Friday, August 25, 2017

525. The Story Of My Marriage - 43 - Conference calls, Looking for scapegoats and The outspoken Mr. Geoffrey Boycott……..


60,70 සහ 80 දශකයන්හි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ
ආරම්භක පිතිකරුවකුවූ ජෙෆ්‍රි බෝයිකොට්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

"මට මේ වෙනකොට පැමිණිලි හතක් ලැබිල තියනව. ඒ ඔක්කොම අපේ දීර්ඝ කාලීන ගනුදෙනුකරුවන් කාරියන් ගෙන්. ඒ ඔක්කොම අපේ බැංකුව කෙරෙහි දැඩි විශ්වාසය තියපු කට්ටිය" සිටි බැංකුවේ මුලු මහත් ඉන්දියාවේම පරිභෝගික සේවා මෙහෙයුම් කටයුතු භාර ප්‍රධානියා එසේ පැවසූයේ මුම්බායි සිට සමූහ ඇමතුමකින් (Conference call) අප හා සම්බන්ධ වෙමිනි. 

"ඒක ඉතිං කියන්ටත් දෙයක්ය. බැංකුව කෙරෙහි දැඩි විශ්වාසය තියපු හින්දනෙ අපි කියපු විදිහට සල්ලි දාල කෙලව ගත්තෙ" මම තොල මැතිරීමි.

"මොනව හරි ඒ ගැන කියන්ට තියනවද ඔතන ඉන්න කාටහරි?"

මේසය වටා රැස්ව සිටි අප සියල්ලෝ මුම්බායි නුවර සිට දැඩි ආවේගයෙන් කථාකරන ප්‍රධානියාගේ හඬ නිකුත්වන මේසය මතවූ දුරකථනය දෙස තුෂ්නිම්භූතව බලා සිටියා මිස වදනකුදු නොදෙඩූයෙමු.

"සර් ඒවා මේ වෙලාවෙ කොටස් වෙළඳ පලේ අවිනිශ්චිත තත්වයට අපේ පාරිභෝගිකයො දක්වපු අධි ප්‍රතිචාර..Just an over-reaction to the volatility of current stock market...එයාල මේ තත්ත්වය ගැන දැනුවත් වෙන්න ඕන..අනික අපි ඒ ගැන ඔය හැටි කළබල වෙන්ට ඕනත් නෑ" බාලා එසේ පැවසූයේ තම කටහඬෙහි වූ තැතිගත් ස්වභාවය වසන් කිරීමට අසාර්ථක උත්සාහයක් දරමිනි.

"මේ  ඔයාලම හදපු රීසර්ච් රිපෝට් එකේ තියන එව්ව මට කියන්ට එන්න එපා. ඒ රිපෝට් එක මම අකුරක් නෑර කියවලයි තියෙන්නෙ"

දුරකථනයෙන් පිළිතුරු ලැබුනේ නොඉවසිලිමත් හඬකිනි. ඒ සමඟම දුරකථනය ක්‍රියා විරහිතවිය. සුදුමැළිවූ මුහුණින් යුතු බාලා සෙමෙන් තම අසුනින් නැඟී සිටියේය.

සිදුවූයේ කුමක්ද? ඊට වගකිවයුත්තේ කවුරුන්ද? එසේම අනාගතයෙහිදී යලි මෙවන් අභාග්‍යසම්පන්න සිදුවීමක් වළක්වා ගන්නෙ කෙසේද? යන කරුණු පිළිබඳව සොයා බැලීම උදෙසා මුම්බායි ප්‍රධාන කාර්යාලයෙහි උසස් නිළධාරීන් කණ්ඩායමක් චෙන්නයි ශාඛාව වෙත හැකි විගස පැමිණීමට අපේක්ෂාකරන බව දැනුම් දෙමින් එදින සන්ධ්‍යා කාලයෙහිදී ලැබුණු දුරකථන ඇමතුම අපගේ සියළු සේවකයින් බියෙන් තැතිගැන්වීමට සමත් විය.

එම ප්‍රවෘත්තිය බාලක්‍රිෂ්ණන් මහතාගේ තොල කට සුදුමැලි කරවීමට සමත්විය. ඊට අමතරව ඔහු කිහිප වරක් හදිසියේම අධික ශීතල දේශගුණ තත්වයක් උදාවූ විටෙක මෙන් වෙව්ලා යනු මම පැහැදිලිව දුටුවෙමි. ඔහු කෙරෙහි අනුකම්පාවක්ද මසිතෙහි වරින් වර හටගත්තේය. 

මුම්බායි ප්‍රධාන කාර්යාලයෙහි උසස් නිලධාරීන්ගේ ඒකමතික නිගමනය වූයේ ප්‍රධාන වශයෙන් අප විසින් අන්තර්ජාල සමාගම්වල කොටස් අපගේ ආයෝජකයින් හෝ සාමාන්‍ය ගණුදෙණුකරුවන්හට විකිණීම නොකල යුතුව තිබුණු බවය. එහෙත් අප විසින් විකුණන ලද කොටස් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලයෙහි ගිණුමට වට්ටම් බැරවන විට ඔවුන් ඒ පිළිබඳව කිසිදු අසතුටක් ප්‍රර්ශනය නොකළහ. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමට ඉදිරිපත් වන්නෝ බොහෝය.

එහෙත් මේ වනවිට අපගේ ප්‍රධාන පෙලේ ගණුදෙනු කරුවන් සත් දෙනෙක් තම ගිණුම් වසාදමා මුදල් තැන්පතු ඉවත්කොටගෙන ඇති අතර එක් ගණුදෙනු කරුවෙක් නිව්යෝර්ක් නුවර සිටි බැංකු මූලස්ථානයෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයාහට මේ පිළිබඳව ලිඛිතව පැමිණිළි කොට ඇත. එබැවින් මේ ඛේදවාචකයට වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණ වීම අත්‍යාවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇත.

"මේ මම කියන එක හොඳට හිතට ගන්න ඔක්කොමල. ඔයාලගෙ ගණුදෙනු කරුවන්ට මීට පස්සෙ ස්ථාවර තැන්පත්, රත්තරන් සහ සාරි ඇරෙන්න වෙන මොකවත් විකුණන්න හදන්න එහෙම එපා" පසුදින සවස පැවති මගේ කණ්ඩායමේ සතීක අලෙවි සමාලෝචන රැස්වීමෙහිදී මම ඔවුන් අමතා පළමුවෙන්ම උපදෙස් දුනිමි.

"සර් අපි කොහොමත් සාරි විකුණන්නෙ නෑනෙ.." වික්ෂිප්ත මුහුණින් යුතුව එක් යුවතියක් පැවසීය. 

"සමාවෙන්න මම පොඩි විහිළුවක් කලේ..එහෙම බලනවනං අපි රත්තරං විකුණන්නෙත් නැහැනෙ ..එහෙම නේද?"

"නෑ සර් අපේ ගිණුම් වර්ගයක් තියනව පාරිභෝගිකයින්ට ඕනනම් රත්තරං මිලදීගෙන ඒවයෙ තැන්පත් කරන්න පුලුවන්……."

මම දෙතොල තදින් පියාගෙන හිස දෙපසට සෙලවීමි. "ඔන්න ක්‍රිෂ් වැඩේ හැටි දැන් තේරෙනව නේද? තමුං වැඩ කරන බැංකුවෙන් පාරිභෝගිකයින්ට ලබා ගන්ට පුලුවන් සේවාවන් ගැනවත් තමුං හරියට දන්නෙ නෑ..ඉතිං තවත් මොනවද? මම මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. තමුං මොකටද මේ රස්සාව කරන්නෙ?" මම මගෙන්ම තොල මතුරා විමසීමි.

මම මා දැනුවත් කල ඒ යුවතිය දෙස බලා සිනාසුනෙමි. පාරිභෝගික සේවා යනු දන්තාලේප රූපවාහිනී වෙළඳ දැන්වීමක මෙන් නිරතුරු දසන් දක්වා පියකරු ලෙස සිනාසීමය.

"ඇත්තද අනේ මේ කටකතාවක් හැමතැනම පැතිරෙන්නෙ?" සැටවියැති පමණවූ මගේ තවත් ගණුදෙනුකාරියක එසේ විමසූයේ මගේ මේසය ඉදිරියෙහිවූ අසුනෙහි හිඳ ගනිමිනි. 

"මොන කටකතාවද?" මම පරිගණක තිරයෙන් දෑස් ඉවත්කොට ඈ දෙස බලා සිනාසෙමින් විමසීමි.

"මේ අර ශ්‍රීනිවාස් අම්මණ්ඩිගෙ ලක්ස දහයක් නැතිඋනාය කියන කතාව ගැන මම මේ ඇහුවෙ…." ඇය දෑස් නටවමින් විමසුවාය.

"සමාවෙන්න මැඩම් ඒ තොරතුරු රහස්‍යයයි. ඒ ගැන මට මොකවත් කියන්න බෑ.."

බැංකු ගිණුම් තොරතුරු රහස්‍ය භාවය ආරක්ෂාකිරීම ලොව පුරා මූල්‍ය ගනුදෙනුවලදී ඉතා වැදගත්සේ සැළකෙයි. එසේ නොවන්නට අපට ඉතා රසවත් ඕපාදූප රැසක් අපේ ගනුදෙනුකාරියන්හට ලබාදිය හැකිව තිබිණි. ඔවුන්ගේ ආයෝජනයන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලබා දීමට අප අසමත් වන්නේ නම් ඒ හිලව්වට රසවත් ඕපාදූප හෝ ඔවුනට ලබාදීම අපගේ පරම වගකීම වන්නේය. බොහෝවිට එසේ කලේ නම් තව බොහෝ ගණුදෙනුකාරියන් අප වෙත ආකර්ශණය වන්නටද ඒ හේතුවක් විය හැකිව තිබිනි.

"ක්‍රිෂ්, කරුණා කරල මගේ කාමරේට පොඩ්ඩක් එනවද?"

බාලක්‍රිෂ්ණන් මහතා මගේ කුටියෙහි දොරටුව අසලට පැමිණ පැවසීයේ එදින රාත්‍රී හතට පමණ මම රාජකාරී නිමකොට නවාතැන බලා පිටත්වීමට පළමු මගේ "City never sleeps" යනුවෙන් සඳහන් බෑගය අස්පස්කරමින් සිටියදීය. 

ඔහුගේ මුහුණෙහි වූයේ දණ්ඩකින් පහරලද බලු පැටවකුගේ මුහුණෙහි පිළිඹිබු වන අයුරු බයාදු පෙනුමකි. තව දිනදෙකකින් මුම්බායි ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරීන් කණ්ඩායම පැමිණෙන බවට එදින මධ්‍යාහ්නයෙහි දැනුම් දී තිබිණ. 

ගෙවීගිය රාත්‍රීන් දෙකෙහිම මම මධ්‍යම රාත්‍රී යාමය පසුවන තුරු ඔවුන් උදෙසා පරිගණක ඉදිරිපත්කිරීම් (Computer presentations) පිළියෙල කිරීමෙහි නිරත වූයෙමි. ඒ කාර්යය කිසිසේත් පහසු හෝ සිත්ගන්නාසුළු හෝ වූයේ නොවේ. මම කොපමණ දර්ශනීය ලෙස ඉදිරිපත්කිරීමෙහි දර්ශනතලයන් (Slides) සකස් කලද අවසාන සම්පිණ්ඩනයේදී (Final Summary) සිදුව ඇති ඛේදවාචකය ඉතා පැහැදිලිව යම් මූලික මූල්‍ය පරිපාලන දැනුමක් ඇත්තෙකුට පවා වැටහෙනු නියතය. එබැවින් සිදුව ඇති වරදෙහි වගකීමද නිසැකවම අප වෙත පැවරෙනු ඇත.

පසුගිය රාත්‍රියෙහි මම රාජකාරි නිමකොට නවාතැනට ළඟාවනවිට මගේ අත් ඔරලෝසුවෙහි වේලාව හිමිදිරි තුනට ආසන්නව තිබිණි. හෝරා දෙකක නින්දකට පසු මම යලි අවදිවූයේ අනන්‍යාගේ බාල සොයුරාහට ඉගැන්වීමේ කටයුතු උදෙසා උදෑසන හය වනවිට මම අනන්‍යාගේ නිවසට ලඟාවියයුතු බැවිනි. එබැවින් මට ඒ මොහොතේ අවශ්‍ය වූයේ බාලා සමඟ ඔහුගේ කුටියෙහි සතුටු සාමීචියෙහි යෙදීම නොව හැකි විගස කුමක් හෝ සැහැල්ලු ආහාරයට ගෙන නින්දට යාමටය.

"බාලා මම මේ...."

එහෙත් ඒ වනවිටද මම ඔහු පසුපසින් පැමිණේය යන අපේක්ෂාවෙන් බාලා තම කුටිය වෙත යාමට ආපසු හැරී සිටි බැවින් මම ඉතිරි වදන් ගිලගෙන ඔහු පසුපසින් ගියෙමි. මම ඔහුගේ කුටියට ඇතුළු වූ වහාම බාලා දොර වසා අගුළු දමා ජනේලයෙහි තිරයද පහතට දැම්මේය. ඉක්බිති ඔහු මේසය මතවූ දුරකථනය නාද නොවනු පිණිස එහි රිසීවරය ඉවත්කලේය.

"මළ කෙලියයි මොකක්ද මේ මනුස්සය මේ කරන්න හදන්නෙ? එක්කො මිනිහ ලෑස්ති මාව සේවයෙන් පහ කරන්න නැත්නම් මට අඩන්තේට්ටම් කරන්න. කිව්වත් වාගෙ මේ යස්සය බෝයිකොට් කෙනෙක්ද මන්ද...බයෙත් බෑ ඔෆිස් එකේ වෙන කවුරුවත්ම ඇත්තෙත් නෑ මේ වෙලාවට"...දෑස් හයාගත්වනම මම එසේ සිතූයෙමි.

පසු සටහන - 

ජෙෆ්‍රි බෝයිකොට් යනු හැත්තෑව සහ අසූව දශකයන්හි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි ආරම්භක පිතිකරුවාය. නිර්භයව තම අදහස් පලකීරිම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන බෝයිකොට් මහතාට එනිසාම බොහෝ අපහසුතාවයන්ට මුහුණ දීමටද සිදුව ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවට කල සේවය වෙනුවෙන් තමන්ට නයිට් පදවියක් ප්‍රදානය කරනු ඇතැයි බොහෝ කලක සිට අපේක්ෂා කල ඔහු මෙවරද මහ රැජිනගේ උපන්දින ගෞරව නාම ලැයිස්තුවෙහි තම නම නොමැතිවූ කල "නයිට් කමක් ලැබෙන්න ඉතිං මම හිතන්නෙ මගෙ මූණ කළු කරගෙන එන්ට වෙයි" යනුවෙන් පසුගිය සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවකදී පවසා බොහෝ විවේචනයන්ට බඳුන්විය. පසුව ඔහු ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියේය. 

ඔහු එසේ පැවසූයේ මේ වනවිට බටහිර ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුට නයිට් පදවි ප්‍රදානය කොට තිබීම සැළකිල්ලට ගනිමිනි.

පිරිමි සමරිසිතාවයට නැඹුරුබවක් දක්වන්නන් අප එදවස හැඳින්වූයේ බෝයිකොට්ලා ලෙසය. "මේ මනුස්සය බං අර කෙල්ලො එක්ක කිසිම කතා බහක් නෑනෙ... මේකා බෝයිකොට් කෙනෙක්වත් මන්දා" යුවතියන් ආශ්‍රයට උනන්දුවක් නොදක්වන්නවුන් පිළිබඳව අප අතර කතාබහ සිදුවූයේ එලෙසිනි.

ජෙෆ්‍රි බෝයිකොට් 1977 වසරේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති හතරවන ටෙස්ට් තරඟයේදී  ප්‍රථම පන්තියේ තරඟවලදී ලබාගත් තම සියවන ශතකය ලබාගත් අන්දම පහත වීඩියෝවෙන් නැරඹිය හැක.


36 comments:

  1. අද බොහොම පොඩ්ඩයිනෙ ලියල තියෙන්නේ... මේ බාලා මොකාටද එන්න හදන්නෙ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      මොනවද බං බොහොම පොඩ්ඩයි කියන්නෙ? හෙහ්..හෙහ්..

      ඇත්තම කිව්වොත් වෙනද ලියන ප්‍රමාණය නම් ලියවුනේ නෑ තමා. වචන 1200 වගෙ මේකෙ තියෙන්නෙ. හේතුව අධික නිදිමත.

      බලාපං පෝස්ට් එක දාල තියෙන වෙලාව . 5.59 ..ඒ ලංකාවෙ වෙලාව. ඒ කියන්නෙ මෙහෙ වෙලාව 3.29....අනික පොඩි සාදයකට ගිහිල්ල ආවෙත්. ඒත් සාමාන්‍යයෙන් මම සිකුරාදට පෝස්ට් එකක් දාන හින්ද නැට්ට විකාගෙන ලිව්ව...

      Delete
    2. සාදයකට ගියා නම් නිදිමත වගේම වෙරි මතත් ඇති එහෙනම්:D

      Delete
    3. Nirmani,

      /සාදයකට ගියා නම් නිදිමත වගේම වෙරි මතත් ඇති එහෙනම්:D/

      Of course Madam...:)

      Delete
  2. හරි හරි. ක්‍රිෂ් කාරයට බඩු හම්බවෙන්නයි යන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. Prasanna,

      උඹට හෙණ හැපී නේ? මට පේන්නෙ අර පහුගිය පෝස්ට් එකේ ඇනෝ කෙනෙක් කියල තිබ්බෙ බොරුමත් නෙවෙයිද කොහෙද...:)

      Delete
  3. //පිරිමි සමරිසිතාවයට නැඹුරුබවක් දක්වන්නන් අප එදවස හැඳින්වූයේ බෝයිකොට්ලා ලෙසය//
    ??????
    බෝයිකොට්ට එහෙම කතාවකුත් තිබුන කියලා අහලා නෑ
    පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට පහර දුන්නයි කියලානම් ප්‍රංශයේදී වැරදිකරු වුනා.
    මිනිහා ඉන්ටරෙස්ටිං , පොලිටිකලි කරෙක්ට් නෑ, ඕල්ඩ් ෆැෂන්ඩ්.
    මං ආස යෝක්ෂයර් ඇක්සන්ට් & dialect එකට.
    ඩේවිඩ් "Bumble" ජෝර්ජ්ටත් තියෙන්නෙ.(ලැන්කෂයර්ට ප්ලේ කලාට යෝක්ෂයර් ඇක්සන්ට් නේද තියෙන්නෙ?)

    But = බුට්, Rubbish රුබිෂ්,
    Anyroad (for anyway)

    ReplyDelete
    Replies
    1. ආ. දැනුයි තේරුනේ. "බෝයි"කොට් !
      ජෙෆ්‍රරි දන්නවනම් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලට පහරදෙන එක නවත්වලා රවි උන්නාන්සෙගෙ හොම්බට දෙනවා, නයිට් පදවියට කෙලවෙලා ගියදෙන් කියලා

      Delete
    2. Pra,

      ඩේවිඩ් ලොයිඩ්, බෝයිකොට් දෙන්නම රන්ස් (Runs) නෙවෙයි කියන්නෙ රුන්ස්.

      අවුරුදු තුන හතරක් විතර එංගලන්ත කණ්ඩායමෙන් අයින් වෙලා හිටපු බෝයිකොට් 1977 අළු බඳුන තරඟාවලියට ආයම ගත්ත. එංගලන්තෙ ඒ තරඟාවලිය 3-0 දිනුවා.

      ඒ අවුරුද්දෙම අවුරුදු බරගානකට පස්සෙ එංගලන්ත ක්‍රීඩිකාවක් විම්බල්ඩ්න් ශූරතාවත් දිනුව. ඒ වර්ජීනියා වේඩ්.මහ රැජිනගෙ මෞලි මංගල්‍යයෙ රිදී ජුබිලිය සමරපු ඒ අවුරුද්දෙම මේ ජයග්‍රහණ ලබාගැනීම සුවිශේෂී සිද්ධියක් ලෙසයි ඒ දවස්වල පතතරවල පලවුනේ.

      /පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට පහර දුන්නයි කියලානම් ප්‍රංශයේදී වැරදිකරු වුනා. /

      නයිට් පදවිය නොලැබෙන්න හේතුවෙන්නෙත් මේ සිද්ධියලු.බෝයිකොට් නම් කියන්නෙ ප්‍රංශෙදි සාධාරණ නඩු විභාගයක් පැවැත්වුනේ නෑ කියල.

      / ආ. දැනුයි තේරුනේ. "බෝයි"කොට් !/

      Aaah..the penny dropped...:)

      Delete
  4. දාලා අගුලු දොරනම් ඔහු හොඳින් වසා
    දාලා තිබුණු තිරයෙන් කවුළුවද වසා
    පාලා රුදුරු පෙනුමට ක්‍රිෂ් භයත් නිසා
    බාලා එන්නෙ මොකටදැ කියනවද අසා....

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඉතුරු කොටස ....???

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්.. ඔහේ රවිය ගැන නොදැන වෙන්න ඇති ඔහොම අහන්නෙ.

      Delete
    2. කෝ මේ හංගලා තිබ්බ මසුරන් ටික?

      Delete
    3. තඩියා,

      හරි හරි මේ ලියනව..මේ ලියනව...

      ප්‍රසා ඇන්ඩ් දුමී,

      ++++++++++

      Delete
  6. මේ විදිහට මහරෑ වෙනකං ඔෆිස් එකේ තැපපු කාලයක් මටත් තිබුණා. පස්සෙ මං ඒ ගොනා වික්කා. ඒ සල්ලිවලිං අංකූරෙකුයි, ගල් ආඳෙකුයි ගත්තා. ගානක් ඉතුරුත් වුනා. අපරාදෙ කියන්න බෑ ගල් ආඳගෙ ලිස්සීමයි අංකූරගෙ අංකූරු වැඩයි හංදා ඇල්.ජී.ඕ. වුඩ්හවුස්ට සමාදානෙ සැතපෙන්නත් නැති වෙනව.

    ReplyDelete
    Replies
    1. අංකූරෙකුයි, ගල් ආඳෙකුයි ගත්තා

      ++++++++

      Delete
    2. Suranga,

      /ඇල්.ජී.ඕ. වුඩ්හවුස්ට.../

      නෝ අන්ඩර්ස්කර්ට්..අම්ම ගැනද කියන්නෙ?

      Delete
    3. https://en.wikipedia.org/wiki/L._G._O._Woodhouse

      Delete
  7. Replies
    1. සොඳුරු,

      හරි හරි බං අඬන්නෙ නැතුව ඉඳු..තව එකක් මේ ලියනව....:)

      Delete
  8. ක්‍රිෂ් ට සෙට් වෙයි වගේ. මේ ටිකම ටික ලියන්න හේතුව අර බුකියේ දාගෙන දාගෙන යන පෝස්ට් වැලද මන්ද

    ReplyDelete
    Replies
    1. අජිත්,

      එහෙම එකක් නම් නෑ...:)

      Delete
  9. මේ රවී තුමෝ තරහ නැතුව මේ කතාවේ ඔක්කොම කොටස් තියෙන ලින්ක් එකක් දෙනවද? මට කොටස් බර ගානක් මිස් වුනා. දැන්ම ඇරියස් කවර් කර ගත්තේ නැත්නම් මේක ඉස්සරහටත් කියවන්න වෙන්නේ නෑ.. තව අවුරුදු 20-30ක් වත්කියවන්න වෙයි නේ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      බ්ලොග් එකේ දකුණු පැත්තෙ ප්‍රවර්ග යටතෙ තියනව "Story of my marriage" කියල කැටගරි එකක්. ඒක ක්ලික් කලාම මෙතෙක් මේ කතාවෙ ලියවුනු කොටස් 43 ම එතන තියනව. හැබැයි අග ඉඳල මුලට...හෙහ්,හෙහ්,

      Delete
    2. සංකීර්ණ තත්වයක්.. මුල හොයා ගන්න අඩුම තරමේ 14 සැරයක් වත් ක්ලික් කරන්න වෙනවා. ඊට පස්සේ අන්තිම කොටසට එන්න තව 14 සැරයක් වත් ක්ලික් කරන්න වෙනවා. ඔක්කොම එක සැරේ කියෙව්වේ නැත්නම් කලින් කියවපු කොටස හොයා ගන්න තව 10 සැරයක් විතර ක්ලික් කරන්න වෙනවා.

      බොන්න ඕනේ ප්‍රශ්නයක්..

      Delete
    3. පැතුම්,

      උඹ ඇවිල්ල මගෙ යාවජීව පාඨකයෙක්, ඊට අමතරව දැනට නොකඩවා ලියන ජේෂ්ඨතම සිංහල බ්ලොගර්. අභාවප්‍රාප්ත විචා උඹට විරුදාවලියකුත් ප්‍රදානය කලානෙ ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයා කියල.

      ඒ හින්ද ඉඳහං උඹට පහසු වෙන්ට මම මෙතෙක් ලියපු කොටස් ඔක්කෝගෙම ලින්ක්ස් දාන්නං...:)

      පලි - අම්මාපල්ල මේ ජේස්ටයොන්ගෙනුත් තියන වදයක්..මේ සිකුරාද නිවාඩු දවසෙවත් පොඩි කර්මාන්තයක් කරගෙන නිවී සැනසිල්ලේ ඉන්ට දෙන්නෙ නැති හැටියක් ...

      1. Part 1

      2. Part 2

      3. Part 3

      4. Part 4

      5. Part 5

      6. Part 6

      7. Part 7

      8. Part 8

      9. Part 9

      10. Part 10

      Part 1 of 4

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...