇහුව එතනම තිබ්බ කොස් කොටේ උඩ ඉඳගන්න ගමං.

" ඒකනෙ මහතුං බලන්ටකො. මේ යකෙක් ඇවිල්ල පදිංචිවෙලානෙ අපෙ ගෙදර. අපිටත් වසන්ට හැටියක් නැතුව ගියානෙ අන්තිමට. " 

" නෑහ්??? කවදා ඉඳංද ඔය?..... අපි දන්නෙ වත් නෑනෙ…" 

" දැං සෑහෙන කාලෙක ඉඳල ඔය කරදරේ තිබ්බ. අපි ඉතිං එහෙම කාටවත්ම කිව්වෙ නෑ. මුලිම්ම පටං ගත්තෙ පොඩි පොඩි දේවල් වලිං... " 

" ඒ කිව්වෙ ඔය වැලි ගහන එව්ව එහෙම? " ඒ වෙනකොට යක්කු ගැන මගේ දැනුම බොහොම අල්පයි. යක්කුංගෙ ක්‍රියාකාරකම් කියල මම දන්නෙ ඔය වැලි ගැහිලි වගෙ එව්ව විතරයි..

" වැලි? හිහ්, මොන පිස්සුද මහතුං?.....වැලි ගහනවනං බැරිය...මම එහෙමනං මිදුලෙ වැලි ගොඩක් හදල දෙනව යකාට ඉඳා මේකට ගහපිය වැලි කියල...මට බිත්ති බඳින්ට ගන්ට බැරිය එහෙම ගහන වැලි. " පැල්පතත් එක්කම එහා පැත්තෙ ඒ වෙනකොට ජනදාස අයිය අලුතෙං කාමර දෙහෙක ගේ පොඩ්ඩක් හදාගන්ට අත්තිවාරං දාල තිබ්බෙ.

" එහෙනං?...මොකද ඒකා කරන්නෙ? …" විශ්මයෙන් හා භීතියෙන් මගේ දෑස් ලොකුවෙනවා මට මතකයි. 

" මේකා මහ බයානක යකෙක් මහතුං...සල්ලිමයි ගන්නෙ..සල්ලිමයි ගන්නෙ..කොහෙ හැංගුවත් බේරගන්ට බෑ. කොහොමහරි හොයාගෙන සල්ලිටික ගන්නවා.අර පහුගිය මහ වැහිකාලෙ ගංවතුරට ගෙවල් දොරවල් ගහගෙන ගිය මිනිස්සුංට ආදාර දෙන්ට කියල එකතුකරල තිබ්බ සල්ලිවලිං බාගයක් විතරම මේ අසමජ්ජාති යකා ගහ ගත්තනෙ. ඕකට හැබැයි සහ ගහනව ඒ කරපු අපරාදෙටනං.." ජනදාස අයියගේ කටහඬ වෙව්ලන්නෙ තරහ ඉවසගන්ට බැරුව.

" ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ මහතුං මුගෙං වෙන කරදරේ එන්ට එන්ටම වැඩිවෙන්ට ගත්ත නෙව. මේ යකා වැඩ කරන්ට ගත්ත මේ ගෙදර උගෙ අම්මගෙ අප්පගෙ බූදලයක්ය කියල හිතාගෙන. අපි ඔක්කොම උගෙ යටත් වැසියොය ඌට ඕන විදිහට අපි හැසිරෙන්ට ඕනය කියලයි ඌ හිතාගෙන ඉන්නෙ. මේ ගිය සුමානෙ අපෙ පුතාට ඕක දුන්නනෙ අත දිග ඇරල කම්මුල් පාරක් ඇඟිලි පහම හිටින්ට.

" ඒ මොනව කරාටද? ……." 

" කවුද දන්නෙ හේතුවක්...ඔය ඒකා කැමතිනැති මොනව හරි වෙන්ට ඇති කොල්ල අතිං...ඊට පස්සෙයි අපි කතාවුනේ මේ මල කරදරේ ඉවසං හිටිය හොඳටම ඇතිය කොයිමක් කරලහරි මේ කාලකන්නියා පන්නලා දූරිම්බූත කරවල දාන්ට ඕනමය කියල." 

" ඉතිං අයියා මොකද කලේ ඊට පස්සෙ? " දෙවියන් හා යක්කු ගැන කතාවලට මගෙ කොහොමත් පුංචි සන්දියෙ ඉඳලම තිබ්බෙ පුදුම කැමැත්තක්. 

" පස්සෙ අපි ගිහිල්ල කතාකලා බොහොම දක්ස ගුරුනාන්සෙ කෙනෙක් එක්ක. දැං ඔය හෙට එන්නෙ ඒ මනුස්සය. ඒ ගුරුනාන්සෙ මට පොරොන්දු වුනා මේ අලුගුත්තේරු යක්සයා අල්ලල බැඳල පරසක්වල ගහනවයි කියල. " ජනදාස අයියා කිව්වෙ කටපුරා හිනාවෙමින්.

පහුවදා ඉරගල වැටිලා හතර අතිං කළුවර පාත්වේගන එනකොටම රබර් වත්ත උඩහිං ඇහෙන්ට ගත්ත බෙර සද්දෙ..තොවිල් කවි සද්දෙ අපේ ඉස්තෝප්පුවට ඇහුන කණේ තිබ්බ වගේ,

" යන්නෙ එහෙම නෑ..මේ රෑ තිස්සෙ…. ඔය තොයිල් පොළවල ගාව යක්කු ඉන්නව " අම්මෙ මාත් ගිහිල්ල එන්ටද? කියල අහන්ට ඉස්සෙල්ලම අම්ම කිව්ව බොහොම අවධාරණාත්මක හඬකින්.

" දැං හරි මහතුං..ගුරුන්නාන්සෙ නියමෙට වැඩේ කලා. තොයිලෙ නටන්ඩ කලින් පොරොන්දු වුනාට මම හිතුවෙත් නෑ මුන්දැ මේ වැඩේ කරයි කියල. හිහ්...නියමෙට වැඩේ කලා. යකා දැං ආගිය අතක් හොයාගන්ට නෑ…" 

තොයිලෙ නටල දවස් තුනකට විතර පස්සෙ අපෙ මයියොක්ක ගන්ට ආපු ජනදාස අයිය මා එක්ක කිව්වෙ, ගෙට පහල කහට ගහ කෑල්ලෙ මයියොක්ක උදුරද්දි. ඔය ගෙට පහල අක්කර බාගෙක වගෙ කෑල්ලෙ ඉලුක් ගලවල මයියොක්ක හිටෙව්වෙ අපෙ මාම. උන්දැගෙදර නැතිවෙලාවට එව්වට වතුර එහෙම දාල සාත්තු කලේ අත්තම්ම. අලුත් පොළවෙ සාරෙට හැදිච්චි මයියොක්ක අපිට කාල අහල පහල ගෙවල් වලට බෙදුවත් ඉවර කරන්ට තියා හිතන්ටත් බෑ. එතකොට අත්තම්ම කරන්නෙ ජනදාස අයියට එන්ට කියල පණිවිඩයක් යවන එක. ජනදාස අයිය ගමේ එලවළු, පළතුරු එහෙම එකතු කරල ඉරිද පොලට අරගෙන ගිහිල්ල විකුණන සයිඩ් බිස්නස් එකකුත් කලා රබර් වත්තෙ භාරකරු රැකියාවට අමතරව.

අම්ම එපා කියද්දි මම වත්ත පහළට ආවෙ ජනදාස අයියගෙන් විස්තරේ දැනගන්ට.

" ඉතිං, ඉතිං..දැන් කොහෙද ඔය යකා ඇත්තෙ? " ඊලඟට ගලවන්ට යන මයියොකු පඳුර දෑතිම්ම අල්ලල හොල්ලල බලන අතරෙ මම ඇහුව. 

" මේ අවටම ඉන්නව මහතුං..ඒත් උන්දැගෙ බල බිඳිල දැං..ගුරුනාන්සෙ මට පොරොන්දු වුනා යකාට ආයම කිසිම කල කොලොප්පමක් කරන්ට ඉඩක් නොදෙන බවට. " ජනදාස අයිය බොහොම සන්තෝසෙං හිනාවුනා.

යන්තමට මාස හයක් ගෙවුනෙත් නැද්ද කොහෙද....ගල්ළිඳ ගාවදි මට ජනදාස අයිය හම්බවුනේ ඉස්කෝලෙ ඇරිල එද්දි. මිනිහගෙ මූණ හොඳනැති බව මට දුරටම පෙනුන. 

" මොකෝ අයියෙ? "

" බලන්ටකො මහතුං..අර අපි තොයිලයක් කරල එලෝල දාපු අලුගුත්තේරු යකා…"

" නෑහ්? ඒ යකා ආයෙම ඇවිල්ලද? "

" නෑ..නෑ...අර අපේ තොයිලෙ කරපු ගුරුනාන්සෙ ඒකව එළවල දැම්මනෙ. ඒත් වැඩේ හරියකට කෙරිල නෑ වගේ. යකා දැං ගෙවලයෙක් වෙලා මහතුං.."

" ගෙවලයෙක් කිව්වෙ? …" මම ඇහුවෙ ගෙවලයා කියන්නෙ මොකෙකුටද කියල මම හරියටම දන්නෙ නැති හින්ද.

" ගෙවලයො කියන ජාතිය යක්කු තරම්ම භයානක නෑ, ඒ උං යක්කුන් තරං බලසම්පන්න නැති නිසා. ගෙවලය තමං හිටපු වාසස්තානෙ අතෑරල යන්නෙ නෑ.යකෙක් තරමට බලය නැතිවුනත් පොඩි බලයක් හරි ලබාගෙන අපිට කරදර කරන්ටයි මේ ගෙවලය හදන්නෙ.ඒ අතර ගෙදර ඔය පොඩි පොඩි අවුල් ඇතිකරනව කොයි වෙලෙත්. "

" මොන වගෙ අවුල්ද? "

" ඔන්න හිටපු ගමං කිසිම තේරුමක් නැති විකාරයක් කියල කෑගහනව. බුදුන්ට තියාපු මල් වට්ටිය අරගෙන යනව ඌට පන්සල් යන්ට ඕනය කියල. ගෙවලයින්ට ඕන තමං ඉන්නවයි කියල පෙන්නන්ට. කැපී පෙනෙන්ට හරිම ආසයි. ඒකට කරන්නෙ හිටපු ගමං මොකක් හරි ඔන්න පෙරලනව. පිඟානක්, සාස්පානක් වගෙ මොකක් හරි. ගෙවලය ගෙවලය විදිහටම ඉන්නවනම් ඔහෙ කමක් නෑ. ඒත් මේ ගෙවලය එහෙම ඉන්ට සූදානම් නෑ. මේ ඊයෙ පෙරේද කෑගහල කියල තිබ්බ කලිං හිටපු යකා වෙන්ට බැරිමනං ඊට පල්ලෙහා මට්ටමේ යකෙක් හරි වෙලයි මම පස්ස බලන්නෙ කියල. "

" මාර ප්‍රශ්ණයක්නෙ, ජනදාස අයියෙ...ඉතිං අයිය මේ කොහෙ ගිහිල්ලද එන්නෙ? "

" මම මේ ආපහු ගියා ගුරුනාන්සෙ හම්බ වෙලා මේකෙ දෙකිං එකක් විසඳගන්ට. මොකද ගෙවලයගෙ කතාවෙන් මට තේරුනා ගෙවලයයි ගුරුන්නාන්සෙයි මොකක් හරි කතාබහ කරගෙන වගෙ අදහසක්. ඉතිං මම මේ ගියේ ගුරුනාන්සෙට කියල එන්ට අපි ආයම තොයිලයක් නටල මේ ගෙවලය බන්ධනය කරල මහ මූදටම ගිහිල්ල දාමුය කියල. ඒ එක්කම මම මතක්කලා ගුරුනාන්සෙට ගෙවලය එක්ක කතාබහක් ගුරුනාන්සෙට කොහෙත්ම ඕනැන්නෙ නැතය. මාස හයකට කලිං තොයිලෙ නටන්ට සියළු පහසුකම් ගුරුනාන්සෙට සලසල දෙන්ට අපි පොරොන්දුවුනේ යකා බැඳල සුන්නද්දූලි කරල දාන්ට මිසක යකා ගෙවලයෙක් කරල ගුරුනාන්සෙට ගෙවලය එක්ක කතාබහ කරල , දෙන්නට ඕන දේවල් කරන්ට නෙවෙයිය කියල. "

" ඉතිං? ගුරුනාන්සෙ මොකද කිව්වෙ? " 

" ගුරුනාන්සෙ පිළිගත්ත මම කියපුව මහතුං...ගෙවලය මේ පාර තොයිලෙං පස්සෙ නැතිබංගස්තාන කරල දානවය කියල ගුරුනාන්සෙ මට පොරොන්දු වුනා. හරි මහතුං, අපි බලමුකො අපි ඔය කොයි කොයි ගෙවලයගෙත් කියුං කෙරුං දිහා ඇහැ ගහගෙන ඉන්නෙ…"

එහෙම කියල ජනදාස අයිය රබර් වත්ත මැදිං උන්දැගෙ ගෙවල් පැත්තට කන්ද නඟින්ට ගත්ත.

67 comments:

  1. යකා කොහොමද දන්නෙ නෑ කම්මුලට ගැහුවෙ ? යකා වැහිච්ච කෙනෙකුත් ඉන්න එපෑනෙ... ගෙවලයත් එහෙමනෙ වැහිච්ච කෙනෙක් ඉන්න එපෑනෙ......

    ReplyDelete
    Replies
    1. ඉසුරු,

      / යකා කොහොමද දන්නෙ නෑ කම්මුලට ගැහුවෙ ? /

      යක්කුන්ට සමහරවෙලාව බොහොම ආවේගයක් ආහම සරීරයක් මැවෙනවලු. ඒ වගෙ වෙලාවට දෙන්ට පුලුවන් ආය නෑ කම්මුලේ ඇඟිලි පහම නිල් පාටට ඉලිප්පිලා හිටින්ට...හෙහ්,හෙහ්,

      / යකා වැහිච්ච කෙනෙකුත් ඉන්න එපෑනෙ... ගෙවලයත් එහෙමනෙ වැහිච්ච කෙනෙක් ඉන්න එපෑනෙ....../

      අපොයි ඔය ඕන හැටිය ඉන්නෙ බං යකා වැහිච්චි ඊට පස්සෙ ගෙවලයත් වැහිච්චි කට්ටිය...:)

      Delete
    2. මට හිතෙන්නෙ ඕකෙ වර්තමාණ කතාවකුත් තියෙනවා....
      කොමෙන්ටුව දැම්මට පස්සෙ තමා හිතුනෙ.... කොහෙද මකන්නෑ...

      Delete
    3. 1600/=යෙ නිදහස් සිතුවිලි කෑලි බයවෙන්න පටන් අරගෙන. තොයිල් කරල වැඩක් වෙන්නෙ නෑ

      Delete
    4. pala ano yanna oya peretha gewalayata kawda baya anna den innawa gale reepu balala wage nama yojana nethuwa

      Delete
  2. What a sarcasm. Well written.

    ReplyDelete
    Replies
    1. යකා බැංකුව සුද්දකරල උබටත් 2000/= ක් දීල පුකේ මාගරින් ටිකකුත් ගාල යනවනං චෝක් නේද

      Delete
  3. Replies
    1. සරත්,

      ස්තූතියි...:)

      Delete
  4. මෙච්චරකල් රවි අයියගෙ බ්ලොග් එක කියෙව්වට අද තමයි මුලින්ම කොමෙන්ට් කරන්න හිතුවේ. ආසාවෙන් කියවන බ්ලොග් එකක්.
    මටනම් හිතෙන්නේ මහ ගෙවලයට අමතරව පරිවාර පොඩි ගෙවලයො ටික දෙනෙක් හරිත් අයින් කරගත්තනම් වටිනවා මේ වෙලාවේ...

    ReplyDelete
    Replies
    1. සහන්,

      ස්තූතියි මල්ලි...:)

      ඔබ හරි..මේත් එක්කම මේ වටේ ඉන්න අසික්කිතයො රංචුවම නැතිබංගස්තාන කරල දැම්මනම් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ.

      Delete
    2. මොකද බං රෙද්දෙ ගූ ගුහිල්ල දගලන්නෙ, බය නැත්නං කිසිකෙනෙක් ඒව ගන්න් ගන්න ඕනැ නෑනෙ

      Delete
  5. රවී අයියේ උඹ ඔය කියන්නේ, හින්දෑරි, කොන්ඩෙ බැඳලා ඉන්න, දත් ටිකක් බොල්ලෑ, නිතරම හපේ කටේ ගහගෙන ඉන්න "හිටං ගුරුං" ගැන වෙන්ඩෝනා... අනේ උන්දෑ දන්න යක්කු එළවිල්ල... ඕකා දන්නේ කවුරු හරි ලියලා දෙන මන්තරයක් කට පාඩමින් කියවන්න විතරයි... අනිත් එක ඔය ගුරා, ඔය යකාට පරාණ බයයි.. දවසක් දුන්නලු කන් අඩි පුපුරන්න...ජනදාස කාරයට කියහන් යකා එලව ගන්න ඕනා නම් වෙන ගුරෙක් ගැන බලන්න කියලා....

    ReplyDelete
    Replies
    1. Senna,

      / රවී අයියේ උඹ ඔය කියන්නේ, හින්දෑරි, කොන්ඩෙ බැඳලා ඉන්න, දත් ටිකක් බොල්ලෑ, නිතරම හපේ කටේ ගහගෙන ඉන්න "හිටං ගුරුං" ගැන වෙන්ඩෝනා... අනේ උන්දෑ දන්න යක්කු එළවිල්ල... ඕකා දන්නේ කවුරු හරි ලියලා දෙන මන්තරයක් කට පාඩමින් කියවන්න විතරයි... /

      උඹ විතරක් නෙවෙයි මල්ලි අර අසමජ්ජාති යකාත් එහෙම තමයි හිතාගෙන හිටියෙ..හෙහ්.හෙහ්..අන්තිමට මොකද වුනේ? අසික්කිත යකාට දුවන්ට වුනේ රෙද්දෙ රෙවි රෙවි...රෙද්දෙ රෙවි රෙවි...දුකයි තමයි මල්ලි...ඒත් මොනව කරන්ටද?

      / අනිත් එක ඔය ගුරා, ඔය යකාට පරාණ බයයි.. දවසක් දුන්නලු කන් අඩි පුපුරන්න…/

      මිනිස්සුංගෙ කං අඩි පුපුරන්ට ගහන එක, අම්ම මෝ නැතුව ප්‍රසිද්ධියෙ බණින එක මල්ලි ලොකුවට කියන්ට ඕන ගතිගුණ නෙවෙයි. ඒවා ඇවිල්ල ලැජ්ජවෙන්ට ඕන කාරණා.අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියන වැඩේ ඕකනෙ මල්ලි. ඔය වගෙ ඕනම සදාචාරාත්මක රටක මිනිස්සු තුච්ඡයි කියල සලකන ඒ වගේම පිළිකුල් කරන ගතිගුණ තමයි මේ රටේ මිනිස්සු ඉස්මුදුනෙ තියල වන්දනා කරන්නෙ. ඉතිං රටකට හරි යයිද මං අහන්නෙ?

      Delete
    2. මොනවද රවි ලොකුවට තකන්න ඕන මිනිස්සු ටයර් උඩ යවන ඒවද සොත්ති උපාලිල වර්කින් කමිටි එකට ගන්න ඒවද නිදන් හාරපුවද ,බරපතල මූල්‍ය විශමාචාරද

      Delete
  6. කට්ටඩිය බොරුකාරයෙක්, පලවෙනි පාරම අල්ලල බෝතලේකට දාලා හිරකරල මූදට දාන්න තිබුනෙ.
    ගංවතුරට අහුවෙච්චි එවුන්ගෙ සල්ලි හොරා කෑවනම් ඌ යකෙක් නෙමේ මලපෙරේතයෙක්.
    අපේ කිරිඅම්ම කියපු විදිහට ගෙවලයො කියන්නෙ ගෙවල් වල අදුරු මුළුවල ඉන්න ගෙම්බො. උන් අල්ලල විසිකරද්දි වැටෙන්නෙ ගේ පැත්ත බලාගෙන. කොහෙ ගෙනිහින් දැම්මත් ආපහු හොයාගෙන එනව.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / ගංවතුරට අහුවෙච්චි එවුන්ගෙ සල්ලි හොරා කෑවනම් ඌ යකෙක් නෙමේ මලපෙරේතයෙක්. /

      ආය මොනවද බං මළ පෙරේතයෙක්ම නේන්නං...:)

      / අපේ කිරිඅම්ම කියපු විදිහට ගෙවලයො කියන්නෙ ගෙවල් වල අදුරු මුළුවල ඉන්න ගෙම්බො. උන් අල්ලල විසිකරද්දි වැටෙන්නෙ ගේ පැත්ත බලාගෙන. කොහෙ ගෙනිහින් දැම්මත් ආපහු හොයාගෙන එනව. /

      හරි...ගෙවලයො කියල ඔය කුස්සියෙ අහුමුළුවල ඉන්න තඩි ගෙම්බන්ටත් කියනව තමයි...කොච්චර ඈතට විසි කරත් උං ආපහු එන එක එනවලු.

      Delete
  7. රවී අයියටත් ඔය යකාගේ බලපෑම තදටම තියෙනවා නේ... දවසක් හොඳට හිටියොත් ඊලඟ දවසේ යකා වැහෙනවා. මේ සැරේ තොයිලෙන් පස්සෙවත් රවී අයියගේ තියෙන දෝසෙත් දුරු වෙලා ගියොත් හොඳයි.

    මට නම් හිතෙන්නේ ගුරා පිස්සු කෙලින නිසා ගෙවලය මේ සැරේ එළවන්න අමාරු වෙයි ... ජින්දාසට වෙන්නේ පාඩුවේ අල ටිකක් තම්බන් කාල ඉන්න තමයි.

    යකා වැහිලා ලිව්වත් නියමෙට ලියල තියෙනවා .. :D

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / රවී අයියටත් ඔය යකාගේ බලපෑම තදටම තියෙනවා නේ... දවසක් හොඳට හිටියොත් ඊලඟ දවසේ යකා වැහෙනවා. මේ සැරේ තොයිලෙන් පස්සෙවත් රවී අයියගේ තියෙන දෝසෙත් දුරු වෙලා ගියොත් හොඳයි. /

      ඒකනෙ මල්ලි..කොහෙද මේ යකා මට එක විදිහකට ඉන්ට දෙනවය...

      ඔන්න ඉතිං බලාපංකො අද කියල තියන එක.." අපේ කාලයේදී නීතියේ ආධිපත්‍ය රැකුණා. පළිගැනීම නැවතුණා. " අම්මාපල්ල මෙව්ව ඇහෙනකොට මගෙ ඌර්ණ රෝම ධාතූන් පවා සලිත වෙන්නෙ නැද්ද කියල ටිකක් උඹම හිතල බලපං...දෙයියම්මප මල්ලි ඇඟිලි වෙව්ලනව කී බෝඩ් එක දකිනකොට...:)

      / මට නම් හිතෙන්නේ ගුරා පිස්සු කෙලින නිසා ගෙවලය මේ සැරේ එළවන්න අමාරු වෙයි . /

      කිසිදේකට බයවෙන්ට එපා මල්ලි..ගුරා වෙලාවට වැඩේ දෙයි ගෙවලයා නැතිබංගස්තාන වෙලා යන්ට...ගුරාටත් මාස හයට යකා කරපු දහපදුරා වැඩ අමතක වෙන්ට විදිහක් නෑනෙ. ඇයි බං වෙන මොකවත් ඕන නෑ..චන්දෙ දාන්ට යද්දි ගුරා වගෙ අන්දවලා අර කෝනංගියෙක් එක්ක ගිය අසික්කිත මනුස්සයානෙ ඔය. වෙන මොනම රටක කිසිම නායකයෙක් හීනෙං වත් හිතයිද එහෙම අසමජ්ජාති වැඩක් කරන්ට. අපේ මේ මහරජාණන් ඇරෙන්ට. වන් ඇන්ඩ් ඔන්ලි..මෙයාම විතරයි..:)

      Thanks Malli............:)

      Delete
  8. රවී අය්යේ,
    ඔය අර පරණ රබර් වත්තේ යකාගේ case එක නේද ? මමත් ඔය පෙත්තේ නිසා මමත් කතාව දන්නවා.

    මටනම් පෙන්නේ ගුරයි යකයි දෙන්නම එකතුවෙලා ජිනදසයව රවට්ටලා වගේ. ඔතන යකාගේ බල බිදලා ගෙවලයෙක් කරපු නිසා දැන් යකාගේ ප්ලෑන් එක ගුරාටත් ගේමක් දීල කොයි වෙලේ හරි අයෙත් යකාගේ බලේ ගන්න.
    ඔය හිටං ගුරා කොහොමත් වැඩකාරයෙක් නෙමෙයි ඕකත් ඉස්සර යකාට බයේ හිටපු එකෙක්
    ඕක ඔය ජිනදසයගේ වදේන් බේරන්න බැරිකමට තමයි ඔය තොවිලේ බාරගත්තේ. ජිනදසයත් එක මතේම යකාව එලවන්න ඕන කියල හිටපු නිසාම තමයි මේ පාර යකාව පන්නගන්න පුළුවන් වුනේ

    දැන් ජිනදසයට තියෙන්නේ යකවයි ගුරවයි දෙන්නම එලවල මේපාර හොද ගුරෙක්ට කියල ආරක්ෂාවක් දාගන්න එක

    ReplyDelete
    Replies
    1. ඇනෝ මලේ,

      / දැන් ජිනදසයට තියෙන්නේ යකවයි ගුරවයි දෙන්නම එලවල මේපාර හොද ගුරෙක්ට කියල ආරක්ෂාවක් දාගන්න එක /

      හෙහ්..එහෙම කරන්ටත් අමාරුයිනෙ බං...ඒක ටිකක් කල්යන වැඩක්..දැනට ගුරා එක්කම තමයි මේ ගේම ගෙනියන්ට වෙන්නෙ...

      Delete
  9. යකයි ගුරයි දෙන්නම එක්කහු වෙලා ජනදාසට කෙළවන්න හදනකොට බේරගන්න ඉන්නෙ මොන ගුරාද මචං

    ReplyDelete
    Replies
    1. හැලප,

      වැටත් නියරත්.......හෙහ්,හෙහ්,

      Delete
  10. අන්න අද ගෙවලයා ප්‍රකාශයක් කරන්න යනවා.. ජනදාසයා අකමැති උනාට උන්ගෙ පවුලෙම සමහර උන්ට යකා නැති එකේ ගෙවලයාවත් ඉන්නම ඕනිලු චූන් එකට.. ඒකනේ වැඩේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,

      මල්ලි අර කවුද කිව්ව එක පාරක් ( අමරිකන් ජනාධිපතිකෙනෙක් වගෙ මට මතක. රූස්වෙල්ට් වෙන්න ඇති බොහෝවිට , මම ඒකෙ මූලාශ්‍රයක් හෙව්ව හම්බවුනේ නෑ ) ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපූරු කියමනක්..මම ඒකට තව ටිකක් එකතු කරල මෙහෙම කියන්නම්. " Without an educated, realistic and sensible population who understands basic principles of Justice, importance of law and fair play Democracy would be a double edged sword."

      Delete
  11. වේගෙන් ශ්‍රංගයි රවීයි පටලැවීගෙන යනවා...
    ඒකටනම් කංකාරියක්වත් ඕනෑ වෙයි... :-)

    ReplyDelete
    Replies
    1. තිස්ස,

      හප්පච්චියේ..එහෙම එකකුත් වීගෙන යනවය?....:)

      Delete
  12. මේ පාර තොවිලෙනුත් අන්තිමට ජනදාසටම හූල්ලන්න වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු මලේ....:)

      Delete
  13. ඔය ගුරා විරිදු කියන්ට හරි දස්සයි නොවැ. මටනං පේනවිදිහට ගෙවලයා එක්ක කතාකොරන්ට ගෙහුං සුබ සහ යස නාඩගම පෙන්නලා ගුරුන්නාන්න්සේ පොළොන්නරුවේ සතිපොළේ විරිදුවක් කියාගෙන ජීවත් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      හෙහ්..එව්ව කියන්ටත් බෑ තමයි බං...:)

      Delete
  14. හිහික්. මුනාත් කියන්නෑ අදනං.
    අපේ ස රස එක්කෙනා මේ පැත්තෙ ඇවිත් නැතුව වගෙයි.
    හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      හෙහ්..මොනවත් කියන්නෙම නැත ඔහේ?

      Delete
  15. හ්ම්ම් හ්ම්ම් ගුරාට මතක් කරල දෙන්න වෙනව තොවිලෙට කලින් මොනවද කිවුවෙ කියල.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ඒකනෙ බං කියල වැඩක් නෑ...ගුරා නිකං මැරිල උපන්න වගේනෙ වැඩකරන්නෙ බලාගෙන ගියහම...:)

      Delete

  16. ඉතින් මහතුන් ගෙවලයා මහමුදට ගිහින් දැම්මද?

    කොස් දෙල් කියන්නේ මොනාද?හීන් බූටිය, කටුතැල්, මේ එකක්වත් දන්නේ නෑ නේ :((

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / ඉතින් මහතුන් ගෙවලයා මහමුදට ගිහින් දැම්මද? /

      ගෙවලය මූදට ගිහිල්ල දාන්ට තව කල් තියනව...:)

      / කොස් දෙල් කියන්නේ මොනාද?හීන් බූටිය, කටුතැල්, මේ එකක්වත් දන්නේ නෑ නේ :((  /

      හීන් බූටිය කියල අපි කිව්වට නියම නම හීන් බෝවිටිය. බොහොම ඖෂධීය ගුණ තියෙන ශාකයක්. කටුතැල් ගැනනං මොකවත්ම හොයාගන්ට බැරිවුනා මැඩම්..එව්ව සාමාන්‍යයෙන් අඩි දෙකක්වගෙ උසකට හැදෙන පඳුරු ජාතියක්. කඳේ රෝස කටු විතර ප්‍රමාණයෙ කටු තියනව. කොළේ ටිකක් විතර බටු කොළේ වගෙ. දැන් බටු කොළේ දන්නෙත් නැත්තං ඒක කටුතැල් කොළේ වගෙ කියල හිතාගං ..හොඳද?

      කොස්දෙල් ගැන හොයනකොට වත්පොතේ මේ විස්තරේ හම්බවුනා..හෙහ්..දෙල්කොස් මැල්ලුමකුත් එතන තියනව දැකල පුදුම සන්තෝසයක් හිතට ආවෙ. දෙල්කොස් ළපටි කාලෙ මැල්ලුම් කෑහැකි. ඉදුනම ඇට වෙන කරල පුච්චල කන්ට පුලුවන්. එහෙම නැත්තං තම්බල ලුණු සහ උලුප්පපු පොල් එක්ක ...හෙහ්..රාජ බෝජනයක්...දෙයියම්ප.

      වත්පොතේ ඒ ඡායාරූප පලකරපු හිතවතාට හෝ හිතවතියට මගේ ස්තූතිය!!!

      Delete
    2. ගොඩක් ස්තුති අයියේ,, මන් ඇත්තටම කමෙන්ට් එකේ නොදන්නා බව කිවුවේ මට ඔයා විස්තර ටික හොයලා කියන බව දන්න නිසා, thanks අයියේ..

      Delete
  17. මට එකපාරටම මතක්වුණේ, 1960 දශකයේදී ඒබ්‍රහම් ටී කොවුර්, මෙවැනි සිදුවීම් ගැන කල පර්යේෂණ ඇසුරෙන් ලියන ලද, පුවත්පත් ලිපි. ඇත්තෙන්ම, තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් නැති ඕනෑම පුද්ගලයකු, පහසුවෙන් මේවගේ යක්ෂ/දේව/ප්‍රේත කතා විශ්වාස කරනවා. එයින් පිරිහීමට පත්වෙනවා. වඩාත් පුදුම සහගත තත්වය වන්නේ මේ 21 වැනි සියවසේදීත්, පත්තර පිටු පිරෙන්න දැන්වීම් දාන, විවිධ 'මෑණිවරුන්' 'ගුරුදේව වරුන්' පසුපස, අමනොඥ ලෙස යන පිරිස් දකින්නට ලැබීමයි.

    ReplyDelete
    Replies
    1. ඒබ්‍රහම් ටී කොවුර් මේ කාලෙ හිටියනම් පෙරේතයො, ගෙවලයො ටෙලිවිසොන් එකෙන් බලාගන්න තිබුන , ඕනෙමනම් මැද මූකලානට ගිහින් ෆේස් ටු ෆේස් හම්බවෙන්න පුලුවන්.
      // තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් නැති ඕනෑම පුද්ගලයකු, පහසුවෙන් මේවගේ යක්ෂ/දේව/ප්‍රේත කතා විශ්වාස කරනවා. //
      පෙරේත කියන එවුන්ගෙ ලොකුම එකා මල පෙරේතය, උගෙ බෙල්ලෙ එල්ලිලා ගොඩ ගිය එවුන් ඉන්නව, තාමත් එල්ලිලා ගොඩ යන්ඩ දගලන එවුන් ඉන්නව. මේව මේ දෑහින් පේන්ඩ තියෙද්දිත් විචාරක මේව විශ්වාස කරන්නෙ නෑනෙ.

      Delete
  18. අදමයි ඇහුවේ ගෙවලයො ගැන. ඔය තොවිල් මමත් ටිකක් දැකල තියනවා. අපේ සීයා බොහොම ප්‍රසිද්ධ යකැදුරෙක් නේ. :) ගමේ මිනිස්සුන්ට වෙද මහත්තයා වගේම තමයි යකදුරු මහත්තයා කියන තනතුරත්.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      යස් මැඩම් ඔබ හරි...ඒ කාලෙ ගුරුන්නාන්සෙල වෙද මහත්තුරු තරමටම වැදගත්...:)

      Delete
  19. //හීන් බූටිය//
    හීන් බෝවිටිය කියන්නෙත් ඒකමද?

    ReplyDelete
    Replies
    1. එදිරි,

      අපි කිව්වෙ එහෙමයි එදිරි, හීං බූටිය කියල...වෙන කොහෙවත් එහෙම කියනවද කියලනම් නොදනිමි...:)

      Delete
  20. මම හිතන්නේ ගෙවලයා එළවලා දැම්මත්, ඔය ඊට පස්සෙ තියන භූත, මළ පෙරේත ලෙවල් එකෙන් ඔය යකා ආපහු එනවා... ලේසියෙන් යන පාටක් නෑ...

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඇත්ත කතාව..හෙහ්, මේ ගෙවලයගෙං ගැලවුමක්ම නැතිවෙයි වගේ තමයි..., කරුමේ තමයි බං කරුමේ..කරුමේ.....හෙහ්,හෙහ්

      Delete
  21. යකා ගෙවලයෙක් වෙලා හරි ඉන්න එකට ගෙදර කාගේ හරි උදව්වක් තියෙනවා වගේ. යකාට මුවා වෙලා ගෙදර සල්ලි ටිකට හවුලේ ගේම දුන්න උන් කැමතිද බොලව් යකා එලෝනවට ? ( සල්ලි ඔක්කොම ගන්නේ යකාමයි කියල හිතන් උන්නට, උගේ අකවුන්ට් එකෙන් වෙන උනුත් ගොඩ ගියාද දන්නේ නැහැ නේ. මම කිව්වේ මේ කොහෙවත් එහෙම වෙනවට නෙවෙයි, නිකමට වගේ... ගොතල හිතන කතාවක් වගේ)
    යකෙක් උනත් ඌ දන්නා යකා නේ... නිකමට හිතන්න ඒ දන්නා යකා කොතරම් හොඳද වෙන නොදන්නා යකෙක් ගෙට රිංගනවට වඩා?

    ReplyDelete
    Replies
    1. Upeksha,

      / යකෙක් උනත් ඌ දන්නා යකා නේ... නිකමට හිතන්න ඒ දන්නා යකා කොතරම් හොඳද වෙන නොදන්නා යකෙක් ගෙට රිංගනවට වඩා? /

      ඒකත් හරි තමයි බලාගෙන යනකොට..යකාගෙ ගෝලයොත් කිව්වනෙ ඔය කතාව. යකා දැං ඇතිවෙන්ට හම්බකරලයි තියෙන්නෙ. ඒ නිසා ආයම හම්බකරන්ට උවමනාවක නැතය. ඒ නිසා යකාම ආපහු පත්කරගමුය කියල...හෙහ්,හෙහ්,

      Delete
  22. හෙක්... හෙක්...
    ඒකත් එහෙනං එහෙමයි නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙම තමයි..එහෙම තමයි...:)

      Delete
  23. මේ පාර තමා කංකාරිය. ගෙවලයයි, උගෙ පිරිවරයි හැම එකාම අල්ලල පරසක්වල ගහල තමා ඕං පස්ස බලන්නෙ...

    ගුරායි ගෙවලයගෙයි සාකච්ඡාවයි, පස්සෙං ඉඳං හීන් නූල් මතුරන රනා ගොයියයි ගහන ගැට මොනවද කියලා තාම බලං ඉන්නවා. නොමිනේෂන් දීලා එනකොට තේරුම් ගන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා. මට දැනට නං හිතෙන්නෙ ශ්‍රී ලංකා එක අවුල් ජාලයක් කරන්න රනා ගොයියා ගහපු ගැටයක් කියලා - යකා ගෙවලයා කරන එක.

    අර කොටස හොඳා - අර මල් වට්ටිය උස්සන් යන එක... ඒක දැකලා කාලෙකින් හොඳට හිනා උනා.

    ReplyDelete
    Replies
    1. අයියා කන්නෙ තණකොළද ?

      Delete
    2. ඩ්‍රැකී,

      ඔව්..මේ පාර ගෙවලයට අමතක නොවෙන පාඩමක් උගන්නන්ටම වෙනව බං..:)

      Delete
  24. ගෙවල වන්නම නටන්නේ රිලා බූතයන්, වට්ටක්කා පිල්ලි, වාමනයන් හා උලමා වගේ කෑගහන දිෂ්ටිවල වාසියට කියල ඉස්සර යක්ෂ අනුගාමිකයින්ට දැන් තේරෙයිද?

    ReplyDelete
    Replies
    1. Pra,

      මම හිතන්නෙ නෑ ප්‍රා… :)

      Only two things are infinite, the universe and human stupidity, and I’m not sure about the former. – Albert Einstein

      The difference between stupidity and genius is that genius has its limits. - Albert Einstein

      Common sense is not so common. - Voltaire

      The sign of an intelligent people is their ability to control their emotions by the application of reason. - Marya Mannes

      Thinking is the hardest work there is, which is probably the reason why so few engage in it. - Henry Ford

      Delete
    2. The immediate supporter think only of their personal gain. I have no grouse with them. I understand them. But what i can not understand are the poor benighted voters who think a moustache,a rough voice , lifting of children and xenophopic rantings are signs of patriotism. Our people are tailormade for demagauges. So, don't they deserve to be taken for a ride and fleeced again? After all stupidity deserves its natural reward.

      Delete
    3. lots of errors there. using a phone. sorry.

      Delete
  25. වැව මැද්දෙ ගෙවලයො ඉන්න තැනට ජනදාස කියල වැදගත් මහත්මයෙක් ගිහිං ටික දවසකින් ආයෙත් ආවා මතකද

    ReplyDelete
    Replies
    1. කිචී,

      ජාතික ලයිස්තුවෙන් පත්කලානම් මතකයි. ටික දවසකින් අයින් උනාද? ඒකනම් මතක නෑ...:)

      Delete
  26. මලහත්ඉලව්වයි රවී අයියානණී. ටික දුරක් ගිහිංනෙ තේරුනේ කෙළිය! හෝන්ටඩ් හවුස් ටෙම්පොල් ට්‍රීස්!

    ReplyDelete
  27. ඈ බං රවීයියේ ඔච්චර පන්සලම ඇසුරු කරන ගෙවලයා ගේ තණ්හාව ඇයි අඩු නැත්තේ.?

    කොහොමත් ඊගාව තොයිලෙන් පස්සේ ඔය ගෙවලයා විතරක් නෙමේ අර පිශාචයෝ හතර දෙනාටත් ඒ වටා ඉන්න අනෙකුත් පර පෝෂිතයින් ටිකත් දුරිම්භුත කරලා දාන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / ඈ බං රවීයියේ ඔච්චර පන්සලම ඇසුරු කරන ගෙවලයා ගේ තණ්හාව ඇයි අඩු නැත්තේ.? /

      පංසලට ගියාට වැඩක් ඇත බං එව්වට යන්නෙත් හිත පහදවාගෙන යන තැනකට වැඩක් කරගන්ට කියලය?..එතන ගිහිල්ලත් කට ඇරියොත් කියන්නෙ අහස පොලව නුහූලන අමූලික ගජ බින්න නෙව. " අනේ අපෙ හාංදුන්නේ....මම කාගෙංවත් පලි ගත්තෙ නෑ නෙව " එක්කො එහෙම කියයි. නැත්තං ඩයස්පෝරාව ගැන මොකක් හරි තමනුත් නොදන්න අපබ්‍රංසයක් කියයි. ජනාධිපතිකම අහෝසි කරන්ට නම් ඩයස්පෝරාවෙන් ඊළම් ඉල්ලීම අතාරිනවයි කියල පොරොන්දුවක් ඕනය කියාපු මනුස්සයනෙ. ඩයස්පෝරාව කියන වචනෙ තේරුමවත් දන්නවනම් එහෙම කතාවක් කියයිද?

      පංසලට ගිහිල්ල කරන්නෙත් කොරෝදෙ, මාන්නක්කාරකම, තන්නාසෙ, මෝහෙ වැඩි දියුණු කරගන්න එක මිසක් ආය වෙන අහවල් දෙයක්ද?

      Delete
  28. ඉස්සර අපේ පැත්තෙත් තොවිල් තිබුණ..ගෙදෙට්ට එන පාරේ තිබ්බ ගොරක ගහ යටින් ආපහු එද්දී දන්නවනේ ඉතින් කට්ටිය මැද්දට වෙලා වටපිට නොබලා....
    ඈ බොල ඔය කරන තොයිලයක් තව මාසයක් හමාරක් පස්සේ කරන්න බැරි වුනාද ගුරාට.අර පොඩි උන් අවුරුදු දහතුනක් මැරිලා මැරිලා විභාගේ කරන අවු අස්සේ ඒකත් දෙකට කඩල තොවිල් නටන්න ගත්තේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...