Thursday, December 20, 2012

148. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....28


උදෑසන සිටම වට ධාරාණිපාත වර්ෂාව කරණකොටගෙන දසත පැතිර ගිය ඇඟ කිලිපොලා යන ශීතල දඩයක්කාරයාට යම් තරමකට අපහසුවක් වුවද නින්දට පිවිසීමට ඔහුට ඒ කිසිසේත්ම බාධකයක් නොවීය. 

ඒ රාත්‍රි දෙගොඩහරිය විය යුතුය.එක්වරම ඔහු පිබිදිමට හේතුව නොදත් නමුදු උඩු බැලි අතට නිදාසිටි ඉරියව්වෙන්ම දෑස් විවර කල දඩයක්කාරයාගේ නෙතට දිස් වූයේ ගෙපැල තුල කැටිගැසුනු කෑලි කැපිය හැකි ඝණ අන්ධකාරයයි. 

එකවරම නැඟී නොසිටිය හේ ඔත්වනම සිට මොහොතක් සංවිභාගශීලී විය.පිටත ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන බව ගෙපැල වෙවුලුම් කමින් නැඟී එන ගිගුරුම් නාදය කිසිදු සැකයකින් තොරව කියා පෑවේය. ගෙපැල අභ්‍යන්තරය එකාලෝක කරමින් විහිද ගිය ආලෝක ධාරාවකට පසු ඒ පසුපස ඒ හා සමඟම පැතිර යන්නාවූ ගිගුරුම් හඬ දඩයක්කාරයාගේ සවන් විනිවිද ගියේය. ගිගුරුම් හඬ කෙමෙන් මැකී ගියේ සුපුරුදු නිශ්ශබ්දතාවය ගෙපැල තුලට ගෙන එමිනි. තම වම්පසින් ඇසෙන සිහින් ආශ්වාස ප්‍රශ්වාස නාදය ඔහු සවන් වන්නේ ඒ මොහොතේදීය. 

නිමේශයකින් ඒ සමඟම ගෙපැල අඳුර දුරුකල ආලෝකයෙන් ඔහුට දිස්වූයේ ඔහු අසල දණ ගසා සිටිනා ඒ යුවතියයි..එසේමය..ඒ සුද්දීය. 

දෙවුර වසා පෙරවූ සුදු පැහැ රෙදිකඩින් මෑත්ව අඩක් නිරාවරණය වූ ඇගේ ළය පෙදෙස වහ වහා උස් පහත් වූයේ භීතියකට පත්වූ කලක හෝ දැඩි ආවේගශීලී භාවයකට පත්වූ කලෙක මෙනි. ඇගේ විසල් වූ දෑස භීතියකට පත් වූ බවක් පල කල අතර වෙව්ලන පිරුණු රත් රත් පැහැ යටි තොල ඈ සිතෙහි පවත්නා ආවේගශීලී බව කියා පෑවේය. 

දඩයක්කාරයා ඇය දෙස වික්ෂිප්ත දෑසින් බලා සිටියේය.ඒ සමඟම ගෙපැලේ කටුමැටි බිත්ති අතරින් ගලා ආ ගිගුරුමක් යලි හාත්පස වෙව්ළුවාලීය. 

'' මට බයයි අයියෙ, '' ඇය සිහින් හඬින් කොඳුලාය. 

තමන් කරනුයේ කුමක්ද යන්න පිළිබඳව වැඩි දුර නොසිතාම දඩයක්කාරයා ඔහු දිගාවීසිටි මුව සම මත මඳක් පසෙකටවිය. ඒ නිහඬ ඇරයුම ඕ වහා වටහා ගත්තී ඔහු අසල දිගාවූවාය. 

දඩයක්කාරයා සහ සුද්දී!!!! අප කථා නායක තෙම සහ ඒ සොඳුරු යුවතිය!!! 

ගෙපැලෙහි අඳුර විටින් විට දුරුව ගියේ දෑස් ගිනිකණ වැටෙනා තරමේ විදිලි කෙටීම් හේතුකොටගෙනය.එක් වරම පුපුරා යන දැඩි ආලෝකය දඩයක්කාරයාගේ ඝන අඳුරට හුරුවූ දෙනෙත සැණෙකින් පියවීමට සමත් විය. ඒ සමඟම ඇසෙන ගිගුරුම් හඬ අපේක්ෂාවෙන් ඔහු දෑස් තදින් පියාගත්වනම පොරොත්තු විය. 

ඔහු අසල ඇය වැතිර හුන්නේ තම සිරුර ඔහු හා ස්පර්ශ නොවන පරිදිය. එහෙත් මේ අධික ශීත රාත්‍රියෙහි ඇගේ සිරුරින් නික්මෙන උණුසුම ඔහුට දැණින.ගිගුරුම් හඬක් සහ ආලෝක ධාරාවක් අතරතුර ගතවන කාල ප්‍රාන්තරයෙහිදී තදින් දෑස පියා ගත් වනම ළය පුරා හුස්ම ඉහළට ගත් දඩයක්කාරයාට නැහැ සිදුරු තුලින් ඇතුළුව පපුව පුරා පැතිර ගිය සුපුරුදු සුගන්ධයක් දැණිනි. 

දක්ෂිණ දිශාවෙහි සිට ආගමනිත, ඝනව වැඩුනු ඇස් බැමි යුගලයකින් ආවරණිත, තියුණු නෙතු සඟලකින් හෙබියා වූ පුද්ගලයකු පිළිබඳව මවිසින් සඳහන් කරනට යෙදුනු අයුරු ඔබගේ මතකයෙහි නොමැකී ඇතැයි මම උපකල්පනය කරමි.ගම්මානය කෙළවරෙක කුඩා කඩ බක්කියක් පළමුකොට ඇරඹූ හෙතෙම මේ වනවිට අවට වනවාසීන්ගේ අල්පේච්ඡ දිවියට අත්‍යාවශ්‍ය මෙන්ම ඔවුනට කිසිසේත් අවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ද තම කඩ බක්කියෙහි නිතොර රාක්ක පුරා අට්ටි ගසා ප්‍රදර්ශනය කලේ ඔවුනට ඒ සියල්ල මිලදී හෝ බොහෝ විට භාණ්ඩ හුවමාරුවෙන් ගන්නට බල කරමිනි. දින කිහිපයකට ඉහතදී මැරූ ගෝනකුගේ ගාතයක්ද රැගෙන ඔහු වෙත ගිය දඩයක්කාරයා තවමත් ඇසිරූ ලී පෙට්ටිවලම තිබූ මනා සුගන්ධයෙන් යුත් සබන් කැට කිහිපයක් ගෙන ආවේය. සබන් කැට කිහිපය ඔහු අතට දෙමින් ඝණව වැඩුණු බැමි යුගය යටින් වණික් කරුවා ඔහු දෙස හෙලූ විමසුම් බැල්ම හෝ සාවඥ මඳ සිනහව නුදුටුවාක් මෙන් දඩයක්කාරයා ආපිට හැරී තම දෙපා අසල තිබූ බඩු මල්ල ඔසවා ගත්තේය. 

දඩයක්කාරයා හා සමඟ ඔහුගේ ගෙපැළේ නිවසන යුවතිය කවුරුන්ද?....එසේම ඇය කොහේ සිට පැමිණියේද?..ඒ හැමටම වඩා ඇය හා දඩයක්කාරයා අතර පවතිනුයේ කුමනාකාර සම්බන්ධතාවයක්ද? මේ ගැටළු පිළිබඳව ගම්වාසීන් අතර නොයෙකුත් මති මතාන්තර මෙන්ම උපකල්පන, අනුමාන කිරීම් යනාදිය කොතෙකුත් පැවතුනේ නමුදු කිසිවෙකු ඒ පිළිබඳව දඩයක්කාරයාගෙන් විමසීමට පමණ ධෛර්යමත් නොවීය. ඔහු හා සමඟ මඳ වශයෙන් හෝ සම්බන්ධතා පවත්වාගෙන ගිය ඉහතකී වණික් කරුවා පවා දඩයක්කාරයාගේ නොසැළෙන දැඩි බැල්ම හමුවේ ඒ පිළිබඳව විමසීමට නිර්භීත නොවීය. 

ඝණ අන්ධකාරයෙහි මුව සම මත වැතිර ඇගේ ආශ්වාස ප්‍රශ්වාස හඬට සවන් දෙමින් හිඳිනා ඔහුගේ පපුව පුරා පැතිරගියේ එළෙස රැගෙන ආ සබන් සුවඳ මුසු ඇගේ සිරුරින් නික්මුණු සුද්දීටම ආවේණික වූ සුගන්ධයයි. 

ඒ සුවඳ පපුව පිරී යනසේ ඉහලට ඇද පෙණහළු පුරවා ගැන්මට දැඩි ආශාවක් උපන්න ද ඒ වෑයමෙන් මැඩගත් දඩයක්කාරයා එලෙසම නිසොල්මන්වම සිටියේය. 


එක්වරම ඉතා ආසන්නයේම පුපුරාගිය අකුණු පහරක ගිගිරුමෙන් ගෙපැල බිත්ති මතුනොව පියස්ස ද දෙදරා ගියේ ගත කිලිපොලන දැඩි ශීතල සුළං රැල්ලක් ද අඩක් විවරවූ පැළැල්ලෙන් ඔවුන් වෙත කඩා වද්දවමිනි. 

භීතියෙන් මුසපත්ව අව්‍යාක්ත රාවයක් නැඟූ ඕ දඩයක්කාරයාගේ ගෙල වැළඳ ඔහුගේ ළය මත මුහුණ සඟවා ගත්තීය. 

ආසන්නයේම අකුණක් පුපුරාගිය කල්හි ස්වාභාවිකව අනුයාත ප්‍රතිඵලය වනුයේ මේ වනවිට තරමක් තුරල් කොට තිබූ වර්ෂාව එක් වරම තිව්‍රතාව කිහිප ගුණයකින් වැඩි වී මානා සෙවිළි කල පියස්ස මත බොරළු පතිත වන්නාක් මෙන් ඇද හැලීමයි.ඒ මහ වැස්සට සවන් දෙමින් දඩයක්කාරයා මුව සම මත වැතිර සිටියේය. සුද්දී තවමත් බියපත්ව ඔහුගේ ළය මත මුහුණ සඟවාගත් පරිදි ඒ ඉරියව්වෙන්ම හුන්නාය. 

කෙමෙන් තම ඉරියව්ව මඳක් වෙනස්කල දඩයක්කාරයා දකුණත දිගහැර ඇගේ හිස මුදුව පිරිමදින්නට වූයේය.යුවතිය කුමක්දෝ සිහින් ස්වරයෙන් පවසනු කඩින් කඩ ඇසුණ ද වර්ෂාවේ කන්දොස්කිරියාව නිසා ඇය පවසන්න වටහා ගැන්මට ඔහු අසමත්විය. අකුණකින් පසු වසින මහ වැස්ස වැඩි වේලාවක් අල්ලා නොසිටී. ඒ එසේම කෙමෙන් වර්ෂාව තුරල් වී ගිය ඉක්බිති ඇය මුමුණන වදන් ඔහුට පැහැදිලිව ඇසුනේය. 


'' ඇයි අයිය මට මෙහෙම සළකන්නෙ?....මොකක්ද මගෙන් අයියට වෙච්චි වැරැද්ද?......මට මෙහෙම කරන්ට එපා අයිය…'' ඇය දිගටම ඔහු ළයට තුරුළුව හිඳගෙන තෙපලූයේ එම වදන් පෙළය. 

සළකන්නට එපා කියන්නේ කුමන විදිහේ සැලකීමකටදැයි ඔහු ඇසුයේ නැත. සලකන්නට එපා කියන්නේ මෙන්න මෙලෙස සැලකීමකටයැයි ඇය පැහැදිලි කලේද නැත. ඇය ඒ වදන් කිහිපය අතොරක් නොමැතිව කියාගෙන ගියාය. ඔහු මානා පියැස්සට වැහි බිඳු පතිත වන හඬට සවන් දෙන අතරම ඇගේ මිමිණුමටද සවන් දුන්නේය.ඒ ඇගේ හිස ද දකුණතින් පිරිමැදීම මොහොතකට හෝ නොනවත්වමිනි. 

ඇය කෙරෙහි මෙතෙක් තමන් තුල නූපන් කුමන හෝ අපරිමිත වූ චමත්කාර ජනක හැඟීමකින් තම සිත පිරීයනු දඩයකකාරයාට දැණින. ඒ ගම් නායකයාගේ දියණිය වූ අනෙක් යුවතිය අරභයා උපන් හැඟීමට සාකල්‍යයෙන් සමාන වූවක් නොවන බව ඔහු ඉඳුරා දත්තේය. එහෙත් ඒ සමඟම තම ගත උණුසුම් වනු ඔහුට දැණින. ඒ හැඟීම වූ කලී හීං ඇළ අසබඩ කුඹුක් සෙවණෙහිදී ගම් නායක දියණිය හා ආලිංගනයේදී ඔහු තුල හටගත් හැඟීමම බව ඔහුට එක් වරම වැටහිණි. ඔහු තුල ඇතිවූ වෙනස එකෙණෙහිම වටහා ගත් සේ ඇය ද සිය ඉරියව්ව වෙනස් කොට ඔහුගේ ලය පෙදෙස සිප ගන්නට වූවාය. 

කෙමෙන් ඔහුගේ ගෙල පසුකොට ඉහළට ඇදී ඈ යුවතිය අඩවන් දෙනෙතින් ඔහු දෙස මොහොතක් බලා සිටියේ සෙමෙන් පහත්ව ඔහුගේ දෙතොල තරව සිප ගත්තීය. 

මනුෂ්‍ය වර්ගයාගේ සහජ පෙළඹවීමක් වන කාම සම්භෝගයෙහි යෙදීම ඔවුන්ගේ ප්‍රාථමික අවශ්‍යතාවයන්ගෙන් ඉතාම ප්‍රබල වූවකි. අනදිමත් කාලයක සිට මෙදියත අසංඛ්‍ය සංඛ්‍යාත ගැහැණුන් මිනිසුන් කාම සම්භෝගයෙහි යෙදී ඇත්තාහ. ඒ හුදු කාමාශාව හේතු කොටගෙන මෙන්ම වෙනත් බොහෝ අවශේෂ හේතූන් කරණ කොටගෙනද විය හැක. 

එදින ඒ ගෙපැලෙහි ඇතිරූ මුව සම මත දඩයක්කාරයා සහ සුද්දී කාම සම්භෝගයෙහි යෙදුනේ හුදෙක් කාමාශාව නිසාමද නැතහොත් යටි පෙලින් දිවෙන වෙනත් අරමුණක් ඒ සඳහා හේතුවිණි ද යන්න පිළිබඳව සිත් නොවෙහෙසා අපි ඒ එදින එහි සිදුවූව එලෙසින් සිදුවූ වග පමණක් සිත්හි තබාගෙන ඉදිරියට යමු. 

පසුදින හිමිදිරියේම දඩයක්කාරයා අවදි වූයේ ගෙමිදුල පුරා දුව පනින කොණ්ඩ කුරුල්ලන් යුවලකගේ සතුටු සාමීචි නාදයෙනි.කළු කපා එළිය බළල්ලෑවෙන් ඇතුළුව ඔහුට තුරුළුව නිදන යුවතියගේ මුහුණෙහි තැවරී ඇති අයුරු ඔහු හිස මඳක් ඔසවා බලා සිටියේය. තවමත් රත්පැහැගත් ඈ දෙතොල මඳක් විවර වූයේ මඳ සිනහවකිනි.හිස ඔසවා ඔහුගේ ළය යලිත් වරක් සිපගත් ඈ පසෙකට හැරී යලි නින්දට වන්නාය. පොරෝනය ගෙන ඇගේ දෙවුර සහ උඩුකය වසා දැමූ දඩයක්කාරයා සීරුවෙන් නැඟිට දොර පැළැල්ල විවරකොට ගෙපැලින් පිටවිය. 

පෙර දින රාත්‍රියෙහි වූ සිදුවීම ඔහු සිත බොහෝසේ වික්ෂිප්ත කලේය.ඔහුටම වටහා ගත නොහැකි යම් අවිනිශ්චිත කරුණක් හේතුකොටගෙන තමන් අතින් සිදුවූයේ වරදකි යන හැඟීම ඔහු සිතින් බැහැර කොටගත නොහැකි විය. 

සිත කළඹවන යම් සිදුවීමකට අනතුරුව ඒ පිළිබඳව සිත මෙහෙයවා සිතුවිලි නිරවුල් කොට ගැනීමෙහිලා ඔහු නිතැනින්ම පිවිසෙන ක්ෂේම භූමියක් ඇත.ඒ ගෙපැළ අසල වන රොද මායිමේ පිහිටි ගල් තලාවයි.ගෙපැලින් පිටවූ දඩයක්කාරයා කල්පනාවෙන් බරවූ හිසින් යුතුව ඒ ගල්තලාව වෙත ළඟාවී එහි වූ සිරස් ගල් පොත්තට පිටදී අසුන් ගත්තේය. 

හිරු උදාවී සැඩ හිරු රැස් ඔහු සිරුර උණුසුම් කරන තුරුම දඩයක්කාරයා ඒ හිඳි ඉරියව්වෙන් එලෙසම හුන්නේ සෙල්මුවා පිළිමයක් පරිද්දෙනි. 

මතු සම්බන්ධයි........ 

13 comments:

  1. දැන් නම් චුට්ටක් මේ චරිතය තේරුම් ගන්න පුළුවන් වගේ...

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, හිටහංකො හිරුවො...කතාව අහවරයක් වෙන්ට බෝම ආසන්නයි. ඉවර වෙනකොට බොට හොඳටම තේරෙයි.....දහස් වාරයක් ස්තූතියි හොඳේ..මාගේ යාවජීව පාඨවිකාවක් ( හරිද බං වචනෙ...මම අදහස් කලේ පාඨකයගෙ Feminine version එක ) නොමතුදු යාවජීව ටීකා රචිකාවියක් ද වීම ගැන..:) :)

      Delete
  2. වෙනදා වගේම අදත් කතාව ලස්සනයි ....මේ විදියට කතාවක් දිගටම ලියන්න කොයිතරම් නම් දිරියක් ඕනද කියලා තේරෙන්නේකතාවක් ලියන්න ගත්තම තමයි.ඒ අතින් අයියෙ ඔයා සුපිරි චරිතයක් .තව තව ලියන්න ශක්තිය දිරිය වාසනාව ලැබෙන්න ඕන ඔයාට.

    ReplyDelete
    Replies
    1. දහස් වාරයක් ස්තූතියි ලක්මාල්...ඔබගේ පැසසුම මා සිතට දිරි දෙන අමා ඔසුවකි. ආයෙම වරක් ස්තූතියි...:) :)

      Delete
  3. හ්ම්ම්ම්... දඩයක්කාරයා අමුතුම පොරක්. මේක ලියන උඹ මාරම පොරක් :D

    ReplyDelete
    Replies
    1. උඹටත් බොහොම ස්තූතියි මලේ......:) :)

      Delete
  4. දඩයක්කාරයා මේ කෙලීට මෙච්චර අකැමැති ඌ සමසිරියෙක් ද දන්නෑ, නේ බං අයියෙ..!? :)

    ReplyDelete
    Replies
    1. නෑ බං එහෙම කේස් එකක් නම් නෙවෙයි...ඕකෙ වැඩේ මේකයි...දඩයක්කාරයගෙ ගතිගුණ මේ උඹල අපි දන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක සසඳල විග්‍රහ කරන්න අමාරුයි මලේ......චීත්තයක් වැලක හුළඟට හෙලවෙනව දැක්කත් ඔකඳ වෙන්නෙ මේ උඹල අපි නෙව...හෙහ්, හෙහ්, ඌ එහෙම පොරක් නෙවෙයි....කොටිම්ම අමුතුම පොරක්...ඊට වඩා කියන්ට මට තේරෙන්නෙත් නෑ ඔන්න උඹට කිව්වම මොකද.......

      Delete
  5. බොහොම උද්වේගකර ජවනිකාවක් සභ්‍ය රාමුවේ සිට ඉතාමත් ලස්සනට විස්තර කරලා තියෙනවා...භාෂාව යොදාගෙන ඇති ආකාරය නම් පංකාදුයි...

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තටත් ආවොත් නරකද ?

      Delete
    2. ස්තූතියි සිරා...එන්නම් එන්නම් ඒ පැත්තෙ....:) :)

      Delete
  6. මේ වචන ඇතුළේ පුදුම සංයමයක් තියෙනවා අයියේ. ලිපිය දාලා බව දැක්ක දවසෙම උඩින් පල්ලෙන් කියවාගෙන ගියත් දැන් තමයි මේක නිවී හැනහිල්ලේ කියෙව්වේ. මට අපූව මතක් වෙන්නෙ ඇයි මන්දා. එයා දඩයක්කාරයෙක් නෙවෙයි. ඒත් මොකද්දෝ ගැඹුරු සමානකමක් දැනෙනවා.

    ඔන්න අයියෙ ඔය උඩින් කිව්වෙ කතාව ගැන ආයෙමත් හිතලා ලියන්න ඕනෙයි කියලා හිතිච්ච කමෙන්ට් එක. අර උඩින් පල්ලෙන් කියවාපු මුලම වතාවෙදි හිතට ආපු කමෙන්ට් එකත් කියන්ඩද?

    මේක විගහට ඉවර කරාපංකො අයියෙ! :P

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්...ඉවරයක් කොරන්න ඕන බොල ඉවරයක් කොරල දාන්න ඕන....හරි..බොහොම ඉක්මනට ඒ වැඩේ කොරනව....මේ ඊමමයි...තව හූ දෙකයි, බඹ තුනයි පියවර හතරයි.....

      ස්තූතියි ඔයාටත් සිත්තමී.....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...