Sunday, October 28, 2018

612. සඳවතිය හන්තාන මත එබෙයි....



කොඳ මල්..........

සතිදෙකකින් විතර මොකවත් ලියන්ටත් බැරිඋනානෙ...සාමාන්‍යයෙන් මම අනිවාර්යයෙන් සතියකට සැරයක් පෝස්ට් එකක් දාන එක දානවාමයි. මේ පාර ඒ සුපුරුදු ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්ට බැරිවුනේ පහුගිය බෘහස්පතින්ද අපි අලුත් ගෙදරකට ආපු හින්ද. 

අලුත් කිව්ව්වෙ අපිට අලුත්. නැත්නම් අවුරුදු පහ හයක් පරණ එපාර්ට්මන්ට් එකක්.ඉතිං ඔය සුලු සුලු අලුත්වැඩියා කිරිලි, තීන්ත ගෑවිලි ටයිල් බයිල් එහෙම සුද්ද පවිත්‍ර කෙරිලි තිබ්බ ඕසෙට. පහුගිය සති අන්තෙ තනිකරම කලේ ඒ වැඩ කටයුතු. ඒ හින්ද තමයි සිකුරාද කොහොමත් මම දාන පෝස්ට් එක දාන්න අතපහු උනේ. දැන්නම් අවුලක් නෑ. 

ඉතිං ඔය පරණ ගෙදරින් එන්න ඉස්සෙල්ල අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කලා.එහෙම හොයා බලද්දි පරණ ෆයිල් එකක් ඇතුලෙ තිබිල හම්බ වුනා කියමුකො මම කාලෙකට ඉස්සෙල්ල ඒ කියන්නෙ හරියටම කිව්වොත් එයිට් ඉයර්ස් එගෝ ලියපු කවි කීපයක්. යටින් දිනෙත් තිබ්බ. 2010 ඔක්තොබර් 08. පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් විදිහට ලියපු කවි පෙළක්...

මම බ්ලොග් ලිවිල්ලට අත්පොත් තිබ්බෙ පොඩි කුමාරිහාමිගෙ වියුණුවෙන්. ඒක කියන්න ඕන කිසිම සැක සංකාවකින් තොරව. ඒ වගේම බොහොම දක්ෂ නිර්මාණශීලි රචකයො රචිකාවියො කීප දෙනෙකුත් මම අඳුනගත්තෙ පොඩ්ඩිගෙ වළව්වෙදි. ඒ බහුතරයක් දැන් ලියන්නෙ නෑ..ඒකයි මට කණගාටු..ඒකයි මට කණගාටු..ජානුස් ගොයිය..අමාරිස් ..ටී.ජී...ඒ දැනට නොලියන මොඩල් එකේ අංගනාවියො. සිත්තමී නම් තාමත් ලියනව දිව විකාගෙන...හෙහ්..හෙහ්...

හරි එහෙනම් මෙන්න ඒ කවි පෙළ...

සඳවතිය හන්තාන මත එබෙයි
පුබුදුවූ කොඳ කැකුළු මඟ සැලෙයි
සඳ කැණින් තෙමුණු නුඹ වත දිලෙයි
අපරිමිත සෙනෙහෙ මා හද පිරෙයි

නදීතෙර ළවැළි තල පා තබා
පිය නගමු දෙපා රිදෙනා තුරා
මේ හැඟුම් විඳිමු මුලු සිත පුරා
එපමණකි පැතුම දිවි ඇති තුරා

නුඹෙ කිකිණි සිනා හඬ අසන්නට මනාපයි
සිනහසෙනවිට දෑස සිහින්වෙන හැටි අගෙයි
පෙර සසර මෙලෙස අප සිටියදෝ මට හැඟෙයි
නිල් නයන විලට වැද ගිලෙන්නෙමි එද සැපයි

කතර වුව නුඹ අසල නම් සදෙව් ලොව වගෙයි
අතරමඟ නවාතැන් මේ මඟෙහි බොහො තිබෙයි
කල්ප සුවහසක්වුව නුඹ අසල නම් අගෙයි
සසර සරනා තුරා නුඹ මගෙයි මම නුඹෙයි

20 comments:

  1. Replies
    1. ස්තූතියි නිර්මාණි....:)

      Delete
  2. පුවක් එෂැණිං ලිපියක් බලාපොරොත්තුවෙන් හිටපු මට මේ කවි ටික නිකං මල් පැන් පොදක් කිණිත්තක් අගින් ඉසින්නා වගේ.... පංකාදු කවි ටික. බොහොම ස්තූතියි.....

    අලුත් නවාතැනට ගියාට අපෙන් සුභ පැතුම්. කිරියෙන් පැණියෙන් ඉතිරේවා!

    ඒක නෙමෙයි. මොකක්ද මේ ලුලු සිත කියන්නේ?

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      /පුවක් එෂැණිං ලිපියක් බලාපොරොත්තුවෙන් හිටපු මට../

      මේ දවස්වල වත් පොතේ ආතල් බල බල ප්‍රීතියෙන් ඔකඳ වෙමින් ඉන්නෙ...ගමරාළය කරපු වැඩේ නම් අන්තිම පජාතයි තමයි. ඒත් රනිලත් පට්ට හොරා හින්ද ඒ හැටිම අවුලකුත් නෑ...

      කොහොම උනත් පුවක් එෂැණිං දෙක තුනක්වත් ලියන්ට ඕමනයි...

      /අලුත් නවාතැනට ගියාට අපෙන් සුභ පැතුම්. කිරියෙන් පැණියෙන් ඉතිරේවා!/

      නවාතැන කිව්වම මතක් උනේ ..නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි..ජීවිතේ දිගු වන්දනා ගමනේ...ජීවිතේ දිගු වන්දනා ගමනේ...


      /ඒක නෙමෙයි. මොකක්ද මේ ලුලු සිත කියන්නේ? /

      වැරදීමක් ..වැරදීමක්...:)

      Delete
  3. මාත් මේ බලන් හිටියේ පුවක් එසැනින් එකක් වැටෙන කම්... රවිය නිකං දැන් පුවක් ගහ වගේ.. පුවක් වැටෙනකං මිනිස්සු බලං ඉන්නවා... හෙහ් හෙහ් හෙහ්...

    කොහොම උනත් මේවගේ ඒවා වැටෙන එකට අපි කැමතියි. මොකද කිව්වොත් ඉස්සරහට පුවක් වලු පිටින් බීමට වැටෙන්න ඉඩ තියෙනවා කියල ෂුවර් හින්ද.

    ගෙවල් මාරුව මහා පණ යන වැඩක් නේද...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      පුවක් ගහක් වගේ ඈ?...:)

      /ගෙවල් මාරුව මහා පණ යන වැඩක් නේද.../

      අයියෝ කියල වැඩක් නෑ බං..දැං අලුත් තැනට ඇවිල්ල දවස් හතරක් වෙන්ට ආව..තාමත් පොත්පත් ඇඳුම් කැඩුම් බහුතරයක් පෙට්ටිවල..අස් කරන්ට වෙලාවක් නෑ..සිකුරාද නිවාඩු දවසෙ තමයි එව්ව කොරන්ට වෙන්නෙ...

      Delete
  4. ඔහේ පුවක් එසැනින් ලියන්න යන්නෙපා. මොකද හෙට වෙන කොට කවුරු කවුරු වෙලා තියේද දන්නෑ. හැක්..

    මොනව උනත් අගේ ඇති කවි පෙල.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /මොකද හෙට වෙන කොට කවුරු කවුරු වෙලා තියේද දන්නෑ. හැක්../

      හෙහ්..හෙහ්..ඒකත් කියන්න බෑ තමයි...

      ප්‍රශංසාවට ස්තූතියි ප්‍රසන්න...:)

      Delete
  5. දැන් නම් පුවක් ගොඩක් එකතුවෙලා ඇති නෙ බං.

    ReplyDelete
    Replies
    1. ඒව මඩේ දානවලු.

      Delete
    2. හැලප,

      ආයෙත් අහල..පුවක් වැටිල තියනව ගහ යට වකාරෙට...:)

      Delete
  6. කාලයක් කියවන්නේ නැතුව අතාරලා දාලාහිටියේ . දැන් ආයෙත් කියවන්න පටන් ගත්තා . අද දෙවෙනි දවස .

    ReplyDelete
  7. සසර සරනා තුරා "නුඹ මගෙයි" කිව් එයා
    අතර සතුටින් තවම ඉන්නවානේ ඔයා
    නිතර නොලියන කවිය බලා ඉවතට නොයා
    හතර පදයක් ගොතා ඔන්න මම මෙතනින් ගියා....

    නව නවාතැනට සුභ පැතුම් අයියේ....

    ජයවේවා!!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...