Sunday, December 13, 2015

375. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 22 - අකලට වට මහ වරුසාවක් සේ.....


Google Images

අවසානයේ නිරුදක වැලිකතරට ශිශිරය එලඹියේය.සාමාන්‍යයෙන් ඉල්මස මුල් සතියේ පමණ උණුසුම අඩුවී ගිම්හානයෙහි අවගමනය ඇරඹෙන නමුදු මෙවර එය මසකින් පමණ කල්ගියේය. ක්‍රමයෙන් උණුසුම අඩුවී ශීතල පැමිණෙද්දී ශරීරය ඒ විපර්යාසයට හුරුවීමට සූදානම් වන නමුදු මෙවර ක්ෂණිකව ඇරඹි ශිශිරය බහුතරයක් මිනිසුන්, ගැහැණුන් මෙන්ම කුඩාවුන්ද අසනීප කලේය.පසුගිය දින කීපය මුළුල්ලේ සුව නොවනා අනවරත කැස්සකින් මම ද පීඩා වින්දෙමි.

ශ්‍රී ලංකාවෙහිද සුපුරුදු කාලගුණය විපරීත වීම ඉතා සුලභ සංසිද්ධියකි. වෙනදා අනෝරා වැසි වැටෙන සමයන්හි දැන් නියඟය පොළොව දවාලනුයේ සිත්පිත් නැති පරිද්දෙනි.එළෙසම අධික හිරුරැසින් දෙහිගස් පවා තව් මැරෙන්නට නියමිත කාල වකවානුවන්හි නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුකොටගෙන පහත්බිම්හි වසන බොහෝ දෙන ඇඳිවත පමණක් ඉතිරිව අනාථ වෙති.

ලොව පුරා බොහෝ ප්‍රදේශයන්ට බලපාන මේ කාලගුණ විපරීතතාවයට හේතුභූතවිය හැකි එක් කරුණක් පිලිබඳව මාස කිහිපයකට ඉහත මම ඉංගිරිසි බසින් පළවන එක් වෙබ් අඩවියක කියවූයෙමි. ඒ කුමන අඩවියකදැයි පැහැදිලි මතකයක් නොමැති වුවද බොහෝ විද්‍යාත්මක සහ සමාජීය තොරතුරු නිතර පළවන එලෙසම කියවීමට රුචිය දනවන්නක් බව සිතෙහි සටහන්ව ඇත. එලෙසම මේ තොරතුරු මා මීට වසර හත අටකට පමණ පෙරද කියවූයෙමි.

2004 දෙසැම්බර් මස 26 වන දින උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරලට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ සිදුවූ රික්ටර් මාපාංකයෙහි 9.1 ලෙස සටහන්වූ මහා භූමිකම්පාව පිළිබඳව ඔබට මතක ඇති බවට මට නිසැකය. දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට මරු කැඳවමින් එමෙන්ම රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ විනාශ කරමින් ශ්‍රී ලංකාවෙහි නැගෙනහිර, දකුණු සහ බටහිර වෙරළට කඩා වැදුනු සුනාමිය එහි ප්‍රතිඵලයකි. 

බොහෝ විද්වතුන්ගේ මූලාශ්‍ර උපුටා දක්වමින් මා ඉහත සඳහන් කල වෙබ් අඩවියෙහි පළවී තිබුණේ ඒ භුමි කම්පාව හේතුවෙන් පෘථිවියෙහි චුම්බක ක්ෂේත්‍රයෙහි ප්‍රබල වෙනස්කම් රැසක් සිදුව ඇති බවකි. ලොවපුරා කාළගුණ විපර්යාස, කිසිදිනෙක භූමිකම්පා සිදුනොවන ප්‍රදේශවල සිදුවන දරුණු භූමිකම්පා, වසර සහස්‍ර සංඛ්‍යාවක් අක්‍රියව පැවති මළ යමහල් හිටිඅඩියේ විදාරණය වී මහත් විනාශයක් සිදුවීම වැනි සංසිද්ධීන්ට හේතුවනුයේ ඉහත පැවසූ භූමිකම්පාවේ අනර්ථකර බලපෑම් බව එහි සඳහන් විය. මෙහි පළකරනු උදෙසා එහි සබැඳියක් සොයාගැන්මට ගත් උත්සාහය ව්‍යාර්ථවිය.

ඒ සුනාමියෙන් වසරකට හෝ දෙකකට පසු කාලයයි. එදවස මම සේවය කලේ නුගේගොඩ අසල ප්‍රධාන කාර්යාලය පිහිටි සමාගමකය. සාමාන්‍යයෙන් ශනිදාව සේවයෙහි යෙදෙන දිනයක් වුවද ඉක්බිති එළඹෙන සඳුදින රජයේ නිවාඩු දිනයක් වී බැවින් මම ශනිදා නිවාඩු අනුමත කොටගෙන ඊට පෙරදින සවස පැණිදෙණියෙහි නිවෙසට පැමිණියෙමි.එදවස වත්මනෙහි අප වසන නිවස ඉදිකොට නොතිබූ අතර අප දෙදෙන වාසය කලේ ඇය සේවය කල විදුහල් භූමිය තුලම පිහිටා තිබූ ගුරු නිවසේය.

මා සේවයකල අර්ධ රාජ්‍ය ආයතනයෙහි සේවයෙන් ඉවත්වීමේදී ලද වන්දි මුදල යොදවා අප දෙදෙන ඒ අසළම පර්චස දොළහක කුඩා ඉඩම් කැබැල්ලක් මිලට ගත්තෙමු. එහි නිවසක් ඉදිකිරීම උදෙසා රජයේ සේවකයින්හට එකල ලබාදුන් වසර පහක වැටුපට සමාන ණය මුදල මා බිරිඳ ඉල්ලුම් කල අතර ඒ ලද වහාම නිවෙස ඉදිකිරීම ඇරඹීමේ අපේක්ෂාවෙන් අපි කල් ගත කළෙමු.

සති අන්තයේ නිවසෙහි සියළු සේදිය යුතු රෙදි පිළි සෝදා වේළා ගැනීම සහ අනෙකුත් කොට්ට මෙට්ට පොරෝණා, ඇඳ ඇතිරිලි යනාදිය අව්වේ වේලා ගැනීම බිරිඳගේ එකල ඇබ්බැහියක් විය. මේ සිරිත ගුරුවරියනටම ආවේණික සිරිතක් දෝහෝයි මට වරෙක සිතෙනුයේ අරවින්ද පොක්ඛරණියෙහි ( නොහොත් නෙළුම් විලෙහි ) අධිපතිනිය වූ ඕ තොමෝද ගුරුවරියක වූ තම වැඩිමහල් සොයුරියද පුරුද්දක් වශයෙන් සති අන්තයේ මෙසේ රෙදි පිළි සෝදා වේලීමෙහි නිරතවූ බැව් වරක් පැවසූ බැවිනි.එදවස වියට්නාම දේශයෙහි සිට බොහෝ රසවත් වියුණු සටහනින් අප ආනන්දයට පත්කල බින්දි නම්වූ ඒ ලලනාවෝ මෙදවස සිංහපුරයෙහි වසන්නී ලේඛන කලාවෙන් ඉසුඹු ලබා ඇති සෙයක් පෙනී යන්නේය.

රෙදි පිළි සෝදා වේලා ගැනීම පිළිබඳව මගේ කිසිදු විරුද්ධත්වයක් අමනාපයක් නොවීය. එහෙත් මිදුල සහ ගෙවත්ත පුරා වැල් බැඳ ඇය සෝදන රෙදි පිළි ගෙනවුත් මිරිකා එහි වැනීම සහ වියලුණු පසු ඒවා නිසි කලට නැවත නිවසට ගෙනයාම මට පැවරුණු පූර්ණ කාලීනව නිරත වියයුතු රාජකාරියක් වීම කිසිසේත්ම මගේ සතුටට හේතු නොවීය. එහෙත් ඒ පිළිබඳව මගේ අමනාපය ප්‍රකාශ කොට ඇගේ සිත් රිදවනවාට වඩා මුවින් නොබැණ පැවරුණු රාජකාරිය ඉටුකිරීම මගේ සිරිත විය.

ශනිදාව නිවාඩු අනුමත කොටගෙන මම කාර්යාලයෙන් බැහැරව නිවෙස බලා පැමිණි සති අන්තය වෙත නැවත ඔබගේ අවධානය යොමු කරවීමට මට අවසර.ඒ සති අන්තයෙහි ශනිදාව විවේකයෙන් නිවසෙහි ගතකොට ඉරු දින මාතලේට නුදුරුව පිහිටි බිරිඳගේ මහගෙදර ගොස් එදින රාත්‍රිය එහි ගතකොට සඳුදින ආපසු පැමිණීම අපගේ අපේක්ෂාව විය. ඉක්බිති පසුදින අළුයම මහනුවර සිට මාතර බලා ගමන් ගන්නා දුම්රියෙන් සේවය සඳහා පිටත්වීමට මම සැලසුම් කොට සිටියෙමි.

ශනිදා උදෑසනම ඇය සුපුරුදු රෙදි සේදීමේ කටයුතු ඇරඹුවාය. අහස එකද වළාකුලක් රහිතව නිල් පැහැයෙන් බැබලුණි. 

"මේ මම කියන්නද? ඔය රෙදි ඔක්කොම හෝදන්න ඕනද? වැල් බැඳල ඔව්ව ඔක්කොම වේලන්ට ගිහිල්ල හදිස්සියෙන් වත් වැස්සොත් එහෙම තමයි සෙල්ලම"

ඇය ලහි ලහියේ රෙදි සෝදන යන්ත්‍රයට තවත් රෙදි තොගයක් බහාලනු දුටු මම පැවසූයෙමි. 

"පිස්සුද අනේ? මේ දවස්වල කොහෙද වහින්නෙ? අර මීවතුර පැත්තෙ ළිං හිටං හිඳිල කියන්නෙ...."

"සාමාන්‍යයෙන් නම් වහින කාලෙ නෙවෙයි තමයි. ඒත් දැන් කාළගුණේ කියන එක සම්පූර්ණයෙන් දහ විහිලි වෙලා ගිහිල්ල තියෙන්නෙ. අර 2004 අවුරුද්දෙ මහ බූමිකම්පාවක් වුනේ සුමාත්‍රා දිහාවෙ…"

"ඔව්..ඔව්..අර සුනාමියක් එහෙම ආවෙ…"

"අන්න හරි ඒ භූමිකම්පාව හින්ද පෘථිවියෙ චුම්බක ක්ෂේත්‍රය පොඩ්ඩක් වෙනස් වෙලා කියලයි කියන්නෙ. ඒ හින්ද ලෝකෙ පුරාම කාළගුණෙත් වෙනස් වෙලාලු. ඒ හින්ද වහියිද නැද්ද කියල දෙයියො තමයි දන්නෙ."

"හරි හරි වැස්සත් අවුලක් නෑනෙ. පට ගාල රෙදි ටික ගෙට ගමු. වේලිල තිබ්බෙ නැත්තං ගේ ඇතුලෙ වැලක් බැඳල දාමු. මේ අද මම මගේ ඔසරි දෙක තුනකුත් හෝදනව. එව්ව හැබැයි වේලිල ආය තෙමුනොත් අප්සෙට් යනව. කමක් නෑ වහින එකක් නෑ..වැස්සොත් ඔයා මතක ඇතුව තෙමෙන්ට ඉස්සෙල්ල ගන්නකො හොඳද?" ඇය කියවාගෙන ගියාය. මම අසා සිටියෙමි.

එලෙස රෙදි සේදීමේ කාර්යය සුපුරුදු ලෙස ක්‍රියාත්මක විය. මම වැල් බැඳ රෙදි වැනීමේ කටයුත්තෙහි යෙදුනෙමි.

මධ්‍යාහ්නය පසුවී එපමණ වේලාවක් ගත නොවිනි. ඇගේ ජංගම දුරකථනය නාද විය.

"හෙලෝ......"

"………………….."

"ආ ඇත්තද? තවම අඩු නැද්ද?"

"………………….."

"හරි හරි මම එන්නං…. මම එන්නං"

ඇය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට හිස ඔසවා මදෙස බැලුවාය.

" අර ජයන්ති මතකද ඔයාට?"

" කවුද ජයන්ති? "

"අර මේ ඉස්කෝලෙ ඉගැන්නුවෙ අවුරුදු දෙහෙකට විතර කලිං..අර සුදු මහත...ප්‍රයිමරි එකට ඉගැන්නුවෙ…"

"මට මතක නෑ ඒයි..ඉතිං මොකක්ද දැං වෙලා තියෙන්නෙ?"

"එයා දැං උගන්නන්න ගෙලිඔය පැත්තෙ. ගෙවල් මේ කිට්ටුව දවුලගල පාරෙ."

"ඉතිං? "

"එයාගෙ හස්බන්ඩ් පොලීසියෙ ඔය කොහෙද දුරක ඉන්නෙ. මඩකලපුව පැත්තෙද කොහෙද...පුතෙක් විතරයි ඉන්නෙ. අවුරුදු දහක් වගෙ ඇති. ඊයෙ රෑ ඉඳල සහළවල උණලු ඒ පොඩි එකාට. දැං ලෑස්ති පේරාදෙණියෙ හොස්පිට්ල් ගෙනියන්ඩ. කවුරුවත් නෑ කියල මට එන්ඩ පුලුවන්ද කියල අහුව. පව්නෙ අනේ..මම කිව්ව එන්නං කියල."

ඇගේ හැටි එහෙමය. ඕනෑම කෙනෙකුට ඇප උපකාර කිරීමට ඇය එක පයින් සූදානම්ය. ඒ ඇගේ මම අගයකරන තවත් බොහෝ ගතිගුණ අතර එකකි.

"හරි. හරි ගිහිල්ල එන්නකො එහෙනං ….මාත් එන්න ඕනද?"

"නෑ..නෑ..එපා...මම පරක්කු උනොත් ප්‍රිජ් එකේ ඇති ඊයෙ උයපුව ඉතුරු….. බත් එකක් මම ගහල යන්නං රයිස් කුකර් එකේ. ඔයා බෙදාගෙන කන්න."

"හරි හරි ඒක බැරිය. දැන් ඔයා යන්නෙ කොහොමද?" 

"ජයන්ති ත්‍රී වීලර් එහෙක පාර ගාවට එන්නම් කිව්ව. මට ඇවිල්ල කෝල් එකක් දෙයි. එතකොට මම යනව පල්ලෙහාට."

අප වාසය කල ගුරුනිවස පිහිටියේ තීව්‍ර කඳු බෑවුමක ඉදිකොට තිබූ පාසලෙහි ගොඩනැඟිලි සියල්ල පසුකොට කඳුගැටය මුදුනට ආසන්නයේය. පාසල පහළින් දිවෙන පරණ ගම්පොළ පාරට ගුරු නිවසේ සිට තැනින් තැන කැඩී බිඳීගිය ගල් පඩි දෙසියයකින් පමණ සමන්විත පඩි පෙලකින් බැසිය යුතුය.ඒ පරණ ගම්පොළ පාර යනුවෙන් හැඳින්වෙනුයේ එක්දහස් නවසිය හතළිහේ දශකයේදී පමණ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඉදිකල පසු ඉංජිනේරු පීඨය ඉදිරියෙන් දිවෙන මාර්ගය ගම්පොළ පාර බවට පත්වූ බැවිනි.එවිට එතෙක් භාවිතාවූ පැණිදෙණිය සහ මීවතුර හරහා දිවෙන පේරාදෙණිය-ගම්පොළ පාර ස්වයංක්‍රීයව පරණ ගම්පොළ පාර බවට පත්විණි.

"හරි ජයන්ති ඇවිල්ල..මේ..ඒයි..මම යනව එහෙනං..දන්නවනෙ හොස්පිට්ල් ගිහාම..කීයට එන්ට වෙයිද කියන්ට බෑ...වහින්ට ආවොත් මතක ඇතුව මගෙ ඔසරි ටික ගන්ට හොඳද? මම පරක්කු උනොත් බත් බෙදාගෙන කන්ටකො....හරි එහෙනං මම ගියා." 

ඇය ලහි ලහියේ පඩි පෙල බැසයනු මම නිවසෙහි ඉදිරි දොරටුවේ එළිපත්ත මත හිඳ බලා සිටියෙමි. ගුරු නිවසට පහලින්වූ උදෑසන රැස්වීම පවැත්වෙන සමතල සුදු වැලි අතුල භූමිභාගය හරහා කඩිනමින් පියමං කල ඕ ගෘහ විද්‍යාගාර ගොඩනැඟිල්ලට එපිටින් නොපෙනී යාමට පෙර ආපසු හැරී සුරත ඔසවා සමුගත්තාය. දොර අඩවල් කල මම සාලයෙහි වූ වේවැල් පුටුවකට බර දුනිමි.

ඇය පිටත්ව යාමට පෙර අප දෙදෙන විස්කෝතු කීපයක් සමඟ තේ පානය කල බැවින් සාගින්නක ළකුණකුදු නැත. රයිස් කුකරය විවෘත කොට බත කූරුගෑ මම එය උණුසුම රැඳී පවතින මාදිලියට මාරු කළෙමි.

සාලයෙහි වූ වේවැල් ඇඳි පුටුව බරාඳයට ඔසවාගෙන ගිය මම නවකථා පොතක්ද රැගෙන එහි දිගාවීමි. අඩවල් ඉදිරි දොරටුවෙන් හමාඑන සුළඟ එකවරම සිසිලසක් ගෙනා බව හෝ මට නොවැටහුණේ පූර්ණ අවධානය කියවමින් හුන් නවකථාවට යොමුකොට සිටි බැවිනි.හමා එන සිසිල් සුළඟට මගේ නෙත් පියවීමට බොහෝ වේලා ගත නොවීය. එසේ කොපමණ වේලා අඩ නින්දේ පසුවිනිදැයි මම නොදනිමි. එක් වරම මගේ නෙත් විවරවූයේ ධාරානිපාත වර්ෂාවක හඬිනි. මිදුලෙන් ඔබ්බෙහිවූ අලිගැටපේර ගසෙහි අතු අඹරවමින් හමන සැඩ සුළඟත් සමඟ මහ වැස්සක් ඇද හැලෙයි. 

හුටා රෙදි තාම එළියෙ නේද?...... ඒ සිතුවිල්ලත් සමඟ මම වහා හිඳහුන් පුටුවෙන් නැඟිට මිදුලට පැන්නෙමි.


*********************************

පලි - එතුමියගෙ උපන්දිනේ අද. ඒ හින්ද ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවෙ කොටසක් ඒ වෙනුවෙන් ලියන්න කියල මේ ඉඳගත්තෙ. සුපුරුදු පරිදි වැඩේ ඇදුන ඔට්ට පාලු වගේ..හරි අවුලක් නෑනෙ..දෙවෙනි කොටස දවස් දෙකකින් වගෙ දාන්නම්..හොඳෙයි?

*********************************

අකලට වට මහ වරුසාවක් සේ.....නිරංජලා සරෝජිනී......කවදාවත් අහල එපා වෙන්නෙ නැති කටහඬක්......


79 comments:

  1. එදා රෑ කෑම හම්බුවුනාද?
    රවී ලස්සනයි කථාව

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      බොහොම ස්තූතියි....

      රෑ කෑම නේද?...හෙහ්,හෙහ්, සෙස්ස ඉදිරියට...:)

      Delete
  2. මේ විදිහට, තමන්ගේ කාලය අනුන් වෙනුවෙන් කැප කරමින්, මිනිස්කම ලෝකෙටම පෙන්නන අපේ සමාජය ගැන, අපිට ඇතිවෙන්නේ කොපමණ ආදරණීය හැඟීමක්ද.

    ගෙලිඔය..........මගේ ළමා කාලය වසර කීපයක් ගෙවීගිය ප්‍රදේශයක්. පියකු මෙන් මට ගුරුහරුකම් දී, 98 වසරක් ආයු වළඳා, ඊයේ පෙරේදා අපවත්වූ, ගෙලිඔය ශ්‍රී ජනරංජනාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ, පූජ්‍ය පුවක්දෙණියේ පඤ්ඤාරතන හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය ඉදිරිපිට මා දණින් වැටුනේ, කඳුලුපිරි දෙනෙතින්.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ගෙලිඔය ගැන මම දන්නෙ පේරාදෙණිය ගම්පල පාර හදපු සමාගමේ අවුරුද්දකට වගෙ කිට්ටු කාලයක් සේවය කල නිසා. පාරෙ වැඩ කෙරීගෙන යනකොට අපේ ඔෆිස් එකත් ඒ එක්කම තැනින් තැනට අරංගියා. මුලින්ම කරමඩ කලංසූරියගෙ ගෙදර ඉස්සරහ. ඊට පස්සෙ ගෙලිඔය ටවුමෙ. ඊටත් පස්සෙ වැලිගල්ලට මෙහා.

      ගෙලිඔය ජින්නා හෝටලේ එහෙමත් මතක ඇති නේද එහෙනං?

      Delete
    2. ජින්නා හෝටලේ ඒ කාලේ 1959 - 60 පරිප්පු, කුකුළු මස්, එක්ක ඉඳිආප්ප හම්මෝ............මාර රසක්. ඔය දුම්රියපොළ ඒ කාලේ තිබුනේ පරණ කෝච්චි පෙට්ටියක. තව ගොඩක් විස්තර තියනවා. වෙලාවක ලියන්නම්.

      මැතිනියට සුබ පතන්න අමතක වුනා. ඇයට හෘදයාංගම උපන්දින සුබ පැතුම් එක්කරනවා.

      Delete
    3. koheda, Daya construction ekeda ?

      Delete
    4. විචාරක,

      අන්න නියමයි. ඒ කාලෙ විස්තර ලියන්නකො...සුබපැතුමට ස්තූතියි!

      Delete
    5. ගම්පොල, වැලිගල්ල පැත්තට සම්බන්ධකම් මටත් තියෙනවා. මවගේ පාර්ශවය කටුගස්තොටින් පටන්ගෙන, ආනිවත්ත, මැනික් හින්න, ගම්පොල ආදී ප්‍රදේශවල පැතිරුණ නිසා පාසැල් නිවාඩු කාල වලදි ඒ සුන්දර පරිසරය අත්විඳ තිබෙනවා. එම පරම්පරවෙන් ලඟ ඥාතියෙක් වැලිගල්ල කෙනෙක් විවාහ වීම නිසා ඒ පැත්තට පාසිං සම්බන්ධයක් තියෙනවා.

      Delete
    6. ඇනෝ,

      නෑ දයා කන්ස්ට්‍රක්ෂන් කලේ පාරෙ Surfacing. ඒ කියන්නෙ මතුපිට ගල් වැලි මිශ්‍රණයක් අතුරල ( ඒකට කියන්නෙ A.B.C. කියල ) ඒ උඩ තාර දාපු එක. මම වැඩ කරපු සමාගම කලේ දෙපැත්තෙ කඳු කපල පාර පළල් කරල, අලුතෙන් බෝක්කු දාල, තියෙන එව්ව වැඩි දියුණු කරල, එක පැත්තක කාණු හදල සර්ෆසිං වලට අවශ්‍ය මූලික වැඩ කටයුතු කරපු එක.

      වෝකර්ස් සමාගම ඔය පාරෙ කොන්ත්‍රාත් එක කලේ. එයාලගෙ වැඩ පරක්කු හින්ද එක කොටසක් මම වැඩ කරපු සමාගමට දුන්න.

      Delete
  3. හැක්.. හැක්... එදා රෑ කෑමට කියවමින් සිටි නවකතා පොත මැල්ලුම් කොට රවී අයියට කැවුවයි කියල තමයි පසුව ආරංචි වූ තොරතුරු අනුව අපට දැනගන්නට සිදුවූයේ.

    එතුමියට සුබ උපන්දිනයක් පතනව.

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කෝ බොල උඹේ ප්‍රොපයිල් එක? ඒකෙ උඹ අර ජූලම්පිටියෙ අමරෙ වගෙ ඉන්නව දැකල පුරුදුවෙලා දැන් නොදැක්කම පාලුයි වගෙ.

      Thanks Prasanna,…:)

      Delete
    2. ආන්න කාඩ්ඩෙක... හරියටම හරි!

      Delete
    3. චැක්.... ඕව ප්‍රසිද්ද කරන ඒව නෙමෙයිනෙ රවී අයියෙ.

      ඩ්‍රැකිි, බොලාටත් ඉතිං....

      Delete
    4. දාමු මෙහෙම
      Aමரெ

      Delete
  4. සුභ උපන්දිනයක් එතුමියට !!!
    ඉතුරු ටික කවද්ද? :)

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් වේවා..!!
    මෙය හුදෙක් පව් සමාකරගැනීම උදෙසා පලකරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.. හෙහ් හෙහ් හෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. G.L.,

      මොන පව් සමාකිරිල්ලක්ද බං?......:) එහෙම එකක් නෑ

      Delete
  6. දෙවෙනි කොටසක් නැතුවත් කමක් නෑ බං.. අපට අනුමාන කරතහැකි මොනා වෙන්ටැද්ද කියලා.. :-P

    උඹට ඒ වෙලාවෙ හිතුන්නැද්ද අර හෝදලා වේලෙන්ට දාපු ඔසරි දෙකතුනෙන් එකක් අරන් මුදුන් බාල්කෙ ගැටගහලා එල්ලිලා මැරෙන්ට එහෙම?

    ReplyDelete
    Replies
    1. Bura,

      / දෙවෙනි කොටසක් නැතුවත් කමක් නෑ බං.. අපට අනුමාන කරතහැකි මොනා වෙන්ටැද්ද කියලා.. :-P /

      Wanna bet? I would gladly wager my last Riyal you would never guess what happened next…:)

      Delete
  7. තව කොටසකුත් තියෙනවද?
    එතුමියට සුබම සුබ උපන් දිනයක් පතමි!!

    ReplyDelete
    Replies
    1. හැලප,

      තියෙනව..තියෙනව...ස්තූතියි මචං...:)

      Delete
  8. හහ් හහ් හා. මේක නම් නියමයි. තෙත ඔසරි දැක්කම එතුමියට මොන වගේ් හැඟීමක්ද දන්නෙ නෑ ඇතිවුණේ. උපන්දිනයට අපිත් සුභ පැතුවා කියන්ටකො.

    ReplyDelete
    Replies
    1. මෙටූ,

       / තෙත ඔසරි දැක්කම එතුමියට මොන වගේ් හැඟීමක්ද දන්නෙ නෑ ඇතිවුණේ. /

      මේ ළමය මෙතන මේ මොනව කියනවද මන්ද..මම ඔය ඇතිවෙච්චි හැඟීම් ගැන විමසන්ට හිටපු එකක් නෑ. වැස්සෙම එලියට පැනල දිව්ව දිවිල්ලක් විලුඹ තට්ටමේ වැදි වැදි , විලුඹ තට්ටමේ වැදි වැදි…:)

      Delete
  9. උපන්දින දවසේ..
    සතුට සම්පත ඉතිරේ..
    ගෙවා දිවි සැපසේ..
    දිගු කලක් ඔබ යෙහෙන් වැඦඹේ..

    ඔසරිය පිලිබඳ දුකින් තැවෙන ගුරුවරියට උපන්දින ආසිරි.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      උඹ අපෙ ප්‍රියාම්බිකාවට වඩා දවසයි බාල...හෙහ්,හෙහ්, දෙසැම්බර් 13 සහ 14

      Delete
  10. මේ වාගෙ කතාවක් මං කියවලා තියෙනවා සිරිමල්ගේ වික්‍රම පොතේ. කර්තෘ කුලසේන ෆොන්සේකා මහත්මයා. මං පුංචි කාලෙදි තාත්තා ගෙනත් දීපු පොතක්. ඒක ඇවිල්ලා විලියම්ගේ ලෝකල් වර්ශන් එකක්. දැන් ඒ පොත මං ගාව නෑ. :( අරං ගිය එක්කෙනා ඒක ආයෙ මට දුන්නෙ නෑ. :( කතාව මතක හැටියට මෙහෙමයි.

    සිරිමල් ඉන්නේ එයාගෙ නැන්දත් එක්ක. නැන්දා දවසක් කොහෙද යන්න කළින් රෙදි හෝදලා වනලා වැස්සොත් ගෙට ගන්න කියලා සිරිමල්ට බාර දීලා ගමන පිටත් වෙනවා. කෝච්චියේ යන ගමනක්. ඉතිං සිරිමල් රෙදි ටික මුර කරන්න කියලා හොඳ පුටුවකුයි ටීපෝ එකකුයි මිදුලට අරන් ඇවිත් සැපට වාඩි වෙලා හිටියා. එක්කෝ පොතක් කියව කියව, නැත්තං මොනවා හරි කකා - මට මතක නෑ. ඉතිං ඔන්න ඔහොම ඉන්න කොට වැහි කළුවක් ආවා හීතල හුලඟක් එක්ක. සිරිමල් මේ රවි අයියාට වඩා හොඳයි, හුළං පාරට එයාට නින්ද ගියෙ නෑ. එයාට මතක් වුනා එයාගේ ආදරණීය නැන්දාව. අනේ නැන්දා මේ වැස්සේ කොහොමද එන්නේ කියලා එයා කල්පනා කළා. පව්. සිරිමල්ව අම්මා කෙනෙක් වගේ බලාගන්න නැන්දා, වැස්සට තෙමිලා ලෙඩ වුණොත් එහෙම. සිරිමල් මේ තරං නැන්දා ගැන හිතුවා කියලා දැනගත්තාම නැන්දා සිරිමල්ට තවත් ආදරේ වෙයි. රස කෑම හදලා දෙයි. තවත් හොඳට සලකයි. සිරිමල් ගියා ගෙට, ගත්තා කුඩේ, වැස්සෙම දිව්වා ස්ටේෂන් එකට. නැන්දා එනකල් හිටියා බලාගෙන. අන්තිමේදි කෝච්චිය ආවා. නැන්දා බැස්සා. බැලින්නං නැන්දා අතේ කුඩයක් තියෙනවා. නැන්දා ගමන ගිහින් තියෙන්නේ කුඩෙත් අරගෙන. කවුද දන්නෙ. අපරාදෙ සිරිමල්ගේ මහන්සිය. අන්තිමට කොහොම හරි දෙන්නත් එක්ක ගෙදර ආවා. නැන්දා හෝදලා ගිය රෙදි ටිකත් තෙමිලා. හොඳම පුටු සෙට් එකේ පුටුවකුයි ටීපෝ එකයිත් තෙමිලා. නැන්දාට කේන්තියි හොඳටම. ඒ මදිවට කුඩේ අරං ස්ටේෂමට දුවද්දි වැස්සට තෙමිච්ච සිරිමල් වෙච්ච වැරැද්දට නැන්දාගෙන් සමාව ඉල්ලන්න වගේ එක පිට එක අලි කිඹුහුං තුනක්ම ඇරියා. :D

    අක්කට සුබ උපන් දිනයක්! :)

    ReplyDelete
    Replies
    1. මාාර කතාව. අර පොතේ නම මට එකපාරටම කියවුනේ සිරිල් වික්‍රමගේ කියල...

      Delete
    2. සිත්තමී,

      කුලසේන ෆොන්සේකා මහත්මයා ඔය වගෙ යොවුන් නවකථා කීපයක්ම ලිව්ව නේද?..තුන් යහළු වික්‍රමය, කල්ලන්දූවේ මුතු කොල්ලය වගෙ එව්ව. මම නම් ඒ මොකවත්ම කියවල නෑ. ඒ මොකද කිව්වොත් ඒ පෙර-යොවුන් කථා පිටවෙනකොට මම පෙර-යොවුන් විය පහුකරල ගිහිල්ල. ඒත් පාළම යට මම බොහොම ආසාවෙන කියවපු ඒ මහත්මයගෙ පොතක්.ඒ වගේම අන්තිම දුම් රිය ( Translation of Kushwant Singh's Train to Pakistan ) කටපුරා හොඳයි කියන්න පුලුවන් පරිවර්තනයක්.

      සුබ පැතුමට බොහොම ස්තූතියි සිත්තමී...:)

      Delete
    3. ඩ්‍රැකී,

      සිරිල් වික්‍රමගේ..අන්න නළුවො...:)

      දැනට අවුරුදු විස්සකට විසිපහකට වගෙ ඉස්සර අස්ගිරිය ස්ටේඩියම් එකේ මැච් බලන්න ගිහාම ට්‍රිනිටි පේරන්ට්ස් ඇසෝසියේෂන් එකෙන් කරන ඒකෙ කැන්ටීන් එකේ සල්ලි ගන්ට එහෙම සිරිල් වික්‍රමගේ ඉන්නව මම තුන් හතර පාරක්ම දැකල තියනව.

      Delete
    4. සිරාවට... ඒ කාලෙ හිටියෙ නියම කලා කාරයො.

      Delete
  11. මෙනි හැපී රිටර්න්ස් ඔෆ් යස්ටර්ඩේ ටු මැඩම් වීරසිංහ.. :)

    ඇනිවසරියට ලියුවේ මුන් ඇට එක රොස් වෙච්චි කතාවක්.. උපන්දිනේට.. :/ අපරාදේ අර ඔසරි ටික.. ඉතින් ඉතින්.. මොකෝ උනේ ඉන්පස්සේ..?

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / මෙනි හැපී රිටර්න්ස් ඔෆ් යස්ටර්ඩේ ටු මැඩම් වීරසිංහ.. :) /

      වීරසිංහ නෙවෙයි බං එවුන්දැ තාම ඉන්නෙ උන්දලයෙ අප්පච්චිගෙ නමින්. අපි දෙන්න සැටමෝල් වෙලා මහිතේ සති දෙකකුත් ගියේ නැද්ද කොහෙද....ඔය අම්මන්ඩි මෙහෙම කියාපි නෙව. " මේ එකක් කියන්ට තියනව පාන්දරම..මගෙ වාසගම එහෙම වෙනස් කරන්ට කියල කියන්ට එන්ට එපා ඔන්න. මම ඒක වෙනස් කරන්නෙ නම් නෑ නෑමයි " කියල.

      ඉතිං මොකේද දං වළඳන්නෙ? එහෙමම තමයි සිද්ද වුනේ...ලස්සනම වැඩේ කියන්නෙ අපේ අහල පහල කස්ටිය හිටහගෙන ඉන්නෙ මගෙ නම විජේරත්න කියල. " ආ..මිස්ටර් විජේරත්න කවදද ආවෙ ? " ඔහොමයි අහන්නෙ. මම විජේරත්න නෙවෙයි වීරසිංහ කියල එක පාරක් පැහැදිලි කරන්ට ගිහිල්ල හීනෙකිංවත් නොහිතපු කතාවක් පැතිරිල තිබ්බ ඒ අවට. ඊට පස්සෙ මම ඔය පැහැදිලි කිරීම් අතෑරල දැම්ම.ඔය කියන එකක් කියාපුවාවෙ කියල කරබන ඉන්නව. අර අභූත කතාව ගැන වෙනම ලියන්නං හොඳද?

      Delete
  12. චන්ද්‍රාවන් සහ රවියාණන් හට උණුසුම් සුභපැතුම්...!!!

    ReplyDelete
  13. මං කැමතිම එක තමා, සිංදුවකුත් මතක් කරන එක අන්තිමේ... ඒකට ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      අපේ කාලෙ සිංදු බොලේ..බලාපල්ල කොච්චර අපූරුද කියල...:)

      Delete
    2. ‍බොලගෙ කාලෙ නෙවෙයි, අපේ කාලෙ. බොලගෙ කාලෙ සිංදු කියන්නෙ ඉතිං අර "මැවිලා පෙනේ විරූපේ..." වගේ එව්වනෙ.

      Delete
  14. ඔව් බං මටත් ඔහොම වෙනවා, මගින් මගට කියලා ගිය වැඩක් කරන්න අමතක වෙනවා. ඒක අමතක නොවෙන බවට අපිට බුදු ෂුවර් එකක් තියෙද්දිත් අමතක වෙනවා. හරිම අසාධාරණයි...

    ගුරුවරීට සුභ උපන්දිනයක් වේවා එහෙනං....

    ReplyDelete
    Replies
    1. තිසර,

      හවස ඔෆිස් එකේ වැඩ කරන ගමං එකෙක් උගෙ අතේ ඇඟිලි දෙකක ගැට ගහල තියෙන නූල් දෙකක් දිහා බලාගෙන බර කල්පනාවක ඉන්නව දැකල අල්ලපු මේසෙ එකා ඇහුව. මෙහෙම.....

      " මොකද බං උඹ ලොකු කල්පනාවක? මොකක්ද ඔය ඇඟිලි දෙකක ගැටගහල තියන නූල්? "

      " මේ මහපට ඇඟිල්ලෙ නූල බැන්දෙ අපෙ වයිෆ් "

      " ඒ මොකටද? "

      " මචං හවස වැඩ ඇරිල එද්දි මොනවහරි එයා ගේන්ට කිව්ව ඒක අමතක වෙනවට තමයි මේ නූල බැන්දෙ? "

      " ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? "

      " ප්‍රශ්නෙ කියන්නෙ මට දැං මතක නෑනෙ ගේන්ට කිව්වෙ මොනවද කියල.."

      " එතකොට ඔය මැද ඇඟිල්ලෙ ගැටගහල තියන නූල? "

      " ආ..ඒක ගැට ගහගත්තෙ මම මහපට ඇඟිල්ලෙ නූලක් ගැටගහල තියනව කියල මතක් වෙන්ට…."

      Thisara, Thanks for your wishes.....:)

      Delete
  15. එක නම් ඇත්ත රවීයියේ මේ මාස ගාණක් නොහොදපු "ඩෙනිම"හොඳට පායන නිසා හොඳලා දැම්මා විතරයි මෙන්න වහිනවා.දැන් නම් ඔය "වොෂ් හබ්" වගේ එව්වා තියෙනවානේ.කිලෝ ගානට හෝදලා වේලලාත් දෙනවා එක දවසෙන්ම.

    ගුරුතුමීට සුබ උපන් දිනයක් අපිත්පැතුවායි කියන්ට.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      වොෂ් හබ්වල තමන්ම හෝදගන්ට ඕන නැද්ද? ලෝන්ඩ්‍රොමැට් කියන එව්ව නම් එහෙමයි, සම්පූර්ණයෙන්ම සෙල්ෆ් සර්විස්...

      Thanks Malli…..:)

      Delete
    2. නැහැනේ හෝදලා,වේලලාම දෙනවා.අපිට තියෙන්නේ සල්ලි දෙන්ට විතරයි.

      Delete
  16. Replies
    1. Pra,

      She gave me power of attorney to thank on her behalf...So Thank you...:)

      Delete
  17. @ Ravi,

    //මෙදවස සිංහපුරයෙහි වසන්නේ ලේඛන කලාවෙන් ඉසුඹු ලබා ඇති සෙයක් පෙනී යන්නේය.// The Iliad

    මං මේ කාගෙන් හරි අහන්නමයි හිටියෙ. ඔය ලිවීමේ ටෙක්නීක් එක මොකක්ද?
    මායා රංජන්ගේ The Iliad පරිවර්ථනයේ ලස්සනට බොහෝ අවස්ථාවල යොදල තියනව.

    "ඔහු ....... යන්නේ /කියන්නේ .............. කලේය" වගේ

    ReplyDelete
    Replies
    1. උම්මග්ග ජාතකය වගේ පොත්වලින්ද ආවෙ?

      Delete
    2. අහෝ පරා-ජේ නම් කුලපුත්‍රය, අප හිතවත් සූර්‍යාභිෂේකරයින් විසින් ලියන්නට යෙදුනු 'දඩයක්කාරයා ගේ කතාව' නොහොත් 'ශෛලමස්ථයේ පහරන්නට යෙදුනු බිළාලයා ගේ කතා වස්තුව' නම් අපූර්‍වතම අන්දරය තොපට කියවන්නට ලැබිණි නම් තොප මෙපවත් අප'තින් විචාරන්නට නොයෙදෙන බැව් උදක්ම සලකාගනු මැනැවි‍. එකල්හි ඒ අපූවර්‍ අන්දරය කෙලෙසක හෝ කියවාගත් අප හිතවත් වියුණු රසිකයින් කෙතරම් අමන්දානන්දයට පාත්‍ර වී ද යත් ඇතැමුන් ඊට අටුවාවන් ලියන්නට වන්නේ හස්ත මුද්‍රාවෙන් බැව් ද උදක්ම සලකාගනු මැනැවි. ඒ වගත් මෙසේමයැ.

      Delete
    3. ප්‍රා,

      ආභාෂය ඔය හත අටකින්ම කියලයි මට හිතෙන්නෙ ප්‍රා, අමාවතුර විශේෂයි, මම තාමත් බොහොම ආසාවෙන් කියවන පොතක්..එතකොට ඔබ කිව්ව වගෙ උමංදාව, ඩබ්.ඒ.සිල්වා මහත්මයාගෙ ලක්ෂ්මී, රාමායණය වගෙ පොත්. ඩේවිඩ් කරුණාරත්න මහත්මයගෙ ඉලියඩ් සහ ඔඩිසි පරිවර්තනය..රණබිම සහ වීර චාරිකා,

      Delete
    4. භූරාභිධානයාණනි,

      අහෝ එකල සිහිපත් වත්ම මා ළය හුණුවැ වැගිරෙන්නේය. හද සෝ සුසුමින් පිරෙන්නේයැ. නීරික්ෂකයාණන්ගේ හස්ත මුද්‍රා ටීකාවන්, නවමාභිධානයන්ගේ භාවපූර්ණ විශ්ලේෂණයන්, අහා..ස්මරණයෙන් ගිලිහී ගියේවී නම් නපුරැ, තොප උක්ත නීරික්ෂකයාණන්ගේ ඔද තෙද බිඳැ වාලධිය දෙගාත් අතරැසඟවාගත් සිඟාලයකු මෙන් පළායන්නට සැළැස්වූ අයුරු,අහෝ එවන් සිත් පහන් කරවන්නාවූ කළෙක් යළි කැළම නො පැමිණෙන්නාහ. කැළම නොපැමිණෙන්නාහ....අහෝ අහෝ....

      Delete
    5. ravi,
      the best ever is mayaranjan's translation of the iliad - throja pura sangraamaya. some of ur technique mirrors his. that present/past combination to weld a sentence fascinates me.
      lord bur, whatever u are on today i admit parajayaya. i will go take my pill and read u again. thanks.
      pra jay

      Delete
    6. නිරීක්ෂකයාගේ හස්තමුද්‍රාවන්... අහෝ එබඳු සමයෙක්! කවදා නැවත උදාවේදැයි නොදනිම්. කාලයේ වාලුකා තලායෙන් වැසුනු එමැ සමය නැවත දු උදා කරගනු මනායැ..

      Delete
    7. ඒ කමෙන්ට්ස් ටික අහම්බෙන් දැකල තමයි මං මේ බ්ලොග් එක කියවන්න ගත්තේ (Y)

      Delete
  18. //....බින්දි නම්වූ ඒ ලලනාවෝ මෙදවස සිංහපුරයෙහි "වසන්නේ" ලේඛන කලාවෙන්....//

    should be "වසන්නී"

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      වහාම නිවැරදි කළෙමි..ඔබට ස්තූතියි...:)

      Delete
  19. වීරසිංහ ගුරුතුමියට සුභ උපන් දිනයක වේවා !!!!!
    ටුස් ගාල ගෙදරට ඇවිත් හංගල තිබ්බ බාගෙ ගහල ෆ්‍රිජ් එකේ තිබ්බ මාළු කෑල්ල හපල බත් ටිකක් කන්ඩ හිටිය රවිතුමාව නිදි දෙවුදුව ඔඩොක්කෙ තියාගත්ත නේද ?
    ගුරුවරියො රෙදි හෝදන්ඩයි වේලන්ඩයි දක්වන්නෙ පුදුම කැමත්තක් තමයි. මාත් ඔය කරදරෙන් බේරෙන්ඩ වෙන රටකට පැනල යන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / වීරසිංහ ගුරුතුමියට සුභ උපන් දිනයක වේවා !!!!!/

      ඔන්න ඔන්න උඹ කන්නයි යන්නෙ...වීරසිංහ නෙවෙයි බං..මම විස්තරේ කිව්ව උඩ කළ්‍යණගෙ කමෙන්ට් එකට පිළිතුරු විදිහට...

      / ගුරුවරියො රෙදි හෝදන්ඩයි වේලන්ඩයි දක්වන්නෙ පුදුම කැමත්තක් තමයි. මාත් ඔය කරදරෙන් බේරෙන්ඩ වෙන රටකට පැනල යන්න ඕනෙ. /

      අහ්..එහෙමත් එකක්ද? මට දොස්තර නෝනෙක් ගැන කවුද කියාපු මතකයක් තියෙනව. එතකොට එහෙම නෙවෙයි නේද?

      Delete
    2. නෝනෙ වැඩට ගියාම ගෙදර ඉන්න ලොකු නෝනෙ තමයි ගුරුවරී.
      උඹෙගෙ මීටරේ තමයි අයියෙ මීටරේ , මාර මතකයක්නෙ තියෙන්නෙ

      Delete
  20. හාමිනාට සුභ උපන්දිනයක් කියල ඊයෙ පැතුව, අද කිව්ව.

    ඔය රෙදි සීන් එක මටත් උනා, ඉස්සර මම වහලෙ නැගල රෙදි වෙලන්නෙ ඉරිදට. ගමම දන්නව, ලැජ්ජාවේ බෑ. මම නැග්ගෙ නැත්තන් උන්දැ නැගල වනන නිසා ලැජ්ජ බිමින් තියල මමම නගිනව ඉතින්.

    ඉන්දික උපශාන්ත

    ReplyDelete
    Replies
    1. Indika,

      / ඉස්සර මම වහලෙ නැගල රෙදි වෙලන්නෙ ඉරිදට /

      ඒ කිව්වෙ බොලාගෙ රූෆ් ටොප් ස්ලැබ් එකක් තිබ්බද? නැත්තං වහළෙම වනනවද?

      පැතුමට ඊයෙ ස්තූතියි..කිව්වට අද ස්තූතියි...:)

      Delete
  21. අනේ ඒ අවාසනාවන්ත භාරියාවට සුබ පැතුවා කියන්ට..

    ප.ලි _ ඔය ගීතයට මං බොහොම ආසයි.දයා ද අල්විස් මහත්මිය ලියූ හැම ගීතයකටම එක සේ ආසා කළත් ඔය ගීයට ටිකක් වැඩිපුර මනාපයි.සමහර විට නන්දා මාලිනියගේ මියුරු ගී තනුවත් ඊට හේතුවක් වෙන්නැති

    ReplyDelete
    Replies
    1. වර්ෂා,

      / අනේ ඒ අවාසනාවන්ත භාරියාවට සුබ පැතුවා කියන්ට.. /

      මොකද බං අවාසනාවන්ත? ...හෙහ්,හෙහ්,

      / ඔය ගීතයට මං බොහොම ආසයි./

      ඇත්තටම අපූරු සිංදුව නේද?

      සහසක් පැතුමන් ඉපදී මියගොස්..
      ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
      ඇහැල මහක අඬ සඳ පැයූ දා..
      මතකද සිරි දළඳා වැන්දා...
      මතකද සිරි දළඳා වැන්දා...

      Delete
    2. ඕකෙ පිලිතුරු ගීයකුත් තියෙනව නේද "සහසක් පැතුමන්" කියලම...?

      Delete
    3. Dracky,

      සහසක් පැතුමන් නැත මා පැතුවේ 
      එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ 
      හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
      මතකයි සිරි දළදා වැන්දා
      මතකයි සිරි දළදා වැන්දා

      ඇස කඳුළැලි මෙන්
      ඉස පිනි බින්දු
      පිරිසිදු නා මල දෝතෙහි රැන්දූ ...//
      පිදුමත් පැතුමත් කඳුළට හරවා
      මතකයි ඔබ පාමුල වැටුනා

      සහසක් පැතුමන් නැත මා පැතුවේ 
      එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ 
      හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
      මතකයි සිරි දළදා වැන්දා
      මතකයි සිරි දළදා වැන්දා

      අහිමි සැපත මිහිරියි සිත පුරවා
      තැවෙමු හඬමු මේ භවය පුරා ...//
      මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
      අදට වඩා අනුකම්පාවෙන්

      සහසක් පැතුමන් නැත මා පැතුවේ 
      එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ 
      හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
      මතකයි සිරි දළදා වැන්දා
      මතකයි සිරි දළදා වැන්දා
      මතකයි සිරි දළදා වැන්දා
      මතකයි සිරි දළදා වැන්දා

      ගායනය - සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
      පද රචනය - දයා ද අල්විස්
      තනුව - සනත් නන්දසිරි

      Delete
    4. අන්න බඩු...

      දයා ද අල්විස්ගෙ පද නම් සුපිරියි ඈ.

      Delete
  22. ගුරුවිරීට අපෙනුත් සුභ පැතුම්....
    ජය වේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. හේමමාලී,

      / ගුරුවිරී..../

      මතකයි නේද?...හෙහ්,හෙහ්,


      ස්තූතියි හේමමාලී...:)

      Delete
  23. අනේ අයියෝ.....
    රෙදි සියල්ල තෙතබත් වී විනාශ වීම නිසා කෝපයට පත් රවි අයියාගේ බිරිඳගේ කොසු පහරින් ගැලවීමට පරණ ගම්පොල පාරදිගේ දුවන රවි අයියා...
    මනරම් දසුනක්....

    සුපිරි ලිවිල්ල. ආ....

    ReplyDelete
    Replies
    1. ටිරාන්,

      හෙහ්,හෙහ්, අප්පෝ පරණ ගම්පල පාරෙ දුවල ඇති මම ඉහේ කෙස් ගාණට, ඉහේ කෙස් ගාණට,

      සාදරයෙන් පිළිගනිමි සහ බොහොම ස්තූතියි!

      Delete
    2. ඈත මඩ කළලින් වැසී ගිය දෙපයට පින් දිදී දිවෙන වීරසිංහ මැතිඳුන්යැ. මෑත මුසුන්මිට සුරතින් ගෙන උහු හඹා වඩිනා විජේරත්න මැතිණියයැ. ඈත බියෙන් තැතිගත් ඇස් ඇති වීරසිංහ මැතිඳුන්යැ. මෑත කෝපයෙන් රත් වැ යවටක් වැනි ඇස් ඇති විජේරත්න මැතිණියයැ. ඈත එබූ එබූ පයින් මහ පොළව පළා වියන්නාක් මෙන් දිවන වීරසිංහ මැතිඳුන්යැ. මෑත එබූ එබූ පයින් මිහිකත සනහ සනහා වඩිනා විජේරත්න මැතිණියයැ. ඈත බැලූ බැලූවන් "අනේ! අනේ!" කියවන වීරසිංහ මැතිඳුන්යැ. මෑත බැලූ බැලූවන් "සාධු! සාධූ! හොඳ වැඩේ ඕකට" කියවන විජේරත්න මැතිණියයැ.....

      Delete
    3. Ravi Ayiya..

      එහෙනම් දවස් කීපයක්ම වගේ රෙදි වැස්සට අහුවෙලා...

      Delete
    4. /මෑත බැලූ බැලූවන් "සාධු! සාධූ! හොඳ වැඩේ ඕකට" කියවන විජේරත්න මැතිණියයැ...../
      පෂ්ඨයැ බුරාතීනුව, පෂ්ඨ පදිරියැ...!!! තොප ලියා ඇත්තේ පාඨකයන් නරඹන්නන් කරවමිනැ.

      Delete
    5. රවී වීරසිංහ දමනය....:D

      Delete
    6. බූරාභිධානයනි, ඉතා මනරම්යැ සිත් සන්තුෂ්ඨියෙන් ඉපිල යන්නෝයැ. එදවසැ අපගේ දයාබරවූ නීරික්ෂකයාණන් හා අප කල සංවාදයන් ස්මරණයෙන් නෙතඟෙහි කඳුලක් ඉපැදිණි.

      අකල්හි අප අතරින් වියෝවූ එතුමාට උපහාර පිණිසැ එවන් එක් වියත් සංවාදයක් පහත පළකරම්හ.

      ObserverMarch 28, 2012 at 2:22 PM

      මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන්

      RanDilMarch 28, 2012 at 2:30 PM

      ඔබා මාමේ මට හිනාව පිට උගුරු දණ්ඩ දිගේ ගියානේ....... :D

      RaviMarch 28, 2012 at 3:27 PM

      @ Observer,

      / මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන් /

      නවමුන් බුහුරන් සහ මවිසින් නොයෙක් බාධක දුෂ්කරතා මැඬගෙනැ හුදෙක් හෙල බසෙහි උන්නතිය තකාමැ ජිහ්වයන්දැ විකාගෙනමැ ලියූ වියත් භාෂා රචනාවන් පෙනේද මේ නුවණ මඳ පුඟුලානන් උපහාසයට පාත්‍ර කල අයුරු.... 

      තොප වන්නවුන්ගේ මෙවන් රොස් පරොස් වනාහී අපගේ මේ මහඟු ව්‍යායාමයට දිරි දෙන්නක් මිස කිසිලෙසකින් දුර්මුඛ කරවන්නක් නොවන බව උදක්මැ සිහිතබා ගනු යෙහෙකි.

      ඒ කෙසේද යත් අලගියවන් මුකවැටිදුන් එකල පැවසූවාක් මෙන් " සුවඳැති සොඳ සඳුන් රුක, සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ"

      තොපගේ ටීකාවටැ මම මෙසේ හස්ත මුද්‍රාවෙන්මැ පිළිතුරු දෙමැ. ඒ කෙසේද යත් සුරතෙහි මධ්‍යාංගුලිකාව ඔසවා තබාලා පියා සෙසු අංගුලිකා චතුෂ්කය පහතට නවා සුරත ඔසවා දක්වන්නෙමි.

      BurathenoMarch 28, 2012 at 4:37 PM

      දමන්න පංචමයක් සූර්‍යාභිෂේකරයෙනි, දමන්න පංචමයක්... මෙවන් අඳ බාල නුණුවන දනන්ගෙ රෝශ පරෝශයෙන් අපගේ මේ උත්සාහය බිඳකින් වත් අඩු නොවන බව සැබෑවක්මය..

      මමද මෙලෙසින් හස්ත මුද්‍රාවෙන්ම පිළිතුරු දෙන්නෙමි.. සුරතෙහි පළමු අංගුලිකාව ඔසවා සෙසු අංගුලිකාවන් නවා සුරත ඔසවා දක්වන්නෙමි..!!

      නවම්March 29, 2012 at 5:46 PM

      එම්බා තෙල නිරීක්ෂකය, තොපගේ උක්ත අව්‍යක්ත තෙපළුමට මාගේ නොවක් ප්‍රතිචාරය;

      අධෝමුඛය උදෙසාම වෙන් වූ හස්ථයෙහි මහපඨාඅංගුලිකාව හා ආකෝෂ පරිභ්‍රවය පිණිසම නිර්මිත දබරාංගුලිකාවෙහි තුඩු එකිනෙක මතුයෙහි ගැඨීමෙන් නිර්මාණය වන්නාවූ අංගුලිකා වෘත්තයෙහි මධ්‍යයෙහි දක්ෂිණ හස්ථයෙහි දබරංගුලිකාව ඔබ්බවා ඔබ මොබ යවා දක්වමි.

      Delete
    7. RaviMarch 29, 2012 at 7:53 PM

      @ Nawam & Bura,

      ප්‍රීතියි, ප්‍රීතියි, මා සොයුරනි,

      ඒ අවියත් වූ එමෙන්ම නුණුවන වූ නිරීක්ෂකයන්හට තොප දෙදෙන නිසි පිළිතුරු දී ඇත්තාහ. එසේමය. එසේමය.සිහල වියුණු අවකාශයේ දිදුලන උත්තර තාරකාවන් බදු වූ ද අවියත් බසින් ලියැවෙන වියුණු සටහන්හි භාෂා ව්‍යාවහාරය නඟා සිටුවනු වස් කිසිදු ලාභ ප්‍රයෝජනයෙක් නොතකාමැ කණකමය වූ තම කාලය ද නොමසුරුවැ වැය කරමින් එසේම තම විශිෂ්ඨ බුද්ධිය ද ඒ උදෙසාමැ මෙහෙයවමින් අප තිදෙන කරන්නා වූ මේ මහඟු මෙහෙයට උපහාර දක්වනු වෙනුවට මෙවන් ආක්‍රෝශ පරිභවයන්ට මුහුණ දීමට සිදු වීම ඇත්තෙන්ම ඛෙදවාචකයක් නොවන්නේ නම් ඛෙදවාචකයක් යනු කිමෙක්දැයි මම නොදන්නෙමි.

      වන්නාටයැ, කම් නැත, අප තිලෝගුරු පියාණන්ගේ පවා හිසට මහත් වූ පර්වත පෙරැලූවන් එකල්හි හුන් බව සිහිකරැ සැනැසෙම්හ.

      එසේමැ විළිබියෙක් සුන්සහල් කඩෙක පමණ හෝ ඇතිනම් නිරීක්ෂකයන් නැවත අප හට අකුල් හෙළීමට නොපැමිණෙනු ඇත.එතෙකිදු වුව ප්‍රවේශම් වුවහොත් මැනවැයි හඟිමි, හේ තෙමේ වනාහී විළිබිය යනු කිමෙක්දැයි තිබියේවා එවන් වදනක් පවතින බව පවා නොදන්නා පුඟුලෙකැයි මසිතෙහි කුකුසෙක් ඇත්තාහ.

      කම් නැතැ මා දයාබර නවමුනි, බුහුරනි,, අප මෙසේ සපථ කර සිටුම්හ,

      අපගේ මේ ව්‍යායාමය කිසිසේත්ම අපගේ සුව කල නොහෙනා මස්තිෂ්ක ආබාධයෙක් කරණ කොටගෙන නොවන අතර හුදෙක් සිහල වියුණු බස වියත් වහරෙක් බවට පත්කිරීමෙහිලා දැඩි අධිෂ්ඨානයෙන් යුතුවැ දිවි පරදුවට තබා කෙරෙනා ව්‍යායාමයක් බවට ද එසේම එකී අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහිලා රුධිරය, මාංශය සහ අවසාන වශයෙන් අගනා වූ ජීවිතය පවා පරිත්‍යාග කිරීමට නොපැකිලෙන බැව් ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දී වදාරම්හ...සාධු! සාධු!! සාධූ!!!

      ( ෂිස්..... කොහොමද?... ලස්සනට ආව ඒ ටික නේද?....අන්තිම හරියෙ මට ඇඬුන බොලව්...ආයෙ මක්කටෙයි කියන්න ලැජ්ජ වෙන්නෙ....හෙහ්, හෙහ්,අනේ මන්ද බාල්ලා....අපි නැති දවසක මේ බොලොග් කෙරුවාවට දෙයියංගෙ පිහිට තමයි ඉතිං )

      We shall defend our '' Viyath Bhaashaava'', whatever the cost may be, we shall fight on '' Nidahas Sithuvili'' , we shall fight on '' Nawam mawatha'' , we shall fight anywhere our enemies would be; we shall never surrender. - With sincere apologies to Winston Churchill

      Delete
    8. BurathenoMarch 30, 2012 at 6:16 AM

      වැලිදු එක්දවසෙක් නිරීක්ෂකයා පූර්‍වදින සන්ධ්‍යාභාගයේ පානය කරන ලද්දාවූ සෝමපානයානුභාවයෙන් නැගිටගත නොහී දාවලක් තෙක් නිදා පිබිද නේත්‍රයුග්මයේ කබ කඩ කඩා සවර්‍ වාතස්කන්ධය දූෂණය කරමින් මුව ආයමින් ඈනුම් අරිමින් "අද දිනයේ කා හට අංචියක් අදිම් දෝ හෝයි නැතහොත් කා හට ගිනිගෙඩියක් දෙම් දෝ" හෝයි සිත සිතා කොක් කරක් සේ දිගුකරගත් ගෙලින් හා රතාක්ෂියා වුව දුටුවහොත් බියවැ පලායන තරමේ රත් පෑ වූ නෙතින් හා අයාගත් මුවින්ද යුතුව ඈත් මෑත් බලන්නේ, සර්‍වලෝකධාතුවම ඒකාලෝක කරමින් සූර්‍යදිව්‍යරාජයා උදාසනක් සේ පිබිදෙන්නේ යම්සේද එලෙසින් උදාසනින් පිබිද සුවඳ පැනින් නා හැඳ පැළැඳ වීදියට බට සූර්‍යාභිධාන ය, නවමාභිධාන ය, බුරාභිධාන ය යන මේ කෙළෙඹි පුත්‍රයන් තිදෙන එක්ව ත්‍රෛයිලෝකාභිධාන වූ අසමසම වූ ත්‍රිභූවනචූඩාමාණික්‍යරත්නයක් බඳු වූ අප මහා තථාගතයන් වහන්සේ ලෝකෝපකාරය පිණිස ධර්‍මභාෂණයේ යෙදුනේ යම්සේද එපරිද්දෙන් උතුම් වූ සුන්දර වූ කුලස්ත්‍රීන් සමූහයක් පිරිවරා විද්වත්භාෂණයේ නියැලෙනායුරු දකින්නාහු මෙසේ සිතන්නාහුය. "කොල මේ කෙළෙඹිපුත්‍රයන් තිදෙනා සැමදා මේ සුකුමාර ළලනාවන් පිරිවරා භාෂණයේ යෙදෙන්නාහ, අනෙකුත් කුලපුත්‍රයන් පිරිවරා විද්වත් සාකච්ඡාවේ නියැලෙන්නාහ, අද මුන්ට කියටි කියවමි, අනෙකුන් මුන් කෙරෙන් බිඳවාපියාලමි, මුන්ගේ විද්වත්භාෂණ මෙතෙකින්ම නවතාලමි" යි සිතාලා තවමත් පූර්‍වදිනයේ සුරාමත මුළුමනින්ම පහනුවූයෙන් කෙලින් කටින් සිටගත නොහැකිවූවද යන්තම් පන්තම් අතගාපියා නෙළුම්පතක ඇවිදින කොරවක්කෙක් සේ නැතහොත් දහවල්කලෙක මංමුලා වී ඇවිදිනා බකමුහුණෙකු සේ වැනි වැනී හැපි හැපී වීදියට බසින්නාහු ගොසින් කෙළෙඹිපුත්‍රයන් හා අනෙකුන් අභිමුඛයේ පරුස වදන් දොඩන්නාහුය විද්වත්භාෂණයට කිසිසේත් නොගැලපෙන ප්‍රශ්න කෙළෙඹිපුත්‍රයන් අතින් විචාරන්නාහුය නොයෙකුත් හස්තවිප්‍රකාර දක්වන්නාහුය මේ ආදි නානාවිධ විකාර කරන්නාහුය. කෙළෙඹිපුත්‍රයෝද පළමුවෙන් මේ කුමක්දැයි විපිලිසර වන්නේ නමුත් සුළුවේලාවකින්ම නිරීක්ෂකයා මේ සැරසෙන්නේ කුමකටදැයි වටහාගන්නාහු ඔහුව නොසලකා හරිමින් තමන්ගේ විද්වත්භාෂණය නොනවත්වා කරගෙනයන්නාහුය, වැලිදු නිරීක්ෂකයාද එයින් පසුබටනොවන්නේ පෙරටත් වඩා ශබ්දනගන්නාහුය ආක්‍රෝෂපරිභවයෙන් බෙනෙන්නාහුය විප්‍රකාර කරන්නාහුය, අවසන මෙයින් කිපීගත් සූර්‍යාභිධාන කෙළෙඹිපුත්‍ර තෙමේ නිරීක්ෂකයා බනවා මෙසේ කියන්නේ "කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ නිකෘෂ්ට වූ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාණ වූ නිරීක්ෂක නම් බමුණුමාල්ල, විද්වත්භාෂණයේ යෙදෙන්නට වුවමනානම් එපරිද්දෙන් මෙම භාෂණයට සහභාගි වෙව එයට තට අපෙන් බාධාවක් නැත්තේය නමුදු මේ ආක්‍රෝෂපරිභවයෙන් හා හස්තවිප්‍රකාරයන්ගෙන් තොපටත් අප‍ටත් ඵලක්නම් නැත්තාහ ඉදින් තවදුරටත් මෙම විප්‍රකාර දක්වන්නට යෙදුනේනම් මාගේ සැටි තට පෙන්වමි" යි කීය. මෙවිට නවමාභිධානයන් කියන්නේ "අයියණ්ඩිය, කලබල නොවන්න, මේ නිරීක්ෂකයා වනාහි වයස්ගතය, අපගේ මුත්තණුවන්ගේත් මුත්තණුවෙකියි කියතහැකි තරම් මහළුය, තවද මූ තවමත් පහවනොගිය සුරාමත ඇත්තාහුය, මූ කියන්නක් මූම නොදනී, නාගයින් පෙණය පුප්පන්නා දකින ගැරඩින් කැබැලිත්තක් ගෙන දගලන්නාක් මෙන් දගලන්නාවූ මෙවැන්නන් හා වාදයට යාම අපට තරම් නොවේමය, කලයුත්ත මා දනිමි" යි කියාලා නිරීක්ෂකයන්ගේ ගෘහාභිමුඛයට ගොස් උන්ගේ භාර්‍යාවන් බනවන්නේ "නැන්දනිය, තොපගේ වල්ලභ නිරීක්ෂක තෙමේ තවමත් පහවනොගිය සුරාමත ඇත්තේ වීදියේ අරගල කරන්නාහුය පරුසවදනින් දනන් පෙලන්නාහුය වහා අවුදින් උන් කැඳවාපියා නොලදහොත් මහත් විපතක් ඇතිවීමට පුළුවන" යි කියා සියළු විස්තර ඈට පැවසීය. මෙපවත් අසාලා දණ්ඩෙන් පහරලත් ආශීර්විෂයෙක්හු මෙන් කිපීගත් ඕතොමෝ වහවහා දිවඑන්නේ "කොල වෙට්ට පිත්තල කෛරාටිකවූ බමුණුමාල්ල, ගෙයි වැඩ පිරීගති, උදෑසන ඉඳුල්පිගන් තවමත් සින්කයේ බහාලූගමන්ය, සේදූ වස්ත්‍ර තවමත් වනාපියා නොමැත, ගෙයිමිදුල් කුණුධූලියෙන් වැසීගොස් ඇත, මේ වැඩ සියල්ල තනි මාපිට පවරා තා මෙහිවිත් සම්ඵප්‍රලාප දොඩන්නාහුය. දැන්ම අවුදින් සියල්ල අහවරයක් නොකලේ නම් තට අද දාවල් බත් නැත" යි කියාලා කොසුමිටි පහර දී නිරීක්ෂකයා පිට නළල් ගඩු නංවා ඌව ඇදගෙන යන්නාහු අප මිත්‍ර කෙළෙඹිපුත්‍රයන්ගේ විදිවත්භාෂනයට ඇති බාධාව නැති කලාය. ඉක්බිති කෙළෙඹිපුත්‍රයෝද අනෙකුත් කුලස්ත්‍රීන් හා කුලපුත්‍රයන්ද විද්වත්භාෂණය නිමවා චිත්තප්‍රීතියෙන් යුක්තව වෙන්ව ගියාහුය.

      ෴ නිරීක්ෂකයා හා කෙළෙඹි පුත්‍රයන් තිදෙන නම්වූ පරිකතාව නිමි ෴

      Delete
    9. Praveena PalipanaMarch 30, 2012 at 7:25 PM

      OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!

      mekuwiMarch 30, 2012 at 8:40 PM

      උම්මග්ග ජාතකේ කියෙව්වා වගේ .. කොහෙන්ද අප්පා මේ වචන .. අනේ පව් අසරණ ඔබා මාම

      ObserverMarch 30, 2012 at 9:03 PM

      තොප්පිය හරි අයට :-)

      වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට පෙන්නුව මෙන්න.

      Buratheno

      අඩේ ඔබා අයියා, අද තමා දැක්කෙ.. සංතෝසයි සංතෝසයි, ඇරලා යං ඈ..

      කමෙන්ට්ස්වල ෆොන්ට් සයිස් එකත් වැඩි කරමු.. අපටත් හතලිස් ඇදිරිය තියෙනව බොල.. :)

      Delete
    10. මෙතන වියත් අදහස් වලින් පරිපූර්ණ ඉතිහාසයක්ම තියනවා නොවැ

      Delete
  24. පසුගිය ටිකේ රවිගේ ලිපි කිහිපයක්ම මඟ හැරුනා.ඒ ලිපි කිහිපයත් කියවලම එන්නම්...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...