සැඳෑ හිරුගේ රත්වන් ආලෝකය මද අඳුරක ගිලීයමින් තිබූ වනස්පතියෙහි පරිශාඛාවන්ගෙන් සීමා නිර්ණයවූ මණ්ඩපයක් වන් භූමි භාගයට වැද එතුල විහිදවූ ආලෝකය මධ්‍යයේ ඒ අපූර්ව පුරුෂයා නිසොල්මනේ හිඳ සිටියේය. දඩයක්කාරයාගේ විවරකල දෙනෙතට එක්වරම ඒ රූපකාය දර්ශනය වූයේ මණ්ඩපය තුල දසත පැතිරි ආලෝකය ඉන් විහිදෙන්නාක් මෙනි.
අඳුරු කසාවත් හැඳි ඒ අපූර්ව පුරුෂයාගේ පියවුණු නෙත් යුග කෙරෙහි ඇසිපිය නොහෙලා දඩයක්කාරයා බලාසිටියේ ඉහලට ගත් හුස්ම පහළට හෙලීමට පවා අමතක වූ ලෙසිනි. එලෙස අනිමිස ලෝචනයේ යෙදී හුන් ඔහුගේ දෑස කෙමෙන් පියවෙන්නට වූයේ ඔහුටද නොදැනීමය.
කෙමෙන් දෑස් පියවී යන්නා හා සමඟම දඩයක්කාරයාගේ සිතෙහි සියළු ඉම්පෙදෙස් සිසාරා පැතිර යන්නට වූයේ මහත් සුවදායක එමෙන්ම සුපසන්වූ හැඟීම් සමුදායෙකි. සිත සියළු සිතුවිල්ලෙන්, සංවේගජනක හෝ තෘප්තකර වෙනසක් නොමැතිව සියළු සිතුවිල්ලෙන් විනිර්මුක්තවූ අවස්ථාවක් පිළිබඳව මොහොතකට සිත යොමු කල මැනවි.එවන් අවස්ථාවක් පිළිබඳ උපකල්පනය පවා උභතෝකෝටික ගැටළුවක් බව මම දනිනි.ඔබ එවන් අවස්ථාවක් සිතට නඟාගැනීමට තැත් කිරීමම හුදෙක් සිතෙහි යම් සිතුවිල්ලක් හට ගැනීමට හේතුවේ.එසැණෙන් සිත සියළු සිතුවිලිවලින් විනිර්මුක්ත කිරීමේ කොන්දේසිය බිඳ වැටෙනු ඇත.
එසේමය .සියළු බැඳීම් වලින් තොරවූ ඒ උත්තරීතර තත්වයට පත්වීමෙහි පලමු පියවර වූ සිත කිසිදු සිතුවිල්ලකින් තොරව පවත්වාගැන්ම කිසිසේත් පහසු කාර්යයක් නොවේමය.
දඩයක්කාරයා ප්රත්යක්ෂ කලේ එවන් අනුභූතියක මූලික අවස්ථාවකි. එසේ වූයේද බොහෝ දුරට දියුණු කල තවත් සිතක මඟ පෙන්වීම මතය. තම සිත නියාමනය කරමින් ඊට මාර්ගෝපදේශකත්වය සපයන්නාවූ විශිෂ්ඨ වූ මනසක බලපෑම යටතේ දඩයක්කාරයාගේ සිත නිවී පහන්ව ගියේය.
ඔහු සය හෝ සත් හැවිරිදි කුඩා දරුවකුව සිටියදී මෑණියන්ගේ අකල් මරණයෙන් පසු පියාණන්ගෙ මඟ පෙන්වීම යටතේ සිත් කියවීමෙහි මෙන්ම වදනින් තොරව සිතුවිලි මඟින් අදහස් හුවමාරු කර ගැන්මෙහි තාක්ෂණය සහ ක්‍රියා පටිපාටිය උගත්තේය. වෙනත් ඕනෑම ශාස්ත්‍රයක් මෙන්ම එහිද නිපුණත්වය රඳා පවතිනුයේ හුදෙක් සතතාභ්‍යාසය ( නිතර පුරුදු පුහුණු කිරීම - Constant practice ) මතමය. එසේ හෙයින් පියාණන්ගෙ අභාවයෙන් පසු ඒ නිපුණතාව ඒ හැකියාව කෙමෙන් දඩයක්කාරයා කෙරෙන් ගිලිහී ගියේය. යලිදු ඒ පිළිබඳ අංශුමාත්රක වූ සොඳුරු මතකය නාඳුනන අපූර්ව පුරුෂයාගේ මඟ පෙන්වීම ඔස්සේ දඩයක්කාරයාගේ සිතට වන්නේ ඔහු සිත මහත් වූ ප්රමෝදයකින් පුරවා ලමිනි.
අඳුරු පඬුපැහැ වස්ත්රාධාරී ඒ අපූර්ව පුරුෂයා සහ දඩයක්කාරයා අතර වූ අන්තර්ක්‍රියාවන් බොහෝ කොටම සිදුවූයේ සිතුවිලි මාර්ගයෙනි. දෑස් ලිහිල්ව පියාගත්වනම එකිනෙකා ඉදිරියේ බද්ධ පර්යංකයෙන් ( cross legged ) හිඳ සිටිනා ඔවුහු වදනින් අන්තර් ග්‍රහණය කොට ගැනීමට වඩා වේගයෙන් එමෙන්ම පැහැදිලිව තම අදහස් සිතුවිලි මාර්ගයෙන් බෙදා ගත්තෝය.
අවම වශයෙන් දෙදිනකට වරක් හෝ මේ ප්රමෝදජනම එමෙන්ම සිත් සනහාලන සුළු චිත්ත සංවාදයනට සහභාගී වීම උදෙසා වාළිඹේගල ගිරි හිස තරණය කිරීමට දඩයක්කාරයා අමතක නොකලේය. ජීවිතය පිළිබඳ ඔහුගේ සිත තුල වද දුන් ගැටළු බොහොමයකට තෘප්තිමත් විය හැකි අයුරු පිළිතුරු මේ සංවාදයන්හිදී දඩයක්කාරයාහට ලැබිණ.එසේ වූ හෙයින් අන් කවරදාකටත් වඩා ඔහු ජීවිතය පිළිබඳ උපේක්ෂාසහගත වූයේය.
දඩයක්කාරයා තුල ඇතිවූ මෙම වෙනස පිළිබඳව යම් අවබෝධයක් සුද්දියට ඇතිවිනිද යන්න අපැහැදිලිය. එසේවූවද ඈ ඒ පිළිබඳව නාමමාත්රික වූ ඇඟවීමක් පවා කිසිසේත්ම නොකළාය.
බොහෝ කලකට ප්‍රථම ජීවිතයේ අරුණෝදයෙහිදී මනා කොට ප්‍රගුණ කල නමුදු ඉනික්බිති ඔහු කෙරෙන් ගිලිහුනු අන්‍ය සිත් කියැවීමෙහි පරිචය ඒ භාවනානුයෝගී යතිවරයාණන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් සහ සහායෙන් සති කිහිපයක් තුල දඩයක්කාරයා යලි උගත්තේය.
එහෙත් පළමුව යතිවරයාණෝ සිත් කියැවීමෙහි පරිචය යලි ලබාගැනිමෙහිලා දඩයක්කාරයාහට සහාය දැක්වීමට එපමණ උනන්දුවක් නොපෙන්වූවෝය.
" දරුව...ජීවිතයේ අපට අවශ්‍ය බොහෝ දේ මෙන්ම අනවශ්‍ය බොහෝ දේ ද ඇත.හැකියාවන් පිළිබඳවද ඒ ධර්මතාවය එළෙසම සත්‍යය වේ.ප්‍රමුඛතාවය නොදිය යුතු එමෙන්ම අර්ථයකට වඩා අනර්ථයක් වන ආකාරයේ පරිචයන් ප්‍රගුණ කිරීම බොහෝ විට අනතුරු දායක විය හැකිය. අනුනගේ සිත් කියැවීමෙහි හැකියාව බොහෝ විට ද්විත්ව මුවහතින් යුතු තියුනු සැතක් දැරීම හා සම විය හැකිය.ඉන් සැත දරා සිටිනා ඔබගේ හස්තයම අනතුරට පත්වීමෙහි හැකියාව පිළිබඳවද බොහෝ සේ ප්‍රවේශම් විය යුතුය. "
මේ ඊට හේතු විමසූ කල දඩයක්කාරයා ලද පිළිතුරයි.එහෙත් කුඩා අවදියේ ඔහු සතුව තිබූ ඒ අපූර්ව හැකියාව යලි ලබා ගැන්මට දඩයක්කාරයා මහත්සේ ඇළුම් කලේය.
ඒ හැකියාව ඔහු ක්‍රමයෙන් ප්‍රගුණ කලේ ප්‍රථමයෙන් තිරිසන් සිත් කියවීමෙනි. එහෙත් කිසි දිනෙක ඔහු දඩයමක් කිරීමට ප්‍රථම උපහටයා ( Victim ) ගේ සිත කියැවනු වස් තැත් නොකලේය.
මිනිස් සිතකට පිවිසීමෙහි හැකියාව තමනට ඇතැයි උදක්ම හැඟුනු ඉක්බිති ඔහු එක් අහස වැහි වළාවන්ගෙන් මුළුමනින්ම වැසී අඳුර දසත රජ කරමින් තිබුණු දිනයෙක පිල් කඩෙහි දිගඇදුනේ ගෙතුල දරුවන් දෙදෙන පරක් කරමින් හුන් සුද්දීගේ සිතට ප්‍රවේශ වනුවස් තැත් කළේය.
මතු සම්බන්ධයි........






