Saturday, October 15, 2016

449. සිව්වසරකට පසු - 4 - පෝටොස් එක අවසානයේ අනුමත වීම, කැන්ඩි සිටි සෙන්ටර් එකේ සරසවි පොත් හල සහ අමතක නැති අඩි පාරවල්



Kandy City Center

සිව් වසරකට පසු 1 - Here we go around the mulberry bush.

සිව් වසරකට පසු 2 - කෙට්ටු කොලූ, Full metal jacket...


සිව් වසරකට පසු 3 - උරායා හීප්, ප්‍රේම කතාවක....

සල්ලි ආපහු දෙන්න කියල කිව්වහම කෙට්ටය ටිකක් කලබල වුනා. "ආ..නෑ...නෑ..සර් අපි එහෙනම් කෝට් එක නැතුව ගමු. උරහිස් එක මට්ටමට වගෙ තියාගෙන හිටියොත් මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ."

අර හම්පඩ කෝට් බෑය අඳිනව තියා කොටින්ම මම ඒක එල්ලල තිබ්බ කාඹරේ පැත්ත පළාතෙවත් ගියේ නෑ. ලේන්සුවෙන් මූණෙ දාඩිය පිහගත්ත. තියෙන කෙස්ගස් දෙක තුන අතිම්ම තලල දැම්ම. ලක ලැහැත්තිවීම එපමණයි. 

"හරිද?" කෙට්ටය ඇහුව.

"හරි හරි මෙහෙම ගමු" මම කිව්ව. 

ආයම කෙට්ටය අර සුදු කුඩ එහෙම අටවල මාව ස්ටූල් එකේ ඉන්දවල ආපහු පෝටොස් දෙක තුනක්ම ගත්ත.

"දැංවත් හරියයිද?" මම ස්ටූල් එකෙන් නැඟිටල සාක්කුවෙං ලේන්සුව එළියට ගන්න ගමං ඇහුව. දාඩිය පිහලම ලේන්සුව දැන් තෙතබරියං වෙලා.

"හරියයි බොහෝවිට, අපි බලමුකො" 

ආයම ඔන්න කෙට්ටය කම්පියුටරේ ඉස්සරහ ඉඳගත්ත. මම කමිසෙ මේ පාර බොත්තං ඔක්කොම ඇරිය. ඔලුව නැවුව පාතට. "ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්..."

ඔහොම විනාඩි දෙකක්, තුනක්, හතරක් වගෙ ගෙවිල ගියා. කෙට්ටය පරිගණක තිරේට එබීගෙන ඉන්නව දත්මිටි කාගෙන.

"ඔලුවෙ සයිස් එක නම් හරි" කෙට්ටය හිනාවෙලා උඩ පැනල කිව්ව."හෙඩ් සයිස් ඇප්රූව්ඩ්"

"හප්පා යන්තං ඇති.ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...මම මේ ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ ඔලුව ලොකු කරගන්නෙ කොහොමද කියල.....ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්....ඔන්න ලොකු වැඩියි කිව්ව නම් දඬු අඬුවකට අල්ලල තද කරල සුමානයක් දෙකක් තියල හරි ඔලුව පුංචි කරගන්ට තිබ්බ. ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...දෙයියෝ සාක්කි. ඒත් ඔලුවක් ලොකු කරගන්නෙ කොහොමද?"

"හරි හරි උරහිස් ලෙවලුත් හරි…"

"දෙයියංගෙ පිහිටයි..ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්."

කෙට්ටය පුටුවෙ ඉඳගෙනම කකුල් දෙකෙන් වාරු අරගෙන රෝද තුන උඩ ලිස්සගෙන මාගාවට ඇවිල්ල පහක් දැම්ම. ඊට පස්සෙ ආපහු ගියා කම්පියුටරේ ගාවට.

"කං දෙක...ම්ම්ම්ම්..කං දෙක..ඉන්ට බලන්ට.."

"ඈ මොකද බොලේ..කං දෙක ඇප් රූව් උනේ නැද්ද? ෆූස්..ෆූස්...ෆූස්. මාර කෙලියක්නෙ..ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. උපංදා ඉඳං තිබ්බ මගෙ අගේ ඇති කංදෙක.."මම කන්දෙක බොහොම ආදරෙන් අතගාලත් බැලුව. 

"මොකද එහෙං කියන්නෙ? කං ලොකු වැඩියි කියනවද? ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. පොඩි වැඩියි කියනවද?"

"ඉන්ඩබලමු......ආ..නෑ...නෑ...කංදෙකත් අනුමතයි."

"එහෙමද හප්පා යතං ඇති.ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. උපංදා ඉඳල තියන මගෙ මේ කං දෙක කපන්ට එහෙම උනානං වස වැරැද්දයි. දැං අවුලක් නෑ. දෙයියො මගෙ මූණ බැලුව. නෑ..නෑ..කංදෙක දිහා බැලුව"

දැං මට ඕන වුනේ ඇසැප් නොහොත් හැකි විගස මේ ආච්චිගෙ රෙද්දෙ උඩුගත කිරිල්ල අහවරයක් කරගෙන මේ ඉහිං කණිං දාඩිය ගලන ගුබ්බෑයමෙං එළියට පනින්ට. ඒ හින්ද මම කෙට්ට කොලූ අමතා මෙහෙම කිව්ව.

"ප්‍රිය දරුව , එසේ හෙයින් සියලු අවයව අනුමත වූ මේ අනගි අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගෙන වහා මා ඡායාරූපය උඩුගත කල මැන..." කෙට්ටය ඔලුව හරවල මා දිහා බැලුව. 

මම හිතුවෙ "සර් මේ ප්ලීස්... සිංහලෙන් කියනවද කියන මඟුලක්" වගෙ මොනව හරි ඌ කියයි කියල. එහෙම වුනේ නෑ. ඌටත් යමක් කමක් තේරෙනව. 

"එසේය මහතාණනි. එසේය" එහෙම කියල කොලුව ආපහු පරිගණකෙ දිහාවට හැරුන.

"ෆොටෝ එක අප්ලෝඩ්  කරල තියෙන්නෙ. දැන් තියෙන්නෙ එහෙං වැඩේ හරි කියල නිල නිවේදනය දෙන්ට විතරයි. එතකොට වැඩේ ක්ලෝස්."

"හරි හරි බං ඕන මඟුලක්. විජහට ඔය කරන මඟුලක් කරපං"

"හරි සර්..." කොලුව කිව්ව. 

මමත් එතනම තිබ්බ ස්ටූල් එහෙක වාඩිවෙලා පරිගණක තිරේට එබුන. අප්පටසිරි ඔය ඉන්නෙ මිස්ටර් රවී නිකං කිං පයිසාල් වගෙ..හෙහ්,හෙහ්, 

"හරි සර් තව මිනිත්තු දෙකයි වැඩේ ගොඩ...හෙහ්,හෙහ්" කොලූ තෙමේ බොහොම සන්තෝසෙං හිනා වුනා. "ෂිට්" ඒත් එක්කම ඌට කියවුනා. 

"ජලා හුටා" කියල මට කියවුණා. මොකෝ දන්නවයි හේතුව? දඩස් ගාල ලයිට් ගියා. පරිගණකය අර බීප්..බීප්..නාදය නිකුත් කරන්ට ගත්ත. 

මම නැඟිටල ජනේලෙ ගාවට ගියා. මොන? ඒක අරින්ඩ බෑ, සීල් කරල තියෙන්නෙ. සීල් කරල කියන්නෙ ඔය ලොකු සිරා බිරා වැඩ මොකවත් එහෙම නෙවෙයි හොඳද? ඇණ හත අටක් ජනෙල් පියනට ගහලයි සීල් කරල තියෙන්නෙ..හරි ඉතිං ඒ කොහොම වෙතා ජනේලෙ අරින්ට නම් බෑ මේක ඇතුලෙ එකෙක්ගෙ පණ ගියත්. 

"හරි වැඩේනෙ සර් උනේ" කොලුවත් නැඟිටල ආපි. 

"ඒ කියන්නෙ පුතා මගෙ වැඩේ කෙරුනෙ නැද්ද?"

"ඒකතමයි මටත් ෂුවර් නැත්තෙ. ෆයිනල් කන්ෆර්මේෂන් එක දීල විනාඩි තුන හතරක් ගිහිල්ලනෙ ලයිට් ගියේ. ඒ හින්ද එයාලගෙ වෙබ් සයිට් එකට අප්ලෝඩ් වෙන්න වෙලාවනම් ඇති හොඳටම. ඒත් කියන්ට බෑනෙ" කොලුව එතන තිබ්බ පත්තරේ අරගෙන පවං ගහගන්ට ගත්ත.

"මොකද ඉතිං දැං කරන්නෙ?" මම ඇහුව. 

"මොක කරන්ටත් සර් ලයිට් එනකල් ඉන්ටම වෙනව. ඊට පස්සෙ අප්ලෝඩ් වෙලා තිවුනෙ නැත්තං ආයම අප්ලෝඩ් කරන්ට වෙනව"

"හරි හරි ඒක ඔයා කරගන්ඩ. මම ඇහුවෙ ආයම පොටෝස් අල්ලන්ට ඕන නෑනෙ නේද?"

"නෑ..නෑ..ආය ඕන නෑ." කොලුව හයියෙං හිනාවුනා.

ඔහොම මිනිත්තු එක පහක් හයක් හතක් වගෙ ගතවුනාය කියමුකො. දැන්නං අර පෝරණේ අස්සෙ ඉන්ටම බැරි සයිස්.

"මොකෝ පුතා...වෙනදත් මෙහෙම ලයිට් යනවද?"

"ඔව්..මේ එක ලයින් එකක් තියනව, කොහොමත් දවස් දෙක තුනකට පාරක් ලයිට් යනවම තමයි"

"හෙහ්, එහෙමද ? එහෙමත් නැත්තං බොලා ලයිට් බිල ගෙවල නැතුව ලයිට් කැපුවද දන්නෙත් නෑ..හෙහ්,හෙහ්"

"නෑ..නෑ..අපි වෙලාවට බිල් ගෙවනව. මමමයි මේ පෙරේද නැත්තං ඊට කලිං දවසෙ ගිහිල්ල සල්ලි ගෙවල ආවෙ" කෙට්ටය කිව්ව. 

"හරි හරි මේ එහෙනං මෙහෙම කරමු. මම මෙතන මේ ඉහිං කනිං දාඩිය පෙරාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑනෙ. ඒ හින්ද මම යන්නං..ආ..එතකොට අර මොකක්ද රිසිට් එකක් දෙනව කිව්වනේද පාස්පෝට් කන්තෝරුවට ඇප්ලිකේෂන් එකත් එක්ක අමුණල දෙන්ට"

"ආ..ඔව්..ඔව්..දැං මොකද කරන්නෙ? ම්ම්ම්... මෙහෙම කරමු. ලයිට් ආවට පස්සෙ මම හරියටම කන්ෆර්ම් කරගන්නං සර්ගෙ ෆොටෝ එක හරියට අප්ලෝඩ් වෙලා අනුමත වෙලාද කියල. විස්තරේ කියල මම කෝල් එකක් දෙන්නම්. හෙට වගෙ ඇවිල්ල සර්ට රිසිට් එක අරගෙන ගිහෑකි අදම බැරි වුනොත්."

"හරි හරි බං හදිස්සියක් නෑනෙ. රිසීට් එක හෙමීට ගම්මුකො" මම එහෙම කිව්වෙ කොහොමත් එක දවසකින් පාස්පෝට් එක ගන්න මම හිතාගෙන හිටපු හින්ද. වන්ඩේ ඉන්ටර්නැෂනල් ඒකට කියන්නෙ හෙහ්,හෙහ්,"

"හරි එහෙනං අපි ගියා මගෙ නම්බර් එක තියනවනෙ. වැඩි විස්තර කියල කෝල් එකක් එහෙනම් දෙන්න හොඳද?" එහෙම කියල මම පෝරණුවකිං එළියට පනින්නැහෙ ඉස්ටුඩියෝ එකෙං එළියට බැස්ස.

ඔර්ලෝසු කණුව ඊමම තමයි ඔය මම කියන පෝටොස් සාප්පුව තිබ්බෙ. එතනිං එළියට බැහැල දළඳා වීදිය දිගේ මම උඩහට ගියා. මට යන්ට ඕන වුනේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියන සරසවි පොත් සාප්පුවට.

සරසවියට යන්ට මට ලොකුම ඕනකමක් තිබ්බ. ඒ වෙන මොහොකටවත් එහෙම නෙවෙයි පොතක් ගන්ට. මගෙ ඔය බෝම හිතේසිවන්ත ලලනාවියක් මේ පහුගිය දවසක පොතක් ගැහැව්වනෙ. අන්න ඒ පොත තමයි මම ඔය තකහනියක් ගන්ට ගියෙ.

අප්පා ඒ ලලනාවි නම් මා එක්ක කිව්වෙ "අනේ අයියෙ මේ ඒකකට කියනව එහෙම නෙවෙයි මගෙ පොත විකිණෙන්නෙ අවුරුදු කාලෙ උණු කැවුං විකිණෙනව වගෙ. කොළඹ කොහෙවත් හොයාගන්ට නෑ පොත.හිහ්,හිහ්, ඔන්න ඇත්තම කිව්වොත් අයියට දෙන්ට කියල මම තියාගෙන හිටිය එක පොතක්. ඔන්න අහන්ටකො වෙච්චි වැඩේ... දවසක් පාන්දර වෑන් එකක් හයර් කරගෙනම ඔය කොහෙද දුර පලාතක ඉඳල කට්ටියක් ගෙදරටම ඇවිල්ල ඉල්ලුවනෙ ඔය පොතක්. අනේ නෝනා අපි ඉල්ලන ගානක් දෙන්නං අපිට පොතක් දෙන්ට කියල. පොතක් දුන්නෙ නැත්තං ගෙදර ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවය කියලත් කිව්ව. ඒ පාර වෙන මොකක් කරන්ටද අයියට දෙන්ට කියල තියාගෙන හිටපු පොත ඒ අයට දුන්න"

මමත් ඉතිං වෙන මොකක් කියන්ටද? බනින්ටය? හා..හොඳයිය. ඒකත් එහෙමදය කියල නිකා හිටිය. ඉතිං ඔච්චර ජනප්‍රිය වෙන්ට මොකක්ද මේ පොතේ මෙයාකාර තියන විසේසෙ කියල බලන්ට පොතක් ගන්ට මට ලොකුවට ඕනකම තිබ්බ. ආං ඒකට තමයි ඔය මම තකහනියක් සරසවියට ගියේ.

ඉතිං සිටි සෙන්ටර් එකේ සරසවි පොත්හලට මම ගිහාම වෙච්චි දේ තමයි මේ. නාට්‍යනුසාරයෙන් ඒ සිද්ධිය මම ලිව්වෙ.

ස්ථානය - මහනුවර සිටි සෙන්ටර් සරසවි පොත්හල. 

පාත්‍ර වර්ගයා - 

1. ගරු කටයුතු රවී මහතා 

2. පොත්හලේ වෙළඳ සේවකයෙක්, 

ගරු කටයුතු රවී මහතා - (පොත්හලට ඇතුලුවෙමින් බොහෝ ගාම්බීර කටහඬකින් වහා ඉදිරියට පැමිනෙන වෙළඳ සේවකයා අමතයි.) "මේ..අර...අමතක නැති අඩි පාරවල් පොත තියනවද?" 

වෙලඳ සේවක - (පුදුමයෙන් මෙන් දෑස් විදහාගෙන මඳ වේලාවක් බලා සිට) "සර් ආයම කියන්න බලන්න මොකක්ද කිව්වෙ කියල?" 

ග.ක.ර.ම. - "ඇයි හලෝ කං ඇහෙන්නෙ නැද්ද? මම ඇහුවෙ අමතක නැති අඩි පාරවල් පොත තියනවද කියල" 

වෙ.සේ. - "සර් මේ අර කැලේට ගිය අඩි පාරවල් පොත ගැන එහෙම නෙවෙයිනෙ නේද ඔය සර් අහන්නෙ?"

ග.ක.ර.ම.- "පිස්සුද අයිසෙ? ඒ පොත මා ගාව තියනව. ඒක නෙවෙයි මම අහන්නෙ අමතක නැති අඩි පාරවල් පොත ගැන"

වෙ.සේ. - "සර් කිව්වට විස්වාස කරයිද මන්දා. අද මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මේ අවස්තාව සෙලිබ්‍රේට් කරන්ට අපි සෙල්පියක් ගමු.කමක් නෑ නේද?" 

ග.ක.ර.ම.- "ආ..ඒකටනම් මක් වෙනවද? මොකෝ සෙල්පියක් ගත්තය කියල මගෙ කෑල්ලක් අඩු වෙනවය?...හෙහ්,හෙහ්"

වෙ.සේ.- "අනේ සර් තෑන්ක් යූ, තෑන්ක් යූ, තෑන්ක් යූ" (සෙල්පි කොක්ක ගෙනවිත් පෝං එක එහි අමුනා සෙල්පියක් ගනියි.)

ග.ක.ර.ම. - "හරි දැන් ඔහෙගෙ මනදොල සපිරුනානෙ. සෙල්පිය ගත්තනෙ. දැන් කියනව බලන්ට මොකක්ද මෙහෙම මේ සෙල්පි නාඩගමක් නටන්ට හේතුව? "

වෙ.සේ.- "දැං ඔය සර් ඉල්ලපු පොත තියනව නේද?"

ග.ක.ර.ම - "තියනවද? තවම ඔහේ ඒක තියනවද කියල කිව්වෙ නෑනෙ. අර සෙල්පි කොක්කක් දිග ඇරගෙන ජවුසමක් නැටුව මිසක"

වෙ.සේ - "නෑ..නෑ..සර් බය වෙන්ට එපා ඔය පොත් විස්සයි මුලින්ම ආවෙ. දැන් අවුරුද්දක් වගෙ කිට්ටුවෙන්ට ආව. අපරාදෙ කියන්ට බෑ ඇස් වහක් කටවහක් නෑ. ඒ පොත ලියපු මිසීට රතනත්තරේ පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්සාවයි.එක පොතක්වත් විකුණුනේ නෑ"

ග.ක. ර.ම. - "නෑහ්?"

වෙ.සේ - "නෑහ් නෙවෙයි සර් ඕව්හ්. විකුනුනේම නෑ කියන්ටත් බෑ. ඇත්තම කිව්වොත් දෙකක් විකිනුනා. හැබැයි පහුවදාම ඒ අරං ගිය ඈයො පොත් දෙක ගෙනල්ල දීල වෙන පොත්වලට මාරු කරගත්ත."

ග.ක.ර.ම. -"හපොයි.."

වෙ.සේ - "ඒකනෙ කියන්නෙ...දැන් සර් මොකටද ඔය පොත ගැන ඇහුවෙ? "

ග.ක.ර.ම. - "පොතක් ගැන අහන්නෙ ආය වෙන අහවල් බිබික්කමකටද යෝදයො? පොත ගන්ට මිසක."

වෙ.සේ - "හප්පේ ඔය ඇත්තමද සර්? අපේ මැනේජර් මහත්තය හිටියනම් ඉහේ මල් පොකුරක් පිපුන වගෙ තියෙයි" (දුක්මුසු මුහුනින්) "ඒත් ඒ මහත්තය අද කොළඹ ගියානෙ සර්. ඉන්ටකො මම මහත්තයට කෝල් එකක් දාල විස්තරේ කියන්ට" (දුරකථනය වෙත ගොස් ඇමතුමක් ගනී.බොහෝ ප්‍රීතියෙන් සිනාසෙමින් මිනිත්තු තුන හතරක් පමණ කථාකරමින් සිට ආපසු එයි.)

වෙ.සේ - "හප්පා බොහොම සන්තෝස වුනා. අපේ මුලු ස්ටාෆ් එකටම සර් එක්ක ඉඳල ගෲප් ෆොටෝ එකක් ගන්ටත් කිව්ව. සර්ගෙ අතේ අර සර් ගන්නවයි කියපු අමතක නැති අඩි පාරවල්  පොත කැමරාවට හොඳට පේන්ට ඒ පැත්තට හරවල අල්ලගෙන ඉන්ට ඕන කියලත් කිව්ව. හැබැයි සර් තව එක ප්‍රශ්නයකුත් නම් තියනව."

ග.ක.ර.ම. - "ඒ මොකක්ද ඒ පාර? "

වෙ.සේ - "මම අපේ ලෝයර් මහත්තයට කෝල් කරන්නං. සර් පොරොන්දු පත්‍රයක් අත්සන් කරන්න ඕන මේ පොත ආපහු ගෙනල්ල වෙන පොතක් ඉල්ලන්නෙ නෑ කියල."

Wednesday, October 12, 2016

448. එෂැණිං පුවක් 15 - සමූපකාර වීරයා, ඒකාබද්ද විපස්සෙට නමක් සහ අයියෝ ලොක්කා


ඉස්ටේජ් වලට පැනීමෙන් ජනාදිපතිවරන
ජයගත් යුගය නිමාවූ වගයි

හි.ජ.කු.පා.ම. මහින්ද රාජපස්ස මහතා අතිවිසාල වැඩි චන්ද ප්‍රමානයකින් බත්තලංගුන්ඩුව සමූපකාරය ජය ගෙන ඇත. මීට පෙර කොට්ටුකච්චිය, එලුවන්කුලම, ඇටවීරගොල්ලෑව, අම්පෙගම යන සමූපකාරද එතුමා විසිට්ට ලෙස ජයග්ගරහනිය කල බව ඒකාබද්ද විපස්සයේ ප්‍රකාස යකෙක් පැවසීය. ලබන සතියේ පැවැත්වීමට නියමිත නල්ලදරන්කට්ටුව, ගවරම්මාන, බුල්නෑව, හරකාවැටුනුවැව, ගොමහන්දිය, තුම්පනේ සහ ගිලීමලේ යන සමූපකාර චන්ද වලින්ද එතුමා විසිට්ට ජයග්ගරහනියක් ලබනු ඇති බවට ප්‍රකාසක තුමා තම බලවත් විස්වාසය පලකලේය.

"අපි මේ සමුපාකාර චන්ද වලිං අපේ ඉදිරි ගමන නවත්තන්නෙ නෑ. මරනාදාර සමිති, අන්නියෝන්නිය උපකාර සමිති එතකොට මහිලා සමිති වගෙ එව්වගෙ චන්ද වලටත් අපි ඒකාබද්ද විපස්සෙ හැටියට ඉදිරිපත් වෙලා එව්වගෙ බලය අල්ලනව. ලබන සතිය වෙනකොට ලංකාව පුරහම තියෙන විසාකා කුලඟන සමිති, ශ්‍රී පුෂ්පදාන සමිති එතනිං ගිහාම සකසුරුවම් සහ නය දෙන සමිති, අමද්‍යප සමිති, සදාචාර වර්දන සමිති, පලදාවර්දන කමිටු, ඤාති සංගම්, ඒ එක්කම පොල් ත්‍රිකෝනයේ කිරි නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය වගෙ එව්ව ඔක්කෝටම අපි නාම යෝජනා දෙනව"

"ඒ සියලුම සමිතිවල බලය ඇල්ලීමෙන් අපි මේ රටේ මෙතෙක් සිද්ද නොවුනු අමුතුම ගනයේ විප්ලවයක් කරල පෙන්නනව. ඒක තමයි අපේ පරමාර්තය. නිතර බන්දනාගාර ගතවන්නන්ගේ සුබසාදක සමිතියෙ නිලතල වලට අපිට අලුතෙන් ඉදිරිපත් වෙන්ට දෙයක් නෑ. කොහොමත් ඒකෙ සම්පූර්න නිලදාරි මන්ඩලයම රාජපස්සලම තමයි" ප්‍රකාසක තුමා තව දුරටත් කරුනු පැහැදිලි කලේය.

ඒකාබද්ද විපස්සය පිහිටුවන නව දේසපාලන පස්සයේ නම පිලිබඳව මාද්දිය වේදියෙකු ඇසූ ප්‍රස්නයකට ප්‍රකාසක තුමා මෙසේ පිලිතුරු දුන්නේය. 

"නම් බර ගානක් ලැබිල තියනව. ඇත්තටම විදේස වල ඉන්න අපේ හිතවතුන් පවා නම් එවල තියනව. දැනට අපි නම් දහයක්  ෂෝට් ලිස්ට් කරල තියනව"

1. මරා එක්ක කරුම ගෙවීමේ පෙරමුණ
2. මහින්ද සහ ජාතික අපතයින්ගේ සන්ධානය
3. ශ්‍රී ලන්කා කරුමක්කාර පක්සය. 
4. නීලකාස තක්කඩි පෙරමුන.
5. පට්ට හොරුන්ගේ සන්දානය.
6. අපේ හොරා අපට හොඳා පෙරමුන
7. සමස්ත ලංකා වහලුන්ගේ පක්සය
8. එක්සත් ලංකා ගෝත්‍රික සන්ධානය
9. හෙළ මස්තිෂ්ක පශ්චාත්බාග පෙරමුණ
10. ජාතික ද්විත්ව ගමන් බලපත්‍ර සහ මැණික් මළු පෙරමුණ


ටං.....ටිං....ටුං...............


මේ අතර ඒකාබද්ද විපස්සේ කැඳවුන්කරු ගරු මෝඩවන්ස තුමා (සීගිරි නොගිය නාමදාරී Cum මහල්ලා සහ මුහුද විසේසඥ) නිවේදනයක් නිකුත් කරමින් සකල ලන්කා වාසී ගෝත්‍රික වහලුන්හට තමං සමඟ එක්වන ලෙස ඉල්ලා සිටී.

සකල ශ්‍රී ලංකාවාසී සියලුම කරුමක්කාර ගෝත්‍රික වහළුනි එක්වව්! 

අප අතර කිසිදු භේදයක් නැත. දොස්තර, ඉංජිනේරු,ගණකාධිකාරීන්,ආචාර්ය මහාචාර්යවරු මෙන්ම ගොවි කම්කරු සහ රස්තියාදුකාර පාදඩයෝද ද අප හා උරෙනුර ගැටී එක් වී සිටින්නෝය. එකම සුදුසුකම වන්නේ පසුගාමී ගෝත්‍රික අදහස් වලින් සපිරි, වැඩවසම්,අන්තවාදියෙකු වීම පමණකි.

එලෙසම ඔබ දුර්දාන්ත මරා යුගයේදී මහජන මුදල් රිසිසේ කොල්ලකන්නට රාජානුග්‍රහයෙන් වරම් ලැබූවෙක්නම් එයද අතිරේක සුදුසුකමක් වනු ඇත. 

එසේ හෙයින් එන්න මා ප්‍රිය මිත්‍ර ගෝත්‍රිකයිනි, අන්තවාදියනි, නීල කාස තක්කඩියනි, පට්ට හොරුනි, අප එකා මෙන් නැඟී සිට මරා තක්කඩියා යලි බලයට පත් කොට මේ දිවයින විනාශ මුඛය කරා ගෙන යාම නතර කල තැන සිට නැවත අරඹමු!

ඔබට නැතිවීමට ඇත්තේ වැලිකඩ රජයේ බෝඩිමේ ඔබ සියලු දෙන නුදුරු අනාගතයේදී ගත කිරීමට නියමිත නිවාඩුව පමණකි.


ටං.....ටිං....ටුං...............


ඉංග්‍රීසි බාසාව පිළිබඳ ලොව පිළිගත් පාඨ ග්‍රන්ථයක් වන ඔක්ස්පර්ඩ් ශබ්ද කෝෂය තම නවතම සංස්කරණයෙන් අයියෝ යන වදන ඉංග්‍රීසි වදනක් ලෙස පිළිගෙන ඇත. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයෙන් "Aiyoo" යන වදනට පහත සඳහන් අර්ථකථන දී ඇත.

Aiyo (also Aiyoo) EXCLAMATION - In southern India and Sri Lanka, expressing distress, regret, or grief; ‘Oh no!’, ‘Oh dear!’.

Ex - Aiyoo is when a sitting president takes advice of his astrologers and calls for an election 2 years before due date  and loses comprehensively.

Ex - Aiyoo is when an ex-president challenges the government to investigate corruption and abuse of power during his regime and when the government does just that and put his kin & henchmen in jail to whine & lament that it is nothing but political revenge.

Ex - Aiyoo is when an ex-president who has won 2 presidential elections celebrates winning a rural co-operative society election by shouting from the roof tops.

"Aiyoo" යනු බලයේ සිටින ජනාධිපතිවරයකු තම දෛවඥයින්ගේ උපදෙස් පරිදි තම කාල සීමාව නිම වීමට වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් කැඳවා ඉන් අන්ත පරාජයක් ලැබීමයි.

"Aiyoo" යනු "කෝ අර කියපු හොර මැරකං ඇල්ලුවාද?" යනුවෙන් හිටපු ජනාධිපතිවරයකු රජයට අභියෝග කොට රජය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඔහුගේ ඤාතීන් සහ ගෝල බාලයින් සිරගත කල පසු "මෙන්න පළිගන්නවෝ " යනුවෙන් විලාප තැබීමයි.

"Aiyoo" යනු දෙවරක් ජනාධිපතිවරණ ජයග්‍රහණය කල හිටපු ජනාධිපතිවරයකු දුර බැහැර ප්‍රත්‍යන්ත ගම් දනව්වක සමූපකාර ඡන්දයක් ජයග්‍රහණය කීරිම පිළිබඳ අමන්දානන්දයට පත්ව ප්‍රීතියෙන් ඔකඳවී ජයඝෝෂා නැඟීමයි.

Sunday, October 9, 2016

447. එෂැණිං පුවක් 14 - වේවැල් කසාය, තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක කිරීම සහ ජනපති පුත් කුමර අළුයම් ප්‍රහාරක වස්තුව


ජනාදිපති තුමාගේ එකම පුත්‍ර රත්නය තම ආරක්සකයින්ද සමඟ අද දින අලුයම රාත්‍රි සමාජ සාලාවකට ප්‍රහාරයක් එල්ලකොට ඇති බව එෂැණ පුවක් වෙත වාර්තාවේ. මීට පෙරද එතුමා තමා ජනාදිපති පුත්‍රයා බව පවසමින් මෙලෙස හැසිරී ඇති බව රහසක් නොවේ.

මේ පිලිබඳව විසේස නිවේදනයක් නිකුත් කරන ජනාදිපති මාද්දිය ඒකකය පැවසූයේ තමාගේ පියා කවරෙක්ද යන්න අමතකවීම සඳහා විශේෂ අවුසදයක් පසුගිය සය මසක පමණ කාලය මුලුල්ලේ දිනපතා ජනාදිපති පුත්‍රයාගේ පස්චාත් බාගයට එන්නත් කල නමුත් පසුගිය දින කිහිපය තුල එම එන්නත ජනාදිපති මන්දිරයට නොලැබුනු බවයි. 

පසුගිය මාර්තු මස පැවති රාජකීය-ශා. තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟයෙන් අනතුරුව පැවති උත්සවයේදී අනාරාධිතව වේදිකාවට ගොඩවූ සිද්ධියෙන් පසු මෙතෙක් එතුමා එවන් හැසිරීමක් ප්‍රදර්ශනය නොකලේ "Ego inhibitor" නමින් හැඳින්වෙන එම එන්නතේ බලයෙන් බවද මාද්දිය ප්‍රකාසකයා තව දුරටත් පැහැදිලි කලේය. 

යා පාලන රජයට අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් මෙම එන්නත ජනාදිපති මන්දිරයට ලබාදීම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් සිදුවීද යන්න පිළිබඳව රහස් පොලීසිය මේ අතර පරීක්ෂණ ආරම්භ කොට ඇත. පසුගිය දිනවල රජයට විරුද්ධව කටයුතු කල සෞඛ්‍ය සේවයට සම්බන්ධ එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක් කෙරේ රහස් පොලිස් අවධානය යොමු වී ඇති බවද සැළවේ.

එසේම දිනපතා එන්නත් භාවිතා නොකොට ස්ථිර වශයෙන්ම තමා කවුද? යන්න අමතක කරවීමට සුදුසු වෙනත් ප්‍රතිකර්මයක් පිලිබඳව සොයා බලනලෙස ජනාදිපතිතුමා තම කාර්ය මණ්ඩලයට නියෝග කොට ඇත. මේ සඳහා මේ දිනවල ප්‍රචාරයවන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක කුඩා දරුවකුට අතීතය අමතක කරවීම සඳහා යොදාගත් අද්භූත බලය ප්‍රයෝජනයට ගත හැකිදැයි කරුණු සොයා බලමින් පවතී. 

එලෙසම ඉදිරි අනාගතයේදී ජනාදිපති පුත්‍රයා මෙලෙස හැසිරීමට නියමිත අවස්තාවන් පිලිබඳව නක්සස්තරානුකූලව සොයා බලා වාර්තාකිරීමේ වගකීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියට පවරා ඇති බවද වාර්තා වේ. ජනාදිපතිතුමා තමන්ට විදේසගතවීමට අවසර දුන් බවට අසත්‍යයක් පවසා ආණ්ඩුකාරවරිය මුලාකොට විදේශ ගතවූ මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ප්‍රමුඛ පළාත්සභා මන්ත්‍රීන් කණ්ඩායම බෙල්ල මුලින්ම අල්ලා ගැනීමේ අභිප්‍රායෙන් මේ දිනවල කටුනායක ගුවන් තොටුපොලේ මගීන් පිටවන පර්යන්තය අසල රැකවල් ලා සිටින ගරු ආණ්ඩුකාරවරිය අදාල බෙල්ලෙන් අල්ලා ගැනීමේ කාර්යය ඉටුකරගත් වහාම මේ කාර්යයෙහි නිරත වනු ඇත.

මේ අතර ජනාදිපතිතුමා ඉතාම හැඟුම්බරව තම හිතවතුන් පිරිසකට ප්‍රකාස කලේ හිටපු ජනාදිපතිතුමා අරලිය ගහ මන්දිරයේ දැඩි ආරක්සිත බූගත බංකරයක් ඉදිකල හේතුව තමන්ට දැන් සක්සුදක්සේ පැහැදිලි බවය. තමන්ද තම නිලනිවසෙහි ආරක්සිත බංකරයක් ඉදිකිරීමට වහාම කටයුතු යොදන බවද එතුමා වැඩි දුරටත් පැවසීය.

මේ අතර පසුගියදා ලෝක ගුරු දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී ජනාදිපතිතුමා පැවසූ පාසල් යන සමයෙහිදී වරක් විදුහල්පති තුමා වේවැල කැඩෙනතෙක් තමන්ට පහරදුන් අවස්ථාව පිළිබඳ සිහිපත්කල මාද්දිය ප්‍රකාසකතුමා පැවසූයේ එදින වේවැල්පහර ලැබූ ජනාදිපතිතුමාට දින කීපයක් ගතවන තෙක් තම පියා කවුද යන්න පවා අමතකවූ බවකි. එබැවින් ජනාදිපති පුත්‍රයාටද එම වේවැල් කසාය ලබාදෙනු උදෙසා අදාල විදුහල්පති වරයා තවමත් ජීවත්ව සිටින්නේද යන්න පිළිබඳව වහාම සොයා බලන ලෙස ජනාදිපති තුමා විසේස පොලිස් විමර්සන අන්සයට නියෝග කල බවයි. එම විදුහල්පතිතුමා ජීවතුන් අතර නොසිටින්නේ නම් ඔහුගේ පුත්‍රයකු හෝ මුණුබුරකු හෝ ඒ පරම්පරාවෙන් පැවතෙන වෙනත් ඕනෑම අයකුහට "ජනපතිපුත් චරිතසෝදක" තනතුර ප්‍රදානය කොට දිනපතා ජනපතිපුත් පස්චාත් බාගයට වේවැල් කසාය දීමේ කාර්යය ඔහුට බාර කරනු ඇත.

එලෙසම තව දුරටත් කරුණු පැහැදිලිකල මාද්දිය ප්‍රකාසක තුමා ඉතාම හැඟුම්බරව මෙසේ ද පැවසීය. 

"අනික දැන් අපිට ඔය නයිට් ක්ලබ් ප්‍රහාරය දිහා මෙහෙම බලන්නත් පුලුවන්නෙ. කොහොමද? දැන් ඔය ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ජනාදිපති පුතා රෑ දෙකට ගිහිල්ල නයිට් ක්ලබ් එකට ඇතුල් වෙන්ට ගිහාම ඒකට ඉඩ නොදුන්නු නිසානෙ. ඉතිං කාගෙද වැරැද්ද? නයිට් කියන එකේ තේරුම මොකක්ද? නයිට් ක්ලබ් එකක් උනාම ඒම මුලු රෑම ඇරල තියන්න ඕනෙ. එච්චරයි"

"ඒ එක්කම ඔය වගෙ ප්‍රස්න ආයම සිද්ද නොවෙන්ට අපි මෙහෙම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ මෙහෙමයි. රජයේ ලියාපදිංචි සියලුම නයිට් ක්ලබ් රෑ හරි, පාන්දර, හරි එළිවෙලා හරි, කීයට හරි වහන්ට යද්දි ඊට කලින් ජනාදිපති මන්දිරේට කතා කරල සහසුද්දෙට දැනගන්ට ඕන ජනාදිපති පුත්‍රයා එනවද නැද්ද? මොකද? කොහොමද? කියල. එහෙම එන්නෙ නෑ කියල කිව්වොත් අන්න අවුලක් නෑ නයිට් ක්ලබ් එක වැහුවැහැකි. නැත්නම් බෑ"

"අපි බලාපොරොත්තු වෙනව ලබන මුදල් වර්සයෙ ඉඳල එහෙම කොන්දේසියක් බලපත්‍රයට ඇතුල් කරන්ට. එහෙම කලාම මේ වගෙ අනවශ්‍ය ප්‍රස්න මොකවත් ආයෙම එන එකක් නෑ. ඒ වගේම ජනාදිපති මාද්දිය අන්සෙ විසේස ඒකකයක් අපි පිහිටුවන්ට බලාපොරොත්තු වෙනව නයිට් ක්ලබ් වලට ඔය තොරතුරු දැනගන්ට "ජනපතිපුත් රාත්‍රි සමාජසාලා තොරතුරු අන්සය" කියල. මුලු රෑම ඒ අන්සය ක්‍රියාත්මකයි"

"ආ ..ඒ එක්කම තව එකක් කියන්ට ඕන. ජනාදිපති පුතා ගිහිල්ල නයිට් ක්ලබ් සිකුරිටි අන්සෙට "අඩෝ මම තමයි ජනාදිපතිගෙ පුතා" කියල තග දාපු එක ඇත්ත. ඒත් ඇත්තටම බැලුවොත් එතන මොකක්ද වෙලා තියෙන්නෙ? වෙන මොකවත් නෙවෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත එතුමා ක්‍රියාත්මක කරල. දැං මොකටද ඔය පණත විශේෂ පණතක් හැටියට සලකල සම්මත කර ගත්තෙ? පොදු ජනතාවට තොරතුරු දැනගන්ටනෙ. වෙන අහවල් දේකටද? එතකොට නයිට් ක්ලබ්වල සිකුරිටි කට්ටිය කියල කියන්නෙ පොදු ජනතාව නෙවෙයිද? එහෙම කොහොමද?එයාලත් පොදු ජනතාවට අයිතියි අනිවාර්යයෙන්ම. එතකොට ජනාදිපති පුතා කවුදැයි කියල නිච්චියටම අඳුනාගන්න එක පොදු ජනතාවට ඉතාම බලපාන, ඉතාම වැදගත් තොරතුරක් නෙවෙයිද?හුහ්, එහෙම නැතුව? ඒකත් අනිවාර්යයෙන්ම ඉතාම වැදගත් තොරතුරු ගණයට වැටෙනව"

"එහෙනං මොකද මෙතන වෙලා තියෙන්නෙ?.... වෙන මොකවත් නෙවෙයි පොදු ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අනුල්ලංඝනීය අයිතිය, එහෙමත් නැත්තං පාර්ලිමේන්තුවෙ ඒකමතිකව සම්මත වුනු පණතෙ සඳහන් වෙන අයිතිය තමයි ජනාදිපති පුතා මේ ඉරිදා මහ පාන්දර ගෙහුං හිට අර පට්ට හීතලේ නිදිත් මරාගෙන ක්‍රියාත්මක කරල තියෙන්නෙ. එච්චරයි. මේ කිසියම්ම දෙයක් නොදන්න කට්ටිය බොරුවට කෑගැහුවට ඔන්න ඕකයි ඇත්තටම එතන වෙලා තියෙන්නෙ. ඉතිං එහෙම බලනකොට මොනතරම් පොදු ජනයා ගැන හිතන කෙනෙක්ද එතුමා? අනාගත ජනාදිපති කමට උනත් කදිමට ගැලපෙනවනෙ. එහෙම නේද?"

Friday, October 7, 2016

446. සිව් වසරකට පසු - 3 - උරායා හීප්,ප්‍රේම කතාවක චරිත දෙකක් අපි සහ විපස්සේ පාගමන

චාල්ස් ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නවකථාවේ
චරිතයක් වන උරායා හීප්

ඔය සිව් වසරකට පසු ලංකාවට ගිහිල්ල වෙච්චි අලකලංචි කියන්ට කියල හිතල අර මම පටං ගත්ත නෙව සීරීස් එකක් නොහොත් කතා මාලාවක්. ඒකෙ එක සහ දෙක නම් ලියාගත්ත වදෙං පොරෙං. ඒත් මේ ඉයන් ගොයියගෙ සිංදු අටමගලෙ හින්ද එතනිම් පස්සෙ ඒ ගැන තව මොකවත්ම ලියන්ට උනේ නෑ. ඊටත් පස්සෙ එෂැණිං පුවක්, අබයගිරි මතක සහ එතනින් ගිහාම අර අනන්‍යාගෙ කතන්දරේ එහෙමත් ලියන්ට උන හින්ද වැඩේ තවත් පහු පහු වුනා. 

ඉතිං ඔය කතාමාලාවල් ලියනකොට වැඩේ තියෙන්නෙ එකක්වත් අතෑරල බෑ. මාරුවෙන් මාරුවට සමෝසමේ හැම කතාවම ලියන්ට ඕන. එහෙම ලිව්වම කතා පැටලෙනවය තේරුම් ගන්ට බෑය කියල කවුරුහරි කියනවනම් ඒ කතාව පිලිගන්ට ටිකක් විතර අමාරුය. මොකද දැං ඔය තියන ටී.වී. චැනල් හත අටේ දවසකට යටත් පිරිසෙයින් ටෙලි නාට්ටි දුසිමක්වත් යනවනෙ. ඉතිං මිනිස්සු ඔය යස අපූරුවට කටත් ඇරගෙන ඔව්ව දිහා බලා ඉඳල කතන්දරේ තේරුං ගන්නෙ.

හරි ඒ පූර්විකාවෙන් පස්සෙ කතන්දරේ. කලින් ලියපු කොටස් දෙක අමතක ඇතිනෙ. එහෙනං එව්වයෙ ලින්ක් දාල ඉන්නම් මුලින්ම. මට එහෙම කලින් කොටස්වල ලින්ක් දාන්න කියල උපදෙස් දුන්නෙ අපෙ සිත්තමී නෝන මහත්තැං. හෙහ්,හෙහ්,



"හා..හා..සර් හිනා වෙන්ට එපා...තොල් පියාගන්ට තොල් පියාගන්ට" කෙට්ටු කොලූ තෙම අඩ අඳුරෙ ඉඳගෙන බෙරිහං දීපි.

මම වහාම ක්‍රියාත්මක වන පරිදි මදහස පිහදාගෙන තොල් තදින් පියාගත්ත.

කෙට්ටු කොලූ තෙමේ පෝටොස් දෙක තුනක්ම ගත්ත. අරගෙන "හරි සර් දැං ඉවරයි" කියලත් කිව්ව.

"හප්පේ ලොකු දෙයක්..තව පොඩ්ඩක් එහෙම මේ ඔහෙලගෙ කෝට් බෑය ඇඳගෙන හිටියනං එහෙම මම මැරෙන්නෙ දාඩිය දාල නෙවෙයි හුස්ම හිරවෙලා" මම දනි පනි ගාල කෝට් බෑය ගලවන්ට ට්‍රයි කරන අතරෙ කිව්ව. 

"හා..හා..සර් බලාගෙන ඔය කෝට් එක ඉරෙයි. කෝට් එක ඉරෙයි. ඉන්න ඉන්න මම උදව් වෙන්නං" කෙට්ට කොලූ තෙමේ දුවගෙන ඇවිල්ල කෝට් බෑය පරිස්සමට මගෙ දසරුවෙන් පන්නල ගත්ත. 

දසරුව කියන එක දන්නව නේද? 

"ඈත කඳුකර හිමව් අරණේ,
සීත චන්දන ලපළු සෙවණේ,
සුළංරැල්ලේ පාව එන්නේ,
ඔහුගෙ නාමය වේ..හා..හා...හා...හා...

රනින්කල වන් පුළුල් උරයෙන්,
හැඟුම් ළමැදේ...." 

අන්න එතන කියන්නෙ උරය කියල. උරය කියන්නෙ පපුව. නැතුව කොට්ට උරයක් හෝ පිටි උරයක් එහෙම නෙවෙයි හොඳද? එතකොට උරයට උඩින් තියෙන්නෙ උරහිස. දසරුව කියල කියන්නෙ උරහිසට.

උරය කියල කිව්වම මට මතක් වෙන්නෙ චාල්ස් ඩිකන්ස්ගෙ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නොහොත් දාවිත් තඹකුඹුර කතාවෙ එන දුෂ්ඨ චරිතයක්. උරායා හීප්. හැත්තෑ ගණංවල උරායා හීප් කියල බෑන්ඩ් එකකුත් තිබ්බ. ඒත් එයාල ඇබා, බොනී එම් තරමට ජනප්‍රිය වුනේ නෑ. ඩිකන්ස්ගෙ උරායා හීප් දුෂ්ඨ චරිතයක් කියල මම කිව්වනෙ. 

"බාධා වැටකොටු දුෂ්ඨ චරිත නෑ,
සියල්ල සතුටින් හමාර වෙනවා,
ආසිරි ගී මැද සිහින සැබෑවී,
පෝරුව මතුපිට සිත් යාවෙනවා 

ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි…"

දයාරත්න සහ අමරා රණතුංග යුවල.

ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි...// 

බාධා වැටකොටු දුෂ්ඨ චරිත නෑ 
සියල්ල සතුටින් හමාර වෙනවා 
ආසිරි ගී මැද සිහින සැබෑවී 
පෝරුව මතුපිට සිත් යාවෙනවා 

විරහ ගීතයක පේළි දෙකක් අපි 
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි 

දුක්බර වස්දඬු වැලපෙන වීණා 
සවනත පාරන රාව නැගෙනවා 
අකුරින් අකුරට ගැයෙනා ගීයෙන් 
පාළුව තනිකම හිතේ පිරෙනවා 

ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි 
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි...// 

ගායනය - දයාරත්න සහ අමරා රණතුංග 
පද රචනය - තු.ව. කුසුමපාල 
සංගීතය - දයාරත්න රණතුංග



මේ ගීතයෙ රචකයා තු.ව. කුසුමපාල වනාහී වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්ලු. මොරටුවෙ පාළම හදද්දි ඒ මහත්මය ඒ ව්‍යාපෘතියෙ සේවය කරල තියනව. ඒ කාලෙ ඒ මහතා අතින් ලියවුණු ගීතයක් තමයි පුන්සිරි සොයිසා ගායනා කරන "එගොඩත් මෙගොඩත් ගම් යා කරලා "

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා,
පාළම සාදා බලා සිටින්නේ,
ඔබ මා වෙත පිය නඟන තුරා, 
ඔබ මා වෙත පිය නඟන තුරා.....

ඉතිං කෙට්ට කොලූ මගේ දසරුවෙන් පන්නා ගත්තු කෝට් බෑය බෝම පරිස්සමට අරගෙන ගිහිල්ල ආයම අර කාඹරේ කොක්කෙ එල්ලුව. ඒ කරල ඇවිල්ල කොම්පියුටර් එක ඉස්සරහ වාඩි වුනා.

"දැං කොයි වෙලාවටද ඔය උඩුගත කිරිල්ල කොරන්නෙ?" කමිසෙ උඩම බොස්තං තුනක්ම ඇරල පපුවට පිඹින ගමං මං ඇහුව. "ෆූස්..ෆූස්...ෆූස්…"

"දැම්මම කරනව. දැම්මම කරනව. මොකද පෝටොස් එකේ අයිතිකාරය ඉන්න වෙලාවෙම ඒක කරාම ලේසියි. රිජෙක්ට් වුනොත් හැදුවැහැකි. නැත්තං බැරිම තැනක් වුනොත් ආයම පෝටොස් එක ගත්තෑකි." කොලූ යතුරු පුවරුවට කොටන ගමං පරිගණක තිරේ දිහා බලාගෙනම කිව්ව. 

ආ..තව දෙයක් කියන්න ඕන. ගොඩක් දෙනෙක් ලියන්නෙ පරිඝනක කියල. ඒක වැරදියි. ඝනකය කියන්නෙ කියුබ් කියන තේරුම. දිගක් උසක් සහ පළලක් තියෙන ත්‍රිමාන වස්තුවක්. කම්පියුටර් එකට කියන්නෙ පරිගණක. ගණකය කියන්නෙ ගණනය කිරීමට භාවිතා කරන මෙවලම. කම්පියුටර් එකෙන් අද ඔය රටේ තියන එව්ව ඔක්කොම කලාට මුලින්ම ඕකෙන් කලේ ගණං හදන එක. ඉතිං නිවැරදි වචනය ඇවිදිං හිට පරිගණකය.

අර රවුමට කැරකෙන සීලිමේ හයි කරපු පංකාව මතකයි නේද? මම අර නර්සරි පොයම් එකකුත් කිය කිය ඒකෙ හුළං පාර පස්සෙ වටේට ගියේ. "හියර් වී ගෝ අරවුන්ඩ් ද මල් බෙරි බුෂ්, මල් බෙරි බුෂ්..මල්බෙරි බුෂ්..." අන්න ඒ පංකාව නම් කලිං වාගෙම කරකැවි කරකැවි තිබ්බ. ඒත් ආයම ඒ පස්සෙ මල්බෙරි බුෂ් පොයම් එක කිය කිය මම දිව්වෙ නෑ. 

කවුරුවත් නැති වෙලාවට ඔව්ව කලාට දැං පුලුවනැයි? හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක කියල එකකුත් තියනවනෙ. අනික කෙට්ට කොලූ හිතයි "මේ මොකද්ද මේ ලොක්කට මේ හැදුනු පිස්සුව?" කියල. ඒ හින්ද මම කලේ දැඩි දාහය නිවාගන්ට කමිසෙ තව බොත්තමකුත් ඇරගෙන ඒ කිට්ටුවම මේස කබලක් උඩ තිබ්බ පත්තරයක් අරගෙන පපුවට පවං සලාගන්න එක නොහොත් හුළං ගහගන්න එක.

"විපක්සයේ පාගමන හෙට නුවරින් ඇරඹේ" මොකද්ද බොලේ ඒ? ඒ ඇවිල්ල මම පවං ගගහ හිටපු පත්තරේ ප්‍රධාන සිරස්තලේ. හිටපු රජ්ජුරුවො ප්‍රමුක අනෙකුත් ගෝල බාල හොර තක්කඩි ටික හෙට ගැටඹෙ පිට්ටනියෙ ඉඳල පාගමනක් පටන් ගන්නවලු. කොළඹට යන්ට. හෙට උදේ පේරාදෙණියට ගියානං හිටපු රජ්ජුරුවංගෙ මූණු පොඩිත්ත දැකබලා ගන්ට තිබ්බ. මේ දවස්වල නං අර ඒ කාලෙ තිබ්බ කපටි හිනාව නෑ මූණෙ. ඉදිල වැටෙන්ට කිට්ටු වැළ ගෙඩියක් වගේ......පව්.

කෙට්ට කොලූ ඔය අතරෙ ගජරාමෙට වැඩ. පරිගණකෙ ඉස්සරහ ඉඳගෙන යතුරු පුවරුවට කොටනව හිටු කියල. "මේකා මොනව මේ හැටි කොටනවද මන්ද අර කුකුළ වී පැදුරට ඔට්ටුවුනා වගෙ." පවං ගහ ගන්න ගමං මම එහෙම මටම කියාගත්ත.

"සර්......." ඔන්න එක පාරටම කෙට්ටයා කතාකලා.ආපහු හැරිලවත් නෙවෙයි. පරිගණක තිරේ දිහා බලාගෙනම. 

"මොකෝ කේස් එක? එහෙං හරි කිව්වද? වැඩේ ඇප්රූව් ද?" මම කෙට්ටය ගාවට කිට්ටු වුනා. 

කෙට්ටය හැරිල මගෙ දිහා බැලුව. "ම්හු..වෙරි සොරි..වැඩේ හරි ගිහිල්ල නෑ. එහෙං කියනව සර්ගෙ ඔලුව පොඩි වැඩියි කියල."

"මොකක්? ඔලුව පොඩි වැඩියි කියල? යකෝ ඒක මාර කතාවක්නෙ. මේ මම ඉපදෙනකොටම අරගෙන ආපු ඔලුව. ඒක පොඩි වැඩිනං ඉතිං ඔහේ කියන්නෙ මට ආයම ඉපදෙන්ට කියලද?"

"නෑ, නෑ සර් පොඩ්ඩක් ඉන්ඩකො කලබල නැතුව. ආය ඉපදෙන්ටම ඕන නෑ. අපි ආයෙ පාරක් ෆොටෝ එකක් ගහල හරියට ඒ ගොල්ලන්ට ඕන ගාණට ඔලුව හදල යවමුකො." කෙට්ටය මාව කාම් ඩවුන් කරන්ට  ට්‍රයි කලා. 

"පෝටොස් නම් අල්ලමු එකට දහයක් හරි. මොකෝ ආය පොටෝස් එකක් ඇල්ලුවය කියල ඇඟෙන් කෑල්ලක් යනවය? ඒත් පුතෝ කලින්ම එකක් කියල ඉන්නං. බොලාගෙ අර පරණ කෝට් කබල ආය අඳින්ට කියන්ට නම් එපා ඔන්න." මම එකහෙලාම නිවේදනය කලා.

"සර් ඒක නැතුව....මම මේ කල්පනා කලේ..... " 

"ඕන තරං කල්පනා කරපං. ඒකට මගෙං කිසිම බාදාවක්, අකුල්හෙලීමක්, එතකොට වෙන මොන යම්ම හෝ ආන්තරාවක් නෑ. ඒත් පුතෝ කෝට් බෑය දාන්ට කියලනම් කියන්ට එපා. එහෙම බැරිම නම් මම වෙන තැනකින් වැඩේ කරගන්නං. මගෙ ගෙවපු සල්ලි ආපහු දීහං කරුණාකරල."

Monday, October 3, 2016

445. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 6 - "මගෙ හද මඩල මල් යහනකි.........."


" The girl on the train " බොහොම අපූරු කතාවක්.
ඉතාම කෙටිකාලයකින් බොහොම ජනප්‍රිය වුනු මේ නවකථාව
ආශ්‍රයෙන් නිපදවුනු චිත්‍රපටය මේ මාසෙ තිරගත වීමට නියමිතයි.

"හරි හරි මම කිව්වනෙ දැන් කෑගහන්න එපා කියල." ඇය හිස මෑණියන් දෙසට පහත්කොට කුමක් හෝ පහත් ස්වරයෙන් පැවසුවාය. ඒ කුමක් වුවද ඇගේ මව වහා හිස ඔසවා මදෙස බලා සන්සුන්වීමට වෑයම් කළාය.

"මෙතන නිකම් තේරුමක් නැතුව කෑගහන්ට එපා අම්මෙ. අර අතන ජනේලෙ අයිනෙ ඉන්න හොඳ වැදගත් පෙනුම තියෙන මහත්මයා ඉන්නව නේද? එයාව තමයි මම කවද හරි බඳින්නෙ. ඒ හින්ද අම්ම මෙතන නිකම් කලබල කරන්න එපා..තේරුණාද?" ඇය පැවසූයේ එවැන්නක් විය නොහැකිද?

ඇගේ මවගේ සිත් දිනාගැන්මට මේ මහඟු අවස්ථාවෙකැයි ද වහා ඉදිරිපත්ව මේ උද්ගතව ඇති බරපතල තත්වය සමනය කිරීමට යම් පිළියමක් යෙදුවේ නම් මගේ සිතැඟි එලෙසම ඉටුවනු නියත බැව්ද මට එකෙණෙහිම මසිතට නැඟිණි. එහෙත් මට විසඳාගත නොහැකි ගැටලුවක් වූයේ ඇය එනම් එම යුවතියගේ මවට කෙසේ නම් ආමන්ත්‍රණය කරන්නේද යන්නයි.

"නැන්දම්මේ" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි මා දුම්රිය මාර්ගය අසල ඇලකට, පොල් වත්තකට හෝ වෙල්යායකට අහසින් ගොස් පතිත කරවීමට හේතු විය හැක. ඇගේ නම දන්නේනම් "මිසිස් XXXXX" කියා ඇමතිය හැක. "නෝන මහත්මයා" යයි ඇමතුවහොත් මා ඇයට කවටකම් කරන්නේය යන නිගමනයට ඇය   අනිවාර්යයෙන් එළඹෙනු ඇත. එලෙසම බොහෝ උඩරට කුල කාන්තාවෝ "ආන්ටි" යයි තමන් ඇමතීම පිළිකුල් කරති. විශේෂයෙන් නාඳුනන තරුණයකු විසින් ආන්ටි යයි ඇමතීම ඔවුහු උදක්ම පිළිකුල් කරන්නෝය. ඊටත් විශේෂයෙන් තම රුවැති තරුණ දියණිය හා ගමන් කරද්දී නාඳුනන තරුණයකු විසින් ආන්ටි යයි ඇමතීම බොහෝසෙයින්මැ පිළිකුල් කරන්නෝය.

අවසන කිසිදු අපහාසයක් හෝ කවටකමක් ගැබ් නොවන්නේයයි මට හැඟුණු "මැඩම්" යන වදනින් ඇය ඇමතීමට මම තීරණය කළෙමි. 

"අහ්ම්...මේ......... මැඩම්...." මගේ හඬ කොපමණ ගෞරව පූර්වක එමෙන්ම හැඟීම් බර වූයේද යත් අනායාසයෙන්ම මා දෙනෙත් තෙත්වූයේය. වික්ටෝරියා රාජිණිය තමන් අබියස ජීවිත දානය අයදිමින් දණින් වැටුණු දරුණු මනුෂ්‍ය ඝාතකයකු දෙස හෙලනා පිළිකුල් සහගත බැල්මක් වැන්නකින් මගේ හිසේ සිට දෙපතුල දක්වා අවලෝකනය කල ඒ යුවතියගේ මෑණියෝ තොමෝ ඉක්බිති හිස ගස්සා දුම්රිය කවුළුවෙන් ඉවත බලා ගත්තීය.

දෙතොලගට නැඟ ආ මදහස තොල් සපාගත්වනම වළකාගත් ඒ යුවතිය නොරුස්නා ස්වරයකින් මව ඇමතුවාය.. "මොකද අම්මා මේ වෙලා තියෙන්නෙ?" 

තම දියණිය දෙස හිස හරවා ඔරවාගත්වනම මොහොතක් ගතකල මෑණියෝ යලි හිස ගස්සා ඉවත බලාගත්තාය. එවර දියණියගේ මුවට නැඟි සිනහව වළක්වා ගැන්මට තොල් සපාගැනීම ප්‍රමාණවත් නොඉවුණු සෙයකි. යුවතිය සුරතින් මුව වසා ගත්වනම මවෙතින් ඉවතට හැරුණාය.

මේ වනවිට පසුවූ දුම්රියපල පල්ලෙවෙල බව මම දුටුවෙමි. එබැවින් තවත් මිනිත්තු දහයක් පමණ කාලයක් ඇතුලත දුම්රිය මීරිගම දුම්රිය පොලෙහි නතර කරන බව මම දැනසිටියෙමි. ඇගේ මවගේ රැවුම් ගෙරවුම් නොසළකා ඇය යලි ඇමතීමට මම තීරණය කළෙමි.

"මැඩම් මේ.... තව විනාඩි දහයක් වගෙ යද්දි කෝච්චිය මීරිගම ස්ටේෂන් එකේ නවත්තනව. ස්ටේෂන් එකේ ටොයිලට් එකේ නම් අනිවාර්යයෙන්ම වතුර ඇති. හැබැයි වෙලා යනව වගේ නම් පොඩ්ඩක් ගාඩ්ට කියල යන්ට. මේකට පෙට්ටි දෙකකට පස්සෙ ගාඩ් පෙට්ටිය තියෙන්නෙ."

"මැඩම් යූ වෝන්ට් ටු ඩූ නම්බර් වන් ඕ ටූ?" යනුවෙන් ඇය විමසීමට මසිත පැන නැඟි ආශාව මම මැඩ ගත්තේ බලවත් ආයාසයෙනි. එසේ විමසූයේනම් ඇය කුමක් පවසාවිදැයි කල්පනා කිරීම පවා මගේ දෙතොලට ගෙන ආවේ සිනහවකි. මා සිනාසෙනු දුටුවහොත් ඇය මට පහරදීමට පවා පෙළඹිය හැකිබව ඒ සමඟම සිතට නැඟුනු බැවින් මම වහා මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ කොට ගතිමි.

මවිසින් ලබාදුන් උපදෙස සහ දැනුවත් කිරීම වෙනුවෙන් අවම වශයෙන් සුහද බැල්මකින් හෝ තම කෘතඥතාවය පලකලේ ඇය නොවේ. මදෙස එක වරක් යම්තමට හිස හරවා බලා ඇය යලි කවුලුවෙන් ඉවත බලා ගත්තීය.

තම මවගේ නොහික්මුණු ක්‍රියා පිළිවෙල යුවතියගේ සිත රිදවූවා සේය. ඇය මා දෙස හැරී සිනාසුණාය. "අනේ තෑන්ක්ස් අයියා...තෑන්ක් යූ සෝ මච්..." ඊට පිළිතුරු ලෙස ඇගේ මව ඇය වෙත නැවී යමක් කෝපාවිෂ්ඨ ස්වරයෙන් පැවසුවාය. පහත් ස්වරයෙන් කල ඒ තරවටුවෙන් මට ඇසුනේ අවසන් වදන් කිහිපය පමණි. "මම කියන්නෙ නෑ ඔන්න ආයෙ එහෙම....."

"අම්ම මේ මොනව කියනවද මන්ද?..." එසේ තොලමැතුරූ ඇය නොපහන් බැල්මක් මව දෙසට යොමුකොට ඉක්බිති අසුනෙහි හේත්තුවී දෑස් පියාගත්තීය.

මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
නුඹෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පළයන් ප්‍රභාවතී...

සිනා සිසී දෝතින් යහන සැදුව ලියේ
මුවාවට ගොසින් ඉකි බිද හැඩුව ලියේ
මට ම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඩන් කුමාරියේ...

පිල් කොමුවකින් පිල් කොමුවට ඇදුන ලියේ
මල්වර සුවඳ ඇඳි වරලස ඉනුව ලියේ
තවලම්පොටින් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ...

ගායනය : ගුණදාස කපුගේ

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...