Thursday, November 1, 2012

143. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....24


සත් දිනක් මුලුල්ලේ ඇදහැලුනු වර්ෂාව ඇණහිට ගතව ගියේ දින දෙකක් පමණි. 

පායා මුදුන්වූ දෑකැත්තක් වන් අඩ සඳෙහි අවම වූ ආලෝකය ද වරින් වර ඒ වසා පැතිර ගිය තවමත් ජලයෙන් ගැබ්බර වැසි වළාවන් කරණ කොටගෙන පොළවට පතිත වූයේ බොහෝසෙයින් ඉඳහිටය.ක්‍රමයෙන් රෑ බෝ වී එද්දී කොහොඹ ගස වටා රැව්දුන් මා වවුලන්ගේ කලබැගෑනියද තුනී වී ගොස් එක් වරම මැකී ගියේ හාත්පස දැඩි නිහඬතාවයක ගිල්වමිනි. 

අඩ සඳ වැහි වලාවන්ගෙන් වැසීයාමෙහිදී සිදුවූ අඳුර පැතිරයාමහෝ වවුලන් ගේ කලබැගෑනියෙහි උච්චාවචනය පිළිබඳ ඒ යුවතියට කිසිදු හැඟීමක් නොවීය. ඇගේ ශෝකජනක වූ ජීවිත කථාව දඩයක්කාරයා හා පැවසීමෙහිදී නොවැළැක්විය හැකිලෙස ඒ සිත් පාරවන සිද්ධීන් යළි ස්මරණයට නැගීමෙන් සිත් කැලඹී ගිය ඕ තොමෝ වරින් වර දෙනෙත් පිරී යන කඳුලු වැළැක්වීමෙහිලා නිරර්ථක ප්‍රයත්නය අතැර දැම්මේ අවසන හිස උකුලේ හොවාගත්තී ඉකිබිඳ හැඬුවාය. 

ඈ හඬන දෙස නිමේශයක් හිස හරවා බලාසිටි අප කථා නායකයා නැඟිට ඈ වෙත ගොස් ඈ අසලින් හිඳගත්තේ ඇගේ හිස මුදුව පිරිමදිමිනි. කෙමෙන් වියැකී යමින් තිබූ ඇගේ ඉකිබිඳුම සැණෙකින් තීව්‍ර වී යන්නාක් හා සමඟම ඇය ඔහුගේ උරහිසෙහි හිස සඟවාගත්තීය. 

ඇගේ හැඬුම කෙමෙන් වියැකෙන තෙක් ඔහු සිය සුරතින් ඇගේ හිස පිරිමදිමින් ගෙපිල මත්තෙහි අඩ අඳුරෙහි බිත්තියට වාරුවී හිඳ සිටියේය.මීට පෙර ඔහුගේ මුළු ජීවිත කාලයෙහිම මෙසේ යුවතියක හා ඇඟෑලිව ගතකොට ඇති එකම අවස්ථාව වහා ඔහුගේ මතකයට නැඟින. 

ඒ මා ප්‍රිය සබඳ,ඔබ ද ඉතා හොඳින් දන්නා පරිදි ගම් නායකයාගේ දියණිය සමඟ හීං ඇළේ නැම්මේ රූස්ස කුඹුක් රුක සෙවණෙහි ගෙවූ චමත්කාර ජනක සහ සොඳුරු නිමේශයක් කිහිපය වේ.එහෙත් එදා ඔහු සිත මෙන්ම ගත ද කළඹවා පැන නැඟි හැඟුම් සම්භාරය හා වර්තමානයෙහි සිතෙහි උතුරායන හැඟුම් සමුදාය අතර එක් ප්‍රධාන වෙනසක් දඩයක්කාරයාට නිරායාසයෙන් පසක් විය. 

ඒ එසේමය. එදින සිදුවූ තවමත් ඔහු මතකයෙන් සපුරා බැහැරව නොගිය කිසිදිනෙක එසේවෙතැයි සිතිය ද නොහැකි ඒ සිදුවීම ඒ අවස්ථාවෙහිදී මතු නොව ඉන් අනතුරුව පවා මතකයට නැඟෙනා කල්හි ඔහු සිත මෙන්ම ගත ද නිරායාසයෙන් උණුසුම් වන්නේ මධ්‍යාහ්නයේ දැඩි හිරු එළියට නිරාවරණව නිරුවතින් ගෙපැල අබියස මහ ගල් තලාව මත සිටගත්වනම සැළකිය යුතු පමණ කාළයක් ගත කළාක් පරිද්දෙනි. 

එසේ ගත දවන හිරු එළියට නිරාවරණව බොහෝ වේලා ගත කල නොහැක.එසේම ඒ උණුසුම පවතින්නේද හිරුඑලියට නිරාවරණව හිඳිනා තුරු පමණි.එක්වනම අසුරු සැණින් ඒ හටගත්තාක් මෙන්ම අතුරුදන් ද වන්නේය. 

විසංසන්දනයෙහිදී (In Contrast),මේ අනපේක්ෂිතව මහෝඝයෙහි ඉපිලෙමින් පැමිණ ඔහු විසින් දිවි ගලවාගන්නට යෙදුණු සුනම්‍ය දිගු අඟපසඟින් යුත් ලලනාව හා සමඟ ලෙන්ගතුව ගතකරන කාළය අත්‍යන්තයෙන්ම සම කලහැක්කේ පුන් සඳ අහස මුදුනත ලොව එකලු කරමින් දිදුලන රාත්‍රියක ඔහුගේ ප්‍රියතම ගල් තලාව මත දිගෑදී දෝර ගලායන සඳ වතුරේ නැහැවෙමින් සිත සියලු සිතුවිලි වලින් විනිර්මුක්තව නිරාමිස ආහ්ලාදයක් විඳිමින් ගෙවූ කාලයකටය. 

එදින හා මෙදින අතර වෙනස පිළිබඳව ආවර්ජනයෙහි යෙදෙමින් ස්වයං විමර්ශනයක යෙදෙමින් ඔහු කල් ගෙවන අතර ඇගේ ඉකි බිඳුම් හඬ කෙමෙන් අඩුවී අවසන වියැකී ගියේය. 

අවසන ඇය නිශ්ශබ්දතාවය බිඳියේ ඔහුගේ උරහිසෙහි හොවාගත් සිය හිස නො ඔසවාමය.උරහිසට තද කොටගෙන සිටි මුව පමණක් මඳක් මෑත් කොටගත්තී,ඕ තොමෝ සිහින් එහෙත් පැහැදිලි ස්වරයෙන් ඔහු ඇමතුවාය. දෑස් පියාගත්වනම වුවද අවට පරිසරයෙන් නැඟෙන ශබ්දයන් කෙරෙහි සංවේදි වෙමින්ම දඩයක්කාරයා ඇයට සවන් දුන්නේ ඇගේ හිස පිරිමැදීම නොනවත්වමිනි. 


''මේ අනෝරා වැහි කෝඩෙ පටන් ගන්ට දවස් දෙකකට ඉස්සරවෙලා මයෙ අම්මණ්ඩි ලෙඩිං වැටුන. ඊට කලියෙං මං දන්න කාලෙක ඉඳලම උන්දැට ඉහෙං බහින ලෙඩක් අසනීපයක් තිබුණෙ නෑ...ගහක් ගලක් වගෙ උන්නෙ මයෙ අම්මණ්ඩි...'' ඈ නැවතත් ඉකි බිඳින්නට වූවාය. 

ඇගේ හැඬුම අවසන් වන තෙක් ඔහු උපේක්ෂා සහගතව පොරොත්තු වූයේ කාලාන්තරයකට ඉහත මියගිය සිය මෑණියන් පිළිබඳව සොඳුරු මතකයන් සිතට ගලාඑන අතරදීය. 

මෙවර ඕ තම හඬ අවදි කලා ඉකිබිඳුම වියැකී යන්නට ද පළමුවය. වරින් වර නැඟෙන ඉකිබිඳුම් අතරින් ඇසෙනා ඇගේ සොවින් මිරිකුණු හඬට සවන් දෙමින්ම ඔහු දෑස් පියාගත්තේය. 

''අපෙ අපුච්ච ලෙඩ රෝග....ඒ වගේම වෙදකං ගැන හොඳට දැනගෙන හිටිය.ඒත් මේ පාර අම්මණ්ඩිට හැදුන ලෙඩේ ගැන උන්දැත් අඳෝ සංසාරයක් දැනගෙන හිටියෙ නෑ.'' 

'' අනික මේ මුරුගසං වැහි කෝඩෙ...අපුච්ච දන්න රහස් බෙහෙත් පැළෑටි තියන නිල්ගල කන්දට යන්ට දෙතුන් පාරක්ම මහ වැස්සෙම එළියට බැහැලත් ආපහු ආව ගල්කෙම ඇල මංකඩින් එගොඩ වෙන්ට බැරුව දෙගොඩ තලා යන වතුර හින්ද...මාත් උන්දැත් එක්ක ගියා ඇල මංකඩට...අපුච්චට යස අගේට පීනියහැකි.ඒත් උන්දැ මඩ පාටට ගස් කොලං පාවේගන එන මහ වතුර කඳ දිහා බලා ඉඳල පපුව ඔක්කොම කඩාගෙන යන්ට වගෙ දිග හුස්මක් හෙලල මා දිහා බලල කිව්වෙ මෙච්චරයි.ඒ කියනකොටත් උන්දැගෙ ඇස් දෙකෙන් කඳුලු කඩා හැලුන කියල මට ඉවෙං වගෙ තේරුනට මහ වැස්ස හින්ද මම ඒ කඳුලු දැක්කෙ නම් නෑ අයියෙ... '' 

''මේ තමයි ලබා උපං හැටි මයෙ දුවේ...නිල්ගල කන්දට යන්ට මට අද වරං නෑ...පීනල එගොඩ උනත් මේ වතුර වැඩිවෙන හැටියට මම ඉත්තේරුවෙම්ම දන්නව මට ආපහු එන්ට බෑ..කරන්ට දෙයක් නෑ...අපි යමු ආපහු, '' 

'' ඒ වෙනකොට අම්මට හරි සිහියක් පතක් තිබුනෙ නෑ...උන්දැ ඔහේ ඇස් බාගෙට ඇරගෙන වහල දිහා බලාගෙන හිටිය. උන්දැගෙ ඉහ අද්දර පත්තු වෙච්චි පොල්තෙල් පාන බිත්ති අස්සෙං විඩෙං විඩේ හමාගෙන ආපු හුළං රැල්ලක් රැල්ලක් ගානෙ නිවෙන්ටම වගෙ අඩු වෙලා ගිහිල්ල ආයෙම එලිය විහිදුවල දැල්වුනා. '' 

අඩසඳ වලාවකට මුවාවී හාත්පස අඳුර ගලා ඒමද තවමත් හරිහැටි නොවියළුනු හරිත තුරු පතර රැඳි පිණි බිඳු වල සිහිලස උකහාගත් සිහිල් සුළංරැල්ලක් හමාවිත් ඔවුන්ගේ සිරුරු හිරිගඩු නැංවීම ද සිදුවූයේ එක් වරමය. 

උරහිසට වාරුවූ ඇගේ හිස සෙමෙන් ඉවතට කල ඔහු නැඟීසිටීමට තැත් කළේය. එක්වනම කථාව නැවැත්වූ ඇය සිය විසල් දෙනෙතින් ඔහු දෙස විමසුම් බැල්මක් හෙලුවාය.සිහින් සිනහවකින් ඇය දෙස බලා සන්සුන්ව හිඳින ලෙස සන් කල දඩයක්කාරයා ඇගේ හිස සෙමෙන් බිත්තියට වාරු කොට නැඟී සිටියේය. 

ගෙතුල වූ පෙට්ටගම මත අතුරා තිබූ උදෑසන දෙකඩ කල ශ්වේත වර්ණ රෙදි කඩින් ඉතිරි කොටස රැගෙන පැමිණි හේ ඒ යුවතියගේ උඩුකය ආවරණය වන සේ දැවටීය. 

කෘතඥතා පූර්වක මන්දස්මිතියකින් ඔහුට සංග්‍රහ කල යුවතිය ක්‍රමයෙන් දැඩිවන ශීතයෙන් වැළකෙනු වස් රෙදි කඩ තුලට තවත් ගුලි වූවාය.ඈ අසලම පිළෙහි හිඳගත් නමුදු දඩයක්කාරයා ඇය තමා වෙතට ළංකොටගැන්මට උත්සාහයක් නොදැරුවා සේම යුවතිය ද පෙර මෙන් ඔහු වෙත තුරුළු වීමට කිසිදු උත්සාහයක් නොගත්තී දෑත් පොරවාගත් වනම බිත්තියට හේත්තු වූ ලෙසම නිසොල්මන්ව හුන්නීය. 

මේ වන විට නිශාචර සත්වයින්ගේ නාදයන්ද වියැකී ගොස් වන පෙත ඝණ පොරෝනයකින් ආවරණය කලාක් බඳු දැඩි නිශ්ශබ්දතාවයක වෙලී පැවතිණ.මේ ගැඹුරු නිශ්ස්ශබ්දතාවයෙහිදී දඩයක්කාරයාගේ හෘද ස්ඵන්දන රාවය ඔහුට කොපමණ තදින් ඇසුණේ ද යත් ඒ යුවතියට ද ඇසෙන්නේදැයි සැක හැර ගනු උදෙසා ඔහු ඇය දෙස හිස නොහරවා නෙත් කොණින් බැල්මක් හෙළීය. ඇය ට ඒ ඇසුණි ද නැද්ද කෙසේ වුව ද ඕ උඩුකය ආවරණය වූ රෙදිකඩෙහි ඇකිළීගත් වනම හුන්නී දෑස් පියා ගත් වනමය. 

ඔහු දෑස් ඉවතට ගැනීමට පෙරම ක්ෂනයකින් දෑස් විවර කල ඈ තම කථාව යලි ඇරඹූයේ කථාව ඇරඹීමට කිසිවෙකුගෙන් සංඥාවක් ලැබෙන තෙක් පොරොත්තුව සිට ඒ අපේක්ෂාවන් ඉෂ්ඨ වූවාක් මෙනි. 

''එදා රෑ නම් දෙකින් එකක් වෙයිමයි කියල මට නිකම් ඉවෙන් වගෙ හැඟුන. ඇහැරල ඉන්ට කොච්චර උත්සාහ කලත් දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල තිබ්බ...වැඩියම හිතේ අමාරුවටමයි....අපුච්ච මගෙ උරහිසෙං අල්ලල හොල්ලල මාව ඇහැරවනකොට යාන්තමට එළිය වැටීගෙන එනව...එළිය කිව්වට ඒ එළියක්මත් නෙවෙයි..අහස වහ ගත්ත කළුම කළු වැහි බීරිම මැද්දාවෙං යාන්තමට බේරිල එන මලානික මූසල එළියක්...අම්මණ්ඩි දිහාවෙ බලන්ට මට ඕන උනේ නෑ අයියා...මම දැනගෙන උන්න උන්දැ මියෑදිල කියල....අම්මණ්ඩි ලෙඩිං වැටුනු දවසෙමයි මයෙ හිත කීවෙ මෙදා පාර නම් ලොකු විනසයක් වෙලා තමයි කෙලෝරක් වෙන්නෙ කියල.ඒත් එහෙම දෙයක් වෙයි කියල හිතිං හිතාගෙන ඉන්න එක එකක්.ඇස් පනා පිට තමං හිතපු දේ...තමං බලාපොරොත්තු වෙච්චි දේ ඇත්ත උනහම මනුස්සයෙකුට මොනව උනත් ඒක දරන්ට අමාරුයි. '' 

මුළු මහත් විසල් ලොවෙහි මිනිස් වර්ගයාගෙන් ශේෂව ඇත්තේ ඇය ද ඔහු ද පමණක්මය යන සිතුවිල්ල එක් වරම දඩයක්කාරයාගේ සිතට නැඟුනේ කුමක් හෙයින් ද යන්න ඔහු නොදත්තේය.එහෙත් මෙතෙක් කාලයක් මුළුල්ලේ කිසි දිනෙක ඔහු සිතට එවන් ප්‍රේමණීය (Romantic) හැඟීමක් නොනැඟුනු බැවින් එක් වරම විපිලිසර වූ දඩයක්කාරයා වහා යුවතිය දෙස හිස හරවා බැලූයේ තම වතෙහි පළවූ විපර්යාසය ඇයටද හැඟුනිදැයි දැනගැන්මටය.එහෙත් ඇය හිස් බැල්මෙන් බලාගත්වනම සිටියේ ගෙමිදුල කැටිගැසුනු ඝණ අඳුර දෙසය. 

''අම්මණ්ඩි දෙපැත්තෙ ඉඳගෙන අපුච්චයි මායි එදා දවසම හිටිය ඔහේ බලාගෙන...අයිය විස්වාස කරනවද මයෙ මේ ඇස් දෙකෙං එදා එක කඳුලු බිංදුවක්කත් ගලාගෙන ගියේ නැහැ කිව්වහම...අද මම අඬපු විදිහට අයියට පුදුම ඇති එහෙම කියනකොටත් ඒත් ඒක තමයි ඇත්ත... '' 

පිළෙහි හිඳගත්වනම ඈ නොනවත්වා කථාකරගෙන ගියාය. දඩයක්කාරයා ඈට සවන් දෙමින් පිළෙහි වැතිර සිටියේය.මේ දර්ශනය එනම් පුරුෂයෙකු හා ස්ත්‍රියක එකිනෙකා අසළ අසුන්ගෙන සුහද කතාබහක නියැළෙනු එසේත් නොමැත්තේනම් එදින ඔවුන් මුහුණ පෑ අපූර්ව හෝ සාමාන්‍ය සිදුවීම් පිළිබඳව අන්‍යෝන්‍ය අදහස් හුවමාරුවක නියැලෙනු යනු ඉතාම සාමාන්‍ය, දුටුවෙකු කිසිසේත් නැවත ආපසු හැරී බැලීමට හෝ ඒ පිළිබඳව තව දුරටත් විභාග කිරීමට පොළඹවන සුලු දර්ශනයක් නොවන බව විශේෂයෙන් ඔබට කිවයුතු නොවන බව මම දනිමි මා හිතවත / හිතවතිය. 

ඒ එසේවුවද දඩයක්කාරයා එදින පිළෙහි වැතිර ඇගේ කථාවට සවන් දෙමින් හුන්නේ සිතෙහි මොහොතින් මොහොත නැඟී එන උද්වේගයන් සමූහයකට බඳුන් වෙමිනි.තමන් විසින් උදෑසන දිවි ගලවාගත් තමා පසෙක පිළෙහි අසුන්ගෙන හිඳිනා මේ යුවතිය තම ජීවිතයෙහි කොටසක් බවට පත්වීමට නියමිත බව ඔහුට ඉඳුරා හැඟෙන්නේය.ඇය කෙරෙහි බලවත් අනුකම්පාවක් මුසුවූ සෙනෙහෙයකට බොහෝ සෙයින් සමාන වූ චිත්තවේගයක් තම සිතෙහි එක් මෙතෙක් තමන් ද නොදැන සිටි පරිශ්‍රයක ක්ෂුද්‍ර මල් කැකුළක්වැ ඉපිද මේ ගතවන මොහොතක් පාසා අනවරතව විකසිතව වර්ධනය වෙමින් තම සිත පුරා සුගන්ධය පතුරුවමින් සිත තම ආධිපත්‍යයට නතු කර ගැන්මෙහි ලා බලවත් පරිශ්‍රමයක නිරත වන බව ඔහු කිසිදු සැකයෙකින් තොරව එකහෙලා දැන සිටියේය. 

එහෙත් ඔහු නොදැන සිටි කාරණය වූයේ, නැත, වඩාත් නිවැරැදිව කිවහොත් ඔහුට තීරණයක් ගැන්මට නොහැකිවූ කාරණය වූයේ ඒ බලපෑමට ඒ හැඟීමට ඉඩ දීමට ඔහු සූදානම් ද යන වගයි.මෙතෙක් නිදැල්ලේ සිතූ මනාපයේ ගෙවූ ජීවිතය,..... හරිත වන් තුරු ගොමු අතරින් කණට ඇසෙන නෑසෙන පමණ මුණු මුණුවක් දසත පතුරමින් ලැසි ගමනින් ගලා බස්නා නිල් දිය දහරක් මෙන් ගලා ගිය ජීවිතය..එක් වරම අසුරු සැණෙකින් වැසි රහිතව නිල් අහසින් පතිත අශනි දහරක් මෙන් මේ පැමිණි විපර්යාසයට ඉඩ දීමට ඔහු සූදානම් ද යන බලවත් ලෙස ව්‍යාකූල වූ ගැටළුව තියුණු සැතක් මෙන් හදවත පාරද්දී ඔහු ඇගේ,ඒ යුවතියගේ කථාවට සවන් දෙමින් ගෙපිළ මත වැතිර හුන්නේය. 

මතු සම්බන්ධයි........ 

19 comments:

  1. දඩයක්කාරයා කළින් අත්දැකීමයි දැන් මොහොතයි සංසන්දනය කරද්දි අයියා යොදාගෙන තියෙන උපමා දෙකට මං හරි කැමතියි. තව මං ගොඩක් කැමතියි අර අහිංසක කෙල්ල තමංගෙ දුක හිතෙන කතාන්දරේ කියන අස්සේ දඩයක්කාරයාගෙ හිතට ආදරේ ඇතුල් වෙන විදිහට. දෙන්නා එකම තැනක, ලෝක දෙකක ඉන්නෙ.

    අද කොටසත් හරිම ලස්සනයි රවි අයියේ. ඔහොමම ලියමු ඉතිරි කොටසත්. ('ඉතිරි කොටස් ටිකත්' නෙවෙයි 'ඉතිරි කොටසත්') :D

    ReplyDelete
    Replies
    1. / දෙන්නා එකම තැනක, ලෝක දෙකක ඉන්නෙ. /

      අන්න හරියටම හරි...මයෙ රත්තරනේ...එහෙම හිතුනනං මගෙ උත්සාහය සාර්ථකයි...ඉස්සරහ කතාවෙ කොටස්.... හරි හරි බං මොකද මේ බය වෙලා වගෙ?...ඇස් දෙකත් උඩ තියාගෙන?...මම කොටස් ගානක් කිව්වෙ නෑ නෙව...හරි ...කොටස් හතරයි කියාපංකො..මොකද ඔය යටි තොලත් හපාන හිනැහෙන්නෙ?...

      අනේ නිකං පලයං බං යන්ට..උඹේ කොටස් හතර...ඔය හතර දහහතරක්වත් උනේ නැත්තං මේ සිත්තමී මහණ වෙන්නෙ කෙස් සහිතව..කෙස් සහිතව...අපි නොදන්න ලයිව් කිව්වලු....

      ඔන්න ඔහොම හිතෙං කිය කිය නේද උඹ ඔය හිනාවෙන්නෙ...හරි හරි කතාව ඇත්ත...වැඩේ වෙලා තියෙන්නෙ මේකනෙ බං...ලියන්ට ගියාම ඔය ඔක්කොම ඇවිල්ල ඇඳූ කඳුලෙං උංගෙ කතාව මට කියනව..අනේ රවි අයියෙ මයෙ කතාවත් ලියාපං. මයෙ කතාවත් ලියාපං කියල...ඔය දඩයක්කාරය...අර රූමත් යුවතිය...තව ඉස්සරහට කතාවට එන්ට ඉන්න චරිත...ඔය කවුරුත් එහෙමයි...

      ඉතිං මම මොකද කොරන්නෙ?...එවුං ඔක්කොම මයෙ දරුවො හා සමානයි..මයෙ හිතේ ඉපදිච්චි එවුන් නෙව...ඉතිං මං උං කියන කියන විදිහට කතාව ලියනොව. ඔන්න කොටස් පහෙං අහවරයක් කරන්ට හිතාන පටං ගත්තු එක කොටස් දහය වෙනව දහය පාලහ වෙනව දන්නෙම නැතුව...මොකදෑ කොරන්නෙ ඉතිං?...:( :(

      පපුව පල්ලෙම්ම ඉස්තූතියි මයෙ නංගියේ...එදා ඉඳලම උඹල මට දෙන ධෛර්යය නැත්නම් මම මේ වැඩේ අතෑරල දාල ගොඩක් කල්...හෙහ්, හෙහ්,

      ප්‍රේමණීය...ෂෙහ්..Romantic කියන වචනෙට ඊට වඩා ගැලපෙන වචනයක් තියනවද?...ප්‍රේමණීය සහ මුණුමුනුව වචන දෙකටම ස්තූතියි..නඟේ..බොහෝම ස්තූතියි....

      ගුමු ගුමුව වදුලේ,
      සිලිසිලිය සුළඟේ,
      මුණුමුනුව නදියේ,
      කසුකුසුව ගඟුලේ,
      අදයි මට ඇසුනේ,

      විහඟ මිහිරාවී,
      මුදු හඬින රාගී,.....................

      Delete
  2. මට තියෙන ලෙඩක් තමයි පොතක් කියවද්දි වර්ණනා. විස්තර තියෙන තැන් මඟ ඇරලා දෙබස් විතරක් පැන පැන කියවගෙන යන එක...

    ඒත් මේකේ වර්ණනා විස්තර ටික දෙබස් එක්ක ගැලපිලා තියෙන අපූරුව කොච්චරද කියනවා නං ( විශේෂයෙන් දඩයක්කාරයා කතා නොකරන නිසා ඒ හැඟීම් විස්තර කරන ටික) මං නොදැනුවත්වම ඒ ටික කියවගෙන පහලට ආවා...

    ඇත්තටම යොදා ගෙන තියන උපමා වගේම, ව්‍යවහාරයත් අපූරැයි...

    ReplyDelete
    Replies
    1. හිරූස්..හොඳ වෙලාවට උඹ මේ දඩයක්කාරයගෙ කතාව මුලදි කියෙව්වෙ නැත්තෙ...නැහ්නං මයෙ මෑණියං වහන්සෙට කිඹුහුං ඇරලම ලෙඩක් හැදෙනව දොස්තරලටවත් හොයාගන්ට බැරි වෙන්ට...

      බොට කියන්ට බොල ..මේ කතාවෙ ඉස්සරෝම දෙබසක් කියල එකක් ආවෙ හත්වෙනි කොටසෙ...ඒත් මේං මෙච්චරයි...හෙහ්, හෙහ්,

      '' ඒ ගැන හිත කරදර කරගන්ට උවමනා නෑ. පුතා. මම ඒ ඔක්කොම කියලා දෙන්නම් ''

      මම තර්කානුකූල උපකල්පනයක් කරනව උඹ ඩබ්ල්යු. ඒ. සිල්ව මහත්තයගෙ පොත් එහෙම කියවල නෑ කියල...හරි නේද?...ලක්ෂ්මී, වාල්මිකී රාමායණයෙ එහෙම තනිකරම පරිච්ඡේද ගනන් තියෙනව ..හෙහ්, පරිච්ඡේද කිව්වට එව්ව එසේ මෙසේ එව්වත් නෙවෙයි .පිටු තියනව එක පරිච්ඡේදෙකට සීයකට එහා....හෙහ්, හෙහ්,

      අනික මොකද බොල මේ දෙබස් වලට ඔය හැටි කැමැත්ත?....නිතර දෙවේලෙ කට කමසෙයියාවක් නැතුව කියවන මනුස්සයෙකුටද උඹ කැමති බොහෝ..ම නිස්සබ්දව ගඹුරු කම්පනාවක නිමග්න වෙලා ඉන්න බහුසෲතයෙකුටද උඹ කැමති?

      අන්න දෙබස් වලින්ම කියන කතාවකයි දෙබස් නැති කතාවකයි වෙනස ගැන අපූරු උපමාවක්....

      ස්තූතියි, හිරූ....බොහොම ස්තූතියි........Thank you so much.....:) :)

      Delete
  3. කියවන්න කලින් කමෙන්ට් කරේ..කියවලාම දාන්නම්කොහොද නරක..කොහොම වෙතත් එල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතී...:)

      Delete
  4. //ඇය කෙරෙහි බලවත් අනුකම්පාවක් මුසුවූ සෙනෙහෙයකට බොහෝ සෙයින් සමාන වූ චිත්තවේගයක් තම සිතෙහි එක් මෙතෙක් තමන් ද නොදැන සිටි පරිශ්‍රයක ක්ෂුද්‍ර මල් කැකුළක්වැ ඉපිද මේ ගතවන මොහොතක් පාසා අනවරතව විකසිතව වර්ධනය වෙමින් තම සිත පුරා සුගන්ධය පතුරුවමින් සිත තම ආධිපත්‍යයට නතු කර ගැන්මෙහි ලා බලවත් පරිශ්‍රමයක නිරත වන බව ඔහු කිසිදු සැකයෙකින් තොරව එකහෙලා දැන සිටියේය. //

    මේ යකා සරළ පොරක් කියලා උඹ කිව්වට බලාපංකො මේ ආදරය වගෙ සරළ ප්‍රාථමික හැඟීමක් වුනත් දැනෙන සංකීර්ණ වීදිය. මේකා තව ඉස්සරහට අනිත් ප්‍රාථමික වැඩ කරගන්න ගියාම මොනවා කරගනීද කියලා මට බයේ බෑ.

    හයියෝ දඩයක්කාරයා ආයෙම පිළේ වැතිර ගත්තා කියන්නෙ තව එපිසෝඩ් පහක්වත් යනකල් මූව මෙතනින් නැගිට්ටා ගන්න බැරිවෙනවයි කියන එක තමයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. / මේ යකා සරළ පොරක් කියලා උඹ කිව්වට බලාපංකො මේ ආදරය වගෙ සරළ ප්‍රාථමික හැඟීමක් වුනත් දැනෙන සංකීර්ණ වීදිය. /

      ආදරය වගෙ සරල ප්‍රාථමික......ඔන්න කිව්ව...කොහෙද බොල ආදර සරල සහ ප්‍රාථමික වෙන්නෙ.......

      මේ Jnaet Jackson........

      We're vulnerable
      We're sensitive
      And we're complicated people, too
      So many people rolled into one
      We contain so much
      So much creativity
      So much energy
      So many contradictions

      So much confusion
      So much clarity
      So many moments of faith and fear
      So many different characters live within us
      All looking for love

      If love is so simple and primitive why we are all looking for it, eternally?......:) :)

      මේකත් අහල ඇති නේද?

      Love...no one knows if they have found love 'cause no one knows what it looks like....

      අනික දඩයක්කාරයට දැනෙන විදිහ නෙවෙයි මම ඒ කිව්වෙ..මිනිහගෙ හිතේ තියන එක මම විස්තර කරපු විදිහයි ඒ....

      දඩයක්කාරයට තේරුමක් නෑ මොකක්ද මේ වෙන්නෙ කියල..මොකක් හරි වෙනව කියල විතරයි මිනිහට තේරෙන්නෙ...හෙහ්, හෙහ්, පොඩි උදාහරණෙකින් කිව්වොත් පොඩි එවුන්ට නින්දන් මුත්තරා පහ වෙන්නෙ...අන්න ඒ වගේ...හීනෙන්ම වැඩේ බාගෙට තේරෙනව..ඒත් හරියටම වැටෙන්නෙ නෑ මීටරේට..ඔයිට වඩා අපූරු උදාහරණයක් දුන්නෑකි.... කණ පුරවල බැණුං අහගන්ට බැරි හින්ද නිකං ඉන්නව ...හෙහ්, හෙහ්,

      Delete
  5. මහත් සංයමයකින් සහ සැලකිල්ලකින් මේ කොටස ලියා ඇති බව පෙනේ . දඩ්ස් තවත් පින්ගුත්ත්රයෙක් වෙයි දැයි මගේ සිතේ සැකක් ඇති වේ.

    නැත්නම් එක සමාන විප්පයෝගයන්ගෙන් පෙලෙන මේ යුවල පොදු විපත්තිය නිසා එකිනෙකා කෙරෙහි ආකර්ශනය වේද ....

    ...ඊළඟ කොටසින් හමු වෙමු

    ReplyDelete
    Replies
    1. / මහත් සංයමයකින් සහ සැලකිල්ලකින් මේ කොටස ලියා ඇති බව පෙනේ . /

      හප්පා...ඔහොම කතාවක් කියල මට වෙච්ච ජංජාලයක් ඔන්න අහගන්නකො....

      අපෙ ලොක්කි එක්ක කතා කරලම බෑ...මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්දැද්දි කතා කොරන්නෙම නෑ...ඕන එහෙකට යන්තං ඔලුව පොඩ්ඩක් හොල්ලනව ඒකත් හෙල්ලුවද නැද්ද කියල උන්දැට හිතාගන්ට බැරි විදිහට තමයි හොල්ලන්නෙ...

      ඒත් ඔන්න හැමදා නියං එකදා වැහි වලාවේ කිව්වැහෙ ඔය නිහඬ ප්‍රතිපත්තිය බිඳ වැටිල මම ඉල්ලං කන්නෙ හීන්වට සුට්ටක් සන්තර්පනේ උනු දවසට තමයි.

      මේ එහෙම දවසක්......

      අපි දෙන්නම ඔන්න ඉඳගෙන රෑට කෑවයි කියමුකො...කෑවෙ මොනවද නම් මතක නෑ..හරි ඉඳිආප්ප කියමුකො. ඒ වගෙ තමයි මට මතක...රොටි වෙන්න බෑ...මොකද උන්දගෙ රොටියි තෝසයි දෙකම එක වගෙ හින්ද එයින් එකක් හදපු දවසට යුද්දෙ පටං ගන්නෙ මට එයයි හදල තියෙන්නෙ මොනවද කියල හරියට අඳුන ගන්න බැරි උනාම....

      එහෙම දවසට මයෙ තියනව පොඩි Time tested methodology එකක්..හෙහ්, හෙහ්, සතලොස් වසරක්..කියන්නෙ සෙල්ලමක්ද නැද්ද?....බින්දි...ඔය හැම Life threatning emergency එකකටම මොනව හරි Damage contol procedure එකක් මම හදාගෙනයි තියෙන්නෙ....

      හරි ඔය රොටි/තෝස හදපු දවසට මම කරන්නෙ මෙහෙමයි...කන ගමන් මොනව හරි කියනව හරියට කිව්වෙ මොනවද කියල තේරුං ගන්ට බැරි වෙන්ට...කටේ පුරවගෙන කන ගමන් කතා කලානම් හරි..එහෙම එපාය කියල තමයි අපෙ අම්මල කියාදීල තියෙන්නෙ...ඒත් අම්මල දන්නවය මේ වගෙ මානවිකාවංගෙං බේරිල ඉන්ට එපාය කියන දේවලුත් කරන්ට වෙනවය කියල....

      අර කට පුරෝගෙන බුබ්..බුබ්...ගාල කියන එක අස්සෙ රොටී කියලත් කියනව ටිකක් පැහැදිලිව..ඒ කරල බොහොම සුපරික්සාකාරීව බලා ඉන්නව එයයිගෙ මූණ දිහාවෙ...ඔන්න මූණ ටික ටික කුණ්ඩ හට්ටිය වගෙ වෙන්ට පටන් ගත්තොත් ඒ කියන්නෙ ඒ හදල තියෙන්නෙ රොටී නෙවෙයි...

      එතකොට බය නැතුව කියනව '' ෂහ් , අද තෝස නම් මාර රහයි "

      ඔන්න පොඩ්ඩක් මූණ එලිය වැටෙනව..'' එතකොට කලින් අර රොටී කියල මොකක්ද කිව්වෙ?...''

      '' ආ,.... ඒ මම කිව්වෙ අද අර ඔෆිස් එකේ රංජියා දවල්ටත් ගෙනාවෙ රොටී කියලනෙ...මම ඒ පාර බත් ටිකක් දුන්න '' කියලනෙ...

      ආ..ඒක මිසක්.. ඔන්න වැඩේ ශේප්..

      තවත් විවාහ දිවියට එල්ලවිය හැකිව තිබූ දරුණු අනතුරක් මාගේ කුශාග්‍ර බුද්ධි මහිමය කරණ කොටගෙන වැළැකී ගියේ එසේය...හෙහ්, හෙහ්,

      / ...ඊළඟ කොටසින් හමු වෙමු /

      ඉඩ තිබුනොත් ස්වර්ගයේදී හමුවෙමු.......හෙහ්, හෙහ්,

      Delete
    2. මේ මොකෝ රවි අයියෙ, කියන්ඩ ගිය කතාව නෙවෙයිනෙ කියලා තියෙන්නෙ. ඉඳි ආප්ප කතාවක් පටංගෙන, ආයෙ රොටී තෝසෙ කතාවක්නේ කියලා තියෙන්නෙ. :P

      Delete
    3. @ සිත්තමී,

      දෙයියෝම සාක්කි..අම්මප නඟේ ඔන්න බලාපංකො වෙච්චි වැඩේ...කියන්ට ආවෙ එක කතාවක් අන්තිමට කියල තියෙන්නෙ තව එකක්...

      හෙහ්, හෙහ්, මම කියන්ට ආව කතාව මේකයි....ඔන්න එක දවසක් ..මම ටිකක් විතර අනුමත වෙච්චි දවසක්..........අම්මප මට මතක් වෙන්නෙම කලිං කමෙන්ට් එකේ වෙච්චි දේ....යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ....එක පාරක් ඔහොම වැඩක් උනා අපිට...මටම උනායිං මිසක වෙන කවුරු හරු කිව්වනං මම පිලිගන්නෙත් නෑ කොටිම්ම..අර මම ඇවිල්ල විහිලුවටත් බොරුවක් නොකියන සත්‍ය වාදී ඉන්ඩස්ට්‍රීස් එකේ කලමනාකාර අද්දියස්ස වගෙ පොරක් නිසා අවුලක් නෑ.ඔයාලට බය නැතුව මේ කතාව කිව්වැහැකි ඕන තැනක.

      අපෙ එකෙක්ගෙ තාත්ත මලා...මල ගෙදර තියෙන්නෙ වළස් මුල්ලෙ....ඔන්න අපි පිටත් උනා යන්ට මල ගෙදර ......යන්ට ලේසිම ක්‍රමේ මනම්පිටිය හරහා මයියංගනේට ගිහිල්ල....ඒත් ඊට කලිං දුක තුනී කරගන්ට එපාය...කෙලියා නෙවද?...මනම්පිටියෙ බාර් එක වහල....එතනිං ගියා පොළොන්නරු..ඒත් එහෙමයි....එතන හිටපු බුවෙක් කියාපි අද දිඹුලාගල හාමුදුරුවන්ගෙ අව මඟුලය ...ඒ නිසා මුලු පොලොන්නරුව දිස්ත්‍රික්කෙම බාර් වහලය කියල....ඉතිං මොකේද දං වළඳන්නෙ?...ගමන පිටත් උනොත් මයියංගනේටම යන්ට වෙනව....එච්චර දුර යන්නෙ කොහොමද මේ හද පත්ලෙං නැඟෙන සෝකාලාපෙ විඳ දරාගෙන..බෑ..බෑ...බෑ...

      ඒ පාර කෙලීම්ම ඇද්ද දඹුල්ලට...මග දිගට ඇඟේ ලේ නැතුව ආවෙ තව කවුරු හරි ලොක්කෙක් මැරිල මද්දියම පලාතෙත් බාර් වහල නම් වහ බොන්ඩ තමයි වෙන්නෙ කියල....වෙලාවට දඹුල්ලෙ එහෙම ආබාදයක් නෑ...ඔය තියෙන්නෙ දිලිසි දිලිසි....ගත්ත අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය සහ වෙනත් අංගෝපාංග...දැං ඔන්න ආයෙම පිටත් උනා...දඹුල්ල පහු වෙනවත් එක්කම තියනව ෆාම් එකක්. ඕක අයිනෙ නැවැත්තුව ජීප් එක...දුක තුනී කිරීම පටන් ගත්ත....

      අපි දැන් පිටිපස්සෙ දොර ඇරගෙන ඔන්න වැඩේ කරගෙන යනව..අපේ හිටිය එකෙක් අපිට එහෙම වැඩිය වැඩිමල්..පොර එයා ෆෝස් ඉඳල රිටයර්ඩ් ...ඔන්න එතනින් යන්ට ගිය එයා ෆෝස් ඩිෆෙන්ඩර් එකක් නවත්තාපි මූව දැකල..ඒකෙ හිටියෙ උගෙ පරණ බැචාල වගයක්..ආය මොනවද? දුවගෙන ඇවිල්ල මූව බදා ගත්තෙ...

      ඒ පාර ඔන්න ඉන්ට්‍රොඩක්ෂන් වලින් එහෙම පස්සෙ උං කියාපි මෙතන මොකටද මචං පාර අයිනෙ බොන්නෙ?...වරෙං මේ කිට්ටුව දිගම්පතානෙ ඉන්නව අපේම එකෙක් අයිං වෙලා රෙස්ටුරන්ට් එකක් දාගෙන...ඌ ගාව ඕන නං බඩුත් තියනව එහෙ යං කියල.....

      අඩේ මේක හරියන්නෙ නෑ...මං කියන්ටද මම මේ කතාව වෙනම පෝස්ට් එහෙකිං ලියඤ්ඤං...එතකං සාරාංසෙ කිව්වොත් මෙච්චරයි..ගියා අර රෙස්ටොරන්ට් එකට...අපි කට්ටිය අතරෙ දැඩි වාද විවාද ඇතිඋනා...මෙහෙම කරන එක හරිද කියල...අන්තිමට තීරණය කලා අපි නොගියයි කියල මිනිය වලලන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ...ආයෙම වෙලාවක ගිහිල්ල තාත්තගෙං සමාව ඉල්ලමුය කියල... ඒ කරල ගියා අර පොට් එකට...අම්මප එදා තමයි වැඩේ..අන්තිමට මම මල් වඩම කරේ තියාගෙන නැටුවය කියල අපේ එවුංනං ඔය කියන්නෙ...කවුද ඔව්වයෙ හැබෑ බොරු දන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
    4. @ Bindi,

      / දඩ්ස් තවත් පින්ගුත්ත්රයෙක් වෙයි දැයි මගේ සිතේ සැකක් ඇති වේ. /

      සික් ..මොකද බින්දි පිංගුත්තරය කියල අපහාස කරන්නෙ?...:( :(

      පිංගුත්තර මොඩල් එකේ අයට දැන් Politically Correct විදිහට කියන්නෙ unconventionally inclined කියලයි...

      මට නං ඔය උදුම්බරා කතාව අහපු දවසෙමයි පිංගුත්තර ගැන අනුකම්පාවක් ඇති උනෙ...

      ඔයාගෙ ෂැකේ නං ටෝටලි කරෙක්ට්..ෆින්ගුට්ටර් මෙන්ටැලිටි එකේ තමයි දඩ් ඉන්නෙ දැං...ඒත් පුරස්නෙ ෆින් කරපු වැඩේ දඩ් ට කරන්ට බැරි එකයි.... Ms. Roomath Yuvathi කොහේ කියල යන්ටද?....ඕකට කියන්නෙ Hunters Paradox කියලයි.

      Delete
  6. දඩයක්කාරය තමයි මට ආයෙ බ්ලොග් ලියන්න මතක් කරල දුන්නෙ... ඒක දැක්කම මට ලොකූ ඉරිසියාවක් ආව අනිත් අනිත් අයගෙ බ්ලොග් ලියවෙන එක ගැන......

    ReplyDelete
    Replies
    1. / දඩයක්කාරය තමයි මට ආයෙ බ්ලොග් ලියන්න මතක් කරල දුන්නෙ... /

      අඩේ මම දැක්ක තමයි ඔයාගෙ අලුත් පෝස්ට් එකේ දඩයක්කාරයෙක් ගැන කියල තියනව..කොයි දඩයක්කාරය ගැන ද මේ කියන්නෙ කියල ඉස්තිර නැති නිසාවෙං මම මොකවත් කිව්වෙ නෑ......

      / ඒක දැක්කම මට ලොකූ ඉරිසියාවක් ආව අනිත් අනිත් අයගෙ බ්ලොග් ලියවෙන එක ගැන...... /

      හෙහ්, හෙහ්, එව්ව එහෙම තමයි බොලේ......කාලෙං කාලෙට එක එක දේවල්..මටත් වෙලාවකට මේ කෙහෙල්මල එපාම වෙනව...ආයෙම ඔය මොනවහරි කරල වදෙං පොරෙං මොනා හරි ලියනව....

      ඊරිසියාවක් ඇති උනු එක ගැන එච්චර හිතන්න එපාය. චේජනා භික්ඛවේ කම්මං වදාමී කියලත් තියෙනවාය. ඒ කියන්නෙ චේජනා යමක් හිතන්නේ හොඳ හිතිම්ම බව යටගිය දවස උදවියත් දැනගෙන ඉඳලා තියෙනවාය. ඒ නිසාවෙන් කණගාටු වෙන්ට ඕමනා නැතය...:) :)

      Delete
  7. /එදා රෑ තීරණාත්මක රැයක් කියල මට නිකම් ඉවෙන් වගෙ හැඟුන/

    මේ වාක්‍යය අර කෙල්ලගෙ භාෂා ශෛලියත් එක්ක නොගැලපීමක් මට දැණුන අයියෙ... විශේෂයෙන්ම තීරණාත්මක කියන වචනෙ වෙනස් කලා නං හොඳයි....
    මේ දඩයක්කාරයාගේ වගේම අලුත් රූමතියගෙ පවුලෙ අය නූගත් වැද්දො නෙවෙයි කියල මට උඹ කිව්ව මතකයි... ඒත් ඒ බව විස්තර වෙන්ඩ තිබුණ කලින් (යාන්තං ඇති දැන් ඉස්තාලෙ වහලනෙ... නැත්තං උඹ ඕක අදිනව තව කෑලි දෙකකටවත්)

    ඒ ළමය කතා කරන විදියට තීරණාත්මක කියන වචනෙට වඩා ගැලපෙන්නෙ එදා රෑ දෙකින් එකක් වෙයි කියල හිතුණ.. මොකක් හරි ආසානාසියක් වෙයි කියල දැණුන වගේ එකක් නෙවෙයිද??
    මේ ඉතිං මට හිතෙන හැටි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජනූ...හද පත්ලෙන්ම නෙවෙයි ඊටත් ටිකක් පල්ලෙහායින් ඉස්තුතියි...මොකක්ද බං හාට් එකට පල්ලෙහායිං තියෙන්නෙ?...උඹේ නම් මොකක් තියනවද මංද මයෙ නං තියෙන්නෙ පිත්තාසෙ..හරි පිත්තාස පත්ලෙම්ම ඉස්තූතියි හොඳද?...අඩේ මේ බොට කෝචොක් කරනව එහෙම නෙවෙයි හොඳද?...පොඩි ජෝක් කෑල්ලක් හොඳේ.......

      ඇත්තම කියනවනං උඹ කියපු එක හරියටම හරි...සීයට දෙසීයක්ම ඇත්තම ඇත්ත...ආයෙම කියවනකොට තමයි මටත් ඒක තේරුණේ...නිදහසට කාරණා ඕන නෑ...ඔන්න මම ඒක හැදුවා...බොහොම ස්තූතියි ජනූ....

      Delete
    2. බුදු අම්මේ.... දැන් අර ඩූඩ් ගොයිය එයිද දන්නෙ නෑ...මට නෙලන්ට.... මං උන්දැගෙ බ්ලොගේ නම නෙවද මේ පාවිච්චි කරල තියෙන්නෙ... බුදු අයියෙ මට හැංගෙන්ට තැනක් කියාපිය!!

      Delete
  8. මයැ දෙයියෝ... උඹ මේ ලියන්නේ රවි අයියේ අපේ ගම් පොජ්ජ ගැන නොවැ...
    හුග කාලෙකින් නෙව රවි හුරල ඇත්තන්ගේ නිදහස් සිතිවිලි පොජ්ජ මන්ද කරන්ඩ පොජ්ජ මංගැච්චුවේ..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...