Tuesday, April 17, 2012

116. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....11




ඉතිං ඔන්න ඒ කතාව මහ දඩයක්කාරය දන්න විදිහට පුතාට කිව්ව....ඒත් ඇත්ත ඇති හැටියට කියනව නම් මහ දඩයක්කාරය දැන ගෙන හිටියෙ මේ අපූර්ව කතන්දරේ බොහොම පොඩි කොටසක් විතරයි...ඒ දන්න පොඩ්ඩ ගැන උනත් එයාට කිසිම තේරුමක් තිබුනෙ නෑ.

හරි මම පොඩි උදාහරණෙකින් ඒක පැහැදිලි කරන්නම් මෙහෙම...හිතන්න ඉතාම බලවත් ඒ වගේම බොහොම තෙදවත් සිටු පවුලක් ගැන. ඔන්න කාලයක් ගිහාම මෙයාල ධනයෙන් බලයෙන් පිරිහිලා ගිහිල්ල බොහොම අමාරු තත්වෙකට වැටෙනව.ඔන්න දැන් මේ පරපුරේ අය බොහොම අමාරුවෙන් දිවිගැට ගහ ගන්නෙ දර කපල කියමු. පරම්පරාවෙන් ආපු බොහොම බලසම්පන්න කඩුවක් තියනව ඒක තනි රත්තරන්. ඒත් දැන් ඒකෙන් මෙයාල කරන්නෙ දර කපන එක. කවුරුවත් දන්නෙ නෑ ඒකෙ වටිනාකම. මේ වගෙ එදා වේල හම්බ කරගෙන ජීවත්වෙන දර කපන්නෙක් ලඟ රත්තරන් කඩුවක් තියෙනවයි කියල කිසිම කෙනෙක් හිතන්නෙ නෑ. අඩු ගානෙ අර දර කපන්නවත් එහෙම දන්නෙ නෑ. පුරුද්දට රත්තරන් කඩුවෙනුත් කරන්නෙ දර කපන එක.

ඒ නිසා මහ දඩයක්කාරය පුතාට කිව්ව කතාව පැත්තක තියමු. ඇත්තටම වෙච්ච විදිහට මම කතාව මුල ඉඳලම කියන්නම්.

විශ්වය ඇරඹිණි. ඒ ඇරඹුනේ කෙසේදැයි ඔබ ද මම ද අප කිසිවකුද නොදනිමු. ඒ පිළිබඳව සිත වෙහෙසීම පසෙක තබා මගේ කථාව පැවසීමට ඉඩ දෙනු මැනවි.

විශ්වය ඇරඹී ගෙවීගොස් තිබුණේ ඉතා ස්වල්ප කාලයකි.ඒ වසර බිලියනයකට වඩා මඳක් අධික කාලයකි. ඉතා ස්වල්ප කාලයක්යයි මම පැවසූයේ සාපේක්ෂවය. විශ්වයේ වයස අද වන විට වසර බිලියන දහහතරකට ආසන්න වන බැවින් සාපේක්ෂව ඒ වනාහී ඉතා සුළු කාලයකි.

ප්රාථමික විශ්වය එදවස පැවතියේ ඔබට මට නොව අපගේ බුද්ධි මට්ටමට වඩා සහස්ර ගුණයකින් අධිකතරවූ බුද්ධි මට්ටමකින් යුතු ජීවීන් විශේෂයකට පවා වටහාගත නොහැකි තරමේ ව්යාකූල භාවයකි.

ක්රමයෙන් කාලය ගතවිය. ව්යාකූලතාවය ක්රමයෙන් පහවී යමින් තිබිණි. යම් යම් වස්තූන්ගේ හඳුනාගත හැකි පමණ වූ ස්වරූපයක් විද්යාමාන වෙමින් පැවතිණි.

පලමුව මන්දාකිණීන් ද,, දෙවනුව චක්රවාටයන් ද, අනතුරුව තාරකා පොකුරු ද, ඊටත් අනතුරුව තාරකාවෝ ද, විශ්වීය මූල ද්රව්ය‍ සපිරි නිහාරිකාවන්ගෙන් පාදුර්භූත වූහ.තාරකා වටා පරිභ්රමණය වන ග්රහලෝක නිර්මාණය වූයේ ඊට ද අනතුරුව අවසානයේදීය.

ග්රහලෝකයන් කෙමෙන් සිසිල් වූ කල්හි ඒ මත ද්රව ජලය ඇති වීමට තවත් කාලාන්තරයක් ගතවිය. ජීවය බිහිවනු වස් ද්රව ජලය අත්යා වශ්ය නොවූව ද ජීවය බිහිවීමේ කාර්යාවලිය කඩිනම් කරවීමෙහි ලා ඒ බොහෝ සේ ඉවහල් විය.

සීමා මායිම්, ඉම් ගම් මායිම් සිතාගැනීමට පවා අසීරු වූ මේ සුවිසල් විශ්වයේ නමෝ විත්තියෙන්ම විඥාණය පහළ වූයේ පියවි ඇසින් නොව තාක්ෂණය මේ සා දියුණු වූ වර්තමානයේ පවා කිසිදු උපකරණයකට දැකගත නොහැකි තරම් දුර බැහැර ප්රදේශයකය.

තාරකා විද්යානුකූල දුර මැනුම් ඒකක වලින් නම් ඒ ආලෝක වර්ෂ බිලියන විස්සකට ආසන්න දුර ප්රමාණයකි.

එතෙකුදු ලාබාල වූ විශ්වයේ තිඹිරි ගෙයිහි මුල්වරට ළදරු හැඬුම් හඬක් නින්නාද විය.ජීවය පහල වීම දුර්ලභය. අනුකම්පා විරහිත අතුරු අන්තරා බහුල වූ කල්හි එසේ පහල වූ ජීවය නොනැසී පැවතීම ඊටත් වඩා දුර්ලභය. එසේ පහළ වූ ජීවය විඥානය හටගැනීම තෙක් නොනැසී පැවතීම නම් ආශ්චර්යයක්ම විය.

විශ්ව තොටිල්ලෙහි කුළුඳුලේ උපත ලද්දාවූ ඔවුහු අපි පූර්වජයෝ ( Pioneers ) නමින් හඳුන්වමු.ක්රමයෙන් යොවුන් වියට සපැමිණි ඔවුහු විය යුතු ලෙසම තොටිල්ලෙන් නික්ම පරතෙරක් නොදැකිය හැකි වූ විශ්වයට පිවිසුණාහ. තොටිල්ලෙන් නික්මීමට පෙර සෑම දරුවෙක්ම තම අභිමතාර්ථ , ආකල්ප සහ සිතුම් පැතුම් පිළිබඳව අනුකම්පා විරහිත කඩඉම් පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුමය.

තොටිල්ලෙන් නික්මීමට පෙර දෙවරක්ම පූර්වජයෝද මේ පරීක්ෂනයෙන් අසමත් වූවාහු නිර්වාපිත වීමේ ප්රපාතයට ( Precipice of Extinction )ඇද වැටීමේ මුව විටටම පැමිණියාහුය. එහෙත් ඔවුනගේ ජාන කිටුවෙහි කලහකාරී ආවේගශීලී ජාන මැඩ පවත්වා විචාර බුද්ධියට සහ ඥාණයට මුල් තැනක් දුන් ජාන අවසන ජයග්රහණය කෙලෙන් ඔවුහු නිර්වාපිත ප්රපාතයට නොවැටී අවසන් මොහොතේ ආපසු හැරීමට සමත් වූහ. එහෙත් ඒ ඉතාම පටු නොගිණිය හැකි තරම්වූ දෝෂ තීරයකිනි ( Margin of Error )

මුළු මහත් විශ්වයේ බිහිවුනු සියළුම ජීවීන් කොට්ඨාශයක්ම තම පරිණාමයේ කෙදිනක හෝ මේ අනිවාර්ය පරීක්ෂණයට මුහුණ දී සමත් විය යුත්තේමය. සමාවන්න, එම ප්රකාශය මෙසේ සංශෝධනය විය යුතුය. තම තොටිල්ලෙන් නික්ම විශ්වයේ බිහිදොරින් ඇතුළුව තෙරක් නොපෙනෙන අනන්තය දක්වා සිත විශ්මයෙන් මුසපත් කරවන දසුන් නරඹමින් ඒ පිළිබඳව අධ්යයනය කරමින් සැරි සැරීමට රුචි වන්නා වූ සෑම ජීවීන් කොට්ඨාශයක් ම මේ පරීක්ෂණයට මුහුණ දී සමත් විය යුතුමය.

අවසන එම පරීක්ෂණයෙන් සමත් වූ පූර්වජයෝ මෙතෙක් තමනට සෙවණ දුන් තොටිල්ලෙන් නික්මී අසීමාන්තික විශ්වයේ සරන්නට වූහ. වසර මිලියන ගණනක් මෙසේ ගත වෙද්දී පලමුව තම සෞර ග්රහ මණ්ඩලය ද දෙවනුව තම චක්රවාටය ද ජයගත් ඔවුහු අවසන තමනට නිවෙස් වූ චක්රවාටයෙන් ද නික්මී මොහොතින් මොහොත, දිනෙන් දින තම ඥාණයෙහි නිම් වලළු පුළුල් කොට ගනිමින් නිදැල්ලේ දසත සරන්නට වූහ.

මේ අතර ඔවුනගේ තාක්ෂණය කාලය ගතවීමට සමානුපාතිකව දියුණු වූයේ අදහාගත නොහැකි ආකාරයකිනි. ඉන්ධන දහනිත අභ්යාවකාශ යානා න්යාෂ්ඨික බලය වෙත වෙනස් වන්නට සියවස් කිහිපයක් ගත වූ නමුදු ඉන්පසු ඒ ක්වොන්ටම් ධාවකය වෙත පරිණාමය වූයේ සියවසකට ද මදක් අඩු කාලයකදීය.

ක්වොන්ටම් ධාවකයේ පරතෙරට පැමිණි ඔවුහු එහි උපකාරයෙන් ආලෝකයේ වේගයට ඉතාම ආසන්න වේගයකින් චක්රවාටයෙන් චක්රවාටයට සැරි සැරූහ. මන්දාකිණි වනාහී ඔවුනගේ ක්රීඩා පිටි වූහ. අපගේ සූර්යයා මෙන් දස දහස් වාරයක් පරිමාවෙන් යුතු සූර්යයෝ ඔවුනගේ ක්‍රීඩා උපකරණ වූහ.

කාලය සහ අවකාශය පිළිබඳ රහස ද මේ අතර තුර ඔවුහු අවබෝධ කරගත් නමුදු ඒ පිළිබඳව සිත්සේ කටයුතු කිරීම සිතාගත නොහැකි පමන විනාශයකට හේතු විය හැකි බව හොඳින් අවබෝධ කොටගෙන උන් හෙයින් ඒ තාක්ෂණය භාවිතා කලේ ඉතාමත්ම සීමිතව මෙන්ම දැඩි ප්රවේශමෙනි.

භෞතිකමය වශයෙන් මෙසේ පරිණාමය වන අතර සිත දියුණු කිරීමෙහිලා නිරතුරු යෙදුනු ඔවුනගේ එක් කණ්ඩායමක් භෞතික සිරුරු එක් තැනක තිබියදී සිත බොහෝ දුර යැවීමෙහිලා සමත් වූවෝය.මෙසේ භෞතික මෙන්ම පාර භෞතික යන ද්විත්වාකාරයෙන්ම දියුණුවේ පරතෙරට සපැමිණි පූර්වජයෝ දෙවි වරු යන නාමයෙන් හැඳින්වීමෙහිලා ඉතාම සුදුස්සෝ වූහ.

කොපමණ දියුණු තත්වයකට පත් වුවද කාලයේ මිහිදුම් සළුවෙන් වැසී ගිය ඒ ඈත අතීතයෙහි දිනෙක එක් කිසිදු වැදගත් කමක් නොමැති වූ කුඩා ග්රහලොවක ලවණ මිශ්රිත ජලයෙන් සැදි සාගරයක සිදු වූ ස්වකීය සම්භවය ඔවුහු අමතක නොකලෝය. මන්දාකිණි චක්රවාට සිසාරා සැරිසරනා අතර ජීවයේ ගිණි පුළිඟු මතුවී නිවී යන අයුරු දුටු කෙනෙහි ඊට රැකෙන්නට අවශ්ය ප්රාණ වායුව පිඹීමට ඔවුහු කිසි විටෙකත් මැලි නොවුනා සේම ඒ පූර්වජයයින් ලෙස තම කරමත පැවරුනු මඟ හැරිය නොහැකි වගකීමක් ලෙස ද සැලකූහ.

මේ අතර විශ්වයේ එක් නොවැදගත් චක්රවාටයක කෙලවරෙක, නොවැදගත් මධ්යම ප්රමාණයේ සූර්යයකු වටා භ්රමණය වන නීල වර්ණයෙන් බබලන ග්රහ ලොවක් විය.






විශ්වය පුරා පැතිරි ඊට සාකල්යයෙන්ම සර්වසම වූ තවත් ග්රහ ලෝකයෝ අනන්ත සංඛ්යාවෙක් වූහ. එහෙත් මේ නිල්වන් ග්රහලොවෙහි එක් විශේෂත්වයක් විය.එනම් බුද්ධියෙහි මූලාරම්භය වූ විඥාණයෙහි මූලික ප්රාථමික අවස්ථාව සුලඟින් විසිරි අළු අතරින් මතුව දිලෙනා ගිණි පුපුරු මෙන් මෙහි වරින් වර මතුව නැවත නිවී යාමයි.


මතු සම්බන්ධයි........

31 comments:

  1. තේරුනේ නැති නිසා වැදගත් දෙයක් වේන ඇති...

    ReplyDelete
  2. විශ්වයේ ආරම්භය සහ ගුප්ත දඩයක්කාරයා අතර ඇති සම්බන්දය නොතේරේ...

    ReplyDelete
    Replies
    1. හෆොයි දෙයියනේ,

      ඉ...ව....සී...ම.

      ඔන්න ඔහොම අකුරු හතරක වචනයක් තියනව කියල උඹ අහලම නැතෙයි? මේ දෙකේ සම්බන්දෙ තේරෙන්නෙ කොහොමෙයි මම ඒ ටික තාම කිව්වෙ නැති කොට?.....ඉන්නකො හොඳද ඉක්කනට අහවර කොරඤ්ඤංකෝ... :) :)

      Delete
  3. හොඳ වෙලාවට ආපහු මහ පොළොවටම ඇවිදිල්ලා කතාව මතු සම්බන්ධ කළේ. නැත්තං එහෙම ඊලඟ කොටස එනකල් අපිටත් වෙන්නෙ මන්දාකිණියෙන් චක්‍රවාටෙට, එතනිං තරු පොකුරු වලට, ඊට පස්සෙ නිහාරිකාව අස්සෙං ගිහිං තරුවක් වටේ කැරකෙන ග්‍රහ ලෝකයක් වගේ ඔය ආකාසෙ කැරකි කැරකි ඉන්ඩ තමයි!

    (කොමෙන්ටුව මඤ්ඤං වගේද? ගණං ගන්න එපා, කතන්දරේ කියෙව්වහම මගෙ මොළේට මොකක් හරි වෙන්ඩැති. නැත්තං හැම තිස්සෙම මං මේ වගේ බුද්ධිමත් කොමෙන්ටු දාන්නෙ නෑ නෙව. :D :D :D)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක කියවද්දි මගෙ හිතේ මැවුනෙ මෙන්න මෙහෙම රූපයක්.......හෙහ්, හෙහ්,

      දිදුලනා වූ සක්වල සිසාරා,
      මිහිදුමක් සේ පැතිර පවත්නා,
      රිදීපැහැ මන්දාකිණියක්,
      සුදු සේලයක් කොට පළඳා,
      නීල පීත වර්ණයෙන් බැබලෙනා,
      තාරකා රැඳි කිරුළු පළඳා,
      නිල් වන් වූ ඒ ලොව,
      ගෙල පලඳා,
      ඈ බලා හිඳින්නී.........

      Delete
    2. අයියගෙ කවිය කියවලා මෙන්න මගේ හිතට ආපු ප්‍රශ්න ටික:

      කවුද මේ 'ඈ'?
      ඇයි එයා 'නිල් වන් වූ ඒ ලොව' ගෙල පලඳාගෙන ඉන්නේ?
      ඇයි එයා බලා හිඳින්නේ? කවුරු එනකල්ද?
      මං ලියාපු අපබ්‍රංසෙ කියවලා කොහොමද මේ වගේ ලස්සන රූපයක් හිතේ මැවුනේ?

      Delete
    3. නිල්වන් වූ ඒ ලොව ගෙල පලඳා,
      නෙතු දල්වා ඈ බලා ඉඳිනුයේ,
      එනතුරු ඔහු ඈ වෙතට නොවේදෝ?
      ලමැද පැලඳි ඒ ලොව පවසනුයේ,
      ඉම් කොන් නැති ලොව තරම් විසල් වූ ,
      ඇගේ නොමියෙනා සෙනෙසෙ නොවේදෝ?

      Delete
    4. රවි අයියෙ, බැරිද ඔය දඩයක්කාරයව ඔය අභ්‍යවකාශෙ රික්තකේටම අතෑරලා දාන්ඩ? අර 2001 ෆ්‍රෑන්ක් පූල්ට වෙන්නෙ. එතකොට ඉක්මනට අර ට්‍රේලර් එක දාපු කතාන්දරේ පටන්ගන්ඩ පුළුවන්නෙ. ආයෙ ඉතිං ඕනෙම උනොත් දඩයක්කාරයට පස්සෙ වෙලාවක පණ දෙන්නත් බැරියෑ, පූල් උන්නැහෙටත් ආයෙ අන්තිම පොතෙන්ද කොහෙද පණ ආවා වගේ. :D :D :D හොඳයි නේද මගෙ අදහස?

      Delete
    5. / එතකොට ඉක්මනට අර ට්‍රේලර් එක දාපු කතාන්දරේ පටන්ගන්ඩ පුළුවන්නෙ. ආයෙ ඉතිං ඕනෙම උනොත් දඩයක්කාරයට පස්සෙ වෙලාවක පණ දෙන්නත් බැරියෑ,  /

      ඒක හරියන්නෙ නෑ බොල :( :( මට ඔය කතා දෙක පැටලිල මහ ජංජාලයක් වෙලයි කෙරෝල වෙන්නෙ...ඒක මං දන්නව සහ සුද්දෙම්ම....හෙහ්, හෙහ්,

      ******************

      මුරුත්තෙට්ටු කුඹුර මැදින් ගලා බහින දොළ පාර අයිනෙ කුඹුක යටට මම ආවෙ හෙන්දිරික්ක මලුත් එක දෙක පිපෙන්ට ලෑස්තිවෙන වෙලාව අල්ලල හිට.

      ඉර බැහැගෙන යනකොට දොරගමු කන්ද මුදුන රත්තරන් පාටට දිලිසෙනව....ඒ රත්තරන් පාට හෙමිහිට හෙමිහිට අඩු වෙලා ගිහිල්ල කළුව පාත් වෙන්ට පටන්ගන්නෙ දොරගමු කන්දට එහා තියෙන හුන්නස්ගිරිය පැත්තෙං....හුන්නස්ගිරිය කළුම කළු උනාමයි දොරගමු කන්දෙ මෙහා බෑවුම කළුවෙං වැහෙන්ට පටන් ගන්නෙ....ඒ එක්කම කන්ද උඩ තැං තැං වල මිනිස්සු පදිංචි වෙලා ඉන්න තැංවල පොඩිවට එළි එක දෙක මතුවෙන්ට ගන්නව.

      මම පොඩි කාලෙ ඔය කන්දෙ කවුරුවත් පදිංචි වෙලා හිටියෙ නෑ...දැං ඔන්නම් අවුරුදු තුන හතරක් ඇති මිනිස්සු ගෙවල් හදාන පදිංචි වෙලා.

      මේ චූට්ටි මැණිකෙ තවම නැහැ නෙව...වෙනදනම් මේ වෙලාවට ඇවිදිල්ල....අපුච්චි පිල්ලෑවෙ ගෙදර හීංබාප්පොච්චිට පණිවිඩෙයක් කියන්ටත් කිව්ව......

      ගෙපැල ආසන්නයෙන්ම ගලා බස්නා දොල පහරේ පහස ලබමින් ඒ අසබඩ අහසට නැඟී අතු පතර විදා හාත්පස සෙවන කල කුඹුක් වනස්පතියෙන් ආවරණය වූ ගල්තලාව මත දඩයක්කාරයා තම සුපුරුදු ඉරියව්වෙන් හිඳ සිටියේය. ඔහු අසල අත පොවන මානයේ වූයේ උණ්ඩ යොදා ගිණි බිඳීමට සූදානම් කල කාණු දෙකේ තුවක්කුවයි.

      අඩවන් දෑසින් යුතුව ඔහු දකිනා අයෙකුට එක් වරම ඇතිවනුයේ මොහු අඩ නිද්‍රාවෙක ගැලී සිටිතැයි යන අදහසෙකි. එහෙත් ඒ වනාහී සත්‍යයට බෙහෙවින්ම දුරස් වූවකි. දෙනෙත් අඩවන් ව තිබියද දඩයක්කාරයාගේ සයවන ඉන්ද්‍රියය එනම් සිත අවදිව අවට පරිසරය සිසාරා විහිද ගියේ නිරායාසයෙනි. ඔහු මෙහි උදක් පොරොත්තු වූයේ ඔහු බොහෝසේ අප්‍රිය කල එහෙත් තමන්ගේ මෙන්ම තම සුතනඹුවන්ගේ ද දිවි පැවැත්ම උදෙසා කල යුතුයැයි බලකෙරුනු කාර්යයක් උදෙසාය.

      '' ජයේ.... හුඟක් වෙලාද ඇවිල්ල....අපෙ නුවර නැන්දම්මල ආවනෙ...පරක්කු උනේ ඒකයි ''

      චුට්ටි මැණිකේ හඬින් අඩවන් ව තිබූ දෙනෙත් එක් වරම විවෘත කල දඩයක්කාරයාගේ සුරතට අසුරු සැණින් තුවක්කුව පැමිණියේය.

      ******************

      මල කෙලියයි ජූලි හතයි....මගේ පුතා ඔක්කොම කයි කිව්වලු....කොහොමද සිත්තමි නඟේ ඔහොම පටලැවිල්ලක් උනොත් කාරිය.....තව පොඩ්ඩෙං දඩයක්කාරය චුට්ටි මැණිකෙට වෙඩි තියනව...අර උන්දැගෙ සයවන ඉන්ද්‍රිය අගේට වැඩ කොරන හින්දම හොඳයි.....හෙහ්, හෙහ්, හෙහ්......

      Delete
    6. / පූල් උන්නැහෙටත් ආයෙ අන්තිම පොතෙන්ද කොහෙද පණ ආවා වගේ. /

      මිස්ට පුහුල්ට පණ ආවෙ නෑ නේද බොලේ?....මට එහෙම සීන් කෝන් එකක් මතක නම් නැතේ....3001 අන්තිමට ප්‍රෑන්ක් බෝමන් සහ HAL 9000 පරිගණකය එකක් වෙලා HALMAN කියල ප්‍රපංචයක් නිර්මාණය වෙනව කියල නම් මතකයි......

      Delete
    7. හපොයි සිත්තමියෙ, සමාදිය බජනය කොරන සේක්වා!!,

      උඹ කිව්වෙ සම්පූරන ඇත්ත නෙවෙන්නම්,3001 කතාවෙ පුහුල් ගොයියට පණ එනව විතරක් නෙවෙයි, කසාදයක් කාරියත් කරගන්නව නෙව..හෙහ්, හෙහ්,

      ඔන්න බලාපං මගෙ සිහියෙ තරම...ආයෙම පොත් සැට්ටෙක කියවන්ටෝන කොනක ඉඳල... :) :)

      Delete
  4. ටිකක් විතර තේරුණා වගේ දැනුනා.........

    ReplyDelete
    Replies
    1. හරි, හරි, දරුවා, බය වෙන්න එපා, ඉන්නකො ටිකක්...

      ඔබට සක්සුදක් සේ සියල්ල පැහැදිලි වන බවට මාදිවි පරදු තබමි... හෙහ්, හෙහ්,

      Delete
  5. ඔක්කොම කියෙව්වා. අන්තිම කොටසට අදහසක් කියන්නම් හොඳේ

    ReplyDelete
    Replies
    1. හරි වර්ණා, ස්තූතියි.....

      Delete
  6. මැද්දෙන් පැනල කතාවක් කියෙව්වම කොහොමත් මඤ්ඥන් වෙන එකේ මැද්දෙන් පැනලා මේ වගේ කතාවක් කියෙව්වම මඤ්ඥන් ඩබල් වෙනවා.. මුල ඉඳලා කියවන්ඩ වෙයි වගේ..

    විශ්වය පටන් ගන්ඩ කලින් මොකක් තියෙන්ඩ ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. / විශ්වය පටන් ගන්ඩ කලින් මොකක් තියෙන්ඩ ඇත්ද ? /

      ඒක තවම උත්තර නැති ප්‍රශ්නයක්...සෙනා, සමහරවිට මිනිස් වර්ගයා කවදක හරි විනාශවෙලා යනකලුත් උත්තර හොයාගන්ට ලැබෙන එකක් නැතිවෙයි බොහෝවිට.බුදු හාමුදුරුවො '' ලෝක විෂය අචින්ත්‍යය '' කියල කිව්වෙ ඔය හින්දමයි මට හිතෙන්නෙ....:) :)

      විශ්වය ආරම්භයට කලින් තිබුනෙ මොකක්ද කියල තීරණය කරන්ඩ නම් විශ්වය ඈරම්භ උනේ කොහොමද කියල ඊට කලින් එකඟ වෙලා ඉන්ට වෙනව.

      ප්‍රශ්නෙට උත්තර දෙකයිනෙ තියෙන්නෙ....බොහොම පහසුයි...හෙහ්, හෙහ්,

      එක්කො විශ්වය මේ තියන විදිහට හැමදාම තිබුන. නැත්නම් එක නිශ්චිත මොහොතක ඇරඹුනා.....

      1. සදාතන පැවතුම් න්‍යායය - විශ්වයේ ආරම්භයක් වත් අවසානයක් වත් නෑ..හැමදාම මේ විදිහමයි

      2. මහා පිපුරුම් න්‍යායය - වසර බිලියන 13.7 කට කලින් ඇතිවූ මහා පිපුරුමකින් විශ්වය ආරම්භ උනා කියන අදහස.

      ඊලඟට මේ න්‍යායයන් දෙකටම එක වගේ විරුද්ධතා, පරස්පරතා තියෙනව. ඒ නිසා විශ්වය ආරම්භයට පෙර පැවතුනෙ මොනවද කියන එක උභතෝකෝටික ප්‍රශ්නයක්. අනික මේ ගැන වැඩිදුර කරුණු හොයන්න හොයන්න ප්‍රශ්නෙ තවත් පැටලෙනව කියලයි මට හිතෙන්නෙ...:( :(

      පහත සබැඳි වලින් ඔබට මේ ගැන වැඩි දුර කරුණු දැනගත හැකියි....

      What Happened Before The Big Bang?

      What existed before the big bang?

      What came before the big bang?

      Delete
    2. බොහොම ස්තූතියි දීර්ග පැහැදිලි කිරීමට..

      මට හැමදාම ඔය ගැන හිතද්දි ඔලුව අවුල් වෙනවා වගේ වෙනවා.. මම අහලා තියනවා ඔය මංදාකිනි තියනවා වගේ අපි ඉන්න විශ්වයෙන් එහා තව තවත් විශ්වයන් තියනවා කියලා. අප්පා නිකන් හිතද්දිත් මොලේ කොලොප්පන් වෙනවා වගේ..

      මට තියන ප්‍රශ්නෙ මේව ඇරඹුන විදිහ නෙමේ, පැවැත්ම මොකටද කියන එකයි. කාගෙ උවමනාවකටද ?
      මිනිසා ඇතුලු සියලු සත්ත්වයන් ඉපදෙමින් මැරෙමින් මේ නටන නාඩගම මොකක්ද ?

      මැවුම් වාදය පිළිඅරන් නිකන් ඉන්න පුලුවන්.. ඒත් ඒ මවපු තැනැත්තත් ඉන්නෙ මොකටද කියලා ප්‍රශ්නෙකුත් එනවා අන්තිමට..

      ස්තූතියි දුන්නු සබැඳි වලට.. කියවලා බලන්ඩ ඕනා..

      බිග් බෑන් එකනම් විකාරයක් කියලා මට හිතෙන්නෙ. බිග් බෑන් එකත් කොහෙදි හරි තැනකනෙ වෙන්ඩ ඇත්තෙ.. එතකොට ඒක මොකක්ද ?

      අහපු ප්‍රශ්න වළට උත්තර එපා.. ඔබ ගාව උත්තර නැති බව පැහැදිලියිනෙ. අදහසක් පලකලානම් ඇති.

      Delete
    3. / මම අහලා තියනවා ඔය මංදාකිනි තියනවා වගේ අපි ඉන්න විශ්වයෙන් එහා තව තවත් විශ්වයන් තියනවා කියලා. /

      එහෙනං සෙනා, එහෙනං එහෙනං....අලි මදිවට හරක් කිව්වැහෙ, මේ තියන විශ්වයවත් තේරුම් ගන්ට බැරුව උඩු කුරුඤ්ඤං වෙලා ඉන්න අල්ල පනල්ලෙ සමහර බුවාල එහෙම මතේකුත් පොරකාස කොරනව නෙවෙන්නං....අපේ විශ්වයට සමාන්තර විශ්වයන් බර ගනනක් තියෙනවය කියන එක එක මතයක්. ...ඒත් ඊටත් වඩා මොලේ කොලොප්පං වෙන්නෙ අපේ විශ්වය තියෙන්නෙ වෙනත් මීට වඩා මහ විශාල විශ්වයක තියන කළු කුහරයක් ( Black Hole ) ඇතුලෙය කියන මතේ ගැන හිතන්න ගිහාම :( :(

      / මට තියන ප්‍රශ්නෙ මේව ඇරඹුන විදිහ නෙමේ, පැවැත්ම මොකටද කියන එකයි. කාගෙ උවමනාවකටද ? මිනිසා ඇතුලු සියලු සත්ත්වයන් ඉපදෙමින් මැරෙමින් මේ නටන නාඩගම මොකක්ද ? /

      හෙහ්, හෙහ්, අන්න වැදගත් ප්‍රශ්නයක්....මිනිසාගෙ පැවැත්මෙ අරමුණ මොකක්ද?....මොකටද අපි මේ ඔක්කොම අටල්පහුරු කොරන්නෙ?....කාගෙ උවමනාවටද?

      මම හිතන්නෙ බුදු හාමුදුරුවො විතරයි ඒ ගැන පිළියමක් හොයාගත්තෙ...නිර්වාණය..නිවන....නිබ්බහන....බහන් කියන්නෙ බැඳීම්....නිබ්බහන් කියන්නෙ සියළු බැඳීම් වලින් විනිර්මුක්ත වීම....

      / මැවුම් වාදය පිළිඅරන් නිකන් ඉන්න පුලුවන්.. ඒත් ඒ මවපු තැනැත්තත් ඉන්නෙ මොකටද කියලා ප්‍රශ්නෙකුත් එනවා අන්තිමට../

      ඇත්ත, මැවුම් වාදය ගැන තියෙන එක ප්‍රශ්නයක් ඒක....විශ්වය මැව්වෙ දෙවියන් වහන්සේ නම් ඊට කලින් එයා කොහෙද හිටියෙ?...නැත්නම් මොකක්ද කලේ? එතකොට දෙවියො ඇයි විශ්වය මැව්වෙ? මොකක්ද ඒකෙන් එයා බලාපොරොත්තු උනේ?

      / බිග් බෑන් එකනම් විකාරයක් කියලා මට හිතෙන්නෙ. බිග් බෑන් එකත් කොහෙදි හරි තැනකනෙ වෙන්ඩ ඇත්තෙ.. එතකොට ඒක මොකක්ද ? /

      මහා පිපුරුම් න්‍යාය ගැන තියෙන එක ගැටළුවක් ඒක...සියළු පදාර්ථ එක තැනක එකතුවෙලා තිබුනයි කියල හිතමු. එතෙන්ට ඒ පදාර්ථ ආවෙ කොහොමද? එතකොට කාලය සහ අවකාශය යන දෙකම නිර්මාණය උනේ මහා පිපුරුමෙන් පස්සෙ නම් ඊට කලින් ඒ පුපුරපු දේ තිබ්බෙ කොහෙද?

      / අහපු ප්‍රශ්න වළට උත්තර එපා.. ඔබ ගාව උත්තර නැති බව පැහැදිලියිනෙ. අදහසක් පලකලානම් ඇති. /

      ඇත්ත, මා ළඟ තියෙන්නෙත් තවත් ප්‍රශ්න රැසක් නම් විතරයි :( :(

      මගේ අදහස කියන්නද?....විශ්වයේ, කාලයේ අවකාශෙයේ ආරම්භය සහ එය කෙසේ සිදුවූවාද ඒ වගේම මානව වර්ගයාගේ පැවැත්මේ පරමාර්ථය කුමක්ද?...ඔය ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න අපේ දැනුම සහ බුද්ධි මට්ටම තවම කිසිසේත්ම සෑහෙන්නෙ නැහැ.එහෙම උත්තර හියන්න තැත් කරන එකත් නිකං නිශ්ඵල ව්‍යායාමයක්..මොලේ කොලොප්පං වෙන එක විතරයි වෙන්නෙ කොටින්ම කිව්වොත් ... :) :)

      පොඩි උපමාවක් කිව්වොත්....මන්ද බුද්ධික දරුවෙක් විශේෂ සාපේක්ෂතා වාදය වටහා ගැනීමට උත්සාහ කරනව වගෙ වැඩක් මට හිතෙන්නෙ...:( :(

      Delete
    4. // ...ඒත් ඊටත් වඩා මොලේ කොලොප්පං වෙන්නෙ අපේ විශ්වය තියෙන්නෙ වෙනත් මීට වඩා මහ විශාල විශ්වයක තියන කළු කුහරයක් ( Black Hole ) ඇතුලෙය කියන මතේ ගැන හිතන්න ගිහාම :( //


      අපොයි මට නිකන් පිස්සු වගේ... අපෝ ආයෙනම් හිතන්නෑ....

      බුදු හාමුදුරුවොත් දේශණා කලාලු නේද නොසෙවිය යුතු කරුණු වගයක්.. මේක එකක් වෙන්ඩ ඕනා..

      අදහසක් කිව්වට තුති. මටත් හිතෙන්නෙ එහෙම තමා.. දෙන දෙයක් කාලා වෙනදෙයක් බලන් ඉන්න එක තමා හොඳම වැඩේ..

      එහෙනම් ජය !!

      Delete
  7. හත් ඉලව්වෙ මේ යෝදය ලෝකෙ කණපිට ගහන්න නෙව මේ හදන්නෙ.

    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියල මං මෙහෙන් ඇණ තියාගන්නං. ඉතිං ඉතිං ආතෙ ඊට පස්සෙ මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. / ඉතිං ඉතිං ආතෙ ඊට පස්සෙ මොකද උනේ ? /

      '' ඉතිං ඉතිං ආතෙ ඊට පස්සෙ මොකද උනේ කිව්වත් මීය තව වී ඇටයක් අරං යනව"

      Delete
  8. මේන් මේවට තමා කියන්නෙ නාහෙ ඉඳන් අන්දනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, අනේ නෑ සිතුවම්...හිතාමතා එහෙම කලේ නම් නෑ...

      කාලයක් තිස්සෙ ඔය කියවාපු විද්‍යා ප්‍රබන්ධයි, වනගත මිනිසුන්ගෙ දිවි පෙවෙත ගැන කියවෙන කතායි ඔක්කොම කලවම් වෙලා, එව්වට ඔය ඒ දවස් වල බද්ද පර්යංකයෙන් වැඩ ඉඳගෙන ගහපු මලුත් කලවං වෙලා, මේ දවස් වල මේ පට්ට පෑවිල්ලෙ ගහන සෝම පානයත් එකතුවෙලා හැදිච්ච අපබ්බරංසයක් තමයි මේ...

      ආං අර පැංසොං පලච්ච විකො ගොබිල කියාපු විදිහටයි මම මේක කොලේ..ඒ කිව්වෙ, විද්දියා කතා ටික වෙනම ගත්ත.කැලෑ කතා වෙනම ගත්ත......ඒ කරල දෙකම එකට එකතු කරල මෙව්ව කරල කොම්බයින් කරා මෙන්න මෙහෙම..... ආන්න එහෙම කරපු එක තමයි මේ......හෙහ්, හෙහ්,

      Delete
  9. මං හූනා කිවුවැහේ කියඤ්ඤා, ‍මේකනං හරියන වැඩක් නෙවේ බොලං.. මූ පට්ටාං ගත්තෙ රුක්ගොමුවක ඇනතියන් ඉන්න දඩයක්කාරයෙක්ගෙන්, දැන් යනවා චක්‍රාවාට ගානෙ සැරිසරන්න.. මූ නං අවුරුද්දට බීලා තියෙන්නෙ හොදම ජාතියකින්.. :D

    පලි: කිවුවට අහිතක් හිතන්ටෙපා බං අයියෙ, ඒ වුනාට මේටික කියවද්දි මට මතක්වුනේ 2001 හා 2010 කතා දෙක.. කතාසාරය එතනින් ගත්තා වගේ කියලයි මට හිතුනෙ..

    ReplyDelete
    Replies
    1. අහිතක් හිතන්නෙ මොකොටෙයි මලේ...සම්පූර්ණ ඇත්ත....ඉස්සෙල්ලාම මම '' 2001 අභ්‍යාවකාශ වීර චාරිකා '' කියෙව්වෙ එස්. එම්. බන්දුසීල මහත්මයගෙ පරිවර්තනේ. බොහොම පොඩි එකා කාලෙ.හඳේ නොපෙනෙන පැත්තෙ තියන TMA 1 එක ගැන මගෙ හිත කොයි තරම් ඇදිල ගියාද කිව්වොත් රෑ හඳ දිහා බලාගෙන ඉන්න ඇති දවස් ගනනක් ඒ ගැන හිතමින්...:) :)

      ඊට පස්සෙ නොඉවසිල්ලෙන් බලා ඉඳල පිටවෙච්චි ගමන් අරගෙන කියෙව්ව ඊලඟ පොත් තුනම. 2010, 2061 සහ 3001.

      2001 කතාවෙ First Born ලා තමයි මේකෙ පූර්වජයො....ඇත්තටම මෙහෙම වෙන්න බැරිද? කියන ප්‍රශ්නෙ මගෙ හිතේ වද දෙනව තවමත්. ඒකට මම තවත් පොඩි පොඩි ආටෝප ටිකක් එකතු කලා ඔය මලක් කාරිය ගහල ෂපාන් එකේ ඉන්නකොට හිතිච්ව බහුබූත. හෙහ්, හෙහ්...ඒ අන්තිමට ඉතුරු වෙච්චි සලාදෙ නැත්නම් අච්චාරුව තමයි මේ.....

      Delete
    2. ඒකත් වියහැක්කක් නේද.?? අපට මේ කිසිම possibility එකක් අහකදාන්න බෑ.. බලලා තියේද දන්නෑ මේ documentaries ටික..

      1. Ancient Aliens 1
      2. Ancient Aliens 2
      3. Ancient Aliens 3
      4. Ancient Aliens 4

      Delete
    3. ඇත්ත ඇත්ත....'' The truth is not only stranger than what you think , its even stranger than what you can imagine'' කියල කියමනකුත් තියනවනෙ...:) :)

      මම ඔය Documentaries නම් බලල තියනව මල්ලි, මම ඕකට Subscribe කරලයි තියෙන්නෙ...

      බොහොම ස්තූතියි මල්ලි, බොහොම ස්තූතියි,

      Delete
  10. අනේ අප්පේ සතියකින් බ්ලොග් කියවන්න ආවේ.. අර කිව්වත් වගේ මේ දඩයක්කාරයා කොහේ ගිහින් නවතීද දන්නේ නෑ.. ඉ ...ව ...ස....මි ... :)

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල සතියක් ගියේ?...නෑගං ගියාද?.....මේ ඒක නෙවෙයි මතකද අර අරක....අරක බං අරක....කුල්ල ...බොල කුල්ල...ගෙනාවයි කුල්ලක් ගෙදරට?...:) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...