Friday, December 29, 2017

552. If A Tree Falls In A Forest And No One Is Around To Hear It, Does It Make A Sound?

A Fallen Tree In A Forest
මහවන මැද  ඇද වැටුනු ගසක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

"හපෝ කුවේට් එයාර්පෝට් එකනම් ගන්ට දෙයක් නෑ ඒයි...හරියකට ඉඳගන්ට සීට්වත් නෑ. මිනිස්සු පනහක් හැටක් වගෙ බිම ඉඳගෙන ඔන්න හිටියෙ කොටින්ම" ස්නානය කොට අවසානයේ  කෙහෙවැටිය දුඹුරු පැහැති තුවායක් ආධාරයෙන් තෙත මාත්තු කරමින් ඇය පැවසුවාය.

"හ්ම්ම්ම්…" සයනයෙහි සුවපහසු අයුරින් දිගාවී ඇගේ ඉරියව් නරඹමින් හුන් මම පැවසුවෙමි.

මෙලෙස සයනයෙහි සුවපහසු ලෙස දිගාවී ඇය උදෑසන පාසල් යනු උදෙසා සූදානම්වන අයුරු නැරඹීමට හෝ රාත්‍රියෙහි නින්දට පළමු කණ්නාඩි මේසය ඉදිරිපිටවූ ස්ටූලය මත හිඳ හිස පීරන අයුරු නැරඹීමට හෝ නිදන කාමරයෙහි එහා මෙහා යමින් දවල් දවසේ සිදුවීම් සවිස්තරව පවසනු ඇසීමට මතක ඇති කලක සිට මම බොහෝසේ ප්‍රිය කලෙමි.

"හ්ම්ම් හ්ම්ම් ගගා ඉන්නෙ? ඔයත් මොනවහරි කියන්නකො…" ඇය කාමරය පුරා කරන සක්මන නවතා මදෙස හැරී නොපහන් දෑසින් යුතුව විමසීය.

"හරි හරි ඔයා කතා කරන්නකො...ඇහුම් කන්දෙන්ටත් කවුරුහරි ඉන්න එපාය…"

"ඒකත් හරි තමයි බලාගෙන යනකොට.."

"ඔව්..එහෙම තියරි එකකුත් තියනව…"

"තියරි එකක්? ඒ මොකක්ද ඒ?"

"ඒකට කියන්නෙ If a tree falls in a forest තියරි කියල…"

"ඔය ඉතිං?.... ඕක තව ටිකක් පැහැදිලි කරන්න බැරිද?"

"හ්ම්ම්ම්..මෙහෙම කියමුකො...මහ වන මැද වනස්පතියක් ඉදිරී බිම පතිත වුවහොත් ඒ ශබ්දය ඇසීමට කිසිදු සතෙකු හෝ මිනිසකු ඒ අවට නොවූයේ නම් සත්‍යය වශයෙන්ම එහිදී යම් ශබ්දයක් ඇතිවිනිද? අන්න ඒකයි විසඳිය යුතු ගැටළුව…"

"අනේ මේ...මට ඔය විකාර ගැන කල්පනා කරල ඔලුව නරක් කරගන්ට කිසිම ඕන කමක් නෑ…"

"එහෙම නෑ කියල බෑ...ඔයාට කල්පනා කරන්ටම වෙනව…. මොකද ඒ තියරි එක අනුව මම හ්ම්ම් හ්ම්ම් ගගා හරි ඇහුම්කන් දුන්නෙ නැත්තං ඔයා කතා කලේම නෑ වෙනව...ශබ්දයක් පිටවෙලාම නෑ වෙනව....Think about it…"

"මේ මම දැන් එක පාරකුත් කිව්වනෙ...මගෙ ඔලුව විකාර කරන්නෙ නැතුව ඔය ඉන්න විදිහකට ඉන්නවද?"

"හරි හරි ඒක අල්ලල දාන්න..මොකක්ද අර කුවේට් එයාපෝට් එක ගැන කිව්වෙ?"

අවසාන මොහොතේ ගුවන් ප්‍රවේශපත් වෙන්කිරීමට සිදුවූ බැවින් ඇය මෙවර මෙහි පැමිණියේ කුවේට් නගරය හරහා වට වන්දනාවක නිරතවය. ඒ වනවිට කටුනායක සිට දෝහා දක්වා නොනවත්වා පියාසර කරනා ගුවන්සේවාවන්හි ආසන ඉතිරිව නොතිබිණි. කටුනායක-කුවේට් සහ කුවේට්-දෝහා ලෙස අතරමැද හෝරා දෙක හමාරක විරාමයක් සහිතව යෙදුනු ගුවන් ගමනින් අනතුරුව ඇය බොහෝසේ විඩාපත්ව සිටියාය.

"නෑ මම මේ කිව්වෙ කුවේට් එයාපෝට් එකේ පහසුකම් නම් හොඳටම මදි කියල…" සයනයෙහි මා අසලින් හිඳගනිමින් ඇය පැවසුවාය.

නිහඬතාවයෙන් ගතවූ මිනිත්තු කිහිපයකින් පසු ඇය යලි මා ඇමතුවාය.

"මේ මම අහන්නමයි හිටියෙ...ඔයා අර බ්ලොග්ද මොනවද කියල එකක් ලියනව නේද? අර මේ පහුගිය දවස්වල මොනවද තෑගි වගේකුත් හම්බවුනේ?"

ඕනෑම දෙයක් හෝ සිදුවීමක් හෝ පුද්ගලයෙකු පිළිබඳව සෝපාහාසාත්මකව කථා කිරීමට ඇති හැකියාව ඇය උපතින්ම ගෙන ආවක් විය යුතුය. ඇගේ පියාණන් ද එවන් නර්මාලාප බිණීමෙහිලා උපන් සමතෙකි.

දශක දෙකකට පමණ පෙර මම එදවස සේවය කල වාරිමාර්ග හා සම්බන්ධ ආයතනයෙන් ඉවත්වූ ඉක්බිති මගේ සහෝදර නිලධාරීහු ඉවත්වූවන්ට උපහාර පිණිස උත්සවයක් සංවිධානය කළෝය. ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයෙහි පැවැත්වුනු එම උත්සවයෙහිදී ප්‍රදානය කල සමරු ඵලකයද රැගෙන මම ආපසු නිවසට පැමිණියෙමි.

"මොකක්ද දැං ඔය තකහනියක් කොළඹ ගිහිල්ල හම්බවෙච්චි සම්මානෙ?" ඇය විමසුවාය. 

"මේක…" මම සමරු ඵලකය ඇයට පෑවෙමි. 

"හයියෝ..මොකක්ද අනේ ඔය?... පිඟානක්ද දුන්නෙ අවුරුදු පහළවක් වැඩ කලාට?" ඇය සිනාසෙමින් විමසුවාය.

මම ඉතා සන්සුන්ව ඇයට කරුණු පැහැදිලි කලෙමි. "මේ..මම අවුරුදු පහලවක් වැඩ කරපු තැනින් නෙවෙයි මේක දුන්නෙ..මේක දුන්නෙ මගෙ යාලුවො එකතු වෙලා..අනික මේක මේ සමරු තෑග්ගක්..ඒකෙ දිග පලල එහෙමත් නැත්තං වටිනාකම නෙවෙයි හොයන්න ඕන...Just the thought behind it…"

මම කෝපයට පත්ව ඇති බව වටහා ගත් ඇය මා වෙත පැමිණ මගේ සුරත ගත්තාය. "හරි හරි ඒ මම කියපු එක ගණං ගන්න එපා. දන්නවනෙ මම ඔය කටට ආපු එක අර මොකක්ද පොළවෙ ගැහුව වගෙ ඔහෙ කියල දානවනෙ…"

"ඒකතාව නම් ඇත්තම ඇත්ත…" මම සිනාසෙමින් පැවසුවෙමි. එසේමය. ඒ ඇගේ සහජ ගති ස්වභාවයයි.

එම අතීතාස්මරණයෙන් ඉක්බිති යලි වර්තමානයට….

"මේ මම අහන්නමයි හිටියෙ...ඔයා අර බ්ලොග්ද මොනවද කියල එකක් ලියනව නේද? අර මේ පහුගිය දවස්වල මොනවද තෑගි වගේකුත් හම්බවුනේ?"

"හ්ම්ම්ම්ම්..ලියනව තමයි..ඉතිං මොකෝ?" මම හිස යම්තමට හරවා රැළිකොටගත් දෙබැම යටින් ඇය දෙස බලමින් විමසූයෙමි.

"ආ..නෑ...නෑ.....කලබල වෙන්න ඕන නෑ… අද දවසටම කම්පියුටරේට කෙටුවෙ නැති හින්දයි ඇහුවෙ..හිහ්...හිහ්…"

"ඒ වැඩේ මම අල්ලල දැම්ම…"

"අනේ..නිකං බොරු කියන්න එපා ...මම දන්නෙ නැද්ද ඔයා ඔය බොලොග් කෙරුවාවට වහවැටිලනෙ හිටියෙ..එහෙම එකේ අල්ලල දායි එහෙනං මේං කියල…"

"හරි හරි ඇත්තම කියන්නංකො එහෙනං..ඔයා ආවට පස්සෙ මට හිතුන කොයි වෙලෙත් කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා ඉන්න එක හරි නැහැ කියල…"

"අන්න එහෙම එන්න...මට ආදරෙත් තියනව එහෙනං…" ඇය එසේ පැවසුවේ මගේ හිස අතගාමිනි.

********************************************

ඉයන්ගෙ අලුත් පෝස්ට් එක ගැන පොඩ්ඩක් කතා කලොත් හොඳයි කියල හිතෙනව මේ එක්කම. මොකද මම මේ ලියපු කරුණු කාරණා ඉයන් මතුකරන කරුණු කාරණා වලටත් ඉතාම අදාලයි කියල මට හිතෙනව.

වෛවාහික බන්ධනයක් අවශ්‍යද නැද්ද කියල සාකච්ඡා කරන්ට කලින් එහෙම බන්ධනයක් අවශ්‍ය වුනේ ඇයි සහ එහෙම බන්ධනයක් ස්වාභාවිකද කියන කාරණය අපි පොඩ්ඩක් සලකා බලමු.

ගැහැණු පිරිමි දෙදෙනෙක් අතර ඇතිවන බැඳීම පරිසරයෙ අනික් සතුන් එක්ක සැසඳුවාම අස්වාභාවිකයි වගෙ කියල හිතුනට එහෙම නෙවෙයි කියලයි මගේ අදහස. මොකද එහෙම අනෙක් සතුන් අතර නැති දෙදෙනෙක් අතර ඇතිවන දීර්ඝ කාලීන බැඳීමක් මිනිස් ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඇති වෙන්නෙත් ස්වාභාවික අවශ්‍යතාවන් අනුවමයි. 

මම මේ ගැන ඉස්සෙල්ලම කියෙව්වෙ අවුරුදු තිස් පහකට වගෙ ඉස්සෙල්ල. "ඩෙස්මන්ඩ් මොරිස්" නම් සුප්‍රසිද්ධ මානව විද්‍යාඥයා ලියපු නිරුවත් වානරයා නම් පොතෙන්. මුල් පොතේ නම "The Naked Ape" නිරුවත් වානරයා නමින් පරිවර්තනය කලේ එස්. එම්. බන්දුසීල මහත්මයා. 

ඒ පොතේ ඩෙස්මන්ඩ් මොරිස් අපූරුවට පැහැදිලි කරනව විවාහය නම් අනෙකුත් සතුන් අතර නැති බැඳීමක් මිනිසුන් අතර ඇතිවුනේ කොහොමද යන කාරණය.

ඩෙස්මා කියන විදිහට හේතුව මේකයි. එහෙම නැත්තං අපෙ උන්දැගෙ අප්පච්චි කියන විදිහට මේකයි ඒකෙ අවයවය. දැං අපි අනික් අවසේස සත්තු ගමු. උංට පැටියෙක් හම්බ උනාම ඉපදිලා පැයක් දෙකක් ඇතුලත නැත්නම් උපරිමව වරුවක් දවසක් වගෙ ඇතුලත ඒ පොඩි එවුංට තමන්ගෙ කටයුතු සෑහෙන දුරකට තනියම කරගන්ට පුලුවනි. ටික ටික දුව පනින්ට අම්මගෙ තනේ හොයාගෙන කිරි බොන්ට වගෙ දේවල් බොහොම ඉක්මනට උංට පුලුවන් වෙනව. 

මේ විදිහට හැකි ඉක්මනින් තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසාගන්න තත්වයට පැටවෙක් පත්වෙන එක බොහොම වැදගත් වර්ගයාගෙ මතු පැවැත්ම උදෙසා. ඒ කියන්නෙ කොයි මොහොතේ සතුරෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙයිද කියල නොදන්න නිසා. ඒ වෙලාවට රැලේ අනික් සත්තුන්ට තම තමන්ගෙ ආරක්ෂාව සලසාගන්නව මිසක පැටව් ගැන බලන්ට වෙලාවක් නැහැ. තමන් හිසට තම අතමය සෙවණැල්ල.

ආදීකල්පික මිනිසුන්ගෙත් තත්වයත් එහෙම වෙන්න ඇති. ඉපදිල බොහොම ඉක්මනට මිනිස් පැටවුන්ට තමන්ගෙ කටයුතු තමන්ට කරගන්ට අඩුගණනෙ බොහෝ දුරටවත් පුලුවන් වෙන්න ඇති. ඒ තත්වය අවුලක් නොවෙන්නෙ ජීවත්වීමට අවශ්‍ය වන්නෙ සහජයෙන් එන දැනුම පමණක් වෙනතෙක් පමණයි. 

ඒ කියන්නෙ කන්නෙ මොනවද? බොන්නෙ මොනවද?සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නෙ කොහොමද? වර්ගයා බෝ කරන්නෙ කොහොමද? කියන සහජයෙන් එන මූලික දැනුම ජීවිතේට ප්‍රමාණවත් වෙනතාක් ගැටළුවක් වෙන්නෙ නෑ. ඒත් මානව වර්ගයා පරිණාමය වෙද්දි ඒ සහජ දැනුම පමනක් ප්‍රමාණවත් නොවෙනකොට ඔන්න ගැටළුවක් ආවා. ඒ කියන්නෙ එක මිනිස් පරම්පරාවක් වැඩි දියුණු කල දැනුම, ලබාගත්තු ඥාණය අනුයාත පරම්පරාවට ලබාදීම අත්‍යාවශ්‍ය කාරණයක් වුනා මිනිස් වර්ගයාගේ ඉදිරි ගමන උදෙසා.

ඒ උදෙසාම මිනිස් දරුවාට දීර්ඝ ළමා කාලයක් ගත කරන්ට සිදුවුනා වැඩිහිටියන්ගෙන් දැනුම ලබා ගැනීම සඳහා. ඉතිං විසඳාගත යුතු ගැටළුව වුනේ මේ දීර්ඝ ළමා කාලයෙදි මිනිස් දරුවා ඉතාම අනාරක්ෂිතයි. ඔහුට හෝ ඇයට තමන්ගෙ එදිනෙදා කටයුතු පවා කර ගැනීමේ හැකියාවක් නෑ. බොහොම අසරණයි. සතුරන්ට ඉතාම පහසු ගොදුරක්. 

ඉතින් ඒ කාලයෙදි ඔවුන්ට ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. ඒ ආරක්ෂාව ස්ත්‍රියකට නැත්නම් මවට පමණක් ලබා දීම අපහසුයි. ඒකට පුරුෂයෙකුගෙ නැත්නම් පියෙකුගෙ දායකත්වයත් ඕනමයි. ඔන්න ඔය අවස්ථාවෙ ඔය කාරණය මුල්කරගෙන අඹුසැමි බැඳීම ඇතිවුනා කියලයි මොරිස් කියන්නෙ. ඒ කියන්නෙ කොටින්ම මිනිස් පරිණාමයේදි මතුවුනු අත්‍යාවශ්‍ය සාධකයක් විදිහට.

ඉතිං අනික් අතට මෙහෙම එක ස්ත්‍රියකට බැඳෙන එක පරිණාමීය අවශ්‍යතාවයක් වුනාට මිනිසුන්ගේ සහජයට විරුද්ධයි. එතකොට මේ දෙක අතර සනාතන ගැටුමක් පවතිනව. සමහර පිරිමින්ගෙ බන්ධන ස්වභාවය ප්‍රබල වෙනකොට සමහර පිරිමින්ගෙ සහජ ස්වභාවය ප්‍රබලයි.

ඒ වගේම අනික් හැමදෙයක්ම වගෙ යම් චාරිත්‍රයක අවශ්‍යතාවය ක්ෂීණ වෙලා ගියාම වෙන්නෙ ඒ චාරිත්‍රය ස්වභාවික මරණයකට පත්වෙනව. විවාහයටත් අද වෙලා තියෙන්නෙ ඒක කියලයි මට හිතෙන්නෙ. දරුවන්ට දැනුම ලබා දීම තව දුරටත් දෙමව්පියන්ගෙ කාර්යභාරයට අයිති නැහැ. ඒ වගේම වර්තමාන සමාජයෙ දරුවන්ට දෙමව්පියන්ගෙන් දැඩි ආරක්ෂාවක් ඕනත් නෑ. එහෙම ඕන වුනත් දෙමව්පියන්ට විසි හතර පැයේම එහෙම ආරක්ෂාවක් ලබා දෙන්නත් බෑ. 

ඒ හින්ද මම හිතන්නෙ නුදුරු අනාගතයෙදි වෛවාහික බන්ධනය කියන ප්‍රපංචයම ස්වාභාවික මරණයකට පත්වෙයි. එතකල් එහෙම බන්ධනයක අවශ්‍යතාවය දැනෙන අය ඒ කිව්වෙ අර පරිණාමික ක්‍රියාවලියට පක්ෂ අය තව විදිහකින් කිව්වොත් මේ මම වගෙ කට්ටිය එහෙම බන්ධනය වෙයි. එහෙම එකක් ඕනම නෑ කියල හිතන අය ඒ කිව්වෙ සහජයට ඉඩ දෙන අය ඒ විදිහට ඉඳියි.

යූ අන්ඩර්ස්කර්ට් මයි ඩියර්ස්?

25 comments:

  1. මානවී තමයි මේ සීන් එක පටන්ගත්තේ. අර උඹ කිව්වනෙ ඒක උඹ දැකපු ලෝකයේ දිගම විවාහ යෝජනාව කියල. උඹ බිසී නිසා මම ඒක එතන ලිව්ව.

    පෝස්ට් එකකින්ම උත්තරයක් දුන්නට බොහොම ස්තූතියි රවී. මම මතුකරපු කාරණාව ඔයිට වඩා සරලයි. විවාහයකය අවශ්‍යතාවය ළමයි නිසා කියල ඔබ කියන තර්කය පිළිගන්නවා. එහෙත් දෙදෙනෙක් විවාහ වෙන්න තීරණය කරන කොට ළමයි ලැබිල නැහැ. එහෙත් පිරිමියාත් ගැහැණියත් දෙදෙනාම දන්නවා විවාහය වැරදුණොත් දික්කසාදයකින් කෙරවල වෙන බවත්, දෙදෙනා අතර අසමගි විවාහයක් හිතට මල කරදරයක් බවත්. සමාජයීය, පවුලේ බලපෑම්, වැන් දේවල් නිසා විවාහ වලට ඇතුලත් වෙන අය ඇරුණම එහෙම අවදානමක් ගැන දැනගෙනම රිවර්ස් වීම අපහසු දේකට ඇතුළුවෙන අය ඒක කරන්නනේ මොන හේතු නිසාද කියන එකයි මගේ ප්‍රශ්ණය.

    කොලොම්පුරේ කියල තියෙනවා විවාහය කියන්නේ ඇඹුල් අඹයක්. කන එකාට ඇඹුල් වුණාට බලාගෙන ඉන්න එකාය කෙල උණනවා කියලා. ඒක නම් හරි වෙන්න ඇති. එහෙම නැත්නම් අනික් මඟුල් වල ප්‍රශ්ණ තිබුණට මට එහෙම වෙන්නේ නැහැ කියන සුභවාදී ආකල්පය නිසාද?

    ReplyDelete
    Replies
    1. Ian,

      /අර උඹ කිව්වනෙ ඒක උඹ දැකපු ලෝකයේ දිගම විවාහ යෝජනාව කියල. උඹ බිසී නිසා මම ඒක එතන ලිව්ව./

      අපෙ අත්තම්ම කියන්නැහෙ දෙයියෝ සාලේ මේකා දීයාම කාපිය.. අර අම්මණ්ඩි මයෙ බෙල්ලෙ එල්ලිල ඉන්න ඩිංගට මෙවුං මේකෙ මයෙ සායම ඇරල නෙව...හෙහ්,හෙහ්...

      /එහෙම අවදානමක් ගැන දැනගෙනම රිවර්ස් වීම අපහසු දේකට ඇතුළුවෙන අය ඒක කරන්නනේ මොන හේතු නිසාද කියන එකයි මගේ ප්‍රශ්ණය./

      වැඩි කාලයක් නෙවෙයි මේ අවුරුදු දෙහෙකට විතර ඉස්සර මම දන්න කියන පුඟුලෙක් මං හිතන්නෙ ඕකට උත්තරයක් ලිව්ව තනිකර පොස්ට් එහෙකිම්ම...හෙහ්,හෙහ්,

      සංසාර ආදරේ හඳුණාගන්නේ කොහොමද?

      Delete
  2. //ඒ හින්ද මම හිතන්නෙ නුදුරු අනාගතයෙදි වෛවාහික බන්ධනය කියන ප්‍රපංචයම ස්වාභාවික මරණයකට පත්වෙයි//

    එහෙම වුනොත් හොඳයි තමා.
    ඒත් මේවා මෙහෙම ලියලා රවිඋන්නාන්සෙ අස්වාබාවික මරණයකට පත්වීමේ අවදානමක් එහෙම නැද්ද? මේක කියවන්නෙ නෑ?

    ReplyDelete
    Replies
    1. ආපහු ලංකාවට යනකම් ඉඳල ලියුවේ ඕක.. හෙක්..

      Delete
    2. ප්‍රා,

      /ඒත් මේවා මෙහෙම ලියලා රවිඋන්නාන්සෙ අස්වාබාවික මරණයකට පත්වීමේ අවදානමක් එහෙම නැද්ද? මේක කියවන්නෙ නෑ?/

      එහෙමට සත්තම දාන්නෙ නෑ...උපරිමව තද උනොත් මෙහෙම කියනව

      "මොනවද මනුස්සයො අර ලියල තියෙන්නෙ? මම දන්නව හෙට අනිද්දම මට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්ට බැරිවෙන විදිහට ඔහේ වැඩ සලස්සනව..ඒකෙ ආය දෙකක් එහෙම නෑ"

      Delete
    3. කමී,

      ගියා ගියා.... පෙරෙයිද පිටක්කලා...:)

      Delete
  3. එකඟයි.. එකඟයි.. ඔච්චර විස්තර නොදන්නවා උනාට මම හිතන්නෙත් ඔහොම තමයි.. 'දැන වෙළඳම්' කරනකන් ඔය හැටි පාඩු වෙන්නේ නෑ.. පාඩුයි ම කියල හිතුනොත් බැරිය ගොවිකමට බහින්න.. හැක්.

    ReplyDelete
    Replies
    1. කමී, අන්න ඒකනෙ බං ..ඔව්වැයෙ ඔහෑටි දෙයක් නෑ...

      “If you know the enemy and know yourself, you need not fear the result of a hundred battles. If you know yourself but not the enemy, for every victory gained you will also suffer a defeat. If you know neither the enemy nor yourself, you will succumb in every battle.” ― Sun Tzu, The Art of War

      “If you know your fiancee and know yourself, you need not fear for the longevity of your marriage. If you know yourself but not your fiancee, the marriage won't last long. If you know neither your fiancee nor yourself, it's wiser to stay single" Ravi Weerasinghe - The Art of Marriage

      Delete
    2. ඔය තියෙන්නේ ලෙසටම.. Story of my marriage ඉවර උනාම පටන් ගමුද සීරිස් එකක් The Art of Marriage කියල.. නැගල යයි.. අනික ලෝකය හෝ ලෝකයේ විවාහ කියා දෙයක් තිබ්බ බව මතක තියෙන තාක් මේ වගේ වටිනා කියමන් 'quote' කරන්නත් පුළුවන්නේ.. :)))))

      Delete
  4. මං නං බදින්නෑ... නර්මාලාප කියන නර්මදා මතක් කලා කියහං... හැක්

    ReplyDelete
    Replies
    1. දේශා,

      එහෙමම කරන්නත් එපා බං බැඳපං බැඳපං...බැඳලම බලපං..:)

      Delete
  5. ඕ..... ඒකයි එහෙනම් මේ නිහඬ බවේ රහස...එහෙනම් අනන්නට ආයෙ එන්න කියමු නේද ?

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      එහෙනං එහෙනං ඒක තමයි රීසන් ෆෝ මයි සයිලන්ස්....

      ඔව්...අනන්‍යාගෙ සැප සනීප බලන්ට ඒ පැත්තෙ යන්ට ඕන හෙට අනිද්දම...:)

      Delete
  6. ගුරුතුමී ආපහු ගියේ ඉස්කෝල පටන් ගන්න ළඟ නිසා වෙන්ටැ. දැන් ඉතින් රවී තුමා පාළුවේ ඇති නේද?

    //"මේ මම දැන් එක පාරකුත් කිව්වනෙ...මගෙ ඔලුව විකාර කරන්නෙ නැතුව ඔය ඉන්න විදිහකට ඉන්නවද?"//

    මමත් කලක් දැනගෙන හිටියා ඔය වගේ කෙනෙක්. කිසිම සීරියස් කතාවක් කරන්න බෑ, මැදින් විහිළුවක් හෝ කිසිම අදාළ නැති විකාරයක් කියනව. :) එයා නිසා ඉන්ස්පයර් වෙච්ච ලියවිලි කීපයක්ම ඇති බ්ලොග් එකේ.

    විස්තරයට ස්තුතියි. පොත කියවා නැහැ. අලුත් යමක් එකතු උනා දැනුමට.

    ReplyDelete
    Replies
    1. Ekmaan,

      /ගුරුතුමී ආපහු ගියේ ඉස්කෝල පටන් ගන්න ළඟ නිසා වෙන්ටැ. දැන් ඉතින් රවී තුමා පාළුවේ ඇති නේද?/

      ඉස්කෝල ප්‍රශ්නයක් නම් නෑ මානවී...එතුමී අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර සේවයෙන් ඉල්ලා අස්වුනා.. එහාට මෙහාට ට්‍රාන්ස්ෆර් කරල කරදර කලා බලධාරීන්..ඒ ගමන උඹල කුදගහගනිල්ල කියල අස්වෙලා නිකා හිටිය...

      වැඩිකල් මෙහෙ ඉන්ට බැරි හේතුව ගෙදර වහල දාල සෑහෙන කාලයක් තියන්ට බැරි හින්ද..අනික යුනිවසිටි ළමයි වගයකුත් ඉන්නව නැවතිල...

      Delete
  7. බඳින එක හරි ආතල් වැඩේ... ඇක්ෂන් ෆිල්ම් එකක් රඟ පානවා වගේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      ආය මොනවද? කරාටෙ ජූඩෝ, චීන අඩි කුංග්පූ. ජුජුට්සු තුන් මුල්ල පෑගිලි, හතර මුල්ල පැනිලි ටයිකොන්ඩෝ, අංගං පොර, යනාදී මාසල් ආට්ස් ඔක්කොම දැනගන්ට ඕන සාර්තක විවාහ ජීවිතයකට.

      ඒ එක්කම මතක තියාගන්ට ඕන ඔය කොයිකටත් වඩා වැදගත් වෙන්නෙ වෙලාවට ඩවුන් යන්ට ඇති හැකියාව...හෙහ්,හෙහ්,

      කෙල්ලගෙ අම්ම ගියාලු ඔන්න කෙල්ල බැඳල සතියකිං දෙන්නගෙ සැපදුක් බලන්ට..අම්මට වූඩු තාත්තට ගෝයා..මෙන්න ගෙදර කුස්සිය පුරා පිඟන් කෑලි...

      "දෙයියෝ සාලේ..මේ මොකද දුවේ මේ?"

      "මොකද කියන්නෙ? අම්මල මට හොයල දුන්නු මිනිහගෙ හපංකං තමයි ඔය.."

      "සන්දුක්කාරේ ඒ ළමය දැක්කම මෙහෙම පෝරිසාදයෙක් කියල කියන්ට වත් බෑනෙ"

      "ඒක තමයි කියන්නෙ...අම්මල හොයල බලන්නෙ නැතුව කරන එව්වයෙ රඟ තමයි මේ."

      "අනේ අප්පේ මයෙ අහිංසක කෙල්ල...මට කියාපං දැං කොහොමද මේක උනේ?"

      "කොහොමද උනේ කියන්නෙ?..මම පිඟානකිං දමල ගහන ගහන පාරට ඒ මිනිහ ඉස්ස වගෙ එහාට මෙහාට පයිනව...ඒකයි උනේ..."

      Delete
    2. කුංෆු , ජූඩෝ , කරාටේ ෂික් ..මොන විකාරද ? උපක්‍රමශීලී පසුබැසීම තමා සාර්ථකම ක්‍රමේ කියල මම දැනගත්තෙ අපේ සීයගෙන්.
      දෙවෙනි උපදේසෙ අපේ කොල්ලට අවුරුදු 10 දි විතර. " තාත්තෙ , ඔය අම්ම කියන හැමදේටම උත්තර දෙන්න යන්න එපා , මම ඉන්නෙ , නිකං ඇහෙන්නෙ නෑ වගේ " ඒකත් සාර්ථක වැඩේ කියල මටත් ප්‍ර‍ත්‍යක්ශ උනා .

      Delete
  8. ඉයන්ගේ පෝස්ට් එක සම්බන්ධව විවාහය ගැන ලියල තියෙන කරුණු ටික හොඳ පැහැදිළි කිරීමක්...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      තෑන්ක්යූ සෝ මච් ලොක්කා...:)

      Delete
  9. මොනවද මනුස්සයො මේ ලියල තියෙන්නෙ. මටනං මෙලෝ දෙයක් තේරුනේ නෑ.

    යූ අන්ඩර්ස්කර්ට්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මොනවද වලවෙට්ටුවො තේරෙන්නෙ නැත්තෙ? මෙච්චර පැහැදිලිව ලියල තියෙද්දි මූ මේ මරු කියවනව..දෙයියම්පල්ල..මේ වෙලාවට තමයි...

      Delete
  10. මෙයිට අදාල සියලුම පෝස්ටු කියවූමි. ඉයන්ට පිලිතුරු ලෙස මමද ද පෝස්ටුවක් ලිවීමට සිතා සිට්මි.

    විවාහය පිළිබඳ සංකල්පයට මා නොසිතූ මානයකින් අදහසක් ගෙනහැර තැබුවාට ඔබට මාගේ ප්‍රණාමය.

    ඒ වගේම බිරින්දෑ ගැන ලියා ඇති කොටස ඉතා සුන්දරය.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...