Monday, January 1, 2018

553. Good Bye WACA…….

පර්ත් නගරයේ වැකා ක්‍රීඩාංගණයේ දර්ශනයක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
Image - Cricinfo

මේ පෝස්ට් එක හරියටනම් ලියවෙන්න තිබ්බෙ සති දෙකකට ඉස්සරවෙලා. ඒත් ප්‍රියාම්බිකා තොමෝගේ අප බැහැදැකීමේ වාර්ෂික චාරිකාව හරියටම අදාල කාලයට සමපාත වූ බැවින් අර්ධයක් ලියූ අදාල සටහන සම්පූර්ණ කොට ප්‍රසිද්ධ කිරීම ඇය නික්ම යනතුරු කල්දැමීමට සිදුවිය

මේ දවස්වල ඕස්ට්‍රේලියාවෙ පැවැත්වෙනව එංගලන්තය සමඟ අළු බඳුන තරඟාවලිය. එහි තුන්වන ටෙස්ට් තරඟය පහුගිය දෙසැම්බර් 14 වෙනිද ඉඳල 18 වෙනිද දක්වා පැවැත්වුනේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙ අගනුවර වන පර්ත් නගරයෙ.

Good Bye WACA …..ඒ දවස්වල ක්‍රිකට් වෙබ් සයිට් හැම එකකම වගෙ මේ මාතෘකාවෙන් ලිපි පලවුනා. මෙතන WACA කියන්නෙ Western Australia Cricket Association. WACA Cricket Ground නොහොත් බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමයෙ ක්‍රීඩාංගණය පිහිටල තියෙන්නෙ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙ අගනුවර වන පර්ත් නගරයෙ. මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නෙ මේ අවුරුද්දෙන් පස්සෙ වැකා ක්‍රීඩාංගණයෙ ටෙස්ට් ක්‍රිකට් තරඟ පැවැත්වෙන්නෙ නැහැය කියල. අළුත්ම ක්‍රීඩාංගණයක් ඒ සඳහා සූදානම් කරලයි තියෙන්නෙ.

ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත අගනුවරවල් ඔක්කොගෙම ක්‍රිකට් ක්‍රීඩාංගන තියනව. එව්වට විශේෂිත නම් මෙහෙමයි. ක්වීන්ස්ලන්තයෙ අගනුවර ඇවිල්ල බ්‍රිස්බේන්. බ්‍රිස්බේන්වල ක්‍රිකට් ක්‍රීඩාංගනයට කියන්නෙ ගැබා. වූලූන්ගැබා නමින් හැඳින්වෙන ප්‍රදේශයෙ පිහිටල තියෙන හින්දයි ඒකට එහෙම කියන්නෙ. වූලූන්ගැබා කියන්නෙ ඕස්ට්‍රේලියන් මුල් පදිංචිකාරයින්වන ඇබොරිජීන්ලගෙ වචනයක්. 

එතකොට මම කලින් කිව්ව විදිහට ඊලඟට බටහිර ඕස්ට්‍රේලියාවෙ අගනුවර වන පර්ත් නගරයෙ ක්‍රිකට් ක්‍රීඩාංගනය හැඳින්වෙන්නෙ වැකා කියල. නිව් සවුත් වේල්ස් නොහොත් නව දකුණු වේල්සයෙ අගනගරය සිඩ්නි. ඒකෙ ක්‍රීඩාංගනය හැඳින්වෙන්නෙ S.C.G. නොහොත් සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් කියල. වික්ටෝරියා ප්‍රාන්තයෙ අගනුවර මෙල්බර්න්. ක්‍රිකට් ක්‍රීඩාංගනය M.C.G. 

දකුණු ඕස්ට්‍රේලියාවෙ තියෙන්නෙ ඇඩිලේඩ් ඕවල්. අපි හිච්චි එවුවො සන්දියෙ ඕස්ට්‍රේලියාවෙ ටෙස්ට් තරඟ පැවැත්වුනෙ ඔය කියපු පිටැන්නවල් පහේ විතරයි. තරඟ පැවැත්වෙන පිළිවල මෙහෙමයි. ප්‍රථම තරඟය බ්‍රිස්බේන්. දෙවන තරඟය පර්ත්. තුන්වන තරඟය මෙල්බර්න්. හතරවන තරඟය සිඩ්නි. පස්වන තරඟය ඇඩිලේඩ්. ටෙස්ට් හයක් ගැහුවොත් හයවෙනි එක ආපහු මෙල්බර්න්.

එහෙම ටෙස්ට් පහක් හෝ හයක් ගහන්නෙ එංගලන්තෙ එක්ක ගහන අළු බඳුන තරඟාවලියකදි නැත්නම් බටහිර ඉන්දීය කොදෙව් එක්ක ගහන කොට විතරයි සාමාන්‍යයෙන්. ඉන්දියාව පකිස්තානෙ හෝ නවසීලන්තය එක්ක ගහන්නෙ බොහෝවිට ටෙස්ට් තුනක් විතරයි. එක ග්‍රීෂ්ම සෘතුවකදි ඒ වගෙ ටෙස්ට් තුනක් ගහන රටවල් දෙකක් සංචාරය කරනව ඕස්ට්‍රේලියාවෙ.

මම ක්‍රිකට් ගැන උනන්දු වෙන්න ගත්තෙ 74 අවුරුද්දෙ ඉඳල. 74/75 ග්‍රීෂ්ම සෘතුවෙ ඕස්ට්‍රේලියාවෙ පැවැත්වුනා අළුබඳුන තරඟාවලියක්. ජෙෆ් තොම්සන් සහ ඩෙනිස් ලිලී දෙන්න එකතුවෙලා එංගලන්ත පිතිකරුවන් භීතියෙන් මුසපත්කලේ අන්න ඒ තරඟවාරයෙදි.

අපි එදවස හිටියෙ කෑගල්ලෙ. අප්පච්චිට ලැබුනු කච්චේරි නිල නිවාසෙ. අප්පච්චි එතකොට වැඩකලේ කෑගල්ල කච්චේරියෙ කාර්යාල සහකාර නොහොත් ඔෆිස් ඇසිස්ටන්ට් හැටියට. දැන්නම් එහෙම තනතුරක් නෑ මම දන්න විදිහට. දිසාපතිල දිස්ත්‍රික් ලේකම්ල වෙලා උප දිසාපතිල ප්‍රාදේශීය ලේකම්ල වෙනකොට කාර්යාල සහකාර තනතුරත් අහෝසි උනා මයෙ හිතේ. කොහොම හරි සුද්දගෙ කාලෙ බොහොම වැදගත් තනතුරක් ඔය ඕ.ඒ. තනතුර.

කච්චේරියෙ අප්පච්චිගෙ නිල කාමරේට මම ඔය ඉඳල හිටල යනව මාසෙකට දෙහෙකට වගෙ සැරයක්. කාමරේට යන්ට තිබ්බෙ කොළ පාට කුෂන් කරපු වවුල් දොරක්. සැලූන් දොරවල් කියන්නෙත් එව්වටම තමයි. "බාගෙට සැලුන් දොරින් රිංගා....නාගෙන ඕඩි කොලොන් බෘංගා…..එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා... ටියුෂන් කුමාරියෝ සොයනා"

ඔය වවුල් දොර ඉස්සරහ පොඩි කොරිඩෝවක් තිබ්බ. ඒකෙ දෙපැත්තෙම බිත්තියෙ එල්ලල තිබ්බෙ කලින් හිටපු ඕ.ඒ. මහත්තුරුංගෙ පෝටොස්. ටොප් හැට් ටේල් කෝට් ඇඳපු සුදු මහත්තුරු. මේ ළඟදි මම ඔය බ්ලොග් එහෙකද කොහෙද කියෙව්ව මෙහෙම කතාවක්..."48 අවුරුද්දෙ ඇත්තටම වුනේ අපි සුද්දගෙං නිදහස්වුන එක නෙවෙයි සුද්ද අපෙං නිදහස් වුන එක..." හෙහ්,හෙහ්..ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ බලාගෙන යනකොට...

හරි ඒ පසුබිම් විස්තරේ දැනට ඇති...ආයම එමු වැකා කතාවට....

ක්‍රිකට් ගැන රට පුරා ලොකු උනන්දුවක් ඇතිවෙන්න ගත්ත 1975 අවුරුද්දෙ මැයි ජූනි මාසවල එංගලන්තෙ පැවැත්වුනු ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුනු හින්ද. නායකය අනුර තෙන්නකෝන්. වසර කීපයකට කලින් ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ මයිකල් තිසේරා උප නායකය. ඊට අමතරව බන්දුල වර්ණපුර, රංජිත් ප්‍රනාන්දු, සුනිල් වෙත්තමුණි, ඩේවිඩ් හයින්, දුලීප් මෙන්ඩිස්, මෙවාන් පීරිස්, ටෝනි ඕපාත, ඩී.එස්. ද සිල්වා, අජිත් ද සිල්වා සහ ලලිත් කළුපෙරුම....නාලන්දෙ පාසල් ශිෂ්‍යයෙක් විදිහට අනුර රණසිංහත් කණ්ඩායමට ඇතුලත් වුනා.

රටපුරා දැඩි භාණ්ඩ හිඟයක් තිබ්බ ඒ දවස්වල ආණ්ඩු කලේ සිරිමා මැතිණිගෙ සමඟි පෙරමුණු රජය. හාල් පොළු, මිරිස් පොළු, වගා සංග්‍රාම, ජේ.ආර්.ගෙ සත්‍යග්‍රහ, ලාම්පුතෙල් පෝලිම්, පාන් පෝලිම්, ගණ්ටාර මාක් සරං, වෙල්කා කලිසං, ඩියුරෝ ෂර්ට්ස් ඔක්කොම ගැන අමිහිරි මතක මාසෙකට වගෙ පෝස්පෝං කරල අපි ඔක්කොම එවරෙඩි බැටරි කෑලි හත අටකුත් ගෙනල්ල ලැහැත්ති වුනා එංගලන්තෙ යන්ට.

අපිට තරඟ තුනයි තිබ්බෙ. වෙස්ට් ඉන්ඩීස් සහ පකිස්තාන් එක්ක තරඟ අපි කැතට පැරදුනා. ඕස්ට්‍රේලියාව එක්ක ගහපු දෙවෙනි ඕවර් 60 තරඟයෙ (යස්..ඒ දවස්වල වර්ල්ඩ් කප් එකේදි ගැහැව්වෙ එක ටීම් එකකට ඕවර් හැටේ තරඟ) අපි හොඳ තරඟයක් දුන්න. අර වෙත්තමුණි සහ මෙන්ඩිස් ජෙෆ් තොම්සන්ගෙ හෙණ ගහන්න වගෙ එන යෝකර් බවුන්සර් වැදිල ඉස්පිරිතාලෙ අරන් ගියෙ අන්න ඒ තරඟෙදි.

පළමුවෙනි වර්ල්ඩ් කප් එක ගැන කතා කරනවනම් කතා කලෑකි තව වරුවක් දෙකක්. ඒ හින්ද ඒ වැඩේ වෙන දවසකට තියල ප්‍රස්තුතය නැත්නම් වැකා ගැන කතා කරමු.

අපේ ගෙදර ඒ කාලෙ තිබ්බෙ බොහොම හුරුබුහුටි එලාම් එකක්. ඒක කලුපාටයි. හතරැස්. කොටස් දෙකයි. එක පැත්තක තිබ්බෙ ඔර්ලෝසුව. කටුවල රේඩියම් ගාල තිබ්බ හින්ද මහරෑත් දිලිසෙනව. වෙලාව බලාගන්ට බොහොම ලේසියි. අනික් පැත්තෙ හිටිය සුට්ටං (ප්ලාස්ටික් වෙන්න ඕන) ගෑණු ළමෙක්. කොට සායක් ඇඳල එක අතක් ඉණට තියාගෙන අනික් අත ඔලුවට උඩිං තියාගෙන. එලාම් එක වදිනකොට අපූරු සංගීත නාදයක් එනව. ඒ එක්කම අර ගෑණු ළමය කැරකෙනව වටේට. ඔර්ලෝසුවෙ පිටිපස්සෙ තිබ්බ ඇණයක් වගෙ එකක්.  ඒක තද කලාම සංගීතෙත් නැවතිල ගෑණු ළමයත් එක පාරටම ඩග් ගාල නවතිනව.

මැච් එකක් තියන දවසට මම ඔය එලාම් එක තියල කොට්ටෙ යට හංගනව. ඒ ඔය මහ පාන්දර එලාම් එක වදිනව ඇහිල අම්මට එහෙම අහැරුනොත් ප්‍රස්න වලට උත්තර දීල නිවනක් නැති හින්ද. එලාම් එක තියන වෙලාව වෙනස් වෙනව මැච් එක ගහන්නෙ කොහෙද කියන කාරණය මත. 

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවෙ නැගෙනහිර මුහුදු තීරයෙ නගර වල වෙලාව ලංකාවෙ වෙලාවට වඩා පැය පහමාරක් හෝ පහක් ඉදිරියෙන්. ඒ කියන්නෙ මට එලාම් එක තියන්ට වෙනව උදේ හතරහමාරට වගෙ. පර්ත් වල ගහනකොට අවුලක් නෑ පාන්දර හීතලේ රෙද්දකුත් පොරවගෙන විස්තර ප්‍රචාරය අහන්ට ඕන වෙන්නෙ නෑ. වෙලාව වෙනස පැය දෙහමාරයි. ඒ හින්ද මැච් එක පටන් ගන්නෙ අපේ වෙලාවෙන් උදේ හත හමාරට. සාමාන්‍ය විදිහට නැඟිටල මූණ කට හෝදගෙන උදේට මොනවහරි කාලම රේඩියෝ සෙට් එක ලඟ පට්ටල වෙලා ඉඳගත්තෑකි කිසිම අවුලක් නැතුවම.

ඔය බටහිර වෙරළෙ පර්ත් වලට පැය දෙකහමාරයි, එතකොට නැගෙනහිර වෙරළෙ මෙල්බර්න් සිඩ්නිවලට පැය පහමාරයි කියන්නෙ ලංකාවෙ ඉඳල සමකයට සමාන්තරව පර්ත් වලට තියන තිරස් දුර ගත්තොත් ඊට සමාන හෝ මඳක් වැඩි දුරක් තියනව පර්ත්වල ඉඳල මෙල්බර්න්වලට. ඕස්ට්‍රේලියාව කියන්නෙ ලංකාව එක්ක ගත්තම මොන තරම් ලොකු රටක්ද කියල යම් දළ අදහසක් ගන්න ඒ කාරණේම ඇති.

නැගෙනහිර වෙරලෙ නගරවල මැච් ගහනකොට ඔන්න මම පාන්දර එලාම් සද්දෙට නැඟිටල ඇවිල්ල රේඩියෝ සෙට් එක ඔන් කරල ඒ ලඟටම වේවැල් පුටුවකුත් ඇදගෙන වාඩි වෙනව. ඔය වේවැල් පුටු හයක සෙට් එක ගෙනාවෙ කෑගල්ලෙ රනෝරිස් සහ පුත්‍රයෝ ලී බඩු සාප්පුවෙන්. ඕඩර් කරල මාස හයක් වගෙ හිටිය පුටු සෙට් එකගෙදර ගේන්ට. ඒ කාලෙ එහෙමයි බඩුත් හිඟයි. ඒ වගේම අමුද්‍රව්‍යත් හිඟයි. 

අපෙ අත්තම්මට ඒ වෙනකොටත් හැත්තැ අටක් වයස. ඉපදිලා තියෙන්නෙ 1897 අවුරුද්දෙ. උන්දැට නින්ද යන එක හොරයි. මහ පාන්දර නැඟිටල බුලංකේට්ටුවකුත් පොරවගෙන (අත්තම්ම බ්ලැන්කට් එකට කිව්වෙ එහෙමයි) අපෙ සාලෙත් එක්කම එලියෙන් තිබ්බ කොරිඩෝවෙ සක්මන් කරනව හ්ම්ම්ම් හ්ම්ම්ම් ගගා මොනවද කියව කියව. ඒක අත්තම්මගෙ පුරුද්දක්. අවුරුදු හැත්තැ පහකට නොඅඩු කාලයක් ඉතාම කලාතුරකිං මඟුල් ගෙදරකට නැත්නම් වන්දනා ගමනකට ඇරෙන්න සෙරෙප්පු නොදාපු උන්දැගෙ පොළවෙ ඇතිල්ලම රළු වෙච්චි යටි පතුල් කොරිඩෝවෙ සිමෙන්ති පොළවෙ ඇතිල්ලිල සරස් සරස් කියල සද්දයක් එනව එක දිගටම. 

ඔන්න මම එලාම් සද්දෙට නැඟිටල මගෙ රෑට පොරෝන පරන බෙඩ් සීට් එකත් ඉහිං කණිං පොරෝගෙන සාලෙට එනව. අත්තම්ම සක්මන නවත්තල හැරිල බලනව.

"මොකද සුට්ටි පුතා මේ පාන්දරම නැඟිටගෙන? අද ඉස්කෝලෙං කොහෙ හරි එක්ක යනවවද්ද?"

මාස දෙහෙකට වගෙ ඉස්සර අපෙ ඉස්කොලෙං වාර්ෂික අධ්‍යාපන චාරිකාව ගියේ කොළඹ. ග්‍රහ ලෝකාගාරය වරාය සහ සත්තු වත්ත බලන්ට. එදා අපි කෑගල්ලෙං පිටත් උනේ උදේ හතරට. එදා මම නැඟිට්ටෙ පාන්දර දෙකහමාරට. අත්තම්මට ඒක මතක් වෙලාද කොහෙද හෙහ්,හෙහ්,

"නෑ නෑ අත්තම්මෙ එහෙම එකක් නෙවෙයි මම මේ රේඩියෝ එකේ ක්‍රිකට් මැච් එකක් අහන්ට ලෑස්තිය.."

"මේ පාන්දර?"

අපි ඒ දවස්වල හිටපු නිල නිවාසෙ තරමක විසාල මිදුලක් තිබ්බ. මමයි අහල පහල ගෙවල්වල මගෙ යාලුවො කට්ටියයි එකතුවෙලා හවස්කාලෙ සහ සති අන්තවල ඔය මිදුලෙ ක්‍රිකට් ගැහුව. මම අර කලින් කිව්ව කොරිඩෝවෙ පුංචි පුටුවක් තියාගෙන ඉඳගෙන අත්තම්ම අපේ ඔය ක්‍රිකට් තරඟ බලනව. ඒ හින්ද ක්‍රිකට් ගැහිල්ල ගැන අත්තම්මට යම් අවබෝදයක් තියනව.

අපි ඔය මිදුලෙ ක්‍රිකට් ගහද්දි මැච් එක පටන්ගන්ට කලින් එක එක්කෙනා ඒ කාලෙ හිටපු සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ නම් ආරූඪ කර ගන්නව. මම අද ක්ලයිව් ලොයිඩ්, නැත්නම් ඉයන් චැපල්, එහෙමත් නැත්නම් ඩග් වෝල්ටර්ස්, කලිචරන්, නැත්නම් ෆ්‍රෙඩ්රික්ස්, එඩ්රිච්, ගවස්කාර්, පටවුඩි, මාක් බර්ජස්, සහීර් අබ්බාස්, මාජිඩ් ඛාන්.... ඔය වගෙ නමක් අපි වෙන්කරගන්නව. බැට් කරද්දි එක නමක් බෝල් කරද්දි තව නමක්. රොබර්ට්ස්, හෝල්ඩිං, හැඩ්ලී, බිෂන් බේඩි, ඉම්රාන් ඛාන් නැත්නම් ජෝන් ස්නෝ. ඔව්වයින් එකක්.. නම් වලට අපි මරාගන්නව වෙලාවකට...හෙහ්,හෙහ්...ඒ විස්තර ආයම දවසක ලියමුකො...

"මේ මැච් එක ගහන්නෙ ලංකාවෙ නෙවෙයි අත්තම්මෙ..........බොහොම දුර රටක .........."

"ඒ කොහෙද ඒ?" අත්තම්ම අහනව.

කිසි දවසක ඉස්කෝලෙකට නොගියට මළපොතේ අකුරක් බැරිවුනාට උන්දැ බොහොම බුද්ධිමත්. යමක් කියල දුන්නම එක පාරින්ම තේරුම් ගන්නව. මයෙ ගාව තිබ්බ කෑගල්ලෙ ශ්‍රී ලංකා පොත්හලෙන් ගත්තු අඩි එකහමාරක් විතර උස ලෝක ගෝලයක්. මම ඕකෙ අත්තම්මට ලංකාව තියෙන්නෙ කොහෙද එතකොට ඒරොප්පෙ කොහෙද දඹදිව කොහෙද කියල පෙන්නල දීල තියෙන්නෙ. ලෝකෙ රටරටවල් වල වෙලාවත් වෙනස්ය කියලත් මම කිව්ව. උන්දැට හරිහැටි තේරුම් ගියාද නම් මන්ද...

"ඕස්ට්‍රේලියාව කියන රටේ... ඉන්නකො…" මම ගිහිල්ල අපෙ ශීතකරණය උඩ තියල තිබ්බ ලෝක ගෝලෙ ගෙනල්ල ඕස්ට්‍රේලියාව තියන තැන අත්තම්මට පෙන්නුව. "මෙන්න ඕස්ට්‍රේලියාව. එහෙ දැන් උදේ දහයයි. මැච් එක දැන් පටන් ගන්නයි ලෑස්තිය"

"හා..එහෙමද?" අත්තම්ම ලෝක ගෝලෙ දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නව. 

මම අපෙ AIWA සෙට් එකේ A.B.C. (Australian Broadcasting Service) අල්ලන්ට උත්සාහ කරනව. ඔය අයිවා සෙට් එක ගැන තව කාරණයක් කියන්ට ඕමනයි. ඒකෙ රෙකෝඩ්ස් ප්ලේ කරන්ටත් පුපුවන්. ඒ කියන්නෙ එල්.පී. තැටි ධාවනය කරන කොටසකුත් තිබ්බ. ඔය සෙට් එක අපි ගත්තෙ අප්පච්චි අඳුරන අන්කල් කෙනෙක්ගෙන්. සෙට් එකත් එක්කම ඒ දවස්වල ඉතාම ජනප්‍රිය වෙලා තිබ්බ ශිරෝමි ප්‍රනාන්දුගෙ තැටි හත අටකුත් නොමිලේම හම්බවුනා. "කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන..." "සකල බුජං කොට කලිසං තමයි අඳින්නේ"......"කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"...ශිරෝමි ප්‍රනාන්දුගෙ මට මතක සිංදු කීපයක්.. 

ඒ එක්කම එම්.එස්.ගෙද කොහෙද රෙකෝඩ්ස් කීපයකුත් තිබ්බ. ඉංග්‍රීසි ගීතයක් මට මතකයි "Banana woman selling banana banana banana every morning she is shouting banana banana"

රේඩියෝ සෙට් එකේ මීටර් දර්ශකයට උඩිං මම අඟල් කාලක වගෙ සුදු ප්ලාස්ටර් තීරුවක් අලවල තියෙන්නෙ. ප්ලාස්ටර් කිව්වෙ අර තුවාල වලට බෙහෙත් දාල ගෝස් කෑල්ලක් තියල ඊට උඩිං අලවන්නෙ ප්ලාස්ටර් කියල ජාතියක්. අන්න එව්ව. ඔය ප්ලාස්ටර් මවිල් වලට ඇලවුනා තමයි තරු පේන්නෙ. දවසකට නැත්නම් දෙකකට පස්සෙ ප්ලාස්ටරේ ගලවන කොට මයිලුත් උගුල්ලගෙනමයි එන්නෙ ප්ලාස්ටර් කෑල්ලට ඇලිල. ආය නෑ හූ තියවෙනව.

හරි මම අපේ රේඩියෝ සෙට් එකේ ප්ලාස්ටර් තීරුවක් අලවල තිබ්බෙ ඔය ක්‍රිකට් මැච් පැවැත්වෙන රටවල්වල රේඩියෝ සර්විස් ටියුන් කරගන්ට පහසු වෙන්ට. A.B.C. අහුවෙන තැන, B.B.C. අහුවෙන තැන, නිව්සීලන්ඩ් වෙස්ට් ඉන්ඩීස් අහුවෙන තැන ආකාශ්වාහිනී (ඒ කිව්වෙ ඉන්දියාවෙ ගුවන් විදුලි සේවාව) තියන තැන මම ඒ ප්ලාස්ටර් එකේ මගෙ තීන්ත පෑනෙන් ළකුණු කරල තිබ්බ. ඒ කාලෙ කාබන් පෑන් තිව්වෙ නෑ මට මතක විදිහට. මගෙ තිබ්බෙ සියල් පෑනක්. තව කේ.ජී. කියලත් පෑන් ජාතියක් තිබ්බ. අපිට තීන්ත පෑනෙන් ලියන්න දුන්නෙ හතරෙ පන්තියෙ ඉඳල. ඊට කලින් ලිව්වෙ පැන්සලෙන්. පළවෙනි ශ්‍රේණියෙදි ලිව්වෙ ගල්ලෑල්ලෙ.

"සුට්ටි පුතාට තේ එකක් හරි කෝපි එකක් හරි හදල දෙන්නද?" අත්තම්ම අහනව.

"එහෙනං කෝපි එකක් ගේන්නකො.." මම හිනාවෙලා කියනව. 

අත්තම්ම අර හ්ම්ම්ම්..හ්ම්ම්ම්.. සංගීතෙත් දාගෙනම කුස්සියට යනව. කුස්සියෙ දරලිපට ඉස්සෙල්ල බූහනස්සක් හරි පොල්ලෙල්ලක් හරි දාල ගිනිකූරක් ගහල ගිණි බෝ කරල ඊට පස්සෙ පොඩි දර පතුරු දාල ගින්දර හොඳටම ඇවිලුනාට පස්සෙ ලොකු දර කෑලි දාල කේතලේ පස්සල කෝපි හදාගෙන එනකොට කොහොමත් අඩුමගානෙ මිනිත්තු පහලවක් විස්සක්වත් යනව. ඒ වෙනකොට වටිං ගොඩිං යන්තමට එළියත් වැටීගෙන එනව. දෙමලිච්ච්ංගෙ කරච්චලෙත් උදේම පටන්ගෙන. ඔය වෙද්දි මම වැකා ගිහිල්ල. හෙහ්,හෙහ්...

"Incomes Holding running in from the member's end right arm fast over the wicket like a melody in motion feet just kissing the ground head swaying slightly from side to side now passing umpire O'Connel in to Chappell, attempted yorker just a little bit short Chappell has no trouble in flicking the ball to square leg region and running for a single. Julien picks the ball up.....Australian score moves up to thirteen for one and Chappell moves up to eight........"

ඒ වෙනකොටත් ඕස්ට්‍රෙලියාවෙ එක විකට් එකක් ගිහිල්ල රික් මැකොස්කර් අවුට් වෙලා.......මම මේ කියන්නෙ 1975 දෙසැම්බර් මාසෙ පැවැත්වුනු බටහිර ඉන්දීය කොදෙව් - ඕස්ට්‍රෙලියා දෙවෙනි ටෙස්ට් තරඟය ගැන. ඒ තරඟෙන් වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ඉනිමකින් දිනුව. ඒත් තරඟ හයකින් යුතු ඒ තරඟ මාලාවෙ ඉතිරි තරඟ පහම දිනුවෙ ඕස්ට්‍රෙලියාව. ඒ ග්‍රෙග් චැපල් ඕස්ට්‍රේලියාවෙ නායකත්වය දරපු පළවෙනි සීරිස් එක.

වැකා ක්‍රීඩාංගණය මුල ඉඳලම සුප්‍රසිද්ධයි ටෙස්ට් තරඟ පැවැත්වෙන ලෝකයේ ක්‍රීඩාංගණ අතරින් ඉතාම වේගවත් තණතිල්ල සහිත ක්‍රීඩාංගණය විදිහට. සාමාන්‍යයෙන් ලිලී, තොම්සන්, රොබර්ට්ස්, හෝල්ඩිං, මාෂල්, ක්‍රොෆ්ට්, ගානර්, ඇම්බ්‍රෝස්, හැඩ්ලී, වගෙ වේග පන්දු යවන්නො පන්දු යවනකොට කඩුළු රකින්නා සහ ස්ලිප් ක්‍රීඩකයින් (අපේ පාලිත පෙරේරා මහත්තය කියන විදිහට නම් ලුහුට්ටා) ඉන්නෙ පිතිකරුවගෙන් තණ තිල්ලෙ දිගට සමාන දුර ප්‍රමාණයක් වගෙ (ඒ කියන්නෙ යාර විසි දෙකක්) පස්සට වෙලාලු. Not the whole nine yards but the whole twenty two yards it seems.... Heh...heh 

At WACA - The slip cordon stands in a different postal code from the batsman -  Cricinfo 
වැකා ක්‍රීඩාංගණයෙහි පිතිකරුට ඉතා දුරින් පන්දු රකින කඩුළු රකින්නා
සහ ස්ලිප් ක්‍රීඩකයින් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

හැබැයි පස්සෙ කාලෙක අලුතින් පිච් එකක් දැම්මම ඒකෙ අර ෆාස්ට් ඇන්ඩ් බවුන්සි ගතිය හුඟක් දුරට අඩුවුනා කියල තමයි කියන්නෙ. 

Anyway the bottom line is fast and bouncy or not we are not going to see another Lillee or Thomson running in from the member's end trying to induce an edge from another Clive Lloyd or Geoff Boycott..That's for sure...So From an ardent long standing fan of you .... GOOD BYE WACA!!!

ප.ලි. - වැකා ක්‍රීඩාංගණයෙ කවදකහරි ටෙස්ට් මැච් එකක් බලන්ට මගෙ ලොකු ආසාවක් තිබ්බ. දැං ඉතිං ඒක කොහොමත් හබක්. තුක කියන්නෙ ඒ ආසාව ඉටුවෙන්ට පොඩි පොටක් වගෙත් පෑදිලත් තිබ්බ එක. ඒ මෙහෙමයි. අපෙ ප්‍රියම්බිකාවන්ගෙ අඹ යාළුවෙක් දැං ස්ථිර පදිංචිය පර්ත් නගරයෙ. තම සාමියා සහ දරුවන් එක්ක එහෙ පර්මනන්ට්ලි සෙට්ල්ඩ් ඩවුන්ඩ්. ඕකේ? ඒ යෝදි කතා කලොත් අපෙ උන්දැට කියනව සති දෙහෙකට වගෙ එහෙ එන්ටය, සියලු විය හියදම් සහ නවාතැන් පහසුකම් එයාලා බලා ගන්නම්ය කියල. "නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි ජීවිතේ දිගු වන්දනා ගමනේ....." ඒ ඇවිල්ල මන්දා නාලනී නෝනගෙ ගීතයක්.......

ඉතිං මම කියල තිබ්බෙ එහෙ යනවනං යන්නෙ දෙසැම්බර් මාසෙක මුල හරියෙ කියල. ඒ පර්ත්වල ටෙස්ට් ගහන්නෙ ඒ කාලෙ හින්ද. ඉතිං මොකක් කොරන්ටද? වෙච්චි දේට එන්න සෙයියරුදු…...

ප.ප.ලි. - අපෙ බ්ලොග් ලියාපු සහෘදයෙකුත් හිටියා සහ සහෘදිනියකුත් ඉන්නව පර්ත්වල. ඒ අප අතරින් සමුගත්තු ඔබා සහ MiyuruWorld කියල බොහොම අපූරු අතීතාවර්ජන මාලාවක් ලියාපු මියුරු නෝන මහත්තැං. මියුරු දැන් සෑහෙන කාලෙකින් ලිව්වෙ නෑ.

ප.ප.ප.ලි. - සෙල්ලං නෑ අලුත් අවුරුද්දෙ මුලින්ම ලියපු පෝස්ට් එක..හෑල්ල වගෙ ලියාගෙන ගියා අන්තිමට බලනකොට වචන 2130 කුත් වෙලා.....හෙහ්,හෙහ්

ප.ප.ප.ප.ලි. - මගේ දයාබර සහෘදයින් සහෘදිනියන් සැමට සුබ නව වසරක් වේවායි පතන්නට රන්දිල් ද මා හා එක් වන්නීය!!

50 comments:

  1. මත මතක විදියට නං තමුන්නැහැ මේ කතාව කලින් කියා තියෙයි.

    කාර්‍යාල සහයක තනතුර තවම තියෙනවා මං හිතන්නෙ. මීට අවුරුදු දෙහෙකට විතර කලින් මගෙ අතට ආපු ලියුමක ඔය තනතුරට අදාළ සීල් එක තිබුණා. ඒක කාර්‍යාල කාර්‍ය සහයක කියල හිතල මං වල්ගෙ පාගගත්තත් එක්ක.

    ReplyDelete
    Replies
    1. සුරා,

      කොයි කතාවද බං? මේකෙ කතා කීයක් තියනවද?

      කාර්යාල සහායක නෙවෙයි මලේ කාර්යාල සහකාර...තවම තියනවය ඒ තනතුර?

      Delete
  2. ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා රවී. 1975 පළමුවෙනි ලෝක කුසලාන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියා තරඟය කියන්නේ ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොකල හැකි තරඟයක්. ඔවර් 60 දී ඔස්ට්‍රේලියාව විකට් 5 ට 328. ලංකාව ඔවර් 30 ක් වෙද්දී විකට් දෙකට 150. දුලිප් මෙන්ඩිස් සහ සිදත් වෙත්තමුනි හෙල්මට්, ආම් ගාඩ් නැතුව තොම්සන් සහ ලිලී ගේ අධිවේග පන්දු වලට මුහුණ දුන්නේ. ඔවුන්ව දවා ගන්න බැරුව චැපල් තොම්සන් ලවා ඇඟට පන්දු යැවීම නිසා දුලිප් සහ වෙත්තමුනි තුවාල ලබා රෝහල් ගත කලා. ඒත් ඔවුන් දැවී ගියේ නැහැ. ඊට අසුව ආ අනුර තෙන්නකෝන් සහ මයිකල් තිසෙරා සමඟ විකට් පහක් දැවී ලංකාවට ලකුණු 52 ක් මදි වුණා. එදා ඔස්ට්‍රේලියාව දින්නත් ගෞරවය ලැබුණේ ලංකා කණ්ඩායමට. මේ තරඟය ගැන නොදන්න අය මේ විස්තරය සහ මේකත් කියවන්න

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඔබ හරි ඒ තරඟය ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වටිනව. ලංකාවෙ ක්‍රිකට් ගැන අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලැබුනෙ මුලින්ම ඒ තරඟය නිසා. ඊලඟට 1979 ලෝක කුසලානෙදි ඉන්දියාව පැරදවීම .....මට තවම මතකයි අපේ රේඩියෝ එකට පහත්වෙලා තරඟයෙ විස්තර ප්‍රචාරයට ඇහුම්කන් දීපු ආකාරය..එංගලන්තෙ දේශගුණයට පුරුදුවෙන්ට කියල ලංකා කණ්ඩායම මට මතකයි නුවර එළිය කිට්ටුව රදැල්ලෙ ක්‍රීඩාංගණයෙ සතියක් විතර පුහුණුවීම් කලා.

      පන්දුව නළලෙ වැදිල බිම ඇදගෙන වැටුනු දුලීප් මෙන්ඩිස් දිහා බලල හිනාවුනයි කියල ජෙෆ් තොම්සන්ට සෑහෙන දොස් කිව්ව පුවත්පත් වලින්. පස්සෙ කාලෙක තොම්සන් කිව්ව මම හිනාවුනාම නෙවෙයි මෙන්ඩිස් බිම වැටිල පපුවෙ කුරුසෙ සලකුණු කරමින් "Oh God, I am dying...I am dying" කියල එක දිගටම කියාගෙන ගිය විදිහට එයාට හිනා ගියාය කියල.

      තවත් අපූරු කතාවක් තියනව.මෙන්ඩිස් රෝහලට ඇතුල් කලාම පොලිස් නිලධාරියෙක් ආවලු කට උත්තරයක් ගන්න.මොකද මෙන්ඩිස් රොහලේ බලධාරීන්ට කියල තියෙන්නෙ "I was hit" කියල. පස්සෙ පොලිස් නිලධාරියටත් මෙන්ඩිස් කිව්වලු " I was hit playing cricket"

      "Do you know by whom?" කියල Police Officer ඇහුවම කිව්වලු "By a guy named Thomson" කියල. පස්සෙ ආයම පොලිස් නිලධාරියා ඇහුවලු "Do you want to press charges?" කියල. ඒකට මෙන්ඩිස් "No" කියල කිව්වලු.

      ඒ ලිපියෙ තිබ්බ මෙහෙමත්.It would have been an interesting scenario if Mendis pressed charges against Thomson for assaulting because Thomson was on record saying some time previously that when bowling he likes to hit batsmen and his intention is to see then injured.

      Thanks Boss for the links...:)

      Delete
    2. Ian,

      Sorry I forgot....Happy New Year!!!

      Delete
  3. කොටට ලියමි කියලා නුඹ හිතුවාට
    දිගට ලියවි ඇත වෙලාව නොගියාට
    මෙමට තෑගි ඕනා මෙය බැලුවාට
    නුඹට සුභ පතමි දහ අට ලැබුවාට....

    උදාවූ 2018 යහපත් වේවා.

    ජයවේවා!!!

    ReplyDelete
  4. ඔබට සුබ නව වසරක් වේවා!
    ක්‍රිකට් ගැන අපූරු මතකය හරි වටිනවා. ඔය කාලෙටත් වසර දහයකට පහළොවකට කලින් අපට රේඩියෝ එකෙන්වත් commentary එක අහන්න බැහැ. අපි ඒ කාලේ කළේ ලෝකප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ cricket pictures එකතු කරන එක. Daily News පත්‍රයේ අන්තිම පිටුවේ තිබෙන පින්තුර එකතු කිරීමට අපි ඒ කාලේ පොර කනවා. මට තවත් සිද්ධියක් මතක් උනා. මේක අප ඉපදෙන්නටත් ඉස්සර 1930 දී සිදුවී ඇති දෙයක්. 1930 වසරේ අළු බඳුන තරඟ පවත්වා තිබෙන්නේ එංගලන්තයේ. ඕස්ට්‍රේලියාවේ Don Bradman තරඟයෙන් පසු ආපසු යන ගමන් ලංකාවේ දවසක් ගත කරලා. ඔහු වෙනුවෙන් ලංකාවේ ක්‍රිකට් ලෝලයෝ සාදයක් පවත්වලා. ලංකාවේ අග්‍ර ගණයේ සිවිල් සේවකයෙකු වූ වූ Bradman Weerakone ඉපදිලා තිබෙන්නේ එදයි. එයාගේ පියාත් අර සාදයට ගිහිල්ලා. එදා ඉපදුනු තම පුතාට Bradman කියන නම තියලා. පසුගියදා මගේ Blog Post එකක මේ සිද්ධියට අදාල වෙනත් කතාවක් ලියා ඇති.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!!

      පසුගිය සියවසේ මුල් කාලෙදි අළු බඳුන තරඟාවලීන්ට එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාවට සහ සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තෙට ගියේ නැවෙන්. සූවස් ඇළ හරහා යන මේ ගමනට සමාන්‍යයෙන් දවස් 45-50 වගෙ ගත වුනාලු. ඒ යන අතරමඟ කොළඹ වරායෙ දවසක් හෝ දෙකක් නවත්තලා ගියයි කියන්නෙ නැවේ අළුත්වැඩියා කටයුතු සඳහා සහ අවශ්‍ය ආහාර සහ වතුර ලබාගන්ට.

      ඒ දවස් දෙක ඇතුලත එවකර Ceylon Cricket Team නමින් හැඳින්වුනු ලංකා කණ්ඩායම සමඟ එක්දින තරඟයක් පවත්වන එක සිරිතක් වෙලා තිබ්බලු.බොහෝවිට මේ තරඟ පැවැත්වෙලා තිබෙන්නෙ නොමෑඩ්ස් පිටියේ. දැනට නෙළුම් පොකුණ රඟහල හදල තියෙන්නෙ ඒ භූමි භාගයෙ.

      මේ තරඟ හැඳින්වුනේ Whistle stop matches කියල. ඔය වචනෙ මූලාරම්භය අමරිකාවෙ. එහෙ ජනාධිපති අපේක්ෂකයො ඒ දවස්වල තම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බොහෝවිට භාවිතාකලාය කියන්නෙ විශේෂ දුම්රියක්. ඒ දුම්රිය නැවතුම් පලකට එනකොට දුම්රියෙන් බොහෝ දුරට ඇහෙන විස්ල් එකක් ගහනව. එතකොට දුම්රිය පොලෙනුත් සංඥාවක් දෙනව නවත්වන්න කියල.

      දුම්රිය නැවැත්තුවහම ජනාධිපති අපේක්ෂකය ඒ දුම්රියේම තියෙන විශේෂ වේදිකාවක ඉඳල දුම්රිය වටේ රැස්ව ඉන්න ඡන්ද දායකයින් අමතනව. ඊට පස්සෙ ආයම ඊලඟ නැවතුම්පලට පිටත්ව යනව. Whistle stop campaigning කියලයි මේ ඡන්ද ප්‍රචාරණ ක්‍රමය හැඳින්විලා තියෙන්නෙ. ඒ අනුසාරයෙන් තමයි ඔය Whistle stop matches කියන නමත් භාවිතයට ඇවිත් තියෙන්නෙ.

      බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයට බ්‍රැඩ්මන් කියල නම ලැබුණු අන්දම මම අහල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහට. ඒ මහත්මයගෙ පියා උග්‍ර ක්‍රිකට් ලෝලියෙක්. ඒ මහත්මය උපන්දවසෙ එංගලන්තෙට යන ගමන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොළඹ ඔය තරඟයකට සහභාගිවුනු දවසක්. ඒකෙදි බ්‍රැඩ්මන් නොදැවී ළකුණු 50 වගෙ අරගෙන රිටයර් වුනාලු.අනික් අයටත් අවස්ථාව දෙන්න එහෙම කැමැත්තෙන් රියටර් වෙන එක සිරිතක්.

      ඉතිං එදාම උපන් තම පුතාට බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයාගෙ පුතා බ්‍රැඩ්මන් කියල නම දැම්මලු.ඔය කතාව පස්සෙ කාලෙක රාජ්‍ය උත්සවයකදි සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මුණ ගැහුනු වෙලාවක එයාට කිව්වයි කියලත් බ්‍රැඩ්මන් වීරකෝන් කියල තිබ්බ.මම ඔය විස්තරේ කියෙව්වෙ ගුණදාස ලියනගේ ලියපු බ්‍රැඩ්මන් වීරකෝන් චරිතාපදානයෙ.නම අගමැතිවරුන් හත්දෙනෙකු සමඟ...

      ඩේලි නිව්ස් අන්තිම පිටුවෙ පලවෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ සහ තරඟවල ඡායරූප එකතුකිරීම නම මමත් කලා දයා මහත්මයා. අපේ මහගෙදර ඇති 1974 වගෙ ඉඳල 1984 වගෙ වෙනකල් මම එකතු කරල කපල පොත්වල අලවපු පින්තූර මහ ගොඩක්...ඇත්තම කියනවනම් ඉංග්‍රීසි කියවීමේ උනන්දුව මට ඇතිවුනේ ඔය ඩේලි නිව්ස් අන්තිම පිටුව හින්ද..අන්තිම පිටුවෙන් පටන්ගෙන ක්‍රමයෙන් මුලු පත්තරේම කියවන්න ගත්ත.

      Delete
    2. රවී,
      2012 වසරේ කළුතර බෝධිඥාන පුස්තකාලයේ පැවත්වූ සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන දේශකයා ලෙස බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයාට ආරාධනා කළා. (ඒ කාලයේ මා පුස්තකාල සංවර්ධන කමිටුවේ ලේකම්). වීරකෝන් මහතාගේ මුල් ගමත් පයාගල. දේශකයා හඳුන්වාදීම ගැන මට තොරතුරු දැන ගැනීම අවශ්‍ය උනා. මට ඒ සඳහා ඔහුගෙන් ලැබුණු විස්තරයයි සඳහන් කළේ. ඔහු ලියා තිබෙන Rendering unto Caesar සහ Kalutara an Odyssey යන පොත් දෙකත් එදා පුස්තකාලයට තෑගි කළා.තව විස්තර මගේ දෙසැම්බර් 24 Blog post එකෙන් කියවන්න.

      Delete
    3. දයා මහත්මයා,

      මට මතක තිබෙන විදිහයි මා කිව්වෙ. ඔබ මේම් විස්තරය දැනගත්තෙ බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයාගෙන්ම නම් අනිවාර්යයෙන් එය සත්‍යය විය යුතුයි.

      Delete
  5. 96 ට ඉස්සර ඉඳන් මැච් බලපු/ අහපු අපිට නම් 2017 පැරදුන විදිහ ඒතරම් ලොකු දෙයක් නෙමෙයි නේද? මතකද හැඩ්ලී ට අවුට් වුන හැටි?

    HNY !!

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔබ තුමා ඔය කියන්නෙ 1984 අවුරුද්දෙ නවසීලන්ත කණ්ඩායම ලංකාවට ආපු සීන් එක වෙන්න ඕන..පළවෙනි ටෙස්ට් එක ගැහුවෙ අස්ගිරියෙ...මම දවසක්ද දෙකක්ද කොහෙද බැලුව. හැඩ්ලිගෙ බෝලිං තමයි බෝලිං..අපෙ එවුන්ට කට උත්තර නැතිවුනා...

      BTW ප්‍රා... ආනන්දෙ මාර ඕෆ් ස්පිනර් කෙනෙක් හිටිය මතකද 81/82 වගෙ කාලෙ කමල් ධර්මසිරි කියල. ස්කූල් සීසන් එකේ වැඩිම විකට්ස් වාර්තාවකුත් තිබ්බ 140 වගෙ ගානක් අරගෙන..ඒත් ඊටපස්සෙ වෙච්චි දෙයක් නෑ.

      ඔය වගෙ තව ඉන්නව ඉස්කෝලෙට ගහද්දි මාර වැඩ පෙන්නල ඊට පස්සෙ ආගිය අතක් නැතිවෙච්චි ක්‍රිකටර්ස්ල බර ගාණක්. නවීන් ද සිල්වා (වෙස්ලි) අශෝක් ජයවික්‍රම (රෝයල්) ලන්ත්‍රා ප්‍රනාන්දු (වේල්ස් කුමාර) ආනන්දප්පා (සෙන්ට් බෙන්ඩික්ට්) මෙල්ඩර් (සෙන්ට් ජෝසප්) ට්‍රෙවර් ක්‍රෝනර් (සෙන්ට් පීටර්ස්) ආය හිටිය සුපර් ෆාස්ට් බෝලර් කෙනෙක් ජැෆ්නා සෙන්ට්‍රල් එකේ නම නගුලේස්වරන්. වෙලාවක වෙනම ලියන්න ඕන මේ කස්ටිය ගැන.

      Happy New Year to you & Family too Pra!!!

      Delete
    2. Pra,

      Of course I forgot Siriparan of DS....One Sheriffdeen from Kingswood...S.B. Senanayaka or someone from Dharmapala...Upul Sumathipala from Mahinda...

      Delete
  6. මහ රෑ ඇහැරගෙන මැච් ඇහුවෙ මම විතරයි කියල හිතාගෙන හිටියට තව එවුන් ඉඳල තියෙනවනෙ බලාගෙන යද්දී. ඔය 1979 ලෝක කුසලානය වෙලාවෙ හැමදාම උදේ හයටද කොහෙද සමන් අතාවුදහෙට්ටි කළින් දවසෙ මැච්වල විස්තරයක් ගෙනාව මතකද? වෙස්ට් ඉන්ඩීස් ලගෙ 1984- 1985 ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියා ටුවර් එකේ පළවෙනි ටෙස්ට් එක ගැහුවෙත් WACA වල කියල මට ලාවට වගේ මතකයි. මැච් තුනක් පරදිද්දී කැප්ටන් කිම් හියුස් අස්වෙලා යන්න ගියෙ. ඒ ටුවර් එක නේද ක්ලයිව් ලොයිඩ් ගෙ අන්තිම ටුවර් එක.

    ReplyDelete
    Replies
    1. හැලප,

      වෙස්ට් ඉන්ඩීස් වල ගහන කොට තමයි ආතල් එක. පැය 10 1/2 වගෙ වෙනස. ඒ කියන්නෙ අපේ වෙලාවෙන් රෑ 8.30 විතර පටන්ගෙන පාන්දර 3.30 විතර වෙනකල් මැච් එක යනව.

      1976 අවුරුද්දෙ ඉන්දියාව ළකුණු 406 වගෙ ගානක ටාගට් එකක් ගහල දිනපු මැච් එක මම එහෙම ඇහුව ඉවර වෙනකල්. ගවස්කාර් සහ ඔහුගේ මස්සිනා විශ්වනාත් දෙන්නම ශතක ගැහුව.

      ඒ පරාජයෙ හතර විලි ලැජ්ජාව හින්ද තමයි ක්ලයිව් ලොයිඩ් (එතකොට වෙස්ට් ඉන්ඩීස් නායකයා) අර ෆාස්ට් බෝලර්ස්ල හතර දෙනෙක් දාල එක දිගට යක්කු වගෙ බෝල් කරන්ට ගත්තෙ.මුලින් හිටියෙ රොබට්ස්, හෝල්ඩිං ජුලියන් හෝල්ඩර් සහ බොයිස්. පස්සෙ ආව වොල්ෂ්, ගානර්, ක්‍රොෆ්ට්, මාෂල්, ඇම්බ්‍රෝස්...

      Delete
    2. වෑන්බර්ග් හෝල්ඩර් නේ ද?

      ක්‍රොෆ්ට්, ගානර් අයිති වෙන්නෙත් කලින් පරම්පරාවට නේ ද? රොබර්ට්ස්, හෝල්ඩින්ග්, ක්‍රොෆ්ට්, ගානර් කියන්නෙ ඔරිජිනල් ෆාස්ට්-ෆෝර්සම් එක.. වොල්ෂ්, ඇම්බ්‍රෝස්, මාෂල්, බිෂොප් පසු පරම්පරාව..

      Delete
    3. බූරා,

      වැන්බර්න් හෝල්ඩර්....

      76 වගෙ මුලින්ම ලොයිඩ් Allout pace attack එක පටන්ගන්න කාලෙ හිටියෙ ඇන්ඩි රොබර්ට්ස්, මයිකල් හෝල්ඩිං, බර්නාඩ් ජුලියන්, වේන් ඩැනියල් සහ වැන්බර්න් හෝල්ඩර්..

      ඒත් ඔය ටෝටල් පේස් ඇටෑක් එක ආට් එකක් විදිහට ආවෙ ජොයෙල් ගානර් සහ කොලින් ක්‍රොෆ්ට් රොබර්ට්ස් සහ හෝල්ඩිංට එකතු වුනාට පස්සෙ. එහෙම වුනේ 77 වගෙ.පස්සෙ ලොයිඩ් සහ කණ්ඩායම් කෙරී පැකර් එක්ක එකතුවුනාට පස්සෙ නෝබට් ෆිලිප් සහ සිල්වෙස්ටර් ක්ලාර්ක් තමයි ඔෆීෂියල් වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ ෆාස්ට් බෝලර්ස්ල වුනේ. මාර්ෂලුත් ආවෙ ඒ කාලෙ...ඊටත් පස්සෙයි බිෂොප් වොල්ෂ් සහ ඇම්බ්‍රෝස් ආවෙ.

      Delete
  7. සුභ අලුත් අවුරුද්දක් රවී මහත්තයටයි රන්දිකා නෝනටයි. ක්‍රිකට් විස්තර අහනවට වඩා මං මේ පෝස්ට් එකේ කැමති පරන කාලෙ විස්තර ටික කියවන්න. මැච්වලට වඩා ඒ වටේ තියෙන අතුරු කතා බොහොම රසවත්.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ක්‍රිකට් වලට අකමැති බොහෝ දෙනෙක් ඉන්න හින්දමයි මම ඒ අතුරු විස්තරත් ටිකක් වැඩිපුර ලිව්වෙ...:)

      Happy New Year To both of You too!!!

      Delete
  8. Your blog post took me back to good old days of cricket. I too had the BBC, ABC etc marked on our PYE radio dial. Our neighbouring friends (and adults too) come to listen to the commentary. I think you not mentioned the Bellerive Oval in your article because it's not an international cricket venue during 70s. But we are honoured to participate in very first international matches, both one day and test in that ground. It was unfortunate to lost the test against AU in 1989, but we won the very first international one day match played in oval (against NZ)in 1988. Wish you a happy new year.

    ReplyDelete
    Replies
    1. Sam,

      Happy New year to you Sam!!!

      Yes, I didn't mention Bellerive Oval because it was nor an international ground during 70's. I think it was baptized as an international ground during late 80's or early 90's.

      I remember we played in the very first test at Darwin and some other small town too (I can't remember the name)

      Delete
    2. Ravi,
      Buratheno is correct. Cairns "Bundaberg Rum Stadium" was the other venue. Apart from all those international venues, we (S/L) and England being thrown in to the "Ballarat Eastern Oval" cricket ground during 1992 Benson & Hedges world cup. It was neither an accident, nor a mistake, but a very well premeditated action by ACB. England is not archrival of Australia, they are sworn enemy. Aussies wants to hurt poms every possible way, so they put them in this ground which looks like a "GOYAM KAPAPU KUMBURAK". In the other hand we S/L was the minnows at that time, so we are not in a position to complain. Anyway, poms won that match, the other winners are liquor shops and pubs in Blaarat, because S/L fans make some liquor outlets ran out of scotch in that (then)little country town. Sorry for typing these in English.I will install Sinhala fonts and then I can do it in Sinhala.

      Delete
  9. [මැච් එකක් තියන දවසට මම ඔය එලාම් එක තියල කොට්ටෙ යට හංගනව. ඒ ඔය මහ පාන්දර එලාම් එක වදිනව ඇහිල අම්මට එහෙම අහැරුනොත් ප්‍රස්න වලට උත්තර දීල නිවනක් නැති හින්ද. ]

    බොරුනේ ඉතින්... එලාම් කියාගෙන කිව්වට අර ගෑනුලමයා කොට්ටේ යට තියාගෙනනේ නිදාගත්තේ.... හොරාට කලින් වැට පැන්නා නේද???

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      අනේ නෑ බං අපි ඇවිල්ල බොහොම පොඩි එවුං ඒ කාලෙ..අවුරුදු දොළහයි ඔන්න කොටින්ම...:)

      Delete
  10. හම්මේ ඉතීම්.. ඔයිට අවුරුදු දහයකට වගේ පස්සේ අපිත් ඔහොමම තමයි කරේ.. අපිට එතකොට කළු සුදු ටීවි එකේ බලන්න පුළුවන් කමකුත් තිබ්බ එක තමයි එකම වෙනස.. :) හැබෑට වැකා වල ටෙස්ට් ගහන්නේ නැද්ද ඉස්සරහට.. අලුත් අවුරුද්දේ දුක හිතෙන කතාවක්.. spongi bounce, tennis ball bounce, bodyline attack, toe crushers, smell of leather වගේ වචන ඉස්සරහට අහන්න නොලැබෙයිද දන්නේ නෑ..

    සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      වැකා එකේ ආය ටෙස්ට් ගහන්නෙ නෑ බං ..අළුත් ග්‍රවුන්ඩ් එකක් හදලලු තියෙන්නෙ.

      Happy new year to you and your family!!!

      Delete
  11. ඉස්සර අපි මැච් බලන්නේ ජාතිකෙ නෙව. ඩොට් වලින් වැහැචිචි මූණූ දකින්නත් අමාරුයි. ඒ උනාට එම්ටීවී එකේ ක්‍රිස්ටල් ක්ලියර් එකට මැච් පෙන්නන කොට මාත් අනේ උදේ පාන්දර එලාම් තියාගෙන නැගිටල බැලුවේ. ටෙස්ට්ද, ගහන්නේ වින්ඩීස් -ඔසීද කියලවත් ගානක් නෑ..

    WACA wacked then

    ReplyDelete
    Replies
    1. දේශක්ස්,

      මට රූපවාහිනියෙ එක දිගට මැච් බලන්ට ලැබිලම නෑ.. තරඟ ටෙලිකාස්ට් කරන කාලෙ වෙනකොට අපි රස්සාවලට ගිහිල්ල..

      Delete
  12. මුලින්ම රවී සහ රන්දිල් දෙපලට සුබ නව වසරක් පතමි.

    ක්‍රිකට් කියන මල ඉලව්වටනං මගේ කිසිම ආසාවක් නැතිය. ඊට වැඩිය අත්තම්මා බොලාට කොපි හදන්නට යන විස්තරය රසවත්ය. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      සුබ නව වසරක් ඔබටත්..

      ව්‍යාපාර කටයුතු දියුණු වේවා!
      වැඩි වැඩියෙන් අත්පිට මුදලට බඩු විකිණේවා!
      ගණුදෙනුකරුවන්ට ඉතිරි මුදල් අමතක වේවා!

      ක්‍රිකට්වලට අකමැති අයට තමයි ඒ අතුරු විස්තර දැම්මෙ...

      Delete
  13. එදත් අදත් කවදත් මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නොවීම ගැන මාගේ බලවත් මෙව්වා එක. හෙහ් හෙහ්.. ඉස්සර මැච් බලද්දී මම සපෝර්ට් කරන්නේ ලංකාවත් එක්ක ගහන අනිත් ටීම් එකට. අපේ තාත්තා මට ඒ දවස් වල කියන්නේ දේශද්‍රෝහියා කියල හෙහෙ හෙහ්..

    අර අහසෙන් එන කසුන් කිව්වා වගේ මටත් ආතල් ඔය පරණ වට පිටාව කියවන එක..

    රවී අයියා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    මම අර ඔයාට එක දවසක් කියපු එක මම ඔන්න ඔහේ කියල බ්ලොග් එකේ දැම්ම.. හෙහ් හෙහ්
    කොටින් ම එදා ඒ කිව්වට පස්සේ මට ඒ වැඩේ කරන්න වෙලාවක් හොයා ගන්න බැරි වුනා. වෙන කතාවකට කරමු..

    ReplyDelete
    Replies
    1. Pathum,

      /මම අර ඔයාට එක දවසක් කියපු එක මම ඔන්න ඔහේ කියල බ්ලොග් එකේ දැම්ම/

      ආ...ඒක හොඳයි... වෙරි ගුඩ්....

      Happy new year to you both and your family!!!

      Delete
  14. ක්‍රිකට්වලට මාත් කැමති කාලයක් තිබුනා.. මැච් බැලුවා, ස්ටිකර් එකතු කළා.. ඒ දවස්වල චොක්ලට්වල ස්ටිකර් තිබුනනේ.. ඒවට රණ්ඩුත් උනා....
    පස්සෙ මට ක්‍රිකට් එපාම උනා.. දැන්නම් කවුරු හරි ඇහුවොත් අකමැතිම දේවල් මොනවද කියලා ඉන් එකක් තමයි ඔය ක්‍රිකට්... හොඳ වෙලාවට අපේ ගෙදර එක්කනත් ක්‍රිකට්වලට කැමති නෑ.. ක්‍රිකට්වලට පිස්සු හැදිල ඉන්න ස්වාමියන්ගෙ බිරින්දෑවරු කියන කතා ඇහුවම මට සතුටුයි... අපේ එක්කනා ගැන...
    රවී අයියටයි, රන්දිකා අක්කටයි සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      ආ..එව්ව එහෙම තමයි...හැමෝම අපි කැමති හැම එකටම කැමති වෙන්න ඕන නෑනෙ නේ?

      ඔබ දෙපලටත් සුබ නව වසරක්!!

      Delete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා රවී!!!

    ReplyDelete
  16. Thanks for writing anyway, Mr. Ravi. Cricket is not my cup of tea.
    I wish a healthy, happy and peaceful 2018 to you all.

    ReplyDelete
    Replies
    1. Manawee,

      No problem...most of the ladies I know don't like cricket including my bitter half heh..heh..so don't worry Madam...

      Wish You & your family a happy 2018!!!

      Delete
    2. //including my bitter half// This is contradictory.

      The bitter half is you, and you like cricket. The better half does not.

      :)

      Delete
    3. 'The banter half' would be more appropriate for Ravi.

      Delete
  17. සුභ අළුත් අවුරුද්දක් වේවා
    මොනවා උනත් 2018 ආරම්භය අනන්‍යා සමග පටන් ගනී කියල මං බලපොරොත්තු වුනා.
    බලපොරොත්තු ඉෂ්ඨ කලා නම් හොඳා නේද?

    ReplyDelete
    Replies
    1. Wish you a happy new year too Nimesh,

      Thanks for being a constant fan of Ananya during last year ...:)

      Writing about her at the moment and will publish ASAP...

      Delete
  18. ඈ උන්දෑ ආපහු ගියාද? මම හිතුවේ කලින් පැන්සොන් අරං නවතින්නේ ඇවිත් කියලා.

    ReplyDelete
  19. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය අවස්ථාවක්
    විචාරක දියණිය

    ReplyDelete
  20. අපේ ක්‍රිකට් මතකයේ මුල්ම යුගය තමයි අපි ඉන්දියාවට එරෙහිව පලවෙනි ටෙස්ට් තරඟෙ දිනපු එක. රුමේෂ් රත්නායක තමයි ඒ කාලෙ මම කැමතිම ක්‍රීඩකයා. මට හොඳට මතකයි, රුමේෂ් කපිල්ගෙ රිටර්න් කැච් එක අරගත්ත වෙලාවේ අනිත් කස්ටිය විකට් පොලු ගලවගෙන දුවනකොට අර්ජුන තමයි රුමේෂ් ලඟ දුවලා ආවේ.

    ඒ කාලෙ ඇන්කර් කිරිපිටි පෙට්ටියේද කොහෙද ක්‍රිකටර්ස්ලගෙ පින්තූරයක් දුන්නා. රන්ජන්, රෝයි, දුලිප්, රුමේෂ් එහෙම හිටියා. ලා කහ පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න ෆොටෝස්. හරහට ගිය නිල් ඉරක් තිබ්බ ඒකෙ.

    අනිත් එක තමයි ඉංග්‍රිස් මෙලෝ මලදානයක් දන්නෙ නැති කාලෙත් ක්‍රිකට් කමෙන්ට්‍රිය නම් කිසි ගින්නක් නැතුව තේරුණා.

    ReplyDelete
  21. gta 5 apk
    Instead they returned just days after their Raw debut to put over Itami and Balor again. All that proved to me was that Itami and Balor are better than The Ascension and should be the ones on the main roster.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...