Monday, August 29, 2016

438. The Story Of My Marriage - 24 - "මීටර් ඉල්ල..මීටර් ඉල්ල" කාළවර්ණ හැඩිදැඩි රියදුරු තෙම එසේ පැවසුයේ මදෙස රවා බලමිනි.



බොහෝවිට යම් මානසික ආබාධයකින් පෙලෙන්නෙකු යයි අනුමානය කල හැකි යමෙකු විසින් ගුවන් යානය තුල බෝම්බයක් සඟවා ඇති බවට කල නිර්නාමික දැනුම්දීමක් හේතුකොටගෙන අප දිල්ලි ගුවන් තොටුපොළින් ගුවන්ගත වූයේ නියමිත වේලාවට පැය හයක් පමණ පමා වීය. එබැවින් අප චෙන්නයි ගුවන් තොටුපොළට ලඟාවනවිට රාත්‍රී හතේ කණිසමද ඉක්ම ගොස් තිබිණි. ගමන්මළු වාහක පථයෙහි (Conveyor Belt) මගේ ගමන් මල්ල අපේක්ෂාවෙන් පොරොත්තු වන අතර මම අවට සිටින්නන් කෙරෙහි විමසිලිමත් වීමි. 

මෙසේ පැවසීම අයුතුයයි ඔබට හැඟෙන්නේ නම් කරුණාකර සමාවන්න මා හිතවත් පාඨකය, එහෙත් මෙහිදී මා පවසන්නේ පරම සත්‍යයයයි. මා අවට සිටින්නන් පිළිබඳව පළමුව මසිතට නැඟුනු අදහස නම් ඔවුන්ගෙන් සීයට අනූවකට අධික ප්‍රතිශතයක සම දැඩි කාළවර්ණයකින් යුක්ත බවයි. හදිසියේ හෝ චෙන්නයි ගුවන් තොටුපොළෙහි විදුලිය ක්‍රියා විරහිත වුවහොත් උද්ගතවියහැකි භයංකර තත්වය සිහිව මා මුවඟට සිනහවක් නැඟුනේ සැණෙකිනි. 

මේ දැඩි කාලවර්ණ සමෙන් යුතු සීයට අනූවෙන් සීයට අසූවක් පමණම කාන්තාවෝ ඝන පුයර තට්ටු කිහිපයක් උලා සිටි හෙයින් ඔවුන්ගේ මුහුණු අළුපැහැයකින් බැබළිණි. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නම් වහාම ක්‍රියාත්මක වන පරිදි සම සුදු කරවන්නේ යයි එහි නිෂ්පාදකයින් සපථ කරන ආලේපයට මෙපමණ වෙළඳ පොළක් පවතිනුයේ කුමන හෙයින්දැයි මම වටහා ගත්තෙමි. එනමුදු කාල වර්ණ පුද්ගලයින් මෙපමණ සුදු පැහැවීමට තැත් කරන්නේ කුමන හෙයින්දැයි මට අදද වටහාගත නොහැක. 

ගමන් මළු වාහක පථය දෙස නොඉවසිල්ලෙන් බලාසිටි බොහෝ කාන්තාවෝ මට දිස්වූයේ අනන්‍යාගේ මෑණියන් පරිද්දෙනි. එළෙසම අනිමිස ලෝචනයෙන් ඔවුන් දෙස මාසයක් පුරා බලාසිටියද අවම වශයෙන් ඔවුන්ගෙන් දෙදෙනෙක් හෝ එකිනෙකාගෙන් වෙන්කොට හඳුනාගැන්මට මට නොහැකි වන බවද මට ඉතා පැහැදිලිව වැටහිණි. 

මේ කාන්තාවන් සියල්ලෝම එකිනෙකා අවම වශයෙන් කිලෝග්‍රෑම් අඩක් හෝ බරැති සවර්ණාභරණ සිරුරෙහි යමක් එල්ලිය හැකි සියලු ස්ථානයන්හි එල්ලාගෙන සිටියහ. එහෙත් පම්මි ආන්ටිගේ ස්වර්ණාභරණයන්හි ඔබ්බා තිබූ අන්දමේ වටිනා මැණික් සහ දියමන්තිවලින් විභූෂිත නොවුණු ඒවායින් දිස්වූයේ උදාසීන සහ අඳුරු පෙනුමකි. 

මගේ ගමන් මළු යුගලය වාහක පථය ඔස්සේ පැමිණි පසු ඉන් එකක් උරහිසෙහි දමාගෙන අනෙක ඇදගෙන මම ගුවන් තොටුපොළින් පිටවුණෙමි. සිටි බැංකුවෙහි දිල්ලි කාර්යාලයෙන් මට ලබාදුන් ලිපිනය අනුව මට නියමිත නේවාසිකාගාරය නොහොත් චමරිය වෙත යාමට ත්‍රිරෝද රියක් කතා කරගැනීම මගේ අරමුණ විය. 

එහෙත් හිස ගිණිගත්තෙකු සේ මොහොතින් මොහොත උත්සන්න වන කලබලකාරිත්වයෙන් යුතුව කොතෙක් සෙවූවද දිල්ලි කාර්යාලයෙන් ලබාදුන් චමරියෙහි ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල මගේ කමිස සාක්කුවෙහි හෝ කලිසම් සාක්කු දෙකෙහි හෝ නොවීය. තත්වය තවත් භාරදූර වූයේ ටී නගර් නම් ස්ථානය හැරුනුවිට චෙන්නයිහි අවම වශයෙන් වීථියක නාමයක් හෝ මම නොදැන සිටි හෙයිනි. ටීනගර් යයි නොපවසා මම ටී නගර් නම් ස්ථානය යයි පැවසූයේ ඇයිද යන්න පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කල යුතුය. 

වසර අටකට පමණ ඉහත මම ගණකාධිකරණය හා සම්බන්ධ කිසියම් විභාගයක් සඳහා පෙනී සිටියෙමි. එකල මම බොහෝ විභාග වලට පෙනී සිටිය බැවින් ඒ කුමන විභාගයක්දැයි මට එක්වරම මතකයට නඟාගත නොහැක. එහෙත් ඒ විභාගයට පෙනී සිටීම උදෙසා ආධාරක පාඩම් මාලා අඩංගු පොත් කට්ටලයක් මම බ්‍රිලියන්ට් ටියුටෝරියල්ස් නම්වූ එවන් විභාග වලට මුහුණ දෙන්නවුන් උදෙසාම පාඩම් මාලා සකස්කරන ආයතනයකින් තැපැල් මඟින් ගෙන්වා ගත්තෙමි. 

ඒ බ්‍රිලියන්ට් ටියුටෝරියල්ස් ආයතනය පිහිටියේ චෙන්නයිහි ටී නගර් ප්‍රදේශයේය. ඔවුන් මවෙත පාඩම් මාලා බහා එවූ ලිපි කවරයෙහි වම් පස පහළ කෙළවරෙහි තරමක් විශාල අකුරින් මුද්‍රණය කොට තිබූ ඔවුන්ගේ ලිපිනයෙහි T-NAGAR - CHENNAI යන්න ඉතා පැහැදිලිව තවමත් මගේ මතකයෙහි රැඳී ඇත. 

එනමුදු කල්ප කාලාන්තරයක් තිස්සේ විභාග සඳහා ඔවුන්ගේ පාඩම්මාලා තැපැල් මඟින් ගෙන්වාගෙන ඒ පිහිටෙන් විභාග සමත් / අසමත් වූ ලක්ෂ සංඛ්‍යාත සිසුන් අතරින් නව දිල්ලියේ ක්‍රිෂ් මල්හෝත්‍රාගේ නම ඔවුන්ට මතක තිබීමට කිසිදු තර්කානුකූල සාධාරණ හේතුවක් නැත. එසේ මතක තිබුණද වළගය ගිනිගත් හනුමාසේ මේ හදිසියේ ඔවුන්ගේ කාර්යාලය සොයා දිව ගියද අද රාත්‍රියට පමණක් හෝ මට නවාතැන් දීමට ඔවුන් කිසිසේත් බැඳී නොමැත. 

එදින ඒ මොහොතේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අබියස පදික වේදිකාවේ සිට මම එක්තරා අධිෂ්ඨානයක් කළෙමි. එනම් මගේ ඉදිරි ජීවිතයේ කිසියම් දිනෙක මවිසින් කුමන හෝ විභාගයක් උදෙසා පාඩම් මාලා තැපෑලෙන් යවන්නාවූ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් මෙසේ කිසියම් හේතුවක් නිසා අතරමංවූ මගෙන් පාඩම් මාලා ලබාගත් සිසුවකු හෝ සිසුවියක මා සොයා පැමිණියහොත් නවාතැන්ද ඇතුලුව කලයුතු සියලු ආගන්තුක සත්කාර නොඅඩුව ඉටුකරන බවය. එසේය. මම ඒ යුතුකම නොවලහා ඉටු කරන්නෙමි. ක්‍රිෂ් ටියුටෝරියල්ස් ව්‍යාපාරයෙහි පාරිභෝගිකයින්ට මගෙන් ඉටුවියයුතු යුතුකම් සදාකාලිකව මවිසින් නොවළහා ඉටු කෙරෙනු ඇත. 

අවශ්‍යතාවයක් පැනනැඟුනහොත් අතරමංවූ මගේ පාඩම් මාලා ලාභීන්හට මගේ සයනය ලබාදී විසිත්ත කාමරයෙහි සෝපාවෙහි හෝ නිදාගැන්මට මම නොපැකිලෙන්නෙමි. " "මෙම පාඩම් මාලාව මිලදී ගැනීම ඔබට මහඟු අනාගත අයෝජනයක් වනු නිසැකය. ඔබ අනාගතයේ කිසියම් දිනෙක දිල්ලියේ අතරමංවුවහොත් ඔබට නොමිලේ නවාතැන් ද සැපයෙනු ඇත" පාඩම් මාලා පිළිබඳ ව දැනුම් දීම උදෙසා පළකරනු ලබන පුවත්පත් දැන්වීමෙහි පහළින් එලෙස සඳහන් කලයුතු දැයි සිතමින්ම කළිසමෙහි පසුපස සාක්කුවෙහි වූ මගේ මුදල් පසුම්බිය විවෘත කල මට නවාතැනෙහි ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල එහි තිබි හමුවූයේය. 

පෙණහලු සම්පූර්ණයෙන් හිස්ව යන සේ දිගු සැනසුම් සුසුමක් හෙලූ මම මගෙන් පාඩම් මාලා ලබාගත්තවුන්හට මගේ නිවසෙහි නවාතැන් දීම පිළිබඳ වූ පරාර්ථකාමී යහ සිතුවිලි  වහා සිතින් අකාමකා දමා ගුවන් තොටුපොළ ඉදිරියේ වූ ත්‍රිරෝද රිය නැවතුම් පල වෙත ලඟාවීමි. 

එකසේ කාළවර්ණ වූ ත්‍රිරෝද රථ රියදුරෝ සිව්දෙනෙක් ඊලඟ මගියා ගෙනයන්නේ ඔවුන් අතුරින් කවුරුද යන උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් ගැටළුව පිළිබඳව අත පය එහා මෙහා වීසිකරමින් මහ හඬින් වාද විවාද කරමින් එහි උන්හ. 

සත්‍ය වශයෙන්ම මම ද්‍රවිඩ භාෂාව නොදන්නෙමි. එහෙත් අනන්‍යා හා සමඟ මගේ කුටියෙහි ගතකල දෙවසරෙහිදී මම සෑහෙන පමණ ද්‍රවිඩ වදන් උගත්තෙමි. ඒ අතරින් වඩාත් මසිත ආහ්ලාදෙයෙන් පිරී ගියේ අනන්‍යාගේ මුවින් ෂරි, ෂරි, යන වදන් පිටවන විටදීය. රූමත් යුවතියක හා සමඟ එකම කුටියක දෙවසරක් දිවිගෙවූයේ නම් ඔබටද මා එසේ කියන්නේ මන්ද යන්න වටහාගැන්මට කිසිදු අයුරකින් අපහසුවක් නොවනු ඇත. 

ද්‍රවිඩ භාෂාව පිළිබඳව මගේ දැනුම එළෙස වුවද මධ්‍යම රාත්‍රිය වන් කාළවර්ණ රියදුරන් සිව් කට්ටුව ගුවන් තොටුපොළ ප්‍රධාන දොරටුවෙන් තම ගමන් මලු ඉහින් කණින් ඔසවාගෙන පිටතට පැමිණෙන මගීන් දෙස තොල කට ලෙව කමින් බලාසිටිමින් පැවැත්වූ විවාදයෙහි නිමිත්ත අන් කිසිවක් නොව මගීන් බෙදාගැනීම උදෙසා වූවක් බව වටහා ගැන්මට මට එම්.බී.ඒ. උපාධියක් අවශ්‍ය නොවීය. 

"එංගා?" ඔවුන් අතුරින් වඩාත්ම හැඩිදැඩිවූ රියදුරා වෙඩි තබන්නාක් මෙන් මගෙන් විමසූයේ ඔහුගේ සගයින් පසෙකට තල්ලු කර දමමිනි. "එංගා හොටේල්?" 

එංගා යන්නෙහි අරුත කොහෙද යන්නයි. ඒ අනන්‍යාගෙන් මා ඉගෙනගත් තවත් වදනකි. "නෝ හොටේල්" පවසමින් මම මුදල් පසුම්බිය දිගහැර නේවාසිකාගාරයෙහි ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල පිටතට ගතිමි. 

මුදල් පසුම්බිය තුල වූ නිවසින් පිටත්වීම පෙර මගේ මෑණියන් මා අතට දුන් රුපියල් සියයේ නෝට්ටු දහය දුටු හැඩිදැඩියා ගේ දෑස් එක්වරම මහත්සේ විශාල විය. ඒ සමඟම ඔහු යලිත් තම දෙතොල් ලෙවකෑවේය. 

"ඉංග්ලිෂ් ඉල්ල, ඉංග්ලිෂ් ඉල්ල" මා ඔහුට දිගුකල නේවාසිකාගාරයේ ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල දෙස එක් වරක් බැලූ හෙතෙම හිස් දෙපසට වේගයෙන් වනමින් පියවරක් පසු බැස්සේ එසේ පවසමිනි. ඉල්ල යනු ද්‍රවිඩ භාෂාවෙන් නෑ යන්න බව ද මට පැහැදිලි කලේද අනන්‍යාය. 

හැඩිදැඩියා පවසනුයේ සත්‍යයකි. එහි නේවාසිකාගාරයෙහි ලිපිනය සඳහන් වූයේ ඉංගිරිසි බසිනි. ඉංග්‍රීසි බසින් ලිපිනය ලියූ කඩදාසි කැබැල්ලක් අතටදී ඉංග්‍රීසි අකුරක් නොදන්නා බහුතරයක් වෙසෙන නගරයකට මා පිටත් කොට එවීම පිළිබඳව දිල්ලි සිටි බැංකුවෙහි කළමණාකාර අධ්‍යක්ෂ තැනගේ පටන් බැංකු පරිශ්‍රයෙහි පිහිටි විසිතුරු මසුන්ගෙන් සපිරි ජල පොකුණට වැටෙන කොළ රොඩු ඉවත්කරන්නා දක්වා සියල්ලන් මෙලොවට බිහිකල මෑණිවරුන්ට පින් පමුණුවමින් මම මම සතර අත ඇසට අසුවන මානයක ඉංගිරිසි බසින් ලියවුනු ලිපිනයක් කියවාගත හැක්කෙකු සිටීදැයි අවට විපරම් කළෙමි. එවන් කිසිවකු ඇස නොගැටුනු කල්හි අවසන ලිපිනය ලියූ කඩදාසි කැබැල්ල දෙස රැළි නැඟුනු බැමින් යුතුව බලාසිට මමම ඒ කියවීමට උත්සාහ කළෙමි. 

"නුං..ගා..බ..ක..ම..මා...?" මම තටමමින් අකුරෙන් අකුර පැටලෙමින් පවසා හිස ඔසවා හැඩිදැඩි පුරුෂ තෙමේගේ මුහුණ බැලූයෙමි. 

"ඕහ්හ්හ්......නුංගම්බක්කම් නුංගම්බක්කම්" රියදුරා මහත් ප්‍රමෝදයට පත්ව මහ හඬින් සිනාසුනේය. එවන් පහසු වදනක් හෝ නිවැරදිව උච්ඡාරණය කිරීමට මගේ නොහැකියාව ඔහුගේ පුදුමයට මෙන්ම හාස්‍යයටද හේතුවී ඇති බව මට වැටහිණි. 

සිටි බැංකුවෙහි දේවේෂ් නේවාසිකාගාරයට යන මාර්ගය විස්තර කරද්දී පැවසූ එක් මඟ සළකුණක් එකවරම මගේ මතකයට පැමිණියේය. "ලොයෝලා කොලේජ්? ඔහේ දන්නවද ලොයෝලා කොලේජ් එක?" 

"ෂරි, ෂරි" රියදුරා යලිත් ඔහුගේ මුඛයේ පිහිටි සියළුම දසන් දක්වා සිනාසුනේය. "ෂරි, ෂරි" 

එම වදන කණ වැකෙනු හා සමඟම මසිතට නිරායාසයෙන් පිවිසි අනන්‍යා පිළිබඳව සොඳුරු මතකයින් කැටිකොටගෙනම මම මගේ ගමන් මළු යුගලයද රැගෙන ත්‍රිරෝද රියට ගොඩවීමි. 

රියතුල සතර අතම සෝදිසි කලද ගාස්තු මීටරයක් දක්නට නොවීය. නව දිල්ලියෙහි සෑම ත්‍රිරෝද රියකම නියමිත පරිදි ක්‍රියාත්මක වන ගාස්තු මීටරයක් සවිකොට තිබීම අනිවාර්ය වන අතර එසේ නොමැත්තේනම් දඩයක් ගෙවීමට අමතරව ත්‍රි රෝද බලපත්‍රය අවලංගු කිරීමටද ලක්විය හැක. 

මම ඉදිරි අසුනට බරදුන් හැඩිදැඩියාගේ උරහිසට තට්ටු කලෙමි. "මීටර්..මීටර්...?" 

ඔහු පසුපස හැරී මදෙස බලා මහ හඬින් සිනාසුනේ මම ඉතා අසභ්‍ය විහිලු කතාවක් පැවසූ කලෙක මෙනි. 

"වට්? වෙයර් ඉස් මීටර්…. මීටර්?"

මම යලිත් විමසුවෙමි. එවර ඔහුගේ සිනහව එක්වරම අතුරුදන්වූයේ ස්විචයක් පහත දමා මහහඬින් ක්‍රියා කරමින් තිබූ විදුලි පංකාවක් එක් සැණින් ක්‍රියා විරහිත කල පරිද්දෙනි. 

"මීටර් ඉල්ල" කළුකොටගත් මුහුණින් යුතුව ඔහු පැවසූයේ මදෙස රවා බලමිනි. 

ත්‍රිරෝද රිය පණගන්වාගත් හැඩිදැඩියා වේගයෙන් වංගුවක් ගනිමින් නගරය දෙසට ඉගිලෙන්නට විය. 

"හව් මච්?" මම ඇසීමි. 

"එදුවුම්" ඔහු පැවසූයේ මහ හඬින් බෙරිහන් දෙමිනි. 

"අයි ඩෝන්ට් අන්ඩර්ස්ටෑන්ඩ්, ස්ටොප්, හව් මච්?"

මම ද මදක් හඬ උස්කොට ඇසීමි. මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ හෝ ත්‍රිරෝද රිය නතර කලේ ඔහු නොවේ. 

යලිදු මම ඔහුගේ උරහිසට තට්ටු කලෙමි. එවර ඔහු හිස කරවා මදෙස බැලීය. ඔහුගේ මුහුණෙහි වූයේ තර්ජනාත්මක පෙනුමකි. මම සංඥා භාෂාවෙන් අභිනයන් පාමින් ගාස්තුව කොපමණදැයි යලිදු ඔහුගෙන් විමසීමි. 

රියදුරා යලි ඉදිරියට නෙත් යොමාගත්වනම රිය පැදවීමෙහි යෙදුනේය. මිනිත්තු භාගයකට පමණ පසු ඔහු ඉදිරිය බලාගත්වනම වම් අත උරහිස මතින් ඉහල ඔසවා ඇඟිලි පහ විහිදෙන පරිදි දිගහැරලීය. 

"ෆයිව් වට්?" මම ඇසීමි. 

ඔහු ඇඟිලි හකුලා යලිත් වරක් දිගහැරලීය. 

"ෆිෆ්ටි?"

ඔහු හිස සොළවා ඒ අනුමතකලේය. 

"ඕකේ…" මම පැවසීමි. 

අවසන මගේ හෝ ඔහුගේ හෝ භාග්‍යයකට  දෝ අභාග්‍යයකටදෝ ඒ ඉංගිරිසි වදන ඔහුට වැටහිණ.

"වොකේ……" එසේ පවසමින් ඔහු යලිත් හඬ නඟා සිනාසුනේය. සිනාසෙමින්ම ඔහුගේ සුරත වම් උරහිස ඉහළින් පසුපසට දිගු කලේය. මම ඔහුගේ සුරත මගේ සුරතින් ගෙන සෙලවීමි. 

යලිත් මහ හඬින් සිනාසුනු හැඩි දැඩියා ත්‍රිරෝද රිය අවසාන ගියරයට දමා ගත්තේ කෙමෙන් ගණ අඳුරින් වැසී යමින් තුබුණු චෙන්නයි නගර මධ්‍යයට මහත් වේගයෙන් ධාවනය කලේය. 

 A 3 Wheeler in Chennai - Google Images

34 comments:

  1. බොහෝ දෙනකු උත්සාහ ගන්නෙ චෙන්නායි මගහැරෙන විදිහට ගමන් සැළසුම් කරගන්න. මේ නිර්මාණය තුළ ඊට හේතු කදිමට සිත්තම් වෙනවා

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්මා,

      හැම දේකම දෙපැත්තක් තියනවයි කියනවනෙ. ඒ වගෙ සියලු කටයුතු කලින් තීරණය කරල මේ වෙලාවට මෙතනට යනව එතකොට මේ බස් එක එත්නට ඇවිල්ල තියනව. ඒකෙ නැඟල අහවල් දිහාට යනව අන්න ඒ වගෙ සැලසුම් කල චාරිකාවක වගේම පිටරටකදි පාරට බැහැල මේ වගෙ මිනිස්සුත් එක්ක ගැටිල (ගැටිල කියන්නෙ ගහගෙන එහෙම නෙවෙයි ඔන්න හෙහ්,හෙහ්) ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ ප්‍රායෝගිකව ඔන් ද ස්පොට් නැත්නම් ලයිට් ඇට් එයිට් අත්විඳින එකෙත් තියනව අමුතුම චමත්කාරයක්, සෞන්දර්යයක්...හෙහ්,හෙහ්

      විදේශයකදි මම වින්ද ජීවිතේටම අමතක නොවෙන එක අවස්ථාවක්..චෙන්නයි වල, අල්වාපෙට් කියන දිහා පොඩි බාර් එකක් ඉස්සරහ ගල් පඩි පෙලේ වාඩිවෙලා මගෙ යාලුවෙකුත් එක්ක ඕල්ඩ් මන්ක් ගෝල්ඩ් රිසර්ව් රම් බෝතලයක් ගහපු එක. එතනම පඩිපෙල පල්ලෙහ ඔන් ද ස්පොට් බදිනව උම්බලකඩ වඩේ ඉස්සො වඩේ ඕන එකක්.

      මට දෙමළ කුණුහරප ඇරුනම පුලුවන් වචන හත අටයි.ඒත් එතනදි මගෙ පල්ලෙහා පඩියෙ වාඩි වෙලා හිටපු බුවාර් එක්ක බෝතලේ ඉවරවෙනකොට මම කතාකලේ ගෝලීය උණුසුම, සෝවියට් දේශයට මොකද වුනේ?, මිනිස් වර්ගයාගේ පැවැත්මේ පරමාර්ථය කුමක්ද? වගෙ ඉතාම බරසාර මාතෘකා. කිව්වට විස්වාස කරන්ට මහත්මයා. ඔය ඔක්කොම කතා කලේ හස්ත මුද්‍රාවෙන්,ඒ පිළිබඳව තියනව බොහොම අපූරු විස්තරයක්...දවසක ලියන්නම්කො...හෙහ්,හෙහ්,

      Delete
  2. ශික් ඇඩ්ඩරස් එක ලියපු කොලේ හම්බවුනේ නැත්තං තාමත් අර නවාතැං දෙන කේස් එක වැලිඩ්නේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      නවාතැං පොල ඔබයි ඔබගේ හිනාවෛ, ජීවිතේ දිගු වංදනා ගමනේ, ජීවිතේ දිගු වංදනා ගමනේ,....:)

      Delete
  3. ශික් ඇඩ්ඩරස් එක ලියපු කොලේ හම්බවුනේ නැත්තං තාමත් අර නවාතැං දෙන කේස් එක වැලිඩ්නේ

    ReplyDelete
    Replies
    1. දෙපාරක් නවතින්න හම්බවෙන එකක් නෑ මම හිතන්නෙ රවිය ගාව උනත්.

      Delete
  4. 'වාහක පථය' ලස්සන, උචිත, යෙදුමක්.

    ඉන්දියාවේ ගතකල කාලයේදී මා අත්දුටු දෙයක් තමයි, දකුණු ඉන්දියානුවන් සහ උතුරු ඉන්දියානුවන් අතර එතරම් ඇයි හොඳයියක් නැතිවීම. අප සමග පුහුණුවට පැමිණ සිටි ඉන්දීය යුද හමුදාවේ ද්‍රවිඩ නිලධාරීන් සමග උතුරු ඉන්දීය නිලධාරීන් කතාබහ කළෙම නැති තරම්. වරක් උතුරු ඉන්දීය නිලධාරියකු අපට කිව්වා උඹලට හතුරුකම් කරන කොටින්ට ඔය දකුණු ඉන්දියානු එවුන් උදව් කරනවා, පරිස්සම් වෙයල්ලා කියලා.

    ලෝකයේ බොහොමයක් ගුවන් තොටුපොල ආශ්‍රිතව විවිධාකාර ගසාකන්නන් ඉන්න බව නොරහසක්.

    ReplyDelete
    Replies
    1. විචා,

      ඔබ හරි…..එහෙම උතුරු-දකුණු භේදයක් නම් තදටම තියනවා.

      ගුවන් තොටුපොල ආශ්‍රිතව ඔය තක්කඩින් වැඩි මම හිතන්නෙ නුපුරුදු රටකට, නුපුරුදු දේශගුණයකට, නුපුරුදු මිනිසුන් අතරට එන ඕනම කෙනෙක් ( පලපුරුදු සංචාරකයෙක් ඇරෙන්න ) අන්ද මන්ද වෙලයි එයා පෝට් එකෙන් එලියට එන්නෙ. එහෙම කෙනෙක්ට වංචා කරන එක රවටන එක බොහොම ලේසියි...:)

      Delete
  5. So close, yet so far. Feels like it's two countries, not states.

    ReplyDelete
    Replies
    1. Ano,

      Couldn't agree with you more,

      "Incredible India" the slogan Indian tourism ministry is using to promote tourism is absolutely true in more than one sense.

      Delete
  6. ක්‍රිශ් මල්හොත්‍රාත් අපේ රවී අයිය වගේම බුවෙක්..නුවර ස්ටූඩියෝවට ගිය රවියා වගේ පිස්සුමයි කෙලින්නේ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හුටා..නුවර ස්ටුඩියෝ එකට ගිය කතන්දරේ ඉවර කලෙත් නෑ නේද?...:(

      Delete
  7. "කවදා හරි මගෙ ජීවිතේ ඉවර වෙනකන්ම මට දකුණු ඉංදියන් එවුන්ගේ ගිඩි ගිඩි භාෂාව තේරුම් ගන්න බැරිවෙයි . උන් කතාකරද්දි මට දැනෙන්නෙ ගල් ගොඩක් බකට් එකකට දාලා හොලවනව වගේ." ඔය උතුරු ඉන්දියන් එකෙක් මට කිව්ව දෙයක් :D
    කතාව මරු !

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      ඔය උතුරෙ එවුං ඊරිසියාවට කියන්නෙ. එව්ව ගණං ගන්ට එපා බොල...:)

      Delete
  8. අනන්‍යා... ඔබ සොයා මා ආවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඒකනෙ බං එහෙමත් අමතක වෙනවද?

      Delete
  9. ඔහේගෙ ‍හොඳ වෙලාවට අපේ නරක වෙලාවට තමයි අර අම්බලංගොඩයට අහුඋනා වගේ බලහත්කාරෙන් බෑග්එක උස්සගෙන දුවන ටැක්සි කාරයෙක් අහු නොවුනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒක බොලාගෙ නරක වෙලාව වෙන්නෙ කොහොමද බොල?..හෙහ්,හෙහ්,

      Delete
  10. මොකද කියන්නෙ රවී ටියුටෝරියල්ස් එකෙන් පටං ගම්මුද ඩුබායි පැත්තෙ ඔය වගේ අතරමං වෙන එව්වංට කෑම බීම, ඉඳුං හිටුං පහසුකං දෙන තැනක්. අපිටත් ඇවිල්ල මාසයක් දෙකක් නැවතිලා යන්න බැරියැ හිටං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      උඹ කීයක් දානවද?.....:)

      Delete
    2. මම ඔහෙගෙ ටියුටෝරියල් එකෙන් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ගෙන්නගන්නං.

      Delete
  11. //අවශ්‍යතාවයක් පැනනැඟුනහොත් අතරමංවූ මගේ පාඩම් මාලා ලාභීන්හට මගේ සයනය ලබාදී විසිත්ත කාමරයෙහි සෝපාවෙහි හෝ නිදාගැන්මට මම නොපැකිලෙන්නෙමි.//

    //මගේ මුදල් පසුම්බිය විවෘත කල මට නවාතැනෙහි ලිපිනය සඳහන් කඩදාසි කැබැල්ල එහි තිබි හමුවූයේය.//

    යහපත් චේතනා ගෙනදෙයි වාසනා කියන්නේ නිකම් නෙමේ නේ.

    "චෙන්නායි එක්ස්ප්‍රස්" ෆිල්ම් එකෙත් ඔය වගේ කාලවර්ණ අයියලා සෙට් එකක්ම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. Manoj,

      ඒකනෙ මලේ....හෙහ්,හෙහ්, ගල හොඳ නම් අඹරන කහ මක්වේද?

      Delete
  12. එක පාරයි චෙන්නායි ගිහින් තියෙන්නේ. ආයිත් යන්න ආසාවක් නෑ.
    විනෝදජනක දේකට වුනේ එයාපෝර්ට් එකේ සිකියුරිටි කාන්තාවක් මං උතුරු ඉන්දියානු කියල හිතල දෙමලෙන් කියල බැරි වුනාම හින්දියෙන් බැනපු එක

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      එහෙම නිකම්ම බණින්ට මොකෝ සිකියුරිටි කාන්තාවන්ට පිස්සිය? ඔහේ මොකක් හරි ඕනනැති ජල්තරස් එකක් දාන්ට ඇති ඒ අහිංසක කාන්තාවට. බාසා දෙකකින්ම රිඹ යන්ට බැන්නය කියන්නෙ මොකක් හරි සිරා කේස් එකක් තමයි...:)

      Delete
  13. නල්ලම් නල්ලම්...

    ඉන්දියානු ජාතිකයෙකුටත් ඉන්දියානුවෝ සලකන්නේ ඔහොම නම්, අර අම්බලන්ගොඩ කථා ට සලකපු හැටි හොඳයි වගේ :D ජීවිතේට ඉන්දියාවේ යන්න තියන ආසාව නැති වුනා මේව බලල :)

    හොඳ වෙලාවට ඇඩ්‍රස් එක තියන කොලේ පසුම්බියේ තිබිල හම්බුනා. නැත්නම් නවාතැන්පල පිලිබඳ බිස්නස් ප්ලෑන් එක තමයි කියවන්න වෙන්නේ අපට.

    ගමන අවසානයේ, ක්‍රිෂ් ට, ෆිෆ්ටි වගේ කිහිප ගුණයක් ගෙවන්නට සිදු නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. ඇයි දන්නේ නැහැ අනන්‍යා ආවේ නැත්තේ, ක්‍රිෂ් ව පික් කරන්න, I am missing sex කිය කිය හිටපු එකේ.

    The truth is that, airports have seen more sincere kisses than wedding halls, and the walls of hospitals have heard more prayers than the walls of churches. :)

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

      / ඉන්දියානු ජාතිකයෙකුටත් ඉන්දියානුවෝ සලකන්නේ ඔහොම නම්, අර අම්බලන්ගොඩ කථා ට සලකපු හැටි හොඳයි වගේ :D ජීවිතේට ඉන්දියාවේ යන්න තියන ආසාව නැති වුනා මේව බලල :) /

      ඔන්න ඉතිං වැරදි කොනෙන්මනෙ අල්ල ගන්නෙ. ඉන්දියන් කාරයින්ටත් ඉන්දියානුවො සලකන්නෙ අපිට සලකන විදිහටමයි කියන්නෙ මොකක්ද ඒකෙන් කියන්නෙ? එයාල ගාව තමංගෙ ජාතියට ඇදිල්ලක් නෑ කියන එක නේද? චෙන්නයි වල මිනිස්සුන්ට ඉන්දියානුවොද, ලංකාවෙ මිනිස්සුද , මාලදිවයින් කාරයොද , බංගලියොද කියල වෙනසක් නෑ හැමෝටම සුද්දෙ දැම්ම පුලුවන් නම්..අන්න නියම සමානාත්මතා වාදියො...

      / ගමන අවසානයේ, ක්‍රිෂ් ට, ෆිෆ්ටි වගේ කිහිප ගුණයක් ගෙවන්නට සිදු නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. /

      ඔහේ පොත කියවල එනව මෙතන අනාවැකි කියන්ට..හුහ්

      "The truth is everyone is going to hurt you, You just have to find the ones that are worth hurting for" - Bob Marley

      BTW - කෝ අර "එපං කොපං ජපං" කතාව ලියන්නෙ නැද්ද? ( ඒක මේ කාලෙකට ඉස්සර ගිය ටී.වී. ඇඩ් එහෙක කෑල්ලක්, ඇන්කර් ඇඩ් එකක් වගෙ මතක )

      Delete
    2. ජපන් කතා ඇරඹුම ලියල ඉවර කළා රවී තුමා. කම්මැලි කර කර ඉඳල අවසන් කොටස පළ කලේ ගිය මාසේ. ජපානේ ජීවත් වෙනකොට සිදු වුනු එපං කොපo ජපo කතා ත් ලියන්නම් හෙමීට :)

      මම මේකේ මුල් කතාව කියවල නෑ අනේ. මම අරම ප්‍රාර්ථනාවක් කලේ අම්බලන්ගොඩ කථා ට එහෙම දෙයක් වෙලා තිබුණු බව මතක තිබුණු නිසා.

      //චෙන්නයි වල මිනිස්සුන්ට ඉන්දියානුවොද, ලංකාවෙ මිනිස්සුද , මාලදිවයින් කාරයොද , බංගලියොද කියල වෙනසක් නෑ හැමෝටම සුද්දෙ දැම්ම පුලුවන් නම්// මේ කතාව මරු :D

      "The truth is everyone is going to hurt you, You just have to find the ones that are worth hurting for" :) :)

      Delete
  14. ක්‍රිෂ්ගෙ අම්මයි, ලොකු අම්මයි අරහෙ පුපුර ඉන්නවා ඇති නේද....

    කොච්චර කාලෙකින් ද මේක කියවන්න ලැබුනේ... රවී අයියට දඩ ගහන්න වටිනවා:D.... ඒ වරදට:D..


    ReplyDelete
  15. ටැක්සිකාරයෝ කොහේත් එකයි ; පෝලන්තේදී ටැක්සිකාරයෙක් අපිව පරංගියා කෝට් ්ට් ගියා වගේ ගෙනියලා සල්ලි කඩා ගන්න ගියා

    ReplyDelete
  16. අපේ මුල් තියෙන්නෙත් ඉන්දියාවෙ කොට, අපේ උතුර දකුණ වලිය ලේවලින්ම එන එකක් ඒනම්.. 2 States බලන්න අක්කා..., අපූරු කතාවක් මේ නොරිස්සුම් ගැන

    ReplyDelete
  17. හප්පේ කාලෙකින්...

    // හදිසියේ හෝ චෙන්නයි ගුවන් තොටුපොළෙහි විදුලිය ක්‍රියා විරහිත වුවහොත් උද්ගතවියහැකි භයංකර තත්වය සිහිව මා මුවඟට සිනහවක් නැඟුනේ සැණෙකිනි. // හි..හි..

    රූප ටික හිතෙන් මවාගෙන කියවගෙන ගියා...

    ReplyDelete
  18. මේකේ කොටස් බර ගානක් මිස් වුණා.. මුල ඉඳල බලාගෙන එන්නම්.. මේක කියෙව්වේ නෑ..

    ReplyDelete
  19. යන්තම් ඔන්න දාල. චෙන්නායි ඔය කියන තරමං නරකත් නැහැ. හැබැයි මිනිස්සු නම් වැඩියි. කොච්චර එහා මෙහා වුනත් දහදෙනෙක් වත් ඇඟේ හැප්පෙනවා. මීටර් 100 යනකොට.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...