Wednesday, May 2, 2018

579. The Story Of My Marriage - 65 - Mr. Swaminathan Pours His Heart Out & Lungi Dancing….

මම අංකල් දිහාවෙ කටත් බාගෙට ඇරගෙන බලා ඉන්දැද්දි මෙන්න මේ මනුස්සය එක පාරට තාලෙ ඇල්ලිල්ල නවත්තල සෝපාවෙ කෙලින් වෙලා වාඩිවෙලා මගෙ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. අප්පට සිරි....මේ මොකද වෙන්ට යන්නෙ? මෙච්චර විස්කි එක පාරට බීල පුරුදු නැතුව අංකල්ට මොකක් හරි වෙන්ටවත් යනවද? නෑ...මම මේ කිව්වෙ මාරාවේස වෙලා වගෙ මගෙ බෙල්ල මිරිකන්ට යනවවත්ද? 

මම කෝකටත් කියල සෝපාවෙ ඉස්සරහටම වෙලා පා ඇඟිලි වලට බර දීල ඉස්සරහට නැමිල සූදානම් වුනා. සෙනිකව ආත බූත කඩාගෙන දුවන්ට ඕන නම් එහෙම තමයි හොඳම ඉරියව්ව. මට ඔය ගැන කියල දුන්නෙ හතරෙ පන්තියෙ විතර ඉන්දැද්දි ඉස්කොලෙ වෙලාවෙන් පස්සෙ හවස අපිට කරාටෙ උගන්නපු සර්. 

ඔය මම කියන ඒ සර් ඇත්තටම ඇවිල්ල අපේ ඉංග්‍රීසි ගුරුතුමා. ඉංග්‍රීසි වහේම මනුස්සය කරාටෙත් දන්නව. ඉස්කොලෙ වෙලාවෙන් පස්සෙ හවස අපිට ඔය කරාටෙ ඉගැන්නුවෙ නොමිලේ. සර්ගෙ වචන මට අද වගෙ මතකයි.

"මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට ගහන්නෙ බැරිම උනොත් වෙන කිසිම විකල්පයක් නැත්තං විතරයි. ඒ කියන්නෙ වෙන වචන වලින් කිව්වොත් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන සටනකට එළඹෙන්නෙ නැතුව මඟ ඇරල යන්ට. ඒක ලැජ්ජාවක් නෙවෙයි.සටනකින් තොරව ප්‍රශ්ණයක් විසඳගන්නව කියන්නෙ ඒක තමයි හොඳම ක්‍රමය... "

ඉතිං අපේ ඉංගිරිස් කුම් කරාටෙ සර් කියපු පඬි වදන් මතකයට කැඳවමින්  අර උසේන් බෝල්ට් ගොයිය ඔලිම්පික් හන්නන් මීටස් පයිනල් එක දුවන්ට ලැහැත්ති වෙලා දන නමාගෙන ඉන්නව වගෙ ආතබූත කඩාගෙන දුවන්ට ලැහැත්ති වෙලා හිටියට එහෙම ඕන කොමක් උනේම නෑ. මයෙ ගල ග්‍රහනයෙන් ගෙන කුළල මිරිකන්ට වගෙ අදහසක් මිට්ටර් සාමිනාදංගෙ තුං හිතකවත් තිබිල නෑ. එවුන්ද ඒ කන්ට වගෙ මගෙ මූන දිහා බලා ඉඳල තියෙන්නෙ මට යම් කාරනාවක් කියන්ට. හුහ්....කවුද ඒ වගක් දන්නෙ? කියන්ට එපාය..අපරාදෙ බය වෙච්චි පාර බඩට දාගත්තු විස්කි වලින් තුන්කාලක් විතරම කොහෙද නැතුවම හිඳිලත් ගියානෙ...

"ඔය වර්ම ගොයිය කියාපු එක කතාවක්නම් මට කවදාකවත් අමතක වෙන එකක් නෑ.." අංකල් මගෙ මූනෙං ඇස්දෙක ඉවතට නොගෙනම කිව්ව. 

"මොකක්ද ඒ?"

"මිනිහ මගෙං අහනව ස්වාමිනාදන් තමුසෙ දන්නවද අපෙ ටොප් මැනේජ්මන්ට් එක තමුසෙව ජී.එම්. කරන්නෙ නැතුව ඩෙපියුටි ජී.එම්. කරල මාව දිල්ලියෙ ඉඳල ජී.එම්. කරල එව්වෙ ඇයි කියල?"

"ඇත්තට ඇයි එහෙම උනේ?" මම ඇහුව.

"හරියටම දන්නෙ නෑ. ඒත් වර්ම කිව්වෙ නම් මෙහෙමයි. තමුසෙල දකුණු ඉන්දියානුවො ටොප් ක්ලාස් නම්බර් ටූ ඔෆිසර්ස්ල. ඒ උනාට නම්බර් වන් තනතුර දුන්න ගමං තමුසෙල කෙලිම්ම නාගන්නව. ආය ඒකෙ කතා දෙකක් නෑ."

අංකල් දෙතුන් පාරක් ඔලුව හොල්ලල මෙතෙක් වෙලා ගත්තට වඩා ටිකක් විතර වැඩිපුර ෂොට් එකක් උගුරට හලාගත්ත. අංකල්ටත් දැන් වැඩියි. මටත් වැඩියි. ඒත් කොච්චර බීල හිටිය උනත් අංකල්ගෙ ඇස් දෙකේ වේදනාව අඳුනගන්න මට අමාරුවුනේ නෑ. මොනව කියන්නද කියල හිතාගන්න බැරුව මම තව වඩියක් වීදුරුවට වක්කර ගත්ත.

"තත්..තමුන් ඒ කතාවට එ..එකඟ වෙනවද?" අංකල් වචන පැටලි පැටලි ඇහුව. 

"ඒ ගැන මට හරියටම කියන්න බෑ මිස්ට ස්වාමිනාදන්.....අනික මගෙ බොස් ඇවිල්ල දකුණු ඉන්දියානුවෙක්."

"ඔව්..ඒ..ක...හර්රි..අනික තමා රස්සාවක් කරන්න පටන්ගෙන තවම මාස දෙකක් වත් වුනේ නෑනෙ. ඒ හින්ද ඒ වගෙ දෙයක් ගැන යමක් කියන්න බැරිවෙන එකේ කිසිම පුදුමයක් නෑ. ම්ම්ම්.."

අංකල් ටික වෙලාවක් බිම බලාගෙන හයියෙන් හුස්ම ගත්ත. 

"සමහරවිට වර්ම හරි වෙන්න පුලුවනි කියලත් මට හිතෙනව. මම කැපිල පෙනෙන්ට, එතකොට ප්‍රසිද්ධියට කැමතිම නෑ. ඒ මගේ හැටි. මම දන්නව මම මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඕන. ඒත් මට එහෙම උවමනාවක් කොහෙත්ම නෑ."

"ඇයි ඒ?"

"ඇයි කියන්නෙ මම හිතන විදිහට දැනුම හැකියාව කියන්නෙ ප්‍රදර්ශනය කරන්න ඕන දේවල් නෙවෙයි. මම හොඳට සාර්ථකව යමක් කලොත් අනික් අය මම ගැන , මගේ හැකියාව ගැන පැහැදෙයි. එච්චරයි මට ඕන. එහෙම නැතුව අර වර්ම වගෙ පුලුවන් එකයි බැරි එකයි ඔක්කොම පැනල බදාගන්න මම කැමති නෑ. ලැජ්ජ නැති මිනිහ..."

මම හෙමිහිට ඔලුව වැනුව. අංකල් කියපු දේට එකඟයි කියල පෙන්නනවට වඩා මට ඕන වුනේ මම කතාවට සාවධානව ඇහුම්කන් දුන්නයි කියල පෙන්නන්නයි. අනික මොකවත්ම නොකිය බස්ස වගෙ ඔලුව වනන එකෙත් තියනව මහ අමුතු ඥාණවන්ත බාවයක්. දෙකක් දාගත්තම මට සොයංකීයව එනව ඔය ඥාණවන්ත කොම.

මම නොකඩවා ඔලුව වනන එක දිහා අංකල් බලාගෙන හිටියෙ ටිකක් නොරිස්සුමෙන් වගෙ. මේ යකා ඔලුව වනනව මිසක් මොකවත්ම කියන පාටක් නෑනෙ එහෙම හිතනව ඇති බොහෝවිට..හෙහ්,හෙහ්.. 

"මොකද කියන්නෙ? මම කියපු දේට එකඟද නැද්ද?" අංකල් අන්තිමට ඇහුව.

"It depends…" මම බැරිම තැන එහෙම කිව්ව. 

"Ok,...depends on what?" අංකලුත් වැඩේ අතාරින පාටක් නෑ.

"හරි මම මෙහෙම අහන්නම්කො…" මම හිස් වීදුරුව ටීපෝ එක උඩ තියල හරි බරි ගැහිල වාඩිවුනා. "අංකල්ව ජෙනරල් මැනේජර් නොකලම අංකල් හුඟක් කළකිරුනද?"

අංකල් ආයම මාව කන්න වගෙ බලා හිටිය මිනිත්තු බාගයක් විතර. ඊටපස්සෙ ඉස්සරහට නැමිල මා දිහාට කිට්ටු උනා. 

"මම ඔයාට පොඩි කාරණාවක් කියන්නම් ළමයා.....මොකක්ද නම කීවෙ?"

හ්ම්ම්ම්....මදැයි...මම හිතුවෙ විස්කි බෝතලෙත් ඉවර වෙන්ට කිට්ටු එකේ අංකලුයි මායි බොහොම කිට්ටු වෙලා කියල. බලනකොට මේ යස්සයට මගෙ නමත් මතක නෑ. හැබැයි එක අතකට ඒකෙ එච්චර හිතන්න දේකුත් නෑ. අංකල් නකතං වෙන්න දාලනෙ ඉන්නෙ. මටත් දෙතුන් පාරක්ම මගෙ නමත් අමතක වෙන තරමට වැදිල තියනව..කිව්වම මොකද ආය?

"මගෙ නම ක්‍රිෂ්නෙ අංකල්.."

"හරි හරි අයෑම් සොරි..මට අමතක වුනානෙ..මේ විස්කි ටිකක් සැරයි වගෙ...හරි ඉතිං මම මේ කියන්න ආවෙ....අවුරුදු දහයකට පහලවකට වගෙ ඉස්සර මට බොහොම හොඳ ඔෆර් දෙකක්ම ආව. Both were from very prestigious multi-national banks. ඒත්මම ඒ දෙකටම බෑ කිව්ව. මම වැඩකරපු තැනට මම ආදරය කලා. ගෞරව කලා.මම හිතුව අපේ ටොප් මැනේජ්මන්ට් එක මටත් ඒ විදිහට ගෞරවයෙන් සලකයි කියල. මගෙ එකම බලාපොරොත්තුව වුනේ රියටර් වෙන්න ඉස්සර ජී.එම්. පෝස්ට් එකේ එක දවසක් හරි වැඩ කරන එක. මේ මට ලැබුනු අන්තිම අවස්තාව. තව අවුරුදු පහකින් මම රිටයර් වෙනව. ඒ හින්ද මම අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටිය. ඒත් අපෙ ලොක්කො කරපු වැඩේ මේ වර්මව එව්ව දිල්ලියෙ ඉඳල ජී.එම් පෝස්ට් එකට. ඔයාට හිතාගන්න පුලුවන් නේද මගෙ හිතේ තියන වේදනාව...."

අංකල් දිගටම කියවගෙන යනව. මම දෙපායුග දිග ඇරල සෝපාවෙ ඇන්දට ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක තදින් පියාගෙන අංකල්ගෙ කියවිල්ලට ඇහුංකන් දුන්න.

"ඒ කියන්නෙ අපි ඇත්තම කතා කලොත් අංකල් ලොකු හිත්වේදනාවකින් ඉන්නෙ. එහෙම නේද?"

"නැත්තං අයිසෙ... ඒක ආය කියන්ටත් දෙයක්ද?...."

අංකල් එකපාරටම මට කඩාපැන්නෙ නැද්ද? ඒත් ඒ එක්කම මනුස්සයටම ලැජ්ජ හිතුනද කොහෙද…

"අයෑම් සොරි ක්‍රිෂ්..අයෑම් සෝ සොරි…"

"හරි හරි අංකල් ඒක ගණං ගන්න එපා..දැට්ස් ඕකේ…" මම නැඟිටල විස්කි බෝතලේ කොහෙද කියල විපරම් කලා.

"ඒ කලකිරීම මගෙ හිතේ තවමත් තියනව මහ විසාල ගලක් හිරවෙලා වගෙ...හැබැයි මම අද මේ ඔයාට කියනකල් කිසිම කෙනෙකුට මේ ගැන එක වචනයක් කිව්වෙ නෑ... අඩුම ගානෙ රාධාටවත්...අද මට වැඩියි..ඒකයි මම මේ බහුබූත කියවන්නෙ…"

"හරි හරි ඒ ගැන වද වෙන්න එපා..ඔය ඉඳල හිටල ටිකක් වැඩිපුර බිව්වට මොකවත් දෝසයක් වෙන්නෙ නෑ. හරි අපි දැන් බලමු අංකල්ගෙ ප්‍රශ්ණෙ ගැන."

කොච්චර බිව්වත් මට එකක් තියෙන්නෙ ඕනම ප්‍රශ්ණයක් ගැන ඇනලිටිකලි කතා කලෑකි අහං ඉන්න මිනිසුන්ගෙ කටවල් ඇරෙන්ට. බොරුවක් එහෙම නෙවෙයි ඔන්න...හෙහ්,හෙහ්…

"අංකල්ගෙ ප්‍රශ්ණෙ ගැන බැලුවොත් අංකල්ට බ්‍රාන්ච් එකේ ලොක්ක වෙන්න ඔච්චරම ආසයි නම් අපි බලමු කොහොම හරි ඒ තැනට එන විදිහක්. හැබැයි එකක් තියනව.."

මම කතාව නවත්තල තව එකක් වක්කරගත්ත. වීදුරුවත් අරගෙන ආපහු හැරෙනකොටත් අංකල් අසිපිය නොහෙලා මගෙ දිහ බලාඉන්නව…

"ඇයි අංකල්?..." මට පොඩි බයකුත් වගෙ ආව..ජලා හුටා මේ මනුස්සයට හාට් ට්‍රබල් එකක් වත්ද? "ඇයි? අංකල් ඇයි? …" මම විගහට අංකල් ගාවට ගියා.

"ඇයි කියල අහන්නෙ මොනවද ළමයො? මම මේ අර ඔය ළමය කියන්ට ආපු එක කියල ඉවර කරනකල් බලාගෙන ඉන්නෙ…."

"ඇයි?..මොකක්ද මම කියන්ට ආවෙ?"

"ඇයි අර කිව්වෙ හැබැයි එකක් තියනව කියල....මොකක්ද ඒ තියන එක කියලයි මට දැනගන්ට ඕන…"

"මොකක්ද….? හරි හරි ඔන්න මතක් වුනා..මම කියන්ට ආවෙ අද ඕනම ක්ෂේත්‍රයක අදාල විෂය දැනුම තිබුනටම මදි. මාකටිං ගැනත් ඉහල මට්ටමේ දැනුමක් අත්‍යාවශ්‍යයයි විශේෂයෙන්ම ඉහළ තනතුරකට යන්ට බලාපොරොත්තුවක් තියනවානම්…"

"හ්ම්ම්ම්…..ඔව් මම පිළිගන්නව..ඔය ළමයි ඉතිං ඔව්ව ගැන අපිට වඩා දන්නවනෙ…"

"ඒ වගේම මොන දේකට හරි තමන්ගෙ දක්ෂතාවයක් හැකියාවක් තියනවනම් ඒක තමන්ගෙ උසස් නිලධාරීන්ට වගේම සම මට්ටමේ නිලධාරීන්ටත් පෙන්නන්න ලැජ්ජ වෙන්න එපා. එහෙම කරන එක කොහොමවත්ම තමන්ගෙ තත්වය පහත දමාගැනීමක් නෙවෙයි."

අංකල් වචනයක්වත් කතා නොකර ඔලුවෙ අත්දෙක ගහගෙන බිම බලාගෙන හිටිය. 

"සමාවෙන්න මම කතා කලා සැර වැඩිනම්…" මම සෝපාවෙ ඉඳගෙන අංකල් දිහාට හැරුන.

"නෑ..නෑ...සමාව ඉල්ලන්න දෙයක් නෑ. ඔය ළමය හරි. මම මගෙ තියන හැකියාවෙන්වත් ප්‍රයෝජනයක් ගන්න දන්නෙ නැති නිකම්ම නිකමෙක්.."

අංකල්ගෙ කටහඬ වෙව්ලුව. මේ මනුස්සය මෙතනම ඉකි ගගහ අඬයි කියල මට බය හිතුන.

"මම එහෙම කිව්වෙත් නෑ..කියන්නෙත් නෑ..හරි අපි දෙන්න නෙවෙයිද මේකෙ තියන ප්‍රසන්ටේෂන් එක හැදුවෙ?" මම මෙසේ උඩ තියන මගෙ ලැප් එක දිහාට අත දික්කලා. 

"ඔයා හිතන්නෙ මම මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඕනමයි කියලද? අවංකවම මට කියන්න ක්‍රිෂ්…...මට ඒක හරියට කරගන්න පුලුවන් වෙයිද?" අංකල් ඇහුව.

"Yep, My dear you will kick arse" මම කිව්ව. 

"මොකක්?"

"Sorry, I said do you want ice?"

"එපා…" අංකල් ඔලුව හෙල්ලුව. 

"අංකල් කිසි දේකට බය වෙන්න එපා. ඔයාට මේක කරන්න පුලුවන්. එහෙම තදින්ම හිතාගන්න. හෙට උදේ වර්මට කියන්න ප්‍රසන්ටේෂන් එකත් අංකල්ම කරන්නම් කියල. මිනිහට කොපියක්වත් දෙන්න එපා."

"ඒ කියන්නෙ මට වර්මත් එක්ක කැත්තට පොල්ල වගෙ ඉඳල තමයි මේ වැඩේ කරන්න වෙන්නෙ…"

අංකල්ට පොඩි හිනාවකුත් ගියා. මට පේන්නෙ හිමිජ්ජ වගෙ හිටියට අංකල්ගෙත් පොඩි වලියට බර ගතියකුත් තියනව වගෙ. හෙහ්..හෙහ්..එක අතකට අහන්ටත් දෙයක්ය. අර යෝදිගෙ තාත්ත නෙව.

"ඊළඟට තව එකක්..මීට පස්සෙ හරියට වැඩ කරල විතරක් මදි අංකල්. මිනිස්සු විශේෂයෙන්ම ඉහල නිලදාරීන් දැනගන්න ඕන අංකල් වැඩක් කරනව කියල. ඒකයි ඉහල යාමේ රහස. වැඩ කරනවට වැඩිය වැඩ කරනවයි කියල පෙන්නන එක. දැං උදාහරනෙකට ගමු මගෙ බොස් මිස්ටර් බාලා. අපේ ඔෆිස් එකෙන් ලබන මාසෙ තියන්න යනව මේ  සංගීත සන්ධ්‍යාවක්ද මොකක්ද එකක්. බාලා අද හවස් වරුවෙන් බාගයක් ගත කලේ ඒකෙ විස්තර අපේ හෙඩ් ඔෆිස් එකේ ඉන්න කන්ට්‍රි මැනේජර්ට ටෙලිෆෝන් එකෙන් කියමින්. කොටින්ම ඒකෙදි කන්න දෙන කෑම වට්ටෝරුව පවා අර මනුස්සයට කිව්වනෙ. ඉතිං ලොක්කා හිතන්නෙ බාලා තමයි මේ ඔක්කොම ඕගනයිස් කරන්නෙ ශහ් මේ මනුස්සය මාර වැඩ කාරයෙක්නෙ කියල. එහෙම තමයි මේ ලෝකෙ කොහෙත් වැඩ කටයුතු සිද්ද වෙන්නෙ අංකල්....අංකල්ට විතරක් ඒ පාරෙන් පිට පනින්ට බෑ..."

අංකල් මගේ දිහා බලල ඔලුව වනල ඊට පස්සෙ බර කල්පනාවකට වැටුන. මම අත් ඔරලෝසුව දිහා බැලුව. මල ජංජාලයයි...දෙකට මිනිත්තු තුනයි. මට දිග ඈණුමකුත් ගියා.

"හරි අපි නිදියගමු…" අංකල් දනිපනි ගාල නැඟිට්ට. "ඉන්නකො…" එහෙ කියල මනුස්සය ගේ ඇතුලට ගිහිල්ල මට ලුංගියකුයි බැනියමකුයි ගෙනත් දුන්න. "මෙව්ව හොඳද?"

හොඳ තමයි...මම ජීවිතේට ලුංගියක් ඇඳල නෑ...පිස්සුද අයිසෙ?..මේ මොන කෝලමක්ද මේ? කියල කියන්න මගෙ කටට ආවත් මම කිව්වෙ "හොඳදත් කියල තව අහනව..මල් හතයි" ...අන්න එහෙමයි.

(Note - තමිල්නාඩුවෙ ලුංගි කියන්නෙ අපි ඔය සරම කියන වස්තරේටමයි…)

සාලෙත් එක්කම එහා පැත්තෙ තිබ්බ අමුත්තන්ගෙ කාමරය අංකල් මට පෙන්නුව. මම ඇඳේ ඉඳගත්ත. ලුංගියයි බැනියමයි මගෙ උකුල උඩ. 

"ක්‍රිෂ්ගෙ අනාගත බලාපොරොත්තු මොනවද? කවදක හරි සිටි බැංකුවෙ එම්.ඩී. වෙන එක?" අංකල් කාමරෙන් එලියට යන්ට ගිහිල්ල දොරගාවදි ආපහු හැරිල ඇහුව. 

"අපොයි නෑ..මගෙ බලාපොරොත්තුව ලේඛකයෙක් වෙන එක…."

"මොකක්ද කිව්වෙ?" අංකල් ආපහු හැරුන. 

"එම්.ඩී. කන්ට්‍රි මැනේජර් එව්වයින් මට වැඩක් නෑ…." මම කිව්ව.

"ඒ කියන්නෙ ඔයා සිටි බැංකුවෙන් අස්වෙනවද?"

"ඔව්..හැබැයි දැන්මම නෙවෙයි. මගෙ හිතේ තියෙන්නෙ ඉස්සෙල්ල අවුරුද්දක් දෙකක් මෙතන වැඩ කරල කීයක් හරි ඉතුරු කරගන්ට."

"එතකොට... ඊට පස්සෙ? අස් වෙනවද? මොකද ඔයාගෙ අම්ම තාත්ත මේ ගැන කියන්නෙ? එයාල කැමතියිද මේකට?"

"හරි හරි ඔව්ව වෙන්නෙ දැන්මම නෙවෙයිනෙ. අපි එතකොට බලමු. අංකල් ගිහිල්ල නිදාගන්න. අමතක කරන්න එපා හෙට ප්‍රසන්ටේෂන් එක. You should be fresh and alert to make a convincing presentation"

අංකල් සාලෙ ලයිට් එකත් නිවාගෙන ගියා. මම බාත් රූම් එකට ගිහිල්ල ලුංගිය ඇඳගන්න ට්‍රයි කලා. මේ කෙහෙල්මල කොහොමවත් ඉනේ හිටින්නෙ නැති හැටියක්. අන්තිමට මම කලේ කලිසමේ බෙල්ට් එක ගලවල ඒකෙන් ලුංගිය ඉණට තියල තදකරගත්ත. හප්පා යන්තම් ඇති. මම ගිහිල්ල ඇඳේ පෙරලිල අත් කකුල් දිගඇරගත්ත. හරියටම පැය දහ අටකට පස්සෙයි මම මේ කසේරුකා තොමෝ නොහොත් කොඳු ඇට පේලියට රෙස්ට් එකක් දෙන්නෙ. මම ඉතාමත් දීර්ඝ සැනසුම් සුසුමක් පිටකරල ඇස් දෙක පියාගත්ත.

මොන? අඩුම ගානෙ මිනිත්තු දෙකක්වත් එහෙම ඉන්න වුනේ නෑ. අංකල් හෙමිහිට දොරට තට්ටු කලා. මම ඇඳෙන් නැඟිටිනකොට අංකල් දොර ඇරගෙන කාමරේ ඇතුලට ඇවිල්ල ලයිට් එක දැම්ම.

"ඇයි අංකල්?.."

"වතුර…" අංකල් එහෙම කියල වතුර බෝතලයක් ඇඳ ලඟම තිබ්බ පොඩි කබඩ් එක උඩ තිබ්බ. "රෑට දෙතුන් පාරක්වත් හොඳට වතුර බොන්න. නැත්නම් හෙට ඔෆිස් එකේදි ඔළුවෙ කැක්කුම ඉවසන්න බැරිවෙයි."

"තෑන්ක්ස්…" මම එහෙම කියල හිනා වුනා. "තෑන්ක්ස් සෝ මච්…"

"කොහොමද ලුංගිය ඇඳගත්තද? මගෙන් උදව්වක් එහෙම ඕනද?"

"නෑ..නෑ..අවුලක් නෑ..මම ඇඳගත්ත…." මම එහෙම කියල දෑතින්ම බෙල්ට් එක අල්ල ගත්ත. 

"ගුඩ් නයිට්…" අංකල් ලයිට් එක ඕෆ් කරල කාමරෙන් එලියට යන ගමන් කියාගෙන ගිඔයා. 

"ගුඩ් නයිට් සර්…." මට ඉබේටම කියවුනා. 

ඊලඟට මිනිත්තු දහයක් විතර මම මටම සාපකරගත්ත අංකල්ට සර් කියවෙච්චි එක ගැන.

*****************************************************

පලි- මේ පල්ලෙහ ක්ලිප් එකේ තියෙන්නෙ සුප්‍රසිද්ධ ලුංගි ඩාන්ස් එක. රජ්නිකාන්ත්ට උපහාර පිණිස මේ රංගනය ඉදිරිපත් කරන්නෙ ෂාරුක් සහ දීපිකා...


35 comments:

  1. මම මේ කොටසට කැමතියි. වැඩිය හිනායන්නෙ නැති වුණත් ඒක නියමයි.

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      මොකක්? හිනායන්න? කවුද බොල හිනායන්ට කතා ලියන්නෙ? පෙනේද මේ යෝදි කියන එක?

      මම මේ ෆුල් සීරියස්ලි කතාවක් ලියනව ලියනවම නෙවෙයි ඇත්තටම නම් පරිවර්තනය කරනව. ඒ අව් අස්සෙ මේකිල මෙතන එන්නෙ ඇවිල්ල කියවල හිනාවෙන්නලු..මොකටද ඉතිං මම කියන්නෙ...

      Delete
    2. මේ පුල් සිරියල් කතාව සිරියල් වැඩියි වගේ

      Delete
  2. සර් කියපු එක ගැන ඒ හැටි වද වෙන්න ඕනි නෑ.. යකෝ දුව දෙනවනම් සර් නෙවෙයි ප්‍රොෆෙසර් කියුවත් මොකෝ? :D

    ReplyDelete
    Replies
    1. පේරාදෙනියෙ සමාජවිද්‍යා වුනත් මොකද?

      Delete
    2. කළ්‍යාණ,

      එතන මට හිතෙන විදිහට වෙන කේස් එකක් තියෙන්නෙ.

      ක්‍රිෂ් කලින් ෆස්ට් ඩිග්රි එක කරද්දි උගන්නපු ප්‍රොපාගෙ දුව එක්ක සෙට් වෙලා ඉඳල තියනව. ප්‍රොපා වැඩේට ටෝටලි උදැල්ල දාල කෙල්ල ඇමරිකාවට යවල සම්බන්දෙ බ්‍රේක් කරල.

      ක්‍රිෂ් ඒ ප්‍රොපාට සර් කියල කතා කරපු හින්ද ආදරේ කරන කෙල්ලගෙ තාත්තට සර් කියල කියන එක අසුබයි කියල වගෙ හැඟීමක් මම හිතන්නෙ ක්‍රිෂ්ගෙ හිතේ තියනව.ඒකයි එතන සර් කියල කියවෙච්චි එකට පොර එච්චරම අප්සෙට් ගියේ කියලයි අයි තින්ක්...

      Delete
    3. Pra,

      මහණෙනි, ප්‍රොපාලා අතරද යකැදුරන්, කට්ටඩියන් මෙන්ම ගුප්ත විද්‍යාවෙහි කෙළ පැමිණියන් සිටින්නෝය.

      අම්මප මේ ප්‍රොපාලගෙ ගොන් පාට් දකිනකොට අහනකොට වැස්සකටවත් ලංකාවෙ විස්ස විජ්ජාලෙකට නොගිය එක දාහෙම් සම්පතයි කියල හිතෙනව.

      Delete
    4. ප්‍රොපා කියා මා ඔබ අමතන්නද?
      දෙවොලෙ කපූ යයි ඔබ අමතන්නද?
      මටනම් නොහැඟෙන්නේ
      කොහොම ඇමතුවත් ඒ හා සැසඳෙන ඔබේ මොලේ
      උඩ ඔබ ඉඳගෙන අපහට ලැච්චර් අද දෙන්නේ

      Delete
  3. “That is the remarkable thing about drinking: it brings people together so quickly, but between night and morning it sets an interval again of years.”
    ― Erich Maria Remarque

    ReplyDelete
    Replies
    1. Pra,

      This story is to be neither an accusation, nor a confession, and least of all an adventure, for death is not an adventure to those who stand face to face with it. It will try simply to tell of a generation of men who,even though they may have escaped it's shells, were destroyed by the war.....

      - Erich Maria Remarque

      "All quiet on the western front"

      Delete
  4. //කොච්චර බිව්වත් මට එකක් තියෙන්නෙ ඕනම ප්‍රශ්ණයක් ගැන ඇනලිටිකලි කතා කලෑකි අහං ඉන්න මිනිසුන්ගෙ කටවල් ඇරෙන්ට// හැක්.. හැක්.. හිතාගත්තැකි ඒ ගැන.

    අංකල් කාරය ඔහෙට අර ලුංගිය අන්දන්න ගියානං තමයි හොඳ වැඩේ වෙන්න තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /හැක්.. හැක්.. හිතාගත්තැකි ඒ ගැන./

      වෙලාවක එඤ්ඤා උඹේ පස්න විසඳල දෙන්ට...බඩු ලෑස්ති කරල තියහං...:)

      /අංකල් කාරය ඔහෙට අර ලුංගිය අන්දන්න ගියානං තමයි හොඳ වැඩේ වෙන්න තිබුණෙ./

      ක්‍රිසාත් බයවුනෙ මං හිතන්නෙ අංකලය ඒ වැඩේට සැට් වෙයිදෝහෝයි කියල හිතල...;)

      Delete
  5. අනික අනන්නා හිටියනං බොලාට තිබ්බ අංකල් ඉස්සරහ ලුංගි ඩාන්ස් එකක් දාන්නත්. එහෙනං සර් නෙමෙයි පොරට තලයිවා කියල තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකත් නරකම නෑ...හෙහ්,හෙහ්...

      ලුංගි ඩාන්ස්....ලුංගි ඩාන්ස්....ලුංගි ඩාන්ස්....ලුංගි ඩාන්ස්....

      Delete
  6. මධ්‍යසාර කියන්නෙ බලගතු අවුසදයක් , ගොළු එවුන් පවා කතාකරවන්න පුළුවන්.. කොටින්ම අපේ ප්‍රසනයව පවා කතාකරවන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. හිතාගෙන ඇති. හැක්..

      Delete
    2. කම්මල්,

      ප්‍රසන්නය කතා කරන්නෙම නැද්ද බං?...:)

      Delete
  7. ////මටත් දෙතුන් පාරක්ම මගෙ නමත් අමතක වෙන තරමට වැදිල තියනව..කිව්වම මොකද ආය?////
    මේක නම් ක්‍රිෂ්ට වෙච්ච දෙයක් නෙවෙයි.... රවී අය්යටම වෙච්ච දෙයක් නේද? හා කියමු බලන්ට...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      හරි හරි බං කෑනුගහ ඉඳු..මට තමයි...මට තමයි...:)

      Delete
  8. දැන් කලින් කොටසෙදි කිව්වා මේ මාමගෙයි බෑණගෙයි සමයං ඉවරයි කියලා... හයියූ එපා වෙනවා... කෝ අනන්නා

    ReplyDelete
    Replies
    1. සොසඳ,

      ඉවරයි ඉවරයි මේ පාරනම් ඉවරම ඉවරයි...

      සොසඳ කිව්වම මට මතක් වෙන්නෙ....

      සකිය සගව්වට රෝදය කැරකෙනවා.
      සසඳ සසඳ අපි මහපාරේ යනවා..

      හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා]
      හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා]

      සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
      - දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]
      සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
      - දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]

      වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]
      මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]
      මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

      සකිය සගව්වට රෝදය කැරකෙනවා..
      සසඳ සසඳ අපි මහපාරේ යනවා..
      සකිය සගව්වට රෝදය කැරකෙනවා..
      සසඳ සසඳ අපි මහපාරේ යනවා..

      සසඳ සසඳ සඳ පානේ අපි යනවා
      - සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]
      මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා
      - ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ]

      සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]
      දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]
      දත් කැකුලට නාරම්මල ලත වෙනවා

      සකිය සගව්වට රෝදය කැරකෙනවා..
      සසඳ සසඳ අපි මහපාරේ යනවා..
      සකිය සගව්වට රෝදය කැරකෙනවා..
      සසඳ සසඳ අපි මහපාරේ යනවා..

      සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
      - සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]
      මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
      - දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි]

      පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]
      වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]
      වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

      සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
      සසඳ සසඳ අපි මහපාරේ යනවා..
      සකිය සගව්වට රෝදය කැරකෙනවා..
      සසඳ සසඳ අපි මහපාරේ යනවා..////


      ගායනය, සංගීතය - රෝහණ බැද්දගේ

      [පාරම්පරික කරත්ත කවි අශ්‍රයෙනි]

      Delete
    2. අනේ ඉතින් මම මුකුත් කියන්නෑමයි

      Delete
  9. මෙන්න මෙහෙම දෙබස් පිරිච්ච කොටස්වලට මං හරි කැමතියි. මාමලා බෑණලා මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනෙ. මාමණ්ඩිට සර් කියවුණා කියලා ක්‍රිෂ් මොකෝ පසුතැවෙන්නේ. ඒකට කමක් නෑනේ. අර නිර්මාණි නංගි කියලා තියෙන කතාවනං ඔන්න මටත් හිතුනා අයියෙ. :P

    ReplyDelete
    Replies
    1. Siththami,

      /මාමණ්ඩිට සර් කියවුණා කියලා ක්‍රිෂ් මොකෝ පසුතැවෙන්නේ./

      මම හිතන විදිහට ඒකට හේතුව අන්න මම උඩහ ලියද්දෙදි අපේ සේෆ්ටියාට කිව්ව...ගිහින් බලනු මැන. ( අපි කුකුළේගඟ පොජෙට්ටෙකේ ( අර දහදුරාවා ශ්‍රංගය ඒ කාලෙ කිව්වෙ එහෙමලු. පොජෙට්ටෙක කියල....) වැඩ කරන කාලෙ අපේ සේෆ්ටි ඔපිසරයට කිව්වෙ සේෆ්ටියා කියල.

      /අර නිර්මාණි නංගි කියලා තියෙන කතාවනං ඔන්න මටත් හිතුනා අයියෙ. :P/

      ඔව් වොව් වොව් බං මට තමයි උනේ...හෙහ්,හෙහ්...අපොයි අදික මත හින්ද මට වෙලා තියන දේවල් නම්..ඔන්න එකක් කියන්නංකො සන්ක්සිප්තව.

      බෝගම්බර හිරගෙදර හිටිය මගෙ වෙරි ගුඩ් ප්‍රෙන්ඩ්ලි කෙනෙක්...හිරේ කිව්වට ඌ ඒකෙ රස්සාව කලේ..ජේලර් කෙනෙක්...මම මේ කියන්නෙ 89/90 කාලෙ වගේ...ඔය කාලෙ මම හිතන්නෙ අර අසෝකගෙ සීන් එක චකබ්ලාස් වෙච්චි අලුතමද කොහෙද...

      කොහොම හරි මම ඔය කාලෙ ටිකක් සෝබර මූඩ් එකේ හිටියෙ. මගෙ යාලුව මට වැඩිය අප්සට් ගහල හිටියෙ ඒ ගැන.

      උගෙ බාරියා තොමෝ ටීචර් කෙනෙක්.ඒ කාලෙ ඔන්න ඔය මැද මහනුවර පැත්තෙ දුර බැහැරක් ඉගැන්නුවෙ. ඒ පාර මුං දෙන්න කතාවෙලා මට ඒ ඉස්කෝලෙම ටීචර් කෙනෙක් සෙට් කරපි.මේ කටුගස්තොට පැත්තෙ කෙල්ලෙක්...ඔව්..ඔව්..බැඳපු නැති එක්කෙනෙක් තමා..ආය ඒක අහන්ටත් දෙයක්ද?

      මගෙ ඒ හැටි උනන්දුවක් තිබ්බෙ නෑ ඒකට..කොහොම හරි මම එක වීක් එන්ඩ් එකක ආවම ඔන්න ඉරිද දවසක ඒ ටීචර්ටත් මගෙ යාලුවගෙ කෝටස් එකට එන්ට කියල පොඩි හමුවීමක් පිලියෙල කලා මගෙ යාලුවගෙ බිරින්දෑ.

      මමත් සෙනසුරාද හවස වගෙ ගියා යාලුව. හම්බවෙන්ට...බැලින්නං යාලුවගෙ බිරින්දෑ තොමෝ හදිස්සියෙ කුරුණෑගල ඒ ගොල්ලන්ගෙ මහගෙදර ගිහිල්ල මාම කෙනෙකුටද කොහෙද අසනීපයි කියල. ඒත් පහුවදා කොහොමහරි එනව කියලලු ගියේ.

      ඒ පාර යාලුව කිව්ව අද එහෙනම් අපෙ ක්වාටස් එකේ ඉමු මචං කියල. එහෙනං ඉඳහං මම බ්‍රැන්ඩි එකක්ව්ත් අරගෙන එන්නං කියල මම නුවර ටවුමෙන් ඒකකුත් ගෙනාව. අඩේ බං හෙට අර කට්ටිය එනව ගානට ගහපං යාලුව පිංසෙන්ඩු වුනා. හරි හරි බං ඒ හෙටනෙ මම කිව්ව.

      යාලුව රෑ ඩියුටි.ක්වාටර්ස් තියෙන්නෙ ප්‍රිස්න් එකට අල්ලපු වැටේ. ඒ හින්ද මිනිහ සැරින් සැරේ ඇවිල්ල බලල යනව.මම ඉතිං පොඩ්ඩ පොඩ්ඩ ගගහ හිටිය. තනියම බොන එකත් මහ මරන්න වගෙ වැඩක්නෙ.

      රෑ දහයට විතර මගෙ යාලුවගෙ තව යාලුවෙක් ඔන්න හදිස්සියෙම ආව. මිනිහ මඩකලපු ප්‍රිස්න් එකේ. මොකක්ද වැඩකට ඇවිල්ල රෑවෙලා හින්ද යාලුවගෙ ක්වටර්ස් එකට ආව රෑ නවතින්ට. මම එදාමයි ඌව දැක්කෙ.

      වෙලාව කියන්නෙ පොරත් බෝතලයක් ගෙනල්ල.අම්මට වූඩු ආය මොනවද? දෙන්න අඳුරගත්ත.වැඩේ නැඟලම ගියා.

      පස්සෙ රෑ දොළහ එක වගෙ වෙනකොට අපි දෙන්න ඔය ලුංගි ඩාන්ස් එක වගෙ එකක් තියනව බෝට්ටු ඩාන්ස් කියල.සරමෙන් ඒ ඩාන්ස් එක දාන්නෙ.යාලුව ඇවිල්ල වැන්දෙ නැති එක විතරයි දැං ඇති නවත්ත පල්ල කියල.මොන?

      පස්සෙ කොහොම හරි ඔය බෝට්ටු ඩාන්ස් ආතල් එක හින්ද අර මගෙ යාලුවගෙ බාර්යා තොමෝ ජෝඩු කරපු මංගල්ලෙත් හබක් වෙච්චි. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරේ වෙනම පෝස්ට් එකකින්ම කියන්නංකො හොඳද?

      Delete
    2. මගේ වෙරි කතා, එහෙම නැත්නම් සුමිහිරි පානේ සහ මගේ කතා වගේ ටයිටල් එකකින් පෝස්ටුවක් දෙකක් දැම්මනම් මොකද.... ඒ කතා ටිකත් ලියලම... හැබැයි ඕන් මෙච්චරකල් ලියපු ඒව නතර කරල මේකට එන අයගෙන් මට බැනුම් අස්සනව එහෙම නෙවෙයි ඕන්...

      Delete
  10. රවී තුමා බොහොම ස්තුතියි මේ කොටස දැම්මට. හරිම දයාබර මාමෙකුයි බෑනෙකුයි.
    මේ ඩ්‍රින්ක් එක දාන කෑල්ල ෆිල්ම් එකේ තිබුණෙම නැද්ද කොහෙද. බලන්න ඉතින් මේ ලියමන කොයි තරම් නම් රසවත්ද? :)

    ReplyDelete
    Replies
    1. මානා,

      හැමදාම මානවික්ස් කිව්වම ගතියක් නෑනෙ. ඒ හින්ද අද ඔන්න මානා කියල කිව්ව..වෙරි ගුඩ් නෝ?

      ෆිල්ම්ස් එක එහෙම් මෙහෙම් මිසක එක දිගට මම බලල නෑ. ඒ කියන්නෙ මාමා ඇන්ඩ් බෑනා ඩ්‍රින්ක් එකක් දාන්නෙම නැද්ද? පොතේනම් එහෙම සීන්ස් එකක් තියනව. ඒත් දන්නවනෙ මෙච්චර විස්තර ඇතුව නෑ...මම ඉතිං ඈස් යූෂුවල් සුට්ටං එන්හෑන්ස්මන්ට් පාරකුයි එම්බෙලිෂ්මන්ට් පාරකුයි දාල හැඩ වැඩ කරලයි මේ ලිව්වෙ...

      Delete
  11. අද මොකද මේ පැත්ත බාලා........?
    නෑ මේ මං නිකම් ආවා........

    Nice ravi, Thank you !!

    ReplyDelete
    Replies
    1. Ian,

      Today why bala?
      No sir I මේ නිකං ආවා...

      Thanks for the appreciation :)

      Delete
  12. බාලා මොකද මේ පැත්තේ......

    ReplyDelete
  13. අර උඩ කියල තියෙන බෝට්ටු ඩාන්ස් එකට අපි කියන්නෙ නැව කියල. මේ ලොකු අයියෙ, පිං සිද්ද වෙයි, ක්‍රිස් මාමට පොඩ්ඩක් ඉන්ඩ කියල මීළඟට ඒ සීන්එක ලියනවය?

    ReplyDelete
  14. ලුන්ගි ඩාන්ස් එක මරුනේ :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...