Tuesday, February 5, 2013

159. මැදියමට මොහොතකට පෙර....Just before midnight



නෙතඟක රැඳුනු කඳුලක පිණි බිඳ දියවී, 
විහඟක තුඩක නොව ඇසිපිය යට බොඳවී, 
තුඩඟක කුරවි කෙවිලිය ගැයු ගී සිරවී, 
අඟනක ලසෝ ගීතය සවණත රැව්දී, 


හදවිල දවන සහසක් ගිනිදැල් ඇවිලී, 
රන්සිල දැල්වුනේ කඳුලින් තිර දැල්වී, 
හිත්මල මතින් නිරතුරු පිණිබිඳු ගැල්වී, 
මැදියම නොනිද ඉමි සකුණක ගී ඇසිණී, 


සසරක ඉමක නොව මේ අත්බැව් අගදී, 
කතරක ගමන දුක් කරදර පොදි බැඳදී, 
කිහිරක ගින්න හදතුල ඇවිලුනි එසඳී, 
මිහිරක මතක සිහිනෙන් ගෑ සුවඳ විඳී, 


අහසක බසින හිරු ඇඳි රත් පැහැ වියැකී, 
කඳුලක දිලුනු තරු කැට නෙතු යුග තනිවී, 
මතකෙක රැඳුනු සොව පිණිබිඳු ලෙස පහවී, 
දවසක පිපෙනු ඇත සෙනෙහේ මල් පිබිදී,

29 comments:

  1. අදනං අමාරු වචන ගොඩායිනේ...

    කුරවි = ?
    සකුණක = ?
    කිහිරක = ?

    මට අන්තිම කවිය විතරයි තේරුණේ අයියේ. ඔය අමාරු වචන වල තේරුම කියන්නකෝ අනිත් ටිකත් තේරුම් ගන්න පුළුවන්ද බලන්න.

    ReplyDelete
    Replies
    1. කුරවි කියන්නෙ කෝකිලයාට මං හිතන්නේ... එතකොට කුරවි කෙවිලිය කිව්වහම ගැලපෙන්නේ නෑ තමා.. ඒත් ඔය විදිහට ඒක භාවිතා වෙනවා මම දැකලා තියනවා.

      සකුණ ගී කියන්නේ කුරුළු ගී වලට දන්න තරමින්...

      කිහිරක කියන එක කිණිහිරක කියන අර්ථයෙන් මෙතන යෙදිලා තියෙන්නෙ කියලා මට හිතෙන්නේ...

      එහෙන් මෙහෙන් තේරුනාට කවියේ සම්පූර්න කතාව තේරෙන්නෙ නෑ තමා...

      Delete
    2. @ සිත්තමී සහ තිසර,

      කිහිරක කියල මම යෙදුවෙ කිහිරඟුරු කියන අර්ථයෙන්. කිහිරඟුරු කියන්නෙ ලෝකුරුවන් යකඩ රත් කරන්නට එහෙම යොදාහන්න ඉතාම දැඩි රශ්මියක් ලබාදෙන අඟුරු වර්ගයක්.කිහිරි දර පුළුස්සලයි හදා ගන්නෙ..දේවදාර වගෙ ගස් වර්ගයක්.. කාන්තාර ගැන උපමාවල මෙහෙම තියෙනව..දිවාකල කිහිරඟුරු මෙන් දැවෙන ඒ නිරුදක කතරේ.....

      / ඒ මෛත්‍රී නම් මහා බෝධිසත්ත්වයෝ වුකලී මුහුත්තර නම් සරවඥයන් වහන්සේ සමීපයෙන් ලබන ලද විවරන ඇතිව සොළසාසංඛ්‍ය කප්ලක්ෂයක් මුලුල්ලෙහි මෙසේ මෙබඳුවූ පාරමිතා ධර්මයන් පුරන්නාවූ , අවිචි මහා නරකයෙහි එළන්නෝ ඇත් නමුත් දන්දීම කඩ නොකරන්නාහ. අඟපසඟ කපා කැබිලිකොට උක්යතකලා මඩිනා උක්කැබිලිමෙන් පෙළා පීඩා කරමින් සිටියත් සිල් කඩ නොකරන්නාහ. සතර මහා දීපයෙහි ඓශචර්‍ය්‍යය හැර විවේක වාසයයි කියනලද තවුස්වෙස්ම ගන්නාහ. සියලු සක්වල පුරා සිටි. කිහිරඟුරු මැඩගෙණත් නුවණැත්තවුන් කරා ගොස් කුසල ධර්මයන් ම පිළිවිස්නාහ /

      - අනාගත වංශය - මෛත්‍රී බෝධිසත්ව වර්ණනාව

      ඉතිරි වචන දෙක සම්බන්ධව තිසර හරි. කුරවි කියන්නෙ කොවුලා, නැත්නම් කෝකිලයා..කෙවිලිය කිව්වම කෝකිලාවිය කියල කියවෙනව. එහෙම බලනකොට කුරවි කෙවිලිය කියල යොදන එකේ තේරුමක් නෑ නම් තමයි. ඒත් බොහෝවිට පරණි ග්‍රන්ථ වල එහෙම යෙදෙනව...තිසර ..ස්තූතියි පැහැදිලි කිරීමට.

      / මට අන්තිම කවිය විතරයි තේරුණේ අයියේ. ඔය අමාරු වචන වල තේරුම කියන්නකෝ අනිත් ටිකත් තේරුම් ගන්න පුළුවන්ද බලන්න. /

      / එහෙන් මෙහෙන් තේරුනාට කවියේ සම්පූර්න කතාව තේරෙන්නෙ නෑ තමා… /

      මේ කවිය ඔය පට්ට හීතලේ ඔලුවෙ ඉඳං ඔතාගෙන, මඳ පමනින් අරගෙන එහෙම අර ගන්ධබ්බ අවස්තාවෙයි කියන්නෙ ..අන්න එහෙම අක්මුල් නැති තත්වෙක ඉන්නකොට ඊයෙ රාත්තිරියෙ යක්කු ගස් යන වෙලාවට ලියවුනෙ...හෙහ්, හෙහ්,

      කවියෙහි ප්‍රස්තුතය පිළිබඳව නම් කිසිවක්ම නොපවසමි.නිර්මාණයක් අවසන්කල වහා නිර්මාණ කරුවා මියයායුතුය.නිර්මාණය රස විඳින්නාහට තමනට රුචි අයුරු අර්ථකතනය කොට ගැන්මට පූර්ණ නිදහස සහ අවස්ථාව තිබිය යුතුය.

      Delete
    3. // කවියෙහි ප්‍රස්තුතය පිළිබඳව නම් කිසිවක්ම නොපවසමි.නිර්මාණයක් අවසන්කල වහා නිර්මාණ කරුවා මියයායුතුය.නිර්මාණය රස විඳින්නාහට තමනට රුචි අයුරු අර්ථකතනය කොට ගැන්මට පූර්ණ නිදහස සහ අවස්ථාව තිබිය යුතුය. //

      අනේ පලයං බං යන්ට, බයිලා කියන්නෙ නැතුං.. උඹ ඕක නොකියන්ට හේතුව වෙන මොකක්වත් නෙවෙයි, පහුගිය දොහේ වැඩ නොකර තිබුනු පේරාදෙණිය පැත්තෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදලා, ඒකයි.. හුහ්! අපි නොදන්න මොනරතැන්න.. :P

      Delete
    4. මටත් සමහර එවුවනං තේරුන්නෑ...

      Delete
    5. @ තිසර

      ගොඩාක් ස්තූතියි තේරුම් පැහැදිලි කරලා දුන්නට. :)

      @ රවි අයියා

      හරි හරි, මේක එහෙනම් අර ලියලත් බැරි නොලියත් බැරි ජාතියේ වෙන්න ඇති. නොලියා හිටියොත් ඔළුවට නිදහසක් නෑ. තේරෙන බාසාවකින් ලිව්වොත් සමනළ ආචරණයක් සිද්ද වෙන්න පුළුවන් - අන්න ඒ ජාතියේ එකක් වෙන්න ඇති. :D :D :D

      Delete
    6. @ බුරතීනෝ,

      / අනේ පලයං බං යන්ට, බයිලා කියන්නෙ නැතුං.. උඹ ඕක නොකියන්ට හේතුව වෙන මොකක්වත් නෙවෙයි, පහුගිය දොහේ වැඩ නොකර තිබුනු පේරාදෙණිය පැත්තෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදලා, ඒකයි.. හුහ්! අපි නොදන්න මොනරතැන්න.. :P /

      යකෝ පුදුම වැඩේය කියන්නෙ මේක කියවන්ට එන හැමෝන්ටම උපං ගෙයිම පිහිටල තියනව නෙව පුබ්බේ නිවාසානුස්මුරුති ඥානය ( අන් සිත් කියැවීමෙහි හැකියාව )

      මෙතන ඇවිල්ල ලියල තියෙන දෙයක් කියෝල අර කලිං වාගෙ එක්කො බැණල පලයල්ලකො..කොහෙද..එහෙම නෑ...මුං මෙතන කූරු ගාන්ට එන්නෙම මයෙ යටි හිතමනෙ....අනෙ අම්මාපල්ල...වෙසමුනිය ඉස් මුදුනට ආරූඩ වෙන්නෙ ඔය වෙලාවට තමයි...

      Delete
    7. @ තරියා,

      ගනං ගන්ට එපා මල්ලි...ජීවිතේ බොහොම දේවල් එක පාරටම තේරුණාම කිසිම නෑ ආතල් එකක්...:) :)

      Delete
    8. @ සිත්තමී,

      / හරි හරි, මේක එහෙනම් අර ලියලත් බැරි නොලියත් බැරි ජාතියේ වෙන්න ඇති. නොලියා හිටියොත් ඔළුවට නිදහසක් නෑ. තේරෙන බාසාවකින් ලිව්වොත් සමනළ ආචරණයක් සිද්ද වෙන්න පුළුවන් - අන්න ඒ ජාතියේ එකක් වෙන්න ඇති. :D :D :D /

      ආ, ඔය ආවෙ, ඔය ආවෙ ඔන්න ආව අනික් Mind Reader…..අනෙ අම්මප...මොකටද මම කියන්නෙ ඉතිං? සමනල...සමනල නෙවෙයි හම ගලවලයි පස්ස බලන්නෙ මට අහු උනොතිං කාරිය..:) :)

      උඹ මේ වැරදි රස්සාවක් නෙව බොලේ කොරන්නෙ..ගහගං බොලායෙ ගෙට හැරෙන හංදියෙ බෝට් එකක්...

      පහසු මිලට අන් සිත් කියවීම සමඟ අංජනං බැලීම

      අද්දුටුවයි සත්තයි ප්‍රක්තියාක්සයි...අංජනං දේවියගෙං Personally වරං ලැබූ ශිත්තමී මැටිණියගෙන් මහාර්ග සේවාවක්..මුදල් පිනිස නොව මහජන සේවය උදෙසාමයි. බොලොග් ලියන එවුං කොලේ වහලා ගහන බවට ඔබට සැකද? එවුංගේ හිත්වල මොන මොනවා තිබ්බත් ඇස් පනා පිට බලා හිටියා මෙන් ඔබට පැහැදිලි කර දෙන්නෙමි.කෙම්මුර දිනවල පලතුරු වට්ටියක්ද රැගෙන පැමිනෙන්න.

      Delete
    9. නිර්මාණකරුවා මරා දැමීම ගැන ඉතා බරපතල විරෝධයක් එල්ල කරනට හිතං හිටියත්... කර්මාන්තයෙහි මැලි බව අධික වී ඔහේ පැත්තකට වී සිටියෙමි.

      නිර්මාණයක් රස විඳින්නාට එයට තමාට අදාල අර්ථකතනයක් දීමට ඉඩ තිබීම පිළිබඳ මගේ ගැටළුවක් නැත. නමුත් තමාට අදාල ලෙස අර්ථකතනය කර ගැනීමටත්, කවියේ අර්ථය පිළිබඳ යම් වැටහීමක් තිබිය යුතුයි නේද? උදාහරණයක් ලෙස සුනිල් ආරියරත්න ලියූ 'තොටුපොල අයිනේ' ගීතය ගත්තොත්, පැහැදිලිව කතාවක් කියා නැතත්, විවිධ අර්ථකතන සැපයිය හැකි වුවත් ප්‍රධාන ලෙසම එයින් ජනිත වන අර්ථය ගැන වටහා ගැනීම අපහසු නැහැ... වචන සහ යෙදුම් පිළිබඳව විවිධ පුද්ගලයන්ගේ විවිධ මත තිබිය හැකි වුවත්, පොදු අර්ථයට අයින් බාධාවක් නෑ. අන්න ඒ තත්වයට මම එකඟයි.

      ඒත් වොලී නානායක්කාර ලියූ 'සඳකඩ පහණ' ගීතයට මේක අදාල කරගන්න බැහැ.. මොකද ඒ ගීතය ජනිත කරන්නේ අර වගේ පොදු අදහසක් නෙමෙයි. ඒක විශේෂිත කතාවක් කියනවා කියලා දැනෙන්නේ... එක්තරා දුරකට ඒ කතාව අපට තෝරාබේරා ගැනීමට ඉඩදීම ගැන මම එකඟයි. නමුත් එවැනි විශේෂිත කතාවක් එතරම් උපහැරන යොදල කියද්දි, එය ගලපගන්න හරිම අමාරුයි. වරක් සුනිල් එදිරිසිංහයන් මුණගැසීමට වාසනාව ලැබුණු විටක මේ ගැන ඇහුවහම ඔහු කිව්වේ ගීතය චිත්‍රපටයේ කතා තේමාවට සම්බන්ධයි කියලා. පස්සේ මාතර ආච්චි බලපු කෙනෙක්ගෙන් කතාව අහගෙන ගීතයේ තේරුම මට හැකි පමණින් පැටලුම් ඇර ගත්තා.

      අනිත් අය කෙසේ වෙතත් ගීයක් කවියක් තේරුම් ගැනීම ඉතා ඉහල සතුටක් ලබන කෙනෙක් මම. පැටලිලි වලට කැමතියි, ඒ වගේම දත කාගෙන පැටලුම් ලිහන්නටත් කැමතියි. කලින් අඳුරේ අතපත ගෑවෙත් ඒ නිසයි... මේ කියන්නේ වචනයෙන් වචනයට මේ කවියේ තේරුම පහදන්න කියල නෙමෙයි... නමුත් මේ කවිය තේරුම් ගන්නට මට හුඟක් අපහසුයි... අඩුම ගානෙ ඉඟියක් දෙන මාතෘකාවක් වත් තිබ්බා නම්...

      මම හිතන විදිහට කවියක් ලියන්න කෙනෙක් පොළඹවන නිශ්චිත සිද්ධියක් හෝ අදහසක් තියනවා... ඒකෙන් උපදින සිතුවිලි වලින් ලියවෙන කවියේ අර මූලික සිද්ධිය හෝ සිතුවිල්ල ප්‍රබලව නොපෙනෙන්න පුළුවන්... ඒත් මට තියන ප්‍රශ්නය තමයි කවියා කැමති නැද්ද තමන්ගේ සිතුවිලි සාර්ථකව සම්ප්‍රේෂණය උනාද කියලා දැනගන්න... අඩුම ගානේ එක්කෙනෙකුට දෙන්නෙකුටවත් ලාවට හරි ඒක ග්‍රහණය උනාද කියලා දැනගන්න... කවියා සතුටුවෙන්නෙ නැද්ද එවැනි දෙයකින්...

      මම දන්නවා සාපේක්ෂව මගේ සාහිත්‍ය ගැන ඇති අවබෝධය අල්පයි... කවි ගැනත් එසේමැයි... නමුත් කවියක් කියවලා, අදහස වටහගන්න, නිර්මාණකරුවා තමන්ගේ සිතිවිලි කවි බවට පත් කරපු ආකාරය වටහගන්න... පද වල සැඟවුණ අරුත් දැනගන්න මම හරි කැමතියි. ඒ සඳහා නිර්මාණකරුවාම ඇවිත් අ යන්නේ ඉඳලා කියලා දිය යුතුයි කියලා මම බලාපොරොත්තු වෙන්නෙ නෑ... නිර්මාණයෙන් පසුව මිය යන නිර්මාණකරුවෙකුට වඩා සැඟවී සිට පාර සොයා ගැනීමට උදව් දෙන නිර්මාණකරුවෙකුට මම කැමතියි...

      හැමදේම පහදා තේරුම් ගැනීමට උත්සහ දරන එක මගේ එක් කරදරකාරී (මටම උනත්) ගතියක් කියලා මම දන්නවා... ඒත් ඉතින් අනේ මන්දා....

      Delete
    10. බොහොමත්ම ස්තූතියි තිසර..ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට. ඔබ පවසා ඇති කරුණු සියල්ලටම බොහෝ දුරට මට එකඟ විය හැක. ඇත්ත, නිර්මාණයක් හරිහැටි වටහා ගන්නට ඊට පසුබිම්වූ සුවිශේෂී සිද්ධියක් තිබේනම් ඒ පිලිබඳව දැනුවත් වීම ඉතා වැදගත්. පිළිගනිමි.

      Having said that let me quote Paulo Coelho, one of my favourite writers, he is on record as saying something like this, not in exact words but the essence of what he wanted to say is the same.

      " I have been asked so many times what was the meaning or the reasons behind my stories. I have never responded. When I say this is what I meant I am taking out the originality, the freshness of that particular incident or for that matter the entire story. even I am finding so many hidden meanings when reading my own stories even after so long a time ..but to feel that you would have to have an open mind "

      ඉතින් ඒ කාරණා දෙකම කිව්වනෙ. හරි මේ කවිය ලියන්ට හේතු භූතවූ නිධාන කථාව නම් මෙන්න මෙහෙමයි.

      සඳුද රාත්තිරියෙ ඔන්න මර හීතලේ පොඩි එකකුත් නවාගෙන ඉන්න ගමන් මට හිතුන මම කාලෙකට ඉස්සර ලියාපු විජය කුවේණි කතාවෙ ( ඒක මම බාගෙට ලියල නතර කලා..ලිව්වෙ පොඩි කුමාරිස්ගෙ වලව්වෙ කමෙන්ට් එකක් හැටියට ) ඉතිරි හරිය ලියන්ට ඕනය කියල.

      සිත්තමී ළමයත් බොහොම කැමැත්තෙන් නෙව හිටියෙ ඒ කතාවට.ඉතිහාස කතා කිව්වොත් එවුන්දැට කන්ට බොන්ට ඕනත් නෑ.දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ මහ සෙනෙවි සුරනිමලගෙ දෙටු දියණියගෙ නමත් ඇවිදිල්ල හිට සිත්තමීය කියල ඕං ඔය පහුගිය ටිකේ බෝම පිරීතියෙං ඔකඳ වෙලයි උන්නෙ. හම්බන්තොට අර රට ඇතුලට හාරල හදාපු මහා වරායට පස් කපනකොට හම්බ වෙල තියනව සෙල්ලිපියක්...ගාම්ණී මහ රජත..සෙනෙවි රට්...සුර් නිමල...දෙට් දියණ...සිතතමිය...ඔන්න ඔය ටික විතරයි කියවගන්ට පුළුවන් ඒ සෙල් ලිපියෙ. ඉතිරි හරිය පස් කපන එක්ස්කැවේටරේට අහුවෙල කුඩු සංසාර වෙල ගිහිල්ල..:(

      ඔන්න මල්ලෙ මොනවද ඇහුවම මල්ලෙ පොල් කිව්වැහෙ කියන්ට ආවෙ එකක්. කියාගෙන යන්නෙ තව එකක්...හරි ඒ සිත්තමීගෙන් වැඩක් නෑ...මයෙ කතාවට බහිමු. හරි කොතනද?..ආ...විජය කුවේණි කතාව ආයෙම ලියන්ට ඕනය කියල මට හිතුන කියල මම කිව්වනෙව. ඕකෙ ඉස්සරහට කතාව යන ගොඩ නැඟෙන විදිහ ඒ දවස්වලම මම පොඩි කටු සටහනක් ගහල හාප් සීට් එහෙක මයෙ ඔය හිටපු ගමන් කුරුටු ගාන විකාර දාන පයිල් රාජයා තොමෝ කෙනෙක් ඉන්නව.ආන්න ඒකෙ දැම්ම කියල මතක් උනා.

      එකල්හි ඒ මහා පයිල් රාජයා ඇදල බලද්දි විජයගෙ කතාවට ඉස්සෙල්ල හම්බ උනා හතර පදයක් කුරුටු ගාපු පොඩි කොලදාසියක්...ඒකෙ අන්තිමට දිනේකුත් දාල ලියල තිබ්බ සංසාරේ අපි කියල......ඔන්න මට මතක් උනා අඩේ මේක මේ දිල් ගොයියගෙ පෝස්ට් එකකට මම ලියාපු කවියක් නේද කියල..ඔව්..බං ඔව්..ඒ දිල් තමයි.අර කොහෙන්ද ටිකට් කපල ගෙදර එව්වයි කියන්නෙ එතන උනත් තියාගන්න එක එයාලගෙ සවුක්කියට හොඳ නෑය කියල...

      ඉතිං මට හිතුන අඩේ මේ හතර පදේට තව කවි දෙක තුනක් එකතු කලානං හොඳා නෙවද කියල පස්සෙදි ඒකෙ මුලට තව කවි තුනක් ලිව්ව ඔන් ද සපෝට්

      ඔන්න ඔහොමයි තිසර වැඩ සිද්ද උනේ....ඒකෙ මොකක් යටි අරුතක් තියනවද මන්දා..අන්න අර සිත්තමීනං එහෙම එකක් කියල තියනව...ඒත් වැඩේ උනේ ඔන්න ඔහොමයි..දෙයියම්ප....

      Delete
    11. පාවුලෝ කොයියෝ ගෙ නවකතා කීපයක් මමත් කියෙව්වා.. වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි, ඒ වගේම 'විච් ඔෆ් පොර්ටබෙලෝ' කියන කතා දෙකට කැමතියි.. අර පියදේරා ගඟ අසබඩ සිට වැලපුනෙමි එකත් නරක නෑ.. ඒත් ඔහුගේ ජනප්‍රියම නවකතාව වන 'ඇල්කෙමිස්ට්' නම් මට එච්චරම දිරෙව්වෙ නෑ.

      සමහර දේවල් අර සිත්තමී කියනව වගේ පැහැදිලි භාෂාවෙන් කියලා බෑ තමා.. හැබැයි දිල්ගෙ පෝස්ට් එක කියවලා මේකෙ අවසාන කවිය කියවලා ඊට පස්සෙ උඩ ඒව කියෙව්වහම හීනියට මොකද්දෝ මෙව්වා එකක් තියනවා... ඒ ගාණට තිබ්බහම මදැයි නේද?

      Delete
  2. හා මචං හරි. ඒක ලබන සතියෙ ෂුවර් එකට ගෙනත් දෙනවා. ඕකට කවියෙන් බනින්න ඕනැයැ.

    ReplyDelete
    Replies
    1. ඉඳපන් සෝක් කතාවක් කියන්න. මේක පෝස්ට් එකක්ම ලියන්න වටින කතාවක් ..ඒත් කෙටියෙන් කියන්නම්..ඒත් මයෙ යාලුවෙක්...ඔව් බං යාලුවෙක් තමයි..මගෙ මේ ජීවිත කාලෙ මට හම්බවෙලා ඇති හැම ජාතියකම එවුං...පට්ට හොරු...රහත් වෙන්න ඔන්න මෙන්න කියල ඉන්න එවුං...චේතිය රජ්ජුරුවංගෙ බාල මස්සිනාල....

      මම මේ කියන්න යන පොර ගොත නං නෑ. ඒත් බොහොම වේගෙන් කතා කරනව..බොහොම අමාරුයි ඒකා කියන්නෙ මොකද කියල අපි තේරුං ගන්නෙ..එක්සයිට් උනාම නම් මොනව කියනවද කියල හොයන්නම බෑ...බල බල ගානව විතරයි ඇහෙන්නෙ. ඕකගෙ හිටිය නෑනා කෙනෙක්.මූ ඔන්න ඒකිට විළුඹ මත සිරස තබා ලව්......

      ඕන්න මූ යනව නෑනගෙ ගෙදර

      " මේ පාරනම් මම කෙලින්ම කියනව මචං හැමදාම මේක හිතේ තියාගෙන ඉන්ට බැහැනෙව…"

      ඕං දවස් තුන හතරකට පස්සෙ මූ ආපහු එනව..මූණ කොරහක් වගෙ..

      " මොකෝ බං උනේ?...නෑන මොකද කිව්වෙ? " ...අපි අහනව.

      " මම ඔන්න එයාට කිව්වනෙ මගෙ හිතේ ඔයා ගැන අදහසක් තියනව..මොකද ඔයා කියන්නෙ කියල. "

      " ඉතිං ඉතිං කියාපංකො කෙල්ල මොකද කිව්වෙ? "'

      " ඒකි කිසි කතාවක් නැතුව ගෙට ගියා. රුපියල් දෙසීයක් ගෙනල්ල මගෙ අතේ තියල කිව්ව. කමක් නෑ අයිය මට හදිස්සියක් නෑ අයියට පුළුවන් දවසක ආපහු දෙන්න කියල "

      " ඉතිං උඹ මොකෝ කලේ? "

      " මම?....මම මක් කරන්නද?..රුපියල් දෙසීයත් අරගෙන ආව එන්ට…"

      Delete
    2. මගෙ මචං කාරයෙකුත් ඉන්නවා ඔයවගේ. වෙනම අවධානෙං අහගෙන හිටියෙ නැත්නම් තේරෙන්නෙ නෑ. වේගෙ වැඩියි.

      Delete
    3. විලුඹ මත සිරස තබා ලව්!!! යකෝ head over heals කිව්වට මට කවදාවත් ඔහොම චිත්තරූප මැවුනේ නෑනෙ. මේකනං මචෝ කියවනකොටම කොන්ද ඇදුම් දෙන්න ගත්තා. LOL! බි පෙ හි !

      Delete
    4. Falling head over heels in love is very romantic indeed but you have to a top class contortionist to do that :) :)

      See image no. 15 here, that’s what I call falling head over heels in Love…heh, heh,

      Delete
  3. අහසක විසුල අග මුල හැඳිනිය නොහැකී
    සයුරක වෙරළ දියඹේ ගැඹුරත නොදනී
    කවියක අරුත පිරිසිඳ දැනගනු රිසිවී
    එළියක නොදැක ඇඳුරේ අත ගා සොයතී

    සමහර විට විරහ දුක් විඳින කාන්තාවක් දැකලා, ඇයගේ දුක නිසාම තමන්ද දුකට පත්වෙලා, එයින්ම සෙනෙහසක් ඉපදිලා, නමුත් ඒ සෙනෙහසට ඉඩක් නැති බව දැනගෙන... ඇයගේ විරහව දුරු වෙන්න කියන ප්‍රාර්ථනාවක්ද? (අඳුරේ අතගාල හම්බවුනේ මේක තමා)

    ReplyDelete
    Replies
    1. අහසක ඉමක් සිතිජයෙ ඇඳුනා දුටිමී,
      සයුරක ගැඹර වසනා මසු හොඳින් දනී,
      කවියක ලියු විගස කවියා මිය යන්නී,
      අරුතද ඔබට රිසියුරු මා මලයන්ඩී.

      අඩේ අඳුරේ අතගාල උඹ හොයාගෙන තියෙන්නෙ එළකිරි අදහසක් නෙව. ඔන්න බලාපල්ලකො මට ඔහොම හිතුනෙම නැති හැටි අම්මාපල්ල...වහාම ක්‍රියාත්මක වන පරිදි එහෙම හිතල ලියන්ට ඕන Sequel එකක් .....හෙහ්, හෙහ්

      Delete
  4. දවසක පිපුණු සෙනෙහේ මල් මිලාන වී,
    අහසින් වැටුණු තරු එළියත් යයි බොඳ වී,
    කතරක ගමන අවසන දුක කෙලවර වී,
    සසරක ඉම දකින්නට පිං අයියණ්ඩී....

    ReplyDelete
    Replies
    1. සෙනෙහේ මල් පිපුනු, දවසක යයි මැලවී,
      අහසේ නොමැත තරු එලියක් වැසි බරවී,
      කතරේ ගමන දාහය සිත ගත දැවුණී,
      සසරේ ඉම දකිමි සැනසුම එපමණකී.

      Delete
    2. නොපිපුන මලක් මිලාන වී යා හැකිද
      එළියක් විහිදුනත් තරුවක් පවතීද
      කතරක අැරඔුමක් අවසන නොමවෙත්ද
      සසරක් නොමැති නම් එහි කෙලවර කොහිද

      Delete
    3. කැකුලක් ඉපිද මුකුලිත විය රහසේම,
      තරුවක් නොමැත එළියක් විය අහසේම,
      කතරක් ඇරඹෙනුයෙ කෙම්බිම ළඟදීම,
      සසරක් පුරා යමි ඉම දකිනා තෙක්ම.

      Delete
  5. ගොඩක් කාලෙකින් කියෙවුව ලස්සන කවි පෙලක්.. ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්...:) :)

      Delete
  6. අම්මපා ඊයේ මේක දැක්ක . එක පාරක් ස්කෑන් කළා ..ම්හු ..දෙපාරක් කියෙව්වා ..ම්හු .
    හෙම්බිරිස්සාවට නහය හිර වෙලා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ නොව . නහයෙන්ද බොල කවි කියවන්නේ කියල අහන්න එපා දැන් ..මේ වගේ සම්භාව්‍ය කය්යක් කියවන්න පන්චේන්දිරියම ඕන .

    ආයෙම ඇවිත් නිවාඩු පාඩුවේ කියෙව්වා . විරහ කවියක් කියාලම තමයි මගේ අදහස

    ReplyDelete
    Replies
    1. පිස්සුද බාං..මෙව්වගෙ කයි තේරුං ගන්ට පංචේංදිරියෙං බෑ..Sixth Sense කියන්නෙ ආන්න ඒක තියෙන්ට ඕන..... සවනේන්ද්‍රිය... සවනේන්ද්‍රිය…:) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...