Monday, August 31, 2015

343. ප්‍රජාතන්ත්‍රවාදයෙහි ආදීනව - The Pitfalls Of Democracy

Google Images
හිරි ඔතප්ප යනුවෙන් බුද්ධ ධර්මයෙහි සඳහන්වනුයේ ශීලවන්තයින් රැකියයුතු ගුණධර්මයෙකි.එනම් අකුශල කර්මයන්හි නිරතවීමට ඇති බියයි.හිරිඔතප් බිඳීම යනු පව් කිරීමට ඇති බිය නැතිවීමයි.

මිනිසුන් අපරාධ කිරීමට බිය වන්නේ නොයෙකුත් හේතු කරණකොටගෙනය. අපරාධයක් කල විට හා එම අපරාධය ප්‍රසිද්ධ වූවිට ඒ හේතුකොටගෙන යම් දඬුවමක් විඳීමට සිදුවීම සහ එමෙන්ම තම කීර්තියට, සමාජයේ ගොඩනඟාගත් ගෞරවනීයත්වයට හානිවීම ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී. එහෙත් යම් අපරාධයක හෝ නීති විරෝධී ක්‍රියාවක නිරතවූ කල්හි ඒ සඳහා නියමිත දඬුවම් නොලැබීමට අමතරව අපරාධකරුට අයස, අලාභය වෙනුවට යම් ලාභයක් හෝ ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නම් මිනිසුන් නීතිවිරෝධී ක්‍රියාවන්හි වැඩි වැඩියෙන් නියැළීමට පෙළඹීම කිසිසේත් වැළැක්විය නොහැක.

අප කුඩා අවධියෙහිදී අපරාධ කරුවෝ පොදු සමාජය විසින් පිළිකුල් කරනු ලැබූහ.යම් නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධයැයි නීතිය ඉදිරියේ කිසිදිනක සැකයෙන් තොරව ඔප්පු නොවූවද එලෙස චෝදනා ලැබූවෝ මහජන නියෝජිතයින් ලෙස ඉදිරිපත්වීමට බිය වූහ. එලෙසම එවන් පාරාජිකාවූවන් තම පක්ෂයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමට සෑම දේශපාලන පක්ෂයක්ම මැළි වූහ. 

1964 වර්ෂයෙහි පමණ සමගි පෙරමුණු රජයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට එරෙහිව නැඟුනු අල්ලස් චෝදනා පිළිබඳව විභාග කිරීමට පත්කෙරුණු වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමෙන් අදාල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු අල්ලස් චෝදනාවන්ට වැරදිකරුවන් බව තීරණය කෙරිණි.ඒ ආසන්නයේම පැවැත්වුනු 1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි පෙරමුණ පරාජයවීමට වෙනත් නොයෙක් කරුණු අතර තල්ගොඩපිටිය කොමිසම් වාර්තාවද හේතුවූ බව මා කියවූ ජීවිත මතක සටහන් පොතක සඳහන්ව තිබිණි. බොහෝවිට ඒ ඩී.එෆ්. කාරියකරවන මහතාගේ හෝ සිරිලාල් කොඩිකාර මහතාගේ මතක සටහන් විය හැක.

පෘථග්ජන මිනිස්සු ස්වභාවයෙන්ම තෘෂ්ණාභරිත වෙති. යුතු මෙන්ම අයුතු ලෙසද ධනය රැස්කීරිමෙහිලා නොතිත් ආශාවෙන් පෙළෙති. සම්මත නීති සංග්‍රහයක් පවතින්නේ ඒ අයුතු ක්‍රියාවන් සපුරා වැලකිය නොහැක්කේ නම් උපරිම වශයෙන් අවම කිරීමටය. එහෙත් අභාග්‍යය වන්නේ බහුතරයක් අයථා ක්‍රියාවන්  නීත්‍යානුකූලව ඔප්පු කළ නොහැකි වීමය. ලෝකාපවාදය හෝ ස්වකීර්තිනාමය කැළැල්වීම යනු නීතිය ඉදියට පමුණුවා දඬුවම් දිය නොහැකි අපාරධකරුවන් වැළැක්වීමේ සීමාකාරී සාධකයක් ( නිවර්තකයක් = Deterrent ) ලෙස ක්‍රියාකරන්නකි.

එහෙත් යමෙක් අපරාධකරුවකු වංචනිකයකු වීමම ඔහු සමාජයෙන් ගරු නම්බුලැබීමට ප්‍රභූවරයකු වීමට මතුනොව ජනතාවගේ පරමාධිපත්‍යය බලය භාරව කටයුතු කරන උත්තරීතර පාර්ලිමේන්තුවට තේරි පත්වීමටද හේතුවන්නේ නම් ඒ සමාජය අගයන සාරධර්මයන් කවරේද යන්න පිළිබඳව තවදුරටත් ගැටළුවක් ඇතිවිය නොහැක.

සොරුන් සහ අපරාධකරුවන් උපරිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීමේ එකහෙලා පිටුදැකිය යුතු මේ වර්තමාන ප්‍රවණතාවය ආරම්භකලේ මෙරට සාරධර්මයන්ගෙන් විනිර්මුක්ත තිරශ්චීනයින්ගේ දේශයක් කිරීමේ මුල් අඩිතාලම දැමූ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන් විසිනි. එහිදී ඔහු මූලික  පියවර වශයෙන් පාර්ලිමේන්තුවට පත්වන්නන්හට අයථා ක්‍රමෝපායයන් භාවිතා කොට ධනය ඉපයීමේ මඟ හෙළි පෙහෙළි කොට දුන්නේය.

හෙතෙම පාර්ලිමේන්තුව සතු සියළු විධායක බලතල තමා සතුකොටගනිමින් ඒ හිළව්වට  පිදෙන වරදානයන් මෙන් මත්පැන් බලපත්, තීරු බදු රහිත වාහන බලපත් යනාදිය කශේරුකාව බිඳ දැමූ මහජන නියෝජිතයින්හට නිර්ලෝභිලෙස  ප්‍රදානය කළේය. වියයුතු ලෙසම ඉන් සෑහීමට පත්නොවූ ඔහුගේ මන්ත්‍රීවරයෙක් රත්රන් පොළු කිහිපයක් සඟවාගෙන දිවයිනට රැගෙන ඒකට තැත්කිරීමෙහිදී අත් අඩංගුවට පත්විය. ඔහුට විරුද්ධව නඩු විභාගයක් පැවති අතර එහිදී සිර දඬුවම් නියමවූ බවක් මගේ මතකයේ ඇත.

" මට රකින්නට පරපුරක් නැත. ඔටුණු පලඳවන්නට කුමාරයෙක් නැත "  යනුවෙන් වහසිබස් දොඩමින් ජයවර්ධනයෝ මෙරට කිසිදු නීතියකට යුක්තිධර්මයකට ගරු නොකරන අලජ්ජීන්ගේ දේශයක් බවට පත්කිරීමෙහිලා මුල්ගල් තැබූහ. ඔහු එදා ඒ ආරම්භ කල යුක්තියේ සාධාරණත්වයේ අවරෝහණය ඉතා සාර්ථකව පරිපූර්ණත්වයට, කූට ප්‍රාප්තියට පත් කලෝ බලලෝභී, අත්තනෝමතික සහ ඒකාධිපති පාලනය පිළිබඳව  ඔහුට ද ඉගැන්වීමෙහි ලා සමතෙකුවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයෝය.

තම නොසිඳෙන බල තෘෂ්ණාව උදෙසා ඔහු මේ දේශයට කල අපරාධය සක්සුදක්සේ පැහැදිලිවීමට සති දෙකකට පෙර පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන පාක්ෂිකයින් තම නියෝජිතයින් ලෙස උපරිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කොට යැවූවන්ගේ පැටිකිරිය විමසීම පමණක් උදක්ම ප්‍රමාණවත්ය. 

ජනවාරි මස පැවති ජනාධිපතිවරණයෙහිදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරයෙහි යෙදුනෙකු වෙඩි තබා මරාදැමීම වෙනුවෙන් චෝදනා ලැබ එදින සිටම බන්ධනාගාර ගතව සිටින්නෙකු එක් දිස්ත්‍රික්කයක උපරිම මනාප ලබා සිටී. මුඛය විවෘත කල වහාම මස්තිෂ්කයට රුධිරය සපයන ධමනිය ක්‍රියාවිරහිතවන මාදිලියේ,  වාචාලකම හැර වෙන කිසිදු උගත්කමක් නැත්තකු තවත් දිස්ත්‍රික්කයක උපරිම මනාප ලබා සිටී.

ඒ අතර එතනෝල් වෙළෙඳුන්, කුඩු බෙදාහරින්නන්, මංකොල්ලකරුවන් සහ කිසිදු වැදගැම්මකට නැති බත් බැලයින් ද බොහෝය. අප වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තුවෙහි අසුන් ගනුයේ, අපේ සහ එමෙන්ම අප දරුවන්ගේ අනාගතය විසඳන තීරණ ගනුයේ, අප වෙනුවෙන් නීති සම්පාදනයෙහි යෙදෙනුයේ එවන් වසලයින් කණ්ඩායමකි.ඔවුනට අපේ අනාගතය භාරදී අප නිහඬව සිටිය යුතුය. මහින්ද රාජපක්ෂ මහතා මෙරටට කල විනාශය එපමණ විශාලය. බොහෝවිට ඔහු නුදුරු අනාගතයෙහිදී දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇතැයි විශ්වාස කල හැක. එහෙත් ඔහු ඇතිකල, ඔහු වර්ධනය කල මේ මේ ජුගුප්සාජනක ප්‍රවණතාවය කිසිසේත් පහසුවෙන් ආපසු හැරවිය හැක්කක් නම්  නොවේ.

Google Images
ඉහත සඳහන් වනුයේ දෙවන ලෝක යුද්ධ සමයෙහි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සුප්‍රසිද්ධ නිර්වචනයකි. එය මෙසේ සංශෝධනය කිරීමට කාලය එළඹ ඇත.

The Best Argument Against Democracy Is The Results Of The Last Parliamentary  Election In Sri Lanka.

37 comments:

  1. නායකයන්ගේ පූර්ණ ආශිර්වාදය හිමි මෙවැනි පුද්ගලයන්ට ඡන්දය දීම තුලින් ඔහු වටාසිටින ඡන්ද දායකයින් ලබන අනෙකුත් භෞතික වරප්‍රසාද හමුවේ මේ ඡන්ද ක්‍රමය තුල මෙය අරුමයක් නොවේ .

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      ඔබ හරි. ඒක තවත් ප්‍රබල හේතුවක් මේ කණගාටුදායක තත්වයට.යම් යම් ලාභාපේක්ෂාවන් උදෙසා ඡන්දය භාවිතා කිරීම.

      Delete
  2. ජේ ආර්ට, මහින්දට විතරක් ඇයි දොස් කියන්නේ... මෛත්‍රී යුගයෙත් වෙන්නේ ඒකම නේද...? මනාප අඩුවෙන් ගෙදර ගියපු උන් ගේන්න තරම් මහින්දටත් වඩා නීච වැඩක් කළේ වත්මන් පාළණය.. අඩු ගානේ මහින්ද කරපු දේවත් කරන්න බැරි කෙනෙක් මේ යකා.. මහින්ද කළේ පැරදිච්ච උන් වෙනත් තැන්වලට ඔබපු ඒක. ඒත් මේ යකා උන්ව පාර්මේන්තුවටම දානවා... අනාගත සිරි ලංකාව මහින්ද යුගයටත් එහා ගිය යුගයක් උනොත් පුදුන වෙන්න එපා.. මොකෝ සිරිසේනටත් දරුවෝ ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      මම කතාකලේ පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගැන හිතල බලනකොට මට කල්පනා වුනු දෙයක් ගැන විතරයි.මෛත්‍රී කරපු වැඩේ හරිද වැරදිද කියන එක වෙනම කතා කල යුතුයි. තව පැත්තකින් බැලුවොත් මහජන චන්දයෙන් පාර්ලිමේන්තු යවල තියෙන අපතයො ගැන හිතල බැලුවම චන්දෙන් පැරදිච්චි ඔය හය හත් දෙනෙක් එතෙන්ට ජාතික ලැයිස්තුවෙන් යැව්වයි කියල මට නම් ලොකු අවුලක් නෑ. හරක් පට්ටියකට තව අම්බරුවෙක් දෙන්නෙක් යැව්වයි කියල පට්ටියෙ වෙනසක් වෙන්නෙ නෑ වගෙ තමයි.

      අනික තව දෙයක්. ඔහොම කරල හරි හිටපු රජ්ජුරුවන්ට ආයම බලයට එන්ට තියන පාර වහනවනම් ඒකත් එකක්නෙ... නැද්ද?

      Delete
    2. ඒක ඇත්ත.. ඒත් හරක් කරත්තේ පිටිපස්සට දාලා, යන්නේ ඒ තවලමම නම්....?

      Delete
    3. මහින්ද ගිය පාරේ යන්නම නම් අපි මෛත්‍රීව බලයට ගෙනාපු එකේ වැඩක් නැහැ.මහින්ද බලයට එන එක වලක්වන්න ජනතාව අතරින් ප්‍රතික්‍ෂේප වෙච්චි අය නැතුව වෙනත් අයගෙන් ඔය දේ කර ගන්න බැරිද?

      Delete
    4. මනෝජ්,

      දැන් ජනතාව අතරින් ප්‍රතික්ෂේප උනයි කියල ඒ පරාජිතයින්ට අවස්ථාවක් දෙන එක වැරදිද? මොකද ජනතාව නිවැරදි තිරණයක් ගත්තයි කියල ( විශේෂයෙන් මනාපවලට අදාලව ) මම පිළිගන්නෙ නැහැ. ( මොන තීරණය වුනත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජනතාවගෙ කැමැත්ත කියන තර්කය පොඩ්ඩකට පැත්තක තියමු හොඳද?)

      එහෙම බැලුවොත් මෛත්‍රී කරපු දේ ඉතාම නිවැරදි නැතිවුනත් අවුලකුත් නෑ වගෙ කියල හිතෙන්නෙ නැද්ද? අනික මරාස් ආයම යකා නටන එක වළක්වන්ට නම් තමන්ට ඉතාම විශ්වාසවන්ත අය පාර්ලිමේන්තුවෙ ඉන්ට ඕන. ජාතික ලැයිස්තුවෙ බහුතරයක් ඉන්නෙ මරාවාදියො.

      Delete
  3. අනේ ද කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ බන් කාටද කියන්නෙ?...:)

      Delete
  4. /අප වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තුවෙහි අසුන් ගනුයේ, අපේ සහ එමෙන්ම අප දරුවන්ගේ අනාගතය විසඳන තීරණ ගනුයේ, අප වෙනුවෙන් නීති සම්පාදනයෙහි යෙදෙනුයේ එවන් වසලයින් කණ්ඩායමකි.ඔවුනට අපේ අනාගතය භාරදී අප නිහඬව සිටිය යුතුය. /

    මේක ජනතාවට මේ වෙනතුරු ගැටළුවක් වෙලා නැත‍ි බවනම් පේන්නෙ, අපි අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට කලින්, කළ යුත්තේ සිහි මොළය ඇති අලුත් ජනතාවක් පත් කර ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. අපි අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට කලින්, කළ යුත්තේ සිහි මොළය ඇති අලුත් ජනතාවක් පත් කර ගැනීමයි.//
      ඒක තමයි විය යුත්තෙ

      Delete
    2. ඩ්‍රැකී සහ මධ්‍යස්ථ,

      ඔතන මෙහෙම ප්‍රශ්ණෙකුත් තියනවනෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතරයේ කැමැත්ත.එතකොට බහුතර තීරණයට අපි කොතරම් අකමැතිවුනත් කරන්ට දෙයක් නෑ. ඒ තීරණය පිලිනොගත්තත් විඳ දරාගන්ට වෙනව.

      Delete
  5. මම නම් දකින්නෙ ජනතාවගෙන් විශාල පිරිසක් කිසියම් දේශපාලන පක්ෂයකට අගමක් වගෙ බැදිල ඡන්දය දෙන්න පුරුදුවෙලා ඉන්න නිසා.
    මේ නිසා මේ පක්ෂවලට රිංගගෙන ඉන්න හොරුන්ට ආරක්ෂාවක් තියනව.
    අනික තමා පත්වෙන අය අතර හරස් සම්බන්ධතා ඇතිවීම. උදාහරණයකට යූඇණ්පී ශ්‍රී ලංකා පක්ෂ දෙකේම ඉහළ පෙළේ අය යාළුවො. සමහරු නෑදෑයො. මේ නිසා මන්ත්‍රීවරයෙකුට තේරී පත්වන වාර ගනනත් සීමා කරන්න ඕන.
    ඒ වගේම මන්ත්‍රීවරයා ඔහු අයත් පක්ෂයේ නොවේ ඔහුට පහලින් ඇති ආයතනයක සිරකරුවෙක් කරන්න ඕන. වර්තමාන රටාවට අනුව මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභාවට ඉහලින්.ප්‍රාදේශීය මන්ත්‍රීවරයන් ගැන තීරණ ගන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී.
    එහෙම නොවෙයි මන්ත්‍රීවරයා ආපසු කැදවිය හැකි බලයක් සහිත පාර්ලිමේන්තුවෙන් වියුක්ත ආයතනයක් ලෙස ප්‍රාදේශීය සභාව ශක්තිමත් කළ යුතුයි. එවිට වඩාත් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂන දැකිය හැකිවේවි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ,

      එහෙම හැමදාම කම පක්ෂයකට ඡන්දෙ දෙන යම් ප්‍රතිශතයක් ඉන්නව. නමුත් මම හිතන විදිහට ක්‍රමයෙන් ඒ ප්‍රමාණය අඩුවෙමින් යනව.ඒත් එහෙම වෙන එකෙන් ප්‍රයෝජනයක් නැත්තෙ මිනිස්සු ජාතිවාදී ආගම්වාදී කෝණයකින් බලල තමන්ගෙ චන්දෙ දෙන ප්‍රවණතාවයක් සීඝ්‍රයෙන් වර්ධනය වෙන හින්ද.

      මිනිස්සු කොහොමත් කල්ලි ගැහෙන්ට, රන්චු ගැහෙන්ට කැමතියි. වනචාරී යුගය් ඉඳලා ආපු පුරුද්දක් වෙන්න ඇති සමහරවිට. මොකද ඒ කාලෙ ජීවිතය ආරක්ෂාවුනේ සාමුහිකත්වය නිසා. තනිවම ජීවත්වෙන්ට කාටවත්ම බෑ. අවාසනාවකට තවම අපිට ඒ කල්ලි ගැසීමේ පුරුද්ද අතහැරගන්ට බැරිවෙලා තියනව. කල්ලිගැහීම කියන එක නරකමත් නෑ.හොඳ දෙයකට වඩා බොහොම ඉක්මනට කල්ලි ගැහෙන්නෙ හැබැයි නරක දේවල්වලට.

      Delete
  6. Methana thiyenne game eka eka kalli dekak hamadama porakanawa balayata enna. api whistle karnanawa unata. api kade yanwa oya kata hari. MR wada antha wenwa issarhata. eka aniwa.


    Raviyooo wadi padiyata middle east job ekak hoya ganna hati liyapankoo ekenwath ratata hondak wewi

    ReplyDelete
    Replies
    1. Ano,

      මෙහෙ රැකියාවක් ලබාගන්නට ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් රැකියා ඒජන්සියක මාර්ගයෙන් හෝ මෙහෙ රැකියාවක් කරන හිතවතෙක් නැත්නම් ඥාතියෙක්ගෙ මාර්ගයෙන්. එහෙම උනහම ඒ රැකියාව ලබාදෙන ආයතනයෙන් ටිකට් එක සහ වීසා ලබාදෙනව. නොවරදින ස්ථිර ක්‍රමය ඒකයි. ඒත් වැඩිදෙනෙක් ( 95% විතරම ) කරන්නෙ විසිට් වීසා එකක් අරගෙන මෙහෙ එන එක. හැබැයි ඒකට මෙහෙ රෙසිඩන්ඩ් පර්මිට් තියෙන යාලුවෙක් හරි ඥාතියෙක් හරි ඉන්ට ඕන.

      ඒ විදිහට මාස තුනකට ඇවිල්ල යාලුවා හෝ ඥාතියා එක්ක නැවතිලා රස්සාවක් හොයාගන්ට ඕන. පත්තරේ දාල ඉන්ටව්වීව් එහෙම ගිහිල්ල අර මාස තුන ඇතුලත රස්සාවක් හොයාගත්තහම ඒ අදාල ආයතනය නේවාසික බලපත්‍රය අරගෙන දෙනව.ඒකට කියන්නෙ අනුග්‍රාහකත්වය සපයනව කියල නැත්නම් ස්පොන්සර් කරනව.මාස තුනෙන් පස්සෙඋනත් මම දන්න විදිහට ආයම වීසා දික් කරගන්න පුලුවන්.

      Delete
  7. අයියෝ .. අදත් කෙහෙල්මල් වේසපාලන පොස්ට් එකක්.. සක්.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      දේශපාලනය කියන එක අතෑරලම දාන්ටත් බෑනෙ බන්. අර කවුද කිව්ව වගෙ අපි කන බත් ඇටයක් ඇටයක් ගානෙ දේශපාලනය තියනව.

      ඔය ඔක්කොම බැලන්ස් කරගෙන ලියන්ටත් එපාය..හෙහ්..හෙහ්..අර පේනවනෙ එස්.එස්.සී. එකේ කන කෑම?...ඕවර් හතරයි .ලකුණු තුනයි..විකට් දෙකයි....:)

      Delete
  8. මෙහෙ තියෙන්නෙ රාජාණ්ඩු ක්‍රමයක්.. ඔව්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      මෙහේ කිව්වෙ කොහේද? කොහෙ වුනත් කමක් නෑ රාජාණ්ඩුවට ජයවේවා!!!

      Delete
    2. මෙහෙ කිව්වෙ ලංකාවෙ.. තාම මිනිස්සුන්ගෙ ලේ වලින්ම ඉල්ලන්නෙ රජෙක්.ඌ කියන ඕන දෙයක් කරන්න බහුතර ජනයා කැමතියි.තගරියෙන් හරි කමක් නෑ..පපුව ඉස්සරහට දාගෙන යන්නයි ඕනෙ.(මැකෝ වීර්යෙක් උනෙත් එහෙම නෙ.)

      Delete
  9. දුවනා විටදි හැල්මේ අනෙකා පරයා
    කවුරුද තකන්නේ මනුදම් වල අගයා
    වග කියනා උන් දැන් ගොස් ඇත නිරයා
    තවමත් අපි නටනවා දිය නටනතුරා

    ReplyDelete
    Replies
    1. තෙලි,

      දන්නවද අපිට වෙලා තියෙන මේ නස්පැත්තිය මොකද්ද කියල?

      හැඳි ගෑවිලා පල තොගෙ මුලු වරිගයම,
      එදවස දෙස්තැබූ ඇය නම් කුවේණිය,
      දෙවොලක් තනා පුද පූජා සත්කාර,
      කරනා තුරුම හරියන්නේ නෑ අපට,

      Delete
  10. මේ නිහීන තුප්පහි දේශපාලනය නිසා සිදු වුනු තවත් දෙයක් තියනව.

    කොයි තරම් නම් ස්ත්‍රී දූෂකයො පාර්ලිමෙන්තුවෙ ඉන්නවද? රජ පුටු වලට එනවද? ඔවුන් සාද පවත්වනව කිසිම කරදරයක් නැතුව.

    ඒ අතරේ, දේශපාලනයට එන කාන්තාවෝ, ගණිකාවෝ හෝ වේසියෝ නමින් හංවඩු ගැහුණ. රටේ හිටපු ප්‍රධාන පුරවසියව නිරුවත් කරන්නට ප්‍රසිද්ධ වේදිකා වල කතා පැවැත්වුන. කතා අහන්නට අකමැති, පිළිවෙලකට ජීවත් වෙන ගැහැනියකට දේශපාලනයට පිවිසෙන්න බැහැයි කියල හිතෙන තරමට.

    මෙය අපේ මිනිසුන්ගේ ඔලුව ඇතුලට කාවදිනව අපි නොසිතන විදියට. ගැහැණු ගොඩක් එක්ක සම්බන්දකම් පවත්වන කෙනා පොරක් වුනා. කාර්යාලයේ, බස් රියේ, දුම්රියේ, නිවස තුලදී පවා, ස්ත්‍රියකට ලැබෙන්නට හුරු වෙලා තිබුණු ගෞරවය අඩු වෙලා ගියා. හැම කෙල්ලක්ම කෑල්ලක්, බඩුවක් ලෙස හැඳින්වෙන්න පටන් ගත්ත. ඇත්තටම මේ මොළ සේදීමට, මිනිසුන්ගේ මේ ආකල්ප වල වෙනස ඇති වීමට, දූෂකයන් ගෙන් සමන්විත සහ දූෂකයන් ආරක්ෂා කරන පාලක පන්තිය වගකිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      ඔබ හා සම්පූර්ණයෙන්ම එකඟයි. කාන්තාවන්ට ගෞරවාන්විතව සැලකීම අතින් අපේ රට තියෙන්නෙ අන්තිම පහත් තත්වයක. දැන් උදාහරණයක් විදිහට ගන්න ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට තේරුනා, මොන තරම් ඒ මනුස්සයට අපහාස කලාද? ඇගේ පෞද්ගලික ජීවිතය ඇයට ඕන හැටියට. කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියට කිව්වලු. ගීතගෙ පෞද්ගලික ජීවිතය ගැන ඔය කියන කතන්දර ඇත්ත වුනත් මන්ත්‍රී පදවියක් දරන්න ඒක නුසුදුසු කමක් වෙන්නෙ කොහොමද?

      මම ඇත්තටම ගරු කරනව ගීතට වෙන ගැහැණු වගෙ මියගිය සැමියගෙ, තාත්තගෙ නැත්නම් අයියගෙ ජනප්‍රියතාවයෙ පිහිටක් නැතුව පිරිමි අධිකාරීවාදයේ කෙණෙහිලිකම් මැද වැඩේ අතාරින්නෙ නැතුව සටන් කරල මේ තත්වයට ආපු එක ගැන.

      ඔය ස්ත්‍රී දූෂකයො සහ එවුන්ට රැකවරණය දෙන ජාතියේ නායකයො ගැනනම් කියල වැඩක් නෑ. හැබැයි ඒ මොකක්වත් නෙවෙයි ලස්සනම වැඩේ මොකක්ද දන්නවද? ඒ තමන් වගේම සහෝදරියන් දියණියක් දූෂණය කරපු එවුන්ට සහ එවුන්ගෙ නායකයින්ට උඩ දාගෙන ගිහිල්ල කිසිම හිරිකිතයක් නැතුව චන්දෙ දෙන්නත් අපේ කාන්තා පක්ෂය සැදී පැහැදී ඉන්න එක.

      Delete
  11. //" මට රකින්නට පරපුරක් නැත. ඔටුණු පලඳවන්නට කුමාරයෙක් නැත " යනුවෙන් වහසිබස් දොඩමින් ජයවර්ධනයෝ මෙරට කිසිදු නීතියකට යුක්තිධර්මයකට ගරු නොකරන අලජ්ජීන්ගේ දේශයක් බවට පත්කිරීමෙහිලා මුල්ගල් තැබූහ. ඔහු එදා ඒ ආරම්භ කල යුක්තියේ සාධාරණත්වයේ අවරෝහණය ඉතා සාර්ථකව පරිපූර්ණත්වයට, කූට ප්‍රාප්තියට පත් කලෝ බලලෝභී, අත්තනෝමතික සහ ඒකාධිපති පාලනය පිළිබඳව ඔහුට ද ඉගැන්වීමෙහි ලා සමතෙකුවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයෝය.//

    සිරිසේනයෝ කොතනින් ඉවර කරයිද කියලයි බය....මේ යන විදිහට.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හෙහ්, එව්ව කියන්ට බෑ.එව්ව කියන්ට බෑ...:)

      එහෙම වුනත්……….

      Hope springs eternal in the human breast

      People will continue to hope even though they have evidence that things cannot possibly turn out the way they want. 

      Hope springs eternal in the human breast;
      Man never is, but always to be blessed:
      The soul, uneasy and confined from home,
      Rests and expatiates in a life to come.

      – Alexander Pope, An Essay on Man

      Delete
  12. ප්‍රජතන්ත්‍රවාදය ඉතින් අනික් රටවලට හොද උනාට අපේ වෙන්නේ වාසි නෙමෙයි අවාසි. අමුතුවෙන් ඉතින් ආයි ආයි කියලා වැඩක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      අපිට හරි යන්නෙ සින්ගප්පූරුවෙ ලී කුවාන් යූම තමයි.

      Delete
    2. ඒ කියන්නෙ මරණ බය..!!!

      Delete
  13. රවීයියා දැන් මේ රටේ හොරකම කියන එක සාමන්‍යකරණය වෙලා ගොඩක් කල්.මිනිස්සු ගොඩක් දෙනා මේ වගේ කරුණු ගැන හරි නිද්‍රශීලියි.තමන්ට වාසියක් වේනම් හොරෙක් නොවේ මොකෙක් වුනත් කමක් නැහැ.මේ ගමන රත්නපුරේ චොකා මල්ලි එක වුනා වගේ තමයි ගිය ගමන "පාලිත තෙවරප්පෙරුම" පාර්ලිමේන්තු ආවෙත් යුඑන්පියෙන්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒ ගැන කතා නොකරන තරමට හොඳයි මල්ලි..හැමෝම එකයි..:)

      Delete
  14. 1977 සිට වන හැම වැරැද්දකටම ජේ ආර්ට බණින එක මෝස්තරය තමයි. ජේ ආර් කියපු හැම දේටම වැරදි අර්ථකථන දීලා තියෙනවා. " මට රකින්නට පරපුරක් නැත. ඔටුණු පලඳවන්නට කුමාරයෙක් නැත " කියලා ජේ ආර් කිව්වේ සිරිමා, මහින්ද වගේ අය තමන්ගේ පවුලට මුදල් එකතු කිරීම සහ තමන්ගෙන් පසු ලමයිනට බලය යනසේ ක්‍රියා කිරීම ගැන. මේවගේම එකක් තමයි තමන්ගේ ආරක්ශාව තමන්ම සකසා ගන්න කියල කියපු එක. බෝම්බ පිපිරෙන්න පටන් ගන්න කාලේ පොලිසිය සහ යුධ හමුදාව එච්ච්චර විශාල නැති කාලේ බෝම්බ සහ සැක කටයුතු දේවල් ගැන හැමෝම සැලකිලිමත් වුනොත් ජීවිත හානි අඩු කරගන්න පුළුවන් කියන එකයි එතුම කිව්වෙ. සමහර අවස්ථාවල යූ එන් පී එක දිනුවත් ආසන ක්‍රමයට නිදහස් පක්ශෙ බලයට ඇවිල්ලා ආර්ථිකය කාබාසිනියා කරන එක වළක්වන්න තමයි මනාප ක්‍රමය ගෙනාවේ. ජේ ආර් එයාටවත් පවුලටවත් කවදාවත් හම්බ කරගත්තේ නැහැ.

    එයාගේ පුතා රවි ජයවර්ධන සම්භන්ධ උනේ විෂේශ කාර්‍යය බලකාය පිහිටුවන එකටයි මායිම් ගම්මාන ආරක්ශාව සම්භන්ධයෙන් විතරයි. බිරිඳ එලීනා සහ පුතා රවි කවදාවත් රාජ්‍ය පාලනයට ඇඟිලි ගැහුවේ නැහැ. උත්සව අවස්ථාවල හැරෙන්න පන්දිංචි වෙලා හිටියේ වෝඩ් ප්ලේස් එකෙ එයාගෙම පරණ ගෙදර. මැරෙනකොට තිබිච්ච සේසතම රට දීල ගියේ. ඒ මුදල් වලින් තමයි ජයවර්ධන කේන්ද්‍රය හැදුවේ.

    ඒ කාලේ තමන්ගේ යටතට දක්ශම ඇමතිවරු පත් කරගෙන කඩිනම් මහවැලි ව්‍යාපාරය, ගම් උදා ව්‍යාපරය, කලින් තිබූ ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප පූර්ණ විශ්ව විද්‍යාල බවට පත්කර ඒවා දියුණු කිරීම, කොලඹ වරායේ ජයා කන්ටේනර් පර්යන්ත, අදටත් රට සල්ලි උපදවන නිදහස් වෙලඳ කලාප වලින් රැකියා, තරුණ සේවා සභාව, මහපොළ ව්‍යාපාරය, විවෘත විශ්ව විද්‍යාලය, කෝට්ටේ පරිපාලන නගරය, ජයවර්ධනපුර රෝහල, වප් මඟුල් උත්සව හරහා කෘශිකර්ම සංවර්ධනය, වැනි බොහෝ ක්ශෙත්‍ර ආවරණය වන සංවර්ධනයක් ඔහු සිදුකලා.

    පැතිමාරු කර ආණ්ඩුව පෙරලීම වගේ දේවල් වළක්වන්න සහ බලවත් ආන්ඩුවක් හදන්න විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ. වැරදිලාවත් ප්‍රේමදාස මහතාට වැඩිකාළයක් ජනාදිපති දුරය කරන්න ලැබුණානම් සහ ඊලඟට ලලිත් සහ ගාමිනී වගේ අයට එම තනතුර ගියානම් අපේ රටේ තත්වය මීට වඩා වෙනස් වෙන්නට තිබුණා. ජේ ආර් සහ රනිල් හැර අනික් අයගේ දූශණ ගැන කථා තිබුණත් ඔවුන් ඒදේවල් කලේ දැවැන්ත සංවර්ධනයක් රටට කරන ගමන්. අකාර්යක්ශම ඒවගේම දූශිත ජනාධ්පතිවරුන් පත් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන්.

    ඉන්දියාව රුසියන් ගැති වී සිටින විට මුලු ලොවම පසුව පිලිගත් විවෘත ආර්ථික ක්‍රමය ගෙන ඒම නිසා ඉන්දියාව විසින් දෙමල බෙදුම්වාදීන් බිහි කිරීම, ජවිපෙ ක්‍රියාකාරකම් ආදිය එක්ක තමයි ජේ ආර් ලට සහ එජාප ආණ්ඩුවලට වැඩ කරන්න සිදු උනේ. එම නිසා ජේ ආර් ගේ වැරදි පමණක් කථා කරන අය පොඩ්ඩක් එතුමා රටට කළ සේවය ගැනත් හිතන්න.

    ReplyDelete
    Replies
    1. Ian,

      ඉයන්ගෙ ඉතාම දීර්ඝ ජේ.ආර් ගුණ වර්ණනාවට මම එකඟයි. ගම් උදාව, මහවැලිය, ජයවර්ධනපුර රෝහල, මහපොල එව්ව ඔක්කොම හරි. එකඟයි. ජේ.ආර්. තමන්ගෙ පවුලෙ අය දේශපාලනයට ගෙනාවෙ නෑ. ඒකටත් එකඟයි. ඒත් මහත්මයා මම කතා කලේ ඒ ගැන නෙවෙයි. ඔබ කිව්ව ඔය ඔක්කොම භෞතික දේවල්. එව්ව වැදගත් නෑ කියනව නෙවෙයි. ඒත් ඊට වඩා රටකට රටේ ජනතාවට වැදගත් දේවල් තියනව. අධිකරණය, විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ආයතන එකිනෙකට ස්වාධීන වෙන්න ඕන. එතකොටයි බල තුලනයක් වෙන්නෙ. ජේ.ආර් . කලේ අධිකරණය තමන්ගෙ පාලනයට ගත්ත. නෙවිල් සමරකෝන් මහතා ඉවත් කිරීම සහ විනිසුරුවරුන්ට හූ කීම උදාහරණ දෙකක්. තමන්ට විරුද්ධව අදහස් දැක්වුවෙ කවුරු උනත් නිර්දය ලෙස මර්දනය කලා. උදා - එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සහ ලබුදූවේ සිරිධම්ම හිමි.

      ඊට පස්සෙ ජේආර් ගත්තු ඉතාම අසාධාරණ සහ අත්තනෝමතික මේ රටේ ගමන් මඟ වෙනස් කරපු තීරණ දෙකක් තියනව.එකක් 1983 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය වෙනුවට පැවැත්වූ ලාම්පු-කලගෙඩි සෙල්ලම. ඒ වෙලාවෙ තිබ්බ දේශපාලන වාතාවරණය අනුව අනිවාර්යයෙන් මහ මැතිවරණයෙන් යූ.එන්.පී එක දිනන එකත් දිනනව. ඒත් විජය විජේවීර ඇතුලු මම හිතන්නෙ විපක්ෂ මන්ත්‍රීන් 40-50 වගෙ ගනනක් පාර්ලිමේන්තුවට එනව. ජේ ආර් කොච්චර බල ලෝභියෙක්ද කිව්වොත් ඒකත් වලක්වල 5/6 බලය දිගටම තියාගන්ටයි ඔය ලාම්පු - කලගෙඩි සෙල්ලම නැටුවෙ.

      අනික් එක 1983 දෙමලු මරනකල් බුදියගෙන ඉඳල ඊට පස්සෙ ඒ පිට දාල වාමාංශික පක්ෂ විශේෂයෙන් ජවිපෙ තහනම් කරපු එක. ඉයන් නිකමට හිතන්න ඒ හිතුවක්කාරී, ඒකාදිපති තීරණය හින්ද මිනිස්සු කී දාහකගෙ ජීවිත නැතිවුනාද දේපල කොච්චර නම් විනාශ වුනාද? රටක රාජ්‍ය නායකයෙක් වුනහම තමන්ට තම පක්ෂයට ඉස්සෙල්ල රට ගැන හිතන්න ඕන. ජේආර් එහෙම කලාය කියල සමාවෙන්න මටනම් කොහෙත්ම පිලිගන්න බෑ..

      Delete
  15. මේ වගේ අපිට නොතේරෙන, කියවන්න හිතෙන්නෙ නැති, අස්ථායී, අද්භූත, අගතිගාමී, ආකාරයේ ආවර්ජනා නැතුව වෙනද විදිහට පෙරකලේ කරපු වැඩක් ගැන ලියන තෙක් මේ බ්ලොග්එක වර්ජනය කරමි දේයි.../ වර්ජනය කරමි දේයි....// වර්ජනය කරමි දේයි.....///

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...