Thursday, June 28, 2018

593. The Story Of My Marriage - 73 - What Would The World Be Without Mothers?


Mother's Love -  Oil Painting by Mary Cassatt (1897) 

අපේ හදවතට සමීප පුද්ගලයො හින්ද අපේ හිත් රිදෙනව, අවුල් වෙනව හරිම ඉක්මනට. මුලින්ම තාත්තගෙ ලියුම අතට ගත්තම මට හිතුනෙ ඒක කියවන්නෙ නැතුවම ඉරල කුණු කූඩෙට දාන්න. ඒත් මට එහෙම කරන්න හිත ගල් කරගන්න බැරිවුනා විතරක් නෙවෙයි අන්තිමට මම ඒ ලියුම තුන් පාරක්ම කියෙව්ව..ඔව්..එක පාරක් එහෙම නෙවෙයි තුන් පාරක්ම...

පුතේ…………….

එහෙමයි තාත්ත ලියුම පටන් අරගෙන තිබ්බෙ. ආදරණීය සෙනෙහෙබර ඒ විශේෂණ පද මොකවත් නෑ. නිකම්ම පුතේ. කමක් නෑ තාත්තයි මායි අතරෙ මීට වඩා බොහොම සුහද කිට්ටු සම්බන්ධයක් තිබුනා වුනත් එයා මට බොහෝවිට මෙහෙම තමයි ආමන්ත්‍රණය කරනව ඇත්තෙ. තාත්ත ජීවිතෙන් බාගෙකට වැඩිය ගෙවුනෙ හමුදාවෙනෙ. ඒ හින්ද තාත්ත පෞද්ගලික ජීවිතේ ගෙව්වෙත් හමුදා ක්‍රියා පටිපාටිය අනුව. මම එහෙම හිතල හිත සනස ගත්ත. එක අතකට මම මොනවටද එයා මාව ආමන්ත්‍රණය කරල තියන විදිහ ගැන වද වෙන්නෙ?.....මම අන්තිමට එහෙමත් හිතල හිත දැඩි කරගෙන ආයෙම ලියුම කියවන්ට ගත්ත.

පුතේ, 

මම හිතාමතාමයි ආදරණීය පුතේ නැත්නම් සෙනෙහෙබර පුතේ කියල ආමන්ත්‍රණය කරල මේ ලියුම පටන් ගත්තෙ නැත්තෙ. ඒකට හේතුව කිව්වොත් ඇත්තටම මමම දන්නෙ නෑ තව දුරටත් මට තමුන්ට එහෙම ආමන්ත්‍රණය කරන්නට පුලුවන් ද කියල.

තමුන් ගමන් කරන්නෙ වැරදි මාර්ගයකය කියල මම ස්ථීර වශයෙන්ම දැනගත්තෙ තාත්තා කෙනෙක් වශයෙන් මට ලැබිය යුතු ගෞරවය දෙන්නට තමුන් මැලිවුනු ඒ දවසෙ. මට සහතිකයි තමුන්ටත් ඒ දවස ඉතාම හොඳින් මතක තියන බවට. කොටින්ම ඒ දවසෙ ඉඳල තාත්තෙක් සහ පුතෙක් වශයෙන් අපි දෙන්න අතර පැවතියයුතු සියළු සම්බන්ධතා තමුන් අත්හිටෙව්වා.

මට දැනගන්නට ලැබුනා තමුන් චෙන්නයිවල ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන්ගෙනය කියල. මට හරි විස්තරයක් දැනගන්ට ලැබුනෙ නම් නෑ. තමුන්ගෙ අම්ම අර එයයිගෙ කිසිම වැදගැම්මකට නැති නෑදෑ සනුහරේ එක්ක ටෙලිෆෝන් එකෙන් පල්හෑලි දොඩවන කොට එහෙං මෙහෙං ඇහිච්ච එව්වයිනුයි මම එහෙම උපකල්පනය කලේ. තමුන්ට විවාහ වෙන්ට සුදුසු ගෑණු ළමයෙක් හොයල දෙන්න ඕන තමුන්ගෙ දෙමව්පියෝ වන අපි. තමුන් එහෙම කෙනෙක් හොයාගන්න එක සම්පූර්ණයෙන්ම වැරදියි. 

ඒත් අවාසනාවට වගේ තමුන් මොනතරම් පහත් තත්වයකට වැටිලද කියල තමුන්ටම තේරෙන්නෙ නෑ. ඒකයි මෙතන තියෙන වැරැද්ද. එක අතකින් ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ. මොකද තමුන් උපදෙස් ගන්නෙ මගෙන් නෙවෙයිනෙ තමුන්ගෙ අම්මගෙනුයි එයයිගෙ අර වැඩකට නැති සහෝදර සහෝ දරියන්ගෙනුයිනෙ. 

කොහොම හරි තමුන් මේ කිසිම දෙයක් ගැන මට වචනයක්වත් නොකියපු එකෙන් තේරෙන්නෙ අඩුම ගානෙ තමුන්ගෙ යටිහිතෙන්වත් තමුන් ලැජ්ජ වෙනව කියල මේ තමුන් කරන තුප්පහි වැඩ ගැන. 

මට කියන්ට තියෙන්නෙ එච්චරයි. 

මේ මගේම අවාසනාවට තමුන්ගෙ තාත්තා වුනු ඒ අවාසනාවන්ත තාත්තා…..

දහවෙනි නැත්නම් දොළොස්වෙනි පාරටද කොහෙදෝ මම ඇඳේ නිදා හිටපු ඉරියව්ව වෙනස් කලා. ම්හුම්...මොනව කලත් නින්දක් නම් අහල ගං හතකවත් නෑ. 

"අයිසෙ ඒ ලියුම අමතක කරල දානවකො.." මම මගෙ හිතට තරවටු කලා...."බොහොම පැහැදිලියිනෙ එයාගෙ බලාපොරොත්තුව. වෙන අහවල් දෙයක්වත් නෙවෙයි තමුන්ව කලබල කරල අවුස්සල ගන්න එක. ඒකට අහුවෙන්න නම් එපා රජෝ...ඇස් දෙක තදින් වහගෙන නිදාගන්නව...හ්ම්ම්ම...ඉතිං කිව්වම නිදාගන්නවකො" මම මටම දොස් පවර ගත්ත.

දැං ඔය නින්ද කියන එක තියනව නේද? පුදුම වැඩේ කියන්නෙ අපිට ඕන වෙලාවට නිදා ගනිං කියල සරීරෙට අණ කරන්ට බෑනෙ. එහෙම ආඥාවක් නිකුත් කලත් සරීරෙ ඒ ආඥාව පයිසෙකට ගණං ගන්න එකක් නෑ. අනික් අතට අපේ හිත කියන එක... හිත හොඳාකාරවම දන්නවනෙ..."දැන් හොඳටම රෑවෙලා. තව හරියටම පැය පහකින් නැඟිටල ඔෆිස් යන්ට ලෑස්ති වෙන්න තියනවනෙ. තමාගේ සරීරෙට විවේකෙ අත්‍යාවශ්‍යයයි" හිත විඩින් විඩේ ඔහොම කියනව. ඒත් ඉතින් වැඩේ කියන්නෙ නින්ද යන්නෙ නැති එකනෙ. අනික හිතට හිතන්න දේවල් මහ හුඟක් තියනව. ඒ කියන්නෙ තෝරාගැනීම් නැත්නම් Options බර ගාණක් තියනව. සමහරවිට මිලියනයකටත් එහා පැත්තෙ.

හඳක් පේන්නවත් නැති ගණ කළුවර අහසක පුංචි පුංචි මැණික් කැට වගෙ බබලන තාරකා…

නුංගම්බක්කම් මල් ශාලා වීදියෙ ඇවිදගෙන යනකොට පෙනෙන පපුව පුරහම සුවඳ දෝරෙ ගලන නොයෙක් වර්ණ මල්…

අනන්‍යාලගෙ ගෙදර දේවරූප තියන කුටියෙන් ගලාගෙන එන සඳුන් කපුරු මිශ්‍ර සුවඳ ධූමය…

එහෙම නැත්නම් මට අවුරුදු හත අටක් වගෙ කාලෙදි අපේ ගෙදර පැවැත්වුනු මගේ මතයෙ හැටියට මගේ ඉතාම උත්කර්ෂවත් උපන්දින සාදය...

මේ වගෙ සිතුවිලි මේ වගෙ මතක සටහන් අපි හැමෝගෙම ඔළු ගෙඩි ඇතුලෙ පිරිල තියනව. ඒත් එක අවාසනාවන්ත සිතුවිල්ලක් එක සෘණාත්මක සිතුවිල්ලක් ඇති ඒ සන්තුෂ්ඨිදායක සිතුවිලි ඔක්කොම විනාස කරල දානට. එහෙම තමයි අනිවාර්යයෙන්ම සිද්ද වෙන්නෙ. අපි හැමෝටම එහෙමයි. ඒකෙ කිසිම වෙනසක් නෑ. 

මට වෙලාවකට මෙහෙමත් හිතෙනව. "එහෙම වෙන එක පරිණාමයෙදි අපේම යහපතට සිද්ද වෙච්චි දෙයක් වෙන්නත් පුලුවන් නේද? නෑ..මම මේ කියන්නෙ අපිට යම් ප්‍රශ්ණයක් තියනවනම් කලින් සිද්ද වෙච්චි සතුටුදායක සිද්ධීන් ඔක්කොම අමතක කරවල වර්තමානයෙ තියන ප්‍රශ්ණෙ විසඳන්ට අපිට බලකෙරෙන ක්‍රියා පටිපාටියක් වෙන්නත් පුලුවන් නේද එහෙම වෙන එක..."

ඒක එහෙමෙයි කියල හිතා හදාගන්න නම් පුලුවන්ය කියමුකො. හැබැයි ඉතිං එහෙම වෙන එකෙන් වෙන්නෙ ජීවිතේ හරිම කරුමයක් වෙන එක...අනික් අතට රෑ තිස්සෙ නිදි මරාගෙන කල්පනා කලාය කියල මොකක්ද වෙන හොඳේ? උදේට නිදිමත විතරයි. මම හිතන්නෙ පුලුවන් ඉක්මනට මිනිස් ජාන මේ තත්වයෙන් මිදෙන්ට විකරණය වුනොත් ඒක මිනිස් වර්ගයාටම ලොකුම යහපතක් වේවි.

මගෙ තාත්ත ලියුමෙ සඳහන් කරපු ඒ සුවිශේෂී දිනේ පිළිබඳව අමිහිරි මතකයන් මට දිගටම වද දෙන්ට ගත්ත. "මම අනන්‍යාව බඳිනව කියල දැනගත්තම මේ මනුස්සය මොකක් කරාවිද මන්ද.." මට එහෙමත් හිතුන. "ඔව්ව ඔක්කොම හිතෙන් අයින් කරල දාල බුදිය ගන්නව මනුස්සයො..තව පැය හතරයි තියෙන්නෙ එළිවෙන්ට.."...මගෙ හිත මටම තරවටු කලා. ඒත් කරුමෙ කියන්නෙ මගේම මොලේ ඒ කියන කිසිම දෙයක් කණකටවත් ගත්තෙ නෑ.

බැරිම තැන මම ඇඳෙන් නැඟිටල සාලෙට ගිහිල්ල අම්මට කෝල් එකක් ගත්ත. ඉස්සරහ බිත්තියෙ එල්ලල තිබ්බ ඔරලෝසුවෙ වෙලාව දෙකට දහයයි කියල පෙන්නුම් කලා.

"හෙලෝ? කවුද මේ?" අම්මගෙ නිදිබර කටහඬ රිසීවරයෙන් ගාල ආව. 

"අම්මෙ සමාවෙන්න…. මේ මම…"

"ක්‍රිෂ්? ඇයි පුතා මොකවත් ප්‍රශ්ණයක්ද?" ඇගේ කටහඬේ තිබ්බ නිදිබර ස්වභාවය එක පාරටම කළබල සහ බියමුසු ස්වරයකට හැරුන.

"නෑ නෑ අම්ම කළබල වෙන්ට උවමනාවක් නෑ.." මම හෙමිහිට කිව්ව. 

"එහෙමනම් මේ මහ රෑ කතා කලේ ඇයි?"

"තාත්ත මට ලියුමක් එවල තියනව..ඒක කියවපු වෙලාවෙ ඉඳල මගෙ හිතට මහ මොකක්ද වගේ.." මම කිව්ව.

"ආ..එහෙමද? තාත්ත ලියුමක් එවල තියනව?"

"හ්ම්ම්ම්…"

"මොකද එයා කියන්නෙ?"

"වැඩි හරියක් තියෙන්නෙ ඔය නිකං වැඩකට නැති එව්ව.....වැදගත් දේ කියන්නෙ තාත්ත අනන්‍යා ගැන දන්නව"

"අනන්‍යා? ආ..ඔයාගෙ අර යාලුව..ඉතිං එයා ගැන මොකක්ද තාත්තට කියන්න තියෙන්නෙ?"

"අම්මා…" මම ටිකක් හඬ උස්කරල කතා කලා. "මම කලිනුත් කියල තියනව...අනන්‍යා කියන්නෙ නිකම්ම යාලුවෙක් විතරක් නෙවෙයි...එයා මගෙ පෙම්වතිය. මම එයාව කසාද බඳිනව.."

"ක්‍රිෂ්..මේ දැං වෙලාව කීයද කියල ඔයා දන්නවද? මේ වෙලාවෙ ඔය ගැන කතා කරන්න ඕනද? පෙම්වතිය හරි කවුරු හරි ඔයාට ඕන එකක් ඔයා චෙන්නයිවලට වෙලා කරගන්න. ඒත් ඇයි ඔයා අපිට බල කරන්නෙ ඒ ළමයට කැමතිවෙන්න කියල.."

"අම්මෙ මම බල කරන්නෙ නෑ කොහොමවත්. මම කියන්නෙ මගේ ජීවිතේ අනාගත සහකාරිය විදිහට මම අනන්‍යාව තෝරගෙනයි තියෙන්නෙ.." මගෙ කටහඬ උච්ච ස්වරයකට මාරුවුනේ මටත් නොදැනිම. 

"බෙරිහන් දෙන්න ඕන නෑ ක්‍රිෂ් මගෙ කන් තාම හොඳට ඇහෙනව…."

"මට සමාවෙන්න.."

"ඔයා මට කෑගහන වෙලාවෙ කොන්ද පණ තියනවනම් ඔයාගෙ තාත්තට ඔය විදිහට කෑගහන්න…"

"කෑගහන්න මම එයා එක්ක කතා කරන්න එපාය. අම්ම හොඳටම දන්නව මම එයා එක්ක දැන් සෑහෙන කාලෙකින් කතා කලේ නෑ කියල. මට එයා එක්ක කතා කරන්න ඕනෙත් නෑ. එයා මා ගැන කොහොම හිතුවත් මට කමකුත් නෑ"

"හ්ම්ම්... එහෙමද? ඉතිං එහෙමනම් මොකෝ මේ එයාගෙ ලියුම හින්ද ඔයා මේ තරමට හිත කලබල කරගෙන මහ රෑ තිස්සෙ නැඟිටගෙන මට කෝල් කරන්නෙ?"

අම්මගෙ ඒ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට කියන්නෙ මොකක්ද කියල මට එක වංගියෙම හිතාගන්න බැරිවුන හින්ද මම නිස්සද්දව හිටිය.

" ක්‍රිෂ්?….. හෙලෝ?...." තත්පර දහයකට වගෙ පස්සෙ අම්ම ආයෙම කතාකලා...

"අම්මෙ.... " මම උත්තර දුන්න.

"පුතේ..." අම්ම බොහොම හෙමිහිට කිව්ව.

එක ක්ෂණයකින් ඇස් වලට පිරුනු කඳුලු වලක්වා ගන්නට ඇස් තදින් පියාගෙන මම බිඳුනු ස්වරයකින් කතා කලා. 

"මට මෙහෙ මහ පාළුවක් දැනෙනව අම්මෙ. අම්මත් මෙහෙ මා ලඟ නෑ. ඒ මදිවට තාත්ත ගහෙං ගෙඩි එන්න වගෙ විකාර ලියල ලියුම් එවල මගෙ හිත තලනව. මට මේ ඔක්කොම දරාගෙන ඉන්න බෑ අම්මෙ.…."

"පුතා තාත්තගෙ ලියුම ආය කියවන්න එපා. ඉරල වීසි කරල දාන්න. කොහොමත් ඔයාට මුලින්ම කරන්න තිබ්බෙත් ඒක. ඔයා ඒ ලියුම කියවපු එකයි වැරැද්ද උනේ…."

"මම මෙහෙ ඇත්තටම යුද්දයක් කරන්නෙ අනන්‍යාගෙ අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත ගන්න. අනික් අතට චෙන්නයි කියන්නෙ මහ අමුතුම නගරයක්. මට මේ භාෂාව තේරෙන්නෙ නෑ. මෙහෙ කෑම පුරුදු නෑ. ඒ අස්සෙ තාත්ත මට දොස් කියල ලියුම් එවනව. ඒ ඔක්කොමත් මට ඉවසන්න පුලුවන්..අම්මත් මට බණින එක තමයි මට ඉවසන්නම බැරි....."

මට තවත් ඉවසන්න නම් බැරිවුනා. මම එහෙම්මම රිසීවරේ සුරතින් මිරිකාගත්තු ගමන්ම ඉකි බිඳිමින් ඇඬුව.අම්ම මිනිත්තු දෙක තුනක් මට අඬන්න දුන්න. ඊට පස්සෙ හෙමිහිට කතා කලා.

"හරි දැන් ඇති ක්‍රිෂ්...ඇඬුව ඇති..ගිහිල්ල මූණ පොඩ්ඩක් හෝදගෙන එන්නකො ඉස්සෙල්ලම…."

මම රිසීවරේ එහෙම්මම ටීපෝ එක උඩ තියල ෆ්‍රිජ් එක ඇරල සීතල වතුර බෝතලයක් අර ගත්ත. ඒකෙන් වතුර දෝතක් අරගෙන එතන තිබ්බ සින්ක් එකට පාත්වෙලා මූණ ටිකක් හෝද ගත්ත.සිසිල් වතුර උගුරු හතර පහකුත් උඩ බලාගෙනම බිව්ව.ඊට පස්සෙ ආයෙම රීසිවරේ අතට ගත්ත. 

"අම්මා..."

"පුතා.."

"මොකක්ද අම්මෙ මම කරන්න ඕන?" මම දිග සුසුමක් හෙලල ඇස් පියාගෙන අම්මගෙන් ඇහුව.

"ක්‍රිෂ්….පුතා….මම කියන දේ හොඳට අහගන්නකො ඉස්සෙල්ල.."

"ඔව් අම්මෙ කියන්න.."

"ඔයාට බැරිද ආපහු එන්න? "

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ මාරුවක් හදාගෙන ආපහු දිල්ලියට එන්න...."

"ඒක කරන්නෙ කොහොමද අම්මෙ? මම මෙහෙ ඇවිල්ල යම්තමට ගතවුනේ මාස හයක් විතරනෙ. අනික මේ මගෙ මුල්ම පත්වීම. මම කොහොමද මේ හදිස්සියෙ ආයෙම මාරුවීමක් ඉල්ලන්නෙ?"

"කියන්න ඔයාට බරපතල පවුලෙ ප්‍රශ්ණයක් තියනව කියල..ම්ම්ම්ම්...හරි කියන්නකො මට මොකක් හරි දරුණු අසනීපයක්ය කියල…"

"අම්මේ මේ….. අම්ම ඔය කියන එව්ව……"

අම්ම මට කතා කරන්න දුන්නෙ නෑ.

"බැරිම නම් ක්‍රිෂ් ඔය රස්සාවෙන් ඔයා අයින් වෙන්න. අපි තව ඔයිට වඩා හොඳ රස්සාවක් හොයාගමු. මම හිතන්නෙ නෑ ඒක ඒ හැටි මාරුවෙයි කියල....."

"අම්මේ මේ…"

"ආ..ඔයා දන්නවද? මේ සති දෙකකට වගෙ ඉස්සෙල්ල අපේ ගෙට හැරෙන හන්දියෙම ඕපන් කලානෙ කනරා බැංකුවෙ බ්‍රාන්ච් එකක්. ෂෝක් නේද? ඔයාට දහයට තේ බොන්නත් ගෙදර එතෑකි…"

"අම්මෙ....මම වැඩ කරන්නෙ සිටි බැංකුවෙ..ඒක මල්ටි නැෂනල් බෑන්ක් එකක්. කනරා බැංකුව වගේද සිටි බැංකුව? අම්මට ඔව්ව තේරෙන්නෙ නෑ අම්මෙ…"

"හරි හරි..මම ඉතිං කනරා බැංකුව ගැන නිකමට වගෙ කිව්වෙ. ඔයාට ඕනම නම් අපි මෙහෙත් මල්ටි නැෂනල් බැංකුවක්ම බලමු. ආය මොකෝ සිටි බැංකුව විතරය ඒ වගෙ එව්ව තියෙන්නෙ?"

මම මොකවත්ම කිව්වෙ නෑ... අම්ම ආයම කතා කලා..

"ක්‍රිෂ් මට පොරොන්දු වෙන්න ඔයා දිල්ලියට මාරුවක් ඉල්ලනව කියල. ඔය කිසි කමකට නැති කලුම කලුපාට දෙමල මිනිස්සුන්ගෙන් ගැලවිලා මෙහෙට එන්න මගෙ පුතේ…"

"ඔන්න ඉතිං පටන් ගත්ත. අම්මෙ මේ....මෙහෙ ඉන්න මිනිස්සු නරකමත් නෑ…"

"මට ඒ මිනිස්සු හොඳ උනත් එකයි නරක් උනත් එකයි. මම දන්නෙ මෙච්චරයි... ඔයා මගේ එකම පුතා. ඔයා ඉන්න ඕන මාගාව..කියන්න ඔයා හෙටම දිල්ලියට මාරුවීමක්  ඉල්ලනව නේද?"

"අම්මෙ මේ…"

"තව එක වචනයක්වත් කතා කරන්න එපා ක්‍රිෂ්. ඔයා මාරුවක් ඉල්ලන්නෙ නැත්තං මම එවනව ලියුමක් ඔතන ඔයාගෙ බොස්ට..."

"මගෙ බොස්ට?...මොකක් කියලද?"

"මම කියනව මම ඉතාම වයස්ගත දරුණු රෝගයකින් පෙලෙන අබල දුබල කාන්තාවක්ය. ඒ හින්ද මානුෂික පදනම මත සානුකම්පිතව සලකා බලල මිස්ටර් ක්‍රිෂ් මල්හෝත්‍රාට දිල්ලියට මාරුවීමක් දෙන්නෙයි කියල…"

"අනේ අම්මෙ මේ....බැරිවෙලාවත් එහෙම දෙයක් නම් කරන්න එපා හොඳද? මට වහ බොන්නයි වෙන්නෙ...අම්ම දිවුරන්න එහෙම දෙයක් කරන්නෙ නෑ කියල.."

මම කට කොණකින් හිනාවෙවී එහෙම කිව්වෙ. මට හිනා ගියේ වෙන මොකටවත් නෙවෙයි අම්මගෙ මේ මානුෂීය පදනම් කතාව ගැන. මේ අම්මත් මෙව්ව කොහෙං හොයාගන්නවද මන්ද…

"හරි මම එහෙම ලියුමක් එවන්නෙ නෑ..හැබැයි ඔයා මම කියපු විදිහට මාරුවක් ඉල්ලන්න ඕන.."

"හරි හරි අම්ම ටිකක් ඉන්නකො..මට මෙහෙ පොඩි වැඩ දෙක තුනක් තියනව ඉවරයක් කරන්න.. එව්ව ඉවර වෙලා මම මාරුවක් ඉල්ලන්නම්කො…"

"හරි දැං කොහොමද ක්‍රිෂ් ඔයාට?...හිතට පහසුවක් වගෙ දැනෙනවද?"

"අපොයි ඔව්..තෑන්ක්ස් අම්මෙ..මම දන්නවනෙ අම්ම එක්ක කතා කලත් මගෙ හිත හරියනව.."

"හ්ම්ම්ම්..හරි හරි..ඒක නෙවෙයි ඔය මැඩ්රාසීන්ට ඔය විදිහට බය වෙන්ට ඕන නෑ. ඔවුන් එක්ක කැත්තට පොල්ල වගෙ ඉන්න ඕන..මම දන්නෙ නැද්ද ඔවුන්ගෙ හැටි..එහෙම හිටියම ඔවුන් බය වෙනව…"

"හරි අම්මෙ මම එහෙම ඉන්නම්කො එහෙනං.."

"අන්න හරි..ආ තව එකක්..අර ළමය ආශ්‍රය කලාට කමක් නෑ..ඕනවට වඩා කරට ගන්ට ඕන නෑ තේරුණාද? අතේ දුරින්..අතේ දුරින්... හොඳද?"

ඒකට නම් දැනටමත් පරක්කු වැඩියි අම්මෙ... මම හෙමිහිට කිව්ව..

"මොකක්ද ක්‍රිෂ් කිව්වෙ?" අම්ම ඇහුව.

"නෑ නෑ මොකවත් නෑ අම්මෙ...ගුඩ් නයිට් එහෙනම්…"

"ගුඩ් නයිට් ක්‍රිෂ් ඕල්වේස් රිමෙම්බර් අයි ලව් යූ" අම්ම එහෙම කියල රිසීවරේ තිබ්බ. 

මම හෙමිහිට නැඟිටල ආපහු මගෙ කාමරේට ආව. ලියන මේසෙ උඩ තිබ්බ තාත්තගෙ ලියුම මම ගුලි කරල කුණු කූඩෙට දැම්ම. ඊට පස්සෙ ලයිට් එක නිවල ඇඳේ දිගාවුනා. 

අම්ම එක්ක කතා කලාට පස්සෙ මගෙ හිතට දැනෙන්ට ගත්තෙ පුදුම සැහැල්ලුවක්. මිනිත්තු පහක් යන්ට ඉස්සර මට නින්ද ගියා.

අම්මල නැත්නම් මේ ලෝකෙ කොහොම තැනක් වෙයිද කියල හිතාගන්නවත් බැරිබව නින්දත් නොනින්දත් අතරෙ ඉන්න මට නිකම්ම වගෙ හිතුනා...

"What would the world be without Mothers?" I thought unconsciously as I drifted off to sleep.

22 comments:

  1. ක්‍රිෂ් ගෙ අම්ම හොඳයි. ඕක අපේ ගෙදර උනා නම් බලන්න තිබුණ.

    "ඉතින් අපිද ඔයාට ඔය මහ දුරක් ගෙවාගෙන ගිහින් අර මිනිස්සුන්ගෙ හිත ගන්නයි කිවුවෙ? මහලොකුවට ගියා හිත ගන්න කියල. ඒ මිනිස්සු ඔයාව ගණන් ගන්නෙ වත් නෑ නේ. අර ඩොලී ට කැමති උනා නම් මෙලහකට පාලු හිතෙන ඕන වෙලාවක මෙහෙ ඇවිත්, හිතේ කිසි කරදරයක් නැතුව ඉන්න තිබුණ. බලන්න අච්චර නපුරු තාත්ත ටත් ඇත්ත තේරිලා තියන හැටි. ඔයාට මේක තාම තේරෙන්නෙ නැහැනෙ. මමත් මේ වයසක මනුස්සය. ඔයා පිළිවෙලක් වෙලා හිටියනම් මට නිදහසේ ඇස් දෙක පියාගන්න තිබුණ."

    ReplyDelete
    Replies
    1. ආ අද මම එක. ටයිම් ගැප් එකේ පිහිටෙන් වෙනදට එන නයි, වවුල්ලු අවදි වෙන්න කලින් මට කමෙන්ට් කරන්න පුළුවන් වෙලා. අනේ වාසනාවන්. :)

      මේ කොටස කියවන්න ගන්නකොටම මම ටිකක් කොන්පියුස් උනා, වචන බරයි, භාෂාව සංවරයි, කොටින්ම මම ආයේ මාතෘකාව බැලුව. මම හිතුවේ රන්දිල් නෝනගේ ලිපියක් කියල, ඔන්න කොටින්ම.

      Delete
    2. කොන්පියුසියස් වෙන්න ඔයා චීනද?

      Delete
    3. Ek Maanaviks,

      /මමත් මේ වයසක මනුස්සය. ඔයා පිළිවෙලක් වෙලා හිටියනම් මට නිදහසේ ඇස් දෙක පියාගන්න තිබුණ."/

      ඇත්තනෙ කතාව..ඉතිං පිළිවෙලක් වෙයංකො...:)

      /වචන බරයි, භාෂාව සංවරයි, කොටින්ම මම ආයේ මාතෘකාව බැලුව. මම හිතුවේ රන්දිල් නෝනගේ ලිපියක් කියල, ඔන්න කොටින්ම../

      හරි ..හරි හරි..එතකොට අපි ලියන්නෙ අසංවර බාසාවෙන්..එහෙමයි එතකොට ඒ?...ඕකේ ඕකේ...අයි විල් රිමෙම්බර් දැට්...:)

      Delete
    4. මානවික අපේ චූලානන්ද ලොක්ක (පොත් ලියන) මේ සති අන්තයේ අපේ ගෙවල් පැත්තේ එනවා. මම පොඩි සංග්‍රහයක් ලෑස්ති කරනවා . එනවා නම් එන්න මේ පැත්තේ

      Delete
  2. හිතේ දුකට හැම විස්තර හොදින් ලියා
    පුතේ කියා ලිපියක් එව්වාලු පියා
    හිතේ දුකක් තරහයි තිබුනේද ලියා
    නෙතේ කඳුලු ආවලු අම්මාට කියා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Dumee,

      බොහොම ස්තූතියි දුමී....:)

      Delete
  3. මම මේ කල්පනා කළේ අර වගේ ලියුමක් ආවොත් මිස්ටර් බාලා මොනවගේ දෙයක් කරයිද කියල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      බාලා පටගාල ට්‍රාන්ස්ෆර් එක හදල දෙයි...හෙහ්,හෙහ්..

      මොකද බාලට දැං අර කවුද කුඩු කෑව වගේ නෙව වෙලා තියෙන්නෙ....ක්‍රිෂ් කියන කියන එක කරන්නනෙ වෙලා තියෙන්නෙ..ඒ හින්ද වැඩේ කරයි පට ගාල...

      Delete
  4. Replies
    1. මද්දා,

      එහෙමද?...:(

      Delete
  5. Boring. It's Bagat's fault. Thank you Ravi

    ReplyDelete
    Replies
    1. Ian,

      You are welcome Ian...:)

      Delete
    2. ඒ මදිවට අර යකා ක්‍රිශා අඬනවා අම්ම එක්ක මොකක්ද බං මෙහෙම කතා ශික්

      Delete
  6. අම්මල නැත්නම් මේ ලොකෙ කොහොම තැනක් වේද කියලා හිතා ගන්න බෑ...
    අම්මප හිතා ගන්නවත් බෑ

    ReplyDelete
    Replies
    1. Dilshan,

      ඒ ගැන මොකට කියනවද? Absolutely true....:)

      Delete
  7. හරි ආදරේ හිතෙන චැප්ටර් එකක්. වෙනදා වාගේ පිස්සු නටන්නෙ නැතුව පිළිවෙලකට මේක ලිව්වාට අයියාටත් තැන්ක් යූ. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      මම හිතුව ඔයාට අද එපිසෝඩ් එක අල්ලල යාවිය කියල...හෙහ්,හෙහ්...

      Thanks so much Madam...:)

      Delete
  8. හප්පේ සැබෑ වෙනසක්...මේ කොටස හරි සංවරව ලියලනේ...

    ReplyDelete
    Replies
    1. හුහ්..එහෙම තමයි අපි....ඔබටත් ස්තූතියි සොඳුරු...:)

      Delete
  9. සුරංගගේ තාත්තා ගේ වෙන වර්ෂන් එකක් මේ ක්‍රිෂ් ගේ තාත්තා නේද? :) අද කොටස 'වෙනදට වඩා' මටත් හිතට ඇල්ලුවා.. :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...