Saturday, June 16, 2018

590. The Story Of My Marriage - 72 - Persuading Ananya's Mom To Sing With Hariharan & S.P.B. While Holding My Nose & Mouth Alternatively......


දර්ශීය තක්කාලි රසම් දීසියක් ඉහත ඡායාරූපයෙහි
දැක්වේ. Google Images

ඉතිං ඊලඟ මිනිත්තු දහය වගෙ කාලෙදි මම ආන්ටිට අපේ ප්‍රසංගය ගැන සම්පූර්ණ විස්තරයක් කලා. අපි ප්‍රසංගය පවත්වන්න හිතාගෙන ඉන්නෙ "Fisherman's Cove Resort" එකේ කියලත් කිව්ව. ඊලඟට අපේ ප්‍රධාන පෙලේ ගනුදෙනු කාරයො විදිහට ප්‍රසංගයට අපි ආරාධනා කරන්නට හිතාගෙන ඉන්න චෙන්නයිවල ප්‍රභූ පැලැන්තියෙ ධනවතුන්ගෙ නම් ලැයිස්තුවත් කියාගෙන ගියා. ආන්ටි තුස්නිම්බූත වෙල මගේ විස්තරේ අහගෙන හිටිය වචනයක්වත් කියන්නෙ නැතුව. මට හිතෙන්නෙ මනුස්සයට කොහොමවත්ම හිතාගන්න බැරිවෙන්න ඇති ඇයි මම මේ විස්තරේ එයාට කියන්නෙ කියල

"ඉතිං ආන්ටි අපේ කොන්සර්ට් එක පැය දෙකක් තියනව. අපි ගායක ගායිකාවො තුන් දෙනෙක්ට ආරාධනා කරන්න හිතාගෙන ඉන්නව මාරුවෙන් මාරුවට සිංදු කියන්න…."

එහෙම කියල මම එක එල්ලේ ආන්ටිගෙ මූණ දිහා බැලුව. "ඉතිං ආන්ටි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔයා…"

"මම?..." ආන්ටි කෑගැහුව කෑගැහිල්ලට මගෙ කන්දෙක අගුල් වැටුන වගේ උනා.

"ඔව් ආන්ටි මම අපේ කොන්සට් සංවිධායක මණ්ඩලේ අනුමැතියත් අරන් තියෙන්නෙ. ආන්ටි එන්න ඕන එදාට තුන්වෙනි ගායිකාව විදිහට…"

"අපොයි ක්‍රිෂ් මම ඇවිල්ලා ශාස්ත්‍රීය සංගීතයනෙ ඉගෙන ගෙන තියෙන්නෙ. අනික මම කවදාවත් ඔය වගෙ කොන්සට් එකක සිංදු කියල නෑ. අඩුම ගානෙ ඉස්කෝලෙ යන කාලෙවත්. ඔය කොන්සර්ට් වල කට්ටිය කියන ජනප්‍රිය රැල්ලෙ සිංදු මම දන්නෙත් නෑ. මගෙ එව්ව ගැන කිසිම කැමැත්තකුත් නෑ..." ආන්ටි එක දිගට කියවාගෙන ගියා.

"හරි හරි ආන්ටි එක පාරට කලබල වෙන්ට ඕන නෑනෙ. ඔය ජනප්‍රිය රැල්ලෙ ගීත කියන එක ඒ කිව්වෙ පොප් මියුසික් කියන එක ඒ හැටි මහ අමාරු දෙයක් නෙවෙයි. කොහොමත් ආන්ටි වොයිස් ට්‍රේනින් කරලනෙ තියෙන්නෙ පොඩි කාලෙ ඉඳලම. ඒ හින්ද ඔය පොප් මියුසික් කොහොමවත් අමාරුවෙන එකක් නෑ. බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නෙ."

"මොකක්ද ඒ?"

"M.T.V. චැනල් එක දාගන්ට රූපවාහිනිය ඔන් කරල. මේ සතියෙ පොප් චාර්ට් එකේ උඩින්ම තියෙන සිංදු හයක් බලල පාඩම් කරගන්න. කොලිවුඩ් සිංදු තුනයි, බොලිවුඩ් සිංදු තුනයි. එච්චරයි. වැඩේ ඉවරයි…"

"හරි ඉතිං ඇයි මාවම තෝරගත්තෙ?" ආන්ටි ඇහැව්ව.

"මම ඇත්තම කියන්නම්කො ආන්ටි. අපිට සල්ලි ප්‍රශ්ණයක් වෙලා තියනව. වෙන්කරල තියන මුදල් ප්‍රමාණයෙ විදිහට ජනප්‍රිය සහ ප්‍රසිද්ධ දෙන්නයි ගෙන්නන්ඩ පුලුවන්. ඉතිං මගෙ බොස් කරපු වැඩේ තුන්වෙනි ගායකයා හෝ ගායිකාව හොයාගන්න එක මට බාර දුන්න. මම මෙහෙම කිව්වට ආන්ටි කොයිම විදිහකින්වත් හිතන්න එපා අපි මේ වෙන කවුරුවත් නැති හින්දම ආන්ටිට එන්න කියනවයි කියල. ඇත්තටම එහෙම නෙවෙයි. මම එක පාරටම අපේ බොස්ට කිව්ව හරි මම දන්නව මේ වැඩේට සුදුසුම පුද්ගලය කියල. ඒ පාර මම විස්තර කිව්වම බොසුත් කැමති වුනා. ඒ හින්ද අනේ ආන්ටි බෑ බෑ කියල මේ වෙලාවෙ මාව අමාරුවේ දාන්ට එහෙම එපා හොඳද?"

"කවුද අනික් දෙන්න?" ආන්ටි ටිකක් විතර සන්සුන් හඬින් ඇහුව.

මට හිතෙන්නෙ මගෙ ලෙක්චර් එක වැඩ කරල වගෙ.ආන්ටි සන්සුන් වෙලා. 

"අනික් දෙන්න ටිකක් විතර ප්‍රසිද්ධ අය. අන්න ඒ හින්දමයි අපි හිතුවෙ තුන්වෙනි ගායකය හෝ ගායිකාව ආධුනික කෙනෙක් වෙන්න ඕනය කියල. මේ මේ..නිකම්..මේ ෆ්‍රෙෂ් වොයිස් එකක්. එතකොට ටිකක් බැලන්ස් එකක් තියනවනෙ. නේද ආන්ටි?"

"හරි හරි ඒ ඔක්කොම ඇත්ත කියමුකො. මට කියන්නකො කවුද අනික් ගායකයො දෙන්න?"

"එක්කෙනෙක් හරිහරන්….අනික් එක්කෙනා එස්.පී. බාලසුබ්‍රමනියම්"

ආන්ටිගෙ කට බාගෙට ඇරුන. හොල්මන් පෝලිමක් එක දිගටම දැක්ක ගානට මාදිහා ඇසිපිය නොහෙලා ටික වෙලාවක් බලාහිටිය ආන්ටි දණිහට අත තියල අමාරුවෙන් වගෙ නැඟිටල ඉක්මන් ගමනින් කුස්සියට ගියා. මමත් ඇය පස්සෙන්ම ගියා.

"ආන්ටි...ආන්ටි...Please listen to me Aunty..මේක මේ ආන්ටි හිතන තරම් මහ බැරෑරුම් ප්‍රශ්ණයක් නෙවෙයි. හරි හරි..හරිහරනුයි එස්.පී.බී.යි කියන්නෙ බොහොම ප්‍රසිද්ධ අය තමයි. ඒත් මේක ගායනා තරඟයක් නෙවෙයිනෙ. නිකම් මේ කොන්සර්ට් එකක්. කොන්සර්ට් එකකට මිනිස්සු එන්නෙ ගායක ගායිකාවො විනිශ්චය කරන්න නෙවෙයිනෙ. සිංදුවක් දෙකක් අහල විනෝද වෙන්න. එතන තියෙන්නෙ එච්චරයි. ඒ හින්ද මෙතන ලොකුවට කලබල වෙන්න දෙයක් ඇත්තෙම නෑ."

මම දිගටම කියවගෙන ගියා. ආන්ටි මගෙ වචන නෑහුනා වගෙ පැතලි ෆ්‍රයිං පෑන් එකක් ලිප උඩ තියල වටපිට බැලුව. මම එතනම ෆ්‍රිජ් එක උඩ තිබ්බ දිග ගෑස් ලයිටර් එක අරගෙන ඇයට දුන්න. ආන්ටි ගෑස් ලිප පත්තු කලා.

ඈ රාක්කෙන් එළවළු තෙල් බෝතලේ අරගෙන ෆ්‍රයිං පෑන් එකේ අඩිය වැහෙන්න වත් කලා. තෙල් ගාණකට රත් උනාට පස්සෙ දකුණතේ ඇඟිලි තුනකින් අබ ටිකක් අරගෙන තෙල් උඩ විසුරුවල දැම්ම. ඒකටම කරපිංචා කොළ හත අටකුත් දැම්ම. අබයි කරපිංචයි උණු තෙලේ බැදෙන කටුක ගන්ධය කුස්සිය පුරාම පැතිරිල ගියේ සැණෙකින්. මම දකුණතින් කට වහගෙන දෙපාරක් හෙමීට කැස්සා.

අබයි කරපිංචයි ගානකට බැදෙනකොට ඈ තෙල් හැන්දත් උරුක් කරගෙන මගෙ දිහාට හැරුන. රත් වෙච්චි තෙල් හැන්දෙන් මට අනියිවත්ද කියල හිතල මම කෝකටත් අඩියක් දෙකක් විතර පස්සට උනා.

"ළමයා මේ අහන්න. මේක තමයි මම හොඳට දන්න දේ.... උයන එක. මම දවසම කරන්නෙත් ඒක. මම ඒ වැඩේට එක්ස්පර්ට් කෙනෙක්. ඒත් මම ස්ටේජ් එකෙක සිංදු කියන්න හැකියාවක් තියෙන ගායිකාවක් නෙවෙයි. මම සිංදු කියනව තමයි. ඒ ශාස්ත්‍රීය ගීත. ආධුනික මට්ටමින්. හරිහරන්, එස්.පී.බී. කියන්නෙ මේ රටේම විතරක් නෙවෙයි මුලු ලෝකෙම ප්‍රසිද්ධ ගායකයො. මම ඒ වගෙ අය එක්ක එක මේසෙ ඉඳගෙන ඉන්නවත් සුදුසුයි කියල මම හිතන්නෙ නෑ. ඉතිං එහෙම තියෙද්දි ඔයා මට කියනව එයාල දෙන්න එක්ක එකට ස්ටේජ් එකේ සිංදු කියන්නෙයි කියල. ඒක කොහොමවත්ම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..මට බෑ...මා එක්ක තරහ වෙන්න නම් එපා....."

"හරි හරි ආන්ටි. මම කලින්ම කිව්වනෙ කලබල වෙන්න එපාය කියල...මේක මේ තරඟයක් නෙවෙයිනෙ. තනිකරම විනෝදෙට කරන දෙයක්...අනික ඒ දෙන්න සිංදු කියන්නෙ ආන්ටි කිව්වට පස්සෙ….."

කිසි කිසි ගාල ලොකු ලූණු ලියන ගමන් ආන්ටි ඒ පැත්ත නොබලම කැපෙන කැපෙන ලූණු ප්‍රයිං පෑන් විසි කලා. චාස් චෝස් ගාල ලූණුත් අබයි කරපිංචයි එක්ක එකතුවෙලා බැදෙන්න ගත්ත. විසිවෙච්චි උණු තෙල් බිංදුවක් මගෙ වමතෙ මැණික්කටුව දිහාට වැටුන. මම දකුණතේ දබරැඟිල්ලෙන් තෙල් බිංදුව වැටුන තැන පිරිමැදගත්ත. ලූණු බැදෙන සැර සුවඳෙන් මගේ ඇස් දෙකත් එක්ක දන්ඩ ගත්ත. මම ටික වෙලාවක් තදින් ඇස් දෙක පියාගෙන හිටිය.

"ආන්ටි...මට මේක කියන්න...කවදාවත්ම ආන්ටි ස්ටේජ් එකක සිංදු කියලම නැද්ද?"

"නෑ...ම්ම්ම්..නෑ කියන්නමත් බෑ ඇත්තටම කල්පනා කරල බැලුවොත්. අංකල් ඔය රට පුරාම තැන් තැන්වල වැඩ කරපු කාලෙ..ඔය හැම තැනම තියනවනෙ ටැමිල් සංගම් කියල. ඒ ටැමිල් සංගම් ඉවෙන්ට්ස්වල නම් මම සිංදු කියල තියනව. ඒත් මේ ඔයා කියන එක එව්වයින් සම්පූර්ණයෙන්ම වෙනස්නෙ ක්‍රිෂ්, තරු පහේ හෝටලයක්...කෝටිපතියො ලක්ෂපතියො ඕඩියන්ස් එකේ. ඒ මදිවට හරිරනුයි එස්.පී.බී.යි...අනික මට තවම තේරෙන්නෙ නැත්තෙ ඒ වගෙ ප්‍රසිද්ධ දෙන්නෙක් ඉන්දැද්දි මාව මොකටද කියන එක..."

"දැන් මෙහෙමනෙ ආන්ටි…………"

තවම ලූණු බැදිච්චි සුවඳ කුස්සියෙ කැරකෙනව. මම කතාකලේ සැරින් සැරේ නහය මිරිකා ගමිනින්.

"ඒ දෙන්න සුපිරි ගණයේ වෘත්තීය ගායකයො. ප්‍රොෆෙෂනල්ස්ල. එයාල විතරක් හිටියොත් මේ ඉවෙන්ට් එක නිකම් තනිකර කොමර්ෂල් වෙනව. අපිට ඕන වෙන්නෙ මෙතන නිකං අපේ ක්ලයන්ට්ස්ලට තමන්ගෙ පපුවට දැනෙන, හදවතට සමීප මට්ටමේ එවෙන්ට් එකක් කරන්න. නිකම් මේ පොඩි කැෂුවල් ගතියක් වගෙ. අර ගාම්භීර මට්ටමින් පොඩ්ඩක් පල්ලෙහාට එන්න...."

මම කියන එව්ව තර්කානුකූලද මොකද කියල මම හිතුවෙ නෑ. ඔහේ කටට එන එක කියවගෙන ගියා. බලාගෙන යනකොට පොඩි තර්කානුකූල ගතියකුත් තියනව වගෙ නේද? මට මා ගැනම පොඩි ආඩම්බරයක් වගෙත් හිතුන.

ම්හු..ඒ මගෙ තර්කානුකූල කරුණු පැහැදිලි කීරිමට ආන්ටි එකඟ වුනේ නෑ. ඈ තොල තදින් පියාගෙන ඔලුව තිරස් අතට හොල්ලමින් මම ඉදිරිපත්කරන කරුණු වලට තමන් එකඟ නොවන බව අභිනයෙන් දක්වමින් ඉවුම් පිහුම් කටයුතු නොනවත්වා කරගෙන ගියා.

ඈ ලෙමන් රයිස්, තක්කාලි රසම් සහ බින්දි බැදුමකින් (බින්දි කියන්නෙ බණ්ඩක්කා) සමන්විත ආහාර වේලක් උයා පිහා අහවර කරන තුරුම මම වරින්වර නාසය සහ කට වසා ගනිමින් කුස්සියේ ඇය අසලම රැඳී සිටිමින් අපේ කොන්සර්ට් එකේ තුන්වන ගායිකාව වශයෙන් වේදිකාවට නැඟීමට ඇය පොළඹවා ගන්න උත්සාහ කලා.

"ඇයි ඔය ළමයා මෙහෙම මට බල කරන්නෙ?"

අන්තිමට ඇය ඇහුව. 

"මම කිව්වනෙ ඔයාගෙ සමාව ඉල්ලීම මම පිළිගත්තයි කියල. ආයම ඒ ගැන කරදර වෙන්න එපා…"

"නෑ ආන්ටි වරදවා වටහා ගන්න එපා. මම මෙහෙම කරන්නෙ ඒ හින්ද නෙවෙයි."

"එහෙනං?" 

ඇය ඇහුවෙ ප්ලාස්ටික් පිඟන් වලින් උයපුව ආවරණය කරමින්.

"මම මෙහෙම කරන්නෙ අන්ටි ඇත්තටම දක්ෂ ගායිකාවක් කියල මට හිතෙන හින්ද.."

"ඔයා කොහොමද ඒක දන්නෙ?"

"අනන්‍යා මට කිව්වෙ. අනන්‍යා ඒ එක්කම කිව්ව එයාගෙ අම්ම මුලු ජීවිතේම කැපකලේ සංගීතයට ඒ එක්කම අම්ම ඇත්තටම දක්ෂයි කියලත් කිව්ව. මට අනන්‍යා විශ්වාසයි ආන්ටි.."

ඇය ඇසිපිය නොහෙලා මිනිත්තුවක් විතර මගෙ දිහා බලාගෙන හිටිය. ඇගෙ ඇස්වල යම්තමට කඳුලු බිඳුවක් වගෙ දෙයක් දිලිසෙනවත් මම දැක්ක.

"ස්ටේජ් එකකට නැඟල සිංදුවක් කියන්න, අහගෙන ඉන්න මිනිස්සු අත්පොලසන් දෙනව අහන්න ආන්ටිගෙ හිතෙත් කොණක හරි පොඩි හැංගිච්ච ආසාවක් නැත්තෙමත් නෑ නේද?"

ආන්ටි පස්සෙන් ආපහු සාලෙට එද්දි මම එහෙම ඇහුව.

ඈ ආයෙම අපි කලින් ඉඳගෙන හිටපු සෝපාවෙ ඉඳගෙන මගෙ පැත්තට හැරුන. 

"ඇත්තටම මම ආසයි. එහෙම අවස්ථාවක් ලැබෙන එකත් ලොකු ගෞරවයක්. ඒත් මම හිතන්නෙ නෑ මට එහෙම දෙයක් කරගන්න පුලුවන් වේවිය කියල…."

"එක පාරටම බෑ කියන්න එපා ආන්ටි. මම කියන්නද? අපි මේක සර්ප්‍රයිස් එකක් විදිහට තියාගමු. අපි අංකල්ට නොකියා ඉමු. ආන්ටි කියනවනම් මම අනන්‍යාටත් නොකියා ඉන්නම්…."

අපි ඉස්සරහ තිබ්බ කැබිනට් එකේ එදා අංකලුයි මායි බිව්ව ෂිවාස් රීගල් එක බැබලි බැබලි තිබ්බ. ඒකෙ විස්කි මට්ටම එදා අපි නතර කරපු තැනින් පොඩ්ඩක්වත් පහළට ගිහිල්ල තිබ්බෙ නෑ.

"හරි අපි මෙහෙම එකඟ තාවයකට එමු. මොකද කියන්නෙ? ආන්ටි දැනට කැමතියි කියල කියන්නකො. අංකලුයි අනන්‍යයි ගෙදර නැතිවෙලාවට ආන්ටි අර මම කියපු විදිහට සිංදු හත අටක් පුරුදු වෙන්න. ඒක ඔයාට කොහොමවත්ම අමාරු වෙන එකක් නෑ. අනික දවල් දවසෙ අංකලුයි අනන්‍යයි කොහොමත් ගෙදර නැති හින්ද ආන්ටිට ප්‍රැක්ටිස් වෙන්න ඕන තරම් වෙලාව තියනව..."

"ඊට පස්සෙ?"

"ඊට පස්සෙ ආන්ටිට බෑ කියල හිතෙනව නම් කොන්සර්ට් එකට කලින් දවසෙ මට කියන්න. මම මොකක් හරි ඇරේන්ජ්මන්ට් එකක් දාගන්නම්. එහෙම අවුලක් නැත්නම් ආන්ටි එදාට සිංදු කියන්න. මොකද කියන්නෙ? කැමතියිනේ?"

"අද හා කිව්වත් මම දන්නව අන්තිම දවස වෙනකොට මම බෑ කියයි"

"හරි හරි අපි ඒක එදාට බලාගනිමුකො. ප්ලීස් ආන්ටි say yes.."

ආන්ටි තව මිනිත්තුවක් විතර කල්පනා කරල ආයෙම ඔලුව හෙල්ලුව. ඒත් මේ පාර තිරස් අතර නෙවෙයි සිරස් අතට. ඒ කියන්නෙ මම කැමතියි කියන එක.....

මම දඩස් ගාල සෝපාවෙන් නැඟිට්ට.

"ඕකේ..දැට්ස් ඩිසයිඩඩ් නව්..ආන්ටි දැන්මම ප්‍රැක්ටිස් පටන් ගන්න"

මම රිමෝට් එක අරගෙන ටී.වී. එක ක්‍රියාත්මක කරල M.T.V. චැනල් එක දැම්ම. 

"මේ මොනවද මේ?" ආන්ටි බයවෙලා වගෙ ඇහුව. 

ටී.වී. එකේ පුළුල් තිරේ පුරා පෙන්නුවෙ හොඳ පුෂ්ටිමත් ශරීරවලින් යුතු අඩ නිරුවත් දකුණු ඉන්දියානු යුවතියන් අඩුම ගණනෙ දෙතුන් සීයක්වත් චීන මහා ප්‍රාකාරය මත උඩ පැන පැන නර්තනයේ යෙදෙන දර්ශනයක්. ආන්ටි තුස්නිම්බූත වෙලා ඉන්දැද්දි මම සවුන්ඩ් එකත් ටිකක් වැඩි කලා. 

"හරි එහෙනම් ආන්ටි දැනට ඔය කියන සිංදුව පුරුදු වෙන්නකො. මම ආපහු වැඩට යනව."

අනන්‍යාලගෙ ගේට්ටුව වහල මම "Yes, I did it…" කියල කෑගහල, උඩ පැනල අත මිට මොලවල ගේට්ටුවට පාරක් ගැහුව. 

පාරෙ යන අවුරුදු හත අටක වගෙ කොල්ලො කෙල්ලො රංචුවක් මාව කන්ට වගෙ බලා ඉඳල මහ හයියෙන් හිනාවීගෙන පාර දිගේ දුවන්ට ගත්ත.

21 comments:

  1. දකුණු ඉන්දිය සින්දුවක් දා ක්‍රිශ් ගියේ වැඩපල බලා
    තියුණු ගති ඇති ආන්ටී අද හිටියෙ පුදුමයි ඉවසලා
    බැදුණු කෑමක රස සුවඳ සේ ක්‍රිශ්ගෙ පැතුමත් ඉටුවෙලා
    ළකුණු දෙයිදෝ ආන්ටී ගී වේදිකාවෙදි රැව්දිලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      තෝ ලියන විදිහට,
      හරක් ගොම්පස් දමන විලසට,
      කවි ලියන්නට බෑ මට,
      තැන්කු කියලා කියමි එහෙයින,

      Thanks Brother :)

      Delete
  2. හැක්.. හැක්.. MTV මියුසික් එකේ යන විෂුවල් දැකල එක්කො ආන්ටි සියදිවි තොර කරගනී. නැත්තං අර විස්කි කොටේ එක හුස්මට බීල අරියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..හෙහ්..එව්ව කියන්න බෑ...එව්ව කියන්න බෑ...

      කොහොමද ක්‍රිෂ්ගෙයි අනන්‍යාගෙයි ඩාන්ස් එක?

      Delete
  3. අපරාදේ ශිවාස් කොටේ.. ඔය පිට් එකෙන්ම ෂොට් දෙකක් තුනක් නමා ගන්න තිබ්බේ.. :))))

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඒකනෙ බං එහෙම තමයි අර යක්සයට කරන්න තිබ්බෙ...හෙහ්,හෙහ්

      Delete
  4. මේ කතාව නං මෙලෝම රහක් නැහැ. මේ යකා මොකක්හරි කියවන්න දෙයක් තියෙන කතා ලියන්න පටන්ගත්තොත් ඒවා භාගෙට පටන් අරං ලියලා නවත්තලා දානවා. මේ ගූ ගොඩ නං සතිපතා දානවා. මේ ලබ්බේ කතාව නැතුව දනවකෝ ඔයි අඩියක් එහෙම ගහලා ගත්තු ආතල් ගැන කතා ටිකක්. දැන් කී පාරක් කිව්වද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හරි හරි බං කාම් ඩවුන් කාම් ඩවුන්...

      නකතං වෙන්ට බීල වෙච්චි එව්ව තව තියනව බර ගානක්..ඉඳහංකො හෙමීට ලියන්නං..

      වැඩේ බං මේ කොටි වලිගෙ ඉවරයක් කරල ඉන්ට එපාය..එහෙම නැත්තං අනන්‍යාගෙ රසිකයො මයෙ මාලු කන්ට තනනවනෙ.

      තව වැඩි දවසක් නෑ. බං...මම මේ දැන් ගණං හදල බැලුව තව හරියටම ඇපිසෝඩ් 89 ක් ලියන්න වෙනව. එතකොට මාසෙට පහ ගානෙ වගෙ දැම්මොත් මාස 18යි යන්නෙ. ඒ කියන්නෙ 2019 අන්තිමට වගෙ ඉවරයි.

      හැබැයි දැනට දාපු ඇපිසෝඩ් 72 ලියන්ට මට අවුරුදු දෙකකුත් මාස නමයක් ගියා. ඒ ස්පීඩ් එකට බැලුවොත් නම මේක ඉවර කරන්න වෙන්නෙ 2022 මැද විතර. ඒ කියන්නෙ පළවෙනි නන්දසේන / දෙවෙනි ගෝඨාභය මහා රාජෝත්තමයාණන්ගෙ රාජ්‍ය කාලෙදි...හෙහ්,හෙහ්,

      ප.අ. ( ප.අ. කියන්නෙ පසුව අසමි )

      ඇනෝ හිතන්නෙ මොකද ? අපේ ගොස්ටා තුමා රජ උනහම මොකක්ද හොඳ නම? පළවෙනි නන්දේ ද නැත්නම් දෙවෙනි ගොට්ටා ද?

      Delete
    2. ඔය මිනීමරුවා ජනාධිපති වෙනවට වැඩිය සිරාත් හොදයි.

      මට පේන විදියට දැන් ඉන්න අයගෙන් ජනාධිපති වෙන්න සුදුසු ලිබරල් නායකයෙක්ට ඉන්නේ මංගල සමරවීර විතරයි. හැබැයි ඔහේගේ මේ ගොබ්බ අනන්‍යාගෙ කතාව කියවන්නත් ගොබ්බ රසිකයො බහුතරයක් කැමති නං ඒ වගේ මොට්ටයෝ රැලක් ඉන්න රටක මංගල ජනාධිපති වෙයි ඇයි?

      Delete
  5. Thank you Ravi. well done

    -ගොබ්බ රසිකයෙක්

    ReplyDelete
  6. මං තවත් ගොබ්බ රසිකයෙක්!

    ReplyDelete
    Replies
    1. එතකොට මං ගොබ්බයස්ට් රසිකයෙක්?

      Delete
  7. අනන්‍යාගෙ ගොබ්බ රසිකයො විදිහට ඔය ඇනෝල කියන හැටියට ලියන්ටය කියල හිටං ඔහේ තීරනය කරොත්නම් අපි මේකෙ සත්‍යග්‍රහයක් පටන්ගන්න එක සිකුරුයි. ආන්න ඒක මතක තියාගෙන ඉදිරි කොටස් ටික පරිවර්තනය කරනවානම් සතුටුයි හරිය?

    ReplyDelete
  8. මේ ක්‍රිෂ් නැන්දම්මාව මේකට කැමති කරගන්න හදන්නේ හරියට අර සම්පත් අමන්දිට ප්‍රොජෙක්ට් එකට --- ආ නෑ නෑ නෑ, එක්කො ඕනෙ නෑ... මං එහෙම දෙන්නෙක් ගැන දන්නෙ නෑ... :D :D :D

    මමද මේ කතාව ඉහළින්ම රසවිඳින ගොබ්බ රසිකාවියක්මි. :)

    ReplyDelete
  9. අර මයිසූර් පක් එකට වඩා මේ රෙසපි එක හොදා... ඒකනම් ට්‍රයි කරලා බලන්න වටිනවා...

    ReplyDelete
    Replies
    1. මට මේ කමෙන්ට් එක කිවෙව්වට පස්සේ හිතුනේ, අද කතාව මෙන්න මේ පොතේ පරිච්චේදයක් වගේ. ඔබතුමා කියවලා ඇති.

      https://en.wikipedia.org/wiki/Like_Water_for_Chocolate

      මම මේකේ සිංහල පරිවර්තනය තමයි කියෙව්වේ. "ළූණු සහ කඳුළු"

      පොත කියවලා නැති කෙනෙකුට: පොතේ හැම පරිච්චේදයක් ම පටන් ගන්නේ රෙසිපි එකක තියන අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ට් එකකින්. ඒ පරිච්චේදයේ කතාව ගලා යනකොට, රෙසිපි එකත් ඒ අතරින් විස්තර කෙරෙනවා. ඒ රෙසිපීස්, ඒ කාලේ තිබුණු සාම්ප්‍රදායික රෙසිපි. උදාහරණයකට, තාරාවෙක් උයනවා නම්, තාරාවා මරලා, හම ගහලා තමයි පටන් ගන්නේ. (ඒ ගෙදර ෆාම් එකක් තියනවා)

      ඒකත් දුක හිතෙන පෙම් කතාවක්, කවියක් වගේ. මම වැඩිය පොත් කියවන කෙනෙක් නෙවෙයි හැබැයි හරිම අපූරු අත්දැකීමක් වුනා ඒ පොත කියවන එක.

      Delete
    2. එක් මානවිකාවක් - ලූණු සහ කඳුළු මම ආසාවෙන් කියවපු පොතක්.... ඒකත් නිකන් සුජීවගෙ පොතක් වගේ රෙසපි ගොඩයි...හැබැයි ඉතින් එව්වා හදන්න මෙහෙනම් බෑ... ඒත් කතාව නියමයි... ගංගා නිරෝශනීගෙ මම ආසම පරිවර්ථනයක්...ෆිල්ම් එකකුත් තියෙනවා ඒකත් හරිම ලස්සනයි

      Delete
    3. සඳි,

      බොහොම ස්තුතියි. ෆිල්ම් එක බලල නෑ. බලන්න ඕනි. :)

      Delete
  10. ඔබතුමාගේ යාවජීව ගොබ්බ රසිකාවියක් විදියට, මා මේ කොටස ඉතා හොඳින් රසවින්දා. ඔබතුමා ගුරුවරී ගැනයි වාන්පතුල් ගැනයි ලිව්වත් අපි කියවනව. දේශපාලනේ ඇරෙන්න ඔබතුමා ලියන ඕන දෙයක් මම රස විඳිනව. ඔන්නොහෙ මොනවා ලිව්වත් කාගෙන් හරි බැනුම් අහන එකේ, ඔබතුමා ට වැඩියෙන්ම සතුටු හිතෙන දේවල් ලියන්න.

    නැන්දම්මා හදන රස කෑම එක කාලා යන්න ක්‍රිෂ් ට ඉන්න කියාවි කියල මම හිතුවෙ. කෝ නෑ නෙ. මට මේ ටික ෆිල්ම් එකේ මතකත් නෑ. එක්කෝ මම මුළු ෆිල්ම් එකම බැලුවේ නැතුවැති. මට මතක නෑ.

    නැන්දම්මා කියද්දී මතක් වුණේ, මම මේ දවස් වල රෑට කන ගමන් හුලං ගෙදර කියල කතාවක් බලනව. ඒකෙ බෝඩිමේ ඉන්න බෝඩින් කාරයා, ගෙදර අයිති කෙනාගේ දුවට ට්‍රයි. ගෙදර අයිතිකාර කාන්තාවට ඔහු හිටි ගමන් කියනවා,

    "නැන්දම්මා"

    "මොකක්ද මොකක්ද කිවුවේ?"

    "මම මේ ඇහුවේ, 'නැද්ද ආ' කියල. හී හිතේ තියන දේවල් තමයි ඇහෙන්නෙ."

    දැන් හුලං ගෙදර එපිසොඩ්ස් ටික බලල ඉවරයි වගේ. වෙන ප්‍රහසන නාට්‍යක් තියනවා නම් යෝජනා කරන්නකෝ මට ඩිනර් ගන්න ගමන් බලන්න. (ඩබල් මීනින් නැති එකක්)

    ReplyDelete
    Replies
    1. Maanaviks,

      /නැන්දම්මා හදන රස කෑම එක කාලා යන්න ක්‍රිෂ් ට ඉන්න කියාවි කියල මම හිතුවෙ. කෝ නෑ නෙ./

      නැන්දම්ම ඒ ඉව්වෙ රෑට...

      /මට මේ ටික ෆිල්ම් එකේ මතකත් නෑ. එක්කෝ මම මුළු ෆිල්ම් එකම බැලුවේ නැතුවැති. මට මතක නෑ./

      ෆිල්ම් එක මමත් බලල නෑනෙ...:(

      /වෙන ප්‍රහසන නාට්‍යක් තියනවා නම් යෝජනා කරන්නකෝ මට ඩිනර් ගන්න ගමන් බලන්න. (ඩබල් මීනින් නැති එකක්)/

      මේ දවස්වල යන ටෙලි චිත්‍රපට වලින් මට රෙකමදාරු කලෑකි..නේත්‍රා, උත්තම පුරුෂ, මිණි ගංදෑල සහ කෝටිපතියෝ...සති අන්තයේ යන එව්වයින් දෙයියන්ගෙ රටේ හොඳයි ( හැබැයි යෝදියෙ මෙව්ව විහිළු කතා එහෙම නෙවෙයි හොඳද? )

      Delete
  11. වෙන්නේ මෙහමයි. නැන්දම්මා ස්ටේජ් එකේ සම්පුරනයෙන්ම ඇන ගන්නව. ඊට පස්සේ අඬල අඬල සිහිය නැති වෙනවා . ක්‍රිස් මවුත් ටු මවුත් දෙනවා නැන්දම්මාගේ සිහිය ගන්න. නැන්දම්මා ක්‍රිස්ට ආදරේ කරන්න පටන් ගන්නවා ක්‍රිස් අනන්‍යා එක්ක නැන්දම්මාත් අරන් මාරුවෙනවා . අන්තිමට ක්‍රිස් ට ආදරේ හින්දම නැන්දම්මාඅවසර දෙනවා අනන්යට බඳින්න
    - ගොබ්බ රසිකයන් අතරේ එකම සම්භාව්‍ය රසිකයාණෝ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...