Friday, October 9, 2015

358. විමලෙගෙ වාංපතුල් කතා - 36 - පවුරු බැඳගෙන සිතක වැජඹුනු රසවතී නෑ කොයි ගියා..........

Google Images





පහුවෙනිද සුජිතක්කගෙ මඟුල් දවස.කාලෙකට පස්සෙ මගෙ ජීවිතේ අලුත් වෙනසක් වෙන්ට අර අඳිනවයි කියන නැවුම් හැඟීමත් එක්කම මම එදා උදේ නිදි පැදුරෙන් නැඟිට්ටෙ. නිදි පැදුරෙන් නැඟිට්ටයි කිව්වෙ රූපකාත්මකව වගේම වාච්‍යාර්ථයෙනුත්. Metaphorically as well as literally. එහෙම කිව්වෙ මොකෝ දන්නවය? අජිතයලගෙ සාලෙ පැදුරු දාල අපි නිදාගත්තෙ ඒ දවස් දෙක තුනේම. මුල්  දවසෙ නම් ඔය ඇඳක් හම්බවුනා. ඊට පස්සෙ අජිතයලගෙ දුර බැහැර ඉඳල නෑයො එහෙම එන්ට ගියාම ඌයි මායි නිතරඟයෙන් බිමට විසිවුනා. හෙහ්, එව්වයෙ හැටි එහෙම තමයි.

ඉතිං ඒ අසිරිමත් දිනය උදාවුනා. උදෙන්ම පොඩි වැස්සකුත් ගියා. 

" කෙලියා වහියිද බං දවසම? " ඉස්තෝප්පුවෙ කොට බිත්තිය උඩ ඉඳගෙන කකුල් දෙකත් පද්ද පද්ද තේ එක බොන ගමං මම අජිතයගෙං ඇහුව.

" නෑ බං මොන වැස්සක්ද? අර බලපං උඩදුම්බර පැත්තට හොඳටම පායනව. ඔය පොද වැස්සක්. " 

කිව්වත් වගෙ නැගෙනහිර ක්ෂිතිජය දිගටම පැතිරිලා තිබ්බ නිල්පාට කඳු වැටිය ඉර එළියෙන් බබළනව. ඔය වැහි මීදුම් බර කඳුකර ප්‍රදේශයක ටික කාලයක් ජීවත් වුනොත් ස්වභාව ධර්මයේ අපූර්ව චමත්කාරජනක දර්ශන උදේ හවස දකින්ට පුලුවනි.

ඈත ක්ෂිතිජ මායිමේ කොළ පාටින් දිලෙන කඳුවැටිය මතුපිට අව්වත් එක්ක වැස්ස එකිනෙකා පසුපස හඹාගෙන යනව. ඒත් එක්කම පිටිපස්සෙන් සුළඟත් එක්ක මීදුම් වළාකුළු බොහොම තකහණියෙ ඇවිල්ල මේ මොහොතකට කලියෙන් තද අව්වෙන් එළියවෙලා තිබූ ගිරි ශිඛරය එක සැණෙකින් වසාගන්නව. මේ අපි ඉන්න හරියට තදට අව්ව. ඒත් ඈතින් ඇහෙනව ඔන්න මහ අමුතු සද්දයක්..මේ නිකන් හෝ..හෝ..ගෑවිල්ලක් වගෙ, එන්ට එන්ටම සද්දෙ තීව්‍රතාවය වැඩිවෙනව. 

" සුගතෙ අයිය..මොකක්ද ඒ සද්දෙ? " 

ඒ වෙනකොට දහයට කිතුල් හකුරුත් එක්ක කිරි කහට එකක් ගහන්ට මම අපෙ සයිට් එකත් එක්කම පල්ලෙහ පාරෙන් එහා පැත්තෙ පොඩි තේ කඩේට ගිහිල්ල හිටියෙ. පාර කිව්වෙ පස්සර-මොණරාගල පාර. සයිට් එක කිව්වෙ මම ඒ දවස්වල ඒ කිව්වෙ දෙදාස් හතර අවුරුද්දෙ මැද භාගයෙ වගෙ වැඩ කරපු පස්සරට එහා තේ ෆැක්ටරි වැඩබිම. 

" හෙහ්, මහත්තයට අඳුනන්ට බෑ නේද ඒ සද්දෙ? " සුගතෙ කඩෙන් එළියට බැහැල හිනාවෙනව." ඒ මහත්තය බඩල්කුඹුර පැත්තෙ ඉඳල වැහැගෙන එන සද්දෙ…" 

" මොකක් කිව්ව? වැහැගෙන එන සද්දෙ? මෙච්චර ලස්සනට මේ අව්ව පායල තියෙද්දි….." 

" හෙහ්..එහෙම තමයි මහත්තය මෙහෙ හැටි. ඔන්න බලන්නකො ඕනනම් තව විනාඩි හතරක් පහක් යයි. මහත්තයත් යන්නම ඕන නම් විජහට ෆැක්ටරියට යන්ට. ඔය පාර වැස්ස මයෙ හිතේ පැය බාගයක් තරම වහියි. " 

" ඕන නෑ..ගියයි කියලත් කරන්ට ඒ හැටි වැඩක් නෑ. බලමු මේ සුගතෙ අයිය කියන කතාව ඇත්තද කියල. කෝ ගන්ට ගෝල්ඩ් ලීෆ් එකකුත්." 

හැබෑට කිව්වත් වගෙ ගෝල්ඩ් ලීෆ් එකේ බාගයක් බොන්ට මට වෙන්නෙ නෑ. පායල තිබ්බ අව්ව කොහෙන් ගියද හොයාගන්ටවත් නැතිවෙනව. මුලු පළාතම අඳුරු කරගෙන ඔන්න වැහි ඇල්ල කඩා වැටෙනව.

ඔය අව්ව වැස්ස රේස් දුවන එක පස්සර තරමටම පැහැදිලිව නොවුනත් අපෙ භාර්යා තොමෝලගෙ ගෙවල් පැත්තෙත් දකින්ට පුලුවන්. ඒත් එයාලගෙ ගෙවල් පැත්තෙ මම කැමතිම ස්වභාවික දර්ශනය දැකගත්තෙ වටේටම තියන කඳු වළල්ලෙ භාගයක් විතර මීදුමෙන් වැහිල තියෙන වෙලාවට ඒ පිටිපස්සෙන් බටහිර අහසෙ හිරු බැහැල යන වෙලාවක. දකින්ටම ඕන ඒ දර්ශනයෙ චමත්කාරය විඳගන්ට. වචනයෙන් විස්තර කරන්ට අමාරුයි. ස්වභාව ධර්මයෙ අසිරිය ගැන සවිස්තරව පස්සෙ වෙලාවක ලියන්නම්.ආපහු එහෙනම් එමු අසෝකගෙ කතාවට. 

සුජිතා අක්කගෙ මඟුල් ගෙදර වැඩ කටයුතු කිසිම අඩුපාඩුවකින් තොරව කෙරීගෙන ගියා. ඒත් අනිවාර්යයෙන්ම කොහොමත් ඔය මඟුල් ගෙවල්වල වැඩ මොන තරම් සංවිධානාත්මකව සැළසුම් කලත් අන්තිම මොහොතෙ කරන්ට දේවල් අනන්ත තියනව අතපහු වෙච්චි එව්ව.සාමාන්‍යයෙන් අපෙ යාලුවෙක්ගෙ මඟුල් ගෙදරකදි ඔය අන්තිම මොහොතෙ වැඩ දණි පණි ගාල එහාට මෙහාට දුවල පැනල කරන්ට අපි තුන් හතර දෙනෙක් සෙට් වෙලා ඉන්නව. එහෙම ආර්.ඩී.එෆ් එකේ වැඩ කරන එකේ වාසියකුත් තියනව. 

ආර්.ඩී.එෆ්. කියන එක දන්නවනෙ නේද? යුද්දෙ කාලෙ නම් ඔය ආර්.ඩී.එෆ්. එතකොට එල්.ආර්.ආර්.පී. ෆයිව් සීරෝ ගැන මේ වල පයයි ගොඩ පයයි ආච්චිල සීයල හිටන් දන්නව. පෝයදාට පන්සලේ සිල් සමාදන්වෙලා මහෝපාසිකාවො කාණ්ඩෙ ගැහිල, මාර සේනාව සිදුහත් කුමාරයට බුදුවෙන්ට බාදා කරපු හැටි ගැන කතාකරනවට වඩා කතා කරන්නෙ එල්.ආර්.ආර්.පී. එක කොච්චර දුරක් කැළේ යනවද? දවස් කීයක් ගිහිල්ල ඉන්නවද? ෆයිව් සීරෝ එකකිං උපරිම පහර දෙන්ට පුලුවන් දුර කීයද?...ඔන්න ඔව්ව.

දැන් ඉතින් යුද්දෙ ඉවරවෙලත් අවුරුදු හයක් ගතවුනා. රට බේරගත්තු මහා වීරයගෙං ආපහු පාරක් අපි රට බේරගෙනත් අවුරුද්දක් වගෙ වෙන්ට කිට්ටු වුනා. ඒ හින්ද කට්ටියට ඔව්ව ගැන අමතක ඇති කියල උපකල්පනය කරල ආයම කියන්නංකො. ආර්.ඩි.එෆ්. කියන්නෙ Rapid Deployment Force  එක. නැත්නම් ක්ෂණික විහිදුම් බළකාය.

ඉතින් ඔය මඟුල් ගෙදර ආර්.ඩී.එෆ්. එකට තියන වැඩ තමයි ඔන්න හිටපු ගමන් කියනව කවුරු හරි " අනේ ළමයො අයිස්ක්‍රීම් මදි වගේ ටවුමට දුවල තව අයිස්ක්‍රීම් ලීටර් 20 විතර ගේන්ටකො "  කියල.අපිට ඉතින් ඔව්වට බයික් එකක් හරි කාර් කටුවක් හරි දීල තියෙන්නෙ. ඔන්න ඉතින් කඩාගෙන ගිහිල්ල අයිස් ක්‍රීම් ගේනව. ඔන්න ඒ ඇවිල්ල අයිස් ක්‍රීම් එව්ව ගේන්ට කියාපු කාට හරි බාරදීල හුස්මක් ගන්න වෙන්නෙ නෑ ආයම එනව ඕඩර් එකක්. " අනේ මල්ලි පෝරුවට දුං අල්ලන්ට කට්ට කුමංජල් නෑලු. විජහට ගිහිල්ල පැකට් දෙකක් විතර ගේන්ටකො "  කියල. ආයම ඔන්න අපි දෙන්නෙක් බයික් එකේ ඉගිල්ලෙනව.

ඔය ආර්.ඩී.එෆ්. එකේ වැඩ කරන එකේ පොඩි වාසියකුත් තියනව. මොකක්ද දන්නවද? අන්තිම මොහොත වෙනකල් කැෂුවල් පිට ඉන්න පුලුවන්. මට ඔය ටයි පොලු එල්ලගෙන ඉන්න එක නම් මරන්නා වගෙ.කොටිම්ම තවම මේ වළ පයයි ගොඩ පයයි වෙලත් මට ටයි පොල්ලෙ ඩබල් නොට් එක හරියකට ගහ ගන්ට බෑ. අපෙ උන්දැ තමයි මඟුල් ගෙවල්වල යනකොට මගෙ බෙල්ලට තොණ්ඩුව දාන්නෙ. මෙහෙ එද්දි මම කරන්නෙ ටයි හතර පහකට නොට් එක දාලම අරගෙන එනව. ඔය හිටපු ගමන් යන්ට වෙනවනෙ නිල උත්සව වලට එහෙම. එව්වට ටයි පොල්ල දාන්ටම වෙනව.

ඉතින් මම කලින් කිව්ව වගෙ ගෙවල් වල තියන මඟුල් ගෙවල්වල ඔය ආර්.ඩී.එෆ් එකේ සාමාජිකයෙක් උනහම අන්තිම මොහොත වෙනකල් පරණ ටී ෂර්ට් එකකුයි හම්පඩ ඩෙනිමකුයි ගහගෙන බාටා දෙකකුත් දාගෙන හිටියැහැකි.අපි ඉතින් එදත් ඔය අන්තිම මොහොතෙ කරන්ට තියෙන කුදු මහත් රාජකාරි කර කර එහාට මෙහාට කැරකි කැරකි හිටිය.අසෝකා තාමත් ඇවිල්ල නෑ. අජිතය උදේම ටයි පොල්ලකුත් එල්ලගෙන ලෝඩ් වගෙ එහාට මෙහාට යනව. 

" අම්මට උඩු... මුගෙ ලස්සන බලපල්ලකො. "

" හිහ්..අඩෝ අපි කැතයි කියලද උඹල හිතාගෙන හිටියෙ? බලපල්ල ලස්සන...හෙහ්..හෙහ්…"

" අසෝකා ඇවිල්ලත් නෑ නේද තාම?" මම ඕනවට එපාවට වගෙ ඇහුව.

" ඒ කෙල්ල උදේම ආව බං..අක්කත් එක්ක ගියා අන්දවන තැනට. දැන් එයි තව ටිකකින්…" 

කිව්වත් වගෙ ටිකකින් අසෝකා ආව. ලානිල් පාට ඔසරියක් ඇඳල..කොණ්ඩෙ බොහොම චාමෙට බැඳල. කරේ මාලයක් දාගෙන හිටිය. ඊට අමතරව වලලු තුන හතරක් තිබ්බ වමතෙ. එච්චරයි. 

" මොකද අනේ ඔය හැටි? " මම දැක්ක ගමම්ම ඇහුව.

" ඇයි මට මොකද වෙලා තියෙන්නෙ? " 

" නෑ නිකම් මේ ගහ වාගෙ..ඔහොමද වලව්වල කුමාරිහාමිල?. ඉන්ට එපාය මාල හතක් පලඳල, නළල් පටක් එහෙම දාල.." 

" අනේ මට මේ හොඳයි...ඔව්ව පටල ගත්තම මොකවත් වැඩක්වත් කරන්න වෙන්නෙ නෑ. අනික එව්ව පළඳින්ට තව කල් තියනව..හිහ්.." අසෝකා මා දිහා ඇස් කොණින් බලල හිනාවුනා. ගෑණු ළමයිගෙ ඔය ඇස් කොණින් බැලිල්ලට මම බොහොම මනාපයි. ඒකට වියත් භාෂාවෙන් කියන්නෙ මොකක්ද දන්නවද? කටාක්ෂ නිරීක්ෂණය.

" ඉතින් ඔයා දැන් ඔහොමද දිගටම ඉන්න යන්නෙ? " ඈ ඇසුවෙ මම ඇඳෙන උන්නු පරණ ඩෙනිමයි ටී ෂර්ට් එකයි දිහා බලල මූණ ඇඹුල් කරගෙන. 

" නෑ නෑ..වොෂ් එකක් කාරිය දාගෙන ඔය මොකක් හරි පිළිවෙලක් තියන ෂර්ට් එකක් පටලගන්ට ඕන. මේ ඒක නෙවෙයි ඔයා දන්නවද ටයි එකේ ඩබල් නොට් එක දාන්ට? " 

" හාපෝ..ඒකවත් දන්නෙ නැද්ද? " 

" දන්නෙ නැති හින්දනෙ හලෝ ඇහුවෙ…" 

" ඒකත් හරි තමයි..හරි කෝ ටයි එක? " 

මම අජිතයගෙ කාමරේ බෝල කූඩුවෙ එල්ලල තිබ්බ මයෙ නිල්පාට ටයි එක අරගෙන අසෝකා අතට දුන්න. ඒක ගන්ට ඈ මාලඟට කිට්ටු වෙද්දි ඇගෙන් හමාගෙන ආ විලවුන් සුවඳ මොහොතකට මාව මත්කලා. ඒ මගේ සුපුරුදු ජැස්මින් සුවඳ ......

ජීවිතේ අපි හිතන පතන දේවල් මේ එක මොහොතකින් සුන්නද්දූලි වෙලා යන්නෙ හිතාගන්ටවත් බැරි විදිහට. ඔහොම තමයි ජීවිතේ හැටි කියල ඔය කොච්චරවත් අනුන්ට බණ දෙසුවට තමන්ටම එහෙම දෙයක් වෙන්ටම ඕන ඒකෙ බැරෑරුම්කම තේරුම් යන්ට.

මොකක්ද මේ කියන්නෙ කියල හරියටම වටහාගන්ට බෑ වගේ නේද? හරි එහෙනම් සවිස්තරව කියන්නම්කො. ආය මොකටද අස්කොං ඉතුරු කරන්නෙ නැද්ද?

විවාහ මංගල්‍යෝත්සවයෙ වැඩ කටයුතු බොහොම සාර්ථකව කෙරීගෙන ගියා.අපිට ඉතින් ඒ හැටි වැඩක් තිබ්බෙ නෑ. අජිතයලගෙ මාමල , නැන්දම්මල, හීන් අප්පච්චිල, ලොකු අප්පච්චිල ඇතුලු සකල නෑදෑ සනුහරේම ඇවිල්ල හිටියනෙ. දෙවෙනි පරම්පරාවෙ ඉලන්දාරියො ගැටිස්සියොත් හිටිය ඇති පදම්. එවුන් තමයි ඔය කෑම බෙදන එව්ව, අඩුපාඩු ගෙනල්ල තියන එව්ව එහෙම කලේ බොහොම උනන්දුවෙන්. 

අපි ඉතින් ටයි පොල්ලත් බෙල්ලෙ එල්ලගෙන පොඩ්ඩක් ඔහෙ එහාට මෙහාට වෙවී හිටිය. මඟුල් ගෙවල් තමයි ඔය කෙල්ලෙකුට කොක්කක් ගහන්ට නියම තැන්.මොකද ඔතෙන්ට එන තෙල් ඉහිරිච්ච වයසෙ නාඹර කෙල්ලො කොල්ලො ඔක්කොම මඟුල් මූඩ් එකෙන් ඉන්නෙ. ඉතින් එහෙම දෙයක් සැට් කරගන්ට වෙරි ගුඩ් චාන්ස් එකක් තියනව. සම්භාවිතාව බොහොම ඉහළයි. 

අපේ යාලුවො අතර හිටපු ඒ වගෙ තනිකඩ කොල්ලො ඉතින් ඔය බව දන්න හින්ද කෙල්ලො අස්සෙ කොකු විසිකරකර කැරකුනා. මට ඉතින් ඒ ගැන ඒ හැටි උනන්දුවක් තිබ්බෙ නෑ. ඒ හින්ද පොඩ්ඩක් එකෙල මෙකෙල වෙවී ඉඳල මම ASAP ගෙයි පිටිපස්සෙ තිබ්බ දරමඩුවට Tactically Withdraw වුනා. අපෙ කට්ටිය එකතුවෙලා දරමඩුව ටිකක් අස් පස් කරල අතුපතු ගාල පුටු හත අටක් රවුම් කනප්පුවක් කාරිය තියල පිළිවෙලක් කරල තිබ්බෙ කලිම්ම.

තදනන්තරව කට්ටිය වටේට රැස්වෙලා සාදය පටන් ගත්ත.

කොහොමත් එදා එතන අපි මහවන මැද එකට වැඩකරන යාලුවො දහ දොළොස් දෙනෙක් වගෙ හිටිය. ඔය අතර බහුතරයක් අවිවාහකයො. එකෙක් දෙන්නෙක් වගෙ හිටිය මේ අලුත බැඳපු හාදයො. එහෙම එවුං ඔය යන්තමට දෙකක් තුනක් ඇණගෙන " මචං උඹල දැම්මම කන්නෙ නෑනෙ. අපි එහෙනං කනව. " කියල මාරු වෙනව. " හරි හරි බං පලයං බාර්යා තොමෝත් ඉන්නවනෙ. එහෙනං ගිහිල්ල දෙන්නත් එක්ක කාපල්ල. " අපි එහෙම කියල උන්ට සමුදෙනව.

එහෙම උන්ව යැව්වෙ නැත්තං වෙන්නෙ තව ටිකකින් උංගෙ බාර්යා තොමෝල උංව හොයාගෙන මෙහාට එනව. ඔහොම එනවට අපි කියන්නෙ පොලීසියෙං පනිනව කියල. එහෙම පොලීසියෙන් පනින එක මහම වාතයක් වෙනව.ඒ හින්දම බැඳපු එවුන් කොහොමහරි පුලුවන් ඉක්මනට පිටත් කරල යවන්ට අපි හැමවෙලේම ක්‍රියාකලා. අපිට ඉතිං වෙලාවක් කලාවක් තියන එකක්ය. යන්තමට සින්දුවක් දෙකකුත් කියාගෙන වැඩේ කරගෙන ගියා.

සමහර වෙලාවට අපේ ඔය ආතල් එක ඉවර වෙලා යන්තමට ගස් ගල් අල්ලගෙන කන්ට යනකොට මඟුල් ගෙදර බතුත් ඉවර වෙලා..හෙහ්,හෙහ්..එකපාරක් දෙණිපිටියෙ ( අර ගජමන් නෝන හිටියෙ . ආන්න එහෙ ) ඒත් අපේ එකෙක්ගෙ මඟුල් ගෙදර ගිහිල්ල මඟුල් ගෙදර කිව්වට ඒක හෝම් කමිං එක. අන්තිමට පහට විතර අපි කන්ට ලෑස්ති වෙනකොට බත් නෑ. හෙහ්..ආයම බත් උයන්ට උනා ඒ පාර. 

මනමාලිත් අනේ මඟුල් ඇඳුම එහෙම ගලෝල දාල  ගවුමක් පටලගෙන ඇස්වහක් කටවහක් නෑ කිසිම ගාණක් නැතුව කටපුරා හිනාවෙවී  ඇවිල්ල හාල් ගැරුව.අපි එතකල් කුස්සියෙ මිදුලෙ ( උංගෙ ගෙදර කුස්සිය වෙනම තිබ්බෙ, ඒ පැත්තෙ එහෙමයි. කුස්සිය වෙනම තියෙන්නෙ කටු මැටි බිත්ති සහ පොල් අතු වහල. උයන ගේ කියල ඒකට කියන්නෙ ) බිම ඉඳගෙන අතුරු මිතුරු සෙල්ලම කලා. හෙහ්..ආය මොනවද නෑදෑයො ගමේ උදවිය හිනාවෙවී බලාඉන්නවය කියල අපිට වගේ වගක් නෑ. උතුර දකුණ මාරුවෙන්ට වැදිලනෙ. 

අතුරු මිතුරු දඹදිව තුරු,
රාජ කපුරු සෙට්ටියා,

අලුත ගෙනා මනමාලී,
හාල් පතක් ගරාලා,
බටු කොරහක් කපාලා,
ඉහළ ගෙටත් බෙදාලා,
පහළ ගෙටත් බෙදාලා,

ඒ කාලෙ කරපු විකාර වල හැටියට ඔය කැමරා ෆෝන් එහෙම නොතිබිච්ච එක එක අතකට දාහෙන් සම්පතයි. අනික් අතට අපරාදෙ කියලත් හිතෙනව. ඒ අලුත ගෙනා මනමාලි දැන් ඉන්නෙ ජපානෙ. ඒ කිව්වෙ එයා තනියම නෙවෙයි මගෙ යාලුවත් එක්ක දෙන්නම දැන් අවුරුදු විස්සක් විතර සමුරායි දේශයෙ ඉන්නෙ. මම ඉඳහිටල කතා කරනව. උං දෙන්න තවම ඔය මඟුල් දවසෙ අතුරු මිතුරු සෙල්ලම ගැන කියල හිනාවෙනව....හෙහ්,හෙහ්,

මඟුල් ගෙවල්වල මළ ගෙවල් වල ගිහිල්ල කරපු දේවල්, වෙච්ච දේවල් තව තියනව අපෙ අම්මේ..... හරි ඉතිං මංගල සබාවත් පටන් ගත්ත ගෙයි මැද සාලෙ. ඔය ගම්වල ඉන්නවනෙ ඔය වගෙ මංගල මහ සබාවල කතාවක් නොකරම බැරි මිනිස්සු. ඒ වගෙ අය මයික් එක අතට ගත්තම මංගල මග සබාව ඇදෙනව පැයක් තරමෙ. ඔය පවත්වන කතා මේ ලෝකෙ මිනිහෙක් අහන්නෙ නෑ.ඒත් වැඩේ තමන්ගෙම කටහඬ අහන්ට ප්‍රියකරන මිනිස්සුන්ට මයික් එකක් අතට හම්බවුනාම ආයම ආපිට ගන්න එක බොරු. මංගල සබාවෙ කතා පවත්තනව අපි හිටපු දරමඩුවටත් අපූරුවට ඇහෙනව.

ඔය වෙනකොට දරමඩුවෙ සාදයෙ සාමාජිකයො හිටියෙ පස් දෙනෙක් විතර.හැමෝටම හොඳ ගාණට වැදිල. මත්පැන් තව තියනව බොන්ට. ඒත් පිස්සු හැදෙන වැඩේ කියන්නෙ බයිට් මොකවත්ම නෑ. මඟුල් ගෙදර ඉවුම් පිහුම් කලේ ඒ වැඩේටම ගෙන්නව ගත්තු ගෑණු දෙන්නෙකුයි ඉලංදාරි ගැටයෙකුගෙනුයි සැදුම්ලත් කණ්ඩායමක්. ඔය කාලෙ ගම්බද මඟුල් ගෙවල්වල බැදපු කුකුළයි කියන්නෙ සුවිශේෂී අංගයක්. මනමාලි නැතිවුනත් කමක් නෑ මඟුල් ගෙදර බැදපු කුකුළ ඉන්න ඕන මේසේ මැද බැබලි බැබළි, අන්න එහෙමයි දැනුම් තේරුම් තියන වයස්ගත ආච්චිල සීයල උනත් එක හෙලාම කියා හිටියෙ.

සෙනඟ වැඩි මඟුල් ගෙවල් වල අමුත්තො මඟුල් මේසෙ කන්ට වාඩිවෙන්නෙ තුන් හතර පාරකට. ඒ හින්ද ඉස්සෙල්ල වාඩිවෙන කවුරුත් ඔය කුකුළ කන්නෙ නෑ. එහෙම කරන එක පස්සෙ වාඩිවෙන අයට කරන අසාධාරණයක්ය කියල හිතල වෙන්න ඕන ටක්කෙටම. පස්සෙ වාඩිවෙන අය අඩේ කලින් ඉඳගත්තු එවුං මේකා නොකාපු එක අපි කන එක හොඳ මදිය කියල හිතල උං ඒකට අත තියන්නෙත් නෑ. අන්තිමට ඕකෙං මේකෙං වෙන්නෙ පිළිස්සූ සැවුලාණෝ තෙමේ නිරුපද්‍රිතව මංගල මේසය මත අවසානය දක්වා විරාජමානව වැඩ හිඳිනා එක.කොහොමහරි අන්තිමට හැමෝම ඔය කුකුළ දිහා බලාගෙන ඉඳල පව් පුරව ගන්නව මිසක කිසි කෙනෙක් ඌට අතක් වත් තියන්නෙ නෑ.

" සික්..බොන්..ට...තියනව....බයිට් තමයි නැත්තෙ? " අමරෙද කොහෙද කිව්ව.

" නිකම්ම ගහල දාමු බං " මම කිව්ව.

" බෑ බං ...මොකවත් හපන්ට නැතුව ගහන්ට නම් බෑ...උගුරත් එක්ක පිච්චෙනව වගෙ. මේ වීරෙ නැද්ද පපඩමක්වත් හොයාගන්ට? " මධු සාදයට බයිට් සැපයීමේ ප්‍රතිසම්පාදන අංශය භාරවෙලා තිබ්බෙ මට. ( ප්‍රතිසම්පාදන = Procurement )

" ම්හු..හැම තැනම බැලුව නෑ බං..අර උයපු අක්කල දෙන්නගෙනුත් ඇහුව. " 

කෑම ඉවිල්ලට ආපු මැදිවයසෙ කාන්තාවො දෙන්නට අක්කෙ, අක්කෙ, කියල මම කලින්ම උංව ෂේප් කරගෙන හිටියෙ. මොකද උංගෙන්නෙ බයිට් එහෙම ඉල්ලගන්ට වෙන්නෙ.

" හෙහ්, උඹ එක්ක බුදු ෆිට් නේද උං දෙන්න? " 

" ඔව් බං එහෙම අවුලක් නෑ. ඒත් දැං කෑම ඉවරවේගන යන වෙලාවනෙ. උං බයයි අන්තිමට තව කන්ට ඉඳලත් කෑම නැතිවුනොත් උං මේකෙ ඉඳල හමාරයිනෙ ඒ හින්ද. අනේ මල්ලි ආය නම් කිසි දෙයක් ඉල්ලන්ට එපා කියල කිව්ව. " 

" ම්හු, එහෙනං ඉතිං මදුපානෙ අතෑරල දාන්ට තමයි තියෙන්නෙ. " අමරෙ එහෙම කියල නැඟිට්ට.

නැඟිටල යන්ටත් ගිය මිනිහ මෙන්න දොර ගාව නැවතිල ආපහු හැරුනෙ නැද්ද? " ඒයි මචං නියම බයිට් එකක් නම් තියනව.." 

" කොහෙද බං? " 

" ඇයි බං අර මඟුල් මේසෙ උඩ බැබළි බැබළි ඉන්න කුකුල් රාජයා? " 



70 comments:

  1. ඔන්න මම එක.. දැන් ගිහින් කියෝලා එන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා...
      පවුරු බැදගෙන ‍සිතක වැජබුනු රසවතී නැ කොයි ගියා..

      මවා පියකරු සිහින සිතුවම් මතුකලා රසබර හැගුම්..
      දයාවන්තය යොවුන් සිතුවිලි රසකලා ඔබෙ නෙත් කැළුම්..

      අසිමත් ලෙස වැඩුනු දේදුනු කළුවලා පෙම් යට වුනා..
      මිහිරියාවිය අනේ දවසක ඔබේ හදවත ‍ගොළුවුනා..

      ආදරය එක අතක ප්‍රේමය තව අතක මා නැති වුනා
      සාගරය වැනි වේදනාවක අහෝ හිතවත තනිවුනා..

      ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආ..දරෙයි
      ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආ..දරෙයි

      ආ..දරෙයි...

      හෝ..හෝ.. .. අවුරුදු බර ගානකින් තිරිහන් උනා.. රවි අයියා.. එළ! :)

      Delete
    2. කළ්‍යාණ,

      හෙහ්, හෙහ්, බොලා ඒ කාලෙ කොටි බෝට්ටු වලට ගැහුවෙත් ඔහොමද බං?..ඉස්සෙල්ල ගිහිල්ල කියල එනව. " වනක්කම් අයියා, නාන් ඔන්රු ෂරියා ?, පොයිටි වාරෙන් " එහෙම කියල ආපහු එනව. දෙවනුව ගිහිල්ල තමයි උංට ගහන්නෙ..එහෙමද?

      Delete
    3. වැඩිය බරපතලක් නැති එකෙක්නම් ගිය ගමන්ම දෙකක් නෙලලා එනෝ.. එහෙම නෙවෙයි හොඳ කෝටියක් අහු වුනාම ටිකක් රහ කර කර තමයි වේඩි තියන්නෙත්.. හෙහ් හෙහ්..

      Delete
    4. කෝටියක් නෙවයි කොටියෙක්.. (නැත්නම් ජිනීවා යන්න වෙනවා තව පොඩ්ඩෙන්..)

      Delete
    5. රවි අයියෙ. මම එන්න කලින් මේ කල්යානෙ ඇවිත් කොමෙන්ට් කරලනෙ. අපරාදෙ මට එක වෙන්න බැරිවුනෙ. දැන් ඉතින් මොනව කරන්නද? පහලින්ම කොමෙන්ට් කරන්නම්.

      Delete
    6. හැක්... කසුනො, මීට පස්සෙ අහසෙන් එන්නැතුව මුහුදෙන් වරෙං.

      Delete
    7. මුහුදෙන් ආවනම් තවම මග. ඒකයි බං අහසෙන් ආවෙ. ඒත් බැරිවුනා නෙව.

      Delete
    8. ප්‍රසන්න,

      කිව්වත් වගෙ මම මේ කල්පනා කරන්නෙ කසුන් අහසෙන් ඇවිල්ලත් අර පරණ ඩෝරා කට්ටෙන් මූදෙන් එන කළණයා ඊට කලින් ඇවිල්ල නෙව...:)

      කසුන්,

      අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ,
      පෙළහර පාන්නයි තිස්පැය ගුවනේ සැරිසරන්නේ,

      Delete
  2. ඔය බැදපු කුකුලෙක් නිසා කිව්ව නේද කොස් කෙල්ල මිස් උනේ? ඒ කුකුලාත් මේ කුකුලාත් එකම කුකුලාද? ස්තූතියි රවි කොහොමහරි කොස් කථාවට සේන්දු උනාට.

    ReplyDelete
    Replies
    1. ///////ජීවිතේ අපි හිතන පතන දේවල් මේ එක මොහොතකින් සුන්නද්දූලි වෙලා යන්නෙ හිතාගන්ටවත් බැරි විදිහට.///////// තව මොනවා අහනවද ඉයන්? :/

      Delete
    2. ඉයන්,

      ඔව් බොලේ..එකම කුකුලා තමයි..එකම කුකුලා තමයි.. මේ ඌම තමයි, මේ ඌම තමයි...:(

      Delete
  3. මමත් හරිම ආසයි ගොළු හදවතේ කථාව ගැන කියන සිංදුවට. දම්මිගේ රාගික නොවන ප්‍රේමය (Platonic love) ගැන සුගත්ගේ වැරදි වටහා ගැනීම.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      / දම්මිගේ රාගික නොවන ප්‍රේමය (Platonic love) ගැන සුගත්ගේ වැරදි වටහා ගැනීම. /

      දම්මිගෙ තිබ්බෙ එහෙම ප්‍රේමයක් කියල මටනම් සීයට සීයක් එකඟ වෙන්න බෑ. මගෙ ගාව මේ වෙලාවෙ ගොළු හදවත පොත නැති හින්ද උදාරණ දෙන්න නම් අමාරුයි ඒත් සුගත් කෙලින්ම නොකිව්වට දම්මිට එයාගෙ හිතේ තියන ආදරය ඇඟවෙන විදිහෙ ඉඟි දෙනව. ඒත් දම්මි එව්ව තේරුණේ නෑ වගේ ඉන්නව. මම හිතන්නෙ දම්මිගෙ හිතෙත් සුගත් ගැන ආදරයක් තිබ්බ. ඒත් එයා ඒක යටපත් කරගත්ත.

      මේ මම අවුරුදු හතරකට ඉස්සර කේමදාස මාස්ටර් ගැන ලියපු සටහනක්. - ගොළු හදවතින් තුන්වන යාමයට - අප්‍රකාශිත ආදරයේ ශෝකාන්තය - The eternal torment of unexpressed love.

      Delete
  4. ඊළඟ කොටහෙන් පටස් ගාල ඉවර කරල දාපං.උඹට තව වැඩ මහ රාසියක් තියෙනවනෙ.මේ අං කොං තියාගෙන එක හිතකින් ඒවට බහින්න බෑනෙ.අර ප්‍රොකියුමන්ට් කියන වචනෙ සිංහලෙන් කියවෙන්නෙ ප්‍රසම්පාදන කියලයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      නෑ බං, ප්‍රසම්පාදන = Tendering

      Tendering & Procurement දෙක වෙනස්.

      Delete
  5. රවි අයියෙ හරි එහෙනම් කුකුලත් අරගෙන ආවනම් ඉතුරු ටිකත් බීල ඉවර කරන්න.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      එහෙනම් එහෙනම් බොන්න ඕන බොන්න ඕන..ඔය කුකුළා ඇවිල්ල එසේ මෙසේ කුකුළක් එහෙම නෙවෙයි . මගෙ ජීවිතේ වෙනස් කරපු කුකුළෙක්..:)

      Delete
    2. කසුනට ගල් බෝතල් දැක්කත් වැදෙනවා,ඉන් අහසින් තමයි යන්නේ.අමද්‍යප සෙට් එකම කලින්ම ඇවිත් වගේ.

      Delete
  6. ඉතිං මේසේ උඩ තිබුණ කුකුල් රාජයාට කෙළියැයි? හනේ ඒ දවස්වල අතිශය රහසිගතව යුද්ද බූමියට ගෙන්නා ගන්නා එව්වට මොන බයිට් ද? අමුවෙන්ම ඇදලා අරිනවා කොළබොක්ක පුච්චගෙන බහින්ඩ. ඔන්න එතකොටනං හතුරෙක්ව බයිට් එකට ගත්තැකි.

    හප්පෝ ආමි එකේ RDF එක එක අතකට හොඳයි. මැරෙන්නේ එක පාරයිනේ. මගුල් ගෙදරක RDF එක එහෙමද? මොකක්හරි වැඩක් වැරදුනොත් ජීවිතේ පුරාවට මතක්වෙන හැම වෙලේම බනිනවා උඹ තමයි එදා වැඩේ වැරැද්දුවේ කියලා.

    හැබැයි දැන් LRRP එක .50 අරන් යන්නේ නෑ. වෙන බඩු තියනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      / හනේ ඒ දවස්වල අතිශය රහසිගතව යුද්ද බූමියට ගෙන්නා ගන්නා එව්වට මොන බයිට් ද? අමුවෙන්ම ඇදලා අරිනවා කොළබොක්ක පුච්චගෙන බහින්ඩ. /

      හෙහ්,හෙහ්, එහෙනම් එහෙනම්..මට විස්වාස කටයුතු ආරන්චියක් ආව විචා යුද්දෙ කාලෙ නිකම්ම ගහපුවට හිලව් වෙන්ට දැනුයි බයිට් එකට වගකියන්නෙ කියල….:)

      Delete
  7. අපිත් ඉතින් තනිකඩ කාලේ වෙඩින්,මලගෙවල් වගේ තැන්වල කල්මැරැවා.දවසක් අපේ එකෙක්ට හොදටම වැඩි වෙලා මනමාලිටයි මනමාලයටයි දනගහලා වැන්දා.කෙහොමින් හරි ටිකක් වෙලා ගියා මිනිහා ආගිය අතක් නැ.අපිත් හෙව්වා ඇත්තේ නැ.අපි හිතුවා හොදටම වැඩිවෙලා හින්දා ගෙදරවත් යන්න ඇති කියලා.පස්සේ අපේ එකෙක් වෙරිමරගාතෙම ටොයිලට් එකට ගිහින් ඇවිත් කිවුවා මචං අන්න අරෑ හොදටම කබරයා දාලා ටොයිලට් එක ඇතුලේ ගුලි ගැහිලා නිදි කියලා.අපි ගිහින් හරි අමාරුවෙන් එලියට ගත්තේ.

    ReplyDelete
    Replies
    1. මනෝ,

      එහෙම මතක සටහන් තියනව අනන්ත අප්‍රමාණ...." මධු පානයෙන් ඉක්බිති " කියල වෙලාවක ඒ ඔක්කොම ගැන ලියන්ට ඕන...:)

      හුළඟෙ ගිය පපඩම් පස්සෙ පන්නල පයින් පාගල නවත්ත ගත්තු සීන් එකකුත් තියනව..හෙහ්...මම එහෙම නෙවෙයි හොඳද?

      Delete
  8. හැක්.. කොච්චර පොලීසියෙන් පැන්නත් අපිනං නැගිටියි ඔය තැන්වලින්.
    දැං මේ පිළිස්සූ කුකුළයි, කොස් කපන ගෑනු ළමයයි එක ට්‍රැක් එකට ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව.
    ඊට පස්සෙ ඉතිං අයියෙ උඹල කෙලිය කුකුළට. අන්තිමට හතරගාතෙන් ගිහිල්ල කුකුළගෙ ගාත් දෙක දුන්න ජෝඩුවට. එතනිං අසෝකා - රවී ආදර අන්තරය හබක් උනා.

    ReplyDelete
    Replies
    1. අන්තරය නෙමෙයි අන්දරය.

      Delete
  9. කොහොමත් ඊලඟ එපිසෝඩ් එකෙන් කොස් කෙල්ලගෙ ආදරේ ඉවරයි. රවි දාන්න ඉස්සෙල්ල ප්‍රසන්න වගේ අපේ වර්ශන්ස් දාමු.

    මෙන්න මගේ එක. රවී ගිහිල්ල රෝස්ට් කුකුලා මේසෙන් ගන්නකොටම අසෝකා ආවා "ආනේ එපා මෙයා" කියාගෙන. තුන්කාළට වැදිල හිටපු රවී පෙට්ටගම් දැවැද්ද අමතක කරල කුකුල අතින් ගන්නකොටම අසෝකා කුකුලගෙ අඬුවකින් අල්ලගෙන ඇද්ද. "ඔයාට පෙට්ටගම ගැන ආසාවක් තියෙනවනනම් කුකුල අතාරින්න" කියන ගමන්. කුකුල් අණ්ඩ කඩල අතට ආපු අසෝකා ඇදපු වේගෙට නැවතුනේ කෑම මේසෙ උඩ. දැන් රවීට අප්සෙට් මොකද අසෝකව මේසෙන් බස්සන්න නම් කුකුලව අතාරින්න වෙනව. ඉතින් රවී විනාඩි දෙකක් විතර කුකුල දිහා බලනව, අසෝකා දිහා බලනව කල්පනා කරකර කුකුලද අසෝකද , අසෝකද කුකුලද කිය කියා. අර ක්‍රිශ් කිව්ව වගේ මේක එයාගේ මුළු අනාගතයම ගැන ප්‍රශ්ණයක්.

    රවී ඔක්කොම විශ්ලේශණ ඥාණය සහ වසර ගණනක ජීවිතයත් මරණයත් අතර වගේ ප්‍රශ්ණ අති සාර්ථකව විසඳීමේ පලපුරුද්ද ආදිය පාවිච්චි කරකර හිතනකොට මඟුල් ගෙදර සාලේ සින්දුවක් යනවා " ගෑණු ඕන තරම් ලෝකේ හරිම කරදරේ, එක කුකුලයි ඇත්තෙ අපට එයයි ආදරේ" කියල. ඒ දෛවෝපගත සිංදුව ඇහිච්ච ගමන් රවියි කුකුලයි දෙන්න ජාති ජාතිත් පතාගෙන ආපු විදිහට කෙලින්ම මතු වුනේ අරක්කු බෝතල් ටික ගාව. අසෝකා මේසෙන් බැහැල පෙට්ටගම ඇතුලට බැහැල හැංගුනා. එලියට ඇවිල්ල තියෙන්නෙ රවී ගේ යාලුවගෙ හනි මූන් එකත් ඉවරවෙලා.

    ReplyDelete
    Replies
    1. පට්ට කමෙන්ට් එක ඉයන්. උඹව කමෙන්ට් චක්‍රවර්තී 2015 තනතුරට යෝජනා කරනවා.

      Delete
    2. පට්ට කමෙන්ට් එක බං.
      ඉතිං එදා ඒ අණ්ඩ නැති කුකුළත් එක්ක බීල වෙරි වැඩි වෙලා සිහි නැතිවෙච්ච රවිය නැගිට්ටෙත් යාලුවගේ හනිමූන් එකත් ඉවර උනාට පස්සෙ. ඒ වෙනකොටත් මිනිහට මතක තිබුණ බයිට් එකට ගත්ත කුකුළගෙ එක අණ්ඩක් අඩුවෙන් තමයි තිබුණෙ කියල. අසෝක නං මොනවද, අර කුකුළ් අණ්ඩ නැතුව වැඩේ හරියාකාරව අවසන් කරන්න බැරි උනයි කියන හිතේ සංතාපය රවී ව පෙළාගෙන තිබුණෙ. නැගිට්ට වහාම රවී ගිහිල්ල අජිතයට කිවුව මට අසෝකවත්, පෙට්ටගමවත් ඕන නෑ බං අර එදා අසෝක ඇන්න ගිය කුකුළ් අණ්ඩ තිබුනොත් හොඳටම ඇති කියල. ඊට පස්සෙ වෙච්ච දේ බොහොම ඛේදජනකයි. මෙච්චර කාලයක් තිබ්බ යාලුකං ඔක්කොම අමතක කරල අජිතයගෙ ගෙදර කට්ටිය රවීට හොඳ සංග්‍රහයක් කරල ආපහු සයිට් එකට එවුව. ඔන්න ඔහොමයිලු පිළිස්සූ කුකුලෙකු නිසා රවී ට කොස් කපන කෙල්ලගෙ ආදරය අහිමි උනේ.

      Delete
    3. ඉයන්, හෙන්රි සහ ප්‍රසන්න,

      අඩේ..බලාපල්ල බොලා එකතුවෙලා කොරපු අසමජ්ජාති වැඩේ. මයෙ ප්‍රේමණීය වූ අතීතයේ එක් අවාසනාවන්ත, දෛවෝපගත, ව්‍යාතිරේකමය, අනුවේදනීය, තෙජෝබලපරාක්‍රමාන්විත, කාර්ය බහුල, සදානුස්මරණීය සිද්ධියක් නේද බොලා මේ නිකන් දෙකේ කොළේට දාල කතා කරන්නෙ? ඉතාම ශෝචනීයයි!, අවක්ෂේපිතයි!! සූතිකාන්විතයි!!!

      Delete
    4. ඩූඩ් , ප්‍රසන්න තැන්ක් යූ වේවා. රවි මොනවද බං මේ මහප්ප්‍රාණ සංගිස්කුරුත වචන. මම නම් දන්නේ ඔය භෞමික අඛන්ඩතාවය, උන්ඪුක පුච්චය, ඒකීය සංකල්පය, බටහිර කුමන්ත්‍රණ වගේ වචන සෙට් එක විතරයි. වීරවංශයා කියල තියෙනවා උන්ඪුක පුච්චයත් බටහිර කුමන්ත්‍රණයක් කියල. ඒකයි ඒවත් දැනගත්තේ.

      Delete
    5. බොලාටනං මොකද රවී අයියෙ, ඊයෙ පුච්චපු කුකුළට අද හවස වෙනකොට වැඩේ දීල ඉවරයි. ඒත් අපි මේ කුකුළ කන්න අවුරුදු එකහමාරක් විතර බලා හිටිය මං හිතන්නෙ.

      Delete
    6. මේ වගේ කමෙන්ට් දාන්න අඹ කොටයක් ,ලගවත් තියෙන්න ඕනෙ.

      Delete
    7. ඒ කියන්නේ අඹ ගහක් කපල ගන්න කොටයක්?

      Delete
    8. සූටික්කාOctober 12, 2015 at 10:22 PM

      //එහෙම උන්ව යැව්වෙ නැත්තං වෙන්නෙ තව ටිකකින් උංගෙ බාර්යා තොමෝල උංව හොයාගෙන මෙහාට එනව. ඔහොම එනවට අපි කියන්නෙ පොලීසියෙං පනිනව කියල. එහෙම පොලීසියෙන් පනින එක මහම වාතයක් වෙනව.//

      අපි නං කියන්නේ (එහෙම කිව්වට මම නෙමේ, කම්මලා වගේ බවලත් උදවියට බය අය) ඕකට නඩුකාර උන්නාන්සේ එනවා කියලා ..... අමුලික ඇත්ත...... රවී අයියේ.... අහල බලපං කම්මලාගෙන් ..... ඕකා දැන් නොකිව්වට, ඕව හොඳට දන්නවා.....

      Delete
  10. අපොයි දෙයියනේ.. මේ කතා සීරීස් එක කියවගෙන එනකොට මට හිතුනේ අර ඉවානයගේ සුරංගා වගේ සීන් එකක් වෙන්න ඇති කියල. අසෝකා කුකුලෙක්ව රෝස්ට් කරනව දැකල අයියට එපා වෙන්න ඇති කියල. මේක කිරිමේල් වැඩක් නේ. හැබැයි හිත ගත්ත ලලනාවක් ලඟපාත ඉන්නකොට නැති ගට්සුත් ඇති වෙනවා තමයි :) ..

    ReplyDelete
    Replies
    1. kool fire,

      / අසෝකා කුකුලෙක්ව රෝස්ට් කරනව දැකල අයියට එපා වෙන්න ඇති කියල. මේක කිරිමේල් වැඩක් නේ. /

      නෑ..නෑ..එහෙනමනම් දුකක් නෑ බන්. මේක කිරිමෙලක් කියන්නෙ මගෙ ජීවිතේටම බලපාපු කිරිමෙලක්...:)

      / හැබැයි හිත ගත්ත ලලනාවක් ලඟපාත ඉන්නකොට නැති ගට්සුත් ඇති වෙනවා තමයි :) ../

      එහෙම ලලනාවො ලඟපාත ඉන්නකොට ගට්ස් එන එකේ එච්චරම අවුලක් නෑ. දෙකක් දාගත්තම එන ගට තමයි කාල ඉන්ට බැරි...:)

      Delete
  11. අර බොන තැන ඉන්න බැඳ්පු එවුන් ඉන්නවා නේද. පව් බං උං එක අතකට. උං ඉන්නේ දෙලොවක් අතර.

    ඔය වගේ මේ බොහොම මෑතකදි කසාද බැඳපු පොරක් ඔය ප්‍රශ්ණෙට මූණ පාලා ඇඹරි ඇඹරි ඉන්නව. ඒ කියන්නේ පොර වයිෆ්ට පණ ඇරලා ආදරෙයි. නමුත් උඹ වගෙ අර කට්ටිය එක්ක සෙට් වෙන්න විදියක් නැතුව නිකං ඇඟට උණ වගේ.
    ඉතිං පොර ටී ෂර්ට් එකක් ඔලුවෙන් දාන් ගමන් කියනවා වයිෆ්ට, “රත්තරං, මම පට් ගාලා ආපහු එනවා ඈ.”

    "අනේ ඔයා කොහෙද යන්න හදන්නේ රත්තරං," වයිෆ් අහනවා.

    “මම බාර් එකට පොඩ්ඩක් දුවල එන්නම් වස්තුව” පොර කියනවා. "මම බියර් එකක් ගහලා එන්නම්."

    "අනේ ඔයාට බියර් එකක්ද ඕනෙ පැටියෝ?" කියන වයිෆ් ෆ්‍රිජ් එක ඇරලා පෙන්නනවා. යකෝ ඒකෙ තියෙනවා රටවල් දොලහකින් ආපු බියර් ජාති විසි හතරක් . කාල වරෙංකෝ.

    පොරට "ඇහ්" ගෑවෙනවා විතරයි. මේකට කියන්න දෙයක් හිතාගන්න බෑ. පොර අන්තිමේදි හිතලා හිතලා කියනවා "ඒ වුනාට මගෙ රන් කඳ, බාර් එකේ චිල් කරපු වීදුරුවලට දාලනෙ බියර් දෙන්නේ. ඒ හන්දා මම ටාර් ගාලා..."

    "ඔයාට චිල් කරපු වීදුරුද ප්‍රශ්ණේ, වස්තුව?" කියන වයිෆ් ‍ෆ්‍රීසර් එක ඇරලා ගන්නවා ලොකූ මග් එකක්. ඒක කොච්චර සීතලද කිව්වොත් ඒක අතට ගත්තාම පොරගෙ ඉනෙන් පහලටත් දැනෙනවා හිරිවැටීම. පොර දැන් සුදුමැලි වෙලා.

    "හරි හරි මගෙ සූකිරි බෝලෙ," පොර කියනවා. "ඒ වුනාට බාර් එකේ හොඳ බයිට්ස් තියෙනවා. මම පොරන්දු වෙනවා. මම ගියා දෙකක් වනාගත්තා ආවා."

    වයිෆ් හිනාවෙනවා. "බයිට්ස්ද අනී ප්‍රශ්ණේ? ඕං බලන්න," කියන ගෑණි අවන් එකේ දොර ඇරලා පෙන්නනවා. හප්පට සිරි යකෝ! නැති දෙයක් නෑ. "බැදපු කුකුල් ත‍ටු වල ඉඳලා බයිට් වලට මොනවද ඕනෙ ඒ හැමදේම තියෙනවා.

    දැං මචං උඹයි මමයි නම් කට වහගෙන දැන් ඔතනම ඉඳගෙන බියර් එකක් ඇරගෙන බොන්න ගන්නවනේ. මේ ගොනා එහෙම කරන්නේ නෑ. මූට තියෙන්නේ පුදුම ඕනෙ කමක් අර පව් කාර යාලුවෝ එක්ක සෙට් වෙන්න. මූ අන්තිම තුරුම්පුවත් ගහනවා.

    "ඒ වුනාට මගේ මැණික, බාර් එකේදි අපි යාලුවෝ සෙට් වුනාම අපි ආතල් එකට කුණුහරපයක් දෙකක් කියලා..."

    "ආආආ... එහෙම කියන්නෙපෑ. දැං මගෙ සත්තලංට කුණුහරපද ඕනෙ?" කියන ගෑණි ඔන්න කෙලින්ම ගියර් ට්‍රැක් මාරු කරනවා."

    "මෙ අහපං *$^%පුතා, තොගෙ අම්මට *&^ගන්නේ නැතුව කට වහගෙන ඔන්න ඔතන ඔහොම ඉඳගනිං. ආ දැං ගනිං බියර් එකක් මගෙං මැරුං නොකා. තොට බයි‍ටුත් ඕනෙ නම්..(You guys fill in the blanks with the suitable words and phrases)."

    ඊට පස්සෙ එයාලා හුඟාක් කාලයක් සතුටින් ජීවත් වෙනවා. ෂෝයි නේහ්?

    මට නං තනි ඇහැට ඇඬෙනවා. උඹට කොහොමද දල්ලෑ?

    ReplyDelete
    Replies
    1. I can't stop laughing. This helped me to get out of bed in the morning. Thamk u.

      Delete
    2. මිනිහ ඒත් අරින්නෙ නෑ.
      ''ඒ උනාට මගෙ මැණික එතන පිරිමි කට්ටිය හතර පස් දෙනෙක් ඉන්වනෙ.''
      ''ආආආ... එහෙම කියන්නෙපෑ. දැං මගෙ සත්තලංට පිරිමිද ඕන'' කියල එක කාමරේක දොර ඇරියලු. මෙන්න ඒක ඇතුලෙ පිරිමි පස්දෙනෙක් විතර ඉඳල එලියට ආවලු.

      Delete
    3. හෙන්රි,

      හෙහ්..මරු කතාව....

      / තනි ඇහැට ඇඬෙනවා /

      තනි ඇහැට ඇඬෙනවා, වම් කණෙන් කඳුළු ගලනවා....හෙහ්,හෙහ්,

      තනි ඇහැට ඇඬෙනවා කියන කතාවෙ තේරුම මල්ලි උඹ දන්නවද?...:)

      අලුත බැඳපු ජෝඩුවක් ගැන තව කතාවක් මේ....මේකත් අර පරිවර්තනය කරන්ට අමාරු කතාවක්.

      Jack was going to be married to Jill, so his father sat him down for a little fireside chat.

      "Jack, let me tell you something. On my wedding night in our honeymoon suite, I took off my pants and handed them to your mother, and said, "Here, try these on."

      So, she did and said: "These are too big, I can't wear them.'"

      So I replied: "Exactly. I wear the pants in this family and always will." Ever since that night we have never had any problems."

      Jack thought that might be a good thing to try. So on his honeymoon he took off his pants and said to Jill: "Here try these on."

      She did and said: "These are too large, they don't fit me."

      So Jack said: "Exactly. I wear the pants in this family and I always will, and I don't want you to ever forget that."

      Then Jill removed her pants, handed them to Jack and said: "Here, you try on mine."

      He tried and said: "I can't get into your pants."

      So she said: "Exactly. And if you don't change your attitude, you never will."

      Delete
    4. ප්‍රසන්න,

      තෝ නම් කොටදෙනියාවෙ පොලීසියට බාර දෙන්නයි වටින්නෙ....හිනාවෙලා පණගියා බන්. මම ඔය කෑල්ල අහල තිඋනෙ නෑ

      පලි - සුප්‍රසිද්ධ ලේඛකයෙක් හිටියා එතුමා ලියන්නෙ තිඋන කියල. කවුද කියල මතකද?

      Delete
    5. ජැක්ටයි ජිල්ටයි ඔහොම කෙලිමයි වෙන්නේ. උඹ කිව්ව වගේම පරිවර්තනය කරොත් ඝාතනය වෙන තව කතාවක් තියෙනවා ජැක් සහ ජිල් ගැන. ඒක පරිවර්තනය කරන්න බැරි lay off/ lay/ jack off /Jack කියන වචන හන්දා

      මෙන්න මේකයි වුනේ.

      Jack and Jill worked in the same company. Jill was the secretary to the boss. One day boss said,

      "Jill, I'm sorry but I have to lay you or Jack off."

      "You'd better jack off," Jill said."I gotta splitting headache."

      Delete
    6. පලි: @ප්‍රසන්න උඹේ නිර්මානාත්මක හැකියාවට මෙන්න ගැහුවා සැලූට් එකක්. උඹ බ්ලොග් ලියලා හැකියාව මොටකරගන්නේ නැති එක හොඳයි අපිවගේ.

      @රවි. මොකක්ද මචං තනි ඇහැට ඇඬෙන කතාවෙ පසුබිම?

      Delete
    7. Ano. Thank you very much. Sorry for the delay in thanking.

      Delete
    8. Dude,

      A single eye that cries (though not always, mind you )…. think about that ..I am sure you would get it…..:)

      Delete
  12. Hi Ravi

    Thank you for a very entrtaining article. No one can come closer in terms of writing skills. Only other person who might be in same class with you is Thilakasiri Ekanayaka. WHY don't you publish as he has done ?
    Can you tell me how to post in sinhalese please ?
    Keep up the good work

    Thusitha

    ReplyDelete
    Replies
    1. Thusitha,

      / Only other person who might be in same class with you is Thilakasiri Ekanayaka. /

      Thanks so much for your commendation although I am not sure whether comparing my writing to Tilak's is justified. In my opinion he definitely is in a different plane when it comes to creative writing.

      / WHY don't you publish as he has done ?/

      Well regarding your suggestion about publishing... let's see…eh?

      / Can you tell me how to post in Sinhalese please ? /

      Actually there are several methods to write in Sinhala. I am using " Sinhala Unicode Converter "

      I have heard that it's somewhat difficult but I am used to it and am comfortable with it.

      You can click on the link below and instruction are there on how to write in Sinhala.

      Sinhala Unicode Converter

      Delete
  13. රවි, හරිම ආසාවෙන් කියෙව්වෙ. රස්වත් සිද්ධි මේවාගෙ ලියල කෙනෙක් ගෙ මනස සුවපත් කරන එකත් ලොකු පිනක්. ඔක්කොටම වඩා මේ කමෙන්ටු ටික බලලා හිනා උනා. ස්තූතියි! හැමෝටම.

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      ඔබටත් ස්තූතියි ප්‍රතිචාරයට....:)

      ඒ එක්කම ආදරණීය මලීෂා බොහොම අපූරුයි කියලත් කියන්න ඕන...:)

      Delete
  14. ඔය ඉස්සර මගුල්ගෙවල් වල කුකුල මේ දැන් වගේ ග්‍රෑම් අටසීයෙ පරෙය්යෙකෙ නෙමේනෙ, හෙන පත කුකුලෙක්නෙ.

    අර ගල්කිස්සෙ හෝටලෙත් ඉස්සර මගුල් මේසෙ සැලඩ් ක්ණ්නාඩියට එහා පැත්තෙන් මේන් කෝස් එක පටන්ගන්න තැනම තියනව තඩි රෝස් කුකුලෙක් මාලු බාන විදිහට හදල. අනේ ඌත් හවහට කුණු බාල්දියෙ.

    මටත් ඔය මගුලක බීල කෙල්ලෙක් නැති උනා ( මට ඉතින් වැඩිපුරම තීන්නෙ කෙළ උන සීන්මනෙ ). පස්සෙ හම්බුන කෙල්ල නිසා මගුලකදිවත් බොන්න නැති උනා.

    ReplyDelete
    Replies
    1. Indika,

      / මටත් ඔය මගුලක බීල කෙල්ලෙක් නැති උනා ( මට ඉතින් වැඩිපුරම තීන්නෙ කෙළ උන සීන්මනෙ ). පස්සෙ හම්බුන කෙල්ල නිසා මගුලකදිවත් බොන්න නැති උනා. /

      හෙහ්..මරු කතාව ඒක. මට මතක් වුනේ මහදැනමුත්ත මුට්ටියෙ ඔලුව හිරකරගත්තු එළුවගෙ ප්‍රශ්ණෙ විසඳුව හැටි.

      Delete
  15. //ඔය අව්ව වැස්ස රේස් දුවන එක පස්සර තරමටම පැහැදිලිව නොවුනත් අපෙ භාර්යා තොමෝලගෙ ගෙවල් පැත්තෙත් දකින්ට පුලුවන්//

    රවි දන්නවද නරියගෙ මඟුල කතාව ලංකාවට විතරක් අයිති එකක් නෙමෙයි කියල.
    https://en.wikipedia.org/wiki/Sunshower

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි කතන්දරේ ලෝකෙ පුරා පැතිරිච්චි එකක්ය කියල මම දැනගෙන හිටියෙ නෑ.

      මුලු ලොවටම වත්මනෙහි දියුණුවෙහි අගතැන් ගන්නේයයි පිළිගනු ලබන අවරදිගුවන්හට පවා ශිෂ්ඨාචාරය, සභ්‍යත්වය නොමසුරුව ලබා දුන්නේ ඒ දුරාතීතයේ අප හෙළ විරුවන් බව පැවසූ කල මගේ ඒ වදන් විසුළුවට බඳුන් කල නැණහීනයිනට ඒ ම්විසින් පැවසූයේ පරම සත්‍යයක් වගට තවත් සාක්කියක් ඉදිරිපත් කිරීමටයි මගේ මේ වෑයම.

      අව්ව සහ වැස්ස එකම වර මිහිකත මත පතිතවන කල අප කුඩා කල බොහෝ සතුටින් ඉපිලෙමින් මිදුලට පැන නටන්නට වූවා මට තවම මතකයි. එසේ රැඟූයේ නිකම්ම නොව ගීතයක්ද ගයමිනුයි. " අව්වයි වැස්සයි නරියගෙ මඟුලයි " ඒ එසේ එදා අප ගැයූ ගීතයයි.

      ඔබ දැනසිටියාද ලොව බොහෝ රටවල මීට සමාන ජන කථා, ජන ගීත ආදිය පබැඳි ඇති බව. බන්ග්ලා දේශයෙහි, ඇල්ජීරියාවෙහි ජපානයෙහි, පුරන්සයෙහි,ජරුමනියෙහි, බරසීලයෙහි, නේපාලයෙහි කොරියාවෙහි ඈ බොහෝ රටවල අව්ව සහ වැස්ස එක්වර පතිත වීම හැඳින්වෙනුයේ නරියාගේ මඟුල හෝ ඒ ඒ දේසයට උචිත අයුරු වෘකයාගේ , ව්‍යාඝ්‍රයාගේ වළසාගේ හෝ දිවියාගේ මඟුල ලෙසයි. ඉතින් සිතන්න.. කෙලෙසද මෙවන් එකිනෙකට බොහෝ සමාන ජන කථාවන් ලොව පුරා නන් දෙසින් අපට අද අසන්නට ලැබෙන්නේ?..ඒ වෙන කිසිවක් නිසා නොව ඒ සියලු ජනකථාවන් එකම මූලයකින් බිහිවූ නිසයි. ඒ මූලය වනාහී අන් කිසිවක් නොව මේ අපේ හෙළ දෙරණයි. තුන්හෙළයෙන් පැනනැඟී දියත සිසාරා හෙළ සභ්‍යත්වය බෙදමින් දිග්විජය කල අප අසිරිමත් පුරාණ මුතුන්මිත්තන්ගේ වික්‍රමයන්ට තවත් නම් සාක්ෂි කුමකටද?

      රාජකීය ආසියාතික සමිතියෙහි මීළඟ වාර්ෂික සැසිවාරයට මේ පිළිබඳව සවිස්තර පර්යේෂන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නෙමි.

      Delete
    2. බොහොම හොඳයි රවිනදුන් විරුසිහ සූරීන්.

      නිකං ඉන්න එකේ රාවණා මැද පෙරදිග තෙල් ආකර ටැප් කරපු එකත් ලියන්න.

      සවුදි කියන්නෙ හෙළ ලියන් ගෝල් දේශයේ කැලේ Calais ට දර එකතු කරන්න දඬු මොනරෙන් යනකොට ට්‍රාන්සිට් ෆ්ලයිට් එක එනකම් ඉන්න ගමන් සව් බීපු ස්ථානය කියල හෙම දන්නව ඇතිනෙ

      Delete
    3. දඬු මොණරෙට පෙට්‍රල් ගහගෙන දර එකතු කරන්න නොගොහින් ඒ පෙට්‍රල් වලින් පත්තුවෙන ලිපක් ගැන හිත හිත ඉන්නකොට තමයි රාවණාගේ ශෝෆර් ගෙ යාළුවෙක්ගෙ ඔළු ගෙඩියට මොකද්ද වැටිල ලෝකේ පෙරෙලෙනව කියාගෙන දුවල තියෙන්නෙ.

      Delete
    4. එම්බා ඉයනයනි,

      / දඬු මොණරෙට පෙට්‍රල් ගහගෙන …/

      තොප රාවණ අධිරාජයාගේ ( ශ්‍රී සවස්ති සිද්ධම්!! ) යුගයේ විද්‍යා සහ තාක්ෂණ දියුණුවේ මහිමය පිළිබඳව කිසිවක් නොදන්නා බැව් පැහැදිලි හෙයින් තොපට සමාධිය භජනය කරමි. එදවස ශ්‍රී රාවණයින්ගේ දඬු මොණර අහස් යානය ගුවනේ පියාසර කලේ දීන හීන අවරදිගුවන් පෙට්‍රල් සොයාගැන්මට වසර දස දහස් ගණනකට පෙර අපගේ ශ්‍රී රාවණ අධිරාජයාණන් තම නැණ මහිමයෙන් සොයාගත් රසදිය ප්‍රතිගුරුත්ව රොකට්ටු තාක්ෂණය මඟිනි ( Mercury Vortex Engine )

      මේ පිළිබඳව වසර තුනකට පමණ පෙර ශ්‍රී රාවණ අධිරාජයන්ගේ කීර්තිය යලි උත්ථානය කිරීම උදෙසා මහඟු මෙහෙයක් කරමින් වර්ගපූර්ණිකාව නමින් වියුණුවක් පවත්වාගෙන ගිය ආචාර්ය මීවනපලානේ ජයරත්න තුමා බොහෝ කරුණු ඉදිරිපත් කර ඇත. කරුණාකර ඒ හොඳින් කියවා බලා ඔබගේ මෝහාන්ධකාරය දුරුකොට බැතිමත් රාවණ අනුගාමිකයකු වන්න.

      ශ්‍රී රාවණ සිද්ධම්!!!

      Delete
    5. රවි,

      //වර්ගපූර්ණිකාව නමින් වියුණුවක් පවත්වාගෙන ගිය ආචාර්ය මීවනපලානේ ජයරත්න තුමා //

      මං කියවල තියනව ටිකක්. මං කමෙන්ට් කරන කලෙ ඒක නැවතුන එකට දුකයි.
      පෝස්ට් tongue in cheek එකේ හොඳම එක. ඒත් පුදුම හිතෙන්නෙ කීදෙනෙකුට sarcasm නොතේරෙනවද කියන එක නේද? කොයිතරම් කමෙන්ට් තියනවද සීරියස්ලි මිනිහත් එක්ක විවාද කරන !!

      Delete
    6. මචං රවී මගේ පොයින්ට් එක ඒක නෙවෙයි බං. රසදිය ප්‍රතිගුරුත්ව රොකට්ටු තාක්ෂණය තියෙද්දි ඒකෙන් උයන්න දර ගේන්න ගියා කියන එක. ඔය මළ ඉලව් රසදිය ප්‍රතිගුරුත්ව රොකට්ටු තාක්ෂණයන් කෑම උයන්න ක්‍රමයක් තමයි අර උන්දෑ කල්පනා කරකර ඉඳල තියෙන්නේ.

      Delete
    7. ඉයන්,

      / ඔය මළ ඉලව් රසදිය ප්‍රතිගුරුත්ව රොකට්ටු තාක්ෂණයන් කෑම උයන්න ක්‍රමයක් තමයි අර උන්දෑ කල්පනා කරකර ඉඳල තියෙන්නේ. /

      හපොයි ඉයන් මෙතන වැඩේ පටලවගෙනනෙ. එහෙම ක්‍රමයක් ගැන අලුතෙන් කල්පනා කරන්ට දෙයක් නෑ මෙතන. රාවණ මාළිගාවෙ කෑම උයල තියෙන්නෙ තනිකරම ක්ෂුද්‍ර තරන්ග ආධාරයෙන්. මයික්‍රෝ වේව් ටෙක්නොලොජි එක ඔය ඔක්කෝටම කලින් හොයාගත්තෙ රාවණ අධිරාජයා ( ශ්‍රී රාවණ සිද්ධම්! ) ඔය දඬුමොණරෙ නැඟල අනතප්පුරේ ගැටිස්සියොත් පටෝගෙන දර ගේන්ට රට රාජ්ජවල එතුමා ගියේ හුදු ආතල් එකක් උදෙසා. Purely as a recreational activity...Underskirt now?

      Delete
    8. Pra,

      / පෝස්ට් tongue in cheek එකේ හොඳම එක./

      ආය මොනවද? පුදුම නිර්මාණශීලි ඒ ලියවිල්ල.

      / ඒත් පුදුම හිතෙන්නෙ කීදෙනෙකුට sarcasm නොතේරෙනවද කියන එක නේද? කොයිතරම් කමෙන්ට් තියනවද සීරියස්ලි මිනිහත් එක්ක විවාද කරන !! /

      සමහර කමෙන්ට්ස් තිබ්බ ඇත්තටම එහෙම අවන්කවම ලියනවද නැත්තම් ගරු ආචාර්ය තුමා අන්දවන්ට ලියනවද කියල හිතාගන්ටත් බැරි විදිහෙ සීරියස් කමෙන්ට්ස්..හැබැයි ප්‍රා එහෙම කමෙන්ට්ස් වලිනුත් ලොකු ප්‍රයෝජනයක් වුනා.

      හැමෝම ප්‍රහසනය ප්‍රහසනයක් විදිහට ගත්තම එතන ආතල් එකක් නෑනෙ. දැන් අපි කාමරේක කතා කර කර ඉද්දි ඔන්න අපේම යාලුවෙක් කලු රෙද්දක් පොරවගෙන කෑගහගෙන කඩාගෙන පනිනව යකෙක් වගෙ. කවුරුවත් බය උනෙ නැත්තන් එතන ආතල් එකකුත් නෑනෙ. ඒ හින්ද මට සැකයි ඔය ෆුල් සීරියස්ලි දාපු කමෙන්ට්ස් අපේ ගරු කටයුතු ආචාර්යතුමාම දාපුවද කියලත්. පාඨක රස වින්දනය උදෙසා කල සද් කාර්යයක් විදිහට හෙහ්,හෙහ්,

      Delete
    9. රවි ඔය ක්ෂුද්‍ර කථාව මම අහල තියෙන්නෙ වෙන විදිහකට. ඔය ක්ෂුද්‍ර කේස් එක නිසාලු නේද සීතා දේවියව උස්සන් ආවට මොකවත් කරගන්න බැරි උණේ? දැන් කියයිද දන්නෙ නැහැ හීන දීන අවරදිගුවන් වයාඝ්‍රා හොයාගන්න කලින් රාවණා ස්ප්‍රේ පොලිශ් කෑන් එක අල්ලලා දික් කරන ක්‍රමයක් තිබුණ කියල.

      Delete
  16. /ඔතෙන්ට එන තෙල් ඉහිරිච්ච වයසෙ නාඹර කෙල්ලො කොල්ලො ඔක්කොම මඟුල් මූඩ් එකෙන් ඉන්නෙ./

    මට මතක් උනේ වෙඩිං ක්‍රෑෂර්ස් ෆිල්ම් එක. පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      උඹත් එක්ක බෑ බන් මේ රාජ්ජෙ කරන්ට..උඹට හැමවෙලේම ෆිල්ම්ස් මතක් වෙනවනෙ. බලාගෙන ගියකම උඹ ෆිල්ම් මාරයෙක්නෙ. ඒත් උඹම කියනව ගෙදර උන්දැ ෆිල්ම්ස් බලන්නෙම නෑ කියල. ඒ කියන්නෙ උඹ කවුරු එක්කද ඔය හැටි ෆිල්ම්ස් බලන්නෙ? හෙහ්..හෙහ්..

      Wedding Crashers ෆිල්ම් එකත් නියම ආතල් එකක් වගෙ. හොයාගෙන බලන්ට ඕන. අඩේ ඒකෙ ඉන්නව Sherlock Holmes ෆිල්ම් එකේ Irene Adler චරිතය කරපු නිළිය. අයිරින් ඇඩ්ලර් තමයි ෂර්ලොක් හෝම්ස්ව පරද්දපු එකම පුද්ගලයා...

      Delete
    2. වෙඩිං ක්‍රෑශර්ස් ෆිල්ම් එක කොහොම හරි බලන්න.

      Delete
    3. බොට මතක අයිරීන් ඇඩ්ලර් විතරයි නේ? අර බැබලි බැබලි ඉන්නවා නහය ඇද ඉළංදාරියයි උස මහත විෂබීජෙයි. ඒකුංව පේන් නෑ නේ?

      හැබෑට රවී මාමේ, ඩ්‍රැකියානි ගෙයි මගෙයි තියෙන එකම නොගැළපීම තමා ඔය ෆිල්ම් රසවින්දනේ. අපි ඉතිං කොහොම කොහොම හරි ඔව්ව ගළපගන්නවා...

      Delete
    4. අපෙ උන්දැයි මායි වගේ... මම එන තරමක් ෆිල්ම් ඔක්කොම බලනව.. අපේ උන්දැ නෙවෙයි එක විනාඩි 5ක් කැප කරන්නෙ මං වෙනුවෙන්... අම්මප... හි හි

      Delete
    5. /අයිරින් ඇඩ්ලර් තමයි ෂර්ලොක් හෝම්ස්ව පරද්දපු එකම පුද්ගලයා.../

      එකම පුද්ගලයා නෙවෙයි රවි මාමෙ, ෂර්ලොක් හෝම්ස් කියනවා එයා හතර වතාවක් පැරදුනා කියලා. තුම්පාරක්ම පිරිමින්ට, එක පාරක් ස්ත්‍රියකට.

      Delete
  17. යකඩෝ පිළිස්සු කුකුළා කතාවට එන්ටර් වෙන්න ගිය කාලයක්.
    සංසාරේ,සංසාරේ.

    ReplyDelete
  18. සූටික්කාOctober 13, 2015 at 10:56 AM

    //එහෙම උන්ව යැව්වෙ නැත්තං වෙන්නෙ තව ටිකකින් උංගෙ බාර්යා තොමෝල උංව හොයාගෙන මෙහාට එනව. ඔහොම එනවට අපි කියන්නෙ පොලීසියෙං පනිනව කියල. එහෙම පොලීසියෙන් පනින එක මහම වාතයක් වෙනව.//

    අපි නං කියන්නේ (එහෙම කිව්වට මම නෙමේ, කම්මලා වගේ බවලත් උදවියට බය අය) ඕකට නඩුකාර උන්නාන්සේ එනවා කියලා ..... අමුලික ඇත්ත...... රවී අයියේ.... අහල බලපං කම්මලාගෙන් ..... ඕකා දැන් නොකිව්වට, ඕව හොඳට දන්නවා.....

    ReplyDelete
  19. දෙනිපිටිය කියන්නෙ මේ අපේ ගෙවල් කිට්ටුව. හැබැයි ඔබතුමාලා අතුරු මිතුරු කරපු කාලේ මම හිතනේ මම ඉපදිලා වත් නැතුව ඇති!
    ඊළඟ කොටසේ තියෙන්නේ දුක හිතෙන කතාවක් කියල හිතෙනකොටත් දුකයි අනේ, අතට ගත්ත පලතුර කටේ දාගන්න බැරි උනා වගේ දෙයක්ද මන්ද.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...