Sunday, August 4, 2024

696. ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ ගැන මගේ මතක...



දැං අර ගංගාරාමෙ හාන්දුරුවො මැරිල ගියානෙ..කට්ටියක් එයාගෙ හොඳ කියනව කට්ටියක් නරක කියනව..මම මේ ඒ ගැන මොකවත් කියන්ට හදනව එහෙම නෙවෙයි..

කොහොමත් කිව්වත් කියන්ට වෙන්නෙ නරක තමයි..ඒ මොකද කියනවානං මට මනුස්සයෙක් මලාට පස්සෙ හොඳට වැඩිය මතක හිටින්නෙ නරක..

ඒ කිව්වෙ දැං ජැක්සන් මලාට පස්සෙ මට මතක බුවා සුගතපාල ද සිල්වා මහත්මයාගෙ මරාසාද් නාට්‍යයෙ යොන් පෝල් මරා විදිහට රඟපාමින් ප්‍රදර්ශනය කල විශිෂ්ඨ හැකියාව නෙවෙයි ඇස් දෙකත් දොම්බං කරගෙන කට හරව හරව මයිනා පැවත එන්නෙ බුදු හාමුදුරුවන්ගෙ පරම්පරාවෙන්ය  කියල කියනව...කාලෝ ගැනත් එහෙමයි...වාසුදේව ගැනත් එසේමයි..

හරි එව්ව ඇරිච්චාවෙ..කියන්ට ආපු කතාව කියමු..

ඔය ගංගාරාමෙ අල්ලපු ඉඩමෙ ඒ කාලෙ තිබ්බලු ප්‍රයිවට් කම්පනි එහෙක හෙඩ් ඔෆිස් එකක්..අපි කියමු සත්සර ට්‍රේඩිං සමාගමය කියල..ඕකට ඔන්න එක පාරක් අලුතෙං පත්වෙලා ආවලු බොහොම ලස්සන ගෑණ් ළමයෙක් රිසෙප්ෂනිස්ට් හැටියට..

මේ ළමය ඉතිං හැමෝත් එක්කම සුහදව කාගෙත් හිත දිනාගෙන අපූරුවට රාජකාරියත් කරගෙන ඔන්න දැං ඉන්නවලු..හැබැයි මේ ළමයගෙ එක වැරැද්දක් තියෙන්නෙ පොඩ්ඩ ඇත්තං කලබල වෙනවලු..කලබල උනාම කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල එයාටම තේරුමක් නැතිලු..ටෝටලි මඤ්ඤමයිස්ඩ්ලු...රිසෙප්ෂන් එකේ ඉඳගෙන ඉන්නකොට ඩිරෙක්ටර් කෙනෙක්ගෙං කෝල් එකක් ආවොත් පුටුවෙං නැඟිටලලු ආන්ස්වර් කරන්නෙ..ඒ වගේම මේ ළමයට පොඩි නුහුගුණ ගතියකුත් තිබ්බලු.

අනික් අය ඔය නිකරුනෙ කලබල වෙන එක නවත්ත ගන්න කියල අවවාද කලාට කොහෙද මේ ළමයට ඒක අතෑර ගන්නම බෑලු..ඉතිං ඔය නිකරුනේ කලබල වෙන වැඩේ සහ නුහුගුණ සීන්ස් එක හින්ද මේ ළමය ඔෆිස් එකේ කොල්ලංගෙන් බයිට් වෙන එකත් සීමාවක් නෑලු..

ඔන්න දවසක් දවල් කෑම පැය ඉවරවෙලා මේ ළමය ඇවිල්ල රිසෙප්ෂනිස්ට් පුටුවෙ ඉඳගත්ත විතරයිලු ෆෝන් එක රිං වෙන්ට ගත්ත..මේ ළමයා ආන්ස්වර් කලා..

"හෙලෝ සත්සර ට්‍රේඩිං..හව් කැන් අයි හෙල්ප් යූ?"

"මේ.....කැන් හෙල්ප් යූ නෙවෙයි ළමයො... අපේ ඇතා එහෙම ඔය පැත්තෙ ආවද? මේ උදේ කිතුල් වගයක් කකා හිටිය..දැං බැඳල හිටපු තැන පේන්ට නෑනෙ.."

"කවුද මේ කතා කරන්නෙ කියල කියනවද කරුණාකරල? "

"ඇයි ළමයො මාව ඇඳින්නෙ නැද්ද? මම මේ ගංගාරාමෙ පොඩි හාමුදුරුවො..අපි අල්ලපු වැටේ ඉන්නෙ..ඔය ළමය ඔතෙන්ට අලුත් ඇති නේද? නැත්නම් මාව කටහඬින් අඳුරනව ඔතන වැඩ කරන පරණ අය ඔක්කොම.."

මේ ළමයා බයවුණු පාර පුටුවත් පෙරළගෙන නැඟිට්ටෙ..

"අනේ හාමුදුරුවනේ සමාවෙන්න..මම මේ රස්සාවට ඇවිල්ල වැඩි දවසක් නෑ.."

"හරි හරි මම හිතුවා..මම හිතුවා..හරි ඇතා ඇවිල්ල ඉන්නවද කියල පොඩ්ඩක් බලල කියනවද මට? "

"එහෙයි හාමුදුරුවනේ..එහෙයි එහෙයි "

ඔන්න එතකොටම කලිං සෙට් කරගත්තු විදිහට ස්ටාෆ් එකේ එක කොල්ලෙක් එතෙන්ට එනව..

"ඇයි සුලෝචනා මොකක්ද ප්‍රශ්ණෙ? "

"අනේ සුජිත් මේ ගංගාරාමෙ පොඩි හාමුදුරුවො ටෙලිෆෝන් එකෙං කතා කරන්නෙ.."

"ඉතිං? "

"එතුමගෙ ඇතා මෙහෙ ආවද කියල අහනව.."

"හරි හරි මම දැක්ක දැං ටිකකට ඉස්සෙල්ල අපේ අර පිටිපස්සෙ අඹ ගහ යට කුරුම්බා කෝම්බෙකිං පුට්බෝල් ගගහ ඉන්නව.."

"ඈ? ඇත්තු පුට්බෝලුත් ගහනවද? "

"මමත් හැබැයි ඔය දැක්කමයි..වෙන්න ඇති සමහරවිට... පූරුවෙ පිං කරපු සර්දාවන්ත ඇත්තුනෙ.."

"හරි හරි.." කියල කෙල්ල ආයම ටෙලිෆෝන් රිසීවරේ කණේ තියාගත්ත.."

"අපෙ හාමුදුරුවනේ...ඔව්..ඔව්..ඔබ වහන්සෙගෙ ඇතා මෙහෙ ඇවිත් තියනව..අපේ අර පිටිපස්සෙ තියනව අඹ ගහක් ඒක යට ෆුට් බෝල් ගගහ ඉන්නවලු.."

"හප්පේ ඔන්න බලන්නකො ළමයො..මම මේ දහ අතේ ගිණි පත්තු වෙලා හොයනව..මූ මෙහෙ ආතල් එකේ ෆුට්බෝල් හනව..අද හොඳ වැඩක් කරන්නම් මම..ඉන්නකො මමම ඇවිල්ල ඔය ගෙහෙඩියා අල්ලගෙන යන්නං..අනේ ළමයො මං එනකං සතාට කොහෙවත් යන්න නොදී බලාගන්න හොඳද? "

"එහෙමයි අපෙ හාමුදුරුවනේ.."

"හරි හරි ඔයා යන්න ඕන නෑ..හාමුදුරුවො එනකල් මම ඇතාව බලාගන්නං..." සුජිත් වැඩේ බාරගත්තා..

"අනේ තෑන්ක්ස් සෝ මච් සුජිත්.."

විනාඩි දහයකිං විතර ඔන්න සුජිත් ආයම ආව සුලෝචනා ලඟට..

"අන්න වැඩේ හරි..හාමුදුරුවොම ඇවිල්ල ඇතාව ආපහු අරගෙන ගියා..ඔයාට කියන්ට සුලෝචනා..හාමුදුරුවො ඇවිල්ල වැට ලඟ ඉඳල මෙහාට එන්ට නේද කිව්වෙ කණ්ඩුල කිව්ව ගමං පොල් කෝම්බෙත් අතෑරල දාල බලු කුක්කෙක් වාගෙ හාමුදුරුවංගෙ පස්සෙ වැටිල ගියානෙ.."

"එහෙම තමයි අනේ පන්සල්වල හැදෙන පිංවන්ත ඇත්තු.."

විනාඩි දහයකිං විතර ආයම ෆෝන් එක රිං වෙනව..

"හෙලෝ සත්සර ට්‍රේඩිං..හව් කැන් අයි හෙල්ප් යූ?"

"ඉයා..ගුඩ් ආෆ්ටර්නූන්...ඊස් අවර් ප්‍රීස්ට් දැට්ස් අවර් පොඩි හාමුදුරුවෝ ස්ටිල් දෙයාර්? "

"මේ අයි නෝ හූ ඊස් ස්පීකිං දෙයා ප්ලීස්? "

"අයෑම් ගංගාරාමෙ ඇතා හියර්..."

"වට්? ඇතා?.." සුලෝචනා රිසීවර් එකත් මේසෙ උඩ තියල දනි පනි ගාල පුටුවෙන් නැඟිට්ට..නැඟිට්ට නෙවෙයි ඇත්තම කිව්වොත් නැඟිට්ටුනා....වෙලාව කියන්නෙ සුජිත් ආයම ඔන්න කොහෙද ගිහිල්ල මේන් එන්ට්‍රන්ස් එකෙං ඇතුල් වුනා..

"අනේ සුජිත් හොඳ වෙලාවට ඔයා ආවෙ.."

"ඇයි මොකෝ නංගි අවුල?"

"මේ ඇත්තුන්ට කතා කරන්න පුලුවන්ද? "

"සාමාන්‍යයෙන්නම් බෑ..ඒත් මම අහල තියනව මේ ගංගාරාමෙ ඇතාට කතා කරන්න පුලුවන්ය කියල..මම හිතන්නෙ බොරුවක් වෙන්න ඕන.."

"බොරුවක් නෙවෙයි අනේ..අන්න ඇතා තමයි ටෙලිෆෝන් එකෙං කතා කරන්නෙ..අනික විස්වාස කරන්ටත් බෑ ඇතාට ඉංග්‍රීසිත් පුලුවන්නෙ.."

"මොකක්? දෙයියෝ සාක්කි..එහෙනං ඒ කතාව ඇත්ත..හරි දැං ඇතා මොකද කියන්නෙ?"

"ඇතා අහනව හාමුදුරුවො මෙහෙ ඉන්නවද කියල.."

"හාමුදුරුවො මෙහෙ කොහෙද? මම බලා ඉන්දැද්දිනෙ හාමුදුරුවො ඇතාත් එක්කරගෙන  පංසලට ගියේ.."

"හරි හරි එහෙනං වැරදීමක් වෙන්න ඇති..මම ඇතාට කියන්නංකො.."

සුලෝචනා ආයම රිසීවර් එක ගත්තා..

"හෙලෝ මිස්ටර් ඇතා..ඉට් සීම්ස් ද ප්‍රීස්ට් හැඩ් ගෝන් බැක්  ටු ද ටෙම්පල් විත් යූ සම් ටයිම් බෑක්...."

"වට් නොන්සන්ස්.. මම අද දවසම පංසලෙං එලියට එක අඩියක් තිබ්බෙ නෑනෙ..එහෙනං මේ මනුස්සය වෙන ඇතෙක් එක්ක ඔය යන්ට ඇත්තෙ..මට ඉංග්‍රීසිත් අමතක වෙනව මෙව්ව ඇහෙන කොට..හරි අද ආවාවෙකො හාමුදුරුවො..හොඬවැලෙං දෙකක් තට්ටෙට පතබාලයි මම පස්ස බලන්නෙ..හරි හරි මම තියන්නං..ඔය ළමයට බොහොම ස්තූතියි.."

සුලෝචනා රිසීවර් එක තියල ඇස් දෙකත් ලොකු කරගෙන දිග හුස්මක් පාතට හෙලුවා..ඒ කරල මෙහෙම කිව්ව..

"අනේ සුජිත්.. මේ රස්සාව නම් හරියන එකක් නෑ..රිසෙප්ෂනිස්ට් ජොබ් එක බාර ගනිද්දි මම දන්නෙ නෑනෙ ඇත්තුන්ටත් ආන්සර් කරන්න ඕනය කියල..බලන්ඩකො ඉන්ටවීව් එකේදි අපේ මැනේජිං ඩිරෙක්ටර්වත් ඔහොම කතාවක් නිකමටවත් කිව්වෙ නෑනෙ.."


22 comments:

  1. කියල වැඩක් නෑ .. ආතල් කෝටියයි ..! ඉස්සර a/L කාලේ ටෙලිෆෝන් ඩිරෙට්‍රිය අරගෙන නොදන්නා නම්බර් වලට කෝල් කරලා ඔය විදියට කතා කරපු යාළුවෙක් අපි හැමෝ ටම හිටියා .. :D

    ReplyDelete
    Replies
    1. රෑ දෙගොඩහරියෙ තිස්ස කියල නම තියෙන යාලුවන්ට කතා කරල "තිස්ස තිස්ස මම මේ මුවා කතා කරන්නෙ..මොකද බං උඹ කරන්නෙ? තාම මිහිඳු එක්ක ටෝක් එකද? මගෙ පස්සෙ පන්නං වරෙං බං..ඒක පුදුම ආතල්නෙ ඕයි"

      Delete
    2. මේ මොබයිල් ෆෝන් ඇවිල්ලා ඒ ආතල් නැත්තටම නැති කලානේ ... මට මේ පොස්ට් එක දකින කොටත් හිනා යනවා ඒවා මතක් වෙලා

      Delete
    3. හ්ම්ම්. සෑහෙන්න පරණ මතක එනවා

      Delete
    4. ප්‍රා,

      ලෑන්ඩ් ෆෝන්ස් තිබ්බ කාලෙ...එක ගමනක් මම අනුරාදපුරේ ටෙක් යද්දි මගෙ යාලුවෙක් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කතා කරල අප්පච්චි ආන්ස්වර් කරල මල ජංජාලයක් උනා..ඒ ගැන ලියන්නංකො.. :)

      Delete
  2. පොඩි typo එකක්. 'රවි' වෙනුවට 'සුජිත්' කියල ලියවිලා.

    ReplyDelete
    Replies
    1. ලියන්න ආව කමෙන්ට් එක ඕල්රෙඩි තියන නිසා කමෙන්ට් නොකර යනව...)

      Delete
    2. ඉයන්,

      ඇත්ත ඇත්ත..එහෙම වැඩ නම් අනන්ත කරල ඇති..එව්ව සිරා අරගෙන මල ජංජාල වෙන්ඩත් ගිහිං තියනව..මේ බ්ලොග් එකෙත් කීපයක් කලින් ලිව්ව ඉයන්ට මතකද මන්දා.. :)

      Delete
    3. හායි රේන් ගර්ල්..හව් ආ යූ ඩියර්?

      කල්ප කාලන්තරේකට පස්සෙ දැක්කෙ..අධ්‍යාපන කටයුතු සාර්ථකව සම්පූර්ණ කරලද? තාම කරගෙන යනවද?

      Delete
    4. Doing well Ravi uncle - I'm working as a lecturer now. So, kinda busy, but I started blogging again!

      Delete
    5. RG,

      Glad to hear that you are doing well... Actually not surprised at all as I knew all along that you would be successful in your chosen career as well as in life generally.. :)

      Delete
  3. ඇතා දිරි දිරී - ඇතාගෙ කතාව සුපිරී
    රවී ලිව්ව නං - තියෙනව හිනා පෙරි පෙරී!

    ReplyDelete
    Replies
    1. නිමල්,

      ස්තූතියි නිදි..වෙලාවක එන්නංකො පමුණුව පාර පැත්තෙ.. :)

      Delete
  4. මම නම් දන්නෙ ගංගාරමෙ පොඩි තක්කඩියා බඩුකාරයෙක් කියලා. කොහොමත් ඔය ලොකු පන්සල්වල ඉන්න ඝනයො බහුතරයක් බඩුකාරයො, නැත්නම් කොලුකාරයො.

    ReplyDelete
    Replies
    1. Robert,

      ආය මොනවද? වෙන්න ඇති වෙන්න ඇති..ඔය ගණගෙඩියො ඔක්කොම එකයි..එක්කො රස්පුටින්ලා එක්කො බෝයිකොට්ලා...

      Delete
    2. ඒ දවස් වල තමබිලි ගෙඩි වල ආක්කු දාල තියනව හාමුදුරුවෝ දෙතුන් දෙනෙකුට . දන්නේ තැඹිලි ටික අපි ටිකට බොන්න දුන්න නිසා තැඹිලි කපපු ඇබිත්ත කොලුවා . 😁

      Delete
  5. රන්දිකා නෝනයි රවි අයියයි එකට වැඩකරන කාලෙ ඒ ඔෆිස් එකේ වෙච්ච සීන් එකක්ද මන්ද මේ වෙනස් කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඇත්තම කිව්වොත් මට මේ කතාව කිව්වෙ මා එක්ක ඒ කාලෙ එකම කාමරේ වැඩකරපු බෝගහවත්ත කියල යාලුවෙක්..හොඳ කොල්ලා..

      ඕකා හැබැයි කිව්වෙ හාමුදුරුවො කතා කරල "අපෙ ඇතා ඔය පැත්තෙ ආවද?" කියල අහන කතාව විතරයි..ඇතා කතා කරන එක මගේ නිර්මාණයක්.. :)

      Delete
  6. මරණ කීපයකටම වගකියපු ඇත්වහන්සේ වෙන්ටෑති අර ඉංගිරිස් කතා කොලේ..

    ReplyDelete
    Replies
    1. කුෂ්,

      එහෙනං..එහෙනං..එතුමාම තමයි..ඒ ඇත් වහන්සේම තමයි අනේ..

      ඇත් ගොව්වො මරන්ට ඉස්සෙල්ලත් ඇත් වහන්සෙ ඉංග්‍රීසියෙං කතා කරල " I am so sorry dear Kalu maamaa...I have to do this ..Sorry again "කියල සමාව ඉල්ලනවලු..

      Delete
  7. 😀 මරු. කතාවක් තියනව . ඇත්තම එකක් . අවුරුදු දාස් ගානකට කලින් එක පාරක් බ්ලොග් එකක කොමෙන්ට් එකකට දාල හොඳටම බැනුම් ඇහුව .

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අලි ගැනද? අර සාලිය වනේ අලියගෙයි වඳුරගෙයි සීන් එක ගැන නේද ඔහේ ඔය කියන්නෙ? නෑ කියන්න නම් එපා ගොයියෝ :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...