Monday, April 11, 2016

406. The Story Of My Marriage - 20 - කැලරි විසිදාහක් රැගෙන පැමිණි මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසියක්


Chole Bhature : Image from ruchiskitchen.com

අනන්‍යා පිළිබඳ සිහින ලෝකයෙන් මට මිදෙන්නට සිදුවූයේ පියගැට පෙළ බැස ඩොලී අප අතරට පැමිණි බැවිනි. ඇය පැමිණීමට තත්පර පහකට පෙර ඇය ගැල්වූ විලවුන් සුගන්ධය අප කරා පැමිණියේය.

"හෙලෝ හෙලෝ ආන්ටිජී…. කොහොමද ඉතිං?" ඩොලී මගේ මව කරාගොස් ඇය තරයේ වැළඳගත්තාය.

"හප්පේ ඇත්තටම ඔයා නම් හරිම ලස්සනයි" මගේ මව මඳක් පසුපසට බරවී ඩොලී දෙස මදහසින් යුතුව නිමේෂයක් බලා හිඳ පැවසූයේ ප්‍රීතිය උතුරායන දෙනෙතින් යුතුව ඇගේ දෙකොපුල සිප ගනිමිනි.

ඩොලී තම මව අසලින් අසුන්ගත්තේ මදෙස බලා හිස මඳක් පහත්කොට අචාර කරමිනි.මම ද එළෙසම ඇයට ආචාර කලෙමි. මගේ මව පැවසූයේ පරම සත්‍යයකි. රන් පැහැ සිරස් ඉරි වැටුනු වයින් රතු පැහැති සල්වාරයකින් සැරසී සිටි ඇය අසාමාන්‍ය ලෙස සුදු පැහැතිය.

මගේ දෙතොල් ක්‍රමයෙන් මද සිනහවකින් විවරවන්නට වූයේ අහමදාබාද් තාක්ෂණ ආයතනයෙහි පළමු වසරේ ඉගෙනුම ලබද්දී සිදුවූවක් මතකයට නැඟුනු බැවිනි. ඒ අප විද්‍යායතනයෙහි වාර්ෂික ගොඩනැඟිලි අළුත්වැඩියාවන් සහ පින්තාරු කිරීම් කෙරෙන කාලසීමාව විය. අප නේවාසිකාගාරයට ආසන්නයේ වූ තෙමහල් ගොඩනැඟිල්ලක සුදු පැහැ තීන්ත ආලේප කරමින් හුන් පින්තාරුකරුවකුගේ අතපසුවීමකින් ගිලිහුනු තීන්ත බාල්දියක වූ තීන්තෙන් ඒ අසලින් ගමන් කරමින් හුන් මගේ නේවාසිකාගාර සගයකුවූ හෙන්රි හිස් මුදුනෙහි සිට දෙපතුල තෙක් නැහැවිණ.

තීන්ත බාල්දිය පෙරලූ පින්තාරුකරුගේ මවගේ, සුළු පියාගේ, භාර්යාවගේ, මළනුවන්ගේ සිට අළුත්වැඩියා කටයුතු ඉටුකරනා කොන්ත්‍රාත්කරුට එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කල අප ආයතනයේ ප්‍රසම්පාදන අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ පියාගේ, නැන්දණියගේ, වැඩිමහල් සොහොයුරාගේ, බාල පුත්‍රයා දක්වා සියල්ලන්ගේම ජාතකය හඬ නගා පවසමින් එලෙසම ඔවුන් සියල්ලන්ටම පස් පඩංගුවේ අසභ්‍ය වදනින් බැණ වදිමින් මීට සිව් වසරකට පෙර නේවාසිකාගාරය වෙත කඩා වැදුණු හෙන්රිගේ ප්‍රස්තුත අවස්ථාවේ වර්ණයද ඩොලීගේ වර්ණය හා සර්වසමය.

ඩොලී කුඩා අවදියෙහිදී සුදු පැහැ තීන්ත භාජනයකට වැටුණේද, එසේත් නැතහොත් ඇයට ළදරු අවදියෙහිදී මව්කිරි වෙනුවට ආදේශකයක් ලෙස සුදු තීන්ත පොවන ලද්දේද යනුවෙන් පම්මි ආන්ටිගෙන් විමසන ලෙස පෙරළා නිවෙස බලා ගිය ඉක්බිති මගේ මවගෙන් ඉල්ලා සිටීමට මම අදිටන් කොට ගතිමි.ඒ සමඟම මගේ දෙතොලග නැඟුනු මද සිනහව නොදැනුවත්වම තවත් පුළුල් විය.

මිසරයේ ක්ලියෝපැට්‍රා රැජිණිය තම සමෙහි වර්ණය වඩාත් පැහැපත් කොටගනු පිණිස ඔටු කිරි පිරවූ තටාකයක බැස ස්නානය කල බැව් කලකට පෙර කියවූ ඉතිහාස පොතක සඳහන්ව තුබූ බැව් ද මට එකෙණෙහිම මතක් විය. ඩොලීද ඔටු කිරි කෙසේ වුවද පිටිකිරෙන් හෝ දිනපතා ස්නානය කරනවා විය යුතුය. 

සේවිකාවක් දෙදෙනෙක් ඇගේ නාන තටාකය දෙපස හිඳ අමුල් කිරි පිටි (අමුල් යනු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පිටිකිරි වර්ගයකි.) කිලෝ පහේ ඇලුමිනියම් ඇසුරුම් මෙලෝ සිහියක් නොමැතිව කඩමින් නාන තටාකයෙහි පිරවූ ජලයට දමා කුඩා සවලක් පමණ වූ ලී පතු දෙකක් උපයෝගී කොටගෙන මිශ්‍ර කරමින් දිය කරනුද ඒ අසලම කුඩා තුන්පා කනප්පුවක් මත හිඳගත් ඩොලී තුවායක් පමණකින් විළිවසාගත්වනම ඒ දෙස නොඉවසිල්ලෙන් බලා හිඳිමින් සේවිකාවන්ට බැණවදිනුද ඒ හා සමඟම මසිතට නැඟුනි. 

"ඉක්මන් කරපල්ල කෙල්ලනේ. මනමාලය පල්ලෙහා ඇවිල්ලත් ඇති දැං...මම පරක්කු වෙලා මනමාලය යන්ට ගියොත් එහෙම නොකිව්වයි කියන්ට එහෙම එපා ඔය කිරි ඔක්කොම මම උඹල දෙන්නටම පොව්වනවා."

මසිතේ මැවුණු එම දර්ශණය කොපමණ හාස්යජනක වීද යත් මට නොදැනුවත්වම සිනහ පහළ විය.ඒ විගස කිසිවකු තදින් මගේ උරහිස මිරිකනු දැනී එදෙස හිස හැරවූ මට දැකගත හැකිවූයේ මහත් ප්‍රීතියෙන් ඉපිළෙමින් මුව පුරා පැතිරුණු සිනහවකින් යුතුව මදෙස ඇසිපිය නොහෙලා බලා හිඳිනා මගේ මෑණියන්ය.

"මොකද අම්මෙ?" මම එකෙණෙහිම සිනහව මුහුණින් මකා දමා දෑස් කුඩා කොට ඇසීමි. 

"හිහ්..හිහ්..ගිහ්...මොකද තමයි... කොහොමද කෙල්ල රූප රාජිණියක් පරාදයි නේද? හරි..හරි..ක්‍රිෂ්..කිසිම ප්‍රශ්ණයක් නෑ. මම දැක්ක ඔයා ඩොලී දිහා බලල බොහොම අපූරුවට හිනැහෙනව. මම මේ ඒ විදිහට ඔයා බොහොම සන්තෝසෙං හිනාවෙනව දැක්කෙ බොහොම කාලෙකට පස්සෙ. මටත් බොහොම සන්තෝසයි ක්‍රිෂ්, ඇත්තටම සන්තෝසයි...මම ටක්කෙටම දැනගෙන හිටිය මේ දරුව දැක්කගමං ඔයා.."

ඇය කියවාගෙන ගියේ මදෙසට නැවී මගේ කණට ඇගේ මුව ළංකොට කොඳුරමිනි. මම ද එළෙසම කොඳුරමින් ඇය ඇමතුවෙමි.

"මේ පිස්සු කියවන්නෙ නැතුව ඉන්නවද ඔය ඉන්න විදිහකට..මම දැං යනව යන්ට මෙතනිං නැඟිටල…"

ඇය සුරතින් කට වසාගෙන සිනහව වළක්වා ගන්නට අසාර්ථක උත්සාහයක් ගත්තාය. 

"මොකද අම්මගෙයි පුතාගෙයි සාකච්ඡාව ඔතන?" පම්මි ආන්ටි සිනාසෙමින් විමසුවාය. 

"නෑ පම්මිජී මේ ක්‍රිෂ් කියනව……"මගේ මව මා දෙස හොරැහින් බැලුවාය. 

"අම්මෙ මේ මම කිව්වනෙ ...මම යනව යන්ට ඔන්න" මම කසුකුසුවෙන් ඇයට තර්ජනය කළෙමි. 

"හිහ්..හිහ්..ඒක හොඳයි..අම්මයි පුතයි හරියට යාලුවො වගෙ...අන්න එහෙම තමයි ඉන්න ඕන" පම්මි ආන්ටි පැවසුවාය.

"හ්ම්ම්ම්ම්..යාලුවො තමයි…" මම මව දෙස නොපහන් දෑසින් යුතුව බැල්මක් හෙලූයෙමි. ඇය සුරතින් මුව වසාගත්වනම නොකඩවා සිනාසුණාය. 

"දැන් මේ ඩොලියි මායි උනත් එහෙමයි..අපි දෙන්න හරියට අක්කයි නංගියි වගෙ ඉන්නෙ. කිව්වට විස්වාස කරන්ට කවිතාජී හුඟ දෙනෙක් රැවටෙනව අපි දෙන්න අක්කයි නංගියි කියල."

හ්ම්ම් ඒක නම් ඇත්තම තමයි.... මව සහ දුව ඔවුනට නොදැනෙන ලෙස සසඳමින් මම සිතුවෙමි. එක වගේම තමයි.... නොදන්න මිනිස්සු රැවටෙන එක පුදුමයක් නෙවෙයි. අර පේන්නෙ නැද්ද දෙන්නගෙම පපුව හරිය ...යටට ගිහාම හත් අට දෙනෙකුට සාමාන්‍ය තරමෙ වැහි පොදකට හිටියැහැකි තෙමෙන්නෙ නැතුව....හෙහ්,හෙහ්, මට පුදුම මේ ගොල්ල ළමයින්ට කිරි දෙන්නෙ කොහොමද කියල පොඩි එවුංගෙ නහය තදවෙල හුස්ම හිරවෙලා මැරිල යන්නෙ නැතුව....

"මොකද දුවේ ඔයා මේ දවස්වල කරන්නෙ ?" හිඳසිටි සෝපාවෙන් නැඟිට ඩොලී අසලට ගිය මගේ මව විමසූයේ ඇගේ සුරත ගනිමිනි.

"මම බී.ඒ. පාස් වුනා ආන්ටි...."

"ඇත්තද?.... අනේ වාසනාවන්...මොන කැම්පස් එකේද?" මගේ මව එලෙස විමසන අතර මා දෙස බලා ඉඟි මැරූයේ ඔන්න දැක්ක නේද? මේ ළමයටත් උපාධියක් තියනව. යන්න නොකියා කියමිනි. 

"කැම්පස් එකක් නෙවෙයි ආන්ටි. තැපැල් මාර්ගික….ඒකෙ පාඩම් ඔක්කොම ආවෙ තැපෑලෙන්. උත්තර යැව්වෙත් එහෙමයි. "

"ඔව්..අනේ ගෙදර ඉඳන්ම උපාධියක් ගන්න පුලුවන් කම තියෙද්දි අර අහවල දේකටද කැම්පස් ගිහිල්ල දුක් විඳින්නෙ? නැද්ද?.." ඒ පැහැදිලි කිරීම පම්මි ආන්ටිගෙනි. "ආ..ඒක නෙවෙයි ඔයා ඊට පස්සෙ කරන අර කම්පියුටර් කෝස් එක ගැනත් විස්තර කියන්න මේ ආන්ටිටයි ක්‍රිෂ්ටයි….අනේ මට අමතකම වුනා, කවිතාජී තව මොනවහරි කන්න මොකවත් ගෙන්නන්නද?"

ඩොලී යමක් පවසන්නට මුව විවර කල නමුදු ඇගේ මව සහ මගේ මව යන දෙදෙනාම ඇය හදාරන පරිගණක පාඨමාලාවට වඩා කොහොමත් සිත්ගන්නා සුලු මාතෘකාවක් වූ ආහාර පිළිබඳ සාච්ඡාවකට අවතීර්ණ වී සිටිනු දැක නිශ්ශබ්ද වූවාය.

"අනේ එපා පම්මිජී... ඔයාකාර කතැහැකිය? මේ කෑව හොඳටම ඇති." මගේ මව පැවසූවද ඉන් සත්‍ය වශයෙන්ම අදහස් වූයේ කනවද නැද්ද කියල ආය අහ අහ ඉන්නවද? තියන දෙයක් ගේන්නකො බලන්න කන්ට පුලුවන්ද බැරිද කියල එතකොට අපි බලමු යන්නයි. පම්මි ආන්ටිද ඒ සැඟවුනු අර්ථය පිළිබඳ හොඳහැටි දැන සිටියාය.

"මේ මොනවද මේ කියන්නෙ? ඔයගොල්ලො එක්කො දවල් කෑමට එන්ට ඕන. එගෙම ආවෙත් නෑ. එක්කො රෑ කෑමට එන්ට ඕන ඒ දෙකම නෙවෙයිනෙ දැං….ඒ හින්ද අඩුගානෙ මට ඉඩ දෙන්ට මගේ හිතේ හැටියට රසකැවිලි වලින්වත් සංග්‍රහ කරන්ට.නැත්නම් මගෙ හිතට ඒක මහම මදිකමක්."

"රාජූ..කෝ මේ රාජූ….."ඇය හිස එහා මෙහා හරවමින් බෙරිහන් දුන්නාය, "ඒයි ගිහිල්ල අර කැවිලි බන්දේසිය අරගෙන එනවා පරිස්සමට. ආ...අර ඊයෙ ගෙනාපු චට්නි ඔක්කොගෙන්ම දීසිය දීසිය ගානෙ දාගෙන එනවා..තේරුණාද?"

රාජූ සහ තවත් සේවකයෙක් නිවසේ මුලුතැන්ගෙය දෙසට කඩිනමින් දිව ගියේ අසාධ්ය රෝගියකුගේ ජීවිතය බේරාගැනීමට ශල්‍යාගාරය වෙත වහ වහා දිවයන ශල්‍ය වෛද්යවරුන් දෙදෙනෙකු පරිදිය.

මද වේලාවකින් රාජු සහ සඟයා ආපසු පැමිණියේ මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසියක් තරම් වපසරියකින් යුත් පළඟානක් ඔසවාගෙනය. 

(වැදගත් - පියාඹන පීරිසියක ප්‍රමාණය හා /හෝ පියාඹන පීරිසි කුඩා, මධ්‍යම සහ විශාල යනුවෙන් වර්ග කොට තිබේද? එසේ නම් එළෙස වර්ග කලේ කවුරුන් විසින්ද? යන කිසිලෙසකින් හෝ අදාල නොවන ප්‍රශ්ණ ඔබ මගෙන් නොවිමසනු ඇති බවට මම උපකල්පනය කරමි මා දයාබර පාඨකය, එළෙසම ඔබ එසේ විමසුවද මම ඊට පිළිතුරු නොදෙන්නෙමි.) 

රාජූ සහ සඟයා විසින් ඔසවාගෙන එනු ලැබූ මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසිය මත නොතිබූ යම් රසකැවිල්ලක් වේනම් ඒ ඊයේ හෝ පෙරේදා සොයාගත්තක් විය යුතුය. සමෝසා, ජලාබි, චෝලේ භතූර්, කචෝරි යනාදී නොයෙක් රසකැවිලි සහ කෙටි කෑම වර්ග දීසිවල කොත ගසා මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසිය මත බැබලුනි. රක්ත, පීත සහ හරිත වර්ණයන්ගෙන් දිදුලන නොයෙක් චට්නි වර්ගද ඉහත කී ආහාර පිරිවරා සිටියෝය. ඒ මතවූ ආහාර තොගයෙහි කැලරි ධාරිතාවය අවම වශයෙන් විසිදහසක් පමණ වන බවට මට කිසිදු සැකයක් නොවීය.

(පරිවර්තක සටහන - සමෝසා පිළිබඳව ඔබ දන්නෙහිය. ජලාබී යනු අපගේ පැණි වළලු වලට බොහෝසේ සමාන රසකැවිල්ලකි. චෝලේ භතූර් යනු  පිසගත් කඩල වෑංජනයක් හා සමඟ ගැඹුරු තෙලෙහි බැදගත් තිරිඟු පිටි වලින් තනාගත් කුඩා රොටී වැනි ආහාරයක් එකතු වූ කල ඒ හඳුන්වන නාමයයි. කචෝරි යනු අර්තාපල් කඩල වැනි යමක් පුරවා තෙලෙහි බැදගත් පස්තෑල වැනි ආහාරයකි. )

"අයියෝ මේ මොනවටද පම්මිජී මේ හැටි? මට නම් කන්නත් බෑ වගෙ" මගේ මව පළමුව ඇගේ දෑත් වනා විරෝධය පළ කලාය. ඇගේ විරෝධය ප්‍රමාණවත් ලෙස පලකල ඉක්බිති මධ්‍යම ප්‍රමාණයේ පියාඹන පීරිසිය මත වූ පිඟානක් සුරතට ගත්තේ "ඔන්න ඔය සමෝසා දීසිය මෙහාට දෙන්නකො ළමයො" යයි සේවකයකු අමතා අණ කලාය.

"හරි හරි කවිතාජී ඔයාල දවල් හරි රෑ හරි කෑමකට එන්නකො පස්සෙ වෙලාවක. මේ නිකං මම පොඩි කට ගැස්මකට වගෙ ලෑස්ති කලේ." පම්මි ආන්ටි සිනාසෙමින් පැවසුවාය.

තව දුරටත් ඩොලී හා සමඟ වචනයක් හෝ කථා නොකළහොත් අනිවාර්යයෙන්ම මම වනාහී මන්ද බුද්ධියෙකුයයි ඇය සිතන්නට ඉඩඇති බව මගේ මවගේ සහ පම්මි ආන්ටිගේ විගඩම් නරඹමින් කට කොණකට නැඟුනු සිනහවකින් යුතුව හුන් මට හදිසියේම කල්පනා විය.

"මේ..මොකක්ද ඔයා කරනවයි කිව්ව කම්පියුටර් කෝස් එක?" මම ඩොලී දෙස හැරී විමසූයෙමි.

"මයික්‍රෝසොෆ්ට් වර්ඩ්, පවර් පොයින්ට්, ඊමේල් ඔන්න ඔය වගෙ එව්ව. මම හරියටම දන්නෙ නෑ අනේ. මේ ගිය සුමානෙනෙ පටන් ගත්තෙ. කොහොම හරි පේන විදිහට සෑහෙන්න අමාරුයි වගෙ."

"ඔව්..ඔව්..ඔව්...පේන විදිහට නම් ලේසි වෙන එකක් නෑ වගේ තමයි" ඒ හා සැණෙකින් මම ඒ නර්මාලාපය පිළිබඳව පශ්චාත්තාප වූයෙමි.

"මගෙ යාලුවො හැමෝම වගෙ ඔය කෝස් එක කරනව. ඒ හින්දයි මමත් ගියේ. තව දවසක් දෙකක් ගිහිල්ල බලමුකො. අමාරුයි වගේනං දමල ගහල මම නිකා ඉන්නව" ඩොලී මදෙස බලා සිනාසුනාය. "ඔයා නං මම හිතන්නෙ ඔව්ව ගැන හොඳට දන්නව ඇති නේද? "

"හ්ම්ම්ම්....ඔව්..ඔය සමහර සමහර දේවල් දන්නව."

ඩොලී සහ මම කථා කරන්නට ආරම්භ කල මොහොතේම පම්මි ආන්ටි සහ මගේ මව ඔවුන්ගේ කථාව නතර කළෝය. ඔවුන් දෑස් විසල් කොට අප දෙස බලාසිටිනා බව දැනුනු විගස ඩොලී සහ මගේ කථාවද නතර විය.

"හරි හරි අපි හිටියට කමක් නෑ. ඔයදෙන්නා දිගටම කතාකරගෙන යන්න"

පිළිවෙලින් ඩොලීගෙ සහ මගේ මුහුණු දෙස බලා මුව පුරා සිනාසුනු මගේ මෑණියෝ ඉක්බිති පම්මි ආන්ටි දෙස බලා දකුණැස වසා ඉඟි මැරුවාය. පම්මි ආන්ටිද එසේ ඉඟි මැරූ අනතුරුව ඔවුහු දෙදෙන දෑත් එක්කොට ඇස් ඉහළට යොමුකොට දෙවියන්ට ස්තූති කළෝය.

76 comments:

  1. බොහොම ස්තූතියි රවී, අසන්නන් ගේ ඉල්ලීම් වලට කන්දුන්නට. ඉතාමත් රසවත්. ගොඩක් කෑමත් තියෙනවනෙ. මේ ක්‍රිශ් ගෙයි රවී ගෙයි යම් සමානකම් තියෙනවා වගේ කියා සිතුණා. එකෙක් පෙට්‍රල් ශෙඩ් තුනක් එපා කියල ගිය තව කෙනෙක් අලියෙක් එපා කිව්ව.

    ReplyDelete
    Replies
    1. ඇයි ගෑල්ලමයින්ව scan කිරීම ඒකෙදිත් දෙන්නම එක වගේනෙ.

      Delete
    2. Ian,

      / අසන්නන් ගේ ඉල්ලීම් වලට කන්දුන්නට. /

      අසන්නන්ගේ ඉල්ලීම්....යටගිය දවස සොඳුරු මතක...ලේ පරිත්යාගශීලීන්ගේ ඉල්ලීම් මතකද?

      / එකෙක් පෙට්‍රල් ශෙඩ් තුනක් එපා කියල ගිය තව කෙනෙක් අලියෙක් එපා කිව්ව. /

      අලිය නම් එපා කිව්වම නෙවෙයි. අලියගෙ අයිතිකාරි මනාපෙ දුන්නෙ නෑනෙ...හෙහ්,හෙහ්,

      Delete
    3. කම්මල,

      ගෑණු ළමයි ස්කෑන් කිරීමත් ලේසි වැඩක් එහෙම නෙවෙයි...:)

      Delete
    4. මචං මට මතක උඹ අසෝකට කියනවා උඹ කිතුල් කොල වලට ඇලජික් නිසා අලියව බලාගන්න බැරි නිසා ඉස්සෙල්ල කෙල්ලෙක්ට කැමති වුණේ නැහැ කියල. ඒ කියන්නෙ උඹ අසෝකට බොරු කිව්වද?

      Delete
    5. ඉයන්,

      That was just for fun. අසෝක දන්නව සරෝජිනී ගැන. දෙන්න එකටනෙ වැඩ කලේ. ඒ හින්ද මම ඔය කියන එව්ව ජස්ට් ජෝකිං කියලත් දන්නව. අන්තිමට කොහොමහරි සරෝජිනීගෙ වෙන එෆෙයාර් එකක් තිබ්බය කියල මට කිව්වෙත් අසෝකා.

      Delete
  2. මාත් දෙවියන්ට ස්තූති කලා

    ReplyDelete
  3. මොකක්?..................අර ටීවී එකේ යන ඉන්දියන් කතාවක ජවනිකාවක්ද?

    ReplyDelete
    Replies
    1. විචා,

      ටී.වී. එකේ යන ඉන්දියන් කතා බැලීමට වෙලාවක් නොමැත...:)

      Delete
  4. "ඩොලී" කියලා අපෙත් නැන්දා කෙනෙක් ඉන්නවා.

    දැන් දෙන්නා දිගටම මොනා කතා කරන්නද ?ක්‍රිශ් කාරයාට පිස්සු හැදෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අපෙ උන්දැගෙ හිතවත් අක්ක කෙනෙකුත් ඉන්නව ඩොලි අක්කා කියල

      පොඩි කාලෙ අපි කියපු Nursery rhyme එකක්

      Inky pinky polly,
      Father had a dolly,
      Dolly died, father cried,
      Inky pinky polly,

      Delete
    2. මේං අපි කියපු එකක්.

      I went to Kandy
      To bring a bottle of brandy
      I saw a monkey
      Sitting on a කම්බි
      With big බන්ඩි
      Without a ජංගී
      Just like you

      Delete
  5. කොම්පියුටර් කෝස් එක ක්‍රිශ් කරයි වගේ..... නොමිලේම....
    කෑම වගේ ම රසවත් කතාවක්....

    ReplyDelete
    Replies
    1. එහෙම කළා නම් ඉතින් ක්රිෂ් නෙමෙයි, අපේ රවී මහතැන් තමයි.. හෙහ්

      Delete
    2. නිර්මාණී සහ උපේක්ෂා,

      Thanks & :)

      Delete
  6. //දෑත් එක්කොට ඇස් ඉහළට යොමුකොට දෙවියන්ට ස්තූති කළෝය.
    අනේ ඔව්... අපිත් එහෙම දෙවියන්ට ස්තුති කළා කියල කියන්ට ඈ

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      ඒ මොකෝ උඹ දෙවියන්ට ස්තූති කලේ? ඈ?

      Delete
    2. වෙන මොකක් හින්දද ඉතින්, බගතාගේ පොතේ ජේදයක් හරි මේ කොටසේ තිබ්බ එකට. ඔක්කොම පඳුරු වලින් වැහිලා මෙයා.... අනික උඹේ අපුරු ඉස්තිරි වර්ණනාව..! හුහ්.. අම්මප මම හිටිය නම් මිරිස් ගලේ තියල තලනවා හොම්බ!!

      Delete
  7. පස්තෑල- අහල නැති කෑමක්.

    ReplyDelete
    Replies
    1. පරිවර්තන පොත් වල නිතර කියවුන කෑමක් නෙ.. මට මැවෙන්නෙ පැටිස් අස්සෙන් පත්තෑයෝ මතු උන කෑමක් නෙව..

      Delete
    2. http://www.maduraonline.com/index.php?find=%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%91%E0%B6%BD

      Delete
    3. https://en.wikipedia.org/wiki/Pasty

      https://en.wikipedia.org/wiki/Pastry

      Delete
    4. ඉකොනො, ගස්, තිසර , තිලක්, ප්‍රසන්න සහ ප්‍රා,

      පැටිස් වලට පස්තෑල කියල සිංහලෙන් තිබ්බෙ ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ පොතක. කැළෑහඳ වගෙ මතක.

      Prasanna & Pra,

      Thanks for links...:)

      Delete
  8. ඉසිතගෙ අම්මයි රමන් ගෙ අම්මයි කට කියෝනව ඇඩ් එකක් ගියා.ඒකමයි මතක් උනේ හප්පා...අර කං කැඩෙන මලකඩ සද්දෙන් කෑ ගහනකොට කොහොම ආතල් එකක් තියෙන්න ඇද්ද? හෙහ් හෙහ්..
    තැන්කූ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඉසිතයි රමනුයි ඉන්නෙ මොන කතාවෙද බං?

      Delete
    2. අර ශ්‍රංගය යටිං කියල තියෙන කතාවෙ තමයි.

      Delete
  9. යකෝ මම කල්පනා කලේ 'අපේ හෙන්‍රියාගේ' ගේ හිස් මුදුනේ ඉඳලා තීන්ත බාල්දියක් හැලුනොත් උගේ ඇත්ත රූපේ නෙගෙටිව් එක වගේ හිටියි නේද කියලා.....

    ReplyDelete
    Replies
    1. එමෙ වෙන්නනං දත්ටික කළුපාට කරන්න වෙනව. හැක්..

      Delete
    2. තිසර සහ ප්‍රසන්න,

      ඔන්න ඉතිං ඔය වැඩෙං වෙන්නෙ අර හෙන්රිය මා එක්ක අමනාප වෙන එක...:(

      Delete
  10. සෞම්‍ය රස පිරි රසකැවිලි පළන්ගානක් වගේ අද කතා කොටහ. මේ ඉස්ටයිල් එක මරු

    ReplyDelete
    Replies
    1. Thanks Thilak,

      Happy New Year & Bon Voyage...:)

      Delete
  11. කොච්චර එපා කිවුවත් ඉතිං කෙල්ල දැක්ක හැටියෙ කට ඇරගෙන බලා ඉඳල තියෙන්නෙ.
    මේකට අර අහක ඉන්න හෙන්රියව පටලගත්ත එක ගැන මගේ බවලත් විරෝධය පලකර සිටිමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ආයම කියනව...එහෙම අපේ හෙන් රිය ගැන හිතල ඒ තීන්ත සීන් එක ලිව්ව නෙවෙයි බොල....:)

      Delete
  12. දැං කවද ඉඳලද ඔය පියාඹන පීරිසි සයිස් කරන්න පටංගත්තෙ.

    එතකොට අර පෙට්‍රල් ෂෙඩ් තුන ගැන අහන්නෙ කවද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හැකි විගස ඉක්මණින්, හැකි විගස ඉක්මණින්,

      Delete
  13. ජලාබී ද ජිලේබී ද..
    මට මතක දෙවනි ප්‍රනවුන්ස් එක. ඒකයි එහෙම ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      / ජලාබී ද ජිලේබී ද../

      ඉන්දියාවෙත් සම්ටයිම්ස් එක එක ප්‍රාන්තවල උච්චාරණය වෙනස් ඇති. මම ඔය ගැන අහපු ඉන්දියානුවා ( ඌ දිල්ලි පොරක් ) කිව්වෙ ජලාබි කියල.

      Delete
    2. ඒක තමයි හෙනං...
      අරකා තෙලංගානා.
      ;-) :-)

      Delete
  14. ලක්ෂන කතාවක්.. කෙල්ල සුදු මැලි වෙලා තං විසාලම වෙච්චි උදාහරණයක් මේ ලගපාත නෑ..ඒ නිසා චිත්ත රූපෙ පොඩ්ඩක් හිර වෙලා තියෙන්න..

    ReplyDelete
  15. හා කාලෙකට පස්සෙ මේ තියෙන්නේ ....

    හැමදාම වගේ බොහොම අපූරුයි රවිතුමා

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      කලකට පස්සේ වෙළකට බැස්සේ....හෙහ්,හෙහ්,

      Thanks Madam....:)

      Delete
  16. සෑහෙන්න අමාරු කම්පියුටර් කෝස් එකක් නෙව කරන්නේ ඒ ඩොලී ලමයා.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      එහෙනං එහෙනං....:)

      Delete
    2. ආයෙත් අහලා...
      අපි එක්ක එක බෝඩිමේ හිටපු යාළුවගේ කම්පැනි එකට වැඩ කරන්න ආපු ඉන්දියන් ඉන්ජෝ කීප නමක්ම හිටියා Excel වල පේලි දෙකක් එකට වැඩි කරන්න, එකතු කරන්න පවා බැරි උන්...
      හරි ගෞරවයෙක් කියන්නේ ලස්ස දෙකහමාරක් වැය කරලා ඩිග්රි එක ගත්තය කියලා...
      එහෙම බලුවම මේ කෝස් එක පට්ට අමාරු එකක් කියන එක අහන්න දෙයක්ද. හෙහ් හෙහ්...

      Delete
  17. ඩොලීගේ පෙනුම තව විස්තර නොකිරීම පිළබඳ මගේ විරෝධය..

    ReplyDelete
    Replies
    1. රූ,

      එහෙමද? හරි ඊලඟ කොටසින් ඒ ගැන විල් ඩූ සම්තිං...:)

      Delete
  18. ඔය නාකි ජෝඩුව අහසට දෑත දික්කරලා 'අරේ භග්වාන්" කියලා කියන හැටි මැවිලා පේනව. මේකට ඕන චිත්ත රූප රාමු "මීයාදරයයි" එකෙන් ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. සුරංග,

      උඹත් පස් පඩංගුවෙ බැන්නට මොකද එකක් නෑර රංදෙපැයෙ ( සිරස කාරයො ඒ කාලෙ ඔය ටෙලිනාට්ටි යන පැය දෙකට...( 7.30-9.30 ) කිව්වෙ රං දෙපැය කියල..තාමත් එහෙමද මන්දා...) යන නාට්ටි බලනව වගෙ ඇස් දෙකත් උඩ තියාන....:)

      Delete
    2. ඔව්ව ඇවිල්ල බැලෙන එව්වා. මං ඉතිං ඔව්ව දැනකියාගත්තු හංද මේ වග් වෙලාවට පොරෝජං නැතුවද? හා කියමු බලන්න.

      Delete
  19. අයියෙ, මේක එක දිගට දාන්ඩකෝ අනේ අනිත් කතන්දර ටික පොඩ්ඩක් ටෙම්පරරි හෝල්ඩ් කරලා. මාර රසයි. අනිත් එව්වත් එහෙම තමයි, ඒ වුනාට මේක එක දිගට කියවන්ඩ ආසයි. අර දැනට තියෙන පරිවර්තනය මම දවසක් බුක් ශොප් එකකදි අරගෙන පෙරළලා බැලුවා. අයියගේ පරිවර්තනය ඉහළයි. ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. මේක පූර්ණ අසංක්ෂිප්ත අතිරික්ත පරිවර්තනයක් :)

      Delete
    2. ඔය ළමය මේ රවී උන්දැව මුරුංග බ්‍රාන්ච් වල තියල පස්සෙ වෙන දේවල් වලටත් වග කියන්න වෙයි. හැක්..

      Delete
    3. @තිසර

      ආන්න හරිම වර්ෂන් එක: 'පූර්ණ අසංක්ෂිප්ත අතිරික්ත' :D

      @ඉංගිරිස් ප්‍ර - සිංහල සන් - දෙමළ න

      අර මක්කැයි පස්සෙ වෙන දේවල්?

      Delete
    4. සිත්තමී,

      වැඩේ මේකනෙ බොලේ..මේ කතාවෙ මම දැනට පබ්ලිෂ් කරල තියෙන්නෙ දළ වශයෙන් 1/5 විතර. ඒ ටිකට ගිහිල්ල තියනව කොටස් 20ක්. ඒ කියන්නෙ මුලු කතාවම ඉවර වෙනකොට තව කොටස් 80 වත් වෙයි. ඉතිං ඔය ඔක්කොම එක දිගට දැම්මොත් දවසක් ඇර දවසක් දැම්මත් අඩුම ගානෙ තව මාස 5 වත් යයි. ඉතිං ඒ අතර අනික් මොකවත් නොලියා ඉන්න එක ටිකක් අමාරු වැඩක්. නැත්තං ඔයා කියන එක ඇත්ත. එක ගැම්මට ලියල ඒ එක්කම පබ්ලිෂ් කලානම් මටත් ලේසියි ඔයාලටත් ලේසියි.අර වැනේසා සහ එඩ්වඩ්ගෙ කතාව වගෙ. නැද්ද?

      මේකෙ තව කේස් එකක් තියෙන්නෙ මම බොහෝවිට අතින්දානවා කෑලි බෑලි හෙහ්,හෙහ්, උදාහරණයක් ගත්තොත් අද කතාවෙ සීයට අසූවක්ම මම අතිං දාපු ඇඩිෂනල් කොටස්. හෙන් රි තීන්ත නාන එක, ක්ලියෝපට්‍රා ඔටුකිරි නාන එක, ඩොලී අමුල් දියකරල නාන එක, ඩොලී පොඩි කාලෙ තින්ත එකකට වැටුනු එක එතකොට පියාඹන පීරිසි කතාව ආයෙ අම්මගෙයි පුතාගෙයි වලි..එව්ව භගට්ගෙ පොතේ තිබ්බෙ නෑ...

      මේ භගට් ගොයියට වෙලා තියෙන්නෙ කතාව ඉවරකරන්ට තියන හදිස්සිය හින්දද කොහෙද බොහොම කෙටියෙන් කියල දානව. එහෙමද කතා ලියනව කියන්නෙ නැද්ද? මම හිතාගෙන ඉන්නෙ ම්නිහට ඊ-මේල් එකක් යවන්ට කොහොමද හරියට කතාවක් ලියන්නෙ කියල උපදෙස් දීල...එහෙම නැත්තං මෙහෙමත් කරන්න පුලුවං..මම ලියපු එක ඉංග්‍රීසියට පරිවර්තනය කරල මිනිහට යවන්ට ඕන...මෙන්න බලනව මෙහෙමයි කතන්දර ලියන්නෙ කියල.සම්ටයිම්ස් මිනිහ ප්‍රීතියෙන් ඉපිල ගිහිල්ල එයාගෙ ඊලඟ පොතට මාවත් එකතුකරගනියි Co-author විදිහට....හෙහ්,හෙහ්, හූ නෝස්?....ටෘත් ඊස් ස්ට්‍රේන්ජර් දෑන් ෆික්ෂන්...එහ්?

      Delete
    5. දෙයියෝ සාක්කි! අයියා ඔය අතින් දැම්මයි කිව්ව කෑලි ටික කියවනකොට මං කල්පනා කළේම මෙච්චර පරිකල්පනයක් ක්‍රිෂ්ගේ හිතට ඇතුල් කරන්න මේ බගටා හරිම ක්‍රියේටිව් පොරක් වෙන්ඩ ඕනේ කියලා! ඇයි අර අම්මගෙයි පුතාගෙයි වලි ටික! හොඳ වෙලාවට මං ඔරිජිනල් පොත ඔක්කොම කියවන්නෙ නැතුව මුල ටික විතරක් කියවලා අයියගේ පරිවර්තනෙන්ම කතාව කියවනවා කියලා හිත හදාගෙන හිටියේ. :D

      Delete
    6. Thisara,

      Complete, unabridged with some additions the author had missed in original text included for good measure

      Delete
    7. Siththami,

      Thanks dear for your appreciation :)

      Delete
  20. මට මැවිල පෙනුන කළු ඩූඩ් සුදු තීන්තෙන් නාල ඇවිත් අම්ම මෝ නැතුව කෑගහන හැටි...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ආයෙත් කියනව...ඩූඩා නෙවෙයි බොල එතන ඒ සුදු තීන්ත නෑවෙ...:)

      අනික ඒ සීන් එක වෙන කාලෙ ඇවිල්ල ඩූඩා Discussing life with tomatoes මූඩ් එකේ ඉන්න කාලෙ.

      Delete
  21. පරිවර්තනය නොනවතා ගෙනයාම ගැන මගේ උපහාරය. ක්රිෂ්ට මෙදා පාර ලේසි වෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. Thanks Ajith,

      උඹල දුන්නු තෑග්ගෙ නම්බුවවත් තියන්ට එපාය....:)

      Delete
  22. කතාව කියවල කොමෙන්ට් කියවගෙන එනකොට කියන්න හිටපු එක මතක නෑ නේ. හෙට ආපහු කියවල දාන්නම් කොමෙන්ට් එකක් ! කඩේ වහන්න කලින් දැන් කඩේ ගිහින් එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෑ...: කඩේ වහන්න...??????? ඔයා වෙඩිමක් කතාකොරනව හිටං. මේ කඩේ වහහල්ලෑ කාලෙකට.

      " මුලු කතාවම ඉවර වෙනකොට තව කොටස් 80 වත් වෙයි. ඉතිං ඔය ඔක්කොම එක දිගට දැම්මොත් දවසක් ඇර දවසක් දැම්මත් අඩුම ගානෙ තව මාස 5 වත් යයි."

      Delete
    2. X-Porter
      හයියූ මම මේ රවී තුමාගේ කඩේ ගැන නෙවෙයි කිවුවේ. රවී තුමාගේ කතා කියවන්න නම් ලබන ආත්මෙත් මේ කඩේටම ගොඩ වදින්න වෙනව. මම නම් දැන් හිත හදාගෙන ඉන්නෙ, කතා වල අවසානයක් බලාපොරොත්තු නොවී, ඔහේ දාන දාන එක කියවල හිත සනසගන්නව. දැම්මේ නැත්නම් නිකා ඉන්නව. (මොකෝ බැනලත් වැඩක් නෑනේ, බනින්න ඕන ඒවා ගණන් ගන්න මිනිහෙකුට නේ. අනික රවී තුමාට පුද්ගලික වැඩ රාජකාරි ත් ඇති නේ, මේක ෆුල් ටයිම් ලියනව නෙවෙයි නේ) නැත්නම් හදිසියෙවත් මළොත් බූතයෙක් වෙලා ඉඳීවි මේ කතා කියවල ඉවර කරගන්න.

      Delete
    3. රවී තුමා.
      මම මේ කල්පනා කලේ මේ කතාවට රවී තුමා අතින් දැම්ම කිවුව කොටස් ටික අයින් කලොත්, මුකුත් නැහැ නේ. ඒ කියන්නේ බගට් ගොයියා ලියල තියෙන කතාව මෙලෝ රහක් නැද්ද?
      කොහොමින් කොහොම හරි, අපට කියවන්නට රසවත් කතාවක් ලබා දෙනවට ඔබතුමාට පින්. මම කලින් කිවුව වගේ, මේ මාතෘකාව දැක්කම මට මුලින් කිසිම ආසාවක් ආවේ නැහැ කියවන්න, ඒ උනාට පස්සේ ආස හිතුන. අද කොටස නම් සුපිරියි. දැන් ඉතින් මේ මාතෘකාව දැක්ක ගමන් දුවන් ඇවිත් කියවනව.. "පුවක්" කියන මාතෘකාව දැක්කම තමයි දැන් නම් ආසාව නැතුව යන්නෙ.කොටිම්ම මම ප්‍රර්ථනා කරනව මේ කතා ටික කියවල ඉවර කරගන්න උදව්වක් විදියට වත් අපේ ලොක්කෝ ටික පිළිවෙලකට ඉන්නව නම් කොච්චර දෙයක් ද කියල.

      දැන් ඩොලී ගැන.
      ඩොලී පන්ජාබි නේද. අම්මේ මට මෙහෙදී සෙට් උනා යාලුවෙක්. ඒ ප්‍රදේශයේම තමයි. නාන්න එහෙම ටිකක් විතර කම්මැලියි. ඩොලීත් එහෙමද දන්නේ නැහැ. හැබැයි කොච්චර උනත් ඉන්දියානු කෑම නම් හරිම රසයි.. ආ තව දෙයක්, ඔය අපේ කතානායකයා වපර ඇසින් බැලුවට, වැස්සකදී හෙවන ලැබිය හැකි තරම් ඇඟපත තියන ගෑනු ළමයින්ට අපේ පිරිමි ළමයි හරි කැමතියි නේද?
      තැපෑලෙන් උපාධිය ගනිපු එකයි, අමාරු කොම්පියුටර් කෝස් එකයි නම් නියමයි. කොහොමත් ඔය රටේ කට්ටිය හරියට තමන්ගේ ලොකුකම කියවන්න කැමතියි මම හිතන්නේ. මට මුණගැහුණු කිහිප දෙනෙක් ම එහෙමයි. තමන් මොනවහරි කරනවා නම්, ඒක තමයි ලෝකේ තියන අමාරුම දේ කියල තමයි හිතන් ඉන්නේ. තමන්ගේ බොස් තමයි සැරම, තමන් උයන කෑම තමයි රසම.. කවුරුවත් එයාලට ආස නැහැ.
      මේ ආදරයයි එකේ රමන් ගේ අම්මත් ඔය වගේම දෙවියන්ට ස්තුති කරනවා.. එයත් පන්ජාබි. ඔය වගේම ඇති (දැන් ඉතින් බැනපල්ල, ඉන්දියන් උන්ට බැන බැන උන්ගේ කතා බලනව කියල..)

      Delete
    4. අපෝ ඔව් පන්ජාබි උන් ගාව තියෙන ගඳ නම් ඉවසන්න බෑ .. අබ තෙල් ගාලා ඉන්නෙ හැම වෙලාවේම . යට ඇදුම් හෝදන්නේ නැ දවස් පහකටවත් .

      Delete
    5. මානවිකා,

      දීර්ඝ ප්‍රතිචාරයට ස්තූතියි...පහුගිය ටිකේ බොහොත් බිසී...උත්තර පරක්කු වුනේ ඒකයි...:)

      Delete
  23. හයියෝ අර ඩූඩ පවූඌඌඌඌ.... ඒක කලුයි තමයි. ඒත් මඩ ගහනව කියල ඔහොමත් ගහනවද හිටං

    ReplyDelete
  24. ඩොලිය සෑහෙන කාලයක් පඩිය බැස්ස. යාංතං බස්සල ඉවර කොරල තීන්නෙ

    ReplyDelete
  25. මේ පෝස්ට් එකට අදාල නොවුනත් මේක මෙතනට දාන්න හිතුනා. අවුරුදු දහයක්වූ මේ දරුවාගේ ජීවිතය බ්ලොග් එකක් සේ මොහු ලියනවා. මේක අද මම දැක්කේ නිව්ස්වලට. මේ ගැන කියවන්න.. ෆේස්බුක් එකවුන්ට් එකක් නැති මම වගේ අය මේ the diary of mr felix brown බ්ලොග් එක කියවන්නේ කොහොමද කියා දන්න කෙනෙක් කියන්න.Aru

    ReplyDelete
    Replies
    1. අරූ,

      ස්තූතියි අරූ ලින්ක් එකට..බොහොම හිතට වදින කතාවක්...උඹට ෆේස් බුක් නැත්තං ඒ බ්ලොග් එක කියවන විදිහක් මම නම නොදනිමි බං..මගෙත් ඔය ගැන දැනුම අන්තිමයි..අපි බලමු දන්න කෙනෙක්ගෙන් අහගන්න. ඔය ඉන්නෙ ඕන තරං Computer Whizz Kidsලා.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...