Friday, August 30, 2019

638. ඔබට සුබ රාත්‍රියක් මගේ අතිජාත මිත්‍රයා......


සී ලංකාවට ගිහිල්ල ඉස්ටමක් එක අප්සැට් ගියා වගෙ ආපහු මෙහෙ ආපු ගමං කැස්ස හෙම්බිරිස්සාවක් හැදුන නකතං වෙන්ට. ඒ හින්ද මෙහෙ ඇවිල්ල සති දෙහෙකුත් ගියා බ්ලොග් එකේ කිසිම දෙයක් ලියාගන්ටත් බැරිඋනාය කිව්වම ඔන්න කොටිම්ම. යම්තමට එක විදිහක් උනේ මේ පහුගිය අඟහරුවාද. 

මම ඔන්න බෙහෙත් එහෙම බීල ඉන්හේලර් එකත් දෙපාරක් ඇදල කාරිය නිදාගන්ටයි ලැහැත්ති උනේ. මෙන්න ටෙලිපෝන් එක රිං වෙන්ට ගත්ත. අතට අරගෙන බැලින්නම් මහවැලියෙ මගෙ අතිජාත මිත්‍රයෙක්. මහින්ද...මේ පාර ලංකාවට ගියාම මට මහින්දය හම්බ වෙන්න උනේ නෑ..

"මහින්ද...මචං ඉතිං?"

"වීරෙ….මම හවස ඉඳලම ෆේස් බුක් එකේ උඹට මෙසේජ් තුන හතරක්ම තිබ්බ කෝ බං උඹෙන් නැහැනෙ හාවක් හූවක්.."

"අනේ බං මට මේ දවස්වල අසනීපයි ..කැස්සයි හෙම්බිරිස්සාවයි..අදනම් ෆේස් බුක් පළාතෙ යන්න බැරි වුනා.."

"ඒ පාර කොහොම හරි මගෙ පරණ ෆෝන් එකේ තිබිල උඹේ නොම්මරේ හොයාගෙන තමයි මේ කෝල් එක ගත්තෙ.."

"මොකෝ කේස් එක?.."

"අපේ අජිතය බං.."

"ඔව් ඔව්..අඩේ මේ පාර මට ඕකවත් හම්බවෙන්න උනේ නෑනෙ බං..උඹ වගේම තමයි..ඒත් මම කතාකලා හත් අට පාරක්ම...උගෙ අර පරණ හක හක ගාල පළාතම හෙල්ලෙන්ඩ දාන හිනාව එහෙම්මමයි බං හෙහ්..හෙහ්.."

"ආය උඹට ඒ හිනාව අහන්ට වෙන එකක් නෑ මල්ලි.."

"ඈ...ඒ මොකෝ? "

"අද හවස අජිතය නැතිවෙලා බං... "

"අප්පට උඩු...යකෝ ඒ මක් වෙලාද?"

"හාට් මචං..මූට මීට කලිනුත් තුන් හතර පාරක්ම හාට් ඇවිල්ල තියනව..යකෝ මේකා නිකමටවත් අපි කාටවත්ම කිවෙ නෑනෙ…"

මහින්දය එක්ක තව මිනිත්තු දහයක් වගෙ කතා කරල මම ෆෝන් එක තිබ්බ. මගෙ ඔලුවට පොල්ලකින් ගැහුව වගෙ. සති දෙකකට ඉස්සෙල්ල මා එක්ක පැය ගාණක් කතා කරපු අජිතය මේ වෙනකොට අපි අතරින් සදහටම වෙන් වෙලා ගිහිල්ල. 

"මචං උඹට මතකද අපි වැලිකන්දෙ ඉද්දි එක පාරක් රාජ කපුරු බැලුව...අරලගංවිල ඉස්කෝලෙ....." එහෙම කතා කරපු වෙලාවක මම අජිතයගෙන් ඇහුව.

"අප්පට සෝරු මොකද බං මතක නැත්තෙ? අපි දෙන්න නේද එදා අර ස්ටේජ් එකෙන් මතුවෙලා පහලට බැස්සෙ?"

"හෙහ්..හෙහ්..එහෙනං එහෙනං..තව පොඩ්ඩෙන් කවුද අර උඹේ යාලුව හිටියෙ ඒ ඉස්කෝලෙ ගුරා?..."..

"ජයන්තය ජයන්තය.."

"අන්න හරි ජයන්තයට තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් එකකුයි ස්ට්‍රෝක් එකකුයි එකටම හැදෙනව...හෙහ්..හෙහ්…"

"හයියෝ කියල වැඩක් නෑ බං ...ඒ කාලෙ වෙච්චි දේවල්..අපි කරපු දේවල්...දැන් මේ ඉන්න එවුන්ට කිව්වට විස්වාස කරන්නෙත් නෑ ඔන්න කොටින්ම.."

"පහුවදා මතකද උඹ ජයන්තයගෙ ජොකා ඇඳගෙන ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව? "

"අම්මපා ඔව් යකෝ..එව්ව අමතක වෙයිද මලාටවත්.."

"මේ මම යන්ට ඉස්සෙල්ල අනිවාර්යයෙන් හම්බ වෙමු මචං හොඳද?"

"ඔෆ් කෝස්... ඔෆ් කෝස්..ඩෙෆිනීට්ලි ඩෙෆිනීට්ලි…"

"මට එක පාරක් සම්මානෙකුත් හම්බ උනා කියහංකො බං උඹලගෙ ඔය පිස්සු විකාර ගැන ලියල…"

"හුටා..ඒ කොහෙන්ද? උඹ යකෝ ඔව්ව පත්තරේකටවත් ලිව්වද? හතර විලි ලැජ්ජාවයි..උඹ තියන්ට වටින්නෙ නෑනෙ.."

"නෑ..නෑ..පත්තරේකට නම් නෙවෙයි බං..උඹ අහල තියනවද බ්ලොග් කියල ජාතියක් තියනව?.."

"ම්හු...උඹ දන්නවනෙ බං මගෙ ඔය තාක්සන සයිඩ් එකස් නිල් කියල...ඉඳපන්කො මම අපේ පුතාගෙන් හරි දුවගෙන් හරි අහල බලන්නං එවුං ඔව්ව දන්නව ඇති ෂුවර් එකටම.."

ඒ තමයි අජිතයයි මායි කතා කරපු අන්තිම දවස. ආපහු මෙහෙ එන්ට කිට්ටු වෙලා දහ දොළොස් ගමණක් ට්‍රයි කලත් අජිතයගෙ ෆෝන් එක ඕෆ් කරල තිබ්බෙ. දැං ආරංචි හැටියට ඒ වෙනකොටත් අජිතය හොස්පිට්ල් එකේ...

ඉතිං එහෙනම් සුබ ගමන් මගේ මිත්‍රයා...එච්චර තමයි කියන්ට ඉතුරුවෙලා තියෙන්නෙ..

මේ විමලෙගෙ වාං පතුල් කතා සීරීස් එකේදි මම අජිතය ගැන ලියපුව....මගේ මිත්‍රයට උපහාර පිණිස මම කල්පනා කලා මේ ටික අද බ්ලොග් එකේ දාන්නම්ය කියල...ටිකක් දිග වැඩියි නම් තමයි..ඒත් කමක් නෑ ඔන්න ඔහෙ දානවය කියල හිතල දැම්ම..ආය ඉතිං අජිතය ගැන කතා ලියන්ට වෙන්නෙ නෑනෙ කවම කවදාකවත්...

එතකොට ඔය කතාවට සම්බන්ධයි මගෙ අතිජාත මිත්තරය අජිතය. අජිත් එක්ක වෙච්චි ආතල් සීන් එකක් ගැන තමයි මේ කියන්ට ආවෙ මම. හරි රාජ කපුරු ගැන මම කිව්වනෙ. අපෙ ඔෆිස් එක කිට්ටුව තිබ්බ මහා විද්‍යාලයක්. ඒ පැත්තෙම තිබ්බ ප්‍රසිද්ධම ඉස්කොලෙ. ඕකෙ හෝල් එකේ රාජ කපුරු පෙන්නනව කියල කියල අපිට ආව ආරංචියක්. ආය මොනවද පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ තමයි. අපේ කෑම්ප් එකේ ඔක්කෝටම යන්ට ඕන උනා රාජ කපුරු බලන්ට. 

ඔය පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ කියන කතාව ඇවිල්ල තියෙන්නෙ කොහොමද දන්නවද? ජපන්නු කොළඹට බෝම්බ දැම්මනෙ දෙවන ලෝක යුද්ධෙ කාලෙ 1942 දි. ඒ වෙලාවෙ වැරදීමකින් පිස්සං කොටුවටත් බෝම්බ වැටිල. ඒකෙන් තමයි ඔය පිස්සං කොටුවට බෝම්බ දැම්ම වගෙ කියන කතාව ඇවිල්ල තියෙන්නෙ. 

ඉතිං අපි ඔක්කෝටම ඕන උනා රාජ කපුරු බලන්ට. ඒ පාර ඔන්න අපි ගියා රාජපක්ස බොස් ළඟට අවසර අරගන්ට සහ වාහන ඉල්ලගන්ට. රාජපක්ස බොස් මතකනෙ නේද? අර කේබියට ගර්ත් එක මනින්ට කියල වැඩේ බාර දුන්නෙ..අන්න එයා තමයි...හෙහ්,හෙහ්,

"රයිට් දැං කීදෙනෙක් ඉන්නවද ඕක බලන්ට යන්ට?" රාජපක්ස බොස් ඇහුව. 

"අපි ඔක්කොම දොළහක් වගෙ ඉන්නව බොස්" මම කිව්ව. 

"හරි එහෙනං ජීප් දෙකක් කතාකරගෙන යන්ට. ඩීසල් නැත්තං එස්.කේ.ට කියල ගහගෙන යන්ට" 

"රයිට් බොස් තෑන්ක්ස්" 

ඔය රාජ කපුරු පෙන්නුවෙ කිලෝ මීටර් විස්සක් වගෙ එහා තියන ඉස්කෝලෙක ශාලාවෙ. ඒ ඉස්කෝලෙම ඉගැන්නුව අජිතයගෙ ගමේ ඌත් එක්ක පොඩි කාලෙ ඉඳලම එකටම ඉස්කෝලෙ ගිය එකෙක්. ජයන්ත කියල. උංගෙ සුබසාධක සංගමෙන් තමයි රාජ කපුරු ගෙන්නල තියෙන්නෙ. ජයන්තය හරිම හොඳ එකා. ඉතාම අහිංසකයි. අජිතය හම්බ වෙන්ට ඇවිල්ල දවස් දෙක තුනේ ඉන්නව වීක් එන්ඩ් එකට අපේ චමරියෙ. ඒ හින්දම අපි ඔක්කොම එක්ක බුදු ෆිට් ඌ. මත්පැන් කට හරියෙ තියන්නෙ නෑ. ඒත් අපි බීල ඉවර වෙනකල් කීයට හරි ඇහැරගෙන ඉන්නව ඌත්. 

ඔය ඉස්කෝලෙට කිලෝ මීටර් තුන හතරක් මෙහා තියනව රෙස්ටෝරන්ට් එකක්. ඒකෙම පැත්තක බාර් එකක්. බාර් එකෙන් බඩු අරගෙන රෙස්ටෝරන්ට් එකේ බයිට් එහෙම හදවගෙන බිව්වැකි අවුලක් නැතුව. 

"මොකද බං කරන්නෙ? කැකුළෙම්ම නාට්ටිය බලනවද?.... නැත්තං?" රෙස්ටෝරන්ට් එක කිට්ටු වෙනකොට මම අජිතයගෙන් ඇහුව. 

අජිතය වෙලාව බැලුව. "පහයි විස්සයි....අඩේ පැයකටත් වඩා තියනවනෙ. මෙච්චර කලින් ගිහිල්ල මොකක් කරන්ටද? යමල්ල පොඩි එකක් නවාගමු…" 

"මචං ඒත් බීල ගිහිල්ල කේස් එකක් වෙයිද?" මම පොඩ්ඩක් පස්ස ගැහැව්ව. 

"පිස්සුද? ආය එහෙම කේස් වෙන්ට බොන්නෙ කවුද?ලාවට දෙකක් දාගමු" අජිතය කිව්ව. 

"ඒත් බං අපි තාම ටිකට් අරගෙනත් නෑ" මම ආයෙම මතක් කලා. 

"මේ වීරෙ. උඹට බොන්ට ඕනද නැද්ද? ඒක කියාපං මට " 

"චුට්ටක් ගන්ට නම් ඕන තමයි. අනික අර සුවඳ සබං ඇඟ ගාලා එකට මට නටන්ට ඕන. දෙකක් දාගන්නෙ නැතුව කොහොමද ඒක කරන්නෙ?" 

"අන්න ඒකනෙ වරෙං එහෙනං කෙඳිරිගාන්නෙ නැතුව. ටිකට් ගැන බයවෙන්ට එපා. ජයන්තය ඇවිල්ල මගෙ අතීසාර මිත්‍රය. ඌ එතන ප්‍රධාන සංවිධායක. තව පැයකටත් වැඩිය වෙලාව තියනවනෙ. මෙච්චර කලින් ගිහිල්ල ඔතන අර යක්කු අඳිනව බලන් ඉන්ටය. වරෙල්ල වරෙල්ල ගාණට දෙකක් නවාගෙන යමු" 

අජිත් එහෙම කියල "ඔන්න ඔය රෙස්ටොරන්ට් එකේ මිදුලට අල්ලල නතර කරපං සුමනෙ.." කියල අපෙ රියදුරාට කිව්ව. අපි කට්ටියත් ඉතිං හෙමිහිට බැහැල කාරිය හිට ගිහිල්ල ඉඳගත්ත.

ඒ කාලෙ ඔය රෙස්ටෝරන්ට් එකේ තිබ්බෙ දාසයෙ කම්බි නවල ඒකට රවුං ලෑලි කෑල්ලක් ගහල හදපු මේසයි ඒ ක්‍රමේටම හදපු පුටුයි. දෙක තුන වෙලා තුන හතර වෙනකොට ඇඟේ ලේ නෑ. කවුරුහරි ඩෝප් සීන් එකේ අර මේසෙට බැරිවෙලාවත් බර උනොත් එහෙම ආය නෑ මේසෙ උඩ තියන තියන සබ්බ සකල මනාවම සල බලාං ගාල බිම. 

අපි එක්ක ඉන්න නොබොන එකෙක් එහෙම වෙලාවට අපි ඒ වැඩේට පංගාර්තු කරනව. මේසෙට අනතුරක් නොවී රැකබලාගන්න රාජකාරිය. එදා රවුම් මේසෙ වටේ හිටපු ඔක්කොමල වගෙ පොඩිවට හරි ගන්නව. ඒ නිසා ඒ වැඩේ බාර දුන්න සුමනසිරිට. සුමනසිරි කිව්වෙ අපේ රථාචාර්‍ය තුමා. 

"සුමනෙ උඹ දෙකක් දාගනිං ඕනම නං...අඩේ ඊට වැඩිය බොන්ට එහෙම එපා. උඹට ආඅහු ගිහාම අරං දෙන්නං බාගයක් තනියම ගහන්ට" අජිතය එහෙම උපදෙස් දුන්න. 

"ඔව් බං මේ රෑ නෑවොත් මට අනිවාර්යයෙන් හෙම්බිරිස්සාව හැදෙනව ඒකෙ ආය දෙකක් නෑ." මම එහෙම කිව්වෙ අපි ආපහු යන්නෙ මහ ඇළ ඉවුර දිගට තියන පාරෙ නිසා. මහ ඇළ කිව්වෙ ZD සමාගමෙන් හදපු වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය. ZD කිව්වෙ අමරිකන් ඉදිකිරීම් සමාගමක්. 

මේස වටේ වාඩි වෙලා බෝතල් දෙහෙකින් පටන් ගත්තු වැඩේ දන්නවනෙ ආය නැඟලම ගියා. 

අන්තිමට කොහොම හරි ඔන්න අප්පමාදෝ අමර පදං වෙලා තමයි එතනිං නැඟිට්ටෙ. ඒත් අපේ රියදුරු සුමනසිරිගෙ වදෙං බේරෙන්ට බැරුව. මිනිහට බොහොම තදින් උවමනාව තිබ්බ රාජකපුරු බලන්ට. 

"යං යං මහත්තය දැං බලන්ට හයයි හතළිහයි. නාට්ටිය දැන් බාගයක් විතර ඉවර වෙලත් ඇති. අඩු ගානෙ අර සිංදුවවත් බලන්ට යමු." සුමනසිරි කෙඳිරි ගානව. 

"හරි හරි බං යමු උඹ ඔය සිංදුවට ඔයහැටි ආස නං ඉඳහංකො මම කියන්නං" අජිතය එහෙම කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන. ඒ උගෙ හැටියක් ...ටිකක් සළකල වැදුනම ඇස් දෙක ලොකු කරගෙන ඉන්නෙ...හෙහ්,හෙහ්, 

ඔහොම ඉන්නව නාගසලං උනහම එක එක විච්චූරණ කරන උදවිය. ඔන්න අපෙ එකෙක් හිටිය ඌට දෙක වැදුනද කඩ්ඩෙං තමයි කතාව. කැකුළෙං ඉන්දැද්දි මැරූ කොට ඉංග්‍රීසි වචනයක් කටෙං එලියට දාන්නෙ නැති එකා යන්තමට දෙකක් බඩට ගියාද අම්මට සිරි බලන්ට එපාය වැඩේ සුද්දෙක්ව ගිලල වගේනෙ කඩ්ඩ වනන්නෙ. 

තව එවුන් ඉන්නව දෙවෙනි ෂොට් එක කෙලින්ම වදින්නෙ මොළේ අර මතකය ගබඩා කරල තියන තැනක් තියෙන්නෙ අන්න එතනට. ඔය තැන තියනවයි කියන්නෙ මොලේ අග්න්‍යාශයයි හයිපොතැලමසයි අතර. චුට්ටක් ගිණිකොණ පැත්තට වෙන්ට. මේ අඟල් තුනයි තුන්කාලක් වගෙ. ඉතිං ඔතනට අරක්කු ටික ගිහාම උන්ට ඔන්න එක පාරටම අතීතානුස්මරණය වෙනව. 

"ඒයි උඹ මතකද අර එදා පොසොන් දවසෙ පරාක්‍රමේ බන්ට් එකේ බිව්ව දවසෙ අම්ම මතක් කරල මට බැන්න?." ඔන්න කීර්තිය කමිසෙ අත් දෙකත් උඩට නවන ගමං උදිතගෙන් අහනව. 

"පිස්සුද බං? විකාර කතා නොකර ඔන්න ඔහොම ඉඳහං ඉන්න විදිහට...." උදිත නෝමල් පොර හින්ද හොඳයි. කිර්තිය වගේම මොළේ කොලොප්පං එකෙක් නං එතන මිනියක් දෙකක් මැරිලයි වැඩේ කෙලවරක් වෙන්නෙ. 

"අඩේ ඔන්න මට දැනුයි මතක් උනේ...උඹ දැන් මාස තුනකට වගෙ ඉස්සෙල්ල මගෙන් රුපියල් පන්සීයක ලෝන් එකක් දැම්ම නේද කාටද අසනීපයි කියල. " 

චන්දරේගෙ මතක ශක්තිය අවදි වෙලා ඕවර් ඩ්‍රයිව් ගිහිල්ල.... ඌ එහෙම කියන්නෙ ඇල්බට්ට. ඇල්බත් එක්ක කොහෙද ඒ සෙල්ලං… 

"අනේ පළයන්ට මගෙ එහෙම කවුරුවත් අසනීප උනේ නෑ මතක ඇති කාලෙකට." ඇල්බ දොර ගාවට ගිහිල්ල තුන් පාරක් මිදුලට කෙළ ගහල එනව. "ෂික් අම්මප මුන් එක්ක කොහෙද? නිකං වස් වදින කතා අපිටම කියවෙනව මේකල එක්ක ආස්සරේ කරනකොට" ඇල්බ කියන්නෙ කේන්තියෙන් පුපුර පුපුර. 

ඔහොම ඉන්නව නා නා පොරවල්.... 

කොහොම හරි ඔන්න කට්ටියම එළියට බැස්ස විසිවෙවී වගෙ. හප්පච්චියෙ ඔය වගෙ නකතං වෙන්ට වැදුනම මොනව කරනවද මොනව කියනවද කියල අපිටම තේරුමක් නෑ. පහුවදාට මතකත් නෑ. ටිකක් කෙලිං කටිං සිහියක් පතක් ඇතුව හිටපු යාලුවො පහුවදා කියනකොට තමයි ඔන්න මයිල් කෙලිං වෙලා පොලව පලාගෙන යන්ට හිතෙන්නෙ. 

"ඒයි වීරෙ..උඹ මාර වැඩේනෙ බං ඊයෙ අර කට්ටිය ඔක්කොම මැද්දෑවෙ කලේ.." 

"නෑ..මොකද බං?.....මම මොකද කලේ?...." මගෙ ඇඟත් එක්ක හීතල වෙලා යනව. දෙයියෝ සාක්කි සිහියක් පතක් නැතිවෙලාවෙ මොනව කලාද කියල කවුද දන්නෙ? 

රාජකපුරු පෙන්නන හෝල් එක ගාවටත් ගියයි කියමුකො අතුරු ආන්තරාවක් කිසිදෙයක් නොවී. මෙන්න අපි යනකොටත් සෙනඟ බාගෙට බාගයක් එළියෙ.ඒ කියන්නෙ අපි පරක්කු උනාට නාට්ටිය තවම පටන්ගෙන නෑ. එළියෙත් මාර ආතල්. ඉන්න එවුන්ගෙනුත් බාගෙට බාගයක් හොඳ ගානට බීල. එහෙට වැනෙනෙව මෙහෙට වැනෙනව. අහල ගං හතටම ඇහෙන්ට කෑගහනව. එක විකාරයයි. 

කොහොම හරි මේ ආතල් එක දැක්කම අපේ හිතටත් ටිකක් තන්තෝසයි. මොකෝ අපි බයේ හිටියෙ බීල ගිය එක අහුවෙලා අපෙ කීර්තිනාමයට කැලලක් වෙයි කියල. විශේෂයෙන්ම අපිටත් වඩා අපේ ආයතනයට. පහුවදා කතන්දරේ පැතිරෙන්නෙ ඉතිං මෙහෙමනෙ. අන්න අර ****** වැඩ කරන එවුං කට්ටියක් හොඳටම බීල ඇවිල්ල අරම කලා, මෙහෙම කලා, අන්න එහෙමනෙ. අන්තිම නෝන්ඩියනෙ. ඒත් මෙතන තියන විදිහට වාතාවරණයෙ හැටියට එහෙම අබග්ගයක් වෙන්ට බෑ කොහෙත්ම, ඔක්කොමල වගෙ සකෘදාගාමී ඵලයටවත් පත්වෙලයි ඉන්නෙ අවම වශයෙන්...හෙහ්,හෙහ්, 

"ටිකට් නැතුව කොහොමද බං ඇතුලට යන්නෙ?" ටිකක් සිහිය තිබ්බ එකෙක් ඇහුව. 

"උඹ බය නැතුව ඉඳහං...අපි ජයන්තයට පණිවිඩයක් අරිමු. ඕකා ඇති හෝල් එක ඇතුලෙ කොහෙ හරි" අජිත් කිව්ව. 

"මූ ඇවිල්ල නැද්ද දන්නෙත් නෑ…" මම ජීප් එකේ බොනට් එකට හේත්තු වෙලා කිව්ව. කෙලින් ඉන්ට බැරි හින්දමත්ම නෙවෙයි. එහෙම ඉන්නකොට තියනව පොඩි ගතියක්..කෙල්ලො එහෙම බල බල යනව....හෙහ්,හෙහ්, 

"පිස්සුද බං? ඌ නෑවිත් කොහොමද? ඒකානෙ මෙතන ප්‍රදාන සංවිදායක" 

දොර ගාව ටිකට් චෙක් කරමින් හිටිය උස මහත තරුණයෙක්ගෙන් අපි ඇහුව ජයන්තය ගැන. අපි දිහා නළල රැලි කරල තරමක නොපහන් බැල්මක් හෙලපු ඒකා "ආ ජයන්ත අයියද? ඇතුලෙ ඇති…. අරෙහෙට වෙල ඉන්න මම පණිවිඩයක් යවන්නං" කියල කිව්වෙ මූණත්තහඩුව දෙහි ලෙල්ල වගෙ හදාගෙන. 

අජිතය ඌ දිහා රවාගෙනම හිටි පියවර ඉන්නව දැකල සමරෙයි, විජෙයි අජිතයව ඇදගෙන ගියා කොරිඩෝවෙන් එලියට. 

"දැක්කද අර ***** පුතා කියාපු කතාව. එළියට වෙල ඉන්ට කියන්ට ඌ කොහෙං ආපු හයියක් හිතට අරගෙනද? අම්මාපල්ල මට ඕකගෙ...." 

හෝල් එකට යන්ට කලිම්ම අම්බානක පෝරියල් එකක් කන්ට වෙයි වගෙ මිදුලෙදිම...මම හෙමිහිට මටම තොල් මතුර ගත්ත. 

"මොනවද බං උඹල මේ කරන්නෙ? මේ අනේ..කියන තැනකට වඳින්නං පිස්සු නම් කෙලින්න එපා…" ජයන්තය ආවෙ ඈත ඉඳලම අඬාගෙන… 

"කවුද ඩෝ පිස්සු කෙලියෙ? අපි මේ බොහොම ඩීසන්ට් පිට ඇවිල්ල අර ගස් ගෝනගෙන් උඹ ගැන ඇහුව. ඌ අපිට කිව්වෙ නැද්ද එළියට වෙලා ඉන්ට කියල" අජිත් තාප්පෙ අයිනෙ තිබ්බ අරලිය ගහේ අත්තක් අල්ලගෙන හොල්ල හොල්ල ටිකක් සද්දෙට කෑගැහුව. සුදු අරලිය මල් වරුසාවක් වගෙ අපි අවට වැටෙන්ට ගත්ත. 

"හරි හරි දැන් කෑගහන්ට එපා" ජයන්තය බය වෙච්චි පාර ඇස් දෙකත් ලොකු කරගෙන වට පිට බැලුව. 

"මචං උඹ ගාව ටිකට් තියනවද?" මම උගෙ උරස්සෙන් අල්ලල ඇහුව. 

"ආ..මචං වීරෙ..ටිකට් මම උඹලට වෙනම තියගෙන හිටිය. ඒක හොඳට ගියා. ටිකට් ඉවර උනේ දැන් පැය බාගෙකට වගෙ ඉස්සෙල්ල. තව පනහක් හැටක් ඉන්නව නාට්‍යය බලන්ට ඕන කියල වලි දානව. අනේ මන්ද මොකද කරන්නෙ කියල" ජයන්ත උඩ සාක්කුවෙන් ගත්ත ටිකට් වගයක් මට දික් කලා. 

"පව්නෙ බං..ආය සීට් ගානට ටිකට් විකිණිලානං අවුලක් නෑනෙ. ඉතුරු එවුං නිකං ඇතුලට දාපං…" අජිත් එහෙම කිව්වෙ ජයන්තයගෙ කර වටේ අතක් දාගන්න ගමං.

"පිස්සුද බං? ඇතුලෙ ආය ඉඩ නෑ. එහෙම එලියෙ ඉන්න එවුං ඔක්කොම ඇතුලට දැම්මොත් එවුන්ට නාට්‍යය බලන්ට වෙන්නෙ පුටුවල ඉඳං ඉන්න එවුන්ගෙ කරවල් උඩ නැඟල තමයි" 

"එහෙම කැමති වෙන එකක් නෑ බං සල්ලිත් දීල ටිකට් ගත්තු මිනිස්සු..හෙහ්,හෙහ්,. උඹට ඕනනං අපි ඉඳගෙන ඉන්න මිනිස්සුංගෙං අහල බලන්නං තව කට්ටියක් ඉන්නව එළියෙ ඇතුලට එන්ට ඉඩ නැතුව. සුළු වෙලාවකට එයාල ඔයාලගෙ කර උඩ හිටියට කමක් නැද්ද කියල" මම ෆුල් සිරාපිට කිව්ව. 

මම එහෙම කිව්වම ජයන්තයගෙ කටත් ඇරුන බාගෙට. 

" සුළු වෙලාවකට කිව්වෙ?" අජිත් ඇහැව්ව. 

"දිගටම කරේ තියාගෙන ඉන්ටත් බෑනෙ බං..මාරුවෙන් මාරුවට දෙන්නට මාරු වෙන්ට කියමු. අපි ඕනනං මෙහෙමත් කරමු." 

"ඒ කොහොමද?" 

"නාට්ටියෙ කෑල්ලක් වගෙ කියන්ට කියමු ..අර කවුද බං සුවඳ සබං සින්දුව කියන්නෙ?" 

" රවීන්ද්‍ර යසස්නෙ..ඉතිං ? …" ජයන්තය ඇහුව නළලත් රැලි කරගෙන. 

"රයිට් මිනිහට අපි කියමු නාට්ටියෙ කෑල්ලක් වගෙ මෙහෙම කියන්ට කියල රායිට් එහෙනං දැං ඔය කරවල් උඩ නැඟල නාට්ටිය බලන අය කරවල් වලින් බැහැල තමන් කර උඩ තියාගෙන නාට්ටිය බලන්ට අවස්තාව ලබාදුන්නු ඒ සත් පුරුෂයා හෝ කාන්තාව කළගුණ සැලකීමක් විදිහට තමන්ගෙ කරට ගන්ට" 

"නෑහ්??? කාන්තාවන්ගෙ කරෙත් පුරුෂයො නැඟල ඉන්නවද?" අජිත්ගෙ මූණෙං එකයි හිනාව. 

"එහනං ආය...මේ කලබල අස්සෙ ගෑණු පිරිමි හොයන්නෙ කොහොමද? අහුවෙච්චි එකාගෙ හරි එකීගෙ හරි කරේ නඟින්ටයි තියෙන්නෙ" 

අපි ඉතිං හෙමීටත් නෙවෙයිනෙ ඔතන ඔය සාකච්ඡාව කරගෙන ගියේ. ඒ වෙනකොට අහල පහල හිටපු හත් අට දෙනෙක් අපි වටේට එකතුවෙලා බොහොම උනන්දුවෙන් කතාවට ඇහුංකං දෙනව. ඒක දැකල ජයන්තයගෙ ඔලුව තවත් නරක් වෙන්ට ඇති. 

"මේ විකාර කියවන එක නවත්තල අරෙහෙ ඇතුලට ගිහිල්ල ඉඳ ගනිල්ල..හා යමල්ල ඉතිං…" අජිතයගෙයි මගෙයි අත්දෙක අල්ලගෙන අපිව ඇදගෙන වගෙ ගියා හෝල් එක පැත්තට. අනික එවුනුත් ඒ පස්සෙම්ම ආව. 

"මචං නියම වැඩේ ඒක. අපිටත් බැරිවෙයිද දන්නෙ නෑ ඔය බබලතෙක්ගෙ කරේ නඟින්ට." 

"මේ උඹල මෙතන මගෙ කාඩ් කුඩු කරන්නෙ නැතුව කටවල් වහගනිල්ල. අපෙ ස්ටාෆ් එක ඔක්කොම දන්නව උඹල මගෙ යාලුවො කියල. බඩ පුරා බීල මදිවට තව විකාර කියනවන" ජයන්තය දත්මිටි කෑව.. 

"ආ ජයන්ත අයියෙ..මොකද නාට්‍යය තව පරක්කු?" කොරිඩෝ එකේ අපිව පහුකරගෙන යන්ට ආපු එළ ද බ්‍රා නංගිල හතර පස් දෙනෙක් ජයන්තයගෙන ඇහුව. 

"ආ..මේ මේ..තවම කට්ටිය අඳිනව..වැඩි වෙලාවක් යන එකක් නෑ..සුනේත්‍රා නංගි..තව විනාඩි පහලවක් යයි වැඩිම.." ජයන්ත හිනාවෙලා කිව්ව. 

කෙල්ලො අපි දිහා අමුතු විදිහට බලල යන්ට ගියා. ටික දුරක් ගිහිල්ල පස්ස හැරිල බලන්නවත් මම දැක්ක මාත් නැවතිල එවුං යන දිහාවෙ හැරිල බලාහිටපු හින්ද.. 

"යකෝ ඔහොම කන්ට වගෙ බලා ඉන්ට එපා බං" ජයන්තය ආයම මගෙ අතිං ඇදගෙන වගෙ ගියා කොරිඩෝව දිගේ ඉස්සරහට. 

හෝල් එකේ පිටිපස්සම දොරෙන් අපිව ඇතුලට දැම්ම ජයන්තය. "අඩේ මේ ඔන්න මෙතන ඉඳගෙන ඉඳහල්ල." අන්තිම පුටු පේළි දෙක තුන විතරයි හිස් තිබුනෙ. හෝල් එකෙන් එකයි කට කපල සෙනඟ. මිනිස්සුන්ගෙ කෑගැහිල්ලෙ සද්දෙට කතාකරන දෙයක් වත් ඇහෙන්නෙ නෑ. කණටම කරල බෙරිහන් දෙන්න ඕන. 

"අඩේ බං අපි දෙන්න එන්නං උඹත් එක්ක. අරුං දෙන්න හම්බ වෙලා කතාකරන්ට ඕන. " 

"කවුද බං මොන දෙන්නද?" ජයන්ත මගෙ කණට කරල බෙරිහං දුන්න. 

"කවුද බං අර නළුව? ආ ජනක් ප්‍රේමලාල්…. අනික් එක්කෙනා සුවඳ සබං..රවීන්ද්‍ර යසස්…" මමත් ජයන්තයගෙ කණට කරල බෙරිනං දීල කිව්ව. මම කෑගැහව්ව සද්දෙ වැඩිද කොහෙද..ජයන්තය කණත් අල්ලගෙන පස්සට වීසිඋනා. 

"ඔච්චර හයියෙං කෑ ගහන්ට ඕන නෑ යකෝ...මගෙ කණත් හෝ හෝ ගානව.." ජයන්තය මූණත් ඇඹුල් කරගෙන කෑගැහැව්ව. 

ඔච්චර හයියෙං කෑගහන්ට ඕන නෑ කිව්වම ඒ වගේ තව කතාවක් මතක් උනා. දතක් ගලවගන්ට ගියා ඔන්න එක මනුස්සයෙක්. "ආ කට අරිනව බලන්ට.." දත් දොස්තර කිව්ව. මිනිහ බයටම කට ඇරිය අප්පල්ලයක් වාගෙ. "ඔච්චර කට අරින්ට ඕන නෑ අයිසෙ, මම දත ගලවන්නෙ එළියෙ ඉඳං..." දත් දොස්තර ඒ පාර කිව්ව. 

"හරි හරි ආය බෙරිහං දෙන්නෙ නෑ... ඉතිං යමංකො එහෙනං ..මේ ඔටෝග්‍රාෆ් එක සයින් කරගන්ටත් ඕන." 

ඊට මාස තුනහතරකට කලින් අපිට අලුතෙන් ක්ලාර්ක් කෙනෙක් ආව ජයනි කියල. හුරුබුහුටි කෙල්ල. අපි රාජ කපුරු බලන්ට යනව කිව්වම මට ගෙනත් දුන්න එයාගෙ ඔටෝග්‍රාෆ් එක. "අනේ අයියෙ මේකෙ එයාලගෙ අත්සන් ගහගෙන එන්ඩකො තරහ නැතුව" 

"හරි හරි නෝ ප්‍රොබ්ලම්" මම ඔටෝග්‍රාෆ් එක සාක්කුවෙ දාගන්න ගමන් කිව්ව. යකෝ ඒක තියනවද දන්නෙත් නෑ. කලිසමේ සාක්කුව අතගාල බැලුව. හෙහ්, හෙහ්, අවුලක් නෑ..තියනව තියනව. 

"මේ උඹලගෙ කරදරේ හින්දම මම එක්ක යන්නං..හැබැයි අනේ බං එතන ගිහිල්ල පිස්සු එහෙම කෙලින්න එපා..හොඳද?" 

"හරි, හරි බං එහෙමත් කරනවද ආය..උඹ හිතන්නෙ අපිට ඩෝප් කියලද?" අජිත් ඇහුව. 

"නෑ නෑ මොන ඩෝප්ද? මම දන්නෙ නැද්ද? හරි හරි යමල්ල එහෙනං" ජයන්තය ඉස්සර උනා… 

ස්ටේජ් එකෙන් පිටිපස්සෙ තාවකාලික තහඩු ගහල හදල තිබ්බ පොඩි කාමරයක් වගෙ එකක්. ඒකෙ තමයි නළු නිළියො ලක ලෑස්ති උනේ. මොකද ඔය හෝල් එක ඉස්කෝලෙට හදපු හෝල් එකක්නෙ. රූ ගැන්වීම්, වේශ නිරූපණ වගෙ එව්වට වෙනම තැනක් තිබ්බෙ නෑ. 

ජනක් ප්‍රේමලාල්ට අපි යනකොට මේක් අප් දානව. අපි ගිහිල්ල කටත් ඇරගෙන බලා ඉන්නකොට මනුස්සයට අප්සෙට් වාගෙ. මොනව කියන්ටද කියල හිතාගන්ට බැරුව තුස්නිම්බූත වෙලා වගෙ අජිතයගෙයි මගෙයි මූනු දිහා මාරුවෙන් මාරුවට බලන්ට ගත්ත. මේ පහුගිය දවස්වල අයි.ටී.එන්. එකේ රණා බලනකොට මට ජනක් ප්‍රේමලාල්ව දැකල මැරෙන්ඩ හිනහයි ඒ සීන් එක මතක් වෙලා. 

"කවුද ජයන්ත මල්ලි..ඔයාගෙ යාලුවොද?" ජනක් හිනාවෙලා ඇහුව ජයන්තය දිහාට හැරිල. ජයන්තය ප්‍රදාන සංවිදායකයානෙ. මුගෙ නම ගම එහෙම දන්නව ජනක්. 

"ඔව් අයියෙ මගෙ යාලුවො දෙන්නෙක්. මේ වීරෙ මේ අජිත්" ජයන්ත අපිව අඳුන්වල දුන්න. ඒ එක්ක කට ඇතුලෙං මොනව්ද හෙමිහිට සුටුපුටු ගෑව. ෂුවර් එකටම කියන්ට ඇත්තෙ "යාලුවො තමයි..මගෙ පූරුවෙ කරුම දෝසෙකට හම්බ වෙච්ච යාලුවො.. " වගෙ මොකක් හරි වෙන්න ඕන. 

අපි ටිකක් වෙලා ජනක් එක්ක කතාකරකර හිටිය. හොරණ ගැන මම් ටිකක් විස්තර දන්නව. ජනක් ඇවිල්ල හොරණ. ඒ අතරෙ ජයන්තයට පණිවිඩයක් ආව.. 

"අන්න බං ප්‍රින්සිපල් උඹව හොයනව…" 

"හරි මම එන්නං..ඒයි උඹලත් එහෙනම් විජහට වරෙල්ල. මේ ගොල්ලන්ට බාදාවක්නෙ අපි මෙතන කතාකර කර ඉන්න එක" 

එහෙම කියල ජයන්තය ගියා. යන ගමනුත් පස්ස හැරිල දෙතුන් වතාවක්ම බැලුව. මම හිතන්නෙ ඌට ෂුවර් නෑ අපි දෙන්න ඌ නැති අතර මොන විකාරයක් කරයිද කියල. මටනම් දැන් හොඳ ගණං. කතා කරන එව්ව ඇහෙනව නෑහෙනව වගෙ. වාක්‍ය එහෙම කෑලි ඇහෙන්නෙ. අද තැපෑලෙං වදින සයිස් එකක් තියෙන්නෙ..සමහරදාට එහෙම වෙනව. 

" යමං මචං..."

මම අජිතයට කිව්ව.අපි දෙන්න ජනක්ට සැලියුට් එහෙකුත් ගහගෙන එතනින් මාරු උනා. ආපහු එද්දි කොරිඩෝව දිගේ ඇවිල්ල පිටිපස්ස දොරෙන් ඇතුල් වෙන්න තිබ්බ එක අපිට පාර වැරදිල ස්ටේජ් එකට යැවුනෙ. 

"හුටා..අපි මේ ඉස්ටේජ් එකට නේද ආවෙ…" අජිත් ඔලුවෙ අත ගහගත්ත. හද්ද කලුවරයි. ඉස්සරහ තියනව මෙරූන් පාට වගෙ තිරේ. ඒක එහා පැත්තෙං ඇහෙනව මිනිස්සුංගෙ ගෝසාව. 

"මොකද බං කරන්නෙ ? ආපහු ගිහිල්ල වටෙං යමු නේද?" අජිත් ඇහුව. 

"පිස්සුද බං? ආය ඔය වට වංගියෙ යන්නෙ මොන කෙහෙම්මලකටද? මෙන්න මේ තිරේ ඈත් කරල යමං…" 

එහෙම කියල මම තිරේ පොඩ්ඩක් දෙපැත්තට කරල ඔලුව දාල බැලුව. අප්පට සිරි ගජ..සෙනඟ කට කපල. ඊස් මීස් නෑ. අපි අර හෝල් එක ඇතුලෙන් සෙනඟ දැක්කට මෙහෙම ස්ටේජ් එක උඩ ඉඳල බැලුවම තමයි හරියටම පේන්නෙ සෙනඟ කන්දරාව. අර කතාවට කියන්නෙ වැලි අහුරක් උඩ දැම්මොත් කියල...අන්න ඒ වගේ. 

මම ඉතිං ඔහොම තිරේ අස්සෙං ඔලු ගෙඩිය විතරක් දාල බලා ඉන්නව සෙනඟ දිහාවෙ. එක පාරටම මෙන්න මිනිස්සුන්ගෙ සද්දෙ ටික ටික අඩුවෙලා ගිහිල්ල නැතිවෙලා ගියා. බලනකොට මෙන්න හෝල් එකේ ඉන්න ඔක්කොම මා දිහා බලා ඉන්නව. අර පුදුම සතා බලනව වගෙ. ඉස්සරහම හිටපු පොඩි කෙල්ලො වගයක් හිකි හිකි ගාන්ට ගත්ත. 

ඒ අස්සෙ මම දැක්ක ජයන්තය හෝල් එකේ පිටිපස්සෙ ඉඳල හරි මැදින් තියෙන ප්‍රවේශ මාර්ගය දිගේ (ප්‍රවේශ මාර්ගය කියන්නෙ ඔය හෝල් වල එහෙම සීට් පේලි මැදින් එහෙ මෙහෙ යන්ට තියන අවකාශයට, ඉංග්‍රීසියෙන් කියන්නෙ Aisle ) දනි පනි ගාගෙන එනව ඉස්සරහට දකුණු අතත් දික්කරගෙන මොනවදෝ කිය කිය. 

"ඒයි මචං සිංදුවක් කියමුද?" අජිතය මගෙ පිටිපස්සෙං ඇවිල්ල මගෙ කරට අතදාල හිටගත්තෙ තිරේ දෙපැත්තට ඇදල දාල එහෙම. 

"අඩේ ගුඩ් අයිඩියා. මොකක්ද කියන්නෙ?" මම උගෙ කරට වාරුවෙලා කණට කරල ඇහුව. 

"සුවඳ සබං එකම කියමු. දැන් මෙතනට අදාල වෙන්නෙ ඒකනෙ" 

ඒ වෙනකොට ජයන්තය ස්ටේජ් එක ගාවටම ඇවිල්ල. ඔලුව උස්සල අපි දිහා බාලගෙන දත්මිටි කනව මට ස්ටේජ් එක උඩට ඇහෙනව. 

"යකෝ ඔතනිං බැහැපල්ල දෙන්නත් එක්කම මෙතන විකාර කරන්නෙ නැතුව. දැං නාට්ටියත් පටන් ගන්නයි යන්නෙ" ඌ දත්මිටි කාගෙනම කිව්ව. 

"හරි බං හරි හරි නාට්ටිය පටං ගන්නවනං අවුලක් නෑ. හරි මචං අපි බහිමු" 

අජිතයට එහෙම කියල අපි දෙන්න එහෙම්මම පැන්න ස්ටේජ් එකෙං බිමට. ජයන්තය මගෙ අත මිරිකල අල්ල ගත්තු පාර රතුවෙලා තිබ්බ පහුවදා හවස් වෙනකල්. 

"දැංවත් යමං ගිහිල්ල ඉඳගෙන සද්ද නැතුව ඉඳහල්ල... මගෙ රස්සාවටත් එක්ක කෙලවන්නෙ නැතුව." 

ජයන්ත අපි දෙන්නව ඇදගෙන ආව හෝල් එකේ පිටිපස්සට. සෙනඟ පස්ස හැරි හැරි බලනව අපි දිහාවෙ. ඒ අස්සෙ අර මම කලින් කිව්ව ඉටි කිරිස් කෙල්ලො කට්ටියත් ඉන්නව ඔන්න ඉඳගෙන. මම උංට ගැහුව සැලියුට් එකක්. උං අහක බලගෙන අතිං කටවල් වහගෙන හිනා වෙන්ට ගත්ත. 

එතනින් පස්සෙ නම් ඒ හැටි කියන්ට තරං දෙයක් උනේ නෑ. ටිකකිං නාට්ටිය පටං ගත්ත. ආ..මම අර කිව්වෙ ඉඩ නැතුව එලියෙ හිටිය කියල සෑහෙන සෙනඟක්. නාට්ටිය පටන් ගත්තට පස්සෙ සංවිධායක මණ්ඩලේ තීරණයක් අරගෙන දොරවල් ඇරල එයාලට හෝල් එකේ පිටිපස්සට ඇතුල් වෙන්ට දුන්න. නියම කොල්ලො ටිකක් උං ..මම කිව්වෙ අර බමරු වගෙ හිටියයි කියල අන්න උං..

අපි කට්ටියම එකතු වෙලා අන්තිම පේලි පහක වගෙ පුටු දැම්ම එළියට. ඊට පස්සෙ ආය නෑ නටන්ට ගත්ත එකසිය ගාණට. සුවඳ සබන් සිංදුව කියන්ට උනා රවීන්ද්‍ර යසස්ට මයෙ හිතේ තුං පාරක්ද කොහෙද... 

රයිට් අර රාජ කපුරු බැලුවනෙ අපි කට්ටිය. බැලුවයි කියන්නෙ ආය තනිකරම ඩාන්සිං තමයි. ඔන්න ඔව්ව මෙව්ව ඔක්කොම ඉවර වෙලා අපි කට්ටිය ගිහිල්ල නැග්ග කියමුකො ජීප් එකට. එහාට මෙහාට කැපිච්ච පණුව වගෙ දඟලලම ඒ වෙනකොට සුරාමතත් බැහැලයි තිබ්බෙ. ඔය සුට්ටක් වගෙ වැඩි උණහම පොඩ්ඩක් එහාට මෙහාට දැඟලුවහම සූර් බහිනව හිටු කියල. මගෙ යාලුවෙක් ඉන්නව බොනකොට ආය නෑ මූ පුටුවෙ ඉඳගත්තද ගල් බුද්දා වගෙ එහෙම්මම තමයි. ෂොට් එකක් වක්කරගන්ට බයිට් මොනවහරි ගන්ට යන්තමට අතක් උස්සනව එච්චරයි. 

"පිස්සුද බං? සාරීරික ක්‍රියාකාරිත්වය වැඩි වෙන්ට වැඩිවෙන්ට ආතල් එක බහිනව. සල්ලි දීල බොන එකේ අඩුම වියදමෙන් උපරිම තෘප්තියක් ලබාගන්ට ඕන.." 

ඒ ගැන ඇහුවම ඌ කියන්නෙ එහෙමයි. කතාව බොරුවක්මත් නෙවෙයි බලාගෙන යනකොට. 

මල් ගැහුවමත් එහෙමනෙ……… 

"ආ.. උඹ අදත් ෂපාන් එකේ ඉන්නව නේද යකෝ බෝක්කුව උඩට වෙලා..වර යන්ට පොලීසියට " 

"අනේ බුදු රාළහාමි, කියන තැනකට වඳිඤ්ඤං….. ආතල් එක කඩන්නෙ නැතුව හෙමීට උස්සල අරගෙන ගිහිල්ල ජීප් එකෙං තියන්ට හොඳද? ...බුදු බව අත්වෙයි" 

ඉතිං ජීප් එකේ පිටිපස්සෙ වාඩි වෙලා ඉන්නව මම. අජිතය එහෙම තාම බිම. කට්ටිය පොරේ ජයන්තය අපි එක්ක එක්ක යන්ට අපේ කෑම්ප් එකට. 

"බෑ මචං මම ඉන්ටම ඕන.. නැත්තං හරි නෑනෙ. " 

"දැං වැඩේ ඉවරනෙ බං...ආය මොනවද මෙතන කරන්ට තියෙන්නෙ? අර උඹේ ගෝලය ගස් ගෝනට වැඩේ බාර දීල උඹ යමං අපිත් එක්ක. " 

අජිතය ඌට බල කරනව. ගස් ගෝන මතකයි නේද? අර ජයන්තය කෝ කියල ඇහුවම මම පණිවිඩයක් යවන්නං එතකල් ඔය ගොල්ලො ටිකක් එළියෙං ඉන්ට කියල කිව්වෙ..හෙහ්,හෙහ්, …..ආන්න ඌ... 

"ඔව් බං ජයන්ත අද යමං එහෙ.." 

එහෙම කියාගෙන ජීප් එකේ පිටිපස්සෙ දොරට වාරුවෙලා මමත් ඔන්න ඒ පාර බැස්ස බිමට. එහෙම බහිද්දි මෙන්න මොකද්ද වැටිච්චි මගෙ කලිසං සාක්කුවෙ තියල. 

"යකෝ මේ ජයනිගෙ ඔටෝ ග්‍රාෆ් එක නේද? අම්මට **** උඹ අද මේකෙ අස්සං හත අටක්වත් ගහගෙන ගියෙ නැත්තං...." අජිත් නැමිල ඒක ඇහුලුව. 

"අම්මට ****** කිව්වලු...කෝ මගෙ බැට් එක?" එහෙම කිව්වෙ ලසිත් මාලිංග..හෙහ්,හෙහ්, මතකයි නේද? ඕස්ට්‍රේලියාවෙදි .... 

"අම්මාපල්ල බලපංකො ඉතිං හාංකවිසියක් මතක් උනේ නැතිකොට..අනේ ජයන්තයො ගිහිල්ල අර සුවඳ සබංගෙයි ජනක්ගෙයි වත් ඕකෙ අස්සං ගහගෙන වරෙංකො.." 

"පිස්සුද බං?..... දැං එවුං අරහෙ යන්ට ලෑස්තිවෙනව ඇති..ඔය අස්සෙ මට පුලුවන්ද මේ ඔටෝ ග්‍රාෆ් එකක් අරං යන්ට.." 

"මළ කෙලියක්නෙ උනේ..අර අම්මණ්ඩි මගෙ ඔලුවත් එක්ක කයි…" 

"ඉඳහං බං බොරුවට විලාප ගහන්නෙ නැතුව. ජයන්ත මේ ඔන්න උඹ මේකෙ ඔය අස්සං දෙක තුනක් ගහල දාපං…" 

" මම? ….." 

"ඔව් බං උඹ තමයි...අර යෝදි දන්නවය උඹය කියල අස්සං කලේ..යන්තමට නම කියවගන්ට පුලුවං විදිහට ගහපං පිටුවක් පිරෙන්ට ලොකුවට. " 

"උඹල හින්ද වෙලාවක මට බෝගම්බර තපින්ටයි වෙන්නෙ." 

එහෙම කට ඇතුලෙං කියව කියව ජයන්තය ගැහුව රවීන්ද්‍ර යසස්ගෙයි, ජනක් ප්‍රේමලාල්ගෙයි අස්සං ජීප් එකේ බොනට් එක උඩ තියාගෙන. 

"තව කවුද බං රාජ කපුරු එකේ ඉන්නෙ? මතක් කරපල්ලකො තව අස්සං දෙක තුනක් වත් ගහන්ට …..කරනවත් වෙලා වැඩේ පිළිවෙලකට කරන්ට එපාය." අජිත් ඒ එහෙම ඇහුවෙ.. 

"දෙනවක හාමිනේ හිටිය නේද? එයාගෙ අස්සනත් ගහපං" මම ජීප් එකේ බෆර් එක උඩ ඉඳගෙන කිව්ව. 

"ඔය කිව්වෙ.. ඔය කිව්වෙ….අනේ මේ...මගෙං මොකවත් අහගෙන්නෙ නැතුව ඉඳහං" අජිත් මගෙ බෙල්ලට එකක් දුන්න..හෙහ්,හෙහ්, 

කොහොම හරි අස්සං වැඩේ නියමෙට කෙරුන. මම පහුවදා ලෝඩ් බකිංහැම් වගෙ ඔටෝග්‍රාෆ් එක ගිහිල්ල දුන්න ජයනිට. 

"අනේ තෑන්ක්ස් අයියෙ. තෑන්ක්යූ සෝ මච්.." ජයනි මට මුව නොසෑහෙන්ට ස්තූති කලා. 

එතන ඇත්තටම වංචාවක් උනාට ඒක ඇවිල්ල කිරිමෙල් වංචාවක් නෙවෙයි. සද්බාවයෙන් කරපු වංචාවක් නිසා එව්වට පව් සිද්ද වෙන්නෙ නෑ. විනය පිටකයෙ එහෙම තියනව කියල අපෙ හිතවත් හාමුදුරු නමක් මා දැක්ක කිව්ව දවසක්. 

එදා කොහොම හරි ඔන්න ජයන්තයත් අපි එක්ක ගියා. පොරොන්දු උනා වගේම බාග දෙකක් අරගෙන එකක් සුමනසිරිට දුන්න. අනික අපි කට්ටිය ගහල නිදාගන්නකොට මයෙ හිතේ පාන්දර දෙකත් පහුද කොහෙද… 

මොන සෙල්ලම දැම්මත් රාජකාරිය කොරන්ට එපාය. පහුවදා පාන්දරම බැරි මරගාතෙ කට්ටිය නැඟිටල නාල කරල යහමිං දිව කාරිය මැදල වැඩට ගියා. ජයන්තය අපි යනකොටත් නිදි. අජිතය ඌව කීද්දුව. 

"මචං ජයන්ත.... අපි යනව වැඩට. උඹ අද ඉන්නවද? නැත්තං…" 

"බෑ බං මම අටට අටහමාරට වගෙ යන්නං...ඊයෙ අර රාජ කපුරු වැඩේ ඉතුරු විය හියදං එකලාසයක් කරන්ට එපාය. මගේනෙ වගකීම.." ජයන්ත නැඟිටල ඇඳේ ඉඳ ගත්ත. 

"රයිට් මචං එහෙනං පස්සෙ හම්බ වෙමු……" අපි එහෙම කියල ආව. 

හරියටම ඔහොම දවසට තමයි ඔලුව උස්සන්ට බැරුව වැඩ සෙට් වෙන්නෙ. එදත් එහෙම දවසක්. යන්තමට එක වාගෙ වෙනකොට වැඩ ටික එකලාසයක් කරල මම ආපහු ආව අපෙ ක්වාටර්ස් එකට. 

කඳු පාමුල සිට... දැහැනට සම වැද 
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද 
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන 
ආල වඩන සඳ... කිඳුරු ළියේ 

මම ඔය සිංදුවත් කියාගෙනම කුස්සිය පැත්තෙං ගෙට ගොඩ උනා. ඒ දවස්වල බොහොම ජනප්‍රිය වෙච්චි ආත්මා ලියනගේ ගෙ ගීතයක්..ලියතඹරා...ආආආ....මුදු කුසුමකී ඈ..තවුසන්ගේ..ඒ ඒ ඒ ඒ ..දැහැනේ සම බිඳිනා..අන්න ඒකත් ඔය ආත්මාගෙම තමයි 

"මිටියාවත් කඳු... ශිඛර සිසාරා...........සඳ බැස යන තුරු... අවර වන පෙතේ……..සැමී මොනවද බං දවල්ට ඉව්වෙ?...ලූලෙක් වත් හම්බුනේ නැද්ද? ඊයෙත් හරියට කෑමක් නෑ කොල්ලො...අද බූසෙ කොටන්ට ඕන ටිකක් සලකලා" 

ඔහොම කියව කියව කමිසෙත් ගලවගෙනම මම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා..ඈ..මෙන්න යකෝ අටහමාරට යනවයි කියපු එකා..ජයන්තය.... ඇඳේ හොඳට දිග ඇදිල නිදි… 

"ඒයි ජයන්ත නැඟිටපං බං..උඹ උදේම යනව කිව්ව නේද? මොකෝ මචං සනීප නැද්ද?" 

මම උගෙ උරෙස්සෙං අල්ලල හෙලෙව්ව. ඔන්න ඕක ඇහැරිය..මා දිහා බලල ආයෙම කොට්ටෙ ඔලුව ගහ ගත්ත. 

"මොකද බං සීන් එක? කියාපංකො..ඇත්තටම අසනීපයක්ද?" 

"මට ඇති අසනීපයක් නෑ යකෝ.." 

"එහෙනං?...කියාපංකො ඉතිං?..... මොකද කේස් එක?" 

"මගෙ ජොකා නෑ……" ජයන්තය දත්මිටි කාගෙන කිව්ව.. 

"මොකක්?...." මගෙ කටත් එක්ක ඇරුන. 

"ජොකා නෑ?..මොකද ඒකට උනේ?...." 

"ඒක තමයි මාත් අහන්නෙ? මොකද ඒකට උනේ?" ජයන්තය මගෙ දිහා රවල බැලුව. 

"යකෝ මට රවන්නෙ? මම ගත්ත වගේනෙ....මේ මචං..හොඳට මතක් කරපං උඹට බුදු ෂුවර්ද ජොකා ඊයෙ ඇඳගෙන ආවය කියල.." 

"මේ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව ඉඳහං..මොකද බං මට මතක නැත්තෙ?..මොකද තොපි වගෙ මාත් නකතං වෙන්ට බොනවය?" ජයන්තය කාමරේ දෙකක් වෙන්ට කෑගැහුව. 

"හරි හරි බං....හරි හරි.... කාම් ඩවුන් කාම් ඩවුන්..ඕකේ?" මම උගෙ අත්දෙක අල්ලගෙන ඌව සංසුං කලා. 

ඉතිං ඔන්න එකා එකා දවල් කෑම වෙලාව අල්ලල ආපහු ක්වාටර්ස් එකට එන්ට ගත්ත. ඒ ආපු හැමෝම ජයන්තයගෙ ජොකා නැතිවෙච්චි සීන් එක ගැන බොහොම විස්සෝප උනා. ඒ ඇර ජොකාට වෙච්චි දෙයක් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. අන්තිමටම වගෙ ආවෙ අජිතය. ඕකනෙ ජයන්තයගෙ කල්‍යාණ මිත්‍රය. අජිතය හින්දනෙ අපි ජයන්තය අඳුර ගත්තෙත්. 

"මොකද බං තාම මෙතන? මම හිතුවෙ උඹ උදෙම්ම යන්ට ඇතිය කියල…" එහෙම කෑගහගෙන අජිතය කාමරේට ආව. 

"නෑ බං ජයන්තයගෙ ජොකා මිසිං. ඒකයි ඌ ගිහිල්ල නැත්තෙ" මම කිව්ව. 

"පිස්සුද බං? ආය මඟුලක් කතා කරනව. මුගෙ ජොකා ගන්ට ආය කවුද මෙහෙ ඉන්නෙ? උඹ ෂුවර් එකටම ඊයෙ ජොක්ලස් එන්ට ඇත්තෙ." අජිතය එහෙම කියව කියව සරමක් උඩිං දාගෙන ජොකා ගලවල ටවල් රැක් එක උඩට දැම්ම. 

"මේ උඹ මගෙං මොකවත්……." එහෙම කියාගෙන ජයන්තය ඇඳෙන් නැඟිට්ට දුන්නෙ දුනුදිය මුදා හැරිය වගෙ. ඒ එක්කම උගෙ ඇස් ලොකු උනා තරමක පීරිසි දෙකක් විතර. 

"අම්මට උඩු..අන්න මගෙ ජොකා.." ජයන්තය කෑගහගෙන අජිතය ටවල් රැක් එක උඩට දැම්ම ජොකාට ඇඟිල්ල දික්කරල පෙන්නුව. 

"රම්පෙට පොරි කිව්වලු. ඔය ජොකා උඹේද? කලින් කියන්ට එපාද බං..අනික මම ඒත් කල්පනා කලා. මාර හිරයි. උදේ ඉඳල මම තාම හරියකට හුස්මක් කටක් ගත්තෙ නෑ කිව්වම උඹල විස්වාස කරනවද? උඹ මොන කෙහෙල්මලටද ජයන්ත උඹේ ජොකා මගෙ කලිසම ගාවම ගැහැව්වෙ? උදේ පාන්දර කලුවරේ මම හිතුවෙ ඒ මගේ ජොකා කියලනෙ" 

19 comments:

  1. කතාව පටන් ගත්තෙ මරණයකින් උනාට කියවල ඉවර වෙනකොට හොඳටම හිනහයි. මට කැම්පස් කාලෙ මතක් වුනා. පව් අප්පා ජයනි. අපේ මාමා කෙනෙකුත් මං පොඩි කාලෙ ඔය වගේ වැඩක් කරලා ඒක දැනගත්තෙ එයා මැරුණටත් පස්සෙ.

    අජිත්ගෙ පින්තූරෙ දැක්කම මට මතක් උනේ මං දන්න කෙනෙක්ව. මිනිහා මටත් වැඩිය බාල උනාට බීලා, බීලා පෙනුම ඔයිට කිට්ටුවෙන් යන ගානට පත්වෙලා. විගහට කියවලා බැලුවෙ එයාද කියලා. මොනවා උනත් රවීගෙ යාළුවාට සුභ ගමන් කියලා පතනවා මාත්.

    ReplyDelete
  2. අජිත්ට නිවන් සුව ලැබේවා.....

    කොහොම උනත් හොඳ ආතල් පොරක් වගේ......

    ReplyDelete
  3. අජිත් ට සුබ ගමන් පතනව.

    වාංපතුල් සීරීස් එකේ මගේ කැමතිම චරිතයක් තමයි අජිතය.

    // "හරි බං එහෙනං මම යන්නං....මම ආපහු වැඩට එන්නෙ දවස් හතර පහක් වගෙ ගිහිල්ල...එතකොට කතා කරමුකො..." අජිතය මා ගාවට ඇවිල්ල මාව වැළඳ ගත්ත. "වෙන්ට තියන දෙයක් වළක්වන්ට බෑනෙ බං. ඒ හින්ද ඒ ඔක්කොම අතෑරලා දාපං..." උගෙ ඇස් දෙකේ කඳුලු මට කලුවරේ පෙනුනෙ නැති වුනාට කටහඬින් මට තේරුනා ඌ අඬන්ඩ ඔන්න මෙන්න කියල. අජිතය එහෙමට සෙන්ටිමෙන්ටල් පොරක් නෙවෙයි. ඒ හින්දම මගෙ ඇස් වලටත් කඳුළු ආවෙ මටත් නොදැනීම.

    "හරි හරි බං ඔව්ව ගණං ගන්ට එපා....." මම ඇහි පිය තදිං පියාගෙන උගෙ පිටට තට්ටු කලා.//

    ReplyDelete
  4. දුක සතුටක් කරගැනිම තමයි හොදම නිවන
    අජිත්ට සුබ ගමන්

    ReplyDelete
  5. ජිවත් වෙලා ඉන්න කාලේ කාලා බීලා, අනික් අයත් එක්ක සන්තෝෂෙන්, සාමෙන් ඉදලා මැරිලා යන එක තමයි වීරේ සැබෑ නිවන.

    ReplyDelete
  6. මට මැවිල පෙනුනා බෝල මූණක් තිරේ පලාගෙන එලියට ඇවිත් තියන හැටි
    මොනව කළත් අන්තිමට ඉතුරු වෙන්නේ ඔය වගේ මතක විතරයි!
    අජිත් ට සුබ ගමන්!

    ReplyDelete
  7. අජිත් ට සුභ ගමන්.. ඇරියස් එකක් නැතුවැති හිටපු කාලේ අඩු උනාට.. ජිවිතේ විඳලා තියෙනවනේ.. ඔය පෙන්නේ නැද්ද? :))

    ReplyDelete
  8. හිටය ටික ජොලියේ ජීවත්වෙච්චි එකෙක්....සුබ ගමන් අජිත්!

    ReplyDelete
  9. අජිත්ට නිවන් සුව ලැබේවා... ජොක්කු කතා කීපයක් මතක් උනා.. හෙටානිද්දා ලියන්නම්කෝ..

    ReplyDelete
  10. අනේ අනේ වීරෙ අයියෙ. ඔයා ඔහොමයි මම ඉල්ලපු එකම උදව්ව කලේ නේද? මම ඒ සමරුව කීප දෙනෙකුටම පෙන්නුවත් එක්ක. මදැයි? ඒක අදම හොයල ඒ පිටු ටික ඉරල දානව. ආයි ලංකාවට ආවම අපිටත් කෝල් එකක් දෙන්න හොඳද?

    ජයනි

    ReplyDelete
  11. "දෙනවක හාමිනේ හිටිය නේද? එයාගෙ අස්සනත් ගහපං" lol

    ReplyDelete
  12. අජිත් සුබ ගමන්. ඉතුරු හරිය නම් කලින් කියවපු ඒව නොවැ.

    ReplyDelete
  13. මේ ස්ටේජ් එකෙන් බැහැපු කතාව මට හොඳට මතකයි. නිවන් සුව එතුමාට

    ReplyDelete
  14. එක කතාවක් ඇතුලේ තව කතා ගොඩක් !

    ReplyDelete
  15. අප්පට සිරි සුපිරිම සුපිරි කතාවක්.> ලියවිල්ලක්!
    එළම එළ!
    අජිතායාට නිවන් නොයා අයේ එන්න කියමු!

    ReplyDelete
  16. මිත්‍රයාට සුභ ගමන්..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...