Tuesday, April 30, 2013

182. සඳළුතලයෙන් මහපොළොවට - අපූර්ව ස්ත්රීන් තිදෙනෙකුගේ භූමිකාව

ඒ දෙදහස් දහයෙ අවුරුද්ද. මාසෙ ඔක්තෝබර් කියල හිතාගන්ට පුලුවන් කාරණා දෙකක් හින්දා. 

පළවෙනි කාරණය - ශීත කාලෙ හරියටම පටන්ගන්නෙ ඔක්තෝබර්වල. යාන්තමට කහ පාටට වැටෙන හිරු එළියෙං හරියකට ඇඳුමක් වේල ගන්ට බෑ අපේ ගේ පිටිපස්සෙ බැඳල තිබ්බ රෙදි වැලේ වනල නම්. ඒ නිසා වහල උඩට ( මෙහෙ සීයට අනූ නවයි දශම නවයයි නවයක්ම ගෙවල්වල වහල කොන්ක්‍රීට් ස්ලැබ් එකක්...) Clothes Dryer එකක් අරගෙන ගිහිල්ල තමයි අපි තෙත ඇඳුම් වේලා ගන්නෙ. ඔන්න ඔහොම වේලෙන්ට දාපු කලිසමකුයි ෂර්ට් වගේකුයි අරං එන්ට වහළට නැඟපු වෙලාවක තමයි මම මේ සිද්ධිය දැක්කෙ... 

දෙවෙනි කාරණය - ඒ දවස්වල මම බ්ලොග් ලියන්න පටන් අරං නෑ. මේ සිද්ධිය දැකල ඇති වෙච්චි හැඟීම් අලලලා මම ලිව්ව කෙටි කතාවක් ඒ දවස්වලම ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියෙ පල උනා.දෙදාස් දහයෙ නොවැම්බර් මාසෙ මම බ්ලොග් ලියන්න පටන් ගත් නිසා මේ සිද්ධිය උනේ අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසෙ වෙන්නම ඕන. දිනේ හරියටම හොයාගන්ට ක්‍රමයක් නැහැ ටබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය දැන් අක්‍රිය හින්ද... 

අපෙ අපාට්මන්ට් එක ඉස්සරහම පාරෙන් එහා පැත්තෙ තිබ්බෙ තට්ටු හතරක තවත් අපාර්ට්මන්ට් බ්ලොක් එකක්. ඒකෙ තුන්වෙනි තට්ටුව හරියටම අපෙ බ්ලොක් එකේ රූෆ් ටොප් එකට එක ලෙවල්. 

වෙලාව ඒ වෙනකොට හවස පහමාර විතර වෙන්න ඇති.ශීත කාලෙ කලින්ම කළුවර වැටෙන නිසා වීදි ලාම්පු එහෙමත් දල්වල තිබ්බ මට මතකයි.ඉස්සරහ එපාර්ට්මන්ට් එකේ තුන්වෙනි තට්ටුවෙ ජනේලයක් එක්කො ඇරල තිබ්බ. එහෙම නැත්තං ජනේලෙ වහල තිරේ ඇරල තිබ්බ. ශීත කාලෙ නිසා බොහෝවිට ජනේලෙ වහල තිරේ ඇරලයි තියෙන්න ඇත්තෙ. ඒ මොක උනත් කාමරේ විදුලි පහන දල්වල තිබුනු නිසා ඇතුල බොහොම පැහැදිලිව මට පෙනුන. 

පිලිපීන් වෙන්න ඕන බොහෝ විට, ඔව් ඒ පෙනුම තමයි ඒ කෙල්ලො දෙන්නගෙ තිබ්බෙ. අපේ අපාර්ට්මන්ට බ්ලොක් එක කිට්ටුවම තිබ්බ සුපර් මාකට් එකේදි මට බොහෝ විට ඔය කෙල්ලො දෙන්න හම්බවෙල තියනව. යන්තමට හිනාවෙලා හෙලෝ කියනවට වඩා දැනහැඳුනුමක් අපි අතරෙ තිබ්බෙ නෑ. ඒත් මම විශේෂයෙන්ම දැකපු කාරණයක්, ඒ දෙන්නා හැම වෙලේම අත් අල්ලගෙන හිටියෙ. හරියට පෙම්වතුන් නැත්නම් විවාහක යුවලක් වගෙ.මට ඉතිං ඇත්තම කියනව නම් ඕකෙ මොකවත් මහ අමුත්තක් තිබ්බෙ නෑ. ඔය ගැන කියවල චිත්‍රපට බලල ඒ වගේම පෞද්ගලිකව අත්දැකීම් ලබලත් තිබුණ මම ඒ වෙනකොට. 

කාමරේ ඇතුලෙ මේ කෙල්ලො දෙන්න සිප වැලඳ ගන්නවයි මම දැක්කෙ.අතට ගත්ත කමිස කලිසම් ටික ප්ලාස්ටික් බාස්කට් එකට දාන්ට යනකොටයි මම ඔය දර්ශනය දැක්කෙ.එහෙම්මම ඇඳුම් ටිකත් අතේ තියාගෙන මම ගල් ගැහිල වගෙ ඒ දිහා බලා හිටිය තත්පර තිහක් විතර වාගෙ.ඒ දෙන්නට ගානක් නෑ. එයාලගෙ ලෝකෙ එයාල. එක පාරට මට මතක් උනා එහෙම බලා ඉන්න එක හරි නැහැ නේද කියල.ටිකක් විතර තදට කළුවර පැතිරිලා තිබ්බ නිසා බොහෝ විට ජනේලෙ පැත්ත හැරිල බැලුව උනත් ඒ දෙන්න මාව දකින එකක් නැහැ.ඒත් එහෙම නොදැක්ක උනත් බලාඉන්න එක කොහොමත් හරි නැහැනෙ. මම ආපහු හැරිල අඳුම් ටිකත් අරගෙන ආව පල්ලෙහාට. 

ඒ කිට්ටුවම ආපු සති අන්තයෙ සුපුරුදු පරිදි අර යුවතියන් දෙන්න මට හම්බ උනා, සුපර් මාකට් එකේදි. වහල උඩදි අහම්බෙන් උනත් මම දුටුව දර්ශනය මගෙ මතකයෙ නොමැකෙන විදිහට රැඳිල තිබුනු නිසා ඔවුන්ට මුහුණ දෙන්නට අපහසුතාවයක් වගෙ ගතියක් මට දැනුනා ඇත්තටම. සුළු වෙලාවකට හරි උනත් මම බලාගෙන ඉන්නව ඔවුන් දැක්කද කියන පුංචි සැකයත් ඊට තව හේතුවක්. ඒත් බයවෙන්න දෙයක් තිබුනෙ නෑ, ඒ දෙන්න වෙනදා වගේම මා එක්ක හෙලෝ කියල හිනාවෙලා අත අල්ලගෙන එලවළු, පලතුරු ගොඩ ගහල තිබුණු රාක්ක දෙපේලිය අතරින් හෙමිහිට ඇවිදගෙන ගියා. එහෙම යන අතරෙ වරින්වර ඔවුන් එකිනෙකා දිහා බලා හිටියෙ දිලිසෙන ඇස් වලින්. ආදරය කියන එක ආදරයමයි. සෙනෙහස කියන්නෙ සෙනෙහසමයි. මොන තරාතිරමක, මොන ජාතියක, මොන කුලයක, මොන ආගමක, මොන වයසක දෙදෙනෙක් අතර ඇති උනත් ආදරේ කියන්නෙ ආදරේම තමයි.ඒ වගේම තමයි ආදරේට ලිංග භේදය හරියටම කිව්වොත් ලිංග භේදයක් නැතිකම උනත් බල පාන්නෙ නෑ.එදා සුපර් මාකට් එකේදි මගේ හිතේ ඇතිවුනේ ඇත්තටම පසුතැවීමක් වගෙ හැඟීමක්. නොදැනුවත්වම හරි ඒ දෙන්නගෙ ආලිංගනය දිහා බලා ඉඳල මම වරදක් කලා කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ. 

බොහොම කාලෙකට ඉස්සරවෙලා මගෙ ස්ත්‍රි සමලිංගිකතාව ගැන අත්දැකීමකුත් තිබුන. ඒ ගැන මතකය සහ වහල මත සිට දුටු දර්ශනය දෙකම මගෙ හිතේ කැලතිල අන්තිමට එලියට ආවෙ කෙටි කතාවක් හැටියට. 

වියුණු සටහන්වලට ලිව්ව ටීකා හැරෙන්නට මගේ නිර්මාණයක් හැටියට වියුණු ලෝකයෙ මුලින්ම පලවුනේ ඒ කෙටි කතාව..පූර්ව නිශ්චිත සමුගැනීමක් - A Pre-determined Farewell - පලවුනේ වර්තමානයේ අක්‍රියව පවත්නා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ - ටැබූ සබ්ජෙක්ට්ස් - සාමාන්‍යයෙන් නොකියන කතා... 

හරි හදිස්සියෙම මේ පරණ කේස් මතක් උනේ මොකද දන්නවද? පහුගිය සඳුදා ( අප්‍රේල් 22 ) මිහිකත දිනය කියල දන්නව නේද?...මම මෙහෙ නැවතිල ඉන්නෙ තව යාලුවෙක් එක්ක. අර තාරාවෙක් බේක් කලේ..අන්න ඒ අපි දෙන්න තමයි...ඉතිං මේ යාලුව ඉන්නෙ එයාගෙ බිරිඳ සහ දරුවන් එක්ක. පොඩි එවුං දෙන්නෙක් ඉන්නව. මෙහෙ ඉස්කෝලෙ යනව. ලොක්ක ඇවිල්ල තුන වසරෙ. මිහිකත දිනයට පොඩි විස්තරයක් ලියාගෙන එන්න කිව්වය කියල ඉස්කෝලෙං පහුගිය සුමානෙ මට වදේ මොනව හරි ලියල දෙන්නෙයි කියල. ඒ පාර ඉතිං බැලුව එහාට මෙහාට සර්ච් පාරක් දාල. අර්ත් කියල මුලින්ම ගැහුවම අර්ත් ඩේ එකට අමතරව ඔන්න ආපි අර්ත් ෆිල්ම් එක ගැනත් විස්තරයක්. ඔන්න ආයෙම මතක මං පෙත ඔස්සේ අතීතයට.ඩවුන් මෙමරි ලේන්...දීපා මේහ්තාගෙ තුන් ඈඳුතු සිතුවම් පට ( Elements Trilogy ) ...Fire, Earth & Water.... 

දන්නවානෙ මගෙ ලිවීමේ ශෛලිය කොහොමද කියල...ගොමු තැලීම ශාස්ත්‍රීය කලාවක් මට්ටමට ඉහල නැංවීම වනාහී මගේ එකම අරමුණයි. කිසිසේත්ම මාගේ මේ ව්‍යායාමය රජසැප පිණිස නොවන්නේය. හුදෙක් රට දැය සමය දියුණුව පිණිසමය.දුටුගැමුණු රජ්ජුරුවො ඔන්න ඔහොම කිව්වය කියල දන්නව නේද? එතුමා එහෙම කිව්වෙ ජිම් එකේ ඉඳල එලියට බහිද්දිය කියලත් දන්නව නේද? ආන්න ඒ වගෙ මගෙ මේ ව්‍යායාමයද හුදෙක් ගොමු තැලීමේ කලාවෙහි අභිවෘද්ධිය උදෙසාමය. 

හරි..දැනට ඒ ඇති...යමු කෙලින්ම 1977 ට. ආන්න......හැත්තෑවේ දශකය..අපේ කාලෙ.......70-77 සමඟි පෙරමුණු ආණ්ඩුව යටතෙ දේශීය චිත්‍රපට පෙන්වීම වගේම විදෙස් චිත්‍රපට ගෙන්වීමෙත් ඒකාධිකාරිය තිබ්බෙ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට. මහා කළමනාකාර විදිහට හිටියෙ නිහාල්සිංහ මහත්මය. ඩී. බී. නිහාල්සිංහ...වැලිකතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ... 

ඔය දවස්වල රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ක්‍රියාත්මක කලා විදේශීය විශේෂයෙන් ඉන්දීය සම්භාව්‍ය චිත්‍රපට ආනයනය කරල ලංකාවෙ පෙන්වන වැඩ සටහනක්.සමාන්තර සිනමාව ( Parallel Cinema ) කියන වචනෙ මුලින්ම 1971 වගෙ නිර්මානය උනෙත් මේ යථාර්ථවාදී චිත්‍රපට කුලකය හඳුන්වන්න.නව රැල්ලේ සිනමාව කියල හැඳින්නුවෙත් මේ වර්ගයේ මිහිමත පයගසා නිර්මානය වූ ( Down to Earth Films ) චිත්‍රපටම තමයි. 

ඊට වසර කීපයකට පස් සෙ නිර්මාණය වුනු හංස විලක්, පළඟැටියෝ, දඩයම, කැඩපතක ඡායා වගෙ චිත්‍රපට වර්ගීකරනය උනෙත් මේ යටතෙ. 1979 විතර සම්භාව්‍ය පස්වන මණ්ඩලය කියල වෙනම චිත්‍රපට ශාලා රාශියක් වෙන් කෙරුනා ප්‍රදර්ශන පෝලිමේ නොසිට ඉක්මනින් මේ ගණයෙ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්ට. 

හරි..ඒ ඔක්කොම මාතෘකාවෙන් පිට.ආපහු එමුකො කියන්ට ගිය එකට.ඒ දවස්වල අපි හිටියෙ අනුරාධපුරේ.ආණ්ඩුවෙන් ගෙන්නල ඒ දවස්වල බයිසිකල් ( රෝද දෙකේ ) දුන්න සහන මිලකට රජයේ සේවකයින්ට. හේතුවක් නම් මට මතක නෑ ඒත් ඒ බයිසිකල් ගන්ට ලංගම ඩිපෝවට තමයි යන්ට උනේ..ආර්. එම් . අයි ( Road Master of India ) අප්පච්චි මටත් සයිකලයක් අරං දුන්න. අනුරාධපුරේ පාරවල් ආය කියල වැඩක් නෑ. සැලසුම් කල නගරයක් නෙව. ලංකාවෙ පලවෙනි සැලසුම් කල නගරය කියලයි කියන්නෙ. පාරවල් බොහොම පළලයි.තනි කෙලින්... ඉද්ද ගැහුව වගෙ.ඒ එක්කම තනිකර තැන්න. එහෙ කොහෙද ආය කඳු.... 

මයෙ වැඩේ ඉතිං දවස තිස්සෙම ඔය පාරක් පාරක් ගානෙ බයිසිකලේ පදින එක.ඔහොම ගියා එක පාරක් මම නුවර වැවේ සොරොව්ව ලඟට. ගොද ගොද ගෑවිල්ලෙ හොරොව්වෙං පිටවෙල වතුර ගලනව ඇළ දිගේ. එතනම වැව් බැම්මෙ බෑවුමේ තිබ්බ චිත්‍රපට ගැන දැන්වීම් අලෝපු පුවරුවක්.සිත්තම්පලම් කියල ඒ දවස්වල තිබ්බ අනුරාධපුරේ ෆිල්ම් හෝල් එකක්.නමෙන්ම තේරෙනවනෙ. අයිතිය දෙමල ව්‍යාපාරිකයෙකුට. ඒ හින්දම 1983 කළු ජූලිය වෙලාවෙ ඒ හෝල් එක ගිණි තියල විනාශ කලා. 

සිත්තම්පලම් හෝල් එකේ පෙන්නනවය කියල අර දැන්වීම් පුවරුවෙ දාල තිබ්බ " අංකූර් " කියල චිත්‍රපටයක් හින්දි කියල වරහන් ඇතුලෙ ලියලත් තිබ්බ චුට්ටි අකුරෙං. නළු නිලියො ගැන තිබ්බ විස්තරෙං මට මතක ශබානා ආස්මි ගැන විතරයි. එදා ඒ නමත් මතක හිටියෙ වෙන මොකවත් නෙවෙයි ආස්මි කියන්නෙ පොඩි කාලෙ මගෙ ආසම කෑමක්. අන්න ඒ නිසා... 

ශබානා


චිත්‍රපටයෙ කතාව මට මතක හිටියෙ නම් නෑ. ඒත් ආපහු පාරක් මේ ලඟදි මතක් වෙලා යූ ටුබ් එකේ මම අංකූර් බැලුව. කාලෙකට ඉස්සර අවුරුදු තිස්පහකට හතළිහකට වගෙ කලින් බලපු චිත්‍රපට ආයෙම බලන එක හරිම චමත්කාර ජනක අත්දැකීමක්.එහෙම මේ ළඟදි මම ආයෙම බලපු චිත්‍රපට කීපයක් තමයි Reincarnation of Peter Proud, Blue Lagoon, High Plains Drifter, The Man with No Name... 

ශබානා ආස්zමි.....ඊට පස් සෙ මට හමුවෙන්නෙ මේ බොහොම මෑතකදි...1998 කාලෙදි විතර දීපා මේහ්තාගෙ ෆයර් චිත්‍රපටයෙන්. 

කාන්තා සමලිංගිකත්වය ගැන බොහොම විවෘතව කතා කරපු ෆයර් චිත්‍රපටයේ ශබානා සමඟ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ නන්දිතා දාස්..... 

නන්දිතා


රඟපෑම කියන්නෙ මොකක්ද?....අපි ඔය ගෙදර එහෙ මෙහෙ යනව, හිනා වෙනව, තේ බොනව, දවල් උනාම බත් කනව. රණ්ඩු වෙනව...කතා නොකර ඉන්නව..ආයෙම යාලු වෙනව....ඒ එහෙම සාමාන්‍ය නෝමල් විදිහට හැසිරෙන විදිහටම කැමරාවක් ඉස්සරහ හැසිරුනහම , එහෙම නිරූපනයක් කලාම ඒක රඟපෑමක් වෙනවද? එහෙමනම් අපෙ ගෙදර සාලෙ චිත්‍රපට කැමරාවක් හයි කරල අපි ගෙදර හැසිරෙන විදිහ රූගත කලොත් ඒක කලා නිර්මානයක්ද? 

ස්වභාවික චරිත නිරූපණයක් කියන්නෙ ඒකද?...එහෙමත් නැත්නම් සත්‍ය ජීවිතයේ අපි යම් සිදුවීමකට මුහුණ දෙනවිට හැසිරෙන හැඟීම් ප්‍රකාශ කරන විදිහයි චිත්‍රපටයක චරිතයක් නිරූපණය කරද්දි හැසිරෙන්න ඕන විදිහයි..කොටින්ම රඟ පාද්දි හැසිරෙන්න ඕන විදිහයි අතර වෙනසක් තියනවද? සාර්ථක චරිත නිරූපණයක් කියන්නෙ අධි රඟපෑමයි නිකම් ඔහෙ ගෙදර ඉන්නව වගෙ හැසිරෙන එකයි අතරෙ මැදක වගෙ තියෙන එකක්ද? 

මේ ප්‍රශ්නවලට උත්තර මොනව උනත් කෘතහස්ත නළුවෙක් නිළියක් කියන්නෙ රංගනයේ මේ අර්ථ නිරූපණය මනාව වටහා ගත්තු ඒ වගේම ඒ සීමාවන් තුල හැසිරෙන්න අනවරතයෙන් වග බලාගන්නා ශිල්පියෙක් කියලයි මට හිතෙන්නෙ. චරිතාංග නළුවෙකු / නිළියකගෙයි මේ නිකම් දෙකයි පනහෙ නළුවකු / නිළියක ගෙයි වෙනස අන්න ඒකයි. 

ශබානා, නන්දිතා...සහ ලීසා කියන්නෙ අන්න ඒ ජාතියෙ නිළියො.ලංකාවෙ ඔය කියන ජාතියෙ නිළියො ඉන්නෙ දෙන්නයි මම දන්න විදිහට..ස්වර්ණා සහ අනෝජා.... 

හරි ...ලීසා රේ....ඇය රඟපෑවෙ වෝටර් චිත්‍රපටයෙ..මතකයි නේද?...අපේ අර පුංචි කෙල්ල ජාත්‍යන්තර ඇගයීමට ලක් උනේ..සරලා කාරියවසම්...

ලීසා

මේ නිළියො... නිළියො කියනවට වඩා මම කැමති අපූර්ව ස්ත්‍රීන් කියල ඔවුන් හඳුන්වන්න....මේ අපූර්ව ස්ත්‍රීන් තුන් දෙනාව තමන්ගෙ රඟපෑමේ යම් නිසර්ග කුසලතාවක්,ආවේනික දක්ෂතාවයක් හැකියාවක් තිබුණනම් ඒ උපයෝගීකරගෙන ලබාගත් ජනප්‍රියතාවය පිළිගැනීම සහ ඒ හරහා එන සිවිල් බලය ප්‍රයෝජනයට ගත්තෙ පොදු මහජන සුභසිද්ධිය වෙනුවෙන් යම් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කිරීමට.... 

ඇත්තම කියනව නම් මේ අපූර්ව ස්ත්‍රීන් තමන් රඟ දැක්වූ භූමිකාවලින් ඔබ්බට ගිහිල්ල ඒ සිවිල් බලෙන් තම විස්වාස කරන අරමුණු වෙනුවෙන් කැප වීම ජනකාන්ත වීම සමග තමන් ඉහලට ඔසවා තබන මහා සමාජයට යමක් ආපසු දීම කියන එක අපේ රටේ ඉන්න දේසපාලනේට කඩේ යන ජනකාන්ත නිලියොන්ට හොඳ පාඩමක් කියල නම් එකහෙලාම කියන්න පුලුවන් කිසිම බයක් හැකක් නැතුව. 

ඔවුන්ගේ ජීවන භූමිකාවන් සැසඳුවොත් සමානතා වගේම අසමානතාත් දකින්න පුළුවන්. මුලින්ම මේ තිදෙනාම ඉන්දීය සම්භවයක් සහිත වීම. ඒ වගේම දීපා මෙහ්තාගේ චිත්‍රපටවල දැඩි මතභේදාත්මක චරිත නිරූපනය කිරීම..ඒ සමානතා… 

ඊලඟට අසමානතා..ශබානා නිලියෙක් වෙන්නෙ අඩු වයසින් . ලීසා නිරූපන ශිල්පිනියක් විදිහටයි මුලින්ම වැඩ කරන්නේ . නන්දිතා කාලයක්ම සමාජ සේවා ආයතන වල වීදි දරුවන් සහ අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන ගැහැණුන් එක්ක වැඩ කරලා වීදී නාට්‍ය වල රඟ පාලා අවුරුදු තියේදි විතර නිලියෙක් වෙන්නේ . ඔවුන්ගේ ආරම්භයන් විවිධයි .එයාලගේ නාරි ලාලිත්‍ය පිළිබඳව සැලකුවහොත් ශබානාගෙ ලාලිත්‍යය වගේම ඊට යටින් තියෙන දැඩි අනම්‍ය සෘජු ගැහැණිය , ලීසා මලක් වගේ මෙලෙක් , නන්දිතා ඇවිල්ලා සාම්ප්‍රදායික බොලිවූඩ් නිලියකගේ ලාලිත්‍ය ප්‍රමිතියෙන් ඔබ්බට ගිය වරෙක හිනා වෙන වරෙක කෝපවෙන හා එවිටම හඬා වැටෙන්නට සමත් බොහොම තියුනු අභිනයන් සහිත ගැහැණියක්... 

තමන්ගෙ චරිත තුල ගැබ්වුනු මේ නිසර්ග ගති ලක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගෙන තමන් පණදෙන භුමිකාව උත්තරීතර කොට ගැන්මෙහි මේ ස්ත්‍රීන් තිදෙනා සතු ප්‍රශස්ථ හැකියාව... 

ශබානා, නන්දිතා සහ ලීසා....වයස බැලුවොත් මෙහෙමයි..ශබානාට 62 යි..නන්දිතා ඇවිල්ල 44 යි ලීසාට 41 යි. 

A woman does not achieve her genuine magnificence until her 40th year. By that time a woman should have found her purpose of life, her providence and come to terms with her destiny. With that realization, enlightenment and contentedness comes an inner peace which is unique to every woman but makes them glow with a radiance that is breath taking in its vivacity. 

Life begins at forty, You think someone said that due to mouth itching?....not me..I don't think so at all, 

Well those of you ..not yet 40…,,be happy ..time of your life is yet ahead...,..and those beyond 40, you should definitely be glowing now ……..aren't you? 

ශබානා ඒඩ්ස් රෝගීන් වෙනුවෙන්, ළමා අපචාර වලට විරුද්ධව, ආගමික අන්තවාදයට සහ ජාති වාදයට විරුද්ධව, මුඩුක්කු පැල්පත් වාසීන් වෙනුවෙන් බොහෝසේ කටයුතු කරපු දැනටත් කටයුතු කරන ක්‍රියාකාරිනියක්. 

නන්දිතා ස්ත්‍රී සහ ළමා අයිතීන් වෙනුවෙන් ඉන්දියාව පුරා සංචාරය කරමින් වැඩමුළු සහ දේශන පවත්වන අතර ඒ වෙනුවෙන් කෙරෙන ක්‍රියාකාරකම් වල පුරෝගාමී කාර්යයක් ඉටු කරන්නියක්. ඇය ඉන්දීය ළමා චිත්‍රපට ආයතනයේ සභාපතිනියයි. 

ලීසා රේ - ඇය කැනේඩියන්. පියා බෙංගාලි සහ මව පෝලන්ත....2009 වසරේ ඇයට දුර්ලභ ගණයේ පිළිකාවක් ඇතැයි සොයාගනු ලැබුවා. ඒ රුධිරයේ සුදු රුධිරාණු විනාශ කරන පිළිකා විශේෂයක්.එහෙත් යෂ්ටි සෛල ප්‍රතිකාර වලින් පසුව ඇය පූර්ණ සුවය ලැබූ බව ප්‍රකාශ වුනා. යෂ්ටි සෛල ප්‍රතිකාර පිළිබඳ වර්තමානයේ ලොව පුරා පවතිනුයේ අවිනිශ්චිතතාවයක්. ඒ ප්‍රතිකාර ක්‍රමය මානුෂීය ආචාර ධර්මයන්ට කොතරම් එකඟද කියන ගැටළුව විසඳාගැන්මට නොහැකිව විද්‍යාඥයින් සමාජ ක්‍රියාකාරීන් අතරෙ පවතින්නෙ මත ගැටුමක්. 

ජීවිතේ කියන එක මහ අමුතුයි. අපි අතිං සටහන් ලියවෙන්නෙත් කලින් හිතල නෙවෙයි හුඟක් වෙලාවට. මට හිතෙන්නෙ එහෙම අනපේක්ෂිතව ලියැවුණු සටහන් වල තියෙන අමුතු ගතියක්...හෘදයාංගම බවක්...අපූර්ව ස්ත්‍රීන් තිදෙනෙකු පිළිබඳව අහම්බෙන් ලියැවුණු මේ සටහනත් ඒ වගේ එකක්ය කියලයි මට හිතෙන්නෙ... 

Friday, April 26, 2013

181. වාං පතුල් කතාව තව දුරටත් - ලෝකයේ වැඩිම මීදුම සහිත ගම්මානය සහ ජීප් රියදුරන්ගේ කතා....


හරි පේමදාස මහත්තෙයගෙ පිළිම කතාව අහවරයිනෙ.ආපහු යමු අර අවුකන කිට්ටුව මළගෙදර කතාවට. ඒක ඉවරයක් කරල ඉන්ට එපාය ආයෙම වාං පතුල් කතාවට ප්‍රවිස්ට වෙන්ට ඉස්සර...එක්කො අර තැචර් නෝනා මහත්මිය ගැන කියනකොට බාගෙට කියාපු දොස්තර සහ වහ බීපු කෙල්ල ගැන කියනවද?....නෑ ..මළගෙදර ගැන කියලම ඉමු එක්කො.... 

දැං මම කිව්වනෙ කලාවැවේ බන්ඩ් එකේ ජීප් එක නවත්තල අවුකන පිළිමෙ පේන තෙක් මානෙ ඉඳගෙන අපි පොඩි කර්මාන්තයක් කරන්ට පටං ගත්තය කියල. මතට තිත තියන උදවිය ඒ වැඩේ පටං ගත්ත නොපමාව.අප්පමාදෝ අමර පදං… 

අර ඇඩ්ඩස් ලියාපු තුණ්ඩු කෑලි සාක්කුවෙ දාගෙන ආපු එවුං....ඒ වෙනකොට මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන්ස් උනත් ඒ හැටි සුලබ නෑ.ඊටත් කාලෙකට පස් සෙ තමයි ගඩොල් බාග වගෙ මොබයිල් ෆෝන්ස් ඇවිල්ල මොබයිල් පිස්සුව ගහපු අපෙ එවුං සිගනැල් යන්තං එන තැං හොයන්ට ගඩොල් බාගෙත් කණේ ගහගෙන ගම මුළුක්කාදියෙ ඇවිදින්ට පටං ගත්තෙ... 

සමහර වෙලාවට සිගනැල් තියෙන්නෙ ගමේ ඔන්න එකම තැනකට විතරයි. 

" රපියෙල් ආතගෙ ගේ පිටිපස්සෙ දෙණිය පල්ලෙහ දිය වරකාවෙ තුං බලේ දකුණු අත්තෙ මැද්දෑවට විතරයි ඔන්න අහල ගං හතකටම සිගනැල් අහුවෙන්නෙ. " 

මේ වගෙ අවුරුදු කාලෙට ඉතිං කොලඹ රටේ රස්සාවල් කොරන්ට ගිය කොල්ලො බල්ලො ඔක්කොම ආයෙම ගමට ඇවිල්ල නෙව ඉන්නෙ. කීයක් හරි හොයාගත්තු හැම එකාම ඔන්න ගඩොල් බාගෙකුත් ඇන්න තමයි ගමේ එන්නෙ. ගමේම ඉන්න ඔය ගොයිතැනක් බතක් කරාන ඉන්න යාලුවොන්ට වැඩ පෙන්නන්ටත් එපාය.අනික ගමේ ඉන්දැද්දි සෙනේවන්තකොම පොරකාස කරල " මට නං බැහ් " ගාපු අංගනාවියංට අගේ පෙන්නන්ටත් මේක හොඳ චෑන්ස් එක. 

ඔක්කොම හොඳයි.මුක්කම නරකයි කිව්වැහෙ එකම පරහක් තියෙන්නෙ ඔය කොයි එකටත්, සිදාදියෙං හොයා ගත්තු කෙළි පැටික්කිට අයි ලව් යූ කියන්ටද එහෙම නැත්තං හතර දිබ්බාගෙ ඉන්න යාලුවොන්ට හැපී නිව්වියර් කියන්ටද ඔය කෝකටත් එකම තැනයි තියෙන්නෙ. අන්න හරි. එතන තමා. රපියෙල් ආතගෙ දිය වරකාවෙ තුං බලේ........ 

ඉතිං ඔන්න පෝං හිමියො ඔක්කොම එකතුවෙලා අර කිව්ව වරකාව උඩ හදපි ලී මැස්සක්... 

විගැහිං මැස්සට නගින්ට එවුම්ම එකතුවෙලා හදාගත්ත ලණු ඉණිමඟකුත්....දැං ඔන්න එකා එකා මාරුවෙං මාරුවට අර මැස්සට නඟිනව... කෝල් ගන්න...ව බහිනව..ඊළඟට පෝලිමෙ ඉන්න එකා ඊට පස්සෙ. 

මල් කඩන්ට ගිහාම දන්නවනෙ කොල්ලො.. ආය වෙලාවක් කලාවක් නෑනෙ. අනික ඔය මැස්සට උනත් සිගනැල් එන්නෙ හුළං අත මේ පැත්තට ඇල්ලුවහම විතරයි. ඉතිං මල් කැඩිල්ල මඟදි හුටස්..ආයම හුළං අත අල්ලනකල් බලා ඉඳල ඕන මල් කැඩිල්ල පටං ගන්ට. එහෙම ඉවසන්නෙ කොහෙද පල්ලෙහා පෝලිමේ ඉන්න එවුං " ඒයි අඩෝ ඔය මදැයි, බැහැපං බිමට, අපිත් මෙහෙ ඉන්නවා " ඔහොම කැක් ගගහ අර ලණු ඉණිමඟ හොල්ලනව. වැඩේ කියන්නෙ ඒ ඉණිමඟ හොල්ලනකොට අර මැස්සත් එක්කමයි හෙල්ලෙන්නෙ... 

" ඉඳපල්ල බං ටිකක්..කාළකන්නි...මොන මඟුලක්ද මේ?..." 

මැස්ස උඩ ඉන්න පුෂ්පහාරකට ( Flowers picker හෙවත් මල් කඩන්නා ) මල. 

" මොකක්ද ඔයා කිව්වෙ?..... කාලකන්නි? කාටද එහෙම කිව්වෙ?...." 

ඔන්න එහා පැත්තෙ ඉන්න කෙල්ලටත් මල පැනල.. 

" දෙයියෝ සාක්කි ඔයාට නෙවෙයි ළමයො.... මේ පල්ලෙහ ඉන්න වසවර්තියන්ට මම කාලකන්නි කිව්වෙ... ඔයාට එහෙම නෙවෙයි " 

මොන? ….කෙල්ල ෆෝන් එක ඕෆ් කරල. ඉතිං ආය ගනිංකො මුල ඉඳල කෝල් එක..ඒ අස්සෙ පල්ලෙහා ඉන් න එවුං ඉණිමඟ හොල්ලනව මැස්සත්තෙක්ක කඩාගෙන දෙරිගහගෙන පල්ලෙහාට පත බෑවෙන සයිස් එකට. 

රපියෙල් ආත ඊයෙ අවුරුදු ආතල් එකට හැළි අරක්කු වඩියක් දෙකක් ගසල ඇරල ඉස්තෝප්පු කෑල්ලෙ බූරු ඇඳේ දපා තියල සපාන් එකේ බුදියාගෙන උන්නෙ. මේ කොල්ලොංගෙ කැම්බැල්ලෙට උන්දැගෙ නින්ද කැඩුනා. 

" මොකාද යකෝ ටිකක් නිදියගන්ට දෙන්නෙ නැතුව මේ මරහඬ තියන්නෙ? " 

කියාල කැක් ගහගෙන උන්දැ බැස්ස එළියට.ගෙදර ඉන්නෙ උන්දෙයි උන්දෙගෙ මනුස්සය මැරිච්චි ලොකු දුවයි විතරයි. වයලට් ලොකු අම්ම… 

" මොකද අප්පච්චි මේ කෑහැහිල්ල? " 

ලොකු අම්ම කුස්සිය පැත්තෙං දොට්ට බැස්ස. 

" කවුදෑ බං අර දිය වරකාව ගාව එහාට මෙහාට වෙනව පේන්නෙ? ….මොකදෑ උං එතන කරන්නෙ? " 

" ආ..ඒ අර ගම් මංඩියෙ කොල්ලො ටික නෙව.උං ඇවිල්ල ඇත්තෙ ඔතන ටැලිපෝං කොරන්ට." 

" ඈ?? ටැලිපෝං කොරන්ට?....මේ අපෙ දිය වරකාව ගාවට?..ටැලිපෝං කොරන්ට තැපැල් කංතෝරුවට යනව මිසක මෙතන කොහොමද ටැලිපෝං කොරන්නෙ? " 


" අප්පච්චිට ඔව්ව තේරෙන්නෙ නෑ. උං එතන කරගන්න දෙයක් කර ගත්තාවෙ අප්පච්චි මෙහාට වෙල ඉන්ට…" 

ඔය රපියල් ආතා ඇවිල්ල හිට අපෙ උන්දැගෙ අප්පච්චිගෙ ( මයෙ මාමණ්ඩිගෙ ) දුරිං මාම කෙනෙක් වෙනව. 

ඔය මොබයිල් සිග්නල් නැති කේස් එකට හේතුව ඇවිල්ල අපෙ උන්දගෙ ගම තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කඳු වලල්ලකිං වට කොරල. පාත්තරේ වාගෙ ඔන්න කොටිම්ම. මහනුවර රජ්ජුරු ගොල්ල ඔය එක එක වැරදි වලට අච්චු කොරපු සුද්දො එහෙම පදිංචි කෙරුවයි කියන්නෙ ඔය එවුන්දලයෙ ගමේ ඒ කාලෙ. ඒ කියන්නෙ එහෙ පදිංචි කලොත් ආය පැනල ගිහිල්ල එහෙම හමාරයි. එච්චරටම දුස්කරයි ඒ පළාත... දැනට උනත් ඒ ගමේ ඉන්නව බෝම සුදු පාට නිල් ඇස් එහෙම තියන අපූරු ළමිස්සියො..... 

අපෙ උන්දැත් එක්ක පයුරු පාසානෙ පටං ගත්තු මුල් කාලෙම ඔය හිරකාරයො පදිංචි කොරපු විස්තරේ මට කිව්වෙ මගෙ හොඳම යාලුවෙක්ගෙ අයිය කෙනෙක්. මිනිහ ඇවිදිල්ල හිට නුවර යුගයෙ ඉතිහාසය ගැන පස්චාත් උපාදියක් එහෙම කොරල ඔය ගැන හොඳටම දන්නව. මටත් ඉතිං කට එක විදිහකට තියාන ඉන්ට බැරි හැටියක්...ඊලඟට අරුන්දැ හම්බ උන මුල් දවසෙම දීල ඇරිය.. 

" මේ ඔයාලගෙ ගම සෙංකඩගල රජ කාලෙ පාවිච්චි කොරල තියෙන්නෙ හිරකාරයො පදිංචි කරන්ටෙයි කියල දන්නවද? " 

ඔන්න ඔහොම….. මම හිතුවෙ අනේ මේ මනුස්සය අපේ ගම ගැනත් හොයල තියනව. කොච්චරනං හොඳද? කියල හිතල සෙනෙහෙ තව මෝරාවිය කියල..කොහෙද? 

" හුහ්, හිරකාරයො එතකොට නේද? අපිත් එතකොට හිරකාරයොංගෙං පැවත එන කට්ටිය වෙන්ට ඇති එහෙනං…" 

ඔහොම කියල මා දිහාවෙ රවාගෙන ඉඳල එයාලගෙ ඉස්කෝලෙ ගාවදි ගස්සගෙන බැහැල ගියෙ නැත්ද බස් එකෙං...මම ඉතිං අර මොනවද කාපු රිළව වගෙ බලං උන්න කටත් බාගෙට ඇරගෙන. ( පැහැදිලි කිරීමයි - ඒ කාලෙ සඳුදා උදේට වැඩට ගියෙ දෙන්නම එක බස් එකේ. එයයි මඟදි ඉස්කෝලෙ ගාව බහිනව. මම තව දුර ගිහිල්ල අපෙ ඔෆිස් එක ගාවිං බහිනව ) 

පස්සෙ " අනේ අපහාසයක් කොරන්ට මයෙ තුං හිතකවත් තිබ්බෙ නැතිය. ඉතිහාසය විෂයය ගැන මම බොහොම උනන්දු නිසා ඒ විස්තර හොයල බැලුවය.මට ඒ ගැන තොරතුරු දුන්නු යාලුවගෙ අයිය එක්ක ආයෙම වචනයක් වත් කතා කරන්නෙ නැත. ඒ යාලුවටත් වෙඩිං එකට ඉන්වයිට් කරන්නෙ නැත. මිං මනත ඔය හිරකාර සීන් එක ගැන කිසිම වචනයක් කියන්නෙ නැත " කියල දහ අතේ පොරොන්දු වෙලා නොවඳිනා වැඳුං වැඳලයි එවුන්දැ ෂේප් කොර ගත්තෙ..අනෙ අම්මප මොකටදෑ ආය බොරුවක් මුසාවක් කියන්නෙ ? 

අම්මප පුදුම වැඩේය කියන්නෙ. ඔහොම වැඩම නෙව මට වෙන්නෙ. මේ බොහෝම සද් බාවයෙං පිරිසිදු හිතිං කොරන වැඩ. කැරකිල එන්නෙම හිනෙකිංවත් නොහිතූ විදිහට නොපිටටමයි. අර කතාවක් තියෙන්නෙ වඳින්ඩ ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනවය කියල.මට වෙන්නෙ වඳින්ට ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනව මදිවට දේවාලෙ කඩා වැටුනෙ මම හින්දය කියල ඒ අබූත චෝදනා වලටත් උත්තර දෙන්ට වෙන එකයි...අනෙ අම්මප .... 

හැබැයි ඔය හිරකාර කේස් එක මොකක් උනත් උන්දලයෙ ගම නම් මාරම ලස්සනයි.හීතල කාලෙ උදේ අට නමය වෙනකල්ම අර වටේටම තියන කඳුවැටිවල බාගෙයක් විතර මීදුමිං වැහිල. කියල වැඩක් නෑ. මහජන සම්පතවත් ඇදුනොත් ඔන්න පොඩි ගේ කෑල්ලක් හදාගෙන පදිංචියට යන්ට මරු පළාත. 

අහ්හ්...ඔන්න මීදුම කියනකොට මතක් උනේ...අපෙ ලොක්කිලගෙ ගෙවල් පහු කරල හැතැක්ම හතරක් විතර කන්ද උඩස්කරේට ගිහාම හම්බ වෙනව ඔන්න ගම්මානයක්.ඒ තමයි ලංකාවෙ වැඩියම ...ලංකාව පැත්තම තිබ්බාවෙ ...මුලු ලෝකෙම වැඩියම මීදුම තියෙන ගම...දවසෙ විසිහතර පැයේම ඔහොම මෙහෙම පේන්නෙ නැති තරමට මීදුම ඔන්න කොටින්ම කිව්වොත්. කොච්චර මීදුමද කිව්වොත් ඒ ගමේ ගෙවල් කීයක් තියනවද පවුල් කීයක් ඉන්නවද කියල උනත් කිසි කෙනෙක් දන්නෙ නෑ හරියටම. 

කොටිම්ම වෙන මොකවත් ඕන නෑ කිසිම කෙනෙක් දන්නෙ නෑ ඒ ගම්මානෙට කියන නම මොකක්ද කියලවත්...ඔන්න වැඩේ හැටි...දැං අවුරුද්දකට විතර ඉස්සර ආව ගිනෙස් පොතෙං සුද්දො දෙන්නෙක්...මේ ගම්මානෙ ගැන ගිනෙස් පොතට දාන්ට..ලෝකෙ වැඩිම මීදුම තියෙන ගම්මානෙ හැටියට.ඒත් වැඩේ පොටෝ එකක්වත් ගහගන්ට තියා ඒ අහල හතර මායිමට වත් යන්ට බෑ නෙව. මෙලොව දෙයක් පේන්නෙ නෑ.. උං දෙන්න තාම ඉන්නව මයෙ හිතේ සීමොං ආතලගෙ ගේ පිටිපස්සෙ පරණ කඩ කෑල්ලෙ නැවතිලා..මීදුම අඩුවක් වෙනකල්..පොටෝ එකක්වත් අරගෙන ගිහිල්ල ගිනෙස් පොතට දාන්ට. 

හරි ඒ මීදුං කේස් එක එතනිං ඉවරයි කියමුකො. ආපහු එමු කලාවැවේ ඉවුරට. ඈත පේනව මහ විසාල නුගයක් වගෙ ගහක් යට පොඩි දේවාලයක් වගෙ එකක්. ඕක වටේ ඉන්නව පේනව සෙනඟ සෑහෙන්ට. 

" මචං අන්න අරෙහෙට යමං….." අර මම කිව්වෙ රෑ දෙගොඩහරියක් වෙනකල් තුණ්ඩු ලියාපු එවුං....ලියාගෙන ආපු තුණ්ඩු කෑලි ආයෙම අරං යන්ටය. කාට කාට හරි දීල දාන්ට එපාය...නැද්ද මං අහන්නෙ? 

ඔය කාලෙට ඉතිං ඔහොම තමයි...පාර දිගේ ඉන්න කෙල්ලංට අනම් මනම් කියන්ට, කෝචොක් කොරන්ට , ඇඩ්‍රස් ලියපු තුණ්ඩු කෑලි විසි කරන්ට ඔව්ව ඔය නාඹර වයසෙ ඉන්න කොයි කොල්ලත් කොරන වැඩ. හැබැයි ඔව්වයිං මෙහෙම දේවලුත් වෙන්ටත් බැරිකමක් නෑ. 

ඔන්න එක පාරක් අලුතෙං ආව අපිට ජීප් ඩැයිවර් කෙනෙක්.එච්චර වයස එහෙම නෑ. ඔන්නම් අවුරුදු විසි පහක් වගෙ ඇති. ආහ්..ඊට කලින් ඉන්න තව ඩැයිවර් කතාවක් කියල ඉන්න...මේ මනුස්සයත් අලුතෙන් ජීප් පත්වීමක් අරං ආවෙ...ඒත් ඊට කලින් අපෙ ආයතනයෙම ට්‍රැක්ටර් රියදුරු විදිහට අවුරුදු පහලවක් වගෙ වැඩ කරල තියනව.වයස ඇති හතලිහක් හතලිස් පහක් වාගෙ. 

නම පොඩි මහත්තය...අපි කියන්නෙ පොඩි මහත්තයා මහතා කියල.මේ මනුස්සය ජීප් එක ඩ්‍රයිව් කරද්දි ඇඟේ ලේ නෑ. ට්‍රැක්ටර් එළෝල පුරුද්දට මේ යස්සය මඩ වලක් උඩිං යද්දි කකුල් දෙකම උස්සනව. සමහර වෙලාවට ඔහොම ඇක්සලරේටරෙන් එක පාරටම කකුල ගත්තම ජීප් එක හිටිනව අර මඩ වල මැද්දෑවෙ. ඉතිං බැහැල තල්ලු කොරපල්ලකො අර මඩ ගොඩේ...අරූව කන්ඩ පුළුවන් නං කනව කොල්ලො අමුවෙම්ම. ඕකා බේරුණේ වෙන මොකවත් නෙවෙයි අවුරුදු හතළිහක් හතළිස් පහක් උනයි කියන්නෙ බ්‍රොයිලර්ල නෙවෙයිනෙ. කරි චිකන් වාගෙ. හපන්ඩ ගිහිල්ල දත් කඩා ගන්නෙ මොකටද කියල අපි නිකං හිටියෙ. 

හරි පොඩි මහත්තයගෙ කතාව ඉවරයි.දැං අර කලිං කියාපු තරුණ පහේ ඩ්‍රයිවර්ගෙ කතාව. නම ගුණතිලක.... මනුස්සය ගැන කතා දෙකක් තියනව. . මේ පලවෙනි කතාව. … 

ඔන්න ගුණතිලක පත්වීම බාරගෙන දවස් දෙකයි නැත්තං තුනක් ඇති. අපෙ එක ජීප් එකක් වැඩ කරපු ඩැයිවර් ගියා නිවාඩු.ගුණතිලක තමයි නිවාඩු කොලේ අත්සන් කලේඇක්ටිං විදිහට. ඔන්න ගුණතිලක ඉස්සෙල්ලම අපෙ ඔෆිස් එකට ආවට පස්සෙ වාහනයක් එළෝනවමයි මේ.. 

උදේ අපි කට්ටිය නැග්ග වාහනේට වැඩ බිම් වලට යන්ට. ෆීල්ඩ් යනව කියල තමයි ඒකට කිව්වෙ.එදා අපේ නේවාසික ඉංජිනේරු තුමාත් ( හෙළ වදනින් කිව්වොත් වැසි මැවිසුරුවාණෝ ) ඔන්න ගොඩ උනා වාහනේට ..." යමුකො ....මමත් එනව අද " කියල. දෑන් ඔන්න යනව බොරළු අතුරපු පාරක් දිගේ. ඔය අපි වැඩ කරපු හරිය මහ කැළෑවෙයි කිව්වට තැනින් තැන විතරයි එක යායට මහ ගස් තිබ්බෙ. වැඩිපුරම තිබ්බෙ මාන තලාවල්. කාලාන්තරයක් තිස්සෙ හේං කොටපුවගෙ ප්‍රතිපල තමයි ඒ.හේනක් කොටන්නෙ අළුතින් කැළේ කොටහක් කපල දාල ගිනි තියල වටේට දඬු වැටක් ගහල ඒකෙ ඔය කැකිරි, තියඹරා, බටු, බඩ ඉරිඟු,, කුරක්කං වගෙ බෝග ජාති වගා කරල.අර කපාපු කැලේ ගිනි තිව්වම පස හොඳට සාරවත් වෙනව.එක හේනක අස්වැන්න කපා ගත්තම මිනිස්සු කරන්නෙ ඒ යාබදව තව කැලෑවක් කොටල ආයෙම අලුතෙං හේනක් හදා ගන්න එක. 

ඔහොම කාලාන්තරයක් කලාම අන්තිමට ඉතුරු වෙන්නෙ පඳුරුයි මාන ඉලුක් විතරයි. අපි මම ඔය කියන දවසෙ ගියෙත් අන්න එහෙම සරුවට හැදිච්ච මාන තලාවක් මැදිං ඩෝසර් කරල පස් සෙ ග්‍රෙවල් දාල හදාපු පාරක.ඔන්න අපෙ වැසි මැවිසුරු තුමා ඉස්සරහ සීට් එකේ. අපි කට්ටිය පිටි පස්සෙ. ඒ දවස්වල අපි හදාගෙන ගිය එක වැවකට යන්ට ඔය පාරෙ මඟක් දුර ගිහිල්ල වමට හරවන්ට ඕන. දෙපැත්තෙම අඩි හයක් වගෙ උසට මාන ගාල නිසා ඒ අතුරු පාර ළඟට එනකල්ම හොයන්ට අමාරුයි.ඒ නිසා ඉස්සරහ හිටපු අපෙ ලොක්ක ඩ්‍රයිවර්ට කිව්ව මීටර් පනහක් තරම මෙහාදි, " ගුණතිලක... ඔය ඉස්සරහිං වමට හරවන්ඩ " කියල. 

දන්නවද මේ යක්සය කරපු වැඩේ.ජීප් එක ඒ වෙලාවෙ කිලෝ මීටර හැටකට වගෙ ආවෙ. මේ ගොං වස්ස ආපු වේගෙම්ම කැපුවෙ නැද්ද ජීප් එක වමට..අර හෙණ මාන ගොල්ල මැද්දෑවට. 

ජර බර බරාස් බර..බරාස්...බරාස්..බර...බරාස්....ගෑව..එක පාරට හතර අතම අඳුරු වෙල ගියා. අර මාන ගොල්ල උසයි අඩි හයක් හතක් තරම.වාහනයක් එළවද්දි මොකක් හරි බලාපොරොත්තු නොවිච්චි දෙයක් උනාම බොහෝවිට ඉබේම වෙන දෙයක් තමයි ත්වරකය ( Accelarator ) පෑගෙන එක. මේ යකාටත් ඒකම උනා. ඒත් අර මාන ගොල්ල පොඩි කරගෙන යන්ට මොකෝ මේක ඩෝසර් එකක් වත් යුද්ද ටැංකියක් වත් නෙවෙයි නෙව. ඒත් එන්ජින් පවර් එකට  මීටර් දහයක් විතර ගිහිල්ල එහෙම්මම නැවතුනා. ඒත් අර මනුස්සය බයටම ඇක්සලරේටරේ පාගගෙන. එන්ජින් එක මරහඬ දෙනවා. ඔන්න එතකොට තමයි අපි කාටත් සිහියක් පතක් ආවෙ. ලොක්ක කෑගැහුව ඉස්සරහ සීට් එකේ ඉඳගෙන හොඳ කුණු හරපෙකුත් කියල. 

" අත ඇරපං ******, ඇක්සලරේටරේ." 

මොන සමයංද?....... ඒක ඉන්නව ඉස්සරහ බලාගෙන ස්ටියරිං එකත් ලෑල්ලටම පාගගෙන අත්දෙකත් එක්කලා දරදඬු වෙල. ඒ පාර ලොක්ක ගැහුව මුගෙ කම්මුලට එකක්. ඔන්න ඒ පාර තමයි මූට හරි සිහිය ආවෙ. අත්දෙකත් අත ඇරුන ස්ටියරිං එකෙං, ඇක්සලරේටරෙනුත් කකුල ගන්ට ඇති. එන්ජිමත් එහෙම්මම බග් ගාල හිටිය.දෑන් ඔන්න අර සද්ද බද්ද ඔක්කොම නැවතිල මීයට පිම්බ වගෙ නිස්සබ්දතාවයක් ආව. අපි ඔක්කොම ඉන්නව බලාගත්තු අත බලාගෙන මොකද උනේ කියල හිතාගන්ට බැරුව. ඔන්න එක පාරටමමගෙ දකුණු කණ ගාවිම්ම.. 

" බුදු අම්මෝ, අපි ඉවරෝ, අයියෝ, අප්පෝ, අම්මෝ…" 

කියල මර විලාපයක් පටං ගත්තෙ නැද්ද? 

ඒ ඇන්ටා....ඕකට තිබ්බ පොඩි ලෙඩක්...මේ යස අගේට අපි එක්ක ඉන්නව කෑගගහ හිනා වෙවී. වාහනේකට නැඟපං...එක විනාඩි දෙකයි යන්නෙ මූ කට කපල බුදි. ජීප් එකෙත් එහෙමයි. ගෙදර යන්ට බස් එකට නැග්ගත් එහෙමයි. ආය නෑ සමාවක්. 

අච්චර වල ගොඩැලි උඩිං විසික්ක වෙවී යද්දි උනත් ඇන්ට ආය නෑ බබා වගෙ නිදි. වෙලාවකට අපට ඊරිසියත් එක්ක. ඕකගෙ ගෙවල් ඔන්න ඔය දිගන පැත්තෙ. වැඩට යන්න ඕකා නුවරට ඇවිල්ල නඟිනවනෙ කදුරුවෙල බස් එකේ. මොනවද ට්‍රිනිටි එක පහු වෙනකල් ඇහැරං ඉඳියි. ඊට පස් සෙ කෙලිම්ම බෙල්ල කඩා වැටෙනව ( මහනුවර පිළිබඳව හාංකවිසියක් නොදන්නා දුහුණන් දැනුම් උදෙසා - ඔබ මහනුවර සිට කදුරුවෙල බලා ගමන් කරද්දී බස් නැවතුම්පලින් පිටත්වී විනාඩි දහයක් පමණ ඇතුලත ත්‍රිත්ව විද්‍යාලය පසුකල යුතුය ) 

ඕකගෙං ඉස්සරෝම රස්සාවට ගිය දවස්වල උංගෙ අම්ම ඇහුවලු 

" නුවර ඉඳල කදුරුවෙල යනකොට මොනවද පුතේ පහු වෙන්නෙ?.." . 

" ඒ හැටි දෙයක් නෑ අම්මෙ ඔන්න ට්‍රිනිටි එක පහුවෙනව, ඊට පස් සෙ කදුරුවෙළ " ඕන්න ඇන්ටගෙ උත්තරේ. 

 " හෑ..කදුරුවෙලය කියන්නෙ ඒ හැටි මේ ඊමමද? "

අම්ම පැයක් විතර කටත් ඇරගෙන උන්නයි කියලයි ඔන්න කියන්නෙ..

ඕං ඔය ඇන්ට තමයි අර විලාප ගැහුවෙ. වෙනද වගේම ඒක නාවල කිරි දීල නිදි කෙරෙව්ව බබා වගෙ නිදාගෙන ඉඳල තියෙන්නෙ. එක පාරට සර..බර..බරාස් ගාන සද්දෙට මූ උඩ ගිහිල්ල බිම වැටිල එකත් එකටම ජීප් එක පෙරළිලා තමයි.. එහෙම හිතලයි මූ මේ විලාප තියන්ට ගත්තෙ. 

" ඔන්න ඕකගෙ විලාපෙ නවත්තන්ට කියනවද කවුරු හරි...." 

ලොක්ක ආයෙම කෑගැහුව. මම ඇන්ටගෙ උරහිස අල්ලල හෙලෙව්ව. ඌ ඇස් දෙකත් පියාන ජීප් එකේ වහලෙ කැන්වස් රෙද්ද රඳෝල තියෙන යකඩ බට දෙකක එල්ලිලා එක සීරුවට කෑගහනව. 

" බුදු අම්මෝ,…. අපි ඉවරෝ…., අයියෝ, අප්පෝ, අම්මෝ

" ඒයි ඇන්ටො කට වහගං බං...ජීප් එක පෙරලුනේ නෑ...." 

දෙතුං පාරක් උරෙස්සෙං අල්ලල හෙල්ලුවට පස්සෙ තමයි ඕන්න උගෙ අඳෝනාව ටික ටික අඩුවෙලා නැතිම වෙලා ගිහිල්ල ඒකා ඇස් දෙක ඇරල වටපිට බැලුවෙ.. 

" ආ පෙරලුනේ නැද්ද?... එහෙනං මොකක්ද අර ජර බර ගාල ඇහිච්ච සද්දෙ? " 

ඔන්න මානගාල යන්තං එහාට මෙහාට කරල අපි බැස්ස ජීප් එකෙං. අපරාදෙ කියන්ට බෑ ජීප් එකනං හොල්ලන්ට වත් බෑ. පොඩි පල්ලමක වගෙ අපි ඇවිත් තියෙන්නෙ පාරෙ ඉඳල. එතන තියන විදිහට හරවන එක නම් බොරු. මාන ගාලෙ රිවර්ස් කරන්ඩත් බෑ. ඒ පාර අනික අය එතනම ඉන්දැද්දි මමයි තව එහෙකුයි පයිම්ම ආව ආපහු කෑම්ප් එකට. ඒ දවස්වල හොඳ වෙලාවට කුඹුරු ලෑන්ඩ් ලෙවලිං වලට ගෙනාපු ඩෝසරයක් තිබ්බ අපි ගාව. ඒක අරගෙන ගිහිල්ල ටෝ රෝප් එකක් ( වාහනයක් මඩෙහි එරුනු වැනි අවස්ථාවක ඩෝසරයක් හෝ වෙනත් වාහනයක් යොදා ගොඩට ඇදීමට යොදා ගන්නා කුඩා යකඩ තන්තු අඹරා සැදූ යකඩ කඹය ) ඒකට අමුණල ඇදල තමයි අර ජීප් එක ආයෙම පාරට ගත්තෙ... 

Tuesday, April 23, 2013

180. කෝසල සිහින - අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව


අගබිසව වූ සාමාවතිය ප්‍රජා සත්කාරයෙහි යෙදෙමින් ප්‍රත්‍යාන්ත දනව් සරන හෙයින් කොසොල් රජ තෙමේ මෙදවස සිත්සේ නීළඹර සරන විහඟකු මෙන් බලවත් ප්‍රීතියෙන් ප්‍රමෝදිතව වසන්නාහ. අන්තඃපුර සෙසු බිසෝ වරුන් හා උයන් කෙළියෙහි යෙදෙමින් මධු පානයෙහි නිරතවෙමින් කල් ගත කරනා නිරිඳානෝ බොහෝකල්හි නින්දට යන්නෝ අළුයම් කාලයෙහිය. 

එදවස ද රාත්‍රිය පුරා නාටිකාංගනාවන්ගේ රැඟුම් නරඹමින් සෝම පානයෙහි නියැලුණු කොසොල් රජ තෙම රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි නින්දට වන්නේ සියොලඟ නැඟි දහදියෙන් තෙමී ගිය සිරුරැතිව අවදිවූයේ හෝරාවකුදු ගතවීමට ද ප්‍රථමයෙනි. 

සිහින සතළොසක් විටින් විට දර්ශනය වූ නමුදු මෙවන් සිත් කළඹවන සුළු විප්‍රකාර සිහිනයෙක් මින් පෙර කිසි දිනෙක දුටු බවට සිහියට නඟා ගත නොහුණු එතුමෝ, විපිළිසරවැ යලි නින්දට පිවිසීමෙහි අසමත් වූවෝ සිරි යහන් ගැබෙහි යාබද සඳළු තලයෙහි එහා මෙහා සක්මන් කරමින් රාත්‍රියෙහි ශේෂ වූ කාලය ගත කළෝය. 

උදෑසන අමරාවතී ගංගාව ඉස්මත්තෙහි ලහිරු මඬල නැගෙන්නා හා සමඟම සිරුරු කිස නිමකල වහාම පාතරාසය හෝ නොගෙන කොසොල් රජතුමෝ පිරිවර කිසිවකුගෙන් හෝ තොරවම තම මංගල සෛන්ධවයා පිට පැන නැංගේ වහ වහා දෙව්රම බලා නික්මුණෝය. 

බුදුන් වහන්සේ ද උදෑසන පිබිද භාවනානුයෝගීව මඳක් ගත කලේ ඉක්බිති මුව දෝවා පැන් සනහා හිල ද වැලඳූයේ ධර්ම ශාලාවෙහි වැඩ හුන්නේ සිව් වනක් පිරිසගේ කුකුස් විසඳා ලමිනි. 

කොසොළ් රජ තෙමේ නොඉවසිලිමත්වැ වහ වහා උන්වහන්සේ සමීපයට එළඹියාහු පා නැමැද පසෙකටවී එකත්පස්වැ මුනිවත රකිමින් හුන්නෝය. බුදුන් වහන්සේද තමා අසලට පැමිනෙන මෙන් රජුට සන් කොටැ මඳ සිනහවක් පාමින් මෙසේ විචාළෝය. 

" කිමෙක්ද මහ රජතුමනි, උදෑසනක් සේම මා හමුවට පැමිණියේ මන්ද? ඔබ සිත පෙළන යම් කරුණක් වේද වහා පවසා තැවුල් දුරු කොට ගත මැනවි " 

එසේ බුදු රදුන්ගෙන් ලද අවසර ඇත්තාවූ කොසොල් රජතුමෝද එකත්පස්වැ හිඳ මෙසේ පවසන්නට යෙදුණෝය. 

" එසේය ස්වාමීනී, ගත වූ රාත්‍රියෙහි ඉතා බියකරු, බලවත් චිත්ත වික්ෂෝභයට හේතුවන ස්වප්නයක් දර්ශනය කළෙම්හ. ඒ කුමන දරුණු ව්‍යසනයක පෙර නිමිතිදැයි නොදන්නේ දැඩි භීතියෙන් වෙළුණු සිතැතිව පසුවන්නෙමි " 

මෙසේ පවසන්නට යෙදුනාවූ රජ තෙමේ බුදුන් වත දෙසමැ ඇසි පිය නොහෙලා බලා සිටියෝය. 

එබස් ඇසූ බුදුන් වහන්සේ මඳ සිනහවක් පාමින් සිය සුරත දිගුකොට රජුට ආශීර්වාද කලේ මෙසේ පැවසූ සේක. 

" නොබා හිඳිනු මැන මහ රජ තුමනි, පෙර තොප දර්ශනය කල ස්වප්නයෝ සතළොසක් කිසිදු අපහසුවෙකින් තොරවැ විසඳා ලූවෝ මම් නොවෙම්ද? එසේ හෙයින් නොබා පැවසුම මැන. මේ සවප්නයත් එලෙසින්ම විසඳා ලා පියා තොප සිත් බිය සහ කුකුස් දුරු කරන්නමෝ " දැයි පවසා මඳහසින් යුක්තවැ පොරොත්තු වූවෝය. 

තදින් පියාගත් දෙනෙතින් යුක්තවැ ඇඳිලි බැඳගත් වනම මොහොතක් පසුවූ රජතුමෝ යලි දෙනෙත් හැර බුදුන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණයෙන් හෙබියාවූ වත මඬල දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මෙසේ කටහඬ අවදි කලෝය. 

" ස්වාමීනී., පසුගිය රාත්‍රියෙහි සිහිනයෙන් මම එක් නුවරෙක වීදි සංචාරය කරමින් සිටියෙමි. එනුවර බැලූ බැලූ අත ශ්වේත හස්තීහු එහා මෙහා සංචාරය කරන්නෝය. ඒ සියළු හස්තීන්ගේ පශ්චාත් භාගයෙහි කොසොල් රාජ අන්තර් ජාතික ශ්වේත හස්තියා යන වදන් පෙල නොමැකෙන සේ හණ ගසා ඇත්තාහ.ඒ සියල්ලටම වඩාලාත් විශ්මය දනවන කරුණ නම් මේ සියළු හස්තීහු ඔසවාගෙන යන්නාහු මෙපුර වැසියෝය. ඔවුහු හස්තීන් ඔසවාගෙන යන්නාහා තබා තම සිරුරු වාරු කරගත නොහැකි තරමට කෘශවූ කෙසඟයෝ පිරිසක් වෙති. එහෙත් මේ ශ්වේත හස්තීහු කිසි ලෙසකින් උන්ගේ කරමතින් බිමට නොබසින්නෝය. එසේ හෙයින් කුමක් කරන්නමෝදැයි විපිලිසර ඒ අසරණයෝ වික්ෂිප්තවැ හස්තීන් කරමත තබාගත්වනමැ දිවි ගෙවන්නාහුය. " 

දෙනෙත් පියාගත් වනමැ පෙරයම දුටු ස්වප්නය යලි සිහියට නඟාගත් රජතුමෝ තම බියරැඳි හඬ යලිදු මෙසේ අවදි කලෝය. 

" එසේමැ ස්වාමීනී බැලූ බැලූ මානයෙහි සියලුම තන්හි කෝසල රජ යන නාමය විසල් අක්ෂරයන්ගෙන් හණ ගසා ඇත්තේය. රාජ පාක්ෂික වන්දිභට්ට නාඩගම් කරුවෝ තම විසූක දස්සන නුවරුන්හට පෙන්වනුයේ කෝසල රාජ රඟහලෙහිය.මහා කලාකරු යන විරුදාවලිය සට්ටඹි යන පදයට සාර්ව සම වූ මෙන්ම ශබ්ද කෝෂයන්හි පර්යාය පදයක් ලෙස භාවිත වන්නේය....එකද නෞකාවකුදු සැපත් නොවන්නේ වී නමුදු භූමිය කැණ තැනූ මහා ජල තටාකය වනාහී කෝසල රාජ ජල තටාකයයි.සියොතුන් සහ වන හස්තීන් පමණක් සැරිසරන්නාවූ අහස් යානා තොටුපොළ ද කොසොල් රාජ ගුවන් තොටුපොළ සේ නම් ලද්දේය." 

කොසොල් රජතෙමේ මඳක් නිහඬවැ බුදුන් වහන්සේ වත දෙස හිස ඔසවා බැලුවෝය. එතුමෝද නිහඬවම සුරතින් සන් කෙරෙමින් රජුහට කථාකිරීමට දිරි දුන්නෝය. 

" ඒ සියල්ල පසෙක තිබියේවා ස්වාමීනී, මහත්මැ ව්‍යසනය නම් ඒ පුරවරයෙහි කිසිදු පුරුෂයෙකු හෝ ස්ත්‍රියක රාත්‍රි කාලයෙහි නිදා නොගන්නාහ. උදෑසන අවදිවන කල්හි ඔවුන්ගේ පුරුෂ සහ ස්ත්‍රී නිමිති වටා කොසොල් රාජ පුරුෂ නිමිත්ත හෝ කොසොල් රාජ ස්ත්‍රී නිමිත්ත යනුවෙන හණ ගසාපියා ඇත්තේවීයයි දැඩි බියෙන් ත්‍රස්තව වෙසෙන්නාහු ඔවුහු කිසි ලෙසකින් නින්දට නොයන්නාහ. " 

මෙසේ තම ස්වප්න විස්තරය නිම කල රජ්ජුරුවෝ උදක්මැ බුදුන් වහන්සේගේ වත දෙස නෙතු යොමාගත්වනම පසුවූවෝ එතුමන්ගේ සවප්න විවරණය කුමනාකාර වේදයි දැඩි කුකුසින් මඬනා ලද සිතින් යුතුවය. 

දෑස් පියාගත්වනමැ මඳක් සමවත් සුවයෙන් කල්ගෙවූ බුදුන් වහන්සේ දෙනෙත් හැරපියා රජතුමාහට මෙසේ පිළිවදන් දුන් සේක. 

" නොබා හිඳිනු මැන මහරජතුමෙනි, මේ ස්වප්නය කිසි ලෙසකිනුදු තොපට හෝ තොපගේ රාජ්‍යයට වන විපතක් පිළිබඳ අනතුරු හැඟවීමෙක් නම් උදක්මැ නොවන්නේමය. මෙයින් වසර දෙදහස් පන්සියයෙක් පමණ ගෙවීගිය කල්හි මේ දඹදිවට ආසන්න අනෙක් දේශයෙක සිදුවන්නකි.එරට රාජ්‍ය බලයට පත් වන්නෝ තම කීර්ති නාමය සුවාසූ කල්ප ලක්ෂයක් පවත්වා ගන්නමෝදැයි සිතා අඥාණ වූ පුරෝහිතයින්ගේ උපදෙස් ලබන්නාහු සෑම ඉඳිකිරීමෙකම සියනාමය සුවිසල් වූ අක්ෂරයන්ගෙන් හණ ගසා තිබෙනු දැකීමේ සමනය කොට ගත නොහෙන දොළකින් පෙළෙන්නෝය. " 

" මෙසේ බලවත් හීන මානයෙකින් පෙලෙන්නාවූ හෙයින්මැ බැලූ බැලූ තන්හි තම නාමය දිදුලනු දැක්මේ මැඩගත නොහුණු ආශාවෙන් පරිපීඩිත වෙමින් රාජ්‍යය පුරා සියළු ඉදිකිරීම් සිය නාමයෙන් හඳුන්වන්නාහුය.කොපමණ විචාර බුද්ධියෙන් තොරවූයේද යත් සිය අසූචි පවා මහා සුගන්ධයෙන් යුතුයැයි සන්ධියක් සන්ධියක් පාසා හඬනඟනා අන්තේවාසික කැණහිලුන් නොව නැණැසින් ලොව දක්නා අවශේෂ පුරවැසියන් හමුවේ තමන් කෝණංගියකු බවට පත් ඇති බව නොදක්නාහු මුඪ පාරාදීසයෙක කල් ගත කරන්නාහ. " 

" මඳකට සමාවන්න ස්වාමීණී,.....එහෙත් යම් රාජ්‍යයක සුවිසල් ඉඳිකිරීමෙක් එරට පාලකයා නමින් නම් කිරීමෙහි වරදක් ඇත්ද?.." 

මෙහිදී රජතුමා බුදුන් වහන්සේගෙන් විමසාලූහ. 

" නැත, මහරජතුමෙනි, එහි කිසිදු වරදෙක් නැති. එහෙත් එසේ වනුයේ ඒ ඉඳිකිරීම පාලකයාගේ පෞද්ගලික ධනය වැයකොට කෙරෙන්නක් නම් පමණි.සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටුහු සිය පෞද්ගලික ධනය වැයකොට ඉඳිකල ආරාමය අනාථ පිණ්ඩික ආරාමය නම් වෙයි. එහි දොසක් දකිනු හැකි වනුයේ කවරෙකුටද? කොසඹෑ නුවර ඝෝෂිත සිටුහු තම ධනයෙන් ඝෝෂිතාරාමය ඉදි කලහ. එලෙසම කුක්කුට සිටුහු කුක්කුටාරාමයද පවාරික සිටුහු පවාරිකාරාමයද ඉදි කළෝය. ඒ කිසිදු ඉදිකිරීමෙක් තම නමින් නම් කිරිමෙහි කිසිදු වරදක් ඉඳුරාම නැත්තේය. මක් නිසාද ඒ ඉදිකිරීම කෙරෙනුයේ ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්ම බැවිනි. එළෙසම ඒ සියල්ල ගෞතමාරාම ලෙස නම් කිරීමට මට ඉතා පහසුවෙන්ම හැකියාව තිබුනද මම එසේ නොකලෙමි. මාගේ නාමයෙන් වෙහෙර විහාර නම් නොකලද තවත් වසර දෙදහස් පන්සියයකට අධිකවූ කාලාන්තරයක් මුලුල්ලේ අසංඛ්‍ය සංඛ්‍යාත මිනිසුන් මුව මාගේ නාමය නිතොර කියැවෙනා බැව් මම හොඳහැටි දන්නා බැවින් එසේ කිරීමෙහි අවශ්‍යතාවයෙක් කිසිසේත් මාහට නොවීය. " 

" එහෙත් මෙපවත් අසනු මැන. අධික පොළියක් සමඟ දශක ගණනක් තුල ගෙවිය යුතු පරිදි ගිවිසුම් අත්සන්කොටැ සියළු පුරවැසියන් දෙපා අවසඟ මහල්ලාගේ පටන් මව් ඇකයේ කිරි උරනා බිලිඳා දක්වා සියලු පුරවැසියන් උගසට තබා ණය වශයෙන් ලබාගත් මුදල් වැයකොට කල ඉදිකිරීම් තම නමින් හැඳින්වීමෙහි ඇත්තේ කුමන සාධාරණත්වයක්ද? " 

" වන්නාටය මහරජ...කලියුගයේ මෙවන් විපරීත ක්‍රියා සිදුවීම කිසිසේත්ම විශ්මයට පත්වියයුතු කරුණෙක් නම් නොවේමය. ඒ කෙසේ වුවද තොප දුටු සිහිනය කිසිසේත් තොපට හෝ තොපගේ රාජ්‍යයට මෙවකට වන්නාවූ අනර්ථයක් හඟවන්නක් නම් නොවේමය. එසේ වූ හෙයින් නොබා සිත් සනහා ගනු මැනැවියි " පවසා එසඳ බුදු රජාණන් වහන්සේ කෝසල රජු සිත් සනසවා ලූ බව මෙයින් දත යුත්තේය. 

කෝසල සිහින අටළොස් වැන්න නොහොත් ශ්වේත හස්ති වස්තුව මෙසේ නිම වූ වගයි….. 

Friday, April 19, 2013

179. වාං පතුල් කතාව තව දුරටත් - විමලේගෙ භාණ්ඩ තත්ව පරීක්ෂා උපක්රම සමඟ බුද්ධ ප්රතිමා නඟා සිටුවීම

විමලයගෙ වාං පතුල් කතාව තමයි දැං කියන්ට තියෙන්නෙ නෙවද? හරි එහෙනං කියමුකො බලන්ට...... 

විමලෙය ගැන මම කිව්වනෙ කලිම්ම..උන්දැ ඇවිල්ල මොකෑලන්තවාසියෙක්...කඩ්ඩෙං කිව්වොත් මොකෑලන්ඩර්...මොකෑ බොල තෝ කන්ට වගෙ බලාන ඉන්නෙ?...මොකෑ බොල මේ පාංගෙඩිය මේ හැටි කරුකුස්ටං වෙලා?...මොකෑ මලේ කෙල්ල කියැව්වෙ?....ඔන්න විමලෙය කතා කොරන්නෙ ඔහොම තමා...අය ඉඳා අම්ම....ඔන්න ඔහොමත් ඒක කියනව. ඉඳා අම්ම....එයාගෙ රැස්පොට්.... 

හෙහ්, හෙහ්, ඔන්න බොලේ ඉඳා කියනකොට සෝක් කතාවක් මතක් උනා....හරි හරි බොලව්..මේ පොඩි කතාව විතරයි..අද කොහොම හරි වාං පතුල් කතාව කියල ඉවරයක් කරනව...මේස් දෙක පල්ල.... 

අරිසෙන් අහුබුදු සූරීන් මතක නේද? පොඩි සංදියෙ ඉස්සෙල්ලම ඔය සූරින් කියන වචනෙ ඇහුනම මයෙ හිතට එන්නෙම මාළු කූරියෙක්...සූරීන් = කූරීන් කියලයි මට හිතෙන්නෙ... 

අහුබුදු සූරීන් ඇවිල්ල හෙල දෙස බස රැස ගැන බොහොම උනන්දු වෙච්චි කෙනෙක්.නිතරම ඔය අපි භාවිතා කරන සංස්කෘත, පාලි වචන හෙළයට හරෝල තමයි එතුමා බාවිතා කලේ. දැන් ඔය අරිසෙන් අහුබුදු කියන්නෙ මුල්නම වෙච්චි ආරියසේන ආශුබෝධ හෙලයට පෙරලල තනාගත්තු නම. 

දවසක් අහුබුදු සූරීන් තම බිරිඳත් එක්කල යනව ගමනක්. එලෝලු ගන්ට මාරකැට් යනවයි කියමු. හපෝයි, සමාවෙන්ට ඕමනයි..ඒ එළෝලු ගන්ට වයිෆ්ස් එක්ක මාරකැට් යන්නෙ උඹල අපි...අහුබුදු සූරීන් වන් පුඟුලෝ හෙළ අවුළු මිළදී ගනු පිණිසැ සති අන්ත වණික්පල වෙතැ සිය පියඹද කැටුව පිය මනින්නෝය. අන්න එහෙමයි එයාල වැඩ කරන්නෙ.. 

අහුබුදු සහ පියඹ මෙහෙම යද්දි මඟදි මුණගැහුන තව යාලුවෙකුත් යනව එයාගෙ භර්යාව එක්ක.. 

" සබඳ මේ මා පියඹ සඳා…" 

හිතවතා ඇමතූ අහුබුදුවෝ පැවසූහ. අහුබුදූවන්ගෙ භාර්යාවගෙ නම චන්ද්‍රා... 

හිතවතා උඩ බිම බැලුව. ඒත් මිනිහත් කැමති උනේ නෑ අහුබුදුවන්ට දෙවෙනි වෙන්ට.. 

" අහුබුදුවනි, මේ මා පියඹ,  ඉඳා " 

භාර්යාව පෙන්නල යාලුව කිව. එයාගෙ වයිෆ්ස් ගෙ නම ඉන්ද්‍රා... 

විමලයගෙ තිබ්බෙ අමුතුම වචන සෙට් එකක්...ඕක එක්ක තැනකට යනවයි කියන්නෙ වහ කනව වගෙ වැඩක්. ඇඟේ ලේ නෑ මේකා මොනවා කියයිද කියල.... 

එක පාරක් ඕකා චමරි මැනේජර් වෙල ඉන්දැද්දි බඩු ගේන්ට ටවුමට යද්දි මාවත් එක්කහු කොරගෙන ගියපි.බඩු ගේන්ට යද්දි අපි එක පාර බඩු හෙන ලොට් එකක් ගේන හින්ද තවත් කවුරුහරි එකෙක් එක්කං යනව උදව්වට..ඒක තමයි පිළිගත් සම්ප්‍රදාය. ඔය සහායට ඩැනී වැඩේට කට්ටිය යන්නෙ පැනල.කඩවල් ගානෙ ඇවිදිනව එව්වයෙ ඉන්න කෙල්ලොන්ට අනම් මනං කිය කිය, පස්සෙ බඩු පටෝනකල් රෙස්ටොරන්ට් එක්කට රිංගල බියර් බෝතලයක් දෙකක් කාරිය ගසල ඇරල ආතල් එකේ හුලං වැදි වැදි ආපහු එන්ට නෙව තියෙන්නෙ. හෙහ්, ඔහොම සොමියකට කවුද අකමැති? ඒත් විමලෙය චමරිය කරන කොට ඌ ගානෙ බොන්ට අරං දෙනව කිව්වත් කිසි කෙනෙක් යන්නෙ නෑ ඒකා එක්ක.මොනව හරි බොරුවක් කියල මග අරිනව. 

අන්තිමට ගහන ගහන හෙණ ලංකාතිලකෙට කිව්වැහෙ මටම තමා ඒකත් පංගනාත්තු වෙන්නෙ. " අනේ මල්ලියෙ උඹවත් යමං " කියල විමලෙය කිව්වම මූණ බලාන කොහොමෙයි බෑය කියන්නෙ.." හ්ම් යමං එහෙනං " කියල මාත් කලිසමක් දාගන්නව. 

ඔන්න යනව කඩේට...සුපර් මාරකට් කොහෙද ඒ කාලෙ?....පරිප්පු, හාල්, සීනි පිටි ඔක්කොම කට ඇරපු තඩි ගෝනිවල දාල ලී පතුරක ගහපු කාඩ්බෝඩ් කෑල්ලක මිල ලියල ඒකෙම ගහල තියනව. තාමත් එහෙමද මන්ද....මුදලාලි ඉන්නව මේස් බැනියමකුත් ඇඳගෙන දකින දකින වෙලාවක් ඇත්තං මිනිහගෙ වැඩේ අසෝක වීදුරුවක දාපු කිරි තේ එකක් පොඩ්ඩ පොඩ්ඩ තොල ගාන එක.එයාගෙ මේසෙ ඉහළිං හැමවෙලේම පත්තුවෙන පොල්තෙල් පානක් සහ කොයිවෙලෙත් දුං දාන හඳුං කූරක් බුදු හාමුදුරුවො සහ සියලුම දෙවිවරුන්ගෙ රූප ඉස්සරහිං තියනව. 

විමලයත් එක්ක බඩු තෝරන්ට ගියාම ඔලුව නරක් වෙනව.හැම එකක්ම ඕකට එක්කො නහයට කරල බලන්ට ඕන නැත්තං කාල බලන්ට ඕන ..අඩුම ගානෙ දිවගාල හරි බලනවාමයි. 

අනික ඕකගෙ නෑනෙ හෙමීට කතාවක්..බඩු චෙක් කරන්නෙ රනිං කමෙන්ට්‍රි එකකුත් දීගෙනම.ඔන්න කහ කුඩු ගෝනියෙං ඒකෙම තියන පොල්කටු හැන්දට කහ ටිකක් අරගෙන අල්ලට දාගන්නව. දිවේ අග්ගිස්සට කහ කුඩු ටිකක් ගන්නව.එක පාරට දිව කට ඇතුලට ගන්නෙත් නෑ.ඉස්සෙල්ල ඇස් දෙක හෙමීට පියාගන්නව එහෙම්මම ටිකක් වෙලා ඉන්නව ,..ම්ම්ම්..තත්පර තිහක් විතර කියමු. 

ඔය වෙනකොට කඩේ බඩු කිරන්ට ඉන්න ගෝලයො දෙන්න කටවලුත් ඇරගෙන විමලය දිහාවෙ බලාගෙන. වෙන එකක් තියා මුදලාලිත් කිරි තේ වීදුරුව කට ගාවට අරං යන ගමන බාගෙට නවත්තල එහෙම්ම මූ දිහා බලාගෙන ඉන්නව.මුදලාලිගෙ දකුණු කම්මුලේ තඩි මැස්සො දෙන්නෙක් ඔට්ටු සෙල්ලං කරනව ඒත් මුදලාලිට එව්වයෙ ගානක් වත් නෑ. 

විමලෙය අර අරම ඉන්නෙ මොකෝ දන්නවය?.....මම කලින් දවසක ඇහුව ඕකගෙං.. 

" ඒ මොකෝ බාං උඹ අර දැරහැවේ දපල තියෙන මිනියෙ කට ඇරිල දිව එලියට දාන්නැහෙ යාරයක් විතර දිව එලියට දාගෙන ඉන්නෙ කහ කුඩු ටිකත් අග්ගිස්සෙ ගාගෙන? " 

" ඒ බං මෙහෙමයි....සරක්කු පහේ වල රස වගේම වැදගත් සුවඳත්...ඒ මම ඇස් පියාගෙන කරන්නෙ සුවඳ අහන එක.." 

" ඉතිං බං කහ කුඩු ටිකක් නාහෙට කරල සුවඳ බැලුවම වැඩේ ඉවරයිනෙ. " 

" ඔය කිව්වෙ..ඔය කිව්වෙ..ඔන්න කිව ඔන්න කිව..යකෝ එතකොට සුවඳ ඇහෙන්නෙ වේලිච්ච කහ වල. එහෙම නෙවෙයිනෙ. අපි කෑමක් කටට ගන්න කොට එව්වයෙ තියන කහ කටේ කෙලවල දියවෙනව. එතකොට තමයි කහවල නියම සුවඳ එන්නෙ. අන්න ඒ නිසයි මම එහෙම කරන්නෙ..තේරුණාද උඹට? " 

මට තේරිච්ච ඇති එකක් නං නෑ..ඒත් නෑය කිව්වනං ඕක ආයෙම මුල ඉඳල පටංගන්නව පැහැදිලි කිරීම..ඒ නිසාම මම ඔලුව වැනුව.. 

" තේරුනා තේරුනා…" 

විමලෙය අරම මහසෝන වගෙ දිව එලියට දාගෙන ඉඳල හෙමීට ගන්නව දිව ඇතුලට..ඇතුලට කිව්වෙ කොහෙ ඇතුලටද කියල ඇහැව්ව?...දිව කියන එක ආයෙ කට ඇතුලට නැතුව වෙන කොහාට ගන්ටද..ඈ?.....කට ඇතුලට අරගෙන අර කහකුඩු ටික හෙමීට තවරනව උඩු තල්ලෙ පිටිපස්සෙම තියන අර පණුවෙක් වගෙ අවයවය දන්නවද? රසදිව ඒකට කියන්නෙ....ඔන්න ඔය රස දිවට තියෙන දුරින් 1/3 ක දුරකින්.ඔය රසදිව විදල මුදු දානව කියල දන්නවද?....හෙහ්, හෙහ්, නුහුගුණේ සාරසුබාවට තියෙන්නෙ අපේ මේ බොලොග් ලියන කියවන උදවියට විතරක්ම නෙවෙයි බලාගෙන ගිහාම. 

පල්ලෙහා පින්තූරෙ Uvula කියල තියෙන්නෙ ඔන්න ඔය රසදිව තමයි. 



ඔය රසදිව විදල මුදු දාපු කට්ටිය පාරෙ යන්නෙ කට ෆුල්ම ඇරගෙන. නැත්තං අර අච්චර අමාරුවෙං දාපු මුද්දෙං වැඩක් තියේද? දත්වල ඉන්න පණුවොන්ට විතරයි ඒක පේන්නෙ....යටි හක්කෙ ඇටේ හිස් කබලට සම්බන්ද වෙන ජොයින්ට්ස් දෙකක් තියනව.කණ ඉස්සරහිං ඇඟිල්ලක් තියාගෙන කට අරින්ඩ හැදුවොත් එතන ජොයින්ට් එක එහෙ මෙහෙ වෙනව තේරෙයි.ඔය ජොයින්ට් එක පන්නල තනිකර යටි හක්ක පල්ලෙහාටම අරින්න පුලුවන්.පිඹුරො තනිකර මුවෙක්, ගෝනෙක් එහෙමත් නැත්තං ඌරෙක් එක කටට ගිලින්නෙත් ඒ විදිහටමයි.අර ජොයින්ට් එක පන්නල කට අප්පල්ලෙ වගෙ ඇරල හිට සතා ගිලිනව, ඊට පස්සෙ ආපහු ජොයින්ට් එක තිබ්බ වගෙ ලොක් කර ගන්නව.බොහොම පහසුයි... 

සමහර අයගෙ ඔය ලොක් එක බොහොම අඩමානෙට තියෙන්නෙ...මගෙ එක යාලුවෙක් හිටිය..ඉස්කෝලෙ යන දවස්වල..අමතක වෙල එහෙම කට හායි ගාල ඇරල ඈනුමක් එහෙම ඇරියොත් බඩුම තමයි, හක්ක පයිනව...වැඩේ කියන්නෙ ඌට තනියම ආපහු දාගන්ටත් බෑ.කටත් ඇරගෙන ඉන්ට වෙනව අපි කවුරුහරි ජොයින්ට් එක ඇඟිල්ලෙං තද කරල යටි හක්ක ආපහු ලොක් කරනකල්. 

ඒ ඉස්කෝලෙ කාලෙ....පස්සෙ මම අර උතුරු මැද නැගෙනහිර පළාත් මායිමේ වියාපුරුතියෙ ඉන්න කාලෙ අපෙ හිටිය එකෙක්...අපිට එහෙම වැඩිය වයසයි..ජයේ අයිය කියල කියමුකො..පොරගෙ වං අත පනිනව හිටපු ගමං උරෙස්සෙං. ඔතන තියනවයි කියන්නෙ ඔන්න බයෝ කොරපු අය දන්නව ඇති කුහර ගෝල සන්ධියක්ය කියන එකක්නෙ.මන්දා ඉතිං අපි ඉගෙන ගන්න කාලෙ නං එතන එහෙම එකක් තමයි තිබ්බෙ. දැං මොකක් තියනවද කියල නම් හරියටම කියන්ට දන්නෙ නෑ. මේ ඊයෙ පෙරෙයිද බයෝ කොරපු හිච්චි එවුං එහෙම ඉන්නවනං කියන්ටකො තාමත් එතන තියෙන්නෙ කුහර ගෝලයක්මද කියල....රයිට් අපි එහෙම උපකම්පනයක් කරමු. එතන තියෙන්නෙ කුහර ගෝල සන්ධියක්ය කියල. 

Ball and socket joint..නමෙම්ම තේරෙන විදිහට සොකට් එක ඇතුලට බෝල් එක බහිනව. කුහරය ඇතුලට ගෝලය......එක්කො අතේ ඇටේ ගෝලය, උරහිසේ ඇටේ කුහරය. නැත්තං ඕකෙ අනික් පැත්ත, අතේ ඇටේ කුහරය උරහිසේ ඇටේ ගෝලය.කොහොම හරි කමක් නෑ දෙකේ දෙක තිබ්බනං එච්චරයි. ෆුල් කේස් වෙන්නෙ උරෙස්සෙයි අතෙයි දෙකේම එකම ජාතිය තිබ්බොත්...ඒ කිව්වෙ සොකට්ම දෙකක් නැත්තං බෝල්ම දෙකක්.නිඹුල්ලුංගෙ එහෙම වෙන්න පුලුවන්ලු මාරු වෙල. එහෙම උනාම ඔපරේෂන් කරන්න වෙනවා. 

දවසක් අපි මහ රෑ එනව මල ගෙදරක ගිහිල්ල...මිට්සුබිෂි ජීප් එකේ... ලෝං වීල් බේස්....අන්න වාහන...මර්ඩර් හවුස් එක ( මරණ ගෙදර කිව්වම ඒක ඉංගිරිසියෙන් එහෙම තමයි... The murder house..ඒයි වික්කරේගෙ තාත්තගෙ මර්ඩර් හවුස් එකට යන කට්ටියට නම් දෙන්න කියල නෝටිස් එකක් දාල තියනව..උඹ දුන්නය?...එහෙම තමයි අපි අහන්නෙ..) තිබ්බෙ අවුකන කිට්ටුව....මළගෙදර යන ගමං කළාවැව් බන්ඩ් එක උඩ පොඩ්ඩක් නැවැත්තුව. වෙන මොකටවත් නෙවෙයි ආය. අපේ අතීත ශ්‍රී විභූතිය දෑහිම්ම නරඹල බුද්ධාලම්භ ප්‍රීතියෙං ඔකඳ වෙලා සතුටු කඳුලක් එහෙම හෙලල දේශානුරාගයෙන් ඔද වැඩිල එහෙම යන්නෙයි කියල. 

අපේ ඉන්නව එක එක ජාතියෙ එවුං.ඔන්න කට්ටියක් ඉන්නව පාර අයිනෙ ඊයෙ රෑ වැස්සට වතුර එකතු වෙච්චි සුට්ටි වලක් දැක්කොත් ඇති, හූ කියාගෙන බහින්නෙ ජීප්පෙකෙං.ඒ ජාතියෙ එවුං මල ගෙදරක ගියත් මඟුල් ගෙදරක ගියත් තුවායයි සෝට් බෑයකුයි පත්තරේක ඔතාගෙන තමයි වාහනේට ගොඩ වෙන්නෙ. 

තව එවුං ඉන්නව ගමන යන්ට කලින් දවසෙ රෑ එලිවෙනකල් හාප් සීට් පොඩි කෑලිවලට ඉර ඉර එව්වයෙ නමයි ඇඩ්ඩස් එකයි ලියනව. මග දිගේ ඉතිං වැලක චීත්තයක්, මල් ගවුමක් වනල තිබ්බත් උන්ට ඇති. විසි කරනව අර ඇඩ්‍රස් කෑලි.බොහොමයක් එව්වට උත්තරත් එනව.අපරාදෙ කියන්ට බෑ... 

තව කට්ටියක් ලිස්ට් එකක් හදනව.. 

" රයිට් දැං කට්ටිය ඔක්කොම යනව අට දෙනෙක්..එකාට බාගෙ ගානෙ මුලිම්ම බෝතල් හතරයි. ආ..ජයේ අයියත් යනවනෙ..එහෙනං ඇඩිෂනල් තව බාගයක්වත් දාන්න වෙනව. හරි එතකොට හතරාමාරයි. කඩල පැකට් විස්සයි. සිගරට් විස්සෙ පැකට් එකයි...අඩේ සමරෙත් නම දීල තියනව නේද? එහෙනං කොහු ලණු කැරලි දෙකකුත් දාපං ලිස්ට් එකට. හරි ඔක්කොම එතකොට වෙනව රුපියල් පන්සීයක්..........දැනට දීපල්ල එකා හැත්තෑව ගානෙ. මදි වෙනකොට ආයෙම එකතු කරමු.මතක ඇතුව පර්ස් අරං පලයල්ල. මඟදි අනේ මචං පර්ස් එක රූම් එකේ දාල ආවයි කියල බබා උකුං එහෙම ඔට්ටු නෑ හොඳද? එහෙම අමතක වෙයි කියල හිතෙන එවුං දැම්මම මගෙ අතට කීය කීය හරි වැඩිපුර දීපල්ල..." 

මම තමයි ඒ බොහෝවිට....... 

ජීප් එක වැව පැත්තට පස්ස හරෝල නවත්තල පිටිපස්සෙ එක දොරක් ඇරියම මරු. කලාවැවේ දියමතුපිට පිසගෙන එන සිහිල් සුලං රැල්ල ආය කියල වැඩක් නෑ. සේට් ගලෝල වනනව ජීප් එකේ බොනට්ටෙක උඩ. හොඳට පපුව පුරෝල හුස්මක් උඩට ඇදල පුලුවං තරං කල් අරගෙන හෙමීට පිටකරනව. ෂෙහ්......ආතල් ද බ්‍රේව්....අපි එළියෙ ඉඳගෙන අවට සිරි නරඹන ගමම්ම විඩිං විඩේ ගිහිල්ල අර ජීප් එකේ දොර ඇරල ඇතුලට නැමිල එනව.වෙන මොහොකටවත් නෙවෙයි එහෙම බැලුවම අවුකන පිළිමෙ පේනව අත දික්කලා වගෙ. ඔහොම මෙහෙම...දෑත් එක්කරල පිළිම වහන්සෙට වැඳල එහෙම....හෙහ්, හෙහ්. 

මේ බුදු පිළිම ගැන පොඩි කතාවක්...... 

ඔය කාලෙ අගමැති තුමා අපෙ පේමදාස මහත්තය. 

දන්නවනෙ එතුමගෙ වැඩ..ආය යමක් හිතුනොත් සක්කරයටවත් බෑ ඒක නවත්තන්ඩ. වැඩේ කරලමයි පස්ස බලන්නෙ...ඔන්න එතුමට හිතුන ඔය කැළෑවට වැහිල නටබුන් වෙල තියෙන බුදු පිළිම ප්‍රතිසංස්කරණය කරන්ට. ගම් උදාවත් එක්කමයි මේ වැඩ පිළිවෙල ක්‍රියත්මක උනේ.මාළිගාවිල පිළිමෙ එහෙමත් බිම වැටිල තිබිල එහෙම කෙලින් කොරපු එකක්. 

දවසක් උදේ උන්නැහැ පත්තර බල බල ඉන්නවයි කියමුකො.මෙන්න තියනව පලවෙලා ලිපියක් එතුමට ඉස්තූති කරල මාළිගාවිල පිළිමෙ කෙලින් කලාට..ඒ එක්කම තියෙනව ඊට සුට්ටක් විතර එහා මහ කැළේ මැද ජරාවාස වෙල තියන පිළිමයක් ගැන. ඒකත් ප්‍රතිසංස්කරණය කලානම් අපූරුයි කියල..ජාතියේ පිනට උපන් ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!! 

ඒ වෙලාවෙම ගත්ත කෝල් එකක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ ඒ පැත්තෙ ප්‍රාදේශීය කළමනාකරුට. 

" අද පත්තරේ තියනව කැළේ මැද නටබුන් වෙච්ච බුදු පිළිමයක් ගැන. එතනට ගිහිල්ල තත්වය පරීක්ෂාකරල බලල ඒ පිළිමය නගා හිටුවන්ඩ වහාම වැඩ පිළිවෙළක් සකස් කරන්ඩ ඕනෙ. මට මේ ගැන උදේ දහයට කලින් වාර්තාවක් දෙන්න ටෙලිෆෝන් එකෙන්. " 

මොනවද අටහමාර වෙනකොට ආව කෝල් එක.. 

" සර්..මම අර පිළිමෙ බලන්ට ගියා.ඒක කෙලින් කරන එක නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ...." 

" මේ තමුං දන්නවනෙ, මම ඔය ඒත් මේ කතාවලට කැමති නෑ කියල.මට ඕන වැඩක් කෙරෙන විදිහක් මිසක් වැඩක් නොකෙරෙන්න හේතු නෙවෙයි. වහාම ඒ පිළිමෙ කෙලින් කරන්ට කටයුතු යොදන්ට. " 

" සර්..ඒත් මේ........." 

" මම එක පාරක් කිව්ව නේද?....වැඩ කරන මිනිස්සු විතරයි මා ළඟ ඉන්න ඕන. කරුණාකරල මම කියපු විදිහට වැඩේ කරනව.." 

ප්‍රේමදාස මහත්තය පොළවෙ අඩි හැප්පුව.එතුමගෙ කොණ්ඩෙ ඩයි කරමින් උන්නෙ මොහිදීන්ට ඔව්ව හොඳට පුරුදුයි. මිනිහ ගාණක්වත් නැතුව වැඩේ කරගෙන ගියා. 

අනේ කිව්වත් වාගෙ සති දෙකක් ගියෙ නෑ. ප්‍රේමදාස මහත්තයට වාර්තාවක් ආව වැඩේ අහවරයි කියල.එතුමා ඔන්න තකහනියක් ගියා පිළිමෙ බලන්ට. අප්පට සිරි මේ තියෙන්නෙ පිළිමෙ බැබලි බැබලි...ආය මොනවද?....එලකිරි සහ ජලය 

ඒත් ප්‍රේමදාස මහත්තයට පොඩි අවුලක් වගෙත් තේරුණා. බුදු හාමුදුරුවො ඉන්න විදිහ නිකං හරි නෑ හරි නෑ වගෙ..හැරුන අර ප්‍රාදේසීය පොර දිහාට. 

" මොකද අයිසෙ මේ බුදු හාමුදුරුවො දකුණු අතෙං කණ වහගෙන ඉන්නෙ?..අනික මොකක්ද අර කර උඩ තියෙන්නෙ? " 

" ඒ කර උඩ තියෙන්නෙ සර් කොට්ටෙ…" 

" මොකක්??? කොට්ටයක්???..ඒ මොකටද ඕයි බුදු හාමුදුරුවො කොට්ටයක් කරේ තියාගෙන ඉන්නෙ? " 

" ඒක තමයි සර් මම එදා මේ සර්ට කියන්න හැදුවෙ……" 

කලමනාකරු තැටමුවා බිම බලාගෙන 

" මොකක්ද තමුසෙ මට කියන්න හැදුවෙ?....කියනවා ඕයි තවත් තෙපර බාන්නෙ නැතුව …" 

ප්‍රේමදාස මහත්තගෙ මූණ සත දහය වගෙ වෙලා…. 

" සර්..අපි කෙලින් කරල හිටෙව්වට මේ පිළිමෙ සැතපෙන පිළිමයක්...." 

" මල කෙලියයි..ඇයි ඕයි තමුසෙලා මාව කෑවා නේද?...වහාම මේ අදම පිළිමෙ හරහ දානව .....පුරා විද්‍යා කාරයෙක් එහෙම දැක්කොත් මාව පතුරු ගහයි. " 

" නෑ සර් අවුලක් නෑ ඊයෙ පුරාවිද්‍යා එකේ කට්ටිය ඇවිල්ල පිළිමෙ බලල ෆොටෝ එහෙමත් ගහගෙන ගියා. " 

" නෑ.!!!!! " 

ප්‍රේමදාස මහත්තය නළලෙ අත ගහ ගත්ත.. 

" මොකෝ ඉතිං කිව්වෙ? " 

" කිසිම ප්‍රශ්නයක් උනේ නෑ සර්..දැං ඔය බුදු පිළිම ආකාර බර ගානකට තියනවයි කියනවනෙ. එව්වට කියන්නෙ මුද්‍රා කියල.එහෙම මුද්‍රා හතක් දැනට හොයාගෙන තියනවලු. මේ පිළිමෙ තියෙන්නෙ මින් පෙර හොයා නොගත්ත අලුත්ම මුද්‍රාවක්ය කියල තමයි එයාල කිව්වෙ. ඔය කොට්ටෙ වැඩේ ගැන තමයි ඒ ගොල්ලන්ටත් හිතාගන්න බැරි.පරණ ලිපි ලේඛන පුස්කොල පොත් එහෙම බලල මේ මුද්‍රාවට කියන නමක් ගැන හොයල මට කියන්නම්ය කියලත් කිව්ව ඒ අය. " 

Tuesday, April 16, 2013

178. අයෝමය කතගේ සමුගැන්ම.. Farewell Of The Iron Lady


කිත්‍යාකාර ගේට්ටුවෙං එලියට පැන්නෙ කට්ටියම එකට. කොච්චර හෙමීට පලයල්ල කියල සර්ලයි ප්‍රිෆෙක්ට්ලයි කිව්වත් අම්මප ඒකනෙව බැරිම වැඩේ..කලින් ගියයි කියල ඇති වැඩකුත් නෑ....පුංචි බොරැල්ලෙ බස් හෝල්ට් එකට වෙලා වේලෙනව තව පැය බාගයක් විතර මික්ස්ඩ් ස්කූල් බස් එක එනකල්.... 

කැම්බල් ප්ලේස් එක පහු කරල පුංචි බොරැල්ල පැත්තට හැරුන විතරයි.. 

" ඒ දුවපං අන්න අරූ එනව මාරාවේස වෙලා වගේ… " 

පිටිපස්සෙං ඇහුන කෑගැහිල්ලක්... හැරිල බලනකොට දමිතය කඩාගෙන එනව වෙඩි කාපු ඌර වගෙ මෙලෝ සිහියක් නැතුව....මමත් එතනිං එහාට ආය බල බල හිටියෙ නෑ.... පොත් මිටිය ගත්ත දෑතිම්ම...දිව්ව ආයෙ නෑ...උසේන් බෝල්ට්...නෑ ඒ යකා එතකොට දුවනව තියා ඉපදෙන්ට හිතලවත් නෑ. අර එයයිගෙ ලොකු කෙලී දවසක් කිව්වය කියල බින්දි කිව්වෙ.......No, no, you were not even in the process..ආන්න එහෙමයි....:) :) 

ඒ දවස්වල කාල් ලුවිස් හිටියෙත් නැද්ද කොහෙද?...කවුරු වගේද එහෙනං මම දිව්වෙ? ෂෙහ්... ඔන්න බලමුකො හාංකවිසියක්වත් මතක නැති හැටි හැබෑට..හරි කවුරු හරි කමක් නෑ....මම හුරේ රන් එක දුන්නය කියමුකො...උපමාවක් ඕනමය කියල හිතේනං අර කොහාටද මොනවද ගහපු මොකාද වගේය කියල හිතාගන්නකො......පුංචි බොරැල්ලෙ හන්දියෙං හැරුන වමට..සාමාන්‍ය නෝමලි අපි බස් එකට නඟින්නෙ නම් හංදියෙං දකුණු පැත්තට, ඒ ලඟම තියෙන හෝල්ට් එකෙං..ඒත් මේ වෙලාවෙ ඔතන කෙල්ලො පිරිල..ඒ අස්සෙ දමිතයට කරුමෙටවත් අහුවෙල ගුටි කෑවොත් එහෙම හතර විළි ලැජ්ජාවෙ පස් වෙනි එක...අර මොනවද හතළිහයි කියන්නෙ..අන්න ඒක... 

එදා කොහොම හරි දමිතයට අහු උනේ නෑ...දුවල බේරුනා...එතනිං ඊට පස්සෙ ඔන්න ඔය ටික යමල්ල පයිම්ම කියල අපි ගියා බොරැල්ලට. 

හරි ඔය දමිතයට මාරාවේස වෙලා අපි පස් සෙ එළෝගෙන ආවෙ මොකෝ දන්නවද? පුදුම ප්‍රශ්නනෙ අම්මප ඔහෙත් අහන්නෙ නැද්ද?..මොකෝ අපිට දිවියඥාණෙ තියනවයි කියල හිතුවය ඔහෙගෙ හිතේ තියන එව්ව දැනගන්ට ....හරි හරි....සමාවෙන්ටකො..ඉන්ට මම විස්තරේ කියන්නං.. 

ඔය කියන දවසෙ තුංවෙනි පීරියඩ් එක අපිට ඕෆ්.ඒත් අපි එකෙක්වත් අඩුගානෙ පංති පේළිය ඉස්සරහ තියෙන කොරිඩෝ එකටවත් බැස්සෙ නෑ. අපෙ හිටිය අංස බාර සේර් ඒ තරමට අහිංසකයි.වැඩිය උස එහෙම නෑ. තනි සුදු අඳින්නෙ...කොල්ලො තලේ අස්සට ඇවිදිල්ල ඉන්නව අපි හාංකවිසියක් වත් දන්නෙ නෑ. උඩ පැනල කණ හරහ දෙනකොට තමයි ඔන්න පත්තු වෙන්නෙ... 

අපෙ එහා පංතියෙ එකෙක් හිටිය ඕකට අපි කිව්වෙ ගානර් කියල. ඒ දවස්වල හිටිය වෙස්ට් ඉන්ඩීස් ෆාස්ට් බෝලර් කෙනෙක් ජොඑල් ගානර් කියල අඩි හයයි අඟල් අටක් උසයි. ගානර් නොහොත් බිග් බර්ඩ්...ඒ කාලෙ ඉතාම ජනප්‍රිය සෙසමේ ස්ට්‍රීට් ළමා රූපවාහිනී වැඩ සටහනේ හිටිය කහපාට උස කුරුල්ලෙක්  බිග් බර්ඩ් කියල.ආන්න ඒ නිසා ගානර් හැඳින්නුවෙත් බිග් බර්ඩ් කියලයි. 

රයිට් බිඩ් බර්ඩ් ගැන ඒ ඇති. ක්‍රිකට් මගෙ ප්‍රියතම ක්‍රීඩාව....ක්‍රිකට් ක්‍රීඩාව..අපේ කාලෙ ක්‍රිකට් ක්‍රීඩකයින්, රූපවාහිනී, ඉන්ටනෙට් ,යන්ට නෙට් ඔය මොකවත් නැතුව පරණ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක කණ අස්සෙ ගහගෙන මහ රෑ දෙගොඩහරියෙ ක්‍රිකට් තරඟ විස්තර ප්‍රචාර අහපු හැටි වෙනම කියන්නං...හෙහ්, හෙහ් පඳුරු තලනවයි කියල ඔහොමත් තැලුවැහැක? නැද්ද මං අහන්නෙ....රයිට් අර එහා පංතියෙ ගානර් ගැන කියන්ට ආපු කතාව විතරක් කියල හිට ප්‍රධාන කතාවට බහින්නං... 

ගානර් දවසක් මොකක් හරි වැරැද්දකට මම අර කියපු සර්ට අහු උනා. උඩ පැනල ගහන්ට උනත් ඌ උස වැඩියි. සර් දෙතුං පාරක් ඔලුව උස්සල ඌ දිහාවෙ බලල උඩ පනින්ට වගෙ හැදුවලු. කොරිඩෝ එක දිගේම පංතිවල එවුං මීයාට පිම්බ වගෙ දැං කටවලුත් ඇරගෙන මේ සීන් එක බලාගෙන. සර්ටම හිතෙන්න ඇති උඩ පැනලත් මූට ගහ ගන්න බැරිඋනොත් හතර විළිලැජ්ජාවෙ පස් වෙනි එක කියල. 

" ගානර් , ගිහිල්ල අරං එනව පංතියෙං පුටුවක් " 

සර් නියෝග කලා..ඉතිං මොකෝ කොරන්නෙ? බෑ කියන්ටය....ගානර් ගිහිල්ල පුටුවක් ගෙනාව. සර් පුටුවට නැඟල ගැහුව ඌට. ඊට පස් සෙ බැස්ස බිමට.අල්ලෙං අල්ල ගසල දාල එහෙම හිනාවෙල බැලුව ගානරයගෙ මූණ. 

" හ්ම්..දැං ඔය පුටුව ආපහු තියල ගිහිල්ල ඉඳගන්නව පංතියෙං…" 

හරි ආපහු ප්‍රදාන කතාවට........තුන්වෙනි පීරියඩ් එක..අපිට ඕෆ්..ඊට දවස් දෙකකට විතර කලිං කොරිඩෝ එකේ ඉඳල අහුවෙලා දේයි දේයි ගාල කාපුවයි අර ගානර්ගෙ කේස් එකයි අපිට කාටවත් අමතක වෙලා තිබුනෙ එහෙම නෑ. ඒ නිසා කිසි කෙනෙක් එළියට නම් බැස්සෙ නෑ.. පංතිය ඇතුලෙම හතර පස් දෙනා වටවෙල කතා කරකර හිටිය. 

ඊට කලිං දවසෙ පැවැත්වුනු එංගලන්තෙ චන්දෙං මාගරට් තැචර්ගෙ නායකත්වයෙන් යුතු කොන්සර්වේටිව් පක්ෂය දිනලයි තිබ්බෙ. එංගලන්තෙ පළමුවන අගමැතිනිය....මාගරට් තැචර්.. 

අපි හතර පස් දෙනෙක් පුටු එහාට මෙහාට හරවාගෙන ඔය ගැන කතාකර කර හිටිය.දමිතයත් ඔය අතරෙ හිටිය. එක පාරටම අපිට තේරුණා දමිතයට තැචර් කියල පැහැදිලිව කියන්ට බෑ කියල.සමහර අයට ඒ වගෙ නොහැකියාවක් තියනව.සමහර අකුරු එක්කො හරියට උච්චාරණය වෙන්නෙ නෑ....අර බාල්දිය කියන්ට බෑ කියල කතාවක් තියෙන්නෙ දෙමළ අයට ....ඒ කතාව නම් බොරුවක් මම හිතන්නෙ. මම ලඟින්ම ආශ්‍රය කලා ඒ වගේම දැනුත් ආශ්‍රය කරනව දෙමළ අය. උංට යස අගේට බාල්දිය කියල කිව්වැහැකි. 

තව අයට තියනව පොඩි අප්සැට් එකක් සමහර අකුරු එක ලඟ යෙදෙන වචන හරියට කියන්න බෑ. තයන්න සහ චයන්න ඒ වගේ අකුරු දෙකක්. චතුමධුර කියල කිව්වට කියවෙන්නෙ චචුමධුර කියලයි.දමිත්ටත් තිබ්බෙ අන්න ඒ ලෙඩේ..ඌට තැචර් කියන්නෙ බෑ...කියවෙන්නෙම චැචර් කියල. 

ඕක මදැයි අපට....කෙනෙකුගෙ නොහැකියාවකට, අඩුපාඩුවකට හිනාවෙන එක, සමච්චලයට, සරදමට ලක් කරන එක කොහෙත්ම හොඳ වැඩක් නම් නෙවෙයි. ඒත් දන්නවනෙ ඔය වයසෙ එවුංගෙ හැටි.මොකද කරන්නෙ? එව්වයෙ හැටි එහෙම තමයි. එදා දවසම දමිතයට නිවනක් තිබුණෙ නෑ.. " ඒයි කවුද බං එංගලන්තෙ අලුත් අගමැතිනි? " කියල අහන එක විතරයි. ඌ පරල වෙනව දුම්මල වරම ගත්ත වගෙ. 

ඉස්කෝලෙ ඇරිල යද්දි ඕකා අපි පස්ස පාරෙ එළවගෙන ආවෙත් කවුරු හරි ඔය තැචර් කතාව ආයෙම උගෙං අහල...හෙහ්, හෙහ්, ඒකයි... 

හරි ඔන්න මාතෘකාව ..මාගරට් තැචර් මැතිණිය....බැරනස් මාගරට් තැචර්...අයෝමය කාන්තාව...  බ්‍රිතාන්‍යයේ ප්‍රථම සහ මෙතෙක් එකම අගමැතිණිය. 



ඇය බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් ඉවත් වූයේ 1990 වසරේ. වසර 23 කට පෙර.ඒත් පසුගිය අප්‍රේල් 8 වෙනිදා ඇය මියගියහම බ්‍රිතාන්‍යයේ වීදිවල ප්‍රීති උත්සව පැවැත්වුනයි කියලයි ආරංචිය. දශක දෙකකට පස්සෙත් ඇය කෙරෙහි මේ තරම් වෛරයක් පවතින්න හේතුව මොකක්ද?...බොහෝවිට දේශපාලනඥයො අත්‍යාවශ්‍ය ඒත් ජනප්‍රිය නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙ නෑ. අර කතාවක් තියෙන්නෙ වැටකොළු වගේ කියල. වැඩි ගුණේකුත් නෑ..ඒත් අගුණත් නෑ..තැචර් අපරාදෙ කියන්න බෑ. අර නැළවිලි ගීතයක පදයක් මතකද ? වැනියන් කළු වැනීයන් කියල ....අන්න ඒ ජාතියෙ වැනි වැනි හිටපු අම්මණ්ඩියෙක් නම් නෙවෙයි මේ තැචර් .දෙන එක දුන්න ඇට්ටි හැලෙන්න.... ඇගේම වචන වලින් මෙහෙමයි.... 

" I am not a politician of consensus, I am a politician of conviction…….." 

1979 බලයට ඇවිල්ල ඇය කලේ මුලින්ම වෘත්තීය සමිතිවල බලය බිඳල දාපු එක.හිතුවක්කාර විදිහට වැඩ වර්ජනය කරමින් පොදු ජනතාව පීඩනයට පත් කිරීමට තමන්ට ශුද්ධවූ අයිතියක් තියනවය කියල තමයි ඔය වෘත්තීය සමිති නායකයො හිතාගෙන ඉන්නෙ. ඒක ලෝකෙ කොහෙත් වෙනසක් නෑ. ඉස්පිරිතාලෙට ගිහාම " අද ක්ලිනික් එක නෑනෙ ...දොස්තර මහත්තුරු ස්ට්‍රයික් " කියන කතාව අහල ආපහු හැරිල එන්න සිද්ද වෙච්ච මනුස්සයෙක්ම විතරයි ඒ වෙලාවට හිතට එන හැඟීම මොන වගේද කියල හරියටම දන්නෙ... 

මට එහෙම අත්දැකීම් තියෙනව මදියි නොකියන්ට.අපෙ අම්මට හෘදයාබාධයක් ආවා දැනට අවුරුදු විස්සකට වගෙ කලින්. මාසෙකට වතාවක් සායනයට ගිහිල්ල විශේෂඥ වෛද්‍යවරයට පෙන්නල බෙහෙත් ගන්න ඕන. සමහර වෙලාවට අම්ම එක්කලා යන්න කවුරුවත් නැතිඋනහම මම නිවාඩු දාල එනව බොහොම අමාරුවෙන් වැඩ එහෙට මෙහෙට ඇරේන්ජ්මන්ට් එකක් දාල. සායනය දවසට ගිහාම " වෛද්‍ය වැඩ වර්ජනය නිසා අද සායනය නොපැවැත්වේ " කියල කළු පාට ෆෙල්ට් පෑනකින් ලියාපු කාඩ් බෝඩ් කෑල්ලක් දොරේ එල්ලල තියනව දැක්කම ඉතිං ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව යනව. 

අනික බොහොම වෙලාවට ඔය වැඩ වර්ජන වලට හේතුබූත වෙල තියෙන්නෙ හොයාගෙන යනකොට මේ දෙකයි පණහෙ කාරණා.ඔන්න එක්කො දොස්තරලට වෙන් කරපු විවේකාගාරෙ කොටසක් හෙදියොන්ට දුන්නය කියයි. නැත්තං ලෙඩ්ඩුන්ට ඉන්ජෑසං ගහන වැඩේ කරන්ට ඕන හෙදියොද දොස්තරලද කියන අති බාරදූර පුරස්නෙ විසඳගන්ට බැරුව ..... 

මම ඔය බඳින්ට එහෙම කලිං වැඩ කලා මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිමේ පිහිටි ප්‍රදේශයක කාලයක්. කිව්වම මොකද ඔය අපෙ අම්මණ්ඩි මට කොක්ක ගැහැව්වෙ ඒ කාලෙදිම තමයි. ඔය අපෙ බින්දි නෝන දන්නව යස අගේට ඒ පැත්ත ගැන. එයයි ඒ පැත්තෙ තමයි සයිකල් පදින්ට පුරුදු වෙන්ට ගිහිල්ල තියෙන්නෙ. සයිකල් පැදිල්ල කොහොම වෙතත් එරමිණියා පඳුරු අස්සෙ තමයි වැඩි හරිය ඉඳල තියෙන්නෙ සයිකලෙත් එක්කම. හෙහ්, හෙහ්,..රයිට් කියන්ට ආවෙ ඒක නෙවෙයි...එහෙ තිබ්බ ග්‍රාමීය රෝහලක්...ඕකෙ ඉස්තාන බාර වයිද්දිය තුමා අපෙ හොඳ බොක්කා.එයයි ඇවිල්ල ඒ. එම්. පී. කෙනෙක්. අර සහකාර වෛද්‍ය නිලධාරී කියන්නෙ. අන්න ඒ ගොල්ල. 

මිනිහ මත්පැන් පානයට බොහොම ප්‍රියයි. අපෙ අතීසාර මිත්තරයෙක් උනෙත් එහෙම සින් එහෙකිං තමයි.එයා ගැන කතා තියනව බර ගාණක්..ඔන්න එක දවසක් මිනිහගෙ ක්වාටස් එකේ අපි හතර පස් දෙනෙක් එකතුවෙලා පොඩි කර්මාන්තයක් කරනව ( කර්මාන්තය= මධු පානය ) ඕන්න දැං අර සිරුරෙං නිකුත්ව ආත්මය අවකාශයට පාව යන්ට ඔන්න මෙන්න තියන අවස්තාවෙ වගෙ අපි ඉන්නෙ ( Out of body experience කියන්නෙ මම හිතන්නෙ ඔය සීන් එකට වෙන්න ඕන.... මේ දවස්වල මව්බිමේද පියබිමේද කොහෙද යනව ඔය සූක්සම සරීරය, ඕකට කියන්නෙ මනෝසීල කාය කියල...ගැන ලිපි පෙලක්..මමත් ඉන්නෙ මගේ ඔය අත්දැකීං ගැනත් හොඳවයිං ලිපියක් ලියන්ට...කොහොමද අයිඩියානන්ද එක ? නරකම නෑ නේද?....හොඳම ශාස්ත්‍රීය ලිපියට ලැබෙන සම්මානෙ එහෙම හම්බ උනොත් එපා කියන්ටයැ...හෙහ්, හෙහ්,) 

කුවාටස් එකේ ඉස්සරහ තිබ්බෙ පළු හතරෙ දොරක්. වීදුරු දාල. එක වීදුරුවක් බිඳිල එක්ස් රේ කොලයක් දාල අලවල තිබ්බෙ. 

" අනේ දොස්තර මහත්තයෝ දොර අරින්ට......දොස්තර මහත්තයෝ ….." 

එක පාරටම අර දොර ගැලවිල වැටෙන සයිස් එකට කවුදෝ දොරට තඩි බානව..ගෑණු කටහඬක්... 

අපි ඔක්කොම ගැස්සිල ගියා.දොස්තර ගොයිය අපිට කිය කියල හිටියෙ එදා මිනිහ ගෙදර යන්ටයි හිටියෙ ඒත් හදිස්සි මොකක්ද වැඩක් යෙදිල යන්ට බැරිඋනාය ඒ නිසා වයිෆ් කතාකරල හොඳටම දොස් කිව්වය කියල. 

" අඩේ, ඔයනං අනිවාර්යයෙං උඹෙ වයිෆ්තුමී වෙන්නම ඕන. උඹ අ..අද ගි...ගියෙ නැතිනිසා ඔය හොයාගෙන ඇවිල්ල ති..ති...ඉයෙන්නෙ.." වචන පැටලි පැටලි මම කිව්ව… 

දොස්තර ගොයියටත් එකපාරටම හිතෙන්ට ඇති අඩේ එහෙමවත්දෝ කියල...ටිකක් වෙලා බලා හිටිය දොර දිහාවෙ..ආයෙම ඔන්න අර මර විලාපෙ.. 

" අනේ බුදු දොස්තර මහත්තයෝ........." 

" පිස්සුද යකෝ...ඒ අපෙ වයිෆ්ගෙ වොයිස් එක නෙවෙයි...අනික එයා ආවනං ඔහොම දොරට ගගහ ඉන්නෙ නෑ. කෙලින්ම දොර කඩාගෙන ඇතුලට එන්නෙ...හෙහ්, හෙහ්, " 

ඔය ක්වාටර්ස් එක තිබ්බෙ ඉස්පිරිතාලෙ වත්තෙමයි. ඔන්නම් වැඩිම උනොත් ඉස්පිරිතාලෙ ඉඳල යාර පණහක් ඇති. 

ආයෙම ඔන්න දොරට තඩි ගැහිල්ල. අර කැඩිච්ච වීදුරුව සර සර ගල හෙල්ලෙනව. කඩාගෙන වැටෙන්ට ඔන්න මෙන්න. 

" දැං අර වීදුරුවත් කඩාගෙන වැටෙනව. මචං ගිහිල්ල බලපං " එකෙක් කිව. 

" පොඩ්ඩක් නිදහසේ ඉන්ට දෙන්නෙ නැති හැටි අම්මප…" 

තොල මතුර මතුර ගිහිල්ල මිනිහ දොර ඇරිය. ඉන්නෙ කවුද කියල අපිට පේන්නෙ නෑ. ඒත් කටහඬ ඇහෙනව. 

" අනේ දොස්තර මහත්තයෝ මයෙ කෙල්ල වහබීල අනේ විගැහිං එන්ඩ ඔබ තුමාට බුදු බව අත්වෙයි…" 

දොස්තරත් එක්ක අපිත් ගියා ඒ වෙලාවෙ ඉස්පිරිතාලෙට...එතන ඒ වෙලාවෙ මරු වැඩක් උනේ...දැන් ඒ කතාව ඔක්කොම නම් කියන්න බැරියෝ. තැචර් නෝන ගැනනෙ අද කතා කරන්නෙ..ඒ කතාව වෙන දවසක හොඳද?....හරි දැං මේ අපෙ යාලු දොස්තර ගැන කතාව ඇදිල ආවෙ කොහොමද? හරි...වැඩ වර්ජන ගැන කතා කරද්දි නේද? 

ඒත් ඔය ඉන්ජෙක්සන් දෙන එක කාගෙ රාජකාරියද කියන ප්‍රශ්නෙකට දොස්තරලද ඒ.එම්.පී. ලද නේස්ලද මන්ද ඉස්ටැයික් කරපු කාලයක්. ඒත් අපි හවසක අපෙ යාලුව එක්ක කතාකර කර ඉන්නව ....මේ පාරනම් අපෙ ක්වාටර්ස් එකේ. මිදුලෙ තිබ්බ දාර සියඹලා ගහ යට පුටු තියාගෙන. 

" මේ ඉන්ජෙක්ෂන් දෙන එක කාටද අයිති කියන එක මහ කැඳ හැළියක් වෙලයි තියෙන්නෙ…" දොස්තර කිව්වා 

" මොනවද බං ඕක ඔච්චරම ප්‍රශ්නයක්ද?......මෙහෙම කරපං.." 

මම කිව්ව.....මගෙ අතිජාත මිත්‍රය... සුමනෙ කටකොණකින් හිනාවීගෙන මා දිහා බලා හිටිය. මිනිහ දන්නව මම මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න යන්නෙ කියල. 

" කොහොමද කරන්න කියන්නෙ? " යාලු දොස්තර ඇහුව. 

" දැන් ඔය ප්‍රොෆෙෂනල් එතික්ස් එතනිං ගිහාම හිපපොටේමස් ප්‍රතිඥාව එහෙම අමතක කරල දාහං...." 

" මොකක්? මොන ප්‍රතිඥාව? " 

දොස්තරගෙ නලලත් එක්ක රැලිවැටිල.සුමනෙ තොල් විකාගත්ත. දොස්තරහෙ ප්‍රශ්නෙ නෑහුනු විදිහට මම දිගටම කතාකරගෙන ගියා…. 

" එව්ව ඔක්කොම අමතක කරල දාපං. දොස්තරලයි නර්ස්ගොල්ලොයි එක්ක කතා කරල උඹල බෙදාගනිල්ල සරීරයෙ අවයව. ඔන්න මෙහෙම කියමු. දොස්තරල ඉනෙං උඩ හරියට ඉන්ජෙක්සන් ගහනව... නර්ස්ල දණිහෙං පල්ලෙහාට. " 

" එතකොට අපි? " 

" ම්ම්..උඹල ඒ දෙගොල්ල අතරනෙ....උඹල ගහපල්ල ඉන්ජෙක්සං ලෙඩ්ඩුංගෙ පුකට.....හෙහ්, හෙහ්, " 

" උඹ මගෙං අහගන්ට එපා මොකවත්...." දොස්තර නැඟිට්ට පුටුවෙං.සුමනෙට හිනාව නවත්තගන්ට බෑ…. 

තැචර් නෝනා මහත්මය 1979 අවුරුද්දෙ බලයට එද්දි වෘත්තීය සමිතිවල අණසක මුළු සමාජය පුරාම පැතිරිල තිබුණා.ආණ්ඩුවට ආණ්ඩු කරන්න සිද්ද උනේ වෘත්තීය සමිතිවලට ඕන විදිහට. ලංකාවෙත් එහෙම කාලයක් තිබුන අවුරුදු හතලිහකට විතර කලින්. ඒත් 1980 න් පස් සෙ ඒ තත්වය වෙනස් උනා නැවත ආපසු හැරවිය නොහැකි ලෙස. 

වසරකට වැඩි කාලයක් පැවති බ්‍රිතාන්‍ය පතල් කම්කරුවන්ගෙ වර්ජනය 1985 දි අවසන් උනේ වෘත්තීය සමිති පරාජය වෙමින්.රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට පැවරීමේ තැචර්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් වෘත්තීය සමිතිවල බලය බිඳ දැමීම අත්යාවශ්‍ය සාධකයක් උනා. 

ගෑස්, වානේ සහ තෙල් කර්මාන්ත, දුරකථන,ගුවන් තොටුපොල සහ බ්‍රිටිශ් එයාර්වේස් ගුවන් සමාගම ඇය රාජ්‍ය අධිකාරියෙන් ඉවත්කොට පෞද්ගලික කළමනාකාරිත්වය යටතට පත්කලා. විදුලිය සහ ජලය ඇගේ න්‍යාය පත්‍රයේ ඊලඟ අංගයන්. 

මහජන උපයෝගිතා සේවාවන් සැපයීම රාජ්‍ය අංශයට පැවරීම කෙතරම් අසාර්ථක සහ නාස්තිකාරී ක්‍රියාවක්දැයි වටහාගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයෙන් පවත්වාගෙන යන සේවාවන් තරම් අගනා නිදර්ශන තවත් නොමැති බව කිවයුතු දෙයක් නෙවෙයි.ඔබෙන් මගෙන් අයකරන බදු මුදලින් නඩත්තුවන යෝධ ශ්වේත හස්තීන් ගිල දමන්නේ රුපියල් බිලියන ගණනින්. 

ලංගම, දුම්රිය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව ..මේ ඔක්කොම සුදු අලි. මේ පහුගියදා විදුලි බිල එක් වරම සීයට පණහකින් විතර වැඩි උනා. සම්පූර්ණයෙන්ම මේ කලේ විදුලිබල මණ්ඩලයෙ පාඩුව පරිභෝගිකයා පිටින් අරින්නයි. කෙලින්ම විදුලි බිලෙන් අපිට දරන්න වෙන අතිරික්ත වැයට අමතරව වක්‍රව බදු විදිහට විදුලිබල මණ්ඩලයෙ කාර්ය මණ්ඩලයට වැටුප් සහ අනෙකුත් පහසුකම් වලට බරපැන දරන්නෙත් අපිමයි. 

2012 දි විදුලි බල මණ්ඩලයෙ පාඩුව රුපියල් බිලියන 65 ( දළ ජාතික නිෂ්පාදනයෙන් 0.9% ) මේ ඛනිජතෙල් සංස්ථාව සහන මිලට තෙල් සැපයීමෙනුත් පසුව. අඩු මිලට තෙල් සැපයීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට දරන්නටවූ පාඩුව බිලියන 89ක් ( දල ජාතික නිෂපාදනයෙන් 1.2% ) එතකොට එකතුව ගත්තම විදුලි බල මණ්ඩලයේ සම්පූර්ණ පාඩුව රුපියල් බිලියන 154ක් ( ද. ජා. නි.යෙන් 2.1% )..කොහොමද සෙල්ලම? නරකම නෑ නේද?...අර කාලෙකට ඉස්සර රූපවාහිනියෙ ප්‍රචාරය වෙච්ච මැලිබන් ලෙමන් පෆ් ඇඩ් එක මතක වෙන්නෙ එහෙම නැද්ද? 

" කොහොමද කෑම?....." 

" අති විශිෂ්ටයි සර්...." 

මේකෙ ලස්සනම සීන් එක තමයි දැං අවුරුද්දකට හමාරකට ඉස්සර මේ සුදු අලියව වවාගෙන කන උදවිය ( විදුලි මල බංඩලේ සේවක පිරිස ) ඉස්ටැයික් කලානෙ වැඩි පඩි ඉල්ලල.කියල වැඩක් නෑ අම්මප, ඉනට වස්තරත් ඇඳගෙනනෙ ඔය මිනිස්සු ඔය වැඩේ කලේ...අන්තිමට මොකක් උනාද කියල නම් හරියටම මතකයක් නෑ...එවුං ඉල්ලපු ඔක්කොම නැතුව පොඩි ගානක් දුන්නද කොහෙද වගේ මතක.... 

මාත් එක්ක කාර්මික විද්‍යාල පාඨමාලාව කරපු මගෙ යාලුවො දෙන්නෙක්ම ඉන්නව විදුලි බල මණ්ඩලේ. එවුං හම්බ උනොත් මම බණින එකත් බනිනව පතුරු යන්ට.උං ඉතිං දාහක් හේතු කියනව. 

" මචං මෙහෙමයි අරමයි, අපි ගිවිසුම් ගහල තියෙන්නෙ විදුලි ඒකකයක් මේ ගානට ගන්නවයි කියල. එව්ව කලේ දේශපාලනඥයො අපිට කරන්න දෙයක් තිබුනෙ නෑ...බ්ලා..බ්ලා..බ්ලා…" 

මම උගෙං ඇහුවෙ මෙච්චරයි.... 

" එතකොට මට මේක කියපං...එහෙම දේවල් කරනකොට උඹල අසරණයි. හරි..හෙට විදුලි බල ඇමතිය කියනව විදුලි සේවකයින් ඔක්කොගෙම පඩිය 20% කපනව ආයෙම ලාභයක් ලබන කල්. ආ, එව්ව දේශපාලකයො ගත්තු තීරණ. අපිට කරන්න දෙයක් නෑ කියල උඹල කටයි පුකයි වහගෙන බලාඉඳියි එහෙනං....අනේ පලයං බං යන්ට..උඹල ඔක්කොම පහුවදා ඉඳල පාරෙ..උද්ඝෝෂණ, පිකටිං, පෙලපාලි, විරෝධතා ව්‍යාපාර ඔය ඔක්කොම කරයි ආයෙම මුලු පඩියම දෙනකල්...නෑ කියාපං බලන්ට..." 

ඌ මාත් එක්ක මාසයක් විතර කතා කලෙත් නෑ... 

" අනේ මන්ද..මම දන්නෙ නෑ ඔයාත් කියන්ට ඕන එකයි එපා එකයි ඔක්කොම කියනව ලබ්බ ගලේ ගැහුව වගෙ.." ඒ අපේ ප්‍රියාම්බිකාව 

" ඒ ඉතිං මගෙ හැටිනෙ අනේ... උපංගෙයි ගතිය අරින්ට බෑ කියනවනෙ බලි ඇරියත් හෙහ්, හෙහ්...." මම හිනාවෙනව. 

බිලියන 154 ක් අවුරුද්දකට පාඩු ලබන්න මොකක්ද හේතුව?....වෙන මොකවත් නෙවෙයි අකාර්යක්ෂමතාවය සහ ලැබෙන වැටුප කාර්ය සාධනයට ( Performance ) සමානුපාතික නොවීම. විදුලි බල මණ්ඩලය කොච්චර පාඩු උනත් සේවකයින්ට ලැබෙන වැටුප එහෙමමයි. ඒක අඩුවෙන්නෙ නෑනෙ සත පහක්වත්. දුම්රියත් එහෙමයි. ලංගමත් එහෙමයි. නිකමට හිතන්න පෞද්ගලික අංශයෙ සමාගමක් මේ විදිහට දුවන්න පුළුවන්ද? බැහැ...එතන වෙන්නෙ මේකයි. දිගින් දිගටම පාඩුව පියව ගන්න ක්‍රමයක් නෑ. එතකොට වෙන්නෙ පීනන්ට පුරුදු වෙන්ටම වෙනව. නැත්තං වෙන්නෙ ගිලිල මැරෙන්ට. 

රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයට පැවරීමේ තැචර් නෝනගෙ ප්‍රතිපත්ති නිවැරදියි කියල ආය වෙන මොනවත් සාධක එහෙම ඕනද? 

ආණ්ඩුවක් බිස්නස් වලට අත ගැහැව්වයි කියන්නෙ අර අපේ කියමනක් තියෙන්නෙ හත් පලේ ගාගන්නව කියල ආන්න ඒ වගේම තමයි. 

සමාජවාදය කියන අන්තිමට සමාජවාදයෙ තෝතැන්න වුනු සෝවියට් දේශයටත් එපාම වෙල පන්නල දාපු න්‍යාය තාමත් හිස මත රඳවාගෙන වැඳුම් පිදුම් කරන උදවියට තැචර් නෝනගෙන් හම්බ උනේ නෑ කිසිම සමාවක්. 

“The problem with socialism is that eventually you run out of other people’s money,” she once said. 

තැචර් නෝන දකුණු අප්‍රිකාවෙ වර්ණභේදවාදී සුදු ආණ්ඩුවට සම්බාධක පැනවීමට විරුද්ධ උනා. ඒ නිසාම දකුණු අප්‍රිකාවෙ ඒ අම්මණ්ඩි කොහොමවත් ජනප්‍රිය නෑ. මේ දවස්වල දකුණු අප්‍රිකාවෙ සංචාරයක යෙදෙන එංගලන්තෙ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම තමන් සහභාගිවෙන තරඟවලට ඉස්සර තැචර් නෝනට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කලින් හිතුවත් පස්සෙ ප්‍රේක්ෂකයන්ගෙන් විරෝධතාවයක් මතුවෙයි කියල හිතල ඒ කල්පනාව අත ඇරල දැම්මයි කියලත් මම දැක්ක. 

ඇගේම රටේ ඇය වෙනුවෙන්ම නිර්මාණය වුනු ගීතයක් මේ…Maggie the Witch... 



ඇය බලාපොරොත්තු උනේ වෙහෙසව වැඩ කොට තම ශ්‍රමයට සරිලන ආදායමක් ලබාගැනීමට හැමෝටම සමාන අවස්තාවක් තියෙන සමාජයක්..ආර්ථික ක්‍රමයක්...ඒ වගෙ ක්‍රමයකට එකහෙලා කැමති අය මෙන්ම මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද අහිමිවෙතැයි බියෙන් එවන් ක්‍රමයකට එකහෙලාම විරුද්ධ නොමිලේ අනුන්ගේ වියදමෙන් ජීවත්වන මිනිසුන්ද මේ ලෝකෙ ඉන්න බව අමතක කරන්න නරකයි. 

The Iron Lady ? May She Rest In Peace…………. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය අයෝමය කාන්තාවක්....තමන් නිවැරදියැයි පිළිගත් ප්‍රතිපත්ති වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව සෑම මොහොතකම පෙනී සිටි ඇය අයෝමය කාන්තාවක්ම තමයි. 

Of course I well understand that many in Britain felt left behind by the economic and social revolution that Thatcher unleashed. But the entire point of Thatcherism as I understood it from far was to create conditions in which everyone could work hard and achieve their dreams.That is what I - and all of Ukraine's democrats - want for our country: a society of opportunity,under the rule of law and not under the thumb of cronies and oligarchs, in an open Europe.

- Yulia Timoshenko - twice prime minister of Ukraine, is a political prisoner since 2011

************************

සුබ නව වසරක් මගේ දයාබර සියළුම හිතවතුන්ට සහ හිතවතියනට...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...