Tuesday, November 5, 2013

228. කවිකාරියකගේ ප්‍රේමය…..16


" හරි විජිත..උඹට ඕන විදිහකට මට කතා කරපං... එක අතකට මට උඹ ඔහොම නෙවෙයි කතා කරන්ට ඕන..හරි එව්ව ඇරිච්චාවෙ...උඹට අහන්ට තියෙන එක අහපංකො ඉතිං " 

ඌ කතාකරපු විදිහ හරි නෑ කියල ඌටම හිතිලද කොහෙද විජිතය කතා කලේ බිම බලාගෙන.. 

" ඇයි උඹ මට මෙහෙම කලේ? " 

ඌ එහෙම අහපු විදිහට මගෙ පපුව හෝස් ගාල ගියා.මගෙ හැටියක් ඒක පොඩි කාලෙ ඉඳලම. දුක හිතෙන සීන් එකක් තියෙන ටෙලි ෆිල්ම් එකක් මට තාමත් බලන්ට බෑ ඇස් දෙකට කඳුලු එන්නෙ නැතුව. අපෙ ලොක්කි මගෙ ඔය මර්මස්තානෙ යස අගේට දන්නව. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන කියන ඕන දෙයක් මම කරනවයි කියල උන්දැ දැනගත්තෙ අපි යාලු උන අලුතම. එදා ඉඳල ඉතිං ආය කියන්ට ඕන නෑනෙ..කඳුළු අතේ අරං ඉන්නෙ... 

දන්නවද පොඩි දවස් වල මොන්ත ක්‍රිස්තෝහි සිටුවරයා පොත කියවන්ට මට තුන් හතර පාරකට වැඩිය ට්‍රයි කරලත් බැරිඋනාය කියල. එඩ්මන් දනතිස්ස තමන් අවුරුදු ගණනක් පණමෙන් ප්‍රේම කරපු පෙම්වතිය එක්ක විවාහවෙන්ට කලින් දවසෙ දින නියමයක් නැතුව ශතෝ දීප්ත බන්ධනාගාරයෙ නිරපරාදෙ හිරකරපු සීන් එක කියවනකොට මට ඇඬෙන්නෙ නිරායාසයෙන්. 

" ඇයි උඹ මට මෙහෙම කලේ? " විජිත බොහොම හෙමිහිට එහෙම ඇහුවම අපි හැමෝටම මොකවත් කියාගන්ට බැරුව ගියා. එකිනෙකාගෙ මූණු දිහා බලල ආයෙම බිම බලා ගත්ත අපි හැමෝම. 

බිම බලාගෙනම නළල දෙපැත්ත දෑතින්ම පිරිමදිමින් ටික වෙලාවක් උන්නු මම ඔලුව ඉස්සුවා. 


" විජිත ඉස්සෙල්ල කියාපං මල්ලි මට මේක..මම උඹට මොනව කලයි කියලද උඹ හිතාගෙන ඉන්නෙ? " 

විජිතය පුටුවෙන් නැඟිට්ටෙ වෙඩි කාපු ඌරෙක් වගේමද කියල කියන්ට නම් බෑ.මොකද මම එහෙම එකෙක් දැකල නැති නිසා..කොහොම හරි ඊට හුඟක්ම සමානව වෙන්න ඕන. වෙඩි කාපු ඌරො දැකපු කට්ටිය ඒ සීන් එක හිතේ මවා ගන්ට. දැකල නැති කට්ටිය විජිත නැඟිට්ට විදිහ හිතේ මවාගෙන වෙඩි කාපු ඌරොත් ඒ වගේය කියල හිතාගන්ට... 

" මේ උඹෙ බබා හුකුං තමයි ***** මට අල්ලන්නෙ නැත්තෙ...කෙලිං කතාකරපං එහාට මෙහාට වැනෙන්නෙ නැතුව " 

" මේ විජිත උඹට මම එක පාරක් කිව්වා…" විමලෙය නැඟිට්ටෙ වෙඩි කාපු කොටියෙක් වගෙ.. 

අපි ඔක්කොමත් ඒ එක්කම නැඟිට්ට..නැඟිට්ට නෙවෙයි ඇත්තටම නැඟිටුනා. 

එතකොටම ධර්මෙ කඩාගෙන ආව එතනට වෙඩි කාපු කවුද......හරි වෙඩි කාපු ගෝනෙක් වගෙ....මතකනෙ ධර්මෙය නේද?....විජිතයගෙ රූමා… 

" කොහෙද බං උඹ ගියෙ?...මම බත් ටිකක් බෙදාගෙන එන්ට කුස්සියට ගිය ටිකට? මේ සැමී ඇවිල්ල කියනකල් මම දන්නෙ නෑ උඹ මෙහෙ ආවයි කියල...හා..යමං යමං ගිහිල්ල කාල නිදාගනිං " 

ධර්මෙ විජිතගෙ අතින් අල්ලල ඇද්ද ඌව එක්ක යන්ට... 

" බත් නෙවෙයි මට දැං කන්න වෙලා තියෙන්නෙ වහ..උඹ පලයං...මට මෙතන තියනව ප්‍රශ්නයක් කතා කර ගන්න …" විජිත මා දිහාවෙ රවාගෙන කිව්ව... 

" මේ ..උඹ මගෙං කුණු හරුප අහගන්ට එපා හොඳද?...ප්‍රශ්න විසඳගනිං හෙට උදේට..යමං යන්ට කිව්වහම ..." ධර්මෙ බලෙම්ම විජිතයව ඇදගෙන ගියා… 

" අනේ සොරි බං " කුස්සියෙං එළියට බහිනකොට ධර්මෙ ආපහු හැරිල කිව්ව.. 

" හරි බං එව්ව ගණං ගන්ට එපා...අනික උඹ කියල මොනව කරන්ටද? " විමලෙ උගෙ පිටට හෙමිහිට තට්ටු කලා.. 

අපෙ වතුර ටැංකිය පිටිපස්සෙං විජිතලගෙ චමරියට තියනව වැට අයිනෙං කෙටිපාරක්. 

" ඒයි ධර්මෙ ඉඳහං…" මම කුස්සියෙ දොර ගාව ඉඳල කෑගැවුව..දවස් තුනක් නෑ..ඔය වැට අයිනෙ ඉඳල දාර පොලඟෙක් මරල තිබ්බ අපෙ ගෝලයො කට්ටිය. 

" සැමී මගෙ ඇඳ පල්ලෙහා ඇති රතු පාට ටෝච් එක ..අරං වරෙං විගහට…" 

ටෝච් එකත් අරගෙන මම ගියා උං දෙන්න ලඟට… 

" තෑන්ක්ස් වීරෙ…." ධර්මය ටෝච් එක අතට ගන්න ගමං කිව්ව. 

අපෙ වතුර ටැංකි වටේටම දෙකේ හතරෙ ලී හිටවල ඇස්බැස්ටස් තහඩු ගහල කවර් කරලයි තියෙන්නෙ. මොකද ඔය මර පෑවිල්ල කාලෙ දාඩිය ඉහිං කණිං දාගෙන ආහම ආය කෙලිම්ම අපි කවුරුත් ඔක්ස්ෆර්ඩ් බාත් එකක් තමයි දාන්නෙ. ඔය සීන් එක දන්න නිසා අපෙ ලොක්ක චමරි ඔක්කෝගෙම පිටිපස්සෙ වතුර ටැංකි වටේටම කවර් කරවල දැම්මෙව්ව. 

විජිතය හිටියෙ අන්න ඒ ඇස්බැස්ටස් තහඩුවකට හේත්තුවෙලා. මිනිහ ඔලුව උස්සල මා දිහා බැලුව. ඇස් දෙක රතු වෙලා ඇටි කුකුළෙක්ගෙ වගේ… 

" උඹට නම් හොඳක් වෙන්නෙ නෑ…" ඌ එහෙම කිව්ව බොහොම හෙමිහිට. 

" වර යංට..මෙන්න මෙහෙ...අනෙ අම්මපා... …." ධර්මෙ ඌව ඇදගෙන ගියා. 

ධර්මෙ අඩි පාර පුරහටයි වටේ පඳුරු අස්සටයි ගහන ටෝච් එළිය ඇරෙන්න වෙන කිසිම දෙයක් නොපෙනෙන ඇටපල් කළුවරේ මම එහෙමම ගල් වෙලා හිටියෙ කිසිම දෙයක් හිතාගන්ට බැරුව.හිටිහැටියෙ ඔළුව පිටිපස්සට වැරෙං පොළු පාරක් වැදුනම මනුස්සයෙකුට හැඟෙන්නෙ මෙහෙම වෙන්න ඇතිය කියල මට එක පාරටම හිතුන

විමලෙ පිටිපස්සෙං ඇවිල්ල මගෙ බඩ මැදිං අත්දෙක දාල මාව බදාගත්ත. ඌටත් ඇහෙන්ට ඇති විජිත කියාපු එක. ඒත් ඌ එක වචනයක් වත් කිව්වෙ නෑ. ඒ වගෙ වෙලාවක සහෝදරත්වයේ උණුසුමක, ළබැඳි හදවතක ලෙංගතුකමක අගය කියා නිම කරන්ට බෑ. දෑසට නැඟුනු කඳුලු අතරින් අහසෙ පායලා තිබ්බ තරු බොඳ වෙලා පෙනුන මම ඇස් පියාගෙනම උඩ බලල ටික වෙලාවකින් ඇස් ඇරියම. 

" යමං ඇතුළට මෙතන මේ හීතලේ ඉන්නෙ අහවල් දේකටද? " 

විමලෙ එහෙම කිව්වම තමයි මටත් තේරුණෙ තදටම පින්න වැටෙනව නේද කියල...මෙහෙම පාන්දර වෙන්ටත් කලින් පින්න වැටෙන්නෙ පැලෙන්ට පායන්ට... 

" සැමී කෑම බෙදිල්ල පැත්තක දාල ගිහිල්ල පීටරය ඉන්න තැනකින් හොයාගෙන අරං වරෙං ඕල්ඩ් එකක්…" 

විමලෙ කුස්සියට ගොඩ උනේම එහෙම කියාගෙන. අපේ කෑම්ප් එකේම අපිම කොටස්කාරයො වෙච්චි ක්ලබ් එකක් වගෙ එකක් තිබ්බය කියල මම මේ කතාව නමෝ විත්තියෙං පටං ගන්නකොටම කිව්වය කියල මතකද? අන්න ඒ ක්ලබ් එකේ භාරකරු තමයි පීටර්...... 

" මචං මගෙ මේස ලාච්චුවෙ ඇති පර්ස් එක…. ඒකෙං සල්ලි ගනිං " 

ඇඳි පුටුවක ඉඳගෙන මම ඔලුව ඇන්දට හේත්තු කරල වාරු වෙලා ඇස් දෙක පියාගත්ත.. 

" නෑ..මම සල්ලි දෙන්නං…." විමලෙ උගෙ කාමරේට ගියා. 

" මචං..මට සමාවෙයං මේ ඔක්කෝටම වැරදි කාරය මම..එදා මම උඹට අර ***** ට කවි ලියල දෙන්නෙයි කියල නොකිව්වනං මේ කිසිදෙයක් වෙන්නෙ නෑ. එහෙම හිතනකොටත් මට මචං මං ගැනම මහ තරහක් ඇති වෙන්නෙ..." 

විමලය මා ඉස්සරහ ඉඳගෙන මයෙ අත් දෙක අල්ලගත්ත. අම්මාපල්ල සාලෙ සිවිලිමේ එල්ලිලා පත්තු වෙච්චි ලෑම්ප් ෂේඩ් එකක්වත් නැති විදුලි බුබුලෙ එළියෙං මම දැක්ක උගෙ ඇස් වල කඳුළු දිළිසෙනව. මගෙ පපුවත් හිරවෙන්ට ආව ඒක දැකල. 

විමලෙය කියන්නෙ මහ රූස්ස වනස්පතියක් වගෙ ඕනම දෙයක් දරාගන්ට පුළුවං පුරුසයෙක්. අපි පොඩි එවුං, ජීවිතේ හැම දේකටම උපදෙස් අනුසාසනා ගන්නත් විමලෙයගෙං .ඉතිං එහෙව් ගහක් ගලක් වගෙ ඉන්න එකාගෙ ඇස්වල කඳුළු දැක්කම පපුව හිරනොවෙන්නෙ කාගෙද? 


" නෑ අයියෙ මේ ටික මේ වෙන්ට තිබ්බ විදිහ තමා. ඒකට අයියට කරන්ට දෙයක් නෑ...යමක් වෙන්ට තියනව නම් වළක්වන්ට ඉරිසින්නාන්සෙලටවත් බෑ කියල අයියම නේද අපිට කියල දීල තියෙන්නෙ.? " 

මම ඇහුව බොහොම අමාරුවෙං යන්තමට හිනා වෙන ගමං.. 

" හ්ම්ම්ම්...ඒකත් නම් එහෙම තමයි...ඒත් මගෙ හිත වාවන්නෙ නෑ බං උඹ මේ දහපදුරා කතා අහන්ට ඕන එකෙක් නෙවෙයිනෙ..ඒකයි මට දුක…" 

" හරි හරි අයියෙ ඔන්න ඔව්ව අල්ලල දාහං…" 

" මහත්තෙය..ඕල්ඩ් ඉවරයි මෙච්චරයි තියෙන්නෙ කියල පීටර් අයිය මේ වෙන මොනවද දුන්නා.." 

පත්තරේක ඔතපු බෝතලේකුත් අරගෙන සැමී ආව. 

" ඕන මඟුලක් බං ගනිං ගනිං මේ වෙලාවෙ ඕන එකක්.. " ජයේ නැඟිටල බෝතලේ අතට ගත්ත. 

" යකෝ දෙවරක් පෙරුම උන්නැහැ..වරෙල්ල වරෙල්ල අද ගහමු... "

" හරි බොමු හැබැයි එකක් තියනව..මේ මඟුල ගැන වචනයක්වත් කතා කරන්ට බෑ හොඳද? "

මම නැඟිටල ගුරුලේත්තුවෙං ප්ලාස්ටික් ජෝගුවට වතුර එකක් පුරවන ගමං කිව්ව.ඔය වෙලාවට අය කොහෙං ෂැන්ඩි හොයන්ටද? උ.නි.ජලය තමයි. 

එදා අපි තුන්දෙනා ගැහුව මදි නොකියන්ට. සිංදු කිව්ව ගේ දෙක වෙන්ට… 

" මේ අඩේ උඹෙ අර අසබ්බිය සිංදුව එහෙම කියන්ට එපා හොඳද? මතකනෙ? " ජයේ එහෙම කියල හක හක ගාල හිනා උනා. 

ඒ ඊට මාස හයකට වගෙ ඉස්සර වෙච්චි සීන් එකක්. එදා ටිකක් විතර වැඩිපුර පෙවුනයි කියමුකො. ඊට පස්සෙ ඔන්න අසබ්බිය සිංදු කීපෙකුත් කිව්වයි කියමුකො. මයෙ සද්දෙ තමයි හොඳටම බොහොම පැහැදිලිව ඇහිල තියෙන්නෙ...ලොක්ක මට පහුවදා ලියුමක් ගැහුව...නියම වැඩේ කියන්නෙ ඒ හෝතඹුව වචන ටික අහ ගත්තෙ මගෙම්මයි. මම දන්නවය ඔහොම එකක්. මමත් වැඩර් වගෙ කියල දුන්න...අන්තිමට ඌරගෙ මාලු කතාව වගෙ තමයි ඔන්න උනේ.. 

හරි ඒ කතාව මෙතන කියන්ට බෑ. මම පඳුරු තලනව වැඩිය... ඒ නිසා කතාවට හානි වෙනවය කියල මයෙ බෝම හිතේසිවන්ත මානවිකාවියක් මට පස් පඩංගුවෙ බයිනවනෙ.ඒ නිසා මේ අසබ්බිය සිංදු සීන් එක ආයෙ වෙනම ලියන්නං.. 

පහුවදා ආය නෑ ඔලුව මගෙ නෙවෙයි වගෙ...මාස තුනක ට්‍රේනිං එකට කොළඹ ගිහිල්ල ආවෙ දවස් දෙහෙකට ඉස්සෙල්ල නිසා හරියකට වැඩක් තාම සෙට් උනේ නෑ. ඒ නිසා උදේ ගිහිල්ල පොත අස්සං කරල ආපහු ඇවිල්ල ටිකක් නිදාගන්නංය කියල මම හිතාගෙන හිටියෙ..ඒත් කොහෙද? කරුමෙ කියන්නෙ...ඔහොම දවසට තමයි මොනවහරි මරාලයක් කඩා පාත් වෙන්නෙ.. 

හදිස්සියෙ අපෙ එකෙකුට ගෙදර යන්ට වෙලා..පොඩි එකාට සනීප නැද්ද හරි මොකක් හරි එකක්..මට උගෙ සයිට් එකට යන්ට උනා..මොකෝ ලොක්කට කියන්ටය..අනේ බොස් අද නම් බෑ..ඊයෙ ගැහුව නාගසලං වෙනකල් කියල..ඕ කේ බොස් කියල ගියා ඔලුවත් අතිං අල්ලගෙන...සයිට් එක මේ කිලෝ මීටර් හතර පහක් එහා අලුතෙං හදන වැවක හොරොව්ව සහ පිටවාන... ස්ලූස් ඇන්ඩ් ස්පිල් කුම් කෝස්වේ 

ස්පිල් කුම් කෝස්වේ කිව්වමත් ඔන්න තව කතාවක් මතක් වෙනව..ඒකත් පස්සට හොඳද? දන්නවනෙ අර මානවිකාව ..හප්පා....ඔලුවත් අල්ලගෙන ගිහිල්ල ජීප් එකෙං බැස්සට අප්පටසිරි මගෙ ඔලුව කැක්කුං කොහෙං ගියාද නෑ වාඩියෙං එළියට ආපු මනුස්සය දැක්කම. ලැම්බට් අයිය...මයි වෙරිම වෙරි ගුඩේම ගුඩ් ෆ්‍රෙන්ඩ්.. 

ලැම්බට් අයියට හැටක් වගෙ ඇති. ඒ වාඩියෙ සියලු වැඩ බලාගෙන හිටියෙ මිනිහ තමයි. එකවුන්ටන් කුම් චෙෆ් කුම් එන්ජිනියර් කුම් තවත් හැම දෙයක්ම කුම්. වාඩියෙ එවුං බීලා ගහගන්නකොට ඕ.අයි.සීත් කුම්...මිනිහගෙ ගම මැදවල..කටුගස්තොට කිට්ටුව. නුවර සම්බන්දෙ නිසයි මනුස්සය මාත් එක්ක තවත් ෆිට් උනේ. ලැම්බට් ගැන කතන්දර බොහොම තියනව. එව්ව පස්සට..දන්නවනෙ අර මානවිකාවි... 

" අප්පට සිරි මේ අපේ මහත්තෙය..දැක්කෙ නෑ සෑහෙන කාලෙකිං..මං ඒත් හිතුව වෙන කොහාට හරි මාරුවෙලා ගිහිංවත්දෝ කියල.." ලැම්බට්ගෙ මූණෙං එකයි හිනාව... 

" මොන මාරුද ලැම්බට් අයියෙ..අපි මේ කොළඹ පොඩි පුහුණුවකට ගියානෙ.." 

" ඒක නෙව... මම ඒත් හිතුව මාරුවෙලා ගියා උනත් මහත්තය මට නොකිය යන්නෙ නෑනෙ කියල.." ලැම්බට් කටපුරාම හිනාඋනා.. 

" මේ ලැම්බට් අයියෙ අද මයෙ තියනව පොඩි ඔලුවෙ කැක්කුමක්...පොඩ්ඩක් කොහෙ හරි හෙවණකට වෙල හිටියනං හරි..අද මොකද කරන්නෙ?..." 

" අද අර පල්ලෙහ බට ලයින් එකට සැටලිං ගහන්ට තමයි තියෙන්නෙ…." 

" යමංකො බලන්ට එහෙනං.." 

මම ලැම්බට් එක්කම වැව් බැම්ම පල්ලෙහා වැඩ කරන තැනට ගියා. රාජකාරිය කරල ඉන්ට එපාය ඉස්සරවෙලා මොක නැති උනත්.පණං හතරක් හරි හම්බ කර ගන්නෙ මේකෙං වෙච්චි.ෂටරිං එක ( ෂටරිං එක කියන්නෙ කොන්ක්‍රීට් දාන්ට කලියෙං ලෑලි හෝ ප්ලයිවුඩ් වලින් හදන පෙට්ටියට ) දිග පලල කාරිය බලල මම ආපහු වැව් බැම්මට ගොඩ උනා. 

අලුතෙං අපි මේ ප්‍රතිසංස්කරණය කරන්නෙ මෙතන රජ කාලෙ ඉඳන් තියන පුරාණ වැවක්.එතනම පල්ලෙහයිං සෙල් ලිපියකුත් තියනව. කැළණි විශ්ව විද්‍යාලෙ පුරාවිද්‍යාව කරන ළමයි වගයක් එක පාරක් ඕක පිටපත් කරගෙනත් ගියා.මම තමයි ඒ වැඩේ සම්බන්ධීකරණය කලේ.අපූරු ගෑණු ළමයි දෙතුන්දෙනෙකුත් හිටිය ඒ නඩේ....හෙහ්, හෙහ්, කිව්වම මොකද? 

පරණ වැව් බැම්ම දිගේ මීටර් දෙසීයක් වගෙ ගියාම වැව් බැම්ම වහගෙන හැදිච්චි මහ විසාල කුඹුක් ගහක් තියනව. ඒ යට අපූරු ගල් තලාවක්.....අනික ඒ හරියෙ වැවේ තාම වතුර තියනව. ඕළු මල් පිපිල තියෙන්නෙ එකකට එකක් හිප්පෙන ගාණට. 

" මේ ලැම්බට් අයියෙ. මම අර කුඹුක් ගහ යටට යනව.මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් මට කියන්ට ඇවිල්ල."
 
" හරි මහත්තය තැඹිලි වල්ලක් ඇති වාඩියෙ. මහත්තයට එකක් කපල ගේන්ටද? "
 
තැඹිලි? මේ කැළෑවෙ තැඹිලි හොයන එක ලේසි නෑ.. 

" කොහෙන්ද බං තැඹිලි.? "
 
" ඊයෙ මම කදුරුවෙල පොලෙන් ගෙනාව. " 

" අනේ ඕන නෑ බං ඔය තේ කහට එකක් තිබ්බම ඇති. "
 
" නෑ මහත්තය වල්ලෙ තැඹිලි හත අටක්ම තියනව. ඉන්ටකො මම ගේන්නං කපල " 

" එහෙනං අරං එන්නකො…" 

ඔච්චරම කියනවනං ආය මොකටද? අනික රෑ ටිකක් වැඩිවෙන්ට බිව්වම පහුවදා තැඹිලි ගෙඩියක් ගහන්ට ඇත්තං ආය නෑ නිවං ගියා වගෙ තමයි. 

කුඹුක් ගහ කලිං වගේම කොළ පාටට දිලිසුනා. ගල් තලාවත් එන්න එන්න මා මත සැතපෙන්න කියන්න වගෙ ආරාධනාත්මකව මා දිහා බලන් හිටිය. නිල් පාට වැව් දියේ සුදු පාටිං පිපිල යන්තමට හමන හුළඟට හෙලවුනේ ඕළු මල් යායක්. ගල්තලාවෙ ඉඳගෙන ඕළු මල් දිහාවෙ ටික වෙලාවක් බලා ඉඳල මම එහෙම්මම ඔලුව පිටිපස්සෙ බැඳගත්තු අත්දෙකට වාරුවෙලා ගල් තලාව උඩ දිග ඇදිල හාන්සි උනා. 

ඊයෙ රෑ වෙච්චි සිද්ධියෙන් පස්සෙ ඔන්න නිවී හැනහිල්ලෙ ඒ ගැන ආයෙම හිතන්ට මට අවස්තාවක් ආවෙ දැන්. ඒ සිද්ධ වෙච්චි දේවල් ගැන හිතනකොටත් මගෙ හිත වාවන්නෙ නැතුව යන්ට වගෙ වෙනව.මම මගෙ ජීවිත කාලෙට කිසි කෙනෙකුට හිතා මතා වරදක් කරපු මිනිහෙක් නෙවෙයි.මට පුළුවන් හැටියෙ උදව්වක් මිසක.
 
ඒත් එක්කම මේ සිද්ධියෙදි මගෙ අතේ කිසිම වරදක් නෑ කියල මට සහතිකයි. ඒත් අන්තිමට විජිත ඔක්කොම වැරැද්ද පටවන්නෙ මයෙ කර පිට.ඒ ඔක්කොමත් හරි අන්තිමට මනුස්සය උඹට නම් හොඳක් වෙන්නෙ නෑ කියලත් කිව්වනෙ.ඇයි දෙයියනේ මම මොනව කලාටද?
 
හෙමිහිට ඇහෙන්ට පටන් ගත්තු අඩි සද්දයක් ටිකින් ටික වැඩි උනා. ලැම්බට් අයිය තැඹිලි ගෙඩියත් අරගෙන එනව වෙන්ට ඇති කියල හිතල මම ඇස් දෙක ඇරියෙවත් නෑ. 

අඩි සද්දෙ මා ලඟටම ඇවිල්ල නැවතුනා. මම උඩ බලාගෙනම හෙමිහිට ඇස් ඇරියා, කුඹුක් ගහේ අතු අස්සෙං පාතට ආපු ඉරු රැස් දහරක් කෙලිම්ම මයෙ ඇහැට වැටිල මගෙ ඇහැ ආයෙම පියෙව්ව.
 
" අයියෙ……" 

කණ ළඟම ඇහුන ඒ කටහඬ ආයෙම මගෙ ඇස් අරවල ඔලුවත් ඒ පැත්තට හැරෙව්ව. 

මතු සම්බන්ධයි...... 

76 comments:

  1. අද මම එක..!! බොහොම රසවත් කියල ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ....:)

      Delete
  2. හයියෝ..... මෙයා තව දවසකට මේක ඇදලනෙ... පත්තර වලට කතා ලියන්න හොදයි දැං නං....

    ඔය බිව්වම එන ඔලුවෙ කැක්කුමට බේත් කරන්න හොඳ නෑ... විඳවලම ඉවර කරන්න ඕනෙ.. ඔන්න ඔහොමයි අපේ ආච්චම්ම කියන්නෙ... . හි හි...

    ReplyDelete
    Replies
    1. හිරු,

      අම්මට උඩු..එළ ආච්චම්මෙක්නෙ බං උඹටත් ඉන්නෙ...අරූස්ගෙ ආච්චිට දෙවෙනි නෑ වගේ..මෙවුන්දැත් හැනපියර් ද ගහන්නෙ බං?

      හෙහ්, හෙහ්, මට නිකං ඔන්න වර්චුවල් රියැලිටි ප්‍රොජෙක්ෂන් එහෙකිං වගෙ පේනව උඹලයෙ ආච්චම්ම සුට්ටං කොණ්ඩෙත් ලිහල දාල ඇඳං ඉන්න කබා කුරුත්තුව දකුණතිං එක පැත්තක් උස්සගෙන අනික් අතිං නවගුණ වැල කරකෝ කරකෝ උඹත් එක්ක හැප්පි හැප්පි දඟර නැටුමක් දානව…

      උසි උසි බයිල නෝන වැටේ මුරුංගා හා..හා..
      කෙක්ක නැතුව අතිං කඩන කතුරු මුරුංගා...හා..හා

      අම්මාපල්ල නිවාඩුවට වෙන වැඩක් කොරන්ට වෙන්නෙ නෑ වගෙ..ආච්චිල එක්ක බොන්ටම මගෙ කාලෙ හරියයි වගෙ පේන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
    2. ඒ ආච්චම්ම අවුරුදු 68න් මළා රවියො... මං බඳින්න කලින්... හිටියනං එහෙම මගේ මගුල දවසෙ ගිනිවිජ්ජුම්බරයක් වෙනව... ආච්චම්මයි මගේ නැන්දම්මයි එක වයසේ.... හම්මෝ... මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා... ඒ තරං වලි කෙක්ක.. ඉන්නකං අපේ අම්මත් එක්ක වලි.. පුතාලගේ ගෑණු, නැන්දම්මලා එක්ක වලි... හාපෝ.... ..

      එයා වැඩි හරියක් හිටියෙ ඩුබායිවල.. හැබැයි මගේ ආච්චිලා ඔක්කොගෙන්ම හැනපියර් හරි මොන පියර් හරි බිව්වනං බිව්වෙ උන්දැ වෙන්න ඕනෙ... මැරෙනකම්ම කොණ්ඩෙ තිබ්බ දිගට... කබා කුරුත්තු නැත.. සාරිය තමයි... අන්තිම කාලේ අසපු බණ අහන්න යන්න පටං අරන් බැනුං කෝටියක් විතර ඇහුව... ඔන්න එයාගේ බණ ඇහිල්ල... හි හි...

      Delete
  3. ඉතුරු ටික ඉක්මනට දාපන් අයියෙ.

    ReplyDelete
    Replies
    1. උබගෙ බ්ලොග් රොලෙ මාව මාව නැද්ද බන්

      Delete
    2. දමිත්,

      අඩේ..සොරි මල්ලි..ඔන්න දැම්ම ව.ක්‍රි.ප..මේ ඒක නෙවෙයි උඹ දන්නවද හය හතර කියන එකේ තේරුම?

      Delete
    3. වහරේ නම් හය නම් සදෙවුලෝක.හතර නම් සතර අපාය.මගෙ අදහස මෙ ඔක්කොම තියෙන්නෙ මෙ ලොකෙම තමයි කියල

      Delete
    4. අඩේ මම හිතාන උන්නෙ උඹ හය හතර කියල බ්ලොග් එකට නම දැම්මෙ උදේ හවස අහන්ට වෙන මේ දෝස්මුරේ හින්දය කියලයි....හෙහ්, හෙහ්,

      මේ ඕයි..මම මේ ක්ලේම් එක ගන්ට ආපු හයවෙනි වතාව. ඔන්න නොකිව්වයි කියන්ට එපා අද දවස ඇතුලත් මේ වැඩේ නොකෙරුනොත් තමුසෙගෙ හතර හන්දි ගලවලයි මම පස්ස බලන්නෙ....

      Delete
  4. ඔබ ලියන රටාව නං හරි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුර..:)

      Delete
  5. වෙඩිකාපු ඌර කතාව නම් නියමයි රවිය.
    අදත් හිනා වේවි කියෙව්ව.
    ෂුවර් එකටම වෙරි හිදිච්ච විජිතය වෙන්ඩ ඇති.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      ස්තූතියි..:)

      විජිතය වෙන්න ඇති? ඇයි යකෝ.... සුජා වෙන්න බැරිද?

      Delete
  6. වෙඩි කාපූ කොටි නම් දැකලා නෑ...

    ඒත් පොරෝ පාරක් කාපු කොටියෙක් නම් උස්සගෙන යනවා කාලෙකට කලින් දැක්කා..

    මට බැද්දෙගම ජෝගේ දෙබස් ටික මතක් උනා..

    ReplyDelete
    Replies
    1. Maathalan,

      " කුලා කියන්නෙ බොහොම අහිංසක සතෙක් ආරච්චිල..ඌ උගෙ පාඩුවෙ කැලේට වෙලා කකා හිටිය හීල් හෙවණෙ. වැදුන ඌට වෙඩි පාර..වෙඩි කාපු කුලා හරිම දරුණුයි ආරච්චිල..හරිම දරුණුයි..ඌ පැනපු ගමං දමල ඇන්න මෙන්න මෙහෙම... "

      Delete
    2. කොහොමද බං අකුරක් නෑර ඔහොම මතක තියාගෙන ඉන්නේ...

      Delete
    3. ඇයි මාතලන් දන්නේ නැද්ද අපේ රවිය කියන්නෙ පුස්තකාලයක්.

      Delete
  7. ඔන්න අදත් රස වින්දා. මෙගා කරන්න එපා හොඳේ.

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      ස්තූතියි, ස්තූතියි...නැතෝ..නැතෝ...මෙගා කරන්නෙ නැතෝ...දැම්මේ ඇතියෝ...:)

      Delete
  8. එඩ්මන්ඩ් දනතිස්ස ඉන්නෙ බං අයියෙ 'දෛව විපාකය' එකේ නේද? මොන්ත ක්‍රිස්තෝ පොතේ සිංහල අනුවර්තනය..

    ReplyDelete
    Replies
    1. බූරා,

      අඩේ..එහෙමද? උඹට ෂුවර්ද ?...මටනම් මතක මොන්තක්‍රිස්තෝහි සිටුවරයා වගෙ පොතේ නම..පරිවර්තනය නම් ඩේවිඩ් කරුණාරත්න මහත්මයා.

      චරිතවලට යොදපු සිංහල නම් හින්ද තමයි මම හිතන්නෙ මයෙ හිතට ඒ කතාව හොඳටම කාවැදුනෙ..තාම මතකයි...

      එඩ්මන් දාන්තේ = එඩ්මන් දනතිස්ස
      මර්සීදී = මදුමණී
      මැක්සිමිලියන් මොරල් = ලක්ෂ්මන් මොරලන්ද
      විලෆෝට් = විල්කොටුව
      දාන්ග්ලර් = දංගෙදර

      හෙහ්, තව මතකද යනීනාවේ පාෂා අලි ටිබිලන්...පාෂාගෙ දුව හෙයිදී...

      Delete
    2. නෑ, සංක්ෂිප්ත පරිවර්තනයෙ, ඒකෙ නම "දේව හස්තය" පිට කවරෙ තිබුනෙ "දෙව හසතය" කියල

      Delete
    3. ඇනෝ,

      අන්න හරි බොලේ..තෑන්ක්ස් බොහොමත්ම, දෙව හස්තය තමයි...දෙව හස්තය තමයි...යස් සංක්ෂිප්ත පරිවර්තනයක් තමයි ඩේවිඩ් කරුණාරත්න මහත්මය කලේ. පිටු තිබ්බෙ මයෙ හිතේ දෙසීයක් විතර. පස්සෙ 1988 විතර කේ.ජී. කරුණාතිලක මහත්මය කලා අසංක්ෂිප්ත පරිවර්තනයක් මොන්ත ක්‍රිස්තෝහි සිටුවරයා කියල පොත් තිබ්බ මම හිතන්නෙ පිටු 150 වගෙ එව්ව හයක්ද කොහෙද...

      Delete
    4. 1985 දි විතර මගේ මතකය නිවැරදි නම් කේ ජී කරුණාතිලක මහතා ඒ අසංක්ෂිප්ත පරිවර්තනය කලේ.මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් හයක් තිබුනා.ඒකෙ නියම ප්‍රංශ නම් භාවිත් කරලා තිබ්බා,එද්මොන් දාන්තේ කියල තමා තිබුනෙ.

      Delete
    5. හැලප්ස් කියපු පොත් සෙට් එකම මං ගාව තියෙනව... අර පුස්තකාල වල වගේ හාඩ් කවර් එක දාලා එහෙම.. ඒ තරං ආදරෙයි ඒ පොත් ටිකට... හි හි

      Delete
    6. දෙව හස්තය තමා.. මටත් වැරදිලා නෙවැ.. දෛව විපාකය කියන්නෙ එහෙනම් Last days of Pompei එකේ පරිවර්තනය වෙන්ටෝන.. මතක ඔක්කෝම පැටලිලා අප්පා.. තෑන්ක්ස් ඇනෝ!

      රවි අයියා,

      150 එවුවා හයක් නෙවෙයි බොලං, එක පොතක පිටු 300-350ක් විතර තිබුනා මට මතක හැටියට.. ඔය කේ. ජී. කරුනාතිලක මහත්තයා විශ්ව සාහිත්‍යය රටට බෙදන කාලෙ.. පස්සෙන් පහු කාලෙ උන්දැ ඒවා එපා වෙලාද නැත්තං මාකට් එක බලලද මන්දා කොනැන් වගේ චා පොත් පරිවර්තනය කරන්ට ගත්තා..

      Delete
    7. බුරා, ඒක දේවතාපයනේ බං. මනුතාපය තමයි අනිත් තාපය. ඒක Les Misarable. අනික විලයනයේ ගුප්තතාපය: ඒක තිබ්බේ අපේ ‍ෆිසික්ස් පොතේ. :D

      Delete
    8. හුටා ඔවුම නේන්නං බං.. එතකොට කොහෙන්ද මගෙ ඔළුවට මේ දෛව විපාකයක් ආවෙ.!?

      Delete
    9. බූරාස්,

      මල්ලි දෛව විපාකය කියල පොතක් නම් මතක නැත. පිච්චර් එකක් නම් තිබ්බ බොහොම අනාදිමත් කාලෙ... ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයගෙ ( එතුමා නම ලිව්වෙ ඩබ්ල්යු කියලයි ) දෛවයෝගය නම් පොත සහ ෆිල්ම් එක දෙකම තිබ්බ. ශීලා, මහානාද, ලංකා සහ මානමූල එහෙම හිටියෙ මතකද?

      ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ පරිවර්තනයෙ නම දේවතාපය.... පරිවර්තක ඇවිල්ල අයි. එම්. ආර්. ඒ ඊරිය්ගොල්ල මහතා. ආබසේස, ග්ලව්කුස සහ දයෝමේද සහ ඔලින්තුස චරිත එන්නෙ දේවතාපයෙ…

      ඊරියගොල්ල මහත්මයත් ඔය චරිත වල නම් අපේ කටට හුරු විදිහට අනුවර්තනය කරපු පරිවර්තකයෙක්. එහෙම කරන එක සාධාරණද නැද්ද කියන එක පැත්තක තිබ්බාවෙ, ඒත් එහෙම කරන එකෙන් කතාව මතක හිටිනව සහ ඒ වගේම පොත් කියවන්ට ආසාවක් නම් ඇති වෙනව සහතිකයි. ඇට් ලීස්ට් මට නම් එහෙම උනා.මනුතාපයෙ හිටිය ජනවර්ජන, ඉන්ස්පෙක්ටර් ජන්තු, කිසා සහ පැන්තිනා...

      ඒයි මේ...තෙල්මා කියල පොතක් මතකද? ඒකත් ඔය මොන්ත ක්‍රිස්තෝ වගෙ පළිගැනීමක කතාවක්..වංශාධිපතියෙක් හදිසි රෝගයකින් සිහි මූර්ඡා වෙනව. මනුස්සය මලාය කියල හිතල පවුලෙ කට්ටිය මිනිහව පොළව යට තියෙන මෘතශරීරාගාරයක ( Mausoleum ) තැන්පත් කරනව.

      වරුවකට විතර පස්සෙ මෙන්න මිනිහට සිහිය එනව..බොහොම අමාරුවෙන් පොඩි සිදුරකින් රිංගල මනුස්සය එලියට ඇවිල්ල යනව මන්දිරයට අනේ මගෙ දේවිය මොන තරම් සන්තෝස වෙයිද මාව දැක්කම කියල හිත හිත..

      අප්පට සිරි..... මෙන්න සිටුදේවිය ඉන්නව මිනිහගෙ අඹ යාලුව එක්ක ආලිංගනයෙ යෙදිල බොහොම සොමිබරව...මිනිහ ඒ දෙන්නගෙන් පලි ගන්න විදිහ තමයි පොතේ තිබ්බෙ. පරිවර්තක මට මතක විදිහට ඩී. සී. රණතුංග වගෙ නමක් වෙන්න ඕන.

      Delete
    10. රවී,
      තෙල්මා පොතේ තියෙන්නෙ ආදර කතාවක් නේද නොර්වේ වල කොටස් දෙකයි.
      ඇයි රවී මතකද මැකියාවෙලිගේ the prince,මේ දිය පාර මෙතනින් ගලනකල් මගේ සෙනෙහස වෙනස් වෙන්නෙ නෑ කියපු ගෑනි මිනිහා මල දාට පහුවදා උදේ පාන්දර කරුවලේ වතුර පාර වෙන පැත්තකට හරවන්න හදන්නෙ.

      Delete
    11. අම්මෝ...කට්ටිය ඉඳගෙන පච ගහන හැටි. මේ තියෙන්නේ අපේ අම්මා ලඟ තියෙන පොත්...:)

      Marie Corelli “Vendetta! Or, The Story of One Forgotten “& “Thelma”
      මේ පොත් දෙකක්. එක කතාවක් නෙමේ.

      Delete
    12. රවි,

      ඒ තෙල්මා නෙවෙයි බං.. සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ 'දෙයියෝ සාක්කි' කියලා.. පරිවර්තනය ඩී සී රණසිංහ තමා..

      තෙල්මා බොහොම ලස්සන කතාවක්නෙ.. යාළුවො දෙන්නෙක් නෝර්වේ යනවා සංචාරයකට. එතනදි තමා තෙල්මා මුණගැහෙන්නෙ.. එයාගෙ තාත්තා රජෙක්ද කොහෙද.. යාළුවො දෙන්නම තෙල්මට ආදරේ කරනවා.. ඒත් එක්කෙනෙක් එයාගෙ ආදරේ හිතේ හංගගෙන අනිකට උදවු කරනවා තෙල්මව යාළුකරගන්න.. අන්තිමේදී එයා බඳින්නෙ අර දෙන්නගෙ දුවව.. දුවගෙ නමත් තෙල්මාම තමයි.. එයා අන්තිමට කියන්නෙ "මට හැමදාමත් ඕන වුනේ තෙල්මා තමා" කියලා..

      Delete
    13. අන්න හරි.. Vendetta තමා දෙයියෝ සාක්කි කියලා සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ.. මම ඔය පොත ගත්තෙ තෙල්මා කියවලා තිබුන නිසා මේකත් ඒ වගේම රසවත් වෙන්ටැති කියලයි.. අයියෝ බාගයක් කියවගෙන යනකොට මට එපාවුනා.. මොන්ත ක්‍රිස්ටෝම තමා.. :(

      Delete
    14. හැලප්ස්,

      ඒ මචං වෙන කතාවක්.. මාරි කොරලි ලියාපු එකක්..ඒකෙ පොත් තුනක්ද කොහෙද තියනව..මට මතක විදිහට මම මේ කියන එකෙත් නම තෙල්මා තමයි....

      Delete
    15. පොඩ්ඩි,

      අඩේ මේ උඩ කමෙන්ට් එක දානකොට ඔහෙගෙ කමෙන්ට් එක යාවත්කාලීන වෙලා තිබ්බෙ නෑ..තෑන්ක්ස් හොඳද?

      Delete
    16. බූර්ස්,

      හරි මලේ..දෙයියෝ සාක්කි තමයි නම :)

      මතකය බොහොම අවුල්...පුදුමයක්ය ..කීයක් නම් කියල මතක තියාගන්ටද මේ සුට්ටං මොලේ ඇතුලෙ...

      Delete
    17. ඕක සුට්ටං මොළයක්ද... මං හිතුව මහදැනමුත්තගෙ වගේ ඇති කියල... හි හි.... රවීගේ මොළේට වෙලා තියෙන්නෙ පත්තරකාරයන්ට වෙන දේ තමා... ආරළු බූරළු වැඩි වෙලා ඔක්කොම අඤ්ඤකොරොස් වෙල... හි හි

      කියන්න ආවේ අර දෛවයෝගය පොතත් මං ගාව තිබ්බ... ඉස්සරහයි පස්සෙයි ගැලවිල තිබ්බ නිසා පොතේ නම දැනගෙන හිටියේ නෑ... හැබැයි ඒකෙ අර ලේන්නු දෙන්න හින්ද පස්සෙ හොයාගත්ත නම... හි හි .. ලේන්නු කිව්වේ මහ ලේනයි උපලේනයි....

      Delete
    18. තෙල්මා කියන්නේ නොර්වේ වල කතාවක් තමා ..මට හොඳට මතකයි...අනික්වයින් මනුතාපය තමා හොඳට මතක . අලුත් ෆිල්ම් එක බැලුව ..ඒ වුනත් මනුතාපයේ නම් තමයි මතක හිටින්නේ

      Delete
    19. දෛව විපාකය චිත්‍රපටියේ නේද "සරා ගොයියා හරි මිනිහා" ගීතය තියෙන්නේ. මේබල් බ්ලයිත්, එඩී ජයමාන්න හිටියේ මයේ හිතේ.

      Delete
    20. සරා ගොය්ය තිබුනේ රෑන ගිරව් එකේ නෙමේද

      Delete
    21. බින්දි......මම දන්න තරමින් දෛව විපාකය......මේ සින්දුව සිංහල සිනමාවේ දිගම සිංදුව කියලත් කියනවා විනාඩි 8-9ක් ලු. මේබල් බ්ලයිත් නම් වයසට ගිහිල්ලා මැරුනා. බෙහෙත් හේත් පවා ගන්න මුදල් අමාරුකම් තිබුනාලු.

      Delete
    22. බින්දීස්,

      මම කියන්නද බොට පැටලුන තැන?...රෑන ගිරව් එකේ තිබ්බෙ සරා ගොයිය නෙවෙයි දිසා තරුණයා හිතුවා කරගන්නට බාරිය..කරගන්නට බාරිය....අන්න ඒ සිංදුව...සරා ගොයියයි දිසා තරුණයයි මාරු වෙලා වගෙ ඔහෙට...හෙහ්, හෙහ්,

      Delete
  9. මං හිතන්නෙ තව කොටස් දෙකම දෙකයි වෙන්න ඇති ;)

    ReplyDelete
    Replies
    1. දිමුතු,

      ආන්න ආන්න උඹත් පටන්ගත්තද ඒ පාර? Et tu Dimuthu?

      Delete
  10. Asai aiye matath ehema wawak gawa kubuk hewanaka athal 1 alert 1k dagena inna......aiya kiyala thiyena widiyata 1 athal 1 mavila penawa...........

    ReplyDelete
    Replies
    1. Sacheera,

      හෙහ්, හෙහ්, බොට එහෙම හිතුනය?....ඒ ආතල් එක ගන්ට බෑ බොලේ වෙන මොහොකිංවත්....:)

      Delete
  11. මට ඉංග්‍රීසි භාෂාවේ තියෙන කැතම වචන වලින් එකක් තමයි කුම්. තව තියෙනවා කරික්‍යුලම්... ආයේ මතක් වුනාම කියන්නම්.

    ෂික් බං. මේ විජිතයා උඹට පිහියෙන්වත් ඇනලා මේක ඉවරයක් වෙන්නේ නැති හැටි!

    හිතවත් විජිත,

    උඹ මාව හඳුනන්නේ නැති බව ඇත්ත. නමුත් මේ සිද්ධිය දිහා බලා හිටපු ප්‍රේක්ෂකයෙක් හැටියට මම උඹව හොඳාකාරව හඳුනනවා. උඹට වුනේ පට්ට අසාධාරණයක්. මම උඹට කියන්නම රවියාව බාවන විදි කීපයක්.

    මූත් එක්ක යාලුවෙලා මුට බයිට් එකට ඇංකර් චීස් කවාපං.
    මුගේ තේ එකට හොරෙං ඇංකර් කිරිපිටි මිශ්‍ර කරපං.
    රජරට හාල් වලින් බතක් උයලා දීපං.
    මූට රජරට ඇලකින් වතුර අරං ප්ලේන්ටී හදලා දීපං.
    මූට කොළඹ හෝටලේකින් අසූචි මිශ්‍ර වතුරෙන් හදපු කෑම පාර්සලයක් ගෙනත් දීපං ඊකොලයි විශවෙලා මැරෙන්න
    මුගේ වයිෆ්ට මේ බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක යවාපං.
    මුගේ ටූත් බ්‍රෂ් එකෙන් ටොයිලට් එක මැදලා එහෙමම අරං තියාපං.
    ලියැද්දකින් වතුර අරගෙන මුගේ ටූත් පේස්ට් ටියුබ් එකට එන්නත් කරපං මී උණ හැදිලා මැරෙන්න.
    ඉස්පිරිතාලෙක කාණුවකින්, නැතිනම් පොලිසියක කාණුවකින් මදුරු කීටයෝ ටිකක් ගෙනිහින් මුගේ වත්තේ කෙසෙල් පිති අස්සට දාලා පරිසර පොලිසියට ටිප් එක දීපං.

    මේ ටික කරලා බලලා ප්‍රතිඵල නැතිනම් මට පෝස්කාඩ් එකක් දාහං.

    අනිත් කට්ටිය තව ඔප්ෂන් දේවි.

    ReplyDelete
    Replies
    1. ප. ලි
      මචං විජිත: ඔය ලිස්ට් එකමත් හරි. මුගේ වයිෆ්ට මේ බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක යවන එකත් හරි. මූව වහාම හැරෙන තැපෑලෙන් ගෙන්නගෙන මුගේ කර අඹයි ඒ ලොක්කි.
      කරනවනම් අන්න වැඩේ.

      රවී, හිතවත් රවී.

      cum
      curriculum
      paraphernalia
      calamity
      .....and counting...


      Delete
    2. හිතවත් විජිත,

      ඔය ඔක්කොටම වඩා ලේසියි ඔය 'සුජාතා' කියන නැට්ටිච්චි රවියගේ කරේ එල්ලුවා නම්. සිම්පල් වැඩේ. දෙන්නට තව කවි කියාගන්ට ඇරලා ඔයා මාරුවෙන්ට මෙයා...:D

      මේ හැමදාම හැමෝටම උදව් කරන පොඩ්ඩි.

      Delete
    3. Henry,

      / මට ඉංග්‍රීසි භාෂාවේ තියෙන කැතම වචන වලින් එකක් තමයි කුම්. /

      ඇයි බං එහෙම අසාදාරන කතා කියන්නෙ? Cum කියන වචනෙ අනික් තේරුම ගැන ටිකක් හිතල බලාපං ඒ වගෙ ආතල් වචනයක් ආය තියනවද කියල :)

      Delete
    4. Poddi,

      පිස්සුද බං? විජිතය ඔව්ව අහන්නෙ නෑ.අතාරින්න නෙවෙයි අල්ලල බදා ගන්නයි ඌට ඕන...හෙහ්, හෙහ්,

      මිට මොළවාගත් සුරතෙහි ඇඟිලි දිගහරින්න.
      ඉහිල්වූ අතැඟිලි අතරින් මඳ සුළඟ හමා යනු අත්විඳින්න.
      කිසිවක් දැඩිව ග්‍රහණය කොටගෙන සිටීමට වඩා ඒ අත හැරීම කෙතරම් සහනයක්දැයි ඔබට නිරායාසයෙන් වැටහෙනු ඇත.

      Spread you fingers &............................... Let go,
      Feel how much relaxing to,..................... Let go,
      The only way to keep something is .........Letting Go,
      True happiness comes from ...................Letting Go,

      "Sometimes you have to let someone go to see if there is anything worth holding on to."

      "A sad thing in life is when you meet someone who means a lot to you, only to find out that it wasn't meant to be and you just have to let go.."

      "Giving up does not mean you are weak it only means that you are strong enough to let go!"

      Delete
    5. අන්න බලාපං. මම කිව්වේ ලැටින් cum.

      Delete
    6. Henry,

      Latin cum eh? you lucky bastard..heh, heh...I have never seen foreign cum :( :(

      Delete
    7. ෆොරින් ලෝකල් වෙනසක් නැහැ බං cum......cum ම තමයි. හැබැයි ඉතින්....නැහැ ඕන නැහැ.

      Delete
  12. සුජා වෙන්න ඇති අය්යේ කියාගෙන ආවේ..මෝහිනිද දන්නෙත් දන්නෙත් නැහැ

    ReplyDelete
    Replies
    1. නෑ බින්දි විජිතම තමා,සුජා ඔහොම අයියෙ කියන්නෙ නෑ.

      Delete
    2. හැලප මෙතනට ආපු එක හොඳා ..ඊයේ අපේ ගෙදර එක්කෙනා කියනව ..නිදහස් සිතුවිලි මාරයි නේ..නියමෙට ලියනවා .

      මන් කිව්වා ඔය ඉතින් තුන්කාලක් විතර බොරු වෙන්ට ඇති කියල .කෝ කොහෙද මේවා බොරු කියල තියෙන්නේ ..

      අම්මපා පාටකයෝ මුලා වෙන තරමක් ..ඔන්න ඒ පාර අහනව

      .''අර එතකොට ගුරුවරියක් බැඳලා ඉන්නේ මෙයා නෙමේ හැලප නේද ...''

      Delete
    3. Bindi,

      / ඊයේ අපේ ගෙදර එක්කෙනා කියනව ..නිදහස් සිතුවිලි මාරයි නේ..නියමෙට ලියනවා . /

      ආන්න රටේ ලෝකෙ කාරණා කාරණා දන්න බොහෝ ඇසූ පිරූ තැන් ඇති විචක්සන සහ බුද්ධිමත් මහා ප්‍රාග්නයෙක් ( අද යුනිකෝඩ් කචල් , ප්‍රාඥයෙක් කියල ගැහුවම වදින්නෙ මෙහෙම ) ආස්සරේ කොරන්ට වටිනා කියන මනුස්සයෙක්...මගෙ තියනව ප්‍රිය සමාගමෙහි යෙදිය යුතුයයි මම උදක්ම අපේක්සා කරන කස්ටියගෙ ලිස්ට් එකක්.රායිට් එතුමාගෙ නමත් දාගත්ත කියාපං ඒ ලිස්ට් එකට...

      අනික අම්මාපල්ල මම මේ හොඳට නෝට් කරල තියන කාරණයක්...ඔය වගෙ බුද්ධිමත් මහා පුරුසයින් ඉන්නව නේද ....ජීවිතේ එක අදූරදර්සී, අග්නාන ( අඥාණ වෙන්න ඕන ) තීරණයක් ගන්නවම තමයි...හෙහ්, හෙහ්..වෙනම කියන්ට ඕන නෑනෙ...ඔය ළමයට හිතාගත්තෑකිනෙ මම මේ කියන්නෙ මොක ගැනද කියල..ඉතිං මක්කා කොරන්නෙයි..මෙහෙමත් කියල තියනවනෙ. නැද්ද?

      Everyone is entitled to a moment of sheer madness when irrational absurd and illogical thinking becomes the norm .

      / මන් කිව්වා ඔය ඉතින් තුන්කාලක් විතර බොරු වෙන්ට ඇති කියල /

      කතාව ඇත්ත..මම මේ ලියන්නෙ ඇත්තම නෙවෙයි...අඩේ ඇත්ත එහෙම්මම ලිව්වොත් බොලා එකෙක්වත් විස්වාස කරන එකක් නෑ..

      උදේම පත්තරේ බලපු ඇමති තුමාට යකු නැග්ග. ගත්ත කෝල් එකක් පත්තරේ කත්තුරුට..

      " මොනවද අයිසෙ මේ තමුසෙලා මං ගැන ලියන බොරු? ඇයි මෙහෙම කැත වැඩ කරන්නෙ? "

      " හරි ඇමතිතුමා ..අපි ඔබතුමා ගැන ඇත්ත ලිව්වොත් මොකද වෙන්නෙ? "'

      " ම්ම්ම්..ඒකත් හරි තමයි…" ඇමතිතුමා ටෙලිෆෝන් එක තිබ්බ.

      / .''අර එතකොට ගුරුවරියක් බැඳලා ඉන්නේ මෙයා නෙමේ හැලප නේද ...'' /

      හෙහ්, එතුමාට ඔක්කොම පැටලිල අච්චාරු වෙලා සම්බල් වෙලා ගිහිල්ල වගෙ..පුදුමයක්ය දෙයියනේ...හැලපෙ එහෙං පඳුරු තලනව උඩ දාගෙන හනුම දර පලන්නැහෙ...මම මෙහෙං..ඕනම පුරුතග්ජනයෙක්ට මෙව්ව එහෙ මෙහෙ වෙල පැටලිල දහ විහිලි වෙලා යන එක අහන්ට දෙයක්ද?

      ගෙදර ඉන්දැද්දි ඔය ටැලිපිල්ම් බලලම මගෙත් ඔහොම ඔලුව නරක්වෙල තිබ්බෙ. අපෙ ලොක්කි බලනව අර වාහිනියෙයි මේ වාහිනියෙයි, සිරසෙයි බිරසෙයි යන කඳුලු කතා ගෝනියම. ඉතිං මටත් ඉබේම බැලෙනව...

      " ඒයි මේ…. මේකාව දීයා කන්ට එපාය..අර ඔෆිස් එකේ එක කෙල්ලක් සෙට් වෙලා ඉන්දැද්දි නේද මූ මේ බෝඩිමේ ඇන්ටිටත් ලයින් දාන්නෙ? "

      " ඈ??? පිස්සුද හැබැහැටම?...එහෙම එකක් කොහෙද තියෙන්නෙ? මේ කොල්ලට රස්සාවක් නෑනෙ තාම..ඉතිං කොහෙද ඔෆිස් එකක්? "

      " ආ..හරි හරි මට පැටලුනානෙ. එහෙම කොල්ලෙක් ඉන්නෙ අර කොයි වෙලෙත් සෝට් එකක් ගහගෙන බලු පැටියෙක් අතේ තියාගෙන ඉන්න කොන්ඩෙ දිග කෙල්ල ඉන්න කතාවෙ නේද? මොකක්ද මේ නම?...පුරන් වූ කුඹුර මඩ කල සෙනෙහසක්... හරි ඒක තමයි.

      " නෑ අනේ ..ඒ සීන් එක තියෙන්නෙ පතෝල මැස්ස යට ඔබත් මමත් කතාවෙනෙ.."

      Delete
    4. සොරි බින්දී මටත් යමක් ලියන්න තියෙනව තමයි,ඒ වුනාට හිනාවෙලා ඉල රිදෙනව රවියගෙ කතාවලට.

      Delete
    5. එක වගේ ප්‍රාඥයෝ දෙන්නෙක් එක ගෙදර හිටියොත් මලා තමයි.
      ලිස්ට් එක කියන්නේ මෙයා අහනවා රවියා ඉන්නේ කොහෙද ..අපිට බැරිද හම්බ වෙන්න කියල ..අපි නම් ලිස්ට් එකට දාගෙන ඉන්නේ ..කවදා හරි ගහට ගහක් මුණ ගැහෙන්න ඕනනේ ..නැද්ද ..

      පුරන් වූ කුඹුර මඩ කල සෙනෙහස

      පතෝල මැස්ස යට ඔබත් මමත්

      හිනා වෙනවයි කියල මෙහෙමත් හිනා වෙන්න පුලුවන්ද හැබෑට

      Delete
    6. අය්යෝ හැලප මෙයාගේ පෝස්ට් එකට වඩා මේ කමෙන්ට් වලට හිනා වෙලා අපි කවද හරි මැරෙන්නේ

      Delete
    7. මේවා තනියෙන් කියෝන හින්ද හොඳයි... වෙන කෙනෙක් එහෙම ඉන්න තැනක කියෙව්වනං පිස්සු කියලා එලෝනවා .... උන් මොනිටරේ දිහා බලාගෙන හිනාවෙන්නෙ වීඩියෝ බලලා... මේවා කියවන්නේ අපි වගේ පොත් කාවො සෙට් එකක් විතරනෙ... හි හි...

      Delete
  13. මට නම් පොත් ගැන කතුවරු ගැන මතකයක් නැහැ ,,, මනුතාපය , එමා බොවාරි කීප සැරයක් කියෝපු නිසා මතකයි ,, ඇනා කැරනිනා නම් තාමත් තේරුම් ගන්න බැහැ ඉදගෙන ,,

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඔයාගේ ලියවිල්ලට ආසයි දිගටම රසවත්ව ලියන්න

      Delete
    2. අපූර්වී,

      / ඇනා කැරනිනා නම් තාමත් තේරුම් ගන්න බැහැ ඉදගෙන ,, /

      ඉතිං බං එහෙනං හිටගෙන, නැත්තං ඇඳේ ඇලවෙලා කියවහංකො..ඉවරයිනෙ වැඩේ..:)

      ස්තූතියි අපූර්වී...:)

      Delete
    3. හි හි හලි හලි

      Delete
  14. දැන් බලන්නට රවී තුමා..අර මානවිකාවට පින්සිද්ද වෙන්න කතාවෙන් 2-3%ක් ඉස්සරහට ගියා..නැත්තං ඉතිං අදත් නවතින්නේ විජිත බෝඩිමෙන් එලියට යන තැනින් තමයි..
    ඒ මානවිකාව හොයලා තෑග්ගක් දෙන්න වටිනවා අප්පා..


    කොහොම වුනත් අර උඩ කොමෙන්ටුවේ බින්දි කියලා තියනවා වගේ මේකේ 75%ක් විතර ආරළු බූරළු ඇරලා ගත්තාම විජිත කෑ ගහපු එක අසාධාරණ නෑ කියලත් හිතෙනවා..ඒත් ඉතින් අර වෙරි හිඳෙනකං කුඹුක් ගහ අයිනේ ඉන්නැද්දි වෙච්ච සීන් එක කියෝලම තව ටිකක් හිතලා බලන්නංකෝ..

    බලාගෙන යනකොට පාඨකයෝ ගොඩ දෙනෙක් ඉන්නේ විජිතගේ පැත්තෙ වගේ..!

    ReplyDelete
    Replies
    1. රූ,

      / ඒ මානවිකාව හොයලා තෑග්ගක් දෙන්න වටිනවා අප්පා.. /

      දැනට මට දීහං තෑග්ග..මම දෙඤ්ඤං ඒ මානවිකාවට හම්බ වෙච්චි ගමං...

      අර සෙකටරිගෙ කතාව අහල ඇතිනෙ නේද?

      බොස්ගෙ චුට්ටි දුව කතා කලා දවසක් ඔෆිස් එකට...සෙකටරීස් ගත්තෙ පොහොන් එක…

      " සර් දුව කතා කරන්නෙ.."

      " මම ලොකු වැඩක්….පස්සෙ කතා කරන්නං කියල කියන්න.."

      " ආ..මේ දුවට තාත්තිට කිස් එකක් දෙන්න ඕනලු ෆෝන් එකෙන්….."

      " ආ..දැනට ඔයා ඒක ඉල්ලල තියාගන්න . පස්සෙ මට ඔයාගෙන් ගන්න බැරිය…"

      / බලාගෙන යනකොට පාඨකයෝ ගොඩ දෙනෙක් ඉන්නේ විජිතගේ පැත්තෙ වගේ..! /

      ඒකනෙ බං කාල ඉන්ට බැරි..මේ මංගල්ලෙ හින්ද මම එදත් බැණුම්ම තමයි ඇහුවෙ..අදත් එහෙමයි...තාමත් බැණුම්ම තමයි...කියන්නේ කාටද?..මට හිතෙන්නෙ ඔය වනිතාවියන්ගෙ තියනව විජිත වගෙ අයට මේ..නිකං ලෙංගතුකමක්….අනුකම්පාවක් වගෙ එකක්...

      නස්රුදින්ගෙ මේ කතාව අහල තියනවද? දවසක් නස්රුදින්ගෙ මුදල් පසුම්බියට පැහැර ගත්ත හොරෙක්. නසාත් වැඩේ අත ඇරියෙ නෑ..හුරේ රන් එකක් දීල හොරාව අල්ල ගත්ත කොහොම හරි..හොරා එච්චර උස මහත මනුස්සයෙක් නෙවෙයි. ඒත් මිනිහ යකෙක් වගෙ දැඟලුව බේරිල යන්න.

      සෑහෙන වෙලාවක් පොර බදල අන්තිමට නස්රුදින් කොහොම හරි මිනිහව බිම දාල යටත් කර ගත්ත. එතනිං යන්ට ආපු මහලු කාන්තාවක් මේක දැක්ක.

      " ඒයි මනුස්සයො මොන අසාධාරණයක් ද මේ කරන්නෙ? ඔය මනුස්සයටත් නැඟිටින්ඩ දීල සාධාරණ සටනක් කරනවකො.."

      නස්රුදින් මහළු කාන්තාවට කිව්ව මෙහෙම.

      " නෝනා ….. මේ තකක්ඩිය බිම දාගන්ට මම දඟලපු දැඟලිල්ල දැක්කනං නෝනා ඔහොම කියන්නෙ නෑ.."

      Delete
    2. @රවි,
      /ඒකනෙ බං කාල ඉන්ට බැරි..මේ මංගල්ලෙ හින්ද මම එදත් බැණුම්ම තමයි ඇහුවෙ..අදත් එහෙමයි...තාමත් බැණුම්ම තමයි...කියන්නේ කාටද?/

      ඔය එක එක්කෙනා කියන දේවල් අහන්න එපා රවී...නැත්තං ඔයාටත් වෙන්නේ අර තාත්තයි පුතයි එක්ක පොලේ ගිය බූරුවට වෙච්ච වැඩේ තමයි..

      ඒක නිසා සුපුරුදු විදිහට අපෙන් බැණුං අහ අහා පඳුරු තලතලා කතාව ලියන්නකෝ. ඔය කතන්දර පාඨක වර්ගයාගේ “පහන්“ සංවේගය සලකලා ඉවරකරනවා නම් ඒ ඇති..

      Delete
    3. Ru,

      පහන් සංවේගය කියල මම මුලින්ම දැක්කෙ කොහෙද දන්නවය? ...ගම් පෙරලියෙ අන්තිමට…..

      " හුදී ජන පහන් සංවේගය උදෙසා සිංහල වංශ කතාවෙහි අංශු මාත්‍රයක් පවසනු පිණිස කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහයන් විසින් විරචිත ගම් පෙරළිය මෙතකින් නිමියේය. "

      Delete
  15. කොහෙන්ද බන් උඹට මෙච්චර දේවල් ඔළුවට එන්නේ රිප්ලයි දාන්න. හැමදාම පෝස්ට් එකට වඩා ගේම යන්නේ කමෙන්ට්ස් හරහා.

    විජිතයා නිසා තව බොන්න හේතුවක් ලැබුනා. මට ගිය පෝස්ට් එකේ ඌ ගැන ඇතිවුන කනගාටුව නැතිඋනා. උඹ්ට බැන්න නිසා නෙමෙයි. මොකක්ද බන් විජිතයා අමුම සිඹා වෙලානේ.

    මචං....මට හරියන බුවෙක් වගේ ලැම්බට් අයියා. පොර ගැන කතා ඇති නේද? ඔය සැමීලාට එහෙම පඩි ගෙව්වේ කොහොමද මචං? මටත් ඔය රැකියාව කරපු චරිත දෙක තුනක් හමුවෙනවා කාලයකට. මට මතක නැහැ උන්ට පඩි ගෙව්වේ කොහෙන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      / කොහෙන්ද බන් උඹට මෙච්චර දේවල් ඔළුවට එන්නේ රිප්ලයි දාන්න /

      මචං දසක පහක් මම ජීවත් උන විදිහට ජීවත් උනාම කතන්දර ඔලුවෙ පිරිල ඉතිරිල යන්නෙ මාත්තුව වැඩි වෙච්චි රා මුට්ටිය පැහිල උතුරල යන්නැහෙ.

      මම මචං අවුරුදු දොළහෙ ඉඳල ගෙදරින් පිට හිටියෙ. ඒ අත්දැකීම්....එතනිං ගිහාම ලංකාවෙ හතර දිබ්බාගෙ දසක තුනක් විතර රස්සාවල් කරපු අද්දැකීම්..එතකොට යාන්තං අකුරු දෙක තුනක් ගැට ගහගන්ට පුලුවං උන දවසෙ ඉඳල පීස්සුවෙං වගෙ කියෝන පොත්වල තියන එව්ව.මයෙ අත්තම්මගෙං ඉගෙන ගත්තුවා. ඒ වගේම මට මුනගැහුනු නොයෙක් ගැහැණු සහ පිරිමින්ගෙ අත්දැකීම් සහ ඔවුන් සමඟ අන්තර් ක්‍රියා ..මචං ඔය ඔක්කොම තමයි...හෙහ්, හෙහ්,

      / මොකක්ද බන් විජිතයා අමුම සිඹා වෙලානේ. /

      හෙහ්, හෙහ්, සිඹා කියන එකට මුලින් තව කෑල්ලක් තියනව නේද බාං?

      විජිතය පව් බං.....උඹටම තේරෙයි..ඉඳහංකො...

      / මචං....මට හරියන බුවෙක් වගේ ලැම්බට් අයියා. පොර ගැන කතා ඇති නේද? /

      තියනව..තියනව..ලැම්බා මරු බුවා..ඉඳහංකො…. එව්වත් කියන්නං

      / ඔය සැමීලාට එහෙම පඩි ගෙව්වේ කොහොමද මචං? /

      මහවැලියෙන් ගෙව්වෙ මචං..චෙක් රෝලෙං..මේ මගෙ කලින් සටහනක ලියපු සටහනක ඒ ගැන ලියපු කොටසක්....

      / ඉම්රාන් ගැන කියාගෙන ආව නිසා මනුස්සය ගැන එක කතාවක් විතරක් කියන්නං දැනට... හොඳද? අපේ චමරි ගැන මම කලිං කියල තියනවනෙ..චමරියෙ උයන්ට හිටියෙ චෙක් රෝලෙ සේවකයො. ඒ කියන්නෙ අනියම් කම්කරුවො. ඒ දවස්වල කම්කරු රෙගුලාසි අනුව දින 180 වඩා එක දිගට අනියම් පදනම මත කම්කරුවෙක් සේවයේ යොදවා ගන්ට බෑ.අනියම් කියන වචනෙ තේරුමම හදිසි අවශ්‍යතාවයකට යොදාගැනීම කියන එකනෙ. එතකොට දින 180 වගෙ කාලයක් ( මාස 6 ) එක දිගට සේවයෙ යොදවා ගත්තොත් අනියම් පදනම බිඳ වැටෙනව කියන තර්කය මත තමයි ඔය රෙගුලාසිය ඇවිත් තියෙන්නෙ. එක්කො ඒ මනුස්සයගෙ සේවය ස්තිර කරන්ට ඕන එහෙම නැත්නම් සේවය නතර කරන්ට ඕන. /

      / ඔය රෙගුලාසියෙං ගැලවෙන්ට කලේ මෙහෙමයි. චෙක් රෝලෙ සේවකයො මාස 6 ක් සම්පූර්ණවෙන්ට දවසකට දෙහෙකට ඉස්සරවෙලා චෙක් රෝලෙං අයිං කරනව සති දෙහෙකට නැත්තං මාසෙකට. ඒ කාලෙ මාස 6 කට පස්සෙ ඔන්න මිනිස්සු ගෙවල් වලට ගිහිල්ල එහෙම එනව. සර්විස් කඩනව කියලයි ඒකට කිව්වෙ. රෙගියුලර් ගෝලය එහෙම සර්විස් කඩල ගෙදර ගිහාම චෙක් රෝලෙං වෙන කවුරු හරි දෙනව ඉවුම් පිහුම් වලට තාවකාලිකව.ඔය එහෙම එන බොහොමයක් එවුංට උයන්ට බෑ. ඉතිං ගෝලයටත් එක්ක කන්ට අපි තමයි උයන්නෙ...හෙහ්, හෙහ්, /

      Delete
  16. මේ කතාව කියවගෙන යනකොට විරේ ඔද්දල් වෙලා හිටිය තැන් වල මගේ හිතත් ඔද්දල් වුණා..
    that's effective writing ....
    ලස්සනට ලියනවා රවී... :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      ආන්න නියම වචනයක්..මට අමතක වෙලයි හිටියෙ ඕක...ඔද්දල් වෙනවා.. තෑන්ක්ස් නෝනා...

      ප්‍රසංසාවටත් බොහොම ස්තූතියි හොඳේ..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...