Friday, February 16, 2018

567. 21 වන වර්ණදේහය සමඟ පියකු සහ දියණියක අතර සෙනෙහස ගැන කතා දෙකක්....

"No one in this world can love a girl more than her father"


අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර මම ලිව්ව ඩවුන් සින්ඩ්‍රෝමය නොහොත් ඩවුන් සහලක්ෂණය ගැන වියුණු සටහනක්.


මගෙ පිලිපීන ජාතික මිතුරෙකුගෙ කුඩා දියණිය එම රෝගයෙන් පෙළෙන්නියක වීම තමයි ඒ වියුණු සටහනට නිමිත්ත වුනේ. ඒ එක්කම ඩවුන් සහලක්ෂණය ගැන ලියවුනු අමරසිරි පීරිස් ගයන ගීතයක් ගැනත් මම ලිව්ව.  

මගෙ මිතුරගෙ නම එමර්සන්. ඒ කිට්ටුවම වගෙ මම වෙන ආයතනයක රැකියාවකට ආව නිසා ස්වභාවිකවම සිදුවිය යුතු ලෙස එමර්සන් සහ මම අතර සබඳකම් දුරස්වුනා. 

ඒ තමයි ලෝකෙ හැටි. ජීවිත ගමනෙදි අපට දහස් සංඛ්‍යාත මිනිසුන් සහ ගැහැණුන් හමුවෙනව. ඒ අතරින් බොහොම සුළු ප්‍රතිශතයක් එක්ක පමණයි අපි තවත් දුරටත් සම්බන්ධතා පවත්වගන්නෙ. බහුතර ප්‍රතිශතයක් එක්ක සබඳතා ළඟින් ආශ්‍රය කරපු කාලෙට සීමා වෙනව.

“Some people come into our lives and quickly go. Some stay for a while, leave footprints on our hearts, and we are never, ever the same.” ― Flavia Weedn

මේ දවස් තුන හතරකට වගෙ ඉස්සරවෙලා සුපර් මාකට් එකක බඩු ගන්ට ගිහිල්ල ඉද්දි මට හම්බවුනා එමර්සන්ගෙත් මගෙත් යාලුවෙක් වුනු ඉන්දියානුවෙක්. නම ජයචන්ද්‍රන්. කාලෙකට පස්සෙනෙ හම්බවුනේ. අපි දෙන්න ලහි ලහියෙ බඩු ගන්න අනික් පරිභෝගිකයින්ට ඉඩ දීල පොඩ්ඩක් පැත්තකට වෙලා සතුටු සාමීචි කතා බහක නියැලුනා. කතාව අපේ පරණ පොදු (Mutual) යාලුවන් කෙරෙහි යොමුවුනා. මම එමර්සන් ගැන ඇහුව.

"Jaya what about Emerson? Do you two still work for the same company?"

"It's a really  sad story Ravi…."

"What happened?"

"Emerson had a little daughter & I don't know if you are aware that…………"

"Yeah, I know she had down syndrome..Emerson once invited me for a Christmas lunch. I met his daughter there... Melody was her name.. A really sweet little girl…"

"Oh..then you know that he adored her…"

"Yes I remember him hugging her and calling her my little angel…"

"Yes, she died about six months back…"

"Oh no…"

"And Emerson resigned from the job and went back to Philippines with his wife and the son…"

"Oh  I am really sorry to hear that…"

"Me too…you know Emerson was devastated….She  was the whole world to him…"

තමන් එතරම් ආදරය කල දියණියගේ වියෝව පිළිබඳව එමර්සන්ට දැනුනු අන්දම ගැන කවියක් දෙකක් ලියන්ට ඕන කියල මම හිතාගත්තෙ එදා ආපහු එනකොටමයි.

මුදු ගැහුනු කෙස් කැරලි එකින් එක අතගගා,
සෙමින් සිපගතිමි මුව කිරිසුවඳ වෑහෙනා,
දුවේ හාපුරා කියා නුඹේ වත දුටු එදා,
මතකයක් තවත් නැත  එලෙස සිත සුවදෙනා,

ස්නේහයේ අසනි වැසි හද තෙමා ඇද වැටුනු,
දිනක මතකයක් ඇත මගෙ නෙතට කඳුළු ඉනු,
මියෙන දා අවසාන සුසුම නික්මෙනා තුරු,
නුඹේ මුදු සිනහ බිඳ නැඟේ මසිතට සොඳුරු,

ජීවිතය විඳින්නට කියා දුන්නේ නුඹය,
සිත තවන වේදනා මකා හැරියෙත් නුඹය,
තාත්තේ කියා හදදොරින් එබෙනා සඳය,
මගෙ දුවේ නුඹේ මදහසත් කිරුළක්සේය,

නුඹ අකල් වැස්සක්ය මදිවි කතරට පතිත,
නෙතඟ රස අඳුනක්ය සිතෙහි ගිණි නිවාලන,
විහඟ ගීතයක්මය සවන් සනහා ගැයෙන,
සෙනෙහෙබර කවියක්ය සදා මුවගෙහි රැඳෙන,


**********************************


ඒ එක්කම අපූරු අහඹු සිද්ධියකුත් වුනා. පියකුගේ මරණය දියණියකට දැනෙන අන්දම ගැන ලියවුණු අපූරු කවි පෙළක් මම වත් පොතේ දැක්ක. 

මේ අපූරු කවි පෙළ  මම ඇත්තටම මීට කලිනුත් කියවලයි තිබුනෙ. මේ පාර පළකරල තිබ්බෙ ශානිකා ශෂිප්‍රියාගෙ වෝල් එකේ....

මේ පියා සහ දියණිය සාමාන්‍ය පියෙක් සහ දියණියක් එහෙම නෙවෙයි. අපේ ජාතියේ ආදිතමයා හැටියට ජනකතාවල කියවෙන සිංහයා සහ ඔහුගේ දියණිය සිංහ සීවලී. කවි පෙල ලියල තියෙන්නෙ ඉසුරි උදානි කරුණාතිලක......


සිංහයාගේ දියණිය 
------------------------------

තාත්තේ මම සිංහ සීවලී වුණා නම් 
ගල් ලෙනෙන් යන්නැතුව ඉන්නවා,
කවුළුවෙන් එබී ගෙන තාත්තා එනතුරා 
හැමදාම හවස්වරු ගෙවනවා.

නින්ද එනකම් රෑට ඔබේ උරහිස් තලේ 
හිස හොවා කතන්දර අහනවා,
මහා භයානක සද්ද කැලෑවෙන් ඇහෙනකොට 
අත් පසුරෙ ගුලි වෙලා නිදනවා.

අයිය ලෙන් දොර ඇරන් යන්න යමු කීවාම
බෑ කියා මම ලෙනේ ඉන්නවා,
නියං දුර්භික්ෂ මැද අපේ හාමත නිවා 
බඩගින්නෙ හිටපු හැටි මැවෙනවා.

නුවර මං පෙත් වැසූ ලෙන් දොරට ඇතුලතින් 
මට මහා නිදහසක් දැනෙනවා,
නුවරු මුව පුරවගත් චාටු වදනට වඩා 
මට ඔබේ ගර්ජනා වටිනවා.

වීදිවල සරද්දී සිංහ බා සොයාගෙන,
තාත්තාගෙ පස්සෙන්ම දුවනවා,
අයිය දුණු දිය ඇදන් ඊතලේ ගන්නකොට,
පළිහක්ව මැදින් හිට ගන්නවා.

තාත්තේ මම සිංහ සීවලී වුණා නම්,
නාටකේ අග වෙනස් කරනවා,
තාත්තට මියෙන්නට නොදී එසැණින් ඇවිත්
ඊ හිසට පපුව පා මැරෙනවා.

සිංහබා බලද්දී වැටුණු කඳුලක දෙකක
තාත්තේ මං ඔබව සොයනවා,
එදාටත් වඩා අද ඔබෙ උරිස්සේ සුවය 
නැති අඩුව මට තදින් දැනෙනවා.

- ඉසුරි උදානි කරුණාතිලක -

23 comments:

  1. ගොඩක් ඩවුන්ස් සින්ඩ්‍රොම් දරුවන්ට බොහෝ රෝග තිබිය හැක.. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉපදීමෙදිම, හදවත් රෝගීන්, ඊට අමතරව ලියුකේමියා, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් , දියවැඩියාව වැනි රෝග ගණනාවක්ම ඔවුන් අතර සුලභයි.
    රවී මාමා ඒ ගැන සමහර විට ලියලා ඇති. මට මේ ලිපිය කියෙව්වම මතක් වුනේ ඒ ගැන. ඒ නිසයි ලිව්වේ...
    තව ඔවුන්ගෙන් සමහරෙක්ට විවිධ හැකියා තිබෙන්න පුලුවන්.
    මං දන්න ළමයෙක් ඉන්නවා එයාගේ ඇඟ මාර විදියට නම්‍යශීලී.. ඉතින් ලංකාවේ එවැනි ළමුන්ට මොනවා හරි වැඩ සටහන් තිබේ නම් හරි. මොකද ම්ං කිව්ව ළමයට ජිම්නාස්ටික් උගැන්නුවා නම්, ආබාදිතසාග් උලෙල වැනි අවස්ථාවන් වලට වගේ සහභාගි වෙන්නතිබුනා.. ලංකාවේ එවැනි වැඩසටහන් නැති නිසා අබාදිත නොවූ අයටවත් ඉදිරියට යන්න හැකියාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. Aru,

      /රවී මාමා ඒ ගැන සමහර විට ලියලා ඇති. මට මේ ලිපිය කියෙව්වම මතක් වුනේ ඒ ගැන. ඒ නිසයි ලිව්වේ... තව ඔවුන්ගෙන් සමහරෙක්ට විවිධ හැකියා තිබෙන්න පුලුවන්. /

      ඔබ හරි ඒ ගැන මම කලින් ලියපු ලිපියෙදි ලිව්ව....:)

      /මෙතනදි සිද්ද වෙන්නෙ මේ අතිරික්ත වර්ණදේහයෙ බලපෑම හින්ද ශරීරයෙ නොයෙක් වෙනස් කම් ඇතිවෙනවට අමතරව වර්ධනයට පවා බාධා ඇතිවෙනව. මානසික ආබාධයන්ට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාව,ඉගෙනීමේ අපහසුව, පළල් පැතලි මුහුණ, කෙටි නාසය, අසාමාන්‍ය ලෙස විශාල දිව,දත්වල විකෘතිතා,සහජ හෘද රෝග, අසාමාන්‍ය ලෙස විශාල වූ මහාන්ත්‍රය, එකිනෙකට ඈතින් පිහිටන පා ඇඟිලි, එල්ලා වැටෙන පේශි, අසාමාන්ය ශ්‍රෝණි මේඛලාව; මේ සංකූලතාවයන් ඩවුන් සහලක්ෂණයෙන් පෙලෙන්නන්ගෙන් බොහෝ දෙනෙකුට පොදුයි.

      හැබැයි මෙහෙම දේකුත් තියනව. මේ ලක්ෂණ හැමෝටම එක විදිහට බලපාන්නෙත් නෑ. පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ඒ වගේම ඒ සංකූලතාවයන් බලපාන තීව්‍රතාවයත් එහෙමයි.හැමෝටම එක විදිහට බලපාන්නෙ නෑ. ලෝකයෙ ඩවුන් සහලක්ෂයෙන් පෙලෙන උදවිය බොහොම දෙනෙක් ඉන්නව තමන්ගෙ සීමාකාරි සාධකත් එක්ක රැකියාවක් කරමින් සාර්ථක ජීවිත ගතකරන අය. ඒ වගේම විවාහ වෙලා දරුවන් ලබාපු අයත් ඉන්නව./

      /මං දන්න ළමයෙක් ඉන්නවා එයාගේ ඇඟ මාර විදියට නම්‍යශීලී.. ඉතින් ලංකාවේ එවැනි ළමුන්ට මොනවා හරි වැඩ සටහන් තිබේ නම් හරි. මොකද ම්ං කිව්ව ළමයට ජිම්නාස්ටික් උගැන්නුවා නම්, ආබාදිතසාග් උලෙල වැනි අවස්ථාවන් වලට වගේ සහභාගි වෙන්න තිබුනා/

      ඇත්තටම ඒ දරුවන්ගෙ දක්ෂතා අනුව ඉදිරියට යන්නට වැඩ පිළිවෙලක් තියනවනම් හරිම වටිනව...

      Delete
  2. දුක්ඛ දායක සිදුවීමක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මොනවා කියනවද මලේ?...:(

      Delete
  3. මම ඒ ඒ මගේ එෆ්බී වෝල් එකේ ශෙයා කරපු සිංහයාගේ කවිය කියවපු වෙලේ ඇස් තෙත් උනා වගේම ඔබේ කවිය කියවලත් ඇස් තෙත් උනා.තාත්තෙකුට දුවෙක් අහිමි වීම වගේම දුවෙකුට තාත්තෙක් අහිමිවීමත් එකම සමාන දුකක් වේදනාවක් තමා.බොහෝ කාලයක් තිස්සේ මම මේ වේදනාවෙන් එකක් විඳින කෙනෙක්.මේ වගේ කවි කතා ළඟ මගේ හිත බොහොම සංවේදී වෙනව ඒ නිසාම.ස්තූතියි ඉතින් මාව ඇඩෙව්වටත්, මම ශෙයා කරපු ඉසුරිගේ කවිය මෙහෙම අගය කිරීමත්.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      බොහොම ස්තූතියි සඳා....

      අර මගෙ යාලුවට සිදුවුනු හිත කම්පාකරවන සිද්ධිය නිසා පපුව කීරිගැහිල තියෙද්දි තමයි ඔයා ෂෙයාර් කරපු ඉසුරිගෙ කවිය ආයෙමත් කියවන්ට ලැබුනෙ...:(

      Delete
  4. මේ වගේ ළමයි කළල අවස්ථාවේම අදුනා ගෙන විනාශ කර දැමිය යුතුය. මිනිස් අනාගතය ශක්තිමත් කල හැකි අයවලුන් මිසක මෙවැනි අය ඉදිරි ලෝකයට වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නරුම අදහසක් වගෙ එක පාරටම පෙනුනත් ඔබ කියන කරුණත් යම් තරමකට සත්‍යයක්...

      දුර්වල ජාන මිනිස් ජාන කිටුවෙන් (Human Gene Pool) ඉවත්වෙනවා වෙනුවට වර්තමානයෙදි වෛද්‍ය විද්‍යාවෙ දියුණුව නිසා වෙන්නෙ ඒ ජාන තවදුරටත් පවතින එක. ඉතින් අපි කුමක් කල යුතුද කියන එක උභතෝකෝටික ප්‍රශ්ණයක්...

      ජාන විද්‍යාත්මකව සහ සදාචාරාත්මකව බලනකොට පේන්නෙ දෙවිදිහකට..පොඩි අතරමැද සම්මුතියකට (Compromise) ආවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ...:)

      Delete
    2. ඊයේ මම ඇඬුවෙමි.

      ඒ මෙම ඇනෝ කොමෙන්ටුව සහ එයට රවී දමා තිබුණු පිළිතුර කියවීමෙන් පසුවය.

      ඩවුන්සින්ඩ්‍රෝමයෙන් පෙලෙන පුතෙකු ලද මොහොතේ ඇඬු මා ඊයේ ඇඬීම අරුමයක් නොවේ.

      මා ඊයේ ඇඬුවේ එවැනි දරුවන් මරා දැමීමට යෝජනා කිරීම වෙනුවෙනි.

      මා ඊයේ ඇඬුවේ රවීගේ පිළිතුර වෙනුවෙනි.

      මා ඊයේ ඇඬුවේ දොලොස් වියට එළඹෙන වයසේ සිටින මගේ පුතා වෙනුවෙනි.

      මා ඊයේ ඇඬුවේ මා වෙනුවෙනි.

      මා ඊයේ ඇඬුවේ මගේ පියා වෙනුවෙනි.

      මා ඊයේ ඇඬුවේ ලොව සියළු ඩවුන්සින්ඩ්‍රෝමයෙන් පෙලෙන පුතුන් සහ එම දරුවන්ගේ පියවරුන් වෙනුවෙනි.

      Delete
    3. මා එම ප්‍රතිචාර දෙකම උදේ කියෙව්වත්, ඇතිවුන විස්මය නිසා යමක් ලියන එක අතහැර දැමුවා. එම යෝජනාවේ තියන ඩිසයිනර් දරුවන් හැදීමේ සංකල්පය කොතරම් විසංවාද භයානක එකක්ද කියන එක, එහෙම යෝජනා කිරීමෙන්ම පැහැදිලියි. අනාගතයේ මිනිසාගේ ජාන සියල්ල හඳුනා ගත් විටක, අන්තවාදී නැඹුරුවක් සහිත මනසක් හිමි වෙන්න තියන දරුවන් (උදාහරණයක් පමණයි) ආදී වශයෙන් ඉවත් කර මේ සමාජය යහපත් කිරීමට යෝජනා ඉදිරිපත් වුනොත් කොහොමද? ඇත්තටම, අපගෙන් කි දෙනෙක්, ඔය විදිහට තෝරා ගත්තොත්, මෙලොව එලිය දකීවිද?

      වෛද්‍ය විද්‍යාවේ දියුනුවේ තියන ආශ්චර්යයත්, ආර්ථික දියුණුවත් කියන්නේ, අප සමාජයේ ඉන්න සියල්ලටම, ජීවත්වීමට (හැකි පමණින් අනුන්ට කරදර නොකර) ඉඩ ලැබීමම නේද? මා හිතන්නේ බටහිර සමාජය මෙවැනි කරුණු අතින් ලෝකයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඕනෙම දරුවෙකුට අධ්‍යාපන අවස්තා සලසා තිබීම ඕස්ට්‍රේලියාවේ මා දකින හොඳම දෙයක්.

      Delete
    4. අනුන්ගේ අදහස් කියවා කුමට හඬනවද..කුමට තැවෙනවද..වැදගත් වන්නේ අනුන් නොව තමන් සිතන ආකාරයි..තමන් සිතන ආකාරය අනුන්ට ඔප්පු කීරිමක් අවශ්‍ය වන්නේ කුමට ද..

      Delete
    5. ඇනෝ,

      /මා ඊයේ ඇඬුවේ එවැනි දරුවන් මරා දැමීමට යෝජනා කිරීම වෙනුවෙනි./

      ඔබේ සිතට ඇතිවූ වේදනාව ගැන මට කණගාටුයි. ඒත් මම පැවසූ කරුණුවල සත්‍යතාවයට එයින් කිසිම බලපෑමක් වෙන්නෙ නැති බවත් කිවයුතුයි.ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙනා දරුවන් මරා දැමිය යුතුයැයි මම කිසිවිටෙක අදහස් නොකලෙමි..

      මගේ අදහස නම් පිළිසිඳගත් කළලයක් ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙනබව සැකහැර දැනගත්විය ගබ්සාවක් කර ගැනීමේ අයිතිය සහ නිදහස දෙමව්පියන්ට දියයුතු බවය.

      /ජාන විද්‍යාත්මකව සහ සදාචාරාත්මකව බලනකොට පේන්නෙ දෙවිදිහකට..පොඩි අතරමැද සම්මුතියකට (Compromise) ආවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ../

      එසේ රෝගී දරුවන් මරා දැමිය යුතු යැයි අදහස් කලේනම් මම මෙසේ Compromise එකක් පිළිබඳව කථා කරන්නේ නැත. මම කියන්නට උත්සාහ කලේ එවන් රෝගී දරුවන්ට දරුවන් ඇතිකිරීමට ඉඩ නොදීම වැන්නකි. එහෙත් එවැන්නක්ද සදාචාරාත්මකව ප්‍රශ්ණයක් බව මම ඒ සමඟම පැවසූයෙමි.

      කරුණාකර වරදවා වටහා නොගන්නා මෙන් යලිත් ඉල්ලා සිටිමි.

      Delete
    6. රයිගම්,

      / එම යෝජනාවේ තියන ඩිසයිනර් දරුවන් හැදීමේ සංකල්පය කොතරම් විසංවාද භයානක එකක්ද කියන එක, එහෙම යෝජනා කිරීමෙන්ම පැහැදිලියි/

      ඩිසයිනර් දරුවන් හැදීමක් ගැන එතන කියන්නෙ නෑ නේද?

      ඒ මහත්මයා හෝ නෝනා මහත්මයා කියන්නෙ ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙලෙනවායයි ස්ථිරවම හඳුනා ගත් දරුවන් කළල අවස්ථාවේදීම විනාශ කල යුතු බවයි.

      මම එක හෙලාම ඒ යෝජනාවට එකඟ වෙන්නෙ නෑ. මම කියන්නෙ එහෙම වෙලාවක ගබ්සා කලයුතුද නැද්ද යන තීරණය ගන්නට දෙමව්පියන්ට ඉඩ දිය යුතුයි කියලයි.එහෙම දරුවකුට ලැබිය යුතු ආදරය කරුණාව සහ සෙනෙහස ලබා දීමට වගේම කලයුතු විශේෂ කැපවීම කිරීමට තමට හැකිබව දෙමව්පියන් තීරණය කරනවා නම් ඒ අයට ඒ අවස්ථාව ලැබිය යුතුයි.

      එහෙම නැතුව එවන් දරුවකු මෙලොවට බිහිවීමට ඉඩ දීම ඒ දරුවාට කරන හතුරු කමක් සහ ඒ වගකීම කැපවීම කරන්නට තමන්ට නොහැකියි කියල තීරණය කරන අයට ගබ්සා කිරීමේ අයිතිය ලබා දිය යුතුයි.මම අදහස් කලේ එපමණයි. Nothing more nothing less...

      Delete
    7. නැහැ රවී, මා කියන්නේ වෛද්‍ය විද්‍යාව මේ ප්‍රශ්න වලට විසඳුම් සොයනවා. ඒ සොයන්නේ //මිනිස් අනාගතය ශක්තිමත් කල හැකි අයවලුන්// විතරක් ඉතිරි කර ගන්න ඕනිය කියන සංකල්පයෙන් නොවේ. අප හැමගේම ජීවිතය මෙයට වඩා පහසු කරන්න. එය සංකල්පයක් ලෙස කොතරම් භයානකද කියා හිට්ලර් අපට පෙන්වා දී තියනවනේ. මා කියන්නේ එවැනි "ශක්තිමත් කරන අය" කියන නිර්ණායකයට කොතරම් නිර්වචන තියෙන්න හැකිද කියන එකයි. අප අතරින් කි දෙනෙක් එහෙම සමාජයක ඉතිරි වේවිද? ගබ්සා කර ගැනීමේ අයිතිය ගැන මෙතැනදී මා හිතුවේ නැහැ.

      //ඒ මහත්මයා හෝ නෝනා මහත්මයා කියන්නෙ ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙලෙනවායයි ස්ථිරවම හඳුනා ගත් දරුවන් කළල අවස්ථාවේදීම විනාශ කල යුතු බවයි.// විවිධ හේතු වලට, තම ගැබ්ගැනීම (නියමිත කාලයක් ඇතුලත) ඉදිරියට නොගෙන යාමට කාන්තාවට ඇති අයිතිය, සාපේක්ෂ ලෙස දියුණු සමාජ වල තහවුරු කර තියනවනේ.

      Delete
    8. //මගේ අදහස නම් පිළිසිඳගත් කළලයක් ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙනබව සැකහැර දැනගත්විය ගබ්සාවක් කර ගැනීමේ අයිතිය සහ නිදහස දෙමව්පියන්ට දියයුතු බවය.//
      අදහස් දෙකටම සම්පුර්නයෙන්ම විරුද්ධයි රවී. ජෝසෆ් මෙන්ගෙල් කරපු ඒවා හොඳයි කියල කියෝපු කට්ටියකුත් හිටියා. හුඟක්ම නොකියා ඇති මොලය සම්පුර්ණයෙන්ම වැඩ කරන්නේ නැති ළමයි ගබ්සා කරන්න මෙහෙත් ඉඩ දෙනවා. ඒ අර ජිවත් වෙන්න චාන්ස් එකක් ටියේ නම් අම්මා කැමති නම් අවුලක් නැහැ.
      කොහොමත් ඉතින් හොඳින් වැඩෙන ළමයි උනත් ගබ්සා කරන්න පුළුවන්නේ අවශ්‍ය නැත්නම්

      Delete
  5. Replies
    1. අඳුරෙන් ආලෝකයට,

      කියෙව්වෙමි...:)

      Delete
  6. ඇඩෙනවා.. සිරාවටම..

    'මෙලඩි' ට සුභ ගමන්.. එමර්සන් යුවලට මාගේ කණගාටුව!

    ReplyDelete
  7. ඩවුන් සහලක්ෂණය වගේම තරමක් අසාමාන්‍ය විදියට පෙනෙන දරුවන් ලැබෙන, ඒත් අඳුරගන්න අමාරු සහ ඒ සඳහා ප්‍රමාණවත් අවදානයක් යොමු නොවුනු තවත් සහලක්ෂණයක්.. Asperger syndrome... ලන්කාවෙත් තරමක අවදානයක් තිබුනත් මම හිතන්නෙ තවමත් සමහර දරුවො ග්‍රහ අපලවලට යටවෙලා යනව මිස අදාල රෝග විනිශ්චය ලබලා ප්‍රතිකාර ලබන්නෙ නෑ... කුඩා කාලෙම අඳුරගත්තොත්... වඩා සාර්ථක ජීවිත ගතකරන්න එයාලට පුළුවන්...

    Chejana

    ReplyDelete
  8. කවි පෙළ දෙකම ලස්සනයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...