Tuesday, January 23, 2018

560. The Story Of My Marriage - 59 - "Head Office Will Definitely Shoot Me…" Said Bala And I Said To Myself…"Well Why Ever Not….."

"මම හිතන්නෙ දැනට තියෙන තත්වෙ ගැන කල්පනා කරල බලනකොට මෙහෙම දෙයක් හරියට සංවිධානය කරගන්න පුලුවන් වුනොත් ඒක අපිට ලොකුම වාසියක් වෙනව..මොකද කියන්නෙ ඔයගොල්ල?" බාලා එසේ විමසූයේ කන් දක්වා ඇදීයන පරිදි කට පළල්කොට පුළුල් සිනහවක් පාමිනි.

චෙන්නයිහි සිටි බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලයට අයත් සියළුදෙන තනතුරුවල කිසිදු උස් පහත් භේදයක් නොතකා අපගේ ප්‍රධාන ශ්‍රවණාගාරයෙහි පැවති මෙම හදිසි රැස්වීමට ආරාධනා ලැබ මෙහි පැමිණ සිටියෝය.

පසුගිය මාස කිහිපය තුල ඩොට් කොම් නොහොත් අන්තර්ජාල සමාගම් කොටස් මිල අනපේක්ෂිත ලෙස පහල වැටීම හේතුකොටගෙන තම ආයෝජන අහිමිකොටගත් අපේ ගණුදෙනුකරුවන්ගේ සිත් සනසාලීමේ එක් පියවරක් වශයෙන් කිසියම් විනෝදාත්මක ක්‍රියාකාරකම් කිහිපයකින්ද සමන්විත රාත්‍රි භෝජන සංග්‍රහයක් වැන්නක් පැවැත්විය යුතු යැයි මුම්බායි ප්‍රධාන කාර්යාලයෙහි මහජන සම්බන්ධතා අංශයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත. මේ මූල්‍ය අර්බුදය හේතුකොටගෙන බැංකුවේ ලාභාංශයන්හි සිදුවූ පහතවැටීම ද නොතකා නිව්යෝක් හි ප්‍රධාන කාර්යාලය මේ වැඩපිළිවෙල අනුමත කොට ඇත. ඒ අනුව ඉන්දියාවේ සියළුම ශාඛාවන් උදෙසා පිරිවැය ලෙස වැයකලයුතු මුදලක්ද ප්‍රධාන කාර්යාලයෙන්ම නියම කොට ද ඇත.

බාලාගේ මූලිකත්වයෙන් දියත්කල ඩොට් කොම් ආයෝජන වැඩ පිළිවෙල කොපමණ ශෝචනීය ලෙස අසාර්ථක වූයේද යත් සත්‍යය වශයෙන්ම මෙවන් ගණුදෙනුකරුවන්ගේ සිත් සනහාලන වැඩසටහනක අවශ්‍යතාවය උදක්ම දැනුනේ චෙන්නයි ශාඛාවටය.

අප ප්‍රධාන ශ්‍රවණාගාරයේ මෙසේ රැස්ව සිටියේ අපගේ ගණුදෙනුකරුවන්ගේ සිත් සනහාලීමට සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය නඟා සිටුවීමට වඩාත්ම සුදුසු වන්නේ කුමන අන්දමේ වැඩ සටහනක්ද යන්න පිළිබඳ සාකච්ඡා කොට නිගමනයකට එළඹීමටය.

"හරි එහෙමනම් කට්ටියගෙ අදහස් කියමු බලන්න…. මොන වගේ ඉවෙන්ට් එකක්ද අපේ කස්ටමර්ස්ලගෙ රුචි අරුචිකම් අනුව හොඳටම ගැලපෙන්නෙ?" බාලා යලිත් විමසුවේය.

"අපිට පුලුවන් මේ චෙන්නයිවල චිත්‍ර ශිල්පීන් කීපදෙනෙක්ට ආරාධනා කරල ඒ අයගෙ චිත්‍ර ප්‍රදර්ශණයක් වගෙ එකක් සංවිධානය කරන්න..ආටිස්ට්ලටත් ඒක හොඳ චාන්ස් එකක් එයාලගෙ චිත්‍ර කීපයක් හරි විකුණ ගන්න..." එසේ පැවසූයේ ආයතන අංශයේ විධායක තනතුරක් දරන්නෙකි. 

"ඒක හරියන එකක් නෑ. මොකද එ එහෙම බැලුවොත් එතනත් අපි හදන්නෙ කස්ටමර්ස්ලට මොනව හරි විකුණන්නනෙ. ඒක හරි නෑ.අපි බලන්න ඕන සම්පූර්ණයෙන්ම විනෝදස්වාදය විතරක් අරමුණු කරගත්තු මොකක් හරි එකක්.." එසේ චිත්‍ර ප්‍රදර්ශන යෝජනාවට එරෙහිව අදහස් දැක්වූයේ ගිණුම් අංශයේ  විධායක නිලධාරියෙකි.

"ඒකත් හරි තමයි බලාගෙන යනකොට....එහෙමනම් ෆැෂන් ෂෝ එකක් වගෙ දෙයක් ගැන හිතුවොත් කොහොමද?....මොකද ඒ ගැන කියන්නෙ?" එසේ විමසූයේද ප්‍රථමයෙන් චිත්‍ර ප්‍රදර්ශන යෝජනාව ඉදිරිපත්කල තැනැත්තාමය.

"ම්ම්ම්හ් මම හිතන්නෙ එහෙම එකක් හරියන එකක් නෑ....බොහොම දෙනෙක් අපේ කස්ටමර්ස්ල සාම්ප්‍රදායික දේවල් අගය කරන පරණ තාලෙ අය. ෆැෂන් ෂෝ එකක් වගේ දේකට මම හිතන්නෙ නෑ එයාල කොහොමවත් කැමති වෙයි කියල.."

සභාවේ බහුතරයක් ඒ අදහසට හිස සොළවමින් තම එකඟතාවය පලකල හෙයින් විලාසිතා දැක්මක් සංවිධානය කිරීමේ යෝජනාව උපන්ගෙයිම මියගියේය.

රැස්ව සිටියෝ විවිධ යෝජනා ඉදිරිපත් කරමින් ඉතා උනන්දුවෙන් සාකච්ඡාවට තව දායකත්වය ලබාදුන්නෝය. මෙසේ මිනිත්තු පහළොවක හෝ විස්සක පමණ කාලයක් ගතවන්නට ඇත. ජනප්‍රිය පැරණි දමිළ චිත්‍රපට උළෙලක් පැවැත්වීමේ සිට කුමන ක්ෂේත්‍රයක හෝ නමගිය තැනැත්තකු හෝ තැනැත්තියකට ආරාධනා කොට ඔහු හෝ ඇය සමඟ සුහද සාමීචියක යෙදීම සහ ඉන් අනතුරුව නමගිය සූපවේදියකු ගෙන්වා ඔහු ලවා එකේනෙකාගේ රුචිය පරිදි ක්ෂණිකව විවිධ රස බොජුන් පිළියෙල කරවා ගැනීමේ සූපවේද රාත්‍රියක් සංවිධානය කිරීම දක්වා අපගේ සාකච්ඡාව ඇදී ගියේය.

එහෙත් ඒ කිසිදු යෝජනාවකට සභාවේ බහුතර මනාපය හිමිනොවූයේ ඒ සෑම යෝජනාවකම වූ කුමන හෝ බරපතල අඩුපාඩුවක් කවුරුන් විසින් හෝ පෙන්වාදෙන ලද බැවිනි. මේ සාකච්ඡාව පැවැත්වෙන අතරතුර මම වදනකින් හෝ ඊට සහභාගීනොවී මුණිවත රැකීමි. චෙන්නයිවාසී අපේ ගණුදෙනුකාර භවතුන් කැමතිවනුයේ කුමන අන්දමේ සංස්කෘතික අංගයකටදැයි මට කිසිදු අවබෝධයක් නොවීය.

"අනේ මන්ද අප්ප මට තේරෙන්නෙ නෑ මෙහෙ මිනිස්සු මොනවට කැමති වෙයිද කියල...ඔන්න අපි හදිස්සියෙම නිවේදනය කලොත් මෙහෙම .... අසව්..අසව්..අසව්...ප්‍රීතිමත් නිවේදනයයි...අපේ ගණුදෙනුකාර භවතුන්ගේ සිටි බැංකුව කෙරෙහි ඇති අචල විශ්වාසය සහ භක්තිය පිළිබඳව අපේ පරම ස්තූතිය ප්‍රකාශ කරනුවස් අප බැංකුවේ පාලනාධිකාරිය විසින් ඔබ සැමගේ ගිණුම් වල වර්තමාන ශේෂයට සමාන මුදලක් ඔබගේ ගිණුම්වෙත බැර කීරිමට තීරණය කොට ඇත. ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!!...සියල්ලෝම මේ සන්තුෂ්ඨිදායක පණිවිඩය ඉත සිතින් පිළිගනිත්වා! .... දෙයියම්පල්ල ආන්න එහෙම කිව්වොත් නම් අපේ ගණුදෙණු කාරයො පස්වනක් ප්‍රීතියෙන පිනායාවි නොවැරදීම..හෙහ්..හෙහ්..මට හිතෙනව ඒ යෝජනාව මේ ගරු සභාවට ඉදිරිපත් කරන්ට මොකද බාලා එහෙම කියන්නෙ කියල බලන්ට හෙහ්..හෙහ්.." මම එසේ තොල් මතුරාගනිමින් තනිවම සිනා සෙමින් මගේ ලෝකයේ පසුවූයෙමි.

"අන්න අන්න අපේ මිස්ටර් ක්‍රිෂ් තනියම හිනාවෙනව..මම හිතන්නෙ ක්‍රිෂ්ගෙ තීක්ෂණ බුද්ධියට නොම්මර එකේ අයිඩියා එකක් ඇවිල්ල වෙන්න ඕන..ඔව්..මොකක්ද කියන්න බලන්න ක්‍රිෂ් ඔයාගෙ යෝජනාව?" බාලා මාදෙසට අත දිගුකරමින් පැවසූයේ එවිටය. 

"හහ්?...මොකක්ද?" මම නින්දෙන් පිබිදුනාක් මෙන් සභාව සිසාරා නෙත් යොමුකරමින් අසුනේ කෙලින්වී හිඳ ගතිමි. සභාවේ හුන් සියල්ලෝ මවෙත නෙත් යොමුකොටගත්වනම සිටින්නෝය.

"ඔව් ක්‍රිෂ් කියන්න මොකක්ද ඔයාගෙ යෝජනාව?" බාලා යලිත් විමසීය.

"ආ..ආ...මේ..මේ යෝජනාවක් නේද? සංගීත රාත්‍රියක් වගෙ එකක් ගැන මොකද කියන්නෙ?" මම මසිතට මුලින්ම නැඟුනු අදහස ක්ෂණිකවම යලි සමාලෝචනයකින් තොරව පවසා සිටියෙමි.

සභාව පුරා පැතිරගිය මුණුමුණුව මිනිත්තු කිහිපයක් පැවතිනි. එහෙත් කිසිදු විරෝධයක් එල්ල නොවූ බැවින් සියල්ලෝම සංගීත රාත්‍රියක් සංවිධානය කිරීමේ අදහසට අඩු වැඩි වශයෙන් එකඟවන සෙයක් පෙනෙන්නට තිබිණි. එහෙත් සංගීතය යනු ඉතා පුළුල් විෂයයකි. එබැවින් සංවිධානය කල යුත්තේ කුමන අන්දමේ සංගීත ප්‍රසංගයක්ද යන්න පිළිබඳව සභාවෙන් නානා විධ අදහස් සහ යෝජනා ඉදිරිපත් විය.

"කචේරි…. ..අපි කචේරි එකක් කරමු.." සභාවේ පසුපසින් එසේ හඬක් නැඟිනි. බොහෝ දෙනෙක් දෑත් ඔසවා ඊට එකඟත්වය පල කළහ.

"කචේරි? ඒ මොකද්ද ඒ?" මම මා අසලම පසුපස පෙළෙහි හිඳහුන් සරස්වතී දෙස හැරෙමින් විචාලෙමි.

පරිභෝගික සේවා අංශයේ ලිපිකාරිනියක ලෙස සේවය කල සරස්වතී වනාහී දැඩි සම්ප්‍රදායානුකූල යුවතියකි. වසරකට වරක් පමණ වචනයක් හෝ දෙකක් කතා කරන ඇය කිසි දිනෙක තම මුහුණෙහි හෝ අත්වල රෝම ඉවත් නොකලාය. (සරස්වතී මුහුණෙහි සහ අත්වල රෝම ඉවත් නොකිරීම පිළිබඳ කරුණ කිසිසේත්ම මේ කතාවට අදාල නොවන බව මම පිළිගනිමි මා දයාබර පාඨකය...එහෙත් එවැනි දසුනක් දිනපතා ඇස ගැටෙන විට ඒ පිළිබඳව කතා නොකොට සිටීමද බෙහෙවින් දුෂ්කරය.)

"කචේරි එකක් කියන්නෙ කර්ණාටක සංගීත ප්‍රසංගයක්.." මේ වසරට නියමිත වචන හය කථා කල සරස්වතී ලබන වසර තෙක් නිහඬ වූවාය. 

"මොකක්?......මොකක්?.....මේ...මේ...මේ කර්ණාටක සංගීත ප්‍රසංගයක්?..හෙහ්..හෙහ්..මම හිතුවෙ අපි මේ සංවිධානය කරන්ට යන්නෙ මොකක් හරි කට්ටියටම විනෝද වෙන්ට පුලුවන් දෙයක් කියල…" මම හාත්පස දෑස් යොමුකරමින් පැවසූයෙමි. 

"කර්ණාටක සංගීත ප්‍රසංගයක් කියන්නෙ හොඳට විනෝද වෙන්ට පුලුවන් එකක් තමයි.." තම අමනාපය හැඟවෙන සේ එසේ පැවසූයේ ආයතන අංශයේ සුපවයිසර් වරයකුවූ රවීය.

"ඔව්..ඔව්..මොනවට කියනවද ඒ හරිය....බළලෙක්ගෙ බෙල්ල මිරිකුවා වගෙ නැත්නම් සෙනඟ ඊස් මීස් නැතුව පිරිච්ච කෝච්චියක පොඩි එකෙක් යටි ගිරියෙං කෑගහනව වගෙ...හුහ්...විනෝදයක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති අයට හොඳයි කර්ණාටක සංගීතය.." මම නිහඬව මටම කියාගතිමි.

"කාටද අපි ආරාධනා කරන්නෙ?" සභාවෙන් හඬක් නැඟිනි. 

මම අසුනින් නැඟිට බාලා වෙත පියමං කළෙමි. "මිස්ටර් බාලක්‍රිෂ්ණන්..අපිට ඕන අපේ කස්ටමර්ස්ලට විනෝදයක් ලබාදෙන්ට නේද? කර්ණාටක සංගීතය ඒ වගෙ දේකට බරසාර වැඩියි කියල හිතෙන්නෙ නැද්ද? අපිට බැරිද පොප් මියුසික් වගෙ මොකක් හරි කරන්ට? මම කිව්වෙ මේ අර කර්ණාටක සංගීතය තරම් සීරියස් නැති..."

"එහෙනම් ඒ. ආර්. රහ්මාන් තමයි හරියන්නෙ.......නැත්නම් ඉළයරාජා…" සභාවෙන් විවිධ අදහස් ඉදිරිපත් වන්නට විය.



ඒ.ආර්.රහ්මාන් තනුව නිර්මාණය කල ඉතා ජනප්‍රියත්වයට පත් හම්මා..හම්මා...ගීතය ඔබට ඉහත වීඩියෝවෙන් ශ්‍රවණය කළ හැක.


බාලා තම අසුනින් නැඟීසිට දෑත් ඔසවා සභාව නිශ්ශබ්ද කලේය. 

"කරුණාකරල නිශ්ශබ්දව මම කියන එක අහගන්න...අපිට රහ්මාන් ඉළයරාජා වගේ සුප්‍රසිද්ධ අය ගෙන්වන්න කොහොමවත් බෑ..හෙඩ් ඔෆිස් එකෙන් අපිට වෙන් කරල තියන මුදලින් ඒ වගෙ දෙයක් කරන්න බෑ..අනික රහ්මාන් ඉළයරාජා වගේ අය එනකොට අනිවාර්යයෙන් පත්තර ටී.වී. වලිනුත් ඔතනට එනව. කොහොමද ඒ ආපු පත්තර කාරයෙක් ඇහුවොත් ඇයි මේ වගෙ එකක් තියන්නෙ කියල.."

"එතකොට එතන ඉන්න ලක්ස ගාණක් නැතිවෙච්චි අපේ ගණුදෙණු කාරයෙක් ඒ විස්තරේ ලුණු ඇඹුල් ඇතුව ඒ මනුස්සයට කිව්වොත් කොහොමද ඒ අයගෙ සල්ලි කාබාසිනියා කරල දාල අපි මියුසිකල් ෂෝ තියනව කියල? හරිම සනීපයි නේ එහෙම උනොත්...ආය දෙකක් නෑ එහෙම දෙයක් උනොත් එහෙම මුම්බායි හෙඩ් ඔෆිස් එකෙන් පහුවදාම මට එන්ට කියල වෙඩි තියල දානව...ඒ හින්ද නිකං අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ඕන නෑනෙ.."

තවත් හෝරා දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අපි මෙසේ තීරණය කළෙමු. ගණුදෙනුකරුවන් උදෙසා පවත්වන සංස්කෘතිකාංගය කර්ණාටක සංගීත රාත්‍රියක් විය යුතුය. එය පැවැත්වීමට සුදුසුම ස්ථානය වන්නේ චෙන්නයි නගරයෙන් මඳක් ඔබ්බට වන්නට පිහිටා තිබූ ඉහළ පැළැන්තියේ රෙසෝට් එකක්වූ Fisherman's Cove හිදීය.

සාමාන්‍ය මට්ටමක ජනප්‍රියත්වයෙන් යුතු ශිල්පීන්/ ශිල්පිනියන් අවම වශයෙන් තිදෙනෙක් සහ උපරිම වශයෙන් පස්දෙනෙකුට ආරාධනා කල යුතුය. ප්‍රධාන කාර්යාලයෙන් මේ සඳහා වෙන්කොට ඇති රුපියල් ලක්ෂ දෙකක් වූ ප්‍රතිපාදනයෙන් මේ සියළු කටයුතු ආවරණය කොට ගත යුතුය. 

"හරි එහෙනම් ඔන්න අපි හැමදේම තීරණය කරල ඉවරයි...දැන් තියෙන්නෙ හෙට ඉඳල මේ වැඩේ සාර්ථක කරගන්ට හැමෝම එකා වගේ මහන්සිවෙලා වැඩ කරන එක…"

බාලා සිනා පිරිමුවින් යුතුව දෑත් ඔසවා එසේ පවසා අපගේ රැස්වීම අවසාන කරන විට සවස පහේ කණිසමද පසුවී තිබුණි.

"මළ ජංජාලයයි..මෙහේ කචේරි පවත්තන එව්ව ගැන සාකච්චා කරකර ඉඳල හරියන්නෙ නෑ..අරෙහෙ යන්ට එපාය මාමණ්ඩියගෙ හිත දිනාගන්ට....දෙයියම්පල්ල මටත් පට්ටලවෙන වැඩ….." අත් ඔරලෝසුව දෙස බලා එසේ මුමුණමින් මම කඩිමුඩියේ නැඟී සිටියේ ස්වාමිනාදන් මහතා හමුවීම උදෙසා පිටත්වීමටය.

25 comments:

  1. ඕන ඔෆිස් එකක රවි කියල එකෙක් ඉන්නවමයි නේද? නියමයි රවී. Thank you

    ReplyDelete
    Replies
    1. "Ravi" is derived from "Raving"

      Delete
    2. ඉයන්,

      ආය මොනවද රවී කියල හිටියොත් ආය නෑ එළකිරි සහ ජලය තමයි හොඳේ?

      Delete
    3. ප්‍රා,

      මෙහෙ ඉන්න කේරළයො බහුතරයකට රවී කියල කියන්න බෑ...ඒ ගස්ගෝන්නු කියන්නෙම රෙවී කියල....:)

      Delete
  2. /* මම එසේ තොල් මතුරාගනිමින් තනිවම සිනා සෙමින් මගේ ලෝකයේ පසුවූයෙමි. */

    මේන්න මේ ලෙඩේ හින්දා මාත් කාලා තියෙනවා නොසෑහෙන්න පරිප්පු! :D

    ReplyDelete
    Replies
    1. Siththami,

      "Of course I talk to myself..Some times I need expert advice" - Anonymous

      Delete
  3. අදත් සුට්ටයි දැං ඉතින් ෙම්ක තියනකනුත් අවුරුද්දක් විතර බලං හිටපංකො

    ReplyDelete
    Replies
    1. මද්දා,

      කම්මැලි කමකට නෙවෙයි බොල...පොතේ මේ හරියෙ පරිච්ඡේද බොහොම කෙටියි....ඒකයි හේතුව..පහුගිය කොටස් දෙක තුනේම වගෙ එක පරිච්ඡේදයක් එක දවසට ලිව්වෙ.

      Delete
  4. රවී කියන හැම එකාම එක විදියයිද කොහෙද බලාගෙන යනකොට. හැක්..

    ReplyDelete
    Replies
    1. http://ambalangodakatha.blogspot.com/2018/01/blog-post_22.html

      Delete
    2. හෙක්.. එතනත් ඉන්නෙ අංකූර් රවියෙක් තමයි.

      Delete
    3. ප්‍රසන්න,

      ඔව්..ඔව්..ඔක්කොම එකයි වගේ තමයි...:)

      Delete
    4. ප්‍රා,

      කියෙව්ව කියෙව්ව..මරු බඩුවක් නේද?

      Delete
  5. ඔන්නොහෙ පිස්සුවක් නටල බාලට වෙඩි කන්න සලස්සමු.. එතකොට එක හිසරදයක් ඉවරයි නෙව..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      එහෙමම කරන්නත් හොඳ නෑනෙ බං....මොනව උනත් බාලා ඇවිල්ල හොඳ එකා...:)

      Delete
  6. "හම්මා හම්මා"
    ඔය සිංදුව අහනකොට මතක් වෙන්නෙ අපේ ආතව. එයත් කුඹුරු තඩිගහල හොඳටම හානි වෙලා ගෙදර ඇහිල්ලා උදැල්ල බිමින් තියෙන්නේ "හම්මා...හ්" කියල.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ආතා හම්මා කියන්න පටන්ගත්තෙ සිංදුව ඇහුවට පස්සෙද?

      Delete
  7. සින්දු කියන්න මදර් ඉන් ලෝ ව සෙට් කලොත් මොකද? එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බෑ හැකි.

    ReplyDelete
  8. මානවී,

    මේ....යෝදියෙ..ඔහේ පොත කියවල තියේනං සද්ද නැතුව ඉඳහං ඈ...හොඳේ?

    ReplyDelete
    Replies
    1. පොත කියෝල නෑ අනේ. කොටින්ම ෆිල්ම් එකෙත් ඔය කෑල්ල නෑ.
      කියවන් එනකොට සීන් එක තේරෙනව ඉබේම, මෙන්න මේ හේතු නිසා.

      http://ranrandil.blogspot.co.uk/2018/01/556-story-of-my-marriage-57-rules-after.html
      //"ම්හ්ම්ම්ම්.....හොඳ ළමය තමයි.....ඉස්සෙල්ල මට පංගාර්තුවුනේ පුතාට ෆිසික්ස් මැත්ස් ඉගැන්නිල්ල. දැන් අප්පට පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් ඉගැන්නිල්ල. ෂෙහ් අපරාදෙ පන්ජාබ් ඉවුම් පිහුම් හරි මැහුම් ගෙතුම් හරි දැනගෙන උන්න නම් මට තිබ්බ අම්මට එව්ව උගන්නන්ට. එහෙම උනානම් අඩුම ගානෙ වෙන මොනව නැතත් මට ඔයාලගෙ පවුලේ ගුරුවරය හරි වෙන්ට තිබ්බ....."//

      http://ranrandil.blogspot.co.uk/2018/01/556-story-of-my-marriage-57-rules-after.html
      //"මොන පිස්සුද? අම්මගෙ යම් හැකියාවක් තිබුනට ක්‍රිෂ් චෙන්නයිවල කර්ණාටික් මියුසික් ෆීල්ඩ් එකේ යම් පිලිගැනීමක් ලැබෙන්ට ඒක හොඳටම මදි. මෙහෙ ඉන්නව අම්මට වඩා බොහොම දක්ෂ ගායක ගායිකාවො සෑහෙන්න. ඉතිං අම්ම ඔය හින්ද හරිම කණගාටුවකින් ඉන්නෙ. She is really frustrated Krish, She was a house wife from the beginning and singing was her only consolation where she can achieve something. Now it has all been taken away from her..."//

      //"ඒක හරියන එකක් නෑ. මොකද එ එහෙම බැලුවොත් එතනත් අපි හදන්නෙ කස්ටමර්ස්ලට මොනව හරි විකුණන්නනෙ. ඒක හරි නෑ.අපි බලන්න ඕන සම්පූර්ණයෙන්ම විනෝදස්වාදය විතරක් අරමුණු කරගත්තු මොකක් හරි එකක්.."//

      //"ආ..ආ...මේ..මේ යෝජනාවක් නේද? සංගීත රාත්‍රියක් වගෙ එකක් ගැන මොකද කියන්නෙ?"//

      Delete
    2. තව තියනව.

      http://ranrandil.blogspot.co.uk/2017/01/474-story-of-my-marriage-31.html
      //ඒ සමඟම එක්වරම යාබද කාමරයකින් ඇසුණු දීර්ඝ වැළපිල්ලකින් මම තිගැස්සුණෙමි. කිසිවෙකු තවකෙකුගේ ගෙල තරව ගෙන ඉතා සෙමින් ග්‍රහණය දැඩිකරනා විටෙක නික්මෙන්නාවූ ළය විනිවිදයන විලාපයක් බඳුවූ ඉන් මා හදවත කම්පා වූයේ නිතැනිණි.//

      //"ඇයි බය වුනාද? ඒ තමයි කර්ණාටක සංගීතය. තමුන් කලින් අහල තියනව නේද?" මම යටිතොල පෙරළා හිස දෙපසට සොලවා නැතැයි හැඟවීමි.//

      http://ranrandil.blogspot.co.uk/2018/01/560-story-of-my-marriage-59-head-office.html
      //"ඔව්..ඔව්..මොනවට කියනවද ඒ හරිය....බළලෙක්ගෙ බෙල්ල මිරිකුවා වගෙ නැත්නම් සෙනඟ ඊස් මීස් නැතුව පිරිච්ච කෝච්චියක පොඩි එකෙක් යටි ගිරියෙං කෑගහනව වගෙ...හුහ්...විනෝදයක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති අයට හොඳයි කර්ණාටක සංගීතය.." මම නිහඬව මටම කියාගතිමි.//

      Delete
    3. මිස්ටර් රෙවී මම හිතන්නෙත් නැන්දම්මා මේකට සෙට් වේවි කියලා තමයි.

      Delete
  9. ක්‍රිෂ්ට ඊලඟ නාඩගම නටන්න වෙන්නෙ අර ප්‍රසන්ටේෂන් එක හදන්න ගිහාම.. මං නම් මේ ඒක කියවන්න බලන් ඉන්නෙ...

    ReplyDelete
  10. කිරිස් ගොය්යාගෙ මාමණ්ඩියා වගේම,දකුණු ඉන්දියානුවෙක් එක්ක වාසස්ථානය බෙදාගන්න වුනා අදට දවස් හතරයි.හරි සනීපයි!
    දුවෙක් ඉන්නවද? නම අනන්‍යයද? කියලා වෙලාවක අහල බලන්න ඉන්නෙ.
    සමහරවිට මේ කමෙන්ට් එකෙනුත් සාම්බ්‍රානි හඳුන්කූරු සුවඳ එන්න ඉඩතියනව .

    ReplyDelete
  11. ela

    තවත් සින්ඩියක් http://sithuwilisatahan.com

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...