Wednesday, November 14, 2012

108. වසර හයකුත් තවත් ටිකක් ගත වී ගිය සඳ....

හිටි හැටියේ ඇවිත් අවුරුදු 6 1/2ක් විතර පරණ තැනක ඉඳන් අද වෙනකම් දිග කියැවෙන කථාවක් කියන්නයි මේ යන්නේ.

2006 මැයි මාසේ දවසක මම කලින් වැඩ කරපු තැන මාත් එක්ක වැඩ කරපු අක්කා කෙනෙක්, වෙනත් ආයතනයක සේවය කරන එයාගේ යාළුවෙක් නිසා හිස් වෙන තනතුරක් ගැන තොරතුරක් මට දුන්නා. ඒ තොරතුරට අනුව මම මගේ ජීව දත්ත සටහන් පතක් ඉහතින් කිව්ව යාළුවා මගින් එම ආයතනයට යොමු කලා. ඒ යොමු කිරීම අනුව දින කිහිපයකින් එම ආයතනයේ ප්‍රධානී තනතුරු උසුලන මහත්මයා දුරකථනයෙන් අමතලා සම්මුඛ පරීක්ෂණය සඳහා දින යොදා ගනු ලැබුවා. ඉතිං එදා සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවේ ගේට්ටුව ගාව හිටපු තරමක් උස කොන්ඩය ‍එහෙම පොඩ්ඩක් විතර සුදු පාට වුනු මහත්මයෙක්ගෙන් තමයි මං මුලින්ම මේ එතැනම ද කියලා හරියට දැන ගත්තේ. හැබැයි මට හරියටම කියන්න බැහැ, ඒ ඒ කාලේ අපේ කන්තෝරුවේ වැඩ කරපු ඉංජිනේරු මහත්මයාද, නැත්නම් ප්‍රමාණ සමීක්ෂක තනතුර දරපු මහත්මයාද කියලා. මොකද දෙන්නාම ටිකක් එක වගේ.

ඉතිං එදා සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනා. ආයේ ඉතිං මොනවද නේද? අනේ ඔයා කොහොම හරි අපේ කන්තෝරුවට එන්න, එන්න කියලා මාව බඳවා ගත්තේ..... : D

 මහ අමුතු කන්තෝරුවක්. මුළු කන්තෝරු කාර්යය මණ්ඩලයෙන් ම කාන්තා නියෝජනය මං එනකොට 0%. යාන්තං මං ආවාට පස්සේ එම අගය 7%ක් වගේ වුනා. ඒ වගේම එච්චර කල් නිදහස් කුරුල්ලෝ වගේ එහේ මෙහේ පියාඹමින්, කැමති තැනක කැමති විටෙක දුම් වැටියක් දල්වාගෙන, තිරිංග විරහිත වදන් මාලාවන් මුදා හරිමින්, හිටිය ඉතිරි 93% නිකං හිරේ විලංගුවේ දැම්මා වගේ වුනා කියලා මං දැන ගත්තේ ඊටත් ගොඩක් කාලෙකට පස්සේ. කොච්චරද කිව්වොත්, මම රාජකාරි නිමා කරලා, මගට ඇවිත් ආයේ මොනවා හරි අමතක වෙලා කන්තෝරුවට ගියොත් දොර ඇරිය ගමන් මට කන්තෝරුව පෙනෙන්නේ චිත්‍රපටවල පෙන්වන දිව්‍ය ලෝකයක් වගේ.......... දුම් වලා අතරින් එක එක අය ටිකෙන් ටික පේන්න ගන්නවා........ :)

ඇත්තටම කිව්වොත් කලින් වැඩ කරපු කන්තෝරුවේ වැඩ කරපු අවුරුදු 1 1/2 තුල ඇතිවුනු ගජමිතුරු කම් මේ කන්තෝරුවේ අද වෙනකම් වත් ඇති වෙලා නැහැ. ඒත් මේ හැමෝම ඉන්න වටපිටාවක ඉන්න එක අමාරු දෙයක් නෙමෙයි. කොටින් ම කිව්වොත් මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි කන්තෝරුවක්.

ඉතිං මේ කන්තෝරුවේ මගේ ආසනය පිහිටලා තිබුනේ පහත මාලයේ. පහත මාලයේ අය එක්කවත් එච්චර කථා බහ කරන්න තරම් කාලයක්වත්, මාතෘකාවත් මට තිබුනේ නැහැ.ඉතිං ඉහළ මාලය ගැන කවර කථාද? ඉහල මාලයේ කාමර වශයෙන් 5ක් තිබුණා. එයිනුත් එකක් කාමරයක් බව මං දැන ගත්තේ අවුරුදු 2කට විතර පස්සේ මං හිතන්නේ. එච්චර කල් මං හිතන් හිටියේ ඒක තවත් වැසිකිළියක් කියලා. හපොයි මං ඒක කාත් එක්ක හරි කියලා, ඒ කෙනා ඒ කාමරය අයිති කෙනාටත් කිව්වා මං මෙහෙම කිව්වා කියලා. මට ලැජ්ජා හිතුනට එයාලා කට්ටිය නං හොඳට හිනා වුනා.

ඉතිං ඔය ඉහළ මාලයේ කාමර තුනක අධ්‍යක්ෂ වරු තිදෙනා වැඩ වාසය කල අතර අනෙක් කාමරයක (අර වැසිකිළිය කියලා හිතපු කාමරයේ) රථවාහන කළමණාකාර තැන හිටියා. ඉතිරි කාමරය වෙන් වෙලා තිබුණේ ප්‍රමාණ සමීක්ෂක වරුන්ට. ඔයිනුත් මට වඩා අවුරුදු 5ක් 6ක් වැඩිමහල් කෙනෙක් හිටියා. එයා එක්ක තමයි ගිය වෙලාවකවත් මං කථා බහ කරන්නේ. ඊට මෙහා පැත්තේ ආසනයේ හිටියේ ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂකතුමා. පුහ්.............. උන්දැගේ ආඩම්බර............ ලොකු ඇස් කණ්නාඩි කුට්ටමකුත් දාගෙන, එක අතක් මේසයට තියාගෙන, ඒ අත උඩ නිකට තියාගෙන, ඒ නිසා උඩ ගිය මුහුණේ තියෙන ඇස් දෙක කණ්නාඩියට යටින් මොනීටරයට යොමු කරගෙන, ඉන්න උන්දැ ගැන අපොයි මොන කථාද?

දැන් ඔහොම කිව්වාට ඉස්සර මට ඔහොම හිතුනේ නැහැ මං හිතන්නේ. බොහොම බය පක්ෂපාත හැඟීමක් තමයි ඒ කාලේ තිබුණේ. කාලයක් යනකොට මට දැනගන්න ලැබිලා තිබුනා උන්දැ එංගලන්තේ මහ රැජිණගෙනුත් ඩික්ටේෂන් ගන්න තරම් ඉංගිරිසි දැනුමැත්තෙක් වග. ඒ නිසා වෙන්න ඕනෑ, මගේ හොඳම යෙහෙළිය බරපතල ලෙස අසනීප වෙලා රෝහල් ගතව ඉන්න වෙලාවේ, ඇයගේ ඉල්ලීමකට අනුව ඇය වෙනුවෙන් රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් සකසා ගන්න එතුමා ගාවට යන්න මට හිතුනේ.

මං ආයේ කවදා ලිව්ව ඉල්ලා අස්වීමේ ලියුං ද, ඉතිං මං ගිහින් කිව්වා අනේ මට මෙහෙම එකක් ලියලා දෙන්නය කියලා‍. ඒ පාර උන්දැ කිව්වා, හා ඔය ළමයා ලියාගෙන එන්න අපි බලමු මොකද කරන්න පුළුවන්නේ කියලා. හ්ම් ඉතිං ලියාගෙන ගියා, පොඩ්ඩක් හලලා පොඩ්ඩක් එකතු කරලා ලස්සනට වැඩේ කරලා දුන්නා. මං හිතන්නේ ඒක තමයි මට මතක පළමු සිදුවීම.

ඊට පස්සේ ඉතිං මං ඔය එක එක පොත් ගෙනියලා, දවල් ආහාර ගන්න ගමන් කියවද්දි දැක්කොත්, පොත බලලා, "ආහ්... ඔයාත් කියවන්නේ නියම පොත්නේ", "ෂා... ඔය පොත නියම පොතක්" වගේ දේවල් කිව්වාත් මතකයේ තියෙනවා. ඒ වෙලාවට මට හිතුනේ, 'ඈ බොලේ මෙයා පොත් ගැනත් දන්නවද?' කියලා තමයි. පොතක් කියවනවා තියා අතින් අල්ලන කෙනෙක් කියලාවත් මට ඒ වෙනකොට හිතිලා තිබුනේ නැහැ.

තවත් මතක් වෙන දෙයක් තමයි. සමහර අය බක බක ගගා හිනා වෙවී, විහිළු කථා කියද්දි, මෙතුමා මූණ බැරෑරුම් ව හදාගෙන කියන දේවල් වලට අනිත් අය හිනා වෙද්දී, මට හිතා ගන්න බැරුව යනවා මේ කිව්වේ විහිළුවක්ද ඇත්තක්ද කියලා. ඔය හ‍ඳේ හාවාගේ මල්ලී‍ගේ පුතාගේ කසාදය වගේ දෙයක් ගත්තොත් ඒක ඇත්තටම වුනා වගේ මූණ හදාගෙන දින වකවානු එක්ක හරි කියන්න හැකියාවක් තිබුණා. ඇත්තටම එහෙම කථා කියද්දී බලාගෙන ම ඉන්න වැඩේ.‍........ අනිත් අය හිනා වුනත් මට නං හිනාවෙන්නද, බක පණ්ඩිත ‍විදිහට ඔළුව වනන්නද, නැත්තං ඇහුනේ නැහැ වගේ ඉන්නද කියලා හිතා ගන්නම බැරුව යනවා. :D

ඔය කොහොම වුනත් මේ කොට්ටෝරුවටත් නියම කෙසෙල් ගහක් අහුවුණු වැඩක් වුනා දවසක්. ඒක මං ඒ කාලේ මගේ පරණ බ්ලොග් එකේ ලිව්වා. ඒ බ්ලොග් එක මයි බ්ලොග් ඩොට් එල් කේ එකේ තිබිලා, දැන් මැකිලා ගිහින්. නැත්තං අද මං ඒකේ ලිංක් එකක් මෙතැන දානවා, අපේ කථානායකතුමා නෙළුම් කොලේ, කරවල බැදුමත් එක්ක ඇල් හාලේ බත් කාපු හැටි හුදී ජන පහන් සංවේගය උදෙසා දැන ගන්නත් එක්ක. සමහරවිට මං නොකීවට එතුමා ම ඔය ගැන කොයි වෙලාවේ හරි කියයි මං හිතන්නේ.

ඉතිං ඔය වගේ සවුත්තු වැඩ වගේම කලින්දා කන්තෝරුවේ උත්සවයකදී මූණ සාක්කුවේ හිටින තරමට යම් යම් දේවල් වලින් අනුමත වීම වගේ වැඩත් එතුමාට වෙලා තියෙනවා. ඒ වගේ මූණ සාක්කුවේ දාගන්න අනිත් අයට වගේ නෙමෙයි, ඔය මොන දේ වුනත්, රැකියාවේදී ඔහුට පහළ නිලයන් පමණක් නොවෙයි, ඉහළ නිලයන් පවා ඔහු කෙරේ යම්කිසි ගෞරවනීය හැඟීමකින් පසුවුනු වග නොරහසක්. ඒවා තමයි මිනිස්සුන්ගේ පැවැත්මේදී ඇති කරගන්න පෞරෂය සම්බන්ධ යම් යම් වැදගත් කාරණා.

කොහොම වුනත්, රැකියාවටම ඇලුනු, පිටත ලෝකයට වැසුනු මනසකින් හිටින කෙනෙක් කියලා මගේ හිතේ තිබුණු ප්‍රතිරූපය, ඔය පොත් කියවිල්ල වගේ දේවල් වලින් බොහොම සුළු වශයෙන් වෙනස් වුනත් එක කාරණයක් සිදුවීමෙන් පසුව හිතුවාට වඩා බොහෝ සෙයින් වෙනස් පුද්ගලයකු නේද යන්න මට වැටහෙන්න වුනා.

මේ කථාව නං ඔය දන්න කියන කිහිප දෙනෙකුටම මීට කලින් මං කියලා තියෙනවා.

ඒ තමයි අපේ විවාහයට පෙර එළඹුණු අවසාන ආදර සැමරුම් දිනය වෙනුවෙන් මං මහපු කතිර මැහුම් රූපයේ කතන්දරය. ඒක මං මහන දවස් වල එක දවසක් කන්තෝරුවේ පරණ ම සේවකයකුගේ විවාහ මංගල්‍යය උත්සවයක් නිසා බොහෝ පිරිසක් ඒ සඳහා පිටත්ව යන්නට යෙදුනා. ප්‍රමාණ සමීක්ෂක මහත්වරු දෙදෙනාත් මාත් හැර කන්තෝරු කාර්යය මණ්ඩලයේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියා  වගේ තමයි මතක. ඉතිං පහළ මාලයේ ඉන්න කම්මැලි නිසා, මැහුමත් අරගෙන ප්‍රමාණ සමීක්ෂක  කාමරයට ගිය මම කණිෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක තුමාගේ වැඩට බාධා ඇතිවන පරිද්දෙන් ඕපදුප කියවමින් මැහුම කරගෙන ගියා. ඔය අතරේ මගේ මැහුමේ තිබුණු වාක්‍යය මම මැහැව්වේ අග සිට මුලට. ඒ ඇයි කියලා මට මතක නැහැ. අවසානයේදී මුල්ම වචනය වෙච්චි, LOVE යන්න මහගන්න නූල් මදි වුනා. ඒක වෙන පාටකින් මහන්න සිදුවුනා. දැන් මොන පාටින්ද මහන්නේ කියලා මං දහ අතේ කල්පනා කරන අතරේ මගේ මිතුරාගෙනුත් ඒ ගැන අදහස් විමසුවා. ඒ බැරැරුම් ගැටළුවට මැදි වෙලා අපි දහ අතේ කල්පනා කරන අතරේ, ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂකතුමා සිය ආසනයෙන් නැගී හිටියා.

"හ්ම්......... මොන කරදරයක්ද ළමයා මේ....... හ්ම්... හ්ම්... කෝ බලන්න ඔය තියෙන නූල් ටික"යි කිව්ව ගමන් මට හිතන්නත් වෙලා මදි වුනා මේ මොකද වුනේ කියලා. මං පුදුම වුනාට කණිෂ්ඨ ප්‍ර. ස. නම් පුදුම වෙලා තිබුනේ නැහැ. සමහරවිට උන්දැ, මුන්දැගේ මේ හැකියාවන් ගැන දැනගෙන හිටියා වෙන්න පුළුවන්. මම ඉතිං නූල් පෙට්ටිය පෙන්වූවා.

"හා... හා... ඔය තියෙන්නේ රතු පාටක්. වචනේ ලව් නේ. මහන්න ළමයා රතු පාටින්" කිව්වා. අනේ හැබෑටම ලව් වලට රතු පාට ඈ............. ලව් වලට රතු පාට තියා ලව් කියලා එකක් ලෝකේ තියෙන වගක්වත් මුන්දැ දැනගෙන ඉන්න ඇති කියලා මං ඒ කාලේ කීයටවත් හිතලා තිබිලා නැහැ කියලා ඒ වෙලාවේ මට හිතුනා.

ඉතිං ඔය වැඩේ වුනේ, 2008 ඔක්තෝබර් අග වෙන්න ඕනෑ........ ඊට පස්සේ දෙසැම්බර් මුල අපේ විවාහය යෙදී තිබුනා. ඒකට මං එතුමාටත් ආරාධනා පත්‍රය දුන්නා. ආසනයෙන් නැගී හිටලා, දෝතින් පිළිඅරගෙන අපිට සුභ පැතුව නමුත් ඒ වෙනකොටත් එන්න වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඒකට හේතු වුනේ, පිට රට රැකියාවක් සඳහා නොවැම්බර් අග පිටත්ව යාමට තිබුණු නිසායි. ඔය සඳහා අවශ්‍ය කරන සියලු ලියැකියවිලි, ඒ වැඩේට උදව් කරපු එතුමාගේ යාළුවාට ඊ මේල් කිරීම ආදිය සිදුවුනේ මගේ අතින්. ඒකට හේතුව ඊමේල් කිව්වහම දුන්නෙන් ඊ තලයක් මාර්ගයෙන් යවන ආකාරයේ ලියුම් විශේෂයක් වියයුතු වග මිසක ඒ ගැන වගේ වගක් එතුමා දැන නොසිටීමයි. ඉතිං එහෙම බැහැනේ. ඒ ගැන දැනගන්නම එපැයි රට යනවා නම්. ඉතිං ජී මේල් හා යාහූ වර්ගයේ ඊමේල් ලිපින දෙකක් සාදා, දුනු ඊතල නොමැතිව ලියුං යවා ගන්න හැටි පහදා දුන්නේ මේ මං තමයි හිතවතුනි, ඔය දැන් ලොකු ලොකු වැඩ දැම්මාට... : D

ඉතිං ඔහොම රට ගියා. කාලෙත් ගියා. ටික කලක් ගත වද්දී, මේ සිංහල බ්ලොග් අවකාශේ, කොළොම්බස් ඇමරිකාව හොයා ගත්තා වගේ මං හොයා ගත්තා. නොයෙකුත් ලිපි ලිව්වා. මගේ මහත්තයා ගැන මගේ දුව ගැන සහ කන්තෝරුව ගැනත් ලිව්වා. ඔය අතරේ ඉංගිරිස්කාරයෙක් කොමෙන්ට් කරනවාත් ඉඳ හිට මං දැකලා තියෙනවා. මහත්තයා ගැන ලිව්ව එකකට ලියලා තිබුණු කොමෙන්ට් එකකින් ඔන්න ඒ නම් අපේ කථානායකතුමා ම වග මට වැටහුණා. ඒ ගැන කල විමසීමේදී, ඔහු මගේ බ්ලොග් එක කාලයක් තිස්සේ කියැව්වත් ඒ මං ම දැයි සැකයකින් පසූවූ බවත්, මහත්තයාගේ පිංතූරයක් එකතු කර තිබුණු ලිපියෙන් සැකය දුරු වූ වගත් පැවසුවා.

කන්තෝරුවේදී දැන හිටි පුද්ගලයාට වඩා බොහෝ සෙයින් වෙනස් පුද්ගලයකු අන්තර්ජාලය තුලින් මුණ ගැහුනා. සමහර විටෙක අනිත් අන්තර්ජාල මිතුරන් සේ ඔහුද හඳුනාගනු ලැබුවේ අන්තර්ජාලයෙන් ම වගෙයි මට දැනෙන්නේ. පසු පසුව, බොහෝ බ්ලොග් වල කොමෙන්ට් අතර ඔහුගේ අගනා (ලිපි තරම් දිග) කොමෙන්ට් දිස් වන්නට වුනා. ඒ ඔස්සේ කරපු කථා බහකට අනුව අවසානයේ නිදහස් සිතුවිලි හවුල් බ්ලොග් අඩවියක් බවට පත් කෙරුනා. ඒ කාලේ මගේ සමහර අන්තර්ජාල යාළුවෝ ඉතිං මට දෝස් මුරේ නොදැම්මාමත් නෙමෙයි...... : D ඒ වෙලාවට මං ඔය මොකක් හරි කියලා බේරිලා යනවා. ආ ඒ මගේ මාමා කෙනෙක්. එහෙමත් නැත්තං බාප්පා කෙනෙක් වගේ උත්තරයක් දීලා එදා දවසට බේරී සිටිමේ න්‍යායකුත් අනුගමනය කලා...... :) ඒත් එදා දෝස්මුරේ දැම්මත් ඒ සමහර යාළුවෝ අද සතුටු වෙනවා ඇති, අපේ සහෘද රවීගේ ලස්සන ලියැවිලි නිදහස් සිතුවිලි වලින් කියවලා. (ඇත්තම කිව්වොත් දැනටත් බනින අය ඉන්නවා, මොකද්ද යකෝ අර යාං හෑල්ල, දඩයක්කාරයාගේ කථාව කියලා........ :D මං එතකොට කියනවා අනේ මන්දා අනේ, මාත් තාම කියවලා නැහැ කියලා)

ඉතිං ඔයාලා බොහොම දෙනෙක් හොඳින් හඳුනන ඔහු බොහොම හිතවත්, මිතුරුකම් පවත්වන්නට හිතෙන ජාතියේ කෙනෙක් වග මුණ ගැහිලා තියෙන අය ඇවිත් කියයි. ඇත්තටම නොයෙකුත් අවස්ථා වලදී, දැනටත් රාජකාරීමය කටයුතු වලට මම ඔහුගෙන් උදව් ලබා ගන්නවා. බරපතල රාජකාරී ලියුම් ලියා ගන්න ගියාමත් එහෙමයි. ඔය අන්තර්ජාල වාසී මිතුරු මිතුරියන් අහන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මං අහලා කියන්නේ  ඔහුගෙන් ම තමයි.

ඉතිං දැන් කිහිප දෙනෙකුම දන්නවානේ මං මේ තකහනියේ අද මොකද මේ ලිපිය ලිව්වේ කියලා. අද, නිදහස් සිතුවිලි වාසී, අපේ සහෘද, රවී වීරසිංහගේ උපන් දිනය. ඉතිං ඒ උපන්දිනයට සුභ පතන්න තමයි මේ යාං හෑල්ල මං ලිව්වේ. (යාං හෑල්ලකින් මොන සුභ පැතුම් ද නේද? ඒත් මේ ටික ලියන්න කියලා මං දැන් කාලෙක ඉඳන් හිතාගෙන හිටියේ. ඒක නිසා ඔන්න ඔහේ ලියලා දැම්මා. මොකද දැනටත් සමහර අය සමහර වෙලාවට කියනවානේ අර ඔයාගේ මාමා කාරයා කියලා............ :D :D :D )

43 comments:

  1. හෆ්ෆා.. ඔන්න බලන්න අලුත් අපිට වෙන වැරදීම්.. මම හිතුවේ නෝනයි මහත්තයයි එකතුවෙලා ලියන බ්ලොගයක් කියලා.... කමක් නෑ කොහොමහරි රවී තුමාට සුභ උපන්දිනයක් වේවා.... දඩයක්කාර හෑල්ල නම් අල්ලලම දැම්මා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර....:) :)

      / දඩයක්කාර හෑල්ල නම් අල්ලලම දැම්මා /

      හෙහ්, හෙහ්, මලයට කියන්ට මම ඕක අල්ලල දාල දැං සෑහෙන කල්..අනෙ අම්මප...

      Delete
    2. ඔය තිසරට මැන්ටල්...
      ඒක මරු කතාව... පොඩ්ඩක් කම්මැලි නම් තමයි.. කම්මැලි පැත්තක තියලා කියෙව්වම මරු...

      Delete
  2. සන්තානම් මෑණියනේ අපේ රවී බ්‍රදර්ගෙ උපන්දිනේද?
    සුබම සුබ උපන් දිනයක් වේවා රවී අයියා..

    ReplyDelete
    Replies
    1. / සන්තානම් මෑණියනේ.... /

      ඒ බං සිතුවම් මලේ...සන්තානං මෑණියනේ කියන්නෙ මහ විසාල පුදුම දෙයක් ඇහුවම නෙව...

      ඈ බොල. උඹ එතකොට හිතාගෙන හිටියෙ මට බොලාට වගෙ උපං දිනයක් නැතුව ඇතිය කියලද?....අර ඕපපාතිකව එහෙමත් නැත්නං ක්ලෝනීකරනයෙං මං එක්වරම මේ මහ පොළව මත විද්‍යාමාන උනයි කියලද?

      උඹටත් ස්තූතියි සිතුවම් මල්ලි...ඉතිං කාලෙකින් මොකවත් ලියනව එහෙම නං දැක්කෙ නෑ????

      Delete
  3. හි හි.. මරු යාං හෑල්ල ඈ.... මේ කතාව කිව්වට පස්සේ දැං නිකං රවි අයියව මාත් දන්නවා වගේ.. හි හි

    සුබ උපන් දිනයක් වේවා රන්දිල්ගේ මාමාකාරයට... හි හි

    ReplyDelete
    Replies
    1. / හි හි.. මරු යාං හෑල්ල ඈ..../

      හප්ප..ඔවුන්දැ කියවයි හරියට සැට් උනොත් රෑ දවල් දෙකේ....හෙහ්, හෙහ්,

      ඔයාටත් ස්තූතියි හිරූ....

      Delete
  4. නොදකින් මේකි.. දවසක් මං ඇහුවාම අම්මගේ අයියද මල්ලිද කියලත් කිව්වේ ඔය හැකර කටින්ම නේද..තූ ඉරතක් මෙහෙමත් බොරු කීමක්...

    රවී අයියට උදේම සුභ පැතුවා බුකියෙන්... තෝ අහු වෙය පිනෝකි..?
    ඈ..පිනෝකියෝගේ ගෑණු සතාට මොකක්ද කියන්නේ..?

    ReplyDelete
    Replies
    1. / නොදකින් මේකි.. දවසක් මං ඇහුවාම අම්මගේ අයියද මල්ලිද කියලත් කිව්වේ ඔය හැකර කටින්ම නේද..තූ ඉරතක් මෙහෙමත් බොරු කීමක්.. /

      "හෙහ්, හෙහ්, අම්මප එහෙමත් කිව්වද මේකි?....ඇහේ ඉඳල පට්ටා ගහන්ටයි වටින්නෙ..ඇහේ ඉඳල...ඇහේ ඉඳල.. ඉඳිංකො මම එනකල්....හෙහ්, හෙහ්,
      "

      බොහොම ස්තූතියි මාරෙ මලේ.....:) :)

      Delete
  5. නියම කතාවක්නේ . අපි ඔය කතාව අනික් පසින් විතරයි කියවල තිබුනේ .

    මමත් කවද හරි හැබැහින් අඳුනා ගන්න ආසාවෙන් ඉන්නා බ්ලොග් කරුවෙක් තමයි එයා .

    ඔහුට සුබම සුබ උපන් දිනයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. තෑන්කියූ...බින්දි...තෑන්කියූ..තෑන්කියූ සෝ මච්...

      අපි හම්බවෙලා කතාකරමු...කොච්චර දේවල් තියනවද අප්ප කතා කරන්ට...දියබෙදුමෙං පටන් ගම්මු වැඩේ..අන්න නියම ආරම්භයක්...හෙහ්, හෙහ්,

      Delete
    2. හැත්තෑව දසකයේ පැඟිරි යව්වන යව්වනියො නෙව :)

      Delete
    3. @ TG,

      අන්න බොලේ බොහොම පැහැදිලිව ඊරිසියාව..ඊරිසියාව...

      උඹ බොහොම කැමතියි Seventy Club එකට බැඳෙන්න..ඒත් වයස මදි නිසා බලාපොරොත්තු කඩ වෙලයි ඉන්නෙ..

      මොකද කියන්නෙ?...මාස හයක පරිවාස කාල සීමාවකට යටත් කරල උඹවත් බඳව ගන්ටද?

      Delete
  6. සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා....

      Delete
  7. රවියා කියන්නෙ මමත් අන්තර්ජාලයෙන්ම අඳුනාගත්ත මගේ හදවතට ඉතාම සමීප චරිතයක්. අපි දෙන්නත් අතීතෙ ඉඳන්ම කොයි විදියෙන් හරි එකම තැන්වල ඉඳලත් මුන නොගැහිච්ච දෙන්නෙක්. නමුත් මුන ගැහුනොත් කතාකරන්න දේවල් හිඟ නොවෙන දෙන්නෙක්.

    රවියා පිළින්බඳමගේ මුල්ම මතකය අනුන්ගෙ බ්ලොග් වල මාගල් කමෙන්ට් දාන පොරක් හැටියටයි. ඇත්තෙනම් මම මුලින්ම ඒ කමෙන්ට් කියෙව්වෙත් නෑ කම්මැලිකමට. පස්සෙ මම මේකා ජනූගෙ පෝස්ට් වලට ලියන මාගල් කමෙන්ට් වලින් තමයි මම රවියා ඇත්තෙන්ම අඳුනා ගත්තෙ. ජනූට ස්තුතියි. දැන්නම් මම උඹේ මාගල් කමෙන්ට් කියවන්නෙ හරිම ආසාවෙන්.


    ඉන් පස්සෙ අපි දෙන්නා අතර හුවමාරුවුනු ඊමේල වලින් තමයි අපි දැනගත්තෙ අපි දෙන්නම එකම කාලයේ වගෙ එකම සුලෝහිත ඉස්කෝලෙන් ඉගෙනගත්ත බවත්, පේරාදෙණියට ඇති නෑකමත්.

    ඉතින් රවී මම උඹට සුභම සුභ උපන්දිනයක් පතනවා. සෙලිබ්‍රේට් කරන්න ලඟපාතක නොහොටීම ගැන කණගා‍ටු වෙනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...අපි දෙන්නම ඉස්කෝලෙ ඒ වගේම පැණිදෙණියෙ ඊටත් පස්සෙ මහවැලියට සම්බන්ධවත් එකම කාලවල හිටියත් හම්බ උනේ නැත්තෙ එක අතකට උඹේ හරි මගේ හරි වාසනාවකට වෙන්නත් ඇති හෙන්රියො..හෙහ්. හෙහ්,

      හරි මල්ලි එහෙනං බෝම ඉස්තූතියි කිව්ව අරී?...හම්බවෙමු බං හම්බ වෙමු...අපොයි අපි දැං වයසක මිනිස්සු වෙච්චි...හැමදාම මේ නොරට හිටියෑක....බෑක් ටු ශ්‍රී ලංකා ෆො ගුඩ් ගියදාක හම්බ වෙමු...

      Delete
    2. බලාපල්ලකො ඒකෙ හැටි... මුන් දෙන්න එකම ඉස්කෝලෙත් ඉඳල, ඒ මදිවට අතනයි මෙතනයි හැම දිබුබාගෙම ඉඳල අනිතිමට අඳුනාගැනීමේ සියලු ගෞරවය මට හිමි වෙච්ච හැටි!!!
      උඹට කියන්ඩ හෙන්රි අයියෙ... සමහර වෙලාවට බ්ලොග් පෝස්ට් එකට වඩා රහයි රවී අයියගෙ කමෙන්ට් එක
      රහසෙං: ඒකෙන් තමා මං තේරුම් ගත්තෙ..මුන්දැට බ්ලොග් පෝස්ට් ලියන්ඩ බෑ... කමෙන්ට් තමයි ලියන්ඩ පුලුවන්... උඹ හොඳ එකා, මං මෙහෙම කිව්ව කියල රවි අයියට කියන්නෙ නෑ කියල දන්න හන්ද තමා බය නැතුව කිව්වෙ.. නැත්තං එහෙම මුන්දැ ආයෙ සියරට ආවාම මගෙ බොටුවෙන් අල්ලල හොලවයි!!

      Delete
  8. රවී අයියද, මාමද, සීයද මංදා..:-) මොකා වුනත් සුබම සුබ උපන් දිනයක් පතනවා !!!!

    ReplyDelete
    Replies
    1. සෙන්නා මල්ලිද, බෑණද, මුණුබුරාද මන්දා...මොකා උනත් ඉස්ම ඉස්තුතියක් පුද කරනවා !!!!

      Delete
  9. රවී සීය ව මම අඳුන ගත්තේ පොඩ්ඩි ගේ වලව්වෙන්... පස්සේ මෙහෙට ත් ආවා.
    ඉතින් සීයේ මම සීය ගේ ආසම ටික තමා අර හර්දයාංගම හිනාව. අර "හෙහ් හෙහ්" කෑල්ල.

    රවී සීය ලියන දේවලින් මට තේරුම් ගිය එකක් තමා උන්දැ දෙයක හැම පැත්තක්ම බලන කෙනෙක් විත්තිය. බ්ලොග් වල බහුතරයක් කියවන්ට තීන්නේ වෙලාවකට බොළඳ හරසුන් දේ. නැතිනම් පටු දෘෂ්ටිකෝණයකින් හරිම ආන්තික විදිහට ලිව්ව දේ. ඒත් රවී සීය නම් හරිම සුන්දර මනුස්සයෙක් කියල හිතෙන තරමට, උන්දැ ලියන දේවල් රසවත්. සමබරයි.

    ඉතින් සීයේ සීයට දැන් වයස කීයද කියලා අහන්ට යන්නේ නැහැ. මම හිතන්නේ දැන් අසූවත් පැනල ඇති නේද.
    ඉතින් සීයාට නිරෝගිමත් සවුභාග්‍යමත් සහ අතිශය ශ්රුන්ගාරවත් උපන් දිනක් පතමින් මම නවතිනවා!!

    ReplyDelete
    Replies
    1. / රවී සීය ව මම අඳුන ගත්තේ පොඩ්ඩි ගේ වලව්වෙන්../

      සීයා....කවුද ඩෝ සීයා?...හුහ්, උඹ එතකොට සින්න පුල්ලෙ ..ඈ?..වරෙං හරහට වඩා ගන්ට....:) :)

      ප්‍රසංසාවට බොහොම ස්තූතියි අමා.....Thanks so much....I appreciate it s;pecially, from someone like you....:) :)

      / ඉතින් සීයාට නිරෝගිමත් සවුභාග්‍යමත් සහ අතිශය ශ්රුන්ගාරවත් උපන් දිනක් පතමින් මම නවතිනවා!! /

      මයෙ මිණිබිරීගෙ පාර්තනා ඔලිං සවුබාග්යමත් කෑල්ල නං අවුලක් නෑ..සව් ටිකක් ගෙනැල්ල හදාන බොන එක මහ කජ්ජක්ය?...ඒත් බොලේ අර සුරුංගාරාත්මක කෑල්ල තමයි ටිකක් මට විචිකිච්චාවක් තියෙන්නෙ.....

      අර පුරාන ඉරිසින්නාන්සෙල ඉස්තිරි බුද්දි විනාසාය කියල තියෙන්නෙ කටයි අර තව මොකක්ද එකයි වහං ඉන්ට බැරි කොමට නෙවෙයි නෙව.....උඹ කිව්වොත් ඔහොම එකක්මයි...ඉතිං ඔය පාර්තනාවල විදිහට වැඩ කොරන්ට ගිහිල්ල මේ අහිංසක අපේ තමයි රිඹ යන්නෙ.....මෙහෙ ඔය කෙලි බෑ බොල...අහු උනොත් ආය කෙලිම්ම දන්නව නෙව දහාට මාසයයි ඊට පස්සෙ පිටුවහල්...අම්මප දෙකයි පණහක් හොයා ගන්න රස්සා කටුවට කෙලින්ට තමයි උඹ ඔය දත කන්නෙ අමා....හෙහ්, හෙහ්,

      Delete
  10. අප්පද බොල රවී කියන්නේ අයියා කෙනෙක් නෙමෙයිද? මාමා කෙනෙක්ද? :) මම හිතාගෙන හිටියේ හරීම පොඩි අයියා කෙනෙක් කියලා :ද>

    අර දුනු ඊ තල කතාව ඇත්තදෝ :))

    සුබ උපන්දිනයක් වේවා රවි අයියේ

    ReplyDelete
    Replies
    1. / මම හිතාගෙන හිටියේ හරීම පොඩි අයියා කෙනෙක් කියලා :ද> /

      පොඩි අයිය කෙනෙක්??..ඒ මොකෝ බොලේ එහෙම හිතුවෙ?...මම ලියන එලොවටත් නැති මෙලොවටත් නැති අපබ්බරං කියෙව්වම එහෙමෙයි හිතුනෙ?....:) :)

      / අර දුනු ඊ තල කතාව ඇත්තදෝ :)) /

      දුනු ඊතල කතාව නම් ඇත්තම ඇත්ත...අපේ කාලෙ කොහෙන්ද බොල ඔව්ව.....අපි ඒ කාලෙ පෙං හසුනක් එහෙමත් ලිව්වෙ මෙන්න මෙහෙමයි.... හාප් සීට් එහෙක ඔන්න මුලිම්ම ගහනව පැංසලකිං හරහට රූල්...ලී අඩි කෝදුව තියල...ඒ කෝදුව බොහොම ලස්සන දීප්තිමත් කහ පාටක්...:)

      ඊට පස්සෙ අර රූල් උඩ බෝම පරිස්සමිං දිවත් විකාගෙන ලියනව පෙං හසුන...සමං මලිං පවං සැලේ....හුදකලාවේදීය...සඳ පහං රැයක මගෙ කුටියේ සිට ලියමි....ඇඳ විට්ටමට පිටදී කඩදහිය දණිහ මත තබා ලියන වගනම්....

      කොහොමද ආරම්බය විතරක්...හෙහ්, හෙහ්, ඔව්ව කිවෙව්වම කෙල්ලොංගෙ පපු කැනති නිකං ටිං ටිං ගාල කුල්මත් වෙන්නෙ ...කොහොමද?...ටිං ටිං ගාල, ටිං ටිං ගාල

      බොහොම ස්තූතියි සයුරි....ප්‍රාර්තනාවට....:) :)

      Delete
    2. කියාගෙන ගිය විදියෙන් මට තේරුනේ පොඩි කෑල්ලක් මිස් වෙලා කියලා. "ඊට පස්සේ ඒ පැන්සල් ඉරි ටික මකලා දානවා" නේද? හරියට නිකන් ඇහේ මිම්මට ලිව්වා වගේ පේන්න.

      ප. ලි. පෙම් හසුන් ලිව්වා කියන්නේ මාමා කෙනෙක් වෙන්ට බෑ. සීයා කෙනෙක් වෙන්ටෝනේ..:)

      Delete
  11. දයාබර රවී අයියාට නැවතත් සුබම සුබ උපන්දිනයක්!!!


    අයියෙ, රන්දිය කලේ නං ආයෙ නෑ නියම වැඩක් තමා.... දැන් බලපං උඹට වෙන දේ.. ඉටිකිරිස් කෙල්ලො ටික සේරෝම දැනගන්නව උඹ හරි නාකියි කියල

    ReplyDelete
    Replies
    1. ඉස්සොරෝම ඉඳහං උඹට ඉස්තූතියි කියල ඉන්ට සුබ පාර්තනාවට...

      හරි ඒක ඉවරයි..දැං බහිමු කාර්නාවට...

      / ඉටිකිරිස් කෙල්ලො ටික සේරෝම දැනගන්නව උඹ හරි නාකියි කියල /

      හුහ්, ඉටිකිරිස්...අනේ පලයං බං යන්ට...ආච්චිගෙ තට්ටෙ..ඉටිකිරිස්..

      ඔය ඉටිකිරිස්ය කියන එව්වයිං මම දැනට දෑහිං දැකල තියෙන්නෙ එකම එකයි නෙව...අනික් එව්වත් ඒ වගේම නං ඉතිං ඉටිකිරිස් කියන වචනෙ අර්ත නිරූපනය වෙනස් කොරන්ට තමයි වෙන්නෙ...හෙහ්, හෙහ්...

      කට්ටියම වරෙල්ල වෙලාවක අපේ ගෙදර...බොලාට පෙන්නන්ට වචනයේ පරිසමාප්ත අර්තයෙම්ම ඉටිකිරිස් එකක්....( රහසින් කියන වගනම් - මේ පෝස්ට් එක අරුන්දැ බලනව මයෙ බේඩ්ඩේ එක හින්ද..හෙහ්, හෙහ්, කොහොමද මයෙ අක්මාව?...එක කුරුල්ලයි වෙඩිල්ලො දෙන්නයි )

      Delete
  12. රන්දි අක්කේ, මුළින්ම මේක කියන්න ඕනේ. මේ කතන්දර උල්පත බ්ලොග් ලියන්න ඇදගෙන ආවට ඔයාට ගොඩාක් පින්. :)

    මුලින්ම මම රවි අයියව දැක්කෙ ජනූ අක්කාගෙ සටහන් අතර අපූරු බස් වහරකින් කමෙන්ට් කරන කෙනෙක් විදිහට. ඊට පස්සෙ ඒ පැත්තෙ කැරකුණ පොඩි මැණිකේගෙන් පාර අහගෙන මං වළව්වට ගොඩ උනාට පස්සෙ තමයි වළව්වෙ කවිකාර නිළමෙව අඳුරගත්තෙ. එතනින් තමයි නිදහස් සිතුවිලි වලට පාර හොයාගෙන ආවේ. ඒ මාස ගාණකට, අවුරුද්දකටත් වැඩිද මන්දා, කළින්. එදා ඉඳං දවසින් දවස අපිට කියවන්න ලැබෙන මේ අපූරු කවි, කතන්දර වලින්ම ඒවා ලියන කෙනා කොයි විදිහේ කෙනෙක්ද කියලා හිතාගන්න අමාරු උනේ නෑ.

    අර ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂක තුමාගෙ ආඩම්බර පෙනුම ගැන, කම්මුල අතේ තියාගෙන, කණ්ණාඩි කුට්ටමට යටින් මොනිටරේ දිහා බලාගෙන ඉන්න විදිහනං මට මැවිලා පෙනුනා. :D :D :D

    එංගලන්තෙ මහ රැජිණිටත් ඩික්ටේෂන් දෙන්න පුළුවන් තරමට වියත් ඉංග්‍රීසි භාවිතය වගේම, හද්දා පිටිසර ගැමියෙකුගේ ඉඳන් සිංහල භාෂා විශාරදයෙක් තරම්ම අපූරුවට සිංහල හසුරුවන්ටත් රවි අයියා බොහොම හපනෙක් බව මේ ලිපි කියවන අපි හැමෝම දන්නවනේ.

    රවි අයියේ, කෙමෙන්ට් එකේ මේ ටික ඔයාට. ඊයෙ දවසෙදිත් තුන් හතර පොළකදිම උපන් දිනේට සුභ පැතුවත් ආයේ සුභ පැතුවා කියලා පාඩුවක් වෙන්නෙ නෑනේ. මාමා කියන්න තරමට වයසෙන් වැඩිමහළු බව දන්නවා උනත් කටට (මේ ටයිප් කරන අතට) හුරු වෙච්ච 'රවි අයියා' කියන ඒ ඇමතුම දැන් වෙනස් කරන්න අමාරුයි. අපිට වඩා බොහොම අත්දැකීම් ප්‍රමාණයකින් පිරිච්ච අයියාගේ අතීත මතක සටහන් වලින් ලියවෙන ලියමනුත්, ඔය හිතේ ඉපදෙන සුන්දර නිර්මාණත්, පොඩ්ඩක් වැඩි වෙච්ච වෙලාවට අර රන්දි අක්කා කියපු හඳේ හාවගෙ මල්ලිගෙ පුතාගෙ කසාදෙ ගැන වගේ කියන විකාරත් අපි රස විඳින්නේ එක වගේම ආසාවකින්. ඒ වගේ රස බර, හර බර ලිපි තව තවත් ලියන්ටත්, හැමදාම නිරෝගීව සතුටින් ඉන්නටත් ලැබෙන්න කියලා අයියට සුභ උපන් දිනයක් එක්ක දීර්ඝායුෂත් පතනවා! :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමි බොහොමත්ම ස්තූතියි....

      ලිවීමට මගෙ මොනවහරි හැකියාවක් තිබුනා නම් ඒ වැඩි දියුනු කර ගැනීමට උපස්ථම්භක වුනු කීප දෙනෙක් ඉන්නව. ඔයා ඒ අතර ඉන්නව ..කෝ බලන්ට..ආ අර ඉන්නෙ ...ඉස්සරහටම වෙලා බැබලි බැබලි...හෙහ්, හෙහ්,

      වලව්වෙ කවිකාර සහ අරුන්දතී...ඒ අතරට ආව අරුන්දතීගෙ නංගි සිත්තමී ( Self appointed හෙහ්, හෙහ්..)....නොහොත් සිසිනැකපො...

      නෑනන්ඩි එක්ක කරපු හරඹ හින්ද තමයි කවිකාරගෙ හැකියාවන් වැඩි දියුණු උනේ...( My Sparring Partner... මතකයිනෙ? )

      ඒ වගේම තාක්ෂණික ගැටළු වලට විසඳුම්....දන්නවනෙ මගෙ තාක්සනික ඥාණය නිල් කියල....ඒ ඔක්කෝටම දහස් වාරයක් ස්තූතියි සිත්තමී...:) :)

      Delete
  13. Wish you a very happy birthday ravi ayya...

    hitapu kaman avilla okkoma post tika kiyola horata panala giyata ada nam wish karanne nathiwa yanna hithune na.. comment kale nathiwata thama dadayakkaraya kiyonawa honde..(meka nam awuruddak wath adi kiyala hithen bana bana hari :D )habay ayya liyanakan hamadama hadisiyen hari okkoma kiyola daala yanawa.. ayyata subama suba upandinayak wewa.. --mekuwi

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ...මෙකුවි....ආයිබෝං බොල ආයිබෝං...ඉතිං ඉතිං කොහොමෙයි වාස දේස එහෙම?...අර කුල්ල එහෙම තවම ගත්තෙ නැතෙයි? ....හෙහ්, හෙහ්,

      හරි නඟේ...ස්තූතියි බොහෝම....දඩයක්කාරයගෙ හෑල්ල කියවල යන එකම මදෑ....නෑ අනේ තව කොටස් ඔන්නං හතරක් තියෙයි....දෙයියම්ප..

      Delete
  14. රවි අයියට සුබම සුබ උපන්දිනක්......

    ලොකු අටුවා ටීකා ලියන්න බෑ බන්..
    මීට අවුරුදු දෙහෙකට විතර කලින් සොඳුරු සිතේ උඹ ලියපු කොමෙන්ටුවක ඉඳන් අද වෙනකන් ලියපු හැම දේම රසවිඳපු උඹේ රසිකයෙක් මම.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං නිශ් මල්ලි....උඹ ඇවිදිල්ල මයෙ එදා ඉඳලම අතිජාත සහෘදයා...

      ඔන්න අනික් උන්දැ...වත් ගොයිය....සොඳුරු සිතේ මම ලියපු ටීකාවන් රාශියත් මගෙ හිතේ හැමදාම රැඳිල තියෙයි...මතක් කලාට ස්තූතියි නිශ් :)

      Delete
  15. dheyyantama oppu wechchawe... :O Ravi mamadha balagena yadhdhi.echchara wayasai kiyala hithuweth ne ne.

    monawa wunath niyama post eka Randil akke... :D

    subha upandhinayak Ravi ayye/ mame/eeye....
    kamathi eka thora geema obata barai....:D

    ReplyDelete
    Replies
    1. මොකද බං හිංගලට මොකෝ උනේ?

      ඔන්න ඔහෙ ඕන එකක් බොල...මට ඔය කෝමත් එකයි...මාම , සීය, අයිය....කැමති එකක් කියාපං....මිසිස් හෙට්ටිවත්ත ට ඔන්නම් කිඹුහුමක් දෙකක් යාවි එච්චරයි...වෙන අවුලක් නම් වෙන එකක් නෑ...හෙහ්, හෙහ්,

      Delete
  16. සුබ උපන්දිනයක් රවී අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසී....බස් රේඩියෝ එක වහල දැම්මට පස්සෙ උඹව පේන්ටත් නෑ අනේ :(

      Delete
  17. සුභ උපන් දිනයක් රවී...

    ReplyDelete
  18. හැපි බර්ත්ඩේ රවි අය්යේ...
    ඔයා මම හිතාගෙන හිටිය වගේම තමයි වගේ...

    (මම ඔයාගෙ ජාතියෙ වෙන මොඩල් එකක් දන්නෙ නැති නිසා හිතාගෙන හිටියෙ ඔයා තිස්ස අය්යා වගේ වෙන්න ඇති කියල...
    ඒ වගේමයි කියල තමයි මට මේ විස්තරේ කියෙව්වම හිතෙන්නෙත්...)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චේජනා නංගි.......තිස්ස කියන්නෙ මම බොහොම ගරු කරන පුද්ගලයෙක්...කවමදාකවත් දැකල කතා කරල නැති උනාට...ඒ වගෙ කෙනෙක්ය මමත් කියල ඔයා හිතන එකත් මට ලොකු සතුටක්..ඇත්තමයි...:)

      Delete
  19. @ රන්දිල්...

    ස්තූතියි කියල කියන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිනිසා නිකා ඉන්නම්...ඔයාම හිතාගන්න..

    වසර දෙකහමාරක ඒ අතීතය...2006 මැද ඉඳල 2008 අග දක්වා...ඒ සොඳුරු අමරණීය සැමරුම්....ලියනව නම් මොනතරම් දේවල් තියෙයිද ලියන්ට...

    වාද්දුවෙ ට්‍රිප් එක මතකයිනේ?....හෙහ්, හෙහ්, එදා කවුද අනේ අර පපඩං හුළඟේ යනකොට පස්සෙං පන්නල පාගල නවත්ත ගත්තෙ?....අඩේ ....ඔන්න මතක් උනා...දෙයියෝ සාක්කි..වාසනා නේද?.....අඩේ සොරි හොඳද?....ඔහොම බවක් දන්නවනං මම ඔය සීන් එක මතක් කරන්නෙවත් නෑ ...:( :(

    දිවිගමන සුවඳ බිඳ හදවතේ දරා ඉමි,
    පිපිතමර කැකුළු මත රැඳුනු පිණි කඳුලු මෙනි,
    හිරුකමල පෙරඹරින් නැඟෙන සේ සිත පැහැදි,
    සෙනෙහසේ කුසුම විකසිත වුනේ හද විලෙනි.

    Thanks Randil,......Life is nothing but trying our very best constantly to correlate unpredictable human emotions & resulting inter actions between those who are important to us in our life. At the end of the day what would be seared indelibly in our hearts are only loving memories . A Thousand thanks for some of my best remembered reminiscences.

    ReplyDelete
  20. සුභ පැතුම් රවී..
    බ්ලොග් ලොව චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...