Friday, January 26, 2018

561. The Story Of My Marriage - 60 - " Lemon Rice, Powerpoint Presentations & Getting Closer To Ananya's Father…………"

"එතකොට දැන් අංකල් කියන්නෙ මේ ඔයා හදපු ප්‍රසන්ටේෂන් එක සීයට අනූවක් වගෙ ඉවරයි කියල.....එහෙමද?"

මම හිස හරවා මා අසල හිඳහුන් ස්වාමිනාදන් මහතාගෙන් විමසූයේ මගේ ස්වරයෙහි ගැබ්වූ සෝපාහාසාත්මකත්වය (Sarcasm) හැකි පමණ සැඟවීමට වෑයම් කරමිනි. මගේ භාග්‍යයකට මෙන් ස්වාමිනාදන් මහතාට ඒ පිළිබඳව අවම වශයෙන් බිංදු මාත්‍රයක හෝ හැඟීමක් නොවීය. ඔහු පිළිතුරු දුන්නේ මහත් ආඩම්බරයෙන් හිස සෘජුකොට ගනිමිනි.

"ඔව්..ඇත්තම කියනවනම් මට ඔය වැඩේට සුමාන දෙකක්..ම්ම්ම්..නෑ..නෑ...ඉන්ට බලන්ට...හරි දෙකක් නෙවෙයි...සුමාන තුනක් වගේ ගියා…"

ස්වාමිනාදන් මහතා ඔහු විසින් නිමකල පවර්පොයින්ට් ඉදිරිපත්කිරීම (Powerpoint Presentation) අඩංගු සංගත තැටියක් (C.D.) මවෙත ලබාදී තිබිණි. මම මේසය මතවූ මගේ ලැප්ටොප් පරිගණකයට ඇතුළුකොට එය විවෘත කළෙමි. ආකෘතිකරණය නොවූ (Unformatted) ස්ලයිඩයන් පිරී පැවතියේ නිසිපරිදි බුලට් පොයින්ට්ස් යොදා නොතිබුණු එමෙන්ම  ප්‍රමාණය ෆොන්ට් සයිස් 8 සිට 72 දක්වා පරාසයක විහිදුනු අකුරු සහිත පරිච්ඡේදයන්ගෙනි.

ස්වාමිනාදන් නිවහනේ සාලයෙහි පසෙකවූ විශාල ලියන මේසයක් ඉදිරියේ අප හිඳ සිටියෙමු. අනන්‍යාගේ මළනුවෝ ගෙතුල ඔහුගේ කුටියෙහි කුමන හෝ අධ්‍යයන කටයුත්තක නිරතව සිටියේය. අප තිදෙන හැරුණුවිට නිවසෙහි වෙනත් කිසිවකු නොවූයේය. ස්වාමිනාදන් මහතා මගේ දකුණු උරහිසට ඉහළින් පරිගණක තිරය දෙස එබී බැලීය. මම මගේ සුරතේ දබරැඟිල්ල තිරය වෙත දිගු කළෙමි.

"මේ ස්ලයිඩ්ස් එකකවත් වගු ප්‍රස්තාර තියා අඩුගානේ ඉලක්කම්වත් නෑනෙ. අංකල් ප්‍රසන්ටේෂන් එකකට එව්ව ඕනමයි. නිකම්ම විස්තර විතරක් ලියල හරියන්නෙ නෑ. හරියටම ස්පෙසිෆික් පොයින්ට්ස් වලට ලියන්ට ඕන…"

මම පැවසූයේ ස්වාමිනාදන් මහතා දෝෂ දර්ශනයට ලක්කිරීමකින් තොරව එහෙත් ඒ හා සමඟම සත්‍යය ඇති සැටියෙන් පැවසීමටද යත්න දරමිනි.

"ආ...ඔය ලියල තියෙන විස්තරවලට අදාල ඉලක්කං එතකොට ගණං හිලව් ඔක්කොම තියෙන්නෙ මෙහෙ...." ස්වාමිනාදන් මහතා පැවසූයේ මේසය මතවූ ඔහුගේ බ්‍රීෆ් කේසය විවෘත කරමිනි. 

"මෙතන අවුල වුනේ මේකයිනෙ ක්‍රිෂ්...පවර්පොයින්ට්වල ට ගණං හිලව් දාන්ට මට තාම හරියකට බෑ..ඒකයි මම විස්තර විතරක් ලිව්වෙ..." 

විවෘත කල බ්‍රීෆ් කේසය තුලින් ඔහු පිටතට ගත්තේ තැලී පොඩිවී තැනින් තැන කඩතොළුවූ දුඹුරු පැහැති ලිපිගොනු තුනකි. ඒ එක් ලිපිගොනුවක යටත් පිරිසෙයින් පිටු දෙසියයක්වත් අඩංගුවිය.

"මොනවද මේ?" මම විමසීමි. 

"පහුගිය අවුරුද්දෙ අපෙ බැංකුවෙ ගණුදෙනු විස්තර....."

"අංකල් මම හිතන්නෙ නෑ අපිට මේ විස්තර ඔක්කොම නම් ප්‍රසන්ටේෂන් එකට දාන්න පුලුවන්වේය කියල. ආ මට වැදගත්ම ප්‍රශ්නෙ අහන්නත් අමතක වුනා. දැං අංකල් කවදද මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඕන?"

"අර යස්සය...අර වර්මා කියන එකා කියන්නෙ තව සතියකට වඩා කල් දෙන්න බෑ කියල…."

සතියකින් නොව තව වසරකින් පවා ස්වාමිනාදන් මහතාට මෙය කල නොහැකි බවට මට මගේ මෑණියන්ගේ නාමයෙන් වුවද කිසිදු චකිතයකින් තොරව දිව්රා ප්‍රකාශ කල හැක.

"මොකක්ද කිව්වෙ? සතියකින්?.... අංකල් මේ ස්ලයිඩ්ස් වල ලියල තියෙන්නෙ පහුගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ගෙ බැංකුවෙ බිස්නස් පර්ෆෝමන්ස් විස්තර විතරයි. බිස්නස් ප්ලෑන් එකක් කියන්නෙ අනාගතේ කරන්ට බලාපොරොත්තුවෙන දේවල් ගැන විස්තරයක්. කෝ?...අංකල් එහෙම එකක් ගැන හිතලවත් නෑනෙ ..."

"මම ඒ හරිය හෙට අනිද්ද විතර පටන්ගන්නයි හිටියෙ…." 

දෙතුන් වරක් කෙළගිලීමෙන් අනතුරුව සෙමෙන් උගුර පෑදූ ස්වාමිනාදන් මහතා සිහින් හඬින් පැවසීය.

වමතෙහි වැළමිට මේසය මත තබා අත්ල මතට නළල බරකල මම පරිගණක තිරයෙහි ස්ලයිඩයන් එකිනෙක පිළිවෙලින් නරඹමින් ස්වාමිනාදන් මහතා විසින් පිළියෙල කොට ඇති පවර්පොයින්ට් ප්‍රසන්ටේෂනයෙහි ආරම්භයට ගියෙමි. 

"ඇයි ක්‍රිෂ්?... මම කරල තියෙන එකේ මොකවත් අඩුපාඩු එහෙම තියනවද?" 

මගේ උරහිසට ඉහළින් පරිගණක තිරය දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනා ස්වාමිනාදන් මහතා විමසූයේ සාංකාකූල (Anxious) ස්වරයකිනි.

මම ඔහු දෙසට හැරුනේ මුවඟට මද සිනහවක් නංවා ගනිමිනි.

"ආ..නෑ..නෑ..එහෙමට අවුලක් නෑ...එහෙං මෙහෙං තැන් දෙකතුනකට පොඩි පොඩි එජස්ට්මන්ට්ස් කරන්න තියනව. ඒ ටික කලාම වැඩේ හරි…"

"එතකොට කොහොමද අපි ඒ ටික කරන්නෙ? "

"හරි අපි මෙහෙම කරමු. මට ඉස්සෙල්ලම කියන්න ඔය බැංකුවෙ අංකල්ගෙ රාජකාරිය හරියටම මොකක්ද කියල සවිස්තරව.......ඊලඟට මට කියන්න මෙන්න මේ ෆයිල් වල මොනවද තියෙන්නෙ කියල.." 

මම මේසය මතවූ ලිපිගොනු තුන දෙසට සුරත දිගු කළෙමි.

ඉන් අනතුරුව මම මගේ පරිගණකය අක්‍රියකොට වසා දමා මා හිඳ සිටි අසුන ස්වාමිනාදන් මහතා දෙසට හරවා ගතිමි. 

"හරි දැං පටන් ගන්න."

අනුයාත හෝරා තුනක කාලය තුල රජයේ බැංකුවක නියෝජ්‍ය දිස්ත්‍රික් කළමනාකරුවකුගේ කාර්ය භාරය කුමක්දැයි මම ඉතා පැහැදිලිව අවබෝධ කොට ගතිමි. සත්‍ය වශයෙන්ම රජයේ බැංකුවක කාර්ය මණ්ඩලයට ඉතා භාරදූර වගකීම් සම්භාරයක් පැවරීඇතිබව මම දැනගත්තේ පළමු වරටය. පෞද්ගලික අන්තර්ජාතික බැංකුවල සේවය කරන්නන් බහුතරයක් පරිදි මමද මෙතෙක් සිතා සිටියේ රජයේ බැංකුවල සේවය කරන්නන් බහුතරයක් කිසිදු රාජකාරියක නොයෙදෙන බවය.

රාජ්‍ය බැංකුවල සේවකයින්ගේ කාර්ය භාරයෙන් වැඩි ප්‍රතිශතයක් ගත වනුයේ නොයෙක් වාර්තා පිළියෙල කිරීම්, ඉහළ නිළධාරීන්ගෙන් අනුමැතිය ගැනීම් යනාදිය සඳහා බවද එළෙසම සත්‍යයකි. සත්‍යය වශයෙන්ම රාජ්‍ය බැංකුවලින් කෙරෙනුයේ ව්‍යාපාරික කාර්ය භාරයකට වඩා හුදු ප්‍රතිපත්තිමය කාර්යයකි.

ස්වාමිනාදන් මහතා ඔහු යටතේ ඇති එග්මෝර් ප්‍රාදේශීය කාර්යාලයෙහි කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය විස්තර කරද්දී මම ඈණුමක් අරිමින් සාලයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉහළින් සවිකොට තිබූ බිත්ති ඔරලෝසුව දෙස හිස ඔසවා බැලීමි.

රාත්‍රී නවය පසුවී මිනිත්තු තිහක් ගතව ගොස් තිබිණි.

"සමාවෙන්න මට ඔයාගෙන් රෑ කෑම ගැන අහන්නවත් මතක් වුනේ නෑ…" ස්වාමිනාදන් මහතා පැවසූයේ අසුනින් නැඟී සිටිමිනි. 

"හරි හරි ඒකට කමක් නෑ...ඉන්නකො මම මූණ පොඩ්ඩක් හෝදගෙන එන්නං…" මම ද අසුන පස්සට ඇද නැඟී සිටියෙමි. 

මුහුණ දොවාගෙන මම නාන කාමරයෙහි සිට ආපසු එනවිට ස්වාමිනාදන් මහතා පිඟන් දෙකක් මේසය මත තබා ලෙමන් රයිස් බඳුනක් මයික්‍රෝවේව් උදුනෙහි බහා රත්කරමින් සිටියේය.


ලෙමන් රයිස් පිළියෙල කොටගන්නා අන්දම 
දැක්වෙන වීඩියෝවක් ඉහතින් දැක්වේ.

"සමාවෙන්න මට හරියකට මොකවත් රෑ කෑමට දෙන්න බැරිවුනාට...මේ දවස්වල දන්නවනෙ අනන්‍යයි එයාගෙ අම්මයි දෙන්නම ගෙදර නෑනෙ. අර මේ ළඟ ඉන්න ගෑණු මනුස්සයෙක් ඇවිල්ල කෑම උයල දීල යනව. ක්‍රිෂ් එයි කියල හිතුවෙ නැති හින්ද මම කිව්ව ඔය මොනවහරි පොඩි දෙයක් හදන්නෙයි කියල…."

"හරි හරි ඒකට කමක් නෑ…"

"කුස්සියෙ ෆ්‍රිජ් එකේ මුදවපු කිරි ඇති..ඕනනම් "

"හරි මම අරං එන්නම්.."

මුළුතැන්ගෙය වෙත ගිය මම ශීතකරණය විවෘත කොට මීකිරි බඳුනක් සහ වතුර බෝතලයක් රැගෙන ආවෙමි.

"මංජු කන්නෙ නැද්ද?" මේසයෙහි අසුන්ගන්නා අතර මම විමසූයෙමි.

"මංජු කලින්ම කාල ඉන්නෙ. මේ වෙනකොට මගෙ හිතේ නිදිත් ඇති….එයා පාන්දර හතර වෙනකොට නැඟිටිනවනෙ පාඩම් කරන්න..ඒ හින්ද කොහොමත් කලින්ම කාල කලින්ම නිදිය ගන්නව."

අපි කතාබහකින් තොරව ආහාර ගතිමු. ස්වාමිනාදන් නිවසෙහි මට ප්‍රථම වරට ආගන්තුක බවකින් තොර සුහදත්වයක් දැනෙන්නට විය. සතියකට දින තුනක් ස්වාමිනාදන් දෙමහල්ලන් මට ඔවුන්ගේ නිවසෙහිදී උදෑසන ආහාරය ලබාදුන් බව සැබැවි. එලෙසම ස්වාමිනාදන් මහතා මට එම දිනයන්හි කාර්යාලය වෙත ඔහුගේ මෝටර් රථයෙන් රැගෙන ගිය බවද එලෙසින්ම සැබැවි.එහෙත් ඒ කිසිදු විටෙක මට ඔවුන් කෙරෙහි කුළුපගභාවයක් නොදැනිනි. එහෙත් අද ඒ තත්වය වෙනස්වී ඇති බව මට නිතැනින්ම හැඟෙන්නට විය.

"තව දාගෙන කන්න.."

ස්වාමිනාදන් මහතා මගේ පිඟානට ලෙමන් රයිස් හැඳි කිහිපයක් බෙදමින් පැවසීය. ඔහු මගේ වීදුරුවට ජලයද පිරවීය.

රාත්‍රි ආහාරයෙන් පසු අපි තවත් හෝරා දෙකක පමණ කාලයක් වැඩෙහි යෙදුණෙමු. ක්‍රමයෙන් ස්වාමිනාදන් මහතා නිදිකිරා වැටෙන්නට වූයේය. 

"මටත් නිදිමතයි අංකල් මමත් එහෙනම් යන්නං.........හෙට ඔෆිස් යන්නත් එපාය.......අර..........එකොළහමාරත් වෙලා…" 

මම අසුනින් නැඟිටිමින් පැවසූයෙමි.

"ඔව්..එහෙම කරමු..මම හිතුවෙම නෑ මේ වැඩේට මේහැටි වෙලාවක් ගතවෙයි කියල" 

ස්වාමිනාදන් මහතා ඔහුගේ ලිපිගොනු පිළියෙල කරමින් පැවසූයේ අත් ඔරලෝසුව දෙසද බැල්මක් හෙලමිනි.

ස්වාමිනාදන් නිවහනින් පිටවන ප්‍රධාන දොරටුව අසලදී මම ඔහු අමතා ඉදිරි වැඩ පිළිවෙල විස්තර කළෙමි. 

"අංකල් දැන් මෙහෙමයි වැඩේ කෙරෙන්නෙ. හෙට අපි හදමු ප්‍රසන්ටේෂන් එකේ හෙඩිංස් සහ සබ් හෙඩිංස්. ඊලඟට ස්ලයිඩ්ස් පණහක් හදනවනම් ඒ පණහටම නම් දාමු. ඊලඟ දවසෙ ඒ කියන්නෙ අනිද්ද ස්ලයිඩ්ස් වල ඇතුලෙ ලියවෙන්න ඕන එව්ව ලියමු. ඊට පස්සෙ ඉන් අනිද්ද අපි පටන්ගමු අවශ්‍ය කරන චාට්ස් වගු ප්‍රස්ථාර එහෙම හදන්ට..."

"හරි ක්‍රිෂ් ඔයාට වැඩේ තේරෙනවනෙ...හොඳ විදිහක් කරමු…."

අප දෙදෙන හේට්ටුවෙන් පිටතට පැමිණියෙමු. 

"දැං හුඟක්ම රෑවෙලා නේද? මම එන්නද ඔයාව බෝඩිමට බස්සවන්න?"

"නෑ ඕන වෙන එකක් නෑ අංකල්. ටිකක් රෑ වුනාට ත්‍රී වීලර් තියනවනෙ. මම යන්නම්. මංජුට කියන්න මම අනිද්දට ආපහු එන්නම්ය කියල.."

"හරි ක්‍රිෂ් මම කියන්නම්. එහෙනම් තෑන්ක්යූ සෝ මච්…"

"Anytime Uncle…"

මම එසේ පවසා මගේ ලැප්ටොප් බෑගයද කරේ දමාගෙන ත්‍රිරෝද රියක් අපේක්ෂාවෙන් දෙපසට දෑස් යොමු කරමින් පාලුවට ගිය වීදිය ඔස්සේ ඇවිද ගියෙමි.

60 comments:

  1. ක්‍රිෂ් දැන් නම් නියම දකුණු ඉන්දියානුවෙක් බවට හැරෙමින් ඉන්නව :)

    අර ලෙමන් රයිස් එක හොඳටම වෙජිටේරියන් විදියට හැදුවේ ඇයි කියල කල්පනා කලාම මතක් උනේ දකුණු ඉන්දියානුවො ඔක්කොම ෆුල් වෙජිටේරියන් බව.

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ එමා, නන්වෙජ් අය ඕනෑ තරම් ඉන්නවා. හැබැයි බ්‍රහ්මින් ල පියෝ වෙජ්. ඔය ආදී වශයෙන් දකුණු ඉන්දියාවෙ කුල ක්‍රමය අනුව. දකුණු ඉන්දියානු කුල ක්‍රමය හා චාරිත්‍ර ගැන කියන්නට යාම එකම හිසරදයක් නිසා ඒ ගැන නං අහන්නට එපා.

      Delete
    2. අපි එක්ක සෞදියේ හිටපු බ්‍රහ්මින් බුවාලනම් කුකුල්ලු දෙසා බෑවා මදි නොකියන්න...

      Delete
    3. ඔවුන් හොරෙන් මස් කනවා කණ පැලෙන්න බොනවා කිය කියා වෙන ජාතිවල එවුන් සවුත්තුවට කියන්නෙ ඒ උනාට වැඩේ ඇත්ත.

      Delete
    4. ඇයි ඔය අනන්‍යත් කන්නේ කුකුල් ගාත් පිටිං.. හෙහ්..

      Delete
    5. එක් මානවික්ස්,

      මොන වෙජ්ද මට හම්බවුනු දකුණු ඉන්දියානුවො සීයට අනූවක්ම මස් මාලු කනව. අනික ඉතිං මේ වගෙ රටකට ආහම හිත කොන්ටෝල් කොරගන්ටත් අමාරුයිනෙ.

      ඔන්න එහෙ ඉන්නකොට අවුලක් නෑ. රෙස්ටොරන්ට් ඔක්කොම වෙජ්නෙ..හෙහ්..හෙහ්..

      මෙහෙ එහෙමද? පාරට බැස්සොත් හතර වටින්ම එන්නෙ බාබකිව්, කෙබාබ් එහෙම නැත්තං බිරියානි ෂවර්මා සුවඳ...නහයක් තියෙන එකෙක් කොහොමද කියහංකො අහක බලාගෙන යන්නෙ?

      මම දන්න එකෙක් ඉන්නව ඒ වගෙ රෙස්ටෝරන්ට් එකක් ලඟින් යනකොට ඔලුවට කොට්ට උරයක් දාගන්නව. උගෙ යාලුවො ඌව අත් දෙකෙන් අල්ලගෙන තමයි ඒ ටික එක්කං යන්නෙ...

      Delete
    6. හැලප්ස් ඇන්ඩ් එල්ඩර් සන්,

      ඔව් බං ගොඩක් එවුං පිටරට ආහම මස් මාලු කනව..ආය ගිහිල්ල ප්ලේන් එකෙං බහිනකොට වෙජිටේරියන් වෙනව...මම දන්න එවුං දෙතුන් දෙනෙක්ම එහෙමයි..උන්මයි මට කිව්වෙ...

      Delete
    7. කළ්‍යාණ,

      ඔව්..ඔව්..මම ඒ දෙවෙනි නැත්නම් තුන්වෙනි කොටසෙ අනන්‍යා කුකුළ් අණ්ඩක් කන සීන් එහෙක ෆොටෝ එකකුත් දැම්මද කොහෙද..හෙහ්,හෙහ්,

      Delete
    8. ඒකත් එහෙමද?

      මම කල්පනා කලේ අර බැදුමට තියන තරමක් ඔක්කොම කජු ජාති පුරවන එකේ බිත්තරයක් වත් එකතු නොකළේ මොකද කියල. ඒකයි හිතුවේ වෙජිටේරියන් නිසා වෙන්නැති කියල.

      ඔහොම සීන් එකක් දැනන් හිටියේ නැතෝ :D

      Delete
  2. හරි රවී. එහෙනම් තෑන්ක්යූ සෝ මච්…

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      යූ ආ පුරුසවල්කම් මයි ඩියර් ඉයන්...:)

      Delete
  3. ලොක්කා, ආං අර ඌවේ මහ ඇමැත්තා ගුරුවරියක් උල තියලා. ඔහෙටඒ ගැන කියන්න මොකුත් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඒ.. චන්දෙකුත් අත ළඟ. මෙව්ව ගැන තමුන්නැහැගෙ අදහස් මහජනයා උදක්ම වතුර වගේ බලාපොරොත්තු වෙන්වා.

      Delete
    2. උඹ කුණුහරුප නාහ හිටු.

      Delete
    3. ශ්‍රංග උඹ මේ යකාව අවුස්සලා අපෙන් මැරුම් කන්නයි හදන්නේ...

      Delete
    4. ශ්‍රංග,

      අම්මට වූඩු එහෙමත් එකක් නේද? ඒ ගැනත් ලියන්නංකො මොනවහරි එහෙනං..

      Delete
  4. මේ විදිහට කොණ්ඩා ගස් විස්සක් විතරත් මේ ලෙමන් බතට එනව නැතෑ?

    ReplyDelete
    Replies
    1. රවි ගේ බත් සේෆ්

      Delete
    2. සුරංග,

      අඩේ මටත් ඒක හිතුන මේ වීඩියෝ එක බලද්දි..

      අනික ඔය වීඩියෝ වල උයන බබලත්තු කොණ්ඩ වනාගෙන මයි ඉන්නෙ බැරැස්සියො වගේ. එව්වට සනීපාරක්සක නීති නැද්ද මන්ද..

      අන්න ඒකට මෙහෙ...කුකාල එක්කො තට්ටෙ ගාන්ට ඕන..නැත්තං කොණ්ඩෙ වැහෙන්ට තදට තලප්පාවක් වගෙ එකක් බැඳ ගන්ට ඕන..ඒකටත් කැමති නැත්තං කෑම උයන වෙලාවට ඔලුව දෙපරැන්ද අස්සෙ නැත්තං කිරිපල්ල අස්සෙ ගහගෙන ඉන්ට ඕන..

      නගර සබාවෙ සනීපාරක්සක අන්සෙන් හිටපු ගමං කඩා පයිනව චැක් කොරන්ට..ඔලුව දෙපරැන්දෙ හරි කිරිපල්ලෙ හරි තිබ්බෙ නැත්තං කෙලිම්ම අල්ලගෙන ගියා..පැය විසිහතරක් ඇතුලත එක්ස්පෝට් ටු ස්‍රී ලංකා....අන්න එහෙමයි මෙහෙ වැඩ..යූ අන්ඩස්කර්ට්? නෝ සෙල්ලං....

      Delete
    3. ප්‍රා,

      අන්න බලන්න ප්‍රා "එව්රි බ්ලැක් ලයිනිං හෑස් අ සිල්වර් ක්ලවුඩ්" කියන්නෙ ඒකනෙ...

      Delete
  5. ඔහොම යං. ‍ඔහොම යං.
    අන්තිමට ක්‍රිෂාගෙ ප්‍රසන්ටේසන් එක තේරුං ගන්න අන්කල් කාරයට වෙනම මොළේකුත් හයිකරගන්න වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ..නෑ..අංකලය ගානට ගේම දෙනව..බලාගෙන ඉඳහංකො උඹ...:)

      Delete
  6. අර ගෑණු ළමය හදන්නෙ බත් එකක්ද පෲට් සැලඩ් එකක්ද ‍බොල.

    ReplyDelete
    Replies
    1. "ආ..නෑ..නෑ..එහෙමට අවුලක් නෑ...එහෙං මෙහෙං තැන් දෙකතුනකට පොඩි පොඩි එජස්ට්මන්ට්ස් කරන්න තියනව. ඒ ටික කලාම වැඩේ හරි…"

      Delete
    2. බත් එකේද හදන එක්කෙනාගෙද. හැක්..

      Delete
    3. ප්‍රසන්න,

      ඔවුංගෙ කෑම එහෙම තමයි බං...

      Delete
  7. මුං දෙගොල්ල කතාබහ කරපු භාෂාව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අණ්ඩර දෙමළ. අඹටත් තෙරෙන එකනේ

      Delete
    2. සුරා,

      ඉංග්‍රීසියෙං ඉංග්‍රීසියෙං...මාමණ්ඩියට හින්දි බෑ...කිරිස්ට දෙමළ බෑ...

      Delete
    3. හින්දි බෑ කියුවම ඉන්දියාවේ ලෙඩක් නේද? මුම්බායි නිව් ඩිල්හි වගේ ඉඳන් කියුවොත්නම් ගොඩක් උන්ට මලපනිනවා..

      Delete
  8. අන්කල් කාරය කළින් හිටපු විදිහට දැන් පුසෙක් වගේ වෙලානේ...

    අර අංගනාව හදපු දෙහි යුෂ දැමු කහබත ගෙදර ගිහින් හදල බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඔය බත හරි රහයි. කාල බලල කියපන්කො.

      Delete
    2. තව ඕකට මුද්දරප්පලනුයි, රටඉඳියි අඩුයි මයෙ හිතේ.

      Delete
    3. කෙසෙල්ගෙඩි, වරකා, සීනි, යූරියා

      Delete
    4. කෑම කෙසේ වෙතත් කටුකම්බි, ගැරඬි, නයි, පොළොංගු දාල පෙරාගෙන බොන්න තමයි වෙන්නෙ එහෙනං.

      Delete
    5. ලොක්කා,

      හදල බලහං...හදල බලහං ...අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ...ඔය හැලපෙ එහෙම කියල තියෙන්නෙ මාර රහයි කියල...

      Delete
    6. මුන් මෙතන කසියා ටියුෂන් එකකුත් දාලනේ කමෙන්ට් අතරේ...

      Delete
  9. මේක ඔයිට ලේසියෙං හැදියැකි. මික්ෂර් බයිට් එකට බත් කලවං කරල බැට්ටි ඇසිඩ් ඩිංගක් කලවං කරන්න විතරයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම හදල උඹල දෙන්න කෑවට කමක් නෑ ඔය පූස් තඩියන්ට එහෙම දෙනව නෙමෙයි.

      Delete
    2. සුරා,

      ඒකත් නරකම නෑ අයිඩියා එක...හෙහ්,හෙහ්...

      Delete
  10. ක්‍රිෂ්ට දැම්ම පාට් හැටියට දැන් නිකන්ම සයිලන්ස් වෙලානෙ... මට ශුවර් නැත්තෙ වැඩේ ඉවර උනාම ආයෙත් පරන මනුස්සයාම වෙයිද කියලා... කමක් නෑ කමක් නෑ බලමුකෝ...

    ආ ඒක නෙවෙයි අය්යෙ.. ඊයේ හචිස් ගියේ නැද්ද (ලංකාවෙ වෙලාවෙන 11-30 ත් 12-30 අතර වගේ) වෙලාවකදී.. මොකද ඊයෙ ස්තමී අක්කයි අපි ඔයා ගැන කතා කළානේ...

    ReplyDelete
    Replies
    1. යස්, මං ගියානේ ඊයේ මේ නගාලගෙ දිහෑ. රවි අයියගෙ වගේම තව ගොඩක් කට්ටියකගෙ නහය දැවිල්ල ගන්ඩ ඇති නේද අපි කියවපු හැටියට? :D

      Delete
    2. නිර්මාණී ඇන්ඩ් සිත්තමී,

      /ආ ඒක නෙවෙයි අය්යෙ.. ඊයේ හචිස් ගියේ නැද්ද (ලංකාවෙ වෙලාවෙන 11-30 ත් 12-30 අතර වගේ) වෙලාවකදී.. මොකද ඊයෙ ස්තමී අක්කයි අපි ඔයා ගැන කතා කළානේ... /

      ආ..ඒ උඹල දෙන්නද? දැනගත්ත එකත් හොඳයි...මට ඊයෙ උදේ ඉඳලම ලූස් මෝසං...ඒ පාර හවස ගිහිල්ල බෙහෙතුත් ගත්ත. රුපියල් 12,000 විතර ගියා බෙහෙත් වලට. බොලා දෙන්න මට ඒ ගාන ගෙවපල්ල. මොකද මට ෂුවර් ඇන්ඩ් ෂොට් මට ලූස් මෝසං හැදුනෙ බොලා දෙන්න හින්ද..

      ඒ කියන්නෙ මට කවුරු හරි අසබ්බිය වචනෙන් දොස් කිව්වොත් ලූස් මෝසං හැදෙනව...ඒක මයෙ ජාන වලම තියනව..අපෙ අම්මටත් එහෙමයි..අර මම කාලෙකට ඉස්සර ලිව්වනෙ දඩයක්කාරයගෙ කතාව කියල එකක්. ඒක ලියනකල් අපෙ අම්මට ලූස් මෝසං.

      Delete
    3. Ayyata oya hedichca eka paachanaya, kolaraava, atheesaaraya tharamata ugra novichcha eka gena sathutu venta ayya! :D

      Delete
  11. අන්න එහෙමයි professional විදිහට මාමණ්ඩිලාගේ හිත දිනාගන්නේ. නියමයි අයියෙ... ආ සොරි වැරදුණා, නියමයි ක්‍රිෂ්! :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      අන්න ඒකනෙ....

      Delete
  12. මේ කියන්න අර කලින් කියපු බුවා ගැනමද?

    ReplyDelete
    Replies
    1. මද්දා,

      ඌම තමයි බොල...ඌම තමයි...

      Delete
  13. ඔන්න ඔහොමනෙ මාමල බෑනල ඉන්න ඕනෙ. තව ෂොට් එකක් එහෙම දානවනම් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      අඩේ කතාව කලින් කියවල තියේ නං සද්ද නැතුව ඉඳු....හෙහ්,හෙහ්..එහෙම දෙන්නත් එක්ක ආතල් එකක් ගන්න සීන් එකක් ඉස්සරහට තියනව...හෙහ්..හෙහ්..

      කොටිම්ම අනන්‍යයයි අම්මයි ගෙදර එනකොට මාමටි බෑණයි කරට අත දාගෙන නටනව.."මගෙ සුදු මාමණ්ඩිට සිව දෙවියෝ සරණයි...මගෙ හොඳ බෑණන්ඩිට ගණපතිගේ සරනයි"

      Delete
  14. කම්මල ය කියල තියෙනවා වගේ කොහොම හරි අඩියක් ගහන්න සෙට් කර ගත්තා නම් අනන්‍යා ව බැන්දා වගේම තමයි.. :)))

    ReplyDelete
  15. සුපිරියී...
    ස්තූතියි මෙහෙම ඉක්මනට පොස්ට් ලියනවට

    ReplyDelete
  16. කමෙන්ට් ටික කියෙව්වහම කතාව මතක නෑ.

    අර කසිය බත් එක මරු. ඊට හතයි සුරංගගෙ මික්සර් - බැටරි ඇසිඩ් රයිස් එක.

    රවි කිව්ව වගේ, අර කුක්ල ඔලුව ගහගන්ඩ ඕනෙ තමුංගෙම කිරිපල්ලෙද?

    ඒම කොල්ලද දන්නෑ මං දන්න කටාර්වාසී බ්ලොගර් කෙනක් ඉන්නව, කොණ්ඩෙ හොඳටම අඩු...

    ටූ ස්ටේට්ස් ෆිල්ම් එකේ අන්තිමේ නං දාන හරියෙ තියෙනව අර ක්‍රිෂ්ගෙයි මාමණ්ඩිගෙයි ඩාන්ස් පාර.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියවලා මං මලා

      Delete
  17. ක්‍රිශා ගොඩ දාගත්ත නේද එහෙනම් , රවියත් මෙහෙම්ම නේද වැඩේ ගොඩ දාගත්තේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...