Friday, October 29, 2010

67. ලේ නැති මස්.........

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්
හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මස් රාත්තල ලැබෙන්නේ නැහැ.

(එදා: වැනීසියේ වෙළෙන්දා)
............................................................................


මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්


හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මේ මාසේ පඩිය ලැබෙන්නේ නැහැ.

(අද: මනුස්සකම් වැනසී ගිය වෙළෙන්දෝ)

Friday, September 24, 2010

66. පූජියාමා ව නිසලව බලා සිටී.

කාර්යාලයේ වාර්ෂික මිතුරු හමුව මේ සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බව මා දැන ගත්තේ පසුගිය සතියේය. ඒ පිළිබඳව කසුකුසුවක් පසු ගිය මාසය පුරාවටම තිබුණද නිශ්චිතව දිනයක් නම් කරන්නට යෙදුනු බව ස්ථිරව ම දැන ගත්තේ පසුගිය සතියේය. දැන් එළඹ ඇත්තේ භාර දූර ම අවස්ථාවයි.විවාහ වී වසර දෙකකට ආසන්න වුවද විවාහයෙන් පසුව මෙවන් උත්සවයක් සංවිධානය වන ප්‍රථම අවස්ථාව නිසා මෙය අපගේ යුග දිවියට අළුත් අත්දැකීමකි.එනමුදු විවාහයට පෙර ප්‍රේමවන්තයින් සේ ගෙවුනු යුගයේ නම් මෙවන් අවස්ථාවන් තුන හතරක්ම එළඹුනු අතර ඒ අවස්ථාවන් වලදී සිදුවුනු සිදු වීම් නිසාවෙන් මා සිතේ ඇත්තේ චකිතය පිරුණු තිගැස්මකි.



‘ඇය මෙය කොහොම පිළි ගනියිද?’



පෙර අවස්ථාවන් හී දී ඇයගේ හැසිරීම් සිහිවන විට නම් මා නොසන්සුන් වන අතර මේ ගමන නොගොසින් සිටින්නට සිතන්නට හැකියාවක් තිබේ දැයි මගේ සිතම පීරමි. නැත. මගේ සිත කැමති වනුයේ කෙසේ හෝ මේ ගමන යන්නටමය. ගොස් ආ පසු සිදුවන දේට ඒ වේලාවට මුහුණ දෙමි. කෙසේ වුවද ඈ මාගේ ආදරණීය භාර්යාවයි. ඇය විසින් එළඹෙන දරුණුම යුද්ධය කඳුළු සලා හඬමින් ආඩපාලි කිම පමණි. එය එවිට ඇය සනසමින් විසඳා ගැනීමට මා හට හැකියාවක් ඇති බව විශ්වාසය. එය පළපුරුද්දෙන් ලද හැකියාවකි. එබැවින් මේ ගමන මම යමි.



මා සේවය කරනුයේ සමාගම් කිහිපයක එකතුවක් වූ ආයතයනයකට බැවින් සේවක සංඛ්‍යාව 400ක් 500ක් පමණ වෙයි. පවුල් පිටින් ගෙට් ටුගෙදර් පැවැත්වීම ඉතාමත් අපහසු කාරණයක් බව මේ සේවක සංඛ්‍යාව හා සළකා බැලීමේදී ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. එබැවින්, මා බිරිඳ සේවය ක‍රන කාර්යාලයේ සෑම උත්සවයකට ම මා ආරාධනා ලැබුවද ඇයව අප ආයතනයේ එකඳු උත්සවයකටවත් මේ වනතුරු සහභාගී කරවා ගැනීමට මා හට නොහැකි විය. එය මගේ සිතට කණගාටුවක් උපදවන කරුණකි.



“පොඩි වැඩක් තියෙනවා ඔයාට කියන්න” පසුගිය සඳුදා වැඩ නිමවා නිවසට එන අතරතුරේ කල් යල් බලා පැවසුවෙමි.



“ඇයි?....... මොකද්ද?”



“අපේ ඇනුවල් ගෙට් ටුගෙදර් එක තියෙනවා මේ සතියේ............ පෝය කවද්ද?” අමතර පැනයකුත් සමඟ පැවසුවෙමි.



“අනිද්දානේ. 22 වෙනිදානේ. එදාටද තියෙන්නේ?” ඇය ඇසුවාය.



“ඒකනේ වැඩේ. 24 වෙනිදා තියෙන්නේ. 24 කවද්ද?”



“24 සිකුරාදානේ. ඇයි අනේ සතියේ දවසක්?” ඇය මවිතය පළ කරයි.



“ අනේ මන්දා. මට නං යන්නත් හිතක් නැහැ.” මම අවංකවම පැවසුවෙමි.



“ඇයි ඒ?” ඇය බලාපොරොත්තු සහිතව ඇසුවාය.



“පවුල් වල අය නැහැනේ. අනේ මන්දා ඔයාලාගේ වගේ නෙමෙයිනේ, බොස්ලා හිතන්නේ නැහැනේ, ගෙට්ටුගෙදර් එකක් වුනහම පවුල් වල අයත් එනවා නං හොඳයිනේ” ඇයගේ මුහුණ පැති කණ්නාඩියෙන් නිරීක්ෂණය කරමින් පැවසුවෙමි. පැහැදිලි වෙනසක් නොදුටුවෙමි. මීට අවුරුදු 4කට 5කට පෙර නම් ඒ වදන් පෙලම ඇති ඇයට ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නට. කාලයත් සමඟ ආලය වෙනස් වෙලාද?



“එහෙම කොහොමද අනේ. අපේ වගේයෑ. කොච්චර සෙනගක් ඉන්නවාද? ඔය සේරම පවුල් පිටින් ආවොත් හොඳට හිටියි” ඇය තර්කානුකූලව පවසා ආයතනයේ පැත්තට කථා කලාය.



“ෂික්.......... ඒ වුනාට............”



යතුරුපැදියට ඉන්ධන සපයා ගැනීමට ඉන්ධන හල වෙත හැරවූවෙමි.



“පන්සීයක”



මුදල් පසුම්බිය අතට ගෙන මුදල් ගන්නා ගමන් පැවසුවෙමි.



පසුම්බිය ඉරී හිල්වී ඇත. පැත්තක නූල්ද ගැලවී ඇත. කලිසම් සාක්කුවේ වදින පැත්තේ උඩු හම ගැලවී යටි හම මතුවී දම් පාටින් බබලයි. පසුම්බිය අතට ගන්නා සෑම විටම කිසිවකු එය දකීදැයි දෙනෙත් වටම සරන්නේ නිරායාසයෙනි. මේ මාගේ නොසැලකිල්ලද? දුප්පත් කමද? නැත. මේ පසුම්බිය මෙයට වසර තුනකට පෙර අපගේ ආදර සැමරුම් දිනයේදී ඇයගෙන් තිළිණ ලද්දකි. වෙළෙඳ නාමය සුපිරි වුවද, මද කලකින්ම පෙරකී දම්පාට මතුවිය. ඇයගෙන් ලද තිළිණය නිසාවෙන් ඉවත් කරන්නට හිතේ ඇතිවුනු ලෝභ කමින් තවමත් එයට මා සන්තකයේ පැවතීමට වාසනාව පෑදී ඇත.



ඇය කරනා බොහෝ දේවල් මගේ හිතට ඇති කරන්නේ ලෝභ කමක්මය. කරන්නට හිතුනොත් ඒ දේ කරන්නේමය. සැලසුම් සහගතව මගේ උපන්දිනයට යමක් කරන්නට ඇයට නොහැකී වූයේ එකම එක වරකි. ඒ අප විවාහ වූ අවුරුද්දේය. විවාහයෙන් දින 11කට පසුව මගේ උපන් දිනය යෙදුනු බැවින් ඇයට යමක් සැලසුම් කර ගත නොහැකි විය. පුංචි දෙයකින් හෝ මා සතුටු කරන්නට ඇය සෑම විටම උත්සහ දරන්නීය. මාත් එහෙමද?



ඇයට අනුව නම් ඇය මා හට දක්වන ආදරයටත් වඩා මම ඇයට ආදරය දක්වමි. ඒ ඇය සිතනා ආකාරයයි. සමහර විට මගේ හිතේ තිබෙනා වූ අකලංක වූද, ප්‍රේමණීය වූද හැඟීම මටත් වඩා හොඳින් ඇය වටහාගෙන ඇතිවා විය හැකිය. ඇය එසේ සිතනා විට මා හට සිතෙන්නේ ඇය මා කෙරේ දක්වන ආදරයට අලගු තබන්නටවත් මා හට නොහැකිය යනුවෙනි. සමහර විට එය මෙසේ විය නොහැකිද? අපගේ කුටුම්භයේ සතුට, සාමය, ආදරය මේ හැම දේම, හැම බැඳීමක්ම රැඳී රැකී තිබෙන රහස මේ දෙපැත්තට සිතනා සිතුවිලි විය නොහැකිද?



ඇය කිසි විටෙක කිසිම දෙසෙක මා නොමැතිව යාමට අකමැතිය. කන්තෝරුවේ පිරිස පමණක් සහභාගීවන යම් යම් අවස්ථාවන් වලට නිහතමානීව, තමන්ට පැමිණෙන්නට නොහැකි බව ඇය ප්‍රකාශ කරන්නේ මගෙන් විමසා බලාවත් නොවේ. පසුව එවන් අවස්ථාවන් වලට ආරාධනා අප දෙදෙනාටම පිළිගැන්වීමට ඇයගේ කන්තෝරුවේ සුහදශීලි පිරිස සැලකිලිමත්විය.



පිරිමියෙකුට ආදරය, විවාහය ජීවිතයේ කොටසක් වන විට ගැහැණියකට ජීවිතය යනු ආදරය සහ විවාහය වන බව සත්‍යයක් යැයි මට සිතේ. ආදරණීය සැමියෙකු, ආදරණීය පියෙකු වශයෙන් මා මගේ ජීවිතයේ ඒ කොටස ඉතාමත් වගකීමෙන් ලබැඳියාවෙන් ඉටු කරන බව, අප තිදෙන සතුටින් පසුවෙන විටෙක ප්‍රිතීයෙන් පිනායන මාගේ බිරිඳ මගේ සවනට කොඳුරා පවසන වදන් සාක්ෂි දරයි.



“ඔයා හරි ම හොඳයි තාත්ති”



එවන් විටෙක ප්‍රිතීය වෑහෙන දෙනෙතින් මදෙස බලා සිටින ඈ, අනතුරුව මගේ සවනට රහසින් පවසයි.



එනමුදු පිරිමියෙකු වශයෙන් මට ජීවිතයේ තවත් කොටස් ඇත. රැකියාව, මිතුරු සබඳතා, සමාජ ආශ්‍රය, සමාජයේ මාගේ පැවැත්ම, නව සබඳතා මගින් දියුණුව පිණිස නව මාර්ග මතුකරගැනීම මේවා මගේ ජීවිතයේ අනෙකුත් කොටස් අතර වේ. මාගේ කුටුම්බය ප්‍රධාන කොටගෙන ඇති මේ අනු කොටස් අමතක කල නොහේ. එසේ කලහොත් සිදුවනුයේ කණු ගැලවී ගිය කල බිමට පතිත වන ගොඩනැගිල්ලක් සේ ප්‍රධාන කොටසට අන්තරායකර අවස්ථාවක් එළඹීමය.



අනෙක් අතට මෙවන් අවස්ථාවක් මග හැරීම මදි කමක් ලෙස මට හැ‍‍ෙඟේ. සමාජයේ හැසිරීමට නොදන්නවුන් එලෙස මග හරින බව මා සිතේ පැලපදියම් වූ කරුණකි. කුඩා කල සිටම හොඳ සමාජ ආශ්‍රයක් ඇතිව සිටි මා වැන්නෙකු අතින් උත්සවයක් හිතා මතාම මග හැරීම කිසිවිටෙක නොසිදුවිය යුත්තකි. අනෙක් අතට ඉතාමත් වෙහෙසකර වූ රැකියාවට මද විරාමයක් ලැබ, ගීතයක් ගයා, නටා, මිතුරන් සමග මධුවිතෙන් මද පමණට සප්පායම් වී, නා, කා, විනෝද වීමට අවස්ථාවක් ලැබීමත් මහඟු කාරණයකි.



එහෙත් මේ හැම දේමත් පසෙකය.



'ඇය මොනවා කියාවිද?'



තවමත් අහස කළු වුනේවත් නැති නිසා වැස්සක් වසී කියා සිතීමට හැකියාවක් නැත.



එහෙත්............ මට පූජියාමා ව සිහිවේ.



“අපිට අද ටී ෂර්ට් එකක් ලැබෙනවා” ඊයේ උදේ වැඩට එන අතරතුරේ ඇයට පැවසුවෙමි.



“ෂා........ ‍ෂෝක්නේ. ගෙට්ටුගෙදර් එකට අඳින්නද?........... මටත් අඳින්න පුළුවන් වෙයි නේද?” ඇයට සතුටුය. මටත් සතුටුද? මම පැති කණ්නාඩියෙන් ඇගේ වුවන නිරීක්ෂණය කරමි. නැත. තවමත් අහස පැහැදිලිය.



“ඔව් පුළුවන් වෙයි” මම පැවසුවෙමි.



“හා.......... එහෙනං මං සැටර්ඩේ අඳින්නම්ද?” ඇයට වඩා සතුටුය. මේ මවාගත් සතුටක්ද?



මා දන්නා ඇයට අනුව නම්, ‘ඔය දෙන්නා නැතුව මං යන්නේ නැහැ’ කියා මං පවසන වදන් අසා ගන්නට ඇගේ සවන් පුල පුලා බලා සිටින බව දනිමි. ‘ඔය දෙන්නත් එක්ක යන්න පුළුවන් මේ පාර’ කියා පවසන්නට මට හැකියාවක් තිබේ නම්, අපේ මුළු කාර්යය මණ්ඩලයෙන්ම වඩාත්ම සතුටට පත්වන පුද්ගලයා මා බවත් ඔයා දන්නවාද?



දිනය ගෙවී දසත අඳුර පැතිරෙන්නට වූ විට,“ඔයා කොහේද?” ඇයට දුරකථන ඇමතුමක් දී ඇසීමි.



“මං මේ එන ගමන්. ඒක නෙමෙයි ටී ෂර්ට් එක ලැබුනාද? හෙට ඔයා ඒක නේද අඳින්නේ?” ඇය වෙනස් වී ඇත. වෙනදා නම් මෙවන් ගමනකට පෙර දින අහස බොහෝ සෙයින් අඳුරුය. වහින්නට ඔන්න මෙන්න සේය.



“ඔව් ලැබුනා. ඒක තමයි අඳින්නේ”



“කලිසම මොකද්ද?”



“ඩෙනිම් එකක් හොඳයි නේද?”



“හා.......... එහෙනම්. මං බහින්න ලං වෙලා කෝල් එකක් දෙන්නම්”



“හා...... හොඳයි”කාලය සෙමින් ගත විය.



කිහිප වරක්ම දුරකථන ඇමතුම් දුනිමි.



‘අද ඇයි දන්නේ නැහැ පරක්කු’


නැවත වරක් ඇමතිය යුතුය.



“කෝ ඔයා?”



“ ආ........... දැන් ලඟයි. තව විනාඩි තුනයි. දැන් එන්න ඔයා බස් හෝල්ට් එකට” අතීශයින් සාමාන්‍යයි. වෙනදා වාගෙමයි. අකුරක් අකුරක් පාසා හැඬුමක් සෙව්වෙමි. ඉකියක් සෙව්වෙමි. ඉඟියකුද නැත.



මට පාළුවක් වැනි හැඟීමක් දැනින. ඒ මන්දැයි නොදනිමි. මට අවැසි වන්නේ ඇය ඇ‍ෙඟේ දැවෙටෙමින් මගේ ගමන වැළකීමද? මූණ නොරොක් කරගෙන වැහිබර අහසක් මුහුණ මතට ගෙන ඒමද? මම සිතුවෙමි. නමුදු මගේ අවැසියාව මටම පැහැදිළි නැත.



“මොන පාටද ටී ෂර්ට් එක?” මගදි ඇය ඇසුවාය.



“නිල් පාටයි”


“ලස්සනයිද?”



“හොඳයි ටිකක් කල් අඳින්න පුළුවන් වගෙයි” පැති කණ්නාඩියෙන් සුපුරුදු පරිදි විමසුවෙමි. ම්හු............ පැති කණ්නාඩිය මට පැවසුවේය.



ඇත්තමට මා සොඳුරිය වෙනස් වීද? නැතහොත් කාලය සමගම ඈ පරිණත වීද? මාගේ පුරුදු ඇගේ මෘදු ගති මරා දැමුවාද? නැතහොත් සියලු හැඟීම් සඟවා මාගේ සතුට වෙනුවෙන් ඉවසනු විය නොහැකිද? මම නොසන්සුන් වීමි. හැමටම වඩා මගේ හිත පෑරෙන්නේ, ‘වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහාත් මෝඩයා’ වැනි හැඟීමකින් ඇය පසුවනවාදැයි මට සිතෙන කළටය. ඇත්තටම දැන් නම් ඇය හඬා, ආඩපාලි කියනවා නම් මම ඉතාමත් කැමැත්තෙමි. මේ ලෙස අනියත සිතුවිල්ලේ කාලය ගත කරනවාට වඩා ඇයව සනසමින් කාලය ගත කර දමන්නට මම අතිශයින් කැමැත්තෙමි. කල හැකි යමක් නැත. අවසාන මිනිත්තුව දක්වා විමසිල්ලෙන් පසුවෙමි.



වෙනදා සුපුරුදු ලෙසම නිවසට ලඟා වීමු.



ඇය නාන කාමරයෙන් පැමිණ සිඟිති දියැණිය තුරුලට ගන්නාතුරු, දියැණිය සමග සෙල්ලම් කරනා අතරතුරේ ගමනට අවැසි කළමනා සුදානම් කලෙමි.



“ඔයා සෝදාගෙන එන්න. කාලා ඉක්මනට නිදිය ගමු. පාන්දර නැගිටින්නත් එපෑයැ” ඇගේ වදනට අවනතව මම නාන කාමරය දෙසට ‍ගියෙමි.



මා ගිය විගස ඇය කාමරයේ දොර වසා ගත්තාය. අගුල වැටෙන හඬද මට පැහැදිලිවම ඇසුණි. සියුම් සතුටක් සිත අද්දරින් ගියා සේ එක් මොහොතකට මට දැනුනාද? මද වේලාවකින් නැවතත් මා කාමරය වෙත ගියේ අමතක වූ යම් දෙයක් රැගෙන ඒමටය. මට ඇසුණු හඬ නිවැරදිය. අගුළු දමා ඇත.



“අම්මි...........” මම දොර හැඬලය කරකවන අතරතුරේ මා බිරිඳ ඇමතුවෙමි.



“ඇයි?................ ආ..... පොඩ්ඩක් ඉන්න” විනාඩි භාගයකට පමණ පසු දොර හැරින. වෙනසක් නැත. දියැණිය සෙල්ලම් බඩු කිහිපයක් අසල තබාගෙන බිම සිටී. ටිකිරි දසන් දක්වා සිනාසුනු ඈ නැගිට මා අසලට ඇදුනාය.



“ඇයි? ටවල් එකද?” මා බිරිඳ ඇසුවාය.



“ආ......... ඔව්......... ඔව්...........” කියමින් ඇය දුන් ටවලය අතට ගෙන ගියෙමි. නැවතත් විනාඩි පහකින් පමණ යම් වුවමනාවකට කාමරය වෙත යන විට නැවත වරක් දොර අගුළු දමා ඇත. ඇය හඬනවා වත්ද?



“ඇයි මේ දොර ලොක් කරලා” ‍මම ඇසුවෙමි.



“ඇයි අනේ?....... පොඩ්ඩක් ඉන්න” විනාඩියකට පමණ පසු දොර හැරුණි. එවරද වෙනසක් නැත. අවැසි දෙය රැගෙන මම පිටවීමි.



ඇඟපත සෝදා ගෙන, පහල මාලයේ කරන්නට තිබුනු යම් යම් කටයුතු වගයක්ද අහවර කොට ගමනට ඇවැසි දෑ සූදානම් කරනු පිණිසත්, ඒ අහවරව නිදනු පිණිසත් ඉහල මාලයට ගියෙමි. බිරිඳට හඬ ගසමින් නිකමට දොර හැඬලය කැරකූවෙමි. දොර හැරින. ඇය එවර දොර අගුළු දමා නැත. අම්මාත් දූත් නින්දේ සේ පෙණින.



ගමනට සූදානම් කරගත් අත් බෑගය ඇඳ පත්තේ එල්ලා ඇත. අළුත් ටී ෂර්ටයද ඒ අසලම ඇත. මේස්, කැප් තොප්පියක් සහ ඩෙනිම් කලිසමක්ද අතමානයේ තිබේ.



“අම්මි.........” බිරිඳ නිදි සේ සිටියද නිදි නැති බව දනිමි.



“ම්.........ම්.........”



“ඔයා ටී ෂර්ට් එක ඇඳලා බැලුවාද?” මම ටී ෂර්ට් එක ඇඟට තබමින් ඇසුවෙමි.



“නැහැ අනේ............. පස්සේ බැරියෑ” මම එය ඇඳ බැලුවෙමි. වරදක් නැත.



“හොඳයි නේද? පාටත් හොඳයි නේද?”



“ම්.......ම්....... හොඳයි. ලස්සනයි. මටත් ඇති වෙයි නේද? සාක්කුව තමයි කේස් එක” බිරිඳ පැවසුවාය.



“නැහැ ඒකේ අවුලක් නැහැ. අපේ ලේඩීස්ලාටත් මේකම තමා”



“ආ........... ඇත්තද?

දන්නවාද ඔය සාක්කුව මහලා තියෙන්නේ ෆිනිෂින් වලට ලේසියට. එතකොට ෂර්ට් එක ෆිනිෂ් කරන්න ලේසිනේ. නැත්තං බැඩ්ජස් මහලා ෆ්‍රොන්ට් පාර්ට් එක ෆිනිෂ් කරන්න වැඩි කාලයක් ගත වෙනවානේ. සාක්කුවේ බැඩ්ජ් එක මැහැව්වහම ලේසිනේ”



හිතේ යමක් තිබේ නම් ඇය මෙලෙස වැල් වටාරම් කථා කියන්නේ නැත.



‘ම්..., ඔව්..., නැහැ..., හා...,’ හිතේ යමක් වේ නම් ඇගේ වදන් එසේය.



“ආ............. ඒකත් ඇත්ත තමා නේ.”



මම ඇඳ පත්තේ එල්ලා තිබූ ගමන් බෑගය අතට ගතිමි. ඇය කොට්ටය ගෙන මදක් හිස එසවෙන ආකාරයට තබා ගත් බව දැන් කල්පනා කරන විට මට සිහිවේ.



බෑගය විවෘත කරන විට ම මට අමුත්තක් දැනින. ‘ආ....... මෙයාගේ පර්ස් එකත් මේකේ දාලා’ බිරිඳට උපන් දින ත්‍යාගයක් ලෙස ලැබුනු මුදල් පසුම්බිය එම බෑගයේ තිබී ඉවතට ගෙන කණ්නාඩි මේසය මත තබන්නට ගියෙමි.



එක් වරම, ‘හැ..........’ යනුවෙන් මට කියැවිණි. මේසය මත ඇගේ පසුම්බිය ඇත. එහෙනම්........ මේ මොකද්ද?



මා දයාබර බිරිඳ මා ලෝභ කමකින් යුතුව රැකි, ඇය විසින් තිළිණ කරන්නට යෙදුන, උඩු හම ගැලවී යටි හම මතු ව දම්පාටින් බැබැලුන ඒ පසුම්බියට විශ්‍රාම දීමට තීරණය කොට ඇත. අගනා නවතම මාදිලියේ පසුම්බියකින් මා තිළිණ ලබා ඇත. පරණ පසුම්බියේ තිබූ මා සන්තක සබ්බ සකල මනාවම නව පසුම්බියේ තැන්පත්ව ඇත.



සැබවින්ම මා බිරිඳ පරිණත වී ඇතැයි ඒ මොහොතේම මට වැටහුණි. ඇය දැන් පෙර සිටි ලඳ බොලඳ යුවතිය නොවේ. පුද්ගල හැඟීම් තේරුම් ගත හැකි, ඒවා වෙනස් කරන්නට නොගොස් ඒවාට අනුගත විය හැකි මට්ටමට ඇය පරිණත වී ඇත. මම ප්‍රිතීයෙන් පිනා යමි. අද දින සතුටු සිතින් මේ ගමන යන්නෙමි.



හඬමින් ආඩපාලි කියන ඈ සනසමින් සැනසෙන, එයින් සතුටට පත්වන පෙම්වත් චරිතයෙන් ඔබ්බට මාද පරිණත විය යුතුව ඇත. මම එසේ වන්නෙමි. එහෙත් එසේ වීමට පෙර, ගමන ගොස් පැමිණ තව සතියක පමණ කාලයක් විමසිල්ලේ සිටිය යුතුව ඇත. මන්ද යත් පූජියාමා ව ද නිසලව කල් යල් බලා සිටින නිසාවෙනි.



Tuesday, August 17, 2010

65. යොවුන් වසන්තයේ..........දුහුල් වලාකුලේ .........රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

අද අහන්නට ලැබුනු එක ගීතයක් නිසා අපි එතරම් අගේ නොකරපු, කොච්චර වටිනවා වුනත් එය අපි තේරුම් නොගත්ත, ආයේ ලබන ආත්මේ මිස මේ ආත්මේ නම් නොඑන කාලයක් ගැන හිත පුදුම විදිහට බරවුනා.

ආදරයට ගෙදරින් ආ බාධක, වැඩිදුර ඉගැනුම, රස්සාව, ‍නිවස ගොඩ නැගීම ආදී නොයෙකුත් දේවල් නිසා අතට ගත්ත වැලි මිටක් නොදැනීම ඇඟිලි අතරින් රූටා වැටෙන්නා සේ ජීවිතයේ වසන්ත කාලය නොගෙවිය යුතු අන්දමින් ගෙවුනා කියලා හරිම ලෝභ කමකින් හිත පිරුනා. තාමත් ඒ සිතුවිල්ලෙන් මිදෙන්න බැරිව ඒ සිතුවිල්ල අකුරු කරන්න උත්සහ කරනවා.

යොවුන් වියේ පෙම්වතුන් සේ වින්ද ප්‍රේමයේ කිසිම අඩුවක් නොවෙයි මා කියන්නේ. ඒත් ඒ ප්‍රේමය මරන්න මග රැක සිටී පිරිසගෙන් රැක ගෙන ඉදිරියට ගෙන යන්න දැරූ උත්සහයේදී, අවුරුදු 6ක් විතර අපි සම්පූර්ණයෙන් ගෙවලා තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයි ඒක රැක ගන්න නේද කියලා අද ඒ ගෙවුනු කාලය ගැන සිහිවුනාම දැන් වැටහෙනවා.

මග තොට යන්න නැහැ කවුරු හරි දකින කෙනෙක් කේලාම් කියයිදෝ, ඒ නැතත් අම්මා තාත්තා ම දකියිදෝ, එයින් අනතුරුව මොනවායින් මොනවා වෙයිදෝ, එහෙම ප්‍රශ්නයක් ආවොත් කියන උත්තර මොනවාදෝ................ ඔන්න ඔහොමයි අවුරුදු 6ම ගතවුනේ.

වහකදුරු, නයි පොළොංගු, කැති පොලු, ආදී දේවලින් විස්තර කරන්න පුළුවන් වුනු දෙපාර්ශවය එකඟතාවයට එන්න අවුරුදු 6ක්ම ගතකලා. ඒ අවුරුදු 6 තුල අපි දෙන්නා ලේ පයින්ට් සිය ගණනක් පුච්චන්න ඇති. අපි කාලය ගත කරලා තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයි. ලේ පුච්චන්න. අද අපි දෙන්නා ගැන මට පුදුම විදිහට දුක හිතෙනවා.

එහෙම නිමක් නැති බාධක ජය ගන්න පිඹුරුපත් සකස් කරමින් ආ ගමනේදී ඒ සොඳුරු වසන්තය අපට අමතක වුනා නේද කියලා දැන් තමයි වැටහෙන්නේ.

ඉන්න තැනක් හදා ගන්න, වැඩිදුර ඉගෙන ගන්න වගේ දේවලින් තමයි අපට අනාගතයක් තියෙන්නේ කියලා හිතපු අපි ඒ දේවල් කලා. ඇත්තටම ඒ දේවල් හරි. ඒ දේවල් නිසා නොවෙයි අපට ඒ යුගය මග හැරුනේ. ප්‍රේමයට තිබූ මරණීය දණ්ඩනය ලිහිල් කර ගන්න මාර්ග සොයන්න ගිහිනුයි අපට ඒ සොඳුරු යුගය මග හැරුනේ. ඒ බව අද හොඳටම තේරුනා. ඊට කලිනුත්, මගේ නංගිලා දෙන්නාට අද ගෙදරින් තිබෙන බාධාවිරහිත පරිසරය දකින ඒ බව විට ටික ටික තේරුනා. එයාලාට දෙපාර්ශවයෙන්ම ආශිර්වාද ලැබිලා, අද සතුටින් ඉන්නවා. පවුලේ විනෝද චාරිකා වලට වුනත් ඒ මල්ලිලාට එන්න තහනමක් නැහැ.

අපේ කාලයේදී අපි පවුල සමග මොන විනෝද චාරිකාද?

දෙන්නා සත්තු වත්තට ගියත් වැඩිපුරම බලන්නේ සත්තුන්ව නෙමෙයි ඇවිත් ඉන්න මිනිස්සුන්ව. ඇයි කවුරු ඉන්නවාද දන්නවැයැ. ප්‍රදර්ශන බලන්න ගියත් තියෙන දහයක් විතර වි‍ඩියෝ කැමරා සියල්ලටම මුවා වෙලා, වටේ ඉන්න මිනිස්සුන්ව ස්කෑන් කරනවා හැර බලපු ප්‍රදර්ශනයක් නැහැ කියලා අද හිතෙනවා. හම්බ කරපු සල්ලි වැඩි හරියක් වියදම් වුනේ කෑමට. හැමදාම හවසට වැඩ ඇරිලා යන ගමන් මොනවා හරි කන්න අවන්හලකට ගොඩ වැදිලා යන්නේ කන්න ඕනේ නිසා නොවෙයි, කථා කරන්න ඕනේ නිසා, ප්‍රශ්න සකච්ඡා කරන්න ඕනේ නිසා. (ඒ වෙච්ච මහත තාම ඇර ගන්න බැරි වුනා).

ඉතිං අවසානයේ‍ මෙහෙම සැනසීමක් ලැබීම ගැන සතුටුයි. දෙපාර්ශවයේ සාකච්ඡාවෙන් අනතුරුව විවාහය මාස පහක් අවසානයේ කෙරෙන්නට දින නියම වුනා. ඒ මාස පහ සැනසුම් සුසුමෙන් කාලය ගත කරන්නට නොවුනේ අධිවේගයෙන් විවාහයට සුදානම් විය යුතු වුනු නිසා. නමුත් පාර පුරා ස්කෑන් කරමින්, බයේ ගැහෙමින්, හැංගි හැංගි ගිය කාලය නිමා වුන එක නම් පුදුමාකාර සැනසීමක් වුනා.

විවාහය බොහොම හොඳින් සිද්ධවුනා. දැන් අපි හැමදෙනාම සතුටින් සමගියෙන් ඉන්නවා. අපි දෙන්නාට ම ඒ ගැන සතුටුයි.

2001 වසරින් පටන් ගත්තාට පසු හැම වසරකම අපේ ජීවිත වලට මොනවා හරි විශේෂත්වයක් සිදුවුනා. ඉඳින් 2008 විවාහ වුනු අපගේ ජීවිතයට 2009 දී පුංචි දූ කුමරි, රනුලිමා ආවා. එදා පටන් ඇය වෙනුවෙන් කැපවුනු අපට දැන් අම්මා, තාත්තා කියන වගකීමෙන් බැහැරව හුස්මක්වත් ගන්න පුළුවන්ද?

ඒ වගකීම නම් පුදුමාකාරයි. සැමියා මොන තරම් ගේ දොර වැඩට උපකාර කලත්, කොටින්ම කියනවා නම් ගේ දොර සියලුම කටයුතු, එකක් නෑර සියල්ලම වෙන කෙනෙකු ලවා කරවා ගත්තත්, අම්මා‍ කෙනෙක් තාත්තා කෙනෙක් කියන වගකීමෙන් මිදිලා දැන්අපට සැහැල්ලු වෙන්න බැහැ. ඒ හැඟීම පුදුමාකාරයි. පාරේ යනකොට ඉස්සරහ යන වාහනයක් එක පාරම නොහිතපු වෙලාවක තිරිංග තද කලත්, හිතට එන්නේ දුවගේ මුහුණයි.

මා මේ ලිපියේ මුලින් සඳහන් කරපු ගීතයේ රූප රාමු තුල මාලනී ෆොන්සේකා මහත්මියත් විජය කුමාරතුංග මහතාත් ඇතුළු පිරිස හැසිරෙන ආකාරයත්, නන්දා මාලනී මහත්මියගේ තරුණ අවධියේ හඬත් අපේ යොවුන් දිවිය ගෙවුනු අයුරු මට ආයෙත්, ආයෙත් සිහි කරනවනවා. ඔවුන් තරුණ දිවිය විඳින ආකාරයට අපට කවදාවත් විඳින්න බැරි වුනා නේද කියලා හිත ලෝභ කමකින් පිරිලා ගිහින්. මේ චිත්‍රපටය මං නරඹලා නැහැ. කථාවේ අන්තිමට දුඛාන්තයක්ද සුඛාන්තයක්ද කියලා ඒ නිසා මං දන්නේ නැහැ. ඒත් ඒ බව මේ ගීතය රසවිඳින්න මට බාධාවක් වුනේ නැහැ. ඔයාලාත් කැමති නම් බලන්න
.

යොවුන් වසන්තයේ

යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සලා

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ග‍ෙඟේ දියඹ දිගේ

කොහොම වුනත් අපගේ ජීවිත වල සිදුවුනු, සිදුවෙන සිදුවීම් කිසිවකට වෙන කිසිවෙකුට දොස් නගන්න බැහැ. මේ හැම දේම පෙර ආත්මයේ කරන්නට යෙදුනු කුසලාකුසල කර්ම අනුව සිදුවුනු දේවල් බව අපි දෙන්නා විශ්වාස කරනවා. අපි කාට හරි කරපු දෙයක් අපට පල දෙන්න ඇති.

ඒ ආත්මයේ මොනවා කලාද කියලා නොදන්නවා වුනත් දැන් මගේ විශ්වාසය නම්, කෙනෙකුට වරදින්න යනවා, ඔහු හෝ ඇය කරදරයකට පත් වෙන්න යනවා කියලා අපට පේනවා නම් පුළුවන් තරම් ඒ කෙනාට තේරුම් කරලා දෙන්න උත්සහ කරන්න ඕනේ, නමුත් ඒ අය ඒ දේවල් තේරුම් නොගෙන සිය මාර්ගයේ නොපසුබටව යනවා නම් යන්න ඇරලා බලන් ඉන්න වෙනවා. ඒ ඒ අය ගෙනා කර්ම ශක්තිය අනුව ජීවිත සකස් වේවි. අමුතුවෙන් සකස් කරන්නට යාමෙන් සමහරවිට අපි අකුසල කර්මයක් කර ගන්නවා වෙන්නත් පුළුවන්. සමහරවිට අපි දකින දේට වඩා වෙනස් දෙයක් ඔවුන්ට පේනවා වෙන්නත් පුළුවන්. මොනවා වුනත් තමන් නොවෙයි නම් ඒ වෙනත් කෙනෙක්. වෙනත් කෙනෙකුගේ ජීවිතය අවවාදයෙන් ගොඩ ගත නොහැකි නම්, එය ඔහුට හෝ ඇයට හැඩ ගස්වා ගන්නට හැර කාලයට ඉඩ දී බලා සිටීම හැම අතින්ම ‍වඩාම හොඳම දේ හැටියට මං හිතනවා.

අවසාන වශයෙන් මං ප්‍රාර්ථනා කරනවා නොදැනීම ගෙවිලා ගිය වසන්තය ගැන දුක් නොවනු පිණිස ඔබ හැම දෙනාටම කටයුතු සැලසේවා !!!!!! කියා.

(මේ ලිපිය සටහන් කරන පුරාවටම සන්සරසිඳු මල්ලිව තමයි මතක් වුනේ. මල්ලියේ අපට වගේ උඹට නම් දුක් වෙන්න සිද්ධවෙන්න එපා. ඒකට දැන්මම කටයුතු සම්පාදනය කරගන්න)

Tuesday, July 27, 2010

64. අම්මේ, තාත්තේ මේ ඔබේ අවධානය පිණිසයි

මේ වෛද්‍ය වරයෙකු කියන කථාවකි.

ඩෙංගු රෝගය මේ දිනවල ඉතාමත් භයානක අන්දමින් අප සමාජය තුල පැතිරෙමින් පවතී. එමනිසා කුඩා දරුවන් මදුරු දෂ්ඨනයෙන්, විශේෂයෙන් දිවා කාලයේදී වලක්වා ගැනීම ඉතාමත් වැදගත් වූ කාරණයකි. එලෙසම අප අවට පරිසරය පිරිසිදුව පවත්වා ගැනීමද ඒ හා සමානවම වැදගත් වූ කාරණයකි.


කුඩා දරුවකු උණ තත්ත්වයෙන් පෙළෙන්නට වූයේ නම්, දෙවන දිනයේදීම Blood Count රුධිර පරීක්ෂනයක් කර එම රපෝර්තුව පිළිගත් වෛද්‍යවරයකුට හෝ වෛද්‍යවරියකට පෙන්විය යුතුය. ඩෙංගු රෝගී තත්ත්වයක් පෙන්වන්නේ නම් වහාම කල යුතු එකම දෙය දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහල (නෝනා වාට්ටුව) වෙත ගෙන ඒමයි. එහිදී කළ යුතු ප්‍රතිකාර නොනවත්වා නිවැරදිව කරනු ඇත. බොහෝ විට පෞද්ගිලික රෝහල් වල මේ රෝගී තත්ත්වය යටතේ ප්‍රථිකාර ලැබූ දරුවෝ රෝගය උත්සන්න වූ පසු එම රෝහල් මගින් අප රෝහලට මාරු කර එවනු ලබයි. බොහෝ විට ඒ වනවිට රෝගය නිවාරණයට තිබූ අවස්ථාව මග හැරී තිබෙන අවස්ථා සුලභවීම කණගාටුවට කාරණයකි. එවිට ජීවිතය බේරා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වීමටද ඉඩ ඇත. "ඔබේ දරුවා ඩෙංගු වැනි අසාධ්‍ය රෝගයකින් පෙලේ නම් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වහාම ගෙන එන්න"

අනෙකුත් සියළු රජයේ රෝහල් වල සේම පහසුකම් සහ සම්පත් අප වෙතද ඇත්තේ සීමිතවය. අප වෙත සුවපහසුව නැත. එහෙත් සුවය ගෙන ඒමට අපි ඇප කැප වන්නේමු. සුවපහසු ඇඳන් ඔබට නොලැබේ. (සමහර විට දරුවන් දෙතුන් දෙනාට එකම ඇඳ බෙදා ගන්නට සිදු වෙයි). අනෙකුත් සුඛෝපබෝගී දෙවල්ද අප වෙත නැත. (අම්මාට දෙන්නට ඇඳන් නැත. අනෙකුත් ස්ථානවල ඇති පරිදි ඈඳන ලද වැසිකිලි නැත. වායු සමීකරණ නැත. සැටලයිට් ටීවී නැත.) අපටත් හෙද සොයුරියන්ටත් ඔබ හා දොඩමළුවන්නට, සිනාසෙන්නට මිතුරු ලෙසින් අමතන්නට තරම් ඉස්පාසුවක් නැති වන්නට පුළුවන. ඒ අප සැම ඉමහත් ලෙස භාරදූරී වූ වැඩ රාජකාරී සම්භාරයක ගැලී සිටින බැවිනි. එහෙත් අපේ රාජකාරිය අපි අකුරටම ඉටු කරමු. ඔබේ දරුවා වෙත අපේ අවධානය ඉතාමත් උසස් අන්දමින් ලබාදීමට හැම විටම අපි සැදී පැහැදී සිටිමු. දරුවන්ගේ තත්ත්වයේ යම් නරක වෙනස් වීමක් ඇතිවුව හොත් එය වහා හඳුනා ගැනීමට අප කාර්යය මණ්ඩලයට හැකිය. මේ දරුවාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි !. මෙම රෝගය හෝ වෙනයම් මේ ආකාර වූ රෝගයක් මුල් අවස්ථාවේ හඳුනාගෙන අප රෝහලට වහාම ගෙන ආ දරුවකු අපට බේරා ගැනීමට නොහැකි වූ අවස්ථාවක් සොයා ගත නොහැකි තරම්ය.
මම මේ ඔබට පවසන්නේ මම එදිනෙදා ජීවිතයේදී දකින දෙයයි. මගේ සේවා ස්ථානය නංවන්නට කරන උත්සහයක් නොවේ මෙය. ඔවුන්ගෙන් ලද දිරිගැන්වීමක් මත ලියන දෙයක්ද නොවේ මෙය. හුදෙක් කුඩා දරුවකුගේ ජීවිතයක් බේරා ගැනීමේ අවස්ථාවක් මග හැරීම වළක්වා ගැනීම පිණිස මා විසින් ලියන දෙයකි. මෙම පණිවුඩය ඔබට පුළුවන් ආකාරයෙන් සමාජය පුරා පතුරවන්න. එය තවත් එක් ජීවිතයක් හෝ බේරා ගැනීමට පිටිවහලක් වනු ඇත. සමීපතමයකුගේ වියෝව මොන ආකාරදැයි දන්නේ එය විඳි අයෙකුම පමණි.


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය වරයෙකුගේ සටහනකි

(
අද දින මා මිතුරියක එවූ විද්‍යුත් ලිපියක මා විසින් කරන්නට යෙදුනු පරිවර්තනයයි ඉහතින් දැක්වෙන්නේ. ඒ ලිපිය පහත දක්වමි. මේ ලිපිය ලියන්නට යෙදුනු වෛද්‍යතුමා ගැන මම නොදනිමි. ඒත් ලිපියේ ඇති සත්‍යයතාව නිසා මෙලෙස පළ කරන්නට සිතුවෙමි.)

About Dengue- its important to get these messages across


Dengue is at its worst peak this season. Its imp ortant to protect kids against mosquito bites especially during daytime. Keeping the environment clean is as equally imp ortant. If a child gets fever, a blood count MUST be done by the 2nd day & shown to a Doctor. If dengue is suspected in the blood count, its imp ortant not to waste time, and bring the child quickly to LRH where the child can be monitored continuously. We see children treated in private medical institutions being transferred late to LRH, in a serious condition. By that time the critical phase has passed & its difficult to save the life. If you are suspecting a serious illness like dengue, bring the child to LRH. Like all other Government institutions, facilities and resources are limited. LRH doesn't have the comforts, but it is able to provide what matters most, patient care. You wont get a comfortable bed (sometimes 2-3 children have to share the same bed), or other luxuries (no bed for mother, attached bathrooms, A/C, satellite TV etc which are available elsewhere), and the Doctors and nurses may not have much time to talk, smile and be friendly be cau se they have so much of work to attend to, but the level of care given is optimal, and any change in the condition from bad to worse will be detected early. Its the child's life which matters! It is very rarely that I have seen a child brought to LRH in the early stage of the illness succumb and pass away.

I am just telling you what I see in reality in day-to-day life, with no intention of promoting the place I work, as I do not have any gain from it. If you can pass this msg across to your friends, especially those with kids, it could help save a life. You have to be in 'the situation' to know what a death of a close one feels like . .

'A Doctor from LRH'


Monday, July 26, 2010

63. "පියා මැරෙයි, මව මැරෙයි, පුතා මැරෙයි, දුව මැරෙයි. ඉතිං අසුභ නැද්ද?"

‍මේ කථාව සමහර දෙනෙක් මීට පෙර අහලා ඇති. මේ මං කලකට පෙර කියැවූ පොතක තිබුණු කථාවක්.

ජපානය, චීනය වැනි රටවල් වල ප්‍රචලිත වූ සෙන් බුදු දහම නමින් හඳුන්වන බුද්ධ ධර්මයේම කොටසක් තිබේ. ඒ බුදු දහම පිළිබඳ විස්තර ලියන්නට තරම් කරුනු මා සතුව නැතත් සෙන් කථා අඩංගු වූ කථා පොතක තිබූ මේ කථාව ඔබ හමුවේ තබන්නට සිතුවේ එය අප සැමට සිතන්නට යමක් එක් කරනා බැවිනි.

(මාගේ මතකයට අනුව ඒ කථාව)

දිනක් එක් ගෘහ පතියෙකු සෙන් ස්වාමින් වහන්සේ නමක් හමු වීමට ගියේය. ඒ ගියේ අභිනවයෙන් ඉදිවන තම නිවසේ ඉදිරි පස ප්‍රධාන දොරටුවේ ප්‍රදර්ශනය කර තැබීමට වාක්‍යය කණ්ඩයක් සටහන් කර දෙන මෙන් ඉල්ලා සිටීමටයි. ආගිය තොරතුරු කථාකිරීමෙන් සහ සිය උවමනාව පැවසීමෙන් පසු,

ස්වාමීන් වහන්සේ, "දැන් මහත්තයාගේ ගෙදර කවුද ඉන්නවා කිව්වේ? "

දායකයා, "මමයි පවුලයි පුතයි දුවයි හමුදුරුවනේ"

ස්වාමීන් වහන්සේ, "හොඳයි. එහෙනම් මෙන්න. මේක ගිහින් එල්ල ගන්න"

ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව එය අතට ගෙන කියැවූ දායකයාගේ ඇස් උඩ ගියේය.

"අනේ හාමුදුරුවනේ, මේ මොකද්ද මේ? මෙහෙම අසුභ දේවල් ගෙදරක එල්ලන්න පුළුවන්ද?" දායකයා කලබලව ඇසුවේය.

"ඇයි මහත්තයා එහෙම අහන්නේ? මොකද්ද ඔය වාක්‍යයේ තියෙන අසුභ කම?" ස්වාමීන් වහන්සේ සන්සුන්ව ඇසුවේය.

"පියා මැරෙයි, මව මැරෙයි, පුතා මැරෙයි, දුව මැරෙයි. ඉතිං අසුභ නැද්ද?" දායකයා ලියැවිල්ල ඇඟිලි තුඩින් අල්ලාගෙන ඇසුවේය.

"මහත්තයා. අපි කවුරුත් හැමදාම මේ ලෝකේ රඳන්නේ නැහැ. මැරෙන එක නියතයි. ඒ නියතය නියම පිළිවෙලට නොවුනාම ගැටළු ඇති වෙනවා. දුව මැරෙයි, පුතා මැරෙයි, මව මැරෙයි, පියා මැරෙයි කියලා ලිව්වා නම් තමයි අසුභ. දැන් මා ලියා දුන්නේ වෙන්න තියෙන දෙයක් විය යුතු පිළිවෙලයි. මා නිවැරදියි නේද මහත්තයා?"

යථාර්තය වටහා ගත් ගෘහ පතියා නැවත වරක් ස්වාමීන්වහන්සේට නමස්කාර කොට පිටව ගියේය.

මම අද මේ කථාව කියන්නට හේතු වුනු කාරණාව දැන් සමහර දෙනෙකුට වැටහෙනවා ඇති. ගිය සතියේ කියැවු එක් බ්ලොග් ලිපියක් නිසා මට මේ කථාව නැවත වරක් සිහිවුනත් කොමෙන්ටුවක් දමන්නට ඒ මොහොතේ මා හට කාලය හරස් විය. ඒ ගැන දුක් වෙමි. ඒ ලිපිය අවසන් කොට තිබුනේ මෙසේය.

'අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?'

ඔව්. ඒ අපේ කුමුදු සර්ගේ අවසාන ලිපියේ අවසාන වදන් පෙළයි. මේ පුද්ගලයා මා කවරදාවත් දැකපු කෙනෙක් නොවෙයි. ඒත් කටපුරා සර් කියන්න පුළුවන් කෙනෙක් බව මට විශ්වාසයි. එතුමාගේ හැම ලිපියම වාගේ (තාක්ශණික ලිපි හැර) මම කියවා ඇත්තෙමි. ජීවිතයට පාඩම් කියන්නේ අන්න ඒ වගේ ලිපි වලට බව මම විශ්වාස කරමි. තම තම නැණ පමණින් නමැති එතුමාගේ බ්ලොග් අඩවියට තවම මාස 4 පිරීවත් නැත. එසේ සපිරෙන්නට හරියටම දින 10ක් තිබිය එතුමා සිය අවසන් ලිපි දෙක අප වෙත දුන්නේය. ඒ මාස කිහිපය තුල කඩිමුඩියේ සිය දැනුම (සමහර දිනවල ලිපි 3ක් 4ක් ගානේ) බෙදන්නට වුයේ මේ අවසානය දැනගෙනමදැයි මට සිතේ.

ජීවිතයේ බට්ටා පැනීම

මිනීමල් හා මරණයට ඇති බිය

මේ ලිපි පිළිබඳ හෝ එතුමාගේ වියත් භාවය පිළිබඳව නොලියමි. ඒවා කියැවීම අවැසි අයට ඉතිරි කරමි. නමුත් එතුමාගේ අඩුව පිරවීමට සමත් තවත් බ්ලොග් අඩවියක් නම් මා මතකයට නොයේ.

කුමුදු පින්තු නම් වූ ඇදුරාණෙනි, ඔබේ පැතුම් ඉටු වේවා !!!!!!!!!!


Monday, July 19, 2010

62. ඩෙංගු මාරයා පරද්දමුද ?

ඩෙංගු මාරයා පරද්දමුද ? (දුමී අයියාගේ ලිපිය උපුටා දක්වමි)

Posted by දුමී



ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.

ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.

පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?


අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.


මගේ පෝස්ට් එකට ටිකකට කලින් අංජන මල්ලිත් මේක ගැන ඉතා වටිනා පෝස්ට් එකක් කරලා. මේක වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ කලා කියල තමයි එය දාල තියෙන්නෙ. ඒක ගොඩක්ම හොඳ ආරංචියක්. දාල තියෙන ලින්ක් එකෙන් ඒක කියවලා බලන්න.


Read more: http://dhumee.blogspot.com/#ixzz0u7BWFJnU

Saturday, July 10, 2010

61. මාලය, ආලය හා කාලය

මාලය නුඹ.........

මා ලය මත රැඳී
සිටියා බෝකල්
විසිතුරුව මා හැඩ කරමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
සැඟව ගිය නුඹ
සොයාගත නුහුනුව
ලතැවෙන ගැහැණිය
මම


ආලය නුඹ.........

මා ලය තුල පිරී
සිටියා බෝ කල්
දයාබරව මා සනසමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
හැර ගිය සඳ
පාළුව දරගත නුහුනුව
මියැදෙන ආත්මය
මම


කාලය නුඹ.........

මා පසුකර
පියමං කරනු විගසින්

සැඟව ගිය මාලය සොයා.........
හැර ගිය ආලය සොයා.........
වෙහෙස වී මියැදෙන
මා ලය සුවපත් කරමින්.........
නුඹේ දයාව පතනා
අසරණ ජීවියා
මම



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...